-------------------------------------------------------------------------------------------------------------
 2019 ඔක්තෝබර් 22              ජනපතිවරණ විශේෂ කලාප අංක 2 
-------------------------------------------------------------------------------------------------------------

                 සජිත් සහ ගෝඨා පැරදවීමට  
            මාලිමාවට ජන්දය දිය යුත්තේ ඇයි ?
 2019 ජනපතිවරණයේ එක් සුවිශේෂතාවක්  වන්නේ , මීට ඉහත කාලවල දී එක් පොදු සතුරකු පැරදවීමට තවත් පොදු සතුරකු වටා රොක් වීමේ සිරිත යට ගොස් , එම ඉපැරණි පොදු සතුරන් දෙදෙනාම එකට කුදලා පරාජය කළ යුතු ය යන  මතය,  රටේ අති විශාල  ජන කොටසකගේ මතය බවට  පත් ව , වර්ධනය වෙමින්, ගැම්ම ගනිමින් තිබීම ය.එක් අතකින් , සිය කුරිරු ඒකාධිපති  ස්වභාවය සිය භාවිතය තුළින්ම ලොවට ප්‍රදර්ශනය කොට ඇති සහ නීතියේ ආධිපත්‍යයට කොකා පෙන්වීම සියොළගම වෙළා ගෙන ඇති බව මේ මොහොත දක්වාම සිය හාවිතය තුළින් පෙන්වීමෙහිලා කිසිදු ලජ්ජා භයක් පෙන්වා නැති ගෝඨා භය ය: අනෙක් පසින් , සිය පක්ෂය හුදෙක් ජනපති වීමෙහිලා ඉණිමගක් ලෙස පාවිච්චි කරන අතර ම එය ද තුට්ටුව්කට මායිම් නොකරමින් තමාටම සුවිශේෂි වූ ක්‍රමයකට පෞද්ගලික ඒකාධිපතිවයක් ඇටවීම තම ඒකායන අරමුණ බව හුස්මක් කටක් නොගෙන ගෝරනාඩු කරමින් ලොවට හෙළි කරන  සජිත් ප්‍රේමදාස හෙවත් "පියාණෝ" ගේ පුතාණෝ ය. මේ දෙන්නා අතරින්  තෝරා ගැනීමක් ගැන සිතීමක්වත්  තිබිය නොහැකි බව,  මොහොතක් මොහොතක් පාසා  , එය තවමත් තේරුම් නොගත් ජනතාවගෙන්  වඩ වඩාත් වැඩිවන කොටස්වලට ඔවුන් විසින් ම   තේරුම් කර දෙනු ලබමින් ඇත.
   මෙම ලිපියෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ කෙරුවාව තවතවත් විස්තරාත්මකව ගෙන හැර හැක්වීම නො වේ.මොවුන් දෙදෙනා ම පරාජය කිරීමට නොවැම්බර් 16දා කුමක් කළ යුතු ද යන ප්‍රශ්නයට මුහුණ දී ඇති ජනතාවට , ඒ සදහා ඇති එකම මාවත ජාතික ජන බලවේගයේ  මාලිමාවට චන්දය දීම පමණක් බව තහවුරු කිරීම ය.  
   සජිත්ට සහාය දී ගෝඨාභයත්, ගෝඨාභයට සහාය දී සජිත්වත් ජනපති කොට රට බේරා ගැනීමට සිහින මවන අය මෙන්ම,  මේ දෙදෙනාටම එරෙහිව ඉදිරිපත්ව සිටින "සමාජවාදී" නාමධාරී පක්ෂවල අය ද  අපේ මෙම ස්ථාවරය මාක්ස්වාදයට පටහැනි යයි  ශබ්ද පූජා පවත්වනු ඇත.
   මාක්ස්වාදීන් සිය මැතිවරණ උපාය මාර්ගයන් සකස් කර ගනුයේ , තම තමන්ගේ සිත් තුළ පවත්නා අශාවන් අනුව නොවේ; පවත්නා දේශපාලන තත්වයන් සහ ඊට අදාළ අනෙකුත් කරුනු ඒවයේ අන්තර් සබදතාවන් තුළ බහා කෙරෙන  විග්‍රහයක් අනුව ය. මුන් ඔක්කොම හොරුන්‍ ය යන ජනප්‍රිය මතය, එය කරුණක් වශයෙන් ගත් කල කෙතරම්  සත්‍ය විය හැකි වුවත් සහ සැබැවින් ම සත්‍ය වුවත්, ඒ මත පිහිටා දිනයේ මතුව ඇති දේශපාලන කර්තව්‍යයන් සාක්ෂාත් කර ගත නොහැක.ඡන්ද කටුගෑම හෝ වර්ජනයන් හෝ, ඕනෑ ම තත්වයක දී නිවැරදි නොවන්නේ ඒ නිසා ය. ගෝටාභය ජය ගත හොත් එකාධිපතිත්වයක් අනිවාර්ය හෙයින් ඔහු පැරදවීම මූලික ම අවශ්‍යතාව වන බවත්, එනිසා  සජිත්ව ජනපති කළ යුතු බවත් ගෝඨා බියෙන් පසු වන  සමහරු කියති; මෙය වූකලී  ඒකාධිපතිත්වයක් ඇටවීම හුදු තනි පුද්ගලයකුගේ කාර්යයකට  ලඝු කිරිමක් වන අතර සජිත් පෙරාපු ප්‍රජාතන්ත්‍රවාදියකු ය යන බොරුව සමාජගත කිරීමේ ප්‍රබන්දයක් ද වේ. ඒ අනුව ,අඩු උවදුර යන මතය  එක් ඒකාධිපතියකුට ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළි පෙරවීමක් මිස   වෙනෙකක් නොවන අතර , කිසියම් හෙයකින් ගෝඨාභය ජය ගත හොත් ඔහුගේ ඒකාධිපතිත්වය හමුවේ ප්‍රජාතන්තවාදය වෙනුවෙන් පෙනී සිටින ජනතාව මුළුමණින්  ම අතරමං කිරීමේ උගුලක් ද වේ.  මේ තත්වය හමුවේ මේ දෙදෙනාගෙන් එක අයෙක් තෝරා ගැනීම වෙනුවට දෙදෙනාම පරාජය කිරිමේ අවශ්‍යතාව රට හමුවට පමුණුවා ඇත්තේ අපේ මනෝමූලික අවශ්‍යතාව  අනුව නොව  ඔවුන් දෙදෙනා  දේශපාලන වේදිකාව මත ස්ථා නගත වී ඇති ආකාරය අනුව ය.
 එසේ නම්, මෙම තත්වයට මුහුණ දිය හැක්කේ  සමාජවාදී යැයි කියා ගන්න පක්ෂ  තමන් පමණක් සමාජවාදී බව තහවුරු කිරීමට ගන්නා  ප්‍රයත්නයන් මගින් නොවේ. කවුරුත් නොදන්නා අලුතින් බිහිවූ කුඩා කණ්ඩායමක් තම දේශපාලනය ජනතාව අතරට ගෙන යාමට ජනපතිවරණයක් යොදා ගැනීම තේරුම් ගත හැකි වුවත්, දශක ගණනක  දේශපාලනය ඉතිහාසයක්  ඇති , ජනපතිවරණයන්ට ද ඉදිරිපත්ව ඇති සංවිධාන සමාජවාදී ක්‍රියා මාර්ග ප්‍රචාරය කිරීමට යයි කියමින් කරන  මැදිහත් වීම් මගින් , අද  මතුව ඇති දේශපාලන කර්තව්‍යය ඉෂ්ට කර ගැනීමට අබමල් රේණුවක පිටිවහලක් නොවේ.රට සහ ජනතාව  බරපතළ  අනතුරකට මුහුණපා තිබිය දී, තම තමන්ගේ සමාජවාදය තම තමන්ට ඒත්තු ගන්වා ගෙන ආත්ම තෘප්තිය ලැබීම හැර අන් දෙයක් මෙම මැදිහත් වීම් වලින් සිදු නොවේ; එසේ සිදු කිරීමේ අපේක්ෂාවක් ද ඔවුන්ට නැත. 
මේ තත්වය තුළ දී  සජිත් සහ ගෝඨාභය දෙදෙනා ම පරාජය කිරීමේ කර්තව්‍යය ඉටුකර ගැනීම සදහා ජනතාව ඒකරාශී කර ගැනීමේ කේන්ද්‍රස්ථානය බවට පත් කර ගත හැකිව තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණි. එහි ප්‍රධාන කොටස්කරුවා වන ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ඉදිරිපත් කළ හැකි සහ කළ යුතු චෝදනා  අනේකවිධ  වුවද, ඉහත දක්වූ කර්තව්‍යය ඉටු කර ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින ජනතාව  අද එක්‍ රොක්ව සිටින සහ, එනිසා ම එය ඉෂ්ටප්‍රාප්ත කර ගැනීමේ හැකියාවකින් යුතු එකම   බලවේගය එයයි.
  එය ජයග්‍රාහී කිරීමට සක්‍රීය ව මැදිහත්වීම ජනතා විමුක්ති පෙරමුණ  හෝ එහි අපේක්ෂක අනුර කුමාර දිසානායක හෝ  හුවා දැක්වීමක් නො ව, ජනතාවට තිත්තවී ඇති සාම්ප්‍රදායික පක්ෂ ජනතාව මත පටවා ඇති ග්‍රහණය සිද බිද දැමීමේ ඓතිහාසික  කාර්යයෙහි මුල් පියවරයි.මෙම කර්තව්‍යය සාර්ථක වන ප්‍රමාණයට  එම පක්ෂයට සහ අපේක්ෂකයාට වාසියක් අත්වීම ස්වාභාවික අතර එයට කිසිවකු ඊර්ෂ්‍යා  නොකළ යුතු ය ;අමනාප නොවිය යුතු ය. එය එවන් ක්‍රියාවලියක දී ස්වාභාවික ය. ජවිපෙ කෙරෙහි ඇති සිය විරෝධතාව නිසා , අද කළ යුතු දෑ කිරීමට පස්ස ගැසීම අතිශයින් මනෝමූලික බංකොළොත්බවක් වනු ඇත.මෙම ක්‍රියාවලිය  දස ලක්ෂ සංඛ්‍යාත ජනතාව මහා වෙනසකට යොමු කිරීමේ දැවැන්ත මෙහෙයුමක මුල් පියවර පමණි. මාලිමාවට ඡන්දය දීමට ජනතාව  යොමු කිරීමේ ක්‍රියාවලිය තුළ  ජනතාව ගත යුතු මාවතේ ස්වරූපය ගෙන හැර පෑමේදී  මාක්ස්වාදීන් හට වෙනම ගමන් මගක්  විවර වනු ඇත; විවර කර ගත යුතු ය. අප අපට  හදා ගත්  පිට්ටනිවල සෙල්ලම් කිරීම පහසු ය; එහෙත් අපට සිද්ධ  වී ඇත්තේ ධනේශ්වර පාලන විසින් සකසා දෙනු ලැබූ  ජනපතිවරණ පිට්ටනියේ  සෙල්ලම් කිරීමට ය. මේ සෙල්ලමේ දී ඡන්ද පත්‍රිකාව තුළ තිබෙන සලකුනුත් සමග අපට ක්‍රීඩා කිරීමට සිදුව ඇත. මෙවර ඒ සෙල්ලමේ දී මාලිමාව අප තෝරා ගත යුතුව  ඇත.සජිත් සහ ගෝඨා දෙදෙනා ම පරාජය කිරීමේ අතිශය දුෂ්කර සහ බරපතළ කර්තව්‍යය සක්ෂාත් කර ගැනිමෙහිලා ප්‍රථම පියවර ගත් හැක්කේ එමගින් පමණි.

------------------------------------------------------------------------------








 





























 



Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS