"මෙතන පොත් 10,000 ක් විතර තියෙනව. ඉතිං ඒ පොත් රැකගැනීමේ ප්‍රශ්නයක් තියෙනවනෙ. ඇත්ත වශයෙන්ම මගෙ ළග මේ පොත් තියෙන එකත් එක්තරා විදිහක වැරැද්දක්. සමහරු කියනව පුස්තකාලයක් දාමු කියලා. ඒවා නිකන් කියන්න පුළුවන්, මම දන්නවා පුස්තකාලයක් දැම්මට කවුරුත් එන්නෙ නෑ. මේවා දෙනව කිව්වත් ආවෙ නෑනෙ.
පුස්තකාලයක් දාන්නත් තැනක් ඕනෙ. මෙතන හැරෙන්නවත් බෑ. මං මැරුණොත් මේවා විකුණයි. මං ගොඩක් පොත් අරන් තියෙන්නෙත් එහෙම. සමහරු මැරුණහම ඒ අයගෙ පවුලෙ අය පොත් කියවන්නෙ නැති නිසා පොත් කඩේට විකුණනවා. ඉතිං අපි ඒ පොත් ගන්නවා. ඒ නිසා මම කල්පනා කළා හොඳම ක්‍රමේ තමයි මේ පොත් කියවන්න ඕනෙ අයට විකුණන එක කියලා. ඒත් ඔක්කොම පොත් විකුණන්නෙ නෑ. පොත් ගන්න විශ්වවිද්‍යාලෙ එක්කෙනෙක්වත් ආවෙ නෑ. ඒක ශිෂ්‍යයෙක් ආවෙ නෑ. ලෙක්චරස්ලා කවුරුත් ආවෙත් නෑ. ෆේස්බුක් එකේ ලියනව ඕක විකුණන්න එපා අරකයි මේකයි කියලා. හොඳම දේ තමයි අරන් එක්කො තමන්ගෙ පුස්තකාලෙ තියනවා, නැත්නම් කාගෙහරි පුස්තකාලෙකට දෙනවා. 'මාර්ග' පොත් හතළිස් ගාණක් මගෙ ළඟ තිබුණා. ඒවා විකිණුවා. සමහර ඒවා අවුරුදු 50 ක් විතර ඇති.
මගෙ පොත් එකතුවෙ තියෙන පොත් මම විතරයිනෙ කියවල තියෙන්නෙ. ඉතින් ඒකත් අසාධාරණයක්නෙ. කවුරුහරි ගෙනිහිං එක්කො පුස්තකාලෙකට දායි. නැත්නම් මොකකට හරි ගනියිනෙ. සමහර ඒවා රුපියල් 5000ට විකිණුවෙ. දේශපාලන පක්ෂවලින් ආවෙ නෑ. නිකන් දෙන්නෙක් තුන්දෙනෙක් ආවා. ලේඛකයො වගේ හතරපස් දෙනෙක් ආවා. මම මේවා විකුණන අතරෙ ගිය සුමානෙ පරණ පොත් කඩේකට ගිහිල්ල බැලුවා මං මෙතෙක් කල් නොකියවපු පොත් තියෙනවද කියලා. සරසවියටත් ගියා. මගෙ ළග තියෙන පොත්වලින් පොත් දහයක්වත් එතන නෑ. මගෙ ළග ජීවන චරිත එකසිය හැට ගාණක් තියෙනවා. මම හිතුවා අඩු ගණනෙ සීය දෙනෙක්වත් එයි කියලා. මගෙ පොත් ටික විකුණගන්න නෙමෙයි, එහෙම උද්යෝගයක් ඇති වෙන්න එපැයි මිනිස්සුන්ගෙ. මෙයා මේ කයිවාරු ගහනව, මොනවද මේ තියෙන පොත් කියල බලල අඩු ගානෙ බනින්න හරි පුළුවන්නේ.
යුරෝපයේ සම්භාව්‍ය සාහිත්‍යය ඔක්කොම මෙතන තියෙනවා. එක පොතක්වත් බැලුවෙවත් නෑ ආපු හුඟක් අය.
මේක තිබ්බයි කියල වැඩක්ද. මම හෙට මැරුණයි කියන්න. මොකද්ද මේකට කරන්නෙ. මම දැකල තියෙනවනෙ සිද්ද වෙන දේ. එඩ්මන්ඩ් සමරක්කොඩිගෙ පොත් දීලා තිබුණා. එයාගෙ මෙච්චර පොත් තිබුණෙ නෑ. මම ගියා එයා ගාව තිබුණ පරණ ට්‍රොට්ස්කිවාදී සඟරා ගන්න. ඉංග්‍රීසි ඒවා. හතළිස් ගණන්වල ඒවා. අනේ එතන කිසි කෙනෙක් දන්නෙ නෑ එහෙම එකක් තියෙන බවවත්. මං කීවා නෑ නෑ මේ ළඟදි දුන්නෙ කියලා. ඉන්පස්සෙ ගිහින් හොයනකොට එක එක තැන්වල. මටත් ඉතිං මං මැරුණා වාගෙ තමයි මෙතන තියෙන සමහර පොත් නැති උනාම. ඒත් ඉතිං ලෝකෙ යථාර්ථයක් තියෙනවනෙ. මං නොමැරි ඉන්නෙ නෑනෙ. අනිත් එක මට කියවන්න හරි අමාරුයි දැන්. මේ පොත්වලට මොකද්ද කරන්නෙ කියන එක ප්‍රශ්නයක්"
- ටී. අන්ද්‍රාදි
මෙම වසරේ දී අසූවෙනි වියට එළඹෙන තුල්සිදාස් අන්ද්‍රාදි හෙවත් තුල්සිරි අන්ද්‍රාදි, ලාංකේය වාමාංශික දේශපාලන සාහිත්‍යය තුළ ට්‍රොට්ස්කිවාදී සලකුණ තැබූ විශිෂ්ට ලේඛකයෙකි. ලංකා සමසමාජ පක්ෂය (විප්ලවවාදී), විප්ලවවාදී සමසමාජ පක්ෂය, විප්ලවවාදී කම්කරු පක්ෂය, කම්කරු මාක්ස්වාදී සංගමය යන මාක්ස්වාදී දේශපාලන කණ්ඩයම් සමඟ ක්‍රියාකාරී දේශපාලනයේ නිතර වූ අන්ද්රාදී, සමසමාජය, විප්ලවවාදී සමසමාජය, පන්ති සටන, කම්කරු බලය යන පුවත්පත් සඳහා නිශ්චිත දේශපාලන අරමුණු සහිතව ලේඛනයේ නිරත වෙමින්, පරිවර්තනයේ සහ ග්‍රන්ථකරණයේ යෙදෙමින්, ලංකාවේ ට්‍රොට්ස්කිවාදී දේශපාලන සාහිත්‍යය පෝෂණයෙහිලා ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළ දේශපාලන ක්‍රියාධරයෙකි; ලේඛකයෙකි.
මේ, ඔහුගේ ලේඛන සහ දේශපාලන දිවිය අළලා කරන ලද සම්මුඛ සාකච්ඡාවකි.
සම්පූර්ණ ලිපිය සඳහා විමර්ශි වෙබ් ශාස්ත්‍රීය සංග්‍රහයට පහත වෙබ් සබැඳියෙන් පිවිසෙන්න.
Comments
Post a Comment