තෙවැනි මුද්‍රණය ඇනටෝල් ෆ්‍රාන්ස්ගේ
                                                       (1924-2024)
                                                                                                                                                                                               සියවස් අනුස්මරණය වෙනුවෙනි

        විදේශයන්හි සිට්න සිංහල පාඨකයන්ට මෙම පොත ලබා ගැනිම දුෂ්කර හෙයින් එය කියවීමට ඔවුන්ට ද හැකි කරනු  වස් "පෙන්ග්වින් දිවයින" මෙසේ මෙහි පළ කරමි.  මෙය පළ කිරිමේදී මතු වූ තාක්ෂණික ප්‍රශ්න නිසා කියවිමේදී  පත් වන යම් යම් අපහසුතාවන් ගැන කල්තියා දැනුවත් කරමි. විශේෂයෙන් ම "ර්" යන්න සඳහන් වන තැන්වල  අකුරු මාරු වී ඇත. පොත මිල දී ගැනීමට අවශ්‍ය අයට එය මගෙන් හෝ මෙරට  ඔන්ලයින් විකුණන අයගෙන් ලබා ගත හැක.

               පළමු මුද්‍රණය 1987 දෙසැම්බර්
               දෙවෙනි මුද්‍රණය 2013 සැප්තැම්බර්
               තෙවැනි මුද්‍රණය 2024 ඔක්තෝබර් 

               අයිතිය පරිවර්තක සතුය
               ෂීඊභ 955-95533-5-6
                       
               මුද්‍ර
               නිව් දිල්රුක් මුද්‍රණාලය 
               70 සිරිල් ජෑන්ස් මාවත පානදුර







                 පෙන්ග්විින් දිවයින

                 ඇනටෝල් ෆ්‍රාන්ස්

                 පරිවර්තනය
                ටී අන්ද්‍රාදි




     ප්‍රථම මුද්‍රණයට  ලියූ පෙරවදනින්
 
පරිවර්තකගේ මෙම පෙරවදන ඉකුත් වූ තැන් සිට ඔබ කියවීම අරඹනුයේ මේ තාක් ඔබට සිංහලෙන් කියවීමට ලැබී නොමැති අමුතු ම ආරක කෘතියකි. 

  අන් සාහිත්‍ය කෘතියක දක්නට නොලැබෙන අමුතු ම ආකාරයක් ගන්නා කර්තෘගේ පෙරවදනින් ද කියවෙන අන්දමට එය ඉතිහාසයකි. එහෙත් එය ඉතිහාසයක්මත් නො වේ. එය ව්‍යාජ - ඉතිහාසයකි. එහෙත් එය හුදු ව්‍යාජ - ඉතිහාසයක්මත් නො වේ. මන්ද යත්, එක් අතකින් එහි ව්‍යාජ - ඉතිහාසය, සැබෑ ඉතිහාසය දිග හැරුණ ක්‍රියාදාමය හා සමාන්තරව ගමන් කරන්නක් වන නිසා ය. අනෙක් අතින් එහි රචනා ශෛලිය ඉතිහාසඥයකුගේ රචනා ශෛලිය සමඟ මුසු වූ සාහිත්‍යකරුවකුගේ රචනා ශෛලියක් වන නිසා ය. 
එක් අතකින් එය නවකථාවකි. එතෙකුදු වුවත් එය සාමාන්‍ය වශයෙන් දක්නා නවකථාවකට වඩා වැඩි වූවකි. තවත් අතකින් එය කතා එකතුවකි. එතෙකුදු වුවත් එය අරාබි නිසොල්ලාසය හෝ බොකච්චෝගේ “දෙකාමෙරෝන්“ හෝ වැන්නක් නො වේ. සත්තකින් ම එය පන්සිය පනස් ජාතකය වැනි කතා එකතුවක් නම් නො වන්නේ ම ය. මන්දයත්, එය හුදු කතා එකතුවක් නොවීමට අමතරව මිථ්‍යාවන් තහවුරු කිරීමේ පරිශ්‍රමයක් වනු වෙනුවට ඒවා උපහාස සාගරයක පතුළට ම ගිල්වා දමනු ලබන නිසා ය.  
  ය මේ සියල්ලේ අපූරු සංයෝගයකි. එයින් නිම වී ඇත්තේ අපූරු ප්‍රබන්ධයකි.  
කර්තෘගේ ලෝක දෘෂ්ඨිය ගෙන හැර දැක්වෙන තාක් දුරට එය ප්‍රචාරකවාදී ය. එහෙත් එය කලාත්මකභාවය නසන, ප්‍රචාරකවාදය කලාවට ඉහළින් තබන, තම මතය බලහත්කාරයෙන් පාඨකයාගේ උගුර පහළින් යැවීමට තතනන, අර කමකට නැති ප්‍රචාරකවාදය නො වේ. විවිධ චරිතයන්හි ක්‍රියාකාරීත්වය තුළින්, ඔවුන්ගේ මතිමතාන්තර සංවාද අනුසාරයෙන් දීර්ඝව ගෙන හැර දැක්වීම තුළින්, කතුවරයා වරින් වර මැදිහත් වෙමින් උපේක්ෂා සහගත ව කරන සියුම් උපහාසය තුළින් ප්‍රචාරකවාදී නො වන අයුරකින්, අවශ්‍ය ප්‍රචාරය අපූරු ලෙස සිදු කෙරේ. ඒ අනුව මෙය කලාව යථාර්ථයෙන් වියුක්ත කර හුදු මනෝ ලෝකයකට ගෙන යාමේ ප්‍රවණතාවට මෙන් ම  හුදු ප්‍රචාරක අවියක් ලෙස කලාව පිරිහීමට සලස්වන ප්‍රවණතාවට ද අයත් වූවන් හට බොහෝ දේ ඉගෙන ගත හැකි කෘතියකි. 
 
   රැබෙලේ, වොල්යොර්, ඔස්කා වයිල්ඩ්, ජෝර්ජ් බර්නාඩ් ෂෝ වැනි උපහාසය ආත්ම කොට ගත් ජගත් සාහිත්‍යධරයන් අතලොස්ස අතර ඇනටෝල් ෆ්‍රාන්ස්ට හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. ඔහුට එම ස්ථානය ලබා දීමට “පෙන්ග්වින් දිවයින” ම වුව ප්‍රමාණවත් ය. මෙහි එන සෑම පරිච්ඡේදයක් පමණක් නො ව, පිටුවක් පමණක් නො ව ඡේදයක් ම පවා උපහාසය ආත්ම කොට ගෙන ඇත. එය හුදු හිනැස්සීම හැර අන් අරමුණකින් ඇර නල්ලතම්බිවාදි උපහාසය නො ව, ආගමික, සදාචාරමය, සමාජමය හා දේශපාලනමය වංචාවන්, මිථ්‍යාවන්, පුහු මාන්නයන්, කුහකකම් නිරානුකම්පිකව සහ අභීතව හෙළිදරව් කරන්නා වූත්, ඒ අනුව ඒ සියල්ල දෙස ආපසු හැරී බලන ලෙස පාඨකයාගේ හදවතට පමණක් නො ව බුද්ධියට ද බුද්ධියට පමණක් නො ව හදවතට ද සංඥා කරන්නා වූත් උපහාසයකි.  
ප්‍රාන්ස් උපහාසයෙහිලා උච්චස්ථානගත වීම මෙම කෘතියෙන් සනිටුහන් වෙයි. මුළු ඇනටෝල් ෆ්‍රාන්ස් ම මෙහි දැකිය හැක. එහෙත් ඔහුගේ එම විශිෂ්ට උපහාසය දකිය හැක්කේ මෙම කෘතියේ පමණක් නො වේ. කුඩා ළමයකු සිය කතාව කියන ආකාරයෙන් ලියා ඇති “කුඩා පියෙර්” වැනි ග්‍රන්ථයක් පවා මෙම උපහාසාත්මක ලක්ෂණය නොමඳ ව දැකිය හැක. කෘතියක ගැඹුරු බව පිරිහෙළනු වෙනුවට එය ඉහළ නංවාලන අයුරින්, එය ඔප් නංවාලන අයුරින්, උපහාසය යොදා ගැනීම පිළිබඳ විශිෂ්ටතම නිදසුනක් ඇනටෝල් ෆ්‍රාන්ස්ගෙන් සැපයේ.  
“පෙන්ග්වින් දිවයින“ ලිවීමේ දී ෆ්‍රාන්ස් දැක්වූ එඩිතරභාවය පිළිබඳව වරෙක මැක්සිම් ගෝර්කි සඳහන් කළේ ය. සත්තකින් ම එය එවන් එඩිතරකමක ප්‍රතිඵලයක් බව එහි සඳහන් කෙරෙන කරුණු සමුදාය අනුව මනාව පැහැදිලි වේ. 1908 ප්‍රංශ පාලක පංතිය මෙන් ම, 1980 ලොව පුරා සිටින සියලු ම පාලක පංතීන් ද මෙහි කියැවෙන දෙයට රවනු ඔරවනු විරවනු ඇත. ෆ්‍රාන්ස් සම්බන්ධයෙන් ගත් කල, ඔහු මෙවැන්නක්  පළ කිරීමට තරම් එඩිතර කර වූ සාහිත්‍ය සම්ප්‍රදායක් උරුම කර ගෙන පිටියේ ය. එය 1789 ශ්‍රේෂ්ඨ ප්‍රංශ විප්ලවයෙන් පන්නරය ගැන් වී තිබූවකි. 
ඇනටෝල් ෆ්‍රාන්ස් (ඔහුගේ නියම නම ෂක් ඔත්ත්වාන් අනතෝල් තිබෝ ය.) උපත ලැබුවේ 1844 අප්‍රේල් 16 වැනි දා පැරිසියේ දී ය. ඒ වන විට ප්‍රංශ විප්ලවයෙන් අඩ සිය වසක් ගෙවී තිබුණි. එම විප්ලවයට පෙරාතුව රැබලේ නැමැති පූජකයකු විසින් ආගමේ මූලික පදනම “ගාගන්තුවා සහ පන්තාගෘවෙල්” නැමැති සිය කෘතිය මඟින් උපහාසයට ලක් කර තිබුණේ, උපහාසය ජුගුප්සාව උපදවන තරමට සීමාව ඉක්මවා ගෙන යමිනි. ෆ්‍රාන්ස්ගේ උපතින් හතරවැනි වසරේ සිදු වූ 1848 විප්ලවයත්, 1851 ලුවී නැපෝලියන්ගේ පාර්ලිමේන්තු කුමන්ත්‍රණයත්, 1871 ශ්‍රේෂ්ඨ පැරිස් කොමියුනයත් තුළින් මේ සම්ප්‍රදාය වැඩිදුර විකාසනය විය. තේන්, රෙනාන් යනාදිීහු මෙහිලා දායක වූහ. 20 වැනි සියවසේ මුල් කාර්තුව තුළ මෙම සම්ප්‍රදාය මූලික වශයෙන් ම නියෝජනය කළ තැනැත්තා ෆ්‍රාන්ස් විය.  
ෆ්‍රාන්ස්ගේ පියා පැරීසියේ මලක්වේ වීදියේ පොත් සාප්පුවක් පවත්වා ගෙන ගිය අයෙකි. ෆ්‍රාන්ස්ගේ ජීවිතය සමඟ සාහිත්‍යය ඓන්ද්‍රිය ලෙස සම්බන්ධ කිරීමේ මුල් පුරුක වූයේ මෙම පොත්හල ය.  
ඔහුගේ ප්‍රථම කෘතිය වූයේ “අල්ෆ්‍රෙයා විඥි” නමැති කිවියා පිළිබඳ කෙරුණ අධ්‍යයනයකි. එය පළ වූයේ 1868 දී ය. එවිට ඔහුගේ වයස අවුරුදු 24 ක් විය. එතැන් සිට 80 වැනි වියේ අවසන් හුස්ම හෙළන තෙක් ම ඔහු ග්‍රන්ථ කරණයෙහි නියුක්ත විය.  
මුල් කාලයේ දී ඔහු පද්‍යකරණයෙහි ද නියැඵණි. 1873 “රන්වන් කවි” නමින් පද්‍ය එකතුවක් පළ කළ ඔහු 1876 දී “කොරින්ති හි මංගලෝත්සවයන්“ නමින් පද්‍යයෙන් රචිත නාට්‍යයක් පළ කළේ ය. 
ඉන් මඳ කලක් ගෙවී යත් ම ඔහු ගද්‍යයට නැඹුරු විය. එයින් ආපසු හැරීමක් සිදු නො වී ය. ඔහු නවකථා ගණනාවක කතුවරයා බවට පත් විය.  
1879 පළ කෙරුණ “ෂෙකාස්ත් සහ සාගිනි බළලා” ඔහුගේ ප්‍රථම නවකථාව විය. ප්‍රංශ සාහිත්‍යය තුළ නවකථාකරුවකු වශයෙන් ඔහුගේ නම ස්ථාපිත කිරීමේ ප්‍රථම පියවර තැබුණේ 1881 පළ කෙරුණ“ සිල්වෙස්ත්‍ර බොනාගේ අපරාධය“ නම් වූ නවකථාව මගිනි. පසු කලෙක ඔහු කියා සිටි පරිදි එය ලියවුණේ ම, ප්‍රංශ සාහිත්‍ය ඇකඩමිය වෙත නෙත් හෙළා ගෙන ය. අපේක්ෂිත පරිදි ම ඔහුගේ නවකථාව ඇකඩමියේ පිළිගැන්මට ලක් විය. සිය පොත් අතරට ම වී එක්ටැම් ගෙයක ජීවත් වූ විද්වතකු, දෛනික ජිවිතය මගින් නිරතුරුව ම වික්ෂිප්ත කරනු ලබන ආකාරය පිළිබිඹු කළ මෙම කෘතිය, ෆ්‍රාන්ස් ගේ ගෞරවාදරයට බඳුන් වූ රෙනාන් නමැති සාහිත්‍යධරයාගේ ජීවන පුවත් ඇසුරෙන් රචිත යයි සැළකේ.  
ෆ්‍රාන්ස් විසින් රචිත අන් කෘතීන්ගෙන් බොහෝ සෙයින් වෙනස් මගක් ගන්නා, සාමාන්‍යයෙන් නවකථාවක තේමාවන් ලෙස ගැනෙන භවාතිශය කතා පුවත් රැගත් නවකථා අතලොස්සක් වේ. ඉන් එකක් 1890 පළ කෙරුණ “තායිස්  ය. තවෙකක් 1894 පළ කෙරුණ “රතු ලිලී මල” ය. මෙම කතා වස්තූන්, ඔහුගේ ජීවිතයට බෙහෙවින් ම බලපෑම් කළ ආමන් ද කයාවෙත් ආර්යාව නිසා ඔහු තුළ ජනිත කෙරුණ චිත්තාවේගයන් ප්‍රකාශයට පත් කරයි. මැය හේතු කොට ගෙන ෆ්‍රාන්ස්ට සිය බිරියගෙන් දික්කසාද වීමට සිදු වූ අතර, ෆ්‍රාන්ස් අනිතිමේ දී ඇයගේ ග්‍රහණයෙන් මිදුණේ බලවත් අරගලයක ප්‍රතිඵලය ලෙස ය.  
ඔහු සමාජ - දේශපාලන ප්‍රශ්න ඉස්මතු කෙරෙන සාහිත්‍ය කෘති ලිවීම අරඹනුයේ 1898 ගණන්වල ය. එහි මුල් අවස්ථාවන් දැකිය හැක්කේ 1893 පළ කෙරුණ “පෙදෝක් රැජින” නම් වූ නවකථාවෙහි ය. විවිධාකාර ගුප්ත විද්‍යාවන් මෙහි දී උපහාසයට ලක් කෙරුණ අතර, එම වසරේ ම පළ කෙරුණ “ජෙරෝම් ක්වාඥ මයාගේ සංකල්ප” තමැති කෘතියෙන් අධිකරණය, හමුදාව වැනි රාජ්‍යායතන උපහාසයට ලක් කෙරුණි. එතෙකුදු වුවත්, ඔහු තවමත් සමාජ - අක්‍රමිකතාවයන් විවේචනයට ලක් කළේ මඳ වශයෙනි.  
ඔහු ඒවා පිළිබඳව වඩා සෘජු ලෙසකින් සලකා බැලෙන කෘතීන් ලිවීම ඇරඹුවේ 1894 සිට ය. “සමකාලීන ඉතිහාසය” මැයෙන් පළ වූ වෙළුමි හතරකින් යුතු නවකථාව ලියූ තැන් සිට ඔහුගේ සෑම නවකථාවක් ම සමාජ දේශපාලන ප්‍රශ්න සමඟ කෙළින් ම බැඳී තිබෙනවා පමණක් නො වේ. ඒවායේ තේමාවන් ද එවන් ප්‍රශ්න ය.  මෙකල මුළු ප්‍රංශය ම සොලවා ලූ ද්රෙෆී සිද්ධිය නමින් ප්‍රචලිත, අල්ෆ්‍රෙයා ද්‍රෙෆී නමැති යුදෙව් ජාතික හමුදා නිලධාරියාට එරෙහිව පැවරූ බොරු නඩුව ෆ්‍රාන්ස්ට ඉමහත් සේ බල පෑ අතර, සමාජ - දේශපාලන ප්‍රශ්න තේමා කොටගෙන නවකථා ලිවීමේ මාවතෙහි ඔහු දඩිව පිහිටුවාලීමට ද හේතු සාධක විය. 1908 ලියවුණ මෙම “පෙන්ග්වින් දිවයින“ තුළ පයිරොට් සිද්ධිය නමින් දීර්ඝ ව ගෙන හැර දැක්වෙන්නේ එම සිද්ධියයි. 1901 පළ කෙරුණ “ක්‍රෑන්කබියි” නමැති නවකථාව ද, එම සිද්ධියේ බලපෑම යටතේ ලියැවුනකි. පොලිසියට අපහාස කළ බවට බොරු චෝදනාවකට ලක් කෙරුණ ක්‍රෑන්කබියි නමැති වෙළෙඳකු වටා ගෙතුණ මෙම කෘතිය ධනේශ්වර සමාජ ක්‍රමයට ඔහු තුළ තිබූ විරෝධය අතිශයින් ම දැඩි ලෙස ප්‍රකාශ වූ නවකථාවයි.  මෙකල ඔහු ලියූ ප්‍රධාන කෘතින් අතර, 1908 පළ කළ පෙන්ග්වින් දිවයිනට අමතරව, එම වසරේ ම පළ කළ “ෂන් දාක්ගේ ජිවිත කතාව“,“ ෂක් තූන් බ්‍රෝෂ්ගේ රස කතා“ යන ග්‍රන්ථයන් ද, 1906 දී ලියූ“ වඩා හොඳ කාලයක් කරා,” 1905 දී පළ කෙරුණ “සුදු ගල්” යනාදිය ද වේ.  ඉන්පසු පළ වූ ඔහුගේ වැදගත් ම කෘතින් වූයේ, 1912 පළ වුන“ දෙවියෝ පිපාසෙන්“ ( ඨදාි  ්රු ්එයසරිඑ) සහ 1914 පළ වුණ“ දේවදූතයන්ගේ කැරැල්ල“ (ඍැඩදකඑ ධf ඔයැ ්බටැකි ය. බලය සහ ප්‍රචණ්ඩත්වය මෙම නවකථාවන්හි තේමාව විය. පළමුවැනි ලෝක මහා සංග්‍රාමයේ කලු වලාවන් දස දෙසින් නැඟෙද්දී, මිනිසාගේ සමාජවාදි අනාගතය ගැන සැක සංකා පහළ කරමින් තවදුරටත් සර්ව අශුභවාදිත්වයට පත් වන ෆ්‍රාන්ස් කෙනෙකු මෙම කෘති තුළ දැකිය හැක.  මේ වන විට 70 වැනි විය පසු කර තිබූ ෆ්‍රාන්ස්, සිය එක ම දියණියගේ අභාවය නිසා තවදුරටත් හුදෙකලාව සිටියේ ය. එම හුදෙකලාභාවයෙන් ද, පළමුවැනි ලෝක මහා සංග්‍රාමයේ බිහිසුනු විනාශයන්ගෙන් ද ඉමහත් සංතාපයට පත් ව, ඉන් මානසික ව ගැලවෙනු පිණිස ඔහු සිය ළමා කාලයේ සුන්දරත්වය වෙත ආපසු ගමන් කරමින්, ඒවා පසුබිම් කරගෙන නවකථා ලිවීමට යොමු විය. 1918 පළ වූ “කුඩා පියෙර්” සහ 1922 පළ කෙරුණ “සුපුෂ්පිත ජීවිතය” යන නවකථා දෙක එහි ප්‍රතිඵලයකි. ඒවා ඔහු තරුණ කල ලියුූ “මගේ මිතුරාගේ පොත” සහ “පියෙර් නොසියේ” යන කෘති සමඟ අත්වැල් බැඳ ගැනීමක් ද විය.  සිය කෘතීන් තුළින් සමාජ අක්‍රමිකතාවයන්ට විරෝධය දැක්වීමට පමණක් ෆ්‍රාන්ස් සීමා වූයේ නැත. ඔහු දේශපාලන ව්‍යාපාරයන්හි ද නියුක්ත විය. 1871 ශ්‍රේෂ්ඨ පැරිස් කොමියුනය සිදුවන විට 27 වන වියේ පසු වූ ෆ්‍රාන්ස්, එහි පරාජය ගැන සතුටට පත් වූ නමුත්, ජීවිත පරිඥානය ලැබීමත් සමග ම සමාජවාදයට පක්ෂපාතී අයකු බවට පත් විය. දේ‍රෆී සිද්ධිය ඇති වූ විට, එය හෙළි කරනු පිණිස ඔහු ද ක්‍රියා කළේ ය. ආණ්ඩුවත් හමුදාවත් එක්ව බොරු සාක්ෂි ගොතමින් ගෙන ගිය වංචනික වැඩ පිළිවෙලට එරෙහිව විවෘත ව කථා කිරීම නිසා දේශාභිමානි නමැති උපහාර නාමය ලැබුවන්ගේ නම් ලැයිස්තුවෙන් එමිල් සෝලා නමැති සුප්‍රකට ප්‍රංශ නවකථාකරුගේ නම කපා හැරි විට, ඊට විරෝධය පළ කරනු වස්, එම උපහාර නාමය සහිත තමාගේ පළඳනාව ආපසු යැවීමට ෆ්‍රාන්ස් වහා ක්‍රියා කළේය. 1896 දී තමා සාමාජිකත්වය ලැබූ ප්‍රංශ ඇකඩමියට යාම පවා ඔහු අත් හැර දැමී ය. ඔහු ආපසු එයට ගියේ මහලු වියේ දී ය. එදා යළි යළිත් කෙරුණ ආයාචනයන්ගෙන් පසුව ය.  
ෆ්‍රාන්ස් දේශපාලනමය වශයෙන් සමාජවාදී අදහස් දරන්නකු වුවත්, ඔහුගේ එම අදහස් කිසි විටෙකත් ස්ථිරසාර නො වී ය. ඔහු නිරතුරුව ම සංශය වාදයට වැටුණේ ය.“ පෙන්ගවින් දිවයින“ අවසාන භාගයේ දී දැකිය හැක්කේ ද මෙම සංශයවාදයයි. 
1921 දී සාහිත්‍යය පිළිබඳ නොබෙල් සම්මානය ලද ඔහු 1924 දී මිය ගියේ ය.  
දැන් මෙම පරිවර්තනය ගැන වචනයක් කිව යුතු ය. මෙය අදාළ කෘතියේ සම්පූර්ණ පරිවර්තනයකි. මෙහිදී පරිවර්තකයා සිය මූලික අවධානය යොමු කළේ ඇනටොල් ෆ්‍රාන්ස් කෙවැනි අදහස් දරූ කෙවැනි වස්තු විෂයයන් තේමාව කර ගත්, කෙවැනි ශෛලියකින් යුතු සාහිත්‍යධරයකු ද යන්න සිංහල පාඨකයන්ට අවබෝධ කර ගත හැකි වන අයුරු, “පෙන්ග්වින් දිවයින“ එය ලියා ඇති ආකාරයෙන් ම පරිවර්තනය කිරීමට ය. දේශීය තත්ත්වයන්ට ගැලැප්පීම හෝ එක හුස්මට කියවිය හැක්කක් බවට පත් කිරීම හෝ යම් කෘතියක පරිවර්තකයා අනිසි නිදහසක් අත් කර ගෙන, එහි මුලික අර්ථයත් කතුවරයාට සුවිශේෂ වූ ශෛලියත් වනසාලීිමේ ක්‍රමයක් බවට පත්ව ඇති බැව් ප්‍රකට කරුණකි.  
“පරිවර්තකයා වනාහි ද්‍රෝහියෙකි” යන ඉතාලියානු කියමන ජනිතව ඇත්තේ එම කරුණ හේතු කොට ගෙන ය. මෙම කෘතියේ පරිවර්තකයා සුවිශේෂ අවධානයක් යොමු කළේ තමන් එවැන්නකු බවට පත් නොවීමට ය. “පරිවර්තනය මුල් කෘතියට පක්ෂපාති වන්නේ නම් එය සුන්දර නො වේ. එය සුන්දර වන්නේ නම් පක්ෂපාති නො වේ.” යෙව්ගිනි යෙව්තුෂෙන්කෝ නමැති කිවියාගේ ඉහත සඳහන් ප්‍රකාශය පරිවර්තකයා හමුවේ ඇති බරපතළ අභියෝගය මනාව ගෙන හැර දක්වයි. එම අභියෝගය ජය ගැනීමට තම ශක්ති ප්‍රමාණයෙන් මෙම පරිවර්තකයා පරිශ්‍රම දරා ඇත. එය කෙතෙක් දුරට සාර්ථක ද යන්න විමසීම විචාරකයන් වෙත භාර කරමි. 
සාහිත්‍ය කෘතියක් පරිවර්තන කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන්, “පෙන්ග්වින් ප්‍රකාශකයන්“  පරිවර්තනය කළ සම්භාව්‍ය කෘතීන් කීපයක එන පෙරවදන් කීපයක් ම මහෝපකාරී වූ බව කෘතඥ පූර්වක ව සඳහන් කරමි. එමෙන් ම පරිවර්තනය නො කළ යුත්තේ කෙසේ ද යන්න අවබෝධ කරලීම මගින් සම්භාව්‍ය කෘතීන් කීපයක සිංහල පරිවර්තනයන් ද මහෝපකාරී වූ බව කෘතඥ පූර්වකව සඳහන් කරමි

  405 බී රබර්වත්ත පාර
  මෝදරවිල 
  පානදුර
  038-2237470









                                 පටුන 
1 පෙරවදන
 
                 ග්‍රන්ථය 1 :  ආරම්භයන් 
1. ශාන්ත මායෙල්ගේ ජීවිතය      25 
2. ශාන්ත මායෙල්ගේ ධර්මදූත වෘත්තිය  27 
3. ශාන්ත මායෙල් පොළඹවනු ලැබීම    33 
4. හිම සයුරෙහි කෙරුණ ශාන්ත මායෙල්ගේ මුහදු සංචාරය     37 
5. පෙන්ග්විනයන් බෞතීස්ම කිරීම  41
6. දෙව්ලොව සබයක්    45 
7. දෙව්ලොව සබයක් (අවිච්ඡින්නය සහ අවසානය)  55 
8. පෙන්ග්විනයන්ගේ වෙස් පෙරළිය    62
 
                        ග්‍රන්ථය 2 :  පුරාතන කාලය
1. ප්‍රථම ඇදුම් පැළදුම්    64 
2. ප්‍රථම ඇදුම් පැළදුම් (අවිච්ඡින්නය සහ අවසානය)    70 
3. ඉඩම්වලට මායිම් ගැසීම සහ දේපළවල සම්භවය         71 
4. පෙන්ග්වින් ප්‍රජා ගණයාගේ ප්‍රථම සභාව  77 
5. ක්‍රාකන්ගේ සහ ඔර්බෙරෝසියාගේ විවාහය    81 
6. අල්කාහි මකරා  84 
7. අල්කාහි මකරා ( අවිච්ඡින්නය)  88 
8. අල්කාහි මකරා ( අවිච්ඡින්නය)  91 
9. අල්කාහි මකරා ( අවිච්ඡින්නය)  95 
10. අල්කාහි මකරා ( අවිච්ඡින්නය)  98 
11. අල්කාහි මකරා ( අවිච්ඡින්නය)  102 
12. අල්කාහි මකරා ( අවිච්ඡින්නය)                                      106 
13. අල්කාහි මකරා ( අවිච්ඡින්නය සහ අවසානය )                110 
 
              ග්‍රන්ථය 3  :   මධ්‍යකාලීන යුගය සහ පුනර්ජීවය

1. යහපත් බ්‍රයන් සහ ග්ලැමෝගන් රැජිණ  113 
2. මහා ඩ්‍රැකෝ                     118
3. කෲවා රැජිණ                     122
4. කෘති ථ  ජොහන්නාස් තල්පා               125 
5. කලා ථ පෙන්ග්වින් සිතුවම්හි ආදිකල්පිකයෝ       129 
6. මාර්බෝදියස්                      135 
7. සඳේ සලකුණු                                     148 
  
                ග්‍රන්ථය 4 : නූතන සමය : ටි්‍රන්කෝ
1. රුක්වෑන් මාතාව    150 
2. ටි්‍රන්කෝ  156 
3. ආචාර්්‍ය ඔබ්නුබයිල්ගේ පර්යාටනය    161

  
                   ග්‍රන්ථය 5  :  නූතන සමය : ෂතියොං

1. ගෞරවාර්හ අගාරික පියතුමා සහ කෝර්න්මියුස් පියතුමා  167 
2. කෲචෝ කුමරු  176  
3. කුමන්ත්‍රණය    180 
4. ඔලිව් සිටුතුමිය                                  186 

5. බොසෙනෝ හි කුමරු                           192
 
6. එමිරාල්ගේ වැටීම                                    199            
7. අවසානය                                     209
  
ග්‍රන්ථය 6 :  නූතන සමය : පිදුරු මිටි අසුූ දහස පිළිබඳ සිද්ධිය


1. සෙන්පති ග්‍රෙතාවුක් : හිස් කබලේ ආදිපාද    214
2. පයිරොට්    220 
3. දෝන්ත්දිලින්ක්ස්හි  මෝබෙක් සිටුතුමා  225 
4. කොලොම්බාන්  230 
5. ගෞරවාර්හ අගාරික පියතුමා සහ කොර්න්මියුස්    234 
6. සත් සියක් පයිරොට්වාදීහු    240 
7. බිදෝ කොක්වීයි සහ  මනිෆ්ලෝර් -සමාජවාදීහු  246 
8. කොලොම්බාන් නඩු විභාගය  254 
9. දුයියා පියතුමා  261 
10. ෂෝස්පීද් විනිසුරු    267 
11. අවසානය    272
               ග්‍රන්ථය 7 :  නූතන සමය -  චෙරේස් මැතිනිය
 

1’ ක්ලරෝන්ස් ආර්යාවගේ විසිත්ත කාමරය 
277 
2. ශාන්ත ඔර්බරෝසියාවන්ගේ පුන්‍යාධාරය  282 
3. හිපොලයිට් චෙරේස්    288 
4. දේශපාලනඥයකුගේ විවාහය  296 
  5. විසිරේ කැබිනෙට්ටුව  301 
6. වල්ලභයාගේ සෝපාව                     308 
7. ප්‍රථම ප්‍රතිඵල                                       313 
8. වැඩිදුර ප්‍රතිඵල                               318 
  9. අවසන් ප්‍රතිඵල  327 
 10. පෙන්ග්වින් ශිෂ්ටාචාරයේ උච්චස්ථානය    333 
 ග්‍රන්ථය 8 : අනාගත කාලයන් - නිමක් නැති ඉතිහාසය                338


                                පෙරවදන

  මා සිත් ඇද බැද ගත් දේ ලෙස පෙනී ගිය විනෝදාංශයන් අතර තිබූ සුපැහැදලි විවිධත්වය නොතකමින්, මගේ මුළු දිවි පෙවෙත සතු ව තිබුණේ එක ම එක අරමුණක් පමණි. එය මුළුමණින් ම නැඹුරුව  තිබුණේ එක් මහා ව්‍යාපෘතියක් සපුරා ගැනීම කෙරෙහි ය. මම පෙන්ග්විනයන්ගේ ඉතිහාසය ලියමි. එහිලා නිතර නිතර මුහුණ පෑමට සිදුවන දුෂ්කරතාවන් විටෙක දරා ගත නොහැකි තරම් දේ ලෙස පෙනී ගිය ද, ඒ එකකිනිදු පසු බැසීමට ඉඩ නො හරිමින් මෙම කර්තව්‍යය සපුරාලීමෙහිලා මම අප්‍රතිහත ධෛර්යයෙන් යුතු ව පරිශ්‍රම දැරීමි. 

  මා මෙම ක්ෂේත්‍රයට පිවිසුණේ එම ජනතාවගේ වැළලී ගිය ශේෂයන්  අනාවරණය කර ගනු පිණිස ය. මිනිසුන්ගේ ප්‍රථම ග්‍රන්ථයන් ශිලා ලිපි ය. පෙන්ග්විනයන්ගේ ආදී කල්පික පුරාවෘත්තයන් ලෙස සැලකිය හැකි ශිලා ලිපියක් මම අධ්‍යයනය කළෙමි. මින් පෙර  කිසිවකු විසින් හෝ අත නො ගසනු ලැබූ මුහුදු වෙරළෙහි ගොඩැලි සොහොන් කොතක් මම හාරා ඇවිස්සුවෙමි. සාමාන්‍යයෙන් සිදුවන පරිදි ගල් පොරෝ, ලෝකඩ අසිපත්, රෝමානු කාසි සහ ප්‍රංශ රජකු වු ලුවී පිලිප්ගේ ප්‍රතිරූපය සහිත වූ සූ-විස්සේ කාසියක් මට හමු විය. 
 
  ඓතිහාසික සමයයන් සම්බන්ධයෙන් ගත් විට, වලස් උද්‍යානයේ පිහිටි අසපුවේ විසූ ජොහන්නස්  තල්පාගේ වංශ කථාව  මට  ඉමහත් පිටිවහලක් විය. පෙන්ග්වින් ඉතිහාසයේ පූර්ව-මධ්‍යකාලීන  යුගය සම්බන්ධයෙන්  අන් කිසිදු මූලාශ්‍රයක් තවමත් අනාවරණය  කර ගෙන නො තිබූ හෙයින් මෙම ලේඛකයා සම්බන්ධයෙන් වඩ වඩාත් පරිපූර්ණ ලෙස ගැඹුරින් මම විමසා බැලීමි. 

  දහතුන් වැනි සියවස සමගින් ඇරඹුණ කාල පරිච්ඡේදය සම්බන්ධයෙන් අපි පොහොසත් වෙමු. පොහොසත් වන්නේ වී නමුත් වඩා යහපත් තත්ත්වයක නම් නො සිටිමු. ඉතිහාසය  ලිවීම අතිශයින්  ම දුෂ්කර ය. කරුණු  හරියට ම සිදු වුයේ කෙසේ ද යන්න අපි  නො දනිමු. තමා හමුවේ ඇති ලියවිලිවල බහුලත්වය වැඩිවත් ම  ඉතිහාසඥයාගේ  ව්‍යාකූලත්වය වැඩි වෙයි. එක් පුද්ගලයකුගේ සාක්ෂිය  තුළින් අප සත්‍ය  කරුණක් දැන ගත් විට, වැඩි ඇකිළීමකින් පැකිළීමකින් තොර ව එය පිළිගනු ලැබේ. අපේ ආකූල ව්‍යාකූලත්වය ආරම්භ වනුයේ දෙදෙනෙක් හෝ කීප  දෙනෙක්  හෝ සිද්ධින් ගැන විස්තර  කරන විට ය . මන්ද යත් ඔවුන්ගේ සාක්ෂිය හැම විට ම ප්‍රතිවිරෝධි වන නිසාත් හැම විටක ම නොපෑහිය හැකි වන නිසාත් ය. 
එක් සාක්ෂියකට වඩා අනෙක් සාක්ෂියකට වැඩි අභිරුචියක් දැක්වීමෙහිලා විද්‍යාත්මක හේතු ඇති  බව ඇත්ත ය. එතෙකුදු වුවත්, අපේ මනෝවේග, අපේ අගතීන්, අපේ ඕනෑ එපාකම් අභිභවාලීමට හෝ සියලු ම බැරෑරුම්  මිනිසුන් හට පොදු වූ චපලත්වය අභිභවාලීමට හෝ කිසි කලෙකත් ඒවා නොසෑහේ. ඉන් ගම්‍ය වන්නේ, අප දිගින් දිගට ම සත්‍ය කරුණු ඉදිරිපත් කරන්නේ අගතිගාමී හෝ කමකට නැති හෝ අයුරකින් බව ය.
   
  පෙන්ග්විනයන්ගේ ඉතිහාසය ලිවීමේ දී මා අත් දුටු  දුෂ්කරතාවන් පිළිබඳ ව මගේ රටේත්, විදේශයන්හිත් විදග්ධ පුරාවිද්‍යාඥයන් සහ ශිලා ලේඛන කියවන්නන් ගණනාවකට මම සැල කර සිටියෙමි. ඔවුන් එවිට දැක්වූ ජුගුප්සාව ඉවසා සිටියෙමි. අනුකම්පා කටයුතු මඳහසක් පාමින් මා දෙස නෙත් යොමු කළ ඔවුහු මෙසේ කියන සෙයක් පෙනී ගියේ ය. “අපි ඉතිහාසය ලියනවද?  පොතක පෙළකින් හරි ලියවිල්ලකින් හරි ඉතිහාසයේ සාරයවත් සත්‍යයවත් උකහා ගන්න අප උත්සාහ  දරනවා යයි ඔබ සිතනව ද?  අපි පෙළ ඒ හැටියෙන් ම ප්‍රසිද්ධ කරනව. අපි ඒවායෙ අක්ෂරවලට ඒ හැටියෙන් ම ඇලී ගැලී සිටිනව. නිශ්චිත වෙන්නෙත් ඉන්ද්‍රිය ගෝචර වෙන්නේත් අක්ෂර විතරමයි. ජීවය සම්බන්ධයෙන් තත්ත්වය එහෙම නොවෙයි : අදහස් කියන්නේ  ගොතත දේවල්. ඉතිහාසය  ලියන්න නම් මිනිහෙක් කිසි කමකට නැත්තෙක් වෙන්න ඕනේ. මොකද එහෙම ලියන්න නම් නිර්මාණ  ශක්තිය අවශ්‍ය  නිසයි.” 

  මේ සියල්ල ප්‍රකාශ කෙරුණේ, පුරාවිද්‍යාව  පිළිබඳ  අපේ ගුරුදේවයන් හෙ`ඵෑ බැලුම් සහ මඳහස පෑම් මඟින් ය. ඔවුන්ගේ හැසිරීම  මා  ඉමහත් සේ  අධෛර්යමත් කළේ ය. දිනක මම එක් විචක්ෂණ ශිලා ලිපි කියවන්නකු සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව, මා සාමාන්‍ය වශයෙන් පත්වනවාටත් වඩා මන්දෝත්සාහීභාවයට පත්වීමි. එවිට සැණෙකින් ම පාහේ මම මෙසේ සිතුවෙමි.
  
  “ඇත්ත තමයි ඉතිහාසඥයන් ඉන්නව. ඒ වරිගේ තවමත් එහෙම පිටින් ම අහෝසි වෙලා නැහැ. ඔවුන්ගෙන්  පස් හය දෙනෙක්, සදාචාර විද්‍යාවන් පිළිබඳ ඇකඩමියේ සුරක්ෂිත ව තබා ගෙන ඉන්නව. ඒ අය පොත් පළ කරන්නෙ නැහැ. ඒ අය ඉතිහාසය ලියනව. ඒ ජාතියෙ වැඩකට අත ගහන්න නම්, යමෙක් කමකට නැති මිනිසෙක් විය යුතු ය කියල ඒ අය නම් මට කියන එකක් නැහැ.” මෙම සංකල්පය මගේ ධෛර්යසම්පන්නභාවය ප්‍රතිෂ්ඨාපනය කළේ ය.  

  පසු දින මම ඔවුන්ගෙන් අයකු හමුවීමට ගියෙමි. හේ විදග්ධයෙක් විය.
“මහත්මයාණනි” මම ඔහු ඇමතීමි.
 
“මම ආවෙ ඔබ වැනි අත්දැකීමෙන්  පිරුණ අයකුට මා හට දිය හැකි  උපදෙසක් ලබා ගන්නයි. ඉතිහාසයක් ලියන්න මම දැන් අන්තිම අන්ත දුක් ගැහැටවලට  මුහුණ දෙනව. ඒත් මට එයින් මොන ම ප්‍රතිඵලයකව් ත් අත් කර  ගන්න බැරි වුණානෙ.”
  
  සිය උරහිස ගසා ලමින් හේ මට මෙසේ පිළිතුරු දුනි. “මගේ හොඳ මහත්තයෝ, ඕකට ඔය තරම් තටමන්න ඇති කාරිය මොකක්ද? ඔබ කළ යුතු  එක ම දෙය, සාමාන්‍යයෙන්  කරන විදියට සුප්‍රකට පොත් කොපි කිරීමයි. තත්ත්වෙ  එහෙම තියෙද්දි ඉතිහාසය ලියන්නෙ අහවල් දේකටද?  නැවුම් අදහසක් හරි ඔරිජිනල් අදහසක් හරි ඔබට තියෙනව නම් මිනිස්සු සහ දේවල් ගැන අනපේක්ෂිත දෘෂ්ටි කෝණයකින් ඔබ කරුණ ඉදිරිපත් කරනව නම්, ඔබ එයින් පාඨකයා විස්මයට පත් කරවනව. විස්මයට පත් වන්න පාඨකයා කැමති නැහැ. තමන් ඒ වන විටත් දන්න මුග්ධ දේවල් හැර අන් කිසිවක් පාඨකයා කවදාවත්  බලන්නෙ නැහැ. ඔබ ඔහුට ඉගැන්වීමට උත්සාහ  කරනවා නම් ඔබ කරන්නෙ ඔහු අවමානයට පත් කිරිම  පමණයි. ඔහු ව ප්‍රකෝප කිරීම පමණයි. ඔහු ව ප්‍රබුද්ධ කරීමට උත්සාහ ගන්න එපා. ඔහු තුළ තිබෙන විශ්වාසයන්ට අපහාස අවමාන කළා ය කියල එතකොට ඔහු හඬ තලාවි.
 
  “ඉතිහාසඥයො එකිනෙකාගෙන් කොප්පෙ ගහනව. එහෙම කිරීම මගින් ඔවුන් දුෂ්කරතාවයන්ගෙන් ඇඟ බේරා ගන්නව. ඕනැවට වඩා ඇඳලය කියන පෙනුමක් ඇති වීමෙන් බේරෙනව. ඔවුන්ව අනුකරණය කරන්න. නිර්මාණ ශක්තියක් නම් ඇති කර ගන්න එපා. නිර්මාණ ශක්තියක් තිබෙන ඉතිහාසඥයාය කියලා කියන්නෙ, හැම දෙනෙකුගෙ ම අවිශ්වාසය, ජුගුප්සාව, පිළිකුල ජනිත කරවන ඉලක්කයක්.” 

  “මහත්තයා” ඔහු තව දුරටත් කී ය. “මම මගේ ඓතිහාසික කෘතීන් තුළට අලුත් දේ එකතු කළා ය කියලා හිතාගෙන මට ගරු කළ යුතු ය, බුහුමන් දැක්විය යුතු ය කියලා නම් හිතන්න එපා. මොනවද අලුත් එකතු කිරීම් කියල කියන්නෙ? ඒවා තමයි අදාළ නැති නිසරු දේවල්.”
 
  ඔහු නැඟිට්ටේ ය. ඔහුගේ කාරුණිකභාවයට තුති පිදු මම දොර වෙත ගියෙමි. ඔහු යළි එන ලෙස හඬ ගැසී ය.
  
  “තවත්  එක් වචනයක්. ඔබේ පොතට හොඳ ප්‍රතිචාරයක් ඔබට අවශ්‍ය නම්, සමාජය පදනම් වෙලා තියෙන සාර ධර්ම - ඒ  කියන්නෙ ධනයට ඇලී ගැලීම, සුචරිතවත් හැගීම්, විශේෂයෙන් ම ඔය දුගී දුප්පත් ජනතාව පැත්තක ට වී හැම දෙයක්ම ඉවසා වැදෑරීම- නීතිය හා සාමයේ මුළු පදනම ම අන්තිමට කියපු එකයි - අහස උසට  නග්ගල තියන්න  හෙම මොහොතකටවත් අමතක කරන්න එපා. මහත්මයා, දේපළවල සම්භවයන් - වංශාධිපතියන් සහ පොලීසිය - ඒවාට ලැබිය යුතු සකල සබ්බ ගෞරව සම්ප්‍රයුක්ත ව ඔබේ ඉතිහාසයෙදි අවධානය යොමා ඇති බව ප්‍රකාශ කර සිටින්න. අධිමානුෂික දේවල්, ඒවා දෘෂ්‍යමාන වූ විට,  ධර්මිෂ්ඨ සමාජය තුල ඔබ සාර්ථකත්වය අත් කර ගන්නවා ඇති.”
 
   මෙම මහා ප්‍රාඥ නිරීක්ෂණයන් කෙරෙහි මම ඉමහත් සේ සිතා  බැලූ අතර, ඒවාට පරිපූර්ණ බර දැමීමි. මා මෙහි සිටින්නේ, ස්වකීය ස්වරූපය පරිවර්තනය වීමට  පෙරාතු කාලයේ සිටි පෙන්ග්විනයන් ගැන සලකා බැලීම පිණිස නො වේ. ඔවුන් මාගේ විෂය නො වේ. ඔවුන් මගේ විෂය පථය තුළට පිවිසීම ඇරඹුණේ ඔවුන් සත්ත්ව රාජධානියෙන් චුත වී, ඉතිහාසයේ සහ දේවධර්මයේ රාජධානියට  ප්‍රවිෂ්ඨ  වූ  මොහොතේ දී ය. ඒ වචනය අද දින ව්‍යාකූලත්වයට තුඩු දිය  හැකි හෙයින් මෙය පැහැදිලි  කර දීම අවශ්‍ය වන්නේ වී නමුත්, ඇත්ත වශයෙන් ම ශ්‍රේෂ්ඨ ශාන්ත මායෙල් විසින් මිනිසුන් බවට පරිවර්තනය  කරනු ලැබුවේ පෙන්ග්විනයන් ය. ප්‍රංශ බසින් අප පෙන්ග්විනයා නමින් හඳුන්වන්නේ, අල්සිදායි පවුලට අයත් ආර්ක්ටික් පෙදෙසෙහි වෙසෙන පක්ෂියෙකි. ඇන්ටාර්ටිකා   මුහුදේ වෙසෙන ස්පෙන්සිදායි වර්ගය හඳුන්වන්නේ මන්ෂොත් නමිනි. නිදසුනක් ලෙස බෙල්ෂික් මුහදු ගමන  පිළිබඳ සිය වෘත්තාන්තයේ  දී  එම්.ජී. ලෙසොවාන්ත් මෙසේ කියයි. “ජෙර්ලාච් සමුද්‍ර සන්දියේ වසන සියලු ම පක්ෂින් අතරින්  නිසැක වශයෙන් ම වඩාත් ආස්වාදජනක වන්නේ මන්ෂොත්වරුන්ය. වැරදි සහගත  අයුරකින්  වූයේ වී නමුත්, දකුණේ දී පෙන්ග්විනයන් යන නමින් මොවුහු සමහර විට හඳුන්වනු ලැබෙත්.” මීට ප්‍රතිවිරුද්ධ ව දොස්තර ජේ.බී. ෂාකොත් කියා සිටින්නේ, සැබෑ  සහ එක ම පෙන්ග්විනයන් වනුයේ, අප මන්ෂොත් ලෙස හදුන්වන  ඇන්ටාර්ටිකාවේ වෙසෙන  පක්ෂීන් බව ය. මෙහිලා හේතුව ලෙස ඔහු  දක්වා සිටින්නේ, 1598 දී මැගලන් තුඩුවට ළඟා වු ඕලන්දක්කාරයන් අතින්, නිසැක ලෙස ම ස්වකීය පුෂ්ටිමත් බව හේතු කොටගෙන ඔවුන් පෙන්ග්විඤෝස් යන නම ලද බව ය. එහෙත් මන්ෂොත්වරුන් පෙන්ග්වින් නමින් හඳුන්වනු ලැබෙත් නම්, අනාගතයේ දී අප සැබෑ  පෙන්ග්විනයන් හඳුන්වන්නේ කිනම්  නමකින් ද? දොස්තර  ජේ.බී. ෂාකොත් අපට එය කියා  නො දෙයි. ඔහු එම කරුණට මොහොතක හෝ අවධානයක් දුන් බවක් නො පෙනේ. හරි, ඔහුගේ මන්ෂෝත්වරු පෙන්ග්විනයන් බවට පත් වූ බව හෝ යළි පත්  වන බව හෝ අප විසින් අනුමත කළ යුතු ව ඇතැයි අපි සිතා ගනිමු. ඔවුන් සොයා  ගැනීම  හේතුවෙන් ඔවුනට  නම් තැබීමේ අයිතිය ඔහු අත්පත් කර ගති. එහෙත්, උතුරුකරයේ පෙන්ග්විනයන් හට, පෙන්ග්විනයන් ලෙස  ම පැවතීමට අවම වශයෙන් ඔහු ඉඩ හළ යුතු ය. දකුණේ පෙන්ග්විනයන් ද, ඇන්ටාර්ටිකාවේ සහ ආක්ටික් හි පෙන්ගුනයන් ද, අල්සදායි  හෝ පැරණි පෙන්ග්විනයන්ද, ස්පෙන්සිදායි හෝ මුල් ම මන්ෂොතයන් ද සිටිනු ඇත. ජලචර පක්ෂීන් පිළිබඳ විස්තර කිරීමේ දී වර්ගීකරණය කිරීමේ දී පරෙස්සම් සහගත වන පක්ෂි විද්‍යාඥයන්  හට, සමහර විට මෙයින් ගැටළු හට ගැනීමට  ඉඩ ඇත. එකිනෙකාගෙන් හැම අයුරකින් ම වෙනස් වන්නා වූත්, කරුණු ගණනාවක් ම සම්බන්ධයෙන්, විශේෂයෙන් ම උන්ගේ හොටවල්, පිහාටු සහ  නිය  සම්බන්ධයෙන් වෙනස් වන්නා වූත් පවුල් වර්ග දෙකකට එක් තනි නාමයක් සැබැවින් ම යෝග්‍ය  වන්නේ දැ යි ඔවුන්  නිසැක  වශයෙන්  ම විමසනු ඇත. මා ගැන කියන්නේ නම්, මම මෙම ව්‍යාකූලත්වයට සුමට ලෙසකින් ගැලැප්පෙමි. මගේ පෙන්ග්විනයන්  සහ ජේ.බී. ෂාකොත්ගේ පෙන්ග්විනයන් අතර වෙනස්කම් මොනවා වවුත්, ඔවුනතර  සමානකම්  වඩා වැඩි ය: වඩා ගැඹුරු ය. ප්‍රථම  වර්ගය , පසු ව කී වර්ගය මෙන් ම කැපී පෙනෙනුයේ, ඔවුන්ගේ ගැඹුරු හා ශාන්තදාන්ත විශාලත්වය, ඔවුන්ගේ විකටමය ප්‍රතාපවත් බව, ඔවුන්ගේ විශ්වාසදායි ස්වභාවය, ඔවුන්ගේ කයිරාටික චාම්බව සහ එකවර ම අවලක්ෂණ වන්නා වූත් ගරු ගාම්භිරාකාර වන්නා වූත් ඔවුන්ගේ  වස්ත්‍ර මගිනි. දෙවර්ගය ම සාමකාමී ය: කථා කිරීමේ දී කොණක් කෙළවරක්  නැත. ඕනෑ ම නව්‍ය වූ දෙයක් දැක ගැනීමේ දී  පොරකන තරම්  උත්සුක ය : පොදු ජන කටයුතුවල  නිමග්න ව සිටිති: සමහර විට, තමන්ට වඩා උසස් වන සියල්ලන් ම කෙරෙහි තරමක ඊර්ෂ්‍යාවකින් ද සම්ප්‍රයුක්ත ය.

  මගේ  උතුරු දේශවාසීන් හට ඇත්තේ කොරළ රහිත වූ, එනමුදු පිහාටු වලින් පිරී පැවතෙන පියාපත් ය. ඔවුන්ගේ පාදයන්, දකුණු දේශවාසීන්ගේ පාදයන්ට වඩා තරමක් ආපස්සට පිහිටා ඇතත්, ඔවුන් ගමන් කරන්නේ සිය ළැම පෙදෙස ඉහලට නංවා ගෙන, සිය හිස් ඉහළට නංවා ගෙන, එක සමාන ලෙසකිනි. උන් මිනිසුන් ලෙස සැලකීමේ දී  අපොස්තුලුවරයා වරදට වැටීමේ අවම හේතුව වූයේ, උන්ගේ උස් හොට නො වේ.

 වත්මන් කෘතිය අයත් වන්නේ පැරණි ආකාරයේ ඉතිහාසයකට බව නො පිළිගෙන සිටීමට මට නො හැක. එය  අයත් වනුයේ, හැකි තාක් දුරට හේතු සහ ප්‍රතිඵල දක්වාලන්නා වූ ක්‍රමයට  අනුකූල ව, මතකයෙහි සුරැකී තිබෙන සිද්ධීන් අනුපිළිවෙලින් ඉදිරිපත් කරන්නකට ය. එය විද්‍යාවකට වඩා කලාවකි. මෙම විධි ක්‍රමය තවදුරටත් විදග්ධ මනස් සංතෘප්තියට පත් නො කරන බවත්, පෞරාණික ක්ලියෝ  දෙස  අද දින  බලනුයේ මහලු  අඹුවන්ගේ ඕපාදූප ඇදබාන්නකු  වශයෙන්  බවත්  කියනු ලැබේ. යම්  ජනතාවක්  යම්  යුගයක  දී සිය  කටයුතුවල සෑම අංශයක දී ම නිපදවූයේ සහ පරිභෝජනය කළේ මොනවා ද යන්න  අපට උගන්වාලන්නා වූ  වඩා  විශ්වාසදායී ඉතිහාසයක් අනාගතයේ දී අපට හිමි වීමට ඉඩ ඇත. ඒ වර්ගයේ ඉතිහාසයක්  තවදුරටත් කලාවක් නො වන්නේ ය. එය විද්‍යාවක් වනු ඇත. පැරණි ක්‍රමයේ ඉතිහාසය තුළ ඌණ  වූ නිශ්චිතභාවය, එම ඉතිහාසය විසින් අත් කර ගනු ලබනවා ඇත. එවැන්නක්  එලෙස පහළ වනු පිණිස, මේ තාක් කල් සියලු ම ජනතාවන් අතර, විශේෂයෙන් ම පෙන්ග්විනයන් අතර හිඟ ව  තිබූ සංඛ්‍යා  ලේඛන සමුදායක් තිබීමේ අවශ්‍යතාවයක් පවතී. එවන් ඉතිහාසයක් පිළිබඳ මූලික කරුණු නූතන ජාතීන් විසින් යම් දිනෙක සැපයීමට ඉඩ ඇත. දැනටමත්  අතීතය බවට පත්ව ඇත්තා වූ කරුණුවලට අදාළ වංශකතාව ඉදිරිපත් කිරීමේ දී ඉපැරණි ශෛලියකින් අප සෑහීමට පත් විය යුතු යයි මම සිතමි. එවන් වංශකතාවක් පිළිබඳ අවධානය යොමු වීම රඳා පවත්නේ, අන් සියල්ලටමත් වඩා වංශකතාකරුගේ තීක්ෂ්ණ බුද්ධිය සහ අවංකභාවය මත ය. අල්කාහි ශ්‍රේෂ්ඨ ලේඛකයකු පවසා ඇති පරිදි, ජනතාවකගේ දිවිපෙවත යනු අපරාධ, කාලකණ්ණිභාවය හා මුග්ධභාවය පිළිබඳ ජාලයකි. මෙම කරුණෙහිලා පෙන්ග්විනියාව අන් ජාතීන්ගෙන් වෙනස් වූයේ නැත. එසේ ද වූයේ වී නමුත් එහි ඉතිහාසය සතු යම් යම් ප්‍රසාදජනක අංශයන් ඇත. ඒවා මත බෙහෙවින්ම නැවුම් වූ ආලෝකයක්  මවිසින් පතුරුවනු ලැබ ඇතැයි මම සිතමි. පෙන්ග්විනයෝ දිගු කාලපරිච්ඡේදයක් මුළුල්ලේ යුදකාමී ව සිටියහ. ඔවුන්ගෙන් අයකු වූ ෂකෝ නැමැති දාර්ශනිකයා, ඔවුන්ගේ චරිත ස්වභාවය යම් තරමක සදාචාරාත්මක ලෙසකින් සිත්තම් කළේය. මම එම වදන් මෙහි යළි ඉදිරිපත් කරමි. ඒවා කියවනු ලබන්නේ ප්‍රීති ප්‍රමෝදයකින් තොර ව නො වන බව නිසැක ය. දාර්ශනික ග්‍රාතියාන්, පසුකාලීන ඩ්‍රැකොනයිඩ්වරුන්ගේ සමයෙහි දී පෙන්ග්විනියාව පුරා සංචාරය කළේ ය. දිනෙක, හේ නැවුම් වාතය සමඟ ගෙජ්ජි හඬ මුසු වූ ප්‍රසන්න තැනිතලාවක් පසු කරමින් ගමන් කරන්නේ, කුඩා පැළක් අසල වූ ඕක් ගසක පා මුල තිබූ බංකුවක වාඩි ගති. ස්ත්‍රියක් දොරකඩට වී සිය දරුවා  නලවමින් සිටියා ය. කුඩා පිරිමි දරුවෙක් දඩෝරි බල්ලකු සමඟ සෙල්ලම් කරමින් සිටියේ ය. සිය දෙතොල් අඩක් විවර කර ගෙන අව්වේ වාඩිලා සිටි වෘද්ධි අඳ මිනිසෙක් හිරු රැස් තපිමින් සිටියේ ය.
 
  ගෘහ මූලිකයා වූ සවිබලවත්, තරුණ මිනිසෙක් ග්‍රාතියන් හට පාන් සහ කිරි ස්වල්පයක් දුන්නේ ය. මෙම ග්‍රාම්‍ය බොජුන  වැළඳූ ඉබ්බාගමු දාර්ශනිකයා මෙසේ කීවේ ය.
 
  “මේ ප්‍රසන්න රටේ ප්‍රසන්න වැසියනි, මම ස්තුති කරනව. මෙහි පවතින හැම දෙයක් ම සන්තුෂ්ටිය, එකමුතු බව සහ සාමය ඇති කරවනව.” 
  ඔහු මෙසේ කියනවාත් සමඟ ම එf`ඩ්රෙක් සිය පයිප්පය මුව රුවා ගෙන, ගීයක්  මුමුණමින් එතැන පසකර  ගියේ ය.
 
  “ඒ සුමධුර නාදය කුමක් ද?” ග්‍රාතියාන් විමසී ය.
 
  “ඒ ඉබ්බාගමුවන්ට විරුද්ධ යුධ ගීයක්’ ගොවියා පිළිතුරු දුනි.  මෙහේ හැමෝ ම ඒ ගීය ගයනව. පුංචි දරුවෝ කථා කරන්න පටන් ගන්නත් ඉස්සෙල්ලයි ඒ ගීය දන්නෙ. අපි නියම පෙරාපු පෙන්ග්විනයො තමයි.” 

    “එහෙනම්  ඔබලා  ඉබ්බාගමුවන්ට කැමත්තක් නැහැ."
  
  “අපි උන්ගේ මාළු කන්න තරම් වෛර කරනව.” 
 
  “මොන  හේතුවක් නිසා ද?”

   “අයියෝ, ඒකත් හැබෑට ම අහන්නත් දෙයක් ද? පෙන්ග්විනයන්ගේ අසල්වාසීන් ඉබ්බාගමුවො නෙවෙයි ද?” 
 
“සත්තකින්ම ඔව්” 
 
“හරි, අන්න ඒ හින්දා, ම තමයි පෙන්ග්විනයො ඉබ්බාගමුවන්ට වෛර කරන්නෙ". 

  “ඉතින් හත් ඉලව්වේ, ඒක වෛර කරන්න තරම් හේතුවක්යැ!” 

  “සත්තකින් ම ඔව්. යමෙක් තමා අසල්වැසියෙක්ය කියල කියන කොට, ඔහු එයින් කියා සිටින්නෙ තමා හතුරෙක් බවයි. බලන්න මගේ කුඹුරට මායිම් ව තිබෙන අර වෙල් යාය දිහා. මේ ලෝකෙන් මම වැඩියෙන් ම වෛර කරන මිනිහ තමයි ඒක අයිති එකා. එයාට පස්සෙ මගේ නරක ම හතුරො තමයි, අර ඉපැල් කැලෑව  පා මුල තැනිතලාවෙ බෑවුම් තියෙන ගමේ මිනිස්සු. කොටස් දෙකකින් හැදිල තියෙන මේ පටු තැනිතලාවෙ තියෙන්නෙ ඒ ගමයි, මගේ ගමයි විතරයි. ඒ ගමේ එවුන් මගේ හතුරො. අපේ කොල්ලො ඒ ගොල්ලන් ව හමුවුණ හැම විටක ම, ඒ ගොල්ලන්ට අපහාස අවමාන කරනව. උන් එක්කල ඇර ගන්නව. ඔබට ඕන කරල තියෙන්නෙ පෙන්ග්විනයො ඉබ්බාගමුවන්ගෙ හතුරො නො වී ඉන්නයි. අම්මප, ඔබ දන්නෙ නැද්ද දේශප්‍රේමය කියන්නෙ මොකක් ද කියල? මම ගැන  කියනව නම් මගේ දිව අග හැම තිස්සෙ ම සටන් පාඨ දෙකක් ලෙලදෙනවා. ඒ තමයි පෙන්ග්විනයාවට විමුක්තිය! ඉබ්බාගමුවන්ට මරණය!” කියන සටන් පාඨ දෙක.”

 අඛණ්ඩ උද්යෝගිමත්බවකින් යුතු ව, විවිධාකාර දෛවයන්ට ගොදුරු වෙමින් සිය වස් දහතුනක් පුරා ම පෙන්ග්විනයෝ ලොව පුරා  සියලු ම ජනතාවන්ට එරෙහි ව යුද වැදුණාහ. ඉන්පසු, ඒ සා දිගු කලක් තමන් ආශා කළ දෙයින් වසර කිහිපයකට හෝ වෙහෙසට පත් ඔවුහු, සැබැවින් ම ගරු ගාම්භීරාකාර වූත්, එනමුදු අතිශයින් ම අවංක වූත් ස්වරයකින් සාමය උදෙසා තමන් වැඩි අභිරුචියක් දක්වන  බවක් පෙන්නුම් කළහ. ඔවුන්ගේ සෙන්පතිවරු  මෙම නව චිත්ත ස්වභාවයට මැනවින්  ගැලැප්පුණහ. ඔවුන්ගේ හමුදා ද නිලධාරින් ද බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගනු ලැබූවන් ද වයෝවෘද්ධ නිලධාරීන් ද යන සියල්ලන් ම එයට  අනුකූලතාවය දැක් වූයේ ප්‍රීතියෙන් යුතු ව ය. මේ සිදු වූ වෙනස පිළිබඳ ව ඤරු ඤුරු ගාමින් මැසිවිලි කීවේ පුවත් පත්වල කුරුටුගාන්නන් සහ පොත් පණුවන්  පමණි. එම කරුණ මගින් සැනසුමක් ලැබුම ප්‍රතික්ෂේප කළේ බෙලි කපන්නන් පමණි.
 
  මෙම ෂාකෝ දාර්ශනිකයා ම එක් උපදේශාත්මක කථන්දරයක් ගෙතී ය. මිනිසුන්ගේ විවිධ ක්‍රියාවන් හාස්‍යජනක සහ ජීවමාන අයුරකින් එහි දී ගෙන හැර දැක් වූ  ඔහු තමන් ගේ ම රටේ ඉතිහාසයෙන් ගත් ඡේද ගණනාවක් එය සමඟ මුසු කළේ ය. ඔහු මෙම ව්‍යාජමය ඉතිහාසය ලීවේ මන්ද යන්නත්, ඔහු සිතන පරිදි එමගින් ඔහුගේ රටට අත් වන ඵල ප්‍රයෝජනය කුමක් ද යන්නත් සමහරු ඔහුගෙන් විමසූහ.
 
‘අති විශාල ඵලප්‍රයෝජනයක්! දාර්ශනිකයා පිළිතුරු දුණි. “තමන් කරන ක්‍රියාවන් මේ විදියට උසුළු විසුළු කිරීම්වලට ලක් කරල, තමන් ව මුරුංග අත්තෙ තියන්න කියාපු හැම කථාවක් ම චප්ප කරල දාල තියනව දුටුව ම, පෙන්ග්විනියො වඩා හොඳින් තමන් ව විනිශ්චය කර ගනීවි. සමහර විට ඔවුන් වඩා යුක්ති සහගත වෙන්නත් පුළුවන්.’ 

  කලාකරුවන් විසින් අභිරුචියක් දක්වනු ලැබීමට හැකි කිසි ම කරුණක් මේ ඉතිහාසයෙන් ඉවත නො හෙළීමට මම කැමැත්තෙමි. මධ්‍යකාලීන යුගයේ පෙන්ග්වින් සිතුවම් පිළිබඳ  පරිච්ජේදයක් මෙහි ඇත. එම පරිච්ජේදය මට අවශ්‍ය තරමින් ම සර්ව සම්පූර්ණ  නො වන්නේ නම්, මෙම පෙරවදන අවසන් කිරීමේ දී යොදන බිහිසුණු වර්ණනය කියවීමෙන් ඔබට පෙනී යන පරිදි, එය මගේ වරද නො වේ.
 
“සිතුවම්, මූර්ති ශිල්පය සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ඉතිහාසය” පිළිබඳ උගත් කතුවරයා වූ ශෝචනීය ෆුල්ජන්ස් තපීර් මයා හමු වී, පෙන්ග්වින් කලාවේ සම්භවය සහ ප්‍රගතිය පිළිබඳ ව කරුණු විමසිය යුතු ය යන අදහස මට පහල වූුයේ පසුගිය වසරේ ජූනි මාසයේ දී ය. 

  ඔහුගේ අධ්‍යනාගාරයට කැඳවනු ලැබූ මට දක්නට ලැබුණේ, උස් මේසයක් ඉදිරියේ තැතිගන්වනසුලු  ලියවිලි කන්දරාවක් යට වාඩි ගෙන, සිය රන් ආලේපිත උපැස් යුවල පසු පසින් ඇහි බැමි කරකවමින් සිටි, විස්මිත වූ කෙටි දැක්මෙන් යුත් කුඩා මිනිසෙකි. 
 
  ඔහුගේ දෙනෙත්වල තිබූ පළුද්ද කැපී යන පරිදි වූ තීක්ෂ්ණ ස්පර්ශේන්ද්‍රයකින් සැදුම් ලත් සිය දිගු වැනෙන නාසය මඟින් හේ ඉන්ද්‍රීය ගෝචර ලොව පිරික්සා බැලී ය. මෙම ඉන්ද්‍රිය මගින් ෆුල්ජන්ස්  තපීර් කලාව සෞන්දර්යය සමඟින් සම්බන්ධතාවයක් ඇති කර ගති. ප්‍රංශයේ සංගීත  විචාරකයන් රීතියක් වශයෙන් ම බිහිරන් බවත්, චිත්‍ර විචාරකයන් අන්ධයන් බවත් නිරීක්ෂණය කරනු ලැබ තිබේ. සෞන්දර්යය විද්‍යාව පිළිබඳ අදහස් ඇති කර ගැනීම පිණිස අවශ්‍ය තැන්පත්කම ලබා ගැනීමට මෙය ඔවුනට ඉඩ සලසයි. ගුඪ සොබා දහම තමා වසා ගැනීම සඳහා යොදා ගන්නා ආකෘතීන් සහ වර්ණයන් පසක් කර ගැනීමෙහිලා හැකියාව ඇති දෑස්  සහිත ෆුල්ජන්ස්, මුද්‍රිත හා අත් පිටපත් ලියවිලි කන්දක් මත ධාර්මික පරමාත්මවාදයේ මුදුනතට තමා නංවා ලනු ඇත යන්න හෝ සියලු ම කාලයන්ට හා  රටවලට අයත් කලාවන් ප්‍රංශ ඇකඩමිය කරා රොක්වීම සිය උත්තරීතර අරමුණ බවට පත් කර ගෙන  ඇති බව කියවෙන අර යෝධ සංකල්පය ඔහු පසක් කර ගත් බව හෝ ඔබ සිතන්නෙහි ද?
 
  අධ්‍යයනාගාරයෙහි බිත්ති, බිම සහ සීලිම පවා, පිටාර ගලමින් තිබූ මිටි සහ මිණිය නො හැකි තරම් ඉදිමී තිබු පාප්ප ඵලකවලින් යුතු පෙට්ටිවලින් පිරී තිබුණ. එම පෙට්ටි තුළ අකුරින් වැසුණ අසංඛ්‍ය සංඛ්‍ය කුඩා කාඩ්පත් තද කොට  අහුරා තිබුණි. පුපුරා යාමට තර්ජනාංගුලිය ඔසවමින් සිටි බහුශ්‍රැතභාවය පිළිබඳ නේත්‍ර පටලයන් දෙස බියමුසු බුහුමන් සහගත  බවකින් මම අන්ද මන්ද ව බලා සිටියෙමි. 
 
  හැඟුම් දනවන හඬකින් මම මෙසේ කීමි. “ගුරුදේවයාණනි,  කිසිදා කෙළවරක් කළ නො හැකි ඔබ තුමාගේ කරුණා මහිමයේත් ප්‍රඥා මහිමයේත් පිහිට මම පතමි. පෙන්ග්වින් කලාවේ සම්භවයන්  පිළිබඳ ව කෙරෙන මගේ අති වෙහෙසකර පර්යේෂණවල දී මට මාර්ගෝපදේශකත්වය දීමට ඔබ තුමා කැමැත්ත දෙනවා ද?”  

  “මහත්මයාණෙනි” ගුරු දේවයාණෝ පිළිතුරු දුන්හ. “හෝඩිියට අනුවත්, විෂයයන්ට අනුවත් කාඩ්පත්හි වර්ග කර තිබෙන සකල කලාවත් ම මා සතු ව ඇත; ඔබට වැටහෙනවා ද? ඒ හැමෙකක් ම මා සතු ව ඇත. පෙන්ග්විනයන්ට අදාළ සියලු කාඩ්පත් ඔබට ලබා දීම මගේ යුතුකම ලෙස මා සලකනව. අන්න අර ඉණිමග දිගේ ගිහින්, අර ඉහළින් පෙනෙන පෙට්ටිය ගන්න.  ඔබට අවශ්‍ය හැම දෙයක් ම ඒකෙ තියෙනව."
  
  මම වෙව්ලා යමින් ඔහුට අනවත වීමි. එහෙත් මම ඒ මාරාන්තික පෙට්ටිය විවෘත කරනවාත් සමඟ සමහර නිල් කාඩ්පත් ඉන් මිදී ගියේ ය. මගේ ඇඟිලි තුඩු අතරින්  ඒ හා සැණෙකින් ම පාහේ, එම පෙට්ටිය සමඟ සහයෝගීතාව පළ කරමින්, ඒ අසල වූ අනෙක් පෙට්ටිය ද විවෘත වී රෝස, කොළ සහ සුදු කාඩ්පත් ධාරාවන් ගලා හරින්නට විය. ක්‍රම ක්‍රමයෙන් සියලු පෙට්ටි තුළින් විවිධ වර්ණිත කාඩ්පත් ගලා හැලුණේ බක් මස කඳුකරයේ දිය ඇල්ලක් ගලා හැලෙනා පරිද්දෙනි. මිනිත්තුවක දී ඒවා ඝන තට්ටුවකින් බිම වැසී ගියේ ය. කෙළවරක් නැති ප්‍රවාහයක් තුළින් ඒවා නික්මුණේ, නො කඩවා වැඩෙන ප්‍රබලත්වයක් අත් කර ගත් හඬක් නංවමිනි. එම ධාරානිපාත පතනයේ ප්‍රබලත්වය තත්පරයක් තත්පරයක් පාසා වැඩි විය. දණ හිස තෙක් කාඩ්පත්වලින් එරුණු ෆුල්ජන්ස් තපීර්, සිය සාවධානී නාසය  මගින් මහා ව්‍යසනය නිරීක්ෂණය  කළේ ය. එයට  හේතුව ද පසක් කර ගත් හේ බියෙන් මුසුපත් ව පරඬැල් වී ගියේ ය.
 
  ‘මොන තරම් විශාල කලා කන්දරාවක් ද?’ හේ මහ හඬින් කීවේ ය. 
 
  ඔහු ඇමතු මම, මහා පතනය හේතුවෙන් නැමී ගිය ඉණිමග කෙළින් කරලනු වස් ඔහුට සහාය වීමට පෙරට ගියෙමි. ඒ වන විට බොහෝ සෙයින් ප්‍රමාද ව තිබුණි.ඔහු පරාජිත ව, අපේක්ෂා භංගත්වයට පත් ව, අනුකම්පා කටයුතු ලෙසකින් සිටියේ ය. ඔහුගේ විල්ලුද හිස් වැස්ම ද රන් ආලේපිත උපැස්  යුවල ද බිම පතිත ව තිබුණි. දැන් සිය අත්ල දක්වා ම ඉහල  නැඟ තිබූ ප්‍රවාහයට ඔහු සිය කෙටි අත්ලෙන් නිරර්ථක ලෙස ප්‍රතිරෝධය පෑවේ ය. හිටි හැටියේ ම කාඩ් පත්වල බිහිසුණු රැල්ලක් මතු ව අවුත්, දැවැන්ත ප්‍රවාහයක් තුළ ගිල ගත්තේය. නිමේශයක දී මහා ප්‍රාඥයාගේ දිදුලන හිස් කබල සහ කුඩා නමුත් මහත් වූ දෑත් ද ප්‍රවාහය තුළ තිබෙනු මට දැක ගත හැකි විය. ඉනික්බිති එය වැසී ගියේ ය. නිහඬතාවය සහ අචලභාවය මත ප්‍රවාහය ඇදහැලීම නොකඩවා ම සිදු විය. ඉණිමගත් සමඟින් මා ද ගිල ගනු ලැබෙතැයි බියෙන් මුසපත් වූ මම, ඉහළ ම ජනෙල් කවුළුව තුළින් බේරී පලා ගියෙමි.


                                            ග්‍රන්ථය 1 

                                           ආරම්භයන් 
 
                                  ශාන්ත මායෙල්ගේ ජීවිතය 
 
  කම්බි්‍රයාවේ රජ පවුලේ උරුමක්කාරයා වූ මායෙල් නව වැනි වියට පා තැබූ කල්හි, යිවර්න්හී තාපසාරාමයකට යවනු ලැබී ය. එසේ යවනු ලැබුවේ, එහි දී ඔහුට ශුද්ධ වූ අංශය  සහ ලෞකික අංශය යන දෙඅංශය  ම අධ්‍යයනය කළ හැකි වන හෙයිනි. දහ හතර වැනි වියේ දී පිය උරුමය අත්හළ ඔහු දෙවියන් වහන්සේට සේවය කරන බවට ප්‍රතිඥා දුනි. යාතිකා ගැයීම, ව්‍යාකරණ ඉගෙනීම සහ සදාකාලික සත්‍යයන් පිළිබඳ භාවනානුයෝගී වීම යන කරුණු  අතර, රෙගුලාසිවලට අනුකූල  ව  ඔහුගේ කාලය බෙදනු ලැබිණ. දිව්‍යමය සුගන්ධයක් මගින් පූජකයාගේ සත්ගුණවත්භාවය තාපසාරාමය පූරා පතුරුවා හරිනු ලැබිණ. දිව්‍යාශිර්වාද ලත් ගල් නමැති යිවර්න්හි තාපසාරාමාධිපති තුමා මෙලොවින්  ස්වර්ගයට චුත ව ගිය කල්හි, තාපසාරාම  පාලනය සඳහා තරුණ මායෙල් පත් විය. ඔහු එහි පාසලක් ද රෝහලක් ද තානායමක් ද කම්හලක් ද සියලු ම වර්ගයේ වැඩ පොළවල් ද නැව් තටාකාංගනයක් ද පිහිටු වීය. අහළ පහළ ඉඩම්  අස්වද්දන  ලෙස ඔහු සියලු ම පූජකයන්ට බල කළේ ය; ඔහු සිය දෑතින් ම තාපසාරාම උද්‍යානයෙහි වගා කළේ ය. ස්වර්ගය පිළිබිඹු කරන්නා වූත්, කෙත්වතු සරුසාරවත් කරන්නා වූත් දිය ඇල්ලක් පරිද්දෙන් ඔහුගේ ජීවිතය මුදු මොලොක් ලෙස රූටා ගලා යමින් තිබිණි.
 
  ශාන්ත මයිකල්ගේ පූජාසනය නමින් තවමත් හැඳින්වෙන උස් කඳු බෑවුම මත, දිනය කෙළවර වූ විට අසුන් ගැනීමට දෙවියන් වහන්සේගේ මෙම සේවකයා පුරුදු  සිටියේ ය. හරිත වර්ණ මුහුදු පැලෑටි  සහ පිංගල වර්ණ මුහුදු පෙඳ සමඟ කැකෑරුණ  කඳුගැට පෙළ ඔහු දෙපා අභියස දිස්වූයේ, ස්වකීය අත්භූතාකාර පයෝධරයන් සමඟින් දළ රළ පෙළට මුහුණ ලා සිටි  මකරුන් ලෙසිනි.  ස්වකීය තේජාන්විත ලෙයින් මේඝයන්ටත් දිය රැළිවල මුදුනටත් නීලවර්ණ සහ රක්තවර්ණ සංයෝගයක් ලබා දුන්නා වූ රක්ත වර්ණ සත්ප්‍රසාද රොටියක් විලසින් පෙනී ගිය සත් සමුදුර තුළ ගිලා බසින සූර්යයා දෙස ඔහු නෙත් හෙළා සිටියේ ය.  ශුද්ධෝත්තමයා මෙම දර්ශනය තුළින් දුටුවේ දිව්‍යමය රුධිරය මගින් රාජකීය දම් පැහැයකින් පෘථිවිය සරසනු ලැබුවා වූ කුරුසිය සතු ව පවතින ගුප්තභාවයේ ප්‍රතිමූර්තියයි. දියඹෙහි දැඩි නීල වර්ණ රේඛාවක් ගෑඩ් දිවයිනෙහි වෙරළ වසා සිටියේ  ය. සිය මුහුණු ආවරණය ශාන්ත මායෙල් වෙතින් ලැබුවා වූ ශාන්ත බි්‍රජට් තුමිය කන්‍යා මඩමක් පාලනය කරමින් වැඩ විසුවේ එහි ය. 

  ගරු කටයුතු මායෙල් සතු කෞශල්‍යයන් හොඳ හැටි දත් බි්‍රජට්, ඔහුගේ ම දෑතින්  තැනුණ යම් නිර්මාණයක්, වටිනා ත්‍යාගයක් වශයෙන් තමාට ප්‍රදානය කරන ලෙස උදක් ම අයැද සිටියා ය. මායෙල් ඇය වෙනුවෙන් පිත්තල අත් සීනුවක් වාත්තු කළේ ය. එය අවසන් වූ විට, ඔහු එයට ආශිර්වාද කොට මුහුදට විසි කළේ ය. සීණුව නාද වෙමින් ගෑඩ්හි  වෙරළට පාවුණි. රළ මත පතිත වූ සීනු හඬින් කල් තියා දැනුම් දෙන ලැබ  සිටියා වූ ශාන්ත බි්‍රජට් තොමෝ, සැදැහැ සිතින් අනූනව එහි දී එය දොහොත් මුදුනින් ලබා ගෙන, ස්තෝත්‍ර ගයමින්  ගරු ගාම්භීරාකාර පෙරහැරින් එය කන්‍යා මඩමේ දෙව් මැදුර වෙත වඩම්මවා  ගෙන ගියා ය. මෙලෙසින් ශුද්ධෝත්තම මායෙල් තෙමේ සත්ගුණවත්භවයෙන් සත්ගුණවත්භාවය කරා ඉදිරියට ම  ගියේ ය. ඔහු මේ වන විටත් ජීවිතයේ තුනෙන්  දෙකක් ම ගත කර තිබුණි. ඔහු අපේක්ෂා කළේ ස්වකීය ආධ්‍යාත්මික සහෝදර කැළ මධ්‍යයෙහි ම, ලෞකික අවසානය කරා  සන්සුන්  ව ළඟා වීමට ය . ඔහු මෙලෙසින්  අපේක්ෂා කළේ, දිව්‍යමය ඥානයාණන් අනෙකක්  තීන්දු කර ඇති බවත්, සාමකාමීත්වයෙන් අඩු වූ නමුදු ගුණෝපේතයෙන් නො අඩු වූ කාර්යයන් උදෙසා දෙවියන් වහන්සේ තමාට ඇරයුම් කරමින් සිටින බවත් එක්තරා සංඥාවක් මගින්  ඔහු ප්‍රත්‍යක්ෂ කර ගෙන සිටි හෙයිනි.         
 
 
 
 
                                                      02
 
                           ශාන්ත මායෙල්ගේ ධර්මදූත වෘත්තිය 

  දිනක් හේ බවුන් වඩමින් සක්මන් කරන්නේ, ශාන්ත මුහුදු වෙරළක ඈත ම කෙළවරට ළඟා වූයේ ය. මුහුදට නෙරා ගිය ගල් වැටිවලින් රඵ බැම්මක් සෑදී තිබුණි. ජලය මත පාවූ ගල් ඔරුවක් එහි තිබෙණු ඔහු දුටුවේ ය. 
  
  ශාන්ත ග්විරෙක් ද සාන්ත කොළොම්බා ද ආර්මෝරිකාවෙහි ශුභාරංචිය පතළ කිරීම පිණිස ස්කොට්ලන්තයේ සිට අයර්ලන්තය දක්වා  වූ රටවලින් ගිය බොහෝ ශුද්ධෝත්තමයන් ද ගමන් කළේ මේ හා සමාන වූ යානයකිනි. වඩාත් මෑත කාලයේ දී ශාන්ත ආවෝයෝ එංගලන්තයේ සිට පැමිණ අවුරායි ගඟ තරණය කළේ රෝස පැහැති කඵගල් වර්ගයකින් සාදන ලද වංගෙඩියක් වැනි යාත්‍රාවකිනි. ළමුන් වඩා ශක්ති සම්පන්න කරවනු පිණිස පසු කලෙක මෙය තුළට රැගෙන යනු ලැබූහ; ශාන්ත වූගා හිබෙර්නියාවේ සිට කොර්න්වෝලයට ගියේ කලුගල් මතිනි. පෙන්මාර්ෂ්හි සුරැකි ව තබා ඇති මෙම කලුගලේ පතුරු සිය හිස මත තබා ගන්නා වන්දනාකරුවෝ උණෙන් සුවපත් වන්නාහ. සාන්ත සැම්සනයෝ සාන්ත මිචෙල්ගේ කන්දේ බොක්කට ප්‍රවිෂ්ඨ වුයේ, යම් දිනෙක දී සාන්ත සැම්සන්ගේ බේසම යයි හැදින්වීමට ඉරණම් ව තිබූ යාත්‍රාවකිනි. වෙරළේත්, බ්‍රෙටින්  දිවයින්හිත් තවමත් වසන මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ අපෝස්තුලු ධුරය සඳහා  දෙවියන් වහන්සේ තමන් කෙරෙහි බැල්ම හෙළා ඇති බැව්, මෙම ගල් යාත්‍රාව දුටු කල්හි සාන්ත මායෙල් පසක් කර ගත්තේ, මෙන්න මේ සත්‍ය ම සත්‍ය කරුණු හේතු කොට ගෙන ය.
  
  ඔහු සිය අඵ පැහැති යෂ්ටිය ශුද්ධ වූ බුඩොක්ට බාර දුන්නේ ය. ඒ අනුව තාපසාරාමයේ පාලනය ඔහු වෙත පැවරුණි. ඉන්පසු රොටිවලින් ද නැවුම් වතුර බැරලයකින් ද ශුභාරංචිය පිළිබඳ ග්‍රන්ථයෙන් ද සජ්ජිත වූ හෙතෙම ගල් යාත්‍රාවට ප්‍රවිෂ්ඨ විය. එය සෙමින් සෙමින් හෙයිඩික් දිවයින වෙත ඔහු රැගෙන ගියේ ය.
 
  මෙම දිවයින සදාකල්හි ම සුළං සමග පොරබැදී ය. මෙහි සමහර දුගී මිනිස්සු ගල්පරයන්හි විවරයන් තුළ මාඵ බෑහ. නිසරු ගල් වැටි ද තමරිස්ක් නම් වූ නිල් පැහැති පඳුරු විශේෂයකින් ද ආවරණය වූ වැලි සහ ගල් කැටවලින් පිරුණු උද්‍යානයන්හි ඔහු දැඩි වෙහෙස මහන්සියෙන් එලවඵ වගා කළේ ය. දිවයිනේ කුහරයක් තුළින් පැන නැංගා වූ මනරම් දිවුල් රුකක් ,සිය ශාඛාවන් දස දෙසට නෙරා හැර තිබිණ. දිවයින්වාසීහු එය වන්දනාමාන කිරීමට ගල් වැටි ද තමරිස්ක් නම් වූ නිල් පැහැති පඳුරු විශේෂයකින්  ද ආවරණය වූ වැලි සහ ගල් කැටවලින් පිරුණු උද්‍යානයන්හි ඔහු දැඩි වෙහෙස මහන්සියෙන් එලව`ඵ වගා කළේය. දිවයිනේ කුහරයක් තුළින් පැන නැංගා වූ මනරම් දිවුල් රුකක්, සිය ශාඛාවන් දස දෙසට නෙරා හැර තිබිණ. දිවයින්වාසීහු එය වන්දනාමාන කිරීමට පුරුදු වුහ.
 
  ශුද්ධ වූ මායෙල් ඔවුන්ට මෙසේ කීය. “ඔබ මෙම වෘක්ෂය වන්දනාමාන කරන්නේ එය මනරම් නිසා ය. එනිසා මනරම් බව දැනීමෙහිලා ඔබට හැකියාව ඇත. සැඟවී තිබෙන්නා වූ මනරම් බව ඔබ හට අනාවරණය කිරීමට දැන් මම එන්නෙමි.” ඔහු ඔවුනට ශුභාරංචිය ඉගැන්වී ය. ඔවුනට උපදෙස් දීමෙන් අනතුරු ව ඔහු ලුණු සහ වතුරෙන් ඔවුන් බෞතීස්ම කළේ ය.  
  මොර්බිහින් දිවයින්, අදට වඩා එසමයෙහි අසංඛ්‍ය සංඛ්‍ය විය. මන්ද යත්, එසමයෙහි සිට ඉන් බොහොමයක් ම සමුද්‍රය විසින් ගිල ගනු ලැබු හෙයිනි. ශාන්ත මායෙල් ඉන් හැටක ම ශුභාරංචිය පතළේ ය. ඉන් පසු ඔහු සිය ගල් ඔරුවෙන් අවුරායි ගංගාව තරණය කළේ ය. හෝරා තුනක් යාත්‍රා කිරීමෙන් අනතුරු ව ඔහු රෝමන් නිවසක් ඉදිරිපිට නැංගුරම් ලෑවේ ය.   
ඝන දුමාර ජාලාවක් වහළෙන් ඉහළට නැඟුණි. ශුද්ධෝත්තමයා එලිපත්ත පසුකර ගියේ ය. පස්සා ගාත් පසු පසට විහිදුවා, දිව එළියට දමා සිටි සුනඛයෙක් නිරූපණය කෙරෙන වීදුරුවක් එහි විය. මාර්කස් කොම්බාබුස් සහ වලේරියා මොරේන්ස් නමැති මහලු යුවල විසින් ඔහු පිළිගනු ලැබිණ. ඔවුන් එහි ජිවත් වූයේ තමන්ගේ ම ඉඩම්වලින් ලද ඵලදාවෙනි. ගෘහාභ්‍යන්තරය වටා පෝටිකෝවක් විය. එහි කු`ඵණු, බිම සිට ඒවායේ උසින් අර්ධයක් පමණ වන තෙක් රත් පැහැයෙන් ආලේප කර තිබුණි. බිත්තියට මුහුණලා සිප්පි කටුවලින් තැනුණ ජලාශ්‍රයකි. පු`ඵස්සන ලද මැට්ටෙන් සාදා, හුණු දියෙන් සුදු පැහැ ගන්වා ගෙහිමියා විසින් තැන් පත් කරන ලද ප්‍රතිමාවක් එහි විය. ඉන් සමහරකින් නිරූපණය වූයේ පියාපත් සහිත දරුවන් ය: අනෙක් එවායින් ඇපලෝ හෝ මර්කරි හෝ නිරූපණය විය. තවත් කිහිපයක් සිය කෙස් කළඹ අඹරවමින් සිටි නග්න කතකගේ ස්වරූපයෙන් යුතු විය. එහෙත්, එම රූප නිරීක්ෂණය කරමින් සිටි ශුද්ධ වූ මායෙල්, ඒ සියල්ල අතරින් අනාවරණය කර ගත්තේ සිය ඇකය මත දරුවකු හොවා ගෙන සිටි තරුණ මාතාවගේ පිළිරුවකි.
 
   වහා එම පිළිරුව පෙන්වමින් හේ මෙසේ කීය.
 
    “ඒ ස්වාමි දරුවාණන්ගේ මාතාව - කන්‍යාතුමියයි. ඇය ලොව පහල වීමට පෙරාතුව, වර්ජිල් කිවියා සිබිලයින් පද්‍යයන්හි දී ඈ පිළිබඳ අනාවැකි පළ කළා. ඔහු න්‍්ප රුාසඑ ැඑ ඩසරටද කාව්‍යය ගායනා කළා. අහෝ මාර්කස් ! ඔබ මෙම අල්තාරයේ තැන්පත් කර තිබෙන්නාක් වැනි, එතුමිය පිළිබඳ අනාවැකි පහළ කරන ප්‍රතිමා, අනාවරණය වී ඇති සත්‍යයන් පිළිබඳ දැනුම ලබා ගැනීමට තමන් ව සුදානම් කර ගන්නේ ස්වාභාවික නීතිය භක්තිමත් ව පිළිපදින අයයි.” 

  මෙම කතාවෙන් අනුශාසනය ලැබු මාර්කස් කොම්බාබුස් සහ වලේරියා මොරේන්ස් කිතු දහමට හරවා ගැනුණි. සිය දෑසෙහි ආලෝකයටත් වඩා ඔවුන් පෙම් කළා වූ කයේලියා අවිතෙල්ලා නමැති ඔවුන්ගේ වහලිය හා සමඟින් එක් ව ඔවුහු බෞතීස්මය ලැබූහ. ඔවුන් සතු ව සිටි සියලු ම කුලීකරුවෝ මිථ්‍යා  දෘෂ්ටිය අත් හළහ. එදින ම ඔවුහූ  බෞතීස්මය ලැබූහ. 
මාර්කස් කොම්බාබුස්, වලේරියා මොරේන්ස් සහ කයේලිය අවිතෙල්ලා එතැන් සිට සත්ගුණවත්භාවයෙන් පිරුණ දිවියක් ගෙවූහ. ඔවුහු  දෙවියන් වහන්සේ වෙනුවෙන් ම මළ අතර ශාන්තුවරයන්ගේ නාම ලේඛනයට ද ඇතුළත් කර ගනු ලැබූ හ.
 
  තිස් වසරක දිගු කලක් මු`ඵල්ලේ දිව්‍යාශිර්වාද ලත් මායෙල් තෙමේ, රට අභ්‍යන්තරයෙහි මිථ්‍යා දෘෂ්ටිකයන් හට ශුභාරංචිය ලබා දුණි. ඔහු දෙව් මැදුරු දෙසිය දහ අටක් ද තාපසාරාම හැත්තෑ හතරක් ද ගොඩ නැඟීය. 
ඔහු එහි නො සිටි වකවානුවේ දී යිවර්න්හි මහණුන් ශාන්ත ගල්හී පාලනයෙන් ඈත් වූ බව, එක්තරා දිනෙක නගරයේ දේශනා කරමින් සිටිය දී ඔහුට දැන ගන්නට ලැබුණි. සිය පැටවුන් රැළ එක්කාසු කර ගන්නා කිකිළියක් දක්වන උද්යෝගිමත්භාවයෙන් යුක්ත ව, වරදෙහි බැඳුණු සිය දරුවන් හමුවීමට හේ වහා ගියේ ය. ඒ වන විට ඔහු අනූ හතර වැනි වියෙහි පසු විය. ඔහුගේ සිරුර වක ගැසී තිබුණි: එහෙත් ඔහුගේ දෑත් සවි බලවත් විය. මිටියාවත් ගැඹරේ ඇද හැලෙන ශිත සෘතු හිම පරිද්දෙන් ඔහුගේ කථාව දොරේ ගලා ගියේ ය.
  
  තාපසාරාමාධිපති සිය අ`ඵ පැහැති යෂ්ටිය මායෙල් හට ආපසු භාර දී, තාපසාරාමය ඇද වැටී තිබෙන අසන්තෝෂජනක තත්ත්වය ඔහුට දැනුම් දුණි. පාස්කු උත්සවය පැවැත්විය යුතු දිනය සම්බන්ධයන් පූජකයෝ එකඟත්වයක නො සිටියහ. සමහරු රෝම දින දර්ශනයට ද අනෙක් අය ග්‍රීක දින දර්ශනයට ද ගැති වූහ. කාල නීර්ණය පිළිබඳ ව හටගත් භේදයේ සංත්‍රාසයන්ගෙන් තාපසාරාමය ඇළලී ගොස් වල්මත් විය. 

ව්‍යාකූලක්වයට තවත් හේතුවක් විය. කණගාටුදායක අයුරින් ස්වකීය පූර්ව - සත්ගුණවත් භාවයෙන් ඇද වැටුණු ගෑඩ් දිවයිනේ පූජකවරියෝ, යිවර්න්හි වෙරළට බෝට්ටුවලින් ඇදී ආහ. පූජකයන් ඔවුන් පිළිගත්තේ තානායමේ දී ය. මෙයින් ජංජාලයක් ඇති විය. එම නවනිංගිරා සහගත සිද්ධිය ශුද්ධාත්මයන් අභාග්‍යයන්ගෙන් පුරවා ලීය. 
සිය වාර්තාව අවසන් කරමින් තාපසාරාමාධිපති බුඩොක් මෙවදන් තෙපළේ ය. 
  “මෙම පූජකවරියන් මෙහි පැමිණි තැන් සිට පූජකයන් තුළ පැවැති සාමය සමාප්තියකට පත් වුණා.”
 
  දේවාශිර්වාද ලත් මායෙල් මෙසේ පිළිතුරු දුන්නේ ය. “මම එය එලෙසම පිළිගනිමි. මන්ද යත්, ස්ත්‍රිය යනු, අප උගුල ගැන සැක කිරීමටත් පෙරාතු ව ම, අප ව එයට හසු කර ගන්නා වූ  උගුලක් වන හෙයිනි. “අහෝ ! මෙම සත්ත්වයන් සතු ආනන්දජනක ආකර්ෂණය, ඔවුන් අප ලඟ සිටින විට දී වනවාට වඩා දැඩි බලපෑමක්, ඔවුන් ඈත සිටින විට දී ඇති කරවයි. ඔවුන් ආශාව සන්තර්පණය කරන්නේ යම්තාක් අඩුවෙන් ද, ඔවුහූ එය වඩ වඩාත් ජ්වලිත කරවන්නාහූ ය.
 
     ‘ළඟ සිටිනා විට තී මග හරිනෙමි   
           ලඟ නොම ඇති විට මම තී සොයනෙමි’ 
යනුවෙන් ඔවුන්ගෙන් එකියක් වෙත වරෙක කිවියෙක් ලීවේ එනිසයි. ඒ අනුව, මපුතණුව, මෙලොව වසන පෘථග්ජන මිනිසුන් අතර ඇතිවාට වඩා, තපසුන් හා පූජකයන් අතර කාම සම්භෝගයට ලොල්වීමේ ගතිය වැඩි ය. මගේ ජීවිතය පුරා ම ආශාව නමැති යක්ෂයා විවිධාකාර ලෙසින් මා පොළඹවාලී ය. එහෙත් දැඩි ම පෙළඹවීම මට ඇති වුයේ, ස්ත්‍රියක් කෙතරම් මනරම් වූවත්, සුගන්ධවත් වූවත්, ඇය මා අබියස සිටින විට නො වේ. මට එය ඇති වුයේ මා අබියස නොමැති ස්ත්‍රියකගේ මැවී පෙනුණ ප්‍රතිරූපයෙනි. මා දැන් කාලය සම්පූර්ණ කර අනූ අට වැනි වියට එළඹෙමින් සිටින මුත්, අද පවා, අඩු ම වශයෙන් සිතිවිල්ලේ දී හෝ, බ්‍රහ්මච ්රයාවට එරෙහිව පාපයේ ගැලීමට සතුරා නිතර ම මා යොමු කරවයි. රෑ යාමේ මා මාගේ යහනෙහි සීතලෙන් තෙරපි තෙරපී සිටින විට, මුග්ධ හඬක් නංවමින් මගේ නාකි ඇටකටු සට පට ගා ගැහෙන විට, රජවරුන්ගේ තෙවැනි ග්‍රන්ථයේ දෙවැනි කාව්‍යය ගයන හඬ මට ඇසෙයි. එම හඬ මෙසේ ගයයි.
 
  “එබැවින් ඔහුගේ සේවනයෝ ඔහුට මෙසේ කීහ. 
    මාගේ රජුට තරුණ කන්‍යාවියක් සොයත්වා !   
          ඇය රජු ඉදිරියේ නැඟී සිටිත්වා !   
          එතුමාණන් හට ප්‍රේම කරත්වා !   
           ඔහුගේ ඇකයේ සැතපෙත්වා ! 
  මාගේ රජුට උණුසුම ලැබෙත්වා ! 
“විකසිත තාරුණ්‍යයෙහි සිටින ලලනාවක්, යක්ෂයා මට පෙන්වාලයි. ඇය මට මෙසේ කියයි. මම ඔබේ අභිසාග් ය: මම ඔබේ ෂුනමයිට් ය. ඕ මාගේ දේවයිනි, ඔබේ යහනෙනි මා හට ඉඩ සලසන්න.”
  මහල්ලා තවදුරටත් මෙසේ කී ය. “මා විශ්වාස කරන්න. පූජකයකු හට ක්‍රියාවේදීත් සිතුවිල්ලේ දීත් බ්‍රහ්මචර්යාව රැක ගත හැක්කේ ස්වර්ගයෙන් ලැබෙන සුවිශේෂ ආධාරයෙන් පමණි.” 
ඔහු තාපසාරමය තුළ නිර්දෝෂීභාවය සහ සාමය ප්‍රතිෂ්ඨාපනය කිරීමෙහිලා වහා නිරත විය. කාල නීර්ණයට සහ තාරකා ශාස්ත්‍රයට අනුකූල ව කරන ලද ගණන් බැලීම්වලට අනුව යමින් දින දර්ශනය නිවැරදි කළ ඔහු, සිය තීරණය පිළිගන්නා ලෙස සියලු ම ජූජකයන්ට බල කර සිටියේ ය: ශාන්ත බි්‍රජට් තුමියගේ පාලනය ප්‍රතික්ෂේප  කළ කතූන් කන්‍යාරාමයට ආපසු යැවී ය.  එහෙත් මෘග ලෙස එලවා දැමීම වෙනුවට ස්තෝත්‍ර හා ගීතිකා ගයමින් ඔවුන්ගේ බෝටිටු වෙත ඔවුන් ගෙන යාමට ඔහු කටයුතූ සැලසී 
  
  “ඔහු මෙසේ කීය ‘අපි ඔවුන් තුළ සිටින්නා වූ බි්‍රඡට්ගේ දූවරුන්ටත් දෙවියන් වහන්සේට ප්‍රතිඥා දුන් අය හටත් බුහුමන් දක්වමු. අප සුපරික්ෂාකාරී නොවන්නේ නම් පව්කාරයන්ට ගල් ගසන  ෆාර්සිවරුන් අනුගමනය කළා වනු ඇත. අවමානයට පත් කළ යුත්තේ මෙම  කතූන්ගේ පාපය මිස එම කතුන් නො වේ.  තමන් කවුද යන්න පිළිබදව ඔවුන් ලැජ්ජාවට පත් කරවීමට වැඩ කටයුතූ සැලසිය යුතු ය. මන්ද යත් ඔවුන් සියල්ලන් ම දෙවියන් වහන්සේට අයත් සත්ත්වයන් වන හෙයිනි.
 
  ස්වකීය නිකායේ රෙගූලාසි වලට භක්තිමත්ව කීකරු වන ලෙස ශූද්ධෝත්තමයා සිය පූජකයන්ට අවවාදානුශාසනා කළේ ය. ‘සුක්කානමට අවනත නොවන කල්හි, නැව ගලට අවනත වනු ඇතැ’ යි ඔහු ඔවුනට වදාළේ ය.

 



                                                   03
                              ශාන්ත මායෙල් පොළඹවනු ලැබීම

  ස්වකීය ප්‍රථම පරපුර වූත් ස්වකීය හදවතට අතිශයින් ම බැඳි වෙලී තිබෙන්නා වූත් හෙයිඩික් දිවයින්වාසීන් මිථ්‍යා දෘෂ්ඨියට ආපසු හැරී සිටින බවත් ඔවුන් දිවුල් රුක් වහන්සේලාගේ ශාඛාවන්හි මල් ඔටුනු සහ ලෝම කොඩිවැල් එල්ලමින් සිටින බවත් සාන්ත මායෙල් දැන ගත්තේ ඔහු තාපසාරාමයේ විනය ප්‍රතිෂ්ඨාපනය කර අත ගන්නටත් පෙරාතු ව ය. 
මෙම මුලාවට පත් මිනිසුන් සිය දිවයිනේ වෙරළෙහි ගොඩ නඟා තිබූ දේව මන්දිරය ප්‍රචණ්ඩකාරී ලෙස කුඩු පට්ටම් කර දැමීමට ඉඩ ඇති බවට මෙම කණගාටුදායි පුවත රැගෙන ආ බෝට්ටුකාරු බිය පළ කළේ ය.
  
  සිය අදැහැමි දරුවන් බැලීමට යාමට ශුද්ධෝත්තමයා තීරණය කළේ ය. එසේ තීරණය කළේ ඔවුන් යළි ආගමික භක්තිය කෙරෙහි යොමු කර ලීමටත් එවන් ආගමික වස්තු විනාශ කිරීමට නතු වීමෙන් ඔවුන් වලක්වා ලීමටත් ය. සිය ගල් ඔරුව නැංගුරම් ලා තිබූ මුහුදු බොක්ක වෙත ගමන් කරමින් සිටි ඔහු කියත් හඬින් ද මිටි පහරවල හඬින් ද එකකෝලහාලව තිබූ මඩු දෙස තෙත් හෙළී ය. මින් වසර කිහිපයකට පෙර ඔහු මෙම මුහුදු බොක්ක අවට ඒවා ගොඩ නැංවූයේ වැව් තනනු පිණිස ය. 

  කිසි කලෙකත් විඩාපත් නොවන්නා වු යක්ෂයා ඒ මොහොතේ දී මඩුවලින් එළියට අවුත් සැම්සන් නම් වූ මහණකුගේ වෙස් ගෙන ශුද්ධෝත්තමයා වෙත එළඹ ඔහු පොළඹවා ගනු වස් මෙසේ කීවේ ය.

  “පියතුමනි, හෙයිඩික් දිවයින්වාසීහු නො නැවතීම පාපයෙහි ගැළෙත්. ගතවන හැම මොහොතක ම ඔවුහු දෙවියන් වහන්සේ වෙතින් ඈත් කෙරෙත්. ඔබ ඔබේ ම ගෞරවනීය දෑතින් ඔවුන්ගේ වෙරළෙහි ගොඩ නැඟූ දෙව් මැදුරුවල ට එරෙහිව ප්‍රචණ්ඩත්වය යෙදීිමට ඔවුන් ළගදී ම ක්‍රියා කරනු ඇත. කාලය ස්ීමිතයි. ඔබේ ගල් ඔරුව බෝට්ටුවක් මෙන් කුඹ දමා සකස් කළ හොත් එයට සුක්කානමක් කුඹ ගහක් රුවලක් යොදා සම්පූර්ණ කළ හොත් එය සුළඟින් පැද වී යන හෙයින් ඔබට ඔවුන් වෙත වඩා ඉක්මණින් යා හැකි යයි ඔබ නොසිතන්නෙහි ද? ඔබේ දෑත් තවමත් සවිමත් ය. ඔබට කුඩා ඔරුවක් පදවා ගෙන යා හැකියි. ඔබේ ධර්ම යාත්‍රාව ඉදිරියෙන් කඳක් දැමීමත් හොඳ දෙයක්. ඒ සම්බන්ධයෙන් තවමත් දැන නොසිටීමට තරම් ඔබ හරි ම පැහැදිලි දැක්මෙන් යුක්තයිනෙ.” 

  “සත්තකින් ම කාලය සීමිතයි.” ශුද්ධෝත්තමයා පිළිතුරු දුනි. “එහෙත් සැම්සන් මපුතනුව, ඔබ කියා සිටින දේ කිරීම, ස්වාමීන් වහන්සේ කෙරෙහි අල්ප මාත්‍ර විශ්වාසයක් දක්වන්නකුගේ තත්ත්වයට මා ද පත් කර ගැනීමක් නොවන්නෙ ්ද? එසේ කිරීම, කුඹ ගසක්වත් රුවලක්වත් නැති මේ ගල් ඔරුව මවෙත එවූ එතුමාණන් වහන්සේගේ ත්‍යාගය පිළිකෙව් කිරීමක් නොවන්නේ ද?"'
 
  ශ්‍රේෂ්ඨ දේවධර්ම ශාස්ත්‍රඥයකු වූ යක්ෂයා මෙම ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ප්‍රති ප්‍රශ්නයක් නඟමිනි. 

   “පියතුමනි, මනුෂ්‍ය විචක්ෂණ භාවය අනුව ක්‍රියා කරමින්, අප හිසට අප අතමය සෙවණැල්ල කර ගැනීම වෙනුවට, අත් පා බැඳගෙන ඉහළින් අධාරය පැමිණෙන තුරා මුව අයා බලා සිටීමත්, සර්වස්ත්‍රෝහද්‍ර උන්වහන්සේගෙන් හැම දෙයක් ම ඉල්ලා සිටීමත් ප්‍රශංසනීය වූවක් ද?”  

  “සත්තකින් ම නැත” ශුද්ධ වූ මායෙල් පිළිතුරු දුන්නේ ය. “මනුෂ්‍ය විචක්ෂණභාවයෙන් කටයුතු කිරීම මග හැරීම යනු දෙවියන් වහන්සේ පොළඹවා ලීමයි.”
  
 “හොඳයි, එහෙම නම් මේ අවස්ථාවේ ඔරුවෙ කුඹ ගස් බැඳීම විචක් ක්ෂණ භාවය නොවන්නේ ද?” 
 
 “අන් කිසිදු මාර්ගයකින් අපේ අරමුණු ඉටු කර ගත නොහැකි නම්, එය විචක්ෂණභාවය වනු ඇත.” 

  “ඉතින් ඒ ඔරුව එතරම් වේගවත් ද?”
 
  “එය දෙවියන් වහන්සේ කැමැති තරම් වේගවත්.” 
 
  “ඒ ගැන ඔබ දන්නේ මොනව ද? එය ගමන් කරන්නෙ හරියට බුඩොක් තාපසයගෙ කොටළුව වගෙයි. එය සාමාන්‍ය තරමේ බාල්දියක් වගෙයි. එය වේගවත් කරවන්න ඔබට තහනම් ද?”
  
  “මපුතණුව, පැහැදිලිභාවයෙන් ඔබේ වදන් අලංකාරවත් වෙයි. එහෙත් එම වදන් යථා යෝග්‍ය නොවන පරිදි අධි- විශ්වාසයෙන් යුක්තයි. මතක තබා ගන්න, මේ ඔරුව ප්‍රාතිහාර්යජනකයි”
  
  “අපොයි ඔව් පියතුමනි, කස්කුරුප්පුවක් වගේ ජලයේ පාවෙන ගල් ඔරුවක් ප්‍රාතිහාර්ය ජනක ඔරුවක් ම තමයි. ඒ ගැන ආයෙ අහන්න දෙයක් නැහැ. ඒකෙන් ඔබ එළඹෙන නිගමනය කුමක් ද?”
  
  “මම ඉමහත් සේ අන්දමන්ද වී සිටින්නෙමි. ඒ සා ප්‍රාතිහාර්යජනක වූ යන්ත්‍රයක්, මනුෂ්‍යමය වූ මාර්ගයෙන් සහ ස්වභාව ධර්මයට අනුකූල මාර්ගයකින් පරිපුර්ණත්වයට පත් කිරීම යෝග්‍ය ද?”
 
  “පියතුමනි. ඔබේ දකුණු පාදය අහිමි ව ගොස්, දෙවියන් වහන්සේ ඔබට එය ප්‍රතිෂ්ඨාපනය කර දුන්නොත්, එම පාදය ප්‍රාතිහාර්ය ජනක නොවේ ද?” 
 
  “නිසැකවම, මපුතණුවනි” 

    “ඔබ එහි සපත්තුවක් දානව ද?” 

   “සත්තකින් ම”
  
  “එහෙම නම්, ආශ්චර්යවත් පාදයක් ස්වාභාවික සපත්තුවකින් ආවරණය කිරීමට යමෙකුට හැකි යයි ඔබ විශ්වාස කරනවා නම් ආශ්චර්යවත් බෝට්ටුවකට කුඹ ගහක් සවි කිරීමට හැකි බවත් ඔබ විශ්වාස කළ යුතුයි. ඒක හරි ම පැහැදිලියි. අහෝ ! ශුද්ධෝත්තමයන් හට පවා දුබල වූත් අසරණ වූත් අවස්ථාවන්ට මුහුණ පාන්ත වන්නේ කිම? සදාකාලික කීර්තිය ලැබීමට තරම් වූ කාර්යයන් සඵල කර ගැනීමට බි්‍රටන්හි අපෝස්තුවරයාට හැකි වුණා..... එහෙත් ඔහුගේ ආත්මය ප්‍රමාදශීලියි. ඔහුගේ අත අලසයි. එහෙම නම් පියතුමනි. ඕන් මන් ගියා. නමස්නේ! කෙටි පියවර තබමින්, මන්දගාමී පියවර තබමින්, බකල ගගහ ගමන් ගන්න, අන්තිමට ඔබතුමා හෙයිඩික් වෙරළට ලඟා වන විට, ඔබේ ම දෑතින් හදා, ඔබේ ම දෑතින් කැප කළ පල්ලියේ දුම් දදා තියෙන නටබුන් ඔබට දැක ගත හැකි වේවි. ඔබ එහි තබා ආ ඩීකන්වරයත් එක්කලා ම මිත්‍ය දෘෂ්ඨිකයන් එය පුළුස්සා දමනවා ඇති. ඔහු කළු පුඩිමක් මෙන් පිළිස්සී යනවා ඇති.” 
 
  “මගේ කරදරවල ඉවරයක් නැහැ” දෙවියන් වහන්සේගේ සේවකයා එසේ සුසුම් ලෑවේ සිය ඇස් බැමිවල එක් රැස්ව තිබූ දහඩිය කමිස අතින් වියලා හරිමිනි.
  
 “ඒත් කියන්න මට, සැම්සන් මපුතණුව, මෙම ඔරුවට කුඹ ගසක් දමීම දුෂ්කර කාර්යයක් නො වේ ද? අපි එය කිරීම පටන් ගත්තොත් කාලය ලබා ගන්නවාට වඩා කාලය නැති වී යන්න පු`ඵවන්.”
  
  “අයියෝ පියතුමනි,” යක්ෂයා හඬ නඟමින් කීය. “හෝරා යන්ත්‍රය වරක් කැරකෙන විට එය සිදු කෙරෙනු ඇත. ඔබ මීට ඉහත මේ වෙරළේ තැනූ මඩුවලිනුත්, ඔබේ භාරය යටතේ අවශ්‍ය තරමින් තැන්පත් කර තියෙන ගබඩාවලිනුත් ඊට අවශ්‍ය කුඹ ගස් සොයා ගත හැකියි. නැවේ කොටස් මම ම සකස් කරන්නම්. මහණෙක් වෙන්න ඉස්සර මම නැවියෙක්. ඒ වගේ ම තවත් රස්සාවල් ගණනාවක් කරලා තියෙනව.” 
 
  ඔහු වහා ම පිටතින් වූ ගෙයකට ශුද්ධෝත්තමයා කැඳවා ගෙන ගියේ ය. එය බෝට්ටුවක් සකස් කිරීමට අවශ්‍ය සියලු දෙයින් පිරී තිබුණි. 

  “පියතුමනි, ඔබ ඒක ගන්න”
  
  ඉන්පසු, කුඹ ගසක් ද එහි ඉස්කුරුප්පුව සහ මිට ද සමගින් සුක්කානමක් ද තම කරේ තබා ගෙන, මෙවලම් වලින් පිරුණ වඩු මල්ලක් කිහිලි ගන්නා ගත් හේ වෙරළ වෙත දිව ගියේ ශුද්ධෝත්තමයාගේ රෙද්දෙන් ඔහු ඇඳ ගෙන යමිනි. හම් පටිවල සහ ලී දඬුවල බරට යට වූ ශුද්ධෝත්තමයා, දහදිය පෙරමින් ද හුස්ම ගත නොහැකිව ද වක ගැසී සිටියේ ය
.

                                            04
      
                              හිම  සයුරෙහි කෙරුණ
                      ශාන්ත මායෙල්ගේ මුහුදු සංචාරය

  සිය රෙද්ද කැසපට කවාගත් යක්ෂ තෙමේ ගල් ඔරුව වැල්ලට ඇද, අඩ හෝරාවකට අඩු කාලයක දී කුඹ ගස සවි කළේ ය.
  
  සියලු රුවල් නංවා තිබූ යාත්‍රාව, ශුද්ධ වූ මායෙල් එයට පිවිසි කෙනෙහි ම දිය මැදින් ඇදී ගියේ කෙතරම් වේගයකින් ද යත්, සැණෙකින් ම පාහේ වෙරළ දර්ශන පථයෙන් නොපෙනී ගියේ ය. ගොඩබිම් අන්තයේ මාවතට පිවිසෙනු පිණිස මහල්ලා සුක්කානම දකුණට පැදවී ය. එහෙත් නවතාලිය නොහැකි ජල ප්‍රවාහයකින් ඔහු නිරිත දිගට ගසා ගෙන ගියේ ය. ඔහු අයර්ලන්තයේ දකුණු වෙරළ ඔස්සේ ගොස් තියුණු ලෙස උතුරට හැරුණි. සැඳෑ කාලයේ දී සුළඟ වඩාත් ප්‍රචණ්ඩ විය. රුවල් බෑමට මායෙල් දැරූ තැන නිෂ්ඵල විය. යාත්‍රාව සප්ත මහා සාගරයෙහි වල්මත් ව හඹා ගියේ ය. සඳ රැස් පතිත වීමත් සමඟ ම හණ පැහැති කෙස් කළඹින් යුතු, උතුරුකරයේ විලිසංගෙ නැති අප්සරාවන් ඔහු වටා රොක් වූයේ, සිය සුදු පැහැති උගුරු ද රෝස පැහැති ගාත්‍රාවන් ද මුහුදින් ඉහළට ඔසවා ලමිනි. සිය මරාමිණිවන් වලිගයන්ගෙන් පහර දී ජලය පෙණ පිඬු වලට පෙරලූ ඔවුහු, සප්තරංගයන්ට අනුකූල ව මෙලෙසින් ගී ගැයූහ.
  
         ඔබ කොයිබ යන්නෙහි ද
         මුදු සුමුදු මායෙල් 
         තොපගෙ ඔරුවෙ වල්මත්ව ඇදි ඇදී 
         සියල්ල ම ඉලිප්පී ඇත තොපගෙ රුවලේ 
         ජූනෝගේ ළමැද මෙන් 
         කිරි සයුර ඉන් ගලන කල
  
  මොහොතකට ඔවුන්ගේ කැකිරි සිනහව තරු අතරින් ඔහු ලුහු බැඳ ආවේ ය. එහෙත් ඔහුගේ යාත්‍රාව හඹා ගියේ වයිකිංවරයකුගේ රක්ත වර්ණ නැවකටත් වඩා වැඩි වේගයකිනි. පියාසර කරමින් සිටි, විස්මයට පත් මුහුදු පක්ෂීහු, සිය පාදයන්ගෙන් ශුද්ධෝත්තමයාගේ කෙස් කළඹෙහි එල්ලුණහ.
  
  සැණෙකින් ම, මහා ගනඳුරින් සහ ගර්ජනාවන්ගෙන් යුත් කුණාටුවක් හමා ගියේ ය. චණ්ඩ මාරුතයකට හසුව ගල් ඔරුව දළ රළ පෙළ සහ මීදුම අතරින් මුහුදු ලිහිණියකු සේ පියාසර කළේ ය.
  
  පැය විසි හතරේ ඒවා තුනකින් යුක්ත වූ රාත්‍රියක් ගෙවී යාමෙන් අනතුරු ව, ගනඳුර හදිසියේ ම පහව ගියේ ය. දියමන්තියකටත් වඩා දෑස් නිලංකාර කරන්නා වූ වෙරළක් ඈත ක්ෂිතිජයෙහි තිබෙණු ශුද්ධෝත්තමයා දුටුවේ ය. වෙරළ සීඝ්‍රගාමී ව වඩ වඩාත් විශාල වන්නට විය. අලසව ගිලා බසිමින් තිබූ සුර්යයාගේ තුෂාරාකාර රශ්මිය තුළින් මායෙල් නෙත ගැටුණේ, රළ පෙළ අතරින් නැඟී සිටි ධවල වර්ණ නගරයක නිසසල විථි ය. ගේට්ටු සියයකින් යුක්ත තිබ්ස් නගරයට ද වඩා එම නගරය විශාල විය. එහි වූ හිමෙන් තැනුණ සභා මණ්ඩපයේත් පින්නෙන් තැනුණ මාලිගාවන්හිත් පළිඟු ආරුක්කුවලත්, ඉන්ද්‍ර වර්ණ චතුරශ්‍රාකාර ටැම්වලත් නෂ්ටාවශේෂයන් ඇසට පෙනීය නොහැකි තරම් දුරට පැතිරී තිබුණි.
 
  පාවෙන හිම කඳු වලින් සයුර ආවරණය වී තිබුණි. එම හිමකඳු වටා වනවාරි, එනමුදු මුදු මොලොක් පෙනුමෙන් යුතු මිනිස්සු පිහිණූහ. ලෙවයාතන් එය පසු කර ගමන් ගත්තේ ජලස්කන්ධයක් මේඝයන් තෙක් විසුරුවා හරිමිනි.
  
  තව ද, ගල් ඔරුව තරම් ම වූ වේගයකින් පාවෙමින් තිබූ අයිස් කුට්ටියක් මත, සිය පැටවා ද දෑතෙහි රුවා ගත් සුදු වැලහින්නක් වාඩි වී සිටියා ය. න්‍්ප ැඑ රුාසඑ ඩසරටද   නම් වූ වර්ජිල් කිවියාගේ කවිය පහත් ස්වරයකින් මුමුණන හඬක් මායෙල් කන වැකුණි.  
සංතාපයෙන් ද අසහනයෙන් ද භරිත වූ මහල්ලා වැළපුණි.  
නැවුම් ජලය මිදී ගොස්, ඒවා එක් තැන් කර තිබූ ලේගරය පුරවා හළේ ය. මායෙල් සිය පිපාසය සංසිඳුවා ගනු වස් අයිස් කැබලි කීපයක් සූප්පු කරමින් සිටියේ ය. ඔහුගේ ආහරය වූයේ අපවිත්‍ර ජලයේ බහා පොඟවා ගත් රොටි ය. ඔහුගේ රැවුළ සහ කොණ්ඩය වීදුරු පරිද්දෙන් කැඩී ගියේ ය. අයිස් කැබැල්ලකින් වැසී ගිය ඔහුගේ වස්ත්‍රය, ඔහුගේ ගාත්‍රාවල සෑම චලනය වීමක් හා සමඟ ම ඔහු වෙත ආපසු නැඹුරුව ආවේ ය. මහා දළ රළ පෙළක් ඉහළට එසවී, පෙණ නගින සිය හකුපාඩ මහල්ලා දෙසට විවර කර දැක්වී ය. බෝට්ටුව විසි වතාවක් ම මුහුදු පෙඳ වලින් පිරුණි. රන්වන් කුරුසියක් සනිටුහන් කෙරුණි. දම්පාට කවරයක බහා අතිශය පරෙස්සම් සහගත ව අපෝස්තුලුවරයා විසින් සුරක්ෂිත කර ගෙන තිබූ ශුද්ධ වූ ශුභාරංචිය පිළිබඳ ග්‍රන්ථය සප්ත මහා සාගරය විසින් ගිල ගනු ලැබිණ.
  
  දහතුන් වැනි දින මුහුද නිසසල විය. අහෝ! අහසේ ද ජලයේ ද පැවති බිහිසුණු ගර්ජනයක් හා සමඟින්, ඇස් නිලංකාර කරන්නා වූ ධවල වර්ණිත මහා පර්වතයක් ගල් ඔරුව ඉදිරියට ඇදෙමින් තිබුණි. ඉන් ගැලවෙනු වස් මායෙල් හණික සුක්කානම පැදවී ය. එහෙත් සුක්කානම් මිට ඔහුගේ දෑතට කැඩී ආවේ ය. කන්ද වෙත යොමු වූ ඔහුගේ ගමනේ වේගය බාල කරනු වස් රුවල් බෑමට ඔහු තැත් දැරී ය. එහෙත් රුවල් තීරු ගැට ගැසීමට ඔහු තැත් කළ විට, සුළඟ ඒවා ඔහු කෙරෙන් ඈත් කළේ ය. කඹය ඔහුගේ දෑත් වියලා දම්මේ ය. කෙළවර කොකු සහිත වූත්, කළු හිමෙන් යුත් පියාපත් සහිත වූත් යක්ෂයින් තිදෙනකු ඔහු නෙත ගැටුණි. 
ඔවුහු කුඹ ගසේ එල්ලී, රුවල් වලට හුස්ම පිඹිමින් සිටියාහු ය. 
සිදු වූ මේ සියල්ලේ දී ම සතුරා තමාව පාලනය කරමින් සිටි බව මෙම දර්ශනයෙන් පසක් කර ගත් ඔහු, කුරුසියේ සලකුණ සටහන් කර ගැනීම මගින් සිය ආරක්ෂාව සහතික කර ගති. සැණෙකින් ම ඉකිබිඳීම් හා උඩු බිරීම්වල ශබ්දයෙන් පිරුණ චණ්ඩ මාරුතයක් ගල් ඔරුවට තඩි බෑවේ ය. කුඹ ගස, එහි තිබූ සියලු රුවල් ද සමඟින් ගසාගෙන ගියේ ය. සුක්කානම සහ එහි මීට දෙපලු කර දමුණි.  
  ගල් ඔරුව, ඒ වන විට නිසසල ව තිබූ මුහුදේ පාවෙමින් තිබුණි. ශුද්ධෝත්තමයා දණ බිම ඔබා, යක්ෂයාගෙන් තමා ගලවා ගත්තා වූ දෙවියන් වහන්සේට තුති කුසුම් පිදී ය. ඉනික්බිති, අයිස් කුට්ටියක් මත වාඩිලා සිටි ඔහු, කුණාටුව පවතිද්දී කථා කළ වැලහිනි මව හඳුනා ගත්තේ ය. ඇය තම අදරැති දරුවා ළමැදට තුරුළු කර ගෙන, රන්වන් කුරුසියක් සටහන් ව තිබූ දම්පාට පොතක් අතට ගත්ත ගල් ඔරුවට ජයගොස නඟමින්, ඇය මෙවදන්වලින් ශුද්ධෝත්තමයාට ආචාර සමාචාර කළා ය.
  
  “ඔබට සාමය උදාවේවා මායෙල්,”  ඇය පොත ඔහු වෙත දිගු කළා ය.
  
  ශුද්ධෝත්තමයා තමාගේ ශුභාරංචි ග්‍රන්ථය හඳුනා ගත්තේ ය. විස්මයෙන් හරිත වූ හේ, උණුසුම් ස්වරයෙන්, නිර්මාතෘවරයාණන් සහ එතුමාණන්ගේ නිර්මාණය වෙනුවෙන් ගීතිකාවක් ගැයී ය.






                                                                                 05  
  
                 පෙන්ග්විනයන් බෞතීස්ම කිරීම
 
   පැයක් පමණ පාවී යාමෙන් පසු ශුද්ධෝත්තමයා උස් කඳුවලින් වැසුණ පටු වෙරළක් වෙත ළඟා විය. ඔහු මුළු දිනක් හා රැයක් මුළුල්ලේ ගල්පරයන් පසු කරමින් වෙරළ ඔස්සේ ගමන් කළේ ය. එම ගල්පරය, ජය ගත නොහැකි බාධකයක් විය. එය වටකුරු දිවයිනක් බවත් එහි මැද වලාකුළුවලින් ගහන කන්දක් ඇති බවත් මේ මාර්ගයෙන් ඔහු අනාවරණය කර ගති. ඔහු ප්‍රීතියෙන් ප්‍රමුදිත ව, තෙතමනයෙන් යුතු වාතයේ නැවුම් ආඝ්‍රහණයක් ලැබී ය. වැස්ස පතිත විය. මේ වැස්ස කෙතරම් ප්‍රසන්න වී ද යත්, ශුද්ධෝත්තමයා දෙවියන් වහන්සේට මෙසේ කීය: 
 
  “දෙවියන් වහන්ස, මේ කඳුළේ දිවයිනයි; මේ සංතාපයේ දිවයිනයි.”
  
  වෙරළ පාළුව තිබුණි. වෙහෙසට පත් ව, කුසගින්නේ හෙම්බත් ව සිටි ඔහු ගලක් මත වාඩි ගති. එම ගලෙහි කුහරය තුළ කළු ලප සහිත වූත්, හංසයකුගේ බිත්තර තරම් විශාල වූත් කහ බිත්තර කීපයක් විය. එහෙත් ඔහු ඒවාට අත නො ගැසුවේ මෙසේ කියමිනි.  “පක්ෂීන් යනු දෙවියන් වහන්සේ පිළිබඳ වර්ණනයන් ය. මෙම වර්ණනයන්ගෙන් එකක් හෝ මා නිසා බාල වනු දැකීමට මම නො කැමැත්තෙමි.”  

  ඔහු කඳු ගැටයන්හි කුහරවලින් කඩා ගත් හතු වර්ගයක් හැපුවේ ය.  
කළු සහ රතු ගල් වැටි වලින් සැදුම් ලත් දවැන්ත රඟ මඬලක් වෙත පැමිණෙන විට, ඔහු මුළු දිවයින වටා ම පාහේ කරක් ගසා තිබුණි. එම රඟ මඩලෙහි මුදුන්, ඒවා වලාකුළු වෙත ඉහළ නැගෙද්දී නිල් පැහැ ගැන්වුණි. ඒවා මහා හඬ නඟන දිය ඇලිවලින් පිරී පැවතුණි. ධ්‍රැවස්ථ හිම තුළින් මතු වූ ප්‍රතිබිම්බය මහල්ලාගේ ඇස් වලට පීඩා ගෙන දුනි. එහෙත් මිලාන වූ රැස් දහරක් ඔහුගේ ඉදිමුණු උස් ළැම මැදින් තවමත් ජ්වලිත විය. රංග පීඨයක පේලි මත සිටින ජන සමුහයක් මෙන්, පේලි පේලි ලෙස ගල්වැටි පුරවාලු ප්‍රාණවත් ආකෘතීන් ඔහු වෙන් වෙන්ව හඳුනා ගති. ඒ හා සමඟ ම, මුහුදේ නොනවතින ඝෝෂාවෙන් බිහිරි ව ගිය ඔහුගේ කන්වලට, කට හඬවල දුබල ශබ්දයක් ඇසුණි. තමා දුටුවේ ස්වාභාවික නීතිය යටතේ දිවි ගෙවන මිනිසුන් යයි ද, ඔවුන් හට දිව්‍යමය නීතිය ඉගැන්වීම සඳහා දෙවියන් වහන්සේ විසින් තමා මෙහි එවනු ලැබී යයි ද සිතමින් හේ ඔවුනට ශුභාරංචිය දෙසා වදාළේ ය.
  
  රඟමඩල මධ්‍යයෙහි පිහිටා තිබූ ඉතා උස් ගලක් මත්තෙහි නැගී සිටි ඔහු මෙසේ දෙසුවේ ය.
 
  “දිවයින්වාසීනි, නුඹලා කුඩා ප්‍රමාණයෙන් යුක්ත ය. එසේ වන්නේ වී නමුත්, ධීවරයන් සහ නාවිකයන් කණ්ඩායමක් ලෙසට වඩා, ප්‍රඥාවන්ත සමුහාණ්ඩුවක සෙනෙට් සභාවක් ලෙස නුඹලා පෙනී යයි. නුඹලාගේ ආකර්ෂණය මගින්, නුඹලාගේ නිහැඩියාව මගින්, නුඹලාගේ ශාන්ත දාන්ත චර්යාව මගින්, නුඹලා මේ ගිරිහෙල් අරඹෙහි පිහිටුවා ඇත්තේ, ජයගිරි පල්ලිය තුළ සාකච්ඡා පවත්වමින් සිටින පියතුමන්ලාගේ සභා මණ්ඩපය සමඟ හෝ, අරෙඹපාගුස් හි බංකු මත අසුන් ගෙන වාද විවාද කරමින් සිටින ඇතන්ස්හි දාර්ශනිකයන්ගේ සභා මණ්ඩපය සමඟ හෝ සන්සන්දනය කළ හැකි අන්දමේ මණ්ඩපයකි. ඔවුන් සතු විද්‍යාව හෝ නෛසර්ගික ප්‍රඥාව නිසැකව ම නුඹලා සතුව නැත. එසේ වුවත්, සමහර විට දෙවියන් වහන්සේගේ ඇස් හමුවෙහි නුඹලා ඔවුනට වඩා උතුම් වූවන් ය. නුඹලා වාම්, යහපත් අය බව මම විශ්වාස කරමි. නුඹලාගේ දිවයින වටා කරක් ගසන විට, මිනීමරු පිළිම හෝ සංහාරයන් පිළිබඳ සලකුණු හෝ මම නුදුටිමි. උස් පොලුවල එල්ලූ හෝ ගම් දොරටුවලට තබා ඇණ ගැසූ හෝ ඔළුවත්, ඔළු වල හමවත් මම නුදුටිමි. නුඹලා සතුව කලාවක් හෝ ලෝහ කර්මාන්තයක් හෝ ඇති බවක් මට නොපෙනේ. එතෙකදුු වුවත්, නුඹලාගේ හදවත් පිවිතුරු ය: නුඹලාගේ දෑස් අහිංසක ය: නුඹලාගේ ආත්මයන් තුළට සත්‍යය ඉතා පහසුවෙන් ම ප්‍රවිෂ්ඨ වේ.” 
 
  කුඩා ප්‍රමාණයෙන් යුතු, එනමුදු ගරු ගාම්භීර පෙනුමෙන් යුතු මිනිසුන් ලෙස ඔහු විසින් සලකන ලද්දේ වසන්ත සමය මගින් එක් රොක් කරන ලදු ව, ගල්පරයේ ස්වාභාවික පියගැට පෙළ මත, තමන්ගේ විශාල සුදු බඩ ගෙඩි වලින් සෘජු ව නැඟී ජෝඩු දමා සිටි පෙන්ග්විනයන් ය. මොහොතින් මොහොත උන් උන්ගේ කුඩා පියාපත් අත් විලසින් එහා මෙහා යැවූහ. ශාන්ත දාන්ත හඬක් නැඟුහ. උන් මිනිසුන්ට බිය නො වූහ. මන්ද යත් උන් ඔවුන් ගැන දැන නො සිටි හෙයිනි: උන්ට කිසි විටෙකත් ඔවුන්ගෙන් කිසිදු හානියක් සිදුව නොතිබූ හෙයිනි. අතිශයින් ම බියගුලු සතුන් පවා අස්වසාලූවා වූත් මෙම පෙන්ග්විිනයන් අතිශයින් ම ප්‍රසන්නභාවයට පත් කළා වූත් එක්තරා මුදුු මොළොක් බවක් මේ මහණා තුළ පැවතුණි. ඔවුන්ගේ පෙනුමට එක්තරා අපූර්වත්වයක් ද මිනිසත් බවක් ද ලබා දුන්නා වූ, ධවල වර්ණිත අණ්ඩාකාර ලපයක් මගින් දිගැටි ව ගිය සිය කුඩා වටකුරු ඇස්, මිතුරු බවින් යුතු කුතුහලයකින් උන් ඔහු වෙත නැඹුරු කළේ ය. ඔවුන් දැක් වු අවධානයෙන් කිති කැවී ගිය ශුද්ධෝත්තමයා ඔවුන්ට ශුභාරංචිය ඉගැන්වී ය.
  
  “දිවයින්වාසිනි, නුඹලාගේ කඳු ගැට මත්තෙහි මේ දැන් පැන නැංගා වූ ලෞකික දිනය යනු, නුඹලාගේ ආත්මයන්හි පැන නඟින්නා වූ දිව්‍යමය දිනයේ ප්‍රතිරූපයයි. මන්ද යත්, මා අභ්‍යන්තරික ආලෝකය නුඹලා වෙත ගෙන එන හෙයිනි. මම නුඹලා වෙත ආත්මයේ ආලෝකයන් උණුසුමත් ගෙන එන්නෙමි. හරියට ම සූර්ය දිව්‍ය රාජයා නුඹලාගේ කඳුවල ඇති හිම දිය කර හරින්නාක් මෙන්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ හදවතෙහි ඇති හිම දිය කර හරින සේක.”  

  මහල්ලා එලෙසින් කථා කළේ ය. මුළු මහත් සොබාදහම පුරා කට හඩකට කට හඩක් අමතද් දී, දවසේ ආලෝකය තුළ හුස්ම හෙලන්නා වූ සියල්ලක් ම විකල්ප විලාසිතාවන්ට ලෝලත්වයක් දක්වද්දී, මෙම පෙන්ග්විනයන් මහල්ලාට පිළිතුරු දුන්නේ සිය උගුරුවල රැල් බුරුල් කරමිනි. එය ඔවුන්ගේ ආදර අන්දරයන් පිළිබඳ ඍතුව වූ හෙයින්, ඔවුන්ගේ කටහඬ මුදු මොලොක් බවින් අනූන විය.  
ඔවුන් එක්තරා පිළිම අදහන ජනකායකට අයත් වන බවත් ඔවුන් ඔවුන්ගේ ම බසින් කිතු දහම කෙරෙහි සිය පක්ෂපාතීත්වය ප්‍රකාශ කර ඇති බවත් ඔවුනට ඒත්තු ගැන් වූ ශුද්ධෝත්තමයා, බෞතිස්මය ලබා ගන්නා ලෙස ඔවුනට ඇරයුම් කළේ ය.  
“මම හිතනවා” ඔහු ඔවුනට කීය. “නුඹලා නිතර ම ස්නානය කරනවාය කියා. මා එසේ හිතන්නේ ගල් වැටිවල කුහර වතුරෙන් පිරි තිබෙන නිසාත්, මේ ස්වාභාවික පිහිනුම් තටාකයන්ට නුඹලාගෙන් කීප දෙනෙකු ම පනිනු නුඹලාගේ සභාවට එන අතරතුර මා දුටු නිසාත් ය. සිරුරේ පාරිශුද්ධත්වය යනු, ආත්මයේ පාරිශුද්ධත්වය පිළිබඳ ප්‍රතිමූර්තියයි.” 

  ඔහු බෞතිස්මයේ සම්භවය, ස්වභාවය සහ ඵල විපාක ඔවුනට ඉගැන්වී ය.“බෞතිස්මය යනු පරිග්‍රහණයයි; නව ජීවිතයයි; පුනර්ජීවනයයි; ආලෝකයයි.”
 
  ඔහු මේ සෑම කරුණක් ම එකින් එක ඔවුනට තේරුම් කර දුනි.  
දිය ඇලිවලින් ඇද හැලුණ ජලධාරාවට ආශිර්වාද කිරීමෙන් සහ මන්ත්‍ර ජප කරීිමෙන් ඉක්බිති, ඔහු තමා මේ දැන් දැනමුතුකම් දුන්නවුන් බෞතීස්ම කළේ ය. එය කළේ පවිත්‍ර ජල බිඳුවක් ඔවුන් හැම කෙනෙකුගේ ම හිස මතට වත් කර, ශුද්ධ වූ වදන් ජප කිරීම මගිනි. මෙලෙස දින තුනක් සහ රෑ තුනක් තිස්සේ ඔහු පක්ෂීන් බෞතීස්ම කළේ ය. 









 
                                           06 
                                    දෙව්ලොව සබයක්

පෙන්ග්විනයන් බෞතීස්ම කරනු ලැබූ බව ස්වර්ග රාජ්‍යයෙහි පතළ වූ කල්හි, එය එහි ජනිත කළේ ප්‍රීතිය හෝ දොම්නස හෝ නො වේ. සාතිශය විස්මයයි. දෙවියන් වහන්සේමත් අන්ද මන්ද වූ සේක. එතුමාණෝ පූජකයන්ගේ සහ ආචාර්යවරුන්ගේ සමුළුවක් කැඳවා ඔවුන් මේ බෞතීස්ම කිරීම නිත්‍යානුකූල ලෙස සලකන්නේ දයි වීමසූහ. 
 
  “එය බල රහිතයි” සාන්ත පැටි්‍රකයෝ කීහ.
  
  “එය බල රහිත වන්නේ මන්ද?” එසේ ඇසුවේ කෝන්වෝල්හි ජනයා ශුභාරංචියට අනුකූල කළා වූත්, ධර්ම දූත මෙහෙයන් සඳහා ශුද්ධ වූ මායෙල් පුහුණු කළා වූත් සාන්ත ගල් ය.
  
  “බෞතීස්මයේ සක්‍රමේන්තුව පක්ෂීන්ට දුන් විට එය බල රහිත වෙයි. හරියට ම විවාහයේ ක්‍රමේන්තුව නපුංසකයෙකුට දුන් විට එය බල රහිත වන්නාක් මෙන් ම ය” යි සාන්ත පැටි්‍රකයෝ කීහ.” 

  එනමුදු සාන්ත ගල් ඊට මෙසේ පිළිතුරු දුන්නේ ය. 
 
  “පක්ෂියෙක් බෞතිස්ම කිරීමත්, නපුංසකයකුගේ කසාදෙන් අතර ඇතැයි ඔබ කියන්න හදන සම්බන්ධය කුමක්ද? ඒවා අතර මෙම සම්බන්ධයක්වත් නැහැ. විවාහය කියන්නේ කොන්දේසි සහගත හදිසි සක්‍රමේන්තුවක්. පූජකයෙක් සිද්ධියට කල්තියා ම ආශිර්වාද කරනව. ක්‍රියාව ඉෂ්ඨප්‍රාප්ත වූනොත් ආශිර්වාදය වැඩකට නැති වෙනව. ඒක පැහැදිලියි. පෘථිවියෙදි මම දැන සිටියා අන්ත්‍රීම්  කියන නගරයේ සිටි සඩොක් නමැති පොහොසත් මිනිහෙක්. එයා ගෑනියක් සමඟ අනියම් සම්බන්ධයක් ඇති ව ජීවත් වෙලා ළමයින් ළමයින නව දෙනෙක්ගෙ ම මවක් බවට ඇයව පත් කෙරුවාග ඒ මනුස්සය එයාගෙ නාකි වයස එළඹුණා ම මගේ දොස් නැඟීම්වලට අවනත වෙලා, ඈව කසාද බඳින්න අන්තිමේ දි කැමති වුණා. මම ඒ දෙන්නගෙ එක්වීමට ආශිර්වාද කළා. ඒත් අවාසනාවකට වගේ කසාද රසය භුක්ති විඳිම පරිසමාප්තියට පත් කරන්න එයාට එයාගෙ වයස ඉඩ තිබ්බෙ නැහැ. ටික කාලෙකට පස්සෙ එයාට එයාගේ දේපළ ඔක්කොම නැති වුනා. ජර්මේන්, - ඒක තමයි ගෑනිගෙ නම - දුප්පත්කම විඳිවන්න බැරි ව, යථාර්ථයක් බවට පත් නො වුන ඇගේ කසාදෙ අවලංගු කරන මෙන් ඉල්ලා හිටියා. ඒක සාධාරණ ඉලිලීමක් නිසා, පාප් වහන්සේ ඒකට ඉඩ දුන්නා. කසාදෙ ගැන ඒ මදැයි. ඒත් බෞතිස්මය නම් මොන විදියකටවත් සීමාවක් නැතිව ප්‍රදානය කරනව. ඒ ගැන කිසියම් ම සැකයක් නැහැ. පෙන්ග්විනයන් ලැබුවේ සක්‍රමේන්තුවක්.” 
 
  සිය අදහස් දක්වීමට ඇරයුම් ලද සාන්ත දමාසුස් පාප් වහන්සේ මෙම වදන්වලින් සිය අදහස් ගෙන හැර පෑවේ ය.
  
  “බෞතීස්ම කිරීම වලංගු ද, එහි ප්‍රතිඵලය, ඒ කියන්නේ එහි පූජනීයත්වය එය මගින් ඇති කරනු ලැබේ ද යන්න දැන ගැනීමට නම්, එය දෙන්නේ කවුද යන්නත්, එය ලබන්නේ කවුද යන්නේ සැලකිල්ලට ගත යුතුයි. ඇත්ත වශයෙන් ම, මේ සක්‍රමේන්තුවේ පූජනීය ගුණය හට ගන්නෙ, එය ප්‍රදානය කිරීමෙදි සිදු කරන බාහිර ක්‍රියාව මගිනුයි. මෙහි දී බෞතිස්මය ලබන පුද්ගලයා කිසි ම පෞද්ගලික ක්‍රියාවක් මගින් තමන්ගේ බෞතිස්මය ලැබීමට සහයෝගය දීමකින් තොරවයි එය වෙන්නෙ. එය එසේ නොවේ නම්, අලුතින් උපදින්නවුන් හට එය දෙන්න බැහැ. බෞතිස්ම කිරීමට විශේෂ කොන්දේසි ඉටු කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ගරු ගාම්භීර තත්ත්වයක පසු වීමට අවශ්‍ය නැහැ. පල්ලිය කරන දෙය ම කිරීමේ අරමුණ තිබුණ ම හොඳට ම ඇති: ශුද්ධත්වයට පමුණුවපු වචන උච්චාරණය කළා ම, නියමිත වාරිත්‍ර පිළිපැද්දම හොඳට ම ඇති. ගරු කටයුතු මායෙල් මේ කොන්දේසි පිළිපැද්ද බව අපට දැන් සැක කරන්න බැහැ. ඒ නිසා පෙන්ග්විනයෝ බෞතිස්ම කරනු ලැබ ඇත්තාහ.”  

  “ඔබ එහෙම හිතනවද?” සාන්ත ග්වෙනොලේ ඇසී ය. “එසේ නම් බෞතිස්ම කිරීම යන්නෙන් ඇත්ත වශයෙන් ම ඔබ අදහස් කරන්නේ කුමක්ද? බෞතීස්ම කිරීම යනු පුනර්ජීවනයේ ක්‍රියාදාමයයි. එහි දී ජලයෙනුත්, ආත්මයෙනුත් මිනිසා උපදිනව. මන්ද යත් අපරාධයෙන් පිරුණ ජලය ඇතුල් වූ විට ඔහු එයින් යළිත් පිට වන්නේ ධර්මිෂ්ඨකමින් හරිත වූ නවකයෙක් ලෙසයි : නව සත්ත්වයෙක් ලෙසයි. බෞතිස්මය කියන්නේ පුනර්ජීවයේ ප්‍රතිඥාවයි. බෞතීස්මය කියන්නේ එතුමාණන්ගේ මරණ මොහොතේ දී ක්‍රිස්තුස් වහන්සෙත් සමඟ වැළලී යාමයි. සොහොන් ගැබින් එතුමාණන් නික්ම යාමට සහභාගි වීමයි. එය පක්ෂීන්ට ප්‍රදානය කළ හැකි තුටු පඬුරක් නෙවෙයි. ගෞරවණීය පියවරුනි, අපි සලකා බලමු. බෞතිස්මය මුල් පාපය සෝදා හරිනව. පෙන්ග්විනයන් පාපය තුළ පිළිසිඳ ගත්තෙ නැහැ. එය පාපයේ දණ්ඩනය ඉවතලයි. පෙන්ග්විනයන් පව් කොට නොමැත. එය කරුණාවත්භාවය උපදවයි. එය සත් ගුණවත්භාවය උපදවයි. එය සිරුරේ කොටසක් ලෙස, කිතුණුවන් ක්‍රිස්තුස් වහන්සේ සමඟ එක් කරලයි. පව් කමා කරන්නවුන්ගේත්. කන්‍යාවන්ගේත්, වැන්දඹුවන්ගේත් යහගුණ අත් කර ගන්න හරි, කරුණාව ලබා ගන්න හරි, එක්සත් වෙන්න හරි, පෙන්ග්විනයන්ට බැරි බව හොඳට ම පැහැදිලියි.”
  
  දමාසුස් සාන්තුවරයාණෝ ඔහුට අවසන් කිරීමට ඉඩ  නො දුන්හ.

   “එය ඔප්පු කර සිටින්නේ බෞතිස්මය කිසි ම කමකට නැති දෙයක් බවයි; එය ප්‍රතිඵලදායක නොවන බවක් ඉන් ඔප්පු වන්නේ නැහැ.”
 
  “ඒ හේතු යුක්ති කිරීම අනුව ඉසීම මගින් හෝ ගිල්වා දැමීම මගින් හෝ පක්ෂියෙක්, සිවුපාවෙක්, පමණක් නොව ප්‍රතිමාවක්, මේසයක් පුටුවක් යනාදී ඕනෑ ම අප්‍රාණික වස්තුවක් පවා, පියාණන් වහන්සේගේ හා පුත්‍රයාණන් වහන්සේගේ නාමයෙන් සහ ශුද්ධ වූ ආත්මයාණන්ගේ නාමයෙන් බෞතීස්ම කරන්න යමෙකුට පුළුවන්. එවිට එම සතා කිතුණුවකු වෙනව; ඒක හරි ම හරි පිස්සු විකාරයක්.” එසේ කීවේ යාන්ත ග්විනොලේ ය.
 
  සාන්ත අගොස්තීනු කථාව ඇරඹි ය. දැඩි නිසසල බවක් රජයන්නට විය.
  
  “සුත්‍රවල තිබෙන බලගතුකම නිදසුන් මගින් මම පෙන්නුම් කරන්නම්” යි හිප්පොහි මේ උද්යෝගීමත් බිෂොප් තැන කීහ. “එය ක්‍රියාත්මක වන්නේ යක්ෂයන්ගේ වැඩ පිළිවෙලක් සම්බන්ධයෙන් බව ඇත්තයි. එහෙත් යක්ෂයා උගන්නපු සූත්‍ර වලට අඥාන තිරිසනුන් මත හෝ අප්‍රාණික වස්තූන් මත පවා හෝ යම් බලපෑමක් තිබෙන බව සනාථ වෙනව නම්, සක්‍රමේන්තුමය සූත්‍රවල තිබෙන බලය මෘගයන්ගේ මනස්වලට හෝ අප්‍රාණික වස්තූන්ට පවා හෝ විහිදෙන බව අපි තවදුරටත් කෙසේ නම් සැක කරමු ද? 
 
  “නිදර්ශනය මෙන්න මෙයයි. අසුලේසුස් දාර්ශනිකයාගේ ජන්මස්ථානය වූ මදවුරා නගරයේ මම ජීවත් වුන කාලෙ එක් මන්ත්‍රකාරියක් සිටියා. ත්‍රිපාදසනය මත, යම් යම් පැලෑටි වර්ග සමඟ ඔවුන්ගේ කෙස් රොද කීපයක් පුළුස්සා, ඒ හා සමඟ ම යම් යම් වචන කීපයක් මුණු මුණු ගෑම මඟින් තමන්ගේ යහන් ගැබට මිනිසුන් ඇද ගන්නට ඇයට පුළුවන් වුනා. දිනක් මේ මාර්ගයෙන් තරුණයෙක් සමග ප්‍රේමාලිංගනයේ යෙදීමට ඇයට අවශ්‍ය වුනා. එවිට, සිය දාසියගේ මුලා කිරීමට ගොදුරු වූ ඇය, තරුණයාගේ කෙස් රොද වෙනුවට පිළිස්සුවේ තැබෑරුමක එල්ලා තිබූ එඵහමින් තැනුණ හම් බෝතලයකින් ගලවා ගත් කෙඳි කීපයක්. වයින්වලින් පිරුණ හම් බෝතලය රෑ යාමේ නගරය මැදින් උඩ පැන පැන මන්ත්‍රකාරියගේ නිවසේ දොර ළඟට පැමිණියා. මෙම සිද්ධිය පිළිබඳ ව ආයෙ කිසිම සැකක් නැහැ. ඉන්ද්‍රජාලවලදි වගේ ම සක්‍රමේන්තුවේදිත් ක්‍රියාත්මක වන්නේ ආකෘතියයි. බලය අතින් සහ ප්‍රමාණය අතින් බලන කොට, දිව්‍යමය සූත්‍ර සතු බලපෑම, තිරිසනකුගේ සූත්‍රයක තිබෙන බලපෑමට වඩා අඩු විය නොහැකියි.”  
මෙලෙස කතා කළ සාන්ත අගොස්තීනුවෝ ඔල්වරසන් මධ්‍යයෙහි වාඩි ගත්තාහු ය. 
 
  වයෝවෘධ වූත්, ශෝකාකූල මුහුණුවරකින් හෙබියා වූත් එක් ආශිර්වාද ලත්තෙක්, කථා කිරීම සඳහා අවසර ඉල්ලී ය. කිසිවකු ඔහු දැන සිටියේ නැත. ඔහුගේ නම ප්‍රෝස් ය. සාන්තුවරයන්ගේ නාමාවලියෙහි ඔහු ලියාපදිංචි කරනු ලැබ නො තිබුණි.ඔහු මෙසේ කීය. 
“මම මේ සභාවෙන් සමාව අයදිනව. මගේ හිස වටා රැස් වළල්ලක් නැහැ. මම සදාකාලික ආශිර්වාදය ලබා ගත්තේ කිසිදු උත්කෘෂ්ඨ ගෞරව නාමයකින් තොරවයි. එහෙත් මේ දැන් ශ්‍රේෂ්ඨ සාන්ත අගොස්තීනුවන් කියා සිටි දෙයට පසු සක්‍රමේන්තුවක වලංගු භාවය සඳහා අවශ්‍ය කොන්දේසින්ට අදළ ව මා ලද කුරිරු අත්දැකීමක් ගැන දැනුම් දීම නිවැරදි යයි මම සිතනව. හිප්පොහි බිෂොප්තුමා ඔහු කියා සිටි දෙයෙහි දී සත්තකින් ම හරි. සක්‍රමේන්තුව රඳා ඇත්තෙත් ආකෘතිය මතයි. එහි සත්ගුණය ඇත්තේ ආකෘතියෙයි; එහි දුර්ගුණය ඇත්තෙත් ආකෘතියෙයි. ඇහුම්කන් දුන මැනව. ක්ෂමා කරන්නනි පාප් වහන්සේලාණනි. මගේ දුක්භරිත කථන්දරයට සවනත යොමනු මැන. මා ගෝර්දියානුස් අධිරාජයාගේ පාලනය යටතේ රෝමයේ පූජකයෙක්ව සිටියා. කිසිදු ගෞරව බහුමානයක් ලබා ගැනීම සඳහා මවිසින් ම මා නිර්දේශ කර ගැනීමේ අභිප්‍රායකින් තොර ව, නොවළහා මට කිව හැකි දෙයක් තියනව. ඒක නම් මගේ පූජක දිවිය සැදැහැ ගුණයෙන් යුතුව දැඩි උද්යෝගයකින් යුතුව නියමෙට ගත කරපු බවයි. ප්‍රාකාරයෙන් ඔබ්බෙහි තිබුණු සාන්ත මොදෙස්තුගේ දේවස්ථානයේ මම වසර හතලිහක් සේවය කළා. මගේ ඇබ්බැහිකම් නියමිත පිළිවෙලකට සිද්ධ වුනා. මම හැම සෙනසුරාදා දිනක ම බර්ජාස් නැමැති තැබෑරුම්කාරයා ළගට ගියා. එයා පෝර්තා කාපෙනා යටතේ තිබුණ වයින් ගුදම් අතරමයි ජීවත් වුණේ. මම දෙවියන්ට කැප කරපු වයින් මම ම සතිය පුරා එයා ළඟට අරගෙන ගියා. මම මේ දිගු කාල පරිච්ඡේදය තුළ දී කිසි ම අවස්ථාවක එක ම උදෑසනක හෝ පූජාව කැප කිරීම අතපසු කළේ නැහැ. එහෙම උනත් මට කිසි ම ප්‍රීතියක් තිබුණෙ නැහැ. අල්තාරයේ පියගැට පෙළේදි දුක්හරිත හදවතින් යුතුව මම මෙන්න මෙහෙම අහන්න පුරුදුව සිටියා. අහෝ ! මාගේ ආත්මය ! තා මෙතරම් බරව ඇත්තේ කිම? ශුද්ධ වූ මේසය වෙත එන ලෙස මම ඇරයුම් කරපු බැතිමතුන් මට ගෙන දුන්නේ සංතාපයයි. මන්ද යත් මා දුන් සත්ප්‍රසාද රොටිය ඔවුන්ගේ දිවග තවමත් තිබිය දී ම ඔවුන් යළිත් පාපයේ ගැලුණ නිසයි. හරියට ම සක්‍රමේන්තුව බල රහිත හා ප්‍රතිඵල රහිත වූවාක් මෙනි. අන්තිමේ දී මම මගේ ලෞකික දුක් පීඩාවන්හි කෙළවරට පැමිණ ස්වාමීන් තුළ සැතපුන විට, මෙම සාන්තුවරයන්ගේ නිවහන තුළ දි යළි පිබිදුණා. පෝර්තා කොපේනාහී අර කැබෑරුම්කාරයා - අර  බර්ජාසයා - මිදි යුෂ බිංදුවක්වත් නොතිබුණ මුල් වගයකිනුයි ඇට වලිනුයි පෙරාපු කසායක් වයින් ලෙස විකුණා ඇති බව මා දැන ගත්තේ, මා මෙහි රැගෙන ආ සුරංගනාවියගේ මුව කමලෙන්, මේ අධම බීම වර්ගය රුධිරය බවට පරිවර්තනය කිරීමට මට පුළුවන් වුණේ නැහැ. මන්ද යත් එය වයින් නො වූ නිසයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය බවට පත් වන්නේ වයින් පමණයි එනිසා මා පැවැත් වූ සියලු ම සත්ප්‍රසාද පූජාවන් අවලංගු වී ගියා. අප නොදැනුවත්ව ම මගේ බැතිමතුනුත් මමත් හතලිස් වසරක් ම පක්‍රමේන්තුවෙන් බැහැර කරනු ලැබ සිටියා. ඇත්ත වශයෙන් ම අප දෙවියන් වහන්සේගෙන් බැහැර කෙරුණ තත්ත්වයකයි සිටියෙ. මෙම අනාවරණය හේතුවෙන් මා සිහිවිකල් තත්ත්වයකට පත් වුනා. එය අද පවා, මේ පරමානන්දනීය වූ නිවහනේදිත් මා පීඩනයට පත් කරවයි. මා පාරාදීසයෙහි ඔබ මොබ සක්මන් කරන්නෙ, ආශිර්වාදලත් මෝදෙස්තුස්ගේ බැසිලිකාවෙදි ශුද්ධ වූ මේසයට මවිසින් මීට ඉහත ඇතුළත් කරනු ලැබූ එකදු කිතුනුවකු හෝ මුණ ගැසීමෙන් තොරවයි. සුරඟනුන්ගෙ රොටිවලින් වියෝ කරනු ලැබූ ඔවුන්, අතිශය පිළිකුල් සහගත පාපී ක්‍රියාවන්ට පහසුවෙන් ම ඉඩ දුන්නා. ඔවුන් සියල්ලන් ම නිරයට ගියා. තැබෑරුම්කාර බර්ජාසයා නැතිභංගස්ථාන වීම ගැන සිතීමෙන් මට සංතුෂ්ටියක් ලැබෙනව. සකලවිධ තර්ක විතර්කයක ම කර්තෘවරයාණන් හට ගැලපෙන්නා වූ තර්කානුකූලභාවයක් මේ සියල්ලෙ ම තියෙනව. එතෙකුදු වුවත්, මගේ දුක්බරිත අත්දැකීම් සනාථ කරන්නෙ, සක්‍රමේන්තුවේ අන්තර්ගතය අභිබවා සිටීමට සමහර අවස්ථාවලදි ආකෘතියට දුෂ්කර බවයි. සදාකාලික ඥානයාණන් වහන්සේට මෙයට පිළියම් කළ නො හැකි දැයි මම ඉතා බැගෑපත් ව අහනව.” 
 
  “නොහැක්..........කේ........ය.” දෙවියන් වහන්සේ පිළිතුරු දුන් සේක. “පිළියම රෝගයට වඩා නරක් වනු ඇත. ගැලවීම පිළිබඳ නීතිවලදී, ආකෘතිය අභිබවා අන්තර්ගතය පිහිටුවාලන්නේ නම්, එය පූජක වර්ගයාගේ විනාශය වනවා ඇති.”
  
  “අහෝ !” දෙවියන් වහන්ස’ යි බැගෑපත් ප්‍රෝබුස් සුසුම් ලෑවේ ය. “මගේ බැගෑපත් අත්දැකීමෙන් පොළඹවනු ලබනු මැනව: ඔබ වහන්සේගේ සක්‍රමේන්තු ඔබ වහන්සේ විසින් සූත්‍රයක් තුළ ගොණු කර ඇති තාක් කල්, ඔබ වහන්සේගේ යුක්ති ධර්මය දරුණු බාධකයන්ට මුහුණ දෙනවා ඇත.” 

  “මම තොපට වඩා හොඳින් දන්නෙම් ය.” දෙවියන් වහන්සේ පිළිතුරු දුන් සේක. “දුෂ්කරව පවතින සැබෑ ප්‍රශ්නය සහ ඊට වඩා අඩුවෙන් දුෂ්කර නො වන්නා වූ අනාගත ගැටළු යන උභය ප්‍රශ්න ම එක ම එක නෙත්සරයකින් මම දකින්නෙමි. ඒ අනුව මට අනාවැකි කිව හැකියි, දෙසිය හතලිස් වරකට වඩා සූර්යයා පෘථිවිය වටා කැරකුණ විට........  

  “ෂහ් ! භාෂාව අති උදාරයි” දේවදූතයෝ හඬ නැඟුහ.

  “ලෝකයේ නිර්මාතෘවරයාණන්ට හොබනා පරිද්දෙන් ම ය.” පාප් වහන්සේලා පිළිතුරු දුන් සේක. 
 
   තමා නැවතූ තැනින් දෙවියන් වහන්සේ යළි ඇරඹූ සේක. “එය මාගේ පෞරාණික ලෝකෝත්පත්ති විද්‍යාවට අනුකූල වන පරිද්දෙන් කථා කිරීමේ ශෛලියකි. මාගේ වෙනස් කළ නොහැකි ස්වභාවය අහිමි කර ගැනීමෙන් තොර ව, මට එය අත් හළ නො හැක්කේ ම ය.” 
 
  “සුර්යයා තවත් දෙසිය හතලිස් වරක් පෘථිවිය වටා භ්‍රමණය වීමෙන් පසු, ලතින් බස දන්නා එක ම පූජකයකු හෝ රෝමයේ නො සිටිනු ඇත. ඔවුන් පල්ලිවල සිය ගීතිකා ගයන විට, ජනතාව ඔරිවෙල්, රොගුවෙල් සහ කොනිවෙල් යදිනු ඇත. ඔබ දන්නා පරිදි ඔවුන් දේවදූතයන් නො ව යක්ෂයන් ය. සත්ප්‍රසාදයන් කිරීමේ අභිප්‍රායෙන් යුතු, එනමුදු තමන් සොරකම් කළ දෙය පල්ලියට දෙන මෙන් පාපෝච්චාරණයන් කිරීමට පෙරාතුව ම තමනට බල කරනු ලැබෙතැයි බියට පත්වන චෞරයෝ, ජංගම පූජකයන් වෙත සිය පාපොච්චාරණයන් කරනු ඇත. ඉතාලි සහ ලතින් යන භාෂාද්වය ම ගැන දැනුමක් නොමැති, සිය ගැමි වහරින් පමණක් කථා කරන මේ ජංගම පූජකයෝ ඉතා සුළු ගතමනාවක් වෙනුවෙන්, බොහෝ විට වයින් බෝතලයක් වෙනුවෙන්, පාපතරයන් පාපයෙන් මුදා හරිමින්, නගර හා සුළු නගර පසු කරමින් ගමන් කරනු ඇත. සමහර විට මේ පව් සමාකිරීම් වලින් අප දුෂ්කරතාවයන්ට පත් නොවනු ඇත. මන්ද යත් ඒවා වහංගු කරලීම පිණිස ඔවුනට පාපොච්චාරණයන් අවශ්‍ය වන හෙයිනි. එහෙත් ඔවුන් බෞතීස්ම කිරීම නම් අප හට යම් අකරතැබ්බයක් ඇති කිරීමට ඉඩ ඇත. ලුවි ද පොතර් “කිතු දහම - දාර්ශනික, දේශපාලන හා විවේචනාත්මක ඉතිහාසය“ නමැති සිය කෘතියේ තෙවෙනි වෙළුමේ දී කීමට ප්‍රියකරන පරිදි, දේශයේ නාමයෙන් සහ ශුද්ධ වූ ආත්මයේ නාමයෙන් දරුවන් බෞතීස්ම කිරීමට තරම් පූජකයන් මුග්ධ වනවා ඇත. එවන් බෞතීස්ම කිරීමවල වලංගුභාවය තීරණය කිරීම බරපතළ ප්‍රශ්නයක් වනු ඇත: මන්දයත්, ප්ලේටෝගේ ග්‍රීක බසට වඩා සුන්දරත්වයෙන් අඩු ග්‍රීක බසක් සහ සිසරෝනියානු ලතින් බස නොවන බසක් වුව ද මාගේ ශුද්ධ වූ ලියවිලි තුළ තිබෙනු ඉවසා වැදෑරීමට සුදානම් වුවත්, මුළුමනින් ම ග්‍රාම්‍ය වූ වහරන් දේවස්තෝත්‍රයන්ගේ සූත්‍ර ලෙස පිළිගැනීමට නම් මට කොහෙත් ම නුපුළුවන. අලුතින් උපදින දස ලක්ෂ සංඛ්‍යාත ළදරුවන්, මෙම ක්‍රමය මගින් බෞතීස්ම කරනු ලැබීම ගැන සිතෙන විටත් යමෙකුගේ සර්වාංගය ම කිළි පොළා යයි. එහෙත් අපි අපේ පෙන්ග්විනයත් වෙත යළි හැරෙමු.”  
“දෙවියන් වහන්ස, ඔබේ දිව්‍යමය වදන් දැනටමත් අප ඔවුන් වෙත ගෙන ගොස් ඇතැ”යි ශුද්ධ වූ ගල් පැවසී ය.“ ආගමේ සලකුණුවල සහ ගැලවීමේ නීතීන් තුළ දී, ආකෘතිය අවශ්‍යයෙන් ම අන්තර්ගතය අභිබවා සිටින්නේ ය. සක්‍රමේන්තුවේ වලංගුභාවය මුළුමනින් ම රඳා පවත්නේ, එහි ආකෘතිය මතයි. මුළු මහත් ප්‍රශ්නය වන්නේ, පෙන්ග්විනයන් විධිමත් ආකෘතියක් අනුව බෞතිස්ම කරනු ලැබී ද යන්නයි. දැන් නම් පිළිතුර පිළිබඳ කිසිදු සැකයක් නැත.”  

  පියතුමන්ලා සහ ආචාර්යතුමන්ලා එකඟ වූහ. ඔවුන්ගේ වික්ෂිප්ත භාවය නම් වඩාත් දරුණු වූවා පමණි.
  
  ශාන්ත කොර්නේලියස් මෙසේ කීය. “පෙන්ග්විනයන් හට කිතුණු රාජ්‍යය බරපතල දුෂ්කරතාවයන්ගෙන් තොර වූවක් ම නො වේ. එහි දි පක්ෂීහු ස්වකීය ගැලවුම පිණිස කටයුතු කිරීමට බැඳී සිටිති. ඔවුන් ජයග්‍රාහී වන්නේ කෙලෙසද? පක්ෂීන්ගේ ගති සිරිත් බොහෝ අවස්ථාවල දී පල්ලියේ ආඥාවන්ට පටහැනියි. තම ගති සිරිත් වෙනස් කිරීමට පෙන්ග්විනයන්ට හේතුවක් නැහැ. මම ඉන් අදහස් කරන්නේ ඔවුන්ගේ වර්තමාන ගති සිරිත් අත්හැර දමීමටත්, වඩා හොඳ ගති සිරිත් ඇති කර ගැනීමටත් තරම් ඔවුන් ප්‍රඥාවන්ත නොවන බවයි.” 
 
  “ඔවුන් හට නොහැක්කේ ම ය. මාගේ ආඥාවෝ ඊට ඉඩ නොදෙන්නාහ”යි දෙවියන් වහන්සේ වදාළ සේක. 
 
  “එහෙම වුනත්” යි කියමින් සාන්ත කොර්නේලියස් කථාව යළි ඇරඹීය.  
“ඔවුන් බෞතීස්ම කිරීම හේතු කොට ගෙන ඔවුන්ගේ ක්‍රියාවන් තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇත. මෙතැන් පටන් ඔවුන් යහගුණ හෝ අවගුණ හෝ අනුව හොඳ හෝ නරක හෝ වනු ඇත.” 
 
  “අප විසින් සලකා බලනු ලැබිය යුතු ව ඇත්තේත් නිශ්චිත ව ම එම ප්‍රශ්නය ම වන්නේය” යි දෙවියන් වහන්සේ වදාළ සේක.”  

  “මට නම් පෙනෙන්නේ එක විසඳුමක් පමණයි” සාන්ත අගෝස්තීනුවෝ කීහ. ”ඔවුන් අපායට යනු ඇත.” 
 
  “ඒත් උන්ට ආත්මයක් නැහැනෙ” එසේ නිරීක්ෂණය කළේ සාන්ත ඉරෙනොයස් ය. 
 
  “ඒක හරි ම කණගාටුදායකයි” තෙර්තුයියානයෝ සුසුම් ලෑහ. 

 “සත්තකින් ම කණගාටුදායකය’ි’ කියමින් සාන්ත ගල් යළි පටන් ගති. “මගේ ගෝල වහන්සේ වන ශුද්ධ වූ මායෙල් ඔහුගේ අන්ධ භක්තික උද්යෝගය තුළ දී ශුද්ධ වූ අවතාරයාණන් හට ආගමිකමය දුෂ්කරතාවයන් නිර්මාණය කර ඇති බවත්, ගුප්ත වූ දේ පිළිබඳ ශාසනය තුළට ව්‍යාකූලත්වය ප්‍රවිෂ්ඨ කර ඇති බවත් මම පිළිගන්නව.”  
“එයා නම් නාකි පිස්සු හුටෙක්” යැයි, ඇල්ස්ටස් හි සාන්ත අජුතරයෝ උරහිස ගසාලමින් හඬ තැලූහ. 
 
  “කථා කිරීමට මට ඉඩ දෙනු” උන් වහන්සේ කීහ. “මගේ දිව්‍යාශිර්වාද ලද්දවුනි, ශුද්ධ වූ මායෙල් හට නුඹලාට මෙන් අන්තර්ඥානය නොමැත්තේ ය. ඔහු මා නො දකින්නේ ය. හේ දුර්වලත්වයන්ගෙන් පරිපීඩිත වූ මහල්ලෙකි හේ අඩක් බිහිරි ය: හතරෙන් තුනක් අන්ධ ය. නුඹලා ඔහු කෙරෙහි ඉතා රළු පරළු ය. එසේ ද වූයේ වී නමුත්, තත්ත්වය නම් මහා අලකලංචි සහගත වූවක් බව මම ද පිළිගන්නෙමි.”
  
  “වාසනාවකට මෙන් එය ගෙවී යන ව්‍යාකූලත්වයක් පමණයි” යනුවෙන් සාන්ත ඉරේනොයිස් කීය. “පෙන්ග්විනයෝ බෞතීස්ම කරනු ලැබ ඇත්තාහ. එහෙත් ඔවුන්ගේ බිත්තර බෞතීස්ම කරනු ලැබ නැත්තාහ. නපුර මෙම පරම්පරාවත් සමඟ ම නවතිනු ඇත්තේ ය.”  

  “මාගේ පුත්‍ර ඉරේනොයස්, එලෙස කථා නො කරව! “දෙවියන් වහන්සේ දෙසා වදාළ සේක. “විද්‍යාඥයන් විසින් පෘථිවිය මත ඇති කරනු ලැබුවා වූ නීතීන්ට වෙනස්ව යන්නා වූ අති විශේෂ තත්ත්වයන් ඇත. මක්නිසාද යත්, ඒවා අසම්පූර්ණ වන හෙයින් සහ ස්වභාව ධර්මයාට පරිපූර්ණ අදාළ වීමකින් තොර වන හෙයින් ය. එසේ ද වුවත් මා පණවන්නා වූ නීති සර්ව සම්පූර්ණ ය. ඒවාට පරිබාහිර ව යන අති විශේෂ තත්ත්වයන් නොමැත. කිසිදු දිව්‍යමය නීතියක් උල්ලංඝනය නොවන පරිදිත්, දස පනතට මෙන් ම මාගේ පල්ලියෙහි ආඥාවන්ට ගැලපෙන පරිදිත්, අපි බෞතීස්ම කෙරුණ පෙන්ග්විනයන්ගේ ඉරණම තීන්දු කළ යුතුයි.” 
  
  “දෙවියන් වහන්ස, ඔවුන් හට අමරණීය ආත්මයක් දෙමු” යි සාන්ත ග්‍රෙගරි නාසියාන් යෙන් කීවේ ය.
  
  “අහෝ! දෙවියන් වහන්ස! ඔවුන් එයින් කුමක් කරනු ඇත් ද?” ලක්තාන්තියස් සුසුම් ලෑවේ ය. “ඔබ වහන්සේ වෙනුවෙන් ස්තෝත්‍ර ගැසීම සඳහා මධුර මනෝහර කටහඬ ඔවුනට නොමැත. ඔබ වහන්සේගේ ගුප්තභාවයන් අභිනන්දනය කිරීමට ඔවුන්ට නො හැකි වනු ඇත.” 
 
 “සහතික වශයෙන් ම” යි සාන්ත අගෝස්තීනුවෝ කීහ. “ඔවුන් දිව්‍යමය නීතිය නො පිළිපදිනු ඇත.” 
 
  “ඔවුන් හට කොහෙත් ම එය කළ නොහැක්කේ ය.” දෙවියන් වහන්සේ වදාළ සේක
.  
  “ඔවුනට එය කළ නොහැක” යනුවෙන් කියමින් ශාන්ත අගෝස්තීනුවෝ යළි ඇරඹුහ. “දෙවියන් වහන්ස, ඔබ වහන්සේගේ ප්‍රඥා මහිමය අනුව ඔබ වහන්සේ ඔවුන් තුළට අමරණීය ආත්මයක් වක්කර ලන්නේ නම්, ඔබ වහන්සේගේ වන්දනීය වූ පූජනීය වූ ආඥාවන් හේතු කොට ගෙන ඔවුන් සදාකාලිකව ම නරකාදියෙහි පැසෙනු ඇත. ඒ අනුව, මෙම වෙල්ෂ් ජාතිකයා අවුල් ජාලයක් බවට පත් කර ඇති ලෝකෝත්තර සන්සුන් භාවය ප්‍රතිෂ්ඨාපනය වනු ඇත".
 
  “මොනිකාගේ පුතනුවණි, ඔබ මවෙත, නිවැරදි විසඳුමක් යෝජනා කරන්නෙහි ය. එය මාගේ ප්‍රඥා මහිමය සමග තකට තක ය”යි දෙවියන් වහන්සේ වදාළ සේක. “එහෙත් එය මාගේ කරුණා නිධානය සමග ගැලපෙන්නේ නැත. මා මාගේ හරය වශයෙන් ගත් කල, වෙනස් කරලනුලැබිය නොහැකි වන්නේ වී නමුත්, මා වඩාත් ඉවසා සිටින්නෙම් ද, මුදු මොලොක්භාවය කෙරෙහි මාගේ යොමු වීම වඩාත් වැඩි ය. මාගේ තෙස්තමේන්තු දෙක කියවන ඕනෑ ම අයෙකුට, චරිත ස්වභාවයේ මෙම වෙනස ප්‍රත්‍යක්ෂ වනු ඇත.”  

  ප්‍රස්තුත විෂය පිළිබඳ වැඩි ආලෝකයක් පතුරුවා ලීමෙන් තොරව ම සාකච්ඡාව දිගට සිදු වූ හෙයින් ද, එක ම දේ පුනරුච්චාරණය කිරීමෙහිලා ඉමහත් අභිරුචියක් දෙවියන් වහන්සේ දක්වා වදාළ හෙයින් ද, අලෙක්සාන්ද්‍රියාවේ ශාන්ත කැතරින් තුමියගෙන් විමසා බැලීමට තීරණය කර ගැනුණි. මෙය මෙවන් අවස්ථාවන්හි දී සාමාන්‍යයෙන් කරන දෙයයි. පෘථිවි තලයේ සිටිය දී සාන්ත කැතරින් තුමිය, දැන උගත් ආචාර්යවරුන් පනස්දෙනකු ආකූල ව්‍යාකූල කොට වල්මත් කළා ය. එතුමිය ශුද්ධ වූ බයිබලයට අමතරව ප්ලේටෝගේ දර්ශනය ද දැන සිටියා ය. අලංකාරෝත්තීන් පිළිබඳ දැනුමක් ද එතුමිය සතු විය.
 

  
                                                   07

                                         දෙව්ලොව සබයක් 

                              (අවිච්ඡින්නය සහ අවසානය)
 
 ශාන්ත කැතරින් තුමිය සබයට ප්‍රවිෂ්ඨ වූවා ය. මරාමිණි, නිල්මිණි සහ මුතුවලින් සැදුම් ලත් ඔටුන්නකින් ඇගේ සිරස වට කරනු ලැබ තිබුණි. ඈ පැළඳ සිටියේ රන් හුය පටෙන් සැකසුණ ලෝගුවකි. ඇයට වධ දුන්නවුන් හට ප්‍රතිප්‍රහාර දුන් උපකරණයෙහි පතුරුවල ප්‍රතිරූපයක් වූ උද්දීප්තිමත් චක්‍රයක් ඇය තමන් පසෙකින් දරා සිටියා ය. දෙවියන් වහන්සේ ඇයට සබය ඇමතීමට ඇරයුම් කළ සේක. ඇය මෙලෙසින් සිය අදහස් පළ කළා ය.  
“දෙවියන් වහන්ස, ඔබ වහන්සේ මවෙත ඉදිරිපත් කළ ගැටළුව විසඳීම පිණිස, මම පොදුවේ සතුන්ගෙ පුරුදුත්, විශේෂයෙන් ම පක්ෂීන්ගේ පුරුදුත් විභාග නො කරමි. මෙම සභාවේ එක් රොක් ව සිටින ආචාර්යවරුන්, පාපොච්චාරණය ගන්නවුන් සහ පාප් වහන්සේලා වෙත මා හුදෙක් සඳහන් කර සිටින්නේ, මිනිසා සහ තිරිසනා අතර වෙන්වීම සම්පූර්ණ වූවක් නොවන බවයි. මන්ද යත් ඒ දෙකොටසින් ම හට ගන්නා අපූර්ව, ව බියකරු ප්‍රාණීන් සිටින හෙයිනි. රකුසෝ එවැන්නෝ ය. උන් අඩක් අප්සරාවන් ය : අඩක් උරගයන් ය. ඝෝරරූපී අමනුෂ්‍යයන් තිදෙනා සහ කප්රිපෙද්වරුන් එවැන්නන් ය: සිල්ලාස්ලා සහ මුහුදේ ගී ගයන සයිරන්ලා එවැන්නන් ය. ඔවුන්ට ස්ත්‍රීන්ගේ පියයුරක් හා මාළුවකුගේ වල්ගයක් ඇත. සෙන්තෝර්ලා ද එවැන්නන් ය. ඔවුන් ඉඟටිය දක්වා ම මිනිසුන් ය. ඔවුන්ගේ ඉතිරි කෑල්ල අශ්වයන් ය. ඔවුහු උදාරතර ජාතියක් ය. ඔබ දන්නා පරිදි ඔවුන්ගෙන් එකෙක් විචාර බුද්ධියේ ආලෝකයෙන් ලද මඟ පෙන්වීමෙන් පමණක් සදාකාලික ආශිර්වාදය ලැබීම කරා පිය නැඟීමට සමත් විය. සමහර විට ඌ උගේ විරෝදාර හදවත වළාකුළු මත පාවෙනු දකියි. පෘථිවි තලයේ ඔහු කරන වැඩ අනුව ම, චිරොන් නමැති සෙන්තෝවුරයා, ආශිර්වාද ලද්දවුන්ගේ විමානයන්හි ලැඟම්ු ලෑමට සුදුසුකම් ලබයි. ඇකිලස්ට අධ්‍යාපනය ලබා දුන්නේ ඔහු ය. ඒ තරුණ වීරයා සෙන්තෝර්ගේ දෑත්වලින් නික්ම ගිය විට, තරුණ ගැහැණු දරුවකු ලෙස සැරසී, ලිතො මෙදෙසේ රජුගේ දුවරුන් අතර ජිවත් වුණා : තමා ඔවුන් වැනි තරුණ කන්‍යාවක් නොවන බවට කිසි ම සැකයක් පැන නො නඟින පරිදි ඔවුන්ගේ ක්‍රීඩාවන් හා ඔවුන්ගේ සයනයන් බෙදා හදා ගත්තා. ඔහුට එවන් යහපත් සදාචාරයක් ඉගැන් වූ චිරෝන්, ස්වභාව ධර්මයේ නීතිවලට අනුව යමින් ලෝකෝත්තර ශ්‍රී විභූතිය අත්කර ගත් එක ම ධර්මිෂ්ඨයා විය. එහෙම වුණ අනෙක් එක්කෙනා ට්‍රාජන් අධිරාජයා ය. එහෙත් ඔවුන් මනුෂ්‍යයන් වූයේ අඩකින් පමණයි.  

  “හැම විටක ම උදාර විය යුතු ය යන කොන්දේසියට යටත් ව, මනුෂ්‍ය භාවයට අයත් යම් යම් කොටස් තිබීම සදාකාලික ආශිර්වාදය ලබා ගැනීමෙහිලා ප්‍රමාණවත් බව ඒ උදාහරණය මගින් මා පෙන්නුම් කළා යයි මම හිතනවා. බෞතිස්මය මගින් පුනර්ජීවනයට පත් කරනු ලැබීමෙන් තොර ව සෙන්තොර්හි චිරෝන් හට අත්කර ගත හැකි වූ දෙය, ඔවුන් අර්ධ-පෙන්ග්විනයන් හා අර්ධ මිනිසුන් බවට පත්වන්නේ නම් පෙන්ග්විනයන් හට ද එය ලැබීම සුදුසු නොවන්නේ ද? දෙවියන් වහන්ස, යථායෝග්‍ය පරිද්දෙන් ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමට හැකිවනු පිණිස මායෙල්ගේ පෙන්ග්විනයන් හට මිනිස් හිසක් ද ළැමක් ද ලබා දෙන ලෙස මා ඉල්ලා සිටින්නේ ඒ නිසයි. ඔවුන්ට අමරණීය ආත්මයක් - හැබැයි කුඩා එකක් - ලබා දෙනු මැනව.“
  
 කැතරින් එසේ කථා කළා ය. පියතුමන්ලා, ආචාර්යවරුන්, පාපොච්චාරකයන් සහ පාප් වහන්සේලා ඇයට ඇහුම්කන් දුන්නේ දෝෂාරෝපිත මුණු මුණු ගෑම් කරමිනි.  
එහෙත් සාන්ත අන්තෝනි තාපස තුමා නැඟී සිටියේ ය. අති උත්කෘෂ්ඨයන් වහන්සේ වෙත ස්වකීය රක්ත වර්ණ, එකට වෙළනු ලැබූ දෑත් විහිදුවා ලමින්, “එසේ නොකරනු මැනව. අහෝ ! දෙවියන් වහන්ස, ඔබ වහන්සේගේ ශුද්ධ වූ අවතාරයේ නාමයෙන් එසේ නො කරනු මැනව”යි එතුමා නද දුනි. 
 
  ඔහු කෙතරම් දැඩි වේගයකින් කථා කළේ ද යත්, ඔහුගේ දිගු සුදු යටි රැවුළ නිකට මස්තකයෙහි සැලුණේ කුසගිනි වූ අශ්වයකුගේ ගෙල වටා තිබූ කුරපයියක් ලෙසිනි. 

 “දෙවියන් වහන්ස, එසේ නොකරනු මැනව. මිනිස් හිසින් යුත් පක්ෂීහු දැනුත් සිටිත්. ශාන්ත කැතරින් අපට කිසි ම අලුත් දෙයක් කියා දුන්නේ නැහැ.”  

  “චිත්තෝපාදක ශක්තිය, වර්ගීකරණයන් කරයි; සැසඳුම් කරයි. එහෙත් එය කිසි කලෙකත් නිර්මාණයන් නොකරයි” යනුවෙන් සාන්ත කැතරින් තුමිය කුසීත ලෙස පිළිතුරු දුන්නා ය. 
 
  “ඔවුහු දැනුත් සිටිත්” යයි, කිසිවකට ඇහුම්කන් නොදෙමින් සාන්ත අන්තෝනි තවදුරටත් කියා ගෙන ගියේ ය. ඔවුන් හැඳින්වෙන්නේ හාර්පිස්වරු නමිනි. නිමැවුමේ දී අශික්ෂිතම සතුන් වූයේ උන් ය. දිනක් මා සාන්ත පාවුලු තවුසා සමඟ කාන්තාරයේ දී රෑ කිස වළඳමින් සිටින විට, මම මගේ මේසය කුටියෙන් පිටත සයිකමෝර් ගසක් යට තිබ්බා. හාර්පිස්ලා ඒ ගහේ අතුවල වැහුවා. උන් උන්ගේ කර්කශ හඬින් අපේ කන් බිහිරි කර, සියලු ම කෑම මත වර්වස් හෙලුවා. මේ රකුසන්ගේ ගාලගෝට්ටිය නිසා පාවුල පූජක තුමාගේ බණ දේශනාවන්ට සවන් දෙන්න අපට බැරි වුණා. අපි පක්ෂීන්ගේ වර්චස් සමඟින් අපේ පාන් සහ සලාද අනුභව කළා. දෙවියන් වහන්ස, ඔබ වහන්සේට හොබින්නා වූ ස්තෝත්‍රයක් ගයන්නට හාර්පිස්වරුන්ට නොහැක්කේය.
   
  “ඇත්ත වශයෙන් ම මා මගේ පෙළඹවීම් තුළ දී දැක ඇත්තේ හැපින්නියොයි මත්ස්‍යාවනුයි පමණක් නො වේ. කලයකින්, සීනුවකින්, ඔර්ලෝසුවකින්, කෑම හා හැඳි ගෑරුප්පුවලින් පිරුණ කබඩ්වලින් හෝ දොර ජනෙල්වලින් පවා හෝ සිය සිරුරු සකස් වී තිබු මිනිසුන් වැනි වඩා අවුල් ජාලාවන් සහිත සත්වයන් ද මා දැක ඇත. මාගේ හුදකලාභාවය තුළ දී මට වධ දුන්නා වූ, නැව් මෙන් කුඹ ගසා සිටි තල්මසුන් ගේ සිට මගේ ජලාශයන්හි ජලය රුධිරය බවට පරිවර්තනය කළ රතු කුහුඹුවන් දක්වා වූ මේ සියලු රුදුරු සත්වයන් ගැන මා විස්තර කරන්න යන්නේ නම්, සදාකාලය ම වුවත් ඒ සඳහා ප්‍රමාණවත් නොවනු ඇත. එහෙත් ඒ එකකුදු මගේ සයිකමෝර් ගසේ කොළ අපවිත්‍ර කළ හාර්පීස්වරුන් තරම් පිළිකුල් සහගත නැහැ.”  

  ලක්තාන්තියස් තෙමේ මෙසේ නිරීක්ෂණය කර සිටියේ ය. “හාර්පිස්වරු යනු පක්ෂීන්ගේ සිරුරු සහිත රකුසියන් ය. උන්ට ගෑණු ඔළුවක් හා පපුවක් ඇත. උන්ගේ සෘජුකම්, උන්ගේ නිර්ලජ්ජිතකම, උන්ගේ අශික්ෂිතකම ගලා එන්නේ උන්ගේ ගෑණු ගතිය තුළිනි. හරියට ම වර්ජිල් කිවියා ඔහුගේ “ඊනිඩ්” කාව්‍යයේ දී පෙන්වා දුන් පරිදි ය. “ඔවුහු ඒවගේ සාපයේ කොටස්කරුවෝ ය.”  

  “මේ මේ, ඒව ගේ සාපය ගැන විතරක් කට නොහෙල්ලිය යුතුයි.” දෙවියන් වහන්සේ වදාළ සේක. “දෙවෙනි ඒව පළවැනි ඒවගේ පව් ගෙවා දම්මනෙ.”
  
 පසු කලෙක දී බොසුවෙත් විසින් අනුකරණය කරනු ලබන විශ්ව ඉතිහාසයක කතුවරයා වූ පාවුල් ඔරෝසියස් නැඟී සිට, දෙවියන් වහන්සේට මෙසේ යාච්ඤා කළේ ය. 
 
  “දෙවියන් වහන්ස, මගේත් අන්තෝනිගේත් යාච්ඤාවට ඔබ වහන්සේගේ කන් යොමනු මැනව. අර උපමා කතා එකතු කරන්නන් වන ග්‍රීකයන් ප්‍රේම කළ සෙන්තෝරයන්, සයිරෙනයන්, ෆවුනයන් වැනි රකුසන් තව එකෙක්වත් නිර්මාණය නො කරනු මැනව. ඔබ වහන්සේට උන්ගෙන් කිසිදු තෘප්තියක් නොලැබෙන්නේ ය. ඒ රකුසු වර්ගයා හට මිථ්‍යා දෘෂ්ටික ඇලීම් ගැලීම් ඇත. උන්ගේ දෙබිඩි ස්වභාවය නිසා සදාචාරයන් හි පවිත්‍ර භාවයට උත් අවනත නො වේ.” 
 
  මුදු මොලොක් ලක්තාන්තියස් මෙලෙස පිළිතුරු දුනි.
  
  “මේ දැන් කථා කළ තැනැත්තා සත්තකින් ම පාරාදීසයේ විශිෂ්ට ම ඉතිහාසඥයා යි. මන්දයත් හෙරෝඩෝටස්, තුසයිදිදෙස්, පොලිබියස්, ලිවි, වේලියස් පාටක්‍යුලස්, කොර්නේලියස්, නෙපෝස්, සුවෙනෝනියස්, මානෙනෝ, දියොදෝරස්, සික්‍යුලස්, දියොන් කාසියස් සහ ලාම්ප්‍රදීයස් දෙවියන් වහන්සේගේ දර්ශන පථයෙන් ඉවත් කරනු ලැබ තිබෙන නිසයි: ටැසිටස් මිථ්‍යා දෘෂ්ටිකයන් හට වෙන් කෙරුණා වධ බන්ධනයන්ට ගොදුරු වෙමින් නිරයේ පැසෙන නිසයි. එහෙත් පාවුල් ඔරෝසියස් ඔහු පෘථිවිය ගැන දන්නා තරමට ම, ස්වර්ගය ගැන ද නො දන්නේය. මන්ද යත්, මිනිසාගෙන් සහ පක්ෂියාගෙන් පටන් ගන්නා සුර දූතයන් යනු පවිත්‍රතාවය ම වන බව ඔහු සිතෙහි ධාරණය කර ගන්නා බවක් නො පෙනෙන හෙයිනි.”  

  “අපි නන්නත්තාර ව සිටින්නෙමු” යි සදාකාලිකයාණෝ වදාළහ. “අපට මේ සෙන්තෝරයන්, හාර්පිස්ලා, දේවදූතයන් අවශ්‍ය මොන ඉලව්වකට ද? අප සලකා බැලිය යුත්තේ පෙන්ග්විනයන් පිළිබඳවයි.”
  
  “දෙවියන් වහන්ස, ඔබ වහන්සේ හරියට ම පොයින්ට් එකට කථා කළ සේක් ය.” එසේ කීවේ දොස්තරවරුන් පනස් දෙනාගේ ප්‍රධානියා ය. ඔවුහු ඔවුන්ගේ ලෞකික භවයේ දී අලෙක්සන්ද්‍රියාවේ කන්‍යාව විසින් වල්මත් කරනු ලැබුවාහු වෙති. දැන් ස්වර්ගය කළඹවමින් තිබෙන මේ මහා අලකලංචිය අවසානයකට ගෙන ඒම උදෙසා, අප ව වල්මත් කළා වූ සාන්ත කැතරින් තුමිය යෝජනා කළ පරිදි, මහලු මායෙල්ගේ පෙන්ග්විනයන් හට මිනිස් සිරුරෙන් අඩකුත්, ඊට සමානුපාතික වූ සදාකාලික ආත්මයකුත් දිය යුතු යයි මම නිර්භයව ප්‍රකාශ කර සිටිනව.”  
මෙම කථාව සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුම් නිසා සබය තුළ මහා ගාල ගෝට්ටියක් පැන නැඟුණි. පෙන්ග්විනයන් හට දිය යුතු ආත්මය සම්බන්ධයෙන් ග්‍රීක පියතුමන්ලා, ලතින් පියතුමන්ලා සමඟ මහා විවාදයක පැටලුණි.
  
  “පාපෝච්චාරකයිනි, පාප්වරුනි,” දෙවියන් වහන්සේ හඬ නැගූු සේක. “පෘථිවියේ ඇති රහස් කාමර සහ සිනොඩ් සභාවන් මෙහි දී අනුකරණය නො කරව්! සටන්කාමී පල්ලියට හිස රුදාව ගෙන දෙන ප්‍රචණ්ඩකාරීත්වයන්, ජයගිරි පල්ලිය තුළටත් ගෙන නො එව්! මන්ද යත් මාගේ ජීවයාණන්ගේ ආශීර්වාදය යටතේ යුරෝපයේත්, ආසියාවේත්, අප්‍රිකාවෙත් පැවැත් වූ සියලු ම සභාවන් තුළ දී පියතුමන්ලා අන් පියතුමන්ලාගේ රැවුල් කීතු කීතු කර දැමු බවත් ඇස් හූරා දැමු බවත් මුළුමනින් ම සත්‍ය වන නිසා ය. එසේ ද වුවත් ඔවුහු නොවරදිනසුලු වෙත්. මන්ද යත් මම ඔවුන් සමඟ වැඩ වදාළ නිසා ය.”
  
  සබයේ සන්සුන්භාවය ප්‍රතිෂ්ඨාපනය කෙරුණි. මහලු තෙමාස් නැඟී සිට සෙමෙන් සෙමෙන් මෙවදන් තෙපළේ ය.
 
 “දෙවියන් වහන්ස, ස්වකීය ගැලවුම්කාරයාණන් හා සමඟින් අකර තැබ්බයට ගොදුරුව තිබූ පෘථිවිය, ස්වර්ගයේ තුෂාරයෙන් නැවුම් කළ දිනයන්හි දී ඔබේ ජනයා අතර මගේ මෑණියන් වූ සපිරාට උපත ලැබීමට ඉඩ සලසා දුන් නිසා මම ඔබ වහන්සේට ප්‍රශංසා කරමි. දිව්‍යමය පුත්‍රයාණන්ගේ අපෝස්තුලුවරුන් මගේ මරණීය දෑස්වලින් දැක ගැනීමේ අවස්ථාව මට ලබා දුන් නිසා මම ඔබට ප්‍රශංසා කරමි. මෙම අත්‍යුත්තම සභාවේ දී මා කථා කරන්නේ, යටහත් පහත් අයගේ මුවින් සත්‍යය පිට විය යුතු යයි ඔබ වහන්සේ අභිප්‍රාය කර ගෙන සිටින හෙයිනි. මම මෙසේ කියමි. මෙම පෙන්ග්විනයන් මිනිසුන් බවට පත් කරනු මැන. ඔබ වහන්සේගේ යුක්ති සාධාරණත්වයටත් ඔබ වහන්සේගේ කරුණා නිධානයටත් අනුකූල වන්නා වූ එක ම නිගමනය එයයි.”

  ධර්මාචාර්යවරු ගණනාවක් ම කථා කිරීම සඳහා අවසර ඉල්ලූහ. අනෙක් අය ද එසේ ඉල්ලීමට පටන් ගත්හ. කිසිවකුත් අන් අයට ඇහුම් කන් නො දුණි. සියලු ම පාපෝච්චාරකයෝ සංක්ෂෝභයෙන් ඇළලී ස්වකීය ජයකොන්ත සහ ඔටුනු සොලවාලමින් සියටියාහු ය.  
දෙවියන් වහන්සේ සිය දකුණතින් කළ සංඥාවක් මඟින් සිය ගෝල බාලයන්ගේ කලබැගෑණිය සංසිඳුවා ලූ සේක. 

  “අපි තවදුරටත් සාකච්ඡා නො කළ යුතුයි” එතුමාණෝ කීහ. “මාගේ සදාකාලික සැලසුම්වලට ගැලපෙන්නා වූ එක ම දෙය, මහලු සෙමාස් ඉදිරිපත් කළ අදහස් පමණි. මෙම පක්ෂීන් මිනිසුන් බවට පරිවර්තනයට කරනු ලැබේ. මෙහිලා ඇති අවාසිදායක කරුණු ගණනාවක් ම මම කල් තියා දකින්නෙමි. පෙන්ග්විනයන් වශයෙන් ඔවුන් නො කරන්නා වූ පාපයන් බොහොමයක මෙම මිනිසුන් ඇලෙනු ගැලෙනු ඇත. ඇත්ත වශයෙන් ම ඔවුන් මෙම බෞතීස්මයෙන් තොර වී නම් සහ ඒබ්‍රහම්ගේ පවුලට මෙලෙස ඇතුළත් කරනු නො ලැබී නම්, මෙම පරිවර්තනය තුළින් ඔවුන්ට අත්වන ඉරණම ඊර්ෂ්‍යා පරවශ බවින් වඩා අඩු වනු ඇත. එහෙත් නිදහසේ තීරණය කිරීම සඳහා ඔවුන් සතු අයිතිය, මාගේ පූර්වඥාණය මගින් පැහැර නො ගත යුතුයි. 
 
  “මනුෂ්‍ය නිදහසට බාධා නොකරනු පිණිස, මා දන්නා දෙය පිළිබඳව මම නොදැනුවත් වන්නෙමි. මවිසින් විනිවිදනු ලැබූ ආවරණයන්ගෙන් මම මගේ දෑස් වසා ගන්නෙමි. මාගේ අන්ධ වූ පැහැදිලි දැක්ම තුළ දී මා කල් තියා දුටු දෙයින් මා විස්මයට පත් කරනු ලැබීමට මම ඉඩ සලසන්නෙමි.”
  
ප්‍රධාන දේව දුත රෆායෙල් කැඳවමින්, එතුමාණෝ ඔහුට මෙසේ කීහ.
 
   “යව ! ශුද්ධ වූ මායෙල් සොයා ගනු! ඔහු කළ වරද ඔහුට දැනුම් දී, මාගේ නාමයෙන් සන්නද්ධ වී මෙම පෙන්ග්විනයන් මිනිසුන් බවට පරිවර්තනය කරන ලෙස ඔහුට කියව!”




                                                 08
              
                               පෙන්ග්විනයන්ගේ වෙස් පෙරළිය

 
 පෙන්ග්විනයන්ගේ දිවයිනට ගිය ප්‍රධාන ම දේව දූතයාණන්ට, සිය නව ගෝල බාලයන් විසින් පිරිවරනු ලැබ ගල් පරයක කුහරයක වැද හොත්තා වූ ශුද්ධ වූ මනුෂ්‍යයා හමු විය. සිය සුරත ඔහුගේ උර මත තබා මායෙල් පුබුදුවා ලූ ඔහු, මුදු මොළොක් ස්වරයකින් මෙසේ තෙපළේ ය.
 
   “මායෙල්, බිය නොවන්න” 
 
  ප්‍රභාශ්වර ආලෝකයකින් ඇස් නිලංකාර වූ, සුමධුර සුගන්ධයකින් මන්මත් වූ ශුද්ධෝත්තමයාණෝ, දෙවියන් වහන්සේගේ දූතයාණන් හඳුනා ගෙන, නළලත බිම ඔබා දණ්ඩ නමස්කාර කළහ. 
 
  දේව දූතයාණෝ තවදුරටත් කථා කළහ.
  
  “මායෙල්, ඔබ කල වරද දනුව! ආදම්ගේ දරුවන් බෞතීස්ම කරන්නේ ය යන විශ්වාසයෙන් යුතු ව ඔබ පක්ෂීන් බෞතීස්ම කළෙහි ය: දෙවියන් වහන්සේගේ පල්ලියට පෙන්ග්විනයන් ප්‍රවිෂ්ඨ කළේ ඔබයි.!”මෙවදන්වලින් වයෝවෘද්ධයා විස්මිත ව ගල් ගැසුණි. 
 
  දේවදූතයාණෝ යළි කථාව ඇරඹූහ.
  
  “නැඟී සිටුව, මායෙල්! දෙවියන් වහන්සේගේ තේජෝ බලපරාක්‍රමාන්විත නාමය සමඟ අත්වැල් බැඳ ගනු! නුඹලා මිනිසුන් බවට පත්වේවා යි මෙම පක්ෂීන් හට කියව!“ 
 
  පෙන්ග්විනයෝ සැණෙකින් ම පරිවර්තනය වූහ. උන්ගේ නළල් තල පුළුල් විය. උන්ගේ හිස් රෝමයේ ශාන්ත මරියා රොතුන්දා ගෝලාර්ධය මෙන් වැඩී ගියේ ය. උන්ගේ අණ්ඩාකාර ඇස් විශ්වය මත වඩා පුළුල් ව විවර වී ගියේ ය. උන්ගේ නාස් පුඩුවල විවර දෙක මසින් පිරුණ නාස්වලින් සජ්ජිත විය. කටවලින් හඬ පිට විය. උන්ගේ බෙලි කෙටි බවට පත්විය; ඝන විය. පියාපත් අත් බවට ද නිය පාද බවට ද පත් විය. උන් එක එකාගේ ළමැද අසහනකාරී ආත්මයක් ලැගුම් ගති.

  කෙසේ වුවත්, උන්ගේ මුල් ස්වභාවයේ සලකුණක් උන් තුළ ශේෂ විය. මත තමන්ව තුලනය කර ගත්හ. මනෝහර රෝම කූපයන්ගෙන් ඔවුන්ගේ දේහයන් වැසී ගියේ ය.

  එහෙත් යළි ආපසු නොඑන ලෙස ඉක්මනින් ම දිවයිනෙන් නික්ම යාමට සිදු වීම පිළිබඳ සිතිවිල්ලෙනුත්, තමා දුර බැහැර සිටින විට තරුණ මෘදු පැලෑටීන් දක්වන සැලකීම නොලැබීම කරණ කොට ගෙන පෙන්ග්විනයන් සතු බැතිමත් බව වැනසී යනු ඈත යන සිතිවිල්ලෙනුත් මඬනා  ලද මායෙල් තෙමේ දුක් භරිත විය.
  
  ඔවුන්ගේ දිවයින ආර්මෝරිකාවේ වෙරළට ප්‍රවාහනය කිරීමේ අදහස ඔහුට පහළ විය.
  
  “සදාකාලික දෙවියන් වහන්සේගේ සැලසුම් මට නම් මහා අණ්ඩර දෙමළයකැ “ යි ඔහු තමාට ම කියා ගති.“ ඒත් මේ දිවයින ප්‍රවාහනය කළ යුතු යයි දෙවියන් වහන්සේ සිතුවොත් ඒක නවත්වන්න පුළුවන් මොන ජගතට ද?“  

  මහල්ලා සිය පූජක පටියේ වූ හණ නුලෙන් අඩි හතලිහක් පමණ දික් වූ අති ශෝභන යොතක් තනා එහි කොණක් වැලිතල අතරින් මතු වූ ගල්පරයක් වටා ගැට ගසා, යොතේ අනෙක් කොණ සියතෙහි රඳවා ගනිමින් ගල් ඔරුවට ප්‍රවේශ විය. 
 
  ඔරුව සමුද්‍රය මත්තෙහි රූටා යමින්, පෙන්ග්වින් දිවයින තමන් පසු පස ඇද ගෙන ගියේ ය. දින නවයක් යාත්‍රා කිරීමෙන් අනුතුරුව දිවයින ද සමඟින් එය බ්‍රෙට්න්හි වෙරළට සම්ප්‍රාප්ත විය. 
         


                                      ග්‍රන්ථය 2
 
                                   පුරාතන කාලය
 
                                            01
 
                                ප්‍රථම ඇඳුම් පැළඳුම්  

 
 දිනක් ශාන්ත මායෙල් මුහුදු වෙරළෙහි ඔහුට හමු වූ උණුසුම් ගලක් මත වාඩිලා සිටියේ ය. එය උණුසුම් කරනු ලැබුවේ සුර්යයා විසිනැයි සිතමින්, ඒ ගැන ඔහු දෙවියන් වහන්සේට තුති කුසුම් පිදුවේ, එම ගල මත යක්ෂයා ගිමන් හරිමින් සිටින බව නො දැන ය. අල්කා දුපත් වාසීන් හට ඇඳුම් පැළඳවීම සඳහා හම් සහ රෙදිපිළි ගෙන ඒමේ කාර්යය පවරනු ලැබ තිබූ යිවර්න්හි මහණුන් පැමිණෙන තෙක් ය, අපෝස්තුලු තුමා බලා සිටියේ.  
මාගිස් නමැති මහණා සිය පිට මත පෙට්ටියක් උසුලා ගෙන මුහුදු වෙරළට එනු ඔහු සැණෙකින් දුටුවේ ය. මෙම මහණා ශුද්ධෝත්තමභාවය පිළිබඳ ඉමහත් කීර්තියක් ඉසිලී ය.
  
  ඔහු මහල්ලා සමීපයට එළඹ, පෙට්ටිය බිම තබා, සිය කමිස අතින් නළලත පිස දමමින් මෙසේ කීය.  “එහෙනම් පියතුමනි, ඔබේ අදහස මේ පෙන්ග්විනයන්ට ඇඳුම් පළන්දන්නයි.”  

  “මපුතනුවණි, ඊට වඩා අවශ්‍ය වූ අන් කිසිත් නැතැ“‘ යි මහල්ලා කීය. “මේ පෙන්ග්විනයන් ඒ බ්‍රහම්ගේ පවුලට අනුබද්ධ කර තිබෙන නිසා, ඔවුන් ඒවගේ සාපය බෙදා හදා ගන්නවා. තමන් හෙළුවෙන් ඉන්න බව ඔවුන් දන්නව. ඒක ඔවුන් මීට කලින් නො දැන සිටි දෙයක්. දැන් ඔවුන්ගේ විලි වැසීමට හොඳට ම කාලය එළඹිලයි තියෙන්නේ. මොකද, ඔවුන් පරිවර්තනය වුණාට පස්සේ ඔවුන් ළඟ තිබුණ යට කෑල්ල අහෝසි වෙමින් තිබෙන නිසයි.” 
 
  “ඒක හරි” යයි මාගිස් කීවේ වෙරළ දෙස සිය නෙත් යොමු කරමිනි. පෙන්ග්විනයෝ එහි කුණිස්සන් සොයා යමින්, බෙලිකටු එක් රැස් කරමින්, ගී ගයමින් හෝ නිදියමින් හෝ සිටියහ. උන් හෙළුවෙන්. ඒත් උන්ට හෙළුවෙන් ම ඉන්න ඉඩ දීම වඩා හොඳ යයි ඔබ හිතන්නෙ නැද්ද පියතුමණි? ඇයි උන්ට ඇඳුම් අන්දන්නේ? උන් ඇඳුම් ඇන්දම, සදාචාර නීතීන්ට යටත් වුණා ම, උන් මහා ලොකු ආඩම්බරයක් ඇති කර ගනිවී: නීච වංචනිකභාවයක් අත්කර ගනිවී: සීමාව ඉක්මවා යන කුරිරුභාවයක් අත්කර ගනිවි.” 
 
  “මපුතණුව, මිථ්‍යා දෘෂ්ටිකයන් පවා යටත් වන සදාචාර නීතිවල ප්‍රතිඵල, ඔබ ඔය කියන තරම් ම නරක විදියට තේරුම් ගැනීම සිදු විය හැක්කක් ද?” මහල්ලා සුසුම් ලෑවේ ය. 
 
  මාගිස් මෙසේ පිළිතුරු දුන්නේ ය. “මෘගයන් වන මිනිසුන්ට, මෘගයන්ට වෙනස් විදියකට ජීවත් වෙන්න සදාචාර නීතිය බලකර සිටිනව. ඒක නිසැක වශයෙන් ම ඔවුන්ට සීමාවන් පනවනවා. ඒත් ඒ එක්ක ම ඒක ඔවුන්ව මුරුංග අත්තේ තියනව. ඔවුන් තුළ විශ්වාසය යළි තහවුරු කරනව. ඔවුන් ආඩම්බර නිසා බියගුලු නිසා, කම්සැපෙහි ලොල් නිසා, ඔවුන්ගේ ආඩම්බරකම පොපියවන සීමාවන්ට ඔවුන් කැමැත්තෙන් ම යටත් වෙනව. තමන්ගේ වර්තමාන සුරක්ෂිත භාවයත්, අනාගත ප්‍රීතිය පිළිබඳ අපේක්ෂාවත් ඔවුන් දකින්නෙ එය තුළයි. සියලු ම සදාචාරයන්ගේ ප්‍රතිපත්තිය ඒකයි..... අපි අප ව මුලා කර නොගත යුතුයි. මගේ සගයො නැවේ බඩු දිවයිනට ගොඩ බාමිනුයි ඉන්නෙ. පියතුමනි, තවමත් කල් වේලා තියෙනව. ඒ අතරතුරේ සිතා බලන්න. පෙන්ග්විනයන්ට ඇඳුම් පැළඳවීම බැරෑරුම් කටයුත්තක්. දැන් පෙන්ග්විනයකුට පෙන්ග්විනියක් අවශ්‍ය වුනා ම, තමන්ට අවශ්‍ය මොකක් ද කියල ඔහු හරියට ම දන්නවා. තමන්ගෙ ඉලක්කෙ ගැන තියෙන ස්ථිර දැනුම මගින් උගේ මදනකම සීමා වෙනව. මේ මොහොතෙ පෙන්ග්වින් ජෝඩු දෙක තුනක් මුහුදු වෙරළේ පෙම් කෙළිනව. බලන්න මොන තරම් සරල ද කියා; කවුරුවත් කිසි ම අවධානයක් යොමු කරල නැහැ. වැඩේ යෙදිල ඉන්න නළු නිළියොත් තදබල විදියට ඒකෙ ඇලී ගැලී වෙලී ඉන්න වගක් පේන්නෙ නැහැ. ඒත් පෙන්ග්වින් ගෑණු සතාට ඇඳුම් අන්දපුවා ම උන් වෙත තමා ව ආකර්ෂණය කරව ගන්නෙ මොකකින් ද යන වග ගැන පිරිමි පෙන්ග්විනයන් නිශ්චිත අදහසක් ඇති කර ගන්නෙ නැහැ. හරි හැටි තීරණය නො වුන උගේ ආශාවන් දහසකුත් එකක් සිහින වෙත, මිථ්‍යාවන් වෙත දහ අතේ පියඹා යනව. කොටින් කියනව නම් පියතුමනි, ඌ ප්‍රේමය ගැනත්, ප්‍රේමයේ ඇති උමතු වධ වේදනාවන් ගැනත් දැන ගන්නව. පෙන්ග්විනයො හැම තිසේසෙ ම තමන්ගෙ ඇස් බීමට හරව ගෙන, තොල් විකා ගෙන තමන්ගේ ඇඳුම යට හරියට නිධානයක් තියාගෙන ඉන්නව වගේ ආඩම්බරයක් ඇති කර ගන්නව. ඒක මොන තරම් කණගාටුවට කාරණයක් ද?  
“මේ ජනතාව අවිනීත ව සිටින තාක්, දුප්පත්ව සිටින තාක් නපුර ඉවසා දරා ගන්න ඔවුන්ට පුළුවන්. ඒත් වසර දහයක් ගත වන තෙක් ඉන්න. එවිට පියතුමනි ඔබට පෙනේවි, අල්කාහි දියණියන් හට ඔබ දායාද කර දී තිබෙන්නෙ මොන තරම් බලගතු ආයුධ ද කියල. ඔබ මට ඉඩ දෙනව නම්, ඒ ගැන යම් අදහසක් කල්තියා ම ඔබට ලබා දෙන්න මට පුළුවන්. මා ළඟ මේ පෙට්ටියේ පරණ ඇඳුම් කීපයක් තියෙනව. පෙන්ග්විනයෝ ඒ තරමි ම තැකීමක් නො කරන පෙන්ග්විනියක් අපි නිකමට අරගෙන අපට පුළුවන් තරම් හොඳින් ඇයට ඇඳුම් අන්දවමු.” 
 
  “මෙන්න එකියක් අපි ළඟට ම එනව. එයා අනෙක් අයට වඩා වැඩියෙන් ලස්සනවත් කැතවත් නැහැ. ඇය තරුණයි. කවුරුවත් ඈ දිහා බලන්නෙ නැහැ. ඇය ඇගේ පිට කසමින් අලස විදියට වැල්ලේ සක්මන් කරනව. ඇය ගමන් කරන්නේ ඇගේ ඇඟිල්ල නහයෙ රුවා ගෙනයි. එයාට තියෙන්නෙ පටු උරහිස්, කැත පියයුරු. දඩබ්බර ඇඟක්. කුඩා කකුල්. ඒ බව ඔබට පේනවනෙ පියතුමනි. එයා ගන්න ගන්න පියවරක් පාසා, එයාගේ රතු දණහිස් වක ගැහෙනව. ඇගේ හැම ග්‍රන්ථියක ම, කුඩා වඳුරෙක්ගේ ඔළුව වගේ පෙනී යන මොකක්දෝ දෙයක් තියෙනව. ඇගේ පළල් මස් ගොබ, පිරුණ පාදයන්, ඒවායේ වක ගැහුන ඇඟිලි හතරත් එක්කලා ගල් පරයේ ඇලිලා තියෙනව. ඇගේ ඔක්කොම මස් පිඬු වැඩෙහි නිරත ව තියෙනව. අපි ඒවා වැඩ කරන හැටි දක්ක ම අපි ඈ ගැන හිතන්නෙ ආදරය කිරීම සඳහා ඇති යන්ත්‍රයක් ලෙස නෙවෙයි. ඇවිදීම සඳහා ඇති යන්ත්‍රයක් ලෙසයි. ඒක එහෙම වුනත් ඇය පැහැදිලිව ම ඒ දෙක ම සඳහා සිටින්නියක්. අනෙක් එක, ඇය තුළමත් යන්ත්‍රයේ කොටස් කීපයක් අඩංගු වී තිබෙනව. ඉතින් ගරු කටයුතු අපොස්තුලුමනි, මම ඇයව කුමක් බවට පත් කරන්නේ දැ යි දැන් ඔබට පෙනේවි.”
  
  මෙවදන් තෙපළ මාගිස් මහණා පිමි තුනකින් පෙන්ගවිනිය වෙත එළඹ, ඇය ඉහළට ම ඔසවා, ඈ පසු පසින් ඇදී ආ කේශ කලාපය හා සමඟින් ඇය උසුලා ගෙන යමින්, බියෙන් මුසපත් ව සිට ඇය ශුද්ධ වූ මායෙල් පියතුමාගේ දෙපා අබියස හොවා ලීය.
  
  තමාට අනතුරක් නො කරන ලෙස ඈ හඬා වැළපෙමින් ඔහුට කියද්දි, ඔහු සිය මංජුසාවෙන් සෙරෙප්පු කුට්ටමක් ගෙන, එය පළදින ලෙස ඇයට අණ කළේ ය. 
 
  මහල්ලා මෙසේ නිරීක්ෂණය කළේ ය. “ලෝමජ රැහැන් පටි මගින් මිරිකා හරිනු ලැබූ විට ඇගේ පාද වඩා කුඩා ලෙසකින් දිස් වෙයි. සෙරෙප්පු කුට්ටමේ යටිපතුල ඇඟිලි දෙකක් තරම් උසැති හෙයින් ඇගේ පාදයන්ට ශෝහමාන දිගු බවක් ලැබෙයි. උසුලා සිටින්නා වූ බර ඒවා මගින් වැඩි කොට දැක්වෙන හැඩයි.”
  
  පෙන්ග්විනිය ඇගේ සෙරෙප්පු කුට්ටම දමා ගන්නවාත් හා සමඟ ම, විවෘත ව තිබූ මංජුසාව දෙස කුතුහලාත්මක බැල්මක් හෙලුවා ය. එය මාණික්‍යයන්ගෙන් ද සොබමන් වස්ත්‍රයන්ගෙන් ද පිරී තිබෙනු දුටු ඇය ඇගේ කඳුලැලි අතරින් හිනැහුණා ය.
  
  ඇගේ හිසෙහි පශ්චාත් භාගයේ කෙස් රොද පිරිමැදි මහණා, එය මල් දමකින් සරසා ලීය. ඔහු ඇගේ අත්කර රන්වන් වළල්ලකින් වට කළේ ය. ඇය කෙළින් කොට සිට වූ ඔහු ඇගේ පියයුරු යටින් විශාල හණ රෙදි කඩක් යැවී ය. ඔහු එය කළේ එමගින් ඇගේ ළමැදට නවත ම ආනුභාව සම්පන්න බවක් ලැබෙන බවත් ඇගේ උකුල් තලයට ඉමහත් ශ්‍රී විභූතියක් ඇති වන පරිදි ඇගේ දෙපස මිරිකී හැකිලි යන බවත් තෙපලමිනි.  
ඔහු රෙදි කඩ ඇල්පෙනෙත්තිවලින් තද කළේ, ඒවා එකින් එක සිය මුවෙන් එළියට ඇද ගනිමිනි. 

  “ඒක තවත් තද කරන්න පුළුවන්” පෙන්ග්විනිය කීවා ය.  ඇගේ උඩුකයෙහි මුදු මොළොක් තැන් අතිශය පරෙස්සම් සහගතවත් උද්ග්‍රහණයෙන් යුතුවත් සරසා ලීමෙන් අනතුරුව, ඔහු ඇගේ විලාශයට ගැලපුණ රෝස පැහැ ගැන්වුණ දිගු ගවුමකින් ඇගේ මුළු සිරුර ම වසාලී ය.
  
  “ඒක හොඳට මැච් වෙනවා ද?” පෙන්ග්විනිය විමසුවා ය. 
 
  හිස එක් පසෙකින් ද නිකට උරහිස මත ද තබා ගනිමින් ඉදිරිපසට නැමුණ ඇය ඇගේ වස්ත්‍රාභරණයන් දෙස සාවධානී ව නෙත් හෙළමින් සිටියා ය.  
ඇඳුම තරමක් දිගු වැඩි බව තමා නො සිතන්නේ දැ යි මාගිස් පිළිවිසී ය. එහෙත් එය එසේ නොවන්නේ යයි ඕ විශ්වාසයෙන් යුතුව පිළිතුරු දුන්නා ය. 
 
සිය සායේ පිටුපස වමතින් ගත් ඈ සැණෙකින් එය බඳ වටා කුටිල ලෙස ඇද්දේ, සිය විලුඹ අනාවරණය වන බවට වග බලා ගනිමිනි. ඉක්බිති කෙටි පියවර තබමින් උකුල සලමින් ඇය නික්ම ගියා ය.
  
  ඈ සිය හිස ආපසු නො හැර වී ය. එහෙත් ඇය දිය ඇල්ලක් පසු කරමින් යන්නී, දිය මත දිස් වු සිය ප්‍රතිබිම්බය දෙස නෙතගින් බැලුවා ය.

    අහම්බෙන් ඇය මුණ ගැසුණ පෙන්ග්විනයෙක් විස්මයෙන් ඇළලී එක්වර ම නැවතුණි. ඔහු සිය පියවර ආපස්සට ගනිමින් ඇය පසු පස ලුහුටා යන්නට පටන් ගති. ඈ වෙරළ ඔස්සේ ගමන් ගන්නා විට, මසුන් ඇල්ලීමට ගොස් ආපසු පැමිණ සිටියවුන් ඇය වෙත පා නැගුහ. ඈ දෙස බලා සිටීමෙන් අනතුරුව ඔවුහු ඇය පස්සෙන් යන්නට වූහ. වැල්ලේ දිගා වී සිටිය අය ද නැඟිට අනෙක් අයට එක් වූහ. 
 
  ඇය ඉදිරියට යත් යත්, තව තවත් අලුත් පෙන්ග්විනයෝ කඳු පෙත්වලින් පහළට ද කඳුවැටිවල කුහර තුළින් එළියට ද එමින් වැල නො කැඩී ඇගේ පිරිවරට එක්වූහ. 
 
  හැඩි දැඩි බාහු යුග්මයන්ගෙන් හා රෝම කූපයන්ගෙන් සියොලඟ වැසී ගිය පපු පෙදෙස් වලින් යුක්ත වූ මිනිසුන් ද, කඩිසර තරුණයන් ද සිය රෝස හා ධවල වර්ණිත සමෙහි තිබූ අසංඛ්‍ය වූ වකරැලි ගසාලමින් සිටි, නැතහොත් කටු ලැහැබ් අතුගාන්නවුන්ගේ කකුල්වලටත් වඩා කෘශ වූ සිය කකුල් අද්ද අද්දා ගමන් කළ නාකි මිනිසුන් ද යනාදී සියල්ලෝ ම හති දමමින් ද කර්කශ ගඳක් පිට කරමින් ද රළු පරළු ඇණුම් හරිමින් ද ඉක්මන් ගමනින් ගියාහු ය. එතෙකුදු වුවත් ඇය සන්සුන් ගමනින් ගමන් කරන්නී, කිසිවක් නුදුටු බවක් පෙනී ගියේ ය.
 
  මාගිස් හඬ නගා මෙසේ කීය. 
 
  “පියතුමනි, රෙදි කඩකින් කේන්ද්‍රස්ථානය වසා තිබෙන හෙයින්, අර තරුණ කාන්තාවගේ ආකර්ෂණයේ කේන්ද්‍රස්ථානය දෙස සිය නාස්පොලු කෙලින් කර ගෙන හැම එකෙක් ම ඉදිරියට එන හැටි බලා ගන්න. ගෝලයේ පරිමණ්ඩලය ජ්‍යාමිතියේ නිපුණයකු හට ඔහුගේ පරිකල්පනයන් තුළ දී ප්‍රාණවත්භාවය ලබා දෙන්නේ එය සතු ගුණාංගයක් මගින්. එය භෞතික හා ජිවමාන ප්‍රකෘතියෙන් වැඩ පටන් ගන්නා විට, නව ගුණාංග අත් කර ගන්නව. ඒ දේහයේ අනුරාගීභාවය පෙන්ග්විනයන්ට අනාවරණය කිරීම සඳහා, එය ඔවුන්ගේ ඇස් වලින් පැහැදිලි ව දැක ගැනීම නැවතී ගොස්, ඔවුන්ගේ සිතින් ඒ ගැන සිතා ගැනීමට යොමු කරලීම අවශ්‍යයි. මේ මොහොතේ මටමත් විචිකිච්චාවක් ඇතිවෙලයි තියෙන්නෙ, මම අර පෙන්ගුවිනිය කරා නොවැළැක්විය හැකි විදියට ඇදී ගොස් තිබෙන නිසයි. ඒක එහෙම වෙන්නේ ඇගේ සාය වඩා වැඩි වැදගත් කමක් උකුලට ලබාදී තිබෙන නිසා ද, එහෙම නැතිනම් එහි සරල විශිෂ්ටාලංකාරය නිසා එය ඒවට කෘතිම හා සාමාන්‍ය ස්වභාවයක් අත් කර දී, ඒවා දැක ගැනීමේ අවස්ථාව ශුද්ධ වූ සංකල්පයට, දිව්‍යමය ප්‍රතිපත්තියට පමණක් ලබා දෙන නිසා ද කියන එක නම් මට කියන්න බැහැ. ඒත් මා ඇය වැළඳ ගත්තොත්, මගේ දෑතේ තිබෙන්නේ මනුෂ්‍ය ප්‍රීතියේ පාරාදීසය යයි මට හැඟෙනු ඇත. මැඬ පවත්වා ගන්න බැරි ආකර්ෂණයක් විලිබිය මගින් ස්ත්‍රීන්ට ලබා දෙන බව මට නම් සහතිකයි. මගේ අසහනය කෙතරම් විශාල ද කියනවා නම්, ඒක වහංගු කරන්න උත්සාහ දැරීමත් නිෂ්ඵලයි.” 
 
  ඔහු දිගට ම කතා කර ගෙන ගියේ ය. සිය ඇඳුම් හරි ගස්සා ගත් ඔහු පෙන්ග්විින් ජන සමූහයා අතරට වැද, ඔවුන් තල්ලු කරමින් ද තෙරපමින් ද පාගා දමමින් ද පොඩි කරමින් ද අල්කාහි දියණියට කිට්ටු කරන තෙක් දිව ගියේ ය. ඇය අල්ලා ගත් ඔහු හදිස්සියේ ම සිය දෑතින් ඈ ඔසවා ගෙන, මුහුදින් හෑරී තිබූ ගුහාවක් ඇතුළට රිංගා ගති.
  
  හිරු අස්තපර්වතගත වූවාක් සේ පෙන්ගවිනයන්ට හැඟී ගියේ ය. අල්කාහි දියණියට ඇඳුම් ලබා දිය හැකි වනු පිණිස යක්ෂයා තෙමේ මාගිස් නම් මහණාගේ වෙස් ගෙන තිබූ බැව් ශුද්ධ වූ මායෙල් පසක් කර ගති. ඔහු ජීවයෙන් ම වික්ෂෝභයට පත් විය. ඔහුගේ ආත්මය ශෝකී බවට පත් විය. සිය ආශ්‍රමය කරා සෙමෙන් සෙමෙන් පියවර තබමින් සිටි ඔහු නෙත ගැටුණේ, මුදු පැලෑටිවලින් තැනුණ බඳ පටි වලින් සිය ඉඟ සුඟ තද කර ගනිමින්, කවුරුන් හෝ තමන් පස්සෙන් එත් දැ යි ඔබමොබ බලමින් වෙරළ දිගේ සක්මන් කරමින් සිටි සය හැවිරිදි සත් හැවිරිදි, පෙන්ග්විනියානු ගැහැණු ළමුන් ය.


                                                    02

                                         ප්‍රථම ඇඳුම් පැළඳුම්
 
                                    (අවිච්ඡින්නය සහ අවසානය)
 

 අල්කාහි දියණියකට පළඳවන ලද ඇඳුම්, පෙන්ග්විනියාවේ හිරි ඔතප් රැකුමෙහිලා ආධාර වනු වෙනුවට එය බිඳ දැමීම පිළිබඳ ව ශුද්ධ වූ මායෙල් දැඩි ශෝකයට පත් විය. එසේ ද වුවත්, ආශ්චර්යවත් දිවයිනෙහි වාසය කරන්නවුන් හට ඇඳුම් ලබා දීමේ සිය සැලසුම ක්‍රියාත්මක කිරීමට ඔහු තවදුරටත් බැඳී සිටියේ ය. ඔහු ඔවුන් වෙරළට රොක් කරමින් ඔවුනතර ඇඳුම් පැළඳුම් බෙදා දුනි. පෙන්ග්විනයෝ කොට කබා සහ සරුවාලයන් ලද අතර පෙන්ග්විනියෝ දිගු කබා ලදහ. එතෙකුදු වුවත් ප්‍රථම කබාය ජනිත කළාක් වැනි ප්‍රතිඵලයක් ජනිත කරලීමට මෙම කබා අසමත් විය. ඒවා එතරම් සුන්දර නො වී ය. ඒවායේ හැඩය අවලස්සන විය. ඒවායේ මෝස්තරයක් ද නො වී ය. හැම ගැහැණියක ම සතු ව ඉන් එකක් තිබු හෙයින්, ඒවා ගැන කිසිදු අවධානයක් යොමු නො වී ය. ඔවුන් ආහාර පිසූ හෙයින් ද කුඹුරුවල වැඩ කළ හෙයින් ද ඔවුන් සතු වූයේ මිලීන වූ චෝලි ද කිලිටි වූ යට සාය ද පමණි. 

  වැඩවල බරට ම යට වී වැලහින්නියන් සේ පෙනී යන තෙක් ම පෙන්ග්විනයෝ සිය පෙන්ග්විනියන් මත වැඩ පිට වැඩ පටවා ලූහ. හදවතේ දොම්නස් සහ රාගයෙහි කුල්මත්වීම් පිළිබඳ ව ඔවුහු කිසිත් නො දත්හ. ඔවුන්ගේ ගති පුරුදු අවිහිංසක විය. අයථා සංවාසය නිරතුරුව ම සිදු වූයේ වී නමුත්, එය ග්‍රාම්‍ය අව්‍යාජත්වයේ සලකුණක් විය. එවන් අපරාධයක් කිරීමට බේබදුකම විසින් තරුණයකු යොමු කරනු ලැබේ නම්, ඉන්පසු ඔහු ඒ ගැන තවදුරටත් කිසිවක් ම නො සිතී ය. 
 
 
 
                                       03 
 
                            ඉඩම්වලට මායිම් ගැසීම 
                             සහ දේපළවල සම්භවය

 
   පාවෙන හිම කඳු වැටි අතර වූ ගල් වැටි සහිත රංග පීඨය පක්ෂි ජනගහනයට සෙවණ ලබා දුන් කල්හි, දිවයිනේ පැවති කර්කශ භාවය තවදුරටත් නොපැවතුණි. එහි හිමෙන් වැසුණ ශිඛරය, කුඩා කන්දක මට්ටමට ගිලා බැස්සේ ය. මේ කන්ද මුදුනේ සිට බැලු විට, සදාකල්හි ම හිමෙන් වැසී තිබූ ආර්මෝරිකාවේ වෙරළ ද එහි ගැඹුරත සිට අඩක් මතු වූ රකුසන් වැනි මලානික ගල්පරවලින් වැසුණ සමුද්‍රය ද දැක ගත හැකි ය.  
එහි වෙරළ ඉතා විස්තීර්ණ ය. එය පැහැදිලි ව ම නීර්ණය කරනු ලැබ තිබේ. එහි හැඩය යමකුගේ මතකයට නඟාලන්නේ මල්බෙරි කොලයකි. එය හදිසියේ ම රට තණ වලින් වැසී ගියේ ය. විලෝ ගසින් ද ඉපැරණි දිවුල් ගසින් හා ඕක් ගසින් ද යුක්ත වූ එය රංචුවලට ප්‍රියමනාප විය. පූර්වෝක්ත සත්‍ය කරුණු ගෞරවාර්හ බීස් තුමා විසින් ද විශ්වාසය තැබිය හැකි තවත් කතුවරුන් කීප දෙනෙකු විසින් ද තහවුරු කරනු ලැබ තිබේ. 
 
   උතුරු පැත්තෙන් වෙරළේ ගැඹුරු බොක්කකි. වසර ගණනාවකට පසු එය විශ්වයේ ඉතා ම සුප්‍රසිද්ධ වරායන්ගෙන් එකක් බවට පත් විය. පෙණ දමන දළ රළ පෙළින් පහර දෙනු ලැබුවා වූ ගල්පර සහිත වෙරළ ඔස්සේ, නැගෙනහිර දෙසින් විහිදෙන්නේ කාන්තාර බවට පත් වූත් සුගන්ධවත් වූත් ගිනිමැලයකි. එය හෙවනැලි මුහුද නම් වේ: ගල්පරයන්හි සිදුරු කළ නිවහන් ගෙන සිටින සර්පයන්ට ඇති බියෙන් ද, නිල්වන් අග්නි ජාලාවන්ට සම වූ මළවුන්ගේ ආත්මයන් මුණ ගැසෙතැයි බියෙන් ද දිවයින්වාසිහු කිසි කලෙකත් එහි පා නො තැබූහ.
  
  එලෝද්‍යානයන්ගෙන් සහ කැලෑවන්ගෙන් යිවර්න්හි බොක්ක දකුණින් මායිම් ව තිබුණ මෙම වාසනාවත් වෙරළෙහි මහලු මායෙල් ලී දඬුවලින්       පල්ලියක් ද තාපසාරාමයක් ද ගොඩනැඟී ය. බටහිර දෙසින් වූ ක්ලාන්ජ් සහ සුරෙල් නැමති දිය ඇලි දෙක, දල්ලේස්හි සහ දොබේස්හි සරුසාරවත් තැනිතලාවන් ජලාශ්‍රිත කළේ ය.
 
  සරත් ඍතුවේ එක් උදෑසනක යිවර්න්හි මහණකු වූ බුලොක් හා සමඟින් ක්ලාන්ජ් තැනිතලාවෙහි මායෙල් ගමන් කරමින් සිටින්නේ, රෞද්‍ර පෙනුමින් යුත් මිනිස් රංචු ගල් පුරවා ගෙන පාර දිගේ ගමන් කරනු දක්නට ලැබුණි. ඒ හා සමඟ ම තැනිතලාවේ සිට ගුවන් ගැබ සිසාරා පැතිරුණ කෑගැසීම් ද අඳෝනාවන් ද හැම දෙසින් ම ඔහු සවනත වැකුණි.  ඔහු බුලොකයන් හට මෙසේ කීය.
  
  “මපුතනුව. ඔවුන් මේ දිවයිනේ වැසියන් බවට පත් වූ තැන් සිට මේ මිනිසුන් ක්‍රියා කරන්නේ, ඊට පෙර ඔවුන් ක්‍රියා කළාට වඩා අඩු ප්‍රඥාවකිනුයි. ඒ ගැන මට හරි ම දුකයි. ඔවුන් කුරුල්ලන් ව ඉන්න කොට කෝලාහල කර ගත්තේ ප්‍රේම සම්බන්ධතාවයන්ට සම්බන්ධ ඍතු වල දී පමණයි. ඒත් දැන් ඔවුන් හැම විට ම කෝලාහල කර ගන්නව. ශීත ඍතුවේදි වගේ ම ග්‍රීෂ්ම ඍතුවෙදිත් ඔවුන් සාමකාමී ඖදාර්යයෙන් කොයි තරම් පහළට වැටිලා තියෙනව ද කිව්වොත්, පෙන්ග්විනයන්ගේ සභාව පේන්නේ හරියට ම ප්‍රඥාවන්ත සමුහාණ්ඩුවක සෙනෙට් සභාවක් වගේමයි.
  
  “බුලොක් මපුතනුව, බලන්න අර සුරෙල්ලා දිය ඇලි දෙස. එතැන තිබෙන රමණිය මිටියාවතේ පෙන්ග්විනයො දුසිමක් විතර ඉන්නව. පොළොව කොටන්න වඩා හොඳින් යොදා ගන්න පුළුවන් ඉස්කෝප්ප අරගෙන, පොරෝ අරගෙන ඔවුන් එකිනෙකාට දමා ගහනව. තඩි බානව. ගෑනු මිනිසුන්ටත් වඩා කෲරයි. බලන්න ඔවුන් ඔවුන්ගේ නියවලින් විරුද්ධවාදීන්ගෙ මුහුණු පහුරු ගානව. අහෝ! බුලොක්! මපුතණුව, ඔවුන් මෙලෙසින් එකිනෙකා මරා ගන්නෙ අහවල් දේකට ද? 

  “සහෝදරත්වයෙන් අනූන හැඟීමකිනුත්, අනාගතය පිළිබඳ පූර්ව දැක්මකිනුත් යුතුවයි පියතුමනි” යි බුලොක් පිළිතුරු දුනි. “මිනිසා හරය වශයෙන් ම දුරදර්ශීයි ; සමාජ ආශ්‍රයට ප්‍රියයි. ඔහුගේ ස්වභාවය එහෙමයි. යම් යම් උදුරා ගැනීම් නොමැති නම් ඒ ස්වභාවය ගැන හිතන්නත් බැහැ. ඔබට පෙනෙන ඒ පෙන්ග්විනයො තමන් අතර භූමිය බෙදා ගන්නව.”  
“මීට වඩා අඩු ප්‍රචණ්ඩත්වයකින් ඒක බෙදා ගන්න බැරිද?“ මහල්ලා පිළිවිසී ය.“ සටන් කරන අතර ම ඔවුන් කුණුහරුපෙන් බැන ගන්නව: ඔවුන්ගේ වචන මට වෙන් වෙන් ව හඳුනා ගැනීම අපහසුයි. ඒත් සද්දෙ හැටියට නම්, ඒවා හරි ම කෝපාන්විතයි.”
 
 “ඔවුන් හොරකම් ගැනත් ඉඩම් පැහැර ගැනීම ගැනත් එකිනෙකාට චෝදනා කර ගන්නව. ඔවුන්ගේ කතාවල සාමාන්‍ය තේරුම ඒකයි.” බුලොක් පිළිතුරු දුන්නේ ය.
  
  එවිට ශුද්ධ වූ මායෙල් සිය දෑත් තදින් බැඳ ගෙන, ගැඹුරු සුසුමක් ලෑවේ ය. 
 
  හේ මෙසේ කීය. “මපුතණුව, තමන් බිම පෙරලා ගත්තු විරුද්ධවාදියාගේ නහය දත් වලින් හපා කන අර උමතු මිනිහ ව ඔබට පේනව ද? ගැහැනියකගේ ඔළුවට විශාල ගල් ගෙඩියකින් තඩිබාන මිනිහව ඔබට පේනව ද?”  

  “මට පේනව” බුලොක් කීය. “ඔවුහු නීති නිර්මාණය කරමින් සිටින්නාහ: ඔවුහු දේපළ පිහිටුවාලමින් සිටින්නාහ: ඔවුහු ශිෂ්ටාචාරයේ ප්‍රතිපත්තීන් ද සමාජයේ පදනම් ද රාජ්‍යයේ අත්තිවාරම් ද පිහිටුවාලමින් සිටින්නාහ.”  

  “ඒ කෙළෙස ද” මායෙල් ඇසී ය. 
 
  “ඔවුන්ගේ ඉඩම්වල මායිම් ගැසීම මගින්; ඒක තමයි සියලු ආණ්ඩුවල සම්භවය. ස්වාමීනි, ඔබතුමාගේ පෙන්ග්විනයො ඉතා ම උතුම් කාර්යයක් ඉටු කරමිනුයි ඉන්නේ. මුළු මහත් යුගයන් පුරා ම ඔවුන්ගේ කාර්යයන් නීතිඥයන් විසින් ශුද්ධත්වයට පත් කරනු ලබනවා ඇති, මහේස්ත්‍රාත්වරු එය තහවුරු කරනවා ඇති.”

  බුලොක් මහණා මෙම වචන ප්‍රකාශ කරමින් සිටිය දී සුදු හමෙන් ද රතු කෙස්වලින් ද යුත් විශාල පෙන්ග්විනයෙක් ගසක කඳක් සිය දෙවුර මත උසුලමින් මිටියාවතට ගෙන ගියේ ය. මහා කාෂ්ටික අව්වේ ම සිය එළවළුවලට වතුර වත් කරමින් සිටි කුඩා පෙන්ග්විනයකු වෙත ගිය හේ ඔහුට මෙලෙසින් ගිගුරුවේ ය.
  
  “උඹේ ඉඩම මගෙයි.” 

  මෙම දෘඪතර ප්‍රකාශය කිරීමෙන් අනතුරුව, ඔහු සිය ලී කඳ කුඩා පෙන්ග්විනයාගේ හිස මතට පාත් කළේ ය. කුඩා පෙන්ග්විනයා ඔහුගේ ම දෑතින් වගා කළ භූමිය මස්තකයෙහි මැරී ඇද වැටුණි.
  
  මෙය දැක්මෙන් සියොළඟ කිළිපොලා ගිය ශුද්ධ වූ මායෙල් කඳුළු ගංඟාවක් ගලා හැරියේ ය. 
 
  බියෙන් මුසපත් වූ ස්වරයකින් හේ මෙම යාච්ඤාව ස්වර්ගය වෙත යොමු කළේ ය. 
 
  “මාගේ ස්වාමි වූ දෙවියන් වහන්ස, තරුණ ආබෙල්ගේ බිලි පූජාවන් ඉවසා වදාළා වූ ඔබ වහන්සේ, කායින්ට සාප කළා වූ ඔබ වහන්සේ, තමාගේ ම ඉඩමේ දී බිලි ගනු ලැබූ මේ අහිංසක පෙන්ග්විනයා මරා දමු එකාගෙන් පලි ගෙන, ඔබ වහන්සේගේ හස්ත රාජයාගේ තේජෝ බල පරාක්‍රමය මිනීමරුවා හට දැන ගන්නට සලසනු මැනවි. අහෝ දෙවියන් වහන්ස, ඔබ වහන්සේගේ යුක්ති ධර්මයට එරෙහිව යන්නා වූ මීට වඩා පිළිකුල් සහගත අපරාධයක්, මීට වඩා බරපතළ වරදක්, මෙම ඝාතනයට සහ මෙම අපරාධයට වඩා තවත් ඇත්තෙහි ද?” 
 
  “කට, කට පියතුමනි,” බුලොක් මුදු බසින් කීවේ ය. “ඔබ මිනීමැරුමක් ලෙසත් සොරකමක් ලෙසත් හංවඩු ගසන දෙය, අධිරාජ්‍යයන්ගේ ශුද්ධ වූ පදනම් වන සියලු ම මිනිස් ගුණාංගයන්ගේ සහ සියලු ම මිනිස් ශ්‍රේෂ්ඨත්වයන්ගේ උපත වන යුද්ධය සහ ආක්‍රමණය නො වීමට සැබැවින් ම හොඳට ම ඉඩ ඇත. අන් සියල්ලටත් වඩා මෙන්න මෙය සිත තබා ගන්න. විශාල පෙන්ග්විනයකුට දෝෂාරෝපණය කිරීම මඟින් මුළු දේපළවල ස්වභාවයටත් එහි උල්පතටත් ඔබ පහර දෙනව. ඒ කෙසේ දැ යි පෙන්වා දීමට මට අවසර දෙන්න. ඉඩම වගා කිරීම එකක්. එය හිමිකර ගැනීම වෙනත් එකක්. මේ දෙක පටලවා නො ගත යුතුයි. හිමිකම ගැන සලකනවා නම්, මුල් පදිංචිකරුගේ අයිතිය ස්ථිර වූවක් නො වෙයි. අනෙක් අතට ආක්‍රමණයෙන් ලබන අයිතිය රඳා පවතින්නේ වඩා දෘඪතර පදනමක් මතයි. ගෞරවයත්, පිළිගැනීමත් ලැබෙන්නා වූ එක ම එක හිමිකම එලෙස ලබා ගත් හිමිකම පමණයි. මොකද, තමාව ගෞරවයට පාත්‍ර කර ගනු ලබන්නා වූ එක ම එක හිමිකම එය පමණක් ම වන නිසයි. දේපල සතු එක ම එක හා සාඩම්බර සම්භවය වෙන්නේ බලහත්කාරකමයි. බලහත්කාරකම මගින් ජනිත වූ එය තහවුරු කර ගනු ලබන්නේ ද බලහත්කාරකම මඟින්මයි. එහිලා එය උදාරතර වන අතර, එය යටත් වනුයේ ඊට වඩා විශාල බලහත්කාරමකට ම පමණයි. හිමිකම් ලබා සිටින්නෝ උතුම් වන්නාහයි කීම නිවැරදි වන්නේ ඒ නිසයි. ඔහුගේ ඉඩම අයත් කර ගැනීම සඳහා කම්කරුවකු මරා දැමු අර රතු මිනිහා, එසේ මරා දැමු මොහොතේ දී මෙම පෘථිවි තලය මස්තකයෙහි ඉතා උතුම් ප්‍රතිපත්තියක් පිහිටෙව්වා.” 
 
  මෙලෙස කථා කළ බුලොක්, ලේ වැකි හී විටට වී සිය යගදාවට පිට දී සිටි විශාල පෙන්ග්විනයා වෙත එළඹුණි.  

  පොළොවට නැඹුරු වෙමින් ඔහු මෙසේ කීය. “සාමි තුමනි, සංත්‍රාසජනක කුමරුවනි, මා මෙහි් පැමිණියේ නීත්‍යනුකූල බලයේත්, උරුමයෙන් හිමි වන ධනයේත් ආරම්භකයාණන් හට හිමි විය යුතු ගෞරවය ඔබට පිදීම පිණිසයි. ඔබේ ඉඩමේ වළ දැමෙන, ඔබ විසින් මරා දමනු ලැබූ අධම පෙන්ග්විනයාගේ හිස් කබල, ඔබතුමන් විසින් උත්කෘෂ්ඨත්වයට පමුණුවනු ලැබුවා වූ මේ මහා පොළොව මස්තකයෙහි ඔබ සතු අනාගත ශුද්ධ වූ අයිතීන් සම්බන්ධයෙන් සදාකල්හි ම සාක්ෂි දරනවා ඇත. ඔබේ පුතුන්ටත්, පුතුන්ගේ පුතුන්ටත් ආශිර්වාද වේවා ! ග්‍රෙතාවුක්ලා හිස් කබලේ ආදිපාදවරුන් බවට පත්වන්නාහ. ඔවුහු අල්කා දිවයින පාලනය කරනු ලබනවා ඇත.”  

  ඉක්බිති සිය ස්වරය නංවාලමින් ශුද්ධ වූ මායෙල් වෙත හැරුණ හේ මෙසේ කීය. 
 
  “පියතුමනි, සියලු බලය ජනිත වන්නේ දෙවියන් වහන්සේ වෙතින් වන හෙයින්, ග්‍රෙතාවුකයන් හට ශුභාශිංසනය කරන්න.”  
සිය දෑස් ස්වර්ගය වෙත අයාලු මායෙල් තෙමේ තුෂ්නිම්භූත ව සිටියේ ය. බුලොක් මහණාගේ ධර්මය විනිශ්චයට ලක් කිරීම සම්බන්ධයෙන් අස්ථිරත්වයකින් ඔහු වෙලී ගියේ ය. එසේ ද වූයේ වී නමුත්, වර්ධිත ශිෂ්ටාචාරයේ මුළු මහත් යුගයන් පුරා පැවතීමට ඉරණම් ව තිබූ ධර්මය වූයේ එයයි. පෙන්ග්විනියාවේ සිවිල් නීතියේ නිර්මාතෘවරයාණන් බුලොක් යයි සැලකිය හැක.





                                           04 

                          පෙන්ග්විනියානු ප්‍රජාගණයාගේ 
                                        ප්‍රථම සභාව

 
 “බුලොක්, මපුතණුව, අප දැන් පෙන්ග්විනයන්ගේ ජන සංගණනයක් ගෙන, ඔවුන් හැම කෙනෙකුගේ ම නම් පොතක ඇතුළත් කළ යුතුයි” මහලු මායෙල් කීය.
  
  “එය හරි ම දැවෙන අවශ්‍යතාවක්” බුලොක් පිළිතුරු දුන්නේ ය. ‘එය නොමැති ව යහපත් ආණ්ඩුවක් තිබිය නොහැකියි.
 
  අපෝස්තුලුවරයා මහණුන් දොළොස් දෙනෙකුගේ ආධාරය ඇති ව, ජනසංගණනය ගැනීම වහා ඇරඹී ය. 
 
  මහලු මායෙල් ඉන් පසු මෙසේ කීය.

 “බුලොක් මපුතණුව, අපි දැන් සියලු ම පදිංචිකරුවන්ගේ ලේඛනයක් පවත්වා ගෙන යන නිසා පොදුජන කටයුතුවලට වැයවන වියදම් සඳහාත් තාපසාරාමයේ නඩත්තුව සඳහාත් මුදල් ලබා ගැනීමට සාධාරණ බද්දක් අය කළ යුතුයි. හැම කෙනෙක් ම තම තමන්ගේ ආදායමට අනුව ගෙවිය යුතුයි. මේ කරුණු ගැන සාකච්ඡා කරන්න අල්කාහි වැඩිහිටියන් රැස් කරන්න. ඔවුන්ගේ එකඟත්වය ඇතිව අපි බද්ද තීරණය කර ගනිමු.” 
 
  ඇරයුම කරනු ලැබූ තිස් දෙනෙක් පමණ වූ වැඩිහිටියෝ ලීවලින් තැනුණ ආශ්‍රමයේ තිබූ මහා නුග රුක් වහන්සේ පාමුල රැස්වුහ. එය පෙන්ග්විනියාහි ප්‍රථම ප්‍රජාගණය විය. ඉන් හතරෙන් තුනක් ම සුරෙල් හි සහ ක්ලාන්ජිහි තරමක පොහොසත් ගොවීහු වූහ. පෙන්ග්විනයන් අතරින් අති උත්තමයා වූ ග්‍රෙතාවුක් උස ම ගලෙහි වාඩි ලෑවේ ය. 

  ගෞරවාර්හ මායෙල් මහණුන් මධ්‍යයෙහි අසුන් ගෙන මෙවදන් තෙපළේ ය. 
 
  “දරුවනි, දෙවියන් වහන්සේ උන් වහන්සේ කැමති වූ විට මිනිසුන්ට වස්තුව දී ආපසු ගන්නා සේක. මා දැන් ඔබ හැම කැඳවූයේ, පොදුජන කටයුතු සඳහාත්, මහණුන්ගේ නඩන්තුව සඳහාත් වැය කළ යුතු දෑ වෙනුවෙන් ආදායමක් ලබා ගන්න ඔබෙන් සම්මාදම් අය කර ගැනීමටයි. මෙම සම්මාදම් එක් එක් අයගේ ධනයට සමානුපාතික විය යුතු යයි මම සිතනවා. ඒ අනුව ගොනුන් සියයක් ඇති තැනැත්තා දහයක් දෙනවා ඇත. දහයක් ඇති තැනැත්ත එකක් දෙනවා ඇත.”  

  ශුද්ධෝත්තමය කථාව නිම කළ විට, පෙන්ග්විනයන්ගෙන් ලොකු ම පොහොසතකු වූ ක්ලාන්ජ් හි ඒනිස් නමැති කම්කරුවා නැඟී සිට මෙසේ කීවේ ය. 
 
  “මායෙල් තුමනි, පොදුජන කටයුතු සඳහාත් පල්ලිය නඩත්තු කිරීම සඳහාත් හැම කෙනෙක් ම සම්මාදම් කළ යුතුය යන්න නිවැරදි ය කියා මම හිතනව. මගේ පෙන්ග්වින් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මා සතු සියල්ල ම වුවත් අත් හැරීමට මම ලෑස්තියි. අවශ්‍ය නම් මම මගේ කමිසයෙන් පවා ප්‍රීතියෙන් යුතුව වියෝ වෙනව. මම වගේ ම හැම වැඩිහිටියෙක් ම තම තමන්ගේ බඩු භාණ්ඩ වලිනුත් පරිත්‍යාග කරන්න සුදානම්. තමන්ගේ රට ජාතිය වෙනුවෙන් ඔවුන්ගෙන් පරිපූර්ණ කැපවීම ගැන කිසි ම අයෙකුට සැක පහළ කළ නො හැකියි. එහෙම නම් අපි කළ යුත්තේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා ඊට අවශ්‍ය දේ පමණක් කිරීමයි. ඉතින් පියතුමනි, ඊට අවශ්‍ය වන්නේ, එය ඉල්ලා සිටින්නේ හුඟක් තියෙන අයගෙන් හුඟක් නෙවෙයි. මොකද එහෙම කළොත් පොහොසත්තු අඩුවෙන් පොහොසත් වන අතර දුප්පතා තවත් දුප්පත් වන නිසයි. දුප්පතා ජීවත් වෙන්නෙ පොහොසතාගෙ ධනයෙන්, ධනය ශුද්ධ වූ වස්තුවක් බවට පත් වන්නේ අන්න ඒ හින්දයි. එයට අත නො තබව්! එයට අත තැබීම අනවශ්‍ය නපුරක් කිරීමක්. පොහොසතුන්ගෙන් අර ගැනීමෙන් ඔබට විශාල ලාභයක් ලැබෙන්නෙ නැහැ. මොකද, ඔවුන් සංඛ්‍යාවෙන් ඉතා අඩු කොටසක්. අනෙක් අතට එහෙම කිරීමෙන් ඔබ ඔබේ සියලු ම සම්පත් ඔබට ම අහිමි කර ගෙන රට කාලකණ්ණිභාවයට පත් කරනව. මීට පටහැනි ව, ධනය ගැන තැකීමක් නො කර හැම පදිංචිකරුවකුගෙන් ම ටිකක් ඉල්ලා සිටිනව නම්, පොදු ජන අවශ්‍යතතාවයන්ට ප්‍රමාණවත් තරමින් ඔබට එකතු කර ගත හැකියි. එකකොට මේ එක එක් කෙනාගෙ ආදායම ගැන හොයල බලන්න ඔබට අවශ්‍යතාවක් ඇති වෙන්නේත් නැහැ. එහෙම සොයා බලන එක හැමෝ ම සලකන්නේ ඉතා...........ම අමනාපය ඇති කරවනසුලු පියවරක් විදියටයි. හැම දෙනාගෙන් ම සමාන විදියටත් පහසුවෙනුත් බදු අය කළොත්, එමගින් ඔබ දුගී දුප්පතුන් රකිනවා ඇත. මොකද එමගින් ඔබ පොහොසතාගේ ධනය දුගී දුප්පතුන්ට ඉතිරි කර තබන නිසයි. අනික් එක ඔබ කොහොම ද ධනයට සමානුපාතික ව බදු අය කරන්නේ? මට ඊයේ ගොන්නු දෙසීයක් හිටියා. අද ඉන්නෙ හැටයි. හෙට සීයක් ඉඳීවි. ක්ලුනික්ට කිරි එළදෙන්නු තුන් දෙනෙක් ඉන්නව. ඒත් උන් හරි ම කෙට්ටුයි. නික්ලූට එළදෙන්නු ඉන්නේ දෙන්නයි. ඒත් උන් හරි මහතයි. කවුද වඩා පෝසත්? ක්ලුනික්ද? නික්ලු ද? සමෘද්ධියේ ලක්ෂණ හරි ම මංමුලා සහගතයි. ස්ථිර ව ම කියන්න පුළුවන් එක ම දේ හැම කෙනෙක් ම කනව බොනව කියන එක විතරයි. ඔවුන් පරිභෝජනය කරන දෙයට සමානුපාතිකව මිනිසුන්ගෙන් බදු අය කරන්න. ඒක තමයි ප්‍රඥාව. ඒක තමයි සාධාරණය.” 
 
  ජ්‍යෙෂ්ඨයන්ගේ අත්පොලසන් හඬ මධ්‍යයේ මොරියෝ එසේ කථා කළේ ය.
  
  “මේ කථාව පිත්තල අකුරින් කොටා තබන ලෙස මම ඉල්ලා සිටිනවා“යි බුලොක් නද දුන්නේ ය. “ එය දෙසනු ලැබුවේ අනාගතය උදෙසා ය. වසර එක් දහස් පන්සියයක් ගත වූ තැනදිත් පෙන්ග්විනයන්ගේ විශිෂ්ටතමයා පවා ඊට වඩා වෙනස් ලෙසකින් කථා නො කරනවා ඇත.” 

  ස්වකීය හස්තය ස්වකීය අසිපත්හි මුෂ්ටිය මත රුවා ගනිමින් ග්‍රෙතාවුක් සිය සංක්ෂිප්ත ප්‍රකාශය කළ කල්හි ජ්‍යෙෂ්ඨයෝ තවමත් අත්පොලසන් දෙමින් සිටියාහු ය.
  
  “මම කුලීනයෙක්. ඒ නිසා මම සම්මාදන් කරන්නෙ නැහැ. මොකද සම්මාදන් කිරීම පහත් දෙයක් වන නිසයි. ගෙවිය යුත්තේ පහත් අය විසිනුයි.” මෙම අනතුරු හැඟවීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨයෝ නිහඩ ව වෙන්ව ගියාහු ය. 
 
රෝමයේ දී මෙන්, සෑම පස් වසරකට වරක් ම   නව ජන සංගණනයක් ගනු ලැබේ. ජනගහණය ශිඝ්‍රාකාරයෙන් වැඩි ව ඇති බැව් මෙමගින් නිරීක්ෂණය කරනු ලැබිණ. ඒ සා ආශ්වාර්යවත් වූ සමෘද්ධිය මධ්‍යයේ දරුවන් මිය ගියේ වී නමුත්, මුලු මහත් ගම් නියම්ගම් සුණුවිසුණු කර ලූ සාගත වසංගත පරිපූර්ණ ක්‍රමානුකූලතාවයකින් යුතුව පැමිණියේ වී නමුත්, නොකඩවා ම සංඛ්‍යාත්මක ව වඩ වඩාත් වැඩි වූ නව පෙන්ග්විනයෝ, තමන් පෞද්ගලික ව පරිපීඩිත භාවයේ ජිවත් වීම මගින් පොදු ජන සමෘද්ධිය උදෙසා සම්මාදn kalaha.


                                                    05

                        ක්‍රාකන් සහ ඔර්බෙරෝසියාගේ විවාහය

 
මෙකල්හි අල්කා දිවයිනෙහි දෑත් සවි බලවත් වූත් මනස සුක්ෂ්ම වූුත් පෙන්ග්විනයෙක් විසී ය. හේ ක්‍රාකන් නම් විය. ඔහුගේ නිවස පිහිටියේ හෙවනැලි වෙරළෙහි ය. ගල්පරවල කුහරයන්හි ලැඟම්ු ලා සිටි සර්පයන්ට බියෙන් ද බෞතීස්මය නො ලබා මිය ගිය පෙන්ග්විනයන්ගේ ආත්මයන් මුණ ගැසේය යන බියෙන් ද දන්හු කිසිදා එහි පා නො තැබූහ. මේ ආත්මයෝ නිල් පැහැ ගැන්වුණ ගිනි දැල්වල හැඩරුවෙන් යුක්ත වූහ. ශෝකාකූල කෙඳිරිගෑම් කරමින් ඔවුහු දිවා රෑ දෙක්හි පාළු වැල්ලේ ඔබ මොබ සක්මන් කළහ. දේවාශිර්වාද ලත් මායෙල්ගේ යාච්ඤාව තුළ දී මිනිසුන් බවට පත් කෙරුණ පෙන්ග්විනයන් අතරින් බොහෝ සංඛ්‍යාවක් බෞතීස්මය නො ලද බවටත්, කුණාටුව මධ්‍යයේ හඬා වැළපෙනු වස් ඔවුන් යළි පැමිණි බවටත්, සාක්ෂියකින් තොර ව වුයේ වී නමුත්, පොදුවේ විශ්වාස කරනු ලැබිණ. මෙම ගොරබිරම් වෙරළෙහි තිබූ, ළඟා විය නොහැකි බෙනයක් තුළ ක්‍රාකන් දිවි ගෙවී ය. එයට යා හැකි එක ම මංපෙත වූයේ, අඩි සියයක් උසැති ස්වාභාවික උමගකි. එහි දොරටුව ඝන කැලයකින් වැසී තිබුණි. දිනක් ක්‍රාකන් මෙම පාළු තැන්නෙහි ගමන් කරමින් සිටිය දී, ඔහුට තරුණ රූමත් පෙන්ග්වින් ලලනාවියක් මුණ ගැසුණි. ඒ මාගිස් මහණා සිය අතින් ම ඇඳුම් පැළඳූ, එනිසා විලිබිය සුරකින ඇඳුම් පළඳවනු ලැබූ ප්‍රථම තැනැත්තියයි. අරුණා ලෝකය මෙන් පැහැගැන්වුණ සිය ලෝගුව පැළද ඇය තේජාන්විත ව ගමන් කරනු, විස්මිත වූ පෙන්ග්වින් ජන සමුහයාගේ නෙත ගැටුන දිනය සිහිවනු වස්, මේ ළඳ ඔර්බෙරෝසි යන නම ලද්දී ය.
ක්‍රාකන් දර්ශනය වීමත් සමඟම භීතියෙන් කෑගැසූ ඇය ඔහු වෙතින් පලා යාමට ඉදිරියට දිව ගියා ය. එහෙත් වීරයා ඇය පිටුපසින් පාවුණ වස්ත්‍රයෙන් ඇය අල්ලා ගෙන, මේ වදනින් ඇය ඇමතී ය. “ පිය ළදුනි, ඔබේ නම්, ඔබේ පවුල සහ ඔබේ රට ගැන මට කියන්න” 

 එහෙත් ඔර්බෙරෝසියා බියෙන් මුසපත්ව ක්‍රාකන් දෙස බලා ගත් වන ම සිටියා ය.
  
  “මැතිඳුනි. මා දකින්නේ ඔබ ද, නැති නම් වික්ෂෝභයට පත් ඔබගේ ආත්මය ද?” ඇය වෙව්ලමින් පිළිවිසියා ය. 
 
  ඇය මේ ලෙස කථා කළේ, හෙවනැලි වෙරළේ පදිංචියට ගිය තැන් සිට ක්‍රාකන් පිළිබඳ කිසිදු පුවතක් නොලද අල්කා දිවයින් වාසින්, ඔහු මිය පරලොව ගොස් ඇති බවත්, මහ රෑ යකුන් අතර වසන බවත් විශ්වාස කළ හෙයිනි.
  
  “අල්කාහි දියණිය, බිය නොවන්න.” ක්‍රාකන් පිළිතුරු දුනි. “ඔබට කථා කරන තැනැත්තා ඔබ මොබ යන අවතාරයක් නො ව පූර්ණ පුරුෂ ශක්තියෙන් යුතු මිනිසෙක්. මට ළඟදී ම විශාල ධනයකුත් හිමි වෙනව.” 
 
  “ඕ, ක්‍රාකන්, පෙන්ග්විනයන්ගේ දරුවකු වන ඔබ විශාල ධනයක් අත් කර ගැනීම ගැන සිතන්නේ කෙසේ ද?” 
 
  “මගේ ප්‍රඥා මහිමයෙන්” ක්‍රාකන් පිළිතුරු දුන්නේ ය. 
 
  “දඩයමත් මසුන් ඇල්ලීමත් ගැන ඔබට තිබූ නිපුණත්වය, ඔබ අප අතර සිටි කාලයේදීත් ප්‍රකට ව තිබුණා. දැල් දා මසුන් ඇල්ලීමේ හෝ වේගයෙන් හඹා යන පක්ෂීන් දෙපලු කිරීමේ දී හෝ අන් කිසිවෙක් ඔබට සම වුණේ නැහැ.“
  
  “ඕ, කොමළදුනි. එය අසික්කිත කර්මාන්තයක්, වෙහෙස ගෙන දෙන කර්මාන්තයක්. වෙහෙසෙන්නෙ නැති ව ධනය අත් කර ගන්නා මාර්ගය මම සොයා ගෙන තියෙනව, ඒත් කියන්න ඔබ මට කවුද කියා”
  
  “මම ඔර්බෙරෝසියා නම් වෙමි.”

   “මේ රෑ ඔබේ නිවසින් මේ සා දුර බැහැර ඔබ ඉන්නේ ඇයි?”

   “ ක්‍රාකන්, එය සිදු වූයේ ස්වර්ගයේ කැමැත්තෙන් තොර ව ම නො වෙයි.”  

  “ඔර්බෙරෝසියා, එයින් ඔබ අදහස් කරන්නේ කුමක් ද?”  

  “ඕ ක්‍රාකන්, ස්වර්ගය මා ඔබේ මාවතෙහි තබා ඇත. හේතුව මම නො දනිම්.” 
 
  ක්‍රාකන් බොහෝ වේලාවක් ගතවන තුරු නිහඬව ඇය ග්‍රහණය කර ගෙන සිටියේ ය. ඉන්පසු මුදු වදනින් මෙසේ කීවේ ය. 
 
 “ඔර්බෙරෝසියා, මගේ නිවසට එන්න. එය පෙන්ග්වින් පුත්‍රයන් අතරින් ධීරවීරතම, නිර්ව්‍යාජතම පුත්‍රයාගේ නිවසයි. ඔබ මා පස්සෙන් එන්න කැමති නම්, මම ඔබ මගේ සහකාරිය කර ගන්නවා.” 
 
  එවිට සිය දෙනෙත් බිමට හරවා ගනිමින්, ඇය මෙසේ මුණු මුණු ගෑවා ය.  “ස්වාමීනි මම ඔබ අනුව එන්නෙමි.” 
 
  ඔබෙරෝසියා ක්‍රාකන් වීරයාගේ පාදපරිවාරිකාව බවට පත් වූයේ එලෙස ය. මෙම විවාහය බජව්වකින් හෝ ගිනිකෙළිවලින් හෝ සමරනු නො ලැබී ය. මක්නිසා ද යත්, පෙන්ග්වින් ජනතාවට තමාව ප්‍රදර්ශනය කිරීමට ක්‍රාකන් නො කැමති වූ නිසා ය. එහෙත් සිය ගුහාව තුළ සැඟවුණු ඔහු විශාල සැලසුම් සම්පාදනය කළේ ය. 
 
 
 
 
 
 
 
                                                06
 
                                      අල්කා හි මකරා

 ඉක්බිති අපි ස්වභාව ධර්මය පිළිබඳ ඉතිහාසයේ පෙට්ටගම වෙත ගියෙමු  ....පිදුරු ගසකින් මතන ලද පැකට්ටුවක් වැනි දෙයක් භාරකරු අපට පෙන්වී ය. එය තුළ මකරකුගේ ඇටසැකිල්ලක් ඇතැයි ඔහු අපට කීය. මකරා මිථ්‍යාමය සත්ත්වයකු නො වන බව එය සාක්ෂියකැයි ඔහු තවදුරටත් කීය.   
(ෂකේ කසනෝවාගේ මතක සටහන් - 1843 - වෙළුම - 4 පිටු 104-105)

  
 මේ අතරතුර අල්කාහි පදිංචිකරුවෝ සාමකාමී කටයුතුවල නිරත වෙමින් කල් ගෙවූහ. උතුරු වෙරළේ පදිංචිකරුවෝ මාළු බෑමට හෝ බෙල්ලන් සෙවීමට හෝ බෝට්ටුවල නැඟී ගියහ. දොම්බේස්හි ශ්‍රමිකයෝ ඕට්, රයි හා තිරිඟු වගා කළහ. දල්ලේස් තැනිතලාවේ පොහොසත් පෙන්ග්විනයෝ හීලෑ සතුන් ඇති කළ අතර කිමිඳුම් බොක්කේ පදිංචිකරුවෝ පලතුරු වගා කළහ. අල්කා වරායේ වෙළෙන්දෝ ආර්මෝරිකාව සමග ලුණු දැමූ මාළු වෙළඳාමේ නිරත වූහ. දිවයිනට අලුතින් හඳුන්වා දෙමින් තිබූ බි්‍රතාන්‍යය නම් වූ රටවල් දෙකට අයත් රත්රන් මගින්, හුවමාරුව වඩාත් පහසු කෙරුණි. පෙන්ග්වින් වැසියෝ පරිපූර්ණ නිසසලභාවයේ නිමග්න ව සිය ශ්‍රමයෙහි ඵල භුක්ති විඳිමින් සිටිය දී තමා, හදිසියේ ම එක් නපුරු ආරංචියක් ගමින් ගමට කටින් කට පැතිර ගියේ. කිමිදෙන්නන්ගේ බොක්කේ වූ ගොවිපොළ දෙකක් මහා බිහිසුණු මකරකු විසින් වනසා දමන ලද බව හැම තැනක ම කථාබහට ලක් විය.
  
  දින කීපයකට පෙරාතුව, ඔර්බෙරෝසියා අතුරුදහන් වූවා ය. ඈ නොසිටීම මුල දී අසහනකාරිත්වයක් ජනිත නො කළේ ය. මක්නිසාද යත්, ආලයෙන් මන්මත් වූ ප්‍රචණ්ඩ මිනිසුන් මින් පෙර අවස්ථා කීපයකි දී ද ඈ උස්සා ගෙන ගොස් තිබූ බැවිනි. කල්පනාකාරී මිනිසුන් එයින් විස්මයට පත් නො වූයේ ඇය පෙන්ග්විනියාවේ රූමත් ම කත ය යන කරුණ මෙනෙහි කරමිනි. අප කිසිවකුටත් අපේ ඉරණමෙන් ගැල වී යා නොහැකි හෙයින්, ඇය ම සිය දූෂකයන් හමුවට ගිය බවක් පවා කියනු ලැබිණ. එහෙත් මේ අවස්ථාවේ දී ඇය ආපසු නො පැමිණි හෙයින් මකරා ඇය ගිල දමා ඇතැයි බියක් හට ගති. වඩාත් ම මෙසේ වූයේ මකරා යනු ළිඳවල් වටා එක් වු ස්ත්‍රීන් විසින් ගොතන ලද ඕපාදුපයක් නො වූ බව දල්ලේස්හි වැසියන් ඉක්මණින් ම ප්‍රත්‍යක්ෂ කර ගත් බැවිණි. මක්නිසාද යත්, එක් රැයක දී මේ රකුසා ඒනිස් ගමෙහි කිකිළියන් හයක් ද බැටළුවෙක් ද එලෝ නැමති තරුණා අනාථ දරුවා ද ගිල දැමූ නිසා ය. පසුදා උදෑසන සතුන්ගේ හෝ දරුවාගේ හෝ කිසිවක් ම හමු නො වී ය. 
 
  වහා ම ගමේ ජ්‍යෙෂ්ඨයෝ ප්‍රසිද්ධ තැනක රැස්වූහ. මේ බිහිසුණු තත්ත්වයන් තුළ දී ගත යුතු උචිත ම උපාය මාර්ගය කුමක් ද යන්න පිළිබඳව උපදෙස් ලැබීමට ඔවුහු ගල් බංකුව මත වාඩිලා ගත්හ. 
 
  විනාශකාරී රාත්‍රියෙහි මකරා දුටු පෙන්ග්විනයන් සියලු දෙනා කැඳ වූ ඔවුහු ඔවුන්ගෙන් මෙසේ විචාළහ.  

 “උගේ හැටි, උගේ හැසිරීම නුඹලා සටහන් කර ගත්තෙ නැද්ද?”  එක් එක්කෙනා තමන්ගේ වාරය පැමිණි විට මෙසේ පිළිතුරු දුන්නේ ය. 

  “ඌට සිංහයෙක්ගෙ නිය තිබුණා. රාජාලියෙක්ගෙ තටු තිබුණා."
 
  “සර්පයෙක්ගෙ වල්ගේ තිබුණා.”  
  
“උගේ පස්ස පැත්ත කටු තියන කරමලකින් වැසී තිබුණා.”

  “උගේ මුළු සරුවාංගෙ ම කොරපොතුවලින් වැහිලා.”
  
  “උගේ බැල්මට වශී වෙනව. මුසපත් වෙනව. ඌ ගිනි දැල් පිට කරනව. ඌ උගේ හුස්මෙන් වාතය විස ගන්නනව.” 
 
  ප්‍රඥාවන්ත සහ ගැඹුරු විනිශ්චයන් දීමේ හැකියාව ඇත්තියක ලෙස සැලකුණා වුත්, මකරා විසින් කිකිළියන් තිදෙනෙකු පැහැර ගෙන යනු ලැබීමට ගොදුරු වූත් ඒනිස් ගමේ ගැහැනියක් මෙසේ සාක්ෂි දුන්නා ය. 
 
  “ඌ හැදිල තියෙන්නෙ මිනිහෙක් වගෙයි. ඊට ඇති සාක්කිය මේකයි. මම හිතුවේ ඒ මගේ ස්වාමි පුරුෂයා කියලයි. මම එයාට මෙහෙම කිව්වා. ඇඳට වරෙන් නාකි මෝඩයා”

         අනෙක් අය මෙසේ කීහ
.  
“ඌ හැදිල තිබුණේ වළාකුලක් වගෙයි.”
  
“ඌව පෙනුණෙ කන්දක් වගෙයි.” 

කුඩා දරුවෙක් පැමිණ මෙසේ කීවේ ය.
  
“මගේ මිනි අක්කට හාද්දක් දෙන්න පුළුවන් වෙන විදියට මකරා උගේ බෙල්ල පිදුරු ගොඩෙන් එළියට ගන්නව මම දැක්කා”

  ජ්‍යෙෂ්ඨයෝ වැසියන්ගෙන් මෙසේ ද ඇසූහ.  
“මකරා කොච්චර ලොකු ද?” 

එයට මෙසේ පිළිතුරු දෙනු ලැබිණ.
  
“හරකෙක් තරම් ලොකුයි.”
  
“බ්‍රේට්න්වල ලොකු වෙළඳ නැවක් වගේ ලොකුයි” 

 “ඌ මිනිහෙක් වගේ උසයි. ඌ ඔබ තුමන්ලා වාඩි වෙලා ඉන්න දිවුල් රුක් වහන්සෙටත් වඩා උසයි.” 
 
“ඌ බල්ලෙක් තරම් ලොකුයි.” 
 
  උගේ පාට පිළිබඳව අවසානයේ දී ප්‍රශ්න කරන ලදුව වැසියෝ මෙසේ පිළිතුරු දුන්හ.  

‘රතු’ 
 
‘කොළ’ 

‘නිල්’ 

“කහ’‘ 
 
  “උගේ ඔළුව දිස්නෙ ගහන කොළ පාටයි. උගේ තටු රෝස පාට ගෑවුණ දිස්නෙ ගහන තැඹිලි පාටයි. දත් අළු පාටයි. පස්ස පැත්තෙයි වලිගෙයි දුඹුරු පාටින් ඉරි වැටිල. බඩ දිස්නෙ ගහන කහ පාටයි. කලු පාට පුල්ලි පුල්ලිත් තිබුණා.”
 
“උගේ පාට?”

“ ඌට පාටක් තිබුණෙ නැහැ“. 

“ඌ මකරෙක්ගෙ පාටයි.” 
 
  මේ සාක්ෂි ඇසීමෙන් පසු, කුමක් කළ යුතු ද යන්න ගැන ජ්‍යෙෂ්ඨයෝ අන්දමන්ද ව ගියහ. තමන් ම ඌ ගැන වග බලා ගත යුතු යයි සමහරු උපදෙස් දුන්හ. ඌ එන තෙක් රැක සිට, ඊතල වරුසාවක් යවා ඌ මරා දමිය යුතු යැයි සමහරු උපදෙස් දුන්හ. ඒ සා බලගතු වූ සතුරකුට එරෙහි ව බලය පෑම නිරර්ථක යයි සිතු අනෙක් අය, බිලි පූජාවක් මගින් ඌ සංසිඳවිය යුතු යයි අනුශාසනා කළහ. 
 
  “ඌට අපි කප්පමක් ගෙවමු.” මහා ප්‍රාඥයකු ලෙස පෙනී සිටි අයෙක් කීහ.“ ඌට තුටු පඬුරු, පලතුරු, වයින්, බැටළු පැටව් හා තරුණ කන්‍යාවක් දීල අපට පක්ෂපාත කර ගන්න පුළුවන්.“
 
  ඌ වතුර බීමට එන දිය කඩිත්තට වස දැමීම හෝ උගේ ගුහාවට දුම්මල ගසා ඌ එළියට ඇද දැමීම හෝ අනෙක් අය අනුමත කළහ.
  
  එහෙත් මේ උපදෙස් එකකිනිදු වැඩක් වූයේ නැත. විවාදය දීර්ඝ විය. කිසිදු තීරණයකට එළඹීමෙන් තොර ව ජ්‍යෙෂ්ඨයෝ විසිර ගියාහු ය.


                                                07

                                       අල්කා හි මකරා 
                                        (අවිච්ඡින්නය)
 
 රෝමන්වරුන් සිය ව්‍යාජ දෙවියා වූ මාර්ස්ට හෝ මාවෝටර්ට හෝ කැප කළ මාසය මුළුල්ලේ ම, මකරා දල්ලේස් හි හා දොම්බේස් හි ගොවිපල වනසා දැම්මේ ය. ඌ බැටළුවන් පණහක් ද ඌරන් දොළහක් ද තරුණ පිරිමි ළමයින් තිදෙනකු ද උස්සා ගෙන ගියේ ය. හැම පවුලක් ම සෝ සුසුම් ලමින් සිටියහ. මුළු දිවයින ම ශෝකාලාපයන්ගෙන් පිරී පැවතුණි. මේ වදය පිටු දකිනු පිණිස එක්රැස් වීමටත්, එක් ව ගොස් දේවාශිර්වාද ලත් මායෙල්ගේ පිහිට පැතීමටත්, ක්ලාන්ජ් සහ සිර්වෙයි මගින් ජලාශ්‍රිත වූ අවාසනාවත් ගම්මානයන්හි ජ්‍යෙෂ්ඨයෝ තීරණය කළහ.
 
  වසර ආරම්භ කළ මාසය වූ හෙයින් ලතින් ජාතිකයන් අතරෙහි දි, විවෘත කිරීම යන අරුත් ගෙන දුන්නා වූ මාසයෙහි පස්වැනි දිනයේ දී ඔවුහු දිවයිනේ දකුණු වෙරළ ඔස්සේ ගොඩනඟා තිබූ ලී දඬු ආශ්‍රමය කරා පෙරහරින් ගියහ. අසපුව තුළට කැඳවනු ලැබූ කල්හි, ඔවුහු කඳුළු බිඳු වලිනුත් ඉකිබිදීම් වලිනුත් එය පුරවා ලූහ. ඔවුන්ගේ අඳෝනාවන්ගෙන් සසල වූ සිත් ඇති මහලු මායෙල්, තාරකා ශාස්ත්‍රය හැදෑරීම පිණිසත් ශුභාරංචිය පිළිබඳ භාවනානුයෝගී වීම පිණිසත් තමාට වෙන් කර තිබූ කාමරයෙන් නික්ම දේවගැති හැරමිටියට වාරු වී අවලම්බනය වෙමින් ඔවුන් වෙත එළඹුණි. ඔහු ළඟා වීමත් හා සමඟ ම දණ්ඩ නමස්කාර කළ ජ්‍යෙෂ්ඨයෝ, හරිත වර්ණ අතු ඔහුට ප්‍රදානය කළහ; ඔවුනතරින් සමහරු සුගන්ධවත් පැලෑටි පුළුස්සා ලූහ.
  
 අසපුවේ වතුර මල අසබඩ වූ ඉපැරණි දිවුල් රුක් වහන්සේ යට අසුන් ගත් ශුද්ධෝත්තමයා මෙම වදන් ප්‍රකාශයට පත් කළහ. 
 
  “ඕ මාගේ පුත්‍රයිනි, පෙන්ග්විනයන්ගේ දරුවනි, නුඹලා වැළපෙන්නේ මන්ද? මැසිවිලි නඟන්නේ මන්ද? නුඹලා ඒ අතු මා වෙත පාන්නේ මන්ද? නුඹලා එම පැලෑටිවල ධූමය ස්වර්ගය දෙසට පාන්නේ කිම? මට වළක්වාලිය හැකි යයි නුඹලා නුඹලාගේ හිස් තුළින් අපේක්ෂා කරන ව්‍යසනය කීම? නුඹලා මා වට කර ගෙන සිටින්නේ කිම? මාගේ දිවි නුඹලා වෙනුවෙන් පිදීමට මා සූදානම් ය. නුඹලා පියාණන්ගෙන් අපේක්ෂා කරන දෙය පමණක් එතුමාණන් හට කියව!“  

  මේ ප්‍රශ්නයට ජ්‍යෙෂ්ඨයන්ගෙනුත් ජ්‍යෙෂ්ඨයා මෙසේ පිළිතුරු දුන්නේ ය.
  
  “ඕ මායෙල් තුමනි, අල්කා හි පුත්‍රයන්ගේ පියාණනි, සියලු දෙනා ම වෙනුවෙන් මම කථා කරන්නම්: රුදුරු බියකරු මකරාක්ෂයෙක් අපේ ඉඩම් වනසනවා. අපේ හරක් ගාල් නැති කර අපේ තරුණයන් උස්සා ගෙන යනවා. ඌ එලෝ දරුවාත්, තවත් හත් දෙනෙකුත් ගිල දැම්මා. පෙන්ග්විනියාවේ ලස්සන ම කාන්තාව වන අවිවාහක ඔබෙරෝසියාව උගේ දත්වලින් හපා වප්ප කළා. ඌ උගේ විෂ දුම පිට නො කරපු, පාළු නොකරපු ගමක් ඇත්තෙ ම නැහැ. මේ මළ වදයට ගොදුරු වෙලා ඉන්න අපි, මේ මව්බිම් වාසිීන් සුරක්ෂිත කර ගැනීම ගැන උපදෙසක් ලබා ගැනීමට ඉතාමත් ප්‍රඥාවන්තයා වන ඔබතුමාට අයැද සිටීමට මෙහි පැමිණියා. එසේ නොකළොත් පෙන්ග්වින්හි ඉපැරණි වර්ගයා අහෝසි වෙලා යාවි. ” 

  “අල්කා හි ජ්‍යෙෂ්ඨයන්ගේ ජ්‍යෙෂ්ඨයාණනි” මායෙල් පිළිතුරු දුන්නේ ය.
 ”නුඹේ වදන් මසිත කම්පා කළේ ය. දුක්භරිත කළේ ය. මේ දිවයින රුදුරු බියකරු මකරාක්ෂයෙකුට ගොදුරක් ව ඇත යන සිතුවිල්ලෙන් මම ද ළතෝනි දෙන්නෙමි. රකුසන් බොහෝ විට දැකිය හැක්කේ ගුහාවලයි. ජලය අද්දරයි. වැඩියෙන් ම මිථ්‍යා දෘෂ්ටිකයන් අතරයි. සමහර විට, නුඹලා අතරත් ඇතිග ශුද්ධ වූ බෞතිස්මය ලබා සිටියත්, ඒබ්‍රහම්ගේ පවුලට අනුයුක්ත කර සිටියත්, පැරණි රෝමන්වරු වගේ ප්‍රතිමා වන්දනාමාන කරන, යම් ශුද්ධ වූ වෘක්ෂ රාජයෙකුගේ අතුවල ප්‍රතිමා එල්ලනල භාරහාර වෙනුවෙන් ඵලකයන්වල ලෝම නළල් පට  මල්දම් පළඳවනල එවැනි මිථ්‍යා දෘෂ්ටිකයන් නුඹලා අතරත් සිටිය හැකියි. සමහර පෙන්ග්විනියාවියන් මැජික් ගල් වටේ පරල වෙලා නටලා, අප්සරාවියන් වසන ජලාශවලින් වතුර බොන්නත් ඇති. අහෝ ! පෙන්ග්වින්වරුනි, එය එසේ වූයේ නම්, සමහරුන්ගේ පාපයන් වෙනුවෙන් සියල්ලන්ට ම දඩුවම් කිරීමටත්, දෙවියන් වහන්සේ හෙලා දැකීම, මිථ්‍යා දෘෂ්ටිය හා අසිල්වත් බව සුන් කර ලීමටත්, දෙවියන් වහන්සේ මේ මකරා එවා ඇත්තේ යයි මම විශ්වාස කරමි. මේ හේතුව නිසා, නුඹලා පීඩාවට පත්කර ඇත්තා වූ මේ මහා උවදුරෙන් නුඹලා ගලවාලීමේ පියවරක් ලෙස, නුඹලාගේ නිවෙස් වල ප්‍රතිමා තිබේ දැ යි පරීක්ෂා කොට බලා නිවෙස්වලින් ඒවා සමුලෝත්පාඨනය කර දමන ලෙස මම නුඹලාට අවවාද කරමි. එමෙන් ම එසේ කිරීම යාචඤා කිරීම පිණිසත් පව් සමා කිරීම පිණිසත් ඵලදායි වේ යයි මම හිතනවා.” 
 
  එසේ කථා කළේ මායෙල් ය. පෙන්ග්වින් ජනයා ඔහුගේ දෙපා සිඹ, බලාපොරොත්තු පොදි බැඳ ගත් සිතින් යුතු ව සි   



                                         08
 
                                           අල්කා හි මකරා
 
                                             (අවිච්ඡින්නය)

 ශුද්ධ වූ මායෙල්ගේ අවවාදානුශාසනා අනුව යමින් අල්කා දේශවාසීහු ඔවුනතර පැන නැඟ තිබූ මිථ්‍යා විශ්වාසයන් මුලිනුපුටා දැමීමට යන්න දැරූහ. කල්ප වෘක්ෂය වටා අභිචාරි මන්ත්‍ර ජප කරමින් පරළව නැටීමෙන් ස්ත්‍රීන් වළක්වා ලීමට ඔවුහු වග බලා ගත්හ. දරුවන් වඩා ශක්තිමත් කරනු වස්, පොළවෙහි කෙළින් ව තිබු ගල් මත සිය දරුවන් උලච්චි කිරීම තරුණ මාතාවන් හට තහනම් කෙරුණි. පෙනේරයකලා බාර්ලි ඇට හැලීම මගින් අනාගතය ගැන පේන කී මහල්ලෙක් ළිඳකට තල්ලු කෙරිණ. 
 
  එසේ ද වුවත්, හැම රැයක ම රකුසා තවදුරටත් කුකුල් කූඩුවලට ද  හරක් මඩුවලට ද කඩා වැදුණි. තැති ගැනුණ ගොවීහු සිය නිවෙස් තුළට වී සිටියහ. මහා මඟ වූ මකරාගේ ඡායාවක් සඳ එළියෙන් කවුළුවක් තුළින් දුටු ගැබ් ගත් ගැහැනියක් කෙතරමි භ්‍රාන්ත වී ද යත්, නියමිත වේලාවට කලින් ඇය ඇඳ වෙත ගෙන යනු ලැබී ය.  
  පූර්වෝක්ත පිඩාකාරී දිනයන්හි දී, ශුද්ධ වූ මායෙල් තෙමේ මකරුන්ගේ ස්වභාවය පිළිබඳවත් උන් හා සටන් කරන අන්දම පිළිබඳවත් නැවතීමකින් තොරව ම ධ්‍යානයට සමවැද සිටියේ ය. සය මස් අධ්‍යයනයකින් හා යාඥාවන්ගෙන් අනතුරුව, සොයාපු දේ සම්බ වුනා යයි හේ සිතීි ය. දිනක් සැමුවෙල් නමැති තරුණ මහණා සමග ඔහු මුහුද අසලින් ගමන් කරන්නේ  සිය  සංකල්පයන් මෙවදනින් ඔහුට විස්තර කළේ ය. 
 
  “මකරුන්ගේ ඉතිහාසය සහ ගති සිරිත් මම දීර්ඝ ව අධ්‍යයනය කළා. මම එසේ කළේ කමකට නැති කුතුහලය සංසිඳුවා ලීමට නො ව, වත්මන් තත්ත්වයන් තුළ අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය අනාවරණය කර ගැනීමටයි. සැමුවෙල් මපුතණුව, ඉතිහාසයේ ප්‍රයෝජනය ඔන්න ඕකනෙ.”
“ මකරුන් අතිශයින් ම සුපරීක්ෂාකාරී ය යන්න නොවෙනස් වන සත්‍යයක්. උන් කවදාවත් ම නිදාගත්තෙ නැහැනෙ. මෙන්න මේ කාරණාව නිසා අපට උන් බොහෝ විට හමුවන්නේ නිධානයක් ආරක්ෂා කිරීමේ නිරත වී සිටින විටයි. ජේසන්ගෙන් කෝල්විස් පැහැරගත් රත්රන් ලොම් තොගය රැක්කෙ මකරෙක්. හෙස්පෙරිදෙස්ගේ උද්‍යානයේ රත්රන් ඇපල් බලා කියා ගත්තේ මකරෙක්. හර්කියුලිස් ඌව මැරුවා. ජූනෝ ඌව තරුවක් බවට පරිවර්තනය කළා. මේ කාරණය සමහර පොත්වල විස්තර කරල තියෙන්නෙ මැජික් බලෙන්. මොකක්ද මිථ්‍යා දෘෂ්ඨිකයන්ගේ දෙවිවරු ඇත්ත වශයෙන් ම යක්ෂයින් වන නිසයි. කාස්තාලියා ජලාශයෙන් වතුර බීමෙන් ම්ලේච්ඡ මෝඩ මිනිසුන් වැළැක්කුවේ මකරෙක්. අපි ආන්දොමේදාවේ මකරව සිහියට නඟා ගත යුතුයි. ඌව මැරුවේ පර්සියස්. ඒත් අපි ඉපැරණි උපමා කතාවලට ආපසු යමු. ඒවායේ හැම තිස්සෙ ම සත්‍යය අසත්‍යයන් එක්කල මිශ්‍ර වෙලයි තියෙන්නෙ. කීර්තිමත් ප්‍රධාන දේවදූත මයිකල්ගේ, සාන්ත ජෝර්ජ්ගේ, සාන්ත පිලිප්ගෙ, සාන්ත මහා ජේමිස්ගේ, සාන්ත පැට්රික්ගෙ, සාන්ත මාර්තාගෙ, සාන්ත මාග්‍රට්ගෙ ඉතිහාස කතාවල අපට මකර ව මුණ ගැහෙනවා. ඒවා මුළුමණින් ම විශ්වාසය තැබීමට යෝග්‍ය ඒවා. ඒ නිසා, අස්වැසිල්ල ලබන්නත් අවවාදානුශාසනා ලබන්නත් අප බැලිය යුත්තේ ඒ ලියවිලියි. 
 
  “සයිලේනාවල හිටපු මකරගෙ කතාව අපට විශේෂ වටිනාකමක් තියෙන නිදසුන් ගෙන හැර පානව. පුතණුව ඔබ මෙය දැන ගන්න ඕන. ඒ නගරෙට කිට්ටු විශාල පොකුණක මකරෙක් හිටියා. ඌ සමහර වෙලාවලදි තාප්පවලට කිට්ටු කරලා උප නගරවල ජීවත්වුණ හැම කෙනෙකුට ම උගේ හුස්ම පිඹල විස ගැන්නුව. සයිලේනාවල වැසියො රකුසා තමන් ව ගිල ගන්න එකෙන් බේරෙන්න හැම උදෑසනක ම තමන්ගේ එකෙක්ව ඌට බිලි දුන්න. ගොදුරු වෙන්නෙ කවුද කියන එක තෝර ගත්තෙ ලොතරැයියකින්. සිය දෙනෙක් ව ඌට භාර දුන්නට පස්සෙ, ලොතරැයිය වැටුණෙ රජ්ජුරුවන්ගේ දෝණියන්දැට.
  
  “ඉතින් මිලිටරි මහජනාරක්ෂකයෙක් හිටපු සාන්ත ජොර්ජ් තුමා, සයිලේනා නුවර පසු කරමින් ගමන් කරන කොට දන ගත්තා, රජ්ජුරුවන්ගෙ දෝණියන්දැව අර රුදුරු මෘගයාට දුන්න බව. එතුමා හණික අස්සය පිට නැගල, තෝමරයක් අරගෙන, මකරට මුහුණ දෙන්න දඩි බිඩි ගා පිටත් වුණා. මකරා රාජකීය කන්‍යාවිය ගිල ගන්න හදන කොට ම එතුමා ඌ සිටි තැනට ආවා. සාන්ත ජෝර්ජ් තුමා මකර ව දමනය කර දැම්ම ම රජ්ජුරුවන්ගේ දෝණි මෘගයාගේ බෙල්ල වටේට ඇගේ බඳ පටිය එතුවා. පටියකින් ගැට ගහපු බල්ලෙක් වගේ ඌ ඇගේ පස්සෙන් යන්න ගියා. 
“මකරුන් කෙරෙහි කන්‍යාවියන්ට ඇති බලපෑම පිළිබඳ නිදසුනක් තමයි ඒ. සාන්ත මාර්තා තුමියගේ ඉතිහාසය ඒ ගැන අපට වඩාත් ස්ථිර සාක්ෂියක් සපයනව. සැමුවෙල් මපුතණුව, ඔබ ඒ කථාව දන්නෙහි ද?” 
 
 “එසේ ය පියතුමන් සැමුවෙල් පිළිතුරු දුන්නේ ය.
  
  දේවාශිර්වාද ලත් මායෙල් තවදුරටත් මෙසේ කියන්නට විය.
 
 “රෝන් ගඟේ ඉවුරෙ, ආර්ලේස් සහ අවිගොත් අතර කැලේ මකරෙක් හිටියා. ඌ භාගයක් සිවුපාවෙක්, භාගයක් මත්ස්‍යයෙක්. වෘෂභයකුට වඩා විශාලයි. දත් අං වගේ උල්. උරහිස්වල විශාල පියාපත්: ඌ බෝට්ටු ගිල්ලෙව්වා. ඒවායේ හිටපු මගීින් ව ගිල දම්මා. ඉතින් සාන්ත මාර්තා තුමිය, ජනතාවගෙ බැගෑපත් ආයාචනා නිසා, මේ මකර ළඟට ගියා. යනකොට ඌ මිනිහෙක් ගිල දමමින් සිටින බව එතුමිය දුටුවා. එතුමිය ඇගේ බඳ පටිය උගේ බෙල්ල වටා දාලා ඌව පහසුවෙන් ම නගරයට අරගෙන ගියා.  
“මේ නිදසුන් දෙක නිසා මම යොමු වෙලා තියෙන්නෙ, අල්කා දිවයින මුළුල්ලේ ම භීතියත් මරණයත් පතුරවල තියන මකරව ජය ගැනීමට නම්, අප කන්‍යාවියකගේ බලය යෙදිය යුතුය කියල හිතන්නයි.
  
  “මේ හේතුව නිසා, සැමුවෙල් මපුතණුව, තොපගේ නිතඹ බඳ පටියකින් බැඳ ගෙන යන ලෙස මම තොපෙන් අයදිමි. තොපගේ සගයන් දෙදෙනකු සමඟින් මේ දිවයිනේ සියලු ගම් දනව් සිසාර ගොස්, දිවයින වනසන රකුසාගෙන් එය ගලවා ගත හැක්කේ කන්‍යාවියකට පමණක් බව හැම  තන්හි ම  පතළ කරව.!  

  “තොප ස්තෝත්‍ර හා ගීතිකා ගයා මෙසේ කියව.!  

  “ඕ! පෙන්ග්වින්හි පුත්‍රවරුනි, නුඹලා අතරෙහි සර්ව ශුද්ධ වු කන්‍යාවියක් සිටින්නේ නම් නැඟී සිට, කුරුසියෙන් සන්නද්ධ වී, මකරා පරාජය කිරීමට යව!” 
මහල්ලා එලෙසින් කථා කළේ ය. ඔහුට අවනත වීමට පැමුවෙල් ප්‍රතිඥා දුන්නේ ය. පසු දින ඔහු සිය නිතඹ බඳ පටියෙන් ගැට ගසා ගෙන, සගයන් දෙදනකු ද සමඟින් නික්ම ගියේ, මකරාගේ ක්‍රෝධාග්නියෙන් පෙන්ග්විනයන් ගලවා ගැනීමට හැකියාව ඇත්තේ කන්‍යාවියක් හට පමණක් බව අල්කාවාසීන් වෙත පතළ කර ලීමට ය. 







                                                    09
                                              අල්කා හි මකරා
                                           (අවිච්ඡින්naya
 
           ඔර්බෙරෝසියා සිය ස්වාමිපුරුෂයාට පෙම් කළා ය. එහෙත් ඇය පෙම් කළේ ඔහුට පමණක් නො වේ. අඩ අඳුරු අහස් කුස වීනස් තරුව බැබලෙන හෝරාවේ ගම් දනව් සිසාරා යමින් ක්‍රාකන් සංත්‍රාසය පතුරුවා හරිමින් සිටින අතරතුර ඇය මාර්සෙල් නමැති දල්ලේස් පෙදෙසෙහි එf`ඩ්රා ඔහුගේ කුටියේ දී මුණ ගැසීමට පුරුදු ව සිටියා ය. ඔහුගේ ප්‍රියජනක ස්වභාවය, ක්ෂය වී නොයන පුරුෂ ශක්තියකින් පිරි පැවතුණි. සුකොමළ ඔර්බෙරෝසියා තොමෝ ප්‍රීතියෙන් ඔකඳව එf`ඩ්රාගේ සුගන්ධවත් සයනය බෙදා හදා ගත්ති ය; එහෙත් තමා කවුදැයි දැන ගැනීමට ඔහුට ඉඩ සැලසීමෙන් තොරව ය, ඇය එසේ කළේ. බි්‍රජට් යන නම ගත් ඇය, තමා කිමිදෙන්නන්ගේ බොක්කේ උයන්පල්ලාගේ දෝණියන් දෑ බව හඟවා සිටියා ය. දුක්භරිත සිතින් යුතුව ඔහුගේ ආලිංගනයෙන් ඉවත්ව යන ඇය, හෙවනැලි වෙරළ වෙත දුමින් පිරුණ කුඹුරු හරහා ගමන් ගන්නී, පමා වී නිවෙස් බලා යන යම් ගොවියකු මුණගැසුන හොත්, වහා සිය වස්ත්‍රය දැවැන්ත පියාපත් ලෙස විහිදුවා හඬ නඟා මෙසේ කියා සිටින්නී ය.
  
  “අහෝ ! අහෝ! මම විනාශයි. මන්ද, මම දෙවියන් වහන්සේගේ දේව දූතයා දුටිමි යයි කියා සිටීමට ඔබට සිදු නොවනු පිණිස, මගිය, තොපගේ නෙත් බිමට හරවනු.”  

  ගම්මු සිය මුහුණු බිම යොමා බියෙන් වෙව්ලමින් දණ ගැසූහ. 

  දැකීම මරු කැඳවන්නා වූ දේවදූතයන්, රෑ යාමේ දිවයිනේ මංමාවත් ඔස්සේ ගමන් කරන බව ඔවුන්ගෙන් සමහරු කියා සිටියහ.
  
  ඔර්බෙරෝසියාගේ හා මාර්සෙල්ගේ අනඟ රැඟුම් කිසිවක්  ක්‍රාකන් දැන සිටියේ නැත. මන්ද යත් ඔහු වීරයෙක් වූ හෙයිනි. වීරයෝ කිසි කලෙකත් සිය අඹුවන්ගේ රහස් අනාවරණය කර නො ගනිති. ඔහු මෙම අනඟ රැඟුම් දැන නොසිටි නමුත් ඉන් ප්‍රතිලාභ නම් නෙලා ගති. වඩා ප්‍රීතිමත් වූත්, වඩා සුරූපී වූත්, ප්‍රීති ප්‍රමෝදය දල්වාලමින් මංගල සයනය ආනන්ද ජනක සුගන්ධයෙන් සුගන්ධවත් කරවන්නා වූත් පතිනියකි, ඔහුට හැම රැයක ම දැක ගන්නට ලැබුණේ. ඇය ක්‍රාකන් හට දැක්වූයේ කිසිදා පෙරැත්ත කිරීමක් බවට හෝ චිත්තාපර වූවක් බවට හෝ පත් නො වූ ප්‍රේමයකි. මන්ද යත් ඇය ප්‍රේමයේ  සම්පූර්ණ බර ඔහු මත පමණක් නො පැටවූ හෙයිනි. ඔර්බෙරෝසියාගේ මෙම පතිදම් බිඳීම, අප වීරයා මහා විනාශයකින් ගලවා ගැනීමට ද ඔහුගේ වසනා මහිමය හා යශෝකීර්තිය සදා කල්හි ම පතුරුව ලීමට ද වැඩිකල් නො ගොස් ම හේතුභූත විය. එසේ වූයේ සිය ගොනුන් දක්කමින් සිටි බෙල්මෝන්ත් පළාතේ ගොපල්ලකු නෙත ගැටුන ඇය, මාර්සෙල් එඩේරා කෙරෙහි කිසිදා වූවාට වඩා වැඩි තියුණු පෙමකින් ඇලි වෙළී ගිය හෙයිනි. ඔහු කුදෙකි: ඔහුගේ උරහිස් කන්වලට වඩා දික් විය. ඔහුගේ සිරුර උසුලනු ලැබ සිටියේ අසමාන දිග ප්‍රමාණයන්ගෙන් යුත් කකුල් වලිනි. බොකුටු වූ කෙස්වලට යටින් ඔහුගේ නෙත් විහිදුණි. ඔහුගේ උගුරෙන් රළු හඬක් ද කර්ණ කටුක ගොරහැඩි කොක්හඬලෑමක් ද නික්මුණි. ඔහු වෙතින් ගව මඩුවේ ගඳ වහනය විය: එසේ ද වුවත් ඇයට ඔහු රූමත් විය. ඥාතෝ කියන පරිදි,“ අයෙක් පැලෑටියකට ද, තවකෙක් දිය ඇල්ලකට ද, තෙවැන්නෙක් මෘගයකුට ද පෙම් කළේ ය.“  

   දිනක් ඇය ගමේ අටුවක් තුළ ගොපල්ලාගේ ආලිංගනයෙහි සන්තර්පණය වෙමින් සිටිය දී පියවර හඬක් හා සමඟින්, හොරණෑවක ඝෝෂාව හදිසියේ ම ඇගේ සවනත වැකුණි. කවුළුව තුළින් බැලූ ඇය, නාඹර මහණකු වටා ජනයා එක්රොක් ව සිටිනු දුටුවා ය. ගලක් මත්තෙහි සිට ගත් හේ සුපැහැදිලි ස්වරයෙන් මෙවදන් තෙපළේ ය. 

  “බෙල්මෝන්ත් වාසීනි, නුඹලාගේ ශක්ති සම්පන්නභාවය මගින් හෝ නිපුණත්වය මගින් හෝ මකරා අභිබවා ලිය නො හැකි බවත්, එය කළ හැක්කේ කන්‍යාවියක් මගින් පමණක් බවත් අපගේ ගෞරවාර්හ පියතුමාණන් වන මායෙල් ආශ්‍රමාධිපති තුමා මාගේ මුව කමල තුළින් නුඹලා හැම වෙත දන්වා සිටින්නේ ය. ඒ අනුව නුඹලා අතරෙහි මුළුමණින් ම නිර්මල වූ කන්‍යාවියක සිටි නම් ඇය නැඟී සිට රකුසා වෙත යව! ඌ මුණ ගැසුන විට ඇය ඇගේ බඳපටිය උගේ ගෙල වටා බැඳිය යුතු ය. එවිට කුඩා බලු පැටවකු පරිද්දෙන් ඌ තමා පසු පස පහසුවෙන් ම රැගෙන යනු ඇත.”  
ඉන්පසු සිය කරඬුව හිස මත තබා ගත් තරුණ මහණා, දේවාශිර්වාද ලත් මායෙල්ගේ පණිවුඩය අන් ගම් දනව් වෙත පතුරුවාලනු පිණිස නික්මුණි.  
ඔර්බෙරෝසිය තොමෝ, සිරස සියතෙහි රඳවා ගනිමින්, වැලමිට දෙදණ මත තබා ගනිමින්, තමා ඒ මොහොතේ ශ්‍රවණය කළ දේ පිළිබඳව මෙනෙහි කරමින්, සරාගී බවින් මුකුලිත වූ පිදුරු ගොඩ මත වාඩි ගත්තා ය.
  
  ක්‍රාකන් කෙරෙහි සලකන තාක් දුරට, කන්‍යාවියක සතු බලයක් කෙරෙහි ඈ බිය වූයේ, සන්නද්ධ මිනිසුන්ගේ ශක්තිය කෙරෙහි බිය වනවාට වඩා අඩුවෙන් වුවත්, දේවාශිර්වාද ලත් මායෙල්ගේ ප්‍රකාශයෙන් තමා අස්වැසුමක් ලද බවක් ඇයට නො හැඟුණි. නොපැහැදිලි නමුත් ස්ථිර සහජාසයකින් ඇගේ මනස පාලනය වූ අතර, මෙතැන් පටන් ක්‍රාකන් සුරක්ෂිතභාවයෙන් යුක්ත වූ මකරකු විය නොහැකි බවට එය ඇයට අනතුරු හැඟවී ය. 
 
    ඇය ගොපල්ලාට මෙසේ කීවා ය.
  
“මගේ රත්තරනේ, මකරා ගැන ඔයා හිතන්නේ මොකක් ද?” 
 
  ගොඩයා ඔහුගේ හිස සැලී ය.
  
  “මකරු ඉස්සර කාලෙදි පොළව වනසල දාපු බව නම් සත්තම සත්තයි. උන්ගෙන් සමහර එවුන්ගේ කඳ පරුවත තරම් විශාල බව සමහරු දැකල තියනව. ඒ වුනාට දැන් උන් එන්නේ නැහැ. මකරෙක් කියල දැකල තියෙන්නේ කොහොමටවත් මකරෙක් නම් නෙමෙයි. ඔර්බෙරෝසියාවයි, අල්කාවේ හොඳම ළමයිවයි උන්ගේ නැව් වලින් අරගෙන ගියේ කොල්ලකාරයො, නැත්තම් වෙළෙන්දෝ කියලයි මම  නම් හිතන්නෙ. ඒ තක්කඩි පල්හොරු මගේ හරක් හෙම හොරකම් කරන්න ආවොත්, ඌ මට අනතුරක් කරන එක වලක්ක ගන්න ක්‍රමයක් බලහත්කාරකමින් හරි කපටිකමින් හරි මම හොයා ගන්නව”
  
 ගොපල්ලාගේ මේ කියමන් ඔර්බෙරෝසියා තුළ තිබූ සැළ සංකාවන් තවත් වැඩි කළ අතර තමා පණ මෙන් පෙම් කළ සැමියා කෙරෙහි වූ සැලකිල්ල වැඩි කරලී ය.

 
                                                    10
                                              අල්කා හි මකරා 
                                            (අවිචිච්ඡින්නය) 

 
  දවස් ගෙවී ගියේ ය. රකුසාට සටන දීම සඳහා දිවයිනේ කිසිදු ළඳක් නැඟී නො සිටියා ය. ලී දඬුවලින් තැනුණ ආශ්‍රමයෙහි ඉපැරණි දිවුල් වෘක්ෂයන්හි සෙවණ ලබමින් තිබූ බංකුවක් මත රෙෂිමෙත්තාල් නම් වු තවත් සැදැහැවත් මහණකු සමඟින් අසුන් ගෙන සිටි මායෙල්, මකරා අභිබවාලීමට සුදුසු එක ම කන්‍යාවියත් හෝ අල්කා හි නොසිටීම සිදුවිය හැක්කේ කෙසේ දැ යි සංක්ෂෝහයෙන් හා සංතාපයෙන් යුතුව තමාගෙන් ම විමසමින් සිටියේ ය.
  
  හේ සුසුම්ි ලෑවේ ය: රෙෂිමෙන්තාල් සහෝදර තැන ද ඒ මොහොතේ උද්‍යානය තුළින් ගමන් කරමින් සිටි තරුණ සැමුවෙල් ද කැඳවූ මායෙල් ඔහුට මෙසේ කීවේ ය. 
 
  “මපුතණුව, අපේ සත්ත්ව රංචු, අපේ අස්වැන්න ගිල දමන මේ මකරව විනාශ කරන විදිය මම යළිත් ධ්‍යානයට සම වැදී කල්පනා කළා. මේ සම්බන්ධයෙන් සාන්ත රික්වල මකරයි, සාන්ත පෝල් ද ලෙමන්වල මකරයි ගැන තියෙන කතන්දර හරි ම ප්‍රයෝජනවත් බව මට පේනවා. සාන්ත රික්වල මකරා බඹ හතක් දිගයි. උගේ ඔළුව ලැබුණෙ කුකුළන්ගෙනුයි බසිලිස්කි කියන සතාගෙනුයි. උගේ ශරීරෙ ලැබුණෙ ගොනෙකුගෙනුයි සර්පයෙකුගෙනුයි. ඌ බි්‍රස්තොකස් රජ්ජුරුවන්ගේ කාලෙදී එලොන් පළාතේ ඉවුරු සුණු විසුණු කළා. ඒ වෙනකොට සාන්ත රියාට අවුරුදු දෙකයි. එතුමා බඳපටියකින් ඌව මුහුදට අරගෙන ගියා. 
ඌ උගේ ම ඕනකමට දියේ ගිලී මළා, ශාන්ත පෝල්ගේ මකරා අඩි හැටක් දිගයි. කෲරකමින් නම් අරූට වඩා අඩුවක් නැහැ. ලෙඔන්වල දේවාශිර්වාද ලත් අපෝස්තුලු තුමා එතුමාගේ පූජක පටියෙන් බැඳ ගෙන ඌව ගෙන යන්න, ජීවිතය පිළිබඳ පාරිශුද්ධත්වය තිබුණ තරුණ උත්තමයකුට ඉඩ ලබා දුන්නා. දෙවියන් වහන්සෙගෙ ඇස් හමුවෙදි නිර්මල මිනිසෙක්ව නිර්මල ගැහැණු ළමයෙක් තරමට ම පිළිගත හැකි බව මේ නිදසුන් මගින් ඔප්පු කෙරෙනව. ස්වර්ගය ඔවුන් අතර වෙනස් කිරීමක් කරන්නෙ නැහැ. මපුතණුවනි, මේ හේතුව අනුව, ඔබ මා කියන දේ විශ්වාස කරනවා නම්, අපි දෙන්න ම හෙවනැලි වෙරළට යමු. අපි මකරගේ ගුහාවට ළං වුනා ම, අපි උස් හඩින් මකරට අඬ ගහමු. ඌ එළියට ආ ගමන් ම මම මගේ පටියෙන් උගේ බෙල්ල ගැට ගහනව. ඔබ ඌව මුහුදට අරගෙන යන්න. එතැනදි ඌ ගිලී මැරී යාමට අපොහොසත් නො වනු ඇත.”
 
 මහල්ලාගේ වචන අවසානයේ සැමුවෙල් හිස නමා ගෙන සිටියේ ය. ඔහු පිළිතුරු නො දුනි.
  
  “මපුතණුව, ඔබ ඇකිළෙන පැකිළෙන හැඩයි” මායෙල් කීය.  

  සහෝදර රෙෂිමෙන්තාල් ඔහුගේ ස්වභාවයට පටහැණි ව යමින්, අමතනු ලැබීමකින් තොරව ම කථා කළේ ය.  
        “යම් ඇකිළීමකට පැකිළීමකට අඩු ම වශයෙන් මොකක් හරි හේතුවක් ඇතැයි ඔහු කීය. සාන්ත රියෙක් මකරව දමනය කරන කොට ඔහුගේ වයස අවුරුදු දෙකක් විතරයි. අවුරුදු නවයකට හෝ දහයකට හෝ පස්සේ ඒ තරම් දෙයක් කරන්න පුළුවන්කමක් ඔහුට තිබුණ කියල කියන්නේ කවුද? පියතූමනිල අපේ දිවයින සුන්නත්දූලි කරන මේ මකරා කුඩා එලෝවත්, තවත් තරුණ දරුවන් පස් දෙනෙක්වත් ගිල දාපු බව මතක තියා ගන්න. ඒගොල්ල වයස අවුරුදු දොළහෙදි දහ හතරෙදි අහිංසක යයි විශ්වාස කරන්න තරම් සහෝදර සැමුවෙල් සාහසික නැහැ.” 
 
  “අහෝ !” කෙඳිරියක් සමගින් මහණා එයට තවත් එකතු කර මෙසේ කීය.

 “හැම දෙයක් ම ආදරය පිළිබඳ නිදර්ශනයි මෝස්තරයි ඉදිරිපත් කරන, සත්තු, පැලෑටි ආදී ස්වභාව ධර්මයට අයත් හැම දෙයක් ම ප්‍රේමාලිංගනයන් ප්‍රදර්ශනය කරන, ඒවා බෙදා හදා ගන්නා ලෙස උපදෙස් දෙන මේ මඟුල් සක්වලේදී, නිර්මලකම ගැන පූච්චානම් දොඩන්න පුළුවන් කාට ද? සත්තු උන්ට කැමති කැමති වීදියේ මෝස්තරවලට එක්කහු වෙන්නයි උනන්දු වෙන්නේ. ඒත් සිවුපාවුන්ගෙ, කුරුල්ලන්ගේ, මත්ස්‍යයන්ගෙ , උරගයන්ගෙ විවිධාකාර නෙයියාඩගම්, ගස් වැල් කටන නෙයියාඩගම්වලට, රාගය අතින් කිටවූ කරන්නෙවත් නැහැ. මිථ්‍යා දෘෂ්ඨිකයො ඒ ගොල්ලන්ගේ ජනප්‍රවාදවලදී මවා ගත්තු අශ්ලීලකම්වල ලොකු ම ලොකු අන්තයන් පවා, නිකම් ම නිකම් සාමාන්‍ය මල් විසින් ඉක්මවලයි තියෙන්නේ. ඔය ලිලී මලුයි රෝස මලුයි නටපු නෙයියාඩගම් ඔබ දන්නව නම් ඔය නවනිංගිරා සහගත මල් බඳුන් ඔබ ඔබේ අල්තාරය වෙතින් ඉවත් කරනවා ඇති.”
  
  “එසේ කථා නො කරන්න සහෝදර රෙෂිමන්තාල්”යි මහලු මායෙල් පිළිතුරු දුනි: “ඒවා සොබාදහමේ නීති වලට යටත් නිසා, සතුන් සහ ගස්වැල් හැම විට ම අවිහිංසකයි. ඒවාට ගලවා ගැනීම පිණිස ආත්මයක් ඇත්තෙ නැහැ. ඒත් මිනිසාට .....”  

“ඔබ හරි” සහෝදර රෙෂිමන්තාල් පිළිතුරු දුණි. “ ඒවා මුළුමණින් ම වෙනස් දේ. ඒත් තරුණ සැමුවෙල්ව මකරා වෙත නම් යවන්න එපා. මකරා ඔහුව ගිල දාන්න ඉඩ තියනව. තමන්ගෙ අවිහිංසකභාවය මකරට පෙන්නල දෙන්න පුළුවන් තත්ත්වයක සැමුවෙල් පහුගිය අවුරුදු පහේ ම හිටියෙ නැහැ. අර වල්ගා තරුව පායපු අවුරුද්දෙදි යක්ෂයා ඔහු ව දුෂණය කරන්න, තොටුපළ තරණය කිරීමට සාය උස්සා ගෙන සිටි කිරිකාරියක් ව ඔහුගේ මාවත ඔස්සේ තියලා සැමුවෙල්ව පොළඹවා ගත්තා. ඒත් ඔහු පෙළඹවීම යටපත් කර ගත්තා. ඒත් කිසිදාකත් වෙහෙසට පත් නොවන යක්ෂයා, ඊළඟට තරුණ ගැහැණු ළමයෙකුගේ ප්‍රතිරූපය සිහිනයක් මගින් ඔහු වෙත යවල, යථාර්ථයට කළ නොහැකි වූ දේ සෙවණැල්ල මගින් සාක්ෂාත් කර ගත්තා. සැමුවෙල් යටත් වුණා. ඔහු පිබිදුණා ම ඔහු ඔහුගේ ඇඳ කඳුලින් තෙමුවා. ඒත්, අහෝ ! පසුතැවිලි වීම ඔහුට ඔහුගෙ අවිහිංසකභාවය යළි ලබා දුන්නෙ නැහැ.”                                                                                        
  තමාගේ රහස දැන ගත්තේ කෙසේ දැ යි, මෙම කථාවට ඇහුම්කන් දෙමින් සිටි සැමුවෙල් තමාගෙන් ම විචාළේ, අල්කාහි මහණුන්ගේ හදවත් කළඹනු පිණිස යක්ෂයා සහෝදර රෙෂිමාන්තාල්ගේ වෙස් ගත් බව ඔහු නො දැන සිටි හෙයිනි.
 
  මහලු මායෙල් ගැඹුරු සිතිවිලි දහරාවක නිමග්න ව සිටියේ, ශෝක භරිත ව තමාගෙන් ම මෙසේ ප්‍රශ්න කරමිනි. 
 
  “මකරාගේ දතෙන් අප ගලවා ගන්නේ කවරෙක් ද? උගේ හුස්මෙන් අප රැක ගන්නේ කවරෙක් ද? උගේ බැල්මෙන් අප ගලවා ගන්නේ කවරෙක් ද?“  

  කෙසේ වුවත් අල්කාවාසීහු ධෛර්ය සම්පන්න වීමට පටන් ගත්හ. රුදුරු බියකරු මෘගයාට එරෙහි ව යාමේ දී ගැහැනියකට වඩා තමන් ප්‍රයෝජනවත් බව දොම්බේස්හි කම්කරුවෝ ද බෙල්මොන්ත් හි ගොපල්ලෝ ද දිව්රා කීහ. “අඩෝ ! මකරට එන්න කියාපියව්!” ඔවුහු සිය මස් ගොබ පෙරළමින් නද දුන්හ. මිනිස්සු හා ගැහැණු බොහෝ දෙනා ඌ දැක තිබුණහ. උගේ දේහ විලාශය ගැන ඔවුන් එකඟ නො වූ නමුත්, ඔවුන් සිතා සිටි පරිදි ඌ විශාල නැති බව කියා සිටීමේ දී ඔවුහු එකාවන් වූහ. ආරක්ෂක කටයුතු සංවිධානය කෙරුණි; අනතුරු හැඟවීම් කිරීමෙහිලා සූදානමින් යුතු ආරක්ෂක මුරකාවල් රෑයාමය එළඹෙන විට, ගම්වලට ප්‍රවේශ වන ස්ථානයන්හි තබනු ලැබිණ. දැතිගොයිවලින් හා දෑකැතිවලින් සන්නද්ධ වූ බල ඇණි, රෑ යාමෙහි කොරටු ආරක්ෂා කළහ. මේවා තුළ සතුන් ගාල් කර වසා දමුණි. දිනක් ඒනිස් ගම්මානයේ හුරුබුහුටි කම්කරුවෝ කීිප දෙනෙක්, මකරා මෝරියෝගේ තාප්පයෙහි බඩ ගාමින් සිටිය දී ඌව අන්දමන්ද කළහ. තමන් අත මුගුරු, දෑකැති සහ දැතිගොයි තිබූ හෙයින්, ඔවුහු ඌ මත කඩා පැන ඒවායින් හොඳ හැටි ඌට තඩි බෑහ. ඔවුනතරින් ඉතා කඩිසර, නිර්භීත මිනිසෙක්, තමාගේ දැතිගොයියෙන් ඌ හමාර කර දැමීමට සිතී ය. එහෙත් ඔහු වතුර වලකට ලිස්සා ඇද වැටුණි. ඉතින්, එනිසා ඌ බේරී පලා ගියේ ය. ඔහු පලා යාමේ දී බිම දමා ගිය හාවුන් සහ කුකුළන් අල්ලා ගැනීම පිණිස ඔවුන් අතරමඟ නතර නො වූයේ නම්, ඔවුනට නියතයෙන් ම මකරා අල්ලා ගත හැකි වනු ඇත. 
 
  උගේ ඔළුව සහ වලිගය හැර උගේ හැඩය සහ ප්‍රමාණය මිනිස් වෙස් ගත් බව එම කම්කරුවෝ ගමේ ජ්‍යෙෂ්ඨයන් වෙත ප්‍රකාශ කර සිටියහ. හැබැයි, ඔළුව සහ වලිගය නම් ඇත්ත වශයෙන් ම හරි ම හරි භයානක ය. 
 
 
 
 
 
                                            11 
                                   අල්කා හි මකරා
                                     (අවිච්ඡින්නය) 

එදින ක්‍රාකත් සිය ගුහාවට පෙරළා පැමිණියේ වෙනදාට වඩා කලිනි. සීල් මත්ස්‍යයන්ගේ හමින් සෑදු හිස් වැසුම ද, එය සමඟ වූ හරක් අඟ ද, ගොරබිරම් ගැටයන්ගෙන් වෙළන ලද වෙස් මුහුණ ද ඔහු හිසෙන් ඉවතට ගති. ඔහු සිය අත් ආවරණ මේසය මතට විීසි කළේ ය. ඒවා කෙළවරව තිබුණේ රුදුරු නියවලිනි. ඒ මුහුදු කුරුල්ලන්ගේ හොට ය. පොට කීපයකට වෙ`ඵෑ කොළ පැහැති දිගු වලිගය එල්ලා තිබූ සිය බඳ පටිය ඔහු ගලවා දැමී ය. එය ඉක්මණින් කිරීමට දරුවාට නොහැකි වූ හෙයින්, ගුහාවේ අනික් කෙළවරට වීසි වන අයුරින්, එලෝට එලොව පොල් පෙනෙන පා පහරක් දෙනු ලැබිණ.
  
  නුල් කටිමින් සිටි සුකොමළ ඔබෙරෝසියා නෙත්පිය හෙළීමකිනුදු තොර ව, ගිනිමැලය අබියස වාඩි ගත්තී ය. ගිනි මැලයෙහි බැටළුවකු බැදෙමින් තිබුණි. ඔහු මෙසේ මුමුණුවේ ය.  

  “පාහර පෙන්ග්විනයො........... මකරෙක්ගෙ ජොබ් එක තරම් නරක වෙනත් ජොබ් එකක් තවත් නම් නැහැ.”
  
  “හිමියනි, ඔබ කියන්නේ කුමක් ද?” ඔබෙරෝසියා විචාළා ය. 
 
  “උන් දැන් ඉතින් මට බය වෙච්ච කාලේ ඉවරයි” ඔහු කියා ගෙන ගියේ ය. “ඉස්සර මං ළං වෙන කොට හැම එකා ම හිස් ලූ ලූ අත පැන දිව්වා. මම කිකිළියො, හාවො මගේ මල්ලෙ දාගෙන ආවා. මම බැටළුවො, ඌරො එළදෙන්නු, හරක් දක්ක ගෙන ආවා. අද මේ පඩත්තලයෝ හොඳට මුරකාවල් දාගෙන. උන් රෑ තිස්සේ ඇහැරගෙන. මේ දැන් ඒනිස් ගමේ දි පතන්දර කම්කරුවො කට්ටියක් මුගුරු දෑකැති දෑගොයි අරගෙන මාව පන්නගෙන ආවා. කිකිළියොයි හාවොයි බිම දාලා වල්ගේ අතට අර ගෙන, පුළුවන් තරම් හයියෙන් දුවන්න මට සිද්ධ වුණා. මං අහන්නේ වල්ගේ අතට අර ගෙන හරියට පල් හොරෙක් වගේ පැනල දුවන එක කප්පාදෝණියාවල මකරෙකුට ඔබිනව ද? ඒ විතරක්යැ ! කරමල්, අං, නිය, කොරළ මේවායින් අතොරක් නැතිව හිටපු මම, එක පාහරයෙකුගෙන් ගැලවිල ආවේ නූලෙන්. ඌ මගේ වම් කලවයට දැති ගොයියෙන් අඟල් භාගයක් ම ඇදල ඇරිය නෙවැ.” 
 
  මෙය කියන අතර ම ඔහු පහර වැදුණ කොටස වෙත සියත ප්‍රවේශමෙන් දිව යැවී ය. මඳ වේලාවක් කටුක ධ්‍යානයකට සම වැද සිටීමෙන් අනතුරුව ඔහු මෙසේ කීය.
  
  “මේ පෙන්ග්වින් පරයො මොන තරම් ඔලමොට්ට හැත්තක් ද? මේ බෙලහීන හැත්තගෙ මුණුවලට දුම් පිට කරලා මට දැන් තිත්ත වෙලයි තියෙන්නෙ. ඔර්බෙරෝසියා, ඔයාට මං කියන දේ ඇහෙනව ද?”

  එලෙස පැවසූ වීරයාණෝ සිය ගොරතර හිස් වැස්ම අතට ගෙන, කාන්සාවෙන් යුතු නිහැඬියාවක නිමග්න ව දිගු වේලාවක් ගත වන තුරු ම එදෙස බලාගත් වන සිටියේ ය. ඉනික්බිති හේ මෙවදන් වේගවත්ව ඇද බෑවේ ය.
 
 “ මේ හිස්වැසුම සීල් මත්ස්‍යයෙක්ගෙ හමෙන් ආවරණය කරල මා ඵවෙක්ගේ ඔළුවෙ හැඩේට මගේ ම දෑතිනුයි හැදුවේ. ඒක තව තවත් බියකරු වෙන විදියට මම ඒ උඩ ගොනෙකුගේ අං තිබ්බා. මම ඒකට වලහෙකුගෙ හකුපාඩ දම්මා. ගෙන්දගම් පාට ගැහුණ අශ්ව වලිගයක් මම ඒකෙ එල්ලුවා. මහා තිත්ත කළුවරේ මම ඒක උරහිසේ දා ගත්තම, ඒක දිහා බලන්න තරම් හයියක් මේ දිවයිනේ එකෙකුටවත් තිබුණෙ නැහැ. ගෑණු, ළමයි, තරුණයෝ, නාකියො ඒක දැක්කත් එක්කලා කොහෙද කියල නෑ. හිස් ලූ ලූ අත පැන දිව්වා: මම පෙන්ග්වින් වර්ගයා අතර භීෂණය පැතිරෙව්වා. මේ උද්ධච්ඡ වාහෙලා උන් ළඟ ඉස්සර තිබිච්ච බය හැක අත්හැරල දාලා, මේ බියකරු හකුපාඩ දෑතින් අල්ල ගෙන, මේ බියකරු කරමලට තඩි බාන්න තරම් ගානට වැඩි වුණේ මොකාගේ ඉගැන්නුම් බහකට ද?”
  
  සිය හිස් වැසුම ගල් සහිත පොළවේ දමා ගසමින් ඔහු මෙසේ නද දුනි. “මකබෑවෙයන් වංචාකාරී හිස් වැස්ම“

 “මකබෑවෙයන්: ආමෝර්වල ඔක්කොම යක්ෂයන්ගේ නාමයෙන් මම දිවුරල කියනව, මම තෝව ආයෙත් නම් මගේ මේ ඔළුවෙ දා ගන්නෙ නැහැ. නැහැමයි.”  

  මෙසේ දිවුරා ලීමෙන් පසු ඔහු සිය හිස් වැසුම, අත් ආවරණ, පාවහන් සහ ඇඹරුණ පොටවලින් යුතු වලිගය මත අඩි හැප්පුවේ ය.  

“ක්‍රාකන්” යි ඔර්බෙරෝසියා ඔහු ඇමතුවා ය. “ඔබේ නැති වූ ගෞරවයත්, බඩු මුට්ටුත් බේරා ගැනීමට උපායක් යොදන්න ඔබේ සේවිකාවට ඔබ අවසර දෙනව ද? ගැහැනියෙක්ගෙ උදව්ව තුච්ඡ කොට සලකන්න එපා. ඔබට එය අවශ්‍යමයි. මොකද ඔක්කොම මිනිස්සු බෙලහීනයො නිසා.” 

“ගෑනියේ, උඹේ ඔය සැලසුම මොකක් ද?” ක්‍රාකන් ඇසී ය. 
 
  මකරා හා සටන් කිරීමට ඇති හොඳ ම ක්‍රමය මහජනතාවට කියා දෙමින් මහණුන් ගම් දනව් සිසාරා යමින් සිටින බවත්, ඔවුන්ගේ උපදෙස්වලට අනුව මෘගයාව දමනය කරනු ලබන්නේ කන්‍යාවියක් විසින් බවත්, කන්‍යාව සිය බඳපටිය මකරාගේ ගෙල බැන්ද විට බලු කුක්කකු යන්නාක් මෙන් පහසුවෙන් ඌ රැගෙන යාමට ඇයට හැකි වන බවත් සුකොමළ ඔර්බරෝසියා සිය ස්වාමි පුරුෂයාට දැනුම් දුන්නා ය. 
“ මහණුන් එහෙම උගන්වන බව ඔයා කොහොම ද දන්නේ?” ක්‍රාකන් 
විමසී ය. 
 
  “මගේ පණේ,” ඔර්බරෝසියා පිළිතුරු දුන්නා ය. “බැරෑරුම් ප්‍රශ්නයක් ගැන කථා කරන කොට කමකට නැති ප්‍රශ්න අහලා බාධා කරන්න එපා...... මහණුන් මෙන්න මෙහෙම කිව්වා.‘ අල්කාහි පරිපූර්ණ කන්‍යාවියක් සිටි නම්, ඇය නැඟි සිටුව!‘ ක්‍රාකන් මම තීරණය කරල තියෙන්නේ ඒ ඉල්ලීමට පිළිතුරු දෙන්නයි. මම ගිහින් ශුද්ධ වූ මායෙල් මුණගැහිල ඔහුට මෙන්න මෙහෙ ම කියනවා. මකරා දමනය කරලීමට ස්වර්ගය විසින් නියම කරනු ලැබූ කන්‍යාවිය මම වෙමි.” 
 
 එම වදන් සම්බන්ධයෙන් ක්‍රාකන් හඬ නඟා කීවේ මෙයයි.
 
  “ඒ පරිපුර්ණ කන්‍යාවිය උඹ වෙන්නේ කොහොම ද බොල ගැැනියේ? ඔර්බෙරෝසියා, මාව දමනය කරන්න උඹට තියෙන රුදාව මොකක් ද? තොගෙ සිහිය විකල් වෙලා ද? මතක තියා ගනින්, තොට මාව දමනය කරන්න මම නම් ඉඩ තියන්නෙ නැහැ."
  
  “තරහ ගන්න ඉස්සෙල්ලා මාව තේරුම් ගන්න උත්සාහ කරත්න, ඔයාට හැබෑට ම බැරි ද?” ඔර්බෙරෝසියා සුසුම් ලෑවේල මෘදු, එනමුදු තියුණු පිළිකුළකින් යුතු ව ය.
  
   තමා සකස් කළ කපටි සැලසුම ඇය විස්තර කළා ය.    
  ඇහුම්කන් දෙන අතර ම, වීරයා සිතිවිල්ලේ නිමග්න ව සිටියේ ය. ඇය කථා කිරීම නවතාලූ විට ඔහු මෙසේ කීය. “ඔර්බෙරෝසියා, ඔයාගේ කපටි මොළේ තමයි මොළේ. ඒක හරි ම සියුම්. ඔයාගේ අදහස් අනුව ඔයාගෙ සැලැස්ම වැඩ කළොත් නම් මගේ හොද්ද බොර වෙනවා. ඒත් අනේ, ඔයා කොහොමද ස්වර්ගය නියම කරපු කන්‍යාවිය වෙන්නේ ?” 
 
“ඒ ගැන නම් පොඩ්ඩක්වත් කරදර වෙන්න එපා.” ඇය පිළිතුරු දුන්නා ය. “එන්න අනේ අපි යන්න ඇඳට.”  

 පසු දින, ගුහාවේ තිබූ ග්‍රීස් ආලේපිත වාතාවරණය තුළට වී ක්‍රාකන් තෙමේ විකෘති වූ ඇටසැකිල්ලක් බටදඬු වලින් ගොතා, එය දිදුලන, කොරළ සහිත සහ අපවිත්‍ර හම්වලින් ආවරණය කළේ ය. ඔර්බෙරෝසියා ඇටසැකිල්ලේ එක් කෙළවරකට අල්ලා, ක්‍රාකන් සිය මංපැහැරීම්වල දී පැළදීමට පුරුදුව සිටි බියකරු කරමලක් සහ වෙස් මුහුණක් මසා ලී ය. වීරයා තමා පසු පස ඇදී ඒමට යොදාගත් වලිගය එහි අනෙක් කෙළවරට ගැට ගසා ලී ය. මෙම යන්ත්‍රය තුළට ඇතුල් වන හැටිත්, එය ගමන් කර වීමට සලසන හැටිත්, නලා පිඹින හැටිත්, මකරාගේ කටින් දුම් සහ ගිනි දැල් පිට වන පරිද්දෙන් එහි ඇති කෙඳි පුළුස්සා දමන හැටිත්, කාර්යය නිම වූ පසු ඔවුහු කුඩා එලෝට සහ අනෙක් ළමුන් පස් දෙනාටත් පෙන්වා දුන්හ.
 

                                        12

                           අල්කා හි මකරා 
                              (අවිච්ඡින්නය) 

  ඝන ලෝගුවකින් සැරසී, ඝන පටියක් බඳ වටේ ඔතා ගත් ඔර්බෙරෝසියා තාපසාරාමය වෙත ගොස්, දේවාශිර්වාද ලත් මායෙල් හට කථා කිරීමට ඉඩ ලබා දෙන මෙන් ඉල්ලා සිටියා ය. ඇතුළතට ප්‍රවිෂ්ඨ වීම ස්ත්‍රීන් හට තහනම් වූයෙන්, මහල්ලා දොරටුවෙන් පිටතට පැමිණියේ ය. ඔහු පැමිණියේ පූජක කුරුසිය මත දකුණත ද සිය තරුණ ම ගෝලබාලයා වූ සහෝදර සැමුවෙල්ගේ උරහිස මත වමත ද රඳවා ගෙන ය. ඔහු මෙසේ විමසී ය.
  
“ස්ත්‍රීය, නුඹ කවරෙක් ද?”
  
“මම ඔර්බෙරෝසියා කන්‍යාවිය වෙමි.” 
 
  මේ පිළිතුර කණ වැකීමත් සමඟම මායෙල් තෙමේ සට පට ගා වෙව්ලන සිය දෑත් ස්වර්ගය වෙත ඔසවාලමින් මෙසේ කීවේ ය. “ඔබ කියන්නේ සත්‍යය ද ස්ත්‍රීය? ඔර්බෙරෝසියා මකරා විසින් ගිල දමනු ලැබූ බව ස්ථිර වූ කරුණකි. එසේ ද වුවත් මා දකින්නේ, මා සවන් දෙමින් සිටින්නේ ඔර්බෙරෝසියාවන්ට ය. ඕ! මා දියණිය ! ඔබ මකරාගේ බඩ තුළ සිටින අවස්ථාවේ කුරුසියේ ලාංඡනයෙන් සන්නද්ධ වී සිටියා නො වේ ද? ඒ නිසා ම තුවාල නො ලබා උගේ උගුරෙන් පිට වුනා නො වේ ද ? විශ්වාසදායක ම කරුණු පැහැදිලි කිරීම එය බව පෙනී යයි.”
  
  “ඔබ නො රැවටුනෙහි ය පියතුමනි” යි ඔර්බෙරෝසියා පිළිතුරු දුන්නා ය. මට සිදු වූයේ හරියට ම එය ම තමා. මම සතාගේ බඩෙන් එළියට ගොඩ වුණ විගස ම, හෙවනැලි වෙරළේ අසපුවක රැකවරණය ලැබුවා. මකරා දමනය කළ හැක්කේ කන්‍යාවියකට පමණක් ම බව ස්වර්ගයෙන් ලැබුණ පණිවුඩයකින් මා දැන ගන්නා තුරු ම, සම්පුර්ණයෙන් ම යාච්ඤාවටත් භාවනාවටත් කැපවෙමින්, නො ඇසූ විරූ තපස් වෘතයන්හී නිරත වෙමින් මම එහි ජීවත් වූයේ තට්ට තනියමයි. එම කන්‍යාවිය මම වෙමි.“ 

  “ඔබට හිමි දූත මෙහෙවරෙහි සලකුණු මට පෙන්වාලන්න” මහල්ලා කීවේි ය
.
 “සලකුණ නම් මම ම නොවන්නේ නොවේ දැ” යි ඔර්බෙරෝසියා පිළිතුරු දුන්නා ය.
  
  “තමාගේ දේහය මත්තෙහි මුද්‍රාවක් තබා ගත්තා වූ අය සතු බලය ගැන මා නොදන්නවා හෙම නො වේ.” පෙන්ග්විනියාවේ අපෝස්තුලු තුමා පිළිතුරු දුන්නේ ය.“ එනමුත් ඔබ කියා සිටින පරිදි ඇත්ත වශයෙන් ම ඔබ ඇය ම ද?”  

ප්‍රතිඵලය අනුව එය ඔබට පෙනී යනු ඇත“ල ඔබෙරෝසියා පිළිතුරු දුන්නා ය.  
  රෙෂිමත්තාල් මහණා කිට්ටු කළේ ය. හේ මෙසේ කීය.
  
  “විශිෂ්ටතම සාක්ෂිය එය ම තමා. සොලමන් රජු මෙසේ කියා ඇත. ‘කරුණු තුනක් තේරුම් ගැනීම දුෂ්කර ය. හතර වැන්නක් කොහෙත් ම තේරුම් ගත නොහැක. ඒවා නම්ල පොළොව මත සර්පයෙකුගේ ගමන් මඟ, අහසෙහි දී පක්ෂියකුගේ ගමන් මඟ, මුහුදේ දී නැවක ගමන් මග සහ කන්‍යාවියක සමඟ මිනිසකුගේ ගමන් මඟයි. මේ වගේ කාරණාවල දී ඥානවන්ත ම රජුන් සමඟ තමාව සන්සන්දනය කළ හැකි යයි සඳහන් කරන ස්ත්‍රියාවියක්, උද්ධච්ඡයකුට වඩා අඩු අයෙක් නොවන ලෙසයි මම සලකන්නෙ. පියතුමනි, ඔබ තුමා මා අනුව යන්නේ නම්, නිර්මල ඔර්බෙරෝසියා සම්බන්ධයෙන් ඔවුන්ගෙන් කරුණු නො විමසනවා ඇත. ඔවුන් ඔවුන්ගේ මතය ප්‍රකාශ කළ විට පවා, සිටියාට වඩා අබමල් රේණුවකින් වත් ඔබ ඉදිරියට නො යන්නේ ය. කන්‍යාභාවය පවත්වා ගන්නවාට වඩා, පවත්වා ගත් බව ඔප්පු කිරීම දුෂ්කරත්වයෙන් අඩු නැහැ. එහි සලකුණු, එක්කෝ සිතා ගත් දෙයක් බව, එහෙම නැත්නම් අස්ථිර දෙයක් බව ප්ලිනි ඔහුගේ ඉතිහාස පොතේ දි අපට කියා සිටිනව. තමන් ළභ දූෂණයට අදාළ සලකුණු දහ හතරක් තිබුණත් යමෙක් දේව දූතයන් හමුවේ දි ශුද්ධවන්තයෙක් වීමට ඉඩ තියෙනව. අනෙක් අතට මේට්‍රන්ලා විසින් හොඳට පරීක්ෂා කොට බලා ශුද්ධවන්ත යයි ප්‍රකාශයට පත් කළ තව එකියක්, තමාගේ හොඳ පෙනුමට හේතුව කට්ට කයිරාටික වෙස් මාරුවක් බව දන්නවා විය හැකියි. මෙහි සිටින මේ නිර්මල ගැහුණු දරුවාගේ නිර්මලත්වය සම්බන්ධයෙන් සාක්ෂියක් වශයෙන් මම මගේ අත ගින්නට දමනවා.”  

  ඔහු එසේ කතා කළේ ය. මක්නිසාද යත් ඔහු යක්ෂයා වූ නිසා ය. එහෙත් මහලු මායෙල් එය දැන සිටියේ නැත. ඔහු ඔර්බෙරෝසියාගෙන් මෙසේ විමසී ය. 
 
  “මා දියණිය, ඔබව ගිල ගත් ඒ සා ගොරබිරම් වූ මෘගයා ව ඔබ දමනය කරන්නේ කෙසේ ද?  

 කන්‍යාවිය මෙසේ පිළිතුරු දුන්නා ය.
  
  “ඕ මායෙල්! හෙට හිරු පායන විට හෙවනැලි වෙරළ දක්වා විහිදෙන අර පාළු මුඩු බිම ඉදිරිපිට ඇති කන්දට ජනයා කැඳවන්න. පෙන්ග්විනියාවේ කිසිවකු හෝ අර කඳු ගැටවලින් පියවර පන් සියයකට අඩු දුරක නො සිටින බවට ඔබ වග බලා ගත යුතුයි. එහෙම කරන්නෙ මකරාක්ෂයාගේ හුස්ම වැදි විෂ නො ගැන්වෙනු පිණිසයි. රකුසා කඳු ගැටවලින් එළියට ඒවි. මම මගේ බඳපටිය උගේ බෙල්ල වටේ ඔතල හීලෑ බල්ලකු වගේ ඌව අරගෙන එන්නම්.”  
  
“මකරා මරන්න නිර්භීත ධර්මිෂ්ඨයෙක් ඔබ සමඟ ආ යුතු නැද්ද?” මායෙල් විමසී ය. 
 
“පූජනීය පියතුමනි, එය ඔබ කියා සිටින පරිදි ම වනු ඇත. මම එම රකුසා ක්‍රාකන්ට භාර කරනවා. ඔහු ඔහුගේ දිලෙන ලෙලෙන අසිපතින් ඌ මරා දමනවා ඇති. මැරිල යයි හිතා ගෙන ඉන්න ක්‍රාකන් උත්තමයා පෙන්ග්විනයන් අතරට ම ආපසු එන බවත්, ඔහු මකරා මරා දමන බවත් මම ඔබට කියා සිටිනවා. ඌ ගිල ගත්තු කුඩා දරුවනුත් උගේ බඩෙන් එළියට එනවා ඇති.” 
 
 “ඕ කන්‍යාවියනි! ඔබ මට කියන දෙය විස්මය ජනක බව පෙනේ. මිනිස් බලයෙන් බැහැර වූුවක් බව පෙනේයි” අපෝස්තුලුවරායා කීවේ ය. 
 
  “එ......සේ ම ය.“ ඔර්බෙරෝසියා කීවා ය.“ නමුත් දැන ගන්න, ඕ මායෙල්, මට අනාවරණය කිරීමක් කිරීමට තිබේ. ඔවුන් ගලවා ගැනීමට ත්‍යාගයක් වශයෙන් ක්‍රාකන් වීරයාණන් හට පෙන්ග්විත් ජනයා විසින් කුකුලන් තුන් සියයකින් ද, බැටළුවන් දොළහකින් ද, ගොනුන් දෙදෙනෙකුගෙන් ද, ඌරන් තිදෙනෙකුගෙන් ද, තිරිගු බුසල් එක් දහස් අට සියයකින් ද, එක් එක් ඍතුවට අදාළ එළවළුවලින් ද යුක්ත වාර්ෂික කප්පමක් ගෙවිය යුතුයි. ඊට අමතර ව මකරගේ බඩෙන් එළියට එන ළමයින් ක්‍රාකන්ට දී ඔහුට කැප කළ යුතුයි. හැම කරුණක දී ම ඔහුට කීකරුව සිටිය යුතුයි. පෙන්ග්වින් ජනයා තමන් දෙන ප්‍රතිඥාව ඉටු කරන්න අපොහොසත් වුනොත්, පළවැන්නාට වඩා බියකරු මකරෙක් දිවයිනට එනවා ඇති; මම කථා කළෙමි.“




                                           13
 
                                      අල්කා හි මකරා

                                   (අවිච්ඡින්නය සහ අවසානය)


    පෙන්ග්විනියාවේ ජනයා මායෙල් විසින් එක් රැස් කරනු ලැබූහ. රකුසාගේ හුස්මෙන් පෙන්ග්විනියාවේ කිසිවකු හෝ විස ගැන්වෙනු වළකනු පිණිස ශුද්ධෝත්තමයා විසින් නියම කරනු ලැබූ සීමාවන් තුළට වී ඔවුහු හෙවනැලි වෙරළේ රැය පහන් කළහ. 
 
  රාත්‍රී ඝනාන්ධකාරය තවමත් පෘථිවිය වෙලා ගෙන සිටිය දී ම, මුලින් රළු පරළු ගර්ජනාවක් කරමින් ගල් පර්වත සහිත වෙරළ මත දෘශ්‍යමාන වූ මකරා, සිය සුවිශේෂ සහ රකුසු ස්වරූපය විදහා ලී ය.ඌ සර්පයකු මෙන් බඩ ගා ගෙන ගියේ ය. හැකිළ ගිය උගේ දේහය අඩි පහළොවක් පමණ දිග බැව් පෙනුණි. මෙය දැක්මෙන් ජන සමුහයා බියෙනැළලි ආපස්සට ගියහ. එහෙත් සැණෙකින් ම සියලු ඇස් ඔර්බෙරෝසියා වෙත හැරුණි. හිමිදිරියේ මුල් ම රැස් දහර ගලා එද්දී ඇය සුදු වතින් සැරසී, දම් පැහැති මල් මතින් ඉදිරියට ඇදුණා ය. ලජ්ජාශීලි වූ, එනමුදු නිර්භීත ද වූ ඇය ලලිත ගමනින් මෘගයා වෙත ගමන් ගත්තී ය. ඌ බියකරු ගර්ජනයකින් දස දෙස කම්පිත කරමින් අග්නි ජාලා නික්මෙන සිය උගුර විවර කළේ ය. සංත්‍රාසයෙන් ඇළලුන, අනුකම්පාවෙන් භරිත වූ මහා අfඳාා්නාවක් පෙන්ග්විනයන් අතරින් පැන නැංගේ ය. එහෙත් කන්‍යාවිය තොමෝ, හණෙන් තැනූ සිය බඳ පටිය ගලවා, එය මකරාගේ ගෙලේ බැඳ, ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් මධ්‍යයේ ි බල්ලකු පරිද්දෙන් ඌ පටියේ ගැට ගසා ගෙන ගියා ය. 
 
  දිදුලන අසිපතින් සන්නද්ධ වී ක්‍රාකන් දෘශ්‍යමාන වන විට ඇය මුඩු බිමෙහි බොහෝ දුරක් ගමන් කර තිබුණි. ඌ මළේ යයි විශ්වාස කළ ජනයා ඔල්වරසන් දුන්හ. වීරයාණෝ මෘගයා වෙතට කඩා පැන ඌූ බිම පෙරලා, සිය අසිපතින් උගේ බඩ කපා ලූහ. රකුසා විසින් ගිල දමනු ලැබ සිටි එලෝ සහ අනෙක් ළමුන් පස් දෙනා බොකුටු වු හිස කෙස් ද නවා ගත් දෑස් සහිත ඔවුන් ඇඳ සිටි කමිස ද සමඟින් එළියට ආහ
.  
  ඔවුහු සැණෙකින් ඔර්බෙරෝසියා කන්‍යාවිය හමුවේ දණින් වැටුණෝ ය. ඇය ඔවුන් දෑතින් ගෙන, ඔවුන්ගේ කන්වලට මෙසේ කොඳුලා ය.
  
  “උඹල ගම්වලට ගිහිල්ලා මෙන්න මෙහෙම කියන්න ඕන.‘ මකරා ගිල දාපු දුප්පත් ළමයි අපි තමයි. අපි අපේ කමිස පිටින් ම උගේ බඩින් එළියට ආවා.‘ උඹලට අවශ්‍ය හැම දෙයක් ම ඕන පදම් මිනිස්සු දේවි. හැබැයි උඹල වෙන මොකවත් කීවොත්, ඉතින් උඹලට මාංවුයි, කස පහර වලුයි හැර වෙන මුකුත් ලැබෙන්නෙ නැහැ. පලයල්ලා!
  
  මකරාගේ බඩ පලනු දුටු පෙන්ග්විනයෝ ගණනාවක් ම ඌ කෑලි කෑලි වලට කපනු පිණිස පෙරට පැන්නාහ. සමහරෙක් එසේ කළේ කෝපාවිෂ්ඨ ව පලි ගැනීමේ චේතනාවෙනි. අනෙක් අය එසේ කළේ, උගේ ඔළුවේ හට ගත් මකර ගල නමින් හැඳින් වෙන ඉන්ද්‍රජාලික ගල ඩැහැ ගැනීමේ චේතනාවෙනි. යළි දිවි ලද කුඩාවුන් සිප වැලඳ ගැනීමට එම දරුවන්ගේ මව්වරු ඉදිරියට දිව ගියහ. එහෙත් ශුද්ධ වූ මායෙල් ඔවුන් හැම ඉන් වළක්වාලුයේ, මරණයට ගොදුරු නො වී මකරකු ළඟට එළඹීමට තරම් ඔවුන්ගෙන් කිසිවකු හෝ ප්‍රමාණවත් කරමින් පවිත්‍ර නො වන බව කියමිනි.  
ඉක්මණින් ම කුඩා එලෝ සහ අනෙක් දරුවන් පස් දෙනා ජනයා වෙත එළඹ මෙසේ කියා සිටියහ.
  
  “මකරා ගිල ගත්තු දුප්පත් ළමයි අපි තමයි. අපි අපේ කමිස පිටින් ම උගේ බඩෙන් එළියට ආවා.”
 
  සියල්ලන්ට ම ඔවුන් කියන දේ ඇසුණි. ඔවුහු ඔවුන් සිප වැළඳ මෙසේ 
කීහ. 
 
  “ආශිර්වාදලත් දරුවනි, උඹලා කැමති හැම දෙයක් ම ඕනෑ තරම් අපි 
උඹලට දෙනව.” 
 
  ජන සමූහයා ප්‍රීතියෙන් ඉපිල, යාතිකා හා ගීතිකා ගයමින් විසිර ගියහ. නපුරු අපලයකින් ජනතාව දේව බලය මගින් ගලවා ගනු ලැබූ මේ දිනය අනුස්මරණය කරනු වස්, වීදි පෙරහර පවත්වනු ලැබිණ. ඒවාහි දී යදම් වලින් බඳින ලද මකරකු ඇද ගෙන යනු ලැබිණ.
  
  ක්‍රාකත් කප්පම් ලැබ, පෙන්ග්වින්හි ධනවත් ම හා බලවත් ම පුද්ගලයා බවට පත් විය. ඔහු සිය ජයග්‍රහණයේ ලාංඡනයක් ලෙසත්, වැඩදායක සංත්‍රාසයක් ජනනය කරනු පිණිසත් සිය සිරස මත මකරකුගේ ලාංඡනයක් පැළඳී ය. ජනතාව හට මෙසේ කියා සිටීමේ පුරුද්දක් ඔහුට තිබුණි.
  
  “දැන් මකරා මැරිලා. ඒ නිසා දැන් මකරා මමයි.”
 
  වසර ගණනාවක් ගත වන තෙක් ම ඔර්බෙරෝසියා ගොපලුන් හට සහ එඩේරන් හට විශේෂ අනුග්‍රහයක් දැක්වූවා ය. ඇය ඔවුන් සැලකුවේ දෙවියන් හා සම වූවන් ලෙස ය. එහෙත් තමා තවදුරටත් පෙර පරිදි සුරූපී නො වූ කල්හි, ඇය දෙවියන් වහන්සේට තමන් ව කැප කළා ය. 
 
  ඇය මිය යාමෙන් පසු පොදු ජන වන්දනාමානයට ලක් වූ අතර, සාන්තුවරුන්ගේ පරම්පරාවට ඇතුළත් කර ගෙන, පෙන්ග්විනියාවේ ප්‍රධාන ම සාන්තුවරිය බවට සම්මත කර ගනු ලැබිණ.
  
  ක්‍රාකන් මිය ගියේ පුතකු ඉතිරි කර තබා ය. ඔහු පියා මෙන් ම මකර ලාංඡනය පැළැන්දේ ය. මේ හේතුව නිසා ඩ්‍රැකෝ නමැති පවුල් නාමය ලැබී ය. 
          ඔහු පෙන්ග්වින් රාජාවලියෙහි ආරම්භකයා විය. 
   
 
 
 
 
 
                                      ග්‍රන්ථය 3 

                    මධ්‍යකාලීන යුගය සහ පුනර්ජීවනය
 
                                    1
                   යහපත් බ්‍රයන් සහ ග්ලැමෝගන් රැජින

 
  අල්කාහි රජවරුන් පැවත ආවේ ක්‍රාකන්ගේ පුත්‍රයා වූ ඩ්‍රැකෝගෙනි. ඔවුහු ශුද්ධ වූ ලාංඡනයක් වශයෙන් ගොර බිරම් මකරකුගේ ලාංඡනයක් සිරසෙහි පැළැන්දාහ. එය දැක්මෙන් ම පමණක් ජනතාව තුළ භක්තිය ද භීෂණය ද ප්‍රේමය ද ජනිත කෙරුණි. ඔවුහු නිරතුරුව ම සිය දාසයන් හා පුරවැසියන් සමඟ හෝ තදාසන්න දිවයින්හි කුමාරවරුන් සමඟ හෝ ගැටුම්වල මැදිව සිටියහ. 
 
  මෙම රජවරුන්ගේ ඉපැරණිතමයා ශේෂ කර ගියේ හුදු නමක් පමණි. එම නම උච්චාරණය කරන්නේ කෙසේ ද  යන්න හෝ එය ලියන්නේ කෙසේ ද යන්න හෝ අපි නො දනිමු. ඉතිහාසයේ අප දන්නා ප්‍රථම ඩ්‍රැකොනයිඩ්වරයා වූකලී යහපත් බ්‍රයන් ය. යුද්ධයේ දී ද දඩයමේ දී ද තමා සතුව තිබූ නිපුණත්වය සහ නිර්භීතභාවය සම්බන්ධයෙන් හේ ප්‍රකට විය.  
ඔහු කිතුණුවෙක් විය: ඉගෙනීමෙහිලා ලැදියාවක් දැක්වී ය. ආශ්‍රමික ජීවිතයට කැප වූවන් හට හේ අනුග්‍රහ දැක්වී ය. දුඹුලු ගැසුනු පරාළයන්හි වන මෘගයන්ගේ ඔළු ද පදම් නොකළ සම් ද අං ද එල්ලා තිබුණා වූ මාලිගාවේ ශාලාව තුළ ඔහු ප්‍රිය සම්භාෂණයන් පැවැත් වී ය. ඒවාට අල්කාහි සහ තදාසන්න දිවයින්හි ගන්දබ්බයන් හට ඇරයුම් කෙරුණිග  විීරාභිනන්දන ගී ගායනයෙහිලා සහභාගි වීමට ද ඔහු පුරුදුව සිටියේ ය. හේ ධර්මිෂ්ඨ විය; උදාරතර විය. එහෙත් ඔහු යශෝකීර්තිය කෙරෙහි කෙවැනි වූ ලොල් බවකින් දැවෙමින් සිටියේ ද යත්, තමාට වඩා හොඳින් ගායනයෙහි යෙදුණවුන් මරණයට කැප කිරීමෙන් වැළකී සිටීමට ඔහුට නොහැකි විය. 
 
  බි්‍රටනිය විනාශයට පත් කළා වූ මිථ්‍යා දෘෂ්ඨිකයන් විසින් පළවා හරිනු ලැබූ යිවර්න් හි මහණෝ, බ්‍රයන් රජතුමාණන් විසින් සිය රාජධානියට කැඳවනු ලැබූහ. ඔහු සිය මාලිගය අසලින් ලී ආශ්‍රමයක් ඔවුනට තනා දුනි. හේ දිනපතා ම සිය බිසවුන් වහන්සේ වූ ග්ලැමෝගන් රැජින සමඟින් ආශ්‍රමයේ දෙව් මැඳුරට ගොස්, ආගමික මෙහෙයන්හි සහභාගි වී ඔවුන් සමඟ එක්ව ගීතිකා ගැයී ය.
  
  මෙම මහණුන් අතර ඔද්දුල් නම් වූ සහෝදරතුමෙක් විය. තවම මල් යෞවනයේ පසු වු හේ බහුශ්‍රතභාවයෙන් ද සත් ගුණවත්භාවයෙන් ද ආඪ්‍ය විය. ඔහුට ඊර්ෂ්‍යා කළ යක්ෂයා, ඔහු වරදෙහි පොළඹවාලනු වස් කිහිප වතාවක් ම ප්‍රයත්න දැරී ය. වෙස් පෙරළි ගණනාවක් ම ගත් යක්ෂයා, යුද සෛන්ධවයකු ලෙස ද තරුණ කන්‍යාවියක ලෙස ද මධු කුසලානයක් ලෙස ද වරින් වර ඔහු හමුවේ දෘශ්‍යමාන විය. ඉක්බිති යක්ෂයා දාදු පෙට්ටියක දාදු කැට දෙකක් සොලවා ඔහුට මෙසේ කීය.
  
  “චක්‍රවර්ති රාජ්‍යය වෙනුවෙන් ඔබේ ඔළුවේ කෙස් ගසක් ඔට්ටු අල්ලා සෙල්ලම් කරන්න එනව ද?”
 
   එතෙකුදු වුවත් ස්වාමි දරුවාණන්ගේ මිනිසාණෝ කුරුසියෙන් සන්නද්ධව සතුරා පළවා හැරියහ. තමාට ඔහු දුෂණය කළ නොහැකි බව පසක් කර ගත් යක්ෂ තෙමේ, ඔහු වනසාලනු වස් සුක්ෂ්ම සැලසුමක් ගැන සිත් යොමු කළේ ය. ගිම්හානයේ එක් රැයක, සිය සිරි යහනෙහි සැතපී සිටි බිසවුන් වහන්සේ කරා එළඹි යක්ෂ තෙමේ, ඈ දිනපතා ම ලී ආශ්‍රමය තුළ දී දැක ඇති තරුණ මහණකුගේ ප්‍රතිරූපයක් මවා පා, එම ප්‍රතිරූපය මත වශීකරණයක් තැබී ය. සැණෙකින් ම, සියුම් හලාහලයක් පරිද්දෙන් ග්ලැමෝගන්ගේ නහරක් නහරක් පාසා ප්‍රේමය ගලා ගියේ ය. ඔද්දුලයන් සමඟ එක් පසෙකට අවලම්බනය වෙනවාත් සමඟම, ඈ දෘඪතර රාගයකින් පෙළෙන්නට පටන් ගත්තී ය. තමා හා පසෙකින් ඔහු රඳවා ගැනීමට ඈ නිමක් නැති ව්‍යාජ හේතුන් සොයා ගත්තී ය. සිය දරුවනට කියවීම සහ ගායනය උගන්වන මෙන් ඈ කීප වතාවක් ම ඔහුට ඇවිටිලි කළා ය. 

  “මා ඔවුන් ඔබට භාර කරනව” ඇය ඔහුට කීවා ය.‘ ඔවුන්ට උගන්වන පාඩම මමත් අහගෙන ඉන්නම්. එතකොට මටත් ඉගෙන ගන්න පුළුවන්නේ. එතකොට ඔබ අම්මටයි ළමයින්ටයි එකවර ම උගන්වනවනෙ, නේ ද“ 
 
  එහෙත් තරුණ මහණා නොයෙකුත් අවසරයන් දක්වාලමින් මඟ හරින්නට විය. තමා සෑහෙන තරමින් ඉගෙනුම ලත් ගුරුවරයෙකූ නොවන බව වරෙක හේ කියයි. අන් අවස්ථාවක ඔහු කියන්නේ, ගැහැණුන් සමග පවත්වන සියලු ආකාර සම්බන්ධකම් තමා දරන තත්ත්වය අනුව තහනම්ි කරනු ලැබ ඇති බවකි. මෙම ප්‍රතික්ෂේප කිරීම් ග්ලැමෝගන්ගේ රාගය තවත් දවා ලී ය. දිනක ඇය සිය සයනාසනයෙහි රාග නිශ්‍රිතව වැතිර සිටින්නී, සිය රෝගය ඉවසා දරා ගත නුහුණු තත්ත්වයට පත්ව ඔද්දුලයන් සිය යහන් ගැබට කැඳවූවා ය. ඔහු ඇයගේ නියමයට කීකරුව එහි පැමිණියා ය. එහෙත් ඔහු දොරකඩ දෙසට නෙත් හෙලා සිටියේය. ඔහු තමා දෙස නෙත් නොහෙලීම නිසා නොඉවසිලිමත් වූත් ශෝක සංතාපයට පත් වූවා වූත් ඇය, ඒ ගැන සිය අමනාපය පළ කළා ය.  
“මේ බලන්නකො” ඇය ඔහු ඇමතුවා ය. “මට තවත් දරා ඉන්න බැහැ. මගේ දෙනෙත්වල සෙවණැල්ලක් වැටී තිබෙනවා. මගේ සිරුර ගිනි ගන්නව. ඒ වගේම සීතල වෙනව.”  
ඔහු නිහඩතාවයෙහි නිමග්න ව නිසසල ව සිටියෙන්, ඇය බැගෑපත් හඩකින් ඔහු ඇමතුවා ය.  
“අනේ මගේ ළඟට එන්නකො, එන්නකො අනේ”  
රාගය විසින් වැඩි දිගු බවක් ලබා දෙනු ලැබූ විහිදුණු දෑතින් ඇය ඔහු වැළඳ ගෙන තමා වෙත ළං කර ගත්තා ය.  
එහෙත් ඇගේ රාගය පිළිබඳ ව දොස් පවරමින් ඔහු පලා ගියේ ය.  ඉනික්බිති, කෝපයෙන් වියරු වැටුණ සහ තමා ඇද වැටුණු විලිසංගෙ නැති තත්ත්වය පිළිබඳව ඔද්දුලයන් විසින් හෙළි කරනු ලබතැයි බියෙනැළලුණු රාජෝත්තමිය, ඔහුට තමා විනාශ කිරීමට ඉඩ නොලැබෙන අයුරින්, තමා ඔහු විනාශ කිරීමට අදිටන් කර ගත්තී ය.
 
  තමා සැබැවින් ම අනතුරකට ගොදුරුව ඇති අයුරින් ආධාර  ඉල්ලමින් මුළු මාලිගය දෙවනත් වන පරිද්දෙන් ඈ මහා විලාපයක්  නැඟුවා ය. එහි දිව ආ ඇගේ සේවිකාවෝ මහණා පලායනුත්, බිසවුන් වහන්සේ ඇයගේ සයනාසනය මත වූ සළුපිළි ඇදගනුත් දුටහ. ඔවුහු ද එක් ව ළතෝනි දුන්හ. මහ හඩින් ඇළලී ගිය බ්‍රයන් රාජෝත්තමයාණන් යහන් ගැබට ප්‍රවිෂ්ඨ වූ කල්හි, ග්ලැමෝගන් තොමෝ අවුල් වූ සිය කේශ කලාපය ද කඳුළු ගංගාවන් ගලා  යාමෙන් නෙතබරිත වූ සිය දෙනුවන් ද රාගයෙන් මන්මත් ව තමන්ගේ ම නියවලින් සූරා ගනු ලැබූ ළමැද ඔහු වෙත දක්වාලමින් මෙසේ ඉකිබින්දා ය.
 
 “මාගේ උතුමාණන් වහන්ස, මාගේ ස්වාමිනි, මා ගොදුරු වූ නව නිංගිරාවේ සලකුණු දෙස නෙත් යොමු කළ මැනව. අධම  රාගයෙන් වල්මත් වූ ඔද්දුලයා මා වෙත එළඹ බලහත්කාරකමක් කිරීමට තැත් කළා.” 
 
  මෙම පැමිණිල්ල සවනත වැකුණු කල්හි, ලේ පැල්ලම් දුටු කල්හි, කෝපයෙන් වියරුහුණ රාජෝත්තමයාණෝ තරුණ මහණා අල්ලා, රාජණින් වහන්සේගේ නේත්‍රා දෙක හමුවේ ම රජ මාලිගය ඉදිරිපිට ඔහු පණ පිටින් පුඵස්සා දමන ලෙස සිය ආරක්ෂක භටයන්ට අණ දුන්හ.
  
  සිද්ධිය පිළිබඳව දැනුම් දෙනු ලැබූ විට, යිවර්න් හි තාපසාරාමාධිපතියා රජු වෙත ගොස් ඔහුට මෙසේ කියා සිටියේ ය.
 
  “බ්‍රයන් රාජෝත්තමයාණනි, කිතුණු ස්ත්‍රියක් හා මිථ්‍යා දෘෂ්ඨිකයකු අතර ඇති වෙනස මේ නිදසුනෙන් ම දැන ගත මැනව. වන්දනීය වූ කුමරියන් අතරින් අතිශයින් ම සත් ගුණවත් කුමරිය රෝමානු ලුක්‍රේෂියායි. එහෙත් හද බැඳි තරුණයකුගේ ප්‍රහාරයන්ට එරෙහි ව යමින් තමාව ආරක්ෂා කර ගැනීමට ඇයට ශක්තිය ලැබුණෙ නැහැ. තමාගේ දුර්වලකම ගැන ලජ්ජාවට පත්වුන ඈ අපේක්ෂා භංගත්වයට පත්වුණා. එහෙත් කෝපාවිෂ්ඨ  බිහිසුණුතම යක්ෂයන් ආවේශ වුණ අපරාධකරුවකුගේ ප්‍රහාරයන්ට එරෙහි ව ග්ලැමෝගන් සාර්ථක ලෙස මුහුණ දුන්නා.” 

  මේ අතරතුර ඔද්දුල් තෙමේ මාලිගයේ සිර කුටිය තුළට වී තමා පණ පිටින් පුළුස්සා දමන මොහොත එළඹෙන තෙක් බලා සිටියේ ය එහෙත් විනාශයට පත් වීම පිණිස අවිහිංසකයකූ හට වද වේදනා විඳීමට දෙවියන් වහන්සේ ඉඩ නොදුන් සේක. එතුමාණෝ ඔහු වෙත දේව දුතයකු එවූුහ. එම දේව දූතයා බිසවුන් වහන්සේගේ එක් සේවිකාවක වූ ගද්ුරුන් නමැත්තියගේ වෙස් ගෙන, ඇගේ කාමරය වෙත ඔහු ගෙන ගියේ ය
.  
          දේවදුතයා තරුණ  ඔිද්දුල්ට මෙසේ කීය. “මම ඔබට ප්‍රේම කරනව. මොකද ඔබ එඩිතර නිසා.” 
 
  ගුද්රුන් ඇය ම යයි විශ්වාස කළ තරුණ ඔද්දුල් බිම බලාගත් වන ම මෙසේ පිළිතුරු දුනි. 
 
  “රැජිනගේ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිරෝධය පෑමටත්, ඒ බලගතු රැජිනගේ කෝපයට මුහුණ දීමටත් මට හැකි වුණේ දෙවියන් වහන්සේගේ දයාව නිසාමයි.“
  
  එවිට දේව දූතයා මෙසේ ඇසී ය.
  
  “මොනවා! රැජින ඔබට චෝදනා කර සිටින දෙය ඔබ කළේ නැද්ද?” 

 “ඇත්ත වශයෙන් ම නැහැ. මම එය කළේ නැහැ. ඔද්දුල් පිළිතුරු දුන්නේ සිය අත හදවත මත තබා ගෙන ය.
  
  “ඔබ එය කළේ ම නැද්ද?”
  
  “නැහැ. මම එය කළේ නැහැ. එවැනි දෙයක් කිරීමේ සිතුවිල්ලක් පවා මා බියෙන් මුසපත් කර දමනවා.”

  “එහෙම නම්” දේව දූතයා ගුගුළේ ය. “මේකට වෙලා මොන ඉලව්වක් කරනව ද, ඈ බොල බෙලහීන පුඟුලො?” 
 
  තරුණයාට බේරී යාම පහසු කරනු පිණිස ඇය දොර විවෘත කළා ය. තමා ප්‍රචණ්ඩ අයුරකින් එළියට තල්ලු කර දමනු ලැබූ බවක් ඔද්දුල්ට හැඟුණි. ඔහු එළියට ගියා පමණි. ඔහුගේ හිස මත මුත්‍රා බාල්දියක් වැක් කෙරුණි.
 
  ඔහු මෙසේ සිතී ය.“අහෝ! දෙවියන් වහන්ස, ඔබ වහන්සේගේ සැලසුමි ගුප්ත ය. ඔබ වහන්සේගේ ක්‍රම හරි ම හරි අණ්ඩර දෙමළයකි.’


                                  02

                        මහා ඩ්‍රැකෝ -

                  ශාන්ත ඔර්බෙරෝසියානු
 
             ධාතූන් වහන්සේලාගේ ස්ථාන මාරුව


  ශාන්ත බ්‍රයනයන්ගේ ඍජු දරු මුණුබුරු පරපුර, 900 වැනි වසර පමණ වන විට රජ කළ කෙටි නහයාගේ කෝලික නමැත්තාගෙන් ක්ෂය වී ගියේ ය. එම කුමරුන්ගේ ඥාති සොයුරකු වූ අති උදාර බොස්කෝ ඔහුට පසු රජ විය. සිය සිහසුනෙහි තහවුරු වනු පිණිස, ස්වකීය සියලු ම ඥාති වර්ගයා ඝාතනය කර දැමීමට හේ වග බලා ගත්තේ ය. බලගතු රාජ පරම්පරාවක් ඔහුගෙන් පැන නැංගේ ය.
  
  ඔවුන්ගෙන් අයකු වූ මහා ඩ්‍රැකෝ යුධකාමියකු ලෙස ප්‍රකට විය. ඔහු අන් අයට වැඩි නිරතුරුභාවයකින් පරාජයට පත් කරනු ලැබිණ. ශ්‍රේෂ්ඨ රණ ශූරයන් හඳුනා ගනු ලබන්නේ පරාජයට පත් වීමෙහිලා ඇති මෙම නිරතුරු එඩිතරබව මගිනි. වසර විස්සක් තුළ දී හේ පැල්පත්, වෙළඳ පොළ නගර, පවුරු නො බැඳි නගර, ගම්, පවුරුමය නගර සහ සරසවි ලක්ෂයක් ම ගිනි බත් කළේ ය. හේ සිය සතුරා සතු භූමියට මෙන් ම තමන් සතු බල ප්‍රදේශයට ද අපක්ෂපාතී ලෙස ගිනි තැබී ය. ඔහු සිය චර්යාව පැහැදිලි කර ලනු වස් මෙසේ කීමට පුරුදුව සිටියේ ය.  

  “ගිනි තැබීම් වලින් තොර යුද්ධය ලුණු නැති හොද්දක් වැනි ය. එය 
නිරස ය.” 

  ඔහුගේ යුක්තිය පසිඳලීම දෘඪතර විය. තමා විසින් සිරකරුවන් බවට පත් කළ ගොවින් හට, ඔවුන් විසින් ගෙවිය යුතුව තිබූ කප්පම ගෙවීමට මුදල් සොයා ගත නුහුණු කල, ඔහු ඔවුන් එල්ලා මැරී ය. දුකට පත් යම් ස්ත්‍රියක් සිය ස්වාමි පුරුෂයා වෙනුවෙන් කන්නලව් කිරීමට පැමිණිය හොත්, ඔහු සිය අශ්වයාගේ වලිගයට ඇගේ කෙස් වැටිය ගැට ගසා ඇය ඇද ගෙන යාමට ක්‍රියා කළේ ය. දුර්වලතාවයෙන් තොර සොල්දාදුවකු ලෙසින් හේ වැජඹුණි. ඔහුගේ ජීවන ශෛලිය පරම පවිත්‍ර වූ බව කීමට හැකි වීම සැනසුමට කරුණකි. සිය රාජධානිය උරුම කර ගෙන තිබූ කීර්ති කදම්භයෙන් එය පිරිහී යාමට හේ ඉඩ නොතැබුවා පමණක් නො ව, සිය පසු බැසීම් තුළ දී පවා පෙන්ග්වින් ජනතාවගේ ගර්වය එඩිතර ලෙස සුරැකී ය
.  
  මහා ඩ්‍රැකෝ ශාන්ත ඔර්බෙරෝසියාවන්ගේ ධාතුන් වහන්සේලා අල්කාවට වැඩම්ම වී ය.
  
  භාග්‍යවත් ශාන්තුවරියගේ ශ්‍රී දේහය හෙවනැලි කන්දේ සුගන්ධවත් පඳුරු තලාවක කෙළවර පිහිටි ගුහාවක මිහිදන් කරනු ලැබිණ. එය වෙත ගිය මුල් වන්දනාකරුවන් වූයේ ගම්වල කොල්ලන් සහ කෙල්ලන් ය. ඔවුන් එහි යාමට පුරුදුව සිටියේ සැඳෑ අඳුර ලොව වැටෙන වෙලාවට ය. වැඩිපුර ම ජෝඩු දමා ය. හරියට ඔවුන්ගේ සැදැහැවෙන් අනනූ වූ ආශාවන්, ඒවා සංසිඳුවා ගැනීමට ස්වාභාවික ලෙස ම තැත් කළේ කරුවළේ සහ හුදකලාව වූවාක් මෙනි. ඔවුන් ශාන්තුවරියට වන්දනාමාන කළේ උද්යෝගිමත් වූත් විචාර පූර්වක වූත් දණ්ඩ නමස්කාරයකිනි. ඔවුන් එහි වූ ගුප්තභාවය ඉතා ඕනෑකමින් රැක ගත් බව පෙනී ගියේ ය. මන්ද යත් ඔවුන් විඳි අත්දැකීම් ප්‍රසිද්ධ නො කරනු ලැබූ හෙයිනි. එහෙත් ප්‍රේමයේත්, ආස්වාදයේත්, ග්‍රහණයේත් රසමුසු වදන්, ඔරබෙරොසියාවන්ගේ ශ්‍රී නාමය සමඟ මුසු කරමින් ඔවුන් එකෙනෙකාට කොඳුරනු ශ්‍රවණය වී තිබේ. ඔවුන්ට මුළු ලොව ම අමතක ව ගිය බව කියමින් සමහරු සුසුම්ලනු ඇත. ඔවුන් සාමයෙන් යුතු ව නිසසල ව පඳුරු වැටිය තුළින් එළියට පැමිණි බව සමහරු කියනු ඇත. තමන් එය පුරවාලු රසාලිප්ත ආස්වාදයන් එකිනෙකාගේ මතකයට නඟාලීමට තරුණ කෙල්ලෝ පුරුදුව සිටියහ.
  
  එහෙත් කෝලික රජුගේ සහ ඔහුගේ අන්තරාගාමිකයන්ගේ රාජ්‍ය සමයන්හි රාජධානිය හප කර දමුවා වූ විපත්තීන් හටගත් කල්හි, සාන්ත ඔර්බෙරෝසියා තුමියගේ සොහොන් ගැබින් එහි තිබූ ධනය කොල්ල කනු ලැබිණි. ආශ්‍රමය ගිනිබත් කෙරුණි. මහණුන් පලවා හරිනු ලැබිණි. ඒ සා දිගු කලක් මුළුල්ලේ බැතිමත් වන්දනාකරුවන්ගේ පාද ස්පර්ශයට ලක්ව තිබූ මාර්ගය, කටු පඳුරුවලින් ද නීල වර්ණ බෙලිකටුවලින් ද ගහණව වල් වැවීී ගියේ ය. සිය වසක් ගත වන තුරා පොළඟුන්, මුගටියන් සහ වවුලන් හැර අන් කිසිවකු එහි පැමිණියේ නැත. දිනක් තදාසන්න පෙදෙසෙහි ගොවියකු වූ මෝර්දින් නමැත්තා හමුවේ දෘශ්‍යමාන වූ සාන්තුවරිය මෙසේ කියා සිටියා ය.
  
  “කන්‍යා ඔර්බෙරෝසියා මම වෙමි. මාගේ අභය භමිූය යළි සැකසීම සඳහා මම නුඹ තෝරා ගතිමි. මාගේ ශ්‍රී නාමය පිළිබඳ මතකය කැළැල් වී යාමට ඉඩ හළ හොත්, මාගේ සොහොන් කොත ගෞරවයෙන් සහ ධනයෙන් තොරව පැවතීමට ඉඩ හළ හොත්, නව මකරෙක් පැමිණ පෙන්ග්විනියාව සුන්නත්දූලි කර දමන බවට රටවාසීන් හට අනතුරු හඟවව් !” 
 
  මෙම දෘශ්‍යමාන වීම පිළිබඳ ව පරීක්ෂණයක් පැවැත් වූ පූජකයෙක්, එය අව්‍යාජ නිර්ව්‍යාජ බවත් යක්ෂයාගෙන් පැමිණියක් නො ව ස්වර්ගයෙන් පැමිණි සැබවක් සැබවක් බවත් ප්‍රකාශ කර සිටියේ ය. මේ හා සමාන අවස්ථාවන්හි දී ප්‍රංශයේ සාන්ත ෆොයි තුමා සහ සාන්ත කැතරින් තුමිය මේ අයුරින් ක්‍රියා කොට ඇති බවත් පසු කලෙක දී ප්‍රකාශ කෙරුණි.
  
  සිය කීර්තිමත් සදාකාලිකභාවයෙහි හිමිදිරි යාමේ අල්කාහි කන්‍යාතුමිය පෑ ප්‍රාතිහාර්යයන් එවන් වේ. හිමිදිරියේ මිහිරියාව සහ අවිනිශ්චිතභාවය ඒවා තුළ ගැල්වුණි. ඉක්මණින් ම පඳුරු වැටි තුළ පැවැති ගුප්තභාවය සුගන්ධවත් මාරුතයක් මෙන් රට පුරා පැතිර ගියේ ය. එය සැදැහැවත් ආත්මයන් තුළ ප්‍රබෝධය සහ තත්ත්වාබෝධය ජනිත කරවන භූමියක් බවට පත් විය. මුනිතුමියගේ සොහොනින් ගලා ගිය කරුණා ජලාශයෙන් බැතිමතුන් ඉවතට යොමු කරනු වස්, අසත්‍යයන් හා මඩ ගැසීම් කරමින් දුූෂිතයෝ අසාර්ථක වෑයමක නිතර වූහ. මෙම කරුණා මහිමය දරුවන් අතලොස්සකට සීමා වීම වළක්වා, එය මුළු පෙන්ග්වියානු කිතු සසුන පුරා පතුරුවාලීමට පල්ලිය පියවර ගති. මහණෝ පඳුරු වැටිවල පැල් බැඳ ගති. ඔවුහු වෙරළෙහි ආශ්‍රමයක් ද දෙව් මැදුරක් ද ලැගුම් ගෙයක් ද තැනූහ. වන්දනාකරුවෝ එතැනට එක්රොක් වීම ඇරඹූුහ.
  
  භාග්‍යවත් ඔබෙරෝසියා තොමෝ, වඩා දිගු නවාතැන් ලෑමක් තුළින් ශක්ති සම්පන්න බවට පත් වූ පරිද්දෙන්, සිය සොහොන් ගැබ වන්දනාමාන කිරීමට පැමිණියවුන් වෙනුවෙන් දැන් වඩ වඩාත් දැවැන්ත ප්‍රාතිහාර්යයන් පාන්නට වූවා ය. මේ තාක් කල් වඳභාවයට පත්ව සිටි කතුන්ට ඕ බලාපොරොත්තු ගෙන දුන්නී ය. හේතු කාරණාවකින් තොර ව ම සිය නාඹර බිරියන් කෙරෙහි සැක උපදවාලූ ඊර්ෂ්‍යා පරවශ මහල්ලන් අස්වසාලීම සඳහා ඇය ඔවුන් වෙත ස්වප්නයන් යැවූවා ය. වසංගතයෙන් ද ගව වසංගතයෙන් ද සාගතයෙන් ද කුණාටුවලින් ද කප්පාදෝණියාහි මකරුන්ගෙන් ද ඕ මව්බිම සුරැකී ය. 
 
  ආශ්‍රමය ප්‍රතිෂ්ඨාපනය කෙරුණි. වන්දනාකරුවෝ යළි එක් රොක් වන්නට වූහ. කන්‍යා ඔර්බෙරෝසියා තුමිය වඩ වඩාත් දැවැන්ත පෙළහර පෑම් දක්වන්නට වූවා ය. ඇය විවිධාකාර වේදනාකාරී රෝග, විශේෂයෙන් ම ගල් තැලුම්, දියවැඩියාව, අංශභාගය සහ ශාන්ත වින්සන් තුමාගේ සන්නිය සුවපත් කළා ය. එම සොහොන් කොත පවත්වා ගෙන ගිය මහණුන් ඊර්ෂ්‍යා පරවශ ශ්‍රී සමෘද්ධියෙන් විජෘම්භනයව සිටිය දී මහා ඩ්‍රැකෝ රජතුමාණන් හමුවේ දෘශ්‍යමාන වූ සාන්තුවරිය රාජධානියේ දිව්‍යමය භාරකාරිය ලෙස තමා පිළිගෙන, තමාගේ මහාර්ඝ මෘත කළේබරය අල්කාහි ආසන දෙව් මැදුර වෙත ගෙන යන ලෙස අණ කර සිටියා ය.
  
  එහි ප්‍රතිඵලය වශයෙන්, එම කන්‍යාතුමියගේ සුගන්ධවත් ධාතුන් වහන්සේලා අති මහත් උත්කර්ෂවත් අයුරින් නාගරික පල්ලිය වෙත වඩම්මා ගෙන ගොස්, රනින් සහ එනැමල්වලින් නිමවා, මහාර්ඝ මාණික්‍ය රත්නයන්ගෙන් විභූෂිත කෙරුණ ධාතු කරඬුවක බහා, දේව මණ්ඩපයේ ගර්භය මධ්‍යයෙහි තැන්පත් කරනු ලැබූ සේක.
  
  භාග්‍යවත් ඔර්බෙරෝසියාවක් පෑ ප්‍රාතිහාර්යයන් පිළිබඳ වාර්තාවක් පූජනීය සභාව විසින් පවත්වා ගෙන යනු ලැබිණ.
  
  කිතුණු ලබ්ධිය රැකීම සහ ප්‍රශස්තියට නැඟීම කිසිදා නො නැවත් වූ මහා ඩ්‍රැකෝ රාජෝත්තමයාණන් වහන්සේ, වර්ණනා විෂයාතික්‍රාන්ත බැතිමත් හැඟුමිවලින් ඉපිළෙමින් ස්වර්ගස්ථ වූයේ සිය දැවැන්ත බුදලය පල්ලියේ භුක්තියට සවි කරමිනි.
 


                                      03
  
                              කෲචා රැජින 


  ඩ්‍රැකෝගේ මරණින් පසු බිහිසුණු අවුල් වියවුල් හට ගැනුණි. එම කුමරුන්ගේ අන්තරාගාමිකයෝ නිරතුරුව ම පාහේ බෙලහීනකම පිළිබඳ චෝදනාවට ලක් වූහ. මෙම විරෝදාර මුතුන් මිත්තන්ගේ ආදර්ශය කිසිවකු විසින් හෝ, ඈත ම ඈත දුර බැහැර සිටිය දී පවා, අනුගමනය නො කරනු ලැබූ බව සත්‍ය කරුණකි.
  
  කොරෙකු වූ ඔහු පුත් චම් පෙන්ග්ග්වින් භුමි ප්‍රදේශය වැඩි කිරීමෙහිලා අපොහොසත් විය. චම්ගේ පුත් බෝලෝ මාලිගාරක්ෂකයන් විසින් මරා දමනු ලැබුවේ, ඔහු සිහසුනට නඟිනවාත් සමඟ ම ය. ඔහුගේ සොයුරු ගන් ඉන් පසු රාජ පද ප්‍රාප්ත විය. සත්වැනි වියේ පසු වූ ඔහු, තමාව පාලනය කරලීමට සිය මව වූ කෲචා රැජිණට ඉඩ හළේ ය. 
 
  කෲවා සුරූපී විය; උගත් විය; බුද්ධිමත් විය. එහෙත් ඇයට සිය රාගය නම් මැඩ පවත්වා ගත නොහැකි විය. වත කමලේ පියකරු බවත්, ගත කමලේ සුසංගටනාවත් අනුව ඈ බැබිලෝනියාවේ සෙමිරාමිස්ට හෝ ඇමසන්හි පෙන්තෙ සිලියාට හෝ හෙරොදියාස්ගේ දුහිතෘ සලෝමිට හෝ යට නො වූවා ය. එතෙකුදු වුවත් මිනිසුන්ගේ ප්‍රතිවිරුද්ධ මතිමතාන්තර අනුවත්, ලොව පවත්නා විවිධ නිගමනයන්ට අනුවත් රූමත් හෝ ප්‍රියදර්ශනීය හෝ නො වන දේ ලෙස දිස් වන යම් යම් අසාමාන්‍ය ලක්ෂණ ඇගේ දේහයෙහි තිබුණි. ඇගේ රන්වන් රන් කේශ කලාපයේ බහුලව තිබූ බොකුටු අතර සැඟවුණ කුඩා අඟ දෙකක් ඇගේ නළල් තලයෙහි විය. ඇගේ එක් ඇසක් නිල් ය. අනෙක කලු ය. ඇගේ ගෙල වමට නැමිි තිබුණි. මැසිඩෝනියාවේ ඇලෙක්සැන්ඩර් සතු ව තිබුණාක් මෙන්, ඇගේ දකුණතෙහි ඇඟිලි සයක් විය. ඇගේ සම මත වඳුරකුගේ හිසක් වැනි ලපයක් විය. ඇගේ ගමන් විලාශය ප්‍රතාපවත් ය.  ඇගේ දේහ විලශය ප්‍රසන්න ය. වියදම් කිරීමෙහි දී ඇය උත්කෘෂ්ඨ ය. එහෙත් තර්ක විතර්ක කිරීම් මගින් රාගය පාලනය කර ගනීමෙහිලා නම් ඇය හැම විට ම සමත් වූයේ නැත. 

  දිනක් මාලිගයේ ඉස්තාලයේ අතිශය ශෝභා සම්පන්න ගැටයකු සිටිනු සනිටුහන් කර ගත් ඇය, ඒ ක්ෂණයෙහි ම ඔහු සමඟ දැඩි ලෙස පෙමින් වෙළී, ඇගේ හමුදා මෙහෙයවීම ඔහුට භාර කළා ය. මේ ශ්‍රේෂ්ඨ රැජින සතුව තිබූ නොවළහා පැසසිය යුතු දෙය නම් පල්ලිවලටත්. ආශ්‍රමයන්ටත්, දේව මන්දිරයන්ටත් දේවානුග්‍රහයට පින් සිදු වන්නට මගේ දහ හතර වැනි වියේ දී මට රැකියාව කිරීමට ඉඩ ලබා දුන්නා වූ වලස් උද්‍යානයේ ශුද්ධ වූ නිවසට විශේෂයෙනුත් තෑගි පිට තෑගි දීමේ කරුණ ය. ඈ සිය ආත්මයේ ගැලවුම උදෙසා දේව මෙහෙයයන් කෙතරම් සංඛ්‍යාවක් පැවැත් වී ද යත්, පෙන්ග්වින් පල්ලියේ හැම පූජකයකු ම, කෲචා උත්තමාවන් වෙත දිව්‍යමය කරුණාව ගෙන එනු පිණිස, ස්වර්ගයේ දැක්ම උදෙසා දැල්වුණ හීන් ඉටිපන්දම් බවට පත් වූහ යි කිව හැක.
  
  එකී වගන්ති අනුව ද, මගේ පෙළ හරබර කළ යම් යම් වගන්ති සමහරක් අනුවද, “ගෙස්ටා පෙන්ග්වීනෝරම්” කෘතියේ ඓතිහාසික හා සාහිත්‍යමය අගය නිගමනය කිරීමට පාඨකයනට හැක. අසන්තෝෂජනක කරුණ නම්, දුබල ගන් රජුගේ අන්තරාගාමිකයා වූ චාම් ඩ්‍රැකෝ රජුගේ දෙවෙනි වසර උදාවීමත් සමඟ ම, එම වංශකතාව හිටි අඩියේ අවසන් වීම ය. මගේ ඉතිහාසයේ දී එම අවස්ථාවට ළඟා වූ මම, එකඟත්වය පළ කළ හැකි වූත් විශ්වාසදායක වූත් මාර්ගෝපදේශකයකු අහිමි ව යාම තරයේ හෙලා දකිමි.  
තදනන්තරව ගත වූ වසර දෙසීයයේ දී පෙන්ග්විනියාව ලේ වැකි අවුල් වියවුල් ජාලාවක ගිලුණි. සියලු ම කලාවන් විනාශ විය. පොදුවේ රජැයූ නූගත්කම මධ්‍යයේ, මහණෝ සිය කුටිවලට වී ශාස්ත්‍ර ඥානයට කැප වී අවෙහෙසකාරී උද්යෝගයකින් අනූන ව ශුද්ධ වූ ලියවිලි පිටපත් කළහ. ලිවීමට ගන්නා හම් පොතු හිඟ වූයෙන්, දිව්‍යමය වදන් ඒ මත සටහන් කිරීම සඳහා පැරණි අත් පිටපත්හි ලියා තිබූ දේ සූරා මකා දැමූහ. ඒ අනුව හතු පිපෙන්නාක් මෙන් පෙන්ග්විනියාවේ අස්සක් මුල්ලක් නෑර බයිබල් පැන නැඟුණි.
  
  ශාන්ත බෙනඩික්ට් නිකායට අයත් මහණකු වූ පෙන්ග්වින්හි එර්මොල්ඩ් නමැත්තා පමණක්, ශාන්ත ජෝන්ගේ සුභාරංචිය හාර දහස් වාරයක් පිටපත් කරලනු පිණිස, ග්‍රීක සහ ලතින් අත් පිටපත් භාර දහසක් අකාමකා දැමී ය. ඒ අයුරින්, ඉපැරණි අත’ ශ්‍රේෂ්ඨ කාව්‍යයන් ද ඒවායේ තිබූ වාග් චාතුර්යය ද විශාල වශයෙන් වනසා දමනු ලැබී ය. මධ්‍යකාලීන යුගයේ ශාස්ත්‍රඥානයේ මූලාශ්‍රයන් වූයේ පෙන්ග්වින් කතිකාවත යයි පිළිගැනීමේ දී ඉතිහාසඥයෝ ඒකමතිකයහ.  
පෙන්ග්විනියාව හා ඉබ්බාගමුව අතර සිදු වූ නිමක් නැති යුද්ධයන්ගෙන් මේ යුගය පිරී පවතියි. මෙම යුද්ධ පිළිබඳ සත්‍යය දැන ගැනීම අතිශයින් ම දුෂ්කර ය. එයට හේතුව ඒ පිළිබඳ විස්තර නොමැති වීම නො ව, එවන් විස්තර ගණනාවක් ම තිබීම ය. ඉබ්බාගමු වංශකතාව හැම කරුණක දී ම පෙන්ග්වින් වංශකතාව බොරු කරලයි. තව ද පෙන්ග්වින් වංශකතාව ඉබ්බාගමු වංශකතාවට ප්‍රතිවිරුද්ධව යනවාක් මෙන් ම තම තමන්ගේ වංශකතාවන් එකිනෙක ද බොරු කරලයි. එකඟත්වයෙන් යුතු වංශකතා දෙකක් මම දුටිමි. එහෙත් එකක් අනෙකින් කොපි කර තිබුණි. එක කරුණක් නම් සහතික ය. එනම්, මහා මිනිස් ඝාතනයන්, දූෂණය කිරීම්, ගිනි තැබීම් සහ කොල්ලකෑම් බාධාවකින් තොර ව, එකකට එකක් පසු වශයෙන් සිදු වූ බව ය.   
  අසංතුෂ්ටිමත් 11 වැනි බොස්කෝ කුමරුන් යටතේ, රාජධානිය විනාශයේ මුව විට පැවතුණි. නැව් හය සියයකින් යුතු වූ ඉබ්බාගමු නැව් කණ්ඩායම අල්කාහි දී දැක ගනු ලැබූ විට, ගරු ගාම්භීරාකාර පෙරහරක් පවත්වන ලෙස බිෂොප් තුමා අණ දුන්නේය. ආසන දෙව් මැදුරේ පූජක සභාව ද තෝරාපත් කෙරුණු මහේස්ත්‍රාත්වරු ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සරසවිවල පූජකවරු ද ආසන දෙව් මැදුරට ප්‍රවිෂ්ඨ වී, ශාන්ත ඔර්බරෝසියාගේ ධාතු කරඬුව පෙරහරකින් නගරය පුරා වඩම්මා ගෙන වීීදි සංචාරය කළහ. මුළු ජනතාව ම ගීතිකා ගයමින් එය පසුපස ගමන් කළහ. පෙන්ග්විනියාවේ ශුද්ධ වූ ආරක්ෂිකාවගේ ආශිර්වාදය පැතීම නිෂ්ඵල වූයේ ම නැත. එසේ ද වුවත් ගොඩබිමින් ද මුහුදින් ද නගරය වැටලූ ඉබ්බාගමුවෝ, එයට පහර දී එය අත්පත් කර ගෙන, පුරුද්ද විසින් උත්පාදනය කරන ලද උපේක්ෂා සහගතභාවයෙන් යුක්තව දින තුනක් මුළුල්ලේ මිනීමැරූහ; කොල්ල කෑහ; දුෂණය කළහ; ගිනි තැබූහ.
  
  එම අයෝමය යුගයන්හි දී පෙන්ග්විනයන් ආගම් භක්තිය නොකැඩී පවත්වා ගනු ලැබීමේ කාරණය සම්බන්ධයෙන් අපගේ විස්මය එතරම් ම විශාල විය නො හේ. එසමයන්හි සත්‍යය පිළිබඳ පැවති ඓශ්චර්යය කුතර්කයන්ගෙන් දූෂණය නො වූ  ආත්මයන් ජ්වලිත කරවාලයි. භක්තිය පිළිබඳ ඒකීයත්වය සම්බන්ධයෙන් වන කරුණු පැහැදිලි කිරීම මෙයයි. බැතිමතුන් අතර වූ මේ ආහ්ලාදජනක එකමුතුව පවත්වා ගෙන යාමෙහිලා පල්ලියේ නිරන්තර කටයුතු ද නිසැකව ම දායක විය. අන් අයට වෙනස් ලෙසකින් සිතූ හැම පෙන්ග්විනයෙක් ම වහා පුළුස්සා මරා දමනු ලැබී ය.


                                     04
 
                   කෘති: ජොහන්නාස් තල්පා

 
  සිය දහහතර වැනි වියේ දී වෘත්තීය අරඹා, එතැන් සිට සිය දිවි මුළුල්ලේ ම එක දිනකුදු තමා ඉවත නො ගියා වූ වලස් උයනේ තාපසාරාමයට වී, ජොහන්නාස් තල්පා තෙමේ බාල වයස්කාර ගන් රජු සමයෙහි දී  “ගෙස්තීස් පෙන්ග්විනෝරම්” නම් වූ වෙඑම් දොළසකින් යුත් කීර්තිමත් ලතින් වංශකතාව ප්‍රබන්ධ කළේ ය. 
 
  වලස් උයනේ ආශ්‍රමයේ උස් තාප්ප නංවා තිබුණේ, ළඟා විය නො හැකි ශිඛරයක මුදුන මත ය. එය වටා යමෙකුට දැකිය හැක්කේ, වලාකුළුවලින් බෙදී ගිය කඳු පර්වතයන්හි නීල වර්ණ මුදුන් පමණි. 
  
  ඔහු සිය “ගෙස්තා පෙන්ග්විනෝරම්” කෘතිය ලිවීම අරඹන විටත් ජොහාන්නාස් තල්පා මහලු ව සිටියේ ය. ඔහු සිය ග්‍රන්ථයේ දී මෙසේ කීමට වග බලා ගති. “මගේ හිසෙන්, එය විභුෂිත කළා වූ සුදු කෙස් ගස් දැන් බොහෝ කලකට ඉහත දීම නැතිව ගියේ ය. මගේ හිසෙහි හම පිළිබිඹු කරලන්නේ, පෙන්ග්වින් ළඳුන් ඒ සා උද්යෝගිමත් ලෙසකින් සහ පරෙස්සමකින් යුතු ව විමසා බලන්නා වූ, ලෝහයෙන් නිම වූ, පිටින් වක ගැසුණ කැඩපත් ය. ස්වාභාවික ව ම කුඩා වූ මාගේ දේහ ප්‍රමාණය, කාලයාගේ ඇවෑමෙන් කෙටි වී වක ගැඟී ඇත. මගේ සුදු රැවුළ මා ළමැදට උණුසුම ලබා දෙයි.”

   සිය ජීවිතයේ යම් යම් අවස්ථාවන් ද සිය චරිත ස්වභාවයේ සමහර ලක්ෂණ ද මනරම් චාම් බවකින් යුතුව තල්පා අපට විස්තර කර දෙයි. උතුම් පවුලකින් පැවතෙන්නා වූත් ආගමික කටයුතු වෙනුවෙන් කැපවීමට බාල වියේ සිට ඉරණම් ලබා සිටින්නා වූත් මට ව්‍යාකරණය සහ සංගීතය උගන්වනු ලැබී ය. අමිකස් නම් වූ ගුරුතුමකුගේ මාර්ගෝපදේශකත්වය යටතේ මම අකුරු කියවීමට උගත්තෙමි. මා අකුරු පිළිබඳ දැනුම සුමට ලෙසකින් අත්කර නො ගත් හෙයින්  හේ මට පොල්ලකින් තඩි බෑවේ ය. තඩිබෑම මගින් ඔහු මගේ පිට මත අක්ෂර මාලාව මුද්‍රණය කළ බව කිව හැක.
  
  තල්පා රාගය කෙරෙහි වූ ස්වකීය ස්වාභාවික ඇදී යාම පිළිබඳ පාපොච්චාරණයක් තවත් ඡේදයක දී කරයි. මේ ඔහුගේ අරුත් බර වදන්ය. “නාඹර වියේ දී මගේ ඉඳුරන්ගේ උණුසුම කෙවැනි වී ද යත්, වනපෙතෙහි සෙවණක දී මා අත් දුටුවේ නැවුම් වාතය ආශ්වාස කිරීමකට වඩා, කාලයක් ඇතුළත තම්බනු ලැබීමේ සංවේදනයකි. මම ස්ත්‍රීන් වෙතින් පලා ගියෙමි; එහෙත් නිෂ්ඵලව ය. මන්ද යත් සෑම ද්‍රව්‍යයක් ම මට ඔවුන් මතක් කර දුන් හෙයිනි.“
  
  ඔහු සිය වංශකතාව ලියමින් සිටිය දී, එක්වර ම විදේශීය වූත් ස්වදේශීය වූත් බිහිසුණු යුද්ධයකින් පෙන්ග්වින් භූමිය පාළු වී ගියේ ය. පෙන්ග්වින් ම්ලේච්ඡයන්ගෙන් වලස් උයනේ ආශ්‍රමය සුරැකීමට පැමිණි කෲචාහී සොල්දාදුවෝ, එහි ඉතා දැඩි ලෙසකින් පැළපදියම් වූහ. එය අභිබවනය නො කළ හැකි වන සේ එහි පවුරු තුළින් කපොලු තැනූ ඔවුහු, සිය පටි තනා ගනු වස් පල්ලියේ වහලින් තඹ සූරා ගත්හ. රෑයාමේ අංගනයන්හි සහ ආශ්‍රමයන්හි දැවැන්ත ගිනි මැල අවුළුවාලූහ. කඳුවල ඉපැරණි පයින් ගස්වල බැඳ සිටි ගවයන් එහෙම පිටින් ම ඒවායේලා පිළිස්සූහ. දුම් සහ මේද ගඳින් පිරී තිබූ දුමාරය මධ්‍යයෙහි ගිනි මැල වටා වාඩිලා ගත් ඔවුහු දැවැන්ත වයින් පීප්ප සහ බිර පීප්ප  විවෘත කර ගත්හ. ඔවුන්ගේ ගී, ඔවුන්ගේ දේවාපහාසයන් සහ ඔවුන්ගේ ඝෝෂාව හිමිදිරි ඝණ්ඨා නාදය යටපත් කර දැමී ය.
  
  අන්තිමේ දී ඉබ්බාගමුවෝ සම්බාධ පථය තරණය කරමින් තාපසාරාමය වටලෑහ. තඹ සන්නාහයෙන් සන්නද්ධව සිටි ඔවුහු උතුරෙන් පැමිණි සංග්‍රාමිකයෝ වූහ. ඔවුහු කඳු බෑවුම් දෙපැත්තෙහි බඹ එකසිය පණහක් දුරට ඉණිමං බැන්දාහ. ගනඳුරේ දී හා චණ්ඩ මාරුතයේ දී, මිනිසුන්ගේ හා අවි ආයුධවල බරින් සමහර විටෙක මේවා කැඩී වෙන් ව ගොස්, වටලා සිටියවුන් පොකුරු පිටින් ජලාශ්‍රයන්ටත් ප්‍රපාතයන්ටත් හෙඵෑහ. දිගු ළතෝනියක් ගනඳුර සිසාරා යනු ඇසෙයි: යළි ප්‍රහාර ඇරඹෙයි. පෙන්ග්විනයෝ සිය ඝාතකයන් මත ගිනි ගෙන දැවෙන ලෝදිය දහරාව පතිත කළහ. ඔවුහු ඉන් විලක්කු මෙන් ගිනි ගෙන ඇවිළුණහ. කෝපයෙන් වියරුහුණ ඉබ්බාගමුවෝ ආශ්‍රමයට බඩගා ගැනීමට හැට වරක් ම පරිශ්‍රම දරූහ: හැට වරක් ම ඔවුහු පළවා හරිනු ලැබූහ.
 
  ඔවුහු සය මසක් මුළුල්ලේ ම තාපසාරාමය ගැන විමසිලිමත් ව සිටියහ. දිනක් මිටියාවතේ සිටි එඩේරකු ඔවුන්ට රහස් මඟක් පෙන්වූහ. ඔවුහු එමගින් කන්දට නැඟ. ආශ්‍රමයේ වහළට ප්‍රවේශ වී ආශ්‍රම, මුළුතැන් ගෙවල්, පල්ලිය, දේව මන්දිර ශාලා, පුස්තකාල, ලොන්ඩරි, කුටි සහ දන් ගෙවල් සිසාරා ඔබ මොබ දිව යමින් ගොඩනැගිලි ගිනි බත් කළහ; මිනීමැරූහ; වයස හෝ ලිංග භේදය හෝ වෙන් කර ගැනීමකින් තොරව දූෂණය කළහ. අනපේක්ෂිතාකාරයෙන් අවදි කර ලනු ලැබූ පෙන්ග්විනයෝ, සිය ආයුධ තිබූ තැන් වෙත දිව ගියහ. එහෙත් මහා ගනඳුරේ, බියෙන් මුසපත් ව සිටි ඔවුන් පහර දුන්නේ තම තමන්ට ම ය. ඒ අතරතුර ඉබ්බාගමුවෝ පොරෝ ප්‍රහාරයන් දෙමින්, ධර්ම යාත්‍රා, දුම්කබල්, ඉටිපන්දම්, පුෂ්ප විලේපනයන්, ධාතු කරඩු, රත්රන් කුරුසි සහ අනර්ඝ මාණික්‍යයන් සමඟින් පොර බඳමින් සිටියෝ ය
.  
  පිළිස්සුණ මස්වල කර්කශ ගන්ධස්කාරයකින් වාතය පිරි තිබුණි. ගිනි දැල් අතරින් විලාප හා මර ළතෝනි නැඟුණි. කඩා ඇද හැලෙන වහලවල අද්දරින් මැස්සන් පරිද්දෙන් දිව ගිය මහණෝ මිටියාවතෙහි වැද හොත්තාහ. එසේ ද වුවත්, ජොහන්නාස් තල්පා තෙමේ සිය වංශ කථාව ලිවීමෙහි තවදුරටත් නිරතව සිටියේ ය. ශීඝ්‍රගාමී ව පසුබැස ගිය කෲචාහි සොල්දාදුවෝ ඉඩකඩ තිබූ හැම තැනක් ම ගල් කැබලිවලින් පුරවාලුයේ, ගොඩනැගිලි පුළුස්සාලමින් සිටි ඉබ්බාගමුවන් වනසාලනු පිණිස ය. නටබුන් මත්තෙහි සිය සතුරා චප්ප කර දමනු සඳහා යගදාවන් ලෙස ඕක් ගස්වල කඳවල් ඔවුහු පාවිච්චි කළහ. දැවෙමින් තිබු ලී දඬු මේඝ ගර්ජන හඬ නඟමින් ඇද වැටුණි. හය සියයක් මිනිසුන් විසින් සොලවනු ලැබූ මේ යෝධ වෘක්ෂයන්හි කම්පනයෙන් දෙව් මැඳුරෙහි නාභියෙහි වූ සාටෝපවත් ආරුක්කු කඩා ඇද හැලුණි. වැඩි වේලා ගත වීමට පෙර, ධනයෙන් ආඨ්‍ය වූත් විස්තීර්ණ වුූත් තාපසාරාමයෙන්, ජොහාන්නාස් තල්පාගේ කුටිය හැර අන් කිසිත් ඉතිරි නො වී ය. ආශ්චර්යවත් දෛවයෝගයක් හේතුවෙන්, එම කුටිය දුම් දමමින් තිබු මහලේ තුන් හුලස් තෙංාගලක සුන්බුන්වලින් එල්ලෙමින් තිබුණි. පැරණි වංශකතාකරු තවමත් ලියමින් සිටියේ ය.
  
  තමන්ගේ සමයයෙහි හටගත් සිද්ධීන් විග්‍රහ කිරීමෙහි යෙදෙන්නා වූ වංශ කතාකරුවකු සම්බන්ධයෙන් ගත් කල, චින්තනය පිළිබඳ අගැයිය හැකි මේ විස්තීර්ණභාවය සීමාන්තික යයි පෙනී යා හැක. මන්ද යත්, අවට ඇති දෙය කෙරෙන් අප කෙතරම් ඈත්ව සිටියත්, අප ඒවායේ බලපෑම් කෙරෙහි අමනාපය දක්වන හෙයිනි. ජාතික පුස්තකාලයෙහි ඇති ජොහාන්නාස් තල්පාගේ අත්පිටපතක් මම පරීක්ෂා කර බැලුවෙමි. (මොනියුමෙන්තා පෙන්ග්. කේ. එල්. 6 12390 හතර ) එය කඩදාසි 628 කින් යුත් හම් කොලවල ලියූ අත් පිටපතකි. ලියවිල්ල අත්‍යන්තයෙන් ම ව්‍යාකූල ය. අකුරු වූුයේ සෘජු රේඛාවක් ඔස්සේ නො ව දස අතට ම විසිර ය. ඒවා මහා අවුල් ජාලයක් තුළ, වඩා නිවැරදි ව කියන්නේ නම් පරිපූර්ණ ව්‍යාකූලත්වයක, එක ගොඩේ මිශ්‍ර ව තිබේ. ඒවා කෙතරම් අයහපත් ලෙස සකස් ව තිබේ ද යත්, ඒවා මොනවා දැ යි කීමට පමණක් නො ව, තැනින් තැන බහුල විසිර ඇති තීන්ත පහරවලින් ඒවා වෙන් කොට දැක්වීම ද බොහෝ විට අපහසු ය. ගිණිය නො හැකි තරම් වූ එම පිටු, ඒවා ලියන අවස්ථාවේ පැවති කරදරකාරී තත්ත්වයන් පිළිබඳ සාක්ෂි දරයි. ඒවා කියවීම දුෂ්කර ය. අනෙක් අතට, වලස් උයනේ මහණාගේ ශෛලිය, චිත්ත වේගයන් පිළිබඳ හෝඩුවාවකුදු නො පෙන්වයි. එහි ස්වරය කිසිවිටෙකත් සරල බවින් පිට නො පනියි. කතාව විස්තර කිරීම ශීඝ්‍රගාමී ය: සමහර විටෙක වියළි ස්වභාවයකට සමීප වන සංක්ෂිප්තභාවයකින් යුක්ත ය: විමර්ශනයෙන් දුර්ලභ ය; රීතියක් වශයෙන් ම ප්‍රඥාවත් ය.
 
 










                                    05 

          කලා: පෙන්ග්වින් සිතුවම්හි ආදි කල්පිකයෝ

 
  පෙන්ග්විින් කලාව එහි සම්භවයේ සිට ම එය සතු බලගතු වූත්, ප්‍රබෝධමත් වූත් ප්‍රතිභා ශක්තියක් හේතු කොට ගෙන අන් සියලු කලාවන්ගෙන් සුවිශේෂ ව කැපි පෙනෙන බවත්, එම කලාවේ මූලාරම්භක කෘතීන් සුවිශේෂ කරනු ලබන්නා වූ සමාධිශීලීභාවය සහ තර්ක බුද්ධිය ලොව අන් කිසිදු තැනෙකින් සොයා යාම නිරර්ථක බවත් තහවුරු කිරීමෙහිලා පෙන්ග්වින් විචාරකයෝ ඔවුනොවුන් එකිනෙකා පරයමින් තරග වදිති. එතෙකුදු වුවත්, පෙන්ග්විනයන්ගේ අනුශාසකවරුන් හා ගුරු දේවයන්ව සිටියේ සිය කලාකරුවන් බවට ඉබ්බාගමුවෝ අයිතිවාසිකම් ගෙන හැර පාති.එම කරුණ පිළිබඳ මතයකට එළඹීම දුෂ්කර ය. මක්නිසාද යත් සිය ආදි කල්පික සිත්තරුන් පිළිබඳ ඇගයීමක් කිරීම ඇරඹීමට පෙරාතුව ම ඔවුන්ගේ කෘතීන් සියල්ල පෙන්ග්විනයන් විසින් වනසා දමනු ලැබූ නිසා ය. 
 
  මෙම අහිමි ව යාම පිළිබඳ අපට එතරම් ම කණගාටු විය නොහැක. මා ගැන කියන්නේ නම්, මට ඒ ගැන දැඩි පරුෂ හැඟීම් ඇති වෙයි. මන්ද යත් මා පෙන්ග්විනියානු පෞරාණිකයන් හට ගරු බුහුමන් දක්වන නිසාත්, ආදි කල්පිකයන් හට ප්‍රේම කරන නිසාත් ය. ඔවුහු ආනන්දජනක වන්නාහ. ඔවුන් එක හා සමාන යයි මම නො කියමි. මන්ද යත් එසේ කීම අසත්‍ය වන හෙයිනි : එහෙත් සියලු ම ගුරුකුලයන්හි දැකිය හැකි පොදු ගුණාංගයන් ඔවුන් ද සතුව ඇති හෙයිනි. මා මෙහිලා අදහස් කරනුයේ, ඔවුන් කිසිදා ඉවත නො දමන සුත්‍රයන් ගැන ය. ඊට අමතරව ඔවුන්ගේ කෘති තුළ නිමාවකට පත් වූ යමක් ඇත. මන්ද යත් ඔවුන් දන්නා දෙය හොඳින් දැන සිටි හෙයිනි. වාසනාවකට මෙන් ඉතාලියානු, ෆ්ලෙමිෂ්, ඕලන්ද ආදිකල්පිකයන් තුළින් ද අන් සියල්ලන්ටමත් වඩා උසස් වන්නා වූ ප්‍රංශ ආදිකල්පිකයන් තුළින් ද පෙන්ග්විනියානු ආදිකල්පිකයන් පිළිබඳ යම් අදහසක් අපට ඇති කරගත හැක. ගෘයර් මයා අපට කියා සිටින පරිදි ඔවුහු වඩා තර්කානුකූල වෙති. එසේ වන්නේ, තර්කානුකූලභාවය සුවිශේෂ ප්‍රංශ ජතික ගුණාංගයක් වන හෙයිනි. යමෙක් මේ කරුණ ප්‍රතික්ෂේප කළත්, අන් ජාතීන් ආදි කල්පිකයන් ගැන තවදුරටත් නොදනුවත්භාවයට පත්ව සිටිය දී පවා ඔවුන් ව කරේ තබා ගෙන සිටීමේ ගෞරවය අයත් වනුයේ ප්‍රංශයට බව නම් අවිවාදයෙන් ම පිළිගත යුතු ය. 1904 දී පවිලියොන් මාසාන් හි පැවති ප්‍රංශ ආදිකල්පිකයන් පිළිබඳ ප්‍රදර්ශනයේ දී, පසුකාලීන වලොවා රජු සමඟත්, හතරවැනි හෙන්රි රජු සමඟත් සමකාලීන වූ කුඩා ඵලකයන් ගණනාවක් ම විය.
  
  ෆන් අයික් සොයුරන්ගේ, මෙම්ලින්ගේ, රොජර් ෆන් වේඩන්ගේ, මරියා තුමියගේ මරණය සිතුවම් කළ අයගේ, ආම්බ්‍රොජියෝ ලොරෙන්සෙත්තිගේ සහ ඉපැරණි උම්බි්‍රයානු කලා ගුරුතුමන්ලාගේ සිතුවම් නරඹනු පිණිස මම චාරිකා කීපයක ම යෙදුණෙමි. එසේ ද වුවත්, මගේ ප්‍රවේශය සම්පූුර්ණත්වයට පත් කළේ බෲජස් හෝ කොලොඤ් හෝ සීනා හෝ පෙරුජාව හෝ නො වේ. ආදිකල්පික සිතුවම් පිළිබඳ ප්‍රවීණයකු බවට මා පත් වූයේ, අරෙස්සෝ නම් කුඩා නගරයේ දී ය. ඒ මීට වසර දහයකට හෝ ඊට වැඩි කලකට හෝ පෙර ය. දරිද්‍රතාවය සහ චාම් බව පිළිබඳ එම යුගයේ දි නාගරික කෞතුකාගාරයන් සාමාන්‍ය වශයෙන් වසා දමන ලැබ තිබුණේ වී නමුත්, විදේශිකයන් හට නම් ඒවා හැම විටක ම විවෘතව පැවතුණි. එක් සැඳෑවක එක් මහලු කතක් එක් ලීරාවක් ලබා ගෙන අරෙස්සෝ හි අශෝහන කෞතුකාගාරය ඉටි පන්දම් එළියෙන් මට පෙන් වූවා ය. එහි දී මට මාජිරිතෝන්ගේ සිතුවමක් දක්නට ලැබිණි. එහි වූයේ සාන්ත ෆ්‍රාන්සිස් ය. එහි ගැබ් වූ සමාධිශීලී ශෝචනීයභාවයෙන් මගේ දෙනෙතට කඳුළු ඉණුවේ ය. එදා පටන් අරෙස්සෝහි මාජරිතෝන් මගේ ප්‍රියාදරතම ආදිකල්පිකයා බවට පත් විය.
  
  මා ආදි කල්පික පෙන්ග්විනයන් සිතට නගා ගනුයේ ඒ මහා ප්‍රාඥයාගේ කෘතින් අනුසාරයෙනි. එහෙයින් මෙහි දී ඔහුගේ කෘතීන්, වැඩි අනු විස්තර සහිත ව නො වේ නම්, අවම වශයෙන් ඒවායේ වඩා පොදු අංශය කෙරෙහි, බිය සැක දුර ලා කියන්නේ නම් වඩා නියෝජනාත්මක අංශය කෙරෙහි යම් අවධානයකින් යුතු ව මවිසින් සලකා බලනු ලැබීම අර්ථ විරහිත යයි නො සිතේ.
  
  ඔහුගේ ම අතින් අත්සන් තබන ලද සිත්තම් පහක් හෝ හයක් හෝ අප සතු ව ඇත. ලන්ඩනයේ ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිත කොට තිබෙන ඔහුගේ විශිෂ්ට ම කෘතිය විදහාලන්නේ, සිහසුනක් මත අසුන් ගෙන සිය දෑතින් යේසු බිලිඳුන් උසුලා ගෙන සිටින කන්‍යා මරියා තුමියයි. මෙහි දැක්වෙන දේහය දුටු විට යමකුගේ සිතට මුලින් ම කාවදින දෙය නම් එහි ප්‍රමාණයයි. ගෙල සිට දෙපතුළ දක්වා ඇති දේහය, ඔලුව මෙන් දෙගුණයක් දිග ය. ඒ අනුව එය අතිශයින්  ම කාලගෝල වූවක් ලෙස පෙනී ගියේ ය. මෙම කෘතිය, එම සිත්තමේ වර්ණ සංයෝජනය අතින් වූවාට වඩා, ඇඳ තිබූ ආකාරය අතින් විශිෂ්ටත්වයෙන් නො අඩු විය. ශ්‍රේෂ්ඨ මාජරිතෝන් සතුව තිබුණේ සීමිත වර්ණ සංඛ්‍යාවකි. ඔහු ඒවායේ වර්ණ සංයෝගය, කිසිදු වෙනස් කිරීමකින් තොර ව පූර්ණ නිර්මලත්වයකින් යුතු ව යෙදී ය. මින් පැහැදිලි වූයේ ඔහුගේ වර්ණ සංයෝජනය තුළ මාධූර්යයට වඩා ප්‍රසන්නභාවය පැවති බව ය. කන්‍යාතුමියගේ සහ බිළිඳාාගේ කපෝලයන් දීප්තිමත් ගෙන්දගම් වර්ණයෙන් යුතු විය. ඉපැරණි විශාරද තෙමේ සුපැහැදිලි ව නිරූපණය කිරීම සඳහා වූ බොළඳ අභිරුචියකින් මඬ`නා ලදුව, එක හා සමාන පරිධිය දෙකක් එක් එක් මුහුණේ සලකුණු කළේ, හරියට ම ඒවා මාලිමා යුගලයකින් මැන ගත්තාක් මෙනි. 
 
අටවැනි සියවසේ සිටි උගත් විචාරකයකු වූ අබ්බේ ලාන්සි, මාජරිතෝන්ගේ කෘතීන් සැලකුවේ තියුණු අවඥාවකිනි. ඒවා ර`ඵ කුචිත්‍රයන් ය. ඒ “අභාග්‍ය සම්පන්න සමයන්හි දී ඇඳීමට හෝ වර්ණාලේප කිරීමට හෝ මිනිස්සු නොදත්හ” යනුවෙන් ඔහු ලියයි. එම අබුද්දස්ස කාලයේ විසූ කලා විශාරදයන්ගේ පොදු මතය එය විය. එහෙත් මෙම කුරිරු පිළිකුල වෙනුවෙන් ශ්‍රේෂ්ඨ මාජරින්තෝන්ගෙන් සහ ඔහුගේ සමකාලීනයන්ගෙන් වැඩි කල් නොගොස් ම පලිය ගනු ලැබූහ. බයිබලියානු ගම්මානයන්හි සහ සැදැහැයෙන් අනූන වූ එංගලන්තයෙහි පිළිසකර කෙරුණ කුඩා නිවෙස්වල දහ නව වැනි සියවසේ දී කුඩා සැමුවෙල්ලාත් කුඩා ශාන්ත ජෝන්ලාත් තොග පිටින් උපන්නාහ. ඔවුහු 1840 සහ 1820 පමණ වන විට, උපැස් පැළඳි මහාචාර්යවරුන් බවට පත්ව ආදි කල්පිකයන්ගේ නිකායක් පිහිටුවා ලූහ. 
 
  ප්‍රාග් රෆායල්වාදය පිළිබඳ විශාරද න්‍යායාචාර්ය වූ ශ්‍රීමත් ජේම්ස් ටකට්, ජාතික කෞතුකාගාරයේ වූ කන්‍යාතුමියගේ සිතුවම කිතුණු චිත්‍ර කලාවේ අග්‍රගණ්‍ය කෘතීන් සමඟ එක මට්ටමෙහිලා සැලකීමට නො පැකිළුණි. ශ්‍රීමත් ජේම්ස් ටකටයෝ මෙසේ කීහ.“ දේහයේ මුළු උස ප්‍රමාණයෙන් තුනෙන් එකක් ම කන්‍යාතුමියගේ ඔළුවට දීමෙන්, ඉපැරණි විශාරදයා ප්‍රේක්ෂකයාගේ අවධානය ඇද ගෙන, මිනිස් දේහයේ වඩා උතුම් කොටස් කෙරෙහි, විශේෂයෙන් ම ආධ්‍යාත්මික අවයවයන් ලෙස අප සාමාන්‍යයෙන් විස්තර කරන දෙනෙත් කෙරෙහි යොමු කර තබයි. මෙම සිත්තමෙහි වර්ණාලේපය සහ මෝස්තරය පරමාදර්ශී වූත් ගුප්ත වූත් හැඟුමක් ද්වනිත කරවයි. කපෝලයන්හි ගෙන්දගම් වර්ණය හමේ ස්වාභාවික පෙනුම මතකයට නො නඟයි. ඒ වෙනුවට පෙනී යන්නේ මාතාවන්ගේ හා බිළිඳාණන්ගේ මුහුණුවලට පාරාදීසයේ රෝස පැහැය ඉපැරණි විශාරදයා විසින් ආලේප කරනු ලැබූ සෙයකි. “ 

           මෙවන් විවේචනයක් තුළ අප දකින්නේ එයින් වර්ණනය කෙරෙන කෘතිය පිළිබඳ දිදුලන ප්‍රතිබිම්බයකි. එසේ ද වුවත්, එඩින්බර්ග්හි අත්‍යුත්කෘෂ්ඨ සෞන්දර්යවාදියා වන අමනමැක්, මෙම ආදි කල්පික සිත්තම දැක්මෙන් සිය සිත් සතන් තුළ උත්පාදනය වූ හැඟීම්, වඩාත් හද සසල කරවන අයුරින් හා විනිවිද යන අයුරින් ප්‍රකාශ කළේ මෙසේ ය. “මාජරිතෝන්ගේ කන්‍යා තුමිය කලාවේ ලෝකෝත්තර අවසානය අත්පත් කර ගනියි. එය එහි ප්‍රේක්ෂකයන් අවිහිංසකභාවය සහ නිර්මලත්වය පිළිබඳ හැඟුමෙන් මුසපත් කරවයි. මෙය කෙතරම් සත්‍ය ද යත්, හැට හය වැනි වියේ දී තෙපැයක් මුළුල්ලේ වඩා සමීප ව එය අවලෝකනය කිරීමේ ප්‍රීතිය භුක්ති විඳීමෙන් අනතුරු ව, කුඩා දරුවකු බවට මා පරිවර්තනය වන බවක් මටමත් හැඟී ගියේ ය. මගේ අශ්ව කරත්තය ට්‍රැෆල්ගා චතුරශ්‍රය ඔස්සේ මා රැගෙන යමින් සිටිය දී මම හිනැහෙමින් සිටියෙමි; දොඩවමින් සිටියෙමිග හරියට එය ශබ්ද නඟන සෙල්ලම් බඩුවක් වූවාක් මෙන් මගේ කණ්ණාඩි කොපුව සොලවමින් සිටියෙමි. මගේ බෝඩිමේ මෙහෙකාරිය මගේ ආහාර වේල දුන් විට, බාල වියේ පවතින සකල විධ මුග්ධත්වයෙන් යුතුව සුප් හැඳි මගේ කටට වත්කර ගනිමින් සිටියෙමි.” 

  කලා කෘතියක විශිෂ්ටත්වය සනාථ කෙරෙනුයේ එවන් ප්‍රතිඵල මඟිනැයි අමනමැක් එයට එකතු කර කියයි. 
 
  වසාරිට අනුව මාජරිතෝන් හැත්තෑ හත් වැනි වියේ දී මියැදුණේ, කලාවේ නව ආකෘතීන් ද ජනප්‍රියත්වයේ කිරුළු පලන් නව කලාකරුවන් ද දකිනු පිණිස ජීවත් වීමට සිදු වීම ගැන සංතාපයට පත් වෙමිනි.“ 
 
  පදානුගතාර්ථයෙන් මවිසින් පරිවර්තනය කරන ලද මෙම වැකි, සමහර විට ඔහුගේ කෘතියේ විශිෂ්ට ම විය හැකි පිටුවල දී, ශ්‍රීමත් ජේම්ස් ටකටයන් හට ද ඉමහත් ආස්වාදය ලබා දුනි. “සෞන්දර්ය සංහිතාව“ නම් වූ ඔහුගේ ග්‍රන්ථයේ කොටසක් සැකසෙන්නේ ඒවායිනි; සියලු ම ප්‍රාග්-රෆායෙල්වාදීහු ඒවා කට පාඩමින් ම දත්හ. මම ඒවා මෙම ග්‍රන්ථයෙහි අනර්ඝ ම මාණික්‍යයන් ලෙස බහා ලමි. හීබෲ අනාගත වක්තෘන්ගෙන් පසු මීට වඩා උතුම් වූ කිසිත් නො ලියැවුණ බවට ඔබ එකඟ වනු ඇත. 


                              මාජරිතෝන්ගේ දැක්ම


       මෑත දී නගරයේ පදිංචියට ආ තරුණ සිත්තරකුගේ චිත්‍රාගාරයට දිනෙක මාජරිනෝන් ගියේ ය. ඔහු එම චිත්‍රාගාරයේ තිබු, අලුතින් වර්ණාලේපිත කන්‍යා මරිය තුමියගේ සිත්තමක් දිටී ය. එය රළු විය; දෘඪතර විය. එතෙකුදු වුවත් ප්‍රමාණයන්හි වූ එක්තරා නිශ්චිතභාවයකින් ද, ආලෝකයේ සහ සෙවණෙහි ගොරබිරම් සම්මිශ්‍රණයකින් ද එය සැනසුමෙන් සහ ජීවයෙන් යුත් පෙනුමක් අත්කර ගති. අනාගත සිතුවම් කලාව කෙවැනි වනු ඇත් දැ යි කලා ප්‍රහීන වූත් උත්කෘෂ්ඨ වූත් අරෙස්සෝහි වැඩකරුවා මෙම දර්ශනයෙන් පසක් කර ගත්තේ සංත්‍රාසයෙන් යුතු ව ය. ඇස් බැම සිය දෑස් වලින් තද කර ගනිමින් හේ මෙසේ කියා සිටියේ ය. 
 
  “මෙම දේහය ප්‍රදර්ශනය නො කරන නිර්ලජ්ජිත දේ තවත් නම් වේ ද? ආත්මය සිතුවම් කරන්නාා වූත් ප්‍රේක්ෂකයා තුළ ස්වර්ගය පිළිබඳ දැඩි ආශාවක් ජනිත කරවන්නා වුත් කිතුණු කලාවේ අවසානය, මම මෙය තුළින් දකිමි. අපේ සිරුර සකස් කරන්නා වූ දේවල් බිත්තියක් හෝ ඵලකයක් හෝ මත විදහා දක්වා ලීමෙන් මෙම සිත්තම්කරු මෙන් ම අනාගත සිත්තම්කරුවන් ද නො වළකිනු ඇත. ඔවුහු ඔවුන්ගේ සිරුරු, මස් පිඩුවල බිහිසුණු ආකාරයන්ගෙන් වසාලනු ඇත. මේ සිතුවම් සැබෑ පුද්ගලයන් ලෙස දෘශ්‍යමාන වනු ඇත. ඔවුන්ගේ දේහයන් පෙනී යනු ඇත. ඒවායේ හැඩරුව ඔවුන්ගේ වස්ත්‍ර තුළින් දිස්වනු ඇත. සාන්ත මග්දාලෙන් හට ළමැදක් ද, සාන්ත මාර්තා හට බඩක් ද, සාන්ත බර්බාරා හට උකුලක් ද තිබෙනු ඇත. සාන්ත ඇග්නස්ට තිබෙනු ඇත්තේ තට්ටමකි. සාන්ත සෙබෙස්තියන් ඔහුගේ නාඹර රූප ශෝභාව පෙන්වා ලනු ඇත. සාන්ත ජෝර්ජ් සිය සන්නාහය යටින් ශක්ති සම්පන්න පෞරුෂයකට අයත් මස් ගොබ ප්‍රදර්ශනය කරනු ඇත. අපොස්තුලුවරයා ද, පාපෝච්චාරකයා ද, ධර්මාචාර්යවරු ද, දෙවියන් වහන්සේ ද, ඔබ සහ මා වැනි පුද්ගලයන් ලෙසින් පෙනී යනු ඇත. දේව දූතයන් හද කළඹන, දෙබිඩි, දෙකට දෙවාරම් හා ගුප්ත වේශයක් ගනු ඇත. මෙම නිරූපණයන් මඟින්, ස්වර්ගය දැක ගැනීමට කෙවැනි වූ ආශාවන් ජනිත කරනු ලබනවා ඇත් ද? කිසිවක් ම නැත. එහෙත් ලෞකික ජීවිතයේ ආකාරයෙන් ආශාවන් සතප්පවා ගැනීමට නම් ඔබ ඉන් ඉගෙන ගන්නවා ඇත. සිත්තරු ඔවුන්ගේ අනුවණ විමර්ශනය කොතැනින් කෙළවර කරනු ඇත් ද? කිසිවකිනුදු හෝ නො නවතිනු ඇත. රෝමානු ප්‍රතිමාවන් මෙන්, මිනිසුන් හා ගැහැනුන් නිරුවතින් දැක්වීම තරම් දුරට ඔවුන් ගමන් කරනු ඇත. ශුද්ධ වූ කලාවක් සහ ලෞකිකමය වූ කලාවක් පවතිනු ඇත. ශුද්ධ වූ කලාව අනෙකට වඩා ලෞකික බවින් නො අඩු වනු ඇත.”
  
  “යක්ෂයිනි, මා පිටුපස පෙළ ගැසෙව්!” ඉපැරණි විශාරදයා හඩ නගා කීය. මන්ද යත්, ධර්මිෂ්ඨයන් සහ සාන්තුවරයන් දොම්නසට පත් ක්‍රීඩකයන්ගේ පෙනුම අත් කර ගන්නා අන්දම, අනාගත වක්තෘමය දෘෂ්ටියක් තුළින් ඔහු දුටු හෙයිනි. ප්‍රභාමත් යටසායවලින් සැරසුණ ඇපලෝලා මල් බර කඳුයායකට වී මියුසස් මධ්‍යයෙහි බට නලා වයනු ඔහු දුටුවේ ය. සෙවණ ගෙන දුන් සුවඳැති ගස් වර්ගයක් පාමුල වීනස්ලා වැතිර සිටින අන්දමත්, දානෙයස්ලා සිය මනරම් අඟ පසඟ රන්වන් වර්ෂාපතනයට අල්ලා ගෙන සිටින අන්දමත් ඔහු දුටුවේ ය. ප්‍රභූන් ද, සුකොමළ ළඳුන් ද, ගන්ධබ්බයන් ද, ඇබිත්තයන් ද, නීග්‍රෝවරුන් ද, බල්ලන් සහ ගිරවුන් ද පිරිවරා ගෙන පල්ලියේ ගල්කණු යට වැඩ වසන යේයුස් වහන්සේගේ ඡායාරූප ඔහු දුටුවේ ය. මනුෂ්‍ය ගාත්‍රාවන්ගේ, විහිදුනු පියාපත්වල සහ පාවෙන සළුපිළිවල නිරවුල් නො කළ හැකි මහා අවුල් ජාලයක් ද, ඝෝෂාකාරී ජන සමූහයන් ද, සමෘධිමත් ශුද්ධ වූ පවුල් ද, කුරුසිය මත කෙරෙන දෘඪතර ඇණ ගැසීම් ද ඔහු දුටුවේ ය. සාන්ත කැතරින්ලා, සාන්ත බර්බාරාලා, සාන්ත ඇග්නස්ලා සිය විල්ලුදවල විසිතුරු සළුපිළිවල සහ මුක්තාභරණවල ඓශ්වර්යය මඟින් ප්‍රභූවරුන් දණ ගස්වනු ඔහු දුටුවේ ය. අවුරෝරාලා රෝස මල් විසුරුවා හරින අන්දමත්, නිරුවත් අප්සරාවන් හා අප්සරාවියන් සමූහයන් නිසසල දිය ඇලිවල ඉවුරු මත හිටි අඩියේ දෘශ්‍යමාන ව සිටින අන්දමින් ඔහු දුටුවේ ය. පුනර්ජීවනය පිළිබඳවත් බොලොඤ්ඤානු ගුරුකුලය පිළිබඳවත් දුටු බිහිසුණු පෙර-දැක්මක් මඟින් හුස්ම හිර කරනු ලැබීම කරණ කොට ගෙන ශ්‍රේෂ්ඨ මාජරිනෝන් මිය ගියේ ය.
                



                               06 

                         මාර්බෝදියස් 


  පසළොස් වැනි සිය වසට අයත් පෙන්ග්වින් සාහිත්‍යයේ මහඟු ස්මාරකයක් අප සතුව ඇත. එය නම්, වර්ජිල් කිවියා කෙරෙහි සාතිශය භක්ත්‍යාදරයෙන් යුතු ව මාර්බෝදියස් නම් වූ සාන්ත බෙනඩික්ටියානු නිකායට අයත් මහණා අපායට ගිය ගමනක් පිළිබඳ වෘත්තාන්තයයි. තරමක් හොඳ ලතින් බසින් ලියවුණ මේ වෘත්තාන්තය, ක්ලෝ ද ලිනේ මයා විසින් පළ කරනු ලැබී ය. ඒවා මේ පංතියට අයත් මධ්‍යකාලීන ලතින් සාහිත්‍යය පිළිබඳ අපූර්වතම නිදසුනක් නොවන බව නිසැක ය. එසේ වුවත් මෙම පිටුවල දී ඒවා හඳුන්වා දීමෙන් මා මගේ සහෝදර ජනතාවට සේවයක් කරන්නේ යයි මම සිතමි. ඒවා සමඟ සැසඳිය හැකි ප්‍රබන්ධ අතරින් සාන්ත බ්‍රෙන්ඩන්ගේ මුහුදු ගමන්, අල්බෙරිකස්ගේ දෘෂ්ඨිය සහ සාන්ත පැට්‍රික්ගේ නරකාදිය ද, දාන්තේ අලිගියෙරිගේ දිව්‍යමය ප්‍රභසනය වැනි, මලවුන්ගේ නිවහන් ලෙස සැළකෙන ස්ථාන පිළිබඳ කෙරුණ මනෝමය විස්තරයන් ද දැක්විය හැක. මාර්බෝදියස්ගේ වෘත්තාන්තය අලුත් ම කෘතීන් අතරින් එකකි. එහෙත් එය කිසිසේත් ම එවන් එක ම කෘතිය නම් නො වේ.
  
                        මාර්බෝදියස් අපායට පාත්වීම


දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පහළ වීමෙන් එක් දහස් හාරසිය පනස් තුන්වැනි වසරේ දී, කුරුසියේ සතුරන් හෙලේනාගේ සහ මහා කොන්ස්තන්තීනුන්ගේ නගරයට ප්‍රවිෂ්ඨ වීමට දින කීපයකට පෙරාතුව, කමකට නැති මහණකු වූ මාර්බෝදියස් තෙමේ, ඒ තාක් අන් කිසිවකු නොදුටු නො ඇසූ එම ග්‍රන්ථය මට දුන්නේ ය. මා ඒ ගැන විශ්වාසදායි විස්තරයක් ලීවේ ඒ පිළිබඳ මතකය මා හා සමඟින් වැළලී යාමට ඉඩ නො තබනු පිණිස ය. මන්ද යත් මිනිසා සතු කාලය කෙටි නිසා ය.
  
  පුර්වෝක්ත වසරේ මැයි පළමු වැනිදා මළ හිරු බැස යන සැන්දෑ යාමේ මම කොරිගාන් ආශ්‍රමයේ ගලක් මත වාඩි ලා, මා අතිශයින් ම ප්‍රිය කළ කිවියා වූ, එඩේරුන් හා විරුවන් ගැන ගී ගැයූ වර්ජිල්ගේ කාව්‍යයක් සුපුරුදු පරිදි කියවමින් සිටියෙමි. සැඳෑ කුමරිය සිය දම්වන් රැස් අසපුවේ ආරුක්කු අතරින් පතුරුවා ලමින් සිටියා ය. දිදෝ නමැති ෆීනිසියානු රැජින, සදාකල්හි ම රුහිරු වහනය වන සිය තුවාල ද ඇතිව, අපායේ හරිත වර්ණ තුරු වදුලු යටින් ඔබ මොබ යමින් සිටි අයුරු විස්තර කෙරෙන කවි පෙළ මම මුමුණමින් සිටිියෙමිිග සහෝදර ජාසිනිත් නම් වූ දොරටුපාලයා සමඟින් සහෝදර හිලරි ඒ මොහොතේ එතැන පසු කර ගියේ ය.
  
  මියුසස්ගේ පුනර්ජීවනයට පෙරාතු ම්ිලේච්ඡ යුගයන්හි හැදුණ වැඩුණ සහෝදර හිලරි, පුරාතනයන්ගේ ප්‍රඥා මහිමය උකහා ගෙන නො තිබුණි. එසේ ද  වුවත්, මන්තුවාගේ කාව්‍යයන් සූක්ෂ්ම ආලෝක ධාරාවන් මෙන් ඔහුගේ පරිඥානය තුළට යම් ආලෝක කදම්භයක් හෙළී ය. 
 
  “සහෝදර මාර්බෝදියස්, පොපියන ළමැදෙන් ද දිලිසෙන දෙනෙතින් ද යුතුව ඔබ ඔය මුමුනන කවි, උදේ සවස කිසිවිටෙකත් ඔබේ දෑසින් ඉවත් නො වන ඒ ශ්‍රේෂ්ඨ ඊනිඩ් කාව්‍යයට අයත් වන්නේ ද?“ යනුවෙන් ඔහු මගෙන් විමසී ය.
  
  අන්තීසේගේ පුතණුවන් අතු පතර සැඟවුණ චන්ද්‍රයා ලෙසින් දීදෝ දුටු අයුරු විස්තර කෙරෙන වර්ජිල්ගේ කෘතියක් මා කියවමින් සිටි බව මම පිළිතුරු වශයෙන් කීවෙමි. 
 
  “සහෝදර මාර්බෝදියස්” ඔහු පිළිතුරු දුනි. “වර්ජිල් හැමවිට ම ප්‍රඥාවන්ත ගැඹුරු අදහස් ප්‍රකාශ කරන බව මට නම් සහතිකයි. ඒත් සයිරක්‍යුසියානු බටනලාවෙන් ඔහු පිඹින ගීතවල මොන තරම් උදාර අදහස් තිබෙනව ද කියනව නම්, මොන තරම් ප්‍රශංසනීය දහමක් තිබෙනව ද කියනව නම් මම දිගින් දිගටම ඒවයින් වික්ෂිප්ත වෙනවා.”  

  “පියතුමනි කට, කට” යි සංක්ෂෝහිත හඩකින් සහෝදර ජාසිනිත් හඬ නඟා කීය. වර්ජිල් ය කියන්නේ යක්ෂයගෙ උදව්වෙන් පෙළහර පෑ විජ්ජාකාරයෙක්. එයා නේපල්ස් අසළ කන්දක් විනිවිද දුටුවෙත් සියලු ම අශ්ව රෝග නිවාරණය කිරීමට තරම් බලය ඇති ලෝකඩ අශ්වයෙක් නිර්මාණය කළේත් ඒ අනුවයි. එයා මන්තරකාරයෙක්. එයා මළවුන් ප්‍රාදූර්භූත කරවපු කණ්ණාඩිය ඉතාලියෙ එක්තරා නගරයක තියෙනව. ඒක තවමත් බලාගන්න පුළුවන්. එහෙම වුණත්, එක් ස්ත්‍රියක් මේ ඉන්ද්‍රජාලිකයා මුළා කළා. නියෝපොලිතියානු වරඟනක්, ඇගේ බඩු මුට්ටු උහුලගෙන යාමට පුරුදුව හිටපු පැස තුළින් ඇගේ කවුළුවට ඔසවන්න ඔහුට ඇරයුම් කර මුළු රැයක් පුරා ම ඔහු තට්ටු දෙක අතර එල්ලී සිටින විදියට වැඩ කටයුතු සැලැස්සුවා.”
 
  සහෝදර හිලරි මේ නිරීක්ෂණයන්ට සවන් දුන් බවක් නො පෙනුණි.
 
  “වර්ජිල් අනාගත වක්තෘ කෙනෙක්. එයා ඔවුන්ගේ ශුද්ධ වූ කාව්‍යයන් එක්කලම මන්ත්‍රකාරියොත්, ඒ වගේ ම ප්‍රියාම් රජුගේ දියණියත්, අනාගතය පිළිබඳ අනාවැකි කියන්නා වූ ප්ලෝටෝත් ගව් ගණනකින් පරද්දපු අනාගත වක්තෘවරයෙක්. එයාගේ සයිරකියානු සර්ගයේ හතරවැන්නේ දී, ලෞකික බසකට වඩා ස්වර්ගමය වූ බසකින් ස්වාමි දරුවාණන්ගේ උප්පත්තිය ගැන ඔහු පළ කළ අදහස් ඔබට දැන ගත හැකියි. මගේ මුල්කාලීන අධ්‍යාපන කටයුතුවලදී මම මුල්වරට ව්ප රුාසඑ ැඑ ඩසරටද  කාව්‍යය කියෙව්ව ම මම අපරිමිත ප්‍රීති ප්‍රමෝදයකින් නෑවුණා. ඒත් දෙවියන්ගෙ අභිමුඛයෙන් සදා වෙන් කෙරුණ, මිනිස් දෙතොලින් නික්මුණ උදාරතම අනාගත වක්තෘමය කාව්‍යයෙහි කතුවරයා සදාකාලික ඝනාන්ධකාරයේ අග්නි ජාලාවක් මැද ජරදුක් විඳින්නේ ය යන සිතිවිල්ලෙන් මම සැණෙකින් ම දැඩි ශෝකාකූල භාවයකින් වෙළී ගියා. මේ කුරිරු සිතුවිල්ල මා කෙරෙන් ඉවත් වුණේ ම නැහැ. මගේ අධ්‍යාපන කටයුතුවලදි යාතිකා ගැයීමේදිත් අසපුවේ කටයුතුවලදි පවාත්, එය මා පසු පස හඹාගෙන ආවා. වර්ජිල් දෙවියන් වහන්සේගෙ දර්ශන පථයෙන් වෙන් කෙරුණ බවත්, සමහරවිට ඔහු මදාවියන්ට අපායේදි අත්වන ඉරණමට ගොදුරු වී වද වේදනා විඳින බවත් සිතා ගැනීම නිසා, මට හිතේ සාමයවත් විවේකයවත් භුක්ති විඳින්න ලැබුණෙ නැහැ. මම මගේ දෑත් ස්වර්ගය වෙත විහිදාගෙන දිනකට කීපවතාවක් ම මෙන්න මෙහෙම කියා සිටින තරම් දුර ගියා. “අහෝ ! ස්වාමීන් වහන්ස, දේව දූතයන් ස්වර්ගයේ ගී ගයද්දී පෘථිවිය මත ගී ගැයූ ඔහුට ඔබතුමාණන් අත්කර දී ඇති ඉරණම මා හට අනාවරණය කරලනු මැනව!” 
 
 “යුදෙව් ජාතියට අයත් නොවන්නවුන් කිතුණු පල්ලියට ඇතුළත් කළා වූ ශ්‍රේෂ්ඨ සාන්ත පාවු`ඵ අපෝස්තුලුතුමා නේපල්ස්වලට ගොස්, කිවිවරුන්ගේ කුමාරණයාණන් වූ වර්ජිල්ගේ සොහොන් කොත කඳුළින් ශුද්ධත්වයට පත් කළ බව පැරණි පොතක තිබී මා කියෙව්වා. වසර ගණනක් ගත වූ තැන මගේ සංතාපය පහවුණා. ට්‍රෝජන් අධිරාජයා මෙන් ම වර්ජිල් ද පාරාදීසයට ඇතුළත් කරගනු ලැබූ බව විශ්වාස කිරීමට යම් යම් කරුණු තියෙනව. මොකද, වරද කරන විට පවා සත්‍යය පිළිබඳ පූර්ව දැනීමක් ඔහු සතුව තිබුණු නිසයි. එය විශ්වාස කරන ලෙස අපට බල කෙරෙන්නෙ නැහැ. නමුත් එය සත්‍ය බව පහසුවෙන් ම ඒත්තු ගන්න මට පුළුවන්.”

  එලෙස කතා කළ මහලු හිලරි ශුද්ධ වූ රාත්‍රියක සාමය අත්වේවා යයි මට සුභ පතා සහෝදර ජාසනිත් සමඟින් නික්ම ගියේ ය. 
 
  මගේ කිවිියාණන් පිළිබඳ ආනන්දජනක අධ්‍යයනය මම යළි පටන් ගතිමි. ප්‍රේමය එහි කුරිරු ව්‍යාධිය හා සමඟින් වනසා දමන පුද්ගලයන්, හරිත වර්ණ මර්ටල් වන මැද ඇති රහස් මාවතේ ඔබ මොබ යන අන්දම පිළිබඳව, පොත අතැතිව මම සිහි කළෙමි. මා එසේ කල්පනාවේ නිමග්නව සිටිය දී, තාරකාවන් හි සැලෙමින් තිබූ ප්‍රතිබිම්බයන් අසපුවේ ජලාශයන්හි තිබූ කොළ රහිත ඉමිහිරි සුවඳැති රෝස මල්වල ප්‍රතිබිම්බයන් සමඟ මුසු විය. හදිසියේ ම ආලෝකය ද සුගන්ධයන් ද අහසෙහි නිසසල බව ද යටපත් විය. කුණාටු සහිත ප්‍රචණ්ඩ උතුරු සුළඟක් හමා ගියේ ය. අන්ධකාරය මා දැඩිව වෙළා ගති. එය මා ඉහළට ඔසවා ලීය. දිවා රෑ ගණනාවකින් යුක්ත වූ දිගු රැයක් මුළුල්ලේ කුඹුරු, නගර, ගංගා හා කඳු උඩින් පිදුරු අහුරක් පරිද්දෙන් එය මා රැගෙන ගියේ ය. මේ දිග්ගැසුණ කුරිරු කෝපාවිෂ්ට වීමෙන් අනතුරුව, අන්තිමේ දී කුණාටුව නිසසල විය. එවිට මා සිටින්නේ මගේ මව්බිමෙන් ඈත එපිට පිහිටි, සයිප්‍රස් ගස්වලින් සීමාවන් සකස් වූ මිටියාවත පතුලේ බව මම දැන ගතිමි. එවිට අතිශය රූමත් කතක් සිය දිගු ඇඳුම් තමන් පසුපසින් ඇදගෙන යමින් මා වෙත පැමිණියා ය. ඈ ඇගේ වමත මගේ උරහිස මත තබා, දකුණත ඝන කොළවලින් යුතු ඕක් ගසක් වෙත දිගු කරගෙන සිටියා ය
.  
  “අර බලන්න” ඇය මට කීවා ය.
 
          ඇවර්නස් හී ශුද්ධ වූ වනය මුර කළ සිබිල් මම සැණෙකින් හඳුනා ගතිමි.ඇගේ අත යොමුව තිබූ ගසෙහි මුඩු සහිත අතු පතරෙහි වූ ප්‍රොසර්පින්ගේ පියකරු රන්වන් රිකිල්ල මම දුටිමි. 
 
  මම හඬ නගා මෙසේ කීවෙමි. “අහෝ ! අනාගත වක්තෘමය කන්‍යාතුමියනි, ඔබතුමිය මගේ ආශාව පසක් කර ගත්තෙහි ය; එය මේ අයුරින් සන්සිඳුවාලී ය. දිලිසෙන රිකිල්ල සහිත වෘක්ෂය ඔබතුමිය මට අනාවරණය කර දුන්නා ය. ඉන් තොරව මළවුන්ගේ නිවහන් පෙදෙසට පණ පිටින් යා නො හැක. ඇත්ත වශයෙන් ම වර්ජිල්ගේ අවතාරය සමඟ කථා කිරීමට පුල පුලා ගිජු ලෙස මම බලා සිටියෙමි.” 
 
  එසේ කී මම රන්වන් රිකිල්ල එහි ඉපැරණි කඳෙන් කඩා වෙන් කර, මඩ ගොහොදු සහිත වූ ස්ටයික්ස්හි ඉවුර වෙත යොමුව, දුම් දමමින් තිබූ බොක්ක වෙත නොබියව ඉදිරියට ම ගියෙමි. ප්‍රොසර්පයින් හට කැප කෙරුණ රිකිල්ල මම දුටිමි. ඉනික්බිති ෂරෝන් සිය යාත්‍රාවෙන් මා රැගෙන ගියේ ය. මගේ බරින් යට වූ එය කෙඳිරි ගෑවේ ය. මම මළවුන්ගේ වෙරළින් ගොඩ බැස්සෙමි. මා පිළිගනු ලැබුවේ තුන් ගුණැති රකුසකුගේ ගොළු හඬිනි. මම ඔහු වෙත ගලක් විසි කරන බවක් මවා පෑවෙමි. රකුසා බියපත්ව සිය ගුහාව තුළට පලා ගියේ ය. කාරුණික දිවා අලෝකයට අනුව දෑස් අරිමින් වහමින් සිටි ළමෝ මඩ වගුරුවල පඳුරු අතර ඔබ මොබ දුවමින් සිටියහ. එහි අඳුරු ගුහාවක් තුළ මිනෝස් මිනිසුන් විනිශ්චයට ලක් කළේ ය. ෆයේද්රා, ප්‍රොක්‍රීස්, දුක්ඛර එරිපීල්, ඊවානේ, පසිෆායේ, ලාඕදාමියා, වෙනිස් සහ ෆිනිසියානු දිදෝ යනාදි ප්‍රේමයේ ගොදුරු බවට පත්වූවන්, දොම්නස් සිතින් කරක් ගසමින් සිටි හරිතවර්ණ මර්ටල් වනයට මම පිවිසුණෙමි. ඉනික්බිති සුප්‍රකට රණ විරුවන්ට වෙන් කර තිබූ දූවිලි සහිත තැනිතලා ඔස්සේ මම ගමන් කළෙමි. ඔවුන්ගෙන් බැහැර වූ විට මාවත් දෙකක් විවෘත විය. වමෙන් වූ මාවත කෲරතරයන්ගේ නිවහන වූ තාතාරුස්වලට යොමු විය. මම දකුණට වූ මාවත ඔස්සේ ගමන් ගතිමි. එය යොමු වූයේ එල්සියම් වෙත සහ දිස්ගේ නිවහන් වෙත ය. දිව්‍යාංගනාවන්ගේ ද්වාරයෙහි ශුද්ධ වූ රිකිල්ල තැබූ මම, දම්වන් ආලෝකයෙන් පැහැ ගැන්වුණ ගොවියන්ගේ කුඹුරු වෙත පැමිණියෙමි. දාර්ශනිකයන්ගේ සහ කිවියන්ගේ කණ්ඩායම් මෙහි බැරෑරුම් සාකච්ඡා පවත්වති. ග්‍රේස්ලා සහ මියුසස්ලා තණ බිම මත සජීවි ගීතිකා කණ්ඩායම පිහිටුවා ගත්හ. මහලු හෝමර් සිය අවලක්ෂණ විණාව රැගෙන යමින් ගී ගැයී ය. ඔහුගේ දෑස් වැසී තිබුණි. එහෙත් ඔහුගේ දෙතොලෙහි දිව්‍යමය ප්‍රතිරූපයන් දිදුලුණි. සොලෝන්, ඩිමොක්‍රිටස් සහ පයිතගෝරස් තරුණයන් සමඟ පිට්ටනියෙහි ක්‍රීඩා කරනු නරඹමින් සිටිනු මම දුටිමි. ඉපැරණි මල්දමක් තුළින් මම හෙසියොඩ්, ඔර්ෆසස්, ශෝකාකූල යුරිපිඩස් සහ පෞරුෂවත් සප්පා දුටිමි. හොරේස් කිවියා, වේරියස්, ගලුස් සහ ලයිකෝරිස් නැවුම් ජලාශ්‍රයක ඉවුරෙහි වාඩිලා සිටිය දී මම ඔවුන් පසු කර ගියෙමි. මම ඔවුන් හඳුනා ගතිමි. ඊට තරමක් ඈතින් අඳුරුවන් ඕක් ගසකට පිටදී සිටි වර්ජිල්, කුඩා වනය දෙස කල්පනාකාරීව බලා සිටියේ ය. උත්තුංග වූ, එනමුදු කෘශ දේහධාරී වූ ඔහු සිය කාල වර්ණය ද අර ග්‍රාම්‍ය විලාශය ද නොසැලකිලිමත් ලීලාව ද ඔපයෙන් තොර පෙනුම ද තවමත් රැක ගෙන සිටියේ ය. ඔහුගේ ජීවිත කාලය මුළුල්ලේ ඔහු සතු අති විශිෂ්ටත්වය සැඟවී තිබුණේ ඒවා තුළ ය. මම ඔහුට බැතියෙන් ආචාර සමාචාර කොට, දිගු වේලාවක් ගත වන තෙක් කථා කර ගත නො හැකිව සිටියෙමි.
  
  අන්තිමේ දී, මගේ නැවතුණ කටහඬ උගුර පල්ලෙන් පිට කළ හැකි වූ කල් හි මම මෙසේ හඬ ගා කීවෙමි. 
 
  “අහෝ ! අවුසෝනියානු මියුසස්ලා හට ඒ සා ප්‍රියාදර වූ, ලතින් නාමයෙහි ගෞරවය වූ වර්ජිල් කිවියාණනි, ලස්සන යනු කිමෙක්දැයි මා පසක් කර ගත්තේ ඔබ මගිනි. දෙවියන්ගේ මේස සහ දිව්‍යාංගනාවන්ගේ යහන් කිමෙක්ද යි මා පසක් කර ගත්තේ ඔබ මගිනි. ඔබට ප්‍රේම කරන්නන් අතරින් අතිශයින් ම සුවචයාගේ ප්‍රශංසාවන් භුක්ති විඳිනු මැනව!” 

  “නැඟී සිටුව! අමුත්තාණනි දිව්‍යමය කිවියා පිළිතුරු දුනි. “නුඹ මළවුන් අතරෙහි ජීවත්වන බවත් නුඹගේ දේහය සදාතනික සැඳෑවේ තණතිල්ල මත ගමන් ගන්නා බවත් මම පසක් කරමි. අප හා ජීවත් වන්නවුන් අතර සියලු ම ආකාර සම්බන්ධතාවයන් පැවැත්වීම දුෂ්කර වුවත්, සිය මරණයට පෙරාතුව මෙම නිවහන්වලට පාත් වූ පළමුවැන්නා නුඹ නො වේ. ඒත් ප්‍රශස්ති ගායනය නවතන්න. ප්‍රශංසාවන්ට මම කැමති නැහැ. යශෝකීර්තිය පිළිබඳව කෙරෙන ව්‍යාකූල ඝෝෂාවන් හැම විට ම මගේ කනෙහි යවුල් අනින්නාක් වැනි විය. මා රෝමයෙන් පලා ගියේ ඒ නිසයි. එහි දි මා ප්‍රකටව සිටියේ කම්මැලියන් හා අරුම පුදුම අය අතරෙහි ය. එහි දී මා කටයුතු කළේ මගේ සදාදරණීය පාතනෝගෙන් හුදකලාව ය. නුඹේ පරම්පරාවට අයත් මිනිසුන් මගේ කාව්‍යයන් තේරුම් ගනීිවි යයි මා එකල ඒත්තු ගෙන නොසිටි නිසා, නුඹ කරන ප්‍රශංසාවන්ගෙන් මා සතුටට පත් විය යුතු ය. නුඹ කවරෙක් ද?” 
 
  “මම අල්කා රාජධානියේ මාර්බෝදියස් නමැත්තායි. මා රැකියාව කළේ කොරිගාවල ආශ්‍රමයේ. මම දිවා රෑ ඔබේ කවි කියෙව්වා. මම අපායට ආවේ ඔබ තුමා බැහැදකින්නයි. ඔබතුමාගේ ඉරණම මොකක් ද කියල දැන ගන්න මම නොඉවසිල්ලෙනුයි හිටියෙ. පෘථිවියේ උගත්තු ඒ ගැන නිතර ම වාද විවාද කර ගන්නව. යක්ෂයන්ගේ වසඟයට පත් වෙලා ජීවත් වුණ නිසා, නිවා දාන්න බැරි ගිනි ජාලාවක් මැද ඔබ තුමා දැන් දැවෙමින් සිටින බව සමහරු කියනව. වඩා ඇඟ බේරා ගෙන කථා කරන අය මතයක් ප්‍රකාශ නොකර ඉන්නෙ, මළවුන් ගැන කියවී තිබෙන දේ අස්ථිර බොරුවලින් පිරුණ දේ බව විශ්වාස කරමිනුයි. තවත් බොහෝ දෙනෙක්, ඇත්ත වශයෙන් ම ඔවුන් දක්ෂ ම අය නූනත්, කියා සිටින්නෙ ඔබතුමා සිසිලියානු මියුසස්ගේ කටහඬ උසස් තත්ත්වයකට නංවපු නිසාත් නව දරු පරම්පරාවක් ස්වර්ගයෙන් පහළ වන බවට අනාවැකි කියපු නිසාත් ට්‍රාජන් රජතුමා වගේ ම ඔබ තුමාත් කිතුණු ස්වර්ගයේ සදාතනික ආශීර්වාදය භුක්ති විඳිනු පිණිස ඇතුළත් කර ගෙන සිටින බවයි.” 

  “වැඩේ එහෙම කෙරිල නැති බව නුඹට ම පේනවනෙ” අවතාරය සිනහසෙමින් කීය. 
 
  “අහෝ ! වර්ජිල්, ඔබ තුමා විසින් ම විස්තර කරනු ලැබූ එම එල්සියානු තණබිම්වල විරුවන් හා මහා ප්‍රාඥයන් අතර ඔබ තුමා සිටින බව මට පේනවා. ඒ අනුව පෘථිවියේ බොහෝ අය විශ්වාස කරනවාට වඩා පටහැණි ලෙස, ඉහළ වැඩ වසන එතුමාණන් වහන්සේ වෙතින් ඔබ සොයා කිසිවකු පැමිණ නැහැ!” 
 
  තරමක් දිගු නිහැඬියාවකින් පසු ඔහු මෙසේ කීය.
  
  “මම ඔබෙන් කිසිවක් සඟවන්නේ නැහැ. එතුමා මා කැඳෙව්වා. එතුමාණන් මා අපේක්ෂාවෙන් බලා සිටින බවත් ඔවුන්ගේ ගුප්ත ලෝකය තුළට මා ඇතුළත් කර නො ගන්නා නමුත්, මා ලියූ අනාගත වක්තෘමය කාව්‍යයන් සැලකිල්ලට ගනිමින් නව නිකායන් අතර මා වෙනුවෙන් නිවසක් වෙන් කර තිබෙන බවත් මට දැනුම් දීමට එතුමාණන්ගේ දූතයෙක් ලෙස එක් චාම් මිනිහෙක් මෙහි ආවා. ඒත් මම ආරාධනය ප්‍රතික්ෂේප කළා. මගේ තැන වෙනස් කරන්න මා තුළ කැමැත්තක් තිබුණෙ නැහැ. මම එහෙම කළේ, එල්සියානු තණබිම් කෙරෙහි ග්‍රීකයන් තුළ තිබුණ ප්‍රසාදය මා තුළත් තිබෙන නිසා නම් නො වෙයි. ඒ වගේ ම ප්‍රොසෙර්පයින්ට එයාගෙ මව ගැන තිබූ මතකය නැති කර දමීමෙන් ලැබුණ ප්‍රීති ප්‍රමෝදයන්ගෙන් මා මෙහිදී ආශ්වාදය ලබන නිසාවත් නොවෙයි. ඊනිඩ් කාව්‍යයේ දී මේ කරුණු පිළිබඳව මම කියපු දේ ගැන මමවත් ඒ තරම්ම විශ්වාසයක් තැබුවේ නැහැ. මට උපදෙස් දුන්නේ දාර්ශනිකයොයි විද්‍යාඥයොයි. සත්‍යය පිළිබඳ නිවැරදි පෙර දැක්මක් මට තිබුණා. අපායෙ ජීවිතය හරි ම කෙලෙස් ප්‍රහීන වූවක්. අපට සතුටවත් වේදනාවවත් දැනෙන්නෙ නැහැ. අපි ඉන්නෙ හරියට අප නැතිවාක් වගෙයි. ජීවත් වන්නවුන් විසින් ලබා දෙන පැවැත්ම හැර අන් පැවැත්මක් මළවුන් හට මෙහි ඇත්තෙ නැහැ. එහෙම වුනත් මෙහේ ඉන්න මම වඩා කැමතියි.”
  
          “ඒත්, අහෝ ! වර්ජිල්, ඒ සා පුදුමාකාර වූ ප්‍රතික්ෂේප කිරීමක් කරන්න ඔබ ඉදිරිපත් කළ හේතු දැක්වීම කුමක් ද?” 
 
  “මම අති විශිෂ්ට හේතු දැක්වීම් කළා. එතුමා මවෙත ගෙනා ගෞරවය ලැබීමට මා නුසුදුසු බවත් මගේ කාව්‍යයන්ට ඒවා තුළ නොතිබූ අර්ථයක් දී ඇති බවත් මම දෙවියන් වහන්සේගේ දූතයාට කීවා. ඇත්ත වශයෙන් කියනවා නම්, මම මගේ හතර වැනි සර්ගයේ දී, මගේ මුතුන් මිත්තන් තුළ පැවති විශ්වාසය පාවා දුන්නේ නැහැ. නිමිති මගින් අනාවැකි පහළ කරපු, ස්වර්ණමය යුගය ආපසු පැමිණීම අභිනන්දනය කරන කාව්‍යයක් ම්ලේච්ඡ දෙවියකුට පක්ෂපාති වූ කාව්‍යයක් ලෙස අර්ථ කථනය කළේ යම් යම් මුග්ධ යුදෙව්වන්  පමණයි. ඒ අනුව, යම් වැරදීමකින් මට ප්‍රදානය කෙරෙන තැනක් දරීමට මට නොහැකි ය යන කරුණත්, ඒ සඳහා මට අයිතිය නැති බව මම අවබෝධ කර ගෙන සිටින්නේ ය  යන කරුණත් පදනම් කර ගෙනයි මම මෙහෙ ඉන්න අවසරය ලබා ගත්තේ.     ඊට පස්සේ, නව ස්වර්ගයන් හි පවතින වාරිත්‍ර ධර්මයන්ට අනුකූල නොවන මගේ චරිත ස්වභාවය ද රුචි අරුචිකම් ද මා ගෙන හැර දැක්වූවා.
  
“මම සමාජ ආශ්‍රයට අකමැති නැහැ” මා එම මිනිසාට කීවා. “මගේ ගති පැවතුම් බොහෝ ම සරල නිසා, තෘෂ්ණාව ගැන සැක කරන්න මට සිද්ධ වෙනව. එහෙම වුනත් මම මගේ ජිවිතේ දි ආචාරශීලී වුණා. සැහැල්ලු චරිතයක් ගත කළා. මම කිසි ම දෙයක් මට පමණක් තබා ගත්තේ නැහැ. මගේ පුස්තකාලය සියලු දෙනාට ම විවෘත වුණා. මිතුරන් අතරෙහි සියල්ල පොදුවේ තිබිය යුතු ය කියන යුරිපිඩස්ගේ විශිෂ්ට කියමන අනුව මම මගේ චරියාව ම හැඩ ගස්ස ගත්තා. මට ලැබුණු විට බලයෙන් ලබා ගත් දෙයක් හැටියට පෙනුන ප්‍රශංසාවන්, ඩේරියස්ට හරි මාර්යස්ට හරි ලැබුණ ම ඒවා මට අනුමත කරන්න පුළුවන් දේ බවට පත් වුණා. ඒ වුණත් ගැඹුරින් සලකල බැලුවම මම ග්‍රාම්‍යයි. අශීලාචාරයිග  මම සතුන්ගේ සමාගමයෙන් ප්‍රීතියට පත් වුණා. මම උන්ව නිරීක්ෂණය කරන්න මොන තරම් උද්යෝගිමත් වුණා ද කියනව නම්, උන්ට කොයි තරම් හොඳට සැලකුවද කියනව නම්, හොඳ පශු වෛද්‍යවරයෙක් විදියටයි මාව සැලකුවේ. එහෙම සලකන කොට ඒගොල්ලන්ට එහෙම පිටින් ම වැරදුණේ නැහැ. නුඹේ ජාතියේ මිනිස්සු තමන්ට අමරණීය ආත්මයක් තියෙන බවට අයිතිවාසිකම් පාන බවත්, එහෙම වුනත් සතුන්ට එවැන්නක් තිබෙන බව ප්‍රතික්ෂේප කරන බවත් මට කියල තියෙනවා. ඒක ඒ ගොල්ලන්ගෙ නිගමනය ගැන සැක කරන්න මා යොමු කරන මහා විකාර කතාවක්. සමහර විට මම සත්ව රූපවලටයි එඩේරුන්ටයි තරමක් ඕනැවට වඩා වැඩියෙන් ප්‍රේම කරනව වෙන්න පුඵවන් . නුඹලා අතර එය නිවැරැදි ය කියල සැලකෙන්නෙ නැහැ. මම අනුගමනය කරන්න උත්සාහ දරණ ආත්තෝපදේශයක් නියනවා. ඒක තමයි ඕනවට වඩා මොකුත් ම එපා කියන එක. මගේ දුබල සෞඛ්‍ය තත්ත්වය මඟින් ඉගැන්වෙනවටත් වඩා වැඩියෙන් මගේ දර්ශනය මට උගන්වන්නේ, හැම දෙයක් ම මිම්මක් කිරුමක් ඇති ව පාවිච්චි කරන ලෙසයි. මම මත්පැන් ගන්න කෙනෙක් නෙවෙයි. මගේ ආහාරය සලාදයිල යම් ප්‍රමාණයක් ඔලිව් එක්ක ලෆ්ලේනියානු වයින් ටිකකුයි. ඇත්ත ම කියනව නම් නන්නාඳුනනා ගෑනු එක්කලා මම එක්තරා දුරක් ගිහින් තියෙනව. ඒත් ක්‍රෝතාලුම් වල හඬට අනුව නටන තරුණ සයිරන්වරුන් නරඹන්න මම තැබෑරුම්වලට වෙලා රස්තියාදු වුණේ නැහැ. ඒ වුණත් මම මගේ අදහස් යටපත් කර ගත්තා නම් එහෙම කළේ මගේ ම තෘප්තිය සඳහාත්, හොඳ විනයක් පවත්වා ගැනීම සඳහාත්, ප්‍රීති ප්‍රමෝදයට පත් වීමත් ප්‍රීතියෙන් පළා යාමත් මට නම් පෙනෙන්නේ, යමෙකුට සොබා දහමට කරන්න පුළුවන් නරක ම නිග්‍රහය විදියටයි. නුඹලාගේ දෙවියන්ගේ සමහර නියෝජිතයො ඔවුන්ගෙ ජීවිත කාලයන් තුළදි බ්‍රහ්මචර්යාවට තියෙන ලැදියාව නිසා ආහාරයෙන් වැළකුණ බවත් ස්ත්‍රීන් මග හැරි බවත් වැඩකට නැති දුක් වේදනාවන් විඳීමකට විහින් ගොදුරු වුණු බවත් මම සහසුද්දෙන් ම දන්නවා. ඒ අපරාධකාරයන් මුණ ගැහෙන්න මම නම් හරි බයයි. ඒ ගොල්ලන්ගෙ උන්මාදය මා බියෙන් මුසපත් කරවනව. කිසි ම විද්‍යාත්මක හෝ සදාචාරමය හෝ ධර්මයකට ඕනවට වැඩියෙන් ඇලි ගැලි සිටින ලෙස කිසිවෙකුගෙන් නො ඉල්ලිය යුතුයි. මම රෝමන්වරයෙක්. රෝමන්වරු ග්‍රීකයන්ට වඩා වෙනස් ලෙස, සියුම් විදියකින් විමර්ශනවල නිරත වීමට අපොහොසත්. ඔවුන් දර්ශනයක් පිළිගන්නවා නම් එහෙම කරන්නෙ, අන් හැම දේකටමත් වඩා එයින් යම් ප්‍රායෝගික වාසි ලබා ගන්නයි. අප අතර ඉමහත් කීර්තියක් භුක්ති විඳින සයිරෝ, මට එපික්‍යුරස්ගේ ක්‍රමය උගන්වලා, කමකට නැති බියපත්වීම්වලින් මා මුදා ගත්තා. ආගම මගින් මුග්ධ මිනිසුන්ව පොළඹවාලන කෲර ක්‍රියාවන්ගෙන් මා ඉවතට යොමු කළා. මිනිස්සු ගැනයි සත්තු ගැනයි තිබෙන පයිතගෝරස්ගේ අදහස් මම වැළඳ ගත්තා. ඒ දෙකේ ම දිව්‍යමය අන්තර්ගතයක් තිබෙනව. ආඩම්බරයෙන් තොරව, ලැජ්ජාවෙන් තොරව අප ගැන බලන්න මෙය අපට ඇරයුම් කරනව. මුල දී මෘදුව පැවතුණ, හැඩයක් නොතිබුණ පෘථිවිය නේරොයස් එයාගේ උණුසුම් ගෙවල් හාරන්න ඉන් ඈත් වුන ප්‍රමාණයට සමානුපාතිකව හැඩිදඩි වුන හැටි මම ඇලෙක් සන්ද්‍රියානුවන්ගෙන් ඉගෙන ගත්තා. නොදැනුවත්ව යම් යම් දේ සකස් වුණේ කොහොම ද කියලා මම ඉගෙන ගත්තා. බරවුන වලාකුළුවලින් ඇද හැලුණ වැස්ස නිහඩතාවයෙන් යුතු කැලෑවල් පෝෂ්‍ය කරවන හැටිත්, නිමක් නැති කඳු මුදුන් මත සතුන් අතලොස්සක් කරක් ගහපු හැවිත් ඉගෙන ගත්තා. නුඹලාගේ ලෝකෝත්පත්ති ශාස්ත්‍රය මට දිරෙව්වේ නැහැ. මොකද ඒක සාමෝස්වල අරිස්ටා කස්ුගේ ගෝලයකුට වඩා සිරියානු කාන්තාරෙ ඔටුවාරෝහකයෙකුට ගැලපෙන බව මට පෙනුණ නිසයි. මට මගේ මිතුරන්, මගේ මුතුන් මිත්තන්, මගේ දරුවන් සහ මගේ දෙවියන් හමුවන්නේ නැති නම්, රියාගේ උත්තම පුත්‍රයා හරි, එයාගෙ සිනහව සමඟින් ඊනස්ගේ මව වන වීනස් හරි, පෑන්ව හරි, තරුණ ප්‍රියාව හරි, සිල්වාන්ස් හරි, ඊගල්ගේ දම්පාට මල් බෙරි වලින් ඔහුගේ මුහුණ පැල්ලම් ගැහුණ සයිලේනුස් හරි මට දැක ගන්න දෙන්නෙ නැත්නම්, ඔබේ මේ සුන්දර නිවහනේ දී මට මොන කලක් යාවි ද? ජුපිටර්ගේ අන්තරාගාමිකයා ඉදිරියේ කියා සිටින ලෙස අර සාමාන්‍ය මිනිහගෙන් මම ඇයද සිටියේ එම හේතු තමයි.” 

   “අහෝ ! ශ්‍රේෂ්ඨ ආත්මයාණනි, එතැන් සිට ඔබට වෙන අන් පණිවුඩයක් නොලැබුණේ ද?”
  
  “මට කිසි ම පණිවුඩයක් ලැබුණෙ නැහැ.” 
 
  “අහෝ ! වර්ජිල්, ඔබ නොමැති වීමෙන් සැනසුම ලබා ගැනීමට ඔවුන්ට දන් කිවියන් තිදෙනෙක් ඉන්නවා. ඔවුන් නම් කොමෝදියානුස්, පෲදෙන්තියස් සහ ෆෝර්තුනාකුස්. ඔවුන් තුන්දෙනා ම ඉපදුනේ කාව්‍ය කරණය හෝ ව්‍යාකරණය හෝ දැන නො සිටි ඒ අඳුරු දිනවලදියි. ඒත් මට කියන්න, අහෝ ! කිවියාණනි, ඔබ ඒ තරම් ම හිතාමතා සමාගමය ප්‍රතික්ෂේප කරපු දෙවියන් වහන්සෙගෙන් වෙන අන් රහසක් ඔබට කවදාවත් ලැබුණෙ නැද්ද?”  
“මට නම් ඒක මතක නැහැ”  
“මෙම නිවහනවලට පණ පිටින් සිටිය දී ඔබ හමු වීමට පැමිණි පළමුවැත්තා මා නො වන බව ඔබතුමා මට කිව්වේ නැද්ද?” 
 
  “මට නම් ඒක මතක නැහැ” 
 
  “ඔබ මට එය යළිත් සිහි ගන්වනවා. සියවස් එක හමාරකට ඉහත දී, ඔව්, මට මතක හැටියට ඒ තරම් කලකට ඉහත දී (අවතාරයත් අතර සිටින විට දින වකවානු හරියට ගණන් ගැනීම හරි ම දුෂ්කරයි.) මා තුළ පැවති සාමකාමී තත්ත්වය තුළට එක්තරා පුදුමාකාර අමුත්තෙක් බලහත්කාරයෙන් ම පිවිසුණා. ස්ටයික් ප්‍රදේශයට අයත් සීමාවේ, අඳුරු පියන් පත් ලොව වැටෙන වෙලාවන්හි දි ඔබ මොබ සක්මන් කරද්දි, මෙම වෙරළෙහි වසන්නන්ට වඩා විනිවිදයනසුලු ලෙස නොපෙනෙන, කලු පැහැති මිනිස් වෙස් ගත්තකු මා ඉදිරියෙහි නැගී සිටිනු මා දුටුවා. ඔහු උසයි. කෙට්ටුයි. ඔහුට තිබුණේ වකුටු නහයක්, උල් නිකටක්, හිස් කොපුල්තල. ඔහුගේ කලු පැහැති දෙනෙත් වලින් ගින්දර පිට වුණා. මල් දමකින් බැඳුණ රතු වැස්මකින් ඔහුගේ තුනීි ඇස් බැම වැසී තිබුණා. ඔහුගේ ඇටකටු ඔහුගේ දෙපා තෙක් පහතට වැටුනු දුඹුරු පැහැ ගැන්වුන ඝනකම කබාය පසාරු කර ගෙන ගියා. ඔහු මට ගෞරව පූර්වකව ආචාර සමාචාර කළා. එහෙම කළේ ලොකු ආඩම්බරයකිනුයි. දිව්‍යමය ජුලියන් එයාගේ සේනාංකයි කියුරියා සභාවයි පුරවල දාපු ගෝල්වරුන් කළ කථාවලට වඩා දුරවබෝධ, වැරදි කථාවකිනුයි ඔහු මා ඇමතුවේ. ආර්නෝවල ඉවුරු වල සුල්ලා විසින් පිහිටවනු ලැබූ සමෘද්ධිමත් එට්‍රස්කන් ජනපදයක තිබූ ෆිපිසෝල් පෙදෙස අසබඩ ඔහු ඉපදුන බවත්, පෞර රාජ්‍යයේ ගරු බුහුමන් ලැබූ බවත්, එනමුත් සෙනෙට් සභාවත් නයිට්වරුත් ජනතාවත් අතර හට ගැනුණ ලේ වැකි ගැටුම්වලට ඔහු දැඩි ලෙස මැදිහත් වූ බවත්, පරාජය කරනු ලැබූ රටින් පිටුවහල් කරනු ලැබූ බවත්, පිටුවහලේ සිටිය දී ලොව වටා ගිය බවත් මට අන්තිමේ දි අවබෝධ වුනා. ඔහු මට ඉතාලිය විස්තර කර දුන්නේ මගේ තරුණ කාලෙදී පැවතියාට වඩා යුද්ධ හා ගැටුම්වලින් පිරුණ රටක් ලෙසයි. දෙවැනි ඔගස්ටස් යළි පහළ වන තෙක් බලා සිටින බවත් ඔහු මට කීවා. මා ඔහුගේ කාලකණ්ණිභාවයන් ගැන අනුකම්පා කළේ, පෙර කල මා විඳි දුක් ගැහැට සිහිපත් කරමිනුයි.
  
  “හැඩි දැඩි ආත්මයක් නොනැවතීම ඔහු සසල කර වී ය. ඔහුගේ මනස ශ්‍රේෂ්ඨ සංකල්පයන් ජාතක කළේ ය. එහෙත් අහෝ! ඔහුගේ අවිනීත භාවයත් අමනකමත් මඟින් ප්‍රදර්ශනය කෙරුණේ, මීලේච්ඡත්වයේ විජයග්‍රහණයකි. ඔහු පද්‍යයන් හෝ විද්‍යාව හෝ ග්‍රීකයන්ගේ භාෂා පවා හෝ නොදත්තේ ය. ලෝකයේ සම්භවය සහ දෙවිවරුන්ට අදාළ පරම්පරානුගත කථා පිළිබඳව ද හේ නොදැනුවත් විය: නාන තටාකයටන්ට ඇතුල්වීමේ ගාස්තු ගෙවීමට තරම්වත් නොමේරු, ළදරුවන්ගේ මුවගට පවා හසරැලි නංවන ජනප්‍රවාදයන්ගෙන් මහා බැරෑරැම් බවක් ආරූඪ කර ගෙන, ඒවා යළි යළිත් ඇද බෑවේ ය. අශික්ෂිතයෝ රකුසන් පහසුවෙන් ම විශ්වාස කරති. රෝගී වූ මිනිසකුගේ ස්වප්නයක් මෙන් ගුප්ත වූ යකුන්ගෙන් නිරය පුරවා ලූයේ එට්‍රස්කන්වරුයි. ඒ සා සියවස් ගණනාවක් ගත වීමෙන් පසුත්, ඔවුන් සිය ළඳ බොළඳ මවා ගැනීම් අත හැර නොදමීමේ කාරණය, අමනකමේ සහ කාලකණ්ණිභාවයේ අඛණ්ඩ පැවැත්මත් ප්‍රගතියත් මගින් පැහැදිලි කරලනු ලැබේ. එහෙත් සාමාන්‍ය මට්ටමින් ඉහළ නංවනු ලැබූ මනසකින් හෙබි ඔවුන්ගේ පාලකයන් අතරින් එකකු මෙම ජනප්‍රිය මිථ්‍යාවන් පිළිගැනීමත්, පෝර්සේනාගේ සමයෙහි දී සිය සොහොන් කොත්වල බිත්ති මත එරට වැසියන් සිත්තම් කළ ගුඪ යක්ෂයන් නිසා බියෙන් මුසපත් වීමත් නම්, සාන්තුවරයකු පවා කම්පාවට පත් කර විය හැකි කරුණකි. මගේ එට්‍රස්කන් ජාතික ආගන්තුකයා නව උප භාෂාවකින් තමා ප්‍රබන්ධ කළ පද්‍යයන් මා හට ගායනා කර දැක්වූවා. ඔහු එම උප භාෂාව හැඳින්වූයේ අශික්ෂිත භාෂාව යනුවෙනි. එහි තේරුම කුමක්දැයි මට වැටහුණේ නැහැ. රිද්මය සනිටුහන් කර ගැනීමෙහිලා දැරූ ප්‍රයන්තයන් තුළ දී, නියමිත අතරතුර කාල සීමාවන් අතර ඔහු එම හඬ ම තුන් හතර වරක් ප්‍රතිරාවය කරනු ශ්‍රවණය වූ විට සිදු වූයේ, මගේ කන් වශී වනවාට වඩා, ඒවා නොඇදහිය හැකි දේ බවට පත් වීමයි. එම උපාය බුද්ධි ගෝචර වූවක් ලෙස මට නො පෙනුණි. එහෙත් නව නිර්මාණයක් විනිශ්චයට ලක් කිරීම මළවුන් හට අයත් කාර්යයක් නො වේ.  
“එහෙත්, ඒකමධුර නො වූ පද්‍යයක් තැනීම සම්බන්ධයෙන් හෝ, නැති නම් බේවියස් හෝ මේවියස් හෝ තරම් කිවියකු නොවීම ගැන හෝ, එම අභාග්‍ය සම්පන්න සමයෙහි උපත ලද සුල්ලා හී මෙම ජානපදිකයාට මම දොස් පවරන්නේ නැහැ. ඔහුට එරෙහි ව කිරීමට පැමිණිලි මට තියෙනවා. ඒවා වඩා සමීප ව මට බලපානවා. කාරණය බිහිසුණුයි. නොඇදහිය හැකි යි. එහෙත් මේ මිනිසා පෘථිවියට ආපසු ගිය විට මා පිළිබඳ ව ඉතා ම පිළිකුල් සහගත බේගල් පතුරුවා හැරියා. මා කොහෙත් ම කිසිවක් ම නොදන්නා ස්ථානයක් වන නූතන තාර්තාරුස් හි දී ඔහුගේ දේශකයකු ලෙස මා සේවය කළ බව ඔහු සිය ම්ලේච්ඡ කාව්‍යයන් හි ඡේද ගණනාවක දී කියා සිටියි. ව්‍යාජ හා බේගල් ඇද බාන දෙවිවරුන් වශයෙන් මම රෝම දෙවිවරුන් හැඳින් වූ බවත් ජුපිටර්ගේ වත්මන් අන්තරාගාමිකයා සැබෑ දෙවියා ලෙස මා සලක බවත් ඔහු උදාරම් ලෙස කියා සිටියි. සබඳ, කාරුණික වූ දවසේ ආලෝකය වෙත ඔබ යළි ගිය විට, නුඹගේ ජන්ම භූමිය වෙත යළි පා තැබූ විට ඒ ජුගුප්සාජනක බේගල් ප්‍රතික්ෂේප කරන්න. ශුද්ධ වූ ඊනියාස් පිළිබඳ ගායකයා කිසි කලෙකත් යුදෙව් දෙවියා නොවැඳි බව ඔබේ ජනයා හට කියන්න. ඔහුගේ බලය පිරිහෙමින් ඇති බවත්, එළඹෙමින් ඇති ඔහුගේ වැටීමත් නියත සලකුණු අනුව මට සහතිකයි. අපට බිය නොහැඟෙන , ආශාවන් ඇති නො වන මෙම නිවහන් තුළ යමෙකුට ප්‍රීතියෙන් සිටිය හැකි නම්, මෙම පුවත මට යම් ප්‍රීතියක් ගෙන දෙනවා ඇත.”
  
  ඔහු එසේ කථා කළේ ය. කථා කොට ආචාර කිරීමේ සංඥාවක් පළ කරමින් එතැනින් ඉවත්ව ගියේ ය. ලිලී මල්වල නටු නො නවමින්, ඒවා අතරින් ඔහුගේ අවතාරය නොපෙනී යනු මම බලා සිටියෙමි. එය වඩ වඩා මා කෙරෙන් දුරස්ථ වනවාත් හා සමඟ ම, එය වඩ වඩාත් තුනීව ගොස් අපහැදිලි බවට පත් වනු මම දුටිමි. එය දුටු විට, මෙවදන්හි අරුත මට අවබෝධ විය. මළවුන් හට ජීවිතයක් නොමැත: ඇත්තේ ජීවත් වන්නන් ඔවුනට ලබා දෙන ජීවිතය පමණි. මම මිලාන වූ පිට්ටනියේ සිට ගේට්ටුව වෙත සෙමෙන් සෙමෙන් පිය නැඟුවෙමි. 
 
  මාර්බෝදියස්ගේ වෘත්තාන්තයෙහි සනිටුහන් කර ගැනීමට තරම් ඉමහත් සේ වටිනා වූ ඡේදයක් ඇත. එනම් කොරිගාන් හි මහණා විසින් අද අපි දාන්තේ අලිගියෙරි සිතුවම් කර ගන්නාක් පරිද්දෙන් ම ඔහු පිළිබඳව කොරිගාන් හි මහණා විසින් විස්තර කෙරෙන ඡේදයයි. “දිව්‍යමය ප්‍රහසනය” ග්‍රන්ථයේ ඉතා ම පැරණි අත්පිටපතක් වන වෙනිසියානු මුල් අත්පිටපත තුළ ඉතා කුඩා සිතුවම් මඟින් කිවියා විදහා දක්වාලන්නේ වාටි දණහිසෙන් උඩට තිබූ කෙටි කබායක් පැළඳි තරබාරු මිනිසෙකු ලෙස ය. වර්ජිල් නම්, ඔහු දහසය වැනි සිය වසේ ලී කැටයම් වල දී තවමත් දාර්ශනික යටි රැවුළ සහිතව සිටියි.
  
         ඔර්කඤ්ඤාහි යකුන් සමීප ව පිළිබිඹු කළා වූ බිහිසුණු පරිහාසාත්මක  යකුන් සිටි කිසි කෝර්නේතෝහි එට්‍රස්කන් සොහොන් කොත් ගැන මාර්බෝදියස් හෝ වර්ජිල් පවා හෝ දැන  සිටිය හැකි වූ බවක් යමෙක් නො සිතිය යුතු ය. එසේ ද වුවත් මාර්බෝදියස් අපායට පාත් වීම පිළිබඳ සත්‍යතාවය අවිවාදිත ය. ක්ලෝ ද ලුනේ හි මයා එය දැඩි ලෙස තහවුරු කර ඇත. එය සැක කිරීම පුරාණ ලේඛන ශාස්ත්‍රය ම සැක කිරීමක් වේ. 


                                            07


                                    සඳේ සලකුණු 


  එකල්හි පෙන්ග්විිනියාව තවමත් මෝහාන්ධකාරයේ සහ ම්ලේච්ඡත්වයේ ඇලී ගැලී සිටියදී ඊගිදියස් අවුක්‍යුපිස් නමින් ලියවුණ සිය ලියකියවිලි හේතු කොට ගෙන ප්‍රකටව සිටි ගයිල්ස් බර්ඩ් කැචර් නම් වූ ෆැන්සිස්කානු මහණ තෙමේ, සාහිත්‍ය කෘතීන් සහ විද්‍යාවන් හැදෑරීමෙහිලා අවෙහෙසකාරී උද්යෝගිමත් භාවයකින් යුතුව කැප ව සිටියේ ය. ඔහු රෑ යාමය ගණිතයට හා සංගීතයට කැප කළේ ය. ඔහු ඒවා හැඳින්වූයේ ප්‍රේමවන්ත සොයුරියන් දෙදෙනකු ලෙස ය: සංඛ්‍යාවෙහි හා චිත්තෝත්පාදක ශක්තියෙහි සුසංගඨිත දුහිතෘන් ලෙස ය. ඔහු වෛද්‍ය විද්‍යාව සහ ජ්‍යෝතිෂය දැන සිටියේ ය. ඔහු ඉන්ද්‍රජාල කටයුතුවල යෙදෙන බවට සැක කරනු ලැබිණ. ඔහු වෙස් පෙරළීිම් කරන බවත් ගුප්ත දේ අනාවරණය කරන බවත් සත්‍ය ලෙස පෙනී යයි.
  
  ඔහුගේ අසපුවේ සිටි මහණෝ තමනට කියවිය නොහැකි ග්‍රීක පොත් සිය කුටිය තුළ තිබෙනු දකින්නේ, ඒවා ඉන්ද්‍රජාලික පොත් යයි සිතා බෙහෙවින් බහුශ්‍රැත වූ සිය සොයුරා මායාකාරයෙකැයි හෙලා දුටහ. ඊගිදියස් අවුකියුපිස් එම අසපුවෙන් පලා ගොස්, අයර්ලන්ත දිවයිනට ළඟා විය. හේ එහි වසර විස්සක විද්‍යාභිලාෂී දිවියක් ගෙවී ය. ඔහු ග්‍රීක හා ලතින් අත් පිටපත් සොයමින්, ඒවායේ අඩංගු වූ දෑ පිටපත් කරමින් අසපුවෙන් අසපුවට ගමන් කළේ ය. ඔහු රසායන විද්‍යාව සහ රස විද්‍යාව හදාළේ ය. විශ්ව දැනුම් සම්භාරයක් අත් කර ගත්තේ ය. සතුන්, පැලෑටි සහ ගල් පිළිබඳ වැදගත් රහස්  අනාවරණය කර    ගත්තේ යග   දිනක් ඔහු සිය හුදකලාවෙන් මිදෙනු පිණිස බටනලා වයමින් සිටි සුරූපී ලලනාවියක් සමඟ සමාගමයෙහි යෙදී සිටිනු දක්නා ලදී. පසු කලෙක අනාවරණය වූයේ එම ස්ත්‍රිය ඔහු විසින් ම නිමවන ලද යන්ත්‍රයක් බව ය. 
 
  වේල්ස් ප්‍රදේශයටත්, එහි ආශ්‍රමයන්හි වූ පුස්තකාලයන්ටත් යනු පිණිස ඔහු නිතර ම පාහේ අයිරිෂ් මුහුද තරණය කළේ ය. මෙවන් එක් තරණය කිරීමක දී ඔහු රෑයාමේ නැවෙහි උඩ තට්ටුව මත සිටිය දී, ජලය ගැඹරේ දැවැන්ත මත්ස්‍යයන් දෙදෙනකු පිහිනණු දුටුවේ ය. ඔහුගේ කන් ඇසීම ඉතා යහපත් විය. හේ මත්ස්‍ය භාෂාව දැන සිටියේ ය. එක් මත්සයෙක් අනෙකාට මෙසේ කියනු ඔහුට ශ්‍රවණය විය. 
 
  “අපි හැම තිස්සෙ ම වගේ දකින, දර මිටි කරේ තියා ගෙන යන අර හඳේ ඉන්න මිනිහ මුහුදට වැටිලනෙ.”

  අනෙක් දැවැන්ත මත්ස්‍යයා එයට මෙසේ පිළිතුරු දුණි.
 
          “ආදරවන්තයො එකිනෙකාගෙ මුව සිප ගැනීමේ ප්‍රතිබිම්බය, රිදීවන් සඳ මඬලෙ තියෙන හැටි අපිට පෙනේවි.”  

  වසර කීපයක් ඇවෑමෙන් යළි සිය රට පැමිණි ඊගිදියස් අවුක්‍යුපිස්ට දක්නට ලැබුණේ, ඉපැරණි ඉගැන්වීම් ප්‍රතිෂ්ඨාපනය කර තිබෙන බව ය. මිනිසුන් තවදුරටත් ජලාශවල, කැලෑවල, කඳුවල සිටි අප්සරාවියන් පසු පස අවමන් විඳිමින් ගියේ නැත. ඔවුහු මියුසස්ලාගේත්, ළඳ බොළඳ ග්‍රේස්ලාගේත්, දෙවියන්ගේත් අමන්දානන්දය වූ අමෘතමය තොල් පෙති මඟින් දේව මෑණියන් හට ඇය සතු ඉපැරණි ගෞරවය පුදාලූහ. ඔවුහු සොබා දහම සමඟ යළි මිත්‍ර සන්ථවය ඇති කර ගනිමින් සිටියහ. ඔවුහු කමකට නැති බියපත් වීම් අත් හැර දමමින්, පෙර දී වූවාක් මෙන් බිය වීමෙන් තොරව සිය දෑත් ස්වර්ගය වෙත නංවා ලූයේ, ගුවන් ගැබෙහි පැවති කෝපාවිෂ්ඨ සලකුණු ද මකබෑ වී යන පරිදි කෙරුණ තර්ජනයන් හි සලකුණු ද අවබෝධ කරගනු පිණිස ය.
  
  එරින් මුහුදේ දැවැන්ත මත්ස්‍යයන් දෙදෙනා කල් තියා කියා සිටි දෙය, මෙම දර්ශනය දැක්මෙන් ඊගිදියස් අවුක්‍යුපිස් ගේ මතකයට නැංවුණි 




                                    ග්‍රන්ථය 4

                              නූතන සමය-

                           ටි්‍රන්කෝ
                 රුක්වෑන් මාතාව

 
  පෙන්ග්වින්හි ඉරාස්මස් වූ ඊගිදියස් අවුක්‍යුපිස් හට වැරදුණේ නැත. ඔහුගේ යුගය නිදහස් පරීක්ෂණය පිළිබඳ යුගය විය. එහෙත් ඒ ශ්‍රේෂ්ඨ මිනිසා මානව හිතවාදීන්ගේ ශෝහනත්වය යනු ගති පැවතුම්වල ඇති මෘදු භාවයක් ලෙස වරදවා වටහා ගති. බුද්ධි ප්‍රබෝධය මගින් පෙන්ග්විනයන් අතර ජනිත කෙරුණ බලපෑම ඔහු කල්තියා නො දුටි. එය ආගමික ප්‍රතිසංස්කරණයක් ඇති කළේ ය. කතෝලිකයෝ ප්‍රොතෙස්තන්තයන් ඝාතනය කළහ. ප්‍රොතෙස්තන්තයෝ කතෝලිකයන් ඝාතනය කළහ. සිතීමේ නිදහසෙහි ප්‍රථම ප්‍රතිඵල එබඳු විය. කතෝලිකයෝ පෙන්ග්විනියාව තුළ සිය ආධිපත්‍යය පතුරුවා ලූහ. එහෙත් ඔවුන් ඒ බවක් දැන නොසිටිය දී ම පවා, පරීක්ෂා කර බැලීමේ ජීවගුණාංගය ඔවුන් තුළට කා වැදුණි. ඔවුහු හේතු යුක්ති කිරීම, භක්තිය හා සමඟින් බද්ධ කළහ. සපතේරුවන්, පොට්ටනිකාරයන් සහ පරණ බඩු වෙළන්දන් විසින් දෙව්මැදුරවල බිත්ති වලට අභිමුඛ ව තනන ලද මණ්ඩපයන් පසු කලෙක කඩා ඉවත් කළ පරිද්දෙන් ම, ආගම කැළැල් කළා වූ මිථ්‍යා දෘෂ්ටික භාවිතයන් ආගම කෙරෙන් දූරිභූත කළ බව ඔවුහු කියා පෑහ. බැතිමතුන් කියා සිටිය යුත්තේ මොනවාද යන්න ඇඟවීමට මුල දී භාවිතා කරන ලද පුරාවෘත්තය යන වචනයෙන්, සැදැහැවත් උපමා කථා සහ බොළඳ කතා යන්න වැඩි කල් නොගොස් ම හැඟවෙන්නට පටන් ගති.
  
  මෙම මනෝභාවයෙන් පෙළීමට සාන්තුවරයන් හට සිදු විය. ප්‍රෑන්ස්තෝ නම් වූ ඉතා රළු, කඨෝර, ප්‍රකට සහ බහුශ්‍රැත දේව මන්දිර අධිපතිවරයෙක්, ඒවායින් විශාල සංඛ්‍යාවක් යල් පැන ඇති හෙයින් ඒවා කමකට නැතැයි හංවඩු ගැසී ය. ඒ අනුව සාන්තුවරයන් හෙළිදරව් කළ තැනැත්තා වශයෙන් ඔහු නම් කරනු ලැබිණ. නිදසුනක් ලෙස, ප්‍රසව වේදනාවෙන් පෙළෙන ස්ත්‍රියක හට සහනාලේපයක් ලෙස සාන්ත මාගරට්ගේ මන්තරය ජප කිරීම මගින් ප්‍රසව වේදනාව මුදු මොළොක් වන්නේ යයි ඔහු විශ්වාස නො කළේ ය.  පෙන්ග්විනියාවේ ගෞරවාර්හ භාරකාර සාන්තුවරිය පවා ඔහුගේ දරදඬු විවේචනයෙන් බේරුණේ නැත. “අල්කා හි පෞරාණික සමය“ නැමැති සිය ග්‍රන්ථයේ දී ඇය ගැන ඔහු කියන්නේ මෙයයි. 
 
  “සාන්ත ඔර්බෙරෝසියාගේ ඉතිහාසයට හෝ ඇගේ පැවැත්මට ම පවා හෝ වැඩියෙන් ස්ථිර නො කළ හැකි අන් කිසිවක් නොමැත. දොම්බේ හි මහණකුව සිටි නිර්නාමික වංශකතාකරුවෙක්, ඔර්බෙරෝසියා නම් වූ ස්ත්‍රියක් ගුහාවක සිටි යක්ෂයා විසින් වසඟයට පත් කර ගනු ලැබූ බව විස්තර කරයි. යක්ෂයා සහ සුකොමළ ඔර්බෙරෝසියා නිරූපණය කෙරෙන සෙල්ලමක ගමේ කුඩා ගෑනු සහ පිරිමි ළමයි ඔහුගේ සමය වන තෙක් පවා නිරත වූහ. මෙම ස්ත්‍රීය රට වැනසූ බියකරු මකරකුගේ හොර ගෑනි බවට පත් වූ බැව් ඔහු තවදුරටත් කියයි. එවන් ප්‍රකාශයක් විශ්වාස කිරීම දුෂ්කර ය. එහෙත් එතැන් සිට විස්තර කෙරෙන ඔර්බෙරෝසියාගේ ඉතිහාසය ද කිසිසේත් ඊට වඩා විශ්වාසදායි ලෙස නොපෙනේ. සිමප්ලිසිස්මුස් නමැති තවුසා විසින් රචිත “සාන්තුවරයගේ ජීවිත කථාව“, එහි විස්තර කෙරෙන බව කියා සිටින සිද්ධින්ට වසර තුන් සියයකට පසු ලියන ලද්දකි. ඕනෑවටත් වඩා විශ්වාදායි ලෙසකින් තමාව මවා පාන කතුවරයා සකලවිධ විවේචනාත්මක චිත්ත ශක්තීන්ගෙන් ම වියෝ වූවෙකි.” 
 
  මෙම සංශයවාදය පෙන්ග්විනයන්ගේ ලෝකෝත්තර සම්භවයට පවා ප්‍රහාරය එල්ල කරයි. ඔවුන්ගේ පරිවර්තනය වීමට අදාළ ආශ්චර්යවත්භාවය ප්‍රතික්ෂේප කිරීම දක්වා ඕවිදියස් කාපිතෝ නමැති ඉතිහාසඥයා ගමන් කරයි. ඒ අනුව ඔහු ඔහුගේ පෙන්ග්විනියානු වංශකතාව අරඹන්නේ මෙසේ ය. 
 
  “දැඩි නොපැහැදිලිකමක් මෙම ඉතිහාසය පුරා පැතිරෙයි. මෙය ළඳ බොළඳ උපමා කතා සහ ජන කතාවලින් පිරුණක් බව කීම අතිශයෝයක් නො වේ. අපොස්තුලුවරයාණන්ගෙන් තමන් පැවත එන බවත්, දෙවියන් වහන්සේ ඔවුන් මිනිසුන් බවට පරිවර්තනය කළේ එම කීර්තිමත් අපොස්තුලු වරයාගේ මැදිහත් වීම අනුව බවත් පෙන්ග්විනයෝ කියා සිටිතිග ප්‍රථමයෙන් මිදුණු සාගරයේ පිහිටා තිබූ සිය දිවයින දෙලෝස් මෙන් පාවෙමින් තිබී, ස්වර්ගයේ ආශිර්වාදය ලත් මෙම මුහුදුවල නැංගුරම් ලෑම පිණිස ගෙනෙන ලද බව ඔවුහු කියා සිටිති. දැන් එම සාගරයේ මුතු ඇටය එයයි. මෙම මිථ්‍යාව පෙන්ග්විනයන්ගේ පෞරාණික සංක්‍රමණයන් පිළිබඳ මතක සටහනකැයි මම නිගමනය කරමි.”
  
  “ජගත් දාර්ශනික පියවස” ලෙස සැලකෙන ඉන්පසු එලඹුණ සියවසෙ හි දී, සංශයවාදය වඩාත් තියුණු බවට පත් විය. සදාචාර නිබන්ධනය නමැති ග්‍රන්ථයෙන් ගත් පහත දක්වෙන කීර්තිමත් ඡේදයට වඩා වැඩි අන් සාක්ෂියක් එහිලා අවශ්‍ය නො වේ.
  
  “කොයිබින් ද යි අප නොදන්නා තැනකින් පැමිණි (මන්ද යත්, ඇත්ත වශයෙන් ම ඔවුන්ගේ සම්භවයන් එතරම් ම පැහැදිලි නැති නිසා ය.) උතුරින්, දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් පැමිණි ජාතීන් හතරක් හෝ පහක් හෝ මගින් අනුක්‍රමික ව ආක්‍රමණය කරන ලදුව සහ යටත් කර ගන්නා ලදුව, ඒකාබද්ධ කෙරුණ හා සම්මිශ්‍රණය කෙරුණ පෙන්ගවිනයෝ ස්වකීය වර්ගයාගේ අමිශ්‍රභාවය පිළිබඳව පම්පෝරි කෙළිති. ඔවුන් එසේ කරන්නේ යුක්ති යුක්තව ය. මන්ද යත්, ඔවුන් පාරිශුද්ධ ජාතියක් බවට පත්ව ඇති හෙයිනි. සකල මිනිස් සංහතිය ම - රතු, කහ සහ සුදු රවුම් ඔළුගෙඩි සහිත සහ රතු දිග ඔළුගෙඩි සහිත සකල මිනිස් සංහතිය ම - සමග සිදු වූ මෙම සම්මිශ්‍රණය මඟින් යුග ගණනාවක් මුළුල්ලේ ම, තරමක සමජාතීය මිනිස් පවුලක් සකස් කෙරුණි. ජන සමුහයක් මගින් ද වාරිත්‍ර වාරිත්‍ර අනුව බිහි වන යම් යම් ලක්ෂණයන් මගින් ද මේ පවුල හඳුනා ගත හැක්කේ ය.  
“තමන් ලෝකෙන් උතුම් ම ජාතිය වන බවත් තමන් විශිෂ්ටතම පවුල වල බවත් දක්වෙන අදහස, උතුම් ප්‍රෞඪත්වයකින් ද අදම්‍ය එඩිතරභාවයකින් ද මිනිස් වර්ගයා කෙරෙහි බද්ධ වෛරයකින් ද ඔවුන් ප්‍රබෝධමත් කරලයි.  
“ජනතාවගේ ජීවිතය යනු අන් කිසිවක් නො ව කාලකණ්ණිභාවයන්හි අපරාධයන් හි සහ අමනකම් හි අනුක්‍රමික ගලා යාමයි. මෙය අන් සියලු ජාතීන් සම්බන්ධයෙන් මෙන් ම පෙන්ග්විනයන් සම්බන්ධයෙන් ද සත්‍ය විය. මෙම අති විශේෂ තත්ත්වය හැරුණ විට එහි ඉතිහාසය මුල සිට අග දක්වා ම චිත්තාකර්ෂණීය ය.”
  
  පෙන්ග්විනයන්ගේ සම්භාව්‍ය යුග දෙක කෙතරම් සුප්‍රකට වීද යත්, එහිලා මවිසින් අවධාරණය යොදනු ලැබීම අනවශ්‍ය ය. එහෙත් සෑහෙන තරමින් සනිටුහන් කර ගනු ලැබූ කරුණ නම්, කැනන් ෆ්‍රෑන්ස්තෝ වැනි දේව ධර්මාචාර්යවරුන් තුළින් පසුකාලීන යුගයෙහි දී ආගම් නොඅදහන්නන් බිහි වූ අන්දම ය. දේව ධර්මාචාර්යවරු සිය හේතු යුක්ති දැක්වීම කළේ, සිය ආගමට අත්‍යවශ්‍ය යයි ඔවුනට නොපෙනුණ දේ වනසා ලීමට ය. ඔවුන් අත නො ගැසුවේ ආගමික විශ්වාසයෙහි දෘඪතරතම දෙයට පමණි. විද්‍යාව සහ තර්ක ශාස්ත්‍රය යොදා ගන්නා අන්දම උගන්වනු ලැබ සිටි ඔවුන්ගේ බුද්ධිමය අන්තරාගාමිකයෝ, ශේෂව තිබූ සෑම විශ්වාසයකට ම එරෙහිව ඒවා යෙදූහ. ඒ අනුව තාර්කික දේව ධර්ම ශාස්ත්‍රය විසින් ස්වභාවික දර්ශනවාදය උත්පාදනය කෙරුණි.
  
  (පෙර සිටි පෙන්ග්විනයන් වෙත සිට, විශ්ව පල්ලිය අද දින පාලනය කරන්නා වූ සර්වාධිපති පාප් වහන්සේ වෙත මා හැරෙන්නේ නම්) ශුද්ධ වූ ලියවිලිවල අටුවා ටීකා අධ්‍යයනය කිරීම අනාවරණය වූ සත්‍යයට පටහැනි බවත් ගැඹුරු දේව ධර්මයට මරණීය බවත් භක්තියට මාරක බවත් කියමින් හෙලා දක්නා විට 10 වැනි පියුස් පාප් වහන්සේගේ ප්‍රඥා මහිමය ඒ තරම් විශාල වශයෙන් අගය කිරීමට අපට නො හැක්කේ එහෙයිනි. ඔහුට එරෙහි ව යමින් විද්‍යාව සතු අයිතින් තහවුරු කරන්නා වූ පූජකයන් වනාහි විසකුරු වෛද්‍යවරුන් සහ වසංගත වැනි ඇදුරන් ය. ඒවා අනුමත කරන බැතිමත්හු එක්කෝ මානසික අචලභාවයෙන් හෝ සදාචාරාත්මක අචලභාවයෙන් හෝ හීන වුවෝ වෙති.
 
 දාර්ශනිකයන්ගේ යුගය නිමා වන විට පෙන්ග්විනියාවේ ඉපැරණි රාජධානිය මුළුමණින් ම විනාශ කරනු ලැබ තිබිණ. රජු ඝාතනය කෙරුණි. රදළයන්ගේ වරප්‍රසාද අහිමි කරනු ලැබිණ. පොදු ජන දුක් පීඩාවන් මධ්‍යයේ මහා බිහිසුණු යුධ ගිනි ඇවිලෙමින් තිබිය දී සමුහාණ්ඩුවක් ප්‍රකාශයට පත් කරනු ලැබිණ. එකල්හි පෙන්ග්විනියාව පාලනය කළා වූ මන්ත්‍රණ සභාව, පල්ලිවල ගොඩ ගසා තිබූ ලෝහමය ද්‍රව්‍ය සියල්ල උණු කර හරින ලෙස නියෝග කළේ ය. දේශප්‍රේමීහු නරෝත්තමයන්ගේ සොහොන් කොත් පවා කෙළසාලූහ. සමහර විස්තර කිරීමිවලට අනුව මහා ඩ්‍රැකෝ රාජෝත්තමයාණන් වහන්සේගේ සොහොන් කොත විවෘත කළ විට කලු ම කලු වුත් ඒ සා තේජෝ බලපරාක්‍රමාන්විත වූත් එතුමා විසින් කෙවැනි වු පෙනුමක් දක්වනු ලැබී ද යත් ඔහුගේ මෘත කළේබරය කෙළසාලූ කොල්ලකරුවෝ ඇඳිවතටත් අස්වාමික ව පලා ගියහ. අන් විස්තර කිරීම් වලට අනුව මෙම අසමජ්ජාති පුඟුලෝ ඔහුගේ කට ඇතුළට පයිප්පයක් දමා සමච්වලාත්මක අයුරින් වයින් විදුරුවක් පිරිනමමින් ඔහුට නින්දා අපහාස කළහ.
 
  වසර පන් සියයක් මුළුල්ලේ සාන්ත මායෙලයන්ගේ පල්ලියට පැමිණි බැතිමතුන්ගේ අනේක පූජා ප්‍රණාමයන්ට බඳුන් වූ සාන්ත ඔර්බෙරෝසියාගේ ධාතු කරඬුව, මැයි මල් පිපෙන මාසයේ දහ හත් වැනිදා නාගරික සභාව වෙත වඩම්මවා ගෙන යන ලදුව, නාගරික සභාව විසින් පත් කෙරුණ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් ජූරි සභාවක පරීක්ෂණයට ලක් කෙරුණි. රන් ආලේපිත තඹවලින් එය නිමවා තිබුණේ පල්ලියක ගර්භයේ හැඩයට අනුකූලව ය. එය පුරා එනැමල් තවරා තිබුණ අතර, පසු කලෙක දී ව්‍යාජ ඒවා ලෙස අනාවරණය වූ මහාර්ය මාණික්‍ය රත්නයන්ගෙන් සරසා තිබුණි. පල්ලිය සිය පෙර දැක්ම අනුව යමින් පද්මරාග, නිල්මිණි, මරාමිණි සහ කිරිගරුඩවලින් සැදුණ දවැන්ත බෝල ඉන් ඉවත් කොට, ඒවා වෙනුවට වීදුරු කැබලි ආදේශ කොට තිබුණි. එහි වූයේ දූවිලි ස්වල්පයක් සහ කබල් ලිනන් කැබැල්ලක් පමණි. ඒවා සාන්තුවරයින්ගේ ධාතුන් වහන්සේලා පුළුස්සාලීම පිණිස ප්ලාස් ද ග්‍රෙව් හී දල්වා තිබු මහා ගිනි ජාලාවට වීසි කරනු ලැබිණ. ඒ වටා නටමින් ජනතාව දේශාභිමානී ගී ගැයූහ. 
 
   නාගරික සභා ශාලාවට හේත්තුව තිබූ ස්වකීය මණ්ඩපයේ පියස්සේ සිට, රුක්වෑන් නම් වූ මිනිසෙක් සහ ඔහුගේ බිරිඳ මේ උමතු මිනිසුන් රංචුව දෙස බලා සිටියහ. රුක්වෑන් තෙමේ පිස්සු බල්ලන් කැබලි වලට කපා දමමින්, පිස්සු බළලුන් වන්ධ්‍යාකරණය කරමින් සිටියේ ය. ඔහු නිතර නිතර තැබෑරුම්වලට ද ගියේ ය. ඔහුගේ බිරිඳ වැරහැළි එකතූ කරන්නියක් සහ වෛශ්‍යාවියන් සපයන්නියක් වූවා ය. එතෙකුදු වුවත් ඇය බොහෝ තීක්ෂ්ණ වූ නුවණින් යුක්ත වූවා ය.

   “රුක්වෑන් ඔහෙට පේනව ද?” ඇය සිය ස්වාමි පුරුෂයා ඇමතුවා ය. “උන් ආගමික ශුද්ධ වස්තු දූෂණය කර දමනව. උන්ට ඒ ගැන පසුතැවිලි වෙන්න වේවි.“ 
 
  “යෝදියේ, උඹ ඒ ගැන දන්න කෙහෙල්මලක් නැහැ.“ රුක්වෑන් පිළිතුරු දුනි. “උන් දැන් දාර්ශනිකයො වෙලා. යමෙක් වරක් දාර්ශනිකයෙක් වුනා ම, එයා හැමදාමත් දාර්ශනිකයෙක් තමයි.”

  “රුක්වෑන්, උන් අද කරමින් ඉන්න දේ ගැන කල් ගතවෙලා හරි ඉක්මණින් ම හරි පසුතැවිලි වෙන බව මම කියනවා. උන් සාන්තුවරයන්ට සලකන්නෙ හරි ම නරක විදියටයි. මොකද එතුමන්ලා උන්ට සෑහෙන තරමින් උදව් නො කරපු නිසා. ඒත් ඒ මොනව කළත් ඒවා නිසා උන්ගෙ බඩකට පිරෙන්න තරම් උන්ට ලැබෙන්නෙ නැහැ. උන් ඉස්සර හිටියටත් වඩා නරක තත්ත්වයකට පත්වුණ බව වැඩිකල් නොගිහින් උන්ට ම පෙනේවි. උන් උන්ගෙ දිවවල් සෑහෙන කලක් දොට්ට දමා ගෙන හිටියම, ආයෙමත් සැදැහැවත් වේවි. මිනිස්සු හිතනවට වඩා කලියෙන් පෙන්ග්විනියාව දිව්‍යාශිර්වාද ලත් භාරකාර තුමියට ගරු බුහුමන් කරන දිනය ආයෙත් ඒවි. අන්න ඒ දිනයට ලෑස්ති වෙලා අපි අළු ටිකකුයි පාන්කඩ ටිකකුයි ඇට කටු ටිකකුයි අපේ ගෙදර පරණ කළයට දාලා අරන් තියන එක කොයිකටත් හොඳයි. ඒවා සාන්ත ඔර්බෙරෝසියාගෙ ධාතුන් වහන්සේලා බවත්, අපි අපේ ජිවිත පරදුවට තියල ඒව ගින්නෙන් බේරගත්තු බවත් අපි කියමු. අපිට ඒවායින් ගරු නම්බුත් ලාභත් නොලැබුණොත්, මට නහුතෙට ම වැරදුනාය කියල හිතා ගත්තට කමක් නැහැ. ශාන්ත ඔර්බරෝසියාගෙ පල්ලියේ ඉටිපන්දම් විකුණන්නයි පුටු කුලියට දෙන්නයි කියුරේගෙන් අවසර ලබා ගන්න, ඒ යහපත් ක්‍රියාව හේතු වෙන්න ඉඩ තියෙනව.” 

  එදින ම රුක්වෑන් මව්තුමිය අළු ස්වල්පයක් ද ඇටකටු ස්වල්පයක් ද ගෙදර ගෙන ගොස්, ඇගේ රාක්කයේ තිබූ පරණ ජෑම් බෝතලයක අසුරාලී ය.




 


                                            02 

                                      ටි්‍රන්කෝ
 
  මධ්‍යම පංතීන්ට සහ ගොවීන්ට අඩු මිලකට විකුණනු පිණිස සර්වාධිපති ආණ්ඩුව විසින් රදළයන්ගේ සහ පූජකයන්ගේ ඉඩම් අත් පත් කරගනු ලැබී ය.  විප්ලවය යනු ඉඩම් ලබා ගැනීමෙහිලා යහපත් දෙයක් බවත් ඒවා පවත්වා ගෙන යාමෙහිලා අයහපත් දෙයක් බවත් මධ්‍යම පංතීහු සහ ගොවීහු සිතූහ.
  
  දේපළවල සුරක්ෂිතභාවය උදෙසා බිහිසුණු නීති සැකසූ සමූහාණ්ඩුවේ ව්‍යවස්ථාදායකයෝ, ධනය බෙදාලීමට යෝජනා කර සිටින ඕනෑ ම පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කළහ. එහෙත් එය සමූහාණ්ඩුවට ප්‍රයෝජනයක් අත් කර  නො දුනි. සමූහාණ්ඩුව තමන් පොහොසතුන් බවට පමුණුවනු ලැබූ නමුදු, ධනය විෂයෙහිලා කරදරකාරි තත්ත්වයක් ඇති කළ බැව් දේපළ හිමියන් බවට පත් වූ ගොවීහු කල්පනා කළහ. පෞද්ගලික දේපළ කෙරෙහි වඩා ගරු බුහුමන් දක්වන්නා වූත් නව්‍ය ආයතනයන්හි ස්ථාවරත්වය තහවුරු කිරීමෙහිලා වැඩි හැකියාවක් ඇත්තා වූත් ක්‍රමයක් ඔවුහු ප්‍රාර්ථනය කරමින් පුල පුලා බලා සිටියහ.
  
  ඔවුනට බොහෝ කල් බලා සිටීමට සිදු නො වී ය. අග්‍රාපින්නා මෙන් ම සමුහාණ්ඩුව ද සිය විනාශදායකයා සිය ගර්භාෂය තුළ ම දරා සිටියේ ය.
  
  මහා සංග්‍රාමයක් ගෙන යාමට සිදු වූයෙන් සමූහාණ්ඩුව මිලිටරි බලකායන් නිර්මාණය කළේ ය. එය බේරා ගැනීම මෙන් ම විනාශ කිරීම යන දෙක ම කිරීමට එම බලවේග නියත විවරණ ලබා සිටියහ. දඬුවම් ලැබීමට සිදුවීම කෙරෙහි ඇති බිය මගින් ඒවායේ සෙන්පතියන් හික්මවා ගත හැකි යයි එහි ව්‍යවස්ථාදායකයෝ සිතූහ. ඔවුන් සමහර අවස්ථාවන්හි දී අභාග්‍ය සම්පන්න සොල්දාදුවන්ගේ හිස් ගසා දැමූවත්, එහි පැවැත්ම රැක දීමෙන් ලද ඵල ප්‍රයෝජනයන් භුක්ති විඳි භාග්‍ය සම්පන්න සොල්දාදුවන් හට ඒ ටික ම කිරීමට ඔවුනට නොහැකි විය. 

  ප්‍රකෘතිමත්ව සිටි පෙන්ග්විනයෝ ජයග්‍රහණයෙන් ලද උද්දාමය තුළ දී, සිය ජනප්‍රවාදයේ එන මකරාට වඩා අති බිහිසුණු වූ මකරකු හට තමන් බිලි කර ගත්හ. ඌ ගෙම්බන් අතර වැඩ හිඳිනා කෙනෙකු මෙන්, දහ හතර වසරක් මුළුල්ලේ සිය අතෘප්තිමත්කර හොටෙන් ඔවුන් ගිල දැමීී ය. 
 
  නව මකරාගේ පාලනයෙන් අඩ සිය වසක් ගත වූ තැන, මලයාවේ විසූ ජම්බි නමැති නව තරුණ මහාරාජාවරයෙක්, පයිතියානු අනාකාර්සිස් කළාක් මෙන් දේශ සංචාරයන් තුළින් දැන උගත්කම ලැබුමට කැමැත්තේ පෙන්ග්විනියාවේ  සංචාරය කොට, එම සංචාරයන් පිළිබඳ ළගන්නාසුලු වෘත්තාන්තයක් ලිවී ය. ඔහුගේ වෘත්තාන්තයේ ප්‍රථම පිටුව මම මෙහිලා පිටපත් කරමි
.  
           තරුණ ජම්බිගේ පෙන්ග්විනියානු සංචාර පිළිබඳ විස්තරය

  අනූ දිනෙක මුහුදු යාත්‍රාවකින් අනතුරුව මම පෙන්ග්වින්හි දවැන්ත පාළු වරායෙන් ගොඩ බැස, නො වපුළ කුඹුරු යායන් මතින් ඔවුන්ගේ රාජධානිය වෙත ගමන් කළෙමි. ප්‍රාකාරයන්ගෙන් වට වූ බැරැක්කයන්ගෙන් ද අවි ගබඩාවන්ගෙන් ද පිරී පැවතුණ එය, පාළුවට ගිය, එනමුදු සංග්‍රාමික පෙනුමින් යුක්ත වූවක් විය. දුබල අබ්බාගාතයෝ පැරණි නිල ඇඳුම් පැළඳ, මල බැඳුණ අවි උසුලා ගෙන වීදි ඔස්සේ ඔබ මොබ ගියහ. 

   “තමුසෙට මොනවද ඕන?” රැවුල අහස දෙසට යොමු වූ සොල්දාදුවෙක් නගරද්වාරය අබියස දී මගෙන් අවිනීත අයුරින් විචාළේ ය.
  
   “මහත්මයා, මම මේ දිවයිනට පැමිණයේ නිරික්ෂකයෙක් වශයෙනුයි” මම පිළිතුරු දුනිමි. 
 
  “මේක දිවයිනක් නෙවෙයි” සොල්දාදුවා පිළිතුරු දුනි.
  
  “මොනවා!” මම විමතියෙන් හඬ නැඟීමි. “පෙන්ග්වින් දිවයින දිවයිනක් නෙවෙයි!” 

  “නැහැ මහත්තයා, ඒක දූවක්. ඉස්සර මේකට කිව්වේ දිවයිනක් කියල තමයි. ඒත් ඒකට දූවක් කියල කිව යුතුයි කියල නියෝග කරල දැන් ශත වර්ෂයක් ම ගත වෙලා. මේක තමයි මුළු ලෝකෙ ම තියෙන එක ම එක දූව. මහත්තයට ගමන් බලපත් තියෙනව ද?
 
“මේ තියෙන්නෙ”
 
“යන්න, ගිහින් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අත්සන ගහගෙන එන්න.”

මට මඟ පෙන්වූ මාර්ගෝපදේශකයා දැවැන්ත චතුරශ්‍රයක් අබියස නැවතුණි.

ඔහු මෙසේ කීය. “මුළු විශ්වයේ ම අති ශ්‍රේෂ්ඨතම මහා ප්‍රාඥයා වන ටි්‍රන්කෝ තුමාට උපත දුන්නේ මේ දූව තමයි. ඔබ ඒක දන්නවනෙ. ඔය ඔබේ දකුණු පැත්තෙන් තියෙන හතරැස් ටැඹ තියෙන්නෙ ටි්‍රන්කෝ තුමාගෙ උත්පත්තිය සමරන්නයි. ඔබේ වම් පැත්තෙන් ඉහළට නැගිල තියෙන කුළුණ බලන්න. ඒකෙ මුදුනෙ තියෙන කිරීටයෙන් තමයි ටි්‍රන්කෝ තුමාට ඔටුනු පැළැන්දෙව්වෙ. මේ තියෙන්නෙ ටි්‍රන්කෝ තුමාගෙයි එතුමාගේ පවුලෙයි යශෝරාවය උදෙසා කැප වුන ජයග්‍රාහී ආරුක්කුව.”

“ටි්‍රන්කො ඉටු කරපු අති විශේෂ වික්‍රමය මොකක් ද?” මම විචාළෙමි.

“යුද්දෙ”

“ඒක ඉතින් අති විශේෂ දෙයක් නෙවෙයිනෙ. අපි මේ මලයානු ජාතිකයො හැම තිස්සෙ ම යුද්ධ කරනවනෙ”

“ඒක වෙන්න පුළුවන්. ඒත් ටි්‍රන්කෝ තුමා තමයි ඔක්කොම කාලවල හමුවන රණ ශූරයන් අතරින් අති ශ්‍රේෂ්ඨතම රණ ශූරයා. එතුමාට වඩා ශ්‍රේෂ්ඨ විජයග්‍රාහී රණවිරුවෙක් කවදාවත් පහළ වෙලා නැහැ. ඔබ අපේ වරායෙ නැංගුරම් දාන කොට දක්කනෙ, නැගෙනහිර පැත්තෙන් ගිනි කන්දක්. ඒකෙ නම ඇම්පෙලෝෆෝරියා. ඒකේ හැඩේ ස්ථූපයක් වගෙයි. ප්‍රමාණය පොඩියි. වයින්වලට ඒක හරියට ප්‍රසිද්ධයි. බටහිර පැත්තෙන් දිවයිනක් තියෙනව. දිග උල් දත් වගේ කඳු වැටියක් ඒකෙ තියෙනව. ඒ හින්ද ඒකට කියන්නෙ බලු හකු දිවයින කියල තමයි. ඒකෙ හොඳ තඹ ආකර තියෙනව. ටි්‍රන්කො තුමාට ඉස්සර නම් ඒ දෙක ම අයිතිවෙලා තිබුණෙ අපිට. ඒවා තමයි අපේ අධිරාජ්්‍යයේ දේශසීමාවල්. ටි්‍රන්කො තුමා පෙන්ග්වින්වල ආධිපත්‍යය තූර්ක්වාස් දුපත්වලටයි හරිත වර්ණ  මහාද්වීපයටයි පතුරවල හැරීයා. අඳුරු ඉබ්බාගමුව මැඬ පැවැත්තුවා. එතුමාණන් එතුමාගේ කොඩිය ධ්‍රැවයේ හිම කඳුවලයි අප්‍රිකානු කාන්තාරවල ගිනි ගෙන දැවෙන වැල්ලෙයි හිටෙව්වා! එතුමා අල්ල ගත්තු හැම රටකින් ම එතුමා යුද්ධ භටයො එක්කාසු කර ගත්ත. එතුමගෙ හමුදාව, අපේ ම පාබල හමුදාව, අපේ දිවයිනේ බෝම්බ ගහන හමුදාව, අපේ අශ්වාරෝහක බලකාය, අපේ තුවක්කු බලකාය සහ අපේ ඉංජිනේරුවරු පස්සෙන් මාවේ කරන කොට, කහපාට සොල්දාදුවන් දකින්න ලැබෙනව. ඒ ගොල්ල ඒ ගොල්ලන්ගෙ නිල් පාට යුධ ඇඳුම් ඇඳ ගෙන ඉන්න කොට ඒගොල්ලන්ව පේන්නේ හරියට තමන්ගේ වල්ගෙ උඩ හිටගෙන ඉන්න පොකිරිස්සො වගෙයි. අන්ත ම දේශප්‍රේමයෙන් ටි්‍රන්කොගෙ ධජය යටතට ආපු ඔක්කොම හමුදා බලකායන් ජයෙන් ජය ලබමින් තිස් වසරක් යුද්ධ කරල, අපි දන්න ලෝකයෙන් භාගයක් ම අල්ල ගත්තා.“ 
 
  “මොනවා!“ මම හඬ නැඟුවෙමි. “ලෝකෙන් භාගයක් ම ඔහෙලට අයිතියි.”  

  “ටි්‍රන්කොතුමා තමයි අපට ඒක දිනා දුන්නෙ. අපට ඒක අහිමි කරල දැම්මෙත් ට්‍ර්‍රිින්කො තුමා ම තමයි. ජයග්‍රහණයෙ දි වගේ ම පරාජයේදිත් එතුමා හරි ම හරි ශ්‍රේෂ්ඨයි. එතුමා ජය ගත්ත හැම දෙයක් ම පාවල දුන්නා. එතුමාට ඉස්සර ඉඳල ම අපිට යටත් වෙලා තිබුණ අම්පෙලෝෆෝරියා දූපතයි බලුහකු දූපතයි දෙක ම අපෙන් ඩැහැ ගන්න එතුමා ඉඩ දුන්නා. එතුමා ගියේ පෙග්ග්විනියාව අන්තයට ම බංකොලොත් කරලයි. ජනගහනය අඩු කරලයි. එතුමාගේ යුද්ධවල දී දූවේ ජිවය වැනසුණා. එතුමා වැටෙන කොට අපේ රටේ ඉතිරිවෙලා හිටියෙ වෙන කවුරුවත් නෙවෙයි, කුදාලයි අබ්බගාතයොයි. අපි පැවත එන්නේ ඔවුන්ගෙන්. ඒත් එතුමා අපිට යශෝකීර්තිය ලබා දුන්නනෙ.”
  
  “ඉතින් ඒ වෙනුවෙන් නොසෑහෙන තරමින් ගෙවන්න ඔබලාට එතුමා සිද්ධ කළානේ.”  

“යශෝකීර්තිය ලබන්න කවදක්වත් ඒ තරම් වියදමක් යන්නෙ නැහැනෙ.” මගේ මාර්ගෝපදේශකයා පිළිතුරු දුනි. 


                                          03

             ආචාර්ය  ඔබ්නුබයිල්ගේ  පර්යාටනය
 
  කාලයේ වැරදි හේතු කොට ගෙනත් ඉතිහාසඥයන්ගේ නරක ශෛලිය හේතු කොටගෙනත් මතකයෙන් බෙහෙවින් ම ගිලිහී ගියා වූ විස්මයදනවනසුලු අවස්ථාන්තරයන් අනුක්‍රමික ව ගත ව යාමෙන් අනතුරු ව, තමන් විසින් ම පවත්වා ගෙන යනු ලබන සමුහාණ්ඩුවක් පෙන්ග්විනයෝ පිහිටුවා ගත්හ. මන්ත්‍රණ සභාවක් තෝරා පත් කර ගත් ඔවුහු රාජ්‍ය නායකයා නම් කිරීමේ වරප්‍රසාදය එයට හිමිි කර  දුනි.  සාමාන්‍ය පෙන්ග්විනයන් අතරින් තෝරා ගනු ලැබූ රාජ්‍ය නායකයා, ගොරබිරම් රකුසෙකුගේ ලාංඡනය සිය සිරස මත නො පැළඳී ය. ජනතාව මත අසහාය ආධිපත්‍යයක් නො දැරී ය. ඔහු ද රටේ නීතින්ට යටත් විය. ඔහු රජ යන නාමය නොලදී. ඔහුගේ නමට මුලින් ඉලක්කමක් නො වී ය. ඔහු දැරුවේ පතෑන්, තෘෆාල්දින්, කොකෙන්හොත් සහ බෙදුයි වැනි නමකි. මෙම පාලකයෝ යුද නො වැදුණහ. ඔවුහු ඒ සඳහා යෝග්‍ය නො වූහ. 
 
  නව රාජ්‍යය, පොදු දෙය හෝ සමූහාණ්ඩුව හෝ යන නම ලැබී ය. එයට පක්ෂපාතීත්වය දැක්වූවෝ සමූහාණ්ඩුවාදීන් හෝ රිපබ්ලිකන්වාදීන් හෝ ලෙස හැඳින්වුණි. ඔවුන් බඩු වෙළෙන්දන් හෝ සමහර විට චෞරයන් ලෙස පවා හෝ නම් කෙරුණි. දෙවනුව කී නම එහි නරක අර්ථයෙන් ගනු ලැබිණ.
  
  පෙන්ග්විනියානු ප්‍රජාතන්ත්‍රවාදය සිය පාලනය පවත්වා ගෙන ගියේ එය විහින් ම නො වේ. පුවත්පත් මගින් මහජන මතය සැකසුවා වූත්, මැති ඇමතියන් හා ජනාධිපති තම අල්ලේ තබා නැටෙව්වා වූත් මුල්‍ය කතිපයාධිපත්‍යයකට එය අවනත විය. එම මූල්‍ය කතිපයාධිපත්‍යය සමුහාණ්ඩුවේ මුල්‍ය කටයුතු පාලනය කළේත්, රටේ විදේශ කටයුතු මෙහෙය වූයේත්, හරියට එය සර්වාධිපති බලයක් අත්පත් කර ගෙන සිටියාක් මෙනි.
  
  එකල්හි අධිරාජ්‍යයන් සහ රාජධානි දැවැන්ත නැව් කණ්ඩායම් පවත්වා ගෙන ගියහ. ඔවුන් කළ පරිද්දෙන් ම කටයුතු කිරීමට බල කරනු ලැබුවා වූ පෙන්ග්විනියාව, සිය ආයුධවල බරින් ම ගිලා බැස්සේ ය. සියල්ලෝ ම ඒ සා බැරෑරුම් වූ එම අවශ්‍යතාව හෙළා දුටහ; නැතිනම් හෙළා දකින බවක් පෙන්වූුහ. එසේ ද වුවත් පොහොසතුන් සහ වෙළඳ කටයුතුවල නිරත වූවන් එයට අවනත වූයේ, හොඳ හෘද සාක්ෂියකින් යුතු ව ය. මක්නිසාද යත්, සිය රටේ දී සිය බඩු භාණ්ඩ රැකීම සඳහාත් විදේශයන්හි දී වෙළඳ පොළ සහ භුමි භාගයන් අත්පත් කර ගැනීම සඳහාත් ඔවුන් රඳා සිටියේ සොල්දාදුවන් සහ නාවිකයන් මත වූ හෙයිනි. විශාල නිෂ්පාදකයෝ තුවක්කු හා නැව් තැනීම දිරිමත් කළේ, ජාතික ආරක්ෂාව කෙරෙහි පතළා වූ උද්යෝගීමත් භාවයක් තුළින් සහ වෙළඳ ඇණවුම් ලබා ගැනීම පිණිස ය. මධ්‍යම පංතික හා ලිබරල්වාදී වෘත්තීන් හි නිරත වූ පුරවැසියන් අතරින් සමහරු ගතු කීමකින් තොරව ම මේ තත්ත්වයට අනුගත වූයේ, එම තත්ත්වය සදා පවතිනු ඇත යන විශ්වාසයෙන් යුතුව ය. අනෙක් අය, එහි අවසානය සිදු වන තෙක් නොඉවසිලිමත්ව බලා සිටි අතර, එක්වර කෙරෙන නිරායුධකරණයකට මහා බලවතුන් යොමු කරලීමට හැකි වෙතැයි කල්පනා කළහ. කීර්තිමත් මහාචාර්ය ඔබ්නුබයිල් අයත් වූයේ මෙම පසුව කී පංතියට ය. ඔහු මෙසේ කීය. “යුද්ධ යනු ම්ලේච්ඡත්වයයි. ශිෂ්ටාචාරයේ ප්‍රගමනය එය අවසානයකට පත් කරනු ඇත. ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයෝ සාමකාමී වන්නාහ. ඒවා සිය ජීවය ඒකාධිපතියන් මත පටවාලනු ඇත.“ 
 
  පිටස්තර ශබ්ද ඇතුළට කාන්දු නො වූ සිය පර්යේෂණාගාරයට වී හැට වසරක් මුළුල්ලේ හුදකලා විශ්‍රාම සුවයෙන් යුතු දිවියක් ගෙවූ මහාචාර්ය ඔබ්නු බයිල්, ජනතාවගේ ජීව ගුණය තමා විසින් ම නිරීක්ෂණය කිරීමට තීරණය කළේ ය. සකල ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් අතර වූ දැවැන්තමයාගෙන් සිය අධ්‍යයනය අරඹනු පිණිස හේ නව අත්ලාන්තිස් වෙත යාත්‍රා කිරීම ඇරඹී ය.
  
   දින පසලොසක මුහුදු සංචාරයකින් පසු, නැව් දහස් ගණනක් නැංගුරම් ලා තිබූ යෝධ වරායට රෑයාමේ ඔහු පිවිසුණි. ජලය අතරින් විහිද තිබූ, ආලෝක ධාරාවන්ගෙන් දිදුලුණ යකඩ පාලමක ඇඳි දෙක කෙතරම් දුරස්තව තිබුණි ද යත්, මහාචාර්ය ඔබ්නුබයිල් සිතුවේ, තමා අඟහරු මුහුදේ යාත්‍රා කරමින් සිටින බවත්, තමා දුටුවේ වයෝවෘද්ධ මිනිසාගේ ග්‍රහලොව වටා බැඳ තිබුණ අසිරිමත් කවය බවත් ය. මෙම මහා දැවැන්ත අගල, එය මත ලොව ධනයෙන් හතරෙන් එකකට වැඩියෙන් දරා සිටියේ ය. නැවෙන් ගොඩ බට බහුශ්‍රැත පෙන්ග්විනයා මහල් විසි හතරක් උසැති හෝටලයක තිබූ ස්වයංක්‍රීය යන්ත්‍රයක් දෙස බලා සිටියේ ය. ඉනික්බිති ඔහු නව අත්ලාන්තිස්හි අගනුවර වූ යෝධ පුරවරය බලා දිවෙන දුම්රියට නැඟුණි. දුම්රියේ ආපන ශාලා, ක්‍රීඩා ශාලා, මලල ක්‍රීඩා භූමි, විදුලි පණිවුඩ, වාණිජ හා මුල්‍ය කාර්යාල ද ප්‍රොතෙස්තන්ත පල්ලියක් ද නව අත්ලාන්තිස්හි භාෂාව නොදත් හෙයින් ආචාර්යවරයාට කියවීමට හැකියාව නොතිබු විශාල පුවත් පතක් මුද්‍රණය කෙරුණ මුද්‍රණාලය ද විය. මහා ගංගාවන්හි ඉවුරු ඔස්සේ ද සිය දුම්නලවලින් නැඟුණ දුමෙන් අහස ආවරණය කළා වූ කාර්මික නගර තුළින් ද දිවා කල කලු වුත්, රෑ කල රතු වුත්, දිවා කල ශබ්දයෙන් පිරුණ, රෑ කල ද ශබ්දයෙන් පිරුණ නගර ඔස්සේ දුම්රිය ධාවනය විය.
  
  අචාර්යවරයා මෙසේ සිතී ය. “මේ රටේ ජනතාව යුද්ධ කරන්න බැරි තරමට ම කර්මාන්තයෙහි වෙළඳාමෙයි ඕනවටත් වඩා වැඩියෙන් යෙදිලයි ඉන්නෙ. නව අත්ලාන්තිස්ලා සාම ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන බව දැනටමත් මට නම් සහතිකයි. මොකද වාණිජ කටයුතුවල ප්‍රගතියට පිටත සාමයත්, ඇතුළත සාමයත් අවශ්‍ය බව ඔක්කොම ආර්ථික විද්‍යාඥයො පිළිගෙන තියෙන සිද්ධාන්තයක් නෙ.” 
 
  ඔහු යෝධ පුරවරය ගැන විපරම් කරමින් සිටිය දී මෙම මතය ඔහු තුළ තහවුරු විය. ජනයා විදි ඔස්සේ ගමන් කළේ කෙතරම් කඩිමුඩියේ ද යත්, තමන් ගමන් ගත් මග සිටි සියලු දෙන බිම හෙඵෑහ. ඔබ්නුබයිල් කීප වතාවක් ම බිම හෙළනු ලැබිණ. එහෙත් තමා වඩා හොඳින් හැසිරිය යුත්තේ කෙසේ ද යන්න ඔහු ඉක්මණින් ම ඉගෙන ගති. අඩ හෝරාවක ඇවිදීමකින් පසු තෙමේ ද අත්ලාන්ති ස්වරයකු බිම හෙළී ය.
 
   විශාල චතුරශ්‍රයක් වෙත එලඹි ඔහු සම්භාව්‍ය ශෛලියකින් යුතු මාලිගයක ආලින්දයක් දුටුවේ ය. එහි වූ කොරින්තියානු කුළුණු, ඒවායේ මුදුනින් මීටර් හැත්තෑවක් උසින් පිහිටි අකාන්තුස් නමැති වැඩෙමින් තිබූ ගසෙහි මුදුන් උසුලා සිටියේ ය.
  
  ඔහු සිය හිස පසුපසට නවා ගොඩනැගිල්ල දෙස බලා සිටිය දී, සාමාන්‍ය පෙනුමකින් යුත් මිනිසෙක් ඔහු වෙත එළඹ පෙන්ග්වින් බසින් මෙසේ කීවේ ය. 

  “ඔබ පෙන්ග්විනියාවේ කෙනෙක් බව ඔබේ ඇඳුමෙන් ම මට පෙනෙනවා. මම ඔබේ භාෂාව දන්නව. මම දිවුරුම් දුන් භාෂා පරිවර්තකයෙක්. මේක තමයි පාර්ලිමේන්තුව. මේ මොහොතදි ජනපදවල නියෝජිතයෝ සාකච්ජා කරමිනුයි ඉන්නෙ. ඔබ කැමති ද සභා ගර්භයට යන්න,”  

  ආචාර්යවරයා සභා ගැබට කැඳවා ගෙන යනු ලැබී ය. වේවැල් පුටුවල අසුන් ගෙන සිය දෙපා මේස මත තබා සිටි ව්‍යවස්ථා සම්පාදකයන් දෙස ඔහු නෙත් හෙළී ය.
  
  කථානායක තුමා නැඟි සිට, පොදුවේ රජැයූ අනවධානි තත්ත්වය මධ්‍යයේ, කථා කරනු වෙනුවට පහත සඳහන් සූත්‍ර මැතිරී ය. භාෂා පරිවර්තකයා සැණෙකින් ම ආචාර්යවරයා හට ඒවා පරිවර්ත
නය කර දුනි. 
 
  “මොන්ගෝල් වෙළද පොළ විවෘත කර ගැනීම සඳහා කළ යුද්ධය ජනපදවල තෘප්තියට හේතුවන පරිදි අවසන්ව ඇති හෙයින්, ගිණුම් වාර්තා මුල්‍ය ප්‍රතිපාදන කමිටුව හමුවේ තැබිය යුතු යයි මම යෝජනා කරනව.....”  
“කිසියම් විරුද්ධත්වයක් තියෙනව ද?”  යෝජනාව සම්මත විය. 
 
  “ත්‍රෛසීලන්තයේ වෙළද පොළ විවෘත කර ගැනීමට කළ යුද්ධය ජනපදවල තෘප්තියට හේතු වන පරිදි අවසන්ව ඇති හෙයින්, ගිණුම් වාර්තා මුල්‍ය ප්‍රතිපාදන කමිටුව හමුවේ තබන ලෙස මම යෝජනා කරනවා ..........” 

  “කිසියම් විරුද්ධත්වයක් තියෙනව ද?”  යෝජනාව සම්මත විය. 
 
  “මට ඇහුණ හැටි හරි ද?” මහාචාර්ය ඔබ්නුබයිල් විමසිය. “මොනවා? ඔබලා කාර්මික රටක්නේ. ඒත් මේ ඔක්කොම යුද්ධවල යෙදුණා“ 
 
  “අපොයි ඔව්“ භාෂා පරිවර්තකයා පිළිතුරු දුනනේ ය. ” මේවා කාර්මික යුද්ධ. වෙළඳාම හරි කර්මාන්ත හරි නැති ජනතාවක් යුද්ධ කළ යුතු නැහැ. ඒත් බිස්නස් කරන ජනතාවකට සිද්ධ වෙනව යුද්ධ කිරීමේ ප්‍රතිපත්තියක් ගෙන යාමට. යුද්ධ සංඛ්‍යාව, නිෂ්පාදන කටයුතුත් සමඟ අවශ්‍යයෙන් ම වැඩි වෙනවා. අපේ කර්මාන්තයන්ට ඒවායේ නිෂ්පාදන සඳහා වෙළඳ පොළවල් විවෘත කර ගන්න යුද්ධයක් අවශ්‍ය වෙනවා. මේ විදියට තමයි අපි ගල් අඟුරු යුද්ධයත් තඹ යුද්ධයත් කපු යුද්ධයත් කළේ. ත්‍රෛසීලන්තෙදි අපි ජනගහනයෙන් තුනෙන් දෙකක් ම මරලා දම්මා. ඉතිරි වුණ තුනෙන් එකට බල කළා අපේ කුඩයි පටියි මිල දී ගන්න.”
  
 සභා ගැබ මධ්‍යයෙහි අසුන්ගෙන සිටි තරබාරු මිනිසෙක් ඒ මොහොතේ වේදිකාවට නැඟුණි.
  
  ඔහු මෙසේ කීය.”විශ්වයේ සියලු ම වෙළඳ පොළවල හැම්වල ආධිපත්‍යයත් ඌරු මස් ඉස්මවල ආධිපත්‍යයත් අත්පත් කර ගැනීම පිණිස, අපේ ඌරන් සමඟ උජාරුවට සටන් කරන එමරල්ඩ් සමූහාණ්ඩුවට විරුද්ධව අපි යුද්ධයක් කළ යුතු ය කියා මම යෝජනා කර සිටිනවා.” 
 
  “ඒ මන්ත්‍රී කවුද?

  “ආ. ඒ ඌරු වෙළෙන්දෙක් ” 

“කිසියම් විරුද්ධත්වයක් තියෙනව ද?“ කථානායක තුමා ඇසී ය 

මේ ‘එමරල්ඩ් සමුහාණ්ඩුවට එරෙහි යුද්ධයට පක්ෂ ව අත් එස වී, විශාල වැඩි ජන්ද සංඛ්‍යාවකින් සම්මත විය. 
 
“මොනවා!” ඔබ්නුබයිල් භාෂා පරිවර්තකයාට කීවේ ය . “ඔය තරම් ඉක්මණින්, ඒ තරම් නොසැලකිල්ලෙන් යුද්ධයක් කරන්න තීන්දු කළා!” 
 
“අයියෝ, ඒක හරි ම නොවැදගත් යුද්ධයක්නෙ, ඒකට ඩොලර් අසූ ලක්ෂයක්වත් වියදම් වෙන්නෙ නැහැ.” 
 
“ඉතින් මිනිස්සු........” 
 
  “ඩොලර් අසූ ලක්ෂෙට මිනිස්සුත් අතුළත් කරලයි තියෙන්නෙ"  ආචාර්ය ඔබිනුබයිල් දැඩි විමර්ශනාත්මක බවකින් යුතු ව හිස නමා ගති.
  
“දුගීභාවය හා ම්ලේච්ඡත්වය යුද්ධවලට හේතු වන තරමට ම ධනය සහ ශිෂ්ටාචාරය ද යුද්ධවලට හේතු වන හෙයිනුත්, මිනිස්සුන්ගේ මුග්ධකම සහ කෲරකම සුව කළ නො හැකි හෙයිනුත්, කරන්න තියෙන්නේ එක ම එක හොඳ ක්‍රියාවක් පමණයි. ප්‍රඥාවන්ත මිනිස්සු මේ ග්‍රහ ලෝකය පුපුරුවා හැරීමට අවශ්‍ය තරම් ඩයිනමයිට් එකතු කරනවා ඇත. එහි පතුරු අභ්‍යාවකාශය පුරා පියාඹන විට, අවබෝධ කර ගත නො හැකි සමෘද්ධියක් විශ්වය තුළ සාක්ෂාත් වනවා ඇත. විශ්ව හෘද සාක්ෂියට තෘප්තියක් ලබා දෙනවා ඇත. තවද, විශ්ව හෘද සාක්ෂිය කියා දෙයක් ඇත්තෙ නැහැනෙ.” 








                 ග්‍රන්ථය 5

                  නූතන සමය - ෂතියොං
  
                            1 

            ගෞරවාර්හ අගාරික පියතුමා සහ 
                 කෝර්න්මියුස් පියතුමා

 
  සෑම ආණ්ඩු ක්‍රමයක් ම අතෘප්තිකර මිනිසුන් බිහි කරයි. සමූහාණ්ඩුව හෙවත් පොදු දෙය එවැන්නන් ප්‍රථමයෙන් ම බිහි කළේ, ස්වකිය පෞරාණික වරප්‍රසාදයන්ට අහිමි කරනු ලැබූ රදළයන් අතරිනි. දුක්භරිත වූ ඔවුහු බලාපොරොත්තු සහගතව ඩ්‍රැකොනයිඩ්වරුන්ගේ අන්තිමයා වූ කෲවෝ කුමරුන් දෙස නෙත් යොමා සිටියහ. ඔහු යොවුන් වියේ සුන්දරත්වය සහ පිටුවහල් කරනු ලැබීමේ දොම්නස් සහගත බව යන දෙකින් ම අනූන වූ කුමරෙකි. ගැඹුරු ආර්ථික හේතුන් කරණ කොට ගෙන තවදුරටත් ජීවනෝපායක් සලසා ගත නුහුණු සුළු වෙළඳුන් අතරින් ද සමුහාණ්ඩුව එවැන්නන් බිහි කළේ ය. තමන් මුල දී ප්‍රේම කළා වූත් දැන් දැන් ගතවන දිනක් පාසා තමන් ඈත් වෙමින් සිටින්නා වූත් සමුහාණ්ඩුව කළ වැරදි, මෙයට හේතුව යයි ඔවුහු විශ්වාස කළහ. මුල්‍යකරුවෝ - කිතුණු සහ යුදෙව් යන දෙකොටස ම- උදාරභාවය සහ මසුරුකම හේතු කොට ගෙන, ඔවුන් විසින් ම  කොල්ල කා පිරිහෙළනු ලැබූ රටෙහි මහා නස්පැත්තිය බවට පත් වූවාක් මෙන් ම, සියලු ම ආණ්ඩු යටතේ බාධාවකින් තොර ව තමන්ට සිය කටයුතු ගෙන යා හැකි බවට ඒ සා විශ්වාසයෙන් යුතු වීම නිසා, තමන් විසින් විනාශ කරලීමට හෝ පවත්වා ගෙන යාමට හෝ කිසිදා කරදර නො වූ ආණ්ඩුවක ලෝකාපවාදය බවට ද පත් වූහ. එසේ ද වුවත්, ඔවුන්ගේ දුබල, එනමුදු දෘඪතර විරුද්ධවාදීන් වූ සමාජවාදීන්ට එරෙහිව ඇති විශිෂ්ටතම ආරක්ෂාව ලෙස, රාජාණ්ඩුව වෙතට ඔවුන්ගේ හිතවත්භාවය ඇදී ගියේ ය. ඔවුහු රදළයන්ගේ ගති පැවතුම් අනුකරණය කළ පරිදි ම, ඔවුන්ගේ කාන්තා පක්ෂය විශේෂයෙන් ම කුමරුන් හට ප්‍රේම කළ අතර, යම් දිනෙක ඔහුගේ රාජ භවනේ පෙනී සිටීමට ද සිහින මැවූහ.  
එසේ ද වූයේ වී නමුත්, සමුහාණ්ඩුව ද තමන්ට පක්ෂපාතී වූවන් හා තමන්ගේ ආරක්ෂකයන් ඉතිරි කර ගති. තමන්ගේ ම නිලධාරීන්ගේ පක්ෂපාතීත්වය කෙරෙහි විශ්වාස කිරීමට හැකි තත්ත්වයක නො සිටියේ වී නමුත්, අවම වශයෙන් කායික ශ්‍රමිකයන්ගේ කැපවීම කෙරෙහි බලාපොරොත්තු රැඳවීමට එයට හැකි විය. එසේ වූයේ, ඔවුන් ඇද වැටී සිටි අන්ත කාලකණ්ණිභාවයෙන් මිදීමට සමුහාණ්ඩුව ඔවුනට කිසිදා කිසිදු සහනයක් ලබා නො දී තිබිය දී ය. ඔවුහු සමූහාණ්ඩුව සුරැකීමට සිය ගල්වළවල සිට, කර්මාන්ත ශාලාවන්හි සිට, සමූහ වශයෙන් පැමිණ, දොම්නස් සහගතව, දිරාපත්වල අශුභවාදීව දිගු පෙළපාලි පැවැත්වූහ. ඔවුන් එය වෙනුවෙන් දිවි පුදනු ඇත. මක්නිසාද යත් එය ඔවුන් තුළ බලාපොරොත්තු ජනිත කළ බැවිනි.
  
  තියඩෝර් ෆෝර්මෝස් ජනාධිපතිත්වය දරූ සමයෙහි අල්කාහි නිසසල උපනගරයක අගාරික නම් වු මහණෙක් විසී ය. ඔහු පාසලක් පවත්වා ගෙන ගිය අතර මඟුල් කපුකමට ද ආධාර කළේ ය. සිය ජන්මය අනුව කීර්තිමත් වූ නමුදු දැන් වරප්‍රසාද අතින් මෙන් ම ධන බලය අතින් ද අසරණ භාවයට පත්ව සිටි පැරණි පවුල්වල පුතුන් හට ඔහු කඩු හරඹය සහ අසුන් හරඹය ඉගැන්වී ය. ඔවුන් නිසි විය එළඹි කල් හි ඔහු වහා ඔවුන් සමෘද්ධිමත් වූත් ජුගුප්සාජනක වූත් මූල්‍ය කරුවන්ගේ පෙළැන්තියට අයත් දුහිතෘන් හට විවාහයන් කර දුනි.
  
  උස, හීන්දෑරි සහ කාල වර්ණ ආගාරිකයෝ, සිය යාතිකා පොත අතැති ව, සිය දෑස් දැඩි බලාපොරොත්තුවෙන් පුරවා ගෙන පාසැලේ බරාඳයන්හිත් උදානයේ පටු මාවත ඔස්සේත් ලොව පෙරළන තරම් බර කල්පනාවෙන් යුතු ව සක්මන් කිරීමට පුරුදුව සිටියහ. සිය සිසු කැළ තුලට ගුඪ ධර්මයන් ද යාන්ත්‍රික ශික්ෂා පදයන් ද කාවද්දා, පසුව ඔවුනට නීත්‍යනුකූල හා ධනවත් අඹුවන් ලබා දීමට පමණක් ඔහුගේ සැලකිල්ල සීමා වූයේ නැත. ඔහුට දේශපාලන සැලසුම් ද තිබුණි. ඔහු යෝධ සැලැස්මක් සාක්ෂාත් කර ගැනීමෙහිලා නියුක්ත විය. ඔහුගේ චින්තනයන්හි චින්තනය වූයේත් ශ්‍රමයන්හි ශ්‍රමය වූයේත් සමූහාණ්ඩුව පෙරළා දමීම ය. ඔහු මේ කරා මෙහෙය වනු ලැබුවේ කිසිදු පෞද්ගලික අභිමතාර්ථයක් මඟින් නො වේ; ඔහු මුළු ගතින් ද මුළු හදින් ද අයත්ව සිටි ශුද්ධ වූ සමාජයට ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පටහැණි වන්නේ යයි ඔහු විශ්වාස කළේ ය. අන් සියලු මහණුන් ද ඔහුගේ සහෝදර වරිගයා ද සිතුවේ එලෙස ම ය. සමුහාණ්ඩුව නිරතුරුව ම මහණුන්ගේ රැස්වීම්වලට සහ බැතිමතුන්ගේ රැස්වීමිවලට එරෙහිව පොලු කෙළින් කර ගෙන සිටියේ ය. ඇත්ත ය, නව ආණ්ඩුවේ මරණය ඇති කර ලීමට කුමන්ත්‍රණය කිරීම දුෂ්කර වූත් විනාශකාරී වූත් ව්‍යාපාරයක් විය. එසේ ද වුවත් බරපතළ කුමන්ත්‍රණයක් ගෙන යා හැකි තත්ත්වයක අගාරික පසු විය. පෙන්ග්වින්හි ඉහළ පන්තීන් හට පූජකයන් විසින් මග පෙන්වනු ලැබුවා වූ එම යුගයේ දී, අල්කා හී රදළයන් කෙරෙහි දැවැන්ත බලපෑමක් මෙම මහණා ඇති කළේ ය.
  
  ඔහු හැදූ වැඩූ සියලු ම තරුණයෝ, පොදු ජන බලයට එරෙහි ව යාමට වාසිදායක මොහොතක් එළෙඹෙන තුරු පමණක් පුල පුලා බලා සිටියහ. පෞරාණික පවුල්වල පිරිමි දරුවෝ කලාවන්හි නියුක්ත නො වූහ. ඔවුහු ව්‍යාපාරයන්හි ද නො යෙදුණහ. මුළුමණින් ම පාහේ සොල්දාදුවන් වූ ඔවුහු සමූහාණ්ඩුවට සේවය කළහ. ඔවුහු එයට සේවය කළ නමුත් එයට පෙම් නො කළහ. ඔවුහු මකරාගේ ලාංඡනය ගැන පසුතැවිලි වූහ. සුකොමළ යුදෙව් කතුන් ද මේ දුකෙහි කොටස්කරුවන් වූයේ, තමන් ද කිතුණුවන් ලෙස සලකනු ලැබිය හැකි වනු පිණිස ය.  ජූලි මස එක් දිනෙක, දූවිල්ලෙන් පිරුණ කුඹුරකින් කෙළවර වන එක්තරා උප නගරයක විදියක් ඔස්සේ ඔහු ගමන් ගනිද්දී, උයන් පල්ලන් විසින් අත්හැර දමනු ලැබ තිබූ පෙඳ ගැවසුණු ළිඳකින් නිකුත් වූ කෙඳිරියක් අගාරිකයන් හට ශ්‍රවණය විය. ඒ හා සැණෙකින් වාගේ අසල්වැසි සපතේරුවෙක් ඔහුට කියා සිටියේ, අසලින් ගමන් කරමින් සිටි පාබල හමුදා නිලධාරීන් විසින්. “සමුහාණ්ඩුවට ජයවේවා!” යි හඬ නැඟූ ජරාපත් මිනිසකු ළිඳට කලු කර දමනු ලැබූ බවත් ඔහු සිය කන දක්වා මඩේ ගිලී සිටින බවත් ය. මෙම විශේෂිත කරුණ තුළ ගැබ් වූ පොදු වැදගත්කම දැකීමට අගාරික සමත් විය. සමස්ත රදළ පෙළැන්තිය සහ මිලිටරි පෙලළැන්තිය තුළ කැකෑරෙමින් පවතින මහා පැසවීමක් දුටු ඔහු ක්‍රියාත්මක වීමට මොහොත එය බැව් නිගමනය කළේ ය. 

  පසු දින ඔහු කෝනිල්ස් වනයේ ඈත කෙළවරට නික්මුණේ, යහපත් කෝර්න්මියුස් පියතුමා මුණගැසෙනු පිණිස ය. දියරයක් වක් කරමින් මහණා පර්යේෂණාගාරය තුළ සිටිනු ඔහුට දක්නට ලැබුණි. හේ කාලගෝලයකි. ගෙන්දගම් ආලේපිත කපෝලයන්ගෙන් ද එහෙම පිටින් ම ඔප දැමූ තට්ටයකින් ද යුක්ත වූවෙකි. ඔහුගේ ඇස්වල වල් ඌරකුගේ වැනි මරාමිණි පැහැයෙන් යුත් කලු ඉංගිරියාවක් විය. ඔහු අමුත්තාට කරුණා පෙරදැරි ව ආචාර කොට, සාන්ත ඔර්බෙරෝසියානු කසිප්පු වීදුරුවක් පිළිගැන්වී ය. එම මත්පැන නිපදවූයේ ඔහු ය. එය විකිණීමෙන් ඔහු දවැන්ත ධන සම්භාරයක් ඉපැයී ය.
  
  අගාරික එය ප්‍රතික්ෂේප කරන බවට සංඥාවක් කළේ ය. ඉන්පසු නැඟී සිටි ඔහු, සිය අඳුරුවන් හිස් වැසුම බඩට තද කර ගනිමින් නිහඬව සිටියේ ය. 
  
      “වාඩි වෙන්න” කෝර්න්මියුස් ඔහුට කීවේ ය. ඔහු වාඩි ගති. එහෙත් තවදුරටත් ගොඵවත ම රැකී ය.

   එවිට කෝනිල්ස් හි මහණා මෙසේ විමසී ය.
  
  “ඔබේ තරුණ ගෝල බාලයො ගැන මට යමක් කියන්න. ඒ සුරතල් දරුවන් දැන් අදහස් හෙම පළ කරනව ද?
  
         “මම නම් ඔවුන් ගැන හොඳට ම සෑහීමට පත් වෙලයි ඉන්නෙ.” ගුරුදේවයාණෝ පිළිතුරු දුන්හ. “බැරෑරැම් ප්‍රතිපත්තිවලින් පෝෂණය වීම ය කියන්නෙ, සියලු ම දේ අත්පත් කර ගත්තා හා සමාන දෙයක්. කිසිමි අදහසක් ඇති කර ගන්න ඉස්සර වෙලා ඒ අදහස් පළ කිරීම අවශ්‍යයි. මොකද ඊට පස්සේ එය කිරීම හුඟක් ප්‍රමාද වූ දෙයක් වන නිසයි........සැප පහසුව සඳහා නම් මට හුඟක් හේතු තියෙනව. ඒත් අපි ජීවත් වෙන්නේ හරිම අබුද්දස්ස කාලෙකනෙ.” 
 
  “අහෝ!” කෝර්න්මියුස් සුසුම් හෙළී ය. 

 “අපි දැන් ගතකරමින් ඉන්නේ මහ නපුරු කාලයක්නෙ.” 

       “ඒත් කෝර්න්මියුස්, ජනතාවගේ සිත් සතන් නම් පෙනෙන තරමට ම දූෂණය වෙලා නැහැ."
  
  “සමහර විට ඔබ හරි වෙන්න පුළුවන්.” 

  “තමන් ව විනාශ කරන, තමන් වෙනුවෙන් මුකුත් ම නො කරන ආණ්ඩුව ජනතාවට තිත්ත වෙලා. හැමදාමත් අලුතින් මොකක් හරි නවනිංගිරාවක් මතු වෙලා එනව. සමුහාණ්ඩුව නිර්ලජ්ජිතභාවයේ ගිලිලා. ඒක ඉතින් කපෝතියි.”
  
“දෙවියන් වහන්සේ ඒ ගැන බලා ගනිත්වා.!” 
 
“කොර්න්මියුස්, කෲවෝ කුමාරයා ගැන ඔබ හිතන්නේ මොකක් ද?”
  
  “ඔහු ප්‍රසන්න කුමාරයෙක්. මට බය නැතිව කියන්න පුළුවන් එයා ප්‍රතාපවත් වංශෙක නියම උරුමක්කාරයා බව. ඒ තරම් තරුණ කාලෙ දී පිටුවහල් කරලා, ඒකෙ දුක් වේදනා විඳවන්න වීම ගැන මම එතුමාට අනුකම්පා කරනව. පිටුවහල් කරපු එවුන්ට වසන්තයෙ දී මල් ලැබෙන්නෙ නැහැ. සරත් සෘතුවේදි පලතුරු ලැබෙන්නෙ නැහැ. කෲචෝ කුමාරයාට බොහොම බැරෑරැම් අදහස් තියෙනව. එතුමා පූජකයන්ට ගරු බුහුමන් කරනව. අපේ ආගම අදහනව. ඒ විතරක්යැ. මගේ මේ පොඩි බඩුවලින් වැඩි හරියක් ම ගිල දාන්නෙත් එයා ම තමයි.” 
 
  “කෝර්න්මියුස්, දුප්පත් පොහොසත් බොහෝ දෙනෙක් එතුමා ආපසු එන තෙක් පුල පුලා බලාගෙනයි ඉන්නේ. මාව විශ්වාස කරන්න. එතුමා ආපහු එනව ඇති.”

  “එතුමාගේ දෙපා යට මගේ පලස එළීම සඳහා මම ජීවත් වේම්වා!“ කෝර්න්මියුස් සුසුම් ලෑවේ ය
.  
  ඔහු මෙම හැඟුමින් බරව ඇති බව දුටු අගාරික තෙමේ, ජනතාවගේ මානසික තත්ත්වය යයි තමා සිතා ගත් දෙය කෝර්න්මියුස් හට විස්තර කළේ ය. මහජන ආණ්ඩුවට එරෙහිව රදළයන් හා ධනපතියන් කුපිතව සිටින බවත් අලුත් නින්දාපහාසයන් විඳ දරා ගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කරන බවත් අතෘප්තිමත් ව සිටින ජනතාව කෝපයෙන් පුපුරා යමින් කැරලි ගැසීමට සුදානමින් සිටින බවත් මහණුන්ගේ සතුරන් වන විධිමත් බලධාරින් අල්කා හි ළිං වලට විසි කර දමනු ලබන බවත් ඔහු කෝර්න්මියුස්ට දක්වා ලී ය. විශාල ප්‍රහාරයක් එල්ල කිරීමට කාලය එළඹ ඇති බව ඔහු නිගමනය කළේ ය.
  
  “අපට පුළුවන්” ඔහු හඬ නංවා කීවේ ය. “අපට පුළුවන් පෙන්ග්වින් ජනතාව රැක ගන්න, එහි ඒකාධිපතියන්ගෙන් එය මුදා යන්න. එය එයින් ම මුදා ගන්න. මකර ලාංඡනය ප්‍රතිෂ්ඨාපනය කරන්න. පල්ලියෙ ගෞරවයයි උන්නතියයි උදෙසා පෞරාණික රාජ්‍යය, යහපත් රාජ්‍යය ප්‍රතිෂ්ඨාපනය කරන්න. අපට අවශ්‍ය නම් එය කරන්න පුළුවන්. අප සතුව විශාල ධනයක් තියෙනව. රහස් බලපෑම් කරන්න අපට පුළුවන්. අපේ ශුභාරංචිය මගිනුයි කිසිවක් නොසඟවා කථා කරන සඟරා මගිනුයි, ගමේත් නගරෙත් දෙකේ ම ඉන්න පැවිද්දන් සමග අදහස් හුවමාරු කර ගන්න අපිට පුළුවන්. අපේ දැඩි උද්යෝගයෙනුයි රත් වෙමින් තියෙන ශ්‍රද්ධා භක්තියෙනුයි ඔවුන්ව කෙළින් කරල ගන්න අපිට පුළුවන්. ඔවුන් පාපෝච්චාරකයන්වයි බණ මණ්ඩපයි දල්වාවි. හමුදා නායකයන් ගැන වග බලා ගන්න මට පුළුවන්. ජනතාවගෙ නායකයොත් එක්කලා මට අන්‍යෙන්‍ය විශ්වාසයක් තියෙනවා ඒ ගොල්ලන්ට නොදැනෙන්න මම කුඩ වෙළෙන්දන්ගෙ, තැබෑරුම්කාරයන්ගෙ, සාප්පුකාරයන්ගෙ, කානුපල්ලෙ ඉන්න එවුන්ගෙ, පත්තර විකුණන්නන්ගෙ, පාරේ නන්නත්තාරේ යන ගෑනුන්ගෙ, පොලිස් ඒජන්තලගේ සිත් වසඟෙට ගන්නම්. ඕනෑවටත් වඩා වැඩි ජනතාවක් අපේ පැත්තට ඉන්නවා. අපි තවත් බලා ඉන්නෙ මොන හත් ඉලව්වකට ද? අපි කෙළින්ම වැඩේට බහිමු.“
 “ඔබ කරන්න හිතාගෙන ඉන්නෙ මොකක්ද?“ කෝර්න්මියුස් ඇසී ය. “යෝධ කුමන්ත්‍රණයක් කරලා සමුහාණ්ඩුව පෙරළලා දාලා, කෲචෝ කුමාරයා ඩ්‍රැකෝ පරපුරට අයත් සිංහාසනේ යළි ඉන්දන්නයි.“ කෝර්න්මියුස් කීප වතාවක් ම සිය දිවෙන් තොල තෙත් කර ගත්තේ ය. ඉනික්බිති ඔහු වෙව්ලමින් මෙසේ කීවේ ය.  
“ඩ්‍රැකොනයිඩ්වරුන් ප්‍රතිෂ්ඨාපනය කිරීම නම්, සහතික වශයෙන් ම හොඳ දෙයක්. ඒක බොහොම උත්කෘෂ්ඨයි. ඒ ගැන කියනව නම්, මම මගේ මුළු හදවතින් ම එයට සුභ පතනව. සමුහාණ්ඩුව ගැන කියනවා නම්, ඒ ගැන මම හිතන දේ ඔබ දන්නව....... වුනත්  ඒකට ඔහේ නිකම්ම කෙළවෙලා යන්න ඉඩ දීලා අපි පැත්තකට වෙලා නිකම් බලා ගෙන ඉන්න එක වඩා ඇඟට ගුණ නැද්ද? සැකයක් නැහැ. ආගාරික. ඔබ යෝජනා කරන දේ නම් හරි ම උතුම්, උදාරයි. මේ ලෝකෙන් උතුම්  රට, මේ වාසනාවන්ත පුංචි රට රැක ගැනීමත් එහි පෞරාණික ශ්‍රී විභූතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමත් හොඳ වැඩක්. ඒත් ඒ ගැන ආපසු කල්පනා කරලා බලන්න. අපි පෙන්ග්වින්ලා වීමට පෙර අපි කිතුණුවො. දේශපාලන ව්‍යාපාරය ඇතුලේ ආගම නිකම් සවුත්තු කර නොදාන්න අපි වග බලා ගන්න ඕන නේ.” 
 
  අගාරිකයෝ උද්යෝගයෙන් අනූනව මෙසේ පිළිතුරු දුන් හ.
  
“කිසි දේකට බය වෙන්න එපා. අපි කුමන්ත්‍රණේ හැම පොටක් ම අපේ අතට අර ගෙනයි ඉන්නෙ. ඒ වුනත් අපි ඉන්නෙ තිරයෙන් පිටිපස්සෙ. අපිව කාටවත් ම පේන්නෙ නැහැ.”

 “හරියට ම කිරිවල ඉන්න මැස්සො වගේ” කෝනිල්ස් හි මහණා මුමුණුවේ ය. 
 
  සිය උද්යෝගීමත් මරාමිණි වන් දෑස් සහෝදර මහණා වෙත යොමමින් ඔහු මෙසේ කීවේ ය.
  
  “බලාගෙනයි. සමහර විට, සමූහාණ්ඩුව පේනවට වඩා ශක්ති සම්පන්න වෙන්න පුළුවන්. සමහර විට ඒක පත්වෙලා තියෙන අධෛර්ය සම්පන්න කුසීත තත්ත්වයෙන් එළියට ඇද ගැනීමෙන්, අපි එකේ බලවේග ශක්ති සම්පන්න කරනව වෙන්නත් පුළුවන්. ඒක සතුව තියෙන ද්වේෂය හරි විශාලයි. අපි පහර දුන්නොත්, ඒක තමන්ව ආරක්ෂා කර ගන්නවා ඇති. අපට කොයි විදියෙන්වත් බල නොපාන නරක නීති සමුහාණ්ඩුව දැන් හදනව. එය බියට පත් වුනොත් හෙම අපට විරුද්ධව බිහිසුණු නීති හදාවි. අපව මකබෑවෙලා යාමට තුඩු දෙන්න පුළුවන් අතිධාවනකාරී ක්‍රියාවක අපි ආවට ගියාට නොයෙදිය යුතුයි. ඔබ හිතනවා තත්ත්වය හොඳ එකක්ය කියලා. මම නම් හිතන්නේ නැහැ. මම කියන්නම් මොකද සියලා. දැන් තියෙන ආණ්ඩුව මොකක්ද කියලා හැම කෙනෙක් ම දන්නෙ නැහැ. ඒ කියන්නේ මෙන්න මේකයි. එය කියා සිටිනවා තමන් පොදු දෙය ය කියලා. ජනතාව ඒක විශ්වාස කරමින්, ප්‍රජාතන්ත්‍රවාදීව සමුහාණ්ඩුවාදීව ඉන්නව. ඒත් ඉවසපන් පපුව! පොදු දෙය ජනතාවගේ දෙය බවට පත් විය යුතු යයි යම් දිනක මේ ජනතාව ඉල්ලා සිටිනවා ඇති. ඒ වගේ අයිතිවාසිකම් ඉල්ලා සිටීම කෙතරම් උද්ධච්ඡ, කෙතරම් ව්‍යවස්ථා විරෝධී, බයිබලයට කොතරම් පටහැණි ලෙස මට පෙනෙනවාද කියන එක මා ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒ වුනත් මිනිස්සු ඒ අයිතිවාසිකම් ඉදිරියට දමාවි. ඒවා බලෙන් ම ක්‍රියාත්මක කරාවි. එතකොට වර්තමාන ආණ්ඩුවේ අවසානයක් ඇති වේවි. ඒ මොහොත දැන් ඒ තරම් ම ඈත වෙන්න බැහැ. අන්ත එතකොට අපි අපේ උතුම් ආයතනයේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්න ඕන. අපි බලාගෙන ඉඳිමු. අපි මක්කටද ඉක්මන් වෙන්නේ? අපේ පැවැත්ම මකබෑවෙන තත්ත්වයක් තවම ඇති වෙලා නැහැනේ.අපට කොහොමටවත් ඉවසන්න බැරි තරම් තත්ත්වයකට කරුණු සිද්ධ වෙලා නැහැ. අපි සම්බන්ධයෙන් ගත්තහම සමුහාණ්ඩුව අසාර්ථක වෙනව. ඒක පූජකයන් සතු විය යුතු ගෞරවය ඔවුන්ට ලබා දෙන්නෙ නැහැ. ඒ වුනත් ඒක අපට ජිවත් වෙන්න ඉඩ හරිනව. අපේ තත්ත්වේ මොන තරම් විශිෂ්ට ද කියනවා නම්, අපට නම් ජීවත්වීම ය කියලා කියන්නෙ සමෘධිමත් වෙන එකයි. සමුහාණ්ඩුව අපිට සතුරු තමයි. ඒ වුනත් ස්ත්‍රීන් අපිට ගරු බුහුමන් කරනව. අපේ ගුප්ත කටයුතුවලට ජනාධිපති ෆෝර්මෝස් උදව් දෙන්නෙ නැහැ. ඒත් මම මගේ කකුල් දෙක ළඟදි එයාගේ ආර්යාවයි දූවරුනුයි දුටුවා. ඒ ගොල්ල මගේ කුප්පි තොග ගණනින් මිල දී ගන්නව. ඊට වඩා හොඳ ගැණුම්කරුවො රදළයො අතරවත් මට නැහැ. ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන දේ අපි කෙළින් ම කියමුකො. පෙන්ග්විනියාව කරම් පුජකයන්ටයි මහණුන්ටයි කියාපු තැනක් මුළු මඟුල් සක්වළේ ම ඇත්තේ නැහැ. අපේ කන්‍යා ඉටි, පෞරුෂත්වයෙන් යුතු කට්ටකුමංජල්, අපේ ජපමාලා, අපේ උරචක්‍ර මාලා, අපේ ශුද්ධ වූ වතුර ටික, අපේ ශාන්ත ඔබේරෝසියානු කසිප්පු ඒ තරම් ම විශාල ප්‍රමාණයන්ගෙන් විකිණෙන්නේ වෙන කොයි රටේ ද ? අපේ එක අත වැනීමක් වෙනුවෙන්, අපේ මුවෙන් නික්මෙන එක සද්ද මාත්‍රයක් වෙනුවෙන්, අපේ තොල් පෙතිවල චලනය වීමක් වෙනුවෙන් පෙන්ග්වින්වරු දෙනව වගේ රන් කහවුනු සියයක් දෙන්නෙ වෙත කොයි රටේ මිනිස්සු ද? මං ගැන කියනව නම්, යුරෝපය, ඇමරිකාව වගේ ජනගහනය අති බහුල රාජ්‍යවලදි පව් සමාකිරීම ගැන උගුර කට වේලෙන තෙක් දේශනා පවත්වල, මගේ පෙනහැලි හෙම්බත් කර ගෙන ගරා ගන්න පුළුවන් ප්‍රමාණෙට වඩා දහස් ගුණයක්, තයිම් පඳුරු බණ්ඩලයක ඉස්ම මිරිකල අරගෙන මේ රම්‍ය පුරම්‍ය, ධර්මිෂ්ඨකමෙන් පිරුණ සුවච කීකරු පෙන්ග්විනියාවේ දි මම ගරා ගන්නව. අවංකව ම කියනවා නම්, පොලිස්කාරයෙක් ඇවිත් මාව කුදලා ගෙන ගිහින්, නිශාචර දිවයිනට යන දුම් බෝට්ටුවකට දම්මොත් පෙන්ග්විනියාව මීට වඩා යහපත් වේවි ද? “
එසේ කියා සිටි කෝනිල්ස් හි මහණා නැඟිට, සිය අමුත්තා විශාල මඩුවක් වෙත කැඳවා ගෙන ගියේ ය. එහි අනාථ දරුවන් සිය ගණනකි. නිල් පැහැති ඇඳුමින් සැරසී සිටි ඔවුහු බෝතල් පුරවාලමින් පෙට්ටි වලට ඇණ ගසමින් ලේබල් අලවමින් සිටියහ. රේල් පීලි මත තැන්පත් කෙරුණ බඩු පෙට්ටිවලින් නැඟුණ ඒකාකාර ගර්ජන හඬත් සමඟ මුසු වූ මිටි පහරවල හඬ කන් බිහිරිකරවනසුලු විය.
  
  “බඩු තොග ඉදිරිපත් කරන්නේ මෙන්න මෙතැනිනුයි.“ කෝරන්මියුස් කීය. “කැලේ මැදින් මගේ දොරකඩට ම රේල් පාරක් මම ආණ්ඩුවෙන් ලබා ගත්තා. හැම දවස් තුනකට වරක් ම මම මගේ නිෂ්පාදනවලින් බඩු පෙට්ටි පුරවනවා. සමුහාණ්ඩුව අපේ විශ්වාස සියල්ලක් ම මරා දාලා නැති බව දැන් ඔබට ම පේනවනේ.“ ප්‍රඥාවන්ත තැබෑරුම්කරු සිය ව්‍යාපෘතියෙහි යොදවා ගැනුමට අගාරිකයෝ අවසන් ප්‍රයතනයක ද නියැඵණහ. ඔහු අත ළඟ ඇති ස්ථිර හා දීප්තිමත් විජයග්‍රහණයක් ඔහුට පෙන්නුම් කළේ ය.
  
  “ඔබට අවශ්‍ය නැද්ද එයට හවුල් වෙන්න?“ ඔහු ඇසී ය.“ ඔබට අවශ්‍ය නැද්ද ඔබේ රජතුමා පිටුවහලෙන් ආපසු ගෙන්න ගන්න?“ 
 
  “හොඳ හිත තියෙන මිනිසුන් හට පිටුවහල් කරනු ලැබීම ප්‍රිය ජනක දෙයක්.“ කෝනිලස් හි මහණා පිළිතුරු දුණි. “මගේ සහෝදර අගාරික, ඔබ මගෙන් මාර්ගෝපදේශකත්වය ලබනව නම්, ඔඛ ඔබේ වැඩ පිළිවෙල දැනට අත් හැර දමනවා ඇති. මා ගැන කියනව නම්, මට නම් කිසි ම  මිථ්‍යාවක් නැහැ. මම ඔබේ පක්ෂෙට අයත් වුනත් නැතත්, ඔබ පරාජයට පත් වුනොත් මටත් ඔබ තරමට ම කෙළ වෙනවා කෙළ වෙනවමයි.“ 
 
  අගාරික පියතුමා සිය මිතුරාගෙන් සමු ගෙන තෘප්තියෙන් අනූනව සිය පාසල වෙත ආපසු ගියේ ය. ඔහු මෙසේ සිතී ය “කුමන්ත්‍රණය වළක්වන්න බැරි නිසා එය ජය ගන්නවට කෝරන්මියුස් කැමතියි. එයා මුදල් දේවි.“ අගාරික මුලා වූවා හෙම නො වේ. සත්තකින් ම පූජකයන් සහ මහණුන් අතර ඇති සහෝදර බැම්ම කෙවැනි ද යත්, එකකුගේ ක්‍රියාවන් මගින් ඔවුහු සියල්ලෝ ම බැඳි දමනු ලබති. එය ඔවුන්ගේ ශක්තිය විය. ඔවුන්ගේ දුබලකම වූයේ ද එය ම ය.







                                         02 

                               කෲචෝ කුමරු

 
   සිය කුළුපගභාවය මගින් තමාට ගරු බුහුමන් කළා වූ කෲචෝ කුමරු වෙත නොපමාව යාමට අගාරික තීරණය කළේ ය. සැඳෑ අඳුර ලොව වැටෙන වෙලාවේ  පෑළ දොරින් ම පාසැලින් නික්මුණ ඔහු හරක් වෙළෙඳකු ලෙස වෙස් වලා ශාන්ත මායෙල් යාත්‍රාවෙන් ගමන් කළේ ය.  
පසු දින ඔහු ඉබ්බාගමුවෙන් ගොඩ බැස්සේ ය. මන්ද යත් කෲචෝ කුමරු සිය පිටිවහලේ තිත්ත බත කෑවේ ආගන්තුක සත්කාරයට චිරප්‍රසිද්ධ මෙම භූමි භාගයේ පිහිටි විතර්ලිංග්ස් මාලිගයෙහි වූ හෙයිනි. 
 
  අගාරිකයන්ට මහ මඟ දී කුමරු මුණ ගැසුණේ ඔහු තරුණ කතුන් දෙදෙනකු හා සමගින් පැයට සැතපුම් සියයක වේගයෙන් මෝටර් රියකින් ගමන් ගනිමින් සිටිය දී ය. මහණා ඔහු දුටු කෙනෙහි සිය රතු කුඩය වැනී ය. කුමරු රථය නවතා ලීය.
  
  “ආ! මේ ඔබ ද අගාරික? නගින්න, නගින්න. දැනටමත් අපි තුන් දෙනෙක් ම ඉන්නවා. ඒත් ඔබට ඉඩ දෙන්න අපිට පුළුවන්. මේ තරුණ නෝනල දෙන්නගෙන් එක් කෙනෙක් ඔබේ ඔඩොක්කුවට ගන්න.”
 
 සැදැහැවත් අගාරික ගොඩ විය. “ඉතින් තොරතුරු හෙම කොහොමද, උතුම් පියතුමනි?” නාඹර කුමරු විචාළේ ය
.  
“ලොකු ප්‍රවෘත්තියක්” අගාරික පිළිතුරු දුනි. “මට කථා කරන්න අවසර ද?”

  “අයියෝ ඔබට පුළුවන්. මේ නෝනල දෙන්නගෙන් හංගන්න කිසි ම රහසක් මං ලඟ නැහැ.” 

 “කුමරුනි, පෙන්ග්විනියාව ඔබට අඬ ගහනව එහි එන ලෙස. ඇඟේ අඬ ගැසීමට ඔබ බිහිරි නොවනු ඇතැයි මම හිතනව.” 
 
  අගාරික ජනතාවගේ හැඟුම්වල තත්ත්වය සවිස්තරව දක්වා යෝධ කුමන්ත්‍රණය සැකෙවින් ගෙන හැර දැක්වී ය.
  
  ඔහු මෙසේ කීය. “මගේ මුල් ම සංඥාව කළ ගමන් ම ඔබට පක්ෂපාත පුද්ගලයන් සියලු දෙන නැඟී සිටිනවා ඇති. කුරුසිය අතේ ඇතිව රෙදි කැසපට ගහගෙන ඔබේ ගරු කටයුතු පියතුමන්ලා ආයුධ සන්නද්ධ ජන සමූහයා ෆෝර්මෝස් ජනාධිපතිවරයාගේ මාලිගාව කරා මෙහෙයවනවා ඇති. අපි ඔබේ සතුරන් අතරට භීෂණය ගෙන යනවා. මරණය ගෙන යනවා, කුමරුනි, අපේ පරිශ්‍රමයට තෑගි වශයෙන් අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ, අපේ පරිශ්‍රමයන් ගඟට කැපු ඉණි බවට පත් නොකරන ලෙස පමණයි. අපි ඔබට අයැද සිටින්නේ එහි එන ලෙසත් අවුත් අප සූදානම් කර තිබෙන සිංහාසනයේ වාඩි ගන්නා ලෙසත් පමණයි.”  

  කුමරු සරල පිළිතුරක් දුනි. “කොළ අසු පිට නැගලා, මම අල්කාවට එනවා.”
  
  පුරුෂයකුට ම ඔබින මෙම එඩිතර පිළිතුර තමා මුළු හදින් පිළිගන්නා බව අගාරිකයෝ පැවසූහ. තමාගේ සාමාන්‍ය ගති පැවතුම්වලට පටහැනි ලෙසකින් තමාගේ ඔඩොක්කුවේ නාඹර ලලනාවක් සිටියේ වී නමුත්, ආත්මයාණන්ගේ උත්කෘෂ්ට සෘජු වීමකින් යුක්තව, ඔහු තරුණ කුමරුන් සිය රාජකීය යුතුකම්වලට බැතිමත්ව සිටින බවට සපත කරවා ගත්තේ ය.  
තුටු කඳුලින් තෙත බරිත වූ දෙනෙතින් යුතුව හේ හඬ නඟා මෙසේ කීය. “කුමරාණනි, ඔබ පිටුවහලින් ප්‍රතිෂ්ඨාපනය කරනු ලබන්නා වූත් ඔබේ ජනතාව වෙත ඔබ ආපසු ලබා දෙන්නා වූත් මහණුන් අතින් ඔබේ මුතුන් මිත්තන්ගේ සිහසුනෙහි ප්‍රතිෂ්ඨාපනය කුරනු ලබන්නා වූත් ඔවුන් විසින් මකරාගේ උදාරතර ඔටුන්නෙන් ඔටුනු පළඳවනු ලබන්නා වූත් දිනය ස්මරණය කිරීම සඳහා ඔබ ජීවත් වනවා ඇත. කෲචෝ රජතුමාණනි, ඔබ ඔබ වහන්සේගේ මුතුන් මිත්තා වූ මහා ඩ්‍රැකෝ රාජෝත්තමයාණන්ගේ කීර්තියට තරම් වෙත්වා!.”  

  තරුණ කුමරු ඉමහත් උද්වේගයෙන් අනූනව සිය ප්‍රතිෂ්ඨාපකයා වෙත පැන ඔහු වැළඳ ගැනීමට තැත් කළේ ය. එහෙත් තරුණ ළඳුන්ගේ බඳ පටි ඔහු ඉන් වළකාලී ය. ඔවුහු එම ඓතිහාසික රථය තුළ ගජරාමෙට තද වී සිටියාහු ය. 
 
  “උතුම් වූ පියතුමනි“ ඔහු කීය. “මෙම බදා ගැනීම මුළු පෙන්ග්විනියාව ම දැක බලා ගන්නවා නම් මම හරි ම සන්තෝෂයි.” 
 
         “එය මන රංජනීය දර්ශනයක් වෙනවා ඇති” අගාරිකයෝ කීහ.
  
        මේ අතරතුර මෝටර් රථය මහා චණ්ඩ මාරුතයක් පරිද්දෙන් ගම්දනවි සිසාරා ජව වේගයෙන් ඇදී ගියේ, කිකිළියන්, පාත්තයන්. කලුකුමුන්, තාරාවුන්, වළිකුකුළන් ,බළලුන්, බල්ලන්, ඌරන්, ළමයින්, කම්කරුවන් සහ ස්ත්‍රීන් සිය අසංතෘප්ති ටයර්යටින් චප්ප කර දමමිනි. සැදැහැවත් අගාරික තෙමේ සිය සැලසුම මනස තුළ ඒ මේ අත පෙරළමින් සිටියේ ය. එක් ළඳකගේ පිටුපසින් නැඟුණ ඔහුගේ කටහඬ මෙම සංකල්පනාව පළකර සිටියේ ය. 
 
  “අපිට මුදල් තිබිය යුතුයි. විශාල මුදල් ප්‍රමාණයක්.”

   “ඒක ඔබේ වැඩක්” කුමරු පිළිතුරු දුනි
.  
  එහෙත් ඒ වන විට උද්‍යාන දොරටුව මෝටර් රථය වෙනුවෙන් විවෘත වෙමින් තිබුණි.
  
  රාත්‍රී භෝජනය මහාර්ඝ විය. ඔවුහු මකර ඔටුන්නට සව්දිය පිරූහ. අමෘත කුසලානයක් සර්වාධිපතිත්වයේ සලකුණක් බව සියල්ලෝ ම දනිත්. ඒ අනුව කෲචෝ කුමරු සහ ගුද්රුන් කුමරිය උඩින් ආවරණය කර තිබූ කුසලානයකින් මධු පානය කළහ. කුමරු පෙන්ග්විනයාවේ සුදු හා රතු දෙවර්ණයෙන් ම වයින් කිහිප වතාවක් ම වත් කර ගති. 
 
  කෲචෝ කුමරු නියම කුමාර අධ්‍යාපනයක් ලබා තිබුණි. මෝටර් රිය පැදවීමෙහිලා ඔහු විශිෂ්ට විය. එහෙත් ඉතිහාසය පම්බන්ධයෙන් ද හේ අඥාන වූයේ නැත. ඔහු ඈත අතීතය පිළිබඳවත් සිය වංශයේ සුප්‍රකට කෙරුවාවල් පිළිබඳවත් මනා දැනුමෙන් හෙබියේ යැයි කියැවුණි. ඇත්ත වශයෙන් ම මේ හා සම්බන්ධ ඔහුගේ දැනුම පිළිබඳ සාක්ෂියක් ඔහු ම දුනි. සුප්‍රකට ස්ත්‍රීන් තුළ තිබෙතැයි සැලකෙන නොයෙකුත් අපූර්ව විශේෂ ලක්ෂණ ගැන ඔවුන් කථා කරමින් සිටින අතරතුර හේ මෙසේ කීය.  
         “කෲවා රැජිනට ඇගේ සිරුර මත කුඩා වඳුරෙකුගේ ඔලුවක සටහනක් තිබුණ බව සම්පුර්ණ සත්‍යයක්. මා දරන්නේ ඇගේ නාමයයි.”  
සවස් භාගයේ දී ඔහු කුමරුන්ගේ වෘද්ධතම උපදේශකයන් තිදෙන සමඟ තීරණාත්මක සාකච්ඡා වටයක් පැවැත්වී ය. රජකු සිය බෑණන්ඩිය කර ගැනීමට උත්සුක වූ කෲචා්ගේ මාමණ්ඩියගෙන් දල උදාරම් වීමට නොඉවසිලිමත්ව සිටි යුදෙව් ළඳුන් ගණනාවකින් දල කෲවෝ ප්‍රතිෂ්ඨාපනය කිරීම මගින් සිය ජනතාවගේ පාරම්පරික සතුරන් වූ පෙන්ග්විනයන් දුබල කළ හැකි යයි සිතමින් ඩ්‍රැකොනයිඩ්වරුන්ට ආධාර කිරීමට ප්‍රතිඥා දුන් ඉබ්බාගමුවේ රිජන්ට් කුමරුන්ගෙන් ද අරමුදල් ඉල්ලා සිටීමට එහි දී තීරණය කෙරුණි. වයෝවෘද්ධ උපදේශකයන් තිදෙන රජ වාසල ප්‍රධාන කාර්යාලය ද ප්‍රධාන ම භාරකරුගේ කාර්යාලය ද තම තමන් අතර බෙදා හදා ගෙන අනෙක් ස්ථාන කුමරුන්ට ඉහළ ම ඵල ප්‍රයෝජන ඇති වන අයුරින් බෙදාලන ලෙස මහණාට බලය පැවරී ය.
  
  “කැප කිරීම වෙනුවෙන් තෑගි ලබා දිය යුතුයි“ වයෝවෘද්ධ උපදේශකයෝ තිදෙන කියා සිටියහ. “ද්‍රෝහීත්වය වෙනුවෙනුත්” අගාරික කීවේ ය.
  
  “ඒකත් හරියට හරි” එසේ කීවේ විප්ලවයන් අත්දැක තිබූ ඔවුන් අතරින් එකකු වූ සත්වණයේ මාර්ක්විස් ය. 
 
  නැටුම් රඟ දැක්වුණි. බාල් නැටුමට පසු ගුද්රුන් කුමරිය, තොප්පිවල රිබන් සෑදීම සඳහා සිය කොළ පැහැති ලෝගුව ඉරා දම්මා ය. ඇය ඉන් කැබැල්ලක් මහණාගේ ළමැදට තබා සියතින් ම මැසුවා ය. ඔහු එය මත සංවේදීතාවයේ සහ කෘතඥ පූර්වකභාවයේ කඳුළු වගුළේ ය.
  
කුමරුන්ගේ ඉස්තාලකරු වූ ප්ලිම් මයා කොළ පැහැති අසකු සොයනු පිණිස එදින සැදෑවේ ම නික්මුණි. 
 
                                       03 
                                කුමන්ත්‍රණය 

        පෙන්ග්විනියාවේ අගනුවරට ආපසු පැමිණීමෙන් පසු ගෞරවාර්භ අගාරික පියතුමා බෙසෙනෝහි  අදෙලෙස්තාන් කුමරුන් හට සිය සැලසුම අනාවරණය කර සිටියේ ය. ඔහු තුළ වූ දැඩි හැඟීම් හේ මනා ව දැන සිටියේ ය.

  කුමරු අයත් වූයේ ඉහළ ම රදල පෙළැන්තියට ය. බොසෙනේහි තොර්තිකෝල් යහපත් බ්‍රයනයන් වෙත ආපසු පැමිණ ඩ්‍රැකොනයිඩ්වරුන් යටතේ ඉහළ ම තානාන්තරය ඉසිලී ය. පෙන්ග්විනියාවේ ඉහළ ම අද්මිරාල්වරයා වූ පිලිප් තෝර්තිකෝල් නම් එඩිතර, විශ්වාසවන්ත, නොමසුරු, එනමුදු පලිගන්නාසුලු පුද්ගලයෙන් 1179 දී ලා ක්‍රීක් වරායත් පෙන්ග්විනියානු නෞකා පද්ධතියත් රාජධානියේ සතුරන් හට පාවා දුනි. ඔහු එසේ කළේ කෲචා රැජින ඔහුට විශ්වාස ඝාතකව ඉස්තාලයේ කොලුවාට පෙම් කළ හෙයිනි. ඔවුන් දෑත් හි දරා සිටි රිදී පාත්‍රය බෙසෙනෝට ප්‍රදානය කළේ ඒ මහා රාජිණියයි. ඔවුන්ගේ උදාන වාක්‍යය ගැන කියන්නේ නම් එය දහසය වැනි සියවස කරා ආපසු ගමන් කරයි. එහි සම්භවය පිළිබඳ වෘත්තාන්තය මෙසේ ය. එක් උත්සවාකාර රැයක රාජෝත්තමයාණන් උද්‍යානයෙහි ගිනිකෙළි නරඹන රාජ සේවක සේවකාදී සමූහයා අතර ගැවසෙමින් සිටිය දී බෙසෙනෝහී ජෝන් ආදිපාදයාණෝ හිස්කබලේ රැජිණ වෙත එළඹ සියත එම කුලඟනගේ යට සාය යටින් තබාලුහ. මෙම ආංගිකාභිනය කෙරෙහි ඕතොමෝ කිසිදු පැමිණිල්ලක් නො කළා ය. අහම්බෙන් මෙන් ඒ අසලින් ගමන් ගත් රජු දැක්මෙන් ඔවුහු ගල් ගැසුණාහ. රජ තෙමේ මෙසේ කියා සිටීමෙන් සෑහීමට පත් විය. ‘එලෙසින් මම ඔබ සොයා ගතිමි.’ මෙම වචන පහ බෙසෙනෝගේ උදාන වාක්‍යය බවට පත්විය.  අදෙලෙස්තාන් කුමරු සිය මුතුන් මිත්තන් දැරූ තැනින් පහළට නො වැටුණි. ඩ්‍රැකොනයිඩ් වර්ගයා කෙරෙහි අචල විශ්වාසය තහවුරු කළ ඔහු, කෲවෝ කුමරුන් ප්‍රතිෂ්ඨාපනය කිරීම හැර අන් කිසිවක් නො පැතී ය. එම සිද්ධිය ඔහු නෙත් හමුවේ දිස් වූයේ තමාගේ සමෘද්ධිය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පෙරනිමිත්ත ලෙස ය. එහෙයින් ඔහු සැණෙකින් ගෞරවාර්හ අගාරික පියතුමාගේ සැලැස්මට එක්ව, තමා දන්නා හඳුනන අතිශය රාජපාක්ෂිකභාවයෙන් යුතු ක්ලේනා සිටුවරයා ද තෲමෙල් හි ප්‍රභූවරයා ද ඔලිව් උප සිටුවරයා ද බිගුර්ද් මයා ද සමග සබඳතාවන් ඔහුට ඇති කර දුනි. කළ යුතු දෑ සලකා බැලීම පිණිස නැගෙනහිරින් පිහිටි ඕම්පූල්හි ආදිපාද තැනගේ ගමේ නිවසෙහි ඔවුහු මු`ඵ දුන්හ.
 
  තෲමෙල්හි ප්‍රභූවරයා පක්ෂ වූයේ නීත්‍යානුකූල ව කටයුතු කිරීමට ය. ‘අපි නීතියේ රාමුව තුළ සිටිය යුතුයි’ග හරය වශයෙන් ගත් කළ ඔහු කීවේ එයයි. “අපි සාමය වෙනුවෙනුයි පෙනී සිටින්නෙ. අපේ අරමුණ නියමෙට ඉටුකර ගන්න පු`ඵවන් වෙන්නෙ වෙහෙස නොබලා කරන ප්‍රචාරක කටයුතු මගිනුයි. රටේ පවතින හැඟීම අපි වෙනස් කරන්න ඕන. අපේ ව්‍යාපාරය ජය ගන්නවා ගන්නවාමයි. මොකද ඒක ධර්මිෂ්ඨ නිසා.”
  බෙසෙනෝහි කුමරු ප්‍රතිවිරුද්ධ අදහසක් දැක්වී ය. ජයග්‍රාහී වීමට නම් අධර්මිෂ්ඨ ව්‍යාපාරයන්ට අවශ්‍ය වන තරමින් හෝ ඊටත් වඩා වැඩියෙන් හෝ ධර්මිෂ්ඨ ව්‍යාපාරයකට ප්‍රචණ්ඩ බලය අවශ්‍ය බැව් ඔහු සිතී ය.  
ඔහු නොකැළඹ මෙසේ කීය. “වර්තමාන තත්ත්වය යටතේ ක්‍රියා කිරීමේ ක්‍රම තුනක් තියෙනවා. මස් මරන කොල්ලන් කුලියට ගැනීම, ඇමතිවරුන් දූෂණයට පොළඹවා ගැනීම සහ ජනාධිපති ෆොර්මෝස් පැහැර ගෙන යාම.’ 
“ෆොර්මෝස් පැහැර ගෙන යාම නම් වරදක්’“ තෲමෙල් හි මයා විරෝධය දැක්වී ය. “ජනාධිපති අපේ පැත්තෙනෙ.’‘ 
         සමූහාණ්ඩුවේ ජනාධිපති උතුමාණන්ගේ ආකල්පය හා හැගීම් මොනවා ද යන්න පැහැදිලි කෙරුණේ, එක් ඩ්‍රැකොනයිඩ්වරයකු ඔහු පැහැර ගෙන යාමට යෝජනා කිරීමේත් තවත් ඩ්‍රැකොනයිඩ්වරයකු ඔහු මිතුරකු ලෙස සැලකීමේත් කරුණු තුළිනි. ෆොර්මෝස් රාජපාක්ෂිකයන්හට කු`ඵපගකම් දැක්වී ය. ඔහු ඔවුන්ගේ ගති පැවතුම්වලට ගරු කළේ ය. ඒවා අනුකරණය කළේ ය; මකර ඔටුන්න පිළිබඳව කෙරුණ සඳහන් කිරීමකින් ම ඔහු මුවගට සිනහ රැල්ලක් නැඟුණි නම්, එසේ වූයේ එය තමාගේ ම හිසේ පටවා ගැනීමේ සංකල්පය හේතු කොට ගෙන ය. ඔහු සර්වාධිපති බලය කෙරෙහි දැඩිව භක්තිමත් විය. එසේ වූයේ එම බලය පාවිච්චි කිරීමෙන් බලය තමාට ලැබේ යයි ඔහුට හැඟුණ නිසා නො ව, එය යොදවන බවක් මවා පෑමට ඔහු ආශා කළ නිසා ය. පෙන්ග්වින් වංශකතාකරුවකුගේ ප්‍රකාශයට අනුව ඔහු පාත්තයෙක් විය. ෆොර්මෝස්ගේ මාලිගය හා පාර්ලිමේන්තු මන්දිරය වෙතට පෙළපාලි දැක්විය යුතු ය යන සිය යෝජනාව බොසෙනෝ හි කුමරු තවදුරටත් ඉදිරිපත් කළේ ය.

   
  ක්ලේනා සිටුවරයා ඊටත් වඩා උද්වේගකර විය. 

  “සමූහාණ්ඩුවාදීනුත් ආණ්ඩුවේ ඔක්කොම හිතවතුනුත් මරා දමමින් උන්ගේ බඩවැල් එළියට දමමින් අපි වැඩ පටන් ගත යුතුයි. තවත් කරන්න ඕන මොනවද කියලා ඉන් පස්සෙ බලා ගනිමු” යි ඔහු කීය. 
තෲමෙල්හි මයා මධ්‍යස්ථ මතධාරියෙක් විය. මධ්‍යස්ථ මතධාරීහු හැම කල්හි ම ප්‍රචණ්ඩත්වයට මධ්‍යස්ථ ලෙස විරුද්ධ වූහ. ක්ලේනා සිටුවරයාගේ ප්‍රතිපත්තිය උතුම් හැඟුමකින් උද්ගත වූවක් බවත් එය උතුම් දෙයක් බවත් ඔහු පිළිගති. එහෙත් එම ප්‍රතිපත්තිය සමහර විට එතරම් ඇඟට ගුණ නැති බවත් එය යම් යම් අනතුරු ඇති කරන බවත් කියමින් ඔහු විරුද්ධත්වය දැක්වී ය. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අන්තිමේ දී ඔහු කැමැත්ත පළ කළේ ය. 

 ඔහු මෙසේ කීය. “ජනතාවට කරන ආයාචනයක් අපි සකස් කළ යුතුය කියා මම යෝජනා කරනවා. අපි කවුද කියලා අපි පෙන්වමු. මම මගේ කොඩිය පොකැට් එකේ දාගෙන හංග ගන්නේ නැහැ. මම දිවුරා සහතික වෙනවා.’ 

  බිගුර්ද් මයා කථා කිරීම ඇරඹී ය
 ‘මහත්වරුනි, පෙන්ග්විනයො නව සමාජ ක්‍රමය සමඟ කළකිරිලයි ඉන්නේ. මොකද ඒක පවතින නිසා. මිනිස්සු තමන්ගෙ තත්ත්වෙ ගැන මැසිවිලි කීම ස්වාභාවිකයි. ඒ සමඟ ම පෙන්ග්විනයො ඔවුන්ගේ ආණ්ඩුව වෙනස් කරන්නත් බයයි. මොකද අලුත් දේවල් ඒගොල්ලන්ව බිය ගන්වන නිසායි. ඒ ගොල්ල මකර ඔටුන්න ගැන දන්නෙ නැහැ. ඒ නොදැනීම ගැන තමන් කණගාටු වන බව ඒ අය සමහර වෙලාවට කීවත් අපි ඒ අයව විශ්වාස නොකළ යුතුයි. ඒ අය මේ විදිහට කථා කරන්නෙ, හිතන්නෙ මතන්නෙ නැතිවයි. එහෙම නැතිනම් ඒ අය කෝපයෙන් ඉන්න නිසයි. ඒක දැක ගන්න එක හරි ම පහසුයි.  අපි ගැන ඒ අයගෙ හැඟීම් මොනවද කියන එක ගැන අපි කිසිසේත් ම මිත්‍යාවන් තබා නොගත යුතුයි. ඒ අය අපට කැමති නැහැ. පහත් පෙළේ ඊර්ෂ්‍යාවක් හා සමානත්වය පිළිබඳ ඇල්මක් යන කරුණු දෙක ම නිසා ඒ අය වංශක්කාරයන්ට වෛර කරනවා. මෙම ඒකාබද්ධ හැඟීම් දෙක ජනතාවක් තුළ බොහොම ශක්තිමත්ව පවතිනවා. මහජන මතය අපට විරුද්ධ නැහැ. මොකද අපි ගැන ඔවුන් දන්නේ නැති නිසා. ඒත් අපිට ඕනෑ කරන්නේ මොනවාද කියලා දැන ගත්ත ම ඒ අය අපව අනුගමනය කරන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව විනාශ කිරීමටත් මකර සිහසුන ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් අපි අපේක්ෂා කරන බව පෙන්නුවම අපේ හිතවාදීන් වෙන්නෙ කවුද? අල්කාවල මස් මරණ කොල්ලො ටිකයි කුඩා සාප්පුකාරයොයි විතරයි.
 
  “උන් ගැන වුනත් අන්තිම දක්වා ම විශ්වාස කරන්න අපිට පු`ඵවන් ද? උන් සෑහිමකට පත් නොවුණ එවුන්. එහෙම වුනත් උන් උන්ගෙ හදවතේ පතුළෙන් ම සමූහාණ්ඩුවාදීන්. කෲචෝව නැවත බලා ගන්නවට වඩා උන්ගෙ බඩු මුට්ටු ටික විකුණ ගන්නයි උන් බලා ගෙන ඉන්නෙ. අපි එළිපිට ක්‍රියා කළොත් අපි කරන්නෙ උන්ව බිය ගන්වන එක විතරයි.  ජනතාව අපට හිතවත් කරව ගන්න නම්, ඔවුන් ලවා අපව අනුගමනය කරව ගන්න නම්, අපට අවශ්‍ය සමූහාණ්ඩුව පෙරළා දැමීමට නොවන බවත්, ඒ වෙනුවට අපට අවශ්‍ය එය ප්‍රතිෂ්ඨාපනය කිරීමට, පිරිසිදු කිරීමට, විභූෂිත කිරීමට, අලංකාරවත් කිරීමට බවත්ල එක වචනයකින් කියවන නම් එහි යශෝකීර්තිය පතුරුවා ලීමට සහ චිත්තාකර්ශණීය කිරීමට බවත් ඔවුන් විශ්වාස කරන විදිහට අපි කටයුතු කරන්න ඕන. ඒ නිසා අපි විවෘතව ක්‍රියා නො කළ යුතුයි. අපි වර්තමාන ක්‍රමයට කැමති නැති බව ප්‍රකට කාරණයක්. අපි සමූහාණ්ඩුවෙ මිත්‍රයෙක් වෙත හැරෙන්න ඕන. ඉතා ම හොඳ දේ කිරීමට අපට අවශ්‍ය නම්, අපි මේ ආණ්ඩුවේ ආරක්ෂකයෙක් වෙත හැරෙන්න ඕනෑ. අපට තෝරා ගන්න ඕන පදම් අය ඉන්නව. අපි ඉතා ම ජනප්‍රිය තැනැත්තාව, වඩාත් ම අධම සමූහාණ්ඩුවාදියාව තෝරගත යුතුයි. එයාව දිනාගන්න ඕන බොරු වර්ණනා මඟින් ල තෑගිබෝග මඟින්. අනික් ඔක්කොටමත් වඩා බොරු පොරොන්දු මගින්. පොරොන්දුවලට යන වියදම හරි ම අඩුයි. ඒත් ඒවායේ වටිනාකම වැඩියි. බලාපොරොත්තු ඇති කරවන තැනැත්තා තරම් වෙන කිසි ම කෙනෙක් දෙන්නේ නැහැ. අපි තෝරා ගන්න මිනිහා දීප්තිමත් බුද්ධියකින් යුක්ත කෙනෙක් වීම අවශ්‍ය නැහැ. විශාල හැකියාවක් එයාට නැත්නම් මම වඩාත් ම කැමතියි. හොරකම් කිරිමේ දී මෝඩ මිනිස්සු වෙන කාටවත් අනුකරණය කරන්න බැරි තරම් හැකියාවක් දක්වනවා. මහන්වරුනි, මගෙන් මාර්ගෝපදේශකත්වය ලබා ගෙන සමූහාණ්ඩුවාදී ඒජන්තයෙක්ගෙ මාර්ගයෙන් සමූහාණ්ඩුව පෙරළා දමමු. අපි ප්‍රඥාවන්ත වෙමු. ප්‍රඥාවන්ත වීමෙන් ධෛර්ය සම්පන්නභාවය බැහැර කිරීමක් සිද්ධ වෙන්නෙ නැහැ. ඔබලට මා අවශ්‍ය නම් මම ඔබලා වෙනුවෙන් ඇප කැප වෙනවා.”
 
  මේ කථාව, එය ශ්‍රවණය කළවුන් තුළ ඉමහත් බලපෑමක් ඇති කළේ ය. සැදැහැවත් අගාරිකයන්ගේ මනස කිති කැවුණි. එහෙත් හැමෙකෙකුට ම තම තමන් ගෞරවණීය වූත් ලාභදායී වූත් තත්ත්වයකට පත් කර ගැනුමට අවශ්‍ය විය. රහසිගත ආණ්ඩුවක් සංවිධානය කෙරුණු අතර, පැමිණ සිටියවුන් සියලු දෙන ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස තෝරා පත් කර ගනු ලැබුණි. පාක්ෂයේ දැවැන්තම මූල්‍යකරු වූ ඕම්පූල් හි ආදිපාදිවරයා භාණ්ඩාගාරික ලෙස තෝරා ගෙන, ප්‍රචාරක කටයුතු උදෙසා අරමුදල් සංවිධානය කිරීමේ කාර්යය පවරනු ලැබිණ.
 
  රැස්වීම නිමවීමට ඔන්න තිබිය දී පැරණි තාලයකට ගයන ර`ඵ කට හඬක් ඇසුණි
  බොසෙනෝ යනු තඩි ඌරෙකි   
  සැදිය හැකිය උගේ මසින් 
  ලිංගුස් සහ හැම් ටික ටික 
  දුගි දනන්ගෙ රෑ බොජුනට 

එය වසර දෙසියයක් මු`ඵල්ලේ අල්කා හි මඩුක්කු අතර සුප්‍රකටව පැවති ගීයකි. බොසෙනෝ කුමරු එය ශ්‍රවණය කිරීම ප්‍රිය නො කළේ ය. ඔහු වීදිය දෙසට ගියේ ය. ගායකයා පල්ලියක වහලේ උ`ඵ තබමින් සිටි කම්කරුවකු බව දුටු ඔහු, අන් ගීයක් ගයන මෙන් ශිෂ්ට සම්පන්න ලෙස ඉල්ලා සිටියේ ය. 

“මම කැමති සිංදුවයි මම කියන්නේ” මිනිසා පිළිතුරු දුනි.
 
  “යාඵවා, මාව සතුටු කරන්න.........”
 
      “තමුසෙව සතුටු කරන්න මට රුදාවක් නැහැ.” 

  බොසෙනෝ කුමරු රීතියක් වශයෙන් ම තැන්පත් වූවෙකි. එහෙත් ඔහු නිකම් ම මෙන් කෝපාවිෂ්ඨ වන්නෙක් ද මනා ශරීර ශක්තියකින් හෙබියෙක් ද විය. “යා`ඵවා පහළට ආවොත් ඇඟට ගුණයි. නැතිනම් මම උඹ ළඟට උඩට ම එනවා”ග දරුණු හඬකින් ඔහු මොර දුනි. 
වහල මුදුනේ දෙපා විහිදුවා ගෙන සිටි කම්කරුවා යටත් වන බවක ලකුණක්වත් නො දැක්වූයෙන් කුමරු කාණුවේ පියගැටපෙළ දිගේ සැණෙකින් ඉහළට නැග ගායකයාට තඩි බෑවේ ය. ඔහු එල්ල කළේ හක්ක කැඩී යන පහරකි. කම්කරුවා ජල තටාකයට රෝල් වී ගියේ ය. ඒ මොහොතේ පරාළ මත වැඩ කරමින් සිටි වඩුවන් අට දෙනෙක් සිය සගයාගේ විලාපය කන වැකී කවු`ඵව අතරින් බැලූහ. වහළ මුදුනේ සිටි කුමරු දුටු ඔවුහු උ`ඵ මත හේත්තු වී තිබූ ඉණිමගකින් ඔහු වෙත සමීප වූහ. ඔවුන් එහි ළඟා වූයේ හරියට ම ඔහු කු`ඵණ තුළට ඇද වැටෙනවාත් සමඟ ම ය. ඔවුහු සර්්පිලාකාර පියගැට පෙළෙහි වූ පියගැට එකසිය තිස් හතෙන් පහළට ඔවුහු මුණින් අතට පෙරලා දැමූහ.








                                         04

                        ඔලිව්ි   සිටුතුමිය                           
 
  පෙන්ග්විනියාව සතු ව තිබුණේ ලොව විශිෂ්ටතම හමුදාව ය. ඉබ්බාගමුවන් සතු වූයේ ද එය ම ය. යුරෝපයේ අන් රටවල් සතු වූයේ ද එය ම ය. මේ සම්බන්ධයෙන් විස්මය දැනවීමක් ඇති වීම, ඉතා ම සු`ඵ සංකල්ප පූංජයක් මඟින් වළක්වාලනු ඇත. මන්ද යත් සියලු ම හමුදා ලෝකයේ විශිෂ්ටතම හමුදාව වන හෙයිනි. දෙවෙනි විශිෂ්ටතම හමුදාව යනු, එවැන්නක් පැවතිය හැක්කේ නම්, අපකීර්තිමත් ලෙසකින් වඩා පහත් තත්ත්වයක පවතිනු ඇත. එය සහතික වශයෙන් ම පරදවාලනු ලබනවා ඇත. එය වහා ම අත් හළ යුත්තේ ය. එහෙයින්, සියලු හමුදා ලොව විශිෂ්ටතම හමුදාව වෙයි. යාලු නදිය තරණය කරනු ලැබීමට පෙරාතුව, රුසියානු-ජපන් යුද්ධය පිළිබඳ සමහර පුවත්පත් කලාවේදීන් විසින් ප්‍රශ්න කරනු ලැබූ කල්හි, රුසියානු හමුදාව මෙන් ම ජපන් හමුදාව ද ලොව විශිෂ්ටතම හමුදාව ලෙස විස්තර කිරීමට නො පැකිඵණ අවස්ථාවේ දී ප්‍රංශයේ සිටි කීර්තිධර කර්නල් මාෂෝන්ද් මෙම කරුණ අවබෝධ කරගෙන සිටියේ ය. අතිශය දරුණු පසු බැසීම්වලට ගොදුරු වූ කල්හි පවා, හමුදාවක් එය ලොව විශිෂ්ටතම හමුදාව වීමේ ස්වකීය තත්ත්වයෙන් පහතට ඇද නො වැටෙන බව සනිටුහන් කර ගත යුතු ය. මන්ද යත්, තම ජයග්‍රහණයන් ස්වකීය සෙන්පතියාගේ කෞශල්‍යයත් සොල්දාදුවන්ගේ වීරෝදාරභාවයත් නිසා සිදු වූ බව රාජ්‍යයක් විසින් කියා සිටිනු ලබන්නාක් මෙන් ම, ස්වකීය පරාජයන් තේරුම් නො කළ හැකි යම්කිසි දෛවයෝගයක් නිසා සිදු වූ බව කියාපාන හෙයිනි. අනෙක් අතට, නාවික හමුදාවන් වර්ගීකරණය කරනු ලබන්නේ ඒවා සතු නැව් සංඛ්‍යාව අනුව ය. ඒවායේ පළමුවැන්නක්, දෙවැන්නක් යනාදී වශයෙන් ඇත. එහෙයින් නාවික සංග්‍රාමිකයන්ගේ ප්‍රතිඵලයන් ගැන සැක සංකා නො පවතී.
 
  ලොව විශිෂ්ටතම හමුදාව සහ දෙවෙනි නාවික හමුදාව පෙන්ග්විනයන් සතු විය. නාවික හමුදාව මෙහෙයවූයේ කීර්තිමත් ෂතියොං ය. ඔහු එමිරාල්බහාර් යන පටබැඳි නාමය දැරී ය. එහි සංක්‍ෂප්ත නාමය එමිරාල් යන්න ය. නාවික සේවයේ විශිෂ්ටතම ශ්‍රේණිය හැඳින්වීමට අද දින යුරෝපයේ විවිධ වූ ජාතීහු, අවාසනාවකට මෙන් දූෂිත වූ අයුරෙකින්, පාවිච්චි කරනුයේ එම වචන ම ය. එහෙත් පෙන්ග්විනයන් අතර වූයේ එක් එමිරාල්වරයකු පමණක් වූ හෙයින්, එම ශ්‍රේණිය සතු ව සුවිශේෂ යශෝරාවයක් පැවතුණි.එමිරාල් රදළ වංශයට අයත් නො වී ය. ජනතා පුත්‍රයකු වූ ඔහු ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර විය. සිය ශ්‍රේණින් තුළින් බිහිවූවන් ගෞරවණීය ස්ථානයක් උසුලනු දැක්මෙන් ඔවුහු සාඩම්බරයට පත් වූහ. ෂතියොං මනා පෙනුමෙන් හෙබියේ ය.
  
  දෛවය ඔහුට වාසිදායක අයුරිකින් සැලකී ය. ඔහු සංකල්පයන් කෙරෙහි පමණ ඉක්මවා ඇලුණ ගැලුණ අයෙක් නො වී ය. කිසිදු සිද්ධියක් කිසි කලෙකත් ඔහුගේ ගරුගාම්භීර දෘෂ්ඨිය අවුල් වියවුල් නො කළේ ය.
 
  බිගූර්ද් මයාගේ හේතු දැක්වීම්වලට හිස නමමින්, පවතින ආණ්ඩුව පෙරලා දැමිය හැක්කේ එය සුරකින්නකු මගින් පමණක් බැව් පිළිගත් ගෞරවාර්භ අගාරික පියතුමාණෝ එමිරාල් ෂතියොං වෙත බැල්ම හෙඵෑහ. හේ සිය මිත්‍ර කොර්න්මියුනිස්ගෙන් දැවැන්ත මුදල් සම්භාරයක් ඉල්ලා සිටියේ ය. කොර්න්මියුනිස් සුසුම් ලමින් එය ඔහුට දුනි. ඔහු එම මුදලින් අල්කාහි මස් මරන කොල්ලන් හය සියයක් කුලියට ගත්තේ ෂතියොංගේ අසු පසුපස දුව යමින් ‘ෂතියොංට ජයවේවා!’ යි හඬ තලනු පිණිස ය. එතැන් සිට, ජයගොස නඟනු ලැබීමකින් තොර ව එකදු පියවරක් හෝ තැබීමට ෂතියොංට නො හැකි විය. 

  තමාට පෞද්ගලික සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙන මෙන් ඔලිව් උප සිටුතුමිය ඔහුගෙන් ඉල්ලා සිටියා ය. නැංගුරම්, ෂෙල් වෙඩි සහ වෙඩි උණ්ඩවලින් අලංකෘත වූ කාමරයක දී හේ ඇය හමු විය.
 
  ඇය විචාර බුද්ධියෙන් යුතුව අ`ඵපැහැ ගැනුවුනු නිල් පැහැති ඇඳුමකින් සැරසී සිටියා ය. රෝස මලින් වැසුණු හිස් වැසුමකින් ඇගේ ශෝභමාන කෙස් කළඹ වැසී තිබුණි. ඇගේ මුහුණු ආවරණය යටින් ඇගේ දෙනෙත් මරාමිණි අයුරින් දිදුලිණි. ඇය යුදෙව් සම්භවයකින් යුතු වුවත් සමස්ත රදළ පෙළැන්තිය පුරා ම ඇයට වැඩි ජේත්තුකාරියක් නො වී ය. ඇගේ ආකෘතිය වසරේ ආකෘතිය විය. ඇගේ දේහ විලාශය සෘතුවේ දේහ විලාශය විය.

   “එමිරාල්’ ඇය සුමධුර හඬකින් තෙපළා ය. “මගේ හැඟීම් ඔබෙන් වහංගු කරන්නට මට බැහැ. වීරයො ඉදිරියෙදි..... ඒක හරි ම ස්වභාවිකයි.” 
“ඔබ හරි ම කරුණාවන්තයි. ඒ වුනත් සිටුතුමිය, මට කියන්න ඔබ පැමිණියේ ඇයි ද කියා?“

     “බොහෝ ම කලක ඉඳල ඔබව හමුවෙන්න, ඔබට කථා කරන්න මම  හරි ම ආශාවකිනුයි හිටියේ...... ඉතින් ඔබට පණිවුඩයක් කියන්න  කැමැත්තෙන් ම මම භාර ගත්තා.“

   “කරුණාකර වාඩිවෙන්න”
 
“මෙතැන කොයි තරම් නිශ්ශබ්ද ද?”
 
  “ඔව්, මෙතැන හරි ම නිස්කලංකයි”
 
  “කුරුල්ලො සින්දු කියනවත් ඇහෙනවා” 

  “ඉතින් වාඩිවෙන්නකො, උත්තමාවිය”
 
  ඔහු ඇයට හාන්සි පුටුවක් ඇද දුනි. ඇය ඇගේ පිටුපස ආලෝකය දෙසට හරවා අසුන් ගත්තා ය. “එමිරාල්, මම ආවේ ඉතා වැදගත් පණිවුඩයක් කියන්නයි.”

 “විස්තර කරන්න” 

“  එමිරාල්, ඔබ කවදා හරි කෲවෝ කුමරු දැකලා තියෙනවා ද?”

  “කවදාවත් ම නැහැ”
 
  ඕ සුසුම් ලෑවා ය.
 
  “ඒක නම් හරි ම කණගාටුදායකයි. එතුමා ඔබව දැක ගන්න හරි ආශාවෙනුයි ඉන්නේ. එතුමා ඔබට ගරු කරනවා. ඔබව අගය කරනවා. එතුමා එතුමාගේ මේසේ උඩ මවගෙ පිංතූරෙ පැත්තකින් ඔබේ පිංතූරෙත් තියාගෙනයි ඉන්නේ. එතුමාව මීට වඩා හොඳින් නොදැනීම මොන තරම් කණගාටුදායක ද? එතුමා හරි ම ලස්සන කුමාරයෙක්. එතුමා වෙනුවෙන් කළ දේ ගැන එතුමා හරි ම කෘතවේදියි. එතුමා ශ්‍රේෂ්ඨ රජෙක් වේවි. මොකද නිසැකව ම එතුමා රජ වෙනවනෙ. එතුමා ආපසු ඒවි, මිනිස්සු හිතා ගෙන ඉන්නවට වඩා ඉක්මනට..... මට ඔබ තුමාට කියන්න තියෙන්නෙ, මට භාර දීලා තියෙන පණිවිඩයෙ කියලා තියෙන්නේ හරියට ම....“  එමිරාල් නැඟී සිටියේ ය. 

  “හිතවත් සිටුතුමිය, තවත් එක ම එක වචනයක්වත් දොඩන්න එපා. මට සමූභාණ්ඩුවේ ගර්වය, විශ්වාසය තියෙනවා. මම ඒක පාවා දෙන්නෙ නැහැ. මම මොකටද ඒක පාවා දෙන්නේ? ගෞරවයන්ගෙන්, ආනුභාවයන්ගෙන් මාව පිරිලා ඉතිරිලා.”

 “මගේ හිතවත් එමිරාල්, මට මෙන්න මේක කියන්න ඉඩ දෙන්න. ඔබට තියෙන ගෞරවයත් ආනුභාවයත්, ඔබට ලැබිය යුතු තරමින් ලැබිලා නැහැ. ඔබේ සේවයට නියම විධියට සලකනවා නම් ඔබ මහා සෙනවි විය යුතුයි. හමුදාවලයි නාවික හමුදාවෙයි දෙකේ ම ප්‍රධාන අණ දෙන නිලධාරියා විය යුතුයි. සමූහාණ්ඩුව ඔබතුමාට හරි ම අකෘතඥයි.’‘

  “හැම ආණ්ඩුවක් ම අඩු වැඩි වශයෙන් අකෘතඥ තමයි”

 “ඔව්, ඒත් සමූහාණ්ඩුව ඔබ තුමාට ඊර්ෂ්‍යා කරනවා. ඒ පංතියට අයත් පුද්ගලයන් හැම තිස්සෙ ම ඒ අයගෙ ලොක්කට බයයි. ඒ ගොල්ලන්ට හමුදාවල් උහුලන්න බැහැ. හමුදාවටයි නාවික හමුදාවටයි සම්බන්ධ හැම දෙයක් ම ඒ ගොල්ලන්ට හිරිකිතයි. ඒ ගොල්ලන් ඔබ තුමාට බයයි.”

   “ඒක වෙන්න පු`ඵවන්” 
“උන් මහා  කාලකන්නි, උන් රට කනවා. පෙන්ග්විනියාව සුරැකීමට ඔබට ඕනකමක් නැද්ද?”
 
  “කොයි විදිහට ද?”

  “සමූහාණ්ඩුවේ ඔක්කොම ජඩයන්ව, ඔක්කොම සමූහාණ්ඩුවාදීන්ව අතුගා දාලා” 

     “හිතවත් සිටුතුමිය, හරි ම හරි යෝජනාවක් තමයි ඔබ මට කරන්නෙ!”

  “ඒක තමයි සහතික වශයෙන් ම සිද්ධ වෙනවා ඇත්තෙ. ඔබ නොකළොත් වෙන කවුරු හරි මාර්ගෙන් ඒක වෙනවා. ඔක්කොම ඇමතියො, මන්ත්‍රීලා, සෙනෙට් සහතිකයො මුහුදට තල්ලු කරලා දාලා කෲවෝ කුමාරයාව ආපහු කැඳවන්න සේනාධිපතිතුමා සූදානමෙනුයි ඉන්නෙ. ඒ, එතුමා ගැන පමණක් කියනවා නම්.” 

  “අපොයි! ජඩයා, පාහරයා” එමිරාල් මොර දුනි
  “ඔහු ඔබට කරන දෙය, ඔබ ඔහුට කරන්න. ඔබේ සේවය භාර ගන්න හැටි කුමාරයා දන්නව. එතුමා ඔබට රණපරාක්‍රමගේ කඩුවත්, හොඳ ගතමනාවකුත් දේවි. ඒ අතරෙදි මට පැවරිල තියෙන්නෙ, එතුමගෙ රාජකීය ප්‍රතිඥාව ඔබ තුමාට භාර දීමයි.” 

  ඇය මෙවන් තෙපළන අතර ම, සිය ලැම පෙදෙසින් කොළ පැහැති හිස් වැසුමක් ඇද ගත්තී ය.
 
  “ඔය මොකක්ද ?” 

  “ඒ කෲවෝ කුමරු ඔබට එවපු වර්ණ ලාංඡනය”

 “කරුණාකර ඒව ආපසු ගෙනියන්න” 

  “එතකොට ඒවා භාර ගන්න සූදානම් සේනාධිපති තුමාට ඒවා දෙතෑහැකිනෙ..... නැහැ එමිරාල්, ඔබේ කීර්තිමත් පපුවේ ඒවා පළඳන්න මට ඉඩ දෙන්න.” 

  ෂතියොං මෘදු ලෙස කාන්තාව ඉවතලී ය. එහෙත් ඈ අතිශයින් ම සුරූපීි බව, මිනිත්තු කීපයක් ගත වන තෙක් ම ඔහු ආවර්ජනය කළේ ය. ඇගේ හිස් දෑත් ද ඇගේ සුසිනිඳු රෝස පැහැති අත්ල ද ඔහුගේ සිරුරෙහි යාන්තමින් ස්පර්ශ වූ විට, ඔහු මෙම හැඟුමෙන් වඩාත් වැඩියෙන් මුසපත් විය. ඔහු යටත් විය. ඔලිව් සිය රිබන් පටිය තද කර ගත්තේ සෙමිනි. එය නිමා වූ විට ඇය පහතට නැමී ප්‍රණාමය කොට රණපරාක්‍රමාගේ නාමයෙන් ආචාර සමාචාර කළා ය.

   “මම මගේ සගයන් වගේ ම යශස්කාමී ව සිටියා” නැවියා පිළිතුරු දුනි. “මම ඒ බව හංගන්නෙ නැහැ. සමහර විට මම තාමත් එහෙමමයි. ඒත් මගේ දිව පල්ල, මම ඔබ දිහා බැලුවම මට ආශවක් ඇති වෙන්නෙ පැල් කොටේකටයි හදවතකටයි විතරමයි.” 

  ඈ සිය ඇස් බැම යටින් විහිදුනු මනබන්ධනීය නිල් මිණිවන් බැල්ම ඔහු වෙත හෙඵවා ය.
 
  “ඒකත් ලබා ගත යුතුයි. එමිරාල් ඔබ මේ මොකද කරන්නෙ?”

‘   ‘මම මේ හදවත හොයන්නේ’

 අද්මිරාල්තියෙන් නික්මුනු වහා ම, සිටුතමිය සිය ගමන් තතු හෙළි කරනු සදහා ගෞරවාර්හ අගාරික පියතුමන් වෙත සැණෙකින් ගියා ය. “හිතවත් උත්තමාවිය, ඔබ ඔහු වෙත යළි යා යුතු යි‘’ ඒ උග්‍ර තපසා වදාළේ ය.

  
 





                                          05
 
                          Boසෙනෝහි කුමර
 
  ඩ්‍රැකෝවාදීන් විසින් මිල දී ගනු ලැබූ පුවත්පත් සියල්ල උදේ සවස ෂතියොං  අහස උසට වැණූ අතර සමූහාණ්ඩුවේ ඇමතියන් මත අවමානයන් සහ දෝෂාරෝපණයන් පතිත කළේ ය. ෂතියොංගේ ඡායාරූපය අල්කාහි වීදි පුරා විකුණනු ලැබිණ. සිය හිස් මත ප්‍රතිමා උසුලා ගෙන යන රෙමූගේ එම අන්තරාගමිකයෝ ෂතියොංගේ උඩුකය සහිත පිළිම වෙළදාම් කරනු සදහා පාලම් මත තැබී ය.

  හැම සෙනසුරාදාවක ම ෂතියොං සිය අශ්වයා මත නැඟී ජේත්තුකාර ජනයා නිරතුරුව ගැවසුණ  “රැජිනගේ තැනිතලාව“ නමින් හැදින්වුන ස්ථානය වටා සැරි සැරී ය. ඩ්‍රැකෝවාදීහු ඔහුගේ ගමන් මඟ දුගී ජන සමූහයන් රැස් කර තැබුහ. ඔවුහු මෙසේ කෑ ගැසූහ. “අපට ඕන ෂතියොං.” අල්කා හි මධ්‍යම පංතිකයෝ එමිරාල් කෙරෙහි ඉමහත් ප්‍රසාදයකින් ඇළලී ගියහ. “එයා හරි ම හැන්ඩ්සම් අනේ” යි වෙළද සේවිකාවෝ මුණු මුණු ගෑහ. ජේත්තුකාර ස්ත්‍රීහු සිය මෝටර් රථයන්හි වේගය අඩු කොට, ඔහු පසු කර යන විට ඔහුගේ දෑත් සිප ගත්හ. එසේ සිප ගත්තේ උද්යෝගයෙන් ඇළලී ගිය ජනතාවගේ ජයගොස මධ්‍යයේ ය.

  දිනෙක ෂතියොං දුම්කොළ සාප්පුවකට පිවිසෙත් ම තැපැල් පෙට්ටියකට ලියුම් දමමින් සිටි පෙන්ග්විනයෝ දෙදෙනෙක් ඔහු හඳුනා ගත්හ. ඔවුහු ඔවුන්ගේ ඉහළ ම හඬින් මෙසේ නද දුන්හ. “එමිරාල් ට ජයවේවා! සමූහාණ්ඩුව භංගවේවා!” සාප්පුව පසු කර යමින් සිටි සියල්ලෝ ම එය ඉදිරියේ නතර වූහ. සිය හිස් වැසුම් වනමින් ජයගොස නැඟූ උන්මාදනීය වූ මහා ජන සමූහයාගේ දෑස් හමුවේ ම ෂතියොං ඔහුගේ සුරුට්ටුව දල්වා ගති. ජනසමූහයා වැඩිවෙමින් සිටියහ. සිය වීරයා පසුපස ගී ගයමින් හා පෙළපාලි දක්වමින් ඔහු සමඟින් මුළු නගරය ම අද්මිරාල්තිය තෙක් ආපසු ගියේ ය. 
 එමිරාල්යන් හට උප-එමිරාල් වල්කන්මෝල් නම් වූ පැරණි සගයෙක් විය. හේ විශිෂ්ට සම්මාන ලබමින් සේවය කළ අයෙකි. ඔහු රන් මෙන් සත්‍යවාදී විය; සිය අසිපත මෙන් පක්ෂපාතී විය. වල්කන්මෝල් පරිපූර්ණ ස්වාධීනත්වයෙන් යුතුව ක්‍රියා කළේ ය. කෲචෝගේ අනුගාමිකයන් සහ සමූහාණ්ඩුවේ ඇමතියන් අතරට ගිය ඔහු, ඔවුන් පිළිබඳ ව තමා සිතන දෙය දෙපර්ශ්වයට ම ප්‍රකාශ කර සිටියේ ය. එක් පාර්ශ්වයක් පිළිබඳ අනෙක් පාර්ශ්වය සිතන්නේ කුමක් ද යන්න ඒ ඒ පාර්ශ්වයට ඔහු කියා සිටි බැව් බිගුර්ද් මයා ද්වේෂ සහගතව ප්‍රකාශ කර සිටියේ ය. ඇත්ත වශයෙන් ම ඔහු අවස්ථා ගණනාවක දී ම කණගාටදායක ඔලමොට්ටලකම් කළේ ය. ඒවා නොතකා හරිනු ලැබුවේ, කුමන්ත්‍රණ ගැන කිසිත් නොදත් සොල්දාදුවකුගේ අමන කථා ලෙස ඒවා සලකමිනි. හැම උදෑසනක ම ඔහු ෂතියොං බැහැදැකීමට ගියේ ය. එක්ව ගමන් කරන සොයුරකු සතු කුළුපග රළු පරළු කමකින් ෂතියොං ඔහුට සැලකී ය.

  “ඒයි, නාකි මචෝ, උඹ දැන් හරි ම ජනප්‍රියයිනෙ” ඔහු ෂතියොංට කීය. “උඹේ මූණ දැන් පයිප්පවල මුදුනෙයි අරක්කු බෝතල්වලයි අලවලා විකුණනවා. අල්කාවල හැම බේබද්දෙක් ම කානු පල්ලෙ වැටිලා දඟලන කොට උඹෙ නම කාරලා පිට කරනව.......“ෂතියොං-පෙන්ග්වින් වීරයා! ෂතියොං-පෙන්ග්වින් ප්‍රෞඩත්වයේ ආරක්ෂකයා!” මෙහෙම කලක් යාවි කියල කවුද කිව්වෙ? මෙහෙම කලක් යාවි කියල කවුද හිතුවෙ?” 
ඔහු සිය රළු සිනහව පෑවේ ය. ඉන් පසු සිය කටහඩ වෙනස් කරමින් මෙසේ කීය.
 
  ‘ඒයි, විහිළුව පැත්තකින් තියෙද්දෙන්. උඹට පොඩ්ඩක්වත් පුදුම නැද්ද මේ සිද්ධ වෙමින් තියෙන දේ ගැන?” 

  “නැහැ. පොඩ්ඩක්වත් නැහැ” පිළිතුරු දුනි. 

  අවංක වල්කන්මෝල්, තමා පසුපසින් දොර දඩාස් ගා වසා දමමින් නික්ම ගියේ ය.

  මේ අතරතුර ෂතියොං ජොහාන්නස් තල්පා වීදියේ අංක 18 දරණ තැනින් කුඩා නිවසක් මිළට ගති. එසේ කළේ ඔලිව් සිටුතුමිය දැක ගත හැකි වනු පිණිස ය. ඔවුහු හැමදාමත් එහි දී හමු වූහ. ඔහු ඈ සමඟ පෙමින් මන්මත් විය. ඔහු සිය යුග දිවිය තුළදීත් මුහුදු දිවිය තුළදීත් රතු, කළු, කහ සහ සුදු ස්ත්‍රීන් සමූහයකට පෙම් කළේ ය. ඔවුන්ගෙන් සමහරු රූප ශෝභාවෙන් යුක්ත විය. එහෙත් ස්ත්‍රියක් යනු සැබෑ වශයෙන් ම කවරකු දැයි ඔලිව් සිටුතුමිය මුණ ගැසීමට පෙරාතුව ඔහු දැන සිටියේ නැත. ඇය ඔහුට කොඳුරා, මගෙ සුදෝ, මගෙ සුදෝ යයි තෙපළන විට තමා දිව්‍ය ලෝකයේ සිටින සෙයක් ඔහුට හැඟුණි. ඇගේ කෙස් කළfඔහි තරු දිදුලන සෙයක් ඔහුට පෙනී ගියේ ය. 

  ඇය තරමක් පමා වී පැමිණෙයි. ඇය සිය අත් බෑගය මේසය මත තබමින් කල්පනාකාරී ව මෙසේ විමසයි. 

  “ඔයාගෙ උකුලෙ වාඩි වෙන්න ද?” 

  ඉන් පසු ඇය සැදැහැවත් අගාරිකයන් විසින් යෝජිත විෂයයන් පිළිබඳව කතා කරන්නී ය. එසේ කරන්නේ සුසුම්ලෑම් සහ සිප වැළඳ ගැනීම්වලින් සිය කථාවට බාධා පමුණුවා ගනිමින් ය. අසවල් නිලධාරියා නෙරපා දමන ලෙස ද තවත් අයකුට නියෝගයක් දෙන ලෙස ද සේනාංකයක් අතනට හෝ මෙතනට හෝ පිටත් කර හරින ලෙස ද  ඇය ඔහුගෙන් ඉල්ලා සිටියි. හරියට ම නිවැරදි මොහොත බලා ඇය මෙසේ කියයි. 

   ‘සුදෝ, ඔයා කොච්චර තරුණ ද?’ 

  ඇයට අවශ්‍ය වූයේ කුමක් ද, ඒ සියල්ල ඔහු ඉටු කළේ ය. මන්ද යත් ඔහු චාම් වූ නිසා ය; රණපරාක්‍රමගේ අසිපත දැරීමටත්, විශාල ගතමනාවක් ලැබීමටත් ඔහු උත්සුක වූ නිසා ය. දෙබිඩි රඟපෑමකට ඔහු අකමැති නො වී ය. පෙන්ග්විනියාව සුරැකීම පිළිබද නොපැහැදිලි අදහසක් ඔහුට තිබුණි. ඔහු ප්‍රේමයෙන් මනරංජිත වී සිටියේ ය. කෲවෝ ගොඩ බැසීමට සැලසුම් කර තිබූ වරාය වූු ලා ක්‍රීක් වෙතින් හමුදා ඉවත් කරලීමට සොබමන් ළඳ ඔහු පොළඹවා ගත්තා ය. කුමරුන් පෙන්ග්විනියාවට ප්‍රවේශ වීම වළකාලීමේ කිසිදු බාධකයක් නො පවතින තත්ත්වයක් මෙමඟින් ඇති කර ගැනුණි.
 
  උද්ඝෝෂණය පවත්වා ගෙන යනු පිණිස සැදැහැවතුන් අගාරික පියතුමා ප්‍රසිද්ධ ජනහමු සංවිධානය කළේ ය. ඩ්‍රැකෝවාදීහු අල්කාහි දිස්ත්‍රික් තිස් හයක - විශේෂයෙන් ම දුගී පෙදෙස්වල - දිනපතා ම ජනහමු එකක් දෙකක් පැවැත් වූහ. ඔවුන්ට දුගී දුප්පතුන් දිනා ගැනීම අවශ්‍ය විය. මන්ද යත් ඔවුන් සංඛ්‍යාත්මක ව විශාලතම කොටස වූ නිසා ය. මැයි 4 වෙනිදා, විශේෂයෙන් ම උත්කෘෂ්ඨ වු ජන හමුවක් පරණ හරක් වෙළද පොළෙහි පැවැත්වුණි. එය පිහිටා තිබුණේ ජනාකීර්ණ උප නගරයක ය. දොරකඩ වාඩිලා සිටි ගෘහණිීන්ගෙන් ද කාණු පල්ලේ සෙල්ලම්ි කරමින් සිටිි ළමුන්ගෙන් ද එය පිරි පැවතුණි. සමූහාණ්ඩුවාදීන්ගේ මතය අනුව දෙදහසකට අධික ජනකායක් එයට සහභාගි වූහ. ඩ්‍රැකෝවාදීන්ගේ ඇස්තමේන්තු අනුව එම සංඛ්‍යාව හය දහසකි. බොසෙනෝහි කුමරු සහ කුමරිය ද ක්ලේනා සිටුතුමා ද තෲමෙල් මයා  බිගුර්ද් මයා සහ ධනවත් කුලඟනන් කීප දෙනෙක් ඇතුළු පෙන්ග්වින් සමාජයේ මුදුන් මල්කඩ ද ප්‍රේක්ෂක සමූහයා අතර විය. ජාතික ආරක්ෂක හමුදාවේ සේනාධිනායකයා නිල ඇදුමින් ම සැරසී එහි පැමිණ සිටියේ ය.
 
  කමිටුව හොදින් සිතා මතා පිහිටවනු ලැබ තිබුණි. 

  රැස්වීමේ මුලසුන දරණ ලෙස කීර්තිධර ජනතා පුත්‍රයකු වූ ද කම්කරුවකු වූ ද, එනමුත් දැඩි ප්‍රතිපත්ති සහිත වූ ද මිනිසෙකු වූ කහ වෘත්තීය සමිතියේ රොෂෑන් මහතාගෙන් ඉල්ලා සිටිනු ලැබිිණ. ක්ලේනා සිටුතුමියගේත් මස් මරන්නනකු වූ මිෂෝ මහතාගේත් සහාය එයට ලැබුණි.
 
  පෙන්ග්විනියාව නිදහසේ පිහිටුවා ගත් ආණ්ඩුව, අති විචක්ෂණ කතා කිහිපයක දී හඳුන්වා දෙනු ලැබුවේ අසූචි වල, මඩ වගුර වැනි නම්වලිනි. එහෙත් ජනාධිපති ෆෝර්මෝස් වාග් ප්‍රහාරයෙන් බේරනු ලැබූ අතර කෲවෝ ගැන හෝ පූජකයින් ගැන හෝ කිසිදු සඳහනක් නො කරනු ලැබිණ.
 
  ජනහමුව ඒකමතික නො වී ය. නූතන රාජ්‍යයෙහිත්, සමූහාණ්ඩුවේත් සහායකයකු වු කම්කරුවෙක් නැඟී සිටියේ ය. 
  
“මහත්වරුනි” සභාපති රොෂෑන් මයා කීවේ ය. “මේ රැස්වීම ඒකමතික නොවන බව අපි කීවා. අපි අපේ විරුද්ධවාදීන් වගේ නොවෙයි. අපි හරි ම අවංක මිනිස්සු. අපි අපේ විරුද්ධවාදීන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙනව. ඔබ දැන් අසන්නට යන්නේ කුමක් දැයි දන්නේ ස්වර්ගයාණන් පමණයි. මහත්වරුනි, ඔබේ පිළිකුලල ඔබේ ජුගුප්සාව, ඔබේ හිරිකිතය ප්‍රකාශ කර සිටීම, ඔබට හැකි තරම් කල් වළක්වා ගෙන සිටින ලෙස මා ඔබෙන් අයැද සිටිනව.”
   “මහත්වරුනි” විරුද්ධවාදියා කථාව ඇරඹී ය.
 
සැණෙකින් ම ඔහු බිම පතිත කෙරුණි. කෝපයෙන් වියරුවුණූ ජන සමුහයාගේ පාද යටින් ඔහු චප්ප කර හරිනු ලැබී ය. හඳුනාගත නො
හැකි තරම් විරූපී වූ ඔහුගේ සිරුර ශාලාවෙන් පිටතට විසි කර දමනු
 ලැබී ය. 
  ක්ලේනා සිටුවරිය වේදිකාවට නඟින විට කලබැගෑනිය තවමත් රැව් පිළිරැව් දෙමින් පැවතුණි. ජයඝෝෂාව ගෝරනාඩුවල තැන ගත්තේ ය. නිහැඬියාව රජයන්නට වූ කල්හි කථිකාවිය මෙවදන් ප්‍රකාශ කර සිටියා ය.
 
  “සහෝදරවරුනි, ඔබේ නහරවල ලේ තිබෙනවා දැයි අපි සොයා බලනවා. අප කළ යුතුව තිබෙන්නේ සියලූ ම සමූහාණ්ඩුවාදීන් හම ගසා, බඩ බොකුවැල්, මොළ ගෙඩි එළියට ඇද දමන එකයි.”

  මෙම කතාව කෙවැනි වු ජය ඝෝෂාවක් ජනිත කළේ ද යත්, ඉන් පැරණි හරක් මඩුව ගිගුරුම් දී දෙදරුම් කෑවේ ය. එහි අපවිත්‍ර බිත්තිවලින් සහ කාවුන් කෑ පරාළවලින් කර්කෂ ඝන දූවිලි කන්දරාවක් පතිත වී මුළු සමූහයා ම නැහැවී ගියහ. ආණ්ඩුව තරයේ හෙලා දකින්නා වූත් ෂතියොං අභිනන්දනය කරන්නා වූත් යෝජනාවක් සම්මත කර ගැනුණි. 
 
  පරණ හරක් වෙළද පොළෙන් පිටවී යාමට තිබු එක ම මාවත මස් මඩු සහ ගල් අඟුරු මඩුවලින් යුතු පටු වීදියකි. සඳ එළිය නො පැවතුනි. සීතල පොද වැස්සක් පතිත වෙමින් තිබුණි. විශාල භට සංඛ්‍යාවකින් යුතුව රැස්ව සිටි පොලිසිය පටු වීදිය වසා දමා කුඩා කණ්ඩායම් ලෙස විසිර යන ලෙස බල කළේ ය. උත්තේජනය වි සිටි ජන සමූහයා තුළ පැවති උද්යෝගය ගානට පවත්වා ගැනීමෙහිලා උත්සුක වු සිය නායකයාගෙන් ඔවුන් ලද උපදෙස් යල ඒ. 

  පටු වීදියෙහි රඳවනු ලැබ සිටි ඩ්‍රැකෝවාදීහු ‘අපිට ඕන ෂතියොං’ යයි ගයමින් කල් මරමින් සිටියහ. ප්‍රමාදයට හේතුව නොදත් ඔවුහු ප්‍රමාදය ගැන නොඉවසිලිමත් ව තමන් ඉදිරියෙන් සිටියවුන් තල්ලු කිරීමට ඉක්මනින් පටන් ගත්හ. පටු වීදිය ඔස්සේ කෙරුණ මෙම තල්ලුව පෙරමුණෙන් සිටියවුන් පොලිස් භටයන්ගේ පපුකැනති මත හප්පාලීය. ඩ්‍රැකෝවාදීන් කෙරෙහි පොලීසිය තුළ වෛරයක් තිබුණේ නැත. ඔවුහු සිය හද පත්ලෙන් ම ෂතියොං ප්‍රිය කළහ. එහෙත් පහරට ප්‍රතිපහර දීම ස්වාභාවික ය. මේ හේතුව කරණ කොට ගෙන පොලිසිය ඩ්‍රැකෝවාදීන්ට යකඩ ඇණ සහිත පාවහන්වලින් පහර දුනි. එහි ප්‍රතිඵලයක් ලෙස දඩිබිඩියේ කෙරුණ ඉදිරියට තල්ලු කිරීම් ද පසුපසට තල්ලු කිරීම් ද හට ගැණුනි. තර්ජන සහ අඳෝනාවන් ගී සමගින් මුසු විය. 
 “මිනීමරුවෝ! මිනීමරුවෝ! “අපට ඕන ෂතියොං” 
අඳුරුවන් පටු මගෙහි සිටි ඥානවන්ත වුවෝ “හෝව්! හෝව්! තල්ලු කරන්න එපා” යි හඬ තැලූහ. මොවුන් අතර බොසෙනෝ හි කුමරු ද විය. ඉදිරියට ඇදෙන ජන සමූහයා අතරින් ඔහුගේ උත්තුංග දේහය මතු වෙයි. පාගා දමනු ලැබූ සිරුරුවල අංගයන් අතරින් ඔහුගේ පුළුල් සහ හැඩි දැඩි දේහය ද හඳුනාගත හැකි ය. හේ නිසංසල ය; අචල ය ශාන්ත ය, ශාන්තදාන්තව ද ප්‍රසන්නව ද හේ බලා සිටියේ ය. මේ අතරතුර පොලිස් භටයන් අතරින් පිටවීමේ දොරටුව වරින් වර විවෘත වනවාත් සමග ම කුමරු වටා සිටියවුන්ගේ පපුවලට එරෙහිව නැඟුණු වැළමිටවල තදබදය අඩු විය. “අපිට ඉක්මනින් එළියට යා හැකියි” කරුණාබර යෝධයා ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන කීවේ ය. “කාලයයි, ඉවසීමයි”.
 
  ඔහු සිය පෙට්ටියෙන් සුරුට්ටුවක් ගෙන සිය තොලගට නංවා ගිනි කූරක් දැල්වී ය. ක්ලේනා සිටුතුමාගේ ආලිංගනයෙහි සිටි සිය බිරිඳ වූ ඈන් කුමරිය, ගිනි කූරේ එළියෙන් හදිසියේ ම ඔහු නෙත ගැටුණි. මෙය දැක්මත් සමඟ ම ඔවුන් වෙත හණික කඩා පැන්න ඔහු සිය වේවැලින් ඔවුන් දෙදෙනාටත්, අවට සිටියවුන්ටත් තඩි බාන්නට විය. පහසුවෙන් නොවූයේ වී නමුත් ඔහු නිරායුධ කරනු ලැබී ය. එහෙත් ඔහුගේ විරුද්ධවාදීන් වෙතින් ඔහු ඉවත් කිරීමට හැකි වූයේ නැත. සිහිමුර්ඡා වෙමින් සිටි කුමරිය සංක්ෂෝභයට පත් කුතුහලයෙන් ඇළලී ගිය ජන සමූහයා අතින් අත යවමින් ඇගේ මෝටර් රිය වෙත ගෙන යනු ලබද්දී මිනිසුන් දෙදෙන තවමත් රෞද්‍ර ලෙසකින් සටනේ නිමග්නව සිටියහග බෝසෙනෝහි කුමරුන් හට සිය හිස් වැසුම ද ඇස් කණ්ණාඩිය ද සුරුට්ටුව ද ටයි පටිය ද පෞද්ගලික ලිපි හා දේශපාලන ලිපිවලින් පිරුණ බෑගය ද අහිමිව ගියේ ය. එහෙත් ඔහු සිය ප්‍රතිවාදියාගේ බඩ හරහා දුන්නේ කෙතරම් දරුණු වූ පහරක් ද යත් ඔහු යකඩ ගේට්ටුව තුළින් විසි වී උඩුබැලි අතට යමින් වීදුරු දොරත් කඩා ගෙන අඟුරු මඩුවක් තුළට පතිත විය. 
සටන නිසාත් අවටින් නැඟුන අඳෝනාවක් නිසාත් පොලිසිය කුමරු වෙත දිව ගියේ ය. ඔහු ඔවුන් හට රෞද ලෙසකින් ප්‍රතිරෝධය පෑවේ ය. ඔවුන්ගෙන් තිදෙනෙක් සිය දෙපා මත මුව අයා වැටෙන පරිදි ඔහු තඩි බෑවේ ය. කැඩුණු හක්කක් ද, පැලුණු තොලක් ද, ලේ ගලන නාසයක් ද, පැලුනු ඔලුවක් ද, ඉරුණු කනක් ද, උලුක්කු වු උරහිසක් ද සහිතව තවත් හත් දෙනෙකුත් හිස් ලූ ලූ අත පලා යන තැනට හේ වැඩ කටයුතු සැලසී යග ලේ පෙරමින් සිටි, විකෘති බවට පත් වූ ඔහුගේ ඇදුම් ද සහිතව ළඟ ම පොලිස් ස්ථානයට ඔහු ඇද ගෙන යනු ලැබීී ය. එහි දී ඔහු ඔබ මොබ පනිමින් බෙරිහන් දෙමින් රැය පහන් කළේ ය.  “අපිට ඕන ෂතියොං” යි ගයමින් සමූහාණ්ඩුවේ ඇමතිවරුන්ගේ නිවෙස් වල ජනේල් කඩා බිද දමමින් පෙළපාලිකරුවන්ගේ කණ්ඩායම් නගරය පුරා එළිවෙන තෙක් ම ඔබ මොබ ගැවසුණි.








 
                                     06
 
                      එමිරාල්ගේ වැටීම 

  ඒ රාත්‍රිය ඩ්‍රැකෝවාදී ව්‍යාපාරයේ උච්චස්ථානගත වීම සනිටුහන් කළේ ය. සිය විජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් රාජ පාක්ෂිකයින් හට නො වී ය. ඔවුන්ගේ නායකයෝ කෲචෝ කුමරුන්ට විදුලි පණිවිඩ මඟින් සුභාශිංසනයක් යැවූහ. ඔවුන්ගේ ආර්යාවෝ ඔහු වෙනුවෙන් උතුරු සළු ද සෙරෙප්පු ද විසිතුරු කළහ. ප්ලීම් මහතා කොළ පැහැති අශ්වයා සොයා ගති. 

  සැදැහැවත් අගාරිකයෝ ද පොදු ජන අපේක්ෂාවන් බෙදා හදා ගත්හ. එහෙත් රජකම අපේක්ෂා කරන්නා වෙනුවෙන් අනුගාමිකයින් දිනා ගැනීමෙහිලා ඔහු තව දුරටත් නිරත විය. ඔවුන් සිය පදනම ශෛලමය අත්තිවාරමක් මත පිහිටුවාලිය යුතු යයි ඔහු කීය.
 
  මෙම සැලසුම් සහිතව ඔහු වෘත්තිය සමිති ක්‍රියාකාරීන් තිදෙනකු සමඟින් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වී ය. 

  ඩ්‍රැකොනයිඩ්වරුන්ගේ රාජ්‍ය සමයෙහි මෙන් මෙකල කාර්මික ශිල්පීහු ආණ්ඩුවේ සමායතන යටතේ දිවි නො ගෙවූහ. ඔවුහු නිදහස් වූහ. එහෙත් ඔවුන් හට සහතික කළ ගෙවීමක් නො වී ය. බොහෝ කලක් එකිනෙකාගෙන් හුදකලාව, ආධාරයකින් තොරව, සහයෝගයෙන් තොරව සිටි ඔවුහු වෘත්තීය සමිති පිහිටුවා ගන්නට වූහ. ස්වකීය සාමාජික මුදල් ගෙවීම වෘත්තීය සාංගමිකයන්ගේ පුරුද්ද නො වූ හෙයින් වෘත්තීය සමිතිවල භාණ්ඩාගාර හිස් විය. තිස් දහසක් සාමාජිකයින් සහිත වෘත්තීය සමිති තිබුණි. අනෙක්වායේ සාමාජික සංඛ්‍යාව දහස, පන්සියය, දෙසියය යනාදී ලෙස විය. සමිති ගණනාවක ම සාමාජිකයින් සිටියේ දෙදෙනෙක් හෝ ඊට වඩා අඩු හෝ ගණනකි. එහෙත් අනුගාමිකයින් පිළිබඳ ලැයිස්තු ප්‍රසිද්ධ නො කරනු ලැබූ හෙයින්, විශාල වෘත්තීය සමිති සුළු ඒවායින් වෙන් කොට හදුනා ගැනීම පහසු වූයේ නැත.  දොම්නස් සහගත වූත් වක්‍ර වූත් පියවර කීපයකින් පසු සැදැහැවත් අගාරිකයෝ ගලෙත්හි මෝලක කාමරයක් තුළ දී  වෘත්තීය සමිති තුනක ලේකම්වරුන් වු දාගොබෙයාර්, ත්‍රෝකන් සහ බලාෆියි යන සගයන් සමග සංවාදයකට එළඹුණහ. මේ සමිති තුනෙන් පළමුවැන්නේ සාමාජිකයින් දාහතරකි. දෙවැන්නේ විසි හතරකි. තුන්වැන්නේ එක් අයෙක් පමණි. මෙම සාකච්ඡාවේ දී අගාරිකයෝ අතිශය ප්‍රවීණතාවක් ප්‍රදර්ශනය කළහ.
 
  ඔහු මෙසේ කීය. “මහත්වරුනි, ඔබත් මමත් හුඟක් කරුණුවල දී දරන්නේ එක ම අදහස් නොවෙයි. ඒත් අපිට අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති කර ගත හැකි කරුණු තියෙනවා. අපිට පොදු හතුරෙක් ඉන්නවා. ආණ්ඩුව ඔබව සූරා කනවා. ඔබව පිළිකුල් කරනවා. ඒක පෙරළල දාන්න අපිට උදව් කරන්න. අපිට හැකි තරමින් ඔබව විශ්වාස කරනවා. ඊට අමතරව අපේ කෘතගුණවේදී බව ගැන විශ්වාසය තබන්නට ඔබට පුළුවන්.” 
 
  “බෝතලේ අරින්න” දාගොබෙයාර් කීය.  කෝනිල්ස් හි ඉස්කාගාරකාරයා දෑසේ කඳුලැලි සහිත ව තමාට දුන් පසුම්බියක් අගාරික පියතුමා මේසය මත තැබී ය.  “වැඩේ හරි” සගයෝ තිදෙන කීහ.
 
  ගරු ගාම්භීරකාර ගිවිසුමකට මුද්‍රාව තබනු ලැබුවේ එලෙසිනි. 
 
  බහු ජනතාව සිය ව්‍යාපාරය වෙත දිනා ගැනීමේ ප්‍රීති ප්‍රමෝදයෙන් ඉපිල මහණා නික්ම ගිය විට දාගොබෙයාර්, ත්‍රෝකන් සහ බලාෆියි තමන්ගේ සංඥාව ලැබෙන තෙක් වීදියට වී කල් යල් බලමින් සිටි සිය බිරියන් වූ අමේලියා, කිවිනි සහ මතිල්දාට සංඥාව නිකුත් කරමින් උරුලැම් බෑවෝ ය. ඔවුන් හය දෙනා ම අත්වැල් බැඳ ගෙන පසුම්බිය වටා ගී ගයමින් නැටුවෝ ය.  
              තිබේ මා ළඟ 
     හොඳ කසිප්පු ටිකක්    
     තා ළග නෑ ෂතියොං
     හූ! හූ! ගල් තොප්පියා
ඔවුහු උණුසුම් වයින්වලින් පිරුණ සලාදයක් ගෙන එන ලෙස ඇණවුම් කළහ.  සන්ධ්‍යාවෙහි ඔවුන් හය දෙනා ම ඔවුන්ගේ නවතම ගීය ගයමින් කඩයක් ගානේ වීදිය ඔස්සේ ගමන් කළහ. ගීය ජනප්‍රිය විය. මන්ද යත්, ගීය ගයන වැඩ කරන ජනතාවගේ සංඛ්‍යාව දිනපතා ම වැඩි වනු පෙනෙන්නේ යැයි රහස් පරික්ෂකයන් වාර්තා කළ හෙයිනි.

 
   තිබේ මා ළඟ
   හොඳ කසිප්පු ටිකක්   
   තා ළග නෑ ෂතියොං
   හූ! හූ! ගල් තොප්පියා

  ඩ්‍රැකෝවාදීන්ගේ උද්ඝෝෂණය ගම්බද පෙදෙස්වල නම් ප්‍රගතියක් පෙන්නුම් නො කළේ ය. මෙයට හේතුව අනාවරණය කර ගැනීමට සැදහැවත් අගාරික ප්‍රයත්න දැරී ය. එහෙත් මහලු කෝර්න්මියුස් එය ඔහුට අනාවරණය කර දෙන තෙක් ම එය අනාවරණය කර ගැනීමට ඔහු අපොහොසත් විය. 
 
  කෝනිල්ස් හි මහණා මෙලෙසින් සුසුම් ලෑවේ ය. “ඩ්‍රැකෝවාදීන් ගේ භාණ්ඩාගාරික ඕම්පුල් හි ආදිපාදියා ප්‍රචාරක කටයුතුවලට ලැබුණූ අරමුදලින් ඉබ්බාගමුවේ ඉඩමක් මිල දී ගත් බවට සාක්ෂි මා ළඟ තියෙනවා.”

  පක්ෂයට මුදල් අවශ්‍ය විය. බොසෙනෝ හි කුමරු කෝලහාලයක දී සිය මුදල් පසුම්බිය නැති කර ගති. ඔහු සිය ඉක්මන්කාරී චරිත ස්වභාවයට ප්‍රතිවිරුද්ධ වු වේදනාකාරී කටයුතුවලට යොමු විය. ඔලිව් සිටුතුමිය අධික වියදම්කාරියක් වූවා ය. එම කුලඟනගේ මාසික දීමනාව කප්පාදු කළ යුතු බවට කෝර්න්මියුස් අවවාද කළේ ය. 

  “ඈ අපට හරි ම ප්‍රයෝජනවත්.” අගාරික එයට විරෝධය පෑවේ ය.
 
  “නිසැක වශයෙන් ම” කෝර්න්මියුස් පිලිතුරු දුනි.

   “ඒ වුනත් අපිව නට්ටන් කරල ඇය අපිට හානි පමුණුවනවනෙ’්’

        ඩ්‍රැකෝන්වාදීන් අතර බෙදීමක් ඇති විය. ඔවුන්ගේ මණ්ඩලය ඇතුළත වැරදි අවබෝධයන් රජයන්නට විය. බිගුර්ද් මයාගේත් සැදහැවත් අගාරිකගේත් ක්‍රියා මාර්ගයට අනුකූලව යමින් සමූහාණ්ඩුව ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම ඉදිරියට ගෙන යාමට සමහරුනට අවශ්‍ය විය. අනෙක් අය සිය දීර්ඝ ඉවසීමෙන් වෙහෙසට පත් ව, එම ලාංඡනය යටතේ ආක්‍රමණය කිරීමට දිව්රුම් දීමට තීරණය කළ හ.
 
  පසුව සදහන් කළ කොටස පැහැදිලි තත්ත්වයක පිහිටා සිටීමේ වාසිදායකබවත් මවාපෑමක් වැඩි කල් පවත්වා ගැනීමට ඇති නොහැකියාවත් දැඩි ලෙස පෙන්වා දුන්හ. ඇත්ත වශයෙන් ම උද්ඝෝෂණය යොමු වන්නේ කිනම් දිශාවකට ද යන්න දැක ගැනීමට මහජනයා පටන් ගත්හ. සමූහාණ්ඩුවේ මුළු පදනම ම දෙදරවා විනාශ කරලීමට එමිරාල්ගේ අනුගමිකයන්ට අවශ්‍ය විය. කෲචෝ කුමරුන් ලා සර්ක් වෙත ගොඩ බැසීමට සැරසෙන බවත් කොළ පැහැති අසකු පිටින් ඔහු අල්කාවට ප්‍රවේශ වන බවත් කියවෙන පුවතක් පැතිර ගියේ ය.
 
  මෙම කටකතා උන්මාදනීය මහණුන් චිත්තාපරවශ කළේ ය. දුගී රදළයන් ප්‍රමුදිත කළේ ය. ධනවත් කුලඟනන් සංතෘප්තියට පත් කළේ ය. සුළු වෙළෙඳුන්ගේ හදවත්හි බලාපොරොත්තු පොදි බැන්දෙව්වේ ය. එහෙත් සමාජ ව්‍යසනයක වියදම් මඟිනුත් රාජ්‍ය පද්ධතිය පෙරළා දැමීම මගිනුත් මෙම වාසි අත්පත් කර ගැනීමට යුහුසුළු වූයේ මොවුනතරින් අතලොස්සක් පමණී. ස්වකීය මුදල් හෝ ස්වකීය නිදහස හෝ ව්‍යාපාරවල නියැලීමෙන් ලද ප්‍රීතියෙන් එක හෝරාවක් හෝ අවදානමට ලක් කර ගැනීමට සූදානම් වුයේ ඊටත් වඩා අඩු සංඛ්‍යාවකි. අනෙක් අතට සමූහාණඩුව වෙනුවෙන් දිනක කාර්යයන් කර දීමට කම්කරුවෝ වෙනදා මෙන් ම සූදානමින් සිටියහ. දැඩි විරෝධතාව පෑමක් උප නගරයන් තුළ සංවිධානය වෙමින් පැවතුණි. 

  “ජනතාව අපි සමඟයි” යනුවෙන් කීමට සැදහැවත් අගාරික පුරුදු වී සිටියේ ය.
 
  එසේ වුවත් මිනිසුන්, ගැහැණුන් සහ ළමුන් සිය කර්මාන්ත ශාලාවලින් 
නික්ම යන විට එක හඬ`න් කීමට පුරුදුව සිටියේ මෙයයි.

  
    “ෂතියොං භංගවේවා”!  
  “හූ! හූ! ගල් තොප්පියා”!
 
  ආණ්ඩුව සම්බන්ධ තත්ත්වය ගැන කියන්නේ නම්, එය පෙන්නුම් කළේ, සියලු ම ආණ්ඩුවලට පොදු වූ බෙලහීනත්වයයි; අතීරණයයි; වැනෙනසුලු බවයි; කිසිත් නොතකා සිටිනසුලු ගතියයි. හිතුවක්කාරකමට සහ ප්‍රචණ්ඩත්වයට වැටීමෙන් තොරව කිසිදු ආණ්ඩුවක් ඒ එකකිනුදු ගැලවුණේ නැත. ජනාධිපති මාලිගයේ ගුලි වී සිටි ෆොර්මෝස් තෙමේ අඳ ව, ගොළු ව, බිහිරි ව, දැවැන්ත ව සහ අදෘශ්‍යමාන ව, මුහුදු පියාපතක් තුළ සිටියාක් මෙන් සිය උඬඟු බව තුළ ඇළී ගැලී සිටියේ ය.
 
  අරමුදල් ලබා ගැනීම පිණිස අවසන් ආයාචනයක් කරන ලෙසත් අල්කාව තවමත් පැසෙමින් තිබියදී මහා ප්‍රහාරයක් එල්ල කිරීමට වහා ප්‍රයත්න දරන ලෙසත් ඔලිව් සිටුවරයා අවවාදානුශෘසනා කළේ ය. 

  ඔහු විසින් ම තෝර්ා ගනු ලැබූ විධායක කමිටුවක් මහජන මන්ත්‍රීන් පැහැර ගෙන යාමට තීරණය කොට ඒ සදහා ගත යුතු පියවර සාකච්ඡාවට බඳුන් කරමින් සිටියේ ය. 

  කටයුත්ත ජූලි මස විසි අට වෙනිදාට නියම කර ගනු ලැබිණ. එදින නගරය මත හිරු දීප්තිමත් ව උදා විය. ස්ත්‍රීහු සිය වට්ටි හිසැතිව ව්‍යවස්ථාදායක මන්දිරයට ඉදිරියෙන් ගමන් ගත්හ. පදික වෙළෙන්දෝ ඔවුන්ගේ පීච්, පේර, මිදි ආදිය ගැන විච්චූරණ කියමින් මොර දුන්හ. අශ්ව පැටව් සිය කර වටා වූ පසුම්බි තුළ නාස් රුවා ගෙන පිදුරු හැපූහ. කිසිවෙක් කිසිවක් අපේක්ෂා නො කළහ. එසේ නොකළේ රහස සුරැකී තිබු නිසා නො ව, ඒ ගැන අවිශ්වාස කරන්නන් හැර අන් කිසිවෙක් එයට මුණ නොගැසුණු නිසා ය. කිසිවකුත් විප්ලවයක් ගැන විශ්වාස නො කළේ ය. මෙම කරුණින් අපට නිගමනය කළ හැක්කේ ඔවුන් එවැන්නක් නොතැකූ බවයි. දෙකට පමණ, මාලිගයේ පසෙක වු දොර තුළින් ස්වල්ප දෙනෙක් කිසිවකුටත් නොපෙනී ගමන් ඇරඹූහ. ජරාවට ඇඳගත් මිනිස්සු ල කණ්ඩායම් කිහිපයකට ගොණු වූහ. තුන හමාරට පමණ අවට වීදිවලින් පැමිණෙන කලු ජාතිකයින් විප්ලවීය චතුරශ්‍රය වටා විසිරෙමින් සිටිය හ. මෙම දැවැන්ත භූමිභාගය ඉක්මනින් ම මුදු සුමදු හිස් සමුදායකින් වැසී ගියේ ය. නොකඩවා වැඩි වූ පෙළපාලිකරුවෝ සමූහය පාලම තරණය කොට, සිය අඳුරුවන් රළ වේගය ව්‍යවස්ථාදායක සභාවේ බිත්තිවලට එල්ල කළහ.  හඩ තැලීම් කෙඳිරිගෑම් සහ ගීත අකම්‍යප ගුවන් ගැබ සිසාරා හමා ගියේ ය. “අපිට ඕන ෂතියොං”ල “මන්ත්‍රිලා භංගවේවා”ල “සමූහාණ්ඩුවාදීන් භංගවේවා”ල “සමූහාණ්ඩුවාදීන්ට මරණය”ග බෙසනෝහි කුමරිය විසින් මෙහෙයවනු ලැබූ ඩ්‍රැකෝවාදීන්ට ඇප කැප වූ සේනාංකය මෙම ප්‍රතාපවත් ගීතිකාව ගැයී ය.
 
   දිනේවා කෲචෝ
   එඩිතර නැණවත්
   දිරියෙන් සපිරුණ
   තොටිල්ලේ පටන් ම

  බිත්තිය පසු පසින් එයට පිළිතුරු සැපයූවේ දැඩි නිසංසලතාවයයි. 
බොසනෝහි කුමරු සිය ප්‍රාංශු දේහධාරී සිරුර කටු කම්බි හා යකඩ ඇණවලින් පිරී තිබුණ බිත්තිය මුදුනට ඔසවාලනු දක්නට ලැබුණි. ඔහු පසුපසින් ඔහුගේ සගයෝ දිව ගියහ. ජනයා ඔවුන් අනුව ගමන් කළහ. සමහරු බිත්තිවලට පහර දුන්හ. එසේ පහර දුන්නේ එහි විවරයක් ඇති කර ගනු පිණිස ය. අන් අය ඇණ ගලවා ගැනීමට ද කටු කම්බි උදුරා දැමීමට ද පරිශ්‍රම දැරූහ. සමහර තැන්හි මෙම ප්‍රයත්නයන් සාර්ථක විය. සමහර ආක්‍රමණිකයෝ බිත්තිය සිදුරු කොට මුදුනෙහි වාඩිලා සිටියහ. බොසෙනෝහි කුමරු දැවැන්ත කොළ පැහැති ධජය සොලවමින් සිටියේ ය. හදිසියේ ම ජන සමූහයා බිරාන්ත විය. දිගු බියකරු හඬක් මතුවිය. මන්දිරයේ හැම දොරටුවකින් ම මතු වූ පොලිසිය සහ සමූහාණ්ඩුවේ ආරක්ෂක භටයෝ බිත්තිය පහළින් සේනාංකයක් සේ පෙළ ගැසුණාහ. වටලා සිටි ජනයා ඉවත් කරනු ලැබුවෝය. දිගු මොහොතක් පැවති උණුසුම් තත්ත්වයකින් පසු ආයුධ හඬ  ඇසුණී. පොලිසිය බයිනෙත්තුවලින් ජන සමූහයාට පහර දුනි. මොහොතක් ගත වු තැන හිස්වැසුම් ද, සැරයටි ද, තන්හි තන්හි විසිර තිබුණාවු පාලුවට ගිය චතුරශ්‍රය පුරා බියකරු නිහැඬියාවක් රජැයී ය. දෙවරක් ම පසුබස්වනු ලැබී ය. නැඟිටීම පරාජයට පත් කෙරුණි. එහෙත් සතුරු මාලිගයේ බිත්තිය මතට වී කොඩිය සිය දෑතින් දරමින් නැගි සිටි බොසෙනෝ හි කුමරු මුළු සේනාංකයේ ම ප්‍රහාරය තවදුරටත් පසු බැස්සවී ය. තමා වෙත එලඹි සියලු දෙනා ඔහු විසින් බිම පතිත කරනු ලැබූහ. අන්තිමේ දී ඔහු ද බිම පතිත කරනු ලැබ යකඩ ඇණ මත හොත්තේ ය. ඔහු ඒවායේ ඇමිණී සිටියේ ඩ්‍රැකෝවාදීන්ගේ කොඩිය තවමත් බදා ගෙන සිටිමින් ය. පසු දින සමූහාණ්ඩුවේ ඇමතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දැඩි පියවර ගැනීමට අදිටන් කර ගත්හ. සිය වගකීම ඉටු කර ගැනීමට ජනාධිපති ෆෝර්මෝස් දැරූ ප්‍රයත්නය මෙවර නිෂ්ඵල විය. ෂතියොං ඔහු සතු නිලයට ද ගරු බුහුමන්වලට ද අහිමි කිරීම පිළිබඳ ප්‍රශ්නය සහ කුමන්ත්‍රණකරුවකු, පොදු ජන යහපතෙහි සතුරකුල ද්‍රෝහියකු යනාදී ලෙස ඉහළ උසාවිය හමුවේ ඔහුට නඩු පැවරීම පිළිබඳ ප්‍රශ්නය ආණ්ඩුවේ සාකච්ඡාවට ලක් විය. 
 
  ඊට පෙර දින සැඳෑ සමයෙහි පවා ආසිරි පොද වරුසාවෙන් ඔහු නැහැවූ එමිරාල්ගේ පැරණි සගයෝ මේ පුවත ඇසීමෙන් හට ගත් ප්‍රීති ප්‍රමෝදය වහංගු කරලීමට ප්‍රයත්න නො දැරූහ. එහෙත් ෂතියොං අල්කාහි මධ්‍යම පාන්තිකයින් අතර තව දුරටත් ජනප්‍රියව සිටියේ ය. “අපට ඕන ෂතියොං” නම් වූ විමුක්ති ගීය වීදි පුරා තවදුරටත් අසන්නට ලැබුණී

   ඇමතිවරු අකරතැබ්බයකට මුහුණ පෑහ. ඉහල උසාවිය හමුවේ ෂතියොංට නඩු පැවරීමට ඔවුහු අදහස් කළහ. එහෙත් ඔවුහු කිසිවක් නො දත්හ. මිනිසුන් පාලනය කරන්නවුන් හට වෙන් කොට තිබෙන්නා වු එම පරිපූර්ණ අමනකම තුළ ඔවුහු ඇලී ගැලී සිටියහ. ඔවුනට පැමිණිලි පක්ෂය වෙත සැපයිය හැකි වූයේ අන් කිසිවක් නො ව, සිය ඔත්තුකරුවන්ගේ හාස්‍යජනක බේගල් පමණි. කුමන්ත්‍රණය තුළ ෂතියොංගේ කාර්යභාරය සහ කෲචෝ කුමරු සමග තිබූ ඔහුගේ සබඳතාවන්, ඩ්‍රැකෝවාදීන් තිස් දහසට සීමා වූ රහසක් වශයෙන් ම පැවතුණි. ඇමතියන්ට හ මන්ත්‍රීන්ට සැකයන් ද ස්ථීර අදහස් ද තිබුණි. එහෙත් ඔවුන් සතුව සාක්ෂි නො වී ය. ප්‍රධාන නඩු මෙහෙයවන්නා අධිකරණ ඇමතිට මෙසේ කීවේ ය. “දේශපාලන නඩුවක් පවරන්න ඕන කරන්නේ කරුණු ඉතා ම ටිකක් විතරයි. ඒත් මට මොකවත් ම ඇත්තෙ නැහැනෙ. ඒක කොහෙත් ම සෑහෙන්නෙ නැහැ.” කටයුත්තෙහි ප්‍රගතියක් ඇති නො වී ය. සමූහාණ්ඩුවේ සතුරෝ විජයග්‍රාහී වූහ.
  
       සැප්තැම්බර් දහ අටවෙනිද අල්කාවේ පතළා වූ පුවත වූයේ ෂතියොං පලා ගොස් ඇති බවයි. හැම තැන්හි පැවතුණේ විමතියයි; විස්මයයි. ජනයා සැක සංකා පළ කළහ. මන්ද යත් ඔවුන්ට එය අවබෝධ කර ගත නොහැකි වූ හෙයිනි.

  සිදු වූයේ මෙයයි. දිනක් එඩිතර උප එමිරාල් වල්කන්මෝල් අහම්බෙන් මෙන් විදේශ කටයුතු ඇමති බාර්බොතාන් මයාගේ කාර්යාලයට ගොඩවත් ම, තමන්ට සුපුරුදු අවංකභාවයෙන් යුතුව මෙසේ කී ය.
 
        “බාර්බොතාන් මහත්මයා, ඔබේ සගයන් ඒ තරම් දේකට සූදානම් වුණ බවක් මට නම් පේන්නෙ නෑ. ඔවුන් කවදාවත් නැවක් පදවල නැති බව නම් හරි ම පැහැදිලියි. අර ෂතියොං යෝදයා ඔවුන්ව නිකම් කුලප්පු කරලා“

        ඇමතියා එය ප්‍රතික්ෂේප කිරීමේ සලකුණක් වශයෙන් සිය ලිපි විවෘත කිරීම සදහා වූ පිහිය මේසය මත වැනී ය
.
       “ඒක නැතෙයි කියන්න එපා“ වල්කන්මෝල් කීය. “ෂතියොංගෙන් ගැලවෙන හැටි ඔබ දන්නෙ නැහැ. ඔබ එයාට විරුද්ධව ඉහළ උසාවියෙ නඩු පවරන්න ඉදිරිපත් නොවන්නෙ තදබල චෝදනාවක් නැති නිසයි. බිගුර්ද් එයා වෙනුවෙන් පෙනී ඉඳීවි. බිගුර්ද් අවංක කෙනෙක්..... ඔබ හරි බාර්බතොන් මහත්මයා, ඔබ හරි, ඒක අවදානම් සහගත නඩුවක් වේවි.“
  “අපොයි මගේ මිත්‍රයා” ඇමතිවරයා නොසැලකිලිමත් ස්වරයෙන් කීවේ ය. “අපි කොයි තරම් සෑහීමකට පත් වෙලා ද කියල ඔබ දන්නව නම්.... මගේ ප්‍රිෆෙක්ට්ලගෙන් මට හොදට ම සහතික ලැබෙනවා. මේ කැරලිකාර සොල්දාදුවගේ කුමන්ත්‍රණවලට පෙන්ග්වින් ජනයා තමන්ගේ ගුණයහපත්කම මගින් සාධාරණය ඉෂ්ඨ කරනව ඇති ග ඔබට මොහොතකටවත් හිතන්න පුලුවන් ද, ශ්‍රේෂ්ඨ ජනතාවක් කාර්යශූර ජනතාවක්ල ලිබරල් ආයතන වෙනුවෙන් ඇප කැපවුණ ජනතාවක්....”

  වල්කන්මෝල් ගැඹුරු සුසුමක් හෙලමින් ඔහුගේ කථාවට බධා කළේ ය.
 
“ආහ්! මට ඒක කරන්න වෙලාව තියෙනවා නම් මම ඔබව ඔබ මුහුණ දීල තියෙන කරදරවලින් බේරගන්නව. මම මගේ ෂතියොංව පිටමං කරල දෙන්නම්. මම එයාව ඉබ්බාගමුවෙන් පිටමං කරන්නම්.” 

  ඇමතිවරයා සමීප සාවධානය යෙදී ය.
 
  “ඒකට ඒ තරම් කාලයක් යන්නෙ නැහැ” නාවිකයා කියා ගෙන ගියේ ය. ‘මම එක වැරෙන් මේ සතාගෙන් මුදා ගන්නම්.... ඒත් මේ දැන් මට වෙන වැඩක් තියෙනව....මම ඉන්නේ හොදටම හන්තර් ගහලයි. මම සෑහෙන මුදලක් සොයා ගන්න ඕන. ඒත් ඔක්කොටම ඉස්සෙල්ලා, ගෞරවය පෙරට!”

   ඇමති සහ උප එමිරාල් මොහොතක නිහැඬියාවක නිමග්න ව ඔවුනොවුන් දෙස බලා සිටිය හ. ඉන්පසු බාර්බොතාන් බලාධිකාරයෙන් යුතුව මෙසේ කීවේ ය. 

  “උප එමිරාල් වල්කන්මෝල්, මේ රාජද්‍රෝහී සොල්දාදුවා පන්නල දාන්න. එතකොට ඔබ පෙන්ග්විනියාවට ලොකු සේවයක් කළා වෙනවා. ඔබ සූදු කෙළලා වෙච්ච ණය ගෙවන්න ස්වදේශ කටයුතු භාර ඇමති තුමා වග බලා ගන්නව ඇති” 
    එදින ම සවස වල්කන්මෝල් ෂතියොං මුණ ගැසීමට ගියේ ය. ඔහු ශෝකාකූල වූත් ගුප්ත වූත් බැල්මෙන් යුතු ව මඳ වේලාවක් ඔහු දෙස බලා සිටියේ ය.
 “ඇයි ඔබ ඔය විදියට බලන් ඉන්නේ?” එමිරාල් අසහනකාරී ස්වරයෙන් විමසී ය. 
 වල්කන්මෝල් ශෝකාකූල ව මෙසේ කීවේ ය. “මචං, ඔක්කොම අතට අහුවෙලා ඉවරයි. පහුගිය පැය භාගෙදී ආණ්ඩුව ඔක්කොම දැනගෙන”

 මෙවදන් කන වැකීමත් සමඟ ම ෂතිහොං පරඬැල් වී ගියේ ය. වල්කන්මෝල් දිගට ම කතා කරගෙන ගියේ ය.

 “කොයි මෙහෛාතක හරි ඔබව අත් අඩංගුවට ගන්න පලුවන්. වහා ම පැනල යන්න මම ඔබට උපදෙස් දෙනවා.”
 
  සිය ඔරලෝසුව ළංකර ගත් ඔහු මෙසේ කීවේ ය. 

 “පමා කරන්න මොහොතක්වත් තව නැහැ”  

  “ඔලිව් සිටුතුමිය හමුවෙන්න්වත් මට ඉඩක් නැද්ද?” 

  “ඒක මහා පිස්සු වැඩක්!” ගමන් බලපත්‍රයක් සහ නිල් පැහැති උපැස් යුවලක් ඔහු අතට දෙමින්, ධෛර්ය සම්පන්න වන ලෙස ඉල්ලා සිටිමින් වල්කන්මෝල් කීවේ ය. “මම ධෛර්ය සම්පන්නව ඉන්නම්” ෂතියොං කීවේ ය. “ගුඩ් බායි, මචං”

   “ගුඩ් බායි! සතූතියි. ඔබ මගේ දිවි ගලවා ගත්තා
  ”
 “මට කරන්න පුළුවන් අඩු ම දේ තමයි ඒ” ග  පැය කාලක් ගත වූ තැන ධීරවීර එමිරාල් අල්කා නුවරින් පිටව ගොස් තිබුණි.

  හේ රෑයාමේ සර්ක් හි වූ පැරණි යුධ නැවකට නැඟුණි. එහෙත් වෙරළින් සැතැපුම් අටක් ඔබ්බෙහි දී, ආලෝකයකින් තොරව යාත්‍රා කරමින් තිබූ කාලවර්ණ දූපත්වල රාජණියගේ ධජය සහිත වූ බෝට්ටුවක් මගින් එය අල්ලා ගනු ලැබිණ. එම රැජින දිගු කලක් මුළුල්ලේ ම ෂතියොං කෙරෙහි මාරක ලෝලත්වයක් වඩවාලූ තැනැත්තියකි.





                                           07 
                                     අවසානය 

         බීමට කාලය දැන් ය.   තමන් මුහුණ පා සිටි බිහිසුණු තත්ත්වයන්ගෙන් මිදීම ගැනත්, ඒ සා සුවිශාල වූ අනතුරකින් ගැලවී ගත හැකි වීම ගැනත් ප්‍රීතියෙන් ප්‍රමුදිත වූ  ආණ්ඩුව, පෙන්ග්වියානු පුනරුදයේ සහ සමූහාණ්ඩුව පිහිටුවාලීමේ සංවත්සරය සැමරීම සඳහා ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළ යුතු යයි තීරණය කළේ ය.
 
  ජනාධිපති ෆෝර්මෝස් ද ඇමතිවරු ද පාර්ලිමේන්තුවේ සහ සෙනෙට් සභාවේ මන්ත්‍රිවරු ද උත්සවයට සහභාගි වූහ. පෙන්ග්වින් හමුදාවේ සේනාධිනායකයා නිල ඇඳුමින් ම එයට සහභාගි විය. ඔහුට ඔල්වරසන් හඩ නැඟුණි. ශෝක සංතාපයේ කලුවන් පතාකය ද කැරැල්ලේ රතු පතාකයා ද පෙරටු කර ගත් කම්කරු නියෝජිතයෝ පෙළපාලියේ ගමන් ගත් හ. ඔවුන්ගේ පෙනුම තියුණු ආරක්ෂාකාරී වූවක් විය.
 
  ජනාධිපති, ඇමතිවරු, මන්ත්‍රිවරු, නිලධාරිහු ල අධිකරණ හා හමුදා නායකයෝ යනාදී හැම අයෙක් ම තම තමන්ගේ ම නාමයෙන් සහ සර්වාධිපති ජනතාවගේ නාමයෙන් “නිදහස හෝ මරණය” නම් වු පැරණි දිවුරුම යළි අලුත් කළහ. ඒ ඔවුන් දැඩි අධිෂ්ඨාන සහගතව පිහිටා සිටි විකල්පය විය. එහෙත් ඔවුන් වඩා කැමති වූයේ නිදහසේ ජීවත් වීමට ය. ක්‍රීඩා හා කථා පැවැත්වුණි. ගී ගැයුණි. 

  සෙනෙට් සභිකයින් නික්ම යාමෙන් අනතුරුව පුරවැසි ජන සමූහයා “සමුහාණ්ඩුවට ජයවේවා!” ල “නිදහසට ජයවේවා!” යි හඬ නඟමින් සෙමින් සාමකාමී ව විසිර ගියහ.

  පුවත් පත් මගින් වාර්තා කෙරුණේ එම විස්මයජනක දිනයේ සිදු වූ එක කණගාටුදායක සිද්ධියක් පමණි. රාජකීය පෙළපාලිය තමන් පසු කර යමින් සිටිය දී, බොසෙනෝහි කුමරු රැජිනගේ තැනිතලාවට වී සුරුට්ටුවක් දල්වා ගෙන නිසසලව සිටියේ ය. කුමරු ඇමතියන්ගේ රථය වෙත එලඹ මහ හඬින් මෙසේ කීවේ ය. ‘සමූහාණ්ඩුවාදීන්ට මරණය!’ සැණෙකින් පොලීසිය ඔහු අල්වා ගති. ඔහු ඔවුනට දැඩි සටනක් දුනි. ඔහු සමූහ වශයෙන් ඔවුන් බිම හෙළී ය. එහෙත් පිරිස් බලය මගින් ඔහු යටත් කර ගනු ලැබී ය. තළනු ලැබූ, හූරනු ලැබ ඉදිමී ගොස් සිටි, සිය බිරියගේ දෑස්වලට පවා හදුනාගත නොහැකි තරම් විරූපීි බවට පත් වූ ඔහු ප්‍රීතියෙන් උද්දාමයට පත්ව තිබූ වීදි ඔස්සේ අඳුරු සිර කුටියකට ඇද ගෙන යනු ලැබී ය.
 
  මහේස්ත්‍රාත්වරු ෂතියොංට එරෙහි නඩුව අමුතු ම ශෛලියකින් පවත්වා ගෙන ගියහ. කුමන්ත්‍රණය තුළ ගෞරවාර්ග අගාරික පියතුමන්ගේ සහභාගීත්වය අනාවරණය කෙරුණ ලිපි අද්මිරාල්තියේ තිබී හමු විය. සැණෙකින් ම මහණුන්ට එරෙහි ජනමතය ඇවිලී ගියේ ය. ඔවුන් සතු අයිතීන්, මුක්ත කිරීම්, විශේෂ සැලකිලි, වරප්‍රසාදයන් සහ පලප්‍රයොජනයන් වළකා ලන, අඩු කරන, සීමා කරන, තහනම් කරන, යටපත් කරන නීති දුසිමක් ම එකකට එකක වශයෙන් පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබිණ. ඔවුන් බල රහිත කෙරෙන නුසුදුසුකම් ගණනාවක් ඇති කෙරුණි. 
ගෞරවාර්හ අගාරික පියතුමාණෝ තමනට එරෙහි ව පෞද්ගලිකව එල්ල වූ දරුණූ නීති මෙන් මල ප්‍රධාන වශයෙන් ම තමා හේතු කොට ගෙන සිදු වූ එමිරාල්ගේ දරුණු වැටීම ද ඉවසා වදාළේ ය. නපුරු ඉරණමකට කිසිසේත් ම හිස නොනැමූ ඔහු, එය සුදු සඳේ කලු වලාවක් ලෙස සැලකී ය. ඔහු පළමුවැන්නටත් වඩා සාහසික වූ දේශපාලන සැලසුම් සකස් කරන්නට විය.
  
  සිය යෝජනා ක්‍රම සෑහෙන තරමින් පරිණතභාවයට පත් වූ කල්හි ඔහු දිනක් කෝනිල්ස් හි කැලයට ගියේ ය. 

  කෑරලෙක් ගසක් මත පිට හඬ නැඟී ය. කුඩා ඉත්තෑවෙක් අවලක්ෂණ පියවර තබමින් ඔහු ඉදිරියෙන් ගල් සහිත පාර හරහා ගමන් කළේ ය. අගාරිකයෝ දිගු පියවර තබමින්, වාක්‍ය කැබලි කිහිපයක් තනියම මුමුණමින් ගමන් කළහ.
 
  වසර ගණනාවක් මුළුල්ලේ සැදහැවත් නිෂ්පාදකයා සාන්ත ඔර්බෙරෝසියානු කසිප්පු පෙරූ පර්යෙෂ්ණාගාරයේ දොර වෙත හේ ළඟා විය. එම ස්ථානය අත්හැර දමා ඇති බවත් දොර වසා ඇති බවත් එවිට ඔහුට පෙනුණි. ගොඩනැගිල්ල වටා ගමන් කිරීමෙන් පසු, ගෞරවාර්හ කෝර්න්මියුස් සිය රෙද්ද අමුඩේ ගසා ගෙන කුස්සිය පැත්තේ බිත්තියට හේත්තු කොට තිබූ ඉණිමගක් දිගේ නඟිනු ඔහු දුටුවේ ය.

   “මගේ යාලුවේ, ඒ ඔබ ද?” ඔහු ඇසීය. “ඔබ ඔහේ මක්කද කරන්නෙ?” 

  “ඔබට පෙනේවි” කෝනිල්ස් හි මහණා දුබල හඬකින් පිළිතුරු දුන්නේ අගාරිකයින් වෙත ශෝකාකූල බැල්මක් හෙළමිනි. “මං මගේ ගේ ඇතුලට යනවා” 
  ඔහුගේ දෙනෙත්වල කලු ඉංගිරියාව වෙතින් විජයග්‍රාහීබව සහ මරාමිණිවන් දීප්තිය තවදුරටත් නො විහිදුණි. ඉන් විහිදුණේ ශෝකාකූල සහ ගැහැටට පත් බැල්ම ය. ඔහුගේ මුහුණෙන් ප්‍රීතිමත්භාවය අහෝසිව ගොසිනි. ඔහුගේ දිදුලන සිරස තවදුරටත් දැක්මට ප්‍රියමනාප නො වී ය. දහදිය ගැලීම් ද ඉදිමුණු බිබුල් ද එහි මැනිය නොහැකි තරම් වූු පරිපූර්ණත්වය වෙනස් කර තිබුණි.
 
  “මට තේරෙන්නෙ නැහැ” අගාරික කීවේ ය.
 
  “ඒක තේරුම් ගන්න එක හරි ම ලේසියි. ඔබට පේනවනේ ඔබේ කුමන්ත්‍රණයෙ ආනිශංස. මට විරුද්ධව නීති ගණනාවක් ම එල්ල වුනත්, ඒවායින් රිංගලා යන්න මට පුළුවන් වුණා. ඒත් සමහර ඒවායින් නම් මට වැදුණා. මේ පලිගන්නාසුලු මිනිස්සු මගේ පර්යේෂණාගාරයයි, මගේ සාප්පු ටිකයි වහල දැම්මා. මගෙ බෝතල්, කසිප්පු පෙරන කල්දේරම්, පෙරණ භාජන රාජ සන්තක කළා. මගේ දොරට උන් සීල් තිබ්බා. දැන් මට සිද්ධ වෙලා තියෙන්නේ ජනේලයකින් ඇතුළු වෙන්නයි. මට හොරෙන් පෙරන්න ඉඩ ලැබෙන්නෙ කලාතුරකින්. ඒත් වරින් වර පැළෑටි කීපෙක ඉස්ම තමයි. ඒකත් කරන්නෙ, නිවට ම නිවට කම්කරුවෙක් වුනත් පිළිකුල් කරන යන්ත්‍රෙකින්”

  “පලිගැනීම් නිසා ඔබ දහදූක් විඳිනව” අගාරික කීවේ ය. “උන්ගෙ පලිගැනීමෙන් අපි ඔක්කොට ම පහර වැදෙනවා”

 කෝනිල්ස් හි මහණා පීඩාවට පත් සිය ඇස් බැම අතගාමින් මෙසේ කීවේ ය. 

  “ඔය ටික වෙන වග මම කලින් ම කිව්වනේ. සහෝදර අගාරික, ඔබේ ව්‍යාපාරයෙන් අපට කෙළ වන බව මම ඔබට කිව්වනේ. ”

  “අපේ පරාජය තාවකාලිකයි’‘ අගාරික පිළිතුරු දුන්නේ ය.‘ ‘ඒක සිද්ධ වුනේ අහම්බ හේතු නිසයි. ඒක සිද්ධ වුනේ නිකම් ම දෛවයෝගයන් නිසයි. ෂතියොං පල් මෝඩයෙක්. එයා එයාගෙ අදක්ෂකමේ ම ගිලිල මළා. සහෝදර කෝර්න්මියුස්, මට ඇහුම්කන් දෙන්න. අපිට අපතෙ අරින්න එක මොහොතක්වත් නැහැ. අපි පෙන්ග්වින් ජනතාව නිදහස් කර ගත යුතුමයි. ඔවුන් ඔවුන්ගෙන් ගලවා ගත යුතුයි. ආගමේ ගරුත්වයයි, කතෝලික ආගමේ ඓශ්චර්යයි වෙනුවෙන් අපි ඉපැරණි රාජ්‍යය, යහපත් රාජ්‍යය ප්‍රතිෂ්ඨාපනය කරන්න ඕන. ෂතියොං නරක උපකරණයක් බවට පත් වුණා. අපේ අත්වලදි ම ඔහු කැඩී බිදී ගියා. ඔහුව අයින් කරන්න අපි වඩා හොඳ උපකරණයක් සොයා ගනිමු. මේ අපවිත්‍ර ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දාන්න කියාපු මිනිහා මං සොයා ගෙනයි ඉන්නෙ. එයා සිවිල් නිලධාරියෙක්. එයාගෙ නම ගොමෝරු, පෙන්ග්වින්වරු මිනිහට වඳිනවා. එයා දැනටමත් බත් පිඟානකට එයාගෙ පක්ෂෙ පාවා දීලයි ඉන්නෙ. අපිට කියාපු මිනිහා අන්න එයයි.”

   කථාව අවසන් වත් ම කෝනිල්ස් හි මහණා සිය කවුළුවට නැඟ ඉණිමග ඇතුළට ම ඇද ගති.  
  ජනේල කවුළුව තුළින් බෙල්ල එළියට දැමූ ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය. “මේ ප්‍රසන්න, මේ ප්‍රියකරු, මේ මධුර මනෝහර පෙන්ග්විනියාවෙන් අපි ඔක්කොමලා තොලොංචි කරල දානකම් ඔබ නොනවතින බව මම කල් තියා ම දුටුවා. ශුභ රාත්‍රියක්! දෙවියන් වහන්සේ ඔබ රැක ගනිත්වා!”

 බිත්තිය ඉදිරියේ සිට ගෙන හුන් අගාරික පියතුමා, තමා කියන දෙයට මොහොතකට කන් යොමන ලෙස හිතාදර සහොදරයාට අයැදී ය. 

  ‘කෝර්න්මියුස්, ඔබේ යහපත ගැන ඔයිට වඩා හොදින් තේරුම් බේරුම් කර ගන්න. පෙන්ග්විනියාව අපෙයි, අප කළ යුතුව තියෙන්නෙ, එය ජය ගැනීමයි. තව එක ම එක ට්‍රයි එකක්.....තව එක වරක් සුළු සම්මාදමක් එතකොට ....”

  එහෙත් තවදුරටත් ඇහුම්කන් නොදුන් කෝනිල්ස් හි මහණා සිය හිස ඇතුලට ගෙන කවුළුව වසා දැමී ය.


                            ග්‍රන්ථය 6 

                            නූතන සමය
 
                                           01 
            පිදුරු මිටි අසූ හාර දහස පිළිබඳ සිද්ධිය 


අහෝ සියස් පියාණෙනි 
ආකියානුන් අඳුරින් මුදාලනු මැන
 නිළඹර හෙළි පෙහෙළි කර 
දෙනුවනට අප,යොමනු මැන දර්ශනය ඉනික්බිති එය අන් කිසිත් නො ව
 ආලෝකය ම වනු ඇත, 
මරා දමනු මැන අප න්ද යත් එය ඔබ තුමන්ගේ 
ප්‍රීති ප්‍රමෝදය වන හෙයිනි. 
(ඉලියඩ් කාව්‍යය)
 
           සෙන්පති ග්‍රෙතාවුක් - හිස්කබලේ ආදිපාද

එමිරාල් පලා යාමෙන් මඳ කලක් ගත වු තැන, වංශක්කාර පෙළැන්තිය සමඟින් සබඳතා පැවැත්වීමට ගිජුකමක් දැක්වූත්, සිය දේශය වෙනුවෙන් සේවය කරනු ඇවැසි වූත් පයිරොට් නම් වූ මධ්‍යම පංතික යුදෙව්වා, පෙන්ග්වින් හමුදාවට ඇතුළත් විය. එකල යුධ ඇමතියා වූ හිස් කබලේ ආදිපාද ගෙත්‍රාවුකයන් හට ඔහු දිරවා ගත නොහැකි විය. හේ ඔහුගේ උද්යෝගිමත්භාවය ගැන, ඔහුගේ ඇමිනුණා නාසය ගැන, ඔහුගේ ඝනකම දෙතොල් ගැන සහ ඔහුගේ ආදර්ශවත් චර්යාව ගැන ඔහුට දොස් නැඟී ය. ඕනෑ ම වෙලාවක ඕනෑ ම නරක ක්‍රියාවක කතුවරයා කවුරුන් දැ යි විමසා බලනු ලැබිණි නම්, මෙලෙස කීමට ග්‍රෙතාවුක් පුරුදුව සිටියේ ය.
 
“ඒක නම් කරලා ඇත්තේ පයිරොටා ම තමයි.”
  
හමුදා ප්‍රධානියා වු සෙන්පති පැන්තර් දිනක් බරපතළ කරුණක් පිළිබඳව ග්‍රෙතාවුකයන් හට සැලකර සිටියේ ය. අශ්වාරෝහක හමුදාවට වෙන් කර තිබූ පිදුරු මිටි අසූ දහසක් අතුරුදහන් ව තිබුණි. ඒ පිළිබඳ හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. 
 
ග්‍රෙතවුක් එක්වර ම මෙසේ කීවේ ය.
 
“ඒවා හොරකම් කළේ නම් පයිරොටා ම වෙන්න ඕන”
 
මඳ වේලාවක් සිතිවිල්ලේ නිමග්න වූ හේ මෙසේ කීවේ ය.
 
“මම ඒ ගැන හිතන්න හිතන්න, පිදුරු මිටි අසූ දහස හොරකම් කළේ පයිරොටා වග මට වඩා වඩාත් ඒත්තු යනව. මම ඒක දන්නෙ මෙන්න මේ හින්දයි. එයා ඒවා හොරකම් කළේ අපේ අන්තිම එපා කරපු හතුරා වන ඉබ්බාගමුවන්ට ඒවා විකුණන්නයි. උල තියන්න තරම් බරපතල ද්‍රෝහි කමක් නොවැ?”

 “ඒ ගැන නම් අබමල් රේණුවක සැකයක් නැහැ.” පැන්තර් පිළිතුරු දුනි. “දැන් තියෙන්නෙ ඒ වග ඔප්පු කරන එක විතරයි.”

 එදින ම බොසෙනෝ හි කුමරු අශ්වාරෝහක හමුදාවේ බැරැක්ක පසු කර ගමන් කරමින් සිටියදී, අංගනය අතුගාමින් සිටි භටයන් මේ ගීය ගයනු ඔහු කන වැකුණි. 

බොසෙනෝ ඌරෙකි දැවැන්ත 
සැදිය හැකි උගේ මසින්
ලිංගුස් සහ හැම් ටික ටික 
දුගි දනන්ගේ රෑ බොජුනට 

  කැරලි පැවති දිනයන් හි දී ගෝට්ටිකාර කම්කරුවන් ගැයූ මේ දේශාභිමානී හා විප්ලවීය ගීතිකාව සොල්දාදුවන් විසින් ද ගයනු ලැබීම සකලවිධ විනය නීතියකට පටහැනි බව ඔහුට පෙනී ගියේ ය. හමුදාවේ සදාචාරාත්මක වැහැරීම ඔහු මේ අවස්ථාවේ හෙළා දුටුවේ ය. මේ වැහැරුණු හමුදාවේ නායකයා වන  ඔහුගේ පැරණි සගයා වු ග්‍රොතාවුක්, දේශද්‍රෝහි ආණ්ඩුවක කුඩුකේඩුකම්වලට ගොදුරු ව ඇතැයි  කල්පනා කළේ කර්කශ සිනහවක් මුවට නඟා ගනිමිිනි. වැඩි කල් නොගොස් ම, වැඩි දියුණු කිරීමක් කරන්නෙමැයි ඔහු තමාට ම ප්‍රතිඥා දුන්නේ ය
  “ඒ ජඩයා, ග්‍රෙතාවුකයා, ඌ වැඩිකල් ඇමතියෙක් වෙලා ඉන්නෙ නැහැ” ඔහු තමාට ම මුමුණා ගත්තේ ගත්තේ ය.
  
  නූතන ප්‍රජාතන්ත්‍රවාදයේත් නිදහස් චින්තනයේත් පෙන්ග්විනයන් විසින් ම බිහි කර ගත් ආණ්ඩුවේත්  අතිශයින් ම සම්මුති විරහිත සතුරා වුයේ බොසෙනෝ හි කුමරු ය. යුදෙව්වන් කෙරෙහි පතළා වූ අති ප්‍රබල වූත් වහංග නො කළාා වූත් බද්ධ වෛරයකින් පෙළුන ඔහු ඩ්‍රැකොනයිඩ් පෙළපත ප්‍රතිෂ්ඨාපනය කිරීම පිණිස දිවා රෑ ප්‍රසිද්ධියේ මෙන් ම අප්‍රසිද්ධියේ ද පණ කඩා ගෙන වැඩ කළේ ය. අයහපත් තත්ත්වයක පැවති, පැයෙන් පැය වඩාත් අයහපත් අතට හැරුණ ස්වකීය පෞද්ගලික කලදසාව පිළිබඳ හටගත් සිතිවිල්ල හේතුවෙන් ඔහු තුළ වූ දෘඪතර රාජපක්ෂිකභාවය තවදුරටත් කිති කැවී ගියේ ය. මහා ඩ්‍රැකෝ රාජෝත්තමයාණන්ගේ උරුමක්කාරයා අල්කා පුරවරයට ප්‍රවිෂ්ඨ වන තාක් කල් තමාගේ මුදල් හුටපටවල අවසානයක් දැකීමේ කිසි ම බලාපොරොත්තුවක් ඔහුට නො වී ය.
  සිය නිවසට ආපසු සැපැත් වූ කුමරු අතිශය රහසිගත ස්වභාවයේ පෞද්ගලික ලිපි හුවමාරුවක් සහිත වූ ලිපි ගොන්නක් සිය සේප්පුවෙන් එළියට ඇද ගති. ඔහු එම ලිපි ලබා ගත්තේ විශ්වාස ඝාතක වූ ලේකම්වරයකු මඟින් ය. සිය පැරණි ගජයා වූ හිස්කබලේ ආදිපාදි ග්‍රෙතාවුක් මිලිටරි ගබඩාවන්ට අදාළ වංචාවක් සම්බන්ධයෙන් වරදකරු බවත් මලරූ නම් නිෂ්පාදකවරයාගෙන් ඒ තරම් ම විශාල වටිනාකමක් නොමැති ත්‍යාගයක් ලබා ගෙන ඇති බවත් එම ලිපි වලින් ඔප්පු විය. මෙම ත්‍යාගය ඉතා සුළු වීම නිසා ම, එය ලබා ගත් ඇමතියාට කට උත්තර නැති විය. 

ඔහු ඉමහත් තෘප්තියට පත් ව, ලිපි යළිත් කියවා ඒවා ආපසු සේප්පුව තුළ පරෙස්සම් සහගතව අඩුක්කු කර යුධ ඇමති වෙත හණි හණික දිව ගියේ ය. හේ දැඩි චරිත ශක්තියකින් හෙබියේ ය. කිසිවකුටත් ඇමති තුමා හමු විය නොහැකි බව දැනුම් දෙන ලද නමුත්, අසල සිටියවුන් පෙරළා දමමින්, පණිවිඩකරුවන් පිසදා හරිමින්, සිවිල් හා මිලිටරි ලිපිකරුවන් පයින් පාගා ලමින් දොර විවෘත කර ගත් හේ, විමතියෙන් අන්දුන් කුන්දුන් වූ ග්‍රෙතාවුකයන්ගේ කාමරයට කඩා පැන්නේ ය. 
 
‘මට උඹට කියන්න වැඩි යමක් නැහැ’ හේ ඇමතිවරයාට සැලකර සිටියේ ය. ‘මම කතා කරන්නෙ හරියට ම පොයින්ට් එකටයි. තමුසෙ තක්බීර් වුන නීචයෙක්. මේ සමූහාණ්ඩුවාදීන්ගේ අතකොළුව වන සෙන්පති මූෂින්ට කණේ පහරක් දෙන්නය කියල මම තමුසෙට කිව්වා.  තමුසෙ ඒක කෙරුවෙ නැහැ. ඩ්‍රැකෝවාදීන් වෙනුවෙන් වැඩ කරන, පුද්ගලිකව මම කියන ඕන ම දෙයක් කරන ක්ලේපියර්වල සෙන්පතිට සේනාංකයක් ලබා දෙන්නය කියල මම තමුසෙගෙන් ඉල්ලුවා. තමුසෙ ඒක කරන්නෙ නැහැ. කාඩ් ගහන කොට ශත පණහක් හොරකම් කරපු, එමිරාල් ෂතියොංගේ පන්දමා විදියට ඉහළ උසාවිය ඉදිරියට මාව ගෙනිච්ච වෙලාවේ මගේ අත් වලට මාංචු දාපු, අල්කා වරායේ අණදෙන නිලධාරියා - අර සෙන්පති තාන්දෙමා - සේවයෙන් පහ කරන්නය කියා මම තමුසෙගෙන් ඉල්ලුවා, තමුසෙ ඒක කරන්නෙත් නැහැ, මම තමුසෙගෙන් පිදුරු ගබඩා ටිකයි, දහයියා ගබඩා ටිකයි ඉල්ලුවා, උඹ ඒවා මට දෙන්නෙත් නැහැ, මාව රහස් දූත මෙහෙවරකට ඉබ්බාගමුවට යවන්න කියල මම උfඔන් ඉල්ලුවා, උඹ යකෝ ඒකට ඉඩ දුන්නෙත් නැහැ, මේ විදියට නැවත නැවතත් ප්‍රතික්ෂේප කිරීම් කළා මදිවට, හොඳට ඇහැ ගහගෙන බලා ගත යුතු මහා අනතුරුදායක මිනිහෙක් ය කියල උඹේ ආණ්ඩුවට මාව හඳුන්වල දුන්නෙත් තෝයි. මගේ පස්සෙන් පොලීසිය පන්නන්නෙත් තෝ නිසා තමයි. අඩෝ නාකි ද්‍රෝහියා! මම තොගෙන් තව මොකුත් ඉල්ලන්නෙ නැහැ. මට තොට කියන්න තියෙන්නෙ එක ම එක දෙයයි. මකබෑවෙයන්! උඹ අපිට ඕනෑවටත් වඩා කරදර කළා. ඒ විතරක් නෙවෙයි. උඹේ ම පක්ෂෙ එකෙක්ව දාලා උඹව අයින් කරන්න උඹේ සමූහාණ්ඩුවට අපි බල කරනව. මම කිව්වොත් කිව්ව ජාතියේ මිනිහෙක් බව උඹ දන්නවනේ. පැය විසි හතරක් තුළ උඹ ඉල්ලා අස් වුනේ නැති නම්, මම මලූරි ලිපි ගොණුව පත්තරවල දාලා ප්‍රසිද්ධ කරනව.”

  එහෙත් ග්‍රෙතාවුක් ශාන්තදාන්තව සහ ගරු ගාම්භීරාකාර ව මෙලෙස පිළිතුරු දුන්නේ ය.

  “ඒයි මෝඩයා ! උඹේ ඔය සද්දෙ නවත්තපන් ! මම මේ  දැනුත් යුදෙව්වෙක්ව පිටුවහල් කළා. පිදුරු මිටි අසූදාහක් හොරකම් කිරීමට වරදකරු විදියට පයිරොටි ව උසාවියට භාර දෙනවා.”  

බොසෙනෝගේ කෝපය හිරු දුටු කදෝ පැණියකු සේ අන්තර්ධාන විය. ඔහු සිනහවක් පෑවේ ය. 
 
“ඈ ! ඔය ඇත්ත ම ද?”
 
“ඔබට බලා ගත හැකියි.”
  
  “ග්‍රෙතාවුක් ! මෙන්න මගේ සුභ පැතුම් ! ඒත් ඔබත් එක්ක කරන කටයුතුවලදි හැම තිස්සේ ම ආරක්ෂිත පියවරක් ගන්න එක ඇඟට ගුණයි. ඒ නිසා මේ සුභ ආරංචිය මම දැන්ම ම ප්‍රසිද්ධ කරනවා. එතකොට පයිරොටා අත් අඩංගුවට ගැනීම ගැන අල්කාවේ පළ වෙන හැම පත්තරේකින් ම කියවාවි.”

   ඔහු මෙසේ මුමුණමින් එතැනින් ඉවත්ව ගියේ ය.

   “අර පයිරොටා ! උගේ අවසානෙ නරක එකක් වෙන බව මම දැනගෙන තමයි හිටියෙ.” 
 
    මොහොතකට පසු සෙන්පති පැන්තර් ග්‍රෙතාවුක් හමුවේ පෙනී සිටියේ ය.

  “සර්, හරි වැඩේනෙ, පිදුරු මිටි අසූ දාහේ සිද්ධිය ගැන මම මේ දැන් සොයා බැලුවනේ, පයිරොට්ට විරුද්ධව කිසි ම සාක්ෂියක් නැහැනෙ!” 

  “සාක්ෂි සොයා ගන්න ඕන’‘ ග්‍රෙතාවුක් පිළිතුරු දුන්නේ ය.“යුක්තිය සාධාරණය ඉෂ්ඨ කිරීමට ඒක අත්‍යවශ්‍යයි. වහා ම පයිරොට් අත් අඩංගුවට ගනු!’‘
















                                   02

                                       පයිරොට්
   
මුළු පෙන්ග්විනියාව ම පයිරොට්ගේ අපරාධය ගැන ඇසුවේ සියොළඟ කිළිපොලා යමිනි. ද්‍රෝහිත්වය සමඟ සංයෝගී වූත්, ශුද්ධ වස්තු කෙළසීමේ අද්දරට ම පවා පැමිණියා වූත් මෙම යටිමඩි ගැසීම කරනු ලැබුවේ යුදෙව්වකු විසින් වීම නිසා, ඒ හා සමඟ ම එක්තරා අයුරෙක තෘප්තිමත්භාවයක් ද පැවතුණි. මෙම මනෝභාවය අවබෝධ කර ගැනීමට නම්, විශාල සහ සුළු යන උභය පාර්ශ්වයට ම අයත් යුදෙව්වන්  සම්බන්ධයෙන් පැවති මහජන මතය හඳුනා ගැනීම අවශ්‍ය ය. මෙම ඉතිහාසයෙහි දී අප වරින්වර පෙන්වා දුන් පරිදි, හැම තන්හි දී ම පිළිකුල් කෙරුණ සහ සර්ව සම්පූර්ණ වශයෙන් බලගතු වූ මූල්‍යමය ජන කොට්ඨාශය සමන්විත වූයේ කිතුණුවන්ගෙන් සහ යුදෙව්වන්ගෙනි, සියලු ම ජනයා ස්වකීය වෛරය වගුරුවා හළේ ඉන් එක කොටසක් වූ ඉහළ පංතික යුදෙව්වන් වෙත ය. දැවැන්ත ධන සම්භාරයක් ඔවුන් සතුව තිබුණි. ඔවුන් පෙන්ගිවිනියාවේ මුළු දේපළවලින් පහෙන් එකකට වැඩියෙන් අයත් කර ගෙන සිටි බව කියනු ලැබේ. මෙම බලගතු පෙළැන්තියට පිටස්තර ව, මධ්‍යස්ථ තත්ත්වයේ යුදෙව්වෝ රාශියක් ද වුහ. ඔවුහු අනෙක් අයට වඩා වැඩි ආදරයකට බඳුන් නො වූහ. ඔවුන් ගැන බිය වූයේ ඉතා අඩුවෙනි. විධිමත් ලෙස පවත්වා ගෙන ගිය සෑම රාජ්‍යයක ම, ධනය ශූද්ධ වස්තුවක් විය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් හි ශුද්ධ වූ එක ම දෙය එය විය. පෙන්ග්විනියානු රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී විය. මූල්‍ය සමාඟම් තුන හතරක්, සමූහාණ්ඩුවේ ඇමතියන් සතු ව පැවති බලයට වඩා වැඩි බලයක් පෑවේ ය; අන් සියල්ලටමත් වඩා වැඩි ප්‍රතිඵලදායි වූත් අඛණ්ඩ වූත් බලයක් පෑවේ ය. ඇමතිවරු ඒවායේ රූකඩ වූහ. ඒවා රහසිගත ලෙසකින් ඔවුන් සිය අණසකට යටත් කළේ ය. රජයේ ම වියදමෙන් තමන්ට වාසි සලසාලීමට බලපෑම් කිරීම මඟින් හෝ දූෂණ මඟින් හෝ සමාගම් ඔවුන්ට බල කළේ ය. ඔවුන් අවංක ව සිටියේ නම්, පුවත්පත්වලින් කෙරෙන මඩ ගැසීම් මඟින් එම සමාගම් ඔවුන් විනාශයට පත් කළේ ය. භාණ්ඩාගාරයේ රහස්‍යභාවය නොතකමින්, රට කෝපයට මුසපත් කරවීමට සෑහෙන තරම් වූ කරුණු ප්‍රසිද්ධ කෙරුණි. එහෙත් ශ්‍රේෂ්ඨතමයාගේ සිට අල්පතමයා දක්වා වු මධ්‍යම පංතික පෙන්ග්විනයන් හුරු පුරුදුව සිටියේ මුදලට ඉමහත් සේ භක්ති ප්‍රණාමය දැක්වීමට ය. ඔවුන් හැම සතුව විශාල වශයෙන් හෝ සුළු වශයෙන් හෝ දේපළ වූයෙන්, ප්‍රාග්ධනයේ දැවැන්තභාවයෙන් ඔුවුහු දැඩිව විස්මෘත වූහ. විශාල ප්‍රමාණ ධනයක් සුරකින්නේ නැති නම්, සු`ඵ ප්‍රමාණ ධනයක් නොසුරැකෙන බැව් ඔවුහු දත්හ.  මේ හේතූන් කරණ කොට ගෙන, යුදෙව්වන් සතු දස ලක්‍ෂ  සංඛ්‍යාත මුදල් කෙරෙහි ඔවුහු ආගමික වූ භක්තියෙන් වෙළී ගියහ. ඔවුන් තුළ ජුගුප්සාවට වඩා ආත්ම-ලාභය දැඩි වූ හෙයින්, තමන්ගේ ජුගුප්සාවට ලක් වූ ධනවත් යුදෙව්වන්ගෙන් එකෙකුට හෝ අත තැබීමට ඔවුන් දැක්වූයේ ඊටත් වඩා අඩු ගරුසරභාවයකි. ඔවුන්ගෙන් කවරකු හෝ බිම වැටී  සිටිනු දුටුව හොත්, ඔවුහු ඔහු  පාගා දැමූහ.  ද්‍රෝහියා යුදෙව්වකු බව දැන ගත් විට, මුළු මහත් ජාතිය ම අත්‍යන්තයෙන් ම සංතෘප්තියට පත් වූයේ එහෙයිනි. ඒ නිසා, පොදු ජන විශ්වාසය හීන කර ගැනීමකින් තොරව ම, එම පුද්ගලයා තුළින් සකල ඊශ්‍රායලයකුගෙන් ම පලිගැනීමට ඔවුනට හැකි විය.
  
  පයිරොට් පිදුරු මිටි අසූ දහස සොරකම් නො කළ බව විශ්වාස කිරීමට කිසිවෙක් නො පැකිළුණි. කිසිවෙක් එය සැක නො කළේ, මෙම සිද්ධියේ දී හැම අයෙක් ම ප්‍රදර්ශනය කළ පොදු නොදැනුවත්කම, එවන් සැකයකට ඉඩක් නොතැබූ හෙයිනි. මන්ද යත් සැකය යනු අරමුණු මඟින් මෙහෙයවන්නක් වන හෙයිනි. ජනතාව හේතු රහිත ව සැක නො කරන්නාහ. හරියට ම ජනතාව විශ්වාස කරන්නාක් මෙන් ම ය. සිද්ධිය පිළිබඳ සැක නො කරනු ලැබුවේ, එය හැම තන්හිදි ම නැවත නැවතත් කියා සිටිනු ලැබූ හෙයිනි. ජනතාව සම්බන්ධයෙන් ගත් කල, යළි යළිත් කියා සිටීම යනු යමක් ඔප්පු කිරීමක් වන හෙයිනි. එය සැක නො කරනු ලැබුවේ, පයිරොට් වරදකරු යයි විශ්වාස කිරීමට ජනතාවට අවශ්‍ය වූ හෙයිනි. යමෙක් විශ්වාස කරන්නේ, තමන් විශ්වාස කිරීමට කැමති දෙයයි. අවසාන වශයෙන්, එය සැක නොකරනු ලැබුවේ, සැක කිරීමේ ලක්‍ෂණය මිනිසුන් අතර ඌණ බැවිනි. තමන් තුළ සැකයේ විෂබීජය උසුලා ගෙන යන්නේ අතලොස්සක් දෙනා පමණි. පරිශීලනය කිරීමෙන් තොර වූ කල්හි, ඒවා වර්ධනය නොවන්නේ ය. සැකය අපූරු ය; සුකොමළ ය; දාර්ශනික ය; අසාධුතර ය; අත්‍යුත්තම ය. රකුසු ය. කුඩුකේඩුකමින් පරිපූර්ණ ය; පුද්ගලයන්ට හා දේපළට හානිකර ය; ආණ්ඩුවල මනා පැවැත්මට සහ අධිරාජ්‍යයන්ගේ ඓශ්චර්යයට ප්‍රතිකූල ය; මනුෂ්‍ය වර්ගයාට මරණීිය ය; දෙවියන් හට ව්‍යසනකාරී ය; ස්වර්ගය ද පෘථිවිය ද භීතියෙන් මුසපත් කරවන්නේ ය. පෙන්ග්විනයෝ සැකය ගැන අනවබෝධයෙන් යුතු වූහ. ඔවුහු පයිරොට්ගේ වරද පිළිබඳ විශ්වාසයෙන් යුතු වූහ. මෙම ඒත්තු ගැනීම එක් ප්‍රධාන ජාතික විශ්වාසයක් බවටත් සිය දේශප්‍රේමී දර්ශනයේ සාරභූත සත්‍යයක් බවටත් සැණෙකින් ම පත් විය.
 
 පයිරොට්ට එරෙහි ව රහසිගත ව නඩු අසා වරදකරු කරනු ලැබී ය.  ප්‍රතිඵලය දැනුම් දීම පිණිස සෙන්පති පැන්තර් වහා යුධ ඇමති වෙත ගියේ ය. 
 
  "වාසනාවකට වගේ නඩුකාරයන්ට සහතික වෙලයි තිබුණේ. මොකද ඒ ගොල්ල ළඟ සාක්කි තිබුණෙ ම නැහැනෙ“ ඔහු කීිය.

         “සාක්කි?” ගෙත්‍රාවුක් මුමුණුවේ ය. “සාක්කි! ඒවායින් ඔප්පු කෙරෙන්නේ මක්කද? ස්ථීරසාර, බිඳ හෙලන්න බැරි එක ම සාක්කි වර්ගයයි තියෙන්නෙ. ඒක තමයි වැරදිකාරයා විසින් කරනු ලබන පාපොච්චාරණයග පයිරොට් පාපොච්චාරණය කළා ද?”
 
  “නැහැනෙ සෙනෙවි තුමනි” 

  “එයා පාපොච්චාරණය කරාවි. එයා ඒක කළ යුතුයි. පැන්තර්, අපි ඒ සඳහා ඔහු පෙළඹවිය යුතුයි. එහෙම කරන එක එයාගෙ සුභසිද්ධිය පිණිස බව කියන්න. පාපොච්චාරණය කළොත් එයාට හොඳට සලකන බව,  දඬුවම අඩු කරන බවට, සම්පූර්ණ සමාවක් ලැබෙන බවට පොරෙන්දු වෙන්න. එයා පාපොච්චාරණය කළොත් එයාගෙ අහිංසක බව පිළිගන්නා බවට, එයාට තනතුරු දෙන බවට පොරෙන්දු වෙන්න. එයාගෙ හොඳ හැඟීම්වලට කථා කරන්න. දේශප්‍රේමය වෙනුවෙන්, අපේ කොඩිය වෙනුවෙන්, සාමය වෙනුවෙන්, නිලධාරි පෙළැන්තිය වෙනුවෙන් යුධ ඇමතිගෙ විශේෂ මිලිටරි නියෝගය අනුව පාපොච්චාරණය කරන්න එයාව පොලඹවන්න. ඒත් මට කියන්න පැන්තර් එයා හැබෑට ම දැනටමත් පාපොච්චාරණය කරලා නැද්ද? ඉබේට ම පාපොච්චාරණයක් බවට පත් වෙන පාපොච්චාරණයක් තියෙනව, නිශ්ශබ්ද ව ඉඳීම ය කියන්නෙත් පාපොච්චාරණයක් කිරීමක් !” 

  “ඒත් සෙන්පති තුමනි, එයා නිශ්ශබ්ද ව උන්නෙ නැහැනෙග තමා 
නිවැරදිකරු බව කියා කියා එයා ඌරෙක් වගේ දිගට ම කෑගහනව.”

  “පැන්තර් සමහර වෙලාවල දී පාපොච්චාරණය සිද්ධ වෙන්නෙ යමෙක් නැතැයි කියන ප්‍රකාශෙ සද්දෙ අනුවයි. අපේක්‍ෂා භංගත්වයට පත් වෙලා නැතැයි කියල කියා සිටීමත් පාපොච්චාරණය කිරීමක් තමයි. පයිරොට් ඒ අනුව පාපොච්චාරණය කරලයි තියෙන්නෙ. එයාගෙ පාපොච්චාරණය ගැන අපිට සාක්කිකාරයො ඉන්න ඕන. යුක්තිය සාධාරණය සඳහා ඒවා අවශ්‍යයි.”

     බටහිර පෙන්ග්විනියාවේ“ලා සර්ක්“ නම් වූ වරායක් විය. එය තැනී තිබුණේ කුඩා බොකු තුනකිනි. ඉහත දී එය වෙත නිරතුරුව ම නැව් පැමිනුණි. එහෙත් එය දැන් හුදෙකලා කර, අත් හැර දමනු ලැබ තිබේ. එහි පහත් වෙරළ පෙදෙස ඔස්සේ අඳුර පැතිර පැවතුණ කළපුවලින් ඉසිලිය නොහැකි තරම් වූ දුර්ගන්ධයක් පැතිරුණි. නිද්‍රාශීලී ජලකඳ මතින් දාහය පැතිර ගියේ ය. මෙහි මුහුදු සීමාවෙහි උස් වූ හතරැස් කුළුණක් තනා තිබුණි. එය වැනීසියේ පැරණි කම්පානිලේ කුළුණ වැනි විය. එහි පසෙකින් මුදුනට සමීප වූ විවෘත කූඩුවක් විය. එය දම්වැලකින් හරස් පරාළයකට ගැට ගසා තිබුණි. ඩ්‍රැකෝවරුන් සමයෙහි අල්කාහි දේවධර්මාධිකරණ විනිසුරුවෝ මිථ්‍යාදෘෂ්ටික පූජකයන් මේ කූඩු තුළ දැමීමට පුරුදුව සිටියහ. එය වසර තුන් සියයක් මුළුල්ලේ හිස් ව තිබුණි. එහෙත් දැන්, මුරකරුවන් හැටක් භාරයේ පයිරොට් එහි සිර කරනු ලැබ සිටියේ ය. මුරකරුවන් සිටියේ කුළුණ ඇතුළත ය. ඔවුහු දිවා රෑ ඇස පිය නො හෙළා පාපොච්චාරණයක් ලබා ගනු සඳහා ඔත්තු බලමින් සිටියේ, පසුව ඒවා යුධ ඇමති වෙත වාර්තා කළ හැකි වනු පිණිස ය. පරෙස්සම් සහගත වූත්, නැණවත් වූත් ගෙත්‍රාවුක්ට පාපොච්චාරණයන් ද තව තවත් පාපොච්චාරණයන් ද අවශ්‍ය විය. මුග්ධයකු ලෙස සැළකුණ ගෙත්‍රාවුක් ඇත්ත වශයෙන් ම ඉමහත් හැකියාවන්ගෙන් ද කලාතුරකින් දක්නට ලැබෙන පෙර-දැක්මෙන් ද පිරිපුන් මිනිසෙක් විය. 
මේ අතරතුර, හිරු රශ්මියෙන් දැවුණ, මදුරුවන් විසින් භක්‍ෂණය කරනු ලැබූ ල වැස්සෙන් කුණාටුවෙන් හා හිමෙන් පෙඟුණ, සීතලෙන් මිදුණ, මාරුතයෙන් ප්‍රචණ්ඩ ලෙස උඩට එසවුණ, සිය කූඩුව මත ලැගුම් ලා සිටි ගෙම්බන්ගේ බක බක ගෑම්වලින් කරච්චලයට පත් වූ පයිරොට් තෙමේ සිය කමිසයෙන් ඉරා ගත් රෙදි කැබලි මත ලෙයින් පොඟවා ගත් දත් කූරකින් සිය අවිහිංසකභාවය පිළිබඳ ව පෝස්ටර් ලියමින් සිටියේ ය පාන්කඩ මුහුදු බත් විය; එසේ නැති නම් බන්ධනාගාර පාලකයින් අතට පත් වියග එසේ ද වූවත් පයිරොට් දැක් වූ විරෝධතාවන් කිසිවකු හො සසල නො කළේ ය මක්නිසාද යත් ඔහුගේ පාපොච්චාරණයන් ප්‍රසිද්ධියට පත් කරනු ලැබූ හෙයිනි. 













       

 
03 
දොන්ත්දිලින්ක්ස්හි මෝබෙක් සිටුතුමා
 
  යුදෙව්වන්ගේ සදාචාරය හැම කල්හි ම ශුද්ධ වූයේ නැත. බොහෝ අවස්ථාවන්හි දී ඔවුහු කිතුණු ශිෂ්ටාචාරයේ දුසිරිත් කිසිවකට හෝ පිළිකුල් කළේ නැත. එහෙත් ඔවුහු පවුල් සම්බන්ධතාවයන් පිළිගැනීමත්, ගෝත්‍රවල අවශ්‍යතාවන් කෙරෙහි ලෝලත්වයකුත් පීතෘමූලක යුගයෙන් අත් නො හැර පවත්වා ගෙන ගියහ. පයිරොට්ගේ සොහොයුරන්, අර්ධ සොහොයුරන්, මයිලණුවන්, අර්ධ මයිලණුවන්, පළමුවැනි, දෙවැනි, තෙවැනි ඥාති සොයුරන් ,බෑණනුවන් ,ලේ ඥාතීන් සහ විවාහයෙන් ඥාතීන් බවට පත් වූවන් යන හත් සියයක් පමණ වූ ඔහුට ඥාතීත්වයක් තිබූ  සියල්ලෝ ම සිය ඥාතියාට  එල්ල වූ පහරින් ප්‍රථමයෙන් ම කැරකී දුර්මුඛ ව ගියහ. සිරුරෙහි අඵ තවරා ගනිමින්, තමනට දඬුවම් කළ අතට ආශිර්වාද කරමින්  ඔවුහු නිවෙස් තුළට වී දොරගුඵ ලා ගත්හ. දින හතලිහක් ගත වන තෙක් ඔවුහු දැඩි සත්‍ය ක්‍රියාවන්හි නිරත වූහ. ඉනික්බිති ස්නානය කළ ඔවුහු, තමන්ට කිසි ම සැක සංකාවක් නො තිබු අවිහිංසකභාවයක් සනාථ කර දක්වනු පිණිස, විවේකයකින් තොර ව, ඕනෑ ම දහ දුකක් විදමින් , සකලවිධ අවදානමකට ම මුහුණ දෙමින් ක්‍රියා කිරීමට තීරණය කළහ. ඔවුහු කෙසේ නම් සැක කෙරෙත් ද? ඔවුනට පයිරොටයන්ගේ අවිහිංසකභාවය අනාවරණය වූයේ, හරියට ම පෙන්ග්විනියාවට ඔහුගේ වරදකාරීත්වය අනාවරණය වූ පරිද්දෙන් ම ය. මේ කරුණු ඒවා සැඟවී තිබූ දේ වූ හෙයින් ගුප්ත ස්වරූපයක් අත් කර ගති. ආගමික සත්‍යයන්ගේ අධිකාරය එයට ලැබුණි.සත් සියක් පයිරොට්වාදීහු උද්යෝගීමත් ව මෙන්  ම විචක්‍ෂණ බවින් ද යුතු ව කටයුතු ඇරඹූහ. ඔවුහු රහසිගතව ඉතා දැඩි පරීක්‍ෂණයක නිරත වූහ. ඔවුහු හැම තන්හි ම සිටියාහු ය . ඔවුහු කිසි ම තැනක දැක ගත නො හැකි වූවාහු  ය. යුලියස්හි එන නියමුවා පරිද්දෙන්, ඔවුන් පෘථිවිය මත නිදැල්ලේ කරක් ගැසී යයි යමකුට කිව හැක. ඔවුහු අමාත්‍යාංශ කාර්යාලයට ප්‍රවේශ වූහ. විවිධ වෙස් ගනිමින් විනිසුරුවන්, රෙජිස්ට්‍රාර්වරුන් හා සිද්ධියට අදාළ සාක්‍ෂිකරුවන් වෙත එළඹුණහ. ග්‍රෙතාවුක්ගේ දක්‍ෂභාවය එවිට දැක ගනු ලැබිණ. සාක්‍ෂිකරුවෝ කිසිත් නො දත් හ; විනිසුරුවෝ සහ රෙජිස්ටාර්වරු කිසිත් නොදත්හ. දූතයෝ පයිරොට් වෙත පවා එළඹ, සමුදුරෙන් නැඟුන දිගු අඳෝනාවන් සහ ගෙඹි තඩියන්ගේ බක බක හඬ මධ්‍යයේ උත්සුක ලෙසින් ඔහුගෙන් ප්‍රශ්න විචාළහ.එය නිෂ්ඵල වූවක් විය. සිරකරු කිසිත් නොදත්තේ යග චෝදනාව පිළිබඳ  සාක්ෂි සිඳ බිඳ ලෑමට සත් සියක් පයිරොට්වාදීන් හට නොහැකි විය. මක්නිසාද යත්, චෝදනා මොනවා දැ යි ඔවුන් නොදත් හෙයිනි. ඔවුන්ට ඒවා දැන ගත නොහැකි වූයේ, එවන් කිසිත් ම නො වූ හෙයිනි. පයිරොට්ගේ වරද , එහි ශුන්‍යභාවය   හේතු කොට ගෙන ම, නිෂ්ප්‍රභ නො කළ හැකි විය. නියම ම කලාකරුවකු විලසින් සිය අදහස් පළ කරමින්  ග්‍රෙතාවුකයන් දිනෙක සෙන්පති පැන්තරයන් හට මෙසේ පැවසුවේ යුක්ති  යුක්ත ආඩම්බරයකින් යුතුව ය.“මේක අග්‍රගණ්‍ය ප්‍රබන්ධයක්ග මේක හදල තියෙන්නේ ශුන්‍යයකින්. මෙම අඳුරු කාර්යය කිසිදා විසඳනු නො හැකි යයි සත් සියක් පයිරොට්වාදීහු ඉච්ඡා භංගත්වයට පත්ව සිටියාහු ය.මෙම පිදුරු මිටි අසූ දහස කිසිදා නො පැවති බවත් අතිශය කීර්තිධර වංශාධිපතියකු වූ මෝබෙක් සිටුතුමා ඒවා රජයට විකුණා ඇති බවත් ඒ සඳහා මුදල් ලද මුත් කිසි දිනෙක පිදුරු මිටි රජය වෙත භාර නුදුන් බවත්ල සොරා ගත් ලිපියක් තුළින් ඔවුන් හදිසියේ ම අනාවරණය  කර ගත්තේ එසේ අපේක්‍ෂා භංගත්වයෙන් යුතු ව සිටින  විට දී ය.

  කලෙක දී ආදිපාද වසම් හතරක ද දනව් හැටක ද නින්දගම් හා බන්ඩාරගම් හය සිය දොළහක ද අයිතිකරු වූ දෝන්තදිලින්ක්ස්හි මෝබෙක්වරුන්ගේ උරුමක්කාරයන්ගෙන් ඇත්තෙන් ම පැවත ආ තමාට, දැන් සිය අතින් වසාලිය හැකි තරම්වත් ඉඩම් හිමි නොවන බවත්, තමන්ගේ ම ඉඩම් වලින් දිනකට සෑහෙන අස්වනු නෙලා ගැනීමට නො හැකි වන බවත් ඔහු දුටුවේ ය.
 
  ඔහු ඉඩම් හිමියකුගෙන් හෝ වෙළෙඳකුගෙන් හෝ එක ම පිදුරු මිටියක් හෝ මිලදී ගැනීම  ගැන කියන්නේ නම්, එය කිසිසේත් ම නො විය හැක්කකි. මන්ද යත් මෝබෙක් වෙතින් තඹයක් හෝ ගැනීමට වඩා ඉබ්බෙකුගෙන් පිහාට්ටක් ගැනීම පහසු බව රාජ්‍ය  අමාත්‍යවරුන් හා ආණ්ඩුවේ නිලධාරීන් හැර අන් සියල්ලන් ම දැන සිටි හෙයිනි.

 මෝබෙක් සිටුතුමාගේ මූල්‍යමය සම්පත් පිළිබඳ ව සත්සියයක් පයිරොට්වාදීහූ සූක්ෂ්ම පරීක්‍ෂණයක් පැවැත්වුහ. මේ රදළයා ප්‍රධාන වශයෙන් ම නඩත්තු වූයේ, එය වෙත පැමිණෙන සියල්ලන් හට ම අතිශය නො මසුරුව ආගන්තුක සත්කාරයෙන් සප්පායම් කරලීමට සැදී පැහැදී සිටි නිර්ලෝභී ස්ත්‍රීන් කීප දෙකනකු විසූ නිවහනක් මගින් බැව් ඔවුහු ඔප්පු කළහ. අවිහිංසකයා වරදකරු කොට දැන් කූඩුවක සිර කොට තැබීමට හේතුභූත වූ පිදුරු මිටි අසූදහසේ හොරකමට වරදකරු මෝබෙක් බව ඔවුහු ප්‍රසිද්ධියේ ම ප්‍රකාශයට පත් කළහ.
         මෝබෙක් අයත් වූයේ ඩ්‍රැකොනයිඩ්වරුන්ට සම්බන්ධ වූ කීර්තිමත් පවුලකට ය. උතුම් උත්පත්තියකට වඩා ඉහළින් සලකන අන් කිසිත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නොමැත. මෝබෙක් පෙන්ග්වින් හමුදාවේ ද සේවය කර තිබුණි. පෙන්ග්විනයෝ පිළිම වන්දනාමාන කිරීමටත් වඩා වැඩියෙන් හමුදාවට බුහුමන් කළහ. කුරුසිය පෙන්ග්විනයන් අතර ගරුත්වය පිළිබඳ සලකුණක් ව පැවති හෙයින්, සිය බිරියන්ගේ සිප වැළඳ ගැනීම්වලටත් වඩා ඉහළින් ඔවුහු එය අගය කළෝ ය. එය මෝබෙක්ට ලැබුණේ සටන් බිමේ දී ය. මුළු පෙන්ග්විනියාව ම මෝබෙක් කෙරෙහි සිය පක්‍ෂපාතීත්‍වය ප්‍රකාශ කළේ ය. තර්ජනාත්මක ස්වරයක් අත් කර ගත් ජනහඬ මොරගා ඉල්ලා සිටියේ මඩ ගැසීමේ යෙදී සිටින සත් සියක් පයිරොට්වාදීන් හට දඩුවම් පමුණුවන ලෙස ය. 
 
  මොබෙක් වංශාධිපතියෙක් විය. තුවක්කු, කඩු, පිස්තෝල, කුඩා රයිෆල් හෝ ලී දඬු රැගෙන සටනට එන මෙන් ඔහු සත් සියක් පයිරොට්වාදීන් හට අභියෝග කළේ ය.

 සුප්‍රකට ලිපියක දී ඔහු මෙසේ ලීවේ ය. “පර බල්ලො, තොපි මගේ දෙවියන් වහන්සේ කුරුසියේ ඇණ ගැසූහ. දැන් තොපිට මගේ ජීවිතය ද අවශ්‍ය ය. මම එතුමාණන් වැනි අමනයකු නොවන බවටත්, මම තොපේ කන් එක් දහස් හාර සියය කපා දමන බවටත් තොපට අනතුරු හඟවමි. තොපේ පස්ස පැති හත් සියයට ම පා පහර ඉඳා! භාර ගනියව්!” 

  එකල ආණ්ඩුවේ ප්‍රධානියා වූයේ රොබින් මියෝ නම් වූ ගොවියෙකි. ඔහු ධනවතුන්ට ද බලවතුන්ට ද ප්‍රියමනාප වූ, එනමුදු දුප්පතුන්ට රළු පරළු වූ, මඳ ධෛර්යයකින් යුතු වූ, තමාට අවශ්‍ය කුමක්ද යන්න ගැන පවා නො දැනුවත් වූ අයෙකි. ප්‍රසිද්ධ ප්‍රකාශනයක් මගින් මෝබෙක්ගේ අවිහිංසකභාවය හා ගර්වය සහතික කළ සත් සියක් පයිරොට්වාදීිහු අපරාධ නඩු අධිකරණය හමුවට පමුණුවනු ලැබූහ. එහි දී ඔවුහු දේශාභිමානීන්ගේ කීර්ති නාමයට අපහාස කරන්නවුන් වශයෙන් සිර දඬුවමිවලට ද දැවැන්ත දඩ මුදල්වලට ද ඔවුන්ගේ අහිංසක ගොදුරු බවට පත් වූවන් ඉල්ලා සිටි සියලු අලාභයන්ට ද යටත් කරනු ලැබූහ. 

  සදාකල්හි ම ගෙඹි තඩියන් ලැඟම්ලා සිටි කූඩුව තුළ සිරගතව සිටීමට පයිරොට්ට සිදුවනු ඇති බවක් පෙනී ගියේ ය. එහෙත් මෙම යුදෙව්වා වරදකරු බව දැන ගැනීමටත් ඔප්පු කර ලීමටත් උත්සුක වූ සියලු ම පෙන්ගිවිනයෝ ඒ සඳහා ඉදිරිපත් කෙරුණ සියලු ම සාක්‍ෂි හොඳ නැති බවත්, සමහර ඒවා පරස්පර විරෝධී බවත් සොයා ගත්හ. කාර්ය මණ්ඩලයේ නිලධාරිහු උද්යෝගීිමත්භාවය පෙන්නුම් කළහ. එහෙත් ඔවුන් සතු විචක්‍ෂණභාවය මඳ විය. ගෙත්‍රාවුකයන් අගය කළ යුතු නිහැඬියාවක නිමග්න වූ අතර සෙන්පති පැන්තර් නිමක් නැති දේශන පැවැත්වී ය. දඬුවම් ලද මිනිසා වරදකරු බව හැම උදෑසනක ම පුවත්පත් මගින් විදහා දැක්වුණි. ඔහු මුකුත් ම නො කීවේ නම්, සමහර විට ඔහුට ඊට වඩා හොඳින් එය කළ හැකි වීමට ඉඩ තිබුණි. වරදකාරීත්‍වය පැහැදිලි විය; පැහැදිලි වූ දේ ප්‍රදර්ශනය කළ නොහැකි විය. ඕනෑවට වඩා වැඩි හේතු දැක්වීම හේතුවෙන් ජනයාගේ ඔළු අවුල් කෙරුණි. ඔවුන් තුළ වූ විශ්වාසය තවමත් පැවතියේ වී නමුත් එහි ගැඹුරත අඩු වන්නට විය.  යමෙක් ජන සමූහයක් වෙත වඩ වඩාත් සාක්‍ෂි ඉදිරිපත් කරන කල්හි ඔවුහු තව තවත් සාක්ෂි ඉල්ලා සිටිති. 
 එසේ ද වූවත් නිදහස් විමර්ශනයට හුරු පුරුදු ව සිටි, දුෂ්කර ගැටළුවක් අධ්‍යයනය කිරීමට හැකියාව තිබූ, දාර්ශනික සංශයවාදයට පෙළඹෙන්නා වූ සිත් සතන් පෙන්ග්විනියාවේ නො පැවතියේ නම්, ඕනෑවට වඩා වැඩියෙන් ඔප්පු කිරීමේ අවදානම විශාල නොවන්නට ඉඩ තිබුණි. ඔවුහු අතලොස්සක් වූහ. ඔවුහු කථා කිරීමට යොමු නො වූහ. ඔවුනට ඇහුම්කන් දීමට ජනයා ද කිසිසේත් ම යොමු නො වූහ. එතෙකුදු වූවත් ඒවා හැම විටෙක ම යොමු වූයේ බිහිරි කන් වෙතමත් නො වේ. අල්කාහි සියලු ම ඊශ්‍රායල් ජාතික කෝටිපතියන්, මහා යුදෙව්වන්, පයිරොට් ගැන කථා කළ කල්හි කීවේ මෙයයි.” “අපි එහෙම කෙනෙක් ගැන දන්නෙ නැහැනෙ.” එහෙත් ඔවුහු ඔහු බේරා ගැනීම ගැන කල්පනා කළහ.
 
     ඔවුහු සිය විචක්‍ෂණභාවය සුරැකිව තබා ගත්හ. ඔවුන්ගේ ධනය එය කෙරෙහි ඔවුන් යොමු කළේ ය. අනෙක් අය අඩු බයාදුකමකින් යුක්ත වේවා යයි ඔවුහු ප්‍රාර්ථනා කළහ. ඔවුන්ගේ අභිප්‍රාය ඉෂ්ඨප්‍රාප්ත වීමට නියමිතව තිබුණි. 
















                              04
 
             කොලොම්බාන්


  සත් සියක් පයිරොට්වාදීන් වරදකරුවන් ලෙස විනිශ්චය කරනු ලැබීමෙන් සති කිහිපයක් ගත වූ පසු, කුඩා, රළු, කෙස් වැඩුණු, අදූරදර්ශී මිනිසෙක් එක් උදෑසනෙක පාප්ප බාල්දියක් ද ඉණිමගක් ද පෝස්ටර් ගොන්නක් ද රැගෙන සිය නිවෙසින් පිටත් විය. ඔහු තාප්පවල පෝස්ටර් අලවමින්, වීදියේ ඔබ මොබ ගමන් කළේ ය. පෝස්ටර්වල විශාල අකුරින් මෙසේ සඳහන් විය. “පයිරොට් අහිංසකයි, වරදකරු මෝබෙක්!” ඔහු පෝස්ටර් අලවන්නකු නො වී ය. ඔහුගේ නම කොලොම්බාන් ය පෙන්ග්විනියානු සමාජ විද්‍යාව පිළිබඳ වෙළුම් හැටක කතුවරයා වශයෙන් ඔහු අල්කාහි අතිශයින් ම කාර්යශූර, සම්මානනීය ලේඛකයන් අතරට ගැනුණි. සිද්ධිය පිළිබඳ ව සෑහෙන විචාරක්‍ෂියක් යෙදීමෙන් අනතුරුව පයිරොට්ගේ අහිංසකභාවය පිළිබදව තවදුරටත් සැක නොකළ හේ, අතිශයින් ම සංක්‍ෂා්භාත්මක යයි ඔහු සිතු ක්‍රමය අනුව යමින් එය ප්‍රකාශයට පත් කළේ ය. නිසසල වීදියේ පෝස්ටර් අලවන විට ඔහු බාධකයකට මුහුණ නො පෑවේ ය. එහෙත් ඔහු ජනාකීර්ණ ප්‍රදේශයන්ට පැමිණි විට, ඔහු සිය ඉණිමඟට නැගුනු හැම විටක ම කුතුහලයෙන් ඇළලුන ජනයා ඔහු වටා රොක් වූහ. විමතියෙන් ද කෝපයෙන් ද ඇළලුණා ඔවුහු ඔහු වෙත තර්ජනාත්මක බැලුම් හෙඵෑහ. ඔහු ඒවාට මුහුණ දුන්නේ ධෛර්ය සම්පන්නභාවයෙන් හා අදූරදර්ශීභාවයෙන් මතු වන නිසසලභාවයකිනි. මුරකරුවන් සහ වෙළෙන්දන් ඔහු ඇලවූ පෝස්ටර් ඉරා දමද්දී, ඔහු සිය මෙවලම් ද උසුලා ගෙන යමින් පෝස්ටර් ඇලවීමෙහි උද්යෝගිමත් ව නියැළුණි. දෑත්වලින් බාස්කට් ද පිටේ පොත් බෑග් ද එල්ලා ගත් ළමෝ ඔහු අනුව ගමන් කළහ. පාසල් වෙත යාමට ඔවුහු උත්සුක බවක් නො දැක්වූහ. ඔහුට එරෙහි ව තිබූ නිහඬ කෝපයට දැන් දැන් විරෝධතාවයන් සහ මුණු මුණු ගෑම් එකතුවන්නට විය. ඒත් කිසිවක් නැරඹීමට හෝ ශ්‍රවණය කිරීමට හෝ කොලොම්බාන් තත්පර නො වී ය. සාන්ත ඔර්බෙරෝසියාවන්ගේ වීීදියට පිවිසෙන තන්හි ඔහු ‘පයිරොට් අහිංසකයි, වැරදිකරු මොබෙක්’ යන වදන් සහිත වූ ඔහුගේ හතරැස් පෝස්ටර්වලින් එකක් අලවද්දී, කැරලිකාර ජන සමූහයා අතිශය ප්‍රචණ්ඩ කෝපයක සලකුණු පෙන්නුම් කළහ. ඔවුහු ඔහු පසුපස හඹා යමින් ‘ද්‍රෝහියා, හොරා, ජඩයා, නීචයා’ යි හඬ තැඵෑහ. එක් ස්ත්‍රියක් කවුළුවක් විවෘත කොට ඔහුගේ හිස මත කුණු බාල්දියක් හිස් කර දැම්මා ය. අශ්ව රථ පදවන්නෙක් සිය කසයෙන් දුන් පහරකින් ඔහුගේ තොප්පිය වීදියේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට හඹා යාමට සැලැස්වූයේ ජන සමූහයාගේ ඔල්වරසන් හඬ මැද ය. තමන් ඔහුගෙන් පලි ගත් බවක් ඔවුනට හැඟී ගියේ ය. මස් මරණ කොල්ලෙක් කොලොම්බාන් ඔහුගේ පාප්ප බාල්දියත් බුරුසුවත් ඔහුගේ පෝස්ටරුත් සමඟින් කානු පල්ලට තල්ලු කර දැම්මේ ය. එවිට සාඩම්බරවත් පෙන්ග්විනයන් හට සිය මව්බිමෙහි ශ්‍රේෂ්ඨත්වය හැඟී ගියේ ය. ජරපත් වු ල බකල ගැහුණුල වැලමිට තුවාල වූ, එතෙකුදු වූවත් සන්සුන් වූ සහ අදිටන් පූර්වක වු කොලොම්බාන් තෙමේ නැඟිට ගති.
  
  “නීච මෘගයෝ’ දෙවුර හකුළවමින් ඔහු මිමුණුවේ ය
.  
 ඉන්පසු ඔහු තමා බිම වැටෙද්දි නැති වූ සිය උපැස් යුවල සොයා ගනු පිණිස, කාණුව තුළ හතර ගාතෙන් බඩ ගෑවේ ය. සිය කබායේ කොලරයේ සිට පහත කෙළවර දක්වා ම දෙකට පැලී ඇති බවත් කලිසම කඩමාලුව ගොස් ඇති බවත් එවිට ඔහුට පෙනුණි. ජන සමුහයා තුළ වූ ද්වේශය දෙගුණ තෙගුණ විය.
 
  වීදියේ අනෙක් පැත්තෙහි වූයේ සාන්ත ඔර්බෙරෝසියා වෙළඳසැල ය. දේශප්‍රේමිහු වෙළඳ සැල ඉදිරිපස තිබූ තමන් අතට හසු වූ හැම දෙයක් ම අතට ගත්හ. ඔවුහු දොඩම්, දෙහි, ජෑම් බෝතල්, චොකලට් කැබලි, අරක්කු බෝතල්, සාඩින් ටින්, පීකුදු, මුට්ටි, හැම්, කුකුළන්, තෙල් කුප්පි, සහ බෝංචි ගෝනි යනාදියෙන් කොලොම්බාන්ට දමා ගැසී ය. ආහාර සුන්බුන්වලින් වැසී ගිය, තුවාල වූ, පාන්කඩ වී ගිය කොලොම්බාන් දිව යන්නට විය. සාප්පුවල කොලු ගැටව්, බක්කරේලා, රස්තියාදුකාරයෝ, ප්‍රභූහු සහ මදාවියෝ ඔහු පසුපස හඹා යන්නට වූහ. ඔවුන්ගේ සංඛ්‍යාව මොහොතක් මොහොතක් පාසා වැඩි වන්නට විය. ‘ඕකාට ගහපියව්!‘ ‘ද්‍රෝහියාට මරණය!’ ‘ඕකාට ගහපියව්!‘ යනුවෙන් ඔවුහු මොර දුන්හ. අශික්‍ෂිත ජන සමූහයාගේ මෙම ප්‍රවාහය වීදි ඔස්සේ ගලා යමින් සාන්ත මායෙල්ගේ වීදියට ඇදී ගියේ ය. පොලීසිය සිය රාජකාරිය ඉටු කළේ ය. අසල වූ වීදි සැමෙකකින් ම පොලිස් භටයෝ පෙරට ඇදී ආහ. ඔවුහු සිය වමතින් අසිපත් දැරූහ. මිනිසුන් පන්න පන්නා ඔවුහු හැකි ඉහළ ම වේගයෙන් දිව ගියහ. ඔවුන් සිය යෝධ අත්වලින් කොලොම්බාන් ඩැහැ ගැනීමට ඔන්න මෙන්න කියා තිබිය දී පාරේ විවෘත ව තිබූ විශාල හිලකින් කානුවක පතුළට ම වැටීම නිසා ඔහු හදිස්සියේ ම බේරී ගියේ ය.
 
  ජරපත් ව ගියල ගොහොරු වී ගියල මීයන් මධ්‍යයෙහි අපවිත්‍ර ජලය අසලට වූ ඔහු තිත්ත කළුවරේ ම රැය පහන් කළේ ය ඔහු තමා ඉදිරියේ ඇති කර්තව්‍යය ගැන අවලෝකනය කළේ ය තෙරපෙමින් තිබූ ඔහුගේ හදවත දිරියෙන් සහ දයානුකම්පාවෙන් පිරී ගියේ ය හිමිදිරි උදෑසන මිලාන වූ රැස් දහරක් හිල තුළට පතිත වූ කල්හි, ඔහු නැඟී සිට තමාට ම කථා කරමින් මෙසේ කියා ගත්තේ ය. 

  “සටන නම් බොහොම බරපතල වන බව මට පෙනෙනවා” 

  ඔහු වහා ලඝු සටහනක් ලීවේ ය මෝබෙක් මුදල් ලබා ගත් නමුත්, කිසිදා පිදුරු මිටි අසූදහස අමාත්‍යංශයට භාර නො දුන් හෙයින්, ඒවා එම අමාත්‍යංශයෙන් සොරකම් කිරීම සිදු නොවිය හැක්කක් බව ඔහු මනාව පෙන්නුම් කළේ ය. මෙම ප්‍රකාශනය අල්කාහි වීදිවල බෙදා හැරීමට කොලොම්බාන් විධිවිධාන යෙදී ය එය කියවීම ප්‍රතික්ෂේප කළ ජනතාව කෝපයෙන් රත් ව ඒවා ඉරා දැමූහ; එය බෙදා හැරියවුන් වෙත මිට මොලවා තර්ජන ගර්ජන කළහ. කොසුවලින් සන්නද්ධ වූ, කෝපාවිෂ්ඨ ස්ත්‍රීන් විසින් ලුහු බදිනු ලැබුවා වූ ඔවුහු පලා ගියහ. ‘කොලොම්බාන්ට මරණය!” යි මොරදෙමින් , වැරහැලි හැඳගත් කෝපයෙන් වියරුහුණු මිනිසුන් කණ්ඩායම් හවස් යාමයේ වීදිවල ඔබ මොබ ගමන් ගත්හ. මව්බිම සුරකින්නෝ ලියවිලි මිටි පිටින් පුවත්පත් විකුණන කොලුවන්ගෙන් පැහැර ගෙන, ප්‍රසිද්ධ චතුරශ්‍රයන්හි දී ඒවා ගිනිබත් කළේ, සිය යට ගවුම ඉඟටිය තෙක් උස්සා ගත් ගැහැණු ළමුන් සමඟින් එක් ව, ගිනි ජාලා වටා වියරු වැටුණු කලෙක මෙන් නටමිනි.
 
 ඔවුනතරින් වඩා උද්වේගකර වූවන්ගෙන් සමහරෙක්, කොලොම්බාන් සිය කටයුතු ගෙන ගිය සහ සතලිස් වසර මුළුල්ලේ පිරිපුන් නිසංසලත්වයෙන් යුතු ව දිවි ගෙවූ නිවෙස වෙත ගොස් ජනේල් කුඩු පට්ටම් කර දැමූහ.

   පාර්ලිමේන්තුව කලබැගෑනියට පත් විය. ජාතිකාරක්ෂක හමුදාවේ ගෞරවයට සහ පෙන්ග්විනියාවේ සුරක්‍ෂිතභාවයට කොලොම්බාන් විසින් එල්ල කරනු ලැබූ පිළිකුල් කටයුතු ප්‍රහාරයන් පරදවාලනු පිණිස ගැනීමට අදහස් කරන පියවර මොනවා දැ යි ආණ්ඩුවේ ප්‍රධානියාගෙන් ප්‍රශ්න කෙරුණි. කොලොම්බාන්ගේ අවලං සාහසිකත්වය හෙලා දුටු රොබින් මියෝ, ඔහුගේ අපකීර්තිමත් නින්දාපහාසයන්ට පිළිතුරු දෙනු පිණිස ඔහු උසාවිය හමුවට කැඳවන බව මන්ත්‍රීවරුන්ගේ ඔල්වරසන් හඬ මැද ප්‍රකාශයට පත් කළේ ය.  

  යුධ ඇමති වේදිකාව මතට කැඳවනු ලැබිණි. ඔහු එහි පෙනී සිටියේ වෙස් මාරු කර ගෙන ය. පෙන්ග්විනියානු බලකොටුවල ශුද්ධ වූ පාත්තයකුගේ මුහුණුවර පෙර පරිද්දෙන් ඔහු සතු නො වී ය. නෙරා ගිය බෙල්ල ද ඇමිනුණ හොට ද සමඟින් සෘජුව සිට ගත් ඔහු දිස් වූයේ, ඔහුගේ මව්බිමෙහි සතුරාගේ අක්මාවන්ට ගැට ගැසුණු සංකේතාත්මක ගිජුලිහිණියා ලෙසිනි.
 
      සභා ගැබෙහි රජැයූ ප්‍රතාපවත් නිහැඬියාව මධ්‍යයේ ඔහු මෙවදන් හඬ නඟා කීවේ ය.
 
  “පයිරොට් යනු ජඩයකු බව මම දිව්රා කියා සිටිමි!” 

  ගෙත්‍රාවුක්ගේ මෙම කතාව පෙන්ග්විනියාව පුරා ම වාර්තා කරනු ලැබිණී. මහජන හෘද සාක්‍ෂිය සංතෘප්තියෙන් ඉහ වහා ගියේ ය.

 
 
 
 
 
 
 
 
 
 
                              05

             ගෞරවාර්හ
              අගාරික පියතුමා
             සහ කෝර්න්මියුස්


  කොලොම්බාන් පොදුජන දාමරිකත්‍වය ඉවසා සිටියේ මුදු මොලොක් බවින් ද විමතියෙන් ද යුතුව ය. ගල් මුල් ප්‍රහාරයකට ගොදුරු වීමෙන් තොරව එළියට බැසීමට ඔහුට නො හැකි විය. එහෙයින් ඔහු එළියට නො ගියේ ය. අති විශිෂ්ට දරදඬුභාවයකින් යුතුව හේ සිය පුස්තකාලය තුළට වී සිටියේ, කූඩුවේ සිර කොට ඇති අහිංසකයාට පක්‍ෂපාතී ව නව ලේඛනයක් ලියමිනි. මේ අතරතුර, ඔහුට හමු වූ විදිවතුන්ගෙන් සමහරෙක් - දුසිමක් පමණ - ඔහු දැක්වූ හේතු දැක්වීම් කරණ කොට ගෙන සිත් සතන් සසල ව ගොස් පයිරොට්ගේ වරදකාරීත්වය ගැන සැක පහළ කිරීමට පටන් ගත්හ. ඔවුහු කාරණය සිය මිතුරන් හට හෙළි කොට, සිය සිත් සතන් තුළ ජනිත වූ ආලෝකය විහිදුවාලීමට තැත් කළහ. මින් එක් අයෙක් රොබින ්මිියෝගේ මිතුරෙක් විය. ඔහු සිය වික්‍ෂිප්තභාවයන් ඔහුට සැලකර සිටියේ ය. ප්‍රතිඵලය වූයේ එම ඇමතියා තවදුරටත් ඔහු බැහැ නොදැකීම ය. තවත් අයෙක් යුධ ඇමතියා වෙත යොමු කෙරුණ විවෘත ලිපියක් මඟින්, කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටියේ ය. තෙවැන්නෙක් දරුණු පොත් පිංචක් පළ කළේ ය. කෙර්දානික් නම් වූ ඔහු දරදඬු විවාදකයෙක් විය. මහජනතාව නම් සසල වූයේ නැත . ද්‍රෝහියාගේ මෙම ආරක්‍ෂකයන් හට ධනවත් යුදෙව්වන් විසින් අල්ලස් දෙනු ලැබ ඇති බව කියනු ලැබිණ. ඔවුන් සුන්නත්දූලි කර දමන බවට මව්බිම සුරකින්නෝ සඵත කර සිටිය හ. මුළුමහත් දැවැන්ත සමූහාණ්ඩුව තුළ සිටියේ පයිරොට්වාදීන් දහසක් හෝ එක් දහස් දෙසීයක් හෝ පමණි. එහෙත් ඔවුන් හැම තන්හි ම සිටින බව විශ්වාස කරනු ලැබුණ. සක්මන් කරන විට ද රැස්වීම්වල දී ද උත්සවයන්හී දී ද  ජේත්තුකාර විසිත්ත කාමරයන්හ දී ද රාත්‍රී භෝජන සංග්‍රහයන්හි දී ද දම්පතියන්ගේ මංගල සයනයන්හි පවා ද ඔවුන් මුණ ගැසෙතැයි ජනයා බියෙන් පසු වූහ. ජනගහනයෙන් අඩක් අනෙක් අඩ විසින් සැක කරනු ලැබූහ. මේ භේදය මුළු අල්කාව ම ගිනි තබා ලී ය. 
 
  මේ අතරතුර, තරුණ වංශාධිපතියකු සතු විශාල පාසලක් පාලනය කරමින් සිටි අගාරික පියතුමා, උද්වේගකර සාවධානයෙන් යුතු ව සිදුවෙමින් තිබෙන දෙය දෙස නෙත් යොමා ගෙන සිටියේ ය. පෙන්ග්වින් පල්ලියේ දුර්භාග්‍යයන් ඔහුව දුර්මුඛ නො කළේ ය. තවදුරටත් කෲචෝ කුමරුන් හට පක්‍ෂපාතීව සිටි ඔහු පෙන්ග්වින් සිහසුනෙහි ඩ්‍රැකෝනයිඩයන්ගේ උරුමකරු ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අපේක්‍ෂාවෙන් මඬනා ලද්දේ විය. රට තුළ සිදුවෙමින් පවතින සිද්ධීන් ද, එක්වර ම ඒවායේ හේතුව සහ ඵලය වන්නා වූ මානසික තත්ත්වයන ්ද, ඒවායින් හටගන්නා දුෂ්කරතාවන් ද අනුව මහණකු සතු ගැඹුරට විහිදුන කුශාග්‍ර බුද්ධිය මඟින් මෙහෙයවනු ලබන්නේ නම්, නායකත්වය දෙනු ලබන්නේ නම්, සමූහාණ්ඩුව පෙරළා දැමීමට හැකි බවත් කෲචෝ කුමරුන් ප්‍රතිෂ්ඨාපනය කිරීමට පෙන්ග්විනයන් පොළඹවාලිය හැකි බවත් ඔහුට පෙනී ගියේ ය. රාත්‍රියේ දී පියාපත් මෙන් පෙනී ගිය වාටිවලින් යුතු වූ සිය කළු පැහැති හිස් වැසුම පැළඳ, සිය ගෞරවණීය මිතුරා වන කොර්න්මියුස් සනීපාරක්‍ෂක සාන්ත ඔර්බෙරෝසියානු කසිප්පු පෙරූ කර්මාන්ත ශාලාව වෙත කෝනිල්ස් හි වන පෙත තුළින් ඔහු ගමන් කළේ ය. එමිරාල් ෂතියොං සමයෙහි ඒ සා කෲර ලෙසින් බාධා පමුණුවනු ලැබුවා වූ සාධුතර මහණාගේ කර්මාන්තය එහි නටබුන් මතින් ප්‍රතිෂ්ඨාපනය වෙමින් තිබුණි. කැලෑව තුළින් බඩු දුම්රිය ගොරව ගොරවා ගමන් කරනු යමෙකුට ඇසිය හැකි විය. මඩු තුළ සිය ගණන් අනාථ දරුවන් නිල් ඇඳුමෙන් සැරසී, බෝතල් පුරවාලනු, පෙට්ටිවලට ඇණ ගසනු යමකුට දැකිය හැකි විය.
  
  සිය කසිප්පු පෙරණ බඳුන් ගෙන, උඳුන් ඉදිරියේ සිට ගෙන සිටියා වූ ගෞරවාර්හ කෝර්න්මියුසයන් අගාරිකයන් හට මුණ ගැසුණි. මහල්ලාගේ දිලිසෙන කලු ඉංගිරියාවන් පද්මරාගයන් මෙන් දීප්තිමත් විය. ඔහුගේ හිස්කබල එහි ඉපැරණි අලංකෘතභාවයෙ
න් ද පරෙසසම් සහගතව ආලේප කළා වූ ඔපයෙන් ද බැබළි බැබළි තිබුණි. 
 
  ඔහුගේ පර්යේෂණාගාරයන්හි සහ වැඩ පොළවල ප්‍රතිෂ්ඨාපිත කටයුතු කෙරෙහි සැදැහැවත් පෙරන්නාට අගාරිකයෝ පළමුවෙන් ම සුභාශිංසනය පිරි නැමූහ.
 
  “බිස්නස් එක ආයෙත් හරියාගෙන එන හැඩයි. මම ඒ ගැන දෙවියන් වහන්සේට ස්තූති කරනව” කෝනිල්ස්හි මහල්ලා පිළිතුරු දුනි. “දෙයියෝ සාක්කි! ඒක නරක අතට හැරුණනෙ. අගාරික ඔබ දැක්කනෙ මේ ආයතනයට වුන වින්නැහිය. මං ඊට වඩා මුකුත් කියන්න ඕන නැහැනෙ.” 
අගාරික හිස පසෙකට හැර වී ය. කෝර්න්මියුස් තවදුරටත් කථා කරගෙන ගියේ ය. “ඔර්බෙරෝසියා ලකුණ දරණ කසිප්පු ටික නම් අලුත් ජයග්‍රහණයක් අත්පත් කර ගනිමිනුයි තියෙන්නේ. එහෙම වුනත් මගෙ කර්මාන්තෙ අස්ථීරදායකයි. භයානකයි. ඒකට එල්ල වුණ විනාශයට අදාළ නීති අහෝසි වෙලා නැහැ. තාවකාලික ව අත්හිටුවල විතරයි.”

  කෝනිල්ස් හි මහණා සිය පද්මරාග වන් දෑස් ස්වර්ගය වෙත දල්වා ලීය. 
අගාරික සිය අත ඔහුගේ උරහිස මත තැබී ය.
 
  “කෝර්න්මියුස්, අසන්තුෂ්ටියට පත් පෙන්ග්විනියාව අප හමුවේ තබා ඇත්තේ කෙවැනි වූ දර්ශනයක් ද ? හැම තැනක ම අකීකරුකම, ස්වාධීනත්වය, නිදහස ! මානයෙන් ඉදිමුණ කැරලිකාර මිනිස්සු නැගී සිටින හැටි අපිට පේනවනේ. දිව්‍යමය නීති නොතකා හැරීමෙන් පස්සේ, දැන් ඔවුන් මනුලොව නීතීන්ට එරෙහිවත් නැගී සිටිනව. හොඳ මිනිහෙක් වෙන්න නම් හොඳ කිතුණුවෙක් වෙන්න ඕනය කියන එක ඒ තරම් ම සත්‍යයි. සාතන්ව අනුගමනය කරන්න කොලොම්බාන් උත්සාහ කරනවා. එයාගේ මාරක ආදර්ශෙ අපරාධකාරයො බොහොම දෙනෙක් අනුගමනය කරනව. ඒගොල්ල ඒ ගොල්ලන්ගේ වෛරය නිසා තමන්ට අනවශ්‍ය ඔක්කොම තහංචි බල්ලට දානවා. ඉතාමත් ම ශුද්ධ වූ බැමිවලින් නිදහස් වෙන්න, ඉතා ම වැඩදායක සීමාවන්ගෙන් ගැලවිල යන්න ඔක්කොම බැමි කඩල දානව. ඒගොල්ල ඒගොල්ලන්ගේ මව්බිමට පහර දෙනව ඒක තමන්ට කීකරු කරවා ගන්න. නමුත් පොදු ජනයාගේ අවලාද රැවුම් ගෙරවුම් සාපයන් පිළිකුල යන දේවල් ඔවුන්ව දමනය කරනවා ඇති. අදේවවාදය මඟින්, නිදහස් චින්තනය මඟින් තමන් විහින් ම තීරණය කරල තමන්ගේ මතිමතාන්තර ඇති කර ගැනීමට කෙරෙන යස්ස ඉල්ලීම මඟින්, ඔවුන්ව අරන් ගිහින් තියෙන ප්‍රපාතය තමයි ඒ. ”
 
  “සත්තකින් ම! සත්තකින් ම!” කෝර්න්මියුස් පියතුමා සිය හිස සලමින් පිළිතුරු දුන්නේ ය. “ ඒත් මේ බඩු ටික පෙරන්න මම දක්වපු අවධානය පොදු ජන කටයුතු ගැන සොයා බැලීමෙන් මාව වැළැක්කුවනේ. මිනිස්සු මෙන්න මේ පයිරොට් කියල එකෙක් ගැන කථා කරන වග විතරයි මම නම් දන්නේ. සමහරු කියනව එයා වැරදිකාරයා කියලා. සමහරු සහසුද්දෙන් ම කියා හිටිනවා අහිංසක ය කියල. ඒ වුනත් මට නම් පැහැදිලිව ම තේරුම් කර ගන්න බැරි කාරණේ තමයි, තම තමන් කාටවත් ම බල නොපාන ප්‍රශ්නයක් ගැන මේ දෙපැත්තෙ ම මිනිස්සු මැදි වෙලා, පැටලිලා ඉන්න තියෙන හේතුව මොකක්ද කියන එක. ” 
  සැදැහැවත් අගාරික ඕනෑකමින් යුතුව මෙසේ ඇසී ය.

   “පයිරොට්ගේ වැරදිකාරකම ගැන ඔබ සැක කරන්නේ නැද්ද?” 

  “හිතවත් අගාරික, මට ඒක කොහොමටවත් සැක කරන්න බැහැ” කෝනිල්ස් හි මහණා පිළිතුරු දුන්නේ ය. “එහෙම සැක කරන එක මගේ මව්බිමේ නීතිවලට පටහැනියි. ඒ නීති දිව්‍යමය නීතිවලට පටහැණි ව නො යන තාක් අපි ඒවට ගරු කළ යුතුයි. පයිරොට් වැරදිකාරයා. මොකද ඔහු වැරදිකරු විදියට විනිශ්චය කරල තියෙන නිසා, එයාගෙ වැරදිකාරකමට පක්‍ෂ ව හරි විපක්‍ෂ ව හරි ඊට වඩා වැඩි යමක් කියන එක මගේ අධිකාරිය විනිශ්චයකාරවරුන්ගේ අධිකාරයට විරුද්ධව පිහිටුවාලීමක් වෙනවා. මම නො කරන්න හොඳ හැටි වඟ බලා ගන්න දෙයක් තමයි ඒක. අනිත් එක ඒක කිසි ම තේරුමක් නැති වැඩක්. මොකද පයිරොට් වැරදිකාරයා ය කියල විනිශ්චය කරලයි තියෙන්නේ. එයා වැරදිකාරයා නිසා දඬුවම් කරල නැත්නම්, එයට දඬුවම් කරල තියෙන නිසා එයා වැරදිකාරයා වෙනවාග හැම යහපත් පුරවැසියෙක් ම විශ්වාස කළ යුතුව පරිදි එයාගෙ වැරදිකාරකම ගැන මම විශ්වාස කරනව. ඒක විශ්වාස කරන ලෙස සංස්ථාපිත අධිකරණ ක්‍රමය මට නියෝග කර සිටින තාක් කල් මම ඒක විශ්වාස කරනව. මොකද දඬුවම් කළ පුද්ගලයකුගේ අවිහිංසකභාවය ප්‍රකාශයට පත් කරන එක විනිශ්චයකාරයකුගේ කටයුත්තක් මිස, සාමාන්‍ය පුරවැසියකුට අයිති කටයුත්තක් නොවන නිසාග අධිකරණය අතින් සිදුවීමට ඇති වැරදිවලදිත්, අධිකරණයේ ඇති සීමිත ස්වභාවය තුළ දි නෛසර්ගිකව ම සිදුවන වැරදිවලදි පවාත් මනුෂ්‍යමය අධිකරණයට අපි ගරු කල යුතුයි. මේ වැරදි කවදාවත් වෙනස් නොකළ හැකි දේ නොවෙයි. පෘථිවියේ දී විනිශ්චයකාරයෝ ඒවා නිවැරදි කළේ නැත්නම් දෙවියන් වහන්සෙ ස්වර්ගයේදි ඒවා නිවැරදි කරනවා ඇති. අනෙක සෙන්පති ග්‍රෙතාවුක් ගැන මට හරි ම විශ්වාසයි. එයා ස්ථිර වශයෙන් ම දක්‍ෂ විදියට නො පෙනුණත්, එයාට පහර දෙන හැම දෙනාට ම වඩා එයා දක්‍ෂ මිනිහෙක් බව මට නම් පේනවා.’‘ 

       “කෝර්න්ිමියුස්’ සැදැහැවත් අගාරික හඬ නඟා කීවේ ය. ‘දෙවියන් වහන්සේගෙත් සෑහෙන තරම් අරමුදල්වලත් උදව්වෙන් අපට පයිරොට් සිද්ධිය ඉදිරියට තල්ලු කර ගෙන යන්න පුළුවන්. එය මේ කිතුණු-විරෝධී සමූහාණ්ඩුවේ දුර්ගුණ හෙළිදරව් කර ඩ්‍රැකොනයිඩ් සිහසුනත්, පල්ලියේ විශේෂ බල අධිකාරයනුත් ප්‍රතිෂ්ඨාපනය කරන්න පෙන්ග්විනයන් යොමු කරනවා ඇති. ඒත් එය කරන්නට නම් තමන්ගේ මුරදේවතාවුන් පූජකයන් බව ජනතාවට පෙනී යා යුතුයි. හමුදාවේ සතුරන්ට එරෙහිව අපි ඉදිරියට ගමන් කරමු. එතකොට හැම කෙනෙක් ම අප ව අනුගමනය කරාවි.” 

  “හැම දෙනා ම වුනොත් ඕනවට වඩා වැඩි වෙනව” කෝනිල්ස් හි මහණා හිස සලමින් මුණු මුණු ගෑවේ ය. “පෙන්ග්විනයන්ට කෝලහාල කරන්න අවශ්‍ය බවයි මට නම් පේන්නෙ. ඒ ගොල්ලන්ගෙ කෝලහාලෙට අපි පැටලුනොත්, අපිව බිල්ලට දීලා ඒගොල්ල සමාදාන වේවි. එතකොට යුද්දෙ වියදම් දරන්න සිද්ධ වෙන්නෙ අපිටයි. අගාරික පියතුමනිල ඔබ මගෙන් මාර්ගෝපදේශකත්වය ලබා ගන්නව නම්, මේ කෝලහාලයට ඔබ පල්ලිය මැදිහත් නො කරනවා ඇත්තෙ අන්න ඒ නිසයි.” 
 
  “ඔබ මගේ ශක්තිය ගැන දන්නවනෙ....... ඔබ මගේ අන්තර්ඥානය ගැන දන්නවනෙ....... මම කිසි ම දෙයක් පාවා දෙන්නෙ නැහැ....... හිතාදර කෝර්නිමියුස් මට ඔබෙන් ඕන කරන්නෙ ව්‍යාපාරෙ පටන් ගන්න අපට අවශ්‍ය අරමුදල් පමණයි.” 

  බෙල්ල නැතිව යාමට සිදුවන ව්‍යාපෘතියක් ලෙස තමා සිතූ දෙයෙහි වියදම් දැරීම දිගු වේලාවක් මුළුල්ලේ ම කෝර්න්මියුස් ප්‍රතික්ෂේප කළේ ය. අගාරිකගේ පැත්තෙන් ගත් විට හේ අනුකම්පා උපදවනසුලු විය. අන්තිමේ දී ඔහුගේ යාච්ඤාවන්ට ද තර්ජනයන්ට ද යටත් වෙමින් කෝර්න්මියුස් තෙමේ එල්ලා වැටෙන හිසෙන් සහ දෙපසට පැද්දෙන දෑත්වලින් යුතුව ස්වකීය දිව්‍යමය දුගී දුප්පත්කම සඟවා තිබූ තපස් කුටිය බලා නික්මුණි. සුදු හුණු ආලේප කෙරුණ බිත්තියක වූ භාග්‍යවත් පෙට්ටියක කොටසක් යට සේප්පුවක් විය. එය විවෘත කර ඔහු දිග සුසුමක් හෙළා, නෝට්ටු මිටියක් එළියට ගෙන අදිමදි කෙරෙන දෝතින් සැදැහැවත් පියතුමාණන් හට දුන්නේ ය.
  
        “හිතවත් කෝර්න්මියුස් ඒ ගැන සැක කරන්න එපා” යි නෝට්ටු මිටිය සිය උඩු කබායේ පොකැට්ටුවට තල්ලු කරමින් ඔහු කියා සිටියේ ය. “පෙන්ග්විනියාවේ පල්ලියේ යශෝකීර්තියත් උත්කර්ෂවත්භාවයන් ඇති කරනු පිණිස දෙවියන් වහන්සේ විසින් ම මේ පයිරොට් සිද්ධිය එවා ඇති සේක!.  
          “ඔබ කියන දේ නිවැරදි ම වේවා යයි මා යාච්ඤා කරනව! ” කෝනිල්ස්හි මහණා කී ය.
  
  පර්යේෂණාගාරය තුළ හුදෙකලා වූ ඔහු සිය තීක්ෂ්ණ දෙනෙත් විදහා විස්තර නො කළ හැකි තරම් වූ ශෝකයෙන් භරිත ව සිය කසිප්පු උඳුන් හා බඳුන් දෙස බලා ගත් වන සිටියේ ය.









                               06

         සත් සියක් පයිරොට්වාදීහු
 
  සත් සියක් පයිරොට්වාදීහු වැඩෙමින් පවත්වා ජුගුප්සාවක් ජනතාව තුළ ජනිත කළහ. සැමදාමත් ඔවුන්ගෙන් දෙතුන් දෙනෙක් වීදිවල දී පහර දී මරා දමන ලදහ. ඔවුන්ගෙන් අයකුට ප්‍රසිද්ධියේ කස පහර දී මරා දමන ලැබී ය. තවත් අයෙක් ගඟට තල්ලු කර දැමුණි. තෙවැන්නෙක් තාර ගෑ පිහාටුවලින් ආවරණය කොට උපහාසාත්මක වූ ජන සමූහයක් අතරින් ගෙන යනු ලැබී ය. හතරවැන්නකුගේ නැහැය අශ්වාරෝහක හේවායන්ගේ කපිතන්වරයකු විසින් කපා ගනු ලැබී ය. ඔවුහු සිය සමාජ ශාලාවන්හි දී හෝ ටෙනිස් ක්‍රීඩාවන්හි ද හෝ රේස් තරගවල දී හෝ කලඑළියට බැසීමට එඩිතර නොවූහ. කොටස් වෙළඳ පොළට ඔවුන් ගියේ වෙස් මාරු කොට ගෙන ය. මේ තත්ත්වයන් තුළ දී ඔවුන්ගේ එඩිතරභාවය සීමා කරලීමත් ගරුසර නැතිකම මැඩ පවත්වාලීමත් ඉක්මන් කළ යුතු බව බොසෙනෝහි කුමරු කල්පනා කළේ ය. මේ අරමුණු ඉටු කර ගනු පිණිස පයිරොට් විරෝධී මහා සංගමයක් පිහිටුවා ගැනීමෙහිලා ඔහු ක්ලේනා සිටුවරයා ද තෲමෙල් මයා ද ඔලිව් සිටුවරිය ද බිගුර්ද් මයා ද සමඟින් එකතු විය. එම සංගමයට ලක්‍ෂ සංඛ්‍යාත පුරවැසියෝ එක් වූහ. සොල්දාදුවෝ සේනාංක පිටින් ද රෙජිමේන්තු පිටින් ද බල ඇණි  පිටින් ද ඩිවිෂන් පිටින් ද එක් වූහ. නගර දිස්ත්‍රික් හා පළාත් ද ස්වකීය පක්‍ෂපාතීත්‍වය පළ කර සිටියේ ය.
  
  මෙන්න මේ අවස්ථාව වන විට ම වාගේ දිනෙක හමුදා නිලධාරියා හමු වීමට ගිය යුධ ඇමතියා සෙන්පති පැන්තර් කාර්යාලයෙහි නියුතු වූ කාමරය දැක විස්මයෙන් ඇළලී ගියේ ය. පෙර කල මුළුමනින් ම පාහේ හිස් ව තිබූ එහි දැන් හැම බිත්තියක් ම බිම සිට සීලිම දක්වා ගැඹුරු කුහරයන් හි හැම හැඩහුරුකමකට ම සහ හැම වර්ණයකට ම අයත් මිටි පේලි තුන හතර බැගින් විය. මෙම ක්ෂණික සහ අද්භූතකාර වාර්තා එක් රැස් කිරීම පිණිස ශත වර්ෂ ගණනාවක් ම ගන්නා වූ ලිපි ලේඛන ගොන්නක ප්‍රමාණයට දින කීපයක දී ම ළඟා විය.
  

  “මේ මොනවද?” විස්මිත වූ ඇමතිවරයා විමසී ය .  
  “පයිරොට්ට විරුද්ධ සාක්කි” සෙන්පති පැන්තර් පිළිතුරු දුන්නේ මව්බිම සුරැකීමෙන් ලද  ආස්වාදයකින් යුතු ව ය. “අපි මිනිහ වැරදිකාරය කියලා විනිශ්චය කරන කොට අපි ළඟ මේවා තිබුණෙ නැහැ. ඒත් දැන් අපිට ඕනෑ පදම් සාක්කි තියෙනව.”  දොර විවෘත විය. ශාලාව තුළ මහා බරැති කඩදාසි මිටි බාමින් සිටි පෝටර්ලා පේලියක් ම පියගැට පෙළ නඟිමින් සිටිනු ග්‍රෙතාවුක් දුටුවේ ය. කඩදාසි මිටිවලින් බරට ම පිරුණ සෝපානය ඉහළ නඟිනු ඔහු දුටුවේ ය.
 
 “මොනවද ඒ අනෙක් ඒව” ඔහු විමසී ය.
    
“පයිරොට්ට විරුද්ධව දැන් අපිට ලැබෙමින් තිබෙන සාක්කි” පැන්තර් කීය. “පෙන්ග්විනියාවේ හැම කෝරළයකින් ම, හැම රජයේ කාර්යාලයකින් ම, යුරෝපයේ හැම රාජ්‍ය සභාවකින් ම මම ඒව ඉල්ලලයි තියෙන්නේ. ඇමරිකාවෙයි ඕස්ටේ්‍රලියාවෙයි හැම නගරෙකින් ම, අප්‍රිකාවේ හැම කර්මාන්ත ශාලාවකින් ම මම ඒවා ඇණවුම් කරලයි තියෙන්නෙ. මම දැන් බ්‍රෙමන්වලින් ඒවා තොගයකුයි මෙල්බන්වලින් ඒවා නැවකුයි එනකම් බලන් ඉන්නෙ.”

 පැන්තර් යුද ඇමති වෙත වීරයකුට ඔබින ශාන්ත වූත් ප්‍රතාපවත් වූත් බැල්මක් හෙළී ය. එහෙත් ග්‍රෙතාවුත් සිය උපැස් යුවල දෑසෙහි ම රඳවා ගෙන දැවැන්ත කඩදාසි ගොන්න වෙත නෙත් යොමමින් සිටියේ,  අපහසුතාවයකට වඩා මඳ තෘප්තිමත්භාවයකින් යුතු ව ය. “නියමයි” ඔහු කීය. “බොහොම හොඳයි. ඒත් මේ පයිරොට් සිද්ධියට තිබෙන සුන්දර අව්‍යාජත්වයට කෙළවේ ය කියලයි මට බය. ඒක විනිවිද පෙනෙන තරම් ම පැහැදිලියි, පිරිසිදු තිරුවාණ ගලක් වගේ ඒකෙ වටිනාකම තියෙන්නෙ ඒකෙ විනිවිද පෙනෙනසුලු ගතිය හින්දයි. ඔබ ඒක තුළ පිදුරු ගහක්, නැම්මක්, ලපයක්. ඉතා ම සුළු වරදක් සොයා ගන්න අන්වීක්ෂයකින් බැලුවත් වැඩක් වෙන්නෙ නැහැ. ඒක මගේ අතින් ගිලිහිලා යන කොට, ඒක ආලෝකය වගේ නිර්මලයි. ඇත්ත වශයෙන් ම ඒ ආලෝකයයි. මම ඔබට මුතු ඇටයක් දෙනව. ඔබ ඒකෙන් කන්දක් හදනව. ඔබට ඇත්ත ම කියනවා නම්, හුඟක් හොඳින් වැඩේ කරන්න අවශ්‍ය වීම නිසා, ඔබ කරලා තියෙන්නෙ වඩා අඩු හොඳ විදියකටයි. සාක්ෂි! ඇත්ත වශයෙන් ම සාක්කි තියෙන එක නම් හොඳ තමා. ඒත් පෙළක් වෙලාවට ඒවා කොහොත් ම නැති වීම වඩා හොඳයි. පැන්තර්, මම ඔබට දැනටමත් කියා තියෙනව. බොරු කරන්න බැරි සාක්කි තියෙන්නෙ එක ම එකක් විතරයි කියලා. ඒ වැරදිකාරයගෙ පාපොච්චාරණය (ඒක අහිංසකයගෙ වුනාම මොකෝ !) මම පිළියෙල කරපු හැටියට, පයිරොට් සිද්ධිය විවේචනයට භාජනය වෙන්න ඉඩක් තිබුණෙ නැහැ. එය ප්‍රහාරය පළවා හැරියා. ඒක අදෘශ්‍යමාන වූ නිසා, ඒක අනතුරට ලක් නො කළ හැක්කක් වුනා. දැන් ඒක සාකච්ඡාවට ලක් කරන්න විශාල ඉඩක් පාදා දීලා තියෙනව. පැන්තර්, මම ඔබට අවවාද කර සිටිනව, ඔබ සතු කඩදාසි පැකට් බොහොම අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නය කියල. මම ඔබට විශේෂයෙන් ම කෘතඥ වෙනවා, පුවත්පත් කලාවේදීන් එක්කල කරන ගනුදෙනු වලින් ඔබ වැළකිලා ඉන්නව නම්, ඔබ හොඳින් කථා කරනව තමයි. ඒ වුනත් ඔබ ඕනෑවට වඩා කියා සිටිනව. මට කියන්න පැන්තර්, මේවා අතර ගොතාපු ලියවිලි හෙම තියෙනව ද?”

   “ගලප්පා ගත හැකි ලියවිලි කීපයක් තියෙනව” 


   “මම අදහස් කළෙත් ඒක ම තමයි. ගලප්පා ගන්න පුළුවත් කීපයක් තියෙනව. ඒ තරමට හොදයි. සාක්ෂි වශයෙන් ගත්ත ම ගොතාපු ලියවිලි සාමාන්‍ය වශයෙන් සැබෑ ලියවිලිවලට වඩා හොඳයි. මොකද, ප්‍රථමයෙන් ම ඒවා විශේෂයෙන් ම ගොතන්නේ කාරණෙ අවශ්‍යතාවට ගැලපෙන විදියටයි. නියම ම මිම්මට. ඒ නිසා ඒවා නියම ගණන්. නියමෙට ගැලපෙනවා. ඒවා වඩා හොඳයි. මොකද ඒවා මනස පරමාදර්ශී ලෝකයකට ගෙන ගිහින්, ඒක යථාර්ථයෙන් පැත්තකට තල්ලු කර දාන නිසා. අහෝ ! ඒ යථාර්ථය මේ ලෝකෙදි කවදාක්වත් අපද්‍රව්‍ය ටිකක් නැතිව තියෙන්නෙ ම නැහැ. එහෙම වුනත් පැන්තර්, මම නම් වඩා කැමතියි අපිට සාක්කි මුකුත් ම නැත්නම්.”

          පයිරොට් - විරෝධී සංගමයේ ප්‍රථම ක්‍රියාව වූයේ, සත් සියක් පයිරොට්වාදීන් සහ ඔහුගේ සහචරයන් රාජද්‍රෝහීත්වය පිළිබඳ වරදකරුවන් ලෙස ඉහළ උසාවිය හමුවට වහා ම කැඳවන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම ය. සංගමය වෙනුවෙන් කථා කිරීම බොසෙනෝහි කුමරුන් හට පැවරුණි. ඔහු තමාට සවන් දීම පිණිස රැස් වු මණ්ඩලය හමුවේ පෙනී සිටියේ ය. තත්ත්වයට ගැලපෙන පරිදි ආණ්ඩුවේ සුපරීක්ෂාකාරීත්වය සහ දෘඪභාවය ඉහළ නැංවෙනු ඇතැයි ඔහු බලාපොරොත්තුව පළ කළේය. ඔහු ඒ ඒ ඇමතිවරයාට අතට අත දුන්නේ ය. සෙන්පති ග්‍රෙතාවුක් පසු කර ගෙන යන විට හේ ඔහුගේ කණට කොඳුරා මෙසේ කීවේය.  “ඒයි පරයා, හරියට හැසිරියන්. නැත්තම් මම මලුනි ලිපි ගොණු ප්‍රසිද්ධ කරනවා.”
 
  දින කීපයක් ගත වූ පසු ආණ්ඩුව මගින් ඉදිරිපත් කෙරුණ යෝජනාවක් මත, උභය මන්ත්‍රී මණ්ඩලයන්හි ම ඒකමතික ඡන්දයෙන් පයිරොට්-විරෝධී සංගමය, පොදු ජන සුභ සිද්ධිය සඳහා වන සංගමයක් ලෙස පිළිගන්නා සන්නස් පත්‍රයක් ප්‍රදානය කෙරුණි. 

  පයිරොට් - විරෝධී සංගමයේ සාමාජිකයන් තුළ පවතින ප්‍රේමය සහ කැපවීම ගැන සහතික කරනු වස් පිටුවහලේ තිත්ත බත ගිලිමින් සිටි කෲචෝ කුමරුන් පදිංචි ව සිටි ඉබ්බාගමුවේ විිතර්ලිං මාලිගය වෙත සංගමය වහා දූත පිරිසක් පිටත් කර හැරී ය.
 
  එසේ ද වුවත්, පයිරොට්වාදීහු සංඛ්‍යාත්මක ව වර්ධනය වූක. දැන් ඔවුහු දස දහස් ගණන්නෙකි. ඔවුන් සතු ව ඔවුන්ගේ ම ආපන ශාලා වීදි දෙපස තිබුණි. මව්බිම සුරකින්නන් හට ද ඔවුන්ගේ ම ආපන ශාලා වීදි දෙපස තිබුණි. ඒවා වඩා පොහොසත් වියත වඩා විශාල විය. හැම සැඳෑවක ම බීර වීදුරු, පීරිසි, අළු බදුන්, ජෝගු, පුටු, මේස එකිනෙකා වෙත දමා ගසනු ලැබිණ. කැඩපත් කුඩේ කුඩු කර දැමුණි. ඇණ මුරිච්චි දමා තිබූ සිය පාවහන්වලින් දෙපාර්ශ්වයේ ම සටන්කරුවන් අපක්ෂපාති ලෙස චප්ප කර දමමින් පොලීසිය මෙම සටන් සමාප්තියට පත් කළේ ය.
 
  එක් උත්කර්ෂවත් රැයක දී, බොසෙනෝහි කුමරු දේශප්‍රේමීන් කිහිප දෙනෙකුත් හා සමඟින් ජේත්තුකාරී ආපනශාලාවක් වෙතින් නික්ම යත් ම, කුණු රොඩු විසිර තිබූ  පදික වේදිකාව දිගේ වේදනාවෙන් යුතු ව ඇද්දී ඇද්දී යන, උපැස් සහිත, තොප්පි රහිත, කබායේ එක් අතක් පමණක් තිබූ, රැවුළක් සහිත කුඩා මිනිසකු තෲමෙල් මයා ඔහුට පෙන්වී ය.

  “අර බලන්න” ඔහු කීය. “අන්න අතන කොලොම්බාන්!”

  මුදු මොළොක් බව මෙන් ම හැඩි දැඩි බව ද කුමරුන් සතු ව තිබුණි. හේ අතිශයින් ම මෘදු ය. එහෙත් කොලොම්බාන්ගේ නම කන වැකීමත් සමඟ ම ඔහුගේ ඇඟේ මාඵ නටන්නට විය. ඔහු උපැස් සහිත කුඩා මිනිසා වෙත වහා දිව ගොස්, මිට මොළවා ගත් අතින් නහයට එල්ල කළ එක ම එක පහරකින් ඔහු බිම හෙළී ය.

  නොහොබිනා සමාන පෙනුමකින් මුලාවට පත් ව කොලොම්බාන් යයි වරදවා හඳුනා ගෙන තමා පහර දී ඇත්තේ, පයිරොට් - විරෝධී සංගමයේ ලේකම් වූත්, දෘඪතර සහ සත් ගුණවත් මව්බිම සුරකින්නකු වූත්, විශ්‍රාම ලත් නීතීඥ බසිල් මයාට බව තෲමෙල් මයා පසක් කර ගති. බොසෙනෝහි කුමරුන් යනු, කිසිදා නොනැමෙනසුලු අර පෞරාණික පංවස්කන්ධයන්ගෙන් එකකි. එසේ ද වූයේ වී නමුත්, සිය වරද පිළිගන්නේ කෙසේ ද යන්න ඔහු දැන සිටියේ ය.

  “බසිල් මහත්මයාණනි’‘ සිය හිස් වැසුම ඔසවමින් ඔහු කීය. “මම මගේ අතින් ඔබේ මුහුණ ස්පර්ශ කිරීම ගැන,  එම  ක්‍රියාවට තුඩු දුන් කාරණය ඔබ දැන ගත් විට, ඔබ මට සමා වනු ඇත. ඔබ මා අවබෝධ කර ගනු ඇත. ඔබ මා අනුමත කරනු ඇත. නැත, ඔබ මට ප්‍රශංසා කරනු ඇත. ඔබ මට සුභාශිංසනය කරනු ඇත. මම ඔබව කොලොම්බාන් යැයි වරදවා ගත්තා.”
ලේ වහනය වන නාස් පුඩු සිය ලේන්සුවෙන් පිසදාලමින් ද, සිය කමිස අතක් අහිමි වීමෙන් නිරුවත් වූ වැලමිට පෙන්වාලමින් ද බසිල් මයා මෙසේ කීය.

  “නැහැ මහත්මයා මම ඔබව අභිනන්දනය කරන්නෙ නැහැ. මම ඔබට සුභාශිංසනය කරන්නෙ නැහැ. මම ඔබට ප්‍රශංස කරන්නෙත් නැහැ. මොකද ඔබේ ක්‍රියාව, ඉතා ම අඩුම ලංසුවෙන් ගත්තහම, අනවශ්‍ය දෙයක්. ඒක නිකම් ඕනවට වඩා ඇඳීමක්ය කියල පවා මම කියනව. මේ වෙන කොටත් මේ හැන්දෑවෙ ම තුන් පාරක් ම කොලොම්බාන්ය කියල මිනිස්සු මාව වරදවා හඳුනා ගත්තා. එයා ලබන්න සුදුසු ආනිසංසෙන් සෑහෙන ප්‍රමාණයක් මට භුක්ති විඳින්න සිද්ධ වුනා. මව්බිම සුරකින්නො මගේ ඉල ඇටවලට ඇනල මගේ කොන්ද කැඩුවා. මහත්මයා, මගේ අදහස නම් ඒ හොඳට ම ඇති ය කියලයි.”

  ඔහු මෙම කථාව කර අවසන් වීමටත් පෙරාතුව ම වාගේ පයිරොටිවාදීන් කණ්ඩායමක් එතැනට පැමිනුණි. අර ගුප්ත සමාන පෙනුමෙන් මුලා වූ ඔවුහු ද මව්බිම සුරකින්නන් කොලොම්බාන් මරා දමමින් සිටින්නේ යයි සිතූහ. ඔවුහු බොසෙනෝහි කුමරුන් හා ඔහුගේ සහචරයන් හට වේවැල්වලින් ද හම්පටිවලින් ද තඩි බා ඔවුන් මළහ යි සිතා නික්ම ගියහ. ඔවුන් ගියේ බසීල මයා දැක් වු විරෝධතාවයන් ද නො තකමින් “කොලොම්බන්ට ජයවේවා!”, “පයිරොට්ට ජය වේවා!” යන ජයගොස මධ්‍යයේ විජයග්‍රාහී විලසින් වීදි ඔස්සේ ඔහු උසුලා ගෙන ය. අන්තිමේ දී, ඔවුන් ලුහුබැඳ එවනු ලැබූ පොලීසිය ඔවුන්ට පහර දී, ඔවුන් පරාජයට පත් කොට, අවමන් සහගත අයුරින් ඔවුන් පොලිස් ස්ථානයට ඇද ගෙන ගියේ ය. එහි දී කොලොම්බන් යන නම යටතේ වූ බසීලයන්, ඝන, උල් ඇණ සහිත අසංඛ්‍ය වූ පොලිස් පාවහන් සමුදායකින් පාගා චප්ප  කර  දමනු  ලැබී  ය.






07

බිදෝ - කොක්වීයි සහ මනිෆ්ලෝර් -
සමාජවාදීහු 


  කෝපයේ සහ වෛරයේ චණ්ඩ මාරුකය අල්කාව පුරා හමා යද්දි, ඩ්‍රැකොනයිඩ් සමයට අයත් පැරණි වාෂ්ප ඇන්ජිමක් තුළ ලැගුම් ලා සිටිල තාරකා ශාස්ත්‍රඥයන් අතරින් අතිශයින් ම දුගී දුප්පත් සහ ප්‍රීතිමත් තැනැත්තා වූ එෂීන් බිදෝ කොක්වීයි තෙමේ කබල් දුරදක්නයක් තුළින් ගුවන් ගැබ නිරීක්ෂණය කරමින් ද, ගර්හිත ඡායාරූප තහඩු මත උල්කාපාතවල ගමන් මඟ ජායාරූප ගත කරමින් ද සිටියේ ය. ඔහුගේ මහා ප්‍රාඥභාවය මගින් ඔහුගේ උපකරණයන්හි වරද නිවැරදි කෙරුණි. ඔහුගේ මෙවලම් පද්ධතියේ කමකට නැතිකම ජය ගනු ලැබුවේ, විද්‍යාව කෙරෙහි පතළා වූ ඔහුගේ අචල ප්‍රේමය මගිනි. නොනිවිය හැකි අදිටන් පූර්වක භාවයකින් යුතුව ගුවන් රශ්මි කදම්භයන් ද උල්කාපාත හා ගිනිබෝල ද අරුම පුදුම වේගයකින් අන්තරීක්ෂය තුළින් ගමන් ගත්තා වූ ගිනි ගෙන දිලිසෙන සුන්බුන් සහිත වූ දැල්වෙන ගිනි පපුරු ද ඔහු නිරීක්ෂණයට ලක් කරමින් සිටියේ ය. ඔහුගේ විද්‍යාභිලාෂී සූක්ෂ්මාවධානයට සම්මාන වශයෙන් ජනතාවගේ උපේක්ෂා සහගතභාවය ද රාජ්‍යයේ අකෘතඥභාවය ද, උගත් සමාජයේ දෝෂාරෝපණය ද ඔහුට හිමි විය. සෞර ග්‍රහ මණ්ඩලය තුළ නිමග්න ව සිටි හෙයින් පෘථිවි තලය මත සිදු වූ දේ හේ නොදත්තේ ය. ඔහු කිසිදු පුවත් පතක් නො කියවී ය. ඔහු නගරය තුළින් ගමන් ගනිද්දී ඔහුගේ මනසේ ලැගුම් ගෙන තිබුණේ නොවැම්බර් උපග්‍රහයා ය. තමා ප්‍රසිද්ධ උයනක විලක් පතුළේ හෝ මෝටර් රථයක රෝද යට හෝ සිටිනු ඔහුට දැකගත හැකි වූයේ වරක් දෙවරක් ම නො වේ.
  
  චින්තනයේ දී මෙන් ම ප්‍රමාණයෙන් ද උත්තුංග වූ ඔහු තමාටමත් අනෙක් අයටත් ගරු බුහුමන් කළේ ය. ඔහුගේ ශාන්ත දාන්ත සුපේක්ෂාශීලිත්වය මගින් මෙන් ම, එක්වර ම වැහැරුණා වූත් උත්කෘෂ්ඨ වූත් පෙනුමක් ඔහුට ලබා දුන්නා වූ ඉතා තුනී කලු කබායක් සහ උස් තොප්පියක් මගින් ද මේ බැව් පෙනී ගියේය. ඔහු සිය ආහාරවේල ගත්තේ ඔහුට වඩා බුද්ධියෙන් හීන වූ සියලු ගනුදෙනුකාර භවතුන් අත් හැරදා පියා ගිය කිසිකබල් ආපන ශාලාවකිනි. එතැන් පටන්, ලී පරාළයක ගැට ගසන ලද ඔහුගේ ඉඳුල්කඩය, පාළුවට ගිය රාක්කයක තට්ට තනියම වැනි වැනී තිබුණි.
  
  දිනක් මුළුතැන්ගෙයි දී පයිරොට්ට පක්ෂ ව කොලොම්බාන් ලියූ ලේඛනය ඔහු නෙත ගැටුණි. නරක් වූ කජු ඇට කඩන්නාක් මෙන් ඔහු එය කියවා දැමී ය. විමතියෙන් ද ප්‍රසන්නව ද බියෙන් ද අනුකම්පාවෙන් ද ඇළලී ගිය ඔහුට හිටි අඩියේ ම වල්ගා තරු සහ උල්කාපාත අමතක ව ගියේ ය. ගුවන් ගැබ චණ්ඩ මාරුතයන්ට ද එය මත ලැග සිටි ගෙඹි තඩියන්ට ද මුහුණ දෙමින් සිය කුඩුව තුළ සිර වී සිටි අවිහිංසක මිනිසා හැර අන් කිසිත් ඔහුට දැන් නො පෙනුණි.
  
  එම ප්‍රතිරූපය ඔහු හැරපියා නො ගියේ ය. සතියක් මුළුල්ලේ ම දඬුවමට ගොදුරු වූ අවිහිංසකයාගෙන් ඔහු ආවේශ වී සිටියේ ය. ඔහු සිය මුළුතැන් ගෙයින් නික්ම යනවාත් සමඟ ම, ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වෙන නාට්‍ය ශාලාවකට පුරවැසියන් සමූහයක් ප්‍රවේශ වනු ඔහු දුටුවේ ය. ඔහු ද එහි ගියේ ය. රැස්වීම අසංවිධිත වූවකි. රැස්ව සිටි අය මොර දුන්හ. එකිනෙකාට ආක්‍රෝශ පරිභව බිණූහ. දුමින් පිරුණ ශාලාව තුළ එකිනෙකා බිම හෙඵෑහ. පයිරොට්වාදීහු සහ පයිරොට්-විරෝධීහු මාරුවෙන් මාරුවට කථා කළහ. ඔවුන් හට මාරුවෙන් මාරුවට ඔල්වරසන් ද හූ හඬ ද නැඟුණි. අප්‍රකට වූුත් ව්‍යාකූල වූත් උද්යෝගීමත්භාවයකින් ප්‍රේක්ෂක සමුහයා ක්‍රියාත්මක වූහ. බයාදු වූත් ශාන්තදාන්ත වූත් මිනිසකු සතු එඩිතරභාවයෙන් යුතුව බිදෝ- කොක්වීයි වේදිකාවට කඩා පැන, පැය තුන් කාලක් මුළුල්ලේ කථා කළේ ය. ඔහු කථා කළේ වේගවත්ව ය. පිළිවෙලකින් තොරව ය. එහෙත් ආවේශයෙන් යුතුව ය. ගණිත විද්‍යාමය ගූඪවාදියකු සතු සකල විශ්වාසයන්ගෙන් යුතුව ය. ඔහුට ඔල්වරසන් හඬ නැඟණි. ඔහු වේදිකාවෙන් බසිත් ම, ස්ථිර වයසකින් තොර, රතු ඇඳුමින් සැරසුණ, විචිත්‍ර පිහාටු වලින් සැකසුණ දැවැන්ත හිස් වැසුමක් පැළඳි තරබාරු ස්ත්‍රියක් ඔහුගේ තුරුල්ලට වැදෙමින් ඔහු වැළඳ ගෙන මෙසේ කීවා ය.
  
  “ඔයා හරි ම ෂෝක්!” 

  එහි යම් සත්‍යයක් ඇතැයි ඔහු සිතුවේ සිය අවංක භාවයට අනුකූලව ය.  
එතැන් පටන් තමා ජීවත් වන්නේ අන් කිසිත් වෙනුවෙන් නො ව, පයිරොට්ගේ ආරක්ෂාවත් කොලොම්බාන්ගේ යශෝකීර්තියත් වෙනුවෙන් පමණක් බව ඇය ඔහුට තෙපළා ය. ඇය උතුම් යයි ද සුන්දර යයි ද ඔහුට සිතුණි. මේ ස්ත්‍රිය නම්, දැන් මතකයෙන් ගිලිහි ගොස් ඇති, අත්හැර දමනු ලැබ සිටින දුගී මහලු ගණිකාවක වූ මනිෆ්ලෝර් ය. ඇය එක වැරෙන් ම ප්‍රබල දේශපාලනඥවරියක් බවට පත් වූවා ය. 

  ඇය කිසිදා ඔහු අත හැර දා නො ගියා ය. ප්‍රේමයෙන් මන රංජිත වූ ලාභදායක නිවෙස්වල සහ ලැගුම් ගෙවල් තුළ ද පුවත්පත් කාර්යාල, රැසවී්ම් ශාලා සහ දේශන ශාලා තුළ ද ඔවුන් දෙදෙන උත්කෘෂ්ඨ පැය ගණන් ගත කළහ. තමා කුමනාකාරයක හෝ සුන්දරත්වයක් ඉතිරි කරගෙන නොමැති බව දැක ගැනීමට ඇය ඔහුට අනන්ත වූ අවස්ථාවන් දුන්නේ වී නමුත්, ඔහු අමු ම අමු විඥානවාදියකු වූ හෙයින්, ඇය සුන්දර ය යන සිතුවිල්ලෙහි ම ඇලී ගැලී සිටියේ ය. ඇය ඇගේ ඉපැරණි සුන්දරත්වයෙන් ඉතිරි කර තබා ගෙන සිටියේ, සංතර්පණය කිරීමෙහිලා ඇය සතුව තිබූ කෞශල්‍යය පිළිබඳ විශ්වාසයකුත් ගරු බුහුමන් දක්වන මෙන් ඉල්ලා සිටීමේ දී දැක් වූ උඩඟු බවත් පමණි. එසේ ද වුවත්, මෙම පයිරොට් සිදධි්ය එය අද්භූතත්වයෙන් ඒ සා ඵලබර වූ හෙයින් ම, මනිෆ්ලෝර් තුළ එක්තරා සුශික්ෂිත ප්‍රතාපවත් බවක් ඇති කළ බවත් ප්‍රසිද්ධ රැස්වීමිවල දී ඇය යුක්තියේ සහ සත්‍යයේ උත්තුංග සංකේතයක් බවට පත් කළ බවත් පිළිගත යුතු ය.

  බිදෝ කොක්වීයි සහ මනිෆ්ප්ලෝර් එක ම පයිරෝට් විරෝධියකු තුළවත්, ග්‍රෙතාවුක්ගේ එක ම ආරක්ෂකයකු තුළවත්, හමුදාවේ එක ම ආධාරකරුවකු තුළවත් සෝත්ප්‍රාසයේ හෝ විනෝදයේ හෝ අල්පමාත්‍ර ගිනි පුපුරකුදු නො දැල්වී ය. දෙවියෝ ස්වකීය කෝපය හේතුවෙන්, ඒ මිනිසුන් හට උපහාසය නම් වූ ත්‍යාගය ප්‍රදානය කිරීම ප්‍රතික්ෂේප කළාහු ය. සිය මව්බිමට එරෙහි ඔත්තුකරුවන් වීම පිළිබඳ ව, ද්‍රෝහිවීම පිළිබඳ ව සහ කුමන්ත්‍රණය කිරීම පිළිබඳව ඔවුහු ගණිකාවට සහ ගණිතඥයාට බරපතල ලෙස චෝදනා කළහ. අපහාසය, ආක්‍රෝශ පරිභවයන් සහ අවමානයන් යටින් බිදෝ කොක්වියි සහ මනිෆ්ප්ලෝර් ඇහැට පෙනි පෙනී විශාල ව වැඩෙන්නට විය. 

  මාස ගණනාවක් මුළුල්ලේ පෙන්ග්විනියාව කඳවුරු දෙකකට බෙදී තිබුණි. ප්‍රථම බැල්මේ දී එය පුදුම සහගත ලෙසකින් පෙනී යා හැකි නමුත්, මේ දක්වා ම සමාජවාදීහු මේ පොරයට කෙළින් ම හවුල් නො වූහ. ඔවුන්ගේ කණ්ඩායම් මුළුමණින් ම පාහේ සමන්විත වූයේ කම්කරුවන්ගෙනි. ඔවුහු අවශ්‍යයෙන් ම විසිර සිටියහත ආකූල ව්‍යාකූල ව සිටියහ. කඩා බිඳ දමනු ලැබ සිටියහ. වෙන් කරනු ලැබ සිටියහ. එහෙත් ඔවුහු දෘඪතර වූහ. පයිරොට් සිද්ධිය මගින් කණ්ඩායමේ නායකයෝ අපූරු ජංජාලයකට තල්ලු කර දමනු ලැබූහ. මූල්‍යකරුවන්ගේ පැත්තේ හෝ හමුදාව පැත්තේ හෝ සිටීමට ඔවුහු කැමති නො වූහ. ඔවුන් යුදෙව්වන් - විශාල සහ කුඩා යන දෙකොටස ම - සැලකුවේ තමන්ගේ සම්මුති විරහිත විරුද්ධවාදීන් ලෙස ය. ඔවුන්ගේ ප්‍රතිපත්ති පරදුවට තැබී නො තිබිණි. ඔවුන්ගේ අවශ්‍යතාවන්, සිද්ධිය හා සම්බන්ධතාවක් දැක්වූයේ ද නැත. එතෙකුදු වුවත්, මුළු පෙන්ග්විනියාව ම හවුල් ව සිටි අරගලයෙන් කර ඇර සිටීම එන්න එන්න ම අපහසු වෙමින් ඇති බැව්, වඩ වඩාත් වැඩි සංඛ්‍යාවක් තේරුම් ගත්හ. 
 වර්තමාන තත්ත්වයන් තුළ දීත්, අනාගතයේ දී ඇති විය හැකි සිද්ධීන් තුළ දීත් ඔවුන් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය සලකා බැලීම පිණිස, නායකයෝ සිය සම්මේලනයේ රැස්වීමක් සාන්ත මායෙල් වී්දියෙහි පැවැත් වූහ. 

ප්‍  රථමයෙන් කථා කළේ ෆීනික්ස් සහෝදරයා ය. ඔහු මෙසේ කීවේ ය.
  
  “අපරාධ අතරින් ඉතා ම ගඳ ගහන අන්තිම බියගුලු අපරාධය නම් නීතිමය අපරාධයයි. එවැනි අපරාධයක් සිදු වෙලා තියනව. ඉහළ නිලධාරීන් විසින් මුලා කරනු ලැබූ, එහෙම නැත්නම් අයුතු බලපෑම් දමනු ලැබූ මිලිටරි විනිශ්චයකාරයො අහිංසක මිනිහෙක් ව අපකීර්තිමත් කෲර දඬුවමකට  ලක් කරල තියෙනව. දඬුවමට ගොදුරු වී සිටින පුද්ගලයා අපේ පක්ෂෙ කෙනෙක් නෙවෙයි කියලා, ඔහු අයත් වෙන්නේ අපේ හතුරා වුණ, හැමදාමත් අපේ හතුරා වන කණ්ඩායමකට ය කියල අපි නොකිව යුතුයි. අපේ පක්ෂෙ සමාජ සාධාරණත්වයේ පක්‍ෂයයි. අපේ පක්‍ෂෙට බැහැ කිසි ම සමාජ අසාධාරණේකට ඇහැ කන පියන් බලන් ඉන්න.”

  “හමුදාවේ අපරාධවලට විරුද්ධ ව කටයුතු කිරීම අපි රැඩිකල්වාදී කෙර්දානික්ට විතරක් බාර දුන්නොත්, මධ්‍යම පාන්තික  කොලොම්බාන්ට විතරක් භාර දුන්නොත්, ඒක අපට වස ලැජ්ජාවක් වෙනව. ගොදුර බවට පත් වෙලා සිටින තැනැත්තා අපේ ම කෙනෙක් නූනත්, ඔහු ව ඝාතනය කරනු ලබන්නා අපේ සහෝදරවරුන්ගෙත් ඝාතකයාමයි. ග්‍රෙතාවුක් එයාට පහර දී බිම දාන්න කලින් වැඩ වර්ජනය කරපු අපේ සහෝදරවරුන්ට වෙඩි තිබ්බා.”

   “සහෝදරවරුනි, බුද්ධිමය, සදාචාරමය සහ භෞතිකමය පරිශ්‍රමයන් තුළින් අපි පයිරොට් ඔහු විඳින දුක් වේදනාවන්ගෙන් බේරා ගත යුතුයි. ඔය සහෝදරවරු මේ උදාර කටයුත්තට උර දෙන විට, සහෝදරවරු භාර ගෙන තිබෙන විමුක්තිදායක, විප්ලවවාදි කටයුත්තෙන් පිට පනින්නෙ නැහැ. මොකද, පීඩිතයන්ගෙත් දැනට පවතින සමාජ අසාධාරණයන්ගෙන් සංකේතය බවට පයිරොට් පත් වෙලා සිටින නිසා. එක් අයෙක් විනාශ කිරීම මගින් ඔවුන් සියල්ලන් ම වෙව්ලවා හරිනවා ඇති.”   
ෆීනික්ස් සහෝදරයා අවසන් කළ පසු සපෝර් සහෝදරයා මෙලෙසින් කථා කළේ ය. 
 “සහෝදරවරුන්ට කිසි ම සම්බන්ධයක් නැති යමක් කිරීම සඳහා, සහෝදරවරුන් සතු කර්තව්‍යය අත් හරින ලෙස ඔබට දැන් උපදෙස් දී තිබෙනව. සහෝදරවරු කොයි පැත්ත ගත්තත්, ඔබලාගේ ස්වභාවික සම්මුති විරහිත සහ අවශ්‍ය ම විරුද්ධවාදීන් හැර අන් කිසි ම අයෙක් ව දැක ගන්නට පුළුවන් කමක් නැති ගැටුමකට සහෝදරවරු පනින්නේ ඇයි? හමුදාවට වඩා අඩුවෙන් අපි මූල්‍යකරුවන්ට වෛර කළ යුතු ද? සමාජමය යුද්ධයේ දී සහෝදරවරු සෑම විටක ම මුහුණට මුහුණලා සිටින අර පයිරොට්වාදී හත් සියය බේර ගන්න, සහෝදරවරුන්ට මේ තරම් රුදාවක් ඇති කරවන්නේ මොන තරම් අනුචිත, අපරාධකාරී දාන පාරමිතාවක් හේතුවෙන් ද?

 “සහෝදරවරුන්ගේ සතුරන් වෙනුවෙන් පොලිස්කාරකම ඉටු කරන්නත්, උන්ගෙ ම අපරාධ හේතු කොට ගෙන අවුල් වුන සාමය උන් වෙනුවෙන් ප්‍රතිෂ්ඨාපනය කරල දෙන්නත් සහෝදරවරුන්ට යෝජනා කරලා තියෙනව්. මේ මට්ටමට දාන පාරමිතාව තල්ලු කරගෙන ගියා ම, එකෙ නමමත් වෙනස් වෙනවා. 

 “සහෝදරවරුනි, අවමානය සමාජයකට මාරක වෙන අවස්ථාවක් තියෙනව. පෙන්ග්වින් සමාජය, එය පත්ව තිබෙන අවමන් සහගත තත්ත්වය නිසා, ගෙල මිරිකනු ලැබ තිබෙනව. ඒක බේර ගන්න ලෙස, ඒකට හුස්ම ගන්න පුළුවන් වෙන විදියට එයට ඔක්සිජන් ලබා දෙන ලෙස සහෝදරවරුන්ගෙන් ඉල්ලලා තියෙනව. මෙය විහිළුකාර තත්ත්වයකට සහෝදරවරුන්ව නිකම් ම පත් කරනව.” 
 
  “ඒකට හුස්ම හිර කර ගෙන මියැදෙන්න ඉඩ දෙන්න. ඒකෙ අන්තිම හුස්ම ටික කම්පනය වෙලා, පිට වෙලා යන හැටි ආස්වාදජනක ජුගුප්සාවකින් යුතු ව අපි බලා ඉඳිමු. එය ගොඩ නැඟුන පසු, එය විසින් එහෙම පිටින් ම දූෂණය කරල තියෙන නිසා, නව සමාජයකට පදනම දැමීම සඳහා අපට හිමි වෙලා තියෙන්නෙ වෙන මොකවත් ම නොවෙයි විස පිරුණ මඩ කන්දරාවක්. අන්න ඒ ගැන පමණයි අපි කණගාටු වෙන්න ඕනෑ.” 

  සපෝර් සිය කථාව අවසන් කළ විට, ලා පෙයාර්සොන් සහෝදරයා මෙම වදන් ස්වල්පය ප්‍රකාශ කළේ ය.
  
       “පයිරොට් අහිංසක නිසා පයිරොට්ට ආධාර කරන්නය කියා ෆීනික්ස් අපෙන් ඉල්ලනව. ඒක හරි ම නරක හේතුවක් ලෙසයි මට නම් පෙනෙන්නෙ. ඔහු අහිංසක නම් ඒකෙ තේරුම එයා නියම සොල්දාදුවෙක් විදියට හැසිරිලා තියෙන වගයි. එයා එයාගෙ වෘත්තියෙදි හැම තිස්සෙ ම හෘද සාක්ෂියට එකඟව කටයුතු කරල තියෙන වගයි. එයාගේ වෘත්තිය හැම විටක ම ජනතාවට වෙඩි තබන එකයි. ඔහුගෙ ආරක්ෂාව වෙනුවෙන් ජනතාව හැම අවදානමකට ම මුහුණ පාන්න සැලැස්සීමට ඒක කොහෙත් ම හේතුවක් නෙවෙයි. මම පයිරොට්ගේ පැත්ත ගන්නෙ, එයා වැරදිකරු බවත්, හමුදාවට අයත් පිදුරු හොරකම් කළ බවත් ඔප්පු කරල පෙන්නුවොත් විතරයි.“ 

  ඉනික්බිති ලරීවේ සහෝදරයා කථා කළේ ය.
  
  “මම මා මිත්‍ර ෆිනික්ස්ගේ මතයට පක්ෂ නැහැ. ඒත් මම මා මිත්‍ර සපෝර්ගෙ මතයටත් පක්‍ෂ නැහැ. ව්‍යාපාරයක් සාධාරණය කියල අපිට කියපු පලියට ම, ව්‍යාපාරයක් බදා ගන්නට අපේ පක්ෂෙ බැඳිල සිටිනවය කියල මම නම් විශ්වාස කරන්නෙ නැහැ. මම හිතනව ඒක බරපතළ ලෙස වචන අයථා ලෙස පාවිච්චි කිරීමක් සහ භයානක දෙපිටකාට්ටුකමක් ය කියල. මොකද සමාජ යුක්තිය ය කියල කියන්නෙ විප්ලවවාදී යුක්තිය නෙවෙයි. ඒ දෙක සදාතනිකව විරුද්ධවාදීත්වයක පවතින දේවල්, එකකට සේවය කරනවය කියල කියන්නෙ අනෙකට විරුද්ධ වීමයි. මා ගැන කියනව නම් මම මගේ තේරීම කරලයි තියෙන්නෙ. මම සමාජ යුක්තියට එරෙහි ව විප්ලවීය යුක්තියට පක්ෂයි.  එහෙම උනත්, වර්තමාන සිද්ධියේ දී, වැට උඩ සිටීමට මම විරුද්ධයි. වාසනාව මේ වගේ සිද්ධියක් අපේ දොරකඩට ම ගෙනත් දැම්ිම ම, එයින් වාසි ලබා නොගන්නවා නම් අපි ගොබ්බයො ටිකක්ය කියල මම කියා සිටිනව.

  “කොහොම ද ඒක කරන්නෙ? මිලිටරිවාදයට විරුද්ධව දරුණු පහරක්, සමහර විට මාරක පහරක් එල්ල කිරීමේ අවස්ථාව අපට ලබා දීලා තියෙනව. යුද්දෙට නැති කඩුව කොස් කොටන්න ද? මම කියා සිටිනවා සහෝදරවරුනි, මම කවදාක්වත් තපසෙක් ව හිටියෙන් තැහැ. මෙහෙ තාපසයො ඉන්නව නම්, ඒගොල්ල මාව ඒ ගොඩට නො දැමිය යුතුයි. භාවනානුයෝගීව එරමිණිය ගොතා ගෙන ඉඳීම කමකට නැති පුස් ප්‍රතිපත්තියක්. මම කවදාවත් ඒ වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැහැ.

             “අපේ පක්ෂේ වගේ පක්ෂයක් අඛණ්ඩව ම පෙරමුණේ මතු ව සිටිය යුතුයි. පක්ෂය තමන්ගේ පැවැත්ම තහවුරු කළ යුත්තේ හුස්මක් කටක් නැතිව එක දිගට ක්‍රියාකාරී වීම මගින්. අපි පයිරොට් සිද්ධියට මැදිහත් විය යුතයුි....... සමහර විට හිතනව ඇති ප්‍රචණ්ඩත්වය පරණ තාලෙ යල් පැනපු දෙයක් ය කියල. අශ්ව කෝච්චියක් සමඟ මල අතින් කරකවන මුද්‍රණ යන්ත්‍රයත් සමඟ මල ගුවන් විදුලි පණිවුඩ ක්‍රමයත් සමඟ ම කසල ගොඩට ඉවත දැමිය යුතු දෙයක් ය කියල හිතනව ඇති. ඔබට වැරදිලා. ඊයෙ වගේ ම අදත්, මොනයම් ම දෙයක්වත් ප්‍රචණ්ඩත්වය මගින් හැර ලබා ගෙන නැහැ. කාර්යසාධක උපකරණය එයයි. අවශ්‍ය එක ම දෙය ඒක පාවිච්චි කරන්නෙ කොහොමද කියා දැන ගන්න එක විතරයි. අපේ කාර්යය මොකක් වේවි ද කියා ඔබ අහනව, මම ඔබලට කියන්නම්, ඒක තමයි පාලක පංතිය එකාට එකා විරුද්ධ ව හප්පන එක. ධනේශ්වර පංතිය සමඟ හමුදාවත්, අධිකරණය සමඟ ආණ්ඩුවත්, යුදෙව්වන්  සමඟ රදළයන් හා පූුජකයනුත් හප්පන එකයි. පුළුවන් නම් උන් එකිනෙකා මරා ගන්න තත්ත්වයකට උන් සියලු දෙනා ම තල්ලු කර දාන්න ඕනග මෙික කරන්න නම්, උණ රෝගයක් ලෙඩෙක් ව කම්බස් කරල දාන විදියටම ආණ්ඩුව දුර්වල කරන්න  උද්ඝෝෂණයක් ගෙනියන්න ඕන.
 
 “පයිරොට් සිද්ධිය අපේ වාසියට හරව ගන්න හැටි ගැන දන්නේ අපි ටික වුනාට, ඒක සමාජවාදී පක්ෂයේ වර්ධනයයි නිර්ධන පංතියේ විමුක්තියයි අවුරුදු දහසකින් ඉදිරියට දමනව. එහෙම ඉදිරියට දාන්නේ නිරායුධකරණය, ජෙනරල් ස්ට්‍රයිකය සහ විප්ලවය මාර්ගයෙන්.”
 පක්ෂයේ නායකයන් හැම කෙනෙක් ම වෙන වෙන ම මත ප්‍රකාශ කරන ලදුව සාකච්ඡාව දිගින් දිගට ම ගෙන යනු ලැබිණ. එසේ ගෙන යනු ලැබුවේ උද්යෝගයෙන් තොරව ම නො වේ. හැම විට ම සිදුවන පරිදි, කථිකයෝ තමන් ඒ වන විටත් ඉදිරිපත් කර ඇති තර්ක විතර්ක යළි යළිත් ඉදිරිපත් කළහ. එහෙත් එසේ කළේ අඩු පිළිවෙල් සහගත බවකිනි; පෙරට වඩා මධ්‍යස්ථ ආකාරයකට ය. මතභේදය දිග් ගැස්සුණි. කිසිවෙක් සිය මතය වෙනස් නො කළේ ය. එහෙත් මේ මත, අවසාන විග්‍රහයේ දී මත දෙකකට කුළු ගැන්වුණි. ඒවා නම් වැට උඩට වී බලා සිටීමට උපදෙස් දුන් සපෝර්ගේ සහ ලා පෙයාර්සොන්ගේ මතයත්, මැදිහත් වීමට අවශ්‍ය වූ ෆිනික්ස්ගේ සහ ලරිවේගේ මතයත් ය. මෙම ප්‍රතිවිරුද්ධ මත දෙක පවා, හමුදා නායකයන්ට සහ ඔවුන්ගේ යුක්තිය කෙරෙහි පැවති පොදු බද්ධ වෛරයෙනුත්, පයිරොට්ගේ අවිහිංසකභාවය පිළිබඳ පොදු විශ්වාසයෙනුත් ඒකාබද්ධ ව තිබුණි. ඒ අනුව, සියලු ම සමාජවාදී නායකයන් අනර්ථකර පයිරොට්වාදීන් වශයෙන් සැලකීිමේ දී, මහජන මතයට ඒ තරම් ම වැරදුණේ නැත.  විස්තර විෂයාතික්‍රාන්ත දෙය ප්‍රකාශ කිරීමෙහිලා කථාවට පුළුවන් වන්නේ යම් තාක් දුරට ද, ඒ තාක් දුරට කථාවට ප්‍රස්තූත වූත් ඔවුන් විසින් නියෝජනය කරනු ලැබුවා වූත් අති විශාල බහුජනතාව ගැන කියන්නේ නම්, තමන් දරන අදහස් මොනවාදැයි තමන්වත් නො දන්නා වූ නිර්ධන පංතිය ගැන කියන්නේ නම්, පයිරොට් සිද්ධිය ඔවුන්ගේ අවධානයට ලක් නො වූ බව පෙනී ගියේ ය. ඔවුන් හට එය බෙහෙවින් ම පණ්ඩිතමානි විෂයයක් වූයෙන් ද එය බෙහෙවින් ම සම්භාව්‍ය ශෛලියකින් ඉදිරිපත් වූයෙන් ද ඉහළ මධ්‍යම පංතිය සහ ඉහළ මූල්‍යකරුවන්ට ඔබින ස්වරයකින් යුතු වූවක් වූ හෙයින් ද එය ඔවුන්ට එතරම් ප්‍රියජනක නො වී ය.

 
 
                                    08


          කොලොම්බාන් නඩු විභාගය


  කොලොම්බාන් නඩු විභාගය ඇරඹෙන විට පයිරොට්වාදීහු තිස් දහසකට වැඩියෙන් නො සිටියහ. එහෙත් ඔවුහු හැම තැනක ම සිටියහ. පූජකයන් හා කෝටිපතියන් අතර පවා සිටියහ. ඔවුන්ට වඩාත් ම හානිදායක වූයේ, ධනවත් යුදෙව්වන් දැක් වූ සහානුකම්පාවයි. අනෙක් අතින්, සංඛ්‍යාව අතින් දුබල වීම නිසා ඔවුනට වටිනා ඵලප්‍රයෝජනයක් අත් විය. පළමුවෙන් ම ඔවුන් අතර සිටියේ මෝඩයන්ගේ බරින් හෙම්බත්ව සිටි විරුද්ධවාදීන් අතර වූවාට වඩා අඩු මෝඩයන්  සංඛ්‍යාවකි. දුබල අල්පතරයකින් සමන්විත වූ හෙයින් ඔවුහු පහසුවෙන් ම සහයෝගී වුහ; එක හිතින් ක්‍රියා කළහ. බෙදී යාම පිණිස පෙළඹවීමක් ඔවුනට නො වී ය. ඒ අනුව එකිනෙකාගේ යටිකූට්ටු ප්‍රයත්නයන් ව්‍යර්ථ කෙරුණි. කළ හැකි විශිෂ්ටතම දේ කිරීමේ අවශ්‍යතාව හැමෙකෙකුට ම හැඟුණි. පොදු ජනතාවගේ ඇස් හමුවේ වඩ වඩාත් දිස් වූ හෙයින් සිය හැසිරීමේ දී ඔවුහු වඩා පරෙස්සම් සහගත වූහ. අවසන් වශයෙන්, තව අනුගාමිකයන් දිනා ගැනීම කෙරෙහි බලාපොරොත්තු තැබීමට ඔවුනට හැම හේතුවක් ම තිබූ අතර, ආරම්භයේ දී විරුද්ධවාදීන් සමඟ හැම අයෙක් ම සිටි හෙයින් ඔවුන් සම්බන්ධයෙන් විය හැකි වු දෙය අනුගාමිකයන් අඩු වී යාම පමණි.

  ප්‍රසිද්ධ නඩු වාරයක දී විනිසුරුවන් හමුවට කැඳවනු ලැබූ කොලොම්බාන්, සැණෙකින් ම පසක් කර ගත්තේ, මේ විනිසුරුවන් සත්‍යය අනාවරණය කර ගැනීමෙහිලා උත්සුක නො වූ  බව ය  ඔහු කට ඇරීමත් සමඟ ම විනිසුරුවා ඔහුට නියෝග කළේ, වඩා උතුම් වූ රජයේ යහපත සලකා කට වසා ගන්නා ලෙස ය. උත්තරීතර වූ එම හේතුව කරණ කොට ගෙන ම, විත්තියේ සාක්ෂි ද නො විමසනු ලැබිණි. හමුදා නායක සෙන්පති පැන්තර් සිය පූර්ණ නිල ඇඳුමෙන් ද තමා සතු සකල සබ්බ පදක්කම්වලින් ද විභුෂිතව සාක්ෂි කුඩුවෙහි පෙනී සිටියේ ය. ඔහු මෙලෙසින් සාක්ෂි දුන්නේ ය. 
 
  “පයිරොට්ට එරෙහිව අපට සාක්ෂි මුකුත් නැත කියල අපකීර්තිමත් කොලොම්බාන් කියනව. ඔහු ඇදබාන්නේ බේගල්. අපට සාක්ෂි තියනව. මගේ ලේඛනාරක්ෂකාගාරයේ වර්ග යාර හත්සිය තිස් දෙකක ම ඒවා තියෙනව. එකක් රාත්තල් පන්සියය බැගින් වූ ඒවායේ මුළු බර රාත්තල් තුන් ලක්ෂ හැට හය දාහයි.” 
 
            ඉන්පසු එම ඉහළ නිලධාරියා ලාලිත්වයෙන් ද අනායාසයෙන් ද යුතුව එකී සාක්ෂි පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් කළේ ය.  
“ඒවා හැම පාටකින් හා හැම ධාරාවකින් ම යුතුයි. ඒවා හැම ආකාරයකින් ම යුතුයි. ඉතා ම කුඩා එක වර්ග අඟලකින් සියයට එකකටත් වඩා අඩුයි. විශාලතම එක දිගින් යාර හැත්තෑවයි; පළලින් යාර අනුවයි.”
  මෙම අනාවරණය කිරීමෙන් ප්‍රේක්ෂකයෝ සංත්‍රාසයෙන් ඇළලි ගියහ.
  සිය වාරය පැමිණි විට ග්‍රෙතාවුක් සාක්ෂි දීමට පැමිණියේ ය. වඩා චාම් වූත්, සමහර විට වඩා ශ්‍රේෂ්ඨ වූත් හේ, අළු පැහැති දිගු කබායක් පැළඳ, සිය දෑත් පිටුපසින් බැඳගෙන සිටියේ ය.  
“මම පවරනවා” ඔහු ඉතා සන්සුන් ව, තරමක් නැංවූ කට හඬකින් කීවේ ය.“ අපේ රට විනාශයේ අද්දරට ම ගෙනා ක්‍රියාවක් පිළිබඳ වගකීම මම කොලොම්බාන් පිට පවරනවා. පයිරොට් සිද්ධිය රහසිගතයි. එය රහසිගතව පැවතිය යුතුයි. එය අනාවරණය කළොත් අන්තිම නපුරු අසුභ දේ - එනම් යුද්ධ, කොල්ලකෑම්, ව්‍යසනයත්, ගිනි තැබීම්, සාගතයන්, වසංගත - ක්ෂණික ම මුළු පෙන්ග්විනියාව මත පුපුරා ඇද හැලෙනු ඇත. මා තව එක වචනයක් හෝ දෙඩුවොත් රාජද්‍රෝහිත්වය සම්බන්ධයෙන් මමත් වරදකරු යයි මම සිතනව.”

 යුද ඇමතියාගේ සාක්ෂි හමුදා නායකයාගේ සාක්ෂිවලට වවා විචක්ෂණ ලෙසත් වැඩි බරකින් යුතු වූවක් ලෙසත් දේශපාලන අත්දැකීම් සම්බන්ධයෙන් නම් දැරූ සමහර පුද්ගලයෝ සැලකූහ. ඔවුන් අතර බිගුර් ද විය.
 
  බ්වාහ්ෂොලිහි කර්නල්වරයාගේ සාක්ෂි දැඩි පැහැදීමක් ජනිත කළේ ය.  
එම නිලධාරියා මෙසේ කීය. “එක හැන්දෑවක යුද අමාත්‍යංශයේ දී අසල්වැසි බලවත් රටක තානාපති නිලධාරියෙක් මට කීවා, එයාගෙ රජතුමාගෙ ඉස්තාලයට ගිය අවස්ථාවක දී, එකවර ම හරි ම තුනී, හරි ම සුවඳ පිදුරු වර්ගයක් එයා  දැක්ක කියල. ඒවා ලස්සන ම ලස්සන කොළ පාටලු ! ඒවා එයා දැකල තියෙන ඉස්තරම් ම පිදුරුලු ! ඒවා ලැබුණෙ කොහෙන්ද කියල මම ඇහුවා. එයා උත්තර දුන්නෙ නැහැ. ඒවායේ සුලමුල ගැන මට නම් අබමල් රේණුවක සැකක් නැහැ. ඒවා තමයි පයිරොට් හොරකම් කරපු පිදුරු. පලා පාට වර්ණය, මුදු මොළොක්කම, සුගන්ධය කියන ගුණාංග අපේ ජාතික පිදුරුවල සුවිශේෂ ගුණාංගයයි. අසල්වැසි බලගතු රටේ පිදුරු දුඹුරු පාටයි; කැඩිල බිඳීයනසුලුයි. බිම පෙරළන කොට සටපට ගාලා සද්දෙ දානවා. දුවිලි ගන්දස්කාරෙ. ඒ අනුව යමෙකුට තමන්ගෙ නිගමන ඇති කර ගන්න  පුඵවන්.” 

 පයිරොට් වැරදිකරු යයි තමා විශ්වාස නො කරන බව සාක්ෂි කූඩුවට කැඳවනු ලැබූ ලෙප්ටිනන්ට් කර්නල් හේස්තෑංග් කියා සිටියේ ෂූ හඬ මැද්දේ ය. පොලිසිය සැණෙකින් ඔහු අල්ලා බන්ධනාගාරයක පතුළට ම තල්ලු කර දැමී  ය. පොළඟුන්, ගෙම්බන් සහ බිඳී කැබිලිති වූ වීදුරු මැදට වන් ඔහු ප්‍රතිඥාවන් සහ තර්ජන යන දෙකට ම අසංවේදී ව සිටියේ ය.  
තෝල්කයා හඬ නැඟී ය.
 
     දොන්තදිලින්ක්ස් හි පියෙර් මෝබෙක් සිටුතුමා” 
 
  ගැඹුරු නිහැඬියාවකි. ගරු ගාම්භීර ලෙස එනමුදු කිලිටි ලෙස ඇඳ පැළඳ සිටි, උඩු රැවුළ අහස දෙසට යොමු වූ, ඇස් නිලංකාර වන බැලුම් හෙඵෑ දෙනෙතින් යුතු වංශාධිපතියා සාක්ෂි කුඩුව වෙත පිය නඟනු දක්නට ලැබිණි.
   
කොලොම්බාන් වෙත එළඹි ඔහු විස්තර කළ නො හැකි තරම් වූ අවඥාවෙන් යුත් බැල්මක් ඔහු වෙත හෙළී ය.

  “මගේ සාක්කිය?” ඔහු කීය. “මෙන්න ඒක. අඩෝ අසූවියා”

  මෙවදන් නික්මීමත් සමඟ ම, මිනිසුන්ගේ හදවත් කළඹාලන්නා වූත් අති විශේෂ ක්‍රියාවන් සඳහා ඔවුන් පුබුදු කර ලන්නා වූත් අමන්දානන්දයකින් ප්‍රමුදිත ව මුළු සභා ශාලාව තොමෝ අත්පොළසන් දෙමින් නැඟී සිටියා ය. අන් වචනයකුදු තෙපළීමෙන් තොර ව මෝබෙක් ඉවත් ව ගියේ ය.
  
 පැමිණ සිටි සියල්ලෝ ම උසාවියෙන් නික්ම ඔහු පසු පස පෙළපාලියක් තුළ ගොණු වූහ. ඔහුගේ දෙපා මත වැඳ වැටුණු බොසනෝහි කුමරිය එය තරයේ වැළඳ ගති. එහෙත් හැඩි දැඩි වූත් අකම්ප්‍ය වූත් හේ, සැලෙන ලෙලෙන ලෙන්සු සහ ඉසෙන මල් මැදින් දිගට ම ගමන් කළේ ය. ඔහුගේ බෙල්ලේ එල්ලුණ ඔලිව් සිටුතුමිය නම් ඉවතට නො ගත හැකි විය. නිහඬ වීරයා තෙමේ ඇය ද දරා ගනිමින් ගමන් කළේ ය. ඇය සැහැල්ලු උතුරු සළුවක් මෙන් ඔහුගේ උරතලය මත පාවුණා ය.
  
  සැසිවාරය තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ අධිකරණය යළි රැස් වූ විට සභාපතිවරයා විශේෂඥයන් කැඳවී ය. 

    අත් අකුරු පිළිබඳ සුප්‍රකට විශේෂඥ වෙයර්මියාද්, සිය පර්යේෂණයේ ප්‍රතිඵල ඉදිරිපත් කළේ ය.
  
          ඔහු මෙසේ කීය. “පයිරොට් ගේ නිවසේ තිබී හමු වූ ලියවිලි, විශේෂයෙන් ම ගිණුම් පොත් හා ලොන්ඩරි බිල් පොත් ප්‍රවේශමෙන් අධ්‍යනය කිරීමෙන් පසු මට පෙනී ගියේ, පැහැදිලි ලෙස ම සාමාන්‍ය තත්ත්වයේ ඒවා නො වුණත්, විනිවිද දකින්න පුළුවන් රහස් ලේඛනයක් සකස් කර ඇති බවයි. කෙසේ වෙතත් එය සොයා ගැනීමට ඇති යතුර මම සොයා ගත්තා. හැම පේලියක ම ද්‍රෝහියාගේ අවලංකම දැක ගත හැකි විය. ලිවීමේ මෙම ක්‍රමය අනුව අබදට බීර වීදුරු තුනක් සහ ෆ්‍රෑන් දහයක් කියන වචනවල තේරුම නම්ල මම අසල්වැසි බලවතාට පිදුරු මිටි තිස් දහසක් භාර දුන්නා යන්නයි. මෙම ලියවිලිවලින් මේ නිලධාරියාට භාර දුන් පිදුරු තොගේ සංයුතිය තහවුරු කරන්න පවා මට පුළුවන් වුනා. යටි කබාය, ලාච්චු පොකට්, ලේන්සු, කොලර්, බීම, දුම්කොළ, සුරුට්ටු යන වචනවලින් කියවුණේ තණකොළ පිට්ටනි, තණකොළල කුප්පමේනියා, ඕට්, රයි කොළ යනාදියයි. පෙන්ග්වින් අශ්වාරෝහක හමුදාවට මෝබෙක් සිටුතුමා භාරදුන් පිදුරු තොගේ තිබුණෙ හරියට ම අන්න ඒවයි. මේ ක්‍රමය මඟින් පයිරොට් එයාගෙ අපරාධ, කවදාවත් හොයා නො ගත හැකි වේය කියලා එයා විශ්වාස කරපු භාෂාවකින් සඳහන් කළා. ඒ තරම් ම තීක්ෂ්ණකමක්, ඒ තරම් ම හෘද සාක්ෂිය නැතිකමක් දුටුව ම හරි ම වික්‍ෂෝහයට පත් වෙනව.” 
 කිසිදු සැහැල්ලු කොන්දේසියකින් තොර ව ම වරදකරු ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූ කොලොම්බාන් දරුණු ම දඬුවමකට බඳුන් කෙරුණි. ඔහු අන්තයට ම හුදකලා වූ සිර කුටියකට දමීමට නියම කෙරෙන ආඥාවකට විනිසුරුවෝ වහා අත්සන් තැබූහ.
  
  සියවස් දොළහක කාලයක් මුළුල්ලේ ඒ සා දැවැන්ත ඉතිහාසයක් දැක ගත්තා වූ ඉවුරුවලින් යුතු ගඟක දෙපැත්තෙහි වූ ප්ලාස් දී පලෙයි නම් ස්ථානයේ පනස් දහසක් මිනිස්සු ඝෝෂා කරමින් බලා සිටියහ. මෙහි පයිරොට් - විරෝධී සංගමයේ නායකයෝ වූහ. ඔවුනතර බෝසෙනෝ හි කුමරු, ක්ලේනා සිටුතුමා, ඔලිව් උප සිටුතුමා සහ තෲමෙල් මයා ද වූහ
  
  මෙහි ගෞරවාර්හ අගාරික පියතුමා ද ශාන්ත මායෙල් පාසලෙහි ගුරු ගෝල දෙපක්ෂය ද වූහ. දුයියා පියතුමා සහ සෙන්පති කරාග්වෙල් එකිනෙකා වැළඳ ගනිමින් උදාරතර සමාගමක් පැවැත් වූහ. පඩික්කම් ද ඉස්කෝප්ප ද කුළු ගෙඩි ද වතුර පිරුණ කේතල් ද රැගෙන මාරකැට්ටුවේ ස්ත්‍රීන් ද ලොන්ඩරිවල ස්ත්‍රීන් ද පොන්-වියෝ නැමැති පරණ පාලම හරහා දිව යනු දක්නට ලැබුණි. ලෝකඩ ගේට්ටුවක් ඉදිරිපස වූ පියගැට පෙළ මත අල්කා හි සියලු ම පයිරොට් සුරකින්නෝ, එනම් මහාචාර්යවරු, ලේඛකයෝල කම්කරුවෝ, කොන්සර්වේට්වාදීන් සමහරෙක්, අනෙකුත් රැඩිකල්වාදිහු සහ විප්ලවාවාදීහු රැස්කකා සිටියහ. තැකීමකින් තොරව පැළඳ සිටි ඇඳුම්වලින් ද ඔවුන්ගේ රුදුරු පෙනුමෙන් ද ෆීනික්ස්, ලරීවේ, ලාපෙයාර්සොන්, දා ගොබෙයාර් සහ වරාම්බියි සහෝදරවරුන් හඳුනා ගත හැකි විය. සිය අවමඟුල් ඇඳුම් තුළ මිරිකා සිර කරනු ලැබ සිටියා වූත්, සිය මගුල් තොප්පිය පැළඳ සිටියා වූත් බිදෝ-කොක්වියි තෙමේ, කොලොම්බාන් වෙනුවෙන් සහ හස්තෑංග් වෙනුවෙන් කරුණා භරිත ගණිතයෙහි ආශිර්වාදය යැද්දේ ය. මානිෆ්ලෝර් තොමෝ, ලයේනා වැනි ප්‍රතාපවත් ස්මාරකයක් වීමට ලැබීමට හෝ එපිකාරිස් මෙන් ඉතිහාසයේ වර්ණ ලබා ගැනීමට හෝ උත්සුක වෙමින්, ඉහළ ම පඩි පෙළ මතට වී, සිනහවෙන් බැබලි බැබලි ජ්වලිත වෙමින් සිටියා ය.
 
  ලෙමනේඩ් වෙළඳුන්, කැළි කසල වෙළඳුන්, ලටපට වෙළඳුන් ලෙසින් හෝ පයිරොට් - විරෝධීන් ලෙසින් පවා හෝ වෙස් වලා ගත් සත් සියක් පයිරොට්වාදීහු ද යෝධ ගොඩනැගිල්ල වටා කරක් ගසමින් සිටියාහු ය.
 කොලොම්බාන් එහි පැමිණි විට කෙවැනි වූ ගාලගෝටියන් හට ගැනුණි ද යත්, වාතයේ ද ජලයේ ද කැළඹීමෙන් පහර දෙනු ලැබූ පක්ෂීහු ගස්වලින් බිම පතිත වුහ; මත්ස්‍යයෝ ජලාශයන් හි පාවූහ.  
හැම දෙසින් ම කෙරෙන මොර ගැසීම් ඇසුණි.
 
  “කොලොම්බාත් මරපියව්! මරව්!! මරපියව්!!!”
  
  “යුක්තිය සහ ශක්තිය” යන හඩවල් කීපයක් ද ඇසුණි. මෙසේ ද කෑ 
ගසනු ඇසිණි.
  
  “හමුදාව භංගවේවා!”
 
   මෙය මාරාන්තික අරගලයකට කෙරුණ සංඥාව විය. සටන්කරුවෝ දහස් ගණනින් ඇද වැටුණහ. ඔවුන්ගේ දේහයන්ගෙන් විලාප දෙන සහ සැලෙන ගොඩැලි සකස් විය. ඒවා මත නව ශූර වීරයෝ එකිනෙකාගේ බෙලි මිරිකා හරිමින් සිටියාහුය. උද්යෝගීමත් වූත් මලානික වූත් කෙස් රැළි අවුලින් අවුලට පත්ව තිබුණා වූත් ස්ත්‍රීන් දත් මිටි කමින් සහ ප්‍රචණ්ඩ නියවලින් යුතුව මිනිසුන් මත යක්ෂාවේශ ව කඩා පැන්නේ කෙවැනි වූ ප්‍රීති ප්‍රමෝදයකින්ද යත්, දොර රෙදිවල සහ කොට්ටවල මුවාව තුල දී පවා ඔවුන්ගේ මුහුණුවල දැකිය හැකි පෙනීම අභිභවා නොයන දසුන්, ප්‍රසිද්ධ චතුරශ්‍රයේ පැවති දීප්තිමත් ආලෝකයේ අධාරයෙන් දැක ගන්නට ලැබුණි. ඔවුහු කොලොම්බාන් අල්ලා ගැනීමට, විකීමට, බෙල්ල මිරිකීමට, කැපීමට සහ ඉරා දැමීමට දිව යමින් සිටියාහු ය. එවිට උසැති වූත් සිය කබාය හේතුවෙන් ප්‍රතාපවත් වූත් මනිෆ්ලෝර් තොමෝ, ශාන්තව ද රෞද්‍රව ද මේ යම පල්ලන් හමුවේ පෙනී සිටියා ය. ඔවුහු බියෙනැළලි ඇය කෙරෙන් පලා ගියහ. කොලොම්බාන් ගැල වී ගිය බවක් පෙනී ගියේ ය. ප්ලාස් ද පලෙයි වෙතින් පලා යාමට මාවතක් හෙළි පෙහෙළි කරදීමෙහිලාත් පොන් වියෝ පාලමෙහි අගුවක නවතා තිබූ රථයට ඔහු නංවාලීමෙහිලාත් මහුගේ සහකරුවෝ සමත් වූහ. බොසෙනෝ හි කුමරු, ක්ලේනා සිටුවරයා සහ තෲමෙල් මයා රියදුරු තැන ඔහුගේ අසුනින් බීමට තල්ලු කර දමන විට, අශ්වයා ඒ වන විටත් මුළු ජවයෙන් දුවමින් සිටියේ ය. ඉන්පසු තිරිසනා පස්සට අදිමින් ද රෝදයේ දැති ඉදිරියට තල්ලු කරමින් ද ඔවුහු රථය පාලමේ බැම්ම වෙතට දිව වීී ය. එතැන දී ඔවුහු උන්මාදනීය ජන සමූහයාගේ ඔල්වරසන් හඬ මැද එය ගඟට පෙරළා දමූහ. මහා හඬක් නඟමින් මහ ජල කඳක් ඉහල නැංගේ ය. ඉන්පසු එම ජලධාරාව මත දිස් වූුූයේ අන් කිසිවක් නො ව කැකෑරෙන මඳ දිය සුළියක් පමණි.

   ඒ හා සැණෙකින් ම වාගේ දාගෙබෙයාර් සහ වරාම්බියි සහෝදරවරු, වෙස් මාරු කර ගෙන සිටි සත් සියක් පයිරොට්වාදීන්ගේ ද ආධාරය ඇතිව බොසෙනෝ හි කුමරු උඩුබැලි අතට හරවා ගඟේ පතුළට ම තල්ලු කර යැවූහ. ඔහු එතුළ අති ශෝචනිය ලෙස ගිලී ගියේ ය. 
 
  ශාන්ත රෑ යාමයක් “ප්ලාස් දී පලෙයි“ මත උදා වී, එය පුරා   පැතිර පැවති බියකරු සුන්බුන් මත නිහැඬියාව සහ සාමය පතුරුවා හළේ ය. ඒ අතර තුර, යාර තුන් දහසක් යට ජලධාරවෙහි ගිලී සිටි කොලොම්බාන් තෙමේ යාත්‍රාවක් මත සිටි කොර වූ මහලු අයකු අබියස වක ගැහී, ජන සමූහයාගේ අවිද්‍යාව සහ අසාධාරණත්වය පිළිබඳ ව ධ්‍යානයට සමවැද සිටියේ ය.
 
  හේ තමාට ම මෙසේ කියා ගති. “වැඩේ මං හිතුවට වඩා මාර කෙළියක් තමයි. අලුතින් ඇති වන කචල් මට දැන් කල් තියා ම පේනව” 

   ඔහු නැඟී සිට අසන්තුෂ්ටියෙන් යුක්ත ව තිරිසනා වෙත එළඹුණේ ය.

   “දුගී දුප්පත් යාළුවේ, උඹ උන්ට මක්ක කළා ද?” ඔහු කීය. “ඒ ගොල්ල උඹට ඔය තරම් කෲර විදියට සැලකුවේ මම නිසයි.” 
ඔහු අභාග්‍ය සම්පන්න තිරිසනා බදාගෙන උගෙ නළල් තලයෙහි වූ සුදු තරුව සිප ගත්තේ ය. ඉනික්බිති හේ උගේ කටකලියාවෙන් අල්ලා ගති. දෙදෙනා ම බකල ගසමින්, නිදි දෙව්දුව වැළඳ සිටි නගරය මැදින් සිය නිවස වෙත ගියහ. මනුෂ්‍ය වර්ගයා ගැන අමතක කරලීමට, එහි දී නිදි දෙව් දුව ඔවුනට ඉඩ ලබා දුන්නා ය.
 

                                           09

                             දුයියා පියතුමා
    

   ස්වකීය අපරිමිත දයානුකම්පාව හේතු කොට ගෙන ද බැතිමතුන්ගේ පොදු පියාණන් කළ යෝජනාව පරිදි ද බිෂොප් වරු, කැනන්වරු, විකාර්වරු, තාපසාරාමාධිපතිවරු, කියුරේටර්වර සහ පූජකවරු අල්කා දෙව් මැදුරෙහි ගරු ගාම්භීරාකාර දේව මෙහෙයක් පැවැත්වීමටත්, කිතුණු අධිරාජ්‍යයෙහි උත්තුංග දේශයන්ගෙන් එකක් වල්මත් කර ඇත්තා වූ දුක්ඛ දෝමනස්සයන් සමාප්තියකට පත් කර ලීමටත්, දෙවියන් හා ආගම පිළිබඳ ඇමතිවරුන්ට එරෙහි ව කෙරුණ අපරාධයන් වෙනුවෙත් පශ්චාත්තාපී පෙන්ග්විනයන් හට ක්ෂමාව භජනය කරමින් අනුග්‍රහ පරවශ වන මෙන් දිව්‍යමය අනුකම්පායණන්ගෙන් අයැද සිටීමටත් තීරණය කළහ.
  
  ජූනි පස් වැනි දා දේව මෙහෙය පැවැත්වුණි. සිය කාර්ය මණ්ඩලය විසින් පිරිවරනු ලැබූ සෙන්පති කරාග්වේල් පල්ලිය භාරකරුගේ මණ්ඩපයෙහි අසුන් ගෙන සිටියේ ය. රැස්ව සිටි ජන සමුහයා අති විශාල විය. උජ්ජ්වලිත විය. බිගුර්ගේ ප්‍රකාශයකට අනුව එය ජනාකීිර්ණ වියත උත්කෘෂ්ඨ විය. කෲචෝ කුමාරයාණන් වහන්සේගේ පුරෝහිතයා වූ බර්තියොසෙයි ඉදිරි පෙළෙහි ම දැක ගත හැකි විය. සාන්ත ග්‍රැන්සිස්කානු නිකායට අයත් ගෞරවාර්හ දුයියා පියතුමා නැඟීමට නියමිතව තිබූ ධර්මාසනය අසල, සිය නිල යෂ්ටිය මත දෑතින් කුරුසියේ ලකුණ සටහන් කර සාවධානි ආකල්පයකින් යුතුව සිටියේ, පයිරොට් - විරෝධී සංගමයේ මහා සම්භාව්‍ය පුද්ගලයන් වූ ඔලිව් වයිකවුන්ට්වරයා, තෲමෙල් මයා, ක්ලේනා සිටුවරයා, ඔම්පුල්හි අදිපාදයා සහ බොසෙනෝහි කුමරියයි. අගාරික පියතුමාණෝ ශාන්ත මායෙල්හි ගුරුගෝල භවතුන් සමඟින් පල්ලියේ නැගෙනහිර දෙසින් වූ අර්ධ ගෝලාකාර ගර්භයෙහි සිටියහ. දකුණු පසින් වූ හරස්කඩය සහ අන්ත:සරණිය නිල ඇඳුම් ලාගත් හමුදා නිළධාරින් සහ සොල්දාදුවන් හට වෙන් කරනු ලැබුවේ කුරුසිය මත මියැදෙද්දී ස්වාමි දරුවාණන් වහන්සේ සිය හිස දකුණට ඇළ කර ගෙන සිටි හෙයින් ඒ පැත්ත වඩා නම්බුකාර යයි සිතන ලද නිසා ය. වංශක්කාර පෙළැන්තියේ කුලඟණෝ වෙන් කර තිබූ අසුන්වල වාඩි ගත්හ. ඔවුනතර ක්ලේනා සිටුතුමිය ද ඔලිව් වයිකවුන්ට්වරිය ද බොසෙනෝහි කුමරිය ද වුහ. දැවැන්ත ගොඩනැගිල්ලෙහි සහ චතුරශ්‍රයෙහි පූජකයන් විසි දහසක් ද ගිහියන් තිස් දහසක් ද රැස් කකා සිටියහ. පාපනාශක සහ සහන ප්‍රසාදි උත්සවයන්ට පසුව, ගෞරවාර්හ දුයියා පියතුමා ධර්මාසනයට නැංගේ ය. මුල දී දම් දෙසුම භාර කර තිබුණේ අගාරික පියතුමන් හට ය. එහෙත් ඔහුගේ චතුර ධර්ම කථිකත්වය එසේ ම තිබිය දී. අවස්ථාවට ඔබින උද්වේගකාරීත්වයට සහ ධර්මානුශාසනයට ඔහු නොගැලපෙන්නේ යයි සලකනු ලැබූ හෙයින්, දෙවියන් වහන්සේටත් එතුමාණන්ගේ සර්වතෝභද්‍රතාවයටත් විරුද්ධ වූවන්ට එරෙහි ව බණ දෙසමින් සය මසක් මුළුල්ලේ බැරැක්කයන්හි අස්සක් මුල්ලක් නෑර කරක් ගැසූ වාදීභසිංහ කපුවිං තාපසතුමා ඔහු වෙනුවට තෝරා ගනු ලැබී ය.
  
  “එතුමාණෝ බලවන්තයන් ඔවුන්ගේ අසුන්වලින් පෙරළා දමූහ” යන්න සිය නිමිත්ත ලෙස ගනිමින් ගෞරවාර්හ දුයියා පියතුමා. සකල ලෞකික බලයේ ප්‍රභවස්ථානය සහ අවසානස්ථානය දෙවියන් වහන්සේ බවත්, ඒ වෙනුවෙන් දිව්‍යමයාණෝ නියම කර තිබෙන්නා වූ මාවත වෙතින් ද එතුමාණන් එය මෙහෙවන ඉලක්කයන් ද වෙතින් ද ඉවතට හැරුණ විට එතුමාණන් එය පරිහානියට යවා විනාශ කර දමන බවත් තහවුරු කළේ ය.  
ඔහු මෙම ශුද්ධ වූ නීතින් පේන්ග්විනියාවේ ආණ්ඩුවට ගලප්පාලමින්, රටේ පාලකයන් හට වළක්වා ලිය නොහැකි වූ හෝ පෙර දක්මට නො හැකි වූ හෝ නපුරුකම් පිළිබඳ ව දරුණු චිත්‍රයක් ඇන්දේ ය. ඔහු මෙසේ කීය. “මේ සියලු ම අභාග්‍යයන්ගේ, අවමානයන්ගේ ප්‍රථම කතුවරයා කවුරුන් දැ යි නුඹලා මනාව දන්නෙහු ය. හේ රකුසෙකි. ඔහුගේ ඉරණම ඔහුගේ නමින් ම දේව බලය මගින් ප්‍රකාශයට පත් කොට ඇත. එය ලබා ගෙන ඇත්තේ, පයිරොස් නමැති ග්‍රීක වචනයෙනි. එහි තේරුම ගින්න යන්නයි. මෙම නිරුක්තය මගින් සදාකාලික ඥානයාණන් අපට අනතුරු හඟවා සිටින්නේ, තමාව සාදරයෙන් පිළිගත්තා වූ රට යුදෙව්වකු විසින් ගිනිබත් කරනු ලබන බවයි.”
  
පල්ලියට වධ පමුණුවන්නන් විසින් වධ බන්ධනයන්ට පමුණුවනු ලැබුවා වූ රට රූපයට නැඟූ ඔහු, එය විඳින වද වේදනාවන්ගෙන් තෙමේ ද ඇඹරී යමින් මෙසේ හඬ නැඟී ය.
  “අහෝ ! විනාශය, අහෝ ! ප්‍රෞඩත්වය, මාගේ දෙවියන් වහන්සේ කුරුසියේ ඇණ ගැසුවෝ මා ද කුරුසියේ ලා ඇණ ගසන්නාහු ය.” 
 
  මෙම වදන්වලින් මු`ඵ සභා ගැබ ම දිගු වෙව්ලා යාමකින් ඇළලී ගියේ ය. 
මද මානයෙන් පිරුණ, අපරාධයන්ගෙන් දුර්වරණවත් වූ කොලොම්බානයා ජල ධාරාවෙහි ගිලී යන අයුරුත්, එහි වූ මුළු ජලස්කන්ධයෙන් හෝ ඔහු පවිත්‍ර කර ලිය නොහැකි බවත් ඔහු විස්තර කල්හි, විචිත්‍ර ධර්ම කථික තෙමේ වඩා විශාල අවඥාවක් උත්තේජනය කළේ ය. සමුහාණ්ඩුවේ ජනාධිපති උතුමාණන්ට සහ ගරු අග්‍රාමාත්‍ය තුමාට දොස් නගනු පිණිස, ඔහු පෙන්ග්විනයන් මුහුණ දුන් සකල සබ්බ නවනින්දාවන් සහ අතුරු අන්තරාවන් ගොණු කර දක්වී ය. 
 
  හේ මෙසේ ද කීවේය

. “සාවුල් ගිබියාහි දි පලස්තීනුවන් සමූලඝාතනය කළ පරිද්දෙන් ම, සත් සියක් පයිරොට්වාදීන්, උන්ගේ මිතුරන් හා ආරක්ෂකයන් සමඟින් සමූලඝාතනය නො කළ හෙයින්, බියගුලුකමේ තත්ත්වය පහත හෙඵෑ අර ඇමතිවරයා, දෙවියන් වහන්සේ විසින් ඔහු වෙත පවරන ලද බලය පාවිච්චි කිරීමට තමා නුසුදුස්සකු බවට පත් කර ගෙන ඇත. හැම යහපත් පුරවැසියකු ම මෙතැන් සිට ඔහුගේ පිළිකුල් කටයුතු ආණ්ඩුවට නිග්‍රහ කළ යුතු ය. ඔහු ව පිළිකුල් කරන්නවුන් දෙස ස්වර්ගයාණෝ අනුග්‍රහ පරවශශීලීව බලා කියා ගනු ඇත. එතුමාණෝ බලවන්තයන් ඔවුන්ගේ අසුන්වලින් බිම හෙලූහ. දෙවියන් වහන්සේ මෙම නිවට නියාලු නායකයන් පෙරළා දමා, තමාට යදින්නා වූ ශක්ති සම්පන්න මිනිසුන් උන් සිටි තැන්වලට දමනවා ඇත. මහත්වරුනි, මම නුඹලාට කියා සිටිමිිග මට සවන් යොමන නිලධාරිනිී, නිලතල නො දරන සොල්දාදුවනි, මම නුඹලාට කියා සිටිමිග පෙන්ග්වින් හමුදාවේ සෙන්පතියනි, මම නුඹලාට කියා සිටිමි. හෝරාව එළඹ තිබේ. නුඹලා දෙවියන් වහන්සේගේ නියෝගයට කීකරු නො වන්නේ නම්, නුඹලා එතුමාණක් වහන්සේගේ නාමයෙන් දැනට බලයේ සිටින්නවුන් පෙරළා නො දමන්නේ නම්, නුඹලා පෙන්ග්විනියාවෙහි ශක්තිමත් ආගමික ආණ්ඩුවක් නො පිහිටුවන්නේ නම්, එතුමාණන් විසින් වරදකරුවකු ලෙස විනිශ්චය කරනු ලැබ ඇති දෙය, දෙවියන් වහන්සේ විසින් කොහොමටත් වනසා දමනවා ඇත. එසේ ද වුවත් එතුමාණෝ ජනතාව ගලවා ගන්නාහ. එතුමා ඔවුන් බේරා ගන්නවා ඇත. එහෙත්, නුඹලා දුබල වන්නේ නම්, එතුමාණන් එය ඉෂ්ට ප්‍රාප්ත කර ගනු ඇත්තේ නිකම් ම නිකම් කම්මල්කාරයෙකු හෝ නිකම් ම නිකම් සිපයියකු හෝ මගිනි......... ඉක්මන් කරව්! හෝරාව ඉක්මණින් ම ගෙවී යමින් ඇත.” 
මෙම උද්වේගකර ධර්මානුශාසනාවෙන් කිතිකැවුණ හැට දහසක් වූ බැතිමත් ජනී ජනයා සියොළඟ ම වෙව්ලා යමින්, ධර්ම බල හඬ නඟමින් නැගී සිටියාහු ය. “අවි ගනු!” “අවි ගනු!” “පයිරොට්වාදීන්ට මරණය!” “කෲචෝට විජයග්‍රහණය!” ධර්මාසනයෙහි එසවී තිබූ අති මානුෂීය හස්ත රාජයා යට රැස් කකා සිටි ඔවුන් සියල්ලෝ ම - මහණුන්, ස්ත්‍රීන්, සොල්දාදුවන්, රදළයන්, ප්‍රභූන් හා හැබිචෝල්කාරයන් යන සියල්ලෝ ම -“ පෙන්ග්විනියාව සුරකිමු“ නම් වු ගීතිකාව ගැයූහ. ඔවුහු හණි හණික බැසිලිකා දෙව් මැදුරින් ඉවතට ගොස්, වීදි දෙවනත් කරමින්, පාර්ලිමේන්තුව වෙත පෙළපාලියෙන් ගියහ. 
 
  ජනතාවගෙන් හිස් වූ දෙවිමැදුර මධ්‍යයෙහි තට්ට තනි වූ, ප්‍රඥාවට සාගරයක් බඳු වූ කෝර්න්මියුසයෝ සිය දෑත් ස්වර්ගයට දෙසට විදහා, භග්න වූ ස්වරයෙන් මෙසේ මුමුණුහ.
  
“  මෙය අපව ගෙන යන්නේ කොයිබ දැ යි මම හොඳ හැටි දන්නෙමි.” 
 
  ව්‍යවස්ථාදායක මාලිගයට පහර දුන් ජන සමුහයා පලවා හරිනු ලැබූහ. පොලිසිය හා අල්කානු මුර භටයන් විසින් දරුණු ප්‍රහාරයකට ලක් කරනු ලැබූ ප්‍රහාරකයන් ඒ වන විටත් හිස් ලු ලු අප පලා යද්දී, මුඩුක්කු දෙස සිට දිව ආ ෆිනික්ස්, දාගොබයාර්, ලා පෙයාර්සොන් සහ වරාම්බායි විසින් මෙහෙයවනු ලැබූ සමාජවාදිහූ ඔවුන් මත්තෙහි කඩා පැන, ඔවුන්ගේ විනාශය සම්පුර්ණ කළහ. තෲමෙල් සහ ඔම්පුල් ආර්යාවෝ පොලිස් ස්ථානයට දක්කා ගෙන යනු ලැබූහ. බොසෙනෝහි කුමරු දරුණු සටනකින් පසු, පැලී ගිය හිස් කබලකින් යුතු ව ලේ වැකි පදික වේදිකාව මත හොත්තේ ය. 
 
  ජයග්‍රහණයෙන් මන්මත් වූ සහෝදරවරු අසංඛ්‍ය සංඛ්‍ය වූ පත්‍ර වෙළෙන්දන් සහ ලටපට විකුණන්ගෙන් සැදුණු ජන සමූහයා අතර සම්මිශ්‍රණය වෙමින්, ජයග්‍රාහී විලසින් මනිෆ්ලෝර් උසුලා ගෙන යමින්, “කෲචෝ භංගවේවා! විප්ලවයට ජයවේවා!” යනුවෙන් නඟන ඔල්වරසන් හඬ මධ්‍යයේ ආපන ශාලාවන්හි විදුරු කණ්නාඩි ද, වීදි ලාම්පුවල වීදුරු ද බිම හෙලමින්, මුළු රෑ මුළුල්ලේ විදි ඔස්සේ ඔබ මොබ සැරිසැරූහ. පයිරොට් විරෝධීහු ද සිය වාරය ලද විට පුවත් පත් වෙළඳසල් බිමට සමතලා කළහ: දැන්වීම් පුවරු ඉරා බිම හෙ`ඵෑහ.
  
  මෙම දර්ශනයන් තැන්පත් විචාර බුද්ධියට අනුමත නො කළ හැකි දේ විය. මංමාවත්වල යහපත් තත්ත්වය සුරැකීමට අවශ්‍ය වූ නාගරික බලධාරීන් දුක්ඛ දෝම්නස්සයට පත් කිරීමට ඒවා හේතු සාධක විය. එහෙත් හදවතක් ඇති මිනිසකු හට වඩාත් ම ශෝචනීය දෙය වූයේ, ප්‍රහාරයන්ට බියෙන් කඳවුරු දෙකෙන් ම එක හා සමානව දුරස්ථව වැට උඩ සිටියා වූත් සිය ආත්මාර්ථය හා බියගුලුකම පෙනී යාමට ඉඩ දුන්නේ වී නමුත් ස්වකීය හැඟුම්වල සත්ගුණවත්භාවය සහ ස්වකීය ආත්මයන්ගේ පාරිශුද්ධභාවය වෙනුවෙන් තමනට ජන කිතු ගොස ලැබිය යුතු බැව් කියා සිටියා වූත්, දෙපැත්ත කෑ ප්‍රයෝගකාරී තක්කඩියන් ය. ඔවුහු සිය දෑස්වල රට ඵෑණු අතුල්ලා ගත්හ. එක්තරා මුහුදු හතු විශේෂයක් මෙන් මුව අයාගෙන සිටියහ. සිය ලේන්සුවලට හොටු හිරූහ. සිය උදරයන්ගේ පතුළෙන් ම හඬ එළියට ගෙන එමින් මෙසේ ගෝරනාඩු කළහ.“ අහෝ! පෙන්ග්විනයිනි. මේ සහෝදර ඝාතක සටන නවත්වව්ි! හරියට, මත භේදවලින් තොර ව, කෝලාහල වලින් තොරව මිනිසුන්ට සමාජයෙහි ජීවත් විය හැකිවාක් මෙනි. හරියට සිවිල් ගැටුමක් ජාතික ජීවිතයේ සහ ප්‍රගතියේ අත්‍යවශ්‍ය කොන්දේසි නොවන්නාක් මෙනි. සාධාරණය හා අසාධාරණය අතර සම්මුතියක් ඇති කිරීමට යෝජනා කිරීම මගින් ද සිය අවංකකම තුළ දී සාධාරණ පුද්ගලයාගේත්, සිය දිරිමත් බව තුළ දී අසාධාරණ පුද්ගලයාගේත් සිත රිදවීම මගින් ද තමන්මත් වංචනික පුද්ගලයන් බව ඔවුහු පෙන්නුම් කළහ. මේ ප්‍රාණින් අතරින් අයකු වූ බියගුලු ශූරයක  වූ ධනැති බලැති මචිමෙල් ශෝකාකූලභාවය විදහාලන දවැන්තයකු මෙන් නගරය මත්තෙහි නැඟී සිටියේ ය. ඔහු හෙ`ඵෑ කඳුළු ඔහුගේ දෙපා අබියස විෂ වැවි තනාලී ය. ඔහු හෙ`ඵෑ සෝ සුසුම් ධීවරයන්ගේ බෝට්ටු ගිල්වා දැමී ය.
  
  මෙම චණ්ඩ මාරුතමය රෑ යාමයන්හි දී, ප්‍රභාශ්වර ගුවන් ගැබ යට සිය ඉපැරණි වාෂ්ප ඇන්ජිම මුදුුනේ ලැග සිටි බිදෝ කොක්වියි ඔහු සතු ඡායාරූප තහඩු මත උල්කාපාතයන් සනිටුහන් වෙද්දි, සිය හද තුළ ආත්ම වර්ණනයන්හි කිමිදුණි. ඔහු යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් සටන් කරමින් සිටියේ ය. ඔහු පෙම් කළේ ය. උත්තමාචාරයෙන් යුතුව ඔහුට පෙම් කරනු ලැබිණි. නිග්‍රහයන් සහ අවමානයන් මගින් ඔහු මේඝයන් වෙත ඔසවාලනු ලැබිණ. කොලොම්බාන් කෙර්දානික් සහ කර්නල් හස්තෑංග් සමඟ ඔහු සමාගමයෙහි යෙදී සිටින විකට චිත්‍රයක් පුවත්පත් වෙළඳසල්හි දක්නට ලැබුණි. ඔහු දවැන්ත යුදෙව් මුල්‍යකරුවන්ගෙන් ෆ්‍රෑන්ක් පනස් දහසක් ලැබූ බව පයිරොට්-විරෝධීහු ප්‍රකාශ කර සිටියහ. මිලිටරි පුවත්පත්වල වාර්තාකරුවෝ ඔහුගේ විද්‍යා දැනුම සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රවීණයන් වූවන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වූහ. ඔහුට තාරකා පිළිබඳ දැනුමක් නැතැයි ප්‍රකාශ කළ ඔවුහු, ඔහුගේ අතිශයින් ම දෘඪතර වූ නිරීක්ෂණයන් විවාදයට ලක් කළහ. ඔහුගේ ඉතා ම ස්ථිර වූ සොයාගැනීම් ප්‍රතික්ෂේප කළහ. ඔහුගේ අතිශයින් ම බුද්ධිමත් වූත් ඵලදායී වූත් කල්පිත ප්‍රස්තූතයන් හෙළා දුටහ. වෛරයෙන් ද ඊර්ෂ්‍යාවෙන් ද ජනිත වූ මෙකී ඉච්ඡා සහගත ප්‍රහාරයන්ගෙන් ඔහු ප්‍රමුදිත විය. 

  අසූ හාර දහසක පහන් වැටක් මගින් විනිවිදිනු ලැබූ කලු පැහැති අනන්ත අපරිමිතබව ඔහු විසින් අවලෝකනය කරනු ලැබුවේ, දැඩි නිද්‍රාශීලිත්වයන් ද කෲරතර නින්ද නොයෑම් ද කමකට තැති ස්වප්නයන් ද ජරා වූ ප්‍රීති ප්‍රමෝදයන් ද ශ්‍රේෂ්ඨ පුරවරයක අඩංගු වන අපරිමිත ලෙස විවිධ වන්නා  වූ දුක් වේදනාවන් ද ගැන සිතුවිලි මාත්‍රයකුදු ඇති නො කරමිනි. 
 
“මෙම යෝධ පුරවර  යෙහි සාධාරණය අය ද අසාධාරණ අය ද සටනට එකතු වෙමින් සිටිති” යි ඔහු තමාට ම කියා ගත්තේ
 ය. 

 බහුවිධ අශික්ෂිත යථාර්ථය වෙනුවෙන් සරල වූත් උත්කෘෂ්ඨ වූත් කාව්‍යයක් ආදේශ කරමින්, පයිරොට් සිද්ධිය හොඳ සහ නරක දේවදූතයන් අතර සටනක් ලෙස ඔහු තමාට ම පෙන්නුම් කර ගති. ආලෝකයේ පුත්‍රයන්ගේ සදාකාලික විජයග්‍රහණය ඇති වන තෙක් බලා සිටි ඔහු, රෑයාමේ දරුවන් අවුල් කරන්නා වූ දිවා යාමේ දරුවකු වීම ගැන තමාට ම සුභාශිංසනය කර ගති.

  



                                         10 

                      ෂෝස්පීද් විනිසුරු
 
 මේ තාක් බියෙන් අන්ධව සිටියා වූත් දුයියා පියතුමාගේ කණ්ඩායම හා කෲචෝ පාක්ෂිකයන් හමුවේ පරෙස්සමි සහගත නො වූත් මුග්ධ වූත් සමුහාණ්ඩුවාදීහු, අන්තිමේ දී සිය දෙනෙත් හැර පියා පයිරොට් සිද්ධියේ සැබෑ සුල මුල වටහා ගත්හ. වසර දෙකක් මුළුල්ලේ ම  දේශප්‍රේමී  ජන සමූහයාගේ කෑ ගැසීම්වලින් ම්ලානික වි සිටි මන්ත්‍රීවරුන් වඩා එඩිතර වූවා හෙම නො වේ. සිය බියගුලුකම වෙනස් කළා පමණි. තමන් ම දුන් අනුමැතියෙන් දිරි ගැන්වුන ව්‍යාකූලත්වය සම්බන්ධයෙන් රොබින් මියෝ හට ඔවුහු දොස් පැවරූහ. එම ව්‍යාකූලත්වය ජනිත කළවුන් හට කීප වතාවක දී ම ඔවුහු නීච ලෙස සුභාශිංසනය කළහ. සැබැවින් ම තමන් සතු ව තිබූ දුබලත්වය මගින් ද තමන් විසින් ම ඔහු මත ආරෝපණය කරනු ලැබූ නිවටත්වය මගින් ද සමුහාණ්ඩුව අනතුරට ලක් කිරීම සම්බන්ධයන් ඔවුහු ඔහුට චෝදනා කළහ. පයිරොට්ගේ වරද නො ව ඔහුගේ අවිහිංසකකම ගැන විශ්වාස කිරීම තමන්ගේ ම යහපත පිණිස නො වූයේ දැ යි සැක පහළ කිරීමට සමහරු පටන් ගත්හ. එම අසංතුෂ්ටිමත් මිනිසා වැරදි ලෙසකින් විනිශ්චයට ලක් කරනු ලැබ තිබිය හැක යන සිතුවිල්ලෙන් ද අන් අයකුගේ අපරාධයක් වෙනුවෙන් ඔහු විඳවනවා විය හැක යන සිතිවිල්ලෙන් ද ඔවුහු එවක් පටන් මනස්තාපයට පත් ව සිටියහ. “මට ඒ වැඩේ නිසා නින්ද යන්නෙත් නැහැනෙ” යි කීමට  ග්වියොමෙක් ඇමතියාගේ  බහුතරයට අයත් වූ සාමාජිකයෝ ගණනාවක් ම පුරුදු වූහ. එහෙත් ඔවුහු සිය ප්‍රධානියාගේ තැනට දිෂ්ඨිය දමා ගෙන සිටි යශස්කාමීහු වූහ.

   මෙම සත්ගුණවත් ව්‍යවස්ථාදායකයෝ කැබිනට් මණ්ඩලය පෙරළා දමූුහ. සමුහාණ්ඩුවේ ජනාධිපතිවරයා, රොබින් මියෝගේ ස්ථානයට එල්ලා හැලෙන රැවුළක් සහිත ජ්‍යෙෂ්ඨ සමුහාණ්ඩුවාදියකු පත් කළේ ය. නමින් හේ ලා ත්‍රිනිතේ විය. බොහෝ පෙන්ග්විනයන් මෙන් ම ඔහු ද සිද්ධිය පිළිබඳ කිසිවක් අවබෝධ කර නොගත්තෙකි. එහෙත් බොහෝ මහණුන් ඒ සිද්ධිය තුළ පැටලී සිටි බැව් ඔහු සිතී ය.
  
  සෙන්පති ග්‍රෙතාවුක් යුද අමාත්‍යංශය හැර පියා නික්ම යාමට පෙරාතුව හමුදා ප්‍රධානියා වූ පැන්තර් හට සිය අවසන් අවවාදය දුන්නේ ය.
 
         “මම යනව, ඔබ ඉන්න” ඔහුට අතට අත දුන් හේ කීය. “පයිරොට් සිද්ධිය මගේ දියණියයි. මම ඇය ඔබේ භාරයට පත් කරනව. ඇය ඔබේ ප්‍රේමයත් ඔබේ සැලකිල්ලත් ලැබීමට සුදුසුයි. ඇය හරි ම පියකරුයි. ඇගේ රූප සම්පත්තිය ලොල් වඩන්නේ ආවරණය වී ඇති දෙයට බවත්, ගුප්ත දෙයින් ඈ ප්‍රීති ප්‍රමෝදයට පත්වන බවත් ආවරණය වී සිටීමට ඈ කැමති බවත් අමතක කරන්න එපා. මුදු මොළොක් ලෙස, විළිබිය රැකෙන පරිදි ඇයට සලකන්න. ඕනෑවට වඩා අනුවණ බැල්ම හෙලීම්වලින් දනටමත් ඇගේ රූප ශෝභාව කෙළසලයි තියෙන්නේ......... පැන්තර්, ඔබට සාක්ෂි ඕන වුණා. ඔබ ඒවා ලබා ගත්තා. ඔබ ළඟ ඒවා බහුලවල ඕනෑවටත් වඩා බහුලව තියෙනව. බොහෝ ම ආයාසකර මැදිහත් වීමි සහ බොහොම අවදානම් සහගත කුතුහලයන් ඇති වන බව මට පේනවා. ඔබේ තැන ඉන්නේ මම නම්, මම ඔය ලියවිලි ඔක්කොම විනාශ කරල දානව. මාව විශ්වාස කරන්න, හොඳ ම සාක්ෂිය තමයි, මොන ම සාක්ෂියක්වත් නොතිබීම. කිසි ම කෙනෙක් හාරා අවුස්සල නොබලන එක ම සාක්ෂිය එයයි.”

   අහෝ! සෙන්පති පැන්තර් මෙම අවවාදයේ විචක්ෂණතාවය අවබෝධ කර නො ගති. අනාගතය පරිපූුර්ණ අයුරින් සාධාරණය කළේ ග්‍රෙතාවුකයන්ගේ තීක්ෂ්ණ ප්‍රඥා මහිමයයි. ලා ත්‍රිනිතේ පයිරොට්  සිද්ධියට අදාළ ලියවිලි ඉල්ලා සිටියේ ය. ජාතික ආරක්ෂාව පිළිබඳ උත්තරීතර අවශ්‍යතාවයන් හේතු කොට ගෙන ඒව ලබා දීම ඔහුගේ යුද ඇමති පෙනීෂ් ප්‍රතික්ෂේප කළේ ය. ඔහු එසේ කළේ පැන්තර් භාරයේ වූ ලියවිලි ලොව විශාලතම ලේඛන කන්දරාව බව කියා සිටිමිනි. ලා ත්‍රිනිතේ තමාට හැකි තරම් හොඳින් කාරණය අධ්‍යයනය කළේ ය. කාරණයේ පතුළට ම කිඳා බැසීමෙන් තොර ව ම එහි අක්‍රමිකතාවයන් ඇති බවට ඔහුට සැක පහළ විය. එවිට තමා සතු අයිතින්ට සහ විශේෂ බලතල වලට අනුකූලව යමින්, නව නඩු විභාගයක් පැවැත්විය යුතු යැයි ඔහු නියෝග කළේ ය. සැණෙකින් ම ඔහුගේ යුද ඇමතියා, හමුදාවට අවමාන කිරීම සහ රට පාවා දීම පිළිබඳව ඔහුට චෝදනා නඟමින්, සිය ඇමති පදවිය ඔහුගේ හොම්බට ම දමා ගැසීය. දෙවැන්නකු මගින් ඔහු ඉවත් කෙරුණි. ඔහු කළේ ද එය ම ය. ඔහුට පසු තෙවැන්නකු පත් කෙරුණි. ඔහු ද පූර්වාදර්ශය ම අනුකරණය කළේ ය. ඔහුට පසු පත් කෙරුණ හැත්තෑවක් දෙනා රණකාමී ඇමති පට්ටම්වල බරින් යට වී ලා ත්‍රීනිතේ කෙඳිරි ගාන තෙක් ම, තම තමන්ගේ පූර්වගාමීන් අනුව ම ක්‍රියා කළහ. හැත්තෑ එක් වැනි යුද ඇමතියා වූ වෑන් යුලෙප් තනතුරෙහි රැඳුණි. ඔහු ඒ සා බහුල වූත් ඒ සා වංශාධිපති වූත් සිය සගයන් සමඟින් එකඟ වූවා හෙම නො වේ. එහෙත් එසේ රැඳුණේ සිය ගරු අග්‍රාමාත්‍ය තුමා පාවා දීමටත්, නව නින්දාවන් ඔහු මත අතුරා ලීමටත්, ග්‍රෙතාවුක්ගේ කීර්තිය පිණිස ද පයිරොට් විරෝධීන්ගේ සංතෘප්තිය පිණිස ද මහණුන්ගේ ලාභය පිණිස ද කෲචෝ කුමරු ප්‍රතිෂ්ඨාපනය කරනු පිණිස ද නඩු විභාගය වෙනතකට යොමු කරලීමටත් ඔවුන් විසින් ඔහුට නොමසුරු ලෙස ගතමනාව දෙනු ලැබ තිබූු හෙයිනි.
 
  සෙන්පති වෑන් යුලේප් උසස් මිලිටරි ගුණාංගයන්ගෙන් හෙබියේ වී නමුත්, ග්‍රෙතාවුකයන් සතුව තිබූ සියුම් චර්යාවන් සහ කෝමළ ක්‍රම උපයෝගි කර ගැනීමෙහිලා තරම් විචක්ෂණ නො වී ය. සෙන්පති පැන්තර් මෙන් ම ඔහු ද සිතුවේ පයිරොට්ට එරෙහි ව නියත සාක්ෂි අවශ්‍ය බවත්, ඒවා කොයිතරම් තිබුණ ද කිසිදා ඒවා ඕනෑවට වඩා වැඩි නොවන බවත්, කොපමණ තිබුණත් කිසිදා හෝ ඒවා ප්‍රමාණවත් නො වන බවත් ය. ඔහු මෙම හැඟීම සිය හමුදා ප්‍රධාතියාට ප්‍රකාශ කර සිටියේ ය. එම අදහස සමඟ එකහ වීමට ඔහු ද කැමැත්ත දක්වී ය.

  “පැන්තර් ල අපි දැන් ඉන්නෙ සාක්ෂි බහුල වශයෙන් තියෙන, බහුල ම බහුල වශයෙනුත් අවශ්‍ය මොහොතකයි” ඔහු කීවේ ය.

  “සෙන්පති තුමනි, ඔබට ප්‍රමාණවත් තරම් ඒවා තියෙනව,” පැන්තර් පිළිතුරු දුනි. “මම මගේ ලියවිලි කන්දරාව සම්පූර්ණ කරන්නම්.” සය මසක් ඉකුත් වූ කල්හි, පයිරොට්ට එරෙහි සාක්ෂිවලින් යුද අමාත්‍යාංශයේ මහල් දෙකක් පිරී ගියේ ය. මිටිවල බරින් සිවිලිම කඩා වැටුණි. අශ්වාරෝහකයන්ගේ කෙස් වැටියක මෝස්තරයට අනුව ලියවිලි අඩුක්කු කිරීමෙහි වෙනසක් කරමින්, බිම් මහලේ වැඩ කරමින් සිටි ප්‍රධාන ලිපිකරුවෝ දෙදෙනෙක් ද සාමාන්‍ය ලිපිකරුවෝ දහ හතර දෙනෙක් ද පිටපත් කරන ලිපිකරුවෝ හැට දෙනෙක් ද ලියවිලි පතනය හේතු කොට ගෙන චප්ප වී ගියහ. දැවැන්ත ප්‍රාසාදයේ බිත්ති වලට මුක්කු ගැසීමට සිදු විය. එය පසු කර ගමන් කරන්නෝ ගොඩනැගිල්ලේ තේජාන්විත ඉදිරිපසට ප්‍රතිවිරුද්ධව නෙරා ගිය දැවැන්ත පරාළ සහ අද්භූතාකාර මුක්කු දෙස විස්මිතව නෙත් දල්වා ලූහ. දැන් දැන් ඒවායේ පුරුක් ගැලවෙමින් කඩා හැඵණි. වීදි අවුරාලීය; රථ වාහන නවතාලීය. තමන් හමුවේ පමුණුවන ලැබූ බාධකයන්ට මෝටර් රථ මුහුණ දුන්නේ සිය මගීන් සමඟින් ඒවායේ හප්පා ලීමෙනි.
  
  පයිරොට් වරදකරු බවට පත් කළ විනිසුරුවෝ, ඇත්ත ම කථා කරනවා නම්, විනිසුරුවන් නො ව සොල්දාදුවෝ වූහ. කොලොම්බාන් වරදකරු කළ විනිසුරුවෝ නම් සැබෑ විනිසුරුවෝ වූහ. එහෙත් ඔවුන් අයත් වූයේ වඩා පහළ ශ්‍රේණියකට ය. පල්ලියේ චිත්‍රධරයන් මෙන් ඔවුන් පැළැන්දේ වැරහැලි වී ගිය කලු වස්ත්‍ර ය. ඔවුහු අවාසනාවත් කාලකන්නි විනිසුරුවෝ වුහ; අභාග්‍ය සම්පන්න අගුටුමිට්ටෝ වූහ. ඔවුහු සිය කලු පැහැති යට ගවුම් උඩින් විනිසුරු කබා පැළඳූහ. දැනුම් සම්භාරය සහ න්‍යාය ධර්මය සම්බන්ධයෙන් ප්‍රකට වූු මොවුන්ගෙන් අධිකරණය සැදුම් ගති. ඔවුන්ගේ දරුණු නම් වලින් ම බලය ප්‍රකාශයට පත් විය. එය හැඳින්වුණේ අභියාචනා අධිකරණය නමිනි. එසේ හැඳින්වුණේ විනිශ්චයන් සහ අන් සකලවිධ අධිකරණ නියෝගයන් මත එල්ලෙමින් තිබු මිටිය එය බව පැහැදිලි කරලනු පිණිස ය.  
ශ්‍රේෂ්ඨාධිකරණයේ එක් ඉහළ රතුපාට විනිසුරුවකු වූ ෂෝස්පීිද් නමැත්තා, අල්කාහි උප නගරයක නිහතමානී නිසසල දිවි පෙවෙතක් ගෙවී ය. ඔහුගේ ආත්මය ශුද්ධ විය. ඔහුගේ හදවත අවංක විය. ඔහුගේ ජීවය සාධාරණ වියග ඔහු සිය ලියවිලි අධ්‍යනය කිරීම අවසන් වූ විට වීණාව වැයීමටත් හයසින්ත් වගාවේ යෙදීමටත් පුරුදුව සිටියේ ය. හැම සෙනසුරාදාවක ම ඔහු සිය අසල්වැසි හෙල්බිවෝර් මෙනෙවිය සමඟින් රාත්‍රී භෝජනය ගති. ඔහුගේ මහලු විය ආනන්දජනක විය. ඔහුගේ සුසිල්වත්භාවය නිතර ම පාහේ ඔහුගේ මිතුරන්ගේ පැසසුමට ලක් විය. 
 
  එසේ ද වුවත් මාස කීපයක සිටම හේ ප්‍රකෝපකාරී විය. වහා කිපෙනසුලු විය. ඔහු පුවත් පතක් විවෘත කළ විට, ඔහුගේ පළල් රක්ත වර්ණ මුහුණ දොම්නස් සහගත රැළිවලින් වැසී කෝපාවිෂ්ඨ දම් වර්ණයකින් අඳුරු වී යයි. එයට හේතුව පයිරොට් ය. අසල්වැසි සතුරු බලවතකුට මිලිටේරි පිදුරු මිටි අසූු දහයක් භාර දීමට තරම් වූ ත්‍රාඩ අපරාධයක් නිලධරයකු විසින් කරනු ලබන්නේ කෙසේ දැ යි ෂෝස්පීද් විනිසුරුතුමාට තේරුම් ගත නො හැකි විය. මෙවන් තක්කඩියකුට පෙන්ග්විනියාව තුළ නිල ආරක්ෂකයන් ඇති විය හැක්කේ කෙසේ ද යන්න ඔහුට තේරුම් ගියේ ඊටත් වඩා අඩුවෙනි. සිය රටේ පයිරොට් කෙනෙකු, කර්නල් හස්තෑංග් කෙනකු සිටින්නේ ය යන සිතුවිල්ල ම ඔහුගේ වයලීනයත්, ඔහුගේ ස්වර්ගයත්, ඔහුගේ පෘථිවියත්, මුළු මහත් සොබා දහමත් හෙල්බිචෝර් මෙනවිය සමඟ ඔහු වළඳන රාත්‍රී භෝජනය පවාත් සවුත්තු ම සවුත්තු කර දම්මේ ය .
 
 මේ අතර, භාණ්ඩාගාරය සුරකින්නා විසින් පයිරොට් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පමුණුවනු ලදුව, එය විභාග කිරීමත් එහි හුරස් පරස් තිබේ නම් ඒවා සොයා ගැනීමත් ෂෝස්පිද් හට පැවරුණි. මිනිසකුට විය හැකි තරම් සෘජු සහ අවංක වූයේ වී නමුත්, බියෙන් හෝ පක්ෂග්‍රාහිත්වයෙන් හෝ තොරව සිය අධිකරණ බලතල ක්‍රියාවට දැමීමේ දිගු පළපුරුද්දක් මගින් පුහුණු කරනු ලැබ සිටියේ වි නමුත්, නියත වරදකාරීත්වය පිළිබඳවත් සුපැහැදිලි අපරාධකාරීත්වය පිළිබඳවත් සාක්ෂි තමා වෙත ඉදිරිපත් කෙරෙන ලියවිලි තුළින් දැක බලා ගැනීමට ඔහු මෙහි දී අපේක්ෂා කළේ ය. සෙන්පති වෑන් යුලෙප්ගේ පැත්තෙන් එල්ල වූ දීර්ඝ දුෂ්කරතාවන්ගෙන් සහ යළි යළිත් කෙරුණ ප්‍රතිෂේධ කිරිම වලින් අනතුරුව, ලියවිලි පරික්ෂා කර බැලීමට විනිසුරු ෂෝස්පීද්ට ඉඩ ප්‍රස්ථාව හිමි විය. අංක යෙදූ සහ කෙටිසන් යෙදූ එම ලියවිලි සංඛ්‍යාව එක් කෝටි හතලිස් පන් ලක්ෂ විසි හය දහස් තුන්සිය දොළහක් විය. ඒවා විභාග කරත් කරත් විනිසුරු තෙමේ පුදුමයෙන් පුදුමයට පත් විය; ඉන්පසු විමතියෙන් විමතියට පත් විය. ඉන්පසු සිහිමඳ තත්ත්වයට පත් විය; මා එසේ ප්‍රකාශ සිටීමට සැහැසි වන්නේ නම්, හේ තක්බීර් වූයේ ය. ඔහු එම ලිපි අතරින් අලුත් ලටපට වෙළඳ සැල් පිළිබඳ විස්තර පත්‍රිකා ද පුවත්පත් ද මෝස්තර තහඩු ද සිලි සිලි බෑග් ද පැරණි ව්‍යාපාරික ලිපි ද අභ්‍යාස පොත් ද බ්‍රවුන් පේපර් ද බිමට අල්ලන කොළ පැහැති කඩදාසි ද කාඩ් පත් ද ප්‍රස්ථාරයන් ද  “ සිහිනවලට යතුර“ නම් වූ පොතේ පිටපත් හැට දහසක් ද සොයා ගත් නමුදු, පයිරොට් පිළිබඳ අබමල් රේණුවක තරම් සඳහනක් සහිත වූ එක ම ලියවිලි කැබැල්ලක්වත් එහි නො වී ය.  
 



                                                11 
අවසානය 

අභියාචනයට ඉඩ ලැබුණි. පයිරොට් ඔහුගේ කුඩුවෙන් ඉවතට ගෙන එනු ලැබී ය. එහෙත් පයිරොට් - විරෝධීහු තමන් පරාජය විණැයි නො සිතූහ. පයිරොට් යළි විනිශ්චයට ලක් කෙරුණේ මිලිටරි විනිසුරුවන් විසිනි. මෙම දෙවැනි නඩු විභාගයේ දී ග්‍රෙතාවුක් තමාවත් අභිභවා ලීය. ඔහු දෙවෙනි නඩු තීන්දුවක් ලබා ගති. ඔහු එය ලබා ගත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරුණ සාක්ෂි කමකට නැති බවත් හොඳ සාක්ෂි, ඒවා රහසිගත ව තබා ගත යුතු හෙයින්ල ඉදිරිපත් නො කිරීමට හොඳ හැටි වග බලා ගත් බවත් ප්‍රකාශ කිරීම මගිනි. විචක්ෂණයන්ගේ මතය අනුව ඔහු කිසිදා එවන් කෞශල්‍යයක් දක්වා නොමැත. උසාවියෙන් නික්ම යන විට, ඔහු සාන්ත දාන්ත පියවර තබමින්, අත් පිටුපසින් බැඳගෙන වාසල තුළින් ගමන් ගන්නවාත් සමඟ ම, විසිතුරු නරඹමින් සිටි ජන සමූහයා අතරින්, රතු පැහැති ඇඳුමින් සැරසණු කාන්තාවක් මන්නයක් ලෙලවමින් ඔහු වෙත දිව ගියා ය.

  “මැරියන්, තක්කඩියා!” ඇය මොර දුන්නා ය. ඒ මනිෆ්ලෝර්ය. සිදු වන්නේ කිමෙක් දැ යි එහි සිටියවුන් අවබෝධ කර ගැනීමට පෙරාතුව ම, සෙන්පතියා ඇය ඇගේ ඉඟටියෙන් අල්ලා, සුපැහැදිලි මුදු බවකින් යුක්ත ව එය කෙවැනි වූ දැඩි බවකින් මිරිකී ද යත්, ඇගේ වේදනාකාරී අතින් මත්තය ගිලිහී බිම වැටුණි. 

   ඉන්පසු ඔහු එය අහුලා ගෙන මනිෆ්ලෝර් අතට දුන්නේ ය

 ‘නෝනා’ ප්‍රණාමයකින් යුක්තව ඔහු පැවසී ය. “ඔබ මුළුතැන්ගෙයි උපකරණයක් බිම දැම්මනෙ.”
  
  වීරවරිය පොලිස් ස්ථානයට කුදලා ගෙන යාමෙන් වළක්වාලීමට නම් ඔහුට හැකි වූයේ නැත. එහෙත් ඔහු වහා ඇය නිදහස් කර ගති. පසුව ඇයට එරෙහි ව නඩු පැවරීම නවතා ලීමට ඔහු තමා සතු සකල බලයක් ම යෙදුවේ ය. 
 
පයිරොට් පිළිබඳ දෙවෙනි තීන්දුව ග්‍රෙතාවුක් ලද අවසන් ජයග්‍රහණය විය.

        පෙර කල සොල්දාවන් හට ඒ සා ප්‍රිය කළ, ඔවුන්ගේ සර්ව සාධාරණත්වය ඒ සා ඉහලින් ගරු බුහුමනට ලක් කළ විනිසුරු ෂෝස්පිද්, දැන් දැන් මිලිටරි විනිසුරුවන් කෙරෙහි කෝපාවිෂ්ඨව. ඔවුන්ගේ තීන්දුව නිෂ්ප්‍රභ කළේ වඳුරකු ඇට කඩන්නාක් සේ ය. ඔහු දෙවෙනි වරටත් පයිරොට් පුනරුත්ථාපනය කළේ ය. අවශ්‍ය විණි නම්, ඔහු පන්සිය වතාවක් වුව පයිරොට් පුනරුත්ථාපනය කරනවා ඇත.
 
 බියගුල්ලන්ව සිටීම කෙරෙහිත් තමන්ව මුලා කරනු ලැබීමට හා සෙල්ලමකට ගැනීමට ඉඩ දෙනු ලැබීම කෙරෙහිත් වියරුහුණු සමූහාණ්ඩුවාදීහු මහණුන්ට සහ පූජකයන්ට එරෙහි ව හැරුණාහ . මන්ත්‍රීවරු ඔවුන්ට එරෙහිව පලවා හැරීමේ නීිති ල වෙන් කිරීමෙි නීති සහ කොල්ලකෑමේ නීති සම්මත කළහ. කෝර්න්මියුස් පියතුමා කල්තියා දුටු දේ ම සිදු විය. එම යහපත් මහණා කෝනිල්ස් වනයෙන් පලවා හැරුණි. භාණ්ඩාගාරයේ නිලධාරිහු ඔහුගේ උඳුන් සහ බඳුන් රාජ සන්නක කළහ. ගනුදෙනු බේරා දැමීමේ නිලධාරීහු ඔහු සතුව තිබු සාන්ත ඔර්බෙරෝසියානු කසිප්පු බෝතල් තම තමන් අතරේ බෙදා ගත්හ. සැදැහැවත් කසිප්පු පෙරන්නා හට, ඔහු සිය නිෂ්පාදනයන්ගෙන් ලද ෆ්‍රෑන්ක් තිස් පන් ලක්ෂයක ආදායම අහිමි ව ගියේ ය. අගාරික පියතුමා සිය පාසල ගිහියන් අතට පත් වන්නට ඉඩ හැර පිටුවහල් වී ගියේ ය. ගිහියෝ එය ඉක්මණින් ම වැනසී යාමට ඉඩ හළහ. සිය කිරි මව වූ රජයෙන් වෙන් කරනු ලැබූ පෙන්ග්විනියානු පල්ලිය, නෙ`ඵෑ මලක් පරිද්දෙන් ක්ෂය වී ගියේ ය.
 
        අහිංසකයාගේ විජයග්‍රාහි ආරක්ෂකයෝ දැන් දැන් එකිනෙකාට ආක්‍රෝශ පරිභව බෙණෙමින්, අපහාස අවමානයන්ගෙන් එකිනෙකා මාරුවෙන් මාරුවට යටපත් කර දමූහ. හැඩි දඩි කෙර්දානික් තෙමේ ෆීනික්ස් මත්තෙහි වැද හොත්තේ, හරියට ම ඔහු ගිල දැමීමට සැරසී සිටියාක් සේ ය. ධනවත් යුදෙව්වන් සහ සත් සියක් පයිරොට්වාදීන් තමන් අතීතයේ දී යටහත් පහත් ව ආයාචනයන් කරමින් ආධාර ඉල්ලා යැද සිටි සමාජවාදී සහෝදරවරුන් වෙතින් වෙන්ව ගියේ අවඥා සහගතව ය.

 “අපි දන් උඹලව හඳුනන්නේ නැහැනෙ” යි ඔවුහු කීහ. “උඹලත් උඹලගෙ සමාජ සාධාරණයත් යකාට පලච්චාවේ ! සමාජ සාධාරණය යනු දේපළ සුරැකීමයි.”
  මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූත් නව බහුතරය ලෙස තෝරා ගනු ලැබුවා වූත් ලරිවේ සහෝදරයා මන්ත්‍රී මණ්ඩලය මඟින් ද ජන මතයෙන් ද ගරු අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැනුණිග තමා පයිරොට් හට දඩුවම් දුන් මිලිටරි උසාවිිවල ධෛර්ය සම්පන්න ආරක්ෂකයකු බව ඔහු පෙන්නුම් කළේ ය. රජයේ සේවකයන්ට මෙන් ම කම්කරුවන්ට දල වඩා වැඩි සාධාරණයක් හා නිදහසක් දෙන ලෙස ඔහුගේ පැරණි සහෝදරවරු ඉල්ලා සිටි විට, විචක්ෂණ කථාවක් පවත්වමින් ඔහු ඔවුන්ගේ යෝජනාවන්ට විරෝධය පෑවේ ය.  
  “නිදහස” ඔහු කීවේය. “නිදහස ලයිසමක් නෙවෙයි. සංවරය සහ අසංවරය අතරින් මම මගේ තේරීම කරලා හමාරයි. විප්ලවය බෙලහීනයි. ප්‍රචණ්ඩත්වයට වඩා දරුණු හතුරෙක් ප්‍රගතියට තවත් නැහැ. මහත්වරුනි, ප්‍රතිසංස්කරණයට කැමති මං වගේ අය, අන් හැම දෙයකට ම පෙර, ලෙඩ වී සිටින අයව උණ මගින් විනාශ කරල දානව වගේ ල ආණ්ඩුව දුර්වල කරන මේ උද්ඝෝෂණ නිට්ටාවකට සුව කරන්න කටයුතු කළ යුතුයි. අවංක පුද්ගලයන් යළි අස්වසාලීමට දැන් කාලය එළඹ තිබේ.”

  මහා ඔල්වරසන් හඬකින් මෙම කථාව පිළිගනු ලැබිණ. සමුහාණ්ඩුවේ ආණ්ඩුව මුල්‍ය සමාගම්වලට යටත් ව පැවතුණි. හමුදාව ප්‍රාග්ධනයේ ආරක්ෂාව වෙනුවෙන් මුළුමණින් ම කැප ව සිටියේ ය. නැව් කණ්ඩායම මුළුමණින් ම යොමුව තිබුණේ පතල් හිමියන් හට අලුත් ඇණවුම් ලබා ගනු පිණිස ය. බදු වලින් තමන් ගෙවිය යුතු කොටස ගෙවීම ධනපතියන් ප්‍රතික්ෂේෂ කළ හෙයින් දුගීහු අතීතයේ දී කළ පරිදි ම, ඔවුන් වෙනුවෙන් ද බදු ගෙවුහ.
  
  මේ අතර සිය පැරණි වාෂ්ප ඇන්ජිම මුදුනේ සිට රෑ යාමේ තරු සමුහයා යටට වන් බිදෝ - කොක්වියි, නිදි දෙව් දුව වැළඳ සිටි නගරය දෙස නෙත් හෙළී ය. මනිෆ්ලෝර් ඔහු අත්හැර දමා ගොසිනි. නැවුම් භක්තියකින් ද නව කැපවීමි සඳහා වූ ආශාවන්ගෙන් ද භරිත වූ ඇය, සාධාරණය ඉටු කරනු පිණිසත්, ඉන් පලිගැනීම පිණිසත් තරුණ බල්ගේරියානුවකු සමඟින් සොපියා නුවරට පලා ගියා ය. කලින් සිතා සිටියාට වඩා හැඩය අතිනුත් ඇය අඩු බව සිද්ධියට පසු පසක් කරගත් ඔහු, ඇය ගැන පසුතැවුණේ නැත. අන් බොහෝ හැඩ රුව පිළිබඳවත්, අන් බොහෝ සිතුවිලි පිළිබඳවත් ඔහුගේ හැඟීම් ඒ අයුරින් ම වෙනස් වුණි. අන් සියල්ලටමත් වඩා ඔහුට ඉවසා වදාළ නොහැකි වුයේ, තමා කලින් විශ්වාස කර ගෙන සිටියාක් මෙන් තමා එතරම් ම ශ්‍රේෂ්ඨ නොවන බවත්, ඒ සා විශිෂ්ඨ නොවන බවත් දැන් ඔහුට වැටහීයාම ය.

  හේ තමාට ම මෙසේ කියා ගන්නට විය. “ඔබ ළඟ අවංකභාවය සහ හොඳ හිත පමණක් ඇති විට ඔබ උත්තුංග යයි ඔබ කල්පනා කරනවා. ඔබ ආඩම්බර වුණේ කුමක් ගැන ද, බිදෝ-කොක්වියි? පයිරොට් අහිංසකයෙක් බවත්, ග්‍රෙතාවුත් තක්කඩියෙක් බවත් දැන ගත්තු ප්‍රථමයන් අතරින් එක් අයෙක් වීම ගැනයි. ඒ වුනත් පයිරොට්වාදීන් හත් සිය දෙනයි ග්‍රෙතාවුක් ආරක්ෂා කළ අයගෙන් හතරෙන් තුනකුයි ඒ වග ඔබට වඩා හොඳින් දැන සිටියනෙ. එහෙම නම් ඒ ගැන ඔබ ඔය තරම් ආඩම්බර වුණේ මොකක් ගැන ද? ඔබ හිතපු දේ නොවලහා එඩිතරව කියපු එක ගැන ද? ඒක සාමාන්‍ය නිර්භීතභාවයග මිලිටරි නිර්භීතභාවය වගේ ම ඒකත් අමනකමේ ප්‍රතිඵලයක්ග ඔබ අනුවණවයි හිටියේ. ඒ තරමට හොඳයි. ඒත් ඕනෑවට වඩා ඔබ ව වර්ණනා කරන්න තරම් ඒක හේතුවක් නොවෙයි. ඔබේ අනුවණකම සුළු දෙයක්. ඒක ඔබව සුළු අනතුරුවලට යොමු කෙරුවා. ඒකෙන් ඔබේ බෙල්ල ගහල යන අනතුරකට ඔබ ලක් වුණේ නැහැ. ඉස්සර සිදු වුණ ඔවුන්ගේ විප්ලවවලට ඛේදජනක විශිෂ්ටත්වයක් ලබා දුන් කෲර ලේ පිපාසිත සාඩම්බරකම පෙන්ග්විනියාවට දැන් අහිමි වෙලා. එය විශ්වාසයයි චරිත ස්වභාවයයි දුර්වල වීමේ ප්‍රතිඵලයක්. අශික්ෂිතයන්ට වඩා ටිකක් වැඩි පැහැදිලි දැක්මක් පෙන්නපු පලියට යමෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් විදිහට පෙනී සිටිිය යුතු ද? බිදෝ කොක්වියි, ඊට ප්‍රතිවිරුද්ධව මට නම් පේන්නෙ, ජනතාවගේ සදාචාරාත්මක සහ බුද්ධිමය වර්ධනයේ තත්ත්වයන් ගැන වැරදි වැටහීමක් තිබෙන බවට සාක්ෂියකුයි ඔබ ඉදිරිපත් කරලා තියෙන්නෙ. සමාජ අසාධාරණයන් මුතුවැලක් වගේ එකට ඇමිණිලා තිබෙන බවත්, මුළු මාලෙ ම ගලවල දාන්න ඒකෙන් එක ඇටයක් ගලවා දමීම ප්‍රමාණවත් ය කියලත් ඔබ හිතුවා. ඒක හරි ඥාන දර්ශන සංකල්පයක් තමයි. එක වැරෙන් ම ඔබ ඔබේ රටේිත් විශ්වයේත් සාධාරණත්වය පිහිටුවනවය කියල ඔබ ඔබට ම පාරට්ටු කර ගත්තා. ඔබ නිර්භීත මිනිහෙක්; අවංක විඥානවාදියෙක්. ඒ වුනත් ඔබ ඒ තරම් ප්‍රායෝගික දර්ශනයකින් තොරයි. ඒත් ඔබ එක හිතකින් ගෙදර යන්න. ඔබ තුළ ද්වේෂයේ අංශු මාත්‍රයක් හරි තිබෙන බවත්, ඔබේ අවංකභාවය වංකභාවයෙන් තොර නොවූවක් බවත් ඔබට පෙනේවි. ඔබ හිතාවි ඔබ හොඳ සදාචාරාත්මක ක්‍රියාවක් කරනවය කියා. ඔබ ඔබට ම කිව්වා. මෙන්න මම! සදාකාලයට ම සාධාරණ ධීර වීර මිනිහා කියල. මම මෙතැන් සිට ජනතා බුහුමන් ලබමින්, ඉතිහාසඥයන්ගේ වර්ණනාවන් ලබමින් ඉන්නව කියලා. දැන් ඔබේ මිථ්‍යාවන් නැතිභංගස්ථාන වෙලා. වැරදි හරි ගස්සන එක මොන තරම් දුෂ්කර ද කියල දැන් ඔබ දන්නවා. කර්තව්‍යය මුල ඉඳල ම අලුතින් පටන් ගන්න ඕන බව ඔබ දැන් දන්නවා. ඒ නිසා, ඔබ ඔබේ තාරකා ශාස්ත්‍රය වෙත ආපසු යන්න. ඔබ හරි. හැබැයි ඔවුන් වෙත යන කොට විලිබිය ඇති ව යන්න, හරි ද බිදෝ කොක්වියි!  
 
 
 
  








                             ග්‍රන්ථය 7 

           නූතන සමය - චෙරෙස් ආර්යාව

  දරා සිටිය හැක්කේ අන්තවාදී දේ පමණි-රොබෙයාර් ද මොන්තේස්ක්වී
  
                                 1 
         ක්ලොරෝන්ස් ආර්යාවගේ විසිත්ත කාමරය 
 
සමුහාණ්ඩුවේ ඉහළ නිලධරයකුගේ වැන්දඹු භාර්යාව වූ ක්ලරෝන්ස් ආර්යාව ප්‍රිය සම්භාෂණ පැවැත්වීමෙහිලා අභිරුචියක් දක්වූවා ය. ඇය හැම බ්‍රහස්පතින්දා දිනක ම, තමා හා සම මට්ටමේ මිතුරන් කීප දෙනකු එක් තැන් කර ගත්තී ය. ඔවුහු කථාබහ කිරීමෙන් අපමණ ආස්වාදය ලබන්නෝ වූහ. ඇය බැහැදක්මට ගිය කාන්තාවෝ විවිධ වයස් ප්‍රමාණයන්ට සහ විවිධ තරාතිරම් වලට අයත් වුහ. සියල්ලෝ ම මුදල්වලින් තොර අය වූහ. බෙහෙවින් දුක් ගැහැට විඳි අය වූහ. පේන කියන්නියක් ලෙස පෙනුණ ආදිපාදිවරියක් ද ආදිපාදිවරියක් ලෙස පේන පේන කියන්නියක් ද ඔවුනතර සිටියහ. ක්ලරෝන්ස් ආර්යාව පැරණි සබඳතාවයන් පවත්වා ගෙන යාමටත් නව සබඳතාවයන් ඇති කර නොගැනීමටත් වග බලා ගත්තී ය. පොදුවේ ගත් කල, ඇය නිහඬ ගරු සරු බවක් අත්කර ගත්තී ය. ඈ හට සොබමන් දියණියක් වූවා ය.  ඇය සතුව දෑවැද්දක් නො තිබු හෙයින් පිරිමි අමුත්තන් අතර ඇය ජනනය කළේ සංත්‍රාසයකිග මන්ද යත්, පෙන්ග්විනයන් යක්ෂයා කෙරෙහි බිය වූ පරිද්දෙන් මල තිබිය යුතු අංගයන්ගෙන් අඩක් පමණක් තිබූ ගැහැණු ළමුන් කෙරෙහි ද බිය වු හෙයිනි. ඔවුන් අයින් ගසා සිටීීමේ කරුණ සනිටුහන් කර ගත්, එයට හේතුව ද පසක් කර ගත් එව්ලින් ක්ලරෝන්ස් ශෝකි සුසුම්ලෑමකින් යුතුව ඔවුන් වෙත තේ බන්දේසියක් පිළිගැන්වීමට පුරුදුව සිටියා යග තවද, ඇය ප්‍රිය සම්භාෂණයක දී කලඑළියට පැමිණියේ කලාතුරකිනි ත කථා කළේ කාන්තාවන්ට හෝ ඉතා තරුණ අයට හෝ  පමණි. ඇඟ බේරාගන්නාසුලු ඈලි මෑලි දුබල ගතියෙන් යුතු ව ඇය පෙනී සිටීම හේතුවෙන්, කතාාබහට සීමා බන්ධන නම් ඇති නො වී ය. මන්ද යත්, එක්කෝ ඇය එම කතාබහ අවබෝධ කර කර ගත හැකි තරම් තරුණ කෙල්ලක ලෙස හෝ නැති නම් විසි පස් හැවිරිදි වූ හෙයින්ල ඇය හැම දෙයකට ම ඇහුම්කම් දෙනවා විය හැක යනුවෙන් හෝ සම්භාෂණයට සහභාගි වූවන් සිතු හෙයිනි
.  
  එහෙයින්, එක් බ්‍රහස්පතින්දාවක ක්ලරෝන්ස් ආර්යාවගේ විසිත්ත කාමරයෙහි සිදු වූ කතාබහ ප්‍රේමය කෙරෙහි යොමු විය. කුලකතුන් ඒ ගැන කථා කළේ සාඩම්බරයෙනි; මුදු මොළොක්ව ය; ගුප්තභාවයෙන් යුතුව ය. පිරිමින් ඒ ගැන කථා කළේ විවේක බුද්ධියෙන් සහ මුග්ධභාවයෙන් යුතුව ය. හැම කෙනෙක් ම කතාබහ කෙරෙහි ඉමහත් උනන්දුවක් දැක්වූහ. මන්ද යත්, හැම දෙනා ම ඔහු හෝ ඇය හෝ කී දේ ගැන උනන්දුව දැක් වූ හෙයිනි. උපහාසය දෝරේ ගලා ගියේ ය. ප්‍රභාශ්වර දේශනයන් පැවැත්වුණි. සියුම් මුඛරි කියමින් පිළිතුරු වශයෙන් ආපසු එල්ල වුණි. එහෙත් මහාචාර්ය හඩොක් කථා කිරීමට පටන් ගත් විට, ඔහු අන් සියල්ලන් ම යටපත් කර දැමී ය. 

   “ආදරය ගැන අපේ මේ නෝනල දරණ අදහස්, වෙන ඕන ම කාරණයක් ගැන අපි දරන අදහස් වගේමයි. ඒවා රඳා පවතින්නෙ, අපේ මතකයෙන් නැත්තට නැතිව ගොස් තියෙන සිරිත් විරිත් මතයි. සදාචාරයට අදාළ කරුණු වලදි, තවදුරටත් පැවැත්ම සඳහා තිබුණු හේතු සාධක නැතිවෙලා ගිහින් තියෙන සීමා බන්ධනයන්, කිසි ම කමකට නැති වගකීම්ල ඉතාමත් ම කුරිරු, ඉතාමත් හානිදායක සීමාවන්, එම කරුණු වල ඇති අන්තිම පෞරාණික භාවය නිසාත්, ඒවායේ සම්භවය සම්බන්ධයෙන් ඇති ගුප්තභාවය නිසාත් අඩුවෙන් ම විවාදයට ලක් වෙන දේවල්ග ඒවා අඩුවෙන් ම විවාදයට ලක් කළ හැකි දේවල් වෙනවා වගේ ම ඉතා ම ගරු බුහුමන් ලබන දේවල්ග   ඉතා ම දරුණු දෝෂාරෝපණයන්ට ලක්වෙන්නෙ නැති ව උල්ලංඝනය කරන්න බැරි දෙවල් තමයි ඒවා. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයන්ට අදාළ සියලු ම සදාචාර ගුණාංග පදනම් වී තිබෙන්නේ මෙන්න මේ ප්‍රතිපත්තිය මතයි. වරක් ස්ත්‍රියක් ලබා ගත් විට, එම ස්ත්‍රිය පුරුෂයාට අයිතියිග හරියට ම තමාගේ අශ්වයා හරි ආයුධ හරි ඔහුට අයිති වෙනව වගේ ම ඇයත් ඔහු සතු දේපළක්. මේක සත්‍ය තත්ත්වය වීම නැවතුනා ම, ඒකෙන් හරි ම හරි විකාර සහගත දේවල් ඇති වෙනවග අයිතිකාරයාට තියෙන අයිතිය ක්‍රමානුකූලව හීන වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති කෙරෙන හිමිකම පිළිබඳ අයිතිය සීමා කරන වගන්ති ඇතුළත්, මිනිහෙකුට ගැහැණියක් විකුණන විවාහය, නැතිනම් විකිණීමේ ගිවිසුම වැනි විකාර ඇති වෙනව.  
“තරුණියක් ඇගේ කන්‍යාභාවය සිය ස්වාමි පුරුෂයා වෙත ගෙන යා යුතු ය කියන වගකීම, විවාහ වයසට පත් වුණ වහා ම තරුණියන් විවාහ කරලා දුන් කාලවල ඉඳල පැවත එන්නක්. අවුරුදු විසි පහෙන් හරි තිහෙන් හරි විවාහ    වන තරුණියන් මේ වගකීමට යටත් කිරීම ලෝක විහිළුවක්. සමහර විට ඔයගොල්ල කියාවි අන්තිමේ දී ඇය ඒක රැගෙන ආවොත්, ඒක ඇගේ ස්වාමි පුරුෂයා ජොලියට පත් කරන තෑග්ගක් ය කියල. ඒත් අපිට හැම තිස්සෙ ම පේනව, මිනිස්සු විවාහක කාන්තාවන්ට ප්‍රේම කරමින්, තමන්ට ඔවුන් හමුවෙන ආකාරයෙන් ම ඔවුන් ව ඇර ගෙන නියමෙට තෘප්තිය ලබන හැටි. 
 
  “ඒ විතරක් නෙවෙයි. ඉතාමත් ම බලගතු රණකාමියා වන දෙවියන් වහන්සෙත් බහු භාර්යා සේවනයේ යෙදෙන්නෙක් ය, මිනිසුන්ට ලබා ගන්න පුළුවන් එතුමාණන් අත් හරින අයව පමණක් ය කියල කියවෙන හණ මිටි කාලේ විශ්වාස මගින් තමයි, තරුණියකගේ වගකීම ආගමික සදාචාරයට අනුකූලව තීරණය කෙරෙන්නෙ. මේ දැන් කාලෙත් ඒක තීරණය වෙන්නේ එහෙමයි. ශුඪවාදී උපමාවන් ගණනාවක් තුළ ඒකෙ සලකුණු තවම පැවතුණත්, මේ විශ්වාසය ඉතා ම ශීලාචාර ජාතීන් විසින් අත්හැර දාලයි තියෙන්නෙ. එහෙම වුනත්, අපේ උපාසකයන්ගේ විතරක් නෙවෙයි, අපේ නිදහස් මතධාරින්ගේ ගැහැණු ළමයි ලබන අධ්‍යාපනය තුළ තවමත් ඒක ආධිපත්‍යය දරනව. නිදහස් මතධාරීන් රීතියක් විදියට ම හිතන්නෙ නිදහස්ව. හේතුව ඒගොල්ල කොහොමටවත් හිතන්නේ නැති හින්දා.

  “අභිමතය කියල කියන්නෙ වෙන් කර ගැනීමටත්, අවබෝධ ගැනීමටත් තියෙන හැකියාවටයි. තරුණියක් කිසි ම දෙයක් නොදැන ඉන්නව නම් අපි කියනව එයා හරි ඥානවන්තයි කියලග අපි ඇගේ නොදනුවත්කම වගා කරනවා. අපි කොයිතරම් ප්‍රවේශම් කළත් ඒ හැම එකක් ම නො තකමින්, ඉතාමත් ම ඥානවන්ත අය පවා ඒක ගැන යම් කිසි දෙයක් දන්නවා. මොකද අපිට බැහැනෙ ඒ ගොල්ලන්ගේ ස්වභාවයයි, හැඟීමුයි හංගන්න. ඒත් ඔවුන් ඒව දන්නෙ නරක  විදියටයි. මේ සියල්ල අපි අත් පත් කර ගත්තෙ අපේ මහා පරෙස්සම සහගත අධ්‍යාපන ක්‍රමයෙන් තමයි.”
“මහත්මයා” අල්කාහි මහා භාණ්ඩාගාරික ජෝසප් බුර්තුලේ හදිසියේ ම කීය. “මාව විශ්වාසයට ගන්න. අහිංසක ගැහැණු ළමයි, ඉතා ම අහිංසක ගැහැණු ළමයි ඉන්නවා. ඒක හරි ම අනුකම්පා කටයුතු කාරණයක්. මම දන්නවා ඒ ගොල්ලන්ගෙන් තුන් දෙනෙක් ම. ඔවුන් විවාහ වුණා. ප්‍රතිඵලය ඛේදජනකයි.”

  මහාචාර්ය හඩොක් දිගට ම කථා කර ගෙන ගියේ ය“ මම මෙන්න මේක සටහන් කර ගෙන තියෙනව. සාමාන්‍යයෙන් යුරෝපියයොත්, විශේෂයෙන් ම පෙන්ග්විනයොත් ක්‍රීඩාවෙයි මෝටර් රථ එළවීමෙයි හැරුණු විට ප්‍රේම කිරීමට තරම් අන් කිසි ම දෙයක නොයෙදෙන වග. ඔවුන් අති විශාල බරක් දානව, ඉතා ම අඩු බරක් තියෙන කාරණයකට.”
  
  “එහෙනම් මහාචාර්ය තුමනි” ක්‍රෙමයාර් ආර්යාව හිරවෙන හඬකින් හඬ නැඟුවා ය. “කාන්තාවක් මුඵමණින් ම ඔබට වසඟ වුණා ම ඔබ හිතනවද ඒක වැදගත්කමක් නැති කාරණයක් ය කියල.” 
 
  “නැහැ ආර්යාවනි. ඊට වැදගත්කමක් තිබෙන්න පුළුවන්. ඒත් ඇය අපට වසඟ වුනා ම, ඇය අපට පිරිනමන්නේ ප්‍රණීත පළතුරු වත්තක් ද, නැත්නම් කටුයි මලුයි තියෙන ඉඩමක් ද කියල පරික්‍ෂා කර බැලීම අවශ්‍යයි. අනෙක අපි වචන වැරදි විදියට පාවිච්චි කරනවා නෙවෙයි ද? ප්‍රේම කරන කොට, කාන්තාවන් තමන් ව දෙනවට වඩා තමන්ව ණයට දෙනව. බලන්න ඔය සුරූපී ආර්යාව දිහා....”

  “ඈ මගේ මව” උස් ශෝභන තරුණයෙක් කීවේ ය.
  
  “මහත්මයා, මම ඇයට බොහෝ ම ගරු කරනව.” මහාචාර්ය හඩොක් පිළිතුරු දුන්නේ ය.“ ඇයට මදි පුංචිකමක් වන කිසියම් දෙයක් මම කියාවිය කියල බය වෙන්න එපා. ඒත් මෙන්න මේක කියන්න මට ඉඩ දෙන්න. රීතියක් වශයෙන් ගත්ත ම, තමන්ගේ මව්වරුන් ගැන පුතුන් දරන අදහස් මත නො රැඳිය යුතුයි. මවක් මවක් වන්නේ ඇය ආදරය කරන නිසා පමණක් බවත්, එහෙම  වුනත් ප්‍රේම කිරීමට ඇයට තවදුරටත් හැකියාව ඇති බවත් ඔවුන් ප්‍රමාණවත් තරමින් සැලකිල්ලට ගන්නෙ නැහැ. කොහොම වුනත් සැබෑ තත්ත්වෙ නම් එහෙම ම තමයි. ඒක එහෙම නොවුන නම් එය හෙලා දැකිය යුතුයි. අනෙක් අතට, ආදරය කිරීමට මව සතු හැකියාව හරි එම හැකියාවෙන් ඔවුන් ඵල ප්‍රයෝජන ගන්න හැටි හරි සම්බන්ධයෙන් දූවරුන් නම් රැවටෙන්නෙ නැති බව මම හොඳ හැටි නෝට් කර ගෙනයි තියෙන්නෙ ඔවුන් තරගකාරියො. ඔවුන් තමන්ගේ ඇස් ඔවුන් මත රඳව ගෙන ම තමයි ඉන්නේ.“
  
  අවලක්ෂණභාවයට නොහොබිනාකම ද අශිෂ්ටත්වයට ගරු සරු නැතිකම ද එකතු කරමින්  , අනුචිතභාවය එක් රැස් කරමින් ල ගරු කටයුතු දෙය අවමානයට ලක් කරමින් ල පිළිකුල් කටයුතු දෙයට ගරු බුහුමන් කරමින්  බඩ දඟලවන මහාචාර්යයා දිගට ම දෙසා ගෙන ගියේ ය. එහෙත් කිසිවෙක් තවදුරටත් ඔහුට ඇහුම්කන් නො දුන්හ.  
මේ අතරතුර, අනුග්‍රහයෙන් තොර වූ කාමරයක් තුළ, ප්‍රේමයෙන් තොර වීම නිසා ශෝකාකූල වූ කාමරයක් තුළ, සියලු ම තරුණ ගැහැණු ළමුන්ගේ කාමර මෙන් ම යමක් අපේක්ෂාවෙන් සිටින සිසිල් වාතවරණයක් වැනි දෙයකින් යුතු කාමරයක් තුළ හුදෙකලා වූ එවිලින් ක්ලරෝන්ස්, ඉහළ සමාජය සමඟ යම් දැන හැඳුනුම්කමක් ඇති කර ගනු පිණිස සමාජ ශාලාවල වාර්ෂික සඟරාවන්හි සහ පරෝපකාර සංගම්වල විස්තර පත්‍රිකාවන්හි පිටු ඒ අතට මේ අතට පෙරළමින් සිටියා ය. සිය බුද්ධිමය, එනමුදු දුගී ලොව ඇතුළත දොරගුළු ලා ගෙන සිටින සිය මවට තමා ගොඩ ගැනීමට හෝ ඉදිරි පෙළට තල්ලු කිරීමට හෝ නොහැකි බව ඒත්තු ගත් ඇය වල්ලභයකු තෝරා ගැනීමේ විශිෂ්ටතම මඟ තමා විසින් ම සොයා ගැනීමට තීරණය කළා ය. එක්වර ම නිසසල වූුත් දරදඬු වූත් ඇය සිහිනයන්ගෙන් හෝ මිථ්‍යාවන්ගෙන් හෝ තොර වූත් විවාහය යනු අන් කිසිවක් නො ව ඇතුල්විීමේ ප්‍රවේශ පත්‍රයක් ලෙස හෝ ගමන් බලපත්‍රයක් ලෙස හෝ සැලකුවා වූුත් ඇයල තමාගේ වැඩ පිළිවෙලෙහි ගැබ් වු ගැටළු, දුෂ්කරතාවන්, අහම්බ සිද්ධීන් පිළිබඳ පැහැදිලි අදහසක් සිය මනස තුළ පවත්වා ගත්තා ය. සිත් සතන් පිනවීමේ කලාවත් විවේක බුද්ධියේ නිහඬ බවත් ඇය සතුව තිබුණි. එය සම්පූර්ණ වාසියට හරවා ගැනීමට ඒවා ඇයට හැකි කළේ ය. ඇගේ දුර්වලතාව වූයේ වංශක්කාර පෙනුමකින් යුක්ත වූ ඕනෑ ම දෙයකින් වල්මත් වී යාම ය. මව සමඟ හුදකලාවේ සිටින විට ඇය මෙසේ කීවාය. “මමී අපි හෙට දුයියා පියතුමාගේ අසපුවට යමු.”


 
                                          02
 
           ශාන්ත ඔර්බෙරෝසියාවන්ගේ පුන්‍යාධාරය

  
  හැම සිකුරාදා දිනක ම රාත්‍රී නවයට අල්කානු සමාජයේ ඉස්තරම් ම පෙළැන්තිය ගෞරවාර්හ දුයියා පියතුමාගේ අසපුව සඳහා වෙන් වූ ශාන්ත මායෙල්ගේ වංශක්කාර පල්ලිය තුළ රැස් වූහග  බොසෙනෝහි කුමරු හා කුමරිය ද ඔලිව් සිටතුමා හා සිටුතුමිය බිගුර්ද් යුවල හා තෲමෙල් යුවල ද කවරදාකවත් එහි නොපැමිණ සිටියේ නැත. වංශක්කාර පෙළැන්තියේ මුදුන් මල්කඩ එහි දී දැක ගත හැකි විය.  සිය සහභාගිත්වය මගින් යුදෙව් බැරන්වරියෝ ද එය විභූෂිත කළහ. මන්ද යත් බැරන්වරියන් ද කිතුණුවන් වූ හෙයිනි.
  
   සියලු ම ආගමික අසපුවල මෙන් ම මෙම අසපුවේ ද අරමුණ වූයේ ස්වකීය සදාකාලික ගැලවුම පිළිබද කල්පනා කළ හැකි වනු පිණිස අන්තරාවලෝකනය කිරීමෙහිලා අවස්ථාව සලසා දීම යග පෙන්ග්විනයන් හට ප්‍රේම කළා වූ ශාන්ත ඔර්බෙරෝසියා තුමියගේ ආශිර්වාදය උතුම් සහ කීර්තිමත් පවුල් වෙත ලබා ගැනීමට ද ඉන් අපේක්‍ෂා කෙරුණි. පියතුමණෝ නියම අපෝස්තුලුවාදී උද්යෝගයකින් යුක්තව එය ඉෂ්ඨප්‍රාප්ත කරලීමට ප්‍රයත්න දරූහ. පෙන්ග්විනියාව භාර සාන්තුවරිය ලෙස ශාන්ත ඔර්බෙරෝසියාවන්ගේ පරමාධිකාරී බලය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ද නගරය අරා සිටි කඳු පෙත්වලින් එකක් මත වූ ස්මාරකස්ථම්භක පල්ලියක් ඇය වෙනුවෙන් කැප කරලීමට ද ඔහු අපේක්ෂා කළේ ය. ඉමහත් ජයගහ්‍රණයන් සහිත ව ඔහුගේ පරිශ්‍රමයන් මල් ඵල ගැන්වුණි. මන්ද යත්, මෙම ජාතික ව්‍යාපෘතිය සාක්ෂාත් කර ගනු පිණිස ආධාරකරුවන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඔහු ඒ වන විටත් එක්සේසත් කර තිබූ නිසාත්, ෆ්‍රෑන්ක් කෝටි දෙකකට අධික ධනස්කන්ධයක් එකතු කර තිබූ නිසාත් ය.
  
 රනින් බැබලුණ, අගනා මුතු මැණික්වලින් දිදුලුණ, ඉටිපන්දම් හා මල්වලින් සරසනු ලැබූ ශාන්ත ඔර්බෙරෝසියාගේ නව පූජාසනය ගොඩ නංවනු ලැබුවේ, ශාන්ත මායෙල්ගේ පල්ලියේ ගර්භය තුළ ය.
  
  ප්ලෝන්තැන් පූජක තුමා විසින් ලියන ලද “අල්කා හි භාරකර ශාන්තුවරියගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳ ඉතිහාසය’‘ නම් වූ කෘතියේ දී මෙම විස්තරය කියවිය හැක. 
 
  “ඉපැරණි පූජාසනය ත්‍රස්තවාදී සමය තුළ දී දිය වී ගියේ ය. ශාන්තුවරියගේ මාහැඟි ධාතූන් වහන්සේලා ප්ලාස් ද ග්‍රාව් හි දල්වා තිබූ ගිනි ගොඩකට විසි කරනු ලැබිණ. එහෙත් රුක්වෑන් නමැති බැතියෙන් උතුරා ගිය ස්ත්‍රීය, දේවාශිර්වාද ලත් ශාන්තුවරියගේ භෂ්ම වූ ඇටකටු සහ අළු එක්තැන් කරනු පිණිස, සිය දිවි පරදුවට තබා මහ රෑ එහි ගියා ය. ඇය ඒවා ජෑම් බෝතලයක් තුළ සුරැකි ව තබා ගත්තී ය. ආගම ප්‍රතිෂ්ඨාපනය කෙරුණු කල්හි ඇය ඒවා ශාන්ත මායෙල් පල්ලියේ භාරකාර තුමා වෙත ගෙන ගියා ය. මෙම ස්ත්‍රිය එතැන් සිට සිය අවසන් දවස් ගත කළේ ශාන්තුවරියගේ දෙව් මැදුරේ ඉටිපන්දම් වෙළෙන්දියක ලෙස සහ එහි ආසන බලා කියා ගන්න තැනැත්තිය ලෙස ය.
  
  දුසියා පියතුමාගේ කාලයේ දී ආගම පරිහානියට පත් වූුයේ වී නමුත්, වසර තුන් සියයක් මුළුල්ලේ ම ප්‍රැන්ස්තෝ කැනන්වරයාගේ විවේචනයට ලක් ව, පල්ලියේ ආචාර්යවරුන්ගේ නිහැඬියාවට ගොදුරුව තිබූ ශාන්ත ඔර් බොරෝසියාගේ පූජානාමය යළි පණ ගසා, වෙන අන් කවරදා හෝ නො වූ විරූ තරම් වූ උත්සවශ්‍රීයෙන්, ශ්‍රී විභූතියෙන් සහ උද්යෝගීමත්භාවයෙන් පිරී පැවතුණි. දේව ධර්ම ශාස්ත්‍රඥයෝ පුරාවෘත්තයෙන් එක ම කැබැල්ලක් හෝ ඉවත් නො කළහ. සිම්ප්ලිසිස්මුස් නමැත්තා විසින් විස්තර කරන ලද සියලු කරුණු නිශ්චිත වශයෙන් ම තහවුරු කරනු ලැබූ සත්‍යයන් ලෙස ඔවුහු සැලකූහ. යක්ෂයා මහණකුගේ වෙස් ගෙන ශාන්තවරිය ගල් ලෙනක් වෙත ඔසවා ගෙන ගිය බවත් ඇය ඔහු අභිභවන තුරා ම නො කඩවා සටන් කළ බවත් සිමිප්ලිසිස්මුස්ගේ සාක්ෂිය මත පදනම් වී ඔවුහු විශේෂයෙන් ම කියා සිටියහ. ස්ථානයන් හෝ දිනයන් හෝ ඔවුන් කිසියම් හෝ දුෂ්කරතාවයකට පත් නො කළේ ය. ඔවුහු ශුද්ධ වූ ලියවිලි පිළිබඳ අට්ඨ කථාවන් කෙරෙහි පයිසෙක තරම් තැකීමක් නො කළහ. පෙර කල ප්‍රෑන්ස්තෝ කැනන්වරයා කළ තරමින් හෝ විද්‍යාව කෙරෙහි තැකීමක් නො කිරීමට ඔවුහු හොඳ හැටි වග බලා ගත්හ. එවැනි තැකීමක් යොමු වනු ඇත්තේ කොයිබ දැ යි ඔවුහු හොඳ හැටි දත්හ
.  
  paල්ලිය ආලෝකයෙන් ද පුෂ්පයන්ගෙන් ද වර්ණවත් විය. ගීත නාටක ගායකයෙක් ශාන්ත ඔබෙරෝසියා පිළිබඳ සුප්‍රකට ලඝු ගීය ගැයුවේ ය.
  
පාරාදිසයේ කන්‍යා තුමියනි වඩිනු
මැන, වඩිනු මැන අඳුරු රැය
හෙලනු මැන මෙ අප මත
ඔබේ රැස් කදම්භය 

          ක්ලරෝන්ස් මෙනවිය සිය මව පසෙකින් සහ ක්ලේනා සිටුතුමිය අභිමුව අසුන් ගත්තා ය. ඇය සෑහෙන වේලාවක් මුළුල්ලේ දණ බිම ඔබා ගෙන සිටියාය. මන්ද  යත්  යාච්ඤාවක  යෙදෙන  විචක්ෂණ කන්‍යාවියන්  හට  එම  ඉරියව්ව ස්වභාවික වන හෙයින් සහ එය ඔවුන්ගේ දේහ විලාශය හුවා දක්වාලන හෙයිනි.
  
  ගෞරවාර්හ දුයියා පියතුමා දම් සභා මණ්ඩපයට නැංගේ ය. විචිත්‍ර ධර්ම කථිකයකු වූ ඔහු සිය ශ්‍රාවකයන්ගේ හදවත් එක්වර ම උණු කර හැරියේ ය; විස්මිත කළේ ය; පුබුදුවා ලුූවේ ය. අධික රළු බවින් යුතු වීම ගැනත්, තමන් ලැජ්ජාවෙන් මුසපත් කරවන අසභ්‍ය වදන් යොදමින් අනාචාරයට එරෙහි ව කථා කිරීම ගැනත් පමණකි, උපාසිකාවන් මුණු මුණු ගෑවේ.
  
  ඔහු සිය දම් දෙසුම්වල දී ශාන්ත ඔබෙරෝසියාවන්ගේ හත්වැනි පරිශ්‍රමය පිළිබඳව කථා කළේ ය. මකරා විසින් පොළඹවාලනු ලැබූ ඇය ඌ සමගින් සටනට පිවිසුණා ය. ඇය යටත් නො වූවා ය. ඇය ඌ නිරායුධ කළා ය.
  
  ශාන්ත ඔර්බෙරෝසියාවන්ගේ ආධාරයෙන් සහ ඇය ජනනය කරන්නා වූ ගුණෝපේතයන්ගේ සවිමත් බවේ ආධාරයෙන්, අපට ද අප වෙත පතිත වන, අපව ගිල දමීමට කල්යල් බලමින් සිටින මකරුන් වන්නා වූ සැකයේ මකරාත්, අශ්‍රද්ධාවේ මකරාත්, ආගමික යුතුකම් අමතක කිරීමේ මකරාත් පෙරළා දැමිය හැකි බැව් ධර්ම කථික තෙමේ අපහසුවකින් තොරව ම පෙන්වා දුනි. ශාන්ත ඔර්බෙරෝසියාවන්ගේ දානශීලිත්වය සමාජ පුනර්ජීවනයට අදාළ කර්තව්‍යයක් බව හේ සනාථ කළේ ය. දිව්‍යමය දයානුකම්පාවේ උපකරණයන් බවට සහ ශාන්ත ඔබෙරෝසියාගේ දානශීලීත්වයේ අනුග්‍රාහකයන් හා ආධාරකරුවන් බවට පත් වන ලෙසත්, සිය වැඩ කටයුතු අරඹා ඒවායේ වැඩදායී ඵල නෙලනු පිණිස අවශ්‍ය වන සියලු ම සම්පත් එයට ලබා දෙන ලෙසත් බැතිමතුන් වෙත දෘඪතර ආයාචනයක් කරමින් ඔහු සිය දෙසුම අවසන් කළේ ය.
  
  දේව මෙහෙයෙන් අනතුරුව, ගෞරවාර්හ දුයියා පියතුමා දෙව් මැදුරේ පූජා භාණ්ඩ ගර්භාගාරයට වී, දානශීලී විය හැකි අයුරු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මඬනා ලද බැතිමතුන් හෝ සිය සම්මාදන් ගෙන ඒමට අපේක්ෂා කළ බැතිමතුන් හෝ එන තුරා, ඔවුන් වෙනුවෙන් සැදී පැහැදී සිටියහ. දුයියා පියතුමන් හට කථා කිරීමට ක්ලරෝන්ස් මෙනෙවියට අවශ්‍ය වූවා ය: ක්ලේනා සිටුවරියට ද අවශ්‍ය වූවාය. ජන සමූහයා රැස් කකා සිටියහ. එහෙත් ඔවුහු පෝලිම් ගස්වනු ලැබූහ. අහම්බෙන් මෙන්, ක්ලේනා සිටුතුමා ක්ලරෝන්ස් මෙනෙවිය එකිනෙකා පසෙකින් සිටියහ. ඔවුන් එකිනෙකා සමග සමීපව ඇතිල්ලී යන පරිද්දෙන් ජන සමූහයා වරෙක තල්ලු වූහ. සිය පියා මෙන් ම කෙළි ලොව ප්‍රකටව වැජඹුණ මෙම ජේත්තුකාර තරුණයා එව්ලින්ගේ නෙත ගැටුණි. ක්ලේනා ද ඇය ව සනිටුහන් කර ගත්තා ය. ඇය සොබමන් ළඳකැයි සිතූ හෙයින් ඔහු ඇයට ප්‍රණාමය කළේ ය. ඉන්පසු කථා පිරීමට අවසර අයැද සිටි ඔහු, තමා මෙම කුල කතට යම් විටෙක දී හඳුන්වා දෙනු ලැබ තිබෙන බවත්, එනමුදු කොහි දී ද යන්න මතකයට නඟා ගත නොහැකි බවත් බොරුවට හඟවා සිටියේ ය. ඔහු කියා සිටින දෙය තමා විශ්වාස කරන බව ඇය බොරුවට හඟවා සිටියා ය.  

  ඉන්පසු එළඹි සතියේ දී ඔහු ක්ලරෝන්ස් ආර්යාවගේ නිවසේ පෙනී සිටියේය. ඇගේ නිවස අගහිඟකම්වලින් යුතු වුවකැයි ඔහු සිතී  ය. එය ඔහු අසතුටට පත් කළ කරුණක් නො වී ය. තමාට වැරදීමක් සිදු වී නැති බවත්, ඇය ඇත්තෙන් ම සුරූපි තරුණියක බවත් එව්ලින් යළි දුටු කල්හි ඔහුට හැඟුණි. 
 
  යුරෝපයේ විශිෂ්ටතම මෝටර් රිය සතු වූයේ ක්ලේනා සිටුවරයාට ය. ඔහු තුන් මසක් මුළුල්ලේ කඳු හෙල් තැනිතලා මතින් ද, නිම්ින තුලින් ද, සතර දිග් භාගය පුරා ක්ලරෝන්ස්ලා පදවමින් ගමන් කළේ ය. ඔවුහු ගෙබිම් වෙත ගියහත සුප්‍රකට මාලිගා වෙත ගියහ; ඈ පෑ විරෝධය ජය ගනු පිණිස, කිව හැකි ව තිබූ හැම දෙයක් ම ඔහු එව්ලින් හට කීවේ ය. කළ හැකිව තිබූ සියල්ල කළේ ය. තමා ඔහුට පෙම් කරන බවත්, ඔහු හැර අන් කිසිවකුට පෙම් නොකරන බවත් ඇය ඔහුගෙන් නො සැඟවූවා ය. උතුරා යාමට ආසන්න වූ ඔහුගේ අනුරාගයට ඇය විරෝධය පෑවේ, එවැන්නක ඇති අනතුරුදායක බව පිළිබඳ දැනුවත් වූ කන්‍යාවියක සතු අනභිභවනීය සුරක්ෂිතාත්මක හැඟීමකින් යුතුව ය. තෙමසක් අවසානයෙහි දී, කඳු උඩින් ද කඳු යටින් ද යමින්, තියුණු වංගු ගනිමින්, හරස් පාරවල් හරහා යමින්, අසංඛ්‍ය සංඛ්‍ය වූ ආපදාවන්ට මුහුණ දීමෙන් අනතුරුව ඔහු ඇය ගැන දැන සිටියේ, සිය මෝටර් රියේ ප්‍රධාන රෝදය ගැන දැන සිටි තරමට ම ය. එහෙත් ඊට වඩා හොඳින් නම් නො වේ. ඔහු මහා වන මධ්‍යයෙහි දී, හෝටල් ඉදිරිපිට දී විස්මිත ක්‍රියාවන්, සැහැසිකම්, හදිසි නැවතීම් භාවිතයට දැමී ය. එහෙත් ඔහු ඊට වඩා දුර නො ගියේ ය. ඒ සියල්ල අමු ම අමු විකාර සහගත දේ බව හේ තමාට ම කියා ගති. ඉන්පසු ඇය සිය මෝටර් රියට දමා ගත් ඔහු හැටට හැටේ රිය පදවා ගෙන ගියේ එය මඩ වගුරක් තුළ පෙරළා දමීමට හෝ දෙදෙනා ම එකවර ගහක හප්පා ලීමට  හෝ සූුදානමෙන් යුතුව ය. 
 
  දිනක් ඇය විනෝද සවාරියක කැටිව යාම පිණිස පැමිණි ඔහු, ඇය පෙර නොවූ විරූ තරම් ශෝභා සම්පන්න බවත් කුලප්පු කරවනසුලු බවත් දුටුවේ ය. විලකට මායිම්ව ඇති පඳුරු මත පතිත වන කුණාටුවක් පරිද්දෙන් ඔහු ඇය මතට පැන්නේ ය. ඇය ප්‍රේමාන්විත දුබලතාවයකින් යුතුව කුණාටුව හමුවේ පරඬලා වි ගියා ය. කුණාටුවේ ප්‍රචණ්ඩකාරී බලයෙන් ඇය විසි වරක් ම උසුලා ගෙන යනු ලැබුවා ය. ඒත් ඇය විසි වරක් ම නැඟී සිටියේ චපල ලෙස සහ මාරුතය හමුවේ දණ ගසමිනි. මෙම සියලු කම්පනයන්ට පසුව, මන්ද මාරුතයක් ඇගේ රම්‍ය සුරම්‍ය නාරටියේ ගෑවි නොගෑවී ගිය බවක් යමෙකුට කිව හැක. හැඩි දැඩි අතකින් අල්ලා ගැනීමට සුදානමින් සිටියාක් මෙන් ඇය හිනැහුණා ය. ඉනික්බිති ඇයගේ අසංතුෂ්ටිමත් ආක්‍රමණිකයා අපේක්ෂා භංගත්වයට පත්වල කෝපාවිෂ්ට ව, තුන් පංගුවක් ම වියරු වැටී, ඇය මරා දමීමෙන් වළකනු පිණිස ඈ කෙරෙන් පලා ගොස්, දොර වරදවා ගෙන ක්ලරෝන්ස් ආර්යාවගේ නිදන කාමරයට කඩා වදින්නේල වස්ත්‍රාභරණ අල්මාරිය ඉදිරියට වී හිස් වැස්මක් දමා ගනිමින් සිටි ඇය දක්නා ලදුව, ඇය අල්ලා ගෙන, සිදු වූයේ කුමක්දැයි පසක් කර ගැනීමටත් පෙරාතුව ම ඇය සිය වසඟයට පත් කර ගත්තේ ය.
 
  ක්ලේනා සිටුවරයාට ණය හැර අන් කිසිවක් ම නො තිබූ බවත්, ඔහු දිවි පෙවෙත ගෙවූයේ මහලු ස්ත්‍රියක් ඔහුට දුන් මුදලකින් බවත්, මෝටර් රථ නිෂ්පාදකයකුගේ නවීනතම මෝස්තර විකිණීමට ඔහු ආධාර කරමින් සිටින බවත්, කරුණු සෝදිසි කරමින් සිටි එව්ලින් එදින ම දැන ගත්තා ය. ඔවුහු පොදු එකඟතාවයකට එළඹ වෙන් වූ අතර, සිය මෑණියන්ගේ ආගන්තුකයන් හට අවඥා සහගත අයුරකින් තේ ඇල්ලීමට එව්ලින් යළි පටන් ගත්තී ය.









                      හිපොලයිට් චෙරේස්

  ක්ලරෝන්ස් මැතිනියගේ විසිත්ත කාමරයේ බෙණෙන පිළිසඳර    ප්‍රේමය වෙත යොමු විය. 

“ප්‍රේමය කියන්නේ පරිත්‍යාගයක්” ක්‍රෙමෙයා මැතිණිය සුසුම් හෙඵවා ය.

 “මග එකඟ වෙනවා,” බූරතූලේ මයා ප්‍රාණවත් ලෙසකින් පිළිතුරු දුනි.
  
  එහෙත් මහාචාර්ය හඩොක් ඔහුගේ නොසන්සිඳවිය හැකි ගර්වය ප්‍රදර්ශනය කළේ මෙසේ කියමිනි.
  
  “පෙන්ග්වින් කාන්තාවන්, ඒ ගොල්ල ශාන්ත මායෙල්ගෙ මැදිහත් වීම තුළින් බිහි වූ දා ඉඳලා ලොකු කලබැගෑණියක් ඇති කරන බවයි මට නම් පේන්නෙ. ඒ වුනත් ඒ ගැන විශේෂයෙන් මහන්තත්තකමක් ඇති කර ගන්න කිසියම් ම හේතුවක් නැහැ. මොකද ඒ ගොල්ල, හරකුනුයි, ඌරනුයි එක්කල පොදුවේ ඒ තත්ත්වයේ ම කොටස්කරුවන් වෙන හින්දා. දොඩම් ගස්, දෙහි ගස් ගත්තත් තත්ත්වය ඒකමයි. මේ ගස්වල ඇට පැලවෙන්නෙ බීජය තුළනෙ.” 
 
  “පෙන්ග්වින් කාන්තාවන් ඒ ගොල්ලන්ට ම විහින් දී ගන්න වැදගත්කම ඒ තරම් දුර ආපස්සට යන්නෙ නැහැ.” බුර්තුලේ මයා පිළිතුරු දුනි.“ ඒක ආරම්භ වුණේ ශුද්ධ වූ අපොස්තුලුතුමා ඒ ගොල්ලන්ට ඇඳුම් අන්දපු දවසේ ඉඳලයි. ඒත් මේ විහින් ලබා ගත්තු වැදගත්කම බොහොම කාලයක් තිස්සේ රඳවගෙනයි හිටියෙ. ඒක සම්පුර්ණ වශයෙන් ප්‍රදර්ශනය කෙරුණෙ ඇඳුමේ ඉස්තරම්කම වැඩිවීමත් එක්කලයි.  ඒකත් ඇතිවුණේ සමාජයෙ සුළු කොටසක් අතරයි. අස්වැන්න නෙලන කාලෙ දි අල්කාවේ ඉඳලා යොදුන් දෙකක් විතර රට ඇතුලට යන්න. එතකොට ඔබට පෙනේවි ස්ත්‍රීන් ඕනෑවට වඩා වැඩියෙන් යථාර්ථවාදී ද, එහෙම නැතිනම් විහින් වැදගත්කමක් අත් කරගෙන ද කියා.” 

  හිපොලයිට් චෙරේස් ප්‍රථම වරට එහි පැමිණියේ එදින ය. ඔහු අල්කාහි මහජන මන්ත්‍රීතුමෙකි. පාර්ලිමේන්තුවේ ඉතා ම තරුණ සාමාජිකයන් අතරින් අයෙකි. ඔහුගේ පියා කසිප්පු තිප්පොලක් පවත්වා ගෙන ගිය බව කියනු ලැබේ. එහෙත් ඔහු නම් ආරෝහ පරිණාහ දේහධාරී නීතිඥවරයෙකි. ආත්මාභිමානී ගතියකින් ද දක්ෂතාවකින් ද හෙබි ඔහු, හොඳ, එනමුදු හැකර කටකින් යුතු කථිකයෙක් විය. 
 
  “චෙරෙස් මහත්මයා“ ගෘහ පාලකවරිය කීවා ය. “ඔබේ ඡන්ද කොට්ඨාසෙ අල්කාවල තිබෙන හොඳ ම ඒවායෙන්  එකක්.” 
  “මැතිනිය, හැමදාමත් ඒකෙ මොකක් හරි අලුත් සංවර්ධන වැඩක් කෙරෙනවා.” 
 
  “අවාසනාවකට වගේ,ඒක දිගේ තවදුරටත් ගමන් කරන්න නම් බැහැ.“ එසේ කීවේ බුර්තුලේ ය. 
 
“  ඇයි?” චෙරේස් ඇස්ීය.
  
  “අහන්නත් දෙයක් ද? මෝටර් රථ නිසා නෙ”
  
  “මෝටර් රථවලට නරක නමක් ගාවන්න එපා” මන්ත්‍රීතුමා පිළිතුරු දුනි. 
  “ඒක අපේ දේශීය කර්මාන්තයක්.” 
 
  “මම ඒක දන්නව. වර්තමාන පෙන්ග්විනියාව මට මතක් කර දෙන්නේ ඉපැරණි ඊජිප්තුවයි. අලෙක්සන්ද්‍රියාවේ ක්ලෙමන්ටි ට අනුව, ඊජිප්තු ජාතිකයන් ඔවුන්ව ගිල දාපු කිඹුලන්ව වන්දනාමාන කළ බව තේන් අපට කියා සිටිනව. ඔහු පෙළින් වැරදි විදියට උපුටා දක්වන බව නම් ඇත්ත - අද පෙන්ග්විනියාව වන්දනාමාන කරන්නෙ, තමන්ව වප්ප කරල, මරලා දාන මෝටර් රථවලට. කිසි ම සැකක් නැහැ. අනාගතය අයත් වන්නේ මේ ලෝහ මෘගයාටයි. අපි තවදුරටත් කරත්ත යුගේ කරා අපසු යන පාටක් නැත්තෙ, හරියට ම අපි අශ්ව කෝච්චි වෙත ආපසු නො යනවා වගේමයි. අශ්වයා කරපු දීර්ඝ ජීවිත පරිත්‍යාගය අවසානයකට පත් වේවි. නිෂ්පාදකයන්ගේ තණ්හාව පිස්සු වට්ටපු මෝටර් රථය, මහා බ්‍රහ්මයගේ වාහනේ වගේ, අන්දුන් කුන්දුන් වුණ ජනතාව මත කඩා වදිවී. කුසීත, ජේත්තුකාර මිනිස්සු ඒකෙන් මෝඩ දෙයක්, ඒ වුනත් මාර ලස්සනක් තියෙන දෙයක් හදාවි. ඒක තමන්ට අයත් නියම කාර්යය ඉටු කරාවි. තමන් සතු ශක්තිය ජනතා සේවයට කැප කරල දහදිය හෙලන කීකරු යක්ෂයෙක් ලෙස ඒක හැසිරේවි. නමුත් මෝටර් රථ හානිදායක වීම නවත්වන්න පුළුවන් වෙන විදියටත්, වැඩදායක වෙන විදියටත්, ඒවායේ වේගයට ඔරොත්තු දෙන පාරවල් අපි හදන්න ඕන. ඒවායේ යස්ස ටයර්වලින් දෙබෑ කරන්න බැරි පාරවල්, මිනිස් පෙනහැලිවලට විස වායු නොයවන පාරවල් අපි හදන්න ඕන. වඩා මන්දගාමීව යන වාහනවලටයි සත්තුන්ටයි ඒ පාරවල යන්න අපි ඉඩ නොදිය යුතුයි. ඒවා උඩ අපි ගැරේජ් හදන්න ඕන. පයින් ගමන් කරන අයට මගී පාලම් හදන්න ඕන. ඒ විදියට අනාගත ගමනා ගමන ක්‍රමවල සංවර බවත් ඒකාබද්ධතාවයත් ඇති කරන්න ඕන. හැම යහපත් පුරවැසියෙකුගෙ ම අපේක්ෂාව ඒක තමයි.”

  ක්ලරෝන්ස් මැතිණිය චෙරේස් මයාගේ ඡන්ද කොට්ඨාශයේ සංවර්ධන කටයුතු වෙත පිලිසඳර බස් යළි යොමු කළා ය. ගොඩනැගිලි කඩා බිඳ දමීමට, උමං තැනීමට, ගොඩ නැඟීමට, යළි යළිත් ගොඩ නැගීමට සහ අන් සකල විධ ඵලදායී ක්‍රියාවන් කෙරෙහි තමන් තුළ දැල්වෙන නොසංසිඳෙන උද්යෝගයක් චෙරේස් මයා පෙන්නුම් කළේ ය.
  
“අපි දැන් ලස්සන ලස්සන මෝස්තරයෙන් ගොඩනැගිලි හදනව” ඔහු කීය. “හැම තැනක ම ප්‍රතාපවත් වීදි හදනව. අපේ පූට්ටු පාලම් ගෝලාර්ධකාර හෝටල් වගේ දේවල් මීට ඉස්සර කවදාවත් තිඛිල හෙම තියනව ද? 
 
“කොමඩු ගෙඩියක හැඩේ ගත් දවැන්ත ගෝලයක් මුදුනේ තියෙන අර මාලිගය ඔබ අමතක කරනවා” යි පැරණි කලා රසිකයකු වූ දානිසෙත්, පාලනය කර ගනු ලැබූ කෝපාවිෂ්ඨ හඩකින් මුණු මුණු ගෑවේ ය. “නූතන නගරයකට අත් කරගන්න පුළුවන් කැතකමේ තරම ගැන මට නම් හරි පුදුමයි. අල්කාව ඇමරිකාවක් බවට පත් වෙලා තියෙනව. අපට ඉතිරි වෙලා තිබෙන ස්වාධීන, අනපේක්ෂිත, මණින ලද, පාලනය කරන ලද, මානුෂික හෝ සම්ප්‍රදායික හෝ හැම දෙයක් ම හැම තැනකදි ම අපි විනාශ කරලා දානව. ආලෝකයයි, වාතයයි ලබා දෙන යමක් තියෙනව නම්, අපි ඒක හැම තැනකදි ම විනාශ කරනවා. සොබා දහමට අයත්, අපේ පියාණන්ට අයත්, අපට ම අයත් කොටස් අපි විනාශ කරලා දානවා. බියදනවනසුලු, දැවැන්ත, අධම නිවාස අපි ගොඩ නඟනවා. ඒවායේ මුදුන හදලා තියෙන්නෙ වියානා ශෛලියට අයත් හාස්‍යජනක ගෝලාර්ධයන්ගෙන්. එහෙමත් නැති නම්, නව කලාවට අයත් ලීස්තර නැති මෝස්තරවලට අනුව. ඒත් නැතිනම් මුස්පේන්තු කාප්පවලිනුයි, විකට කොත්වලිනුයි හැදුණ පැතිකඩ ඇතිව. ඒ වගේ විරූපි දේවල් අවට තියෙන ගොඩනැගිලි මතින් අලජ්ජි ලෙස එබිකම් කරනවා. ගොඩනැගිලි ඉදිරියේ ගහල තියෙන වටකුරුල නෙරා ගිය කොටස් අපට පේනවා. ඒ නව කලා සංකල්ප කියලයි අපට කියන්නෙ. මම දැකල තියනවා අනෙක් රටවල නව කලාව. ඒත් ඒවා අපේ ඒවා තරම් අජූත නැහැ. ඒවායේ ලස්සනක් නියෙනව. ඒවායේ චාම් බවක් තියෙනව. කණගාටුදායක වරප්‍රසාදයක් මඟින් ගෘහ නිර්මාණ ශිල්පයේ අජූතකමට අදාල අලුත් ම, ඉතා ම විවිධ ශෛලීන් පවත්වා ගෙන යන්න පුළුවන් අපේ රටට විතරයි.”




  
  “ඔබට බය හිතෙන්නෙ නැද්ද?” චෙරෙස් මයා බැරෑරුම් ලෙස විචාළේ ය.“ ලෝකයේ දස දෙසින් ගලා එන, දශ ලක්ෂ ගණනින් මුදල් අපට දීලා යන විදේශිකයන් අපේ අගනුවරින් ඉවත් කර තැබීමට ඔබේ මේ කර්කශ විවේචනය හේතු වේ ය කියලා ඔබට බයක් හෙම දැනෙන්නෙ නැද්ද?”
“ඒ ගැන ඔබේ හිතෙන් බිය සැක එහෙම පිටින් ම දුරු කර ගන්න.” දානිසෙත් පිළිතුරු දුනි.“ විදේශිකයන් මෙහේ එන්නේ අපේ ගොඩනැගිලි බලලා චූන් වෙන්න නෙවෙයි. ඒ අය එන්නෙ අපේ ගණිකාවන්, අපේ මෝස්තරකාරියන්, අපේ නාට්‍ය ශාලා බලා කියා ගන්නයි.”
“අපිට එක නරක පුරුද්දක් තියෙනව” චෙරේස් සුසුම් හෙළී ය. “ඒක තමයි අපි ම අප ව බල්ල මාක් එකට දාලා අවඥාවෙන් කථා කිරීම.”
ප්‍රවීණ සංග්‍රහකාරිණියක වූ ක්ලරෝන්ස් මැතිණිය, පිළිසඳර බස් ප්‍රේමය පිළිබඳ විෂය පථය කරා යළි ගෙන යාමට කාලය එළඹ ඇති බව සිතට ගෙන, ලෙඔන් බ්ලම් ගේ නවතම ග්‍රන්ථය පිළිබඳ ජුමෙල් මයාගේ අදහස් විමසී ය. එම කතුවරයා එහි දී මැසිවිලි නඟා තිබුණේ.........
“........ ඒක අවිචාරවත් පුරුද්දක්” මහාචාර්ය හඩොක් කථා කර ගෙන ගියේ ය. “එම පුරුද්ද වැදගත් තරුණ කුලකතුන් ප්‍රේම කිරීමෙන් වළක්වාලනවා. ඒක ඔවුන් කිරීමෙන් සතුට ලබන දෙයක්. කුලියට කරන දැරිවියන් ඒක ඕනෑවට වැඩිය කරන්නෙ, ඒකෙන් කිසි ම විනෝදයක් ලැබීමෙන් තොරවයි. එය ඇත්තෙන් ම හෙළා දැකිය යුතුයි. ඒ වුනත් ලෙඔන් බ්ලම් මහත්මයා ඒ ගැන ඕනෑවට වඩා දුක් ගින්දර ඇති කර නොගත යුතුයි. අපේ මධ්‍යම පංතික සමාජය තුළ ඒ නපුර පවතිනව නම් - ඒ මහත්මයා කියන්නේ එය පවතිනව කියලයි - මට සහතික කරල කියන්න පුළුවන්, අනෙක් හැම තැනකදි ම දකින්න ලැබෙන්නේ සිත් සනහන දර්ශනයක් ය කියලා. ජනතාව අතර, නගරය හා ගම පුරා ජිවත් වන ජනතාව අතර සිටින තරුණියන් එම ප්‍රීති ප්‍රමෝදය තමන්ට අහිමි කර ගන්නෙ නැහැ.”  
“ඒක තමයි දුරාචාරය” ක්‍රෙමයා මැතිණිය කීවා ය.  
තරුණ දැරිවියන් අතර පවතින අවිහිංසකභාවය, විළිබියෙන් අනූන වූත්, දයාවෙන් භරිත වූත් වදන්වලින් ඇය අහස උසට වැණුවා ය. ඇයට ශ්‍රවණය කිරීම රසඳුනකි.  
එම කරුණු පිළිබඳ මහාචාර්ය හඩොක් දැක් වූ අදහස්, ඊට ප්‍රතිවිරුද්ධකාරයෙන්, කනේ යවුල් අනින්නාක් වැනි විය.  
ඔහු මෙසේ කීය. “නම්බුකාර දැරිවියන්ට රැකවල් දාගෙනයි ඉන්නෙ. ඔවුන් ගැන ඇහැ ගහ ගෙනමයි ඉන්නෙ. අනෙක, අවංකකම නිසා හෝ වේවා, බරපතළ වගකීමක් දැරීමට සිදුවීම නිසා හෝ වේවා, දැරිවියක් දූෂණය කිරීම තමන්ගේ කීර්ති නාමය පිණිස නොවන කරුණක් නිසා හෝ වේවා, රීතියක් වශයෙන් ම, මිනිස්සු ඒ තරම් ම ඵලව ඵලව ඔවුන් පස්සෙ යන්නෙ නැහැ. ඒ මොනව වුනත් ඇත්ත වශයෙන් ම සිද්ධ වෙන්නෙ මොකක්ද කියල අපි දන්නේ නැහැ. මොකද හංගන දේවල් පේන්නෙ නැහැනෙ. ඒක සමස්ත සමාජයේ ම පැවැත්මට අවශ්‍ය කොන්දේසියක්. වැදගත් තරුණ ගැහැණු ළමයි රොත්තක් වසඟ කර ගැනීම විවාහක ගැහැණු රොත්තක් වසඟ කර ගන්නවාට වඩා පහසුයි. හැබෑයි. එහෙම වෙන්නේ අර හා සමාන ම බලපෑමක් ඒ ගොල්ලන් මතත් දැම්මොත් තමයි. මේකට හේතු දෙකක් තියෙනවා. ඔවුන් අතර මිථ්‍යාවන් වඩා වැඩියි. ඔවුන්ගේ කුතුහලය තවමන් සන්සිඳිලා නැහැ. ගෑණු බොහෝ විට තමන්ගේ ස්වාමි පුරුෂයන් සමඟ කළකිරිල ඉන්නෙ, වෙනත් කෙනෙක් එක්කල අලුතින් ම පටන් ගන්න තරම් ධෛර්යයක් ඔවුන්ට නැති නිසයි.”
          මහාචාර්ය හඩොක් සිය අප්‍රසන්න ප්‍රකාශයන් අවසන් කළ මොහොතේ දී, එව්ලින් විසිත්ත කාමරයට ප්‍රවිෂ්ඨව, ඇගේ රූපශ්‍රීයට පෙරදිගමය හැඩ හුරුවක් ලබා දුන් අර පීඩාකාරී පෙනුමින් ම යුතු ව, මන්දෝත්සාහී ලෙසකින් තේ බන්දේසිය පිළිගැන්වූවා ය.
  
        ඇය දෙස නෙත් හෙළමින් හිපොලයිට් චෙරේස් මෙසේ කීවේ ය. “ඒ ගැන කියනව නම් තරුණ කාන්තාවන්ගේ මුරභටයා මම ය කියල මම ප්‍රකාශ කර සිටිනව.”

“මේකා නම් පොල් බුරුවෙක් වෙන්න ඕන” තරුණිය සිතුවා ය.
  
  ජන්දදායකයන්ගේ සහ ජන්දයෙන් තෝරා පත් කර ගනු ලැබුවන්ගේ දේශපාලන ලෝකයෙන් පිටතට කිසිදා පා තබා නො තිබූ හිපොලයිට් චෙරේස්, ක්ලරෝන්ස් ආර්යාවගේ විසිත්ත කාමරය අනර්ඝ යය ද, එහි පාලිකාව තීික්ෂ්ණ යයි ද, ඇගේ දියණිය විස්මය දනවනසුලු ලෙස ශෝභා සම්පන්න යයි ද සිතී ය. ඔහුගේ යාම් ඊම් නිරතුරුව කෙරෙන්නට පටන් ගති. ඔහු දෙදෙනාට ම අනුග්‍රහ දැක්වූවා ය. දැන් දැන් අවධානයට ලක්වීමට අභිරුචිය දැක් වූ ක්ලරෝන්ස් මැතිනිය ඔහු ප්‍රිය මනාප යයි සිතුවා ය. එව්ලින් ඔහු කෙරෙහි මිත්‍රශීලී බවක් නො පෙන්වූවා ය. ඇය ඔහුට සැලකුවේ සාඩම්බර ලීලාවකිනි. අවඥා සහගතව ය. එය වංශක්කාර හැසිරීමේත් ජේත්තුත්කාරී පුරුදුවලත් සලකුණු ලෙස සැලකූ ඔහු, ඒ හේතුවෙන් ඈ ගැන වඩ වඩාත් මෙනෙහි කරන්නට විය. 
මෙම කාර්ය බහුල මිනිසා ඔවුන් පිනවීමෙහිලා සිය විචක්ෂණ භාවය පාවිච්චි කළේ ය. සමහර අවස්ථාවන්හි දී ඔහු එහිලා සාර්ථක විය.  ජේත්තුකාරී උත්සවයන් සඳහා ද, ඔපෙරා නාට්‍ය ශාලාවන්හි විශේෂ අසුන් සඳහා ද ඔහු ඔවුන්ට ආරාධනා පත් ලබා දුනි. විශේෂ අවස්ථාවන්වලට පෙනී සිටීමට ඔහු ක්ලරෝන්ස් මෙනෙවියට අවස්ථා කීපයක් ම සලසා දුනි. විශේෂයෙන් ම උද්‍යාන සම්භාෂණයකට සහභාගී වීමේ අවස්ථාව සලසා දුනි. එම සම්භාෂණය පවත්වනු ලැබුවේ ඇමතිතුමකු විසින් වුවත්, එය සැබැවින් ම ජේත්තුකාරී වූවක් ලෙස සලකනු ලැබිණ. සමූහාණ්ඩුව, ඉහළ සමාජ කවයන් අතර සිය ප්‍රථම සාර්ථකත්වය අත් කර ගත්තේ එම සම්භාෂණය මගිනි.
  
එම උත්සවයේ දී එව්ලින් බෙහෙවින් ම කැපී පෙනුණි. ඇය රොෂර් ලොම්බියි නමැති තරුණ රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධරයාගේ විශේෂ අවධානය යොමු කර ගති. ඇය ප්‍රථම පෙළැන්තියට අයත් යයි සිතූ ඔහු, තමා වෙසෙන අවිවාහකයන්ගේ බෝඩිමට එන ලෙසට ඇයට ඇරයුම් කළේ ය. ඔහු රූමත් යයි ඇය සිතුවා ය. ධනවත් යයි විශ්වාස කළා ය. ඇරයුම පිළිගත්තා ය. මඳක් සසල වූ, වික්ෂෝහී විණැයි පවා කිව හැකි තත්ත්වයකට පත් ඈ ස්වකීය එඩිතර භාවයේ ම ගොදුරක් බවට පත් වීමට ආසන්න විය. ඇය ඉන් ගැලවුණේ එඩිතර ලෙස ක්‍රියාත්මක කෙරුණ ප්‍රහාරාත්මක පියවරක් මඟින් පමණි. ඇගේ අවිවාහක ජීවිතය තුල දී කෙරුණ, අතිශයින් ම මුග්ධ පලා යාම එය විය.

  දැන් දැන් ඇමති තුමන්ලා සමඟ ද ජනාධිපති තුමාණන් සමඟ ද මිත්‍රශීලීව සිටි හෙයින්, එව්ලින් තවදුරටත් සිය වංශක්කාර සැදැහැවත් ඉරියව් පවත්වා ගෙන ගියා ය. මේවා නිසා ඇයට පූජක-විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ ප්‍රධානීන්ගේ සහයෝගය ලැබුණි. ඇය සාර්ථකත්වයෙන් සාර්ථකත්වය කරා පිය නගන බවත්, තමාට ගෞරවය ලඟා කර දෙන බවත් දුටු හිපොලයිට් චෙරෙස් මැතිතුමා වඩ වඩාත් ඇයට ඇලුම් කරන්නට වූයේ ය. ඇය සමග උන්මාදනීය ලෙසකින් පෙමින් වෙළීමට තරම් දුරට ඔහු ගමන් කළේ ය.
  
  ඔහු පරීක්ෂණයට ලක් කර බැලීමට දිනෙක ඕ හට අවශ්‍ය වූවා ය. ඒ එක් කියමනකින් කියවෙන පරිදි,“ ස්වකීය ජනවරම යළි තහවුරු කරන“ ලෙස මන්ත්‍රීවරුන් ජනතාවට ආයාචනය කරන්නා වූ මැතිවරණ සමය යි. ඔහුට විරුද්ධවාදියෙක් සිටියේ ය. මුල දී ඔහු අනතුරුදායක නො වූවත්, ඒ සා චතුර කථිකයකු ද නො වූ ඔහු, ගත වන දිනක් පාසා ඡන්ද ගරා ගනිමින් සිටින බව වාර්තා විය. හිපොලයිට් චෙරේස්, කමකට නැති සියලු ම සුරක්ෂිතභාවයන් ද මන්ද බුද්ධික සංත්‍රාසයන් ද සිතෙන් බැහැර කර, සිය අවධානය දෙගුණ තෙගුණ කළේ ය. ක්‍රියාකාරී වීමෙහිලා ඔහුගේ ප්‍රධාන ම ක්‍රමය වූුයේ ජනහමු ය. ඒවායේ දී ඔහු ප්‍රතිවාදී අපේක්ෂකයාට දැඩි ලෙස පහර පිට පහර ගැසී ය. ඔහුගේ කමිටුව සෙනසුරාදාවන්හි සන්ධ්‍යා භාගයේ දී ද ඉරිදාවන්හි සවස තුනට ද යෝධ ජන හමු පැවැත් වී ය. එක් ඉරිදාවක ඔහු ක්ලරෝන්ස්ලා බැහැ දැකීමට ගිය විට, එව්ලින් හුදෙකලාව විසිත්ත කාමරයේ සිටිනු ඔහුට දක්නට ලැබුණි. මිනිත්තු විස්සක් නැති නම් විසි පහක් ඇය සමග අල්ලාප සල්ලාපයේ යෙදීමෙන් පසු, සිය ඔරලෝසුව දෙස නෙත් යොමු කළ ඔහු, වේලාව තුනට කාලක් බව දුටුවේ ය. තරුණිය ප්‍රසන්න විය; ආසක්ත වියත සිත් ඇදගන්නාසුලු විය. බලාපොරොත්තුවෙන් පිරිපුන්ව සිටියා ය. චෙරේස් ද මෝහනය වී සිටියේ ය. එතෙකුදු වූවත්, ඔහු පිටත්ව යාමට නැඟී සිටියේ ය. 
 
  “තව ටිකක් ඉන්නකො,” දැඩි වූත්, මධුර මනෝහර වූත් ස්වරයකින් ඇය තෙපළා ය. එවදන් ඔහු වහා යළි වාඩි කරලී ය.
  
  ඇය උද්යෝගිමත්ව, හැඟීම් වලින් පිබිද, කුතුහලයෙන් යුතුව, දුබලත්වයෙන් පිරිපුන්ව සිටියා ය. ඔහු විලියෙන් රතු වියත මලානික විය. යළි නැඟිට්ටේ ය. ඉන් පසු, තවදුරටත් ඔහු රඳවා ගනු පිණිස, ඇය සිය අළු පැහැති උණුවන දෙනෙතින් ඔහු දෙස නෙත් හෙළී ය. ඇගේ ළැම පෙදෙස උස් පහත් වෙමින් තිබූ නමුත් ඇය තවත් වචනයකුදු නො තෙපළා ය. සංක්ෂෝභයෙන් යුතුව ඔහු ඇගේ දෙපා හමුවේ දණ ගැසී ය. එහෙත් සිය ඔරලෝසුව දෙස යළි බැලූ ඔහු මහා හඬක් නඟමින් උඩ පැන්නේ ය. “මළ කෙළියයි ! හතරට කාලයි. මං යන්න ඕන.” ඔහු නිමේෂයකින් හිණි පෙළ දිගේ පහතට දිව ගියේ ය. එතැන් පටන් ඔහු කෙරෙහි යම් පමණෙක ගෞරවයක් ඇය තුළ හට ගැණුනි.




 




                                         04
 
       දේශපාලනඥයකුගේ විවාහය

 
         ඇය ඔහු සමඟ සැබැවින් ම පෙමින් බැඳුනාමත් නො වේ. ඔහු තමා සමඟ පෙමින් වෙළී සිටිනු දක්නට ඇයට අවශ්‍ය වූවා ය. තවද ඇය ඔහු සමඟ සිටියේ බෙහෙවින් ම ගාණට මිම්මටය. එසේ වූයේ අන් ලෙසකින් සිටීමට ඇය තුළ කැමැත්තක් නො වූ නිසා නො වේ. මන්ද යත් ප්‍රේමයට අදාළ කරුණුවල දී සමහර දේ සිදු වන්නේ උපේක්ෂා සහගත බව, අනවධානී බව, කාන්තාවන්ගේ සහජාසය, පාරම්පරික සිරිත් සහ හැඟීම්, බලය පෑමට යමකු තුළ ඇති ආශාව සහ එහි ප්‍රතිඵල දැක බලා ගැනීමෙන් ලබන සංතෘප්තිය යනාදිය හේතු කොට ගෙන වන හෙයිනි. ඇගේ විචක්ෂණභාවයට හේතු වූයේ, ඔහු අතිශයින් ම සිහි මුළා වී ඇත්තකු ලෙසත්, ඇය දක්වන ඕනෑ ම කුළුපගකමකින් ප්‍රයෝජන ගැනීමට මෙන් ම, ඇය අත් හළ හොත් පසුව ඉතා රළු පරළු අන්දමින් ඇයට දොස් පැවරීමට හැකියාව ඇත්තකු ලෙසත් ඇය ඔහු දැන සිටීම ය. 
 
  ඔහු විවෘත ව ප්‍රකාශිත ආගම් - විරෝධියකු සහ නිදහස් වින්තකයකු වූ හෙයින්, ඔහු හමුවේ සැදැහැවත් පෙනුමක් මවා පාමින්, මාරී ලෙසින්න්කා රැජිනගේ හෝ ද්‍රෝෆින් මාරි ජොසෆීන්ගේ “ලෙන්ත්හි අවසන් සති දෙක” වැනි, රතු හම් බැම්මෙන් බඳිනා ලද විශාල යාචිඤා පොත සමඟින් පෙනී සිටීම මනා සැලසුමකැයි ඇය සිතුවා ය. සාන්ත ඔර්බෙරෝසියා පිළිබඳ ජාතික පූජා නාමය ගොඩනැඟීම සඳහා තමා එකතු කළ සම්මාදම පෙන්වා ලීමට ද ඇය මොහොතකට හෝ අමතක නො කළා ය. එව්ලින් මෙලෙස කළේ ඔහු සරදමට ලක් කිරීමට ඇයට අවශ්‍ය වූ නිසා නො වේ. එය හට ගත්තේ තරුණියක සතු ශඨ කපටකමකින් ද නො වේ. අස්වාභාවික ගුණාංගයකින් ද නො වේ. ඇගේ හැසිරීම තුළ ඇතැයි සැකයකට වඩා වැඩි යමක් පවත්නේ වී නමුත්, අධමත්වය තුළින් ද නො වේ. එය අන් කිසිවක් නො ව, තමන් තහවුරුව නැඟී සිටීමට, සිය වටිනාකම වැඩි කර ගැනීමට ඇය යෙදූ ක්‍රමයයි. සිය මන්ත්‍රීතුමාගේ ධෛර්ය සම්පන්නභාවය උලුප්පාලනු පිණිස, ඇය ආගමෙන් තමා වෙළා ගත්තා ය. හරියට ම බියගුර්ද් ඇද ගනු පිණිස බ්‍රන්හිල්ද් තමා ගින්නෙන් වෙළා ගත් පරිදි ම ය. ඇගේ එඩිතරභාවය ප්‍රතිඵල ගෙන දුනි. ඒ අනුව ඇය  වඩාත් රූමත් යයි ඔහු සිතී ය. ඔහුට අනුව ආගම යහපත් ආකෘතියක් පිළිබඳ ලකුණක් විය.
  
  චෙරේස් දවැන්ත බහුතර ජන්ද සංඛ්‍යාවකින් යළි තේරී පත් විය. ඔහු තේරී පත් වූයේ වඩා වමට බර වූ බවක් පෙන්නුම් කළ ල වඩා ඉදිරියට ගිය සහ සිය පෙරගාමියාට වඩා ප්‍රතිසංස්කරණයන් කෙරෙහි වැඩි උද්යෝගීමත්භාවයක් දැක් වූ බවක් පෙනී ගිය මන්ත්‍රී මණ්ඩලයකට ය. ඒ සා උද්යෝගීමත්භාවයකින් අදහස් වූුයේ, වෙනසක් කෙරෙහි වූ භීතියකුත්, කිසිවක් නො කිරීමට තිබූ අවංක ආශාවකුත් වහංගු කර ගැනීම බව එක් වර ම පසක් කර ගත් ඔහු, එම අභිලාසයන් තෘප්තිමත් කෙරෙන ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට අදිටන් කර ගති. සියලු ම ප්‍රතිසංස්කරණයන් දිගු කලකට කල් දමිය යුතු ය යන අදහස දැක්වෙන, දක්ෂ ලෙස සිතා බලා, මනාව පිළියෙල කෙරුණ චතුර කථාවක් සැසිවාරය ආරම්භයේ දී ඔහු පැවැත්වී ය. ඔහු උණුසුම් බවක් පෙන්වී ය. එසේ පෙන්වූයේ, කථිකයකු සීමාන්තික නොවිය යුතු යයි නිර්දේශ කළ යුත්තේ සීමාන්තික වේගයකින් ය යන ප්‍රතිපත්තිය මත පිහිටා ය. මුළු සභාව ම ඔහුට ඔල්වරසන් දුනි. ක්ලරෝන්ස්ලා ජනාධිපතිට වෙන් වූ කුටිය තුළට වී ඔහුට සවන් දුන්හ. ඔල්වරසන් හf`ඩ් ගාම්භීරත්වය හේතුවෙන්, තමාටමත් නොදැනී එව්ලින් වෙවිලුම් කෑවා ය. එම අසුනේ ම සිටි පොන්සේ ආර්යාව, ඔහුගේ පෞරුෂයෙන් අනූන වූ කටහf`ඩ් උච්චාරණය හේතු කොට ගෙන සර්වාංගයෙන් ම වෙව්ලා ගියා ය.

  වේදිකාවෙන් බට වහා, ප්‍රේක්ෂක සමූහයා තවමත් අත්පොලසන් දෙමින් සිටියදී ම, මෙහොතකුදු පමා නො වූ චෙරේස්, සිය කුටියේ සිටි ක්ලරෝන්ස්ලා හට ආචාර සමාචාර කරනු වස් එය වෙත ගියේ ය. එව්ලින් ඔහු තුළ සඵලත්වයේ ශෝභාව තිබෙනු දුටුවා ය. සිය ගෙල ලේන්සුවෙන් පිසදාලමින්, ආත්මාභිමනයේ පුංජයක් හෝ නොමැතිව ම නො වූවත්, නිරහංකාර පෙනුමකින් යුතු ව ඔවුන්ගේ සුභාශිංසනයන් පිළිගනිමින් ඔහු කාන්තාවන් වෙත ඇලවෙමින් සිටිය දී, තරුණිය පොන්සේ ආර්යාව දෙස නෙත් හෙඵවා ය. ඇය වේගවත් හෘද ස්පන්දනයෙන් යුතුව, හුස්ම හෙළීමකින් තොරව, පසුපසට නෙරා ගිය හිසින් යුතු ව සිය වීරයාණන්ගේ ඔල්වරස ම පානය කරමින් සිටිනු දුටුවා ය. ඇය සිහිමුර්ඡා වීමට ආසන්නව සිටියාක් මෙන් පෙනී ගියේ ය. එව්ලින් වහා චෙරෙස් වෙත මුදු සුමුදු සිනහවක් පෑවා ය. 
 
  අල්කානු මන්ත්‍රී තුමාගේ කථාවට ඉමහත් ජනප්‍රසාදයක් හිමි විය. දේශපාලන අංශයන්හි දී එය සලකනු ලැබුවේ අති විශිෂ්ට වූවක් ලෙස ය. “අන්තිමේ දි යාන්තම් අපි අවංක ප්‍රකාශනයකට සවන් දුන්නා” යි ප්‍රධාන ම මධ්‍යස්ථ සඟරාව කියා සිටියේ ය. “එය ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යන ක්‍රියා මාර්ගයකැ“ යි ඔවුහු පාර්ලිමේන්තුවේ දී කියා සිටියහ. ඔහු අති මහත් දක්ෂතාවෙන් පිරුණ පුද්ගලයකු බවට එකඟත්වය පළ කෙරුණි. 
හිපොලයිට් චෙරේස් රැඩිකලුන්ගේත්, සමාජවාදීන්ගේත්, ආගම් - විරෝධීන්ගේත් නායකයා බවට පත් විය. ඔවුහු සිය කණ්ඩායමේ නායකයා ලෙස ඔහු පත් කර ගත්හ. එවකට පාර්ලිමේන්තුවේ විශාල ම කණ්ඩායම වූයේ එයයි. මීළඟ අමාත්‍ය මණ්ඩයේ නිලයක් සඳහා සඳහා ඔහුගේ නම ද සනිටුහන් කර ගැනුණි.  
දිගු අදිමදි කිරීමකින් පසු, හිපොලයිටි චෙරෙස් මයා විවාහ කර ගැනීමේ අදහස එව්ලින් ක්ලරෝන්ස් පිළිගත්තා ය. මේ ශ්‍රේෂ්ඨ මිනිසා ඇගේ අභිරුචියට තරමක් මදි විය.
  දේශපාලනයෙන් විශාල ධන සම්භාරයක් පොදි බඳින්නා වූ අවස්ථාවට ඔහු යම් දිනෙක ළඟා වන බවක්, කිසිවක් මඟින් හෝ මේ තාක් ඔහු සනාථ කර නො තිබුණි. එහෙත් ඇය විසි හත් වැනි වියට ප්‍රවිෂ්ඨ වෙමින් සිටියා ය. තමා ඕනෑවට වඩා තෘප්තිමත් කළ නොහැක්කියක් නො විය යුතු බවත්, තෘප්තිමත් කිරීම බෙහෙවින් ම දුෂ්කර තැනැත්තියක් ලෙස පෙනී නො යා යුතු බවත් පසක් කර ගැනීමට තරම් ජීවිතය පිළිබඳව සෑහෙන තරමින් ඇය දැන සිටියා ය. 

  හිපොලයිට් චෙරේස් කීර්තිමත් විය.  හිපොලයිට් චෙරේස් ප්‍රීති ප්‍රමුදිත විය. හේ තවදුරටත් හඳුනාගත නොහැකි විය. ඔහුගේ ඇඳුම් පැළඳුම්වල සහ හැසිරීමෙහි ශෝබනය දැවැන්න පරිමාණව වැඩි විය. ඔහු සුදු අත් මේස් අනිසි සංඛ්‍යාවක් පැළදී ය. දැන් හේ බෙහෙවින් ම ඉහළ පෙලැන්තියේ මිනිසෙක් විය. එය ඉතා කුඩා මිනිසකු වනවාට වඩා නරක දෙයක් නො වන්නේ දැ යි සැක පහළ කිරීමට එව්ලින් පටන් ගති. ක්ලරෝන්ස් මැතිණිය විවාහ ගිවිසුම අනුග්‍රහ පෙරදැරිව සැලකිල්ලට යොමු කළාය. සිය දියණියගේ අනාගතය සම්බන්ධයෙන් සෑහීමට පත්  වූ ඇය, සෑම බ්‍රහස්පතින්දාවක ම සිය මල් කළඹින් ප්‍රීති ප්‍රමෝදයට පත් වූවා ය. 
 මංගලෝත්සවය යම් යම් දුෂ්කරතාවන් මතු කළේ ය. එව්ලින් සැදැහැවත් ය. පල්ලියේ ආශිර්වාදය ලබා ගැනීමට ඇයට අවශ්‍ය වූවා ය. අන්‍යගාම් ඉවසූ නමුදු නිදහස් මතධාරියකු වූ හිපොලයිට් චෙරෙස්ට අවශ්‍ය වූයේ සිවිල් විවාහයක් පමණි. විෂය සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක් ඇති විය. ප්‍රචණ්ඩ ජවනිකාවන් ගණනාවක් ද රඟ දක්වුණි. අවසන් ජවනිකාව රඟ දැක්වුණේ තරුණියගේ කාමරයේ මංගල ඇරයුම් පත් ලියමින් සිටින මොහොතේ දී ය. පල්ලියට නොයන්නේ නම්, තමා විවාහ වූ බවක් තමා විශ්වාස නො කරන්නේ යයි එව්ලින් කියා සිටියා ය. විවාහ ගිවිසුම කඩා දමා සිය මව හා සමඟින් විදෙස් ගත වන බවත්, එසේ නැති නම් කන්‍යාරාමයක නැවතීමට යන බවත් ඇය කියා සිටියා ය. ඉනික්බිති ඇය මුදු මොළොක් බවට පත් වූවා ය. යාදිනි නඟන තත්ත්වයකට පත් වූවා ය. ඇය සෝ සුසුම්ලෑවා ය. ඇගේ කන්‍යා කාමරයේ තිබූ සියල්ල ම-  ශුද්ධ වූ වතුර භාජනය, ඇගේ සුමුදු සයනය ඉස්මත්තේ තිබූ තල් අත්ත, කුඩා තට්ටු කීපයක තිබූ බැති ගී පොත්, කිරිගරුඬ බැම්මක් මත තිබූ කප්පාදෝණියාහි මකරාගේ ලාංඡනයට ගැට ගැසුණ ශාන්ත ඔර්බරෝසියාගේ නිල් සහ සුදු කුඩා පිළිම-  යන සියල්ලක් ම එක හඬින් සුසුම් ලෑවේ ය. හිපොලයිට් සසල විය: මුදු මොළොක් විය; උණු වී ගියේය.
 
 ශෝකාකූලත්වයෙන් පියකරු වූ, කඳුලින් දෙනෙත් ජ්වලිත වූ, ජප මාලාවකින් ඉඟ ස`ුග වට කරනු ලැබූ, ආගම බැතියෙන් විලංගු දමනු ලැබ තිබූ ඇය, හිටි අඩියේ ම හිපොලයිට් පාමුල ඇද වැටී, අවුල් වූ ඇඳුමින් යුතුව, හරියට මියැදෙමින් සිටියාක් මෙන්, ඔහුගේ දෙදණ තරයේ වැළඳ ගත්තා  ය. ඔහු යටත් විය. 
“ආගමික විවාහයක්‘!“ ඔහු මිමුණුවේය. “පල්ලියේ සිදුකරන විවාහයක් ! මගේ ජන්දදායකයන්ව නම් එකට නම්ම ගන්න පුළුවන්. ඒත් මගේ කමිටුව නම් ඒ තරම් ම ලේසි පහසුවෙන් ඒක දිරව ගන්න එකක් නැහැ..... . . . . මම ඒ ගොල්ලන්ට කරුණු පැහැදිලි කරල දෙන්නම්කො .... ආගම ඉවසා වැදෑරීම!......සමාජමය අවශ්‍යතාවන් ! ඒ ගොල්ල හැම කෙනෙක් ම ඒ ගොල්ලන්ගෙ දූවරුන් ඉරිදා ඉස්කෝලෙට යවනව. ඒත් මගේ වස්තුවේල මගේ තානාන්තරේ ගැන කියනව නම්, ඒ ගැන තියා ගෙන ඉන්න බලාපොරොත්තු ඔක්කොම අපේ මේ වැඩේ නිසා ඔබේ ශුද්ධ වූ වතුර ටිකේ ගිල්ලනවා ගිල්ලනවමයි කියල තමයි මට ඇති බය.” 
 
  “මෙවදන් ශ්‍රවණය කිරීමෙන් පසු ඈ නැඟී සිටියේ බැරෑරුම් සහගත ව ය; පරිත්‍යාගශිලීව ය; යටත් කරනු ලැබ  ය.
  
“මගේ වස්තුවේ, මම ඔයාට තවදුරටත් බලකර සිටින්නෙ නැහැ.”

  “එහෙම නම් ආගමික උත්සවයක් පවත්වන්නේ නැහැ. ඒක වඩා හොඳයි. නොපවත්වන එක වඩා හොඳයි.”
  
“බොහොම හොඳයි. ඒත් මං කියන දේ අහන්න. ඔබත් මමත් දෙන්නම සෑහීමට පත් වෙන විදියට හැම දෙයක් ම ලකලෑස්ති කරන්න මම උත්සාහ කරන්නම්කො.”
  
  ඇය දුයියා පියතුමා හමු වී, තත්ත්වය පැහැදිලි කර සිටියා ය. ඇය අපේක්ෂා කළාටත් වඩා වැඩියෙන් ඔහු නැමෙනසුලු විය; යටත්වනසුලු විය. “ඔබේ ස්වාමියා බුද්ධිමත් පුද්ගලයෙක්. සාම ගරුක යුක්ති ගරුක මිනිහෙක්. එයා අපේ පැත්තට එනව එනවාමයි. ඔබ ඔහුව පූුජනීයත්වයට පත් කරනව ඇති. දෙවියන් වහන්සෙ එයාට කිතුණු භාර්යාවක් ලබා දුන්නේ නිකම් කහනවට නෙවෙයි. එයාට සුභාශිංසනය කරන්න සෝබන වැඩවත්, උත්සවශ්‍රීයෙන් ඇළලුනු සැණකෙළිවත් පැවැත්වීමේ අවශ්‍යතාවක් පල්ලියට ඇත්තෙ නැහැ. දැන් ඇය දඩයමට ලක් කරලා තියෙන හින්ද, සෙහොන්වල ගොඩැලියි සෙහොන්වල අභ්‍යන්තර ගෙවලුයි, ඇගේ උත්සවය එක්කල එකඟ වෙලයි ඉන්නෙ. මෙනවියනි, ඔබ සිවිල් චාරිත්‍ර විධි ඉෂ්ඨ කළාට පස්සෙ, චෙරේස් මහත්මයත් එක්කල, ඔය ඇවිදින්න යන ඇඳුමෙන් ම මගේ පුද්ගලික කුටියට එන්නකොග මම ඔබව විවාහ කරන්නම්. මම නියම චාරිත්‍ර විදි නියමෙට පවත්වන්නමි. ආච් බිෂොප් තුමාගෙන් ලබා ගන්න අවශ්‍ය දේව නියමයන් වගේ ම විවාහ ලියවිලි, පාපෝච්චාරණ ටිකට් වගේ දේවල් සම්බන්ධයෙන් තියෙන පහසුකම් ඔක්කොම මම බලා ගන්නම්.” සංයෝගය තරමක් ඇඟට ගුණ නැති බව හිපොලයිට සිතූ නමුත්, හිත යටින් ඒ ගැන මහත් සේ සාඩම්බර ව, එයට එකඟත්වය පළ කළේ ය
.  
  “මම කුඩා කබායක් දාගෙන එන්නම්” ඔහු කීය.  ඔහු ගවුමක් වැනි කබායක් පැළඳ, සුදු අත් වැසුම් සහ ඔප මට්ටම් කළ පාවහන් දමාගෙන එහි ගියේ ය. ගොස් දණ ගැසුවේ ය.“ශිලාචාරකම ඉල්ලා සිටිනවා...”


                                  05
 
                        විසිරේ කැබිනට්ටුව
 

  සාමාන්‍ය මට්ටමේ ශෝහනත්වයකින් යුක්ත වූ චෙරේස්ගේ නිවෙස පිහිටා තිබුණේ පියකරු නිවාස සංකීර්ණයක ය. නිසසල, සාන්ත දාන්ත අයුරෙකින් චෙරේස් සිය බිරියට පෙම් කළේ ය. අයවැය ලේඛනය පිළිබඳ කොමිසමට සහභාගි වීම නිසා ඔහු බොහෝ විට නිවසට පැමිණියේ ප්‍රමාද ව ය. අති උත්කෘෂ්ඨ කෘතියක් බවට පත් කිරීමට තමා අපේක්ෂා කළා වූ තැපැල් අංශයේ මූල්‍ය කටයුතු පිළිබඳ වාර්තාවක් සම්පාදනය කිරීම සඳහා සතියකින් රෑ තුනකට වඩා වැඩියෙන් ඔහු කටයුතු කළේ ය. ඔහු තම අල්ලේ තබා නැටවිය හැකි යයි එව්ලින් සිතුවා ය. මෙම කරුණ ඔහු අසතුටට පත් නො කළේ ය. පැවති තත්ත්වයේ නරක ම අංශය වූයේ ඔවුන් සතුව එතරම් මුදල් හදල් නො තිබීම ය. ඇත්ත වශයෙන් ම ඔවුන් සතු වූයේ මුදල් ඇබින්දක් පමණි. සමූහාණ්ඩුවේ සේවකයෝ එයට සේවය කිරීමේ දී, ජනතාව සිතූ තරම් පහසු ලෙසකින් ධනවත් බවට පත් නො වූහ. මන්ද යත්, තාන්න මාන්න බෙදා ලීමට තව දුරටත් රජතුමකු නො සිටි හෙයින්, ඔවුන්ගෙන් හැම අයෙක් ම තම තමන්ට හැකි හැකි දේ ඩැහැ ගත් නිසා ය. අනෙක් සියල්ලන් කළ කොල්ලකෑම් මගින්, ඒ ඒ අය කළ කොල්ල කෑමවලට සීමා බන්ධන පැනවුණි. එහෙයින් ඒවා වැඩකට නැති සාමාන්‍ය මට්ටමේ කොල්ලකෑම්වල තත්ත්වයට පත්වුණි. ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් අතර දක්නට ලැබෙන සදාචාරය පිළිබඳ තපස් ව්‍රතය බිහි වූයේ ඒ අනුව ය.
ඔවුනට ධනවත් විය හැක්කේ දැවැන්ත ව්‍යාපාරික කටයුතු සිදු වන කාලපරිච්ඡේදයන්හි දී ය. එවිට වඩා අඩු පිළිසරණින් යුතු වූවන්ගේ ඊර්ෂ්‍යාවට ඔවුහු ලක් වූහ. හිපොලයිට් චෙරේස් දැන් දිගු කලක් මුළුල්ලේ ම, එවන් කාලපරිච්ජේදයක් එළඹෙනු කල් තියා දුටුවේ ය. එය එළඹෙන තෙක්, ඒ සඳහා කළමනා සුදානම් කළ අය අතර ඔහු ද අයෙකි. එය එන තෙක් පුල පුලා බලා සිටින අතර තුර, ඔහු දුගීබවින් අනන්ත වූ වද වේදනා වින්දේ ය. එව්ලින් ද එම දුක් කම්කටොළු බෙදා හදා ගත්තේ, යමෙකුට සිතා ගත හැකි පරිදි, වද වේදනා විඳ වීමකින් තොරව ය. ඇය ගෞරවාර්හ දුයියා පියතුමා සමග සමීප සබඳතාවයෙන් යුතු වූවා ය. ඇය සාන්ත ඔර්බෙරෝසියාගේ දෙව් මැදුරට නිතර නිතර ගියා ය. එහි දී ඇයට ඉහළ සමාජ පෙළැන්තියට අයත් කොටස් ද, ඈ හට ප්‍රයෝජනවත් සේවයක් ඉටු කර දිය හැකිව තිබූ පුද්ගලයන් ද මුණ ගැසුණි. ඔවුනතරින් තෝරා ගැනීම කළ යුත්තේ කෙසේ ද යන්න දැන සිටි ඇය, එය ලැබීමට යෝග්‍ය අය විනා අන් කිසිවෙකුත් සිය විශ්වාසයට නො ගත්තී ය. ක්ලේනා සිටුවරයා සමඟ මෝටර් රියෙන් විනෝද සවාරි ගැසූ තැන් පටන්, ඇය අත්දැකීම් සම්භාරයකට හිමිකම් කීවා ය. අන් සියල්ලටමත් වඩා, විවාහක කාන්තාවක සතු වටිනාකම ඇය දැන් අත් පත් කර ගෙන සිටියා ය.

  පුවත් පත් මගින් හාස්‍යයට ලක් කෙරුණ මෙම සැදැහැවත් වත්පිළිවෙත් පිළිබඳව මන්ත්‍රීතුමා මුල දී කලබලයට පත් විය. එහෙත් වැඩි කල් නොගොස් ම ඔහු සෑහීමට පත් විය. මන්ද යත්, ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් ප්‍රීතියෙන් ප්‍රමුදිත ව වංශක්කාර පෙළැන්තිය සහ පල්ලිය සමගින් මිත්‍ර සන්ථවයට එළඹෙමින් සිටිනු දසතින් ම ඔහු දුටු හෙයිනි.

  ඉදිරියට යාම ඕනෑවට වඩා මඳක් දුර ගෙන යනු ලැබූ කල්හි ඇති වන කාල පරිච්ජේදයකට (එවන් කාල පරිච්ජේද නිතර ම පාහේ හට ගනියි)  තමන්  එළඹ සිටින බව ඔවුහු දුටුහ. හිපොලයිට් චෙරේස් මේ මධ්‍යස්ථ අදහසට සහය දුනි. ඔහුගේ ක්‍රියා මාර්ගය මර්දනය කිරීමේ ක්‍රියා මාර්ගයක් නො ව, ඉවසා වැදෑරීමේ ක්‍රියා මාර්ගයකි. ඔහු ඊට පදනම දැමුවේ, ප්‍රතිසංස්කරණයන් සූදානම් කිරීම සම්බන්ධයෙන් කෙරුණ ඔහුගේ විශිෂ්ට කථාවේ දී ය. ගරු අග්‍රාමාත්‍ය තුමා දෙස බලනු ලැබුවේ, ඕනෑවට වඩා ඉදිරියෙන් සිටි අයකු ලෙස ය. ප්‍රාග්ධනයට අනතුරුදායක ලෙස පිළිගැනුණ ව්‍යාපෘති ඔහු යෝජනා කළේ ය. විශාල මූල්‍ය සමාගම් ඔහුට විරුද්ධ විය. ඇත්ත වශයෙන් ම ඉන් අදහස් වූයේ, හැම ආකාරයක ම මතිමතාන්තර දැරූ පුවත් පත් මූල්‍ය සමාගම්වලට සහය දුන් බව ය. අනතුර වැඩි වෙමින් පවතින බව දුටු කැබිනට් මණ්ඩලය, සිය යෝජනා ක්‍රම, සිය ක්‍රියා මාර්ගය සහ සිය මතිමතාන්තර අත් හැර දැමී ය. එහෙත් ඒ වන විට බෙහෙවින් පමා වී තිබුණි. නව ආණ්ඩුවක් ඒ වන විටත් සූදානම්ව තිබුණි. යෝජනාවක් සඳහා විෂය වූ කරුණු බවට සැණෙකින් ම පත් කර ගනු ලැබූ, පෝල් විසිරේ නැඟු ගුප්තාකාර ප්‍රශ්නයක් ද හිපොලයිට් චෙරේස් කළ කථාවක් ද දඩමීමා කර ගෙන කැබිනට් මණ්ඩලය පෙරළා දමුණි
.
  සමූහාණ්ඩුවේ ජනාධිපති උතුමාණෝ නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමේ වගකීම, මෙම පෝල් විසිරේ හට ම පැවරූහ. ඔහු තවමත් තරුණ වියේ පසු වූ නමුත්, දෙවතාවක් ම ඇමතියකුව සිටි අයෙකි. ඔහු ශෝභමාන පුද්ගලයෙක් විය. ඔහු සිය කාලයෙන් වැඩි කොටස ගත කළේ, නාට්‍ය ශාලාවන්හි නේපථ්‍යගාරයන්හි ය. හේ අතිශයින් ම කලාකාමී විය; ඉහළ සමාජයට අයත් වූවෙක් විය; විස්මයජනක හැකියාවන්ගෙන් ද කාර්යශූරත්වයෙන් ද හෙබියේ විය. සංත්‍රාසයයෙන් ඇළලී තිබූ පොදු ජන හැඟීමි යළි සන්සිඳුවාලීමේ අරමුණ සාක්ෂාත් කර ගත් තාවකාලික ආණ්ඩුවක් පෝල් විසිරේ විසින් පිහිටුවනු ලැබී ය. එහි නිලයක් හෙබවීමට හිපොලයිට් චෙරෙස් හට ඇරයුම් කෙරුණි.

  බහුතරයට අයත් සියලු ම කණ්ඩායම්වලින් සමන්විත වූ නව අමාත්‍ය මණ්ඩලය, අතිශයින් ම විවිධ සහ ප්‍රතිවිරුද්ධ මතිමතාන්තර දැරී ය. එහෙත් ඔවුහු සියලු දෙනා ම මධ්‍යස්ථවාදීහු සහ දැඩි  කොන්ස වේට්වාදීහු වූහ. විදේශ ඇමතිවරයා ලෙස, මුලින්ම තිබූ කැබිනට් මණ්ඩලයේ එම ඇමති ධූරය හෙබි වූ තැනැත්තා ම තබා ගැනුණි. ක්‍රොම්බයිල් නම් වූ ඔහු කුඩා ක`ඵ පැහැති මිනිසෙකි.

  තමාද යෝධ ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ය යන විශ්වාසයෙන් යුතුව ඔහු පැය දහ හතරක් ම වැඩ කළේ ය. ඔහු තමාගේ ම රාජ්‍ය තාන්ත්‍රික ඒජන්තවරුන් හමුවීම පවා ප්‍රතික්ෂේප කළේ ය. ඔහු අන් කිසිවකු හට කරදර නො කළ නමුත්, අතිශය අසහනයෙන් පෙළුණේ ය. මන්ද යත්, ජනතාවගේ දූරදර්ශීභාවය අඩු වීම අපරිමිත වූ නිසාත් ආණ්ඩුවේ අදූරදර්ශිභාවය ද එලෙසින් ම අපරිමිත වූ නිසාත් ය.

         ප්‍රසිද්ධ වැඩ පිළිබඳ අමාත්‍යාංශය ෆෝර්තුනේ ලා පෙයාසොන් හට භාර කෙරුණි. සමාජවාදයට විරුද්ධ වීම අරමුණු කර ගත් සෑම අමාත්‍ය මණ්ඩලයකට ම සමාජවාදී පක්ෂයේ සමාජිකයකු ඇතුළත් කිරීම, එකල පැවති දේශපාලන සිරිත් අතරින් අතිශයින් ම ගාම්භීිර, අතිශයින් ම දෘඪතර, අතිශයින් බැරෑරුම් සිරිත විය. ප්‍රකාශ කරලීමට මා සැහැසි වන්නේ නම්, එය අතිශයින් ම දරුණු හා කෲරතර සිරිත විය. එසේ කළේ ධනයේ සහ දේපළවල සතුරන් හට තමන්ගේ ම පක්ෂයේ අයකු මගින් පහර පිට පහර කෑමට සිදු වීමේ ලැජ්ජා සහගත තත්ත්වය ඇති කරනු පිණිසත්, අනාගතයේ දී තමන්ට ම පහර ගසන අයකු වෙත හැරීමෙන් තොර ව මෙකී බලවේගයන්ට එරෙහිව එක්සත් වීමට ඔවුනට නො හැකි කරලනු පිණිසත් ය. මෙම කාර්යයන් භාරගැනීමට සුදානම් සමාජවාදියකු සෙවීම දුෂ්කර වූවක් ය යන විශ්වාසය ඇති කර ගනු ඇත්තේ මිනිස් හදවත පිළිබඳ ගැඹුරු නොදැනුත්කමක් හේතුවෙන් මිස, අන් කිසිවක් හේතුවෙන් නො වේ. ෆෝර්තුනේ ලා පෙයාසොන් ප්‍රභූවරයා විසිරේගේ කැබිනට්ටුවට ඇතුල් වූයේ ස්වකීය නිදහස් කැමැත්ත අනුව සහ කිසිදු සීමා බන්ධනයකින් තොරව ය. ඔහුගේ එම ක්‍රියාව අනුමත කළවුන්, ඔහුගේ පැරණි සගයන් අතර පවා සිටිනු ඔහු දිටී ය. බලය පෙන්ග්විනියාව මත පෑ මෝහනය ඒ සා විශාල ය.

          සෙන්පති දිබොනෙයාර් යුද කාර්යාලය වෙත නික්මුණි. ඔහු හමුදාවේ දක්ෂතම සෙන්පතියන් අතරින් අයකු ලෙස සලකනු ලැබී ය. එහෙත් කාන්තාවක විසින් ඔහු පාලනය කරනු ලැබී ය. ඇය බිල්දමාර්න් සිටුවරියයි. හොර රහසේ පෙම් කරන වියට එළඹ සිටියේ වී නමුත්, ඈ තවමත් සුරූපි වූවා ය. ඇය අසල්වැසි සතුරු බලවතාට ඔත්තු සපයන්නියක් වූවා ය. 

  නාවික කටයුතු පිළිබඳ නව ඇමතිතුමා වූ අද්මිරාල් විවියේ ද මුරෙනේ, අති විශිෂ්ට නාවිකයකු ලෙස පොදුවේ සලකනු ලැබී ය. ආගම දවැන්ත නාවිකමය වටිනාකමින් යුක්ත වූවක් ලෙස සමුහාණ්ඩුව පිළිගෙන නො තිබුණේ නම්, ඔහු විදහා පෑ ආගම් භක්තිය. ආගම්- විරෝධී අමාත්‍ය මණ්ඩලයක්    තූළට කෙසේවත් වැද්ද ගත නො හැකි වූවක් ලෙස පෙනී යනු ඇත. සිය ආධ්‍යාත්මික මෙහෙයුම්කරු වූ ගෞරවාර්හ දුයියා පියතුමාගේ උපදෙස් මත ක්‍රියා කළ අද්මිරාල්වරයා, සිය නෞකා කණ්ඩායම සාන්ත ඔර්බෙරෝසියාවන් හට කැප කොට, අල්කානු කත්‍යාතුමියට ගරු බුහුමන් දක්වනු පිණිස වූ යාතිකාවන් කිතුණු කිවියන් විසින් පබැඳිය යුතු යයි නියෝග කළේ ය. නාවික හමුදාව මගින් වාදනය කෙරුණ ජාතික යාතිකාව මෙමගින් ඉවත් කෙරිණි.  
තමා පැහැදිලි ව ආගම්ි-විරෝධී බවත්, එනමුදු සියලු ම ආගම්වලට ගරු කිරීමට සුදානම් බවත් ගරු අග්‍රාමාත්‍ය විසිරේ මැතිතුමා ප්‍රකාශ කර සිටියේ ය. තමා තැන්පත් මනසින් යුතු ප්‍රතිසංස්කරණවාදියකු බව ඔහු සහතික කොට කියා සිටියේ ය. පෝල් විසිරේටත් ඔහුගේ සගයන්ටත් ප්‍රතිසංස්කරණ ඇති කිරීමට අවශ්‍ය ව තිබුණි. ඔවුන් එවන් කිසිවක් හෝ යෝජනා නො කර සිටියේ, ප්‍රතිසංස්කරණය බාල්දුවට ලක් නො කරනු පිණිස ය. මන්ද යත්. ඔවුන් තෙම්පරාදු දේශපාලනඥයන් වූ නිසාත්, ප්‍රතිසංස්කරණයන් යෝජනා කළ මෙහොතේ දී ම ඒවා බාල්දු වන බව ඔවුන් දැන සිටි නිසාත් ය. ආණ්ඩුවට හොඳ ප්‍රතිචාරයක් ලැබුණි. නම්බුකාර ජන කොටස් යළි අස්වසනු ලැබූහ. අරමුදල් ඉහළ නැංගේ ය. 

   යකඩ තැව් හතරක් තැනීමට කටයුතු කරන බවත් සමාජවාදීන්ට එරෙහිව නඩු පවරන බවත් නිවේදනය කළ ආණ්ඩුව, ප්‍රශ්නයට ලක් විය හැකි කිසිදු ආදායම් බද්දක් පැනවීමේ අදහසක් නැති බව ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ය. මුදල් ඇමති තනතුරට තෙරාස්සොන් තෝරා ගැනීම පුවත් පත් මගින් උණුසුම්ව අනුමත කරනු ලැබිණ. ස්වකීය මුදල් හුටපට සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ හිටපු ඇමතිවරයකු වූ තෙරාස්සොන් මුල්‍ය කරුවන්ගේ සියලු අභිමතාර්ථයන්ට ඉඩ හැර, විශාල ව්‍යාපාරික කටයුතු සිදු වන කාල පරිච්ජේදයකට මුල පිරි ය. වැඩිකල් නො ගොස් මල නූතන ජාතීන්ගේ අර කිරි බුරුළු තුන වන ඒකාධිකාරය, බිල් වට්ටම් කිරීම සහ වංචාකාරී සමපේක්ෂණ කටයුතු ධනය නැමති කිරි වලින් ඉදිමී ගියේ ය. දුර බැහැර ව්‍යාපෘති පිළිබඳවත් වතු වැවිලි ජනපද පිළිබඳවත් ඒ වන විට කන් කෙඳිරිගෑම් කරනු අසන්නට ලැබිණ. වඩාත් ම එඩිතර වූ පුද්ගලයෝ නිග්‍රිෂියාවේ මිලිටරි හා මූල්‍ය ආරක්ෂණ කලාපයක් ඇති කිරීමට අදාළ යෝජනා ක්‍රමය පිළිබඳව පුවත් පත්වල ලිපි පළ කළහ.
  
  තමාට කළ හැක්කේ කුමක් දැ යි තවමත් ප්‍රදර්ශනය කිරීමෙන් තොරව ම, හිපොලයිට් චෙරෙස් කාර්යශූරයකු ලෙස සලකනු ලැබී ය. ව්‍යාපාරිකයෝ ඔහු පිළිබඳව ඉහළින් ම සිතූහ. අන්තවාදී කොටස්වලින් සහ අනතුරුදායක පුද්ගලයන්ගෙන් කැඩී වෙන්වීම පිළිබඳවත්, ආණ්ඩුව සතු වගකීම් අවබෝධ කර ගැනීම පිළිබඳවත් දෙපසින් ම ඔහුට සුභාශිංසනය කෙරිණි. 
 ඇමතිතුමන්ලාගේ බිරියන් අතරින් කැපී පෙනුණේ චෙරේස් මැතිණිය පමණි. ක්‍රෙම්බයිල් තෙමේ, අවිවාහක රාජධානිය තුළ ම ක්ෂය වී ගියේ ය. පෝල් විසිරේ, බ්ලම්පිඤ්ඤොං නමැත්තියගේ වේශය ගත්තා වූ මුදල් හා සමගින් විවාහ විය. විචක්ෂණත්වයෙන්, සම්මානනීයත්වයෙන් සහ චාම්බවින් යුතු කාන්තාවක් වූ ඇය නිරතුරුව ම රෝගාතුර ව සිටියා ය. ඇගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය නිසා, ඈත එපිට දුර ගම්මානයක විසූ සිය මව සමඟ දිවි ගෙවීමට ඇයට සිදු විය. අනෙක් ඇමතිතුමන්ලාගේ බිරියන් ජනිතව සිටියේ නෙත් පිනවනු පිණිස නො වේ. පාරාදීසයේ පක්ෂීන්ගේ හැඩයෙන් යුත් කොණ්ඩා මෝස්තරයක් සහිත ව ජනාධිපති උතුමාණන්ගේ බාල් නැටුමකට ලාබිතේ මැතිනිය පැමිණි බව කියවූ විට ජනයා කොක් හඬලා සිනහසුණහ.

  විවියේ දෙ මුර්නේ වැදගත් පවුලකට අයත් වුවත්, උසට නො ගැලපෙන ලෙස තර වූ කාන්තාවකි. ඇයට තිබුණේ හරක් මස් කුට්ටියක් වැනි මුහුණකි. පත්තර විකුණා කෑ ගසන කොල්ලකුගේ වැනි කටහඬකි. දෙබොනෙයාර් මැතිනිය උස ය, වියලි ය, සුසජ්ජිත ය. තරුණ නිලධාරීන් වෙනුවෙන් පණ දෙන්නට සුදානමින් සිටියා ය. ඈ ඇගේ පලායාම් සහ අපරාධයන් මගින් ම වින් නැහියට පත් ව සිටියා ය. ඇය යළි පණ ගසා ආවේ, විරූපීභාවයේ සහ උජාරුවේ බලමහිමයෙනි.
  
  චෙරේස් මැතිණිය අමාත්‍ය මණ්ඩලයේ ශෝභාව වූවා ය; ජවුසම වූවා ය. තරුණ වූුත් සුරූපී වූුත් නිර්දෝෂී වුත් ඇය, ඇගේ සක්කර වටිටං වස්ත්‍රාභරණයන් සහ ප්‍රසන්න මදහස පෑම්වල සංයෝගය මගින්, ඉහළ සමාජ පෙළැන්තිය හා ජනතාව යන දෙකොටසට ම විනෝදය සැපයුවා ය.
  ඈ පැවැත් වූ උත්සවයන් විශාල යුදෙව් ධනකුවේරයන්ගෙන් පිරී ඉතිරි තෙරපී තිබුණි. සමුහාණ්ඩුවේ අතිශයින් ම ජවුසම්කාරි උද්‍යානෝත්සවය පැවැත්වූයේ ඇයයි. පුවත් පත් ඇගේ ඇඳුම් පැළඳුම් ගැන විස්තර පළ කළේ ය. කාන්තා ඇඟලුම් වෙළෙන්දෝ එම ඇඳුම් සඳහා අයවිය යුතු මුදල් නො ඉල්ලූහ. ඇය දේව මෙහෙයට සහභාගි වූවා ය. ජනතාව එල්ල කළ පසමිතුරු ප්‍රහාරයන්ගෙන් ශාන්ත ඔර්බරෝසියාගේ දෙව් මැඳුර ආරක්ෂා කිරීමට ඇය ක්‍රියා කළා ය. පල්ලිය සහ ආණ්ඩුව අතර මිත්‍ර ගිවිසුමක් ඇතිවීම පිළිබඳ අපේක්ෂාවන්ගෙන් වංශක්කාරයන්ගේ හදවත් පොදි බැඳලීමට ඇය ක්‍රියා කළා ය. 

 රන්වන් රන් කේශ කලාපයකින් ද අළු පැහැති දෙනෙතින් ද වසඟ කරවනසුලු සහ සිහින්, එනමුදු වටකුරු දේහයෙන් ද යුත් ඇය ඇත්තෙන් ම පියකරු වූවා ය. විශිෂ්ට කීර්ති නාමයක් ඇය සතු වූවා ය. ඇය කෙතරම් චතුරද යත්, ශාන්තදාන්ත ද යත්, කෙතරම් මැනවින් තමාව පාලනය කර ගන්නියක් ද යත්, තමා එම කීර්ති නාමය වනසා ගන්නා ක්‍රියාවක යෙදී සිටින අවස්ථාවේ දී ම අතට ම අසු වුවත්, එම කීර්ති නාමය ඇය විසින් රැක  ගනු ලබනවා ඇත.
 
 විමර්ශනාත්මක කටයුතු සඳහා බද්දක් පැණවීම සඳහා ගෙනෙනු ලැබූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ ඒකමතිකභාවය මධ්‍යයේ පරාජයට පත් කරමින් කැබිනට් මණ්ඩලය ලැබූ ජයග්‍රහණයක් හා සමගින් දල ඒ මොහොතේ අල්කාව පසු කර යමින් සිටි රජවරුන් තිදෙනා වෙනුවෙන් සම්භාෂණයන් පැවැත් වූ චෙරේස් මැතිණියගේ ජයග්‍රහණයක් හා සමඟින් ද සැසිවාරය නිමාවට පත් විය.










 



 
06 

වල්ලභයාගේ සෝපාව
 

  තමා කඳුකරයෙන් මිල දී ගත් කුඩා නිවසේ සති කීපයක නිවාඩුවක් ගත කිරීමට පැමිණෙන මෙන් ගරු අග්‍රාමාත්‍ය තුමා චෙරෙස් යුවලට ඇරයුම් කළේ ය. ඔහු හුදෙකලාව දිවි ගෙවුයේ එහි ය. පෝල් විසිරේ මැතිනියගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය ඇයට සිය ස්වාමියා සමඟින් එහි යාමට ඉඩ නො හළේ ය. ඇය සිය ඥාති සමූහයා සමඟින් දකුණු පලාතේ ගම්මානයකට වී කල් ගෙව්වා ය.
  
  නිවෙස අයත්ව තිබුණේ අල්කාහි අන්තිම රජවරුන්ගෙන් එක් අයකුගේ අනියම් බිරිඳකට ය. විසිත්ත කාමරයෙහි තිබුණේ පැරණි ගෘහ භාණ්ඩ ම ය. වල්ලභයාගේ සෝපාව තවමත් එහි තිබුණි. එම පෙදෙස රමණීය විය. එසෙල් නමැති රමණීය නිල්වන් දිය ඇල්ල නිවස අබියස වූ කඳු පාමුලින් ගලා ගියේ ය. හිපොලයිට් චෙරේස් මාළු බෑමෙහිලා ලොල් බවක් දැක්වී ය. මෙම ඒකාකාරී කාර්යයෙහි නියැලී සිටින විට, ඔහු සිය විශිෂ්ටතම පාර්ලිමේන්තුමය සංයෝගයන් ද සිය ප්‍රීතිමත් ආස්වාදජනක දේශනයන් ද සකස් කර ගති. විලේ මත්ස්‍යයෝ පිරී ඉතිරී සිටියහ. අග්‍රාමාත්‍යතුමා සිය කැමැත්තෙන් ම ප්‍රදානය කළ බෝට්ටුවකට වී ඔහු උදේ සිට අඳුර වැටෙන තෙක් මා`ඵ බෑවේ ය.

  මේ අතරතුර එව්ලින් සහ පෝල් විසිරේ වරෙක උද්‍යානයේ කල් ගෙවූහ. වරෙක විසිත්ත කාමරයට වී කෙටි අල්ලාප සල්ලාපයක යෙදුණි. ස්ත්‍රීන් කෙරෙහි පතළා වූ විසිරේගේ ලෝලීත්වය එව්ලින් විසින් හඳුනා ගනු ලැබුයේ වී නමුත්, ඇය ඔහු කෙරෙහි මේ තාක් දැක්වුයේ, කිසිදු යටි අරමුණකින් හෝ නිශ්චිතව ඇති කර ගත් සැලසුමකින් හෝ තොර, විවේකී බවක් මතුපිටින් පෙනුණ අඟර දඟර පෑමක් පමණි. ඔහු විචක්ෂණ ය ඇය සුරූපී ය. පාර්ලිමේන්තුව සහ ඔපෙරා නාට්‍යය ඔහුගේ මුළු විවේකය ම ඔහුට අහිමි කර තිබුණි. එහෙත් හුදෙකලා කුඩා නිවෙසක දී එව්ලීන්ගේ අළු පැහැති දෙනෙත් සහ වටකුරු හැඩය ඔහුගේ දෙනෙතට රසඳුනක් විය. දිනක් හිපොලයිට් චෙරේස් අයිසෙයි ඇලෙහි මාළු බාමින්  සිටින අතරතුර  ඔහු වල්ලභයාගේ සෝපාව මත ඇය ළඟින් හිදුවා ගෙන කල් ගෙව ය. දීප්තිමත් දිනෙක උණුසුමින් ද ප්‍රභාශ්වරබවින්       ද ඇයට සෙවණ ගෙන දුන්නා වූ තිර රෙද්දක විවරයකින් රන්වන් හිරු රැස් දහරක් එව්ලින් මත පතිත වූයේ, සැඟවී සිටි අනංගයකූගේ  දුන්නක් පරිද්දෙනි. සිහින් සිනිඳු වස්ත්‍රය තුළින් ඇගේ රවුම්, එනමුදු කෙසහ දේහය, එහි දයා ගුණයෙන් සහ තාරුණ්‍යයෙන් යුතු ව දිස් වුණි. ඇගේ සම සිසිල් විය; නැවුම් විය. එහි වූයේ නැවුම් පිදුරුවල සුවඳ ය. පෝල් විසිරේ තැනට ඔබින ලෙස ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව හැසුරුණි. ඈ ගැන කියන්නේ නම්, ඇය දෛවයේ හෝ සමාජයේ හෝ කෙළි සෙල්ලම්වලට විරුද්ධ නො වූවා ය. ඇය සිතුවේ එය කිසිවක් ම නොවන බව ය. නැති නම් වැදගම්මකට නැති දෙයක් බව ය. ඇයට වැරදුණි.

    සුප්‍රකට ජර්මන් ගීත කාව්‍යයක මෙසේ කියැවෙයි

.  “නගර චතුරශ්‍රයක ප්‍රසන්න පෙදෙසෙක ලියවැල් වැඩී ගිය බිත්තියක් පසෙකින් නිල් මහනෙල් මල් මෙන් නිල් පැහැ ගැන්වුණ ලියුම් පෙට්ටියකි. එය මඳහස පාමින් නිසසල ව සිටියේ ය.
  
  “දවස පුරා ම කුඩා සාප්පු හිමියෝ, ධනවත් ගොවියෝ. ප්‍රභූවරයෝ, බදු එකතු කරන්නෝ සහ පොලිස් භටයෝ, සිය දඬු පාවහන් පැළඳ එය වෙත පැමිණි සිය ව්‍යාපාරික ලිපි, ඉන්වොයිස් ලිපි, සිතාසි, බදු දැන්වීම්, විනිසුරුවන්ගේ නඩු වාර්තා, එක් රැස් වන ලෙස අලුතින් බඳවා ගත්තවුන් හට කෙරෙන නියෝග එය තුළට දමූහ. එය මඳහස පාමින් නිසසල ව සිටියේ ය. 
 
  “ප්‍රීති ප්‍රමෝදය නිසා හෝ වේවා, උද්වේගය නිසා හෝ වේවා කම්කරුවෝ සහ කෘෂි සේවකයෝ ද, ගෘහ සේවිකාවෝ ද, දරුවන් රැක බලා ගන්නියෝ ද ගණකාධිකාරිවරු ද, ලිපිකරුවෝද, සිය කුඩා දරුවන් උසුලා ගෙන යමින් සිටි ස්ත්‍රීහු ද එය වෙත ඇදුණාහ. ඔවුහු උප්පැන්න සහතික ද, විවාහ සහ මරණ සහතික ද, විවාහ ගිවිස ගත් පෙම්වතුන් අතර සහ ස්වාමි පුරුෂයන් හා බිරියන් අතර හුවමාරු වූ ලිපි ද, මව්වරුන් සිය පුතුත් වෙත සහ පුතුත් මව්වරුන් වෙත යැවූ ලිපි ද එය තුළට දැමුහ. එය මඳහස පාමින් නිසලව සිටියේ ය.
“අඳුර වැටුණු කල් හි තරුණ තරුණියෝ හොර රහසේ එය වෙත එළඹ එය තුළට පෙම් හසුන් දැමූහ. ඉන් සමහරක් කඳුළින් එය තෙතබරිත කළේ ය. ඉන් තීින්ත පැල්ලම් හට ගැනුණි. සිප ගත යුතු තැන දක්වෙන කුඩා කවයන් අනෙක් හසුන්වල ඇති විය. ඒ සියල්ල ඉතා දිගු විය. ලියුම් පෙට්ටිය මඳහස පාමින් නිසසල ව සිටියේ ය. 
 
  “දිනය උදා වනවාත් හා සමඟ ම, ධනවත් වෙළෙන්දෝ ඕනෑවටත් වඩා වැඩි පරෙස්සම් සහගත භාවයකින් යුතු ව එය වෙත එළඹ, ලියාපදිංචි කළ ලිපි ද, බැංකු නෝට්ටුවලින් හෝ අධිරාජ්‍යයේ දවැන්තම මූල්‍ය ආයතනයන්ට අයත් චෙක්පත්වලින් පිරුණ රතු මුද්‍රාවන් පහකින් යුතු ලිපි ද එය තුළට දැමූහ. එය මඳහස පාමින් නිසසලව සිටියේ ය. 

  “එහෙත් දිනෙක, එය කිසිදා දැක නො තිබූ සහ ආදම් වෙතින් එය කිසිදා අසා දැන නොසිටි ගැස්පා නැමැත්තා එහි පැමිණ ලිපියක් දමීය. එය කුඩා හිස් වැසුමක් මෙන් නවා තිබූ බව හැරුණ විට, ඒ ගැන කිසිවක් දැන ගන්නට නැත. සැණෙකින් ම තැපැල් පෙට්ටිය සිහි මූර්ච්ඡාවට පත් විය. එතැන් පටන් එය තව දුරටත් එය පෙර තිබූ තැන නො වී ය. අයිවි නමැති පඳුරුවලින් ඔතන ලද, රෝස මල් ඇතිරුණ එය විීදි සහ කැලෑ ඔස්සේ දිවී ය. භවබෝග මධ්‍යයට වන් ග්‍රාමීය පොලිස් භටයා ගැස්පාගේ තුරුල්ලට වැදී මුවගට මුවග තබා වරෙක එය විමතියට පත් කළේ ය.“ 
  පෝල් විසිරේ ඔහුගේ සුපුරුදු නොසැලකිලිමත් භාවයෙන් සියල්ලට යළි සම වැදුණි. එව්ලින් වල්ලභයාගේ සෝපාවෙහි තව දුරටත් වැතිර සිටියේ මධුර මනෝහර, විස්මයදනවනසුලු විලාශයකිනි.  අති විශිෂ්ට සුචරිතවාදියකු වූත්, පල්ලිය ජරාජීර්ණව යන තත්ත්වය තුළ දී පවා සිය ප්‍රතිපත්තීන් මත දැඩිව පිහිටා සිටියකු වූත් දුයියා පියතුමා, ස්ත්‍රියක් මුදල් වෙනුවෙන් තම සිරුර පාවා දෙන විට මහා පාපයක නියැලෙන බවටත් මොන කජ්ජක්වත් නොලබමින් ම තම සිරුර පාවා දෙන විට ඊට වඩා විශාල පාපයක නියැලෙන බවටත් සිය පියතුමන්ලාගේ ධර්මයට අනුව යමින් ඉගැන්වීම නිවැරදි ය. මන්ද යත්, ප්‍රථම අවස්ථාවේ දී ඇය ක්‍රියා කරන්නේ බඩ වියත රැක ගැනීම සඳහා වන හෙයිනි. එය සමහර විටෙක හේතු සාධාරණ සහිත වූවක් පමණක් නො ව, සමාව භජනය කළ හැක්කක් ද වේ. දිව්‍යමය අනුග්‍රහය ලැබීමට පවා යෝග්‍ය වූුවක් වේ. මන්ද යත් දෙවියන් වහන්සේ සිය දිවි නසා ගැනීම තහනම් කර තිබෙන නිසාත්, තමාට අයත් සත්ත්ව සමූහයා තමන්ව ම විනාශ කර ගැනීම ගැන එතුමාණන් අකමැති නිසාත් ය. අනෙක, බඩ වියත ගැට ගසා ගැනීමට ඇය තම සිරුර පාවා දෙන විට ඇය සිටින්නේ අසරණ ව ය. ඇය ඉන් පරමාස්වාදයක් නො ලබයි. එම කරුණ පාපය හීන කරවන්නා වූ සාධකයෙකි. එහෙත් මොන ම කජ්ජක්වත් නොලබමින් තම සිරුර පාවා දෙන තැනැත්තිය පරමාස්වාදය භුක්ති විඳිමින් පාපයෙහි ගැලෙන අතර, වරදෙහි බැඳී සිටියදී ද ප්‍රීති ප්‍රමෝදයෙන් මුකුලිත වෙයි. ඇය සිය අපරාධ පුරවාලන්නා වූ සාඩම්බර ලීලාවත් ප්‍රීති ප්‍රමුදිතභාවයත් එහි සදාචාරමය වරදකාරීභාවයෙහි බරපතළකම වැඩි කරලයි.

  හිපොලයිට් චෙරේස් ආර්යාව පිළිබඳ නිදසුන, මෙම සදාචාරාත්මක සත්‍යයන්හි ගැඹුරුකම පෙන්වාලයි. මෙම කරුණ අනාවරණය කරලීමට, ඇගේ ආත්මය වෙනස් කරලීමට, ඇගේ මුළු දිවි පෙවෙත ම වෙනස් කර ලීමට නිමේශයක් වුව ප්‍රමාණවත් ය. තමාව අවබෝධ කර ගැනීම මුල දී ඇයට ප්‍රීති ප්‍රමෝදයක් විය. ඉපැරණි දර්ශනයෙහි එන කාමේසුමිච්ඡාචාරය වූකලී, සදාචාරාත්මක ව පිළිපැදීම හේතුවෙන් කිසියම් හෝ ආස්වාදයක් ලබා දෙන සංකල්පයක් නො වේ. මන්ද යත්, යමකු සිය ආත්මය හඳුනා ගැනීමෙන් භුක්ති විඳින්නේ මඳ තෘප්තියක් වන හෙයිනි. එය මාංශ පේශීන් සම්බන්ධයෙන් ගත් කල එසේ නො වේ. මන්ද යත් එය තුළින් ද ප්‍රීති ප්‍රමෝදයේ මූලාශ්‍රයන් අප හට අනාවරණය වන හෙයිනි. තමන්ට මෙය අනාවරණය කර දුන් අය හට තමා අත් කර ගත් ප්‍රතිලාභයට සමානුපාතික වූ යුතුකමක් ඉටු කළ යුතුව ඇති බැව් එවිලින් හට සැණෙකින් හැඟී ගියා ය. මෙම දිව්‍යමය ගැඹුරත තමන්ට අනාවරණය කර දුන් පුද්ගලයා, ඒවාට ඇති යතුර හිමි එක ම අයිතිකරු බව ඇය ආවර්ජනය කළා ය. මෙය වැරදීමක්වත් දෝ හෝ? මෙම ස්වර්ණමය යතුර හිමි වෙනත් අය ඇයට හමු විය නොහැකි ද? එය තීරණය කිරීම දුෂ්කර ය. සත්‍ය කරුණු අනාවරණය කෙරුණ විට (අපට පෙනී යනු ඇති පරිදි වැඩි කල් නොයවා ම සිදු වූයේ එයයි.) මහාචාර්ය හඩොක්, විද්‍යාත්මක සඟරාවක දී මේ කාරණය අත්හදා බැලීමේ දෘෂ්ඨි කෝණයකින් සලකා බැලී ය. ඔහු නිගමනය කළේ ක්ලරෝන්ස් ආර්යාව, විසිරේ මයාගේ හරියට ම සමාන ප්‍රමාණය ලබා ගැනීමේ අවස්ථාවන්හි අනුපාතය 305 ට 975008 ක් බවය. මෙය හරියට ම, ඇය කිසිදා එය අත් කර නො ගන්නා බව කීමක් වැනි ය. නිසැක වශයෙන් ම, ඇගේ සහජාසයන් ඇයට කියා සිටියේ ද එය ම ය. මන්ද යත්, ඇය ඔහු වෙත ඇලී ගැලුණේ ඉවතට හැරෙන ගමන් ම වූ නිසා ය. 
 
  ධ්‍යාන වඩවනා වූත් දාර්ශනික වූත් මනස්වල අවධානය ආකර්ෂණය කර ගනු පිණිස යෝග්‍ය වනු ඇතැයි මට පෙනී ගිය සියලු ම තත්ත්වයන් ද සමඟින් සත්‍ය කරුණු සියල්ල ම මෙහිලා ගෙන හැර දක්වමි. වල්ලභයාගේ සෝපාව ඉතිහාසයෙහි ප්‍රෞඩත්වයට තරම් වේ. එය මත ජනතාවකගේ ඉරණම තීන්දු කෙරිණි. එපමණක් නො වේ. මිතුරු පසමිතුරු උභය පාර්ශ්වික තදාසන්න ප්‍රදේශ පුරාත් මුළු මිනිස් සංහතිය පුරාත් සිදු වූ සුප්‍රකට ක්‍රියාවක් එය මත මස්තකප්‍රාප්ත කර ගනු ලැබී ය. බොහෝ විට මේ වර්ගයේ සිද්ධීන්, ඉතිහාසය ලේඛනාරූඪ කිරීමේ කර්තව්‍යයට අවිචාරාත්මක ව උර දෙන නො සියුම් මනස් තුළින් සහ හිස් ආත්මයන් තුළින් ගිලිහී යයි. ඒ අනුව, සිද්ධීන් පිළිබඳ රහසිගත හේතු සම්බන්ධතාවන් අපගෙන් සඟවාලනු ලැබේ. අධිරාජ්‍යයන්ගේ සහ යටත් විජිතයන්ගේ සංක්‍රාන්ති වීම අප විස්මයට පත් කරලයි; අපට දුරවබෝධ දේ ලෙස පවතී. මන්ද යත්, අපට දුරවබෝධ වන දේ අප අවබෝධ කර ගෙන නොමැති හෙයිනි. එසේත් නැත්නම් ක්‍රියාත්මක කරනු ලැබූ විට, සියල්ල වනසා දමා පෙරළා දැමූ රහසිගත හේතු සම්බන්ධතාවයන් අප සතුව නො තිබූ හෙයිනි. මෙම ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ කතුවරයා අන් කවරකුටත් වඩා මැනවින් තමන්ගේ වැරදි සහ දුර්වලතාවයන් දනියි. එහෙත් තමා වෙනුවෙන් මෙම සාධාරණය ඉටු කර ගැනීමට ඔහුට හැකි ය. එනම්, රාජ්‍යයේ කටයුතු පිළිබඳ විස්තරයක් කරන විට තිබිය යුතු යයි ඉල්ලා සිටින මධ්‍යස්ථභාවය, බැරෑරුම්භාවය සහ සකසුරුවම්භාවය හැම විට ම ඔහු සුරැකි බවත් මිනිස් ක්‍රියාවන් පිළිබඳ විස්තර වර්ණානයකට ගැලපෙන බැරැරුම්භාවයෙන් ඔහු කිසි විටෙකත් ඉවතට නො ගිය බවත් ය. 


 
 
 
 
                                      07 

                         ප්‍රථම ප්‍රතිඵල
 
  තමා කිසි ම දිනක එවැන්නක් අත් නොදුටු බව එව්ලින් පෝල් හට කී විට ඔහු ඇගේ බස් නො ඇදහී ය. ඔහු ස්ත්‍රීන් සමග හොඳ හැටි නඩලන් නටා මනා පලපුරුද්දෙන් හෙබියේ ය. තමන් සමඟ වඩ වඩාත් තදින් අනඟ කෙළියේ යෙදීමට මිනිසුන් පොළඹවා ගනු වස් ඔවුන් මිනිසුන් හට ඕනෑ පදම් මෙවන් චාටු බස් දොඩන බව ඔහු දත්තේ ය. ඒ අනුව, සමහර විට සිදුවන පරිදි ම, සත්‍යය නො තකා හැරීමට ඔහුගේ අත්දැකීම් ඔහුව මෙහෙයවාලී ය. සැක සංකා සහිත ව, එනමුදු විය යුතු පරිදි ම, සංතෘප්තියට පත් ඔහුට වහා ඈ කෙරෙහි ප්‍රේමයකුත් ඊට වඩා වැඩි දෙයකුත් හැඟී ගියේ ය. මෙම තත්ත්වය ඔහුගේ ප්‍රඥා මහිමයට වාසිදායක වූ බව මුල දී පෙනී ගියේ ය. විසිරේ සිය මන්ත්‍රී ආසනයට අයත් ප්‍රධාන නගරයේ දී කෝමළ මධුර මනෝහර කථාවක් පැවැත්වී ය. එය අග්‍රගණ්‍ය වූවක් ලෙස සැලකුණි. 
 පාර්ලිමේන්තුව යළි විවෘත කිරීම ගරු ගාම්භිර විය. තැන තැන ර්ර්ෂ්‍යාකම් අතළොස්සක් ද සුළු සුළු යශස්කාමයන් අතලොස්සක් ද සභා ගැබ තුළ මතු විය. එපමණකි. මෙම සේයාවන් තුරන් කරලීමට ගරු අග්‍රාමාත්‍යතුමාගේ එක ම එක විරිත්තීමක් සෑහුණි. ඇය සහ ඔහු දිනෙකට දෙවරක් එකිනෙකා දැක බලා ගත්හ. ඒ අතරතුර එකිනෙකාට පෙම්පත් ලියූහ. ඔහු සමීප සබඳතාවන්ට හුරු පුරුදු වූවෙකි: හුරු බුහුටියෙකි; පොල්ල තබා පැනීමේ මනා පරිචයකින් යුක්ත වූවෙකි. එහෙත් එව්ලින් මුග්ධ අවිචක්ෂණභාවයක් ප්‍රදර්ශනය කළා ය . ඇය විසිත්ත කාමරයන්හි දී ද කලා ගාරයන්හිදී ද, පාර්ලිමේන්තුවේ දී ද තානාපති කාර්යාලයන්හිදී ද ඔහු සමඟ එකට පෙනී සිටියා ය. ඈ සිය මුහුණ පුරා, මුළු සර්වාංගය පුරා, සිය තෙත බරිත බැල්ම හෙළීම් තුළ, සිය තොලග මිලානවූ සිනහව තුළ, සිය ළමැද උස්  පහත් වීම් තුළ සහ සිය උස් වූ සංක්ෂෝභිත වූ මනෝරම්‍යභාවය තුළ ප්‍රේමය පොරවා ගෙන සිටියා ය. වැඩි කල් නොගොස් ම මුළු රට ම ඔවුන්ගේ කුළුපගභාවය දැන ගති. නො දැන සිටියේ සමූහාණ්ඩුවේ ජනාධිපති උතුමාණන් සහ එව්ලින්ගේ වල්ලභයා පමණි. රට අභ්‍යන්තරයේ සිටිය දී ජනාධිපති උතුමාණන් එය දැන ගන්නේ, අස්ථානගතව තිබී හමු වූ පොලිස් වාර්තාවක් මගිනි. එම වාර්තාව ඔහුගේ බෑගයට ඇතුල් වූයේ කෙසේ දැ යි දැන ගන්නට නැත. 
 
  සිය නිවසේ යම්කිසි අමුත්තක් ඇති බැව් හිපොලයිට් චෙරේස් සනිටුහන් කර ගත්තේ අතිශය තීක්ෂ්ණ හෝ අතිශය සූක්ෂ්ම හෝ වීමකින් තොරව ය. මේ ඊයේ පෙරේදා වන තෙක් ම ඔහුගේ කටයුතු කෙරෙහි උනන්දුවක් දැක් වූ, මුදු මොළොක් බවක් නො වේ නම් අවම වශයෙන් ඔහු කෙරෙහි ආදරයක්වත් දැක් වූ එව්ලින්, දැන් දැන් පෙන්නුම් කළේ උපේක්ෂා සහගතබව සහ පිළිකුල හැර අන් කිසිවක් නො වේ. ඇය නිවසට නො පැමිණි කාලපරිච්ඡේදයන් ද ඇති විය. ඇය සාන්ත ඔර්බෙරෝසියාගේ පුන්‍යාධාර ආයතනයට දිගුකාලීින යෑම ඊම් කළා ය. දැන් ඇය උදෙන් ම පිටව යයි. දවස පුරා පිට ව සිටියි. කුම්භකර්ණ සෙයියාවෙන් යුතු මුහුණකින් යුතු ව රාත්‍රී භෝජනය ගැනීම පිණිස රාත්‍රී නවයට මේසයේ වාඩි වෙයි. ඇගේ වල්ලභයා මෙය සැලකුවේ විකාරයක් ලෙස ය. එසේ ද වුවත් මෙයට හේතුව කිමෙක් දැයි ඔහු කිසිදා නොදැන සිටියා විය හැක. එය අනාවරණය කර ගැනීමට පෙම්වතුන් දෙදෙනා ඔහුට ඉඩ නො හළේ නම්, ස්ත්‍රීන් පිළිබඳව තිබූ තියුණු නොදැනුවත්කමත් තමාගේ කෙළිකාරකම ගැන හා තමාගේ වාසනා මහිමය ගැන තිබූ ඉමහත් මුග්ධ විශ්වාසයත් හේතු කොට ගෙන, සමහර විට ඔහු කෙරෙන් සත්‍යය සදා වහංගු වීමට ඉඩ තිබුණි.  
පෝල් විසිරේ එව්ලින්ගේ නිවසට ගිය විට, ඇය එහි තනිය ම සිටින බව දැන ගත් විට, උනුන් වැළඳ ගන්නා විට මෙසේ කීමට පුරුදුව සිටියහ. “මෙහේ නෙවෙයි ! මෙහේ නෙවෙයි!” සැණෙකින් ම ඔවුහු අතිශය බැරෑරුම් බවක් ආරූඪ කර ගනිති. එය අනිවාරණිය නියමයක් විය. දිනෙක පෝල් විසිරේ, තමා විසින් යම් කටයුත්තක් සඳහා යොදා ගෙන සිටි සිය සගයා වූ චෙරේගේ නිවසට ගියේ ය. යම් කාර්යයක් හේතුවෙන් වෙළඳ ඇමතිතුමා පමා වූ හෙයින් ඔහු පිළිගත්තේ එව්ලින් ය.
  
  “මෙහේ නෙවෙයි, මෙහේ නෙවෙයි” පෙම්වත්හු සිහවෙමින් කියා සිටියහ. 
ඔවුන් එසේ කිවේ මුවට මුව තබා එකිනෙකා වැළඳ ගනිමින් සහ තද කර ගනිමිනි. හිපොලයිට් චෙරෙස් විසිත්ත කාමරයට පිවිසෙන විට ද ඔවුහු තවමත් එය කියමින් සිටියහ.   

  පෝල් විසිරේ සිහි මොළේ අවුල් කර ගත්තේ නැත. ඇගේ ඇහේ තිබෙන රොඩ්ඩ ඉවත ලෑමේ ප්‍රයත්නය තමා අත් හැර දමන බව ඔහු චෙරේස් ආර්යාවට කීවේ ය. මෙම උප්පරවැට්ටිය මගින් ඔහුට ඇගේ වල්ලභයාගේ ඇසට වැලි ගැසිය හැකි වූයේ නැත. එහෙත් යම් පමණක ගෞරව මාත්‍රයක් ඉතිරි කර ගෙන කාමරයෙන් පිටව යාමට ඔහුට හැකි විය. 
 
  හිපොලයිට් චෙරේස් හෙණ ගැසූ කලෙක මෙන් බිරාන්ත විය. එව්ලින්ගේ චර්යාව තේරුම් ගත නොහැක්කක් ලෙස ඔහුට පෙනී ගියේ ය. එයට හේතු කවරේ දැයි ඔහු ඇගෙන් ඇසී ය.
  
  “ඇයි? ඇයි?” ඔහු නොකඩවා ම අසන්නට විය. 
 
  ඇය සියල්ලක් ම ප්‍රතික්ෂේප කළා ය. ඇය එසේ කළේ ඔහුට ඒත්තු ගන්වනු පිණිස නො වේ. මන්ද යත් ඔහු ඔවුන් දෙදෙන සියැසින් ම දුටු බැවිනි. ඇය එසේ කළේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු ව සහ මනා රස වින්දනයෙන් යුතුව ය. වේදනා දනවනසුලු කරුණු පැහැදිලි කිරීම්වල යෙදීම මග හරිනු පිණිස ය. හිපොලයිට් චෙරේස් ඊර්ෂ්‍යාවෙන් හට ගන්නා සකල වධ වේදනාව ම වින්දේ ය. ඔහු එය පිළිගෙන තමාට ම මෙසේ කියා ගනිමින් සිටියේ ය. “මම හයි හත්තිය ඇති මිනිහෙක්. මම සන්නද්ධ වෙලයි ඉන්නෙ. ඒත් තුවාලෙ තියෙන්නේ මගෙ හදවතේනෙ.” ඇගේ වරද තුළ දී ද සුරූපී ව පෙනුණ සිය බිරිඳ වෙත හැරුණ ඔහු මෙසේ කීවේ ය.  
“ඒක කරන්න තිබුණෙ ඌ එක්කල නෙවෙයි’්’ 
 
  ඔහු නිවැරදි විය. එව්ලින් ආණ්ඩුවේ කවයන් අතර ප්‍රේමයට ලක් නො විය යුතු වූවා ය.
  
  ඔහු කෙතරම් වද වේදනාවන්ගෙන් පීඩා විඳින ලද්දේ ද යත් “මම ගිහින් ඌව මරණව මරණවමයි” කියමින් සිය රිවෝල්වරය අතට ගති. එහෙත් සිය ගරු අග්‍රාමාත්‍ය තුමා මරා දැමිමට වෙළෙඳ ඇමති තුමකුට නොහැකි බව ඔහුට සිහිපත් විය. ඔහු රිවෝල්වරය සිය ලාච්චුව තුළට දැම්මේ ය. 

  ඔහු විඳි වද වේදනාවන් තුනී වීමකින් තොරව ම සති ගණනාවක් ගත විය. සිය හද බැඳි තුවාලය මත්තෙහි සෙන්පති සන්නාහය පැළඳ ගත් ඔහු, තමන් වෙතින් පළා ගිය සිතේ සැනසුම සිය වැඩකිඩ මඟින් ද ප්‍රසිද්ධිය තුළින් ද ලබා ගැනීමට තැත් කළේ ය. හැම සෙනසුරාදාවක ම ඔහු උඩුකය සහිත ප්‍රතිමා, පිළිම, වතුර මල්, නළ ළිං, රෝහල්, ඔසු සල්, උමං දුම්රිය , ප්‍රසිද්ධ වෙළෙඳ පොළවල්, කානු ක්‍රම, විජයග්‍රාහි ආරුක්කු, මස් කඩ විවෘත කළේ ය. එවන් හැම අවස්ථාවක දී ම හද තෙමාලන කථා පැවැත්වී ය. ඔහුගේ කාර්යශූරී කටයුතු මගින් මුළුමහත් ලියවිලි තොග ගණන් ගිල දැමුණි. ඔහු එක් සතියක් ඇතුළත තැපැල් මුද්දරයක වර්ණය දහ හතර වතාවක් වෙනස් කළේ ය. එසේ ද වුවත් ඔහු තමාව උම්මත්තකභාවයට හෙ`ඵෑ ශෝකාලාපයන් හා කෝපාලාපයන් ප්‍රකාශයට පත් කළේ ය. දින ගණනාවක් ඔහුගේ විචාර බුද්ධිය ඔහු අතැර පළා ගොස් තිබිණ. ඔහු පෞද්ගලික ආයතනයක රැකියාව කළේ නම්, මෙය සැණෙකින් ම සනිටුහන් කර ගනු ලබනවා ඇති. එහෙත් රජයේ කටයුතු පවත්වාගෙන යාමේ දී පවතින උම්මත්තකභාවය අනාවරණය කර ගැනීම, ඊට වඩා බෙහෙවින් ම දුෂ්කර ය. ඒ මොහොතේ දී ම ආණ්ඩුවේ කම්කරුවන් වෘත්තීය සංගම් හා සම්මේලන පිහිටුවා ගනිමින් සිටියේ, පාර්ලිමේන්තුව සහ මහජන හැඟීම් යන දෙක ම සංත්‍රාසයට පත් කළා වූ කළබගෑණියක් මධ්‍යයේ ය. වෘත්තීය සමිති කෙරෙහි වූ සිය උද්යෝගීමත්භාවය තුළ දී, ලියුම් බෙදා හරින්නෝ විශේෂයෙන් ම පෙරමුණෙහි සිටියහ. 
 
  ඔවුන්ගේ ක්‍රියාව මුළුමණින් ම නීත්‍යනුකූල බව චක්‍රලේඛයක් මගින් හිපොලයිට් චෙරේස් ඔවුනට දැනුම් දුනි. ආණ්ඩුවේ සේවකයන්ගේ සියලු ම සංගම් නීති විරෝධී දේ ලෙස තහනමට ලක් කරමින් ඊට පසු දින ඔහු දෙවෙනි චක්‍රලේඛයක් යැවී ය. ඔහු ලියුම් බෙදා හරින්නන් අසූ දෙනෙක් සේවයෙන් නෙරපී යත යළි සේවයෙහි පිහිටු වී ය. ඔවුන් දැඩි දෝෂදර්ශනයට ලක් කළේ ය. ඔවුනට ප්‍රසාද දීමනා ප්‍රදානය කළේ ය. කැබිනට් රැස්වීම්වල දී ඔහු හැම විට ම සිටියේ පුපුරා යන්න ඔන්න මෙන්න තිබෙන තත්ත්වයක ය. රාජ්‍ය නායකයා එහි සිටීම, ශීිලාචාරකමේ සීමාවන් ඇතුළත ඔහු කොටු කර තැන්පත් කරලීමට හේතු වූයේ නැත. සිය ප්‍රතිවාදියාට ප්‍රහාරය එල්ල කිරීමට ඔහු එඩිතර නො වූයෙන්, ඔහු සැනසුම ලැබුවේ සම්මානනීය යුද ඇමති දිබොනයාර් සෙන්පති වෙත සිය ආක්‍රෝශ පරිභවයන් එල්ල කිරීම මගිනි. ඔහු බිණුූ පරුස වදන් සෙන්පතියාට නො ඇසුණි. මන්ද යත් ඔහු බිහිරකු වූ බැවිනි. ඔහු බිල්දර්මාන් වංශාධිපතිනිය වෙනුවෙන් පද්‍යයන් පබැඳීමෙහි නිරත ව සිටියේ ය. ගරු අග්‍රාමාත්‍ය තුමා යෝජනා කළ හැම දෙයකට ම හිපොලසිට් චෙරේස් අපැහැදිලි විරුද්ධත්වයක් පළ කළේ ය. එක වචනයකින් කියන්නේ නම්, ඔහු උම්මත්තකයකු ව සිටියේ ය. ඔහුගේ බුද්ධි මහිමය වැනසී යාමේ දී මෙන්න මේ එක ම එක ලක්ෂණය  පමණක් ඉතිරි විය. එය නම්, ඔහු තුළ වූ පාර්ලිමේන්තුවාදීමය හැඟීම, බහුතරයේ ගති පැවතුම් පිළිබඳ ඔහුට තිබූ දැනුවත්කම, කණ්ඩායම් පිළිබඳව ඔහු සතු වූ පරිපූර්ණ දැනුම සහ කටයුතු ගමන් කරමින් ඇති දිශාව පිළිබඳ ඔහු තුළ වූ ස්ථිර වැටහීමයි.













                                08
                          වැඩිදුර ප්‍රතිඵල

 
  පැසිවාරය සාමකාමී ව අවසන් විය. බහුතරය වාඩි ගෙන සිටි අසුන් මත අනතුරුදායක සලකුණු තිබෙනු අමාත්‍ය මණ්ඩලය නුදුටි. එසේ ද වුවත් යුදෙව් කිතුණු මූල්‍ය කරුවන්ගේ ඉල්ලීම් දිනපතා ම වැඩි වෙමින් තිබෙන බවත්, නිග්‍රීෂියාව ශිෂ්ට සම්පන්න කරලීමේ සංග්‍රාමික ගමනක යෙදීමට බැංකුවල දේශමාමකත්වයට අවශ්‍ය ව ඇති බවත්, රටේ මුහුදු තීරය හා යටත් විජිත සුරැකීමෙහිලා උත්සුක ව සිටින වානේ සංගතයන් යුද අවි සහ තව තවත් යුද අවි තනන මෙන් මොර දෙමින් සිටින බවත් මධ්‍යස්ථ පුවත් පත්හි පළ වූ යම් යම් ලිපි වලින් පෙනී ගියේ ය. යුද්ධය පිළිබඳ කටකතා ඇසෙන්නට පටන් ගති. එවන් කටකතා වෙළඳ මාරුතයක් පරිද්දෙන් හැම වසරක ම ක්‍රමානුකූලව මතු විය. බැරෑරුම් පුද්ගලයෝ ඒවාට නොඇසූකන්ව සිටියහ. ඒවා වඩ වඩාත් ශක්ති සම්පන්න බවට පත් නො වුවහොත්, ව්‍යප්ත නො වුවහොත්, ඒවා තුළ ම ගැබ් වූ දුර්වලතාවයන් හේතුවෙන් ම ඒවා මියැදි යාමට ආණ්ඩුව සාමාන්‍ය වශයෙන් ඉඩ හළේ ය. මන්ද යත් එසේ ව්‍යප්ත වුවහොත් රට සංත්‍රාසයට පත්වන හෙයිනි. මූල්‍යකරුවන්ට අවශ්‍ය වූුයේ යටත් විජිත යුද්ධ පමණි. ජනතාවට නම් මොන ම යුද්ධයක්වත් අවශ්‍ය නො වී ය. සිය ආණ්ඩුව සාඩම්බරව සහ උදාරම් ව පවා පවතිනු දැක්මට ඔවුහු ප්‍රිය කළහ. එහෙත් යුරෝපියානු යුද්ධයක් ඇති වෙමින් පවතින බවට ඉතා ම අවම සැක සාංකාවක් හෝ පහළ වීමත් සමඟ ම, එහි ප්‍රචණ්ඩ මනෝභාවයන් ඉක්මණින් ම පාර්ලිමේන්තුව වෙත ළඟා විය. පෝල් විසිරේ අසහනයට පත් නො වී ය. යුරෝපියානු තත්ත්වය ඔහුගේ මතය අනුව මුළුමණින් ම අස්වසනසුලු විය. ඔහුට තද වුූයේ විදේශ ඇමතියා දැක්වූ උන්මාදනීය නිහඬතාවය හේතු කොට ගෙන ය. ඒ අමනයා, කඩදාසිවලින් පිරුණ, තමාටත් වඩා විශාල බෑගයක් සමඟින් කැබිනට් මණ්ඩල රැස්වීම්වලට ගියේ ය. ඔහු එහිදීි කිසිවක් හෝ නො කී ය. සියලු ප්‍රශ්න වලට, ජනාධිපති උතුමාණන් නැගු ප්‍රශ්න වලට පවා, පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේ ය. සිය මුරණ්ඩුකම්වලින් හෙම්බත්ව සිටි ඔහු සිය හාන්සි පුටුවේ වැතිර සුළු මොහොතක නින්දකට වැටුණි. එහිදී කොළ පැහැති මේස රෙද්ද උඩින් ඔහුගේ කළු ඔළුගෙඩියේ මුදුනත හැර අන් කිසිත් දැක ගත නොහැකි විය.
  
  මේ අතරතුර හිපොලයිට් චෙරේස් යළි බලවන්තයා බවට පත් විය. සිය සගයා වූ පෙයාසොන් සමඟින් එක් ව නාට්‍යාංගනාවන් සමඟ විවිධාකාර කුළුපගකම් හේ ඇති කර ගති. සිය උත්තුංග දේහය මඟින් ද තමන් පැළඳි අලුත් තොප්පි මඟින් ද තමන්ට වඩා මිටි බවට පත් කෙරුණ කුලඟනන් සමඟින් ඔවුන් දෙදෙන රෑයාමේ ඉස්තරම් ම බොජුන්හල් තුළට පිවිසෙනු දක්නට ලැබුණි. ඔවුන් දෙදෙන ඉමහත් සහානුකම්පාවෙන් යුතුව, වීථි සරණාලියන් සමග ගැවසෙනු දක්නට ලැබුණි. ලා පෙයාසොන් හට ද ඔහු පැළඳි සන්නාහය යටින් ඔහුට ම සුවිශේෂී වූ තුවාල තිබුණි. වංශාධිපතියන් වෙතින් උස්සා ගෙන පැමිණි රෙදි වෙළෙන්දියක වූ ඔහුගේ තරුණ බිරිය රියැදුරකු සමඟින් පැන ගියා ය. ඔහු තවමත් ඇයට පෙම් බැඳ සිටියේ ය. ඇය අහිමි ව යාම ඔහුට දරාගත නොහැකි විය. ඒ අනුව බොහෝ විට, බොජුන් හලේ පෞද්ගලික කාමරයක දී, කොක් හඬලමින් පොකිරිස්සන් අනුභව කරන තරුණියන් සමුහයක් මැදට වන් ඇමතිවරු දෙදෙන, තමනට පොදු වූ දුක් භරිත බැලුම් හෙළමින්, නො වැගුරුණ කඳුළක් පිසදා ලුහ. 
හිපොලයිට් චෙරේස් හද පත්ලෙන් ම වේදනාවෙන් මිරිකී සිටියේ වී නමුත්, තමා පරාජයට පත් කරනු ලැබීමට ඉඩ නො හළේ ය. පලිගන්නා බවට හේ සඵත කළේ ය. 
 
  ඈත එපිට ගම්මානයකට වී සිය නෑදැයින් සමග දිවි ගෙවීමට සිය සෞඛ්‍ය තත්ත්වය මඟින් බල කරනු ලැබ සිටි පෝල් විසිරේ ආර්යාවට  නිර්නාමික ලිපියක් ලැබුණි. එහි සඳහන්ව තිබුණේ, ඇය විවාහ කර ගන්නා විට පයිසයක්වත් නොතිබු පොල් විසිරේ ඇගෙන් ලද දෑවැද්ද.....එ........චෙ.......නමැති විවාහක කාන්තාව වෙනුවෙන් දිගට හරහට වැය කරමින්, එම කතට ෆ්‍රෑන්ක් තිස් දහසක් වටිනා මෝටර් රථයක් ද ෆ්‍රෑන්ක් විසි පන්දහසක් වටිනා මුතු මාල ද දෝත පුරා දෙන බවත්, ඔවුන් නවනිංගිරා සහගත තත්ත්වය කරා සහ විනාශය කරා කෙළින් ම ගමන් කරමින් සිටින බවත් ය. පෝල් විසිරේ ආර්යාව ලිපිය කියවා, පරළ වී, එය සිය පියාණන් අතට දුන්නා ය.
  
  “මම උඹේ මිනිහගේ කන් දෙක පලනවා” බ්ලම්පිඤ්ඤෝ මයා කීවේ ය
.
   “ඌ මහ පඩත්තලයෙක්. අපි වග බලා ගත්තේ නැති නම්, ඌ උඹව අනාථ මඩමකට තල්ලු කරන්න වැඩ සිද්ධ කරාවි. ඌ අගමැතියා වෙන්න පුළුවන්. ඒත් මාව තම්බන්න ඌට හම්බු වෙන්නේ නැහැ.“ 
දුම්රියෙන් බට බ්ලම්පිඤ්ඤොං මයා අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරියේ පෙනී සිටියේ ය. සැණෙකින් ම ඔහු පිළිගැනුණි. කෝපයෙන් වියරුවට පත්ව සිටි ඔහු ගරු අග්‍රාමාත්‍ය තුමාගේ කාර්යාලයට කඩා වැදුණි. 
 
  “අඩෝ මහත්තයා, මට තියනවා උඹට කියන්න කාරණාවක්.” ඔහු නිර්නාමික ලිපිය ලෙළවී ය.
  
  පෝල් විසිරේ මඳහසක් පාමින් ඔහු පිළිගති.
  
“  ආං ! එන්න එන්න. මගේ රත්තරන් තාත්තේ, මම මේ තාත්තට ලියන්න අත ගත්තා විතරයි...... ඔව්, ඔබට දේශාභිමානි නිල නාමය ලබා දීම ගැන දැනුම් දෙන්න. නිල ප්‍රකාශනයට මේ අද උදේ මම අත්සන් කළා.“

  බ්ලම්පිඤ්ඤොං මයා සිය බෑණනුවන් හට උණුසුම් සහගතව තුති පුදා නිර්නාමික ලිපිය ගිනි බත් කර දැමී ය. 
  
ඔහු සිය ගම්බද නිවසට යළි ගියේ ය. සිය දියණිය කනස්සල්ලෙන් හා සංක්ෂෝභීි ව සිටිනු ඔහුට දක්නට ලැබුණි. 
 
“ඔන්න මම දුූගෙ මහත්තයා හමු වුණා. එයා කරි ෂෝක් මිනිහෙක්නේ. ඒත් එයත් එක්කල කටයුතු කරන හැටි උඹට තේරෙන්නෙ නැහැ.”
  
  සිය කෝමළකම මගින් තමා වෙත දැඩිව ඇද බැඳ ගැනීමක් ඇති කර ගත් නාඩගම් මඩුවේ ලයිසියාන් මැතිණිය සමඟින් ගරු අග්‍රාමාත්‍ය තුමා හැම සැඳෑවක ම රාත්‍රී භෝජනය වළඳන බව හිපොලයිට් චෙරෙස් කුඩා ලටපට පත්‍රයක් මඟින් දැන ගත්තේ මෙන්න මේ කාලයේ දී ය. (ඇමතිවරු රාජ්‍ය කටයුතු පිළිබඳව හැම විට ම දැන ගන්නේ පුවත්පත් මගිනි.) එතැන් සිට චෙරේස් සිය බිරිඳ දෙස බැලීමෙන් දොම්නස් සහගත ප්‍රමෝදයක් ලැබී ය. ඇය හැම සැඳැවක ම භෝජනය ගැනීමට හෝ ඇඳුම් ඇඳීමට හෝ පැමිණියේ කදිම තෙහෙට්ටුවකින් ද ප්‍රීති ප්‍රමෝදයකින් මතු වූ ගාම්භිරකමකින් ද යුක්තව ය.
  
  ඇය කිසිත් නොදන්නේ යයි සිතමින් ඔහු ඇයට නිර්නාමික ලිපි යැවී ය. ඇය ඔහු හමුවේ ඒවා කියවා, හැල හොල්මනකින් තොරව හිනැහෙමින් සිටියා ය. 
 
  ඇය මේ නොපැහැදිලි පුවත් පයිසෙකට තරම්වත් මායිම් නො කරන බවත්, ඇය කලබලයට පත් කිරීමට නම් ඇගේ ආදරවන්තයාගේ වල්කම සහ විශ්වාස ඝාතකත්වය සහතික කර ගැනුමට ඇයට ඉඩ සැලසිය යුතු බවත් ඔහු ඒත්තු ගති. ජාතික ආරක්ෂාව පිළිබඳ රහසිගත කරුණු පරීක්ෂා කිරීම භාරව සිටි විශ්වාසදායීි ඒජන්තයෝ ගණනාවක් ම අමාත්‍යාංශයේ සිටියහ. එවිට ඔවුන් යොදවා තිබුණේ, තැපැල් හා විදුලි සංදේශ සේවාවට රිංගා සිටින අසල්වැසි බලවතාගේ ඔත්තුකරුවන් අල්ලා ගනු පිණිස ය. ඔවුන්ගේ එම කටයුතු දැනට තාවකාලික අත්හිටුවීමට නියෝග කළ චෙරේස් මයා, අභ්‍යන්තර කටයුතු භාර ඇමතිතුමා ලයිසියාන් මෙනවිය මුණ ගැසෙන්නේ කොතැන්හි දී ද, කිනම් අවස්ථාවන්හි දී ද කෙසේ ද යනාදිය පරීක්ෂා කර බලන ලෙස ඔවුනට නියෝග කළේ ය. ඒජන්තයෝ සිය දූත මෙහෙවර රාජපාක්ෂික ව ඉටු කළ අතර, ගරු අග්‍රාමාත්‍ය තුමා ස්ත්‍රියක් සමඟ එක්ව සිටිනු තමන් කීප අවස්ථාවක දී ම දුටු බවත්, එනමුදු ඇය ලයිසියාන් මෙනවිය නොවන බවත් ඔවුහු ඇමතිතුමාට දැනුම් දුන්හ. හිපොලයිට් චෙරේස් ඔවුන්ගෙන් වැඩිදුර කිසිත් නො විමසී ය. ඔහු නිවැරදි විය. පෝල් විසිරේ සහ ලයිසියාන් පිළිබඳ ආදර අන්දරයන්, පෝල් විසිරේ විසින් ම එව්ලින්ගේ අනුමැතිය ඇති ව ගොතන ලද දේ විය. මන්ද යත් ඔහු සතු වූ ප්‍රසිද්ධිය ඇයව තරමක අපහසුතාවක් ඇති කළ නිසාත් රහසිගත භාවය සහ ගුප්තභාවය ඇයට සැනසුම ගෙන දුන් නිසාත් ය.
  
  ඔවුන් පිටුපස හඹා ගියේ වෙළඳ අමාත්‍යාංශයේ ඒජන්තයන් පමණක් ම නො වේ. පොලිස්පතිගේ ඒජන්තයෝ ද සිය ස්වාමියාගේ කීර්ති නාමය සුරකිනු වස් එකිනෙකා හා තරග කරමින් ඔවුන් පසුපස හඹා ගියහ. මේ ජෝඩුව සිය අහිකුණ්ඨික අනඟ රැඟුම් සඳහා ලැග්ගා වූ විශාල හෝටල්, කුඩා හෝටල්, නාගරික නිවෙස්, ගම්බද නිවෙස්, පෞද්ගලික කාමර, මන්දිර, කෞතුකාගාර, මාලිගා, ගුහා යනාදී ඕනෑ ම තැනකට, රාජකීය අධිරාජ්‍යවාදී හා පූජක සංවිධානයන් හි දූතයෝ ද, කළුකඩකාරයන්ගේ කැචර්ලා හත් අට දෙනෙක් ද ආධුනික රහස් පරීක්ෂකයෝ දල වාර්තාකරුවෝ විශාල ගණනක් ද කැමරාකරුවෝ සමූහයක් ද පැමිණ සිටියහ. ඔවුහු විීදිවල සිට, අසල්වැසි නිවෙස්වල, ගස්, තාප්ප, පියගැට පෙළ, වහළ, එකට ඈඳුන කාමර සහ දුම් ගෙවල්  යනාදියේ සිට පවා, ඔවුන් ගැන විපරමින් සිටියහ. ඇමති තුමාණන් සහ ඔහුගේ මිතුරිය, දොර ජනේල තුළින් ඇදෙන බුරුම කටුවලින් ද, බිත්තිවල හිල් හාරන ලද විදින කටුවලින් ද යුක්ත වූ සිය නිදන කාමරයේ දස දෙස බැලුවේ බියෙනැළලී යමිනි. ඔවුන්ට ලබා ගත හැකි වැඩි ම දෙය වූයේ, සිය පාවහන්වල නූල් ගැට ගසමින් නිදි ඇඳුමින් සිටි වෙරේස් ආර්යාවගේ ඡායාරූපයක් පමණි.  
පෝල් විසිරේ නොඉවසිලිවත් බවට පත් වියත ප්‍රකෝපකාරී බවට පත් විය. ඔහු නිතර ම පාහේ, තමා සතු ව තිබු සෝපාහාසාත්මක බව ද ප්‍රියමනාප බව ද අහිමි කර ගති. ඔහු කැබිනට් රැස්වීම්වලට පැමිණියේ කෝපයෙන් පුපුරමිනි. පහර වැදෙන විට එඩිතරයකු වූයේ වී නමුත්, විනයගරුක බව අතින් දියාරුවකු වූ සෙන්පති දෙබෙනෙයාර් මත ඔහු ආක්‍රෝශ පරිභවයන් වගුරුවා හළේ ය. තමා යටතේ වූ නැව් කිසිදු හේතුවකින් තොර ව මුහුද පතුළට ම ගිලා බැස්සවීමට ක්‍රියා කළ ගරු කටයුතු අද්මිරාල් මුරෙනේ ද විවියේර් හට ඔහු සරදම් පිට සරදම් කළේ ය.
  
  ෆෝර්තුනේ ලා පෙයාසොන් නෙත් අයා සවන් දෙමින්, සිය දත් තිස් දෙක අතරින් මෙසේ ගෙරෙව්වේ ය. 
 
  හිපොලයිට් චෙරේස්ගෙ ගෑනිව හොරකම් කිරීමෙන් ඌ තෘප්තියට පත් වෙලා නැහැ. ඌ ගිහිල්ල මිනිහගේ කට කැඩිචිච වචනත් හොරකම් කර ගෙන වෙන්න ඕන“  මෙම අලකලංචි ප්‍රසිද්ධියට පත් වුයේ සමහර ඇමති තුමන්ලාගේ අමනකම් නිසාත්, සිය ඇමති පට්ටම් හිඟන්නාගේ ඔළුවට ම දමා ගැසීමට තමන් තුළ ඇති අභිප්‍රාය ප්‍රකාශ කළ, එනමුදු එවන් කිසිවක් නො කළ පරණ රණ විරුවන් දෙදෙනකු කළ පැමිණිලි නිසාත් ය. මෙම ගාලගෝට්ටි භාග්‍යවත් ගරු අග්‍රාමාත්‍ය තුමාණන් හට හානි පමුණුවනු වෙනුවට, ජාතික ආරක්ෂක හමුදාවේ හා නාවික හමුදාවේ ශුභසාධනය වෙනුවෙන් දැක් වූ තියුණු වූත් බරපතල වූත් අවධානය පිළිබඳ සලකුණක් ලෙස පාර්ලිමේන්තුව සහ මහජන මතය විසින් දක්නා ලදී. ඉන් ඔහුට අති විශිෂ්ට ප්‍රතිඵල අත් විය. පොදු ජන ප්‍රශංසාලාභියා වූයේ අග්‍රාමාත්‍ය තුමා ය.  
විවිධ කණ්ඩායම් සහ සම්භාවනීය පුද්ගලයන් වෙතින් කෙරුණ  සුභාශිංසනයන්ට ඔහු ප්‍රතිචාර දැක්වුූයේ චාම් සහගත මහානුභාව සම්පන්න භාවයකින් යුතුව ය. “ඒව තමයි මගේ ප්‍රති....පත්ති” යි කී ඔහු සමාජවාදීන් හත් අට දෙනෙකු ම දඟගෙයි ලෑවේ ය.  
සැසිවාරය අවසන් විය. හෙම්බත්ව සිටි පෝල් විසිරේ නාන්න ගියේ ය. සිය අමාත්‍යංශය අත් හැර දමා යාම හිපොලයිට් චෙරේස් ප්‍රතික්ෂේප කළේ ය. දුරකථන සේවිකාවන්ගේ වෘත්තීය සමිතිය මහා කලබැගෑනියෙන් යුතු උද්ඝෝෂණයක් දියත් කරමින් සිටියේ ය. ඔහු එයට විරෝධය පෑවේ පෙර නොඇසූ විරූ ප්‍රචණ්ඩත්වයකිනි. මන්ද යත් ඔහු දැන් ස්ත්‍රීන් කෙරෙහි බද්ධ වෛරී පුද්ගලයකු බවට පත්ව සිටි හෙයිනි. ඉරු දිනයන් හි දී ඔහු සිය අගසව්වා වූ ලා පෙයාසොන් සමඟ එක්ව මාළු බෑම පිණිස උප නගරයන් වෙත ගියේ, තමා ඇමතිතුමා බවට පත් වූ තැන් පටන් කිසිදා ඉවත නොහෙඵෑ දිග තොප්පිය ද දමා ගෙන ය. ඔවුහු දෙදෙන මාළු ගැන අමතක කර ස්ත්‍රීන්ගේ වපලකම ගැන කන් කෙදිරි ගාමින්, තම තමන්ගේ දුක්ඛ දෝමනස්සයන් බෙදා හදා  ගත්හ 
   .  
  හිපොලයිට් තවමත් එව්ලින් කෙරෙහි ප්‍රේම පිපාසෙන් පීඩිතව සිටියේ ය. ඔහු තවමත් විරහ වේදනා වින්දේ ය. එසේ ද වුවත් බලාපොරොත්තුව ඔහු හද මැඳුරට රිංගා ගති. ඇය දැන් ඇගේ පෙම්වතාගෙන් වෙන් ව සිටියා ය. යළි ඇය දිනා ගැනුමට සිහින මවමින් ඔහු එම එල්ලය දිසාවට සියලු ම පරිශ්‍රමයන් යොමු කළේ ය. තමා සතු සකලවිධ නිපුණත්වයක් ම යෙදී ය. තමා අව්‍යාජ නිර්ව්‍යාජ බව, ගැලැප්පිය හැක්කකු බව, පෙම්මාදර බව, ඇප කැප ව ඇති බව සහ විචාර පූර්වක වන බව පවා ඔහු පෙන්වී ය. සිතැඟියාවන් සතු ලලිත කොමළ බව කෙබඳු ද යන්න ඔහුගේ හදවත ඔහුට උගන්වා තිබුණි. වපල තැනැත්තිය හට ඔහු මධුර මනෝහර, හද බැඳලන දෑ තෙපළේ ය. ඇය මුදු මොළොක් කරලනු වස් තමා විඳි විරහ වේදනාවන් සියල්ල ඔහු ඇය වෙත ප්‍රකාශ කර සිටියේ ය.

    සිය කලිසම් පටිය සිය බඩ වටා යවමින් ඔහු මෙසේ කී ය
  
  “බලන්න මම කොච්චර කෙට්ටුවෙලා ද කියල”
  
  ස්ත්‍රියක් තෘප්තිමත් කරලීමට ඉවහල් වනු ඇතැයි ඔහු සිතූ සියලු දෙය - සම්භාෂණ, හිස් වැසුම් යනාදිය - ලබා දෙන බවට ඔහු ඇයට ප්‍රතිඥා දුනි.  
ඇය තමා කෙරෙහි අනුකම්පා උපදවනු ඇතැයි ඔහු විටෙක සිතුවේ ය. උද්ධච්ඡ ලෙසකින් ප්‍රමුදිත වූ මුහුණුවරක් ඇය තවදුරටත් නො පෙන්වූවා ය. පෝල්ගෙන් වෙන් කරනු ලැබ සිටි හෙයින් ඇගේ ශෝකී බවෙහි මුදු මොළොක් බවක් පැවතුණි. එහෙත් ඇය යළි ලබා ගැන්ම පිණිස ඔහු සංඥාවක් පළ කළ සැණෙකින් ම, ඇය කුරිරු ලෙසත් නොඉවසුම් සහගත ලෙසත් ඔහුගෙන් ඉවත්ව ගියේ, රත්‍රං බඳ පටියකින් බැඳ ගන්නාක් මෙන් සිය බඳ පටිය ඉණ වටා ඔතා ගනිමිනි.
 
  යටහත් පහත් වෙමින්, යදිමින්, අනුකම්පා කටයුතු බවට පත් වෙමින් ඔහු ද සිය පරිශ්‍රමය අත් නොහැර ගෙන ගියේ ය. දිනක් ලා පෙයාසොන් වෙත ගිය ඔහු කඳුළු පුරවා ගෙන මෙසේ කීවේ ය.
 
  “තමුසෙ එයාට කථා කරල බලනව ද?” 
 
  සිය මැදිහත් වීම ගඟට ඉණි කැපූවක් වනු ඇතැයි සිතමින් ලා පෙයාසොන් ඇඟ බේරා ගති. එහෙත් ඔහු සිය මිතුරාට යම් අවවාදයක් කළේ ය.
  
  “තමුසෙ එයා ගැන නොතකන බවත් අන් අයකුට පෙම් කරන බවත් හිතන තැනට එයාව පත් කරන්න බලන්න. එතකොට එයා තමුසෙ ළඟට ආයෙ ඒවි”  

  මෙම ක්‍රමය අනුව යමින්, නෘත්‍යාගාරයෙහි ග්විනෝ මෙනවිය සමඟ තමා හැම විට ම සිටින බව කිය වෙන පුවතක් පුවත් පත්වල ඔහු පළ කර ලී ය. ඔහු නිවෙස බලා ආපසු පැමිණියේ ප්‍රමාදව ය. නැතිනම් නො පැමිණ ම සිටියේ යත මැඬ පවත්වා ගත නො හැකි අභ්‍යන්තර ප්‍රීති ප්‍රමෝදයක පෙනුමක් එව්ලින් හමුවේ මවා ගති. රාත්‍රී භෝජනය ගන්නා විට, සුවඳ විහිදෙන ලිපියක් සාක්කුවෙන් ඇද ගත් ඔහු එය කියවන බවක් මවා පෑවේ ය. සිහිනයක දී මෙන්. සිය දෙතොලින් අදෘශ්‍යමාන දෙතොල් සිප ගන්නා බවක් පෙන්වී ය. එහෙත් කිසිදු ප්‍රතිඵලයක් අත් නො වී ය. එව්ලින් එකී වෙනස ගණනකටවත් ගත්තේ නැත. තමා අවට සියල්ලට ම අසංවේදීව සිටි ඇය, සිය කුසීත බවින් එළියට ඇදුණේ සිය හිමියාගෙන් කාසි කීපයක් කඩා ගැනීමට පමණි. ඔහු ඒවා නො දුන්නේ නම්, ඔහු මත ඇය වගුළා හළ නිර්ලජ්ජිතභාවයෙන් මුළු ලොව හමුවේ ම ඔහුට සබ්බුව දීමට සූදානම් බව හඟවන පිළිකුල් සහගත බැල්මක් ඇය ඔහු වෙත හෙලුවා ය. ඇය ආලය කර තිබූ හෙයින් ආලය වෙනුවෙන් විශාල මුදලක් වැය කළා ය. ඇයට මුදල් අවශ්‍ය විය. ඒවා ලබා ගැනීමට ඇයට සිටියේ සිය ස්වාමි පුරුෂයා පමණි. ඒ තාක් දුරට ඇය ඔහුට භක්තිවන්ත වූවා ය.
  
  ඔහුගේ ඉවසීම කෙළවර විය. ඔහු කෝපයෙන් වියරුහුණි. ඔහු සිය රිවෝල්වරය ගෙන ඇයට තර්ජනය කළේ ය: දිනක් ඇය ඉදිරියෙහි ම ඔහු ක්ලරෝන්ස් ආර්යාවට මෙසේ කීය. 
 
  “ආර්යාවනි, මම ඔබට සුභ පතනවා. ඔබ ඔබේ දෝණියන්දව හදල තියෙන්නෙ පට්ට වේසියක් වෙන විදියටයි“ 

  “මම්මා මාව මෙතැනින් ගෙනියන්න” එව්ලින් හඩමින් කීවා ය. “මම දික්කසාද වෙනව.” 
 
  ඔහු පෙර නොවූ විරූ පරිදි ඈ කෙරෙහි ප්‍රේම කරන්නට විය. සිය ඊර්ෂ්‍යා පරවශ කෝපය අනුව, හේතු රහිතව ම නො වූ වත්, ලිපි යැවීම හා ලැබීම පිළිබඳව ඇය කෙරෙහි සැක කළ ඔහු, ඒවා හොරෙන් බලන බවට සඵත කළේ ය. ඔහු තැපැල් සේවය මත පාලනයක් ඇති කළේ ය: පෞද්ගලික ලිපි හුවමාරුව ආකූල ව්‍යාකූලත්වයට පත් කළේ ය: කොටස් වෙළඳ පොළේ ටෙන්ඩර් පමා කළේ ය. හිමිකම් පැවරීම් වැළැක්වූයේ ය. බංකොලොත් වීමි ඇති කළේ ය. ආදර හැඟීම් ගබ්සා කර දම්මේ ය. දිවි නසා ගැනීම් ඇති කළේ ය. ස්වාධීන පුවත්පත් පොදු ජනතාව කළ පැමිණිලි පළ කරමින්, ඒවාට කෝපාවිෂ්ටව සිය සහයෝගය පළ කළේ ය. මෙම හිතුවක්කාර පියවර සාධාරණ කිරීම සඳහා, කුමන්ත්‍රණයන් හා ජනතාව මුහුණ දෙන අවදානම පිළිබඳ අමාත්‍යාංශ ප්‍රකාශන මඟින් සිය කණස්සල්ල පළ කළේ ය. රාජ පාක්ෂික කුමන්ත්‍රණයක් පිළිබඳ විශ්වාසයක් ජනිත කළේ ය. වඩා අඩුවෙන් කරුණු දැන සිටි පුවත් පත් වඩා නිශ්චිත තොරතුරු ඉදිරිපත් කළේ ය. තුවක්කු පනස් දහසක් අල්ලා ගැනීම සහ කෲවෝ කුමරු ගොඩ බැසීම පිළිබඳව එම පුවත්පත් කියා සිටියේ ය. රට පුරා හැඟීම් උත්සන්න වන්නට විය. පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් පවත්වන ලෙස සමුහාණ්ඩුවාදී පුවත්පත් ඉල්ලා සිටියේ ය. පෝල් විසිරේ පැරිසියේ සිට යළි පැමිණ, සිය සගයන් කැඳවා වැදගත් කැබිනට් රැස්වීමක් පැවැත්වී ය. ජාතික නියෝජන ක්‍රමයට එරෙහි කුමන්ත්‍රණයක් සැබැවින් ම කර ඇති බවත්, එනමුදු ගරු අග්‍රාමාත්‍ය තුමා සියලු රැහැන් පොටවල් සියතෙහි තබාගෙන සිටින බවත් අපක්ෂපාත අධිකරණ පරීක්ෂණයක් වහා ඇරඹෙන බවත් ප්‍රකාශයට පත් කෙරුණි.
  
  සමාජවාදීන් තිස් දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලෙස ඔහු වහා නියෝග කළේ ය. මුළු රට ම සිය ගැලවුම්කාරයාණන් ලෙස ඔහුට අභිනන්දනය කරමින් සිටින අතරතුර, ස්වකීය රහස් පොලිස් පරීක්ෂකයන් හය සියයගේ කන යටින් රිංගා යමින් ඔහු උතුරේ දුම්රිය ස්ථානය අසබඩ වූ කුඩා ගෙපැලකට එව්ලින් කැන්දා ගෙන ගියේ ය. ඔවුහු රෑ බෝවන තුරා එහි ලැඟුම් ගෙන සිටියහ. ඔවුන් ඉන් නික්මුණ පසු, හෝටල් සේවිකාව කාමරය අස්පස් කරමින් සිටියදී, ඇඳ ඉහ අද්දර බිත්තිය මත කොණ්ඩා කටුවකින් සටහන් කර තිබූ කුඩා කුරුස හතක් දුටුවා ය
  
සිය පරිශ්‍රමයන්හි ප්‍රතිඵල ලෙස හිපොලයිට් චෙරෙස් ලබා ගත්තේ එය පමණි.








                             09
 
                        අවසන් ප්‍රතිඵල

   
ඊර්ෂ්‍යා පරවශභාවය යනු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් සතු ගුණාංගයකි. ඒකාධිපතියන්ගෙන් එවන් රාජ්‍යයන් සුරකිනු ලබන්නේ එම ඊර්ෂ්‍යා පරවශ භාවය මඟිනි. ගරු අගමැති තුමාගේ රන් යතුර කෙරෙහි ඊර්ෂ්‍යා කිරීමට මන්ත්‍රීවරු පටන් ගත්හ. සුරූපී චෙරේස් ආර්යාව මත පෑ සිය ආධිපත්‍යය වසරක් පුරා මුළු විශ්වය පුරා ප්‍රචලිතව තිබුණි. පෘථිවිය හිරු වටා පූර්ණ පරිභ්‍රමණය වීමක් සම්පුර්ණ කරලීමෙන් පසු පමණක් ප්‍රවෘත්ති සහ මෝස්තර ළඟා වන්නා වූ ගම්බද පෙදෙස්වලට ද අන්තිමේ දී කැබිනට්ටුවේ අවජාතක අනඟ කෙළි ගැන දැන ගන්නට ලැබුණි. ගම්බද පෙදෙස් උත්තුංග සදාචාර ධර්මයන් සුරකියි. මෙහි ස්ත්‍රීහු නගරයේ ස්ත්‍රීන්ට වඩා සුචරිතවත් වන්නාහ. මේ සම්බන්ධයෙන් විවිධ හේතු දැක්වීම් කරනු ලැබේ. ඒවා නම් අධ්‍යාපනය, ආදර්ශවත් බව, දිවි පෙවෙතෙහි චාම් බව යනාදියයි. මහාචාර්ය හඩොක් නම් කියා සිටින්නේ. ගම්බද ළඳුන්ගේ මෙම සුචරිතවත් බවට හේතුව ඔවුන්ගේ පාවහන්වල අඩි පහත් වීම බව ය. මානව විද්‍යා විමර්ශන සඟරාවේ පළ කෙරුණ බහුශ්‍රැත ලිපියක දී ඔහු මෙසේ කියයි. “ගැහැනියක් ශිෂ්ට මිනිසකු ආකර්ෂණය කර ගන්නේ ඇගේ පාදය, භූමිය සමඟ කෝණාකාරව තබන ප්‍රමාණයට සමානුපාතිකව ය. මෙම කෝණය අංශක තිස් පහක් පමණ වන්නේ නම්, ආකර්ෂණය තියුණු ය. මන්ද යත් භුමිය මත තිබෙන පාදයේ තත්ත්වය මඟින්, සිරුරේ මුළු ලාලිත්වය ම තීරණය කෙරෙන හෙයිනි. එහි ප්‍රතිඵලය ලෙස, ඔවුන් ගේ පාදයේ උස කුඩා වන හෙයින් ගම්බද ස්ත්‍රීන් ආකර්ෂණය නොවන නිසා ඔවුන්ගේ සුචරිතය පහසුවෙන් සුරැකෙයි.” මෙම නිගමනයන්ට පොදු පිළිගැනීමක් නොමැත. ඉංග්‍රීසි සහ ඇමරිකානු මෝස්තරවල බලපෑම යටතේ, මහාචාර්යවරයා කියා සිටින ප්‍රතිඵල ඇති කිරීමකින් තොරව ම, පහත් පාදයන් පොදුවේ හඳුන්වා දෙනු ලැබ ඇති බැව් ඊට ප්‍රතිවිරුද්ධ ව පෙන්වා දී තිබේ. තවද, නගරයන්හි සදාචාරය සහ ගම්බද සදාචාරය අතර ඇතැයි මවා පෑමට ඔහු තැත් කරන වෙනස, සමහර විට මායාකාරී වන බවත්, එවැන්නක් පවතින්නේ නම් එය එසේ වන්නේ කුඩා නගර ලබා දෙනවාට වඩා වාසිදායක තත්ත්වයන් සහ පහසුකම් ප්‍රේම කිරීම පිණිස විශාල නගර විසින් ලබා දෙනු ලැබීම ය යන කරුණ පැහැදිලි බවත් කියනු ලැබේ. එය කෙසේ වුවත්, ගරු අග්‍රාමාත්‍ය තුමාට එරෙහිව මුණු මුණු ගෑම් කිරීමටත්, ජංජාලයන් අවුළුවා ලීමටත් ගම්බද පෙදෙස් පටන් ගති. මෙය තවමත් අනතුරක් නො වීය. එහෙත් එය එවැන්නක් බවට පත් වීමේ හැකියාව පැවතුණි.
  
  ඒ මොහොතේ නම්, ව්‍යසනය කොතැනකවත් නො වී ය. එහෙත් එය හැම තැනක ම විය. බහුතරය දෘඪතර වූහ; එහෙත් නායකයෝ හැඩි දැඩි වුහත කැත්තට පොල්ල මෙන් වූහ. සමහර විට, හිපොලයිට් චෙරෙස් සිය පලිගැනීමේ චේතනාව සාක්ෂාත් කර ගනු සඳහා සිය ඕනෑ එපාකම් සිතා මතා කැප නො කළා විය හැක. එහෙත්, ස්වකීය අනාගත අභිවෘද්ධියට හානි පමුණුවා ගැනීමකින් තොරව පෝල් විසිරේ හට රහසිගත ව හානි පැමිණවීමට මෙතැන් සිට හැකි යයි සිතමින්, ආණ්ඩුවේ නායකයා මුහුණ දෙන දුෂ්කරතාවයන් සහ ව්‍යසනයන් විචක්ෂණ ලෙසත් පරෙස්සම් සහගතවත් සුදානම් කරලීමට ඔහු ඇප කැප විය. විචක්ෂණභාවය, දැනුම සහ අධිකාරය විෂයෙහිලා සිය ප්‍රතිවාදියාට කිසිසේත් ම අලගු තැබීමට හැකියාවක් නො වූ නමුත්, ඡන්ද ගරන්නකු වශයෙන් තමා සතු නෛපුණ්‍යය විෂයෙහිලා ඔහු බෙහෙවින් ම විසිරේ අභිබවාලී ය. බහුතරයේ මෑතකාලීන බොහෝ අභාග්‍යයන්ට හේතුව ඔහු ඡන්දය නොදීම යයි ඇට්ටර වූ පාර්ලිමේන්තුවාදීහු බොහෝ දෙනෙක් කියා සිටියහ. ගරු අග්‍රාමාත්‍යතුමාට පිළිගත නොහැකි බව ඔහු මනාව දැන සිටි යෝජනාවන්ට කමිටු තුල දී ඔහු පක්ෂපාතීත්වය දැක්වූයේ, හොඳට ගණන් බලා කළ නිර්ලජ්ජිි ගරුසරු නැතිකමක් මගිනි. දිනක් ඔහු කළ දනුවත් කැත වැඩක් මගින් අභ්‍යන්තර කටයුතු භාර ඇමති තුමා සහ ඔහුගේ දෙපාර්තමේන්තුවේ භාණ්ඩාගාරිකවරයා අතර හදිසි හා ප්‍රචණ්ඩ ඝට්ටනයක් ඇති කෙරුණි. ඉන්පසු බියට පත් චෙරේස් ඉන් එහාට නො ගියේ ය. ඒ සා ඉක්මණින් ආණ්ඩුව පෙරළා දමීම ඔහුට අනතුරුදායක විය හැකිව තිබුණි. ඔහු සතු නෛසර්ගික වෛරය ප්‍රශ්නයක් අවුළුවා ගත්තේ වට රවුම් පාරවලිනි. පෝල් විසිරේ හට සවුත්තු පැවැත්මකින් යුතු දුගී දුප්පත් ඥාති සහෝදරියක් විය. ඇය දරුවේ ද ඔහුගේ නම ම ය. චෙලිනේ විසිරේ නම් වූ මෙම කුලඟන සිහිපත් වූ චෙරෙස්, ඇයට ඉමහත් ප්‍රසිද්ධිය ලබා දී, විදේශිකයන් ගණනාවක් සමග ඇය කුළුපග කරවා. සංගීත කරළියට ඇය නංවාලී ය. ගිම්හානයේ එක් රැයෙක උද්වේගකර සංගීත ලෝලීන් සමූහයක් හමුවේ ෂෝම්ප් එල්සිහි කරළියක දී, උන්මාදනීය සංගීත ඛණ්ඩයක හඩට අනුව ඇය මකර නැටුමක් නැටුවා ය. සමුහාණ්ඩුවේ ජනාධිපති උතුමාණන් සම්භාවනීය රාජකීය අමුත්තන් හට සම්භාෂණ පවත්වන උද්‍යානයට ද එම හඬ ඇසුණි. මේ මහා ජංජාලය සමග පටලැවුණ විසිරේ නාමයෙන් නගරයේ තාප්ප වැසී ගියේ ය: පුවත් පත් පිරි ඉතිරි ගියේ ය; ආපන ශාලාවන්හි සහ බාල් නැටුම් වල දී එම නාමය යළි යළිත් කියවුණි. වීදි පුරා ගිනි දැල් වන් දිප්තිමත් අකුරින් බැබලුණි.
  
  සිය නෑදෑයන්ගේ ජංජාලයට ගරු අග්‍රාමාත්‍ය තුමා වග කිව යුතු යයි කිසිවකු හෝ විශ්වාස කළේ නැත. එහෙත් එතුමාණන්ගේ පවුල පිළිබඳ සවුත්තු සංකල්පයක් ඉන් බිහි විය. රාජ්‍ය පාලක තුමාණන්ගේ බලපෑම හිීන වන්නට විය.  

  සැණෙකින් ම පාහේ, ඔහුට මේ බැව් ඉතා තියුණු ලෙසකින් හැඟී ගියේය. අක්මාවේ ආබාධයකින් පෙළුණා වූත් පූජකයන්ගේ අරමුණු හා යටි කූට්ටු වැඩ වලින් වියරු වැටී සිටියා වූත්, ආගමික කටයුතු සහ පොදු ඇදහිලි පිළිබඳ ඇමතිතුමා වූ ලාබියෙත්, අතිශය නොවැදගත් කරුණක් මත ශාන්ත ඔර්බෙරෝසියාගේ දෙව් ම`ැදුර වසා දමන බවට දිනක් පාර්ලිමේන්තුවේ දී තර්ජනය කොට, ජාතික කන්‍යා තුමිය සම්බන්ධයෙන් අපහාසාත්මකව කථා කළේ ය. මුළු දක්ෂිණාංශය ම කෝපයෙන් රත්ව නැඟී සිටියේ ය. ඉවක් බවක් නැතිව දෙඩූ ඇමති තුමාට දෙකට දෙගිඩියාවෙන් යුතු සහායක් වාමාංශය විසින් ලබා දෙන බවක් පෙනී ගියේ ය. වසරකට කෝටි තුනක ධනස්කන්දයක් ලබා දුන්නා වූ ඇදහිල්ලකට පහර නො දීමට බහුතරයේ නායකයෝ වග බලා ගත්හ. දක්ෂිණාංශයට සහාය දුන්නවුන් අතරින් ඉතාමත් ම මධ්‍යස්ථ පුද්ගලයා වූ බිගුර්ද් මයා, එම කරුණ යෝජනාවක විෂය බවට පත් කර ගෙන, එමගින් කැබිනට් මණ්ඩලය අවදානමට ලක් කළේ ය. වාසනාවකට මෙන් ආණ්ඩුව සතු වගකීම් පිළිබඳව හැම විටෙක ම දැනුවත්ව සිටි ප්‍රසිද්ධ වැඩ ඇමති ෆොර්තුනේ ලා පෙයාසොන්, සිය සගයා වූ ප්‍රසිද්ධ ඇදහිලි පිළිබද ඇමතිගේ අමනකම හා අවිනීතකම හරිගස්සා ලීමට, ගරු අග්‍රාමාත්‍යතුමා සභා ගැබෙහි නො සිටි තත්ත්වය තුළ දී සමත් විය. දේශන මණ්ඩපයට නැඟණු ඔහු, සමනය කරලීමට තමන් සතු බල රහිතකම විද්‍යාව විසින් පිළිගනු ලැබුවා වූ බොහෝ නපුරු දේවලින් සහනය සලසා දෙන තැනැත්තිය වන දේශයේ දිව්‍යමය භාරකාරතුමිය ආණ්ඩුවේ උත්තමාචාරයට ලක්වන බවට සහතික විය.
 
  අන්තිමේ දී එව්ලින්ගේ ආලිංගනයෙන් ඉවත් වු පෝල් විසිරේ පාර්ලිමේන්තුවෙහි පෙනී සිටි කල්හි ආණ්ඩුව පණ බේරා ගති. එසේ ද වුවත්, ඉහළ පන්තීන් හට වැදගත් සහන දීමට තමාට සිදුව ඇති බැව් ගරු අග්‍රාමාත්‍ය තුමා දුටුවේ ය. යුද නැව් හයක් තැනිය යුතු යයි ඔහු පාර්ලිමේන්තුවේදී යෝජනා කළේ ය. ඒ අනුව ඔහු වානේ සංගතයේ සහානුකම්පාව දිනා ගති. ආදායම් බදු නො පණවන බවට නව සහතිකවීම් කළ ඔහු සමාජවාදීන් දහ අට දෙනෙකු අත් අඩංගුවට ගත්තේ ය.  

  වඩා හැඩි දැඩි බාධකයන් වෙතින් එල්ල වන විරෝධයට තමා මුහුණ පා ඇති බැව් වැඩි කල් නොගොස් ම ගරු අග්‍රාමාත්‍ය කුමාණන් හට පෙනී ගියේ ය. තදාසන්න අධිරාජ්‍යයේ චාන්සලර්වරයා එරට පාලකයාණන්ගේ විදේශීය සම්බන්ධතාවන් පිළිබඳව කෙරුණ චතුර සහ ගැඹුරු දේශනයක දී, එක්තරා විශාල රටක ක්‍රියා මාර්ගය තුළ අඩංගුව පවතින කුමන්ත්‍රණයක් ගැන සටකපට ඇඟවීමක් කළේ ය. අධිරාජ්‍යයේ පාර්ලිමේන්තුව සිනහ මුසුව ශ්‍රවණය කළ මෙම සඳහන ඉතා ම නො වැදගත් දෙයින් පවා තද වන සමුහාණ්ඩුව ප්‍රකෝපයට පත් කරලීම නියත විය. අවුළුවනු ලැබූ ජාතික හැඟීම සිය කෝපාග්නිය සරාගි ඇමතිතුමාණන් වෙත එල්ල කළේ ය. මන්ත්‍රීවරු සිය අතෘප්තිමත්භාවය පළ කරනු සඳහා, ඉතා ම නොවැදගත් කරුණක් පවා දඩමීමා කර ගත්හ. හාස්‍යය දනවන කරුණක් නිසා, එනම් උප පොලිස්පතියකුගේ බිරිඳ මුලෑන් රූෂහි දී නැටුමක් නැටුවා ය යන කරුණ නිසා, විශ්වාස භංග යෝජනාවකට මුහුණ දීමට ඇමති තුමාණන් හට සිදු විය. තව ඡන්ද ස්වල්පයක් විරුද්ධවාදීන් හට තිබුණි නම්, ඔහු පරාජය වන තරම් විය. පොදු මතය අනුව නම්, පෝල් විසිරේ එම අවස්ථාවේ දී තරම් අන් කිසි කවර කලෙක හෝ ඒ සා දුර්වල නො වී ය; ඒ සා වැනෙනසුලු නො වී ය; ඒ සා අජිව නො වී ය
 
  තමාට තනතුරේ ඇලී සිටිය හැක්කේ මහා පරිමාණ දේශපාලන ප්‍රහාරයක් මගින් පමණක් බව ඔහුට අවබෝධ විය. ඔහු නිග්‍රිෂියාව ආක්‍රමණය කිරීමට තීරණය කළේ ය. මෙම පියවර විශාල මූල්‍ය සහ කාර්මික සමායතනයන් මඟින් කලක සිට ඉල්ලා සිටි දෙයකි. එය ධනපතියන් හට දැවැන්ත කැලෑ අත් කර දෙන්නකි; බැංකුවලට අසූ ලක්ෂයක ණයක් මෙන් ම, නාවික හා මිලිටරි නිලධාරීන්ට උසස් වීම් හා පට්ටම් ලබා දෙන්නකි. දඩම්මා කර ගැනීමට අවශ්‍ය කරුණ ඉබේ ම පහළ විය. එක්තරා ණයක් එකතු කර ගත යුතු විය. යුද නැව් හයක් ද, ප්‍රහාරක නැව් දහ හතරක් ද බෝට්ටු දහ අටක් ද හිපපොටේමස් ගංඟාවේ මෝය කරා යාත්‍රා කළේ ය. හමුදා ගොඩ බැසීමට එරෙහිව ඔරු හය සියයක් නිරර්ථක ව සටන් වැදුණි. අද්මිරාල් විවියේ දෙ මුරේනේගේ කාලතුවක්කු කලු ජාතිකයන් හට බිහිසුණු ප්‍රතිඵල අත් කර දුනි. ඔවුහු ඒවාට එරෙහිව ඊතල වර්ෂාවක් පතිත කළහ. ඔවුන් පෑ උන්මාදනීය එඩිතරභාවය නො තකමින් ඔවුහු මුළුමණින් ම පරාජයට පත් කරනු ලැබූහ. මුල්‍යකරුවන් විසින් සහනාධාර දෙනු ලැබූ පුවත්පත් මඟින් පොදු ජන උද්යෝගය අවුළුවා ලනු ලැබී ය. එය මහා අග්නි ජාලාවක් බවට පත් විය. මෙම ම්ිලේච්ඡ, සැක කටයුතු සහ අනතුරුදායක ව්‍යාපාරයට විරෝධය පෑවේ සමාජවාදීන් පමණි. සැණෙකින් ම ඔවුහු අත් අඩංගුවට ගනු ලැබූහ.
 
  ධනකුවේරයන්ගේ සහය ලත්, දැන් දැන් දුගී දුප්පතුන්ගේ ප්‍රේමයට ලක්ව සිටියා වූ ඇමති තුමාණන් අභිබවා ලිය නොහැකි බවක් පෙනී ගියේ ය. එසේ පෙනී ගිය මොහොතේ දී ම, ක්‍රෝධයේ රශ්මි ධාරාව මගින් හිපොලයිට් චෙරෙස් හට පමණක් අවදානම පෙන්වා දෙනු ලැබිණ. සිය ප්‍රතිවාදියා දෙස දොම්නස් සහගත ප්‍රීති ප්‍රමෝදයකින් නෙත් හෙලමින්, සිය දත් දෙපෙළ අතරින් ඔහු මෙසේ මුමුණුවේ ය. 

  “ඌ කපෝතියි,......ප.....රයා.” 

  දේශය යශෝකීර්තියෙන් මන්මත්ව සිටින අතර, යුරෝපියානු බලවතකු නිග්‍රීෂියාව අත් පත් කර ගැනීමට එරෙහිව තදාසන්න අධිරාජ්‍යය සිය විරෝධය පළ කර සිටියේ ය. වඩ වඩා කෙටි කාල සීමාවන් අතරතුර, එකකට පසු එකක් වශයෙන් කෙරුණ මෙම ප්‍රකාශයන්, වඩ වඩාත් දැඩි වන්නට විය. සමුහාණ්ඩුවේ පුවත්පත්, අසහනයට තුඩු දුන් සියලු හේතු වහංගු කළේ ය. එහෙත් වැඩෙමින් පැවති අවදානම හිපොලයිට් චෙරෙස්ට දැන ගන්නට ලැබුණි. ඔහු අන්තිමේ දී සියල්ල පරදු තබා, සිය අමාත්‍යංශයේ ඉරණම පවා පරදුවට තබා, සිය සතුරා වනසා ලීමට තීරණය කර ගති. ආණ්ඩුවේ ප්‍රධානියා තුළ රණකාමී අරමුණු තිබෙන බව දැක්වෙන ලිපි ලිවීමටත්, පෝල් විසිරේගේ නිශ්චිත අදහස් ප්‍රකාශ කරන දේ ලෙස පෙනී යන ප්‍රකාශන ගණනාවක් ඒවා තුළට ඇතුළත් කරලීමටත් ඔහු විශ්වාසදායක මිනිසුන් යෙදී ය. 
මෙම ලිපි විදේශයන්හි බිහිසුණු දෝංකාරයක් ඇති කළේ ය. සොල්දාදුවන් කෙරෙහි ප්‍රියමනාප වූ අතර ම, යුධ වැදීම කෙරෙහි ප්‍රිය මනාප නො වූ එක් රටක මහජන මතය ඉන් බියට පත් විය. සිය ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව පාර්ලිමේන්තුවේ දි ප්‍රශ්න කරන ලදුව, අස්වසාලන ප්‍රකාශයක් කළ පෝල් විසිරේ. ශ්‍රේෂ්ඨ දේශයක ගෞරවනීයත්වයට හොබනා පරිද්දෙන් සාමය සුරකින බවට ප්‍රතිඥා දුනි. ඔහුගේ විදේශ කටයුතු පිළිබඳ ඇමති ක්‍රොම්බයිල් ප්‍රකාශයක් කියැවී ය. එය මොන ම අයුරකින්වත් අවබෝධ කර නො ගත හැක්කක් විය. මන්ද යත්, එය රාජ්‍ය තාන්ත්‍රික  භාෂාවෙන් පිරි තිබුණු බැවිණි. ඇමති තුමා විශාල බහුතරයක් ලබා ගති. 
 
  එතෙකුදු වුවත් යුද්ධය පිළිබඳ කට කථා කෙළවර නො වී ය. භයානක නව යෝජනාවකින් බේරී යනු පිණිස, නිග්‍රීෂියාවේ කැලෑවන්ගෙන් අක්කර අසූ දහසක් මන්ත්‍රීතුමන්ලා අතර බෙදා දුන් ගරු අග්‍රාමාත්‍ය තුමා, සමාජවාදීන් දහ හතර දෙනෙක් අත් අඩංගුවට ගත්තේ ය. සාමකාමී ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය පොළඹවාලනු වස් තමා පරිශ්‍රම දරන බවත් එය ජයග්‍රාහී වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් සිය කණ්ඩායමට ඒත්තු ගන්වමින්, හිපොලයිට් චෙරේස් දොම්නස් සහගතව පාර්ලිමේන්තු සභා ගැබ තූල ඔබ මොබ ගමන් කළේ ය. ගතවන දිනක් පාසා නපුරු කට කතා වෙ`ඵම් පිටින් වැඩි වී ගියේ ය. ඒවා පොදු ජනතාව අතරට කා වැදෙමින් අසහනය ද සසල බව ද ව්‍යාප්ත කළේ ය. පෝල් විසිරේමත් සංත්‍රාසයට පත් වීමට පටන් ගති. ඔහු වඩාත් ම ගැහැටට පත් වූයේ, විදේශ කටයුතු පිළිබඳ ඇමති තුමාගේ නිහැඩියාවත් ඔහුගේ නොපැමිණීමත් නිසා ය. ක්‍රොම්බයිල් තවදුරටත් කැබිනට් රැස්වීම්වලට නො පැමිණියේය. හිමිදිරි පාන්දර පහට පිබිදෙන ඔහු, සිය මේසයට වී පැය දහ අටක් ම වැඩ කළේ ය. අන්තිමේ දී අන්තයට ම හෙම්බත් වූ ඔහු කුණු කුඩය තුළට ම වැටුණි. රෙජිස්ට්‍රාර්වරුන් ඔහු ඉන් ඉවතට උසුලාගෙන ගියේ තදාසන්න අධිරාජ්‍යයේ මිලිටරි නිලධාරියා වෙත විකිණීමට සැලසුම් කර තිබූ ලියවිලි ද සමඟිනි.
  
  ප්‍රහාරයක් අත ළඟ බව විශ්වාස කළ සෙන්පති දිබොනෙයාර්, එයට මුහුණ දීමට සුදානම් විය. යුද්ධය ගැන බිය පත් වනු වෙනුවට ඔහු එය ඇති වේවායි යාචිඤා කළේ ය. ඔහු සිය උදාරතර අදහස් බිල්දර්මාන් සිටුතූමියට කොඳුරා කී ය. ඇය ඒ සියල්ල තදාසන්න රටට දැනුමි දුන්නා ය. ඇගෙන් ලද ආරංචි අනුව ක්‍රියා කරමින් එම රට සීඝ්‍රයෙන් හමුදා රැස් කිරීම ඇරඹී ය.  
මුදල් ඇමති තුමා කල්පනාකාරීත්වයකින් තොරව ම සිද්ධීන් වේගවත් කළේ ය. එම අවස්ථාවේ දී ඔහු ආර්ථික කඩා වැටීමක් පිළිබඳ සමපේක්ෂණය කිරීමෙහි යෙදෙමින් සිටියේ ය. කොටස් වෙළඳ පොළේ කලබැගෑණියක් ඇති කරනු පිණිස, ඔහු යුද්ධය අනිවාර්ය බවට කට කථාවක් පතුරුවා හළේ ය. මෙම කතාවෙන් මංමුලා වූ තදාසන්න අධිරාජ්‍යය සිය රට ආක්‍රමණය කරනු ලැබීමක් පිළිබඳ බලාපොරොත්තුවෙන් යුතුව, හණි හණික හමුදා බලමුළු ගැන්වී ය. සංත්‍රාසයට පත් පාර්ලිමේන්තුට දැවැන්ත බහුතරයකින් ( පක්ෂව 814 විපක්ෂව 7 ඡන්දය නොදුන් 28) විසිරේ ඇමති මණ්ඩලය පෙරළා දැමී ය. එවිට බෙහෙවින් ම පමාව තිබුණි. මෙම වැටීම සිදු වූ දිනයේ ම අසල්වැසි සතුරු රට සිය තානාපතිවරයා ආපසු කැඳවා, අසූ ලක්ෂයක් මිනිසුන් චෙරේස් ආර්යාවගේ දේශය වෙත පිටත් කර හැරී ය. යුද්ධය විශ්වව්‍යාපී බවට පත් විය. මුළු ලොව ම ලේ ගංගාවක ගිලී ගියේ ය

                  පෙන්ග්වින් ශිෂ්ටාචාරයේ උච්චස්ථානය

  
  අප මේ දැන් විස්තර කළ සිද්ධීන්ගෙන් අඩ සිය වසක් ගත වූ තැන, සිය අසු නව වැනි වියේ පසු වූ චෙරේස් ආර්යාව ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ගස්ථ වූවා ය. ඇය බොහෝ කලක් මුළුල්ලේ රාජ්‍ය පාලකයකුගේ වැන්දඹුව වූවා ය. ඈ ගෞරව පුරස්කරව දැරුවේ ඔහුගේ නාමයයි. ඇගේ චාම් නිහඬ අවමඟුල් පෙරහැර පසු පස ගමන් කළේ දෙව් මැඳුරේ අනාථයන් හා ශුද්ධ වූ දයානුකම්පාවට අයත් සහෝදරියන් පමණි.
 
  මිය ගිය තැනැත්තිය, තමන් සතු සියලු දේපළ සාන්ත ඔර්බෙරෝසියාවන්ගේ පුණ්‍යායතනයට ඉතිරි කර ගියා ය.
 
  “අහෝ!“ ශුද්ධ වූ උරුමය ලද සාන්ත මායෙල් දෙව් මැඳුරේ කැනන්වරයා වූ මොතේයර් මයා සුසුම් හෙළී ය. “අපේ අවශ්‍යතාවයන්ට සහනය සලසන්න නොමසුරු දානපතියෙක් පැමිණීමට හොඳට ම කාලය එළඹ තිබුණා. ධනවතුනුත් දුප්පතුනුත් උගතුනුත් නූුගතුනුත් අපෙන් වෙන්ව ගියා. මේ මංමුලා වූ ආත්මයන් යළි මෙහෙයීමට අප උත්සාහ ගත් විට, තර්ජනවත් ප්‍රතිඥාවන් වත් මෘදු බවවත් ප්‍රචණ්ඩභාවයවත් අන් මොන ම දෙයක්වත් දැන් වැඩකට නැහැ. පෙන්ග්වින් පූජකයෝ කුණුකමෙන් දිය වෙලා ගිහින්. අන්තම අධම රක්ෂාවල් කරන්න සිද්ධ වෙලා තියෙන අපේ ගම්බද පූජකයන්ට දැන් සපත්තුවත් නැහැ. ඔවුන්ට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අහුල ගත්තු රොඩු බොඩු ගිලදාලයි. අපේ නටබුන් වුණ පල්ලිවලදි ස්වර්ගයේ වරුසාව වැටෙන්නෙ බැතිමතුන් මතටයි. ශුද්ධ වූ කටයුතුවල ඔවුන්ට ඇහෙන්නෙ ආරුක්කුවලින් ගල් කඩා හැලෙන සද්දෙයි. දෙව් මැඳුරේ කුළුණු හෙල්ලෙනවා. ඉක්මණින් ම ඒක බිමට සමතලා වේවි. පෙන්ග්විනයෝ ශෙන්ත ඔර්බෙරෝසියා තුමිය අමතක කරල දාලා. එතුමියට බුහුමන් දැක්වීම අත් හැර දාලා. ඇගේ ශුද්ධ භූමිය අත් හැරල දාල. ඒකෙ තිබුණ රත්තරනුයි, වටිනා ගලුයි එතුමියගේ දෙව්මැඳුරෙ දැන් නැහැ. ඒ දෙව් මැඳුරෙ දැන් අර මකළුවා සද්ද බද්දයක් නැති ව උගේ දැල වියනව.” 
 
  මෙම මළ අඳෝනාවට කන් දුන්නා වූ, අනූුවැනි වියේ දී පවා සිය ප්‍රඥා මහිමයෙන් හා ධර්ම බලයෙන් කිසිවක් හෝ අහිමි නො කරගත් පියෙර් මිල්, මෙම වැරදි සහගත අමතක කර දමීමෙන් ශාන්ත ඔර්බෙරෝසියා තුමිය යම් දිනෙක යළි නැඟී සිටින බව ඔහු නො සිතන්නේ මන්දැ යි කැනන්වරයාගෙන් විමසීය. 

  “එහෙම බලාපොරොත්තු වෙන්න මට කිසි ම හයියක් නැහැනෙ“   මොනොයාර් මයා කීය. 
 
  “ඒක හරි ම කණගාටුදායකනෙ” යි පියෙර් මිල් පිළිතුරු දුනි.   “ඔර්බෙරෝසියාතුමිය හරි ම ලස්සනයි. ඈ ගැන තියෙන කථාව හරි ම ලස්සන එකක්. මම මේ පහුගිය දවස්වල අහම්බෙන් වගේ සොයා ගත්තා. ඇගේ ලස්සන ම ලස්සන ප්‍රතිහාර්යය ගැන. ෂන් වියෝල්ගේ ප්‍රතිහාර්යය ගැන. මොනොයර් මහත්මයා, ඔබ කැමති ද ඒක අහන්න.”  

  
“එහෙම නම් මෙන්න ඒ කථාව පහළොස් වැනි ශත වර්ෂයට අයත් අත් පිටපතෙන් සොයා ගත්තු විදියටම, ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නො කරග  
“පෝන්ත් - ඕ - ෂෝන් හි ස්වර්ණාභරණකරුවකු වූ නිකොලස් ගොබෙයාර්ගේ බිරිඳ - සෙසිල් මිය - අවංක හා චරිතවත් වූ දිවි පෙවතක් ගෙවීමෙන් පසු, දැන් සිය තරුණ විය ඉක්මවා සිටි හෙයින්, ප්ලාස් ද ග්‍රෙව් හී පයොන් නමැති හෝටලයේ විසූ මෝබෙක් සිටුතුමාගේ අන්තේවාසිකයා වූ ෂන් වියොල් සමඟ පෙමින් බැඳුණි. ඔහු තවමත් දහඅට වැනි වියටවත් නො එළඹ සිටියේ ය. ඔහුගේ මුහුණ ද දේහය ද චිත්තාකර්ෂණීය විය. සිය රාගය මැඩ ගත නුහුණු සෙසිල්, එය සන්තර්පණය කර ගැනීමට තීරණය කර ගත්තී ය. සිය නිවසට ඔහු ගෙන්වා ගත් ඇය, හාදු වරුසාවක් දී රස කැවිලි පෙවිලිවලින් ඔහු පිනවා, අවසන් හි ඔහු සමඟ එකට වෙළී ඇයට අවශ්‍ය දෙය කර ගත්තී ය. 
 
  දිනක් ඔවුන් ස්වර්ණාභරණකරුගේ සයනයෙහි අනඟ රැඟම්ු පාමින් සිටියදී, අපේක්ෂා කළාට කලින් නිකොලස් මයා නිවසට ආපසු පැමිණියේ ය. දොරගුළු ලා තිබෙන බැව් හේ දුටුවේ ය. “මගේ පණේ, මගේ දේව දූතයෝ, මගේ සුදෝ” යනුවෙන් සිය බිරිඳ කොඳුරන හඬ, දොරෙන් එහා පැත්තෙන් ඔහුට ශ්‍රවණය විය. සොර සැමියකු සමඟින් ඇය දොර වසා ගෙන සිටිතැයි සැක කරමින් දොරට තඩි බෑ ඔහු මෙසේ නද දීමට පටන් ගති. ‘පර බැල්ලි, පට්ට වේසි, වල් ගෑනි, ඇරපිය දොර, තොගේ නහයයි කනුයි කපල දාන්න.‘ මෙම ව්‍යසනය තුළ දී ස්වර්ණාභරණකරුගේ බිරිඳ සාන්ත ඔර්බෙරෝසියා තුමියගේ සරණ පතමින්, තමාටත්, සයනය අසල මරබියෙන් වෙව්ලමින් පසුවන කුඩා අන්තේවාසිකයාටත්, ඔවුන් ගොදුරුව ඇති අකරතැබ්බයෙන් ගොඩ ඒමට පිහිට වුව හොත්, එතුමියට ලොකු ඉටි පන්දමක් පූජා කරන බවට භාරයක් වූවා ය. 
  
 
  ශාන්තු වරියට යාච්ඤාව ශ්‍රවණය වූවා ය. ඇය ෂන් වියෝල් දැරිවියක් බවට වහා පරිවර්තනය කළා ය. මෙය දුටු සෙසිල් මුළුමණින් ම අස්වැසුම් ලද්දී, සිය ස්වාමි පුරුෂයාට පරුෂ වචනයෙන් බැණ වැදීමට පටන් ගත්තී ය. ‘අපොයි, මළ යස්සයා, ඉරිසියාකාර කාලකණ්ණියා, දොර අරින්න ඕන නම් යකෝ හොඳින් කථා කරපිය.‘ මෙලෙස පරුෂ වචන බෙණෙමින් අල්මාරිය වෙත දිව ගිය ඈ භවරියක් ද බොස්තොරොක්ක ජෝඩුවක් ද ගෙන ලිංග පරිවර්තනයට බඳුන්ව සිටි අන්තේවාසිකයා ඒවායින් හණි හණික එතුවා ය. එය නිම කළ පසු, ‘කැතරින්, කැතරින් සුදු පැටියෝ‘ ඇය හඩ නඟමින් කීවා ය. “අංකල්ට එන්න දොර අරින්න: එයා බුරුවෙකුටත් අන්ත මෝඩ පොරක්. ඔයාට මුකුත් නපුරක් කරන්නෙ නැහැ“. තරුණියක් බවට පත්ව සිටි තරුණයා අණට කීකරු විය. නිකොලස් මයා කාමරයට පිවිසුණි. ඔහුට දක්නට ලැබුණේ ඔහු නො හඳුනන තරුණියකි. බිරිඳ ඇඳේ වැතිර සිටියා ය. ඇය ඔහුට මෙසේ කීවා ය.‘මෝඩ ලොක්කෝ, කට ඇරන් බලන් ඉන්න දෙයක් නෑ. මට බඩෙි රුදාවක් තිබුණ නිසා මම ඇඳට ආවා. ඒ ගමන් ම කැතරිනුත් මෙහේ ආවා. මීට අවුරුදු පහළොවකට ඉස්සෙල්ල අපි දෙන්නා ගුස්ති අල්ලපු අර මගේ අක්කා - ෂීන් ද පලසෝ - අන්න එයාගේ දෝණිනෙ ඔය ඉන්නෙ. එයාව ඉඹින්න. ඉඹින්න වටිනව.‘ ස්වර්ණාභරණ කරු වියෝට හාද්දක් දුනිග එතැන් පටන් ඔහුට අවශ්‍ය වූයේ අන් කිසිවක් නො ව, මොහොතකට හෝ ඇය සමඟින් තනි පංගලමේ සිටීමට ය. ඒ, තමාට ඇති තරමින් ඇය සිප වැළඳ ගනු පිණිස ය. මේ හේතුව නිසා, ඇයට රට කජු හා වයින් චුට්ටක් දීමට යයි කියමින්, මොහොතකදු පමා නො වී ඔහු ඇය කුස්සිය වෙත එක් කර ගෙන ගියේ ය. එහි පිවිසුණු සැණෙකින් ම ඔහු ප්‍රේමයෙන් භරිත ව ඇය වැළඳ ගන්නට විය. සිදුවන්නේ කිමෙක් දැ යි දැක ගැනීමේ අදහස සාන්ත ඔර්බෙරෝසියා තුමිය ඔහුගේ සුසිල්වත් බිරිඳ තුළ ඇති නො කරන්නට, ඔහු එයින් නො නවතිනවා ඇත. ඥාති දියණිය ලෙස පෙනී සිටි තැනැත්තිය ඔහුගේ උකුලේ නැලවෙනු ඇය අතට ම අසු විය. සල්ලාල අවලෙමෙකැයි ඇය ඔහුට බැණ වැදුණා ය. කන් අඩි පැලෙන්නට පහර දුන්නා ය. තමාගෙන් සමාව අයැදින ලෙස ඇය ඔහුට බල කර සිටියා ය. පසු දින වියොල් සිය මුල් ස්වරූපය යළි ලබා ගති. “ 

  මෙම කතාව ඇසූ ගරු කටයුතු මොනයාර් කැනන්වරය, එය කීම ගැන ඔහුට තුති පුදා, සිය පෑන අතට ගනිමින්, ඊළඟ අශ්ව රේස් තරගයෙන් දිනන අසුන්ගේ ලැයිස්තුවක් ලිවීම ඇරඹී ය. මන්ද යත් ඔහු බුකීිකාරයෙකුගේ ලිපිකරු වූ හෙයිනි.
  
  මේ අතරතුර, පෙන්ග්විනියාව ධනයෙන් ආඩ්‍ය විය. ජීවනෝපාය සඳහා අවශ්‍ය දෑ නිෂ්පාදනය කළවුන් හට ඒවා අවශ්‍ය විය. නිෂ්පාදනය නොකළවුන් අත ඒවා ඕනෑවටත් වඩා වැඩියෙන් තිබුණි. නමුත් ආයතනයේ එක් සාමාජිකයකු කී පරිදි, මේවා අනිවාර්ය ආර්ථික නියාමයන් ය. ශ්‍රේෂ්ඨ පෙන්ග්වින් ජනතාව හට තවදුරටත් සම්ප්‍රදායන් හෝ බුද්ධිමත් සංස්කෘතියක් හෝ කලාවන් හෝ නො තිබුණි. ඔවුනතර ශිෂ්ටාචාරයේ ප්‍රගමනය ප්‍රකාශයට පත් වූයේ, මිනීමරු කර්මාන්ත, අපකීර්තිමත් සමපේක්ෂණ කටයුතු සහ සුඛෝපභෝගී බොරු සෝබනය මගිනි. එහි අගනුවර, එකල පැවති අන් සියලු ම විශාල නගර අත් කර ගෙන තිබූ පරිදි ම, සර්ව ලෞකික ස්වභාවයක් සහ මූල්‍යමය ස්වභාවයක් අත් කර ගති. දැවැන්ත වූත් ක්‍රමික වූත් අජූත ස්වරූපයක් එහි රජැයී ය. රට පරිපූර්ණ නිශ්චලත්වයක් භුක්ති වින්දේ ය. එය එහි උච්චස්ථානයට ම ළඟා විය.










 




                        ග්‍රන්ථය 8 

                               අනාගත කාලයන් 

                                නිමක් නැති ඉතිහාසය 
 
අල්කාව ඇමරිකාවක් බවට පත් වෙමින් ඇත. - එම්. දානිසෙත්
ඔහු එම නගරයන් ද, සියලු ම තැනිතලාවන් ද නගරයන්හි සියලු ම ජනී ජනයා ද මහ පොළව මත වැඩුනා වූ සියල්ල ද බිඳ හෙළීය
.                            උත්පත්ති කථාව 19-  25
දුගී භාවය සැමදාමත් ග්‍රීසියට සුපුරුදු ව තිබුණි. එහෙත් සුචරිතය දැඩි නීති මඟින් අත්පත් කර ගනු ලැබිණ. - හෙරෝඩෝටස් - ඉතිහාසය 12 -  හෙන්රි කෙරීගේ පරිවර්තනය
  එසේ නම් ඔබ දේව දූතයා දුටුවේ නැහැ.-   
                                ලීබර් තෙර්ර් බිලිස් 
          අපි දන් අධ්‍යයනය කිරීම අරඹනුයේ සංකේන්ද්‍රණය වූ ශක්තීන් ප්‍රමාණයක් අඩංගු වස්තූන්ගේ ප්‍රතිඵල සලකා බැලෙන රසායන විද්‍යාවකි. එවැන්නක් තවමත් අප සතු ව නො මැත. -  ශ්‍රීමත් විලියම් රැම්සේ   

 
                          1 

   නිවාස කිසි කලෙකත් ඔවුන් සෑහීමට පත් කරවන තරම් උස් නො වී ය. ඔවුහු ඒවා වඩ වඩාත් උසට තනමින් සිටියාහු ය. එක එකක් මත කාර්යාල, සාප්පුල බැංකුවලින් යුතුව තිහ හතලිහේ මහල්වලින් ඔවුහු ඒවා ගොඩ නැගූුහ. වඩ වඩාත් පහතට යන පරිදි ඔවුහු බිංගෙවල් සහ උමං තැනූහ. 
දිවා රෑ මුළුල්ලේ සිය ප්‍රභාව පතුරුවා ලූ ප්‍රදීපස්ථම්භයන්ගේ ආලෝකය ලබමින්, එක් කෝටි පනස් ලක්ෂයක් පමණ වූ මිනිස්සු යෝධ පුරවරයක වැඩ කළහ. නගරය වෙළා ගෙන තිබූ ෆැක්ටරිවලින් නැඟුණ දුමාරය ගුවන් ගැබින් පැමිණි කිසිදු ආලෝකයක් මගින් විනිවිද යනු නො ලැබිණ. එහෙත් සමහර විටෙක රශ්මියෙන් තොර රතු පැහැ ගැන්වුණ හිරුමඬල අඳුරු අහස් කුස ගමන් කරනු දක ගත හැකි විය. දුඹුළු සහ අඟුරු වරුසාවක් නොකඩවා ඇද හැ`ඵණි. ලොව සියලු ම පුරවරයන්ගෙන් අතිශයින් ම කාර්මික වූත් ධනවත් වූත් පුරවරය එය විය. එය සංවිධිත ව තිබූ අයුරු අති උත්කෘෂ්ඨ බවක් පෙනී ගියේ ය. ඉපැරණි වංශක්කාර ආකෘතීන් හෝ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතීන් හෝ කිසිවක් ශේෂ ව නො පැවතුණි. සියලු දෙය ම සංගතයන්ගේ අවශ්‍යතාවන්ට යටත් කර තිබුණි. කෝටිපති වරිගයා යනුවෙන් මානව විද්‍යාඥයන් හඳුන්වන දෙය මෙම වාතාවරණය මගින් බිහි කෙරුණි. මෙම වර්ගයේ මිනිස්සු, එක්වර ම උද්යෝගීමත් ද බෙලහීින ද වූහ. ඔවුහු මනෝමය සංයෝග ඇති කිරීම් තුළ දී ශ්‍රේෂ්ඨ දේ කිරීමට හැකියාව ඇත්තෝ වූහ. කාර්යාලය තුළ දිගුකාලීන පරිශ්‍රමයන්හි යෙදීමෙහිලා හැකියාව ඇත්තෝ වූහ. එහෙත්, ඔවුහු පාරම්පරික ව උරුම වන කලකොලොප්පම් හේතු කොට ගෙන ස්නායු ප්‍රකෝපවීම්වලින් පීඩා විඳින මිනිස්සු වූහ. කාලය ගෙවී යාමත් සමඟ ම ඒවා වැඩි විය.
 
   සමුහාණ්ඩුවාදී රෝම ප්‍රභූවරුන් හෝ ඉපැරණි එංගලන්තයේ මහත්වරුන් හෝ වැනි සියලු ම සැබෑ වංශක්කාරයන් මෙන් ම මෙම බලගතු මිනිස්සු ද සිය ගති පැවතුම් හා සිරිත් විරිත්වල දී මහා බැරෑරුම් ස්වභාවයක් පෙන්වූහ. ධනය පිළිබඳ බ්‍රහ්මචාරීන් වූයේ ඔවුන් ය. සංගතයන්හි රැස්වීම්වල දී ඔවුන්ගේ සුසිනිඳු පිම්බුණ මුහුණු ද, ලන්තෑරුම් වැනි ඔවුන්ගේ කම්මුල් ද, ගිලී ගිය සහ වක ගැසුණු ඇස් බැමි ද දැක ගත හැකි විය. වඩා වියළී ගිය සිරුරු. වඩා කහ පැහැ ගැන්වුණ සමේ වර්ණයන්, වියලුණ දෙතොල්, නාකි ස්පාඤ්ඤ මහණුන්ගේ දෙනෙත්වලටත් වඩා වැඩියෙන් දැවෙන ආගමික උන්මාදනීයභාවයක් පෙන්නුම් කළ දෙනෙත් සහිත මෙම කෝටිපතියෝ බැංකුවල සහ කර්මාන්තයේ තපස් වෘතයන්ට නො සිඳෙන උද්යෝගයෙන් යුතුව කැප වූහ. ඔවුන්ගෙන් සමහරෙක්, සියලු ප්‍රීති ප්‍රමෝදයන්, සියලු ආස්වාදයන්, සියලු විවේකයන් ඒ වෙනුවෙන් තමනට අහිමි කර ගත්හ. ඔවුහු ආලෝකයෙන් හෝ වාතාශ්‍රයෙන් හෝ තොර වූ කාමර තුළට වැද බිත්තර හා කිරි බුදිමින්, බූුරු ඇඳන් මතට වී සිය කාලකණ්ණි දිවි පෙවෙත් ගත කළහ. සිය ඇඟිලිවලින් සුදු යකඩ බොත්තම් තද කිරීම හැර අන් කිසිත් නො කරමින්, මෙම ශුඪවාදීහු මහා ධනස්කන්ධයන් ගොඩ ගැසූහ. ඔවුහු ඒවායේ සලකුණකුදු කිසිදා නො දුටහ. තමන් අත් නුදුටු ආශාවන් තෘප්තිමත් කර ගැනීමේ නිරර්ථක හැකියාව ඔවුහු ලබා ගත්හ.  
ධනය වන්දනාමාන කිරීමට ද තමන් වෙනුවෙන් දිවි පුදන්නෝ සිටියහ. මෙම කෝටිපතියන් අතරින් එක් අයකු වූ සුප්‍රකට සැමුවෙල් බොක්ස්, සිය දේපළ වලින් අංශු මාත්‍රයක් හෝ අත් හරිනවාට වඩා, මිය යාමට වැඩි කැමැත්ත දැක් වී ය. වැඩෙහි නිරතව සිටිය දී හදිසි අනතුරකට ගොදුරු වූ එක් කම්කරුවෙක්, තමාට වන්දියක් ගෙවීම සේවායෝජකයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ හෙයින් උසාවියෙන් තින්දුවක් ලබා ගති. එහෙත් එය ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළ දී මුහුණ පෑ අසංඛ්‍ය සංඛ්‍ය වූ බාධකයන්ගෙන් ගැහැටට පත් ඔහු අන්ත ම අන්ත දරිද්‍රතාවයට ඇද වැටුණි. මෙලෙස අපේක්ෂා හංගත්වයට පත් කෙරුණ ඔහු, පතොරම් පුරවා ලූ රිවෝල්රයක් අතැතිව සිය සේවායෝජකයාට අභියෝග කිරීමට කපටිකමත් එඩිතරභාවයත් මගින් ඉඩ සලසා ගති. තමාට යම් ආධාරයක් නොදුනහොත් මොළය පුපුරුවා හරින බව කියමින් ඔහු බොක්ස්ට තර්ජනය කළේ ය. සැමුවෙල් බොක්ස් කිසිවක් හෝ නො දුනි. ප්‍රතිපත්තියේ නාමයෙන් තමා ව මරා දමීමට ඔහු ඉඩ හළේ ය.  

  ඉහළ තැන්වලින් එන ආදර්ශ අනුගමනය කරනු ලැබේ. යම් සුළු ප්‍රාග්ධනයක් අයත් ව සිටි අය (ඔවුන් අවශ්‍යයෙන් ම සංඛ්‍යාත්මකව වඩා විශාල කොටස ය) කෝටිපතියන්ගේ අදහස් හා ගති පැවතුම් අනුගමනය කළහ. එසේ කළේ, ඔවුන් සමග තමන් ද එක ම පංතියේලා ගැනෙනු පිණිස ය. ධනය වැඩි වී යාමට හෝ සුරැකීමට හෝ හානිකර වූ සියලු ම හැඟීම් අගෞරවණීය වූ දේ ලෙස සලකනු ලැබිණ. අලසකමට හෝ නිකරුණේ කල් ගෙවීමට හෝ උපේක්ෂා සහගතව අධ්‍යයන කටයුතු කෙරෙහි ඇලීි ගැලීි සිටීමට හෝ අන් සියල්ලටමත් වඩා පමණ ඉක්මවා විදයම් කිරීමට හෝ කිසි කලෙකත් සමාව භාජනය නො කෙරුණි. කාමුක හැඟීම් කෙරෙහි වූ සෑම ඇදී යාමක් ම පොදු ජනතාවගේ දෝෂාරෝපණයන් අවුළුවාලූ අතර ම, ප්‍රචණ්ඩ සහ දුෂ්කර අයුරින් ආශාවන් සන්තර්පණය කර ගැනීමට සමාව භාජනය කරනු ලැබිණ. ඇත්ත වශයෙන් ම, සදාචාරය කෙරෙහි වඩා අඩු හානිදායක වූවක් ලෙස ප්‍රචණ්ඩත්වය සැලකුණි. මන්ද යත්, එය සමාජමය බලගතුකම පිළිබඳ එක් ආකාරයක් ප්‍රකාශයට පත් කළ හෙයිනි. සුප්‍රකට ශ්‍රේෂ්ඨ ගුණාංගයන් දෙකක් මත රජය දෘඪතර ලෙස පදනම් විය. ඒවා නම් පොහොසතුන්ට ගරු කිරීම සහ දුප්පතුන් පිළිකුල් කිරීම ය. මිනිස් දුක් වේදනාවන්ගෙන් තවමත් කැළඹී යන දුබල ආත්මයන් හට, වංචාවෙහි සරණ යාමට සිදු විය. ඒ ගැන දොස්  නැඟිය නොහැක. මන්ද යත්, එය සාමය පවත්වා ගෙන යාමටත් ආයතනයන්ගේ දෘඪකරභාවයටත් දායක වූ හෙයිනි.
  
  ඒ අනුව, පොහොසතුන් අතර වූ සියල්ලෝ ම සමාජ සාමයට කැප වූහත නැතිනම් කැප වූ බවක් පෙනී ගියේ ය. සියල්ලෝ ම ඒවා අනුගමනය නො කළහ. එහෙත් සියල්ලෝ ම හොඳ ආදර්ශයන් දුන්හ. සමහරුන්ට සිය තත්ත්වයෙහි බැරෑරුම්කම කුරිරු ආකාරයෙන් හැඟී ගියේ ය. එහෙත් ඔවුහු ගර්වය නිසා හෝ වගකීම නිසා හෝ එය විඳ දරා ගත්හ. රහසිගතව හෝ උප්පරවැට්ටියක් මගින් හෝ මොහොතකටවත් ඉන් මිඳීමට සමහරු තැත් කළහ. එවැන්නන්ගෙන් එක් අයකු වූ වානේ සංගතයේ සභාපති එඩ්වින් මාටින්, වරෙක දුගියකු ලෙස වෙස් වලාගෙන, බඩ වියත රැක ගනු වස් හිඟමන් යැදීම සඳහා පිටත් විය. තමා හප්පා ගෙන යාමට මග දෙපස යන්නවුන් හට ඔහු ඉඩ හළේ ය. දිනෙක පාලමක් මත හිඳ හිඟමන් යදිමින් සිටිය දී සැබෑ හිඟන්නකු සමඟ ඔහු කලහයකට මැදි විය. ඊර්ෂ්‍යාවෙන් හට ගැනුණ කෝපයෙන් වියුරුහුණු ඔහු සිඟන්නාගේ ගෙල මිරිකා මරා දැමී ය.  

  සිය මුඵ බුද්ධි මහිමය ම ව්‍යාපාරික කටයුතු වලට කැප කළ හෙයින්, ඔවුහු බුද්ධිමය ආස්වාදයක් ලැබීමට ක්‍රියා නො කළහ. මීට ඉහත ඔවුනතර උත්කර්ෂයෙන් බැබළුණ නාට්‍ය දැන් තොල් මතුරන නාඩගම් හා විගඩම් බවට හැකිළ තිබුණි. ස්ත්‍රීන් රඟ පෑ ජවනිකා පවා අත්හැර දමුණි. සුන්දර ආකෘතින් සහ දීප්තිමත් වස්ත්‍රාභරණ කෙරෙහි තිබූ රුචිය අහෝසි විය. ජෝකරයන්ගේ උඩු කරණම් සහ ජෑස් සංගීතය ඒවාට ඉහළින් පිහිටුවාලනු ලැබිණ. උද්යෝගීමත්භාවය අවුලුවා ලුූයේ, දියමන්ති වලින් ප්‍රභාශ්වර වූ ගෙලින් යුක්ත ව වේදිකාවට නැඟුණ ස්ත්‍රීන් හෝ විජයග්‍රාභී ව රන් පොලු උස්සා ගෙන ගිය පෙරහැර හෝ මඟිනි. නම්බුකාර ජීවිත ගත කිරීමට, මිනිසුන්ට තරමට ම ධනේශ්වර කුල කතුනට ද බල පෙරුණි. සියලු ම ශිෂ්ටාචාරයන්ට පොදු වූ ප්‍රවණතාවකට අනුව මහජන මතය ඒවා සංකේතයන් බවට පත් කර ගති. ඒවායේ චාමි විශිෂ්ටත්වය හේතුවෙන්, ඒවා ධනයේ ඵෙශ්චර්යය සහ එහි සුක්ෂ්මභාවය යන දෙක ම නියෝජනය කළ යුතු විය. කාමේසුමිච්ඡාචාරය පිළිබඳ ඉපැරණි ගති සිරිත් පිළිසකර කෙරුණි. එහෙත්, පිරිමි කම්කරුවන් හෝ නන්නත්තාර වී මනමාලකමේ යන්නවුන් හෝ මඟින් ජේත්තුකර පෙම්වතුන් විස්ථාපනය කෙරුණි. එසේ ද වුවත්, නව නිංගිරා සහගත හෙළිදරව් වීම් දුලබ විය. විදේශ චාරිකාවක යෙදීම මඟින් ඒ සියල්ල ම පාහේ වහංගු කෙරුණි. සංගත කුමරියෝ විශ්වසනීය ගරු බුහුමනට ලක් වූ දේ ලෙස තවදුරටත් වැජඹුණහ.  
පොහොසතුන් වූයේ ඉතා ම අල්පතරයකි. එහෙත් මුළුමහත් ජනගහනයෙන් ම සමන්විත වූ ඔවුන්ගේ සහායකයෝ ඔවුන් විසින් මුළුමණින් ම දිනා ගනු ලැබූහ; නැති නම් මුළුමණින් ම යටපත් කර ගනු ලැබූහ. ඔවුහු පංති දෙකකට අයත් වූහ. ඒවා නම් වාණිජ කටයුතු පිළිබඳ හෝ බැංකු කටයුතු පිළිබඳ හෝ ඒජන්තවරුන් සහ කර්මාන්ත ශාලාවන්හි කම්කරුවන් ය. පළමුවැනිව කී කොටස, දැවැන්ත වැඩ කොටසක් කර දැවැන්ත වැටුප් ලැබූහ. මන්ද යත්, මහජන මුදල් සම්භාරයේ නිරන්තර වැඩි වී යාම තුළ දී, වඩා බුද්ධිමත් සහ වඩා එඩිතර වූවන් හට, ඕනෑ ම දෙයක් කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකි වූ හෙයිනි. ඉංජිනේරුවන්ගේ සහ ගණකාධිකාරීන්ගේ ගණයට අයත් වූ ජන සමූහය අතර, අතෘප්තිකර වූුත් කැරලිකාරී වූත් පුද්ගලයන් යම් ප්‍රමාණයක් සිටිනු නිසැකව ම දැක ගත හැකි විය. එහෙත් මෙම බලගතු සමාජ පෙළැන්තිය සිය විරුද්ධවාදීන්ගේ සිත් සතන් තුළ පවා දෘඪතර විනයක් කාවද්දා තිබුණි. අරාජකවාදීහු පවා වැඩ කළහ: ස්ථිර ක්‍රමයකට අනුව වැඩ කළහ.  

  නගර වටා තිබූ කර්මාන්ත ශාලාවන්හි ශ්‍රමය වගුළ කම්කරුවන් ගැන කියන්නේ නම්, ඔවුන්ගේ පරිහානිය කායික හා සදාචාරමය යන දෙඅංශයෙහි ම වූ පරිහානිය අති බිහිසුණු විය. ඔවුහු මානව වංශ විද්‍යාව විසින් ගෙන හැර දක්වන ලද දරිද්‍රතාවය පිළිබඳ නිදසුන් වූහ. ඔවුන් කළ කාර්යයෙහි සුවිශේෂී ස්වභාවය හේතු කොට ගෙන, ඔවුන් අතර යම් යම් මාංශ පේශීන් සම්බන්ධයෙන් සිදු වූ වර්ධනය නිසා ඔවුන්ගේ ශක්තිය පිළිබඳ වැරදි අදහසක් ඇති කළ හැකි වුූයේ වී නමුත්, ඔවුන් ගෙන හැර දැක්වූුයේ මරණාසන්න වූ දුබලකම පිළිබඳ ස්ථිර සලකුණු ය. කුඩා හිස් සහ පටු ළැම පෙදෙස් සහිත කුඩා පරිමාණයෙන් යුක්ත වූ ඔවුහු ශාරීරික විෂමතාවයන් ගණනාවක් මඟින් ද, විශේෂයෙන් ම හිස් සහ ගාත්‍රා අතර සුසංගඨිතභාවයෙහි ඌණතාවය මඟින් ද, සුබ විහරණයෙන් අනූන වූ පංතීන්ගෙන් තවදුරටත් සුවිශේෂ කොට දක්වුණහ. ඔවුහු ක්‍රමානුකූල වූත්, අඛණ්ඩ වුත් පරිහානියකට ගොදුරු වීමට නියමිතව සිටිය හ. මන්ද යත්, රජය ඔවුනතර සිටි වඩා ශක්ති සම්පන්න වූවන් සොල්දාදුවන් බවට පත් කළ නිසාත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඔවුන්ගේ බැරැක්ක වටා පැන නැඟුණ ගණිකා මඩම් හා කසිප්පු තිප්පොලවලට වැඩි කල් ප්‍රතිරෝධය නො පෑ නිසාත් ය. නිර්ධනීහු මානසිකව වඩ වඩාත් දුබල බවට පත් වූහ. ඔවුන්ගේ බුද්ධිමය ඉන්ද්‍රියයන්ගේ අඛණ්ඩ දුබල වීමට මුළුමණින් ම තුඩු දුන්නේ ඔවුන්ගේ ජීවන පැවැත්ම ම නො වේ. සේවායෝජකයන් විසින් කර ගෙන යනු ලැබූ ක්‍රමානුකූල තේරීමක් හේතු කොට ගෙන ද එය සිදු විය. විශාල හැකියාවන්ගෙන් යුතු කම්කරුවන් යුක්ති සහගත ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙළඹෙතැයි බියට පත් සේවායෝජකයෝ, හැකි හැම ක්‍රමයක් ම මගින් ඔවුන් නැති භංගස්ථාන කර ලීමට වග බලා ගත්හ. සිය අයිතීන් රැක ගැනීමේ හැකියාව නො තිබූ, එනමුදු ඉතා මැනවින් පරිපූර්ණත්වයට පත් කෙරුණ යන්ත්‍ර පවා අතිශයින් ම සරල දේ බවට පත් කරවමින් සිය ශ්‍රමය වගුරුවාලීමෙහි ලා සෑහෙන තරමින් බුද්ධිමත් වූ අඥාන කම්කරුවන් යොදා ගැනුමට ඔවුහු වඩා වැඩි කැමැත්ත දක්වූහ. ඒ අනුව, නිර්ධනීන් හට සිය තත්ත්වය වැඩි දියුණු කර නො ගත හැකි විය. වැඩ වර්ජන මගින් සිය වැටුප් මට්ටම පවත්වා ගෙන යාමට ඔවුන්ට හැකි වුයේ දුෂ්කරතාවෙන් යුතුව ය. මෙම මාර්ගය පවා ඔවුනට උපකාරී නො වීමට පටන් ගති. ධනේශ්වර ක්‍රමය තුළ නෛසර්ගික ව සිදුවන නිෂ්පාදනයේ වෙනස්වීම් මඟින් එවන් වැඩ නැවැත්වීම් ඇති කෙරුණි. වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කළ සැණෙකින් ම, වැඩ වර්ජකයන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට, ගොඩ ගැසී තිබෙන නිෂ්පාදිතයෝ ඉඩ ලබා දෙත්. එක් වචනයකින් කිවහොත්, කිසිවකිනිදු ප්‍රබෝධමත් නො කෙරෙන, කිසිවකිනිදු කුපිත නො කෙරෙන, දොම්නසින් පිරුණු උදාසීනත්වයක් තුළ මෙම අවාසනාවත් කම්කරුවෝ ගිල්වා දමනු ලැබෙත්. ඔවුහු සමාජ ක්‍රමය සඳහා අවශ්‍ය වූ උපකරණ වෙත්. ඔවුන්ගේ අරමුණු උදෙසා ඔවුහු හොඳින් ගලප්පනු ලැබ සිටිති. 
 
  සමස්ත වශයෙන් ගත් කල, මෙම සමාජ ක්‍රමය මේ තාක් දක්නට ලැබුණු ඉතාමත් ම දැඩි ව ස්ථාපිත වූ ක්‍රමය ලෙස පෙනුණි. අවම වශයෙන් මිනිසුන් අතර පැවති එවන් ක්‍රමය එයයි; මන්දයත්, මී මැස්සන්ගේ හා කුහුඹින්ගේ ක්‍රමය මේ ක්‍රමයට වඩා නොසැසඳිය හැකි තරම් ස්ථාවර වූ හෙයිනි. මනුෂ්‍ය ස්වභාවය තුළ ඇති ශක්තිමත් කරුණු වන උඩඟුකම සහ තෘෂ්ණාව මත පිහිටුවන ක්‍රමයක විනාශය කල්තියා පෙන්වාලීමට කිසිවකට නො හැක. එසේ ද වුවත්, අසහනයට හේතු භූත වූ කරුණු ගණනාවක් උද්යෝගීමත් නිරීක්ෂකයෝ අනාවරණය කර ගත්හ.  

ඒවායින් ඉතා ම ස්ථිර වූ, එනමුදු ඉතා අඩු ම පැහැදිලි බවින් යුක්ත වූ දේ වූයේ ආර්ථිකමය ස්වභාවයක් ගත් දෙයයි. එය සමන්විත වූයේ නොකඩවා ම වැඩි වන අධි- නිෂ්පාදනය තුළ ය. එය දීර්ඝ වූත් කුරිරු වූුත් රැකියා විරහිත තත්ත්වයන් උදා කළේ ය. එසේ ද වුවත් ලොකවුට් කිරීම පිළිබඳ තර්ජනය ඔවුන් හමුවේ තැබීම මගින් කම්කරුවන්ගේ බලය බිඳ දැමීමට නිෂ්පාදකයෝ ඒවා උපයෝගී කර ගත්හ. 
 
  මුළු ජනගහණය තුළ ම පාහේ තිබූ ශාරීරික තත්ත්වය හේතු කොට ගෙන, වඩා පැහැදිලි ව්‍යසනයක් ඇති විය. සෞඛ්‍ය අධ්‍යාපන විශේෂඥයෝ මෙසේ කීහ. “දුප්පතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, එය විය යුතු දෙය ලෙස ම පවතියි. පොහොසතුන්ගේ සෞඛ්‍ය තත්ත්වයෙහි තවත් දියුණු විය යුතු දේ බෙහෙවින් ඇත.” මේ පිළිබඳ හේතු සොයා ගැනීම දුෂ්කර නැත. ජීවිතය සඳහා අවශ්‍ය ඔක්සිජන් සැපයුම නගරයේ දී අප්‍රමාණවත් විය. මිනිසුන් ආශ්වාස කළේ කෘතිම වාතාශ්‍රයක් ය. ආහාර සංගතයෝ අතිශය සැහැසි රසායනික සංයෝග මඟින් කෘතිම වයින් වර්ග, මස්, කිරි, පලතුරු සහ එළවළු වර්ග නිපැයූහ. ඒ අනුව ආහාර වේල බඩේ රුදාව සහ මොළේ ආබාධ ඇති කළේ  ය. කෝටිපතියෝ දහ අට වැනි වියේ දී තට්ටයන් බවට පත් වූහ. ඔවුන්ගෙන් සමහරෙක් වරින් වර භයානක මානසික දුබලතාවයන් පෙන්නුම් කළහ. බෙහෙවින් විඩාවට පත්, දුබලත්වයට පත් ඔවුහු අමන ගොඩ වෙදුන්ට දවැන්ත මුදල් සම්භාරයක් පිදූහ. කමකට නැති තටාකාංග මුරකරුවන් ද, වෙදකු බවට හෝ අනාවැකිකාරයෙක් බවට හෝ පත් වු සමහරුන් ද වෙදකම මඟින් හෝ දේවධර්මය මතින් හෝ සීඝ්‍රයෙන් ධන සම්භාරයක් ගරා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් විය. ධනවතුන් අතර සියදිවි නසා ගැනීම් දෙගුණ තෙගුණ විය. ඒවායින් බොහොමයක් ම සිදු වූයේ, බුද්ධියත් සංවේදීතාවත් පෙර නො ඇසූ විරූ ලෙස ගණිකා වෘත්තියේ යෙදවීම් සම්බන්ධයෙන් සාක්ෂි දැරූ, බිහිසුණු සහ අති විශේෂ තත්ත්වයන් සමඟ අත්වැල් බැඳ ගෙන ය.
 
 සාමාන්‍ය මට්ටමේ සිත් සතන් මත දඩි බලපෑමක් ඇති කළ තවත් මාරක ලක්ෂණයක් විය. මේ තාක් කලින් කලට සහ පිළිවෙලකට අනුව සිදු වූ දරුණු හදිසි අනතුරු, ජනතාවගේ සිතුම් පැතුම් තුළට ප්‍රවේශ වී, සංඛ්‍යා ලේඛන දර්ශකයන් තුළ වඩ වඩාත් ඉහළට නැගෙමින් තිබුණි. හැමදාමත් යන්ත්‍ර සූත්‍ර සුන්බුන් ව පුපුරා ගියේ යත ගෙවල් කඩා වැටුණි. බඩු තොගවලින් බර වූ දුමිරිය මුළු මහත් ගොඩනැගිලි කඩා බිඳ දමමින්, මගිීන් වප්ප කර දමමින් විීදි මත කඩා ඇද හැලුණි. උමං වලින් පිරී තිබුණ බිම් මහල මතට වැඩපොලවල තට්ටු දෙක තුනක් කඩා ඇද වැටුණේ සියල්ලන් ම ගිල ගනිමිනි.

                                         02 

  නගරයේ නිරිතදිග දිස්ත්‍රික්කයෙහි තිබූ, සාන්ත මිෂෙල් කොටුව නම් වූ සිය ඉපැරණි නාමය තවදුරටත් රැක ගත් උස් කඳු මුදුනක් මත පිහිටි වතුරශ්‍රයෙකි. එහි වූ ඉපැරණි ගස් කීපයක්, පරඬලා වී ගිය සිය අතු තණතිල්ල පුරා විහිදුවාලී ය. උයන්පල්ලෝ එහි උතුරු බෑවුම මත ඇල්ලක්, පඳුරක්, විලක් සහ දුූවක් තැනූහ. යමෙකුට එය මත සිට මුළු නගරය ම - එහි විීදි, පටු මාවත්, චතුරශ්‍ර, බහුලව පැවති ඒවායේ වහල සහ ගෝලාර්ධයන්, එහි ගුවන් මාර්ග හා ජන සමූහයා සමඟින් -  දැක ගත හැකි විය. එය නිහඬතාවක තිමිර පටලයෙන් වැසී තිබුණි. දුර ප්‍රමාණය හේතුවෙන් එය මනබන්ධනීය ලෙස පෙනුණි. මෙම චතුරශ්‍රය, අගනුවර තිබූ ඉතාමත් ම සුවදායක ස්ථානය විය. මෙහි අහස දුමින් වැසී නො තිබුණි. කෙළි සෙල්ලම්වල යෙදෙනු පිණිස දරු දැරියෝ මෙය වෙත රැගෙන එනු ලැබූහ. තදාසන්න කාර්යාලයන්හි හා පර්යේෂණාගාරයන්හි සමහර සේවකයෝ සිය දිවා භෝජනය ගැනීමෙන් පසු, මොහොතකට හෝ එහි පැමිණීමට පුරුදුව සිටියහ. එහෙත් ඔවුහු එහි හුදෙකලාභාවයට සහ ශාන්ත භාවයට බාධා නො කළහ. 
 
  ජුනි මස එක් දිනෙක මධ්‍යාහ්නයේ දී, කැරෙලීන් මෙස්ලියේ නමැති විදුලි සංදේශ ලිපිකාරිණිය එහි පැමිණ, උස් මාවතක වූ බංකුවක අසුන් ගෙන සිටියේ මේ සිරිත අනුව ය. හරිත වර්ණයෙන් සිය දෑස් නැවුම් බවට පත් කර ගනු පිණිස, ඇය නගරය වෙත පසුපස හරවා සිටියා ය. කළු පැහැති, දුඹුරුවන් ඇසින් යුතු, ශක්ති සම්පන්න වූ සහ සෞම්‍ය වූ ඇය විසිපස් හැවිරිදි හෝ විසි අට හැවිරිදි හෝ වූවා ය. ඒ සැණෙකින් ම පාහේ, විදුලි බල සංගතයේ ලිපිකරුවකු වූ ෂෝර්ෂ් ක්ලෙයාර් ඈ අසලින් අසුන් ගත්තේ ය. සුදු, කෙට්ටු හා වසඟකරවන සුලු වූ ඔහු, ලාලන කෝමළ ලක්ෂණයන්ගෙන් හෙබියේ ය. ඔහු ඇයට වඩා එතරම් ම වැඩිමල් නො වී ය. ඔහු වඩා තරුණ වූ සෙයක් පෙනුණි. ඔවුන් දිනපතා ම මෙම ස්ථානයේ දී මුණ ගැසුණ හෙයින්, ඔවුනතර සහෝදරත්වයක් හට ගැනුණි. අල්ලාප සල්ලාපයෙන් ඔවුහු ප්‍රීතියට පත්වූහ. එහෙත් ඔවුන්ගේ අල්ලාප සල්ලාප කිසි කලෙකත් මුදු මොළොක් නො වී ය: පෙම්මාදර නො වී ය: හිතෛෂී නො වී ය. තමා කළ විශ්වාස කිරීම් ගැන පසුතැවිලි වීමට අතීතයේ දී ඇයට සිදු වූයේ වී නමුත්, ෂෝර්ෂ් ක්ලෙයාර් ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ දීත් හැසිරීම තුළ දිත් හැමවිට ම අතිශය කුළෑටි නො වූයේ නම්, ඇය සමහර විට ඊට වඩා අඩුවෙන් අයින් ගසා සිටීමට ඉඩ තිබුණි. ඔහු හැම විට ම අල්ලාප සල්ලාපයට මුළුමණින් ම බුද්ධි ගෝවර ස්වරූපයක් ලබා දුනි. එසේ කළේ එම කතාබහ සාමාන්‍ය අදහස් පිළිබඳ විෂය පථය තුළ කොටු කර තබා ගනිමිනිත තව ද හැම විෂයයක් ගැන ම ඉමහත් නිදහසකින් යුක්තව තම අදහස් ප්‍රකාශ කරමිනි. සමාජය සංවිධානය කිරීම ගැනත් කම්කරුවන්ගේ තත්ත්වයන් ගැනත් ඔහු නිරතුරුව ම කථා කළේ ය.  

  “ධනය කියන්නේ සතුටින් ජීවත් වෙන්න තිබෙන එක් මාර්ගයක්. ඒත් මිනිස්සු ඒක ජීවත් වීමේ එක ම අරමුණ බවට පත් කර ගෙනැ”යි ඔහු කීය. 
මේ තත්ත්වයන් බිහිසුණු බව ඔවුන් දෙදෙනාට ම පෙනුණි.  

  තමන් දෙදෙනාට ම හුරු පුරුදු වූ බොහෝ විද්‍යාත්මක විෂයයන් ගැන ඔවුහු දිගින් දිගට කථා කළහ. 
 

  එදින ඔවුහු රසායන විද්‍යාවේ පරිණාමය ගැන සාකච්ඡා කළහ.
 
  ක්ලේයාර් මෙසේ කීය. “රේඩියම් හීලියම්වලට පරිවර්තනය කෙරුණ දා ඉඳලා, සරල වස්තු වල වෙනස් නොකළ හැකි බව ඔප්පු කරන්න උත්සාහ දැරීම ජනතාව නවත්වල දම්මා. මේ විදියට සරල සම්බන්ධතාවන් ගැනයි ද්‍රව්‍යයේ විනාශ නොකළ හැකි ස්වභාවය ගැනයි තිබුණ පරණ නියාමයන් ඔක්කොම අහෝසි වෙලා ගියා.”  

  “ඒ වුනත්, රසායනික නියාමයන් නම් තවමත් පවතිනවා‘’යි ඇය කීවා ය. 

  ඇය එසේ කීවේ, තමා ස්ත්‍රියක් වූ හෙයින්, විශ්වාස කිරීම සඳහා යමක් ඇයට අවශ්‍ය වූ හෙයිනි.
  
  ඔහු එය ගණනකට නොගෙන යළි කථාව ඇරඹි ය.
   
  “අපිට දන් රේඩියම් සෑහෙන තරමින් ලබා ගන්න පුළුවන්. විශ්ලේෂණය කිරීම් කරන්න සැසඳිය නොහැකි තරම් මාර්ග විද්‍යාව සතුව තියෙනව. දැන් වුණත් අපි සරල වස්තූන් ය කියල හඳුන්වන දේ තුළ තියෙන අතිශයින් ම විවිධ සංකීර්ණ දේවල් පිළිබඳ අදහස් අපට ලැබෙනවා. ඒවායේ තුනීකම හේතුවෙන් ම වැඩි වෙන බවක් පෙනෙන ද්‍රව්‍යයේ ශක්තීන් අපි අනාවරණය කර ගන්නව.“ 
 
  සාකච්ඡාවේ යෙදෙන අතර තුර ඔවුහු පාන් කැබලි පක්ෂීන්වෙත විසි කළහ. ළමෝ කීප දෙනෙක් ඔවුන් වටා කෙළි සෙල්ලම් කළහ.
 
  එක විෂයයකින් තවත් විෂයයකට මාරු වෙමින් ඔවුහු සාකච්ඡාවේ යෙදුණාහ. 
 
  ක්ලෙයරේ මෙසේ කීය. “ඒ ගල් යුගයෙදි මේ කන්දෙ හිටියෙ වල් අශ්වයො. පසුගිය අවුරුද්දෙ ජල නල වළලන්න උමං හාරන කොට, ආදි කල්පික අශ්වයන්ගේ ඇටකටු තට්ටුවක් හමුවුණා.” 

  එම ඈත එපිට යුගයේ දී මිනිසා පහළව සිටියේ ද යන්න දැන ගැනීමට ඈ උත්සුක වූවා ය.  

  අශ්වයා හීලෑ කිරීමට බොහෝ කලකට පෙරාතුව ඌ දඩයම් කිරීමට මිනිසා පුරුදුව සිටි බව ඔහු ඇයට පැවසුවේ ය.  

  ඔහු මෙසේද කීය. “මිනිසා මුලින් ම දඩයක්කාරයෙක්. ඉන් පස්සේ එයා එf`ඩ්රෙක්, ගොවියෙක්, නිෂ්පාදකයෙක් බවට පත් වුණා....... සිතා ගන්න බැරි තරම් විශාල අත
 
  ඔහු ඔර්ලෝසුව එළියට ඇද ගති. 
 
  එය කාර්යාලයට ආපසු යාමට වෙලාව දැ යි කැරොලීන් ඇසුවා ය
  
  එය එසේ නොවන බව ද තව ම දොළහමාරවත් වී නැති බව ද ඔහු කීවේය.
 
  කුඩා දැරියක් ඔවුන්ගේ බංකුව පාමුලට වී මැටි ගුලි හදමින් සිටියා ය. හත් හැවිරිදි හෝ අට හැවිරිදි හෝ කුඩා පිරිමි ළමයෙක් ඔවුන් ඉදිරියේ කෙළි දෙළෙන් පසු විය. සිය මව අසල වූ බංකුව මත අසුන් ගෙන මහමින් සිටින අතරතුර, ඔහු බාන කඩා ගත් අසකු පරිද්දෙන් තනිව සෙල්ලම් කළේ ය. දරුවනට ඇති කර ගැනීමට හැකියාව ඇති මනෝමය සිතුවිලිවල බලයේ පිහිටෙන් අශ්වයා තමා බව සිතින් මවාගත් ඔහු, ඌ පසු පස දිව ගිය අය ද ඌට බියෙන් හිස් ලූ ලූ අත පලා ගිය අය ද තමා ම යයි සිතා ගති. තමා සමඟ ම සටන් වදිමින් ඔහු මෙසේ හඬ තැළී ය. “ඕකව නවත්තපල්ලා! හී! හී! මූ යස්ස අස්සයෙක් තමයි. ඌ කටකලියාව උගේ දත් අස්සෙ ගහගෙන.” 
 
කැරොලින් මෙම ප්‍රශ්නය නැඟී ය. 
 
“මිනිස්සු ඉස්සර මීට වඩා සතුටින් හිටිය කියල ඔයා හිතනවද?”
 
  ඇගේ සගයා මෙලෙස පිළිතුරු දුන්නේ ය. 
 
“  ඒගොල්ල වඩා තරුණව සිටිද්දි දුක් වින්දෙ වඩා අඩුවෙන්. ඒ ගොල්ල ක්‍රියා කළේ අර කොලු පැංචා වගෙයි. ඒ ගොල්ල සෙල්ලම් කළා. ඒ ගොල්ල කලාව සමඟ, සදාචාරය සමඟ, දුරාචාරය සමඟ, වීරත්වය සමඟ, විශ්වාසයන් සමඟ, ආස්වාදයන් සමඟ සෙල්ලම් කළා. ඒ ගොල්ලන්ට මිථ්‍යාවන් තිබුණා. ඒවා ඔවුන්ට ප්‍රීතිය ගෙන දුන්නා. ඒගොල්ලන් කෑ ගැහුවා. ඒගොල්ල ප්‍රීති වුණා. ඒත් දැන්.......”  

  තමාට බාධා කර ගනිමින්, ඔහු ඔර්ලෝසුව දෙස යළි නෙත් හෙළී ය.
  
දුවමින් සිටි දරුවා සිය පාදය කුඩා දරියගේ පනිට්ටුවේ හප්පා කෙසෙල් කඳක් කැපු කලක මෙන් බොරළු ගොඩ මත හතර ගාතෙන් ඇද වැටුණි. මොහොතකට නොසෙල් වී දිගාව සිටි ඔහු සිය අත්ල බිම ඔබා එහි වාරුවෙන් නැඟී සිටියේ ය. ඔහුගේ නළල රැළි ගැන්වී තිබුණි; මුව ඇරී තිබුණි. ඔහු කදුළු සලන්නට විය. ඔහුගේ මව දිව ගියා ය. එහෙත් කැරොලින් ඔහු බිමින් ඔසවා සිය ලේන්සුවෙන් ඔහුගේ දෑස් සහ මුව පිස දමමින් සිටියා ය. දරුවා තවමත් හඬයි. ක්ලෙයාර් ඔහු දෑතට ගති.  
“ආ එන්න, අඬන්න එපා. මගේ කොලු පැංවෝ ! මම ඔයාට කතන්දරයක් කියල දෙන්නම් කෝ!”  
“ඔන්න එක ඔරු කාරයෙක් දවසක් දා එයාගෙ දැල මුදට දැම්මා. දාල ඇද්දා. ඒකෙ තඹ පාට කළයක් තිබුණා. එයා එයාගේ පිහියෙන් ඒක ඇරියා. එතකොට ඒකෙන් දුමක් පිටවුණා. ඒ දුම උඩට නැග්ගා. එහෙම නඟිනකොට නඟිනකොට දුම හුඟාරියක් වැඩි වෙලා වැඩි වෙලා යෝධයෙක් වුණා. ඒ යෝධයා මහා යස්ස ඈණුමක් ඇරියා. ඒ ඈණුමෙන් මුළු ලෝකෙ ම පුපුරලා අළු වුණා”
  
ක්ලෙයාර් කතන්දරය නවතා, කර්කශ සිනහවක් පා, දරුවා ඔහුගේ මවට ආපසු භාර දුනි. ඉන්පසු ඔහු සිය ඔර්ලෝසුව එළියට ඇද ගති. වැළමිට පිටු පසට සිටුවා බංකුව මත දණ ගසමින් ඔහු නගරය දෙස නෙත් යොමු කළේ ය. ඇසට පෙනෙන තෙක් මානයේ වූ නිවෙස් සමුදාය ඒවායේ අති සියුම් අපරිමිත භාවයෙන් යුතුව දක්නට ලැබුණි.
  
කැරොලින් ද එම දිසාව දෙසට නෙත් යොමු කළා ය.
 
  “මොන තරම් ෂෝක් දේශගුණයක් ද?” ඇය තෙපළා ය. “හිරු එළිය ක්ෂිතිජයේ තියෙන දුමාරය රන්වන් කරනව. ශිෂ්ටාචාරයේ නරක ම දේ තමයි, ඒක හිරු එළිය නැති කරල දාන එක.” 
 
  ඔහු පිළිතුරු නො දුනි. ඔහු නගරයේ එක් ස්ථානයක් වෙත නෙත් යොමා ගෙන සිටියේ ය. 
 
  තත්පර කිහිපයෙක නිහැඩියාවකින් පසු සැතපුම් භාගයක් පමණ ඇත, ගං ඉවුරේ අනෙක් පස තිබූ ධනවත් දිස්ත්‍රික්කයක් තුළ, ව්‍යසනකාරී දුම් වළල්ලක් ඉහළ නැඟෙනු ඔවුහු දුටහ. ඉන් මොහොතකට පසු මහා පිපිරීමෙකි. එම හඬ ඔවුන් වාඩි ලා සිටි ස්ථානයට පවා ඇසුණි. පිවිතුරු අහස කරා නැඟෙන දැවැන්ත වෘක්ෂයක් බඳු දුම් කන්දරාවකි. දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ මහා අඳෝනාවන්ගෙන් පැන නැඟුණ, පැහැදිලි ව අවබෝධ කර නොගත හැකි කෙඳිරිගෑම් ගුවන් ගැබ සිසාරා මඳින් මඳ පැතිර ගියේ ය. චතුරශ්‍රයට බොහෝ සමීපව විලාපයන් පැතිර ගියේ ය. මොකක් ද ඒ පිපිරුණේ? කළබැගෑණිය අති මහත් විය. මන්ද යත්, හදිසි අනතුරු සාමාන්‍ය දෙයක් ව පැවති නමුත්, මෙවන් ප්‍රචණ්ඩ පිපිරීමක් පෙර කිසි කලෙක නො ඇසූ විරූ නිසා ය. අති බිහිසුණු වූ අමුත්තක් සිදුව ඇති බැව් හැම අයෙක් ම අවබෝධ කර ගත්හ. 
 
හදිසි අනතුර සිදු වූ ස්ථානය නිශ්චය කර ගැනීමට ප්‍රයත්න දැරුණි. දිස්ත්‍රික්ක, විීදි, විවිධ ගොඩනැගිලි, සමාජ ශාලා, නෘත්‍යාගාර සහ කඩ සාප්පු යනාදියෙහි නම් කියවුණි. ක්‍රම ක්‍රමයෙන් ආරංචි නිශ්චිත බවට පත් ව, අවසන්හි සත්‍යය දන ගන්නට ලැබුණි.
  
“මෙන්න මේ දැන් වානේ සංගතේ පුපුරුවා හැරලලු” 
 
ක්ලෙයාර් සිය ඔර්ලෝසුව යළි සාක්කුවේ දමා ගති.
 
කැරොලින් ඔහු දෙස සමීප ව බැලුවා ය. ඇගේ දෙනෙත් විස්මයෙන් පිරී තිබුණි. 
 
අන්තිමේ දී ඇය ඔහුගේ කණට කොඳුළා ය. “ඔයා ඒ වග දැන හිටිය ද?”  

“ඔයා ඒක බලාපොරොත්තුවෙන් ද සිටියෙ? ඔයා ද ඒක.........?“
 
ඔහු ඉතා තැන්පත් ස්වරයෙන් පිළිතුරු දුනනේ ය.
  
“නගරය විනාශ කර දාන්න ඕන”  

ඇය මුදු මොලොක් සහ කල්පනාකාරී හඬකින් මෙසේ පිළිතුරු දුන්නා ය. “ මමත් හිතන්නෙ එහෙම ම තමයි“ 
 ඔවුහු දෙදෙන හිමින් සීරුවේ ම සිය වැඩට ආපසු ගියහ.
  
                                           03


  එදින පටන් සතියකට වරක් බැගින් නොකඩවා ම අරාජකවාදීන්ගේ පහරදීම් සිදු විය. ගොදුරු වූුවෝ අනත්ත වූහ. ඔවුන් සියල්ලන් ම පාහේ අයත් වූයේ වඩා දුගී පංතීන්ට ය. මෙම අපරාධ ජනතා විරෝධය අවුළුවා ලී ය. කෝපය වඩාත් දරුණු ලෙස පුපුරා ගියේ ගෘහ සේවකයන්, හෝටල් ආරක්ෂකයන් සහ තවදුරටත් පැවතීමට සංගතයන් මඟින් ඉඩ හරිනු ලැබ සිටි කුඩා සාප්පුවල සේවකයන් අතර ය. ඩයිනමයිට්වාදීන් හට අසාමාන්‍ය දඩුවම් දෙන මෙන් ජනාකීර්ණ දිස්ත්‍රික්කයන්හි ස්ත්‍රීන් ඉල්ලා සිටින බැව් අසන්නට ලැබුණි. (ඔවුන් හඳුන්වනු ලැබුවේ ඩයිනමයිට්වාදීන් ලෙස  ය. එසේ ද වුවත් එම නම ඔවුනට කිසිසේත් ම නොගැලපුණි. මන්ද යත්, මේ අප්‍රකට රසායනික සංයෝග කරුවන් හට ඩයිනමයිට් යනු හුදෙක් තුඹස් විනාශ කරලීමට පමණක් යෝග්‍ය වූ අවිහිංසක ද්‍රව්‍යයක් වූ නිසාත්, පුපුරන රසලවණවලින් තැනූ උණ්ඩයකින් නයිට්‍රෝ-ග්ලිසරින් පුපුරුවා හැරීම හුදෙක් ළදරුවකුගේ වැලිකෙළියක් පමණක් ලෙස ඔවුන් සැලකු නිසාත් ය.) ව්‍යාපාරික කටයුතු හදිසියේ ම නතර වුණි. එහි ප්‍රතිඵල මුලින් ම දැනුණේ අඩුවෙන් ම පොහොසත් වූවන්ට ය. තමන් විසින් ම අරාජකවාදීන් හට යුක්තිය ඉටු කරනු ලැබීම ගැන ඔවුහු කතිකා කර ගත්හ. මේ අතරතුර කර්මාන්ත ශාලාවන්හි කම්කරුවෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව නැඟී සිටියහ. නැතිනම් උපේක්ෂා සහගත ව සිටියහ. ව්‍යාපාරික කටයුතු පරිහාණියට පත් වීමේ ප්‍රතිඵලය වශයෙන් සිය රැකියා අහිමි වීමේ හෝ සියලු ම කර්මාන්ත ශාලා ලොකවුට් කරනු ලැබීමේ හෝ තර්ජනය ඔවුනට එල්ල වී තිබුණි. සේවායෝජකයන්ට බල කිරීිමේ ඉතා ම බලගතු මාර්ගය ලෙසත්, විප්ලවවාදීන්ට දිය හැකි ඉහළ ම ආධාරය ලෙසත් ජෙනරල් ස්ට්‍රයිකයක් කළ යුතු යයි වෘත්තීය සමිති සම්මේලනය යෝජනා කළේ ය. එහෙත් රන් ආලේප කරන්නවුන් හැර අන් සියලු ම වෘත්තීන්ට අදාළ සේවකයෝ වැඩ වර්ජනයක යෙදීම ප්‍රතික්ෂේප කළහ. 
 
  පොලිසිය විශාල වශයෙන් අත් අඩංගුවට ගැනීම් කළේ ය. ජාතික හමුදාවේ සියලු ම අංශවලින් කැඳවනු ලැබූ හමුදා සේනාංක සංගතයන් සතු කාර්යාල, කෝටිපතියන්ගේ නිවෙස්, ප්‍රසිද්ධ ශාලාවන්, බැංකු සහ විශාල සාප්පු ආරක්ෂා කළේ ය. එකදු පිපිරීමකින් හෝ තොරව සති දෙකක් ගෙවී ගියේ ය. කොයි ලෙසකින් බැලුවත් අතළොස්සක් වූ, සමහර විට ඊටත් වඩා අඩු සංඛ්‍යාවක් වූ ඩයිනමයිට්වාදීන් සියල්ලන් ම මරා දමනු ලැබ ඇතැයි හෝ අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි හෝ සැඟවී හෝ පලා ගොස් ඇතැයි හෝ නිගමනය කෙරුණි. යළි අස්වසාලනු ලැබූහ. මුලින් ම අස්වසාලනු ලැබුවේ වඩා දුගී පංතීන් අතර සිටියවුන් ය. ඉතා සමීප ලෙසකින් ජනාකීර්ණ ව පැවති දිස්ත්‍රික්කයන්හි ලැඟුම්ලා සිටි දෙතුන් දහසක් පමණ වූ සොල්දාදුවෝ වෙළඳ කටයුතු පණ ගන්වාලූහ. ජනතාව මෙසේ හඬ නැඟීමට පටන් ගත්හ. “හමුදාවට ජය වේවා!“  

  ඒ සා ඉක්මණින් සංත්‍රාසයට පත් නො වූ ධනපතියන් යළි අස්වසා ලනු ලැබුවේ ද වඩා හෙමිනි. එහෙත් කොටස් වෙළඳ පොළෙහි සිටි බුල්ලා නමැති කණ්ඩායමක් සර්ව ශුභවාදි ඕපා දූප පතුරුවා හළහ. බලගතු පරිශ්‍රම දැරීමක් මගින් මිල පහත වැටීම නතර කෙරුණි. ව්‍යාපාරික කටයුතු වැඩි දියුණු විය. විශාල අලෙවියක් ඇති පුවත්පත් ව්‍යාපාරයට සහයෝගය දුන්නේ ය. සාහසික අපරාධකරුවන් අතලොස්සකගේ ප්‍රහාරයන් හමුවේ ප්‍රාග්ධනය සිය අනභි භවනිීය තත්ත්වය තුළ සිනහ මුසු මුහුණින් සිටින අයුරුත්, තමාට එරෙහිව කෙරෙන නිරර්ථක තර්ජනය නොතකමින් රටේ ධනස්කන්දය සිය ගරු ගාම්භිරාකාර නැඟීම එලෙස ම පවත්වා ගෙන යන අයුරුත් එම පුවත්පත් සිතුවම් කර දැක්වූයේ දේශප්‍රේමි වාග් පටුත්වයකින් යුතුව ය. මෙය තමනට වාසි සලසන බැව් ඔවුන් දුටුවේ වී නමුත්, මෙම ආකල්පය ගැනීමේ දී ඔවුහු අවංක වූහ. කුරිරු ක්‍රියාවන් අමතක කෙරුණි. නැතිනම් එවන් දේ සිදු වූ බැව් ප්‍රතික්ෂේප කෙරුණි. ඉරු දිනවල පැවති තුරඟ තරගවල දී මුතු හා දියමන්ති වලින් සැරසුණ ස්ත්‍රීහු ක්‍රීඩා මණ්ඩප විභූෂිත කළහ. ධනපතියන් නම් පීඩා නොවිඳි බව ප්‍රීතියෙන් යුතු ව නිරික්ෂණය කෙරුණි. සෑදල කාමරයන්හි සිටි කෝටිපතියන් හට ඔල්වරසන් දෙනු ලැබිණ. 
 
  පසු දින, දකුණු දිග දුම්රිය ස්ථානය, තෙල් සංගනය සහ තෝමස් මෝසලෙන්ගේ වියදම මතින් ගොඩනැඟුණ දැවැන්න පල්ලිය පුපුරුවා හැරුණි. නිවෙස් තිහක් ගිනි බත් විය. ගින්නක ආරම්භය දැක ගනු ලැබුවේ නැව් තටාකාංගනයේ දී ය. ගිනි නිවන භටයෝ විස්මයජනක එඩිතරභාවයක් හා උද්යෝගීිමත්භාවයක් ප්‍රදර්ශනය කළහ. සිය උස් ගිනි නිවන මෙවලම් කරට ගෙන, අවාසනාවන්ත පදිංචිකරුවන් අග්නි ජාලාවන්ගෙන් බේරා ගනු වස් ඔවුහු මහල් තිහක් පමණ ඉහළ නැග්ගාහ. සොල්දාදුවෝ ඔවුන්ගේ රාජකාරිය ප්‍රාණවත්ව ඉටු කළහ. ඔවුනට කෝපි සලාක දෙකක් ම දෙනු ලැබිණ. එහෙත් මෙම නව ව්‍යසනයන් හේතුවෙන් කලබැගෑනියක් හට ගැනුණි. සිය මුදල් ද රැගෙන වහා ම නගරයෙන් පිටව යාමට අවශ්‍ය වූ දස ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා විශාල බැංකු අසල පොර කෑහ. මෙම ආයතන දින තුනක් මුළුල්ලේ මුදල් ගෙවීමෙන් අනතුරුව, කැරලි කෝලහාලයක මහා ඝෝෂාවක් මධ්‍යයේ සිය දොරවල් වසා දැමී ය. සිය බඩු පොදිවලින් බර වූ අනාථයන් සමුහයක් දුම්රිය ස්ථානය වට කර ගත්තේ නගරය දෙවනත් කර හරිමිනි. යම් පමණෙක ආහාර පාන ලබා ගැනීමට උත්සුක වූවෝ සහ ගබඩාවල සැඟවී සිටි බොහෝ අය කඩ වලට පහර දුන්හ. එසේ පහර දුන්නේ බයිනෙත්තු එල්ල කර ගත් සොල්දාදුවන් ඒවා මුර කරමින් සිටිය දී ම ය. රජයේ බලධාරීහු සිය ශක්තිය ප්‍රදර්ශනය කළහ. බොහෝ අත් අඩංගුවට ගැනීම් සිදු විය. සැක කෙරුණ පුද්ගලයන් හට එරෙහිව සිතාසි නිකුත් කෙරුණි.  

  ඉන් පසු ගෙවුණ සති තුන තුළ කිසිදු සැහැසි ක්‍රියාවක් සිදු නො වී ය. ඔපෙරා නාට්‍ය ශාලාවේත්, නගර සභා මන්දිරයේ ගබඩාවේත්, කොටස් වෙළඳ පොළේ එක් කුළුණක් අසලත් බෝම්බ තිබී හමු වූ බවට කතාවක් ප්‍රචලිත විය. එහෙත් ඒ රස කැවිලි පෙට්ටි බවත්, කඩප්පුලි ජෝකර්ලා විසින් හෝ උන්මතකයන් විසින් හෝ ඒවා එම ස්ථානයන් හි තබා ඇති බවත් කල් නොයවා ප්‍රකට විය. මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රශ්න කරනු ලැබූ විට එක් සැකකරුවකු කියා සිටියේ, පුපුරුවා හැරීම්වල නිර්මාතෘවරයා තමා බවත්, සිය ආධාරකරුවන් සියලු දෙනා ම මරණයට පත් වූ බවත් ය. මෙම පාපෝච්චාරණයන් පුවත් පත් මඟින් ප්‍රසිදධි්යට පත් කෙරුණි. ජනතාව අස්වසා ලීමට ඒවා ආධාර විය. තමන්ට ගනුදෙනු කිරීමට සිදු වුයේ කිසි ම අපරාධයකට කිසි ම ලෙසකින් හෝ සම්බන්ධයක් නැති, ව්‍යාජ මවාපාන්නකු සමඟ බව මහේස්ත්‍රාත්වරයා අවබෝධ කර ගත්තේ නඩු විභාගය අවසාන වෙමින් තිබිය දී පමණි.  

  විනාශකාරී ක්‍රියාව තුළ දී භාවිතයට දැමුණ උපකරණය කුමක් දැ යි තීරණය කිරීමට තුඩු දෙන කිසිවක් හෝ අධිකරණය මගින් තෝරා ගැනුණ විශේෂඥයෝ අනාවරණය කර නො ගත්හ. ඔවුන්ගේ අනුමාන කිරීම්වලට අනුව, නව පුපුරණ ද්‍රව්‍ය හට ගැනුණේ. රේඩියම් මඟින් වර්ධනය කෙරුණ වායුවකිනි. විශේෂ වර්ගයක දෝලකයක් මගින් නිපදවෙන විදුලි තරංග අවකාශයෙහි විසුරුවා හැර, එමගින් පුපුරුවා හැරීම සිදු කරන බව ද අනුමාන කරනු ලැබිණ. එහෙත් දක්ෂතම රසායනඥයාට පවා නිශ්චිත ව හෝ ස්ථිරව හෝ කිසිවක් කීමට නොහැකි විය. අන්තිමේ දී, මෙයර් හෝටලය පසු කරමින් සිටි පොලිස් භටයෝ දෙදෙනෙක් පදික වේදිකාවේ වූ වායු සමීකරණ යන්ත්‍රයක් අසල තිබූ, සුදු ලෝහයෙන් තැනුණ, දෙකෙළවර කැප්සියුලයක් සහිත වූ බිත්තරයක් සොයා ගත්හ. ඔවුහු එය පරෙස්සමින් අහුලා ගත්හ. සිය ප්‍රධානියාගේ නියෝගය පරිදි, ඔවුහු එය නාගරික පර්යේෂණාගාරයට ගෙන ගියහ. එය පිරික්සා බැලීමට විශේෂඥයන් එක් රැස් වූවා පමණි. බිත්තරය පුපුරා ගියේ ය. නෘත්‍යාගාර මණ්ඩපය සහ ගෝලාර්ධන සුනු විසුණු වී ගියේය. විශේෂඥයන් සියල්ලෝ ම වැනසුණාහ. ඔවුනතර කාලතුවක්කු හමුදාවේ සෙන්පති කොලින් සහ සුප්‍රකට මහාචාර්ය නිග්‍රේ ද වූහ. 
 
  මෙම නව ව්‍යසනයන්ගෙන් තමන් බියපත් කර ගැනීමට ධනේශ්වර සමාජය ඉඩ නොහළේ ය. විශාල බැංකු සිය ද්වාරයන් විවෘත කළේ, කොටසක් රත්රන්වලිනුත්, කොටසක් රජය මගින් සහතික කෙරුණ කඩදාසි නෝට්ටුවලිනුත් තමන් ගනුදෙනු කරන බව ප්‍රකාශ කරමිනි. කොටස් වෙළඳ පොළ සහ වෙළඳ මධ්‍යස්ථානය, සිය ව්‍යාපාර කටයුතු මුළුමණින් ම ඇණහිට සිටිමේ කරුණ නොතකමින්, සිය රැස්වීමේ කටයුතු කල් නොදැමීමට තීරණය කළේ ය. 
 
  මේ අතර, මුලින් ම චෝදනා ඉදිරිපත් කරනු ලැබූ අය සම්බන්ධයෙන් කෙරුණ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් විය. ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කෙරුණ සාක්ෂි, වෙනත් තත්ත්වයන් යටතේ දී අප්‍රමාණවත් යයි සමහර විට පෙනී යාමට ඉඩ තිබුණි. එහෙත් මහේස්ත්‍රාත්වරු සහ ජනතාව යන දෙකොටස ම දැක්වු උද්යෝගීමත්භාවය එම අඩුව පිරිමසාලීය. නඩුව විභාගයට ගැනෙන දිනය උදාවත් ම අධිකරණ ශාලාව පුපුරුවා හරිනු ලැබිණ: මිනිස්සු අට සියයක් ඉන් මිය ගියහ: ඔවුනතරින් වඩා වැඩි කොටස විනිසුරුවෝ සහ නීතිඥයෝ වූහ. කෝපයෙන් වියරුහුණ ජන සමුහයක් සිරගෙයට කඩා වැදී සිරකරුවන් අමු අමුවේ මරා දැමූුහ. සාමය ඇති කරලනු වස් එහි යවනු ලැබූ හමුදා බල ඇණි ගල් වරුසාවන්ගෙන් හා වෙඩි උණ්ඩයන්ගෙන් පිළිගනු ලැබිණ: සොල්දාදුවෝ ගණනාවක් ම, ඔවුන් නැඟ සිටි අසුන් වෙතින් ඉවතට ඇද ගෙන ගොස් පයින් වප්ප කර මරා දමනු ලැබූහ. සොල්දාදුවෝ කැරලිකාර ජන සමුහයාට වෙඩි තැබූහ. පුද්ගලයෝ ගණනාවක් ම මරා දමනු ලැබූහ. අන්තිමේ දී සාමය ස්ථාපිත කරලීමට රජයේ බලධාරිහු සමත් වූහ. ඊට පසු දින බැංකුව පුපුරුවා හැරුණි. 
 
  එතැන් පටන් පෙර නො ඇසූ විරූ දේ සිදු විය. වැඩ වර්ජන කිරීම ප්‍රතික්ෂේප කළ කර්මාන්ත ශාලා කම්කරුවෝ සමූහ වශයෙන් එක් රොක් ව නගරය වෙත දිව යමින් ගෙවල් ගිනිබත් කළහ. හමුදා නිලධාරීන්ගේ මෙහෙයීමෙන් යුත් රෙජිමේන්තු එහෙම පිටින් ම කම්කරුවන් සමඟ එක් ව, විප්ලවීය ගී ගයමින් නගරය පුරා සැරි සරමින්, ගිනි අවුළුවනු පිණිස නැව් තටාකාංගයන්ගෙන් පැට්‍රෝල් බැරල් පිටින් ගත්තේ ය. පුපුරුවා හැරීම් දිගට ම සිදු විය. එක් උදෑසනක සැතපුම් භාගයක් පමණ උසැති යෝධ පාම් ගසක සෙවණැල්ලක් බඳු අද්භූතාකාර දුම් ජාලාවක් යෝධ විදුලි සංදේශ ශාලාව මතින් පැන නැඟුනි. හිටි හැටියේ ම එම ශාලාව සුන්බුන් ගොඩක් ලෙස කඩා ඇද හැඵණි.  

  නගරයෙන් අඩක් ම ගින්නෙන් දැවී යමින් තිබිය දී අනෙක් අඩ සිය සුපුරුදු දිවි පෙවත ගෙවමින් සිටියේ ය. උදය වරුවේ දී, කිරි පනිට්ටු කිරි කරත්ත තුළ කිංකිණි හඩ නංවනු ඇසිය හැකි විය. මංමාවත්හි වැඩ කරන සමහර මහලු සේවකයන් පාළුවට ගිය මාවතක වූ බිත්තියකට පිට දී වාඩි ගෙන මස් ස්වල්පයක් සමඟින් පාන් කැබලි කීපයක් හෙමින් හෙමින්  බුදිනු දකිය හැකි විය. සංගතයන්හි සියලු ම සභාපතිවරු සිය අසුන් අරා වැඩ කටයුතු වල නිරතව සිටියේ ගරු ගාම්භීරාකාර චාම් බවකින් යුතු ව ය. දිවි පිදූ කෝටිපතියාණන්ගේ පුතණුවන් වූ රෆායෙල් බොක්ස්, ඔහු සීනි සංගතයේ මහා සභා රැස්වීමේ මුලසුන දරමින් සිටිය දී ම මරා දමනු ලැබී ය. ඔහු වෙනුවෙන් අති උත්කෘෂ්ඨවත් අවමංගලෝත්සවයක් පැවැත්වුණි. අවමඟුල් පෙරහැර කනත්ත කරා පිය නහද්දි, සුන්බුන් ගොඩවල් මතින් හය වතාවක් ම ගමන් කිරීමට සිදු විය; නැතිනම් මුලිනුපුටා දැමුණ මාර්ග මත වූ ලෑලි හරහා ගමන් කිරීමට සිදු විය. 
 
  ධනවතුන්ගේ සාමාන්‍ය ආධාරකරුවන් වූ ලිපිකරුවෝ, සේවකයෝ, බ්‍රෝකර්වරු සහ ඒජන්තයෝ නොසැලෙන පක්ෂපාතීත්වයක් පවත්වා ගෙන ගියහ. පුපුරුවා හැරුණ බැංකුවෙන් නොනැසී ඉතිරි ව සිටි ලිපිකරුවෝ විනිමය බිල් පත් භාරදීම පිණිස දුම් දමමින් තිබූ නිවෙස් අතරින්, සුන්බුන් වූ වීදි ඔස්සේ ගමන් කළහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, සිය ලදුපත් භාර දීමට පරිශ්‍රම දරද්දී ම ගිනි දැල් තුළ භෂ්ම ව ගියහ. 
 
  එසේ ද වුවත්, පවතින තත්ත්වය පිළිබඳ කිසිදු මිථ්‍යාවකට ඉඩක් නො වී ය. නගරයෙහි ස්වාමියා වූයේ සතුරා ය. නිහැඬියාව වෙනුවට දැන් නොකඩවා පැවතුණේ පිපිරීම්වල හෙණ හඬ ය. එම හඬ, අභිබැවිය නො හැකි බිහිසුණු හැඟුමක් ජනිත කළේ ය. විදුලි බල පද්ධතිය වනසා දමනු ලැබ තිබූ හෙයින්, මුළු නගරය ම ගනඳුරෙහි නිමග්නව තිබුණි. බිහිසුණු අපරාධ සිදු විය. අඩුවෙන් ම විඳවනු ලැබූ හෙයින්, ජනාකීර්ණ දිස්ත්‍රික්ක පමණක් තවදුරටත් ආරක්ෂිත පියවර පවත්වා ගෙන ගියේ ය. ස්වේච්ඡා මුරභටයෝ දිස්ත්‍රික්කයන්හි පෙළ ගැසී ගමන් කළහ. ඔවුහු සොරුන්ට වෙඩි තැබුහ. ලේ විලක් මැද වැද හොත්තා වූ, දෑත් පිටුපසින් බැඳ දැමුණල ලේන්සුවකින් මුහුණ ආවරණය කෙරුණල පුවරුවක් පපුවට ගැට ගසා තිබුණ සිරුරක් මත හැපී, හැම විදි කෙළවරක දීම මිනිස්සු බිම ඇද වැටුණාහ. 

  සුන් බුන් ඉවත් කරලීම හෝ මළවුන් වළලෑම හෝ නො කළ හැක්කක් බවට පත් විය. වැඩි කල් යා නොදීම, මෘත කළේඛරයන්හි ගඳ නොඉවසිය හැකි බවට පත් විය. වසංගත පැතිර යන්නට විය. අසංඛ්‍යා සංඛ්‍ය වූ මරණයන් එමඟින් සිදු විය. නො මැරී බේරුණ අය ද දුබල සහ අලස බවට පත් වූහ. බේරුණ සියල්ලෝ ම පාහේ, දුර්භික්ෂය මගින් ගොදුරු කරගනු ලැබූහ. ප්‍රථම සැහැසි ක්‍රියාවන්ගෙන් එකසිය එක් දිනක් ගත වූ කල්හි හමුදා බල ඇණි හයක්, කාල තුවක්කු භටයන් හා සමඟින් නගරයේ ඉතාමත් ම දුප්පත් පෙදෙස තුළට රෑ යාමේ ගමන් කරමින් සිටිය දී, කැරොලින් සහ ක්ලෙයාර් එකිනෙකාගේ දෑත් අල්වා ගෙන, තවමත් ඉතිරි ව තිබු. එනමුදු දුමින් සහ ගින්නෙන් වටව තිබූ එක ම එක උස් නිවසේ වහළ මතට වී අවට නරඹමින් සිටියාහු ය. ජන සමූහයා පරළ වී නටමින් සිටි වීදි දෙසින් ප්‍රීති මධුර වූ ගී නාදයන් ඉහළ නැඟුණි.  
  “හෙට ඒක ඉවර කරනව“ මිනිසා කීය. “එතකොට මීට වඩා හොඳ හොඳ වේවි.” 
   කෙස් වැටිය ලිහිල් ව ගොස් තිබූ, අග්නි ජාලාවන්ගේ පරාවර්තනය වීම හේතු කොට ගෙන මුහුණ දිලිසෙමින් තිබූ තරුණ කත, ඔවුන් වටා වඩ වඩාත් සමීප වෙමින් තිබූ අග්නි ජාලාව දෙස සාධුශීලී ප්‍රීති ප්‍රබෝධයකින් නෙත් යොමා සිටියා ය.
  
  “ඒක මීට වඩා හොඳ වේවි”
  
  වනසන්නාගේ දෑත් වෙත පිනූ ඇය ඔහුගේ දෙතොල් මත දෙතොල් තබා ප්‍රේමාන්විත හාද්දක් දුන්නා ය.

  
                              04 

  රාජ්‍ය පද්ධතියට අයත් අනෙක් නගරයන් ද කලබල හා කැරලි කෝලාහලයන්ගෙන් පීඩා වින්දේ ය. ඉන්පසු ප්‍රතිෂ්ඨාපනය සිදු විය. ආයතනයන් තුළට ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දෙනු ලැබිණ. ගති පුරුදු හා සිරිත් විරිත්හි විශාල වෙනස්කම් හට ගැනුණි. එහෙත් අගනුවර අහිමි ව යාමෙන් ලද පාඩුවෙන් නම් රට යළි හිස නො එසවී ය. එය සිය පැරණි ශ්‍රී විභූතිය යළි කිසිදා අත් කර නො ගති. වාණිජ කටයුතු හා කර්මාන්තය ක්ෂය වී ගියේ ය. ඒ තාක් කල් අන් දේවලට වඩා ඒවාට වැඩි කැමැත්තක් දැක් වූ එම රටවල් ශිෂ්ටාචාරය විසින් අත හැර දමනු ලැබී ය. ඒවා රෝගවාහක වූත් පිළුණු වූත් දේ බවට පත් වුණි. දසලක්ෂ සංඛ්‍යාත මිනිසුන් දිවි ගෙවූ එම පෙදෙස් අන් කිසිත් නො ව වැලිකතරක් ම බවට පත් විය. සාන්ත මිෂෙල් කොටුවේ කන්ද උඩ අශ්වයෝ වල් තණ උලා කෑහ. 
 
දි  ය ඇල්ලක් රූරා ඇද හැලෙන්නාක් මෙන් දවස් ගෙවී ගියේ ය. ලෙනක අග්ගිස්සෙන් වෑහෙන දිය බිඳු පරිද්දෙන් සියවස් ගෙව් ගියේ ය. මතකයෙන් ගිලිහී ගොස් තිබූ නගරය වසා පැතිරුණ කඳු මත විසූ වලසුන් දඩයම් කරනු පිණිස දඩයක්කාරයෝ පැමිණියහ. එf`ඩ්රෝ සිය සත්ත්ව රංචු ඔවුන් වෙත දක්කූහ. කම්කරුවෝ සිය නඟුල්වලින් බිම පෙරලූහ. උද්‍යානකරුවෝ සලාද කොළ එහි වගා කළහ ත පේර ගස්වල අංකුර බද්ධ කළහ. ඔවුහු පොහොසත් නො වූහ. ඔවුන් සතුව කලාවන් නො තිබුණි. ඔවුන්ගේ කුඩාරම් මිදිවැල්වලින් සහ රෝස මල්වලින් වැසී තිබුණි. ඔවුන්ගේ දඹ රන්වන් ගාත්‍රාවන් වසාලූ වස්ත්‍ර වූයේ එළු හම් ය. ඔවුන්ගේ අඹුවන් පැළැන්දේ තමන් විසින් ම වියන ලද ලෝම රෙදි ය. එළුවන් රකින අය මැටිවලින් මිනිසුන්ගේ සහ සතුන්ගේ කුඩා රූප ඇඹූහ. එසේ නැති නම්, පයින් ගස් එකිනෙකාට කොඳුරද්දී, ජලය මුණු මුණු හඩ නඟද්දී කැලෑවන්හි දළු කන එළුවන් අතර ගමන් ගනිමින් සිය පෙම්වතිය පසු පස හඹා යන තරුණියක ගැන ගී ගැයුවා ය. සිය දිවුල් ගෙඩි ගිල දමන කුරුමිණියන් සමග නිවෙස් හිමියා කෝපයෙන් පසු විය. විල්ලුද වලිගයෙන් යුතු නරියාගෙන් සිය කුකුළන් රැක ගැනීමට හේ උගුල් ඇටවී ය. ඔහු සිය අසල්වැසියන් හට සව් දිය පිරුවේ මෙසේ කියමිනි.
  
  “බොන්න. මැස්සො මගේ මිදි යුෂ සංග්‍රහය සවුත්තු කරලා නැහැ. වැවෙන්න ඉස්සෙල්ල ම මිදි වේලිලා.” 
 
  ඉනික්බිති, යුගයන් මුළුල්ලේ ගම්වල ධනයත් කුඹුරුවල පිරී තිබුණ භවහෝගත් ම්ිලේච්ඡ ආක්‍රමණිකයන් විසින් කොල්ල කනු ලැබී ය. රට කීප වතාවක් ම සිය පාලකයන් වෙනස් කළේ ය. ආක්‍රමණිකයෝ කඳු මුදුනක් මත මාලිගා ගොඩනැඟුහ. වගාව වැඩි විය. මෝල්, කම්හල්, හම් පදම් කරන කම්හල් සහ නූල් කටින යන්ත්‍ර පිහිටුවනු ලැබිණ. කැලෑ තුළින් සහ මඩ වගුරු උඩින් මාවත් විවෘත කෙරුණි. ගංගා බෝට්ටුවලින් වැසුණි. ගම් විශාල නගර බවට පත් විය. ඒවා එක්ව මහා නගර ඇති වුණි. ගැඹුරු මඩ වගුරු සහ උස තාප්ප මඟින් නගරාරක්ෂාව සලසා ගැනුණි. පසුව ශ්‍රේෂ්ඨ රාජ්‍යයක අගනුවර බවට පත් වූ එය, තමන් නිෂ්ප්‍රයෝජන ප්‍රාකාරයන් තුළ හිර වී සිටින බව දැක, ඒවා තණකොළවලින් වැසුණ මංමාවත් බවට පත් කළේ ය. එය බෙහෙවින් ධනයෙන් ආඪ්‍යව මිණිය නොහැකි තරම් විශාල ව වැඩුණි. නිවාස කිසි කලෙකත් ජනතාව තෘප්තිමත් කරවන තරම් උස් නො වී ය. ඔවුහු ඒවා තව තවත් උසට ගොඩ නඟමින් සිටියහ. එකක් උඩ එකක් වශයෙන් ඒවායේ කාර්යාල, සාප්පු, බැංකු, සංගම් තිබුණි. ඔවුහු ගබඩා සහ උමං වඩ වඩාත් යටව යන පරිදි තැනූහ. මිනිස්සු එක් කෝටි පනස් ලක්ෂයක් යෝධ නගරය තුළ ශ්‍රමය වගුළහ.   
නිමි.
 
 
      


 
 
 
 

Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS