2019 ජනවාරි 01 කලාපය 20
******************************************************
ජනවරම අමු අමුවේ පාවා දුන්,
ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කළ ,
ඒ කිසිවකට කිසිදු දඬුවමක් නොලැබූ ,
තවදුරටත් එකාධිපතියකු ලෙස ක්‍රියා කරන
ජනපතියකු යටතේ නව වසරකට !
62 ලක්ෂයක් බහුතර ජනතාවගේ ජනවරම අතිශය නින්දිත ලෙස අමු අමුවේ පාවා දෙමින් සහ සුරැකීමට තමා ප්‍රතිඥා දුන් රටේ ව්‍යවස්ථාව එක් වරක් නො ව කීප වරක් ම උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකාව දින 50 ක් මුළුල්ලේ පිස්සන් කොටුවක් බවට පත් කළ එම්.සිරිසේන ,කිසිදු දඬුවමක් නොලබා තවදුරටත් ජනාධිපති ධුරයේ පහරමින් සිටින තත්ත්වයක දී මෙරට ජනතාව අද 2019 වසරට පා තබයි.
තමා ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය වැනි වැනී නො ව ඒකමතික ව තීරණය කර තිබිය දී අවම මට්ටමෙ හෝ ලජ්ජාවක් හෝ හෘද සාක්ෂියක් හෝ ඇති වෙනත් ඕනෑ ම අයකු සිය තනතුරින් ඉවත් ව යන නමුදු ,අධිකරණ ක්ෂේත්‍රයේ නිර්ලජ්ජිතයා වූ සරත් නන්ද සිල්වාගේ විධායක ප්‍රතිමූර්තිය බවට පත්ව සිටින සිරිසේන ඉන් ඉවත් ව යාමට තුන් සිතකින්වත් නොසිතනවා පමණක් නො වේ. තමාගේ සියලු පාරම්බෑම් ලෝක විහිළු සහ නීති විරෝධී බව මුළුමණින්ම තහවුරු වීමෙන් පසුව පවා, රනිල්ට කොහෙත් ම නොදෙනවා යැයි කියූ අගමැතිකම ඔහුට දීමට සිදුවී හොම්බෙන් යාමට සිදු වීමෙන් පසු ව පවා මොහු කළේත් දැන් කරමින් සිටින්නේත් , රටට හෙණ ගහුවත් කමක් නැත යන පදනම මත පිහිටා තමාට අවශ්‍ය දෙය ම කිරීම ය.අමාත්‍යාංශ සහ ඒවාට අයත් ආයතන තේරීමේ දී ජනපතිට සිය අභිමතය පරිදි ක්‍රියා කිරීමට ඇති බලය උපරීම වශයෙන් යොදා ගන්නා අතර ම, ඇමතිකම් දීමේ දී අගමැති විමසීමට ඇති නියමය ද තමාට අවැසි පරිදි යොදා ගනීමට හැකි හැම දෙයක්ම කරනු දැකිය හැක.
සිරිසේන ජනපති පදවියෙන් නෙරපා හැරීමෙන් තොර ව රටට අඩියක්වත් ඉදිරියට යා නොහැක. දෝෂාභියෝගයක් ගෙන ඒමේ කිසිදු ලකුණක් නැත. ඒ වෙනුවට ඇත්තේ මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණකරු එම පදවියේ ම තබා ගනිමින් හැකි තරම් ඇමතිකම් ලබා ගැනීමේත්, ඒ සඳහා ඇමති ගණන වැඩි කර ගැනීමේත්, වඩ වඩාත් පැණි බේරෙන ඇමතිකම් ලබා ගැනීම සඳහා දෙස් දෙවොල් තැබීමේත් උත්සාහයන් ය.
මේ අතර බල පෙරේත මහින්ද රාජපක්ෂ මොකක් හෝ උප්පරවැට්ටියක් මගින් යළිත් අගමැති නාඩගමක් නැටීමට අමුඩ ගසමින් සිටින බව පහැදිලි ය. විපක්ෂ නායකකම ලැබීමත් සමග ම, පාර්ලිමේන්තු කටයුතුවලට ඔහු සහභාගි වන්නේ , මන්ත්‍රී ලෙස ලබන වැටුපට සාධාරණ වන පරිදි යමක් කිරීමට නො ව, අගමැතිකම නැවත ඔඩොක්කුවට දමා ගැනීමට එම තනතුර ද පාවාඩයක් කර ගනු පිණිස ය. ඕනෑම විපක්ෂයක අරමුණ ආණ්ඩුව පෙරළීම බවට මෑත දී ඔහු සුමධුර බණක් දෙසා වදාළ අතර ඔහුගේ බත් බැලයකු වූ එස්.එම්.චන්ද්‍රසේන ඊට ඌණපූරණ අනු බණක් වදාරමින් කියා සිටියේ අප්‍රියෙල් වන විට මහින්ද යළි බලයට පත් වන බව යි. ඔහු ආගම ගසා කෑමේ සිය සුපුරුදු පිළිවෙත වඩාත් උග්‍ර කර ඇති අතර, මැටි පිළිම, ගස්වැල් සහ එවන් දෙය මහින්දට උදව් කරනු ඇත යන බියෙන් බිරන්තට්ටු වී ඇති රනිල් වික්‍රමසිංහ ද සිය ලිබරල්වාදී සළුපිළි උණා දමා තෙමේ ද හැටට හැටේ ඒවා හමුවේ හතර ගාතෙන් වැටෙන්නට පටන් ගෙන ඇත.
මොවුන්ගේ මේ විසූක දස්සන බලමින් කාලය කා දැමීමට සිදුව ඇති ජනතාව සතු කර්තව්‍යය වන්නේ මේ සියලු හොර නඩවලට එරෙහිව පාර්ලිමේන්ත්මය සහ පර්ලිමෙන්තුවෙන් බාහිරමය අරගලය සඳහා නව බලවේගයක් ගොඩ නගා ගැනීම ය. ඔක්තොබර් 26දා දියත් වූ සිරිසේන-මහින්ද වැසිකිළි කුමන්ත්‍රණය ට බොහෝ පෙරාතුව, මෙම "පංති සටන " පුවත් පත පටන් ගත් තැන් සිට,එනම්, එහි පළමු කලාපයේ සිට ම අප අවධාරණය කළේ එයයි. එහෙත් තවමත් ඒ වෙනුවෙන් කිසිදු පියවරක් ගෙන නැත.එහෙත් මොවුන් සියලු දෙනා වෙතින් කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිත ජන කොටස් වලට එල්ල වන ප්‍රහාරයන්ට මුහුන දිය හැක්කේත් ජනතා ප්‍රශ්න විසඳීම සඳහා අත්‍යවශ්‍ය වන රාජ්‍ය බලය අත් කර ගැනීමේ දිශාවට මුල් පියවරයන් හෝ ගත හැක්කේත් එවන් මගකට පිවිසීමෙන් පමණි.
****************************************************
මහා මැතිවරණයක් නො ව ජනපතිවරණයක්
මහා මැතිවරණයක් නො ව ජනපතිවරණයක්
රටේ දැන් පවත්නා දේශපලන අර්බුදයට විසඳුම මහා මැතිවරණයක් පැවැත්වීම යැයි පොහොට්ටුවෝ උගුර කට වේලෙන තෙක් බෙරිහන් දෙති.තමනට බලය ලබෙතැයි ඔවුන් සිතන නිසා ඔවුන් එසේ ඉල්ලීම තේරුම් ගැනීම අපහසු නො වේ.එහෙත් තමන්ට හිමි ඉතිරි කාලයත් හොඳහැටි වවා ගෙන කෑමට තිබෙන ඉඩකඩ විහින් කප්පදු කර ගෙන මහින්ද 2015 කර ගත් ඉල්ලා ගෙන කෑම තමන් ද කර ගැනීමට රනිල් සහ යූඇන්පීය සූදානම් වෙතැයි සිතිය නොහැකි හෙයින් , එය ප්‍රායෝගික ව ඉටු වීමේ ඉඩකඩ කොහෙත් ම නැති බව කිව හැක.විවිධාකර ඡන්ද ගුණ්ඩු ක්‍රියාත්මක කරමින් නියමිත අවස්ථාවේ දී එය පැවැත්වීම ඔවුන්ගේ උපාය මාර්ගයයි. සිරිසේනගේ කුමන්ත්‍රණයට මහින්ද හවුල් වූයේ ද අගමැතිකම පවිචිචි කරමින් මේ ඡන්ද ගුණ්ඩු සෙල්ලම ම ක්‍රියාත්මක කරමින් මැතිවරණය පැවැත්වීමේ බලාපොරොත්තුවෙනි. වැඩේ ගැස්සී ගිය නමුත් ඔහු තවමත් ඒ බලාපොරොත්තුව අත් හැර නැත. අනෙක් අතට එවන් මහා මැතිවරණයක් පවැත්වුවත් එමගින් මෙම දේශපාලන අර්බුදය යම් පමණකින් හෝ විසඳිය හැකි වනු ඇත්තේ මහින්දට 113 ට වඩා ලැබුණහොතින් පමණි. එවන් තත්ත්වයක් ඇතිවීමට යම් ඉඩක් වර්ධනය වෙමින් පැවතිය ද, සිරිසේන-මහින්ද ජෝඩුවේ ව්‍යවස්ථා-විරෝධී ගොන් කුමන්ත්‍රණය මගින් එය සුන්බුන් කරනු ලැබිණ. මෙහි දී මොවුන් දෙදෙනා සතු ව කුමාර වෙල්ගමට තිබුණ තරම්වත් දේශපාලන අවබෝධයක් නො තිබූ බව පැහැදිලි ය.කොහොමටත් ඇපත් නැති ව දෙශපාලන ලෝකයෙන් අතුගෑවී යාමට නියමිත ව සිටි සිරිසේන "තමාවත් බාගෙට නැති කළා "යැයි කියන රනිල් කෙරෙහි වූ බද්ධ වෛරය , පරණ බද්ධ වෛරක්කාරයා වූ මහින්ද සමග වන හොර සන්ධානයක් මගින් විසඳා ගන්නට ගොස් දෙදෙනාගේ ම විනාශයට පාර කපා ගත් හෙයින්, පාර්ලිමේන්තු මැතිවරණයකින් ජය ගැනීමේ සිහිනය ඇත්ත තත්ත්වයේ දී බොඳ වී ඇත. සැබෑ තත්වය නම් , පාර්ලිමේන්තු මැතිවරණයකින් මහින්ද ජය ගන්වන්නට ජනතාව පුල පුළා බලා සිටින බව තහවුරු කර ගැනීමට පාදක කර ගන්නා වූ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පවා මහින්දට ලැබුණේ ඡන්ද සියයට 40ක් පමණක් බවය!මහින්ද සිය බල පෙරේතකම මගින් එයත් දැන් නැති කර ගෙන ඇත. අනෙක් අතට, සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව අතිශය වාසිදායක තත්වයක් තුළ දී පවා පූර්ණ බහුතරයක් ලබා ගැනීම බෙහෙවින් ම දුෂ්කර බැව් මීට පෙර මැතිවරණ ප්‍රතිපල අනුව ද පැහැදිලි වන කරුණකි.
මහා මැතිවරණයේ දි රනිල් බහුතරයක් ලබා ගත හොත්, එවිට සිරිසේන ඉතිරි ව ඇති වසර තුළ තවදුරටත් සිය කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකාරී ක්‍රියා මාර්ගයෙහි නිරතවීම අනිවාර්ය වන හෙයින් , වෙන මොකට විසඳුම වුවත් වත්මන් දේශපාලන අර්බුදයට නම්, මහා මැතිවරණය විසඳුමක් වන්නේ නැත.ප්‍රාදේශීය සභා මැතිවරණ වහා පැත්වීම අත්‍යවශය නමුදු, එහි ප්‍රතිඵලය ජයග්‍රාහී පක්ෂයට කට කයිවාරු ගැසීමට අවස්ථාව උදා කර දෙන නමුදු අණ්ඩු අර්බුදයට ඉන් කිසිම විසඳුමක් නොගෙනෙනු ඇත.
මේ සියලු කරුණු අනුව මුලින් ම පවැත්විය යුතු මැතිවරණය ජනපතිවරණයයි. තමා කළ සියලු අළුකුත්තේරු ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් "ජාතියේ"යහපත උදෙසා සද්භාවයෙන් ගත් පියවරයන් යැයි සිරිසේන කරන ආත්ම-වංචනික ප්‍රකාශයන් තුළ අංශු මාත්‍රමය සත්‍යයක් හෝ තිබේ යැයි ඔහු අවංකව ම විශ්වාස කරන්නේ නම්, ඒ පිළිබඳ ජනතාව සිතන්නේ කුමක්දැයි උරගා බැලීමට ඔහු මඳක්වත් අදිමදි නොකළ යුතු ය. ජනවාරි 9 දායින් පසු, අනෙක් මැතිවරණ සම්බ න්ධයෙන් මෙන් නො ව ස්වකීය පරම අභිමතය පරිදි ජනපතිවරණය කැඳවීමට ඔහුට පුළුවන. අනෙක් පක්ෂ ජනපති අපෙක්ෂකයා තවමත් නිශ්චිත ව තීරණය කර නැති හෙයින්, ඒ සම්බන්ධයෙන් එම පක්ෂ මාර අවුලකට යා හැකි නමුත් ඔහුට එවැන්නක් නැත.අගමැතිකම හොරට ලබා දීමට හිලව් වශයෙන් තමාට ජනපති අපේක්ෂකත්වය ලබා දීමට මහින්ද එකග ව තිබුණේ නම් සහ දැන් ඔහු එයට පිටුපා යාමට ක්‍රියා කරන්නේ නම් ,පොහොට්ටුවට යාමේ කරුණ මත මහින්ද ඇතුලු පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත් එජනිස මන්න්ත්‍රීන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීමේ තර්ජනය යොදා ගැනීමට ද ඔහුට හැකි ය.සමහර විට ඔහු මේ සියලු කරුණු සලකා බලා දැනටමත් මේ තිරණය ගෙන හමාරවා විය හැක. රජයේ මුද්‍රණාලය ජනපතිවරයාගේ යටතේ තබා ගැනීමට තරම් ප්‍රබල ආයතනයක් බවට පත් කර ගෙන ඇත්තේ , අදාළ ගැසට්ටුව හොරෙන් ම අච්චු ගස්සවා ගැනීමේ අරමුණින් වනවා වීමට ද ඉඩ ඇත.පොලීසිය තම අතේ තබා ගැනීමට වළිකන්නේ , තම හිතවතුන්ගේ නඩු බකල් කිරීමට අමතර ව ජනපතිවරණයේ දී එය පාවිච්චි කිරීමේ යටිකූට්ටු අරමුණ ද ඇති ව විය හැක.ජනමාධ්‍ය අමාත්‍යාංශය ද තම අතේ රුවා ගැනීමට වළිකා අන්තිමේ දී එය අත හැරීමට එකග වූයේ , ව්‍යවස්ථාවේ වගන්ති අනුව ම මැතිවරණවල දී ජනමාධ්‍ය "අපක්ෂපාතී ව" ක්‍රියාත්මක කළ යුතු බවට මැතිවරණ කොමිසමට කර ඇති නියෝගය, ජනපති බලය ද අනුව ඔහුට පාවිච්චි කළ හැකි නිසා ය. මෙලෙසින් ස්වකීය "ප්‍රමෝදය" සලසා ගන්නා අයුරු නිර්දේශ කිරීමට "ප්‍රමෝදය" පිළිබඳ විශේෂඥ පශ්චාත් නූතනවාදී ජනපති උපදේශක යන්ගෙන් අඩුවක් ද ඔහුට නැත. ඕනෑම දෙයක් "විසංයෝජනය" කිරීමේ හැකියාව ඔවුන් සතුව නොමඳ ව ඇත.තම පක්ෂයෙන් ම තමාට එල්ල වී ඇති අභියෝගය හමුවේ ගැලවීමේ මාවතක් විවර කර ගැනීමට සිරිසෙනට හකි වන්නේ ද , 'කම් ඕ ගෝ චිකාගෝ ''ක්‍රමයට ජනපති වරණයකට බෙල්ල දීමෙන් පමණි.
******************************************************
****************************************************
Comments
Post a Comment