.. විප්ලවයේ කලාව සහ විද්‍යාව
ඔක්තෝබර් විප්ලවයේ114 වැනි සංවත්සරය නිමිත්තෙනි
විප්ලවයක අතිශයින් ම නිසැක ලක්ෂණය වනුයේ ඓතිහාසික සිද්ධීන් තුළ කෙරෙන්නා වූ ජනතාවගේ ඍජු මැදිහත් වීම ය. සාමාන්‍ය කාලයන්හි දී රජය, එය රාජාණ්ඩුවාදී වුවත් ප්‍රජාතන්ත්‍රවාදී වුවත්. තමන් ව දේශයට ඉහළින් තබයි. කාර්‍යාවලියට අදාළ විශේෂඥයන් විසින්, එනම්, රජවරුන්, ඇමතිවරුන්, නිලධාරීන්, පාර්ලිමේන්තුවාදීන් විසින් ඉතිහාසය තනනු ලැබේ. එතෙකුදු වුවත්, පැරණි ක්‍රමය ජනතාවට තවදුරටත් නොඉවසිය ඃඅකි වන එම තීරණාත්මක අවස්ථාවන්හි දී තමන් ව දේශපාලන වේදිකාවෙන් වෙන්කොට තබන බාධකයන් ජනතාව කඩා බිඳ දමති; සාම්ප්‍රදායික නියෝජිතයන් අතුගා දමති; තමන්ගේ ම මැදිහත් වීම මඟින් නව පාලනයක් සඳහා වන මූලික පදනම සකසති. මෙය හොඳද නරක ද යනු විනිශ්චය කිරීම අපි සදාචාරවාදීන්ට භාර කරමු. අපි වර්ධනයෙහි විෂයමූලික ගමන් මඟ විසින් දෙනු ලැබ ඇති සත්‍ය කරුණු ඒ හැටියෙන් ම ගනිමු. අපට නම් විප්ලවයක් ඉතිහාසය වූකලී, අන් සියල්ලටමත් පෙර, ස්වකීය ඉරණම සම්බන්ධ පාලනයේ රාජධානිය තුළට කෙරෙන්නා වූ ජනතාවගේ බලහත්කාරී ප්‍රවේශය ප්ඊළිබඳ ඉතිහාසය වන්නේ ය.
විප්ලවය මඟින් අත්පත් කර ගනු ලැබූ සමාජයක් සිටින පංතීහු ගැටුමට මැදිව සිටිති. එසේ ද වුවත්, යුග ගණන් පැරණි ආයතනයන් කෙටි කලල් අතර තුරදී පෙරළා දැමිය හැකි වූත් නව ආයතන නිර්මාණය කළ හැකි වූත් යළි ඒවා පෙරළා දැමිය හැකි වූත් විප්ලවයේ ග්මන් මග පැහැදිලි කර දීමට, සමාජයේ ආර්ථික පදනම් තුළට සහ පංතීන්ගේ සමාජමය උප ස්ථරයන් තුළට විප්ලවයක් ආරම්භයේ දී සහ අවසානයේ දී ප්‍රවේශ කෙරෙන වෙනස්කම් ප්‍රමාණවත් නොවන බව ඉතා පැහැදිලි ය. විප්ලවීය සිද්ධීන්ගේ ගතිකත්වය ඍජු ව ම තීරණය කෙරෙනුයේ, විප්ලවයට පෙරතුව ම සැකසුණා වූ ප්ංතීන්ගේ මානසික තත්ත්වයෙහි වේගවත් , තියුණු සහ චිත්තවේගාත්මක වෙනස්කම් මඟිනි.(වෙළුම 1 -පෙරවදන)
ගොඩ ගත නොහැකි ලෙස රෝගාතුර වූ මිනිසකු මරණය අපේක්ෂා කරමින් සිටින්නාක් මෙන්, දේපොළ හිමි පංතීහු සැප්තැම්බරය සහ ඔක්තෝබරය තුළ දී ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙමින් සිටියෝ ය. මුෂීකයන් (ගොවීන්) හට සරත් ඍතුව දෙශපාලනය සඳහා වන කාලයයි. පොළොව හාරනු ලැබේ; මිථ්‍යාවන් විසුරුවා හැරේ; ඉවසීම ක්ෂය වේ.කරුණු කාරණා අවසන් කර දැමීමට කාලය එළඹ තිබේ. ව්‍යාපාරය දැන් දැන් එහි ඉවුරු පිටාර දමමින් ඇත; සියලු දිස්ත්‍රික්ක ආක්‍රමණය කරමින් ඇත ;ප්‍රාදේශීය සුවිශේෂතා පිස දමමින් ඇත; ගමේ සියලු ස්ථරයන් ඇද ගනිමින් ඇත; නීතිය සහ විචක්ෂණබව පිළිබඳ සියලු සලකා බැලීම් පිසදා හරිමින් ඇත; ආක්‍රමණශීලී බවට පත් වෙයි; දරුණු බවට පත් වෙයි; ගිනි ගන්නාසුලු දෙයක් බවට පත් වෙයි. තුවක්කු, රිවෝල්වර සහ අත් බෝම්බවලින් සන්නද්ධ වෙයි; නින්දගම්වල නිවෙස් කඩා බිඳ දමා ගිනි තබයි; ඉඩම් හිමියන් පළවා හරියි. භූමිය සෝදා හරියි.; තැනෙක එය ලෙයින් සෝදා හැරෙයි.
පුෂ්කින්, තුර්ගිනිෆ් සහ තෝල්ස්තෝයි විසින් වර්ණනය කෙරුණ වංශවතුන්ගේ කැදලි අහෝසි ව ගොසිනි. පැරණි රුසියාව ගිනි ගෙන ඇත; ඉංග්‍රිසි උද්‍යාන, වහලුන්ගේ තෙලිතුඩින් නිමා වූ සිත්තම්, පිය උරුමයෙන් එන පුස්තකාල, අසුන්, ඉපැරණි කැටයම් වනසා දැමීම පිළිබඳ අඳෝනාවන්ගෙන් සහ කෝපය පළකිරීම්වල එකතුවක් බවට ලිබරල් පුවත්පත් පත් විය. සිය ස්වාමීන්ගේ "සංස්කෘතිය" සමඟින් ගනුදෙනු බේර ගැනීමේ ගොවීන්ගේ ක්‍රමයේ "ම්ලේච්ඡත්වය" පිළිබඳ වගකීම බොල්ෂෙවිකයන් මත පැටවීමට ධනේශ්වර ඉතිහාසඥයෝ ප්‍රයත්න දරා අත. ඇත්ත වශයෙන් ම රුසියානු මුෂිකයා සම්පූර්ණ කරමින් සිටියේ බොල්ෂෙවිකයන් ලොව පහළ වීමට සියවස් ගණනාවකට පෙරාතුව ඔවුන් ප්‍රවිෂ්ඨ වූ කාර්යයකට ය. ඔහු ඔහුගේ ප්‍රගතශීලී ඓතිහාසික කර්තව්‍යය ඔහු සතු ව තිබූ එක ම ක්‍රමය මඟින් සපුරාලමින් සිටියේ ය. විප්ලවීය ම්ලේච්ඡත්වය මඟින් ඔහු මධ්‍යකාලීන යුගයේ ම්ලේච්ඡත්වය පිසදා හරිමින් සිටියේ ය. තවද, ඔහුවත් ඔහුට පෙර සිටි ඔහුගේ සීයාවත්, ඔහුගේ නත්තා පන්ත්තාවත් අනුකම්පාව හෝ සමාව දීම හෝ කිසි කලෙකත් දැක තිබුණේ නැත . (වෙළුම 3 - පිටි 36/37)
ඉංග්‍රිසි ආප්තයකට අනුව, දේශපාලන පාලනයක ප්‍රධාන කර්තව්‍යය වන්නේ නිවැරදි පුද්ගලයන් නිවැරදි තැන්වලට දැමීම ය. මෙම දෘෂ්ටිකෝණයෙන් ගත් විට, 1917 අත්හදා බැලීම පෙනී යන්නේ කෙලෙස ද? රාජකීය අනුපිළිවෙල අනුව, පළමු මාස දෙකේදී රුසියාව පාලනය කරනු ලැබුවේ සාන්තුවරයන්ගේ මළමිනී කෙරෙහි විශ්වාස කළා වූත් රස්පුටින්ට යටත් වූත් සොබා දහම විසින් අවශ්‍ය පමණින් හිමිකම් ලබා නොදෙනු ලැබූ මිනිසකු විසිනි. ඊළඟ මාස අට තුළ දී ලිබරල්වරුන් සහ ප්‍රජාතන්ත්‍රවාදීන් සිය ආණ්ඩුමය ඉහළ තැන්වල සිටිමින් උත්සාහ කළේ, විප්ලවය සාක්ෂාත් කර ගනු ලැබුවේ සියල්ල පෙර වූ පරිද්දෙන් ම තිබීමට සැලැස්වීම සඳහා බැව් ජනතාවට ඔප්පු කර සිටීමට ය. මේ මිනිසුන් සැලෙන ලෙලෙන සෙවණැලි පරිද්දෙන් කිසිදු ඡායාවකුදු ඉතිරි නොකොට රටින් බැහැර ව යාම පුදුමයට කරුණක් නො වේ. ඔක්තෝබර් 25දා පටන් ජනතාවගේ නායකයා වූයේ, රුසියානු දේශපාලන ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වන ලෙනින් ය. ඔහු වට කොට ගෙන සිටිනු ලැබුවේ, ඔවුන්ගේ වෛරක්කාරී ම සතුරන් පවා පිළිගන්නා අයුරු , තමන්ට අවශ්‍ය කුමක් ද, සිය අරමුණු වෙනුවෙන් සටන් කරන්නේ කෙසේද යනු මනාව දැන සිටි සහායකයන් කණ්ඩායමක් විසිනි. දෙන ලද සංයුක්ත තත්ත්වයන් යටතේ දී, නිවැරදි පුද්ගලයන් නිවැරදි තැන්වලට දැමීමේ හැකියාව තිබුණේ මේ ක්‍රම තුනෙන් කුමකට ද?
මිනිස් සංහතියේ නැග්ම සමස්ත වශයෙන් ගත් විට සොබා දහමේ, සමාජයේ සහ මිනිසා තුළ ම ඇති අන්ධ බලවේග අභිබවා ලැබූ, දැනුවත්කමේ ජයග්‍රහණයන්ගේ අනුපිළිවෙලක් ලෙස සම්පිණ්ඩනය කළ හැක. සොබා දහම සමඟ වූ සටන තුළ දී එහි ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණයන් පිළිබඳ ව අඩම්බර වීමට විවේචනාත්මක සහ නිර්මාණාත්මක චින්තනයට පුළුවන. මිනිසා ද්‍රව්‍යයේ ස්වාමියා වීමට ඔන්න මෙන්න තියෙන අවස්ථාවට භෞතික-රසායන විද්‍යාව දැනටමත් පැමිණ ඇත. එහෙත් සමාජ සබඳතාවන් සකස් වෙමින් ඇත්තේ කොරල් දූපත්වල ආකාරයෙනි. පාර්ලිමේන්තුවාදය ආලෝකය ලබා දී ඇත්තේ සමාජයේ මතුපිටට පමණි; එය ද තරමක් කෘතිම ආලෝකයක් මඟිනි. රාජාණ්ඩුවත් මිනීමස් බුදින්නන්ගේ සහ ගල්ගුහාවල විසූවන්ගේ උරුමයත් සමඟ සසඳන විට, ප්‍රජාතන්ත්‍රවාදය ඇත්ත වශයෙන් ම දැවැන්ත ජයග්‍රහණයකි. එහෙත් එය මිනිසුන්ගේ සමාජ සබඳතාවක් තුළ බලවේගයන්ගේ අඳ ක්‍රියාකාරීත්වයට අත නොතබා එලෙසම පවතින්නට ඉඩ හර ඇත. නොදැනුවත්කම පිළිබඳ මෙම ගැඹුරු අංශයට එරෙහි ව සිය අත් පළමු වරට එසවූයේ ඔක්තෝබර් විප්ලවයයි. මේ දක්වා හුදෙක් ම සමුච්චය වූ ප්‍රතිඵලයන් පමණක් රජැයූ සමාජයේ පදනම තුළට අරමුණ සහ සැලසුම්සහගතබව ගෙන ඒමට සෝවියට් ක්‍රමය අදහස් කරයි.(වෙළුම 3 - පිටු 392/93 )
(වෙළුම 3 - පිටු 392/93 )
(ට්‍රොට්ස්කිගේ "රුසියානු විප්ලවයේ ඉතිහාසය" කෘතියේ 1 සහ 3 වෙළුම්වලිනි)
Comments
Post a Comment