2018 ජූලි 08 පංති සටන කලාපය 02
මහින්ද ''- චීන ගනුදෙනුව
'' නිව්යෝක් ටයිම්ස් '' හෙළිදරව්ව !
'' නිව්යෝක් ටයිම්ස්'' පුවත්පත මහින්ද රජපක්ෂ- චීන ගනුදෙනුව පිලිබඳ ව කළ අනාවරණයත් සමග ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය තුළ දී, ගනුදෙනුවටත් වඩා දැඩි ව හෙළිදරව් වූයේ, රාජපක්ෂ වහල් ගුබ්බෑයම එය වහංගු කිරීමට ගත් උත්සහාය ය. මෙයට වහා පිළිතුරු දිය යුතු වූයේ මහරජ මහින්ද වුවත් එතුමාණන් වහන්සේගේ ශ්‍රි මුඛය වෙනුවට විවර වූයේ ඔහුගේ වහල් නඩයේ වහුලුන් කීප දෙනෙකුගේ කටවල් ය. මුලින් ම විවර වූයේ, එකල මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්‍රාල් නමැත්තාගේ කට ය. එම ලිපියේ එන කරුණු වැරදි බවට තමා කරුණු දැක්වුවත් එම මාධ්‍යවේදිනිය ඒවා නොසලකා එම ලිපිය පළ කර ඇති බව ඔහු කීවේ ය. එසේ ද වුවත් , තමා ඇයට කී එම ඊනියා සත්‍ය කරුණු මොනවාදැයි ඔහු අද වන තෙක් ප්‍රසිද්ධ කර නැත.එම කරුණු නිව්යෝක් ටයිම්ස් පුවත්පතට දැන් වූ වගක්වත් කියා නැත. එසේ දැන්වූවා නම්, මහ බැංකු අධිපති ධුරයට කිසිසේත් ම නුසුදුසු වූ තමාට එම තනතුර ලබා දුන් තමාගේ ගොඩ්ෆාදර් මේ වන විටත් අකරතැබ්බයෙන් ගොඩ ය. ලිපිය ලියූ මාධ්‍යවේදිනිය පමණක් නො ව නිව්යෝක් ටයිම්ස් පුවත්පත ද ආයෙ නොනැගිටින්න හොම්බෙන් ගොසිනි. එහෙත් තමා එම මාධ්‍යවේදිනියට කියූ ඊනියා සත්‍ය කරුණු ඔහු මෙරට ජනතාවට වහංගු කරන්නේ පුදුම සහගත ලෙස ය. ඊටත් වඩා පුදුම සහගත වන්නේ , ඒකාබද්ධයේ ඊනියා ආර්ථික පර්යේෂණ ඒකකයට මොහු ව කැඳවා බර ටෝක් එකක් ලබා දීමට, වෙනදා මොහු සමග එක්වී මාධ්‍ය සාකච්ඡා අටවන බන්දුල ගුණවර්ධන ක්‍රියා නොකිරීම ය; එය ම වෙනස් ලෙසකින් කිව හොත් , මහා ආර්ථික විශාරදයකු ලෙස වෙස් වලා ගත් හුදු ටියුෂන්කාරයකු වූ 'පචනොමිස්ට් '' බන්දුල ගුණවර්ධන සමග කරට අත දමා ගෙන මීට ඉහත මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මහ බැංකු අධිපති ධුරයේ දැලි ගෑ කබ්‍රාල් ,මේ අතිශය වැදගත් මොහොතේ දී එසේ නොකර සිටීම ය.
ඊළඟට මෙම අනාවරණයට පිළිතුරු දීමට පෙරට පනින්නේ , එකල මහ පාරවල් බදු ගෙන කෝටි ගණන් විය හියදම් කරමින්, බාලිකා පසල්වලට පවා කඩා පනිමින් නීතිය අතට ගෙන ක්‍රියා කළ ඊනියා නිල් බලකාය නමැති නම්බුකාර පාදඩ සංවිධානයේ කෙළිකාරයන් ය. මුලින් ම මොවුන් කියා සිටියේ අදාළ කරුණ සම්බන්ධයෙන් පිළිතුරු දිය යුත්තේ තිදෙනෙක් බව ය. එනම්, 1)මැතිවරණ කටයුතු භාර ව සිටි එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත 2)ශ්‍රිලනිප මහ ලේකම් අනුර ප්‍රිය දර්ශන යාපා 3)අදාළ චීන සමාගම. තටම තටමා කල් යැවූ චීන සමාගම සුපැහැ දිලි ප්‍රකාශයක් කිරීම වෙනුවට, ඇඟ බේර ගැනීමේ ප්‍රකාශයක් අන්තිමේදී කළ නමුත් ,අනෙක් දෙන්නා නම් තවමත් කසාය බීපු ගොලුවන් ලෙස නිහඬ ය .වෙනත් විදියකට කිව හොත්, අර්ජුන් මහේන්ද්‍රන් පට්ට හොරා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ කරන්නාක් මෙන් නිහඬ ය ! කෙසේ වෙතත්, අනෙක් දෙන්නා මත සියල්ල පටවා තමා සුද්ද සුදනා වීමට මුලින් ම ක්‍රියා කලේ අන් කිසිවකු නොව ඔය මහින්ද ම ය. ඒ, රාජ්‍ය ආයතන පිළිබඳ ජනාධිපති කොමිසමේ දී අයිටීඑන් රූපවාහිනියට මුදල් නොගෙවීමේ කරුණ මතු වූ විට ය. එහි දී එම කොමිසමේ නිර්දේශය වූයේ මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය ජීවිත කාලයට ම අහෝසි කළ යුතු බව ය! පළාත් පාලන මැතිවරණ සමයේ දෙතුන් වරක් මෙම කරුණ ගැන කියැවුණත් , ඒ ගැන දිගින් දිගට සඳහන් කිරීමෙන් වැළකීමට, සියලු ම වර්ගයේ මැති ඇමතියන් එකඟතාවකට පැමිණ ඇතිවාක් මෙනි! මන්ද යත්, එය ක්‍රියාත්මක වුව හොත් ,මේ රොත්ත බුරුත්තට ම කෙළ වී යාම අනිවාර්ය හෙයිනි.
නිව්යෝක් ටයිම්ස් අනාවරණයෙන් වඩත් ම කුලප්පු වී ඇත්තේ ඊනියා නිල් බලකායේ අසමසම නායක නාමල් රාජපක්ෂ යි. දැන් ඔහු 2016 අමෙරිකන් ආණ්ඩුවේ වාර්තාවක් ගෙන හැර පාමින් , සිය විරුද්ධවාදීන් ඇමරිකාවෙන් ලබා ගත් මුදල් ගැන කියන්නට පටන් ගෙන ඇත.අනුන්ගේ හොරකම් මගින් තමන්ගේ සෙලුව වසා ගත නොහැකි බව මොවුන් දන්නා නමුත්, ඔවුනට ඇති එක ම පිහිට එය වේ.
අන්තිමට මහා රජාණන් කරළියට පිවිසුණි . අදාළ අනාවරණයන් මඩ ප්‍රචාර බැව්, අපේක්ෂා කළ හැකි ව තිබූ පරිදි ම ප්‍රකාශ කළ ඔහු , නිව්යෝක් ටයිම්ස් පුවත් පතට එරෙහි ව නඩු පවරන බවට වාගා ඩම්බරයෙන් යුතු ව සිංහාවලෝකනය කලේ ය. කිසිදු හරිහමන් නඩුවකට පෙනී සිට නැති මහින්ද- නාමල්- උදය ගම්මන්පිල වැන්නන්, නීති පොත් කන්දරාවක් ලියා ඇති නමුදු කිසි ම නඩුවකට කොහෙත් ම පෙනී සිට නැති ජී.එල් .පීරිස් පිරිවරා ගෙන නිව්යෝක් ටයිම්ස් පුවත් පතට එරෙහි ව '' සියවසේ මහා ජාත්‍යන්තර නඩුව'' මෙහෙයවා, පෙර කල ''රට බේරා ගත් '' පරිදි මෙවර ඇමරිකාව හොම්බෙන් යවන අන්දම බලා ගැනීමට පුල පුලා බලා සිටි පොහොට්ටුවේ මෝඩ රාළලා රොත්ත හොම්බෙන් යවමින්, ඊට 'දිනකට පසු මහින්ද මහරජු වැඩ වදාලේ , තමන් නඩු පවරන්නේ එම පත්‍රයට නො ව, එම පුවත පළ කළ මෙරට මාධ්‍යවලට බව ය. එතැනින් නොනැවතුණ ඔහු, තමාට ඇමරිකාවේ ඡන්ද නැති නිසා එසේ කරන බව ද කියා සිටියේ , තමාගේ සියලු කටයුතු මෙහෙයවෙන්නේ ඡන්දය බලා ගෙන ය යන්න යළිත් තහවුරු කරමිනි ! මුල දී එම පුවත්පතට එරෙහි ව ඩොනල්ඩ් ට්‍රම්ප් ව සිය 'සහයට ඩැනී'' කර ගත් ගෝටා සහ මහින්ද , ට්‍රම්ප්ගේ ද සහය ලබා ගෙන එම පුවත් පත හොම්බෙන් යැවීමේ මේ අනගි අවස්ථාව මඟ හැර ගියේ ඇයි ද යනු අමුතුවෙන් අටුවා ටීකා ඇතිව විස්තර කළ යුතු නැත. ඩොනල්ඩ් ට්‍රම්ප් යනු නිව්යෝක් ටයිම්ස් පුවත්පතට පමණක් නොව තමාට සම්පූර්ණ යෙන් ම පක්ෂපාතී නොවන සියලු මාධ්‍යයන්ට එරෙහිව යුද වැද ඇති , මාධ්‍යයන් වෙනුවට ට්විටර් පණිවුඩ පාවිච්චි කරන අමුම අමු මාධ්‍ය විරෝධියෙකි. මාධ්‍ය ගිනි තැබූ, මාධ්‍යවේදීන් මරා දැමූ සහ ඔවුන් ට ශරීරික ව පහර දුන් උන්නැහේලා ට්‍රම්ප් අධමයා පිටුපස සැඟවීම පුදුමයට කරුණ ක් නො වේ; අතිශයින් ම ස්වාභාවික ය.
සිය මැතිවරණ කටයුතු උදෙසා මෙලෙස මුදල් අවභාවිතයේ යෙදීම හෝ යොදා ගැනීමට සැලසුම් කිරීම මහින්ද සම්බන්ධයෙන් ගත් කල රහසක් නො වේ. හෙල්පින් හම්බන්තොට සිද්ධියේ දී අප දුටුවේ , සුනාමිය වැනි මහා ව්‍යසනයක දී පවා සිත් පිත් නැති ලෙස එම කටයුත්තේ නිරත වීමට ඔහු පමණක් නො ව එම පවුල ම පසුබට නොවන අයුරු ය. එදත්, අතට අසු වූ පසු අදාළ මුදල ගෙවා දමා ජාම් බේරා ගත්තේ, ඩී.ඒ . රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කර අතට ම අසුවූ විට , නිදහසට කරුණ ලෙස එය දැන් ආපසු ගෙවා ඇත යනුවෙන් ප්‍රකාශ කරන පරිදි ම ය. මුදල් සංඛ්‍යාව අනුව වඩත් ම විශාල ම හොරකම මහ බැංකු මගඩිය හෝ අන් මගඩියක් හෝ විය හැකි නමුදු , හොරකමේ සම්පූර්ණ ධාරිතාව අනුව මහින්දගේ ක්‍රියාවට අලගු තියන්නටවත් ඒවාට බැරි ය. මන්ද යත්, ඔහු හොරකම් කිරීමට මාන බැලුවේ මුලු ශ්‍රි ලංකාවේ ම ජනාධිපතිකම වූ බැවිනි.
නිව්යෝක් ටයිම්ස් ලිපියේ කරුණු ඇත්ත වුවත් නැතත්, හන්දියක් හන්දියක් ගානේ රීරි යකා සයිස් පොස්ටර් ගසමින් ඔහු ගෙන ගිය යෝධ මැතිවරණ ව්‍යපාරය වැන්නක් ගෙන යාමට ඩොලර් මිලියන 7.6 කුත් මදි බැව් අමුතුවෙන් නොකිවමනා ය .
අදාළ කරුණු සම්බන්ධයෙන් කරුණු විමසීමට තමා ගත් උත්සාහය ව්‍යර්ථ වූ බව එම මාධ්‍යවේදිනිය කියා සිටින අතර එය බොරුවකැයි මහින්ද නොකිය යි. ඇගේ වාර්තාව බොරු නම්, කරුණු සහිත ව එම පුවත් පතට ලියා දැන්වීමට තවමත් ඔහුට හැකි ය. මේ කිසිවක් ඔහු නො කරයි. නිව්යෝක් ටයිම්ස් හෝ අන් කිසිදු ධනපති පුවත් පතක් හෝ සියලු කරුණුවල දී සම්පූර්ණයෙන් ම සත්‍යවාදී නො වේ. එහෙත් ඒවායේ පළ වන හැම කරුණක් ම අසත්‍යයැයි ඉන් අදහස් වන්නේ ද නැත. යූඇන්පී හොර ඔස්තාර්ලා මෙය අල්ලා ගෙන ලොව දෙවනත් කරන්නේ, මහ බැංකු මගඩියේ දී තමන් අතට ම මාට්ටු වීමෙන් වූ වින්නැහියෙන් ගැලවීමේ ක්‍රමයක් ලෙස පමණී. විජයකලා සම්බන්ධයෙන් පට පට ගා විනය පියවර ගත් යූඇන්පීය, රවි කරුණානායක- සේරසිංහ යනාදීන් සම්බන්ධයෙන් මොන ම විනය පියවරක් ගත්තේ නැත; ගන්නේත් නැත. ඒ වෙනුවට, එය රවි කරුණානායක පක්ෂයේ උප සභාපති තනතුරට පවා පත් කර ගත්තේ ය.
ඒඅනුව, මෙම කරුණින් සහ එයට දැක්වෙන ප්‍රතිචාර මගින් දෙකොටසට ම ගැලවීමක් නැත. මෙය රටේ ජනතාව සතුවිය යුතු මුදල් වන හෙයින් සිදුවූයේ කුමක්දැයි රටේ ජනතාව දැන ගත යුතු ය; එහෙත් සම්පූර්ණ සත්‍යය මේ දෙපාර්ශ්වය ම ජනතාවගෙන් සඟවනු ඇත.ජනාධිපති කොමිෂන් පත් කළත් , ඒවායේ පිටු සඟවා හෝ සම්පූර්ණ සත්‍යය යටපත් කරන අන්දම මහ බැංකු කොමිෂන් වාර්තාවට අත් වූ කලදසාවෙන් සියල්ලෝ ම දුටහ.
නිව්යෝක් ට්යිම්ස් පුවත්පතේ පළ වූ ලිපියට අදාළ සම්පූර්ණ සත්‍යය හෙළි කරන්නැයි බල කර සිටින අතර ම, සියලු හොරකමක්ම හෙළි කර ගැනීමට සහ එවන් දේ වළකාලීමේ සැබෑ නිශ්චිත ක්‍රියාමාර්ග සකසා ගැනීමට, ප්‍රධාන ධනේශ්වර ගුබ්බෑයම් තුන ම බලයෙන් පහ කිරීමේ ක්‍රිය මාර්ගයක් සකසා ගැනීම හැර අන් විකල්පයක් ජනතාවට නොමැත.
===========================================
ජනාධිපති කොමිසමක්
මහින්ද පිළිබඳව කළ නිර්දෙශයක්
'' ඒ අනුව, වසර 07 කින් පසුව හෝ එවැනි වරදකරුවන්වූ දේශපාලනඤයන්ට ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් වශයෙන් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධරයන් වශයෙන් පත්වීමට අවස්ථාව ලබා දීම නුසුදුසු බව මෙම කොමිෂන් සභාවේ අදහසයි. ඒ අනුව මෙම කොමිෂන් සභාව නිර්දේශ කරනු ලබන්නේ ඉහත ව්‍යවස්ථාවල දක්වා ඇති ලෙසට වැරදිකරුවන් වූ අය එසේ වරදකරු කිරීමෙන් පසු කිසිම අවස්ථාවක මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම හෝ මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම සඳහා අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් වීම නුසුදුසු බවට නීති සම්පාදනය කිරීම අවශ්‍ය බව ය.''
රාජ්‍ය ආයතනවල සිදු වූ දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 149 වැනි පිටුවේ දැක්වෙන එම විශිෂ්ට නිර්දේශය පිළිබඳ ව දිගින් දිගට ප්‍රසිද්ධ සංවාදයක් ඇතිවිය යුතු ව තිබූ නමුත් , වාචාල දේස පාලුවන් අතලොස්සකගේ තුට්ටුවක් නොවටිනා ගොන් කතා ප්‍රවෘත්ති ලෙස දිනපතා වමාරන රූපවාහිනී නාලිකා නො කළේ ද නො කරන්නේ ද එය ම ය. ඒ මදිවාට, ජනාධිපති ගේ වෙබ් අඩවියේ පළ ව ඇති එම වාර්තාවේ 149 වැනි පිටුවේ ''වරදවල් ,වැරදි ක්‍රියවන් ඉදිරියේ සිදුවීම වළක්වාලීමේ අරමුණින් කරනු ලබන නිර්දේශ '' යනුවෙන් සඳහන් තැනට පහළින් එම නිර්දේශ නැති අතර, 150 වැනි පිටුවට පසුව ඇත්තේ 589 වැනි පිටුව ය! මහ බැංකු මගඩිය පිලිබඳ වාර්තාවේ මෙන් මෙහි ද පිටු සිය ගණනක් (පිටු 439ක් අඩු ය!) ජනාධිපති කොමිෂන් වාර්තා පළ කිරීමේ දී මෙසේ පිටු කපා දැමීම එම වෙබ් අඩවියේ ප්‍රතිපත්තියක්දැ යි නො දනිමි. කෙසේ වෙතත්, බැඳුම්කර වාර්තාවේ පිටු අඩු වීම ගැන කෑ මොර දෙන ඒකාබද්ධයන් මෙම වාර්තාවේ පිටු අඩුවීම ගැන මීක් ශබ්දයක්වත් නොනඟන්නේ, එහිදී සඟවා ඇත්තේ මහින්දට අදාළ නිර්දේශ වන නිසා ය!
ඉදින් මුන් සමග මොන ගමනක් ද ?
*******************************************************
විජයකලාගේ ප්‍රකාශය සහ බොරදියේ මාලුබාන මහින්දවාදී ජාතිවාදියෝ
නිව්යෝක් ටයිම්ස් අනාවරණයත් සමග නන්නත්තාර වූ මහින්ද කල්ලියට එය යටපත් කර ඉන් ගොඩවීමට නිකම් ම පිදුරු ගසක් නො ව මහා ජාතිවාදී කොටයක් ම විජයකලාගේ කතාවෙන් ලැබී ඇත. උතුරු නැගෙනහිර ප්‍රදේශවල දී හමුවන බෝම්බයක්, කාලතුවක්කුවක් පමණක් නො ව පිහි කොටයක් වුවත් මහා ජාතිවාදී ගෝරනාඩුවකට නිමිත්තක් කර ගන්නා මේ නඩයට මෙවර නම් හමු වූයේ නියම ම මස් කට්ටකි. විය යුතු පරිදි ම ඔවූහු එය ඩැහැ ගෙන , ඇයට මන්ත්‍රී ධුරය අහිමි කිරීමටත් වඩා , ජාතිවාදයෙන් රට ම ආලෝලනය කිරීමේ අදිටනින් යුතුව ක්‍රියා කිරීමට පටන් ගෙන ඇත.පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ මස්සිනා කෙනකු සහිත වූ ද පර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතුයැයි මේ මෑතක දී පවා ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළා වූ ද කුප්‍රකට රාජ වාචාලයා පෙරට දමා ගෙන මහින්ද කල්ලිය මෙම ජාතිවාදී ව්‍යාපාරය මෙහෙයවයි.නීතිය අනුව ගත් කල, දෙදෙනා ම නීතියට පටහැණි ප්‍රකාශයන් කර ඇති නමුත් , ඒකීය රාජ්‍යය සුරැකීමේ මධ්‍යස්ථානය යයි කියන පර්ලිමේන්තුව ගිනිතැබීම ඒ තරම් දෙයක් නොවේලු!
විජයකලාගේ මෙම ප්‍රකාශය සිංහල ජාතිවාදීන්ට උඩගෙඩි දීමක් ය. එහෙත් ඇගේ එම ප්‍රකශය ගලා ගෙන එන්නේ , ආරක්ෂාව සම්බන්ධයෙන් සිංහල - දෙමළ දෙපාර්ශ්වයේ ම පවත්නා අතිශය වැරදි සහ අතිශය භයානක මතයක් අනුව ය.එනම්, අමු ඒකාධිපතියකු අවශ්‍ය වන්නේය යන්නයි. හිට්ලර් සහ ප්‍රභාකරන් පිළිබඳ කතා එක ම කාසියේ දෙපැත්ත ය. මෙම කතා පිටුපස ඇති බොළඳ මතවාදය වන්නේ ඒකාධිපතියකු සිටින්නේ නම් මිනීමැරුම් , ස්ත්‍රී දූෂණ යනාදිය සිදු නොවන්නේය යන්න ය.ඒකාධිපතියකු සිටින විට පරාණ බිය නිසා එවැනි තනි තනි අපරාධවල අඩුවක් තිබිය හැකි වුවත් , ඊට හිලව් ලෙස මුලු රට ම භීතියෙන් වෙව්ලවමින් සිදු කරන රාජ්‍ය සහ සමූහ ත්‍රස්තවාදී අපරාධයන්ගෙන් මුලු රටම වෙලා ගනු ලබන අන්දම අපි ඕනෑවටත් වඩා අත්දැක ඇත්තෙමු.කුඩා දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධිය ගැන සිය කතාවේ දී සඳහන් කරන විජයකලා අසන්නේ , අපි ජනාධිපති පත් කර ගත්තේ මේකට ද කියා ය. මෛත්‍රීපාලට වදින නිසා ඕනෑ ම මෝඩ කතාවකට අත්පුඩි ගසන මෝඩයන් සිටිය හැකි නමුත්, තැන් තැන්වල යම් යම් පුද්ගලයන් කරන අපරාධ නවතාලන්නට රාජ්‍ය නායකයකුට හැකිය යන මේ මෝඩ අදහස අපි නම් අනුමත නො කරමු.එහෙත් එය විජයකලාගේ පුද්ගලික මතයක් ද නො වේ. මහින්ද බලයේ සිටියා නම් මේවා සිදු වන්නේ නැතැයි, මහින්ද ම සහ ඔහුගේ ඇම්බැට්ටයන් මවා පාන විට ඔවුන් ප්‍රකාශ කරන්නේ ද මේ මෝඩ මතය ම ය. ඔහුගේ කාලයේ කොටකෙතන දිගින් දිගට සිදු වූ අපරාධ ම පමණක් එම කතාව බොරු කිරීමට සෑහේ. පෞද්ගලික අපරාධ ඇතුලු සියලු අපරාධ අවම මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය තත්වය නිර්මාණය කිරීමට රාජ්‍ය නායකයා සතු වගකීමක් ඇත යන්න ඉන් බැහැර නො වේ.
කරුණු සියල්ල මෙසේ තිබිය දී විජයකලාගේ කතාවෙන් උපරීම දේශපාලන වාසි ලබා ගැනීම පමණක් අරමුණු කර ගෙන මහා ජාතිවාදී ගාල ගෝට්ටියක් ඇති කිරීමට මහින්දවාදීහු හිරු,දෙරණ වැනි අමු ජාතිවාදී හොරණෑ ද සහායට යොදා ගනිමින් ඇත. ඇය එම ප්‍රකාශය කරන විට ඇමතිවරුන් දෙදෙනකු නිහඬ ව එතැන් සිටියේ රෙදි ඇඳ ගෙන දැ යි මහින්දගේ නිවට ඇම්බැට්ටයකු වන එස් . එම්. චන්ද්‍රසේන විමසා ඇත. දෙමළ බසින් කෙරුණ එම කතා ව ඔවුනට තේරුණැ යි සිතා ගත්ත ද , ඔවුන් එවිට කළ යුතු වූයේ ඇයට බිම පෙරළා ගෙන පහර දීම දැයි අපි මේ නිවට ජාතිවාදියාගෙන් විමසමු.
මේ ජාතිවාදී කුම්භාණ්ඩයන්ට මුලා නො වී, ඇගේ කතාව සිහි බුද්ධි යෙන් යුතු ව සලකා බැලීම සිංහල ජනතාව සතු කාර්යයයි. නීතිය සිය වාසියට යොදා ගනිමින් 6 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පෙර කල දෙමළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් එළියට යැවීමට සලස්වා තත්ත් වය වඩාත් අවුල් කර ගත් පරිදි ම , විජයකලාව ද පාර්ලිමේන්තුවෙන් එළියට දමා තත්ත්වය වණ කර දැමීමට මහින්දවාදී ජාතිවාදී බලවේගවලට ඉඩ නොදිය යුතු ය.
Comments
Post a Comment