------------------------------------------------------------------------------------
2019 ඔක්තෝබර් 20 ජනපතිවරණ විශේෂ කලාප අංක 1 ------------------------------------------------------------------------------------
ජනපතිවරණයේ දී සජිත් සහ ගෝඨාභය
පරාජය කළ යුත්තේ මන්ද?
එය කළ හැක්කේ කෙසේද?
2019 නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනපතිවරණයට තවත් ඇත්තේ හරියටම දින 25කි. මෙම ජනපතිවරණය ශ්‍රී ලාංකික ජනතාවට අතිශයින් ම තීරණාත්මක ය.ඇත්ත වශයෙන් ම පෙර නොවූ විරූ ලෙස තීරණාත්මක ය. එය එසේ තීරණාත්මක වී ඇත්තේ, මෙවන් අවස්ථා වලදී, තත්වය බැරෑරුම් කර දක්වනු පිණිස අවස්ථාවාදීන් විසින් යොදා ගන්නා හුදු විශේෂණ පදයක් ලෙසින් නො ව, පැහැදිලි ව කාටත් දැක ගත හැකි , පවතින තත්වය විසින් ම උත්පාදනය කෙරුණ විෂයබද්ධ සාධකයන් අනුව ම ය. එම සාධකයන් නම්,1) පොදුවේ ගත් කල , ධනේශ්වර ක්‍රමයේ රාමුව තුළ විසදීමේ හැකියාවක් නැති මූලික ප්‍රශ්න, මෙරට අන්ත බංකොළොත් ධනේශ්වර
පක්ෂවල සහ සන්ධානවල ආණ්ඩු යටතේ විසදිය නොහැකියාවේ පරක් තෙරක් නොමැති ආගාධයකට වැටී තිබීම
2) සියලු මූලික සංඛ්‍යාලේඛනවලින් තහවුරු ව ඇති ආර්ථිකයේ මේ දරුණූ අර්බුදකාරී තත්ත්වයන් පයිසෙකට මායිම් නොකරමින් , ඡන්ද ගරා ගැනීමේ දේශද්‍රෝහී ඒකායන අරමුණින් එකිනෙකා පරයමින් ලවක් දෙවක් නැතිව දෙන අමුම අමු බොරු පොරොන්දු මගින් , ප්‍රධාන යැයි කියා ගන්නා පක්ෂ දෙකේ අපේක්ෂකයන් දෙදෙනා ජනතාවගේ ඇස්වලට පිරෙන්නට වැලි ගැසීමට අමතර ව , බේරි යාමට නොහැකි වංක ගිරියක රට නන්නත්තාර කරන බව ඉර හද සේ පැහැදිලිව තිබීම
3) කළ යුත්තේ කුමක්ද යන්න වෙනුවට ජනපතිවරණය ජය ගත හැක්කේ කෙසේද යන්න සියල්ලට වඩා ඉහළින් තබන මොවුන් , තමන් පාරම්බාන නීති ගරුක රට හැදීමට අමුඩ ගසන්නේ, රටේ මූලික ම නීතීය වරක් දෙවරක් නො ව ,ඉඩ ලැබෙන හැම විට අමු අමුවේ උල්ලංගණය කොට රටේ ඉහළ ම අධිකරණයෙන් මස්තබාල්දු වූ එම්. සිරිසේනට දිය හැකි හැම වරදානයක් ම දීමට රහසේ පමණක් නොව විවෘතව ම ද ක්‍රියා කරමිනි.ඔහුට එරෙහිව වචන මාත්‍රයකුදු සිය ශ්‍රී මුඛ තුළින් පිට නොකිරීමේ දී මොවුන් පෙන්වන්නේ තමන්ට සහායක් ලබා ගත හැකි නම් නීතිය වල්වැද්දවීමට දෙන්නා ම එක පයින් සහාය දෙන බවය.
4) බොහෝ කලක් ජනතාව මුලා කිරීම මගින් අත් කර ගත් ඡන්ද පදනම් නිසා පමණක් ප්‍රධාන පක්ෂ බවට පත්ව සිටින යූඇන්පියේ සහ පොහොට්ටුවේ (සහ මලගිය ප්‍රාණකාර ශ්‍රිලනිපයේ ) අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් සහ ගෝඨාභය යන දෙදෙනා ම , එකෙක් ඒකාධිපති විභවයකින් යුතු තනිකර මොට්ටයකු ද අනෙකා තනිකර ඒකාධිපතියකු ද වීම නිසා ඔවුන් අතරින් කිසිදු තෝරා ගැනීමකට මොනම ඉඩක්වත් නොමැති වීම.මින් සජිත් ප්‍රෙම්මදාස අවම වශයෙන් තම පක්ෂය වෙනුවෙන්වත් පෙනීනොසිටින , ඒ වෙනුවට තමා සමාජයේ සියලු පන්තීන්ට ඉහළින් සිටිනා ගලවුම්කරුවකු (අප්‍රකාශිත දියසේන කුමාරයා)
ලෙස හුවා දක්වන්නකු වන අතර ගෝටාභය හුදෙක් ම සිය පවුල රාජ්‍ය බලයෙහි පිහිටුවා 2015 දී බිද වැටුණ පවුල් පාලනයේ ඒකාධිපතිත්වය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට කැස කවමින් සිටියි.
5) තත්වයේ තීරණාත්මක බව වඩාත් උග්‍ර වන්නේ , සමාජය මත ඒකාධිපතිත්වයක් පැටවීමට වළිකන අන්ත ප්‍රතිගාමී මිලිටරි බලවේගයන් සහ පූජක පෙළැන්තීන් මත පදනම් වීමට මේ දෙදෙනා ම එකිනෙකා පරයමින් දරන ප්‍රයත්නය නිසා ය.මෙහි දී ඔවුන් දෙදෙනා කරන ප්‍රකාශයන් ඔවුන්ගේ ඒකාධිපති අභිලාසයන් මනාව ගෙනහැර දක්වන අතර , ඔවුන් දෙදෙනාගේ සහායක මිලිටරි සහ පූජක ඇම්බැට්ටයෝ ද තම තමන්ගේ ම්ට්ටමට සරිලන සේ රට හැදීමට හිට්ලර් කෙනකුගේ අවශ්‍යතාව ජනතාවට ඒත්තු ගැන්වීමට විවිධ දහංගැටවල නියුක්ත වෙමින් සිටිති.
මේ තත්වය තුළ දී සජිත් සහ ගෝටාභය දෙදෙනා ම පරජය කිරීම රට සහ ජනතාව හමුවේ ඇති මූලික ම කර්තව්‍යය බවට පත්ව ඇත.එය තරම් පැහැදිලි අන් දෙයක් තවත් නැත. එකෙක් පරදා තමන් ට අවශ්‍ය අනෙකා පත් කිරීම මගින් රට ඒකාධිපතිත්වයෙන් ගලවා ගැනීමේ කයි කතන්දර පරිපූර්ණ මිත්‍යාවන් ය. රටේ අති විශාල බහුතර ජනතාව මොවුන්ගෙන් ගැලවීමේ මාවතක් සොයති.ඔවුන් තවමත් මේ දෙදෙනාගෙන් එකකු පසුපස යන්නේ, තම තමන්ගේ විරුද්ධවාදියා පැරදවීමට වෙනත් මාවතක් විවර වී නැති නිසා විනා,මොවුන්ට ඇති පක්ෂපාතීත්වයක් නිසා නො වේ.
ලොව බොහෝ රටවල ජනතාව ද මෙරට ජනතාව මෙන් ම මෙතුවක් කල් මේ උගුලේ හිරවී සිටියහ.එහෙත් "දන් නම් හොදට ම ඇති ය'' (enough is enough" )යන නිගමනයට පැමිණි එම රටවල ජනතාව, තමන් දිගු කලක් තිස්සේ හසුව සිටි උගුල කඩා දමා සාම්ප්‍රදායික පක්ෂවල ග්‍රහණය කුඩුපට්ටම් කර දැමීමට ඉදිරියට පැන්නාහ. එය සිදු වූයේ පසුගාමී රටවල පමණක් නො වේ; වර්ධිත ධනේශ්වර රටවල එය එසේ සිදු විය. එය එසේ සිදු වූයේ අරයට ඡන්දෙ දුන්නොත් අහවලා බලයට එන බව කියමින් එම සාම්ප්‍රදායික පක්ෂවල ග්‍රහණයේ සදාකාලික ව ජනතාව කොටුකර තැබීම සිය ජීවිකා වෘත්තිය කර ගත් පන්දම්කාර බුද්ධිමතුන් තුට්ටුවට මායිම් නොකරමිනි. එසේ කිරීමේ දී ඔවුහු තම නියෝජිතයන් බවට විවිධාකාර අදේශපාලනික පුද්ගලයන් ව යොදා ගැනීමට පවා ක්‍රියා කළහ. මෙහි ආසන්නතම සහ ප්‍රබල ම නිදසුන වූයේ යුක්‍රේනයේ ජනපති අපේක්ෂකත්වයට විකට නළුවකු යොදා ගැනීමය; ඔහු සියයට 70ක් තරම් විශාල චන්ද ප්‍රමාණයක් ලබා ජයග්‍රහණය කිරීමට සමත් විය.සාම්ප්‍රදායික පක්ෂවල ග්‍රහණයෙන් මිදීමට එම රටවල ජනතාව තුළ තිබුණාක් වැනි පිපාසයක් මෙරට ජනතාවට නොතිබීමට කිසිදු හේතුවක් නැත. මෙරට එම පක්ෂවල නායකයන් හැම එකා ම හැසිරෙන අන්ත ජුගුප්සාජනක , බඩගෝස්තරවාදී ,මමත්වයෙන් ඉහවහගිය ආකාරය අනුව, මුන්ගෙන් ගැලවීමට මෙරට ජනතාවට ඇති අවශ්‍යතාව එම රටවල ජනතාවට තිබූ එම අවශ්‍යතාවට වඩා දහස්වාරයක් වැඩි බව ඉදුරා ම පැහැදිලි ය. එය මල්පල ගැන්වීමට ඇති ඉමහත් ම බාධකය වී ඇත්තේ මොවුන් බලයේ දිගින් දිගටම තබා ගැනීමට ඉවහල් වන පරණ හම්පඩ ගැහුණ තර්ක ඉදිරිපත් කිරීමට පැන ගෙන එන්නාවූ , ජනතා මතය කිරීමේ බුද්ධිමය බලය හිමිකර ගෙන සිටින කොටස් ය.
අපේ මෙම කරුණු දැක්වීම මෙරට ජනතාවට අදාළ නොවන බව මෙම කොටස් එකහෙලා කියනු ඇත .ඔවුන්ට අනුව මෙරට ජනතාව අමු මෝඩයන් ය. ඔවුහු වෙනස් නොවෙති. මෙම මුග්ධ ප්‍රකාශය එවැන්නක් බව මෙරට ජනතාව වරින් වර සිය ඡන්ද බලය මගින් ම පෙන්වා දී ඇති අතර එහිලා විශිෂ්ටතම නිදසුන ඉතිහාසගත වූයේ 2004 මැතිවරණයේ දී ය. ජනතා විමුක්ති පෙරමුණ එම මැතිවරණයේ දී ආසන 40 ක් දිනා ගත්තේ ශ්‍රිලනිපයේ මන්ත්‍රීන් දෙවැනි, තුන්වැනි සහ හතරවැනි තැන්වලට ඇද දමමිනි.එමගින් පෙන්නුම් කෙරුණේ තම ඡන්දය මගින් යූඇන්පීයට දිනීමේ අවස්ථාවක් නැති බව තහවුරු වූ විට තම පක්ෂයේ මන්ත්‍රීන් පළවා හැරීමට එම පක්ෂයේ ඡන්දදායකයන් අද නො ව, අදින් වසර 15ට පෙර පවා සූදානමින් සිටි බවයි. ඒ අනුව , අද අවශ්‍ය වනුයේ සජිත්ට ඡන්දය නොදීමෙන් ගෝටාභය හෝ, ගෝටාභයට ඡන්දය නොදීමෙන් සජිත් හෝ දිනවීම නො ව, ඔවුන් දෙදෙනා ම පරාජය කිරීමේ හැකියාවක් ඇති අන් අපේක්ෂකයකු බලයට පත් කළ හැකිය යන විශ්වාසය එම පක්ෂ දෙකට ඡන්දය දෙන ජනතාව තුළ තහවුරු කොට ඔවුන්ගෙන් සෑහෙන කොටසක් අන් අයකුට චන්දය දෙන තත්වයකට් පරිවර්තනය කිරීමට සටන් වැදීම ය.එය කළ හැකි වනුයේ එම සටන් ගෙන යන ආකාරයේ ප්‍රවේගය සහ පරිමාණය අනුව ය.
දැන් මතු වන වඩාත් වැදගත්, අතිශයින් ම මතභේදාත්මක කරුණ වන්නේ අර දෙන්නාට එරෙහි ව යොදා ගත හැකි අපේක්ෂකයකු සිටී ද යන්න ය. ඒ දෙන්නා ම පරාජය කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී නැතැයි කියන්නේ නම් , ඉතිරි 33 දෙනාගෙන් ඕනෑම අපේක්ෂකයකුට ඡන්දය දිය හැක; නොදී ඉන්නටත් පුළුවන. එහෙත් ඒ දෙදෙනා ම පරාජය කළ යුතු බව පිළිගන්නේ නම් , ඒ සදහා තේරීමක් කිරීමට හැකියාවකුත් තිබේ නම්, ඒ තේරීම කළ යුතු ය. තේරීම කළ යුතු වන්නේ ඡන්ද පත්‍රිකාවේ ඇති නම් වලින් මිස , පිටින් සිටින පරමාදර්ශී චරිතයකින් හෝ පක්ෂයකින් හෝ නො වේ.
මාක්ස්වාදීන් අන් අවස්ථාවන්හි දී මෙන් ම මැතිවරණයන්හි දී ද සිය ස්ථාවරය සහ උපාය මාර්ගයන් සකස් කර ගනුයේ, සිය මනෝමූලික හැගීම් අනුව නො වේ; දේශපාලන යථාර්ථයන් මගින් ඉස්මතු කරන එක් කරුණක් (එය කෙතරම් වැදගත් වුවත්) අන් කරුණුවලින් හුදෙකලා කර ගෙන ද නො වේ; අදාළ සියලු සාධකයන් ඒවායේ සියලු අන්තර් සම්බන්ධතාවන් සමගින් සැලකිල්ලට ගනිමිනි.ඒ අනුව , ගෝටාභය සහ සජිත් යන දෙදෙනා ම පරාජයට පත් කිරීම ජනපතිවරණයේ දී ඉටු කර ගත යුතු මූලික ම කාර්යය ලෙස සලකමින් , එම කාර්යය ඉටු කර ගැනීමෙහිලා යොදා ගත හැකි උපකරණය ලෙස ජාතික ජනතා බලවේගයේ මාලිමාව ලකුණට ඡන්දය දෙන ලෙස සියලු ම ඡන්දායකයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ ; එහි ජයග්‍රහණය වෙනුවෙන් අපි අපට හැකි උපරිමයෙන් කටයුතු කරන අතර, එසේ කරන ලෙස අන් අයගෙන් ද ඉල්ලා සිටිමු. එසේ සහාය පළ කිරීම ප්‍රතික්ෂේප කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ අතීත ක්‍රියාකාරකම් හෝ එහි නිර්මාක්ස්වාදී දේශපාලනය හෝ හේතුවක් කර ගන්නා අයට අප කියා සිටින්නේ , දේශපාලන තත්ත්වයන් විසින් ඉල්ලා සිටින හෙයින් මාලිමාවට ඡන්දය දෙන අප ද එසේ දෙන්නේ එම කරුණු අමතක කොට නො ව , ඒවා නොතකමින් බව ය; අපේ සහාය විවේචනාත්මක සහයෝගයක් බව ය.ඉදිරි කලාප තුළ දී මේ කරුණ වඩාත් පැහැදිලි කරමු.
Comments
Post a Comment