2018 ජූලි 15                                                     කලාපය 3

 

                  ජනතාවට  තොණ්ඩුව!

මෛත්‍රී -රනිල් අරපයිත්තියන් ආණ්ඩුවත්  , තමන් රාජපක්ෂ  පවුලේ බත් බැලයන් බව ප්‍රසිද්ධියේ ම මහා උජාරුවෙන්  ඇදබෑමට තරම් ම ආත්මයක් නැති බත් බැලයන්ගෙන් පිරුණ  ඊනියා  ඒකාබද්ධයත්   , දහනායක යුගය සිහියට නංවාලන   මෛත්‍රීපාලගේ  විගඩම් ශ්‍රිලනිපයත්   ශ්‍රි ලංකාව මුලු ලෝකයා හමුවේ ම ගොම තැම්බක් බවට පත් කිරීම නොකඩවා  ඉදිරියට ගෙන යමින් සිටින තත්ත්වයක අපි තවමත් කල් ගෙවමින් සිටින්නෙමු. රටේ සංවර්ධනයට අදාළ  එකාබද්ධ වැඩ පිළි වෙලක් සකසනු වෙනුවට, ඉදිරි ජනාධිපතිවරණය  සහ මහා මැතිවරණය ඉලක්ක කර ගෙන ''ග්‍රාම ශක්ති'',  "ගම්පෙරලිය" විච්චූර්රණ  නම් සහිත ව්‍යපෘති   මදිවාට , රැවටීම සර්ව සම්පූර්ණ  කරනු වස්  ''එන්ටරප්‍රයිස්  ශ්‍රි ලංකා "  යනුවෙන් කුල්ටූර්  නමකින් ද බෞතීස්ම කෙරුණ, මහා ආර්ථික  බරක් රට මත පටවන ඡන්ද ගුණ්ඩු ව්‍යාපෘතියක් ද  දැන් ප්‍රදර්ශනය  කරමින් ඇත්තේ , එමගින්   ඩබලේ ජන පදනම් ශක්තිමත් කර ගත හැකි වනු ඇත යන මිත්‍යාව අනුව ය . මහා අත්දැකීම් සම්භාරයකින්  හෙබි අය ලෙස මවා පාන  මොවුන්  නො දන්නේ , මෙවන් උප්පරවැට්ටි මීට පෙර පැවති හැම ආණ්ඩුවක් ම ක්‍රියාවේ යෙදූ වග මෙරට ජනතාව හොඳ හැටි දන්නා බව ය.

 මහින්ද -චීන ගනුදෙනුව  මගින් බැඳුම්කර  වාර්තාවේ  පිටු  උලාකෑමේ මගඩිය සහ ඇලෝසියස්ගෙන් පගා පිට පගා ලබා  ගැනීමේ ජාතකය ද  , විජයකලාගේ කතාව  මගින් මහින්ද-චීන ගනුදෙනුව ද, එල්ලා මැරීම ක්‍රියාත්මක කිරීමේ කතාව මගින් අන් සියලු ජංජාලයන් ද   යටපත් කර ගනිමින් අනයෝන්‍ය සහයෝගයෙන් මොවූහු තම තමන්ගේ ජාම් බේරා  ගැනීමට ක්‍රියා  කරන  අතර, පෙට්‍රල් -ඩීසල් හත්පලේ ගාගනිමින්   ආණ් ඩුව නටන නෙයියාඩම ,   එම මිල වැඩිවීම් මගින් තමන්ට අත් විඳීමට සිදු ව ඇති මහා පීඩනය ද නොතකමින් '' මේ වගේ පොන්න ආන්ඩුවක් '' යැයි කියමින් මඳක් විනෝද වීමට ද ජනතාවට අවස්ථාව  සලසා දී ඇත.රටේ මූලික ප්‍රශ්න විසඳීම  කොයි හැටි වෙතත්, අවම වශයෙන් හත් පලේ ගා නොගෙන කිසිම දෙයක්  කිරීමටවත් මේ ආණ්ඩුවට නොහැකි බව අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැත 

   මේ  සියල්ල යට ගැසීම සඳහා ගැසූ අලුත්ම තුරුම්පුව, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවමට නියම වී ඇති, තව දුරටත් එහි නියැලී  සිටින  අය එල්ලා  මරා දැමීමේ දිරච්ච ලණුවේ එල්ලීම ය. ජනපති සිය අස්සන යොදන බව  කී විට  මුලු  කැබිනට්ටුව ම   ජයගොස නැඟූ  බව කියැවේ. කරවටක් එරී සිටින තමන්ට ගොඩ ඒමේ  නියත මගක් පෑදිනැයි මොවුන්  අමන්දානන්දයට පත්වී ඇති සෙයකි. මෙම සුලු පිරිසට එම කටයුතුවල යෙදීමට ඉඩ නොතැබීම සඳහා  වැඩ පිළිවෙලක් සකසා ගැනීම වැනි සුලු දෙයක්වත් කර ගත නොහැකි ව ඇති  මෙම ආණ්ඩුව,එම කාර්යය  වධකයකුට සහ ලණුවකට  භාර දීමෙන් පෙන්නුම් කර ඇත්තේ සිය කුප්‍රකට නොහැකියාවේ සෙලුව උජාරුවෙන් යුතුව ප්‍රදර්ශනය කිරීම ය!  මහා  මූල්‍ය අපරාධ එකක් නො ව ගනනාවක් ම කර ඇති අර්ජුන් ඇලොසියස් රිමාන්ඩ් භාරයේ සිටිය දී දුරකතන එකක් නො ව තුනක් ම රහසේ   භාවිත කිරීම වලක්වාලීමට පවා  නොහැකිවී ඇති ආණ්ඩුවක් ,මරණ දඬුවමට  නියමවූවන්  ඒවා පාවිච්චි කරමින්  අදාළ අපරාධවල නිරතවීම  නවතාලීමට අසමත්වීම වහංගු කර ගැනීමට ප්‍රයත්න දැරීම ස්වභාවික ය.

   මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි ජනතාව තුළ  ඇති බලගතු  විරෝධය ගසා කමින්  කමින් , සිය අස්සනේ බලපරාක්‍රමය පෙන්වීමට ජනපති ගන්නා  මේ මංමුලා සහගත පියවරෙන් මත්ද්‍රව්‍ය උවදුර මැඩලිය නොහැකි බව සක්සුදක් සේ පහැදිලි අතර, මෙමගින් සිදුවන එක ම දෙය ලෝකයා ඉදිරියේ මුලු රට ම සවුත්තුවී යාම පමණි .මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ බලවතුන් අල්ලා  ගැනීමේ සිට මරණ  දඬුවම නියමවූවන් පමණක්  නො ව ඊට අදාළ අඩු මට්ටමේ  අය ද සිරගෙදරවල සිට පිටත එම කටයුතු මෙහෙයවීම වළකාලීමේ   ක්‍රම සහ විධි  සකසා , ඒවා  අකුරට ම  ක්‍රියාත්මක කිරීම වැනි දහසකුත් කළ  යුතු දේ  තිබේ. ඒ එකක්වත්  නොකර  දුසිමක් දෙකක් එල්ලා  මරා දැමීමේ කතාවල යෙදීම  අත්පුඩිය ලබා ගැනීම  සඳහා නම් නියම ය.උවදුර  පිටු දැකීමේ දී නම් බින්දුව ය. ලණුව සහ වධකයා ගේ ඇබෑර්තුව  වැනි දේ පිළිබඳ තුට්ටුවක් නොවටිනා දේ ගැන කතා කරමින් , රට  ලෝකාපවාදයට ලක් කරමින්  තව සුලු කලක් මාධ්‍යයන්  මෙම කරුණ තුළ ඇලී ගැලී සිටින  අතර, නියම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ඒ කාලය තුළ , මරණ දඬුවමට නියම වී සිටින අයගේ ද සහභාගීත්වය ඇතිව සිය අනාගත කටයුතුවල අඩුම  කුඩුම සකසා ගන්නවා ඇත. අස්සන ගැහුවත් නැතත් ඉන් අත්වන සුගතියක් නැත.

   වමත කරන දෙය දකුණත නොදන්නා දකුණත කරන දෙය වමත නොදන්නා  නන්නත්තාර වූ ආණ්ඩුවක  මෙවන් විකාර බලමින් ද ඒකාබද්ධ විපක්ෂයේ කෙරුම්කාරයන් තමන්  මහින්දගේ නිවට නියාලූ බැලයන් බව එකෙක් නෑර යළි  යළිත් සඵත කරමින් රඟ දක්වන නරිනාටකය   බලමින් ද  මීළඟ ජනාධිපතිවරණය තෙක් කල් ගෙවීමට ජනතාවට සිදුවනු ඇත.අප යළි  යළිත් වෙහෙස නොබලා අවධාරණය කර සිටින්නේ,  ඉතිහාසය විසින් ලබා දී ඇති ඉදිරි කාලය  මේ ප්‍රධාන  කල්ලි තුනට ම එරෙහිව විශ්වසනීය විකල්ප බලවේගයක් ගොඩ නගා ගැනීමට කම්කරු පන්තිය ප්‍රමුඛ සියලු පීඩිත ජනතාවන් වහ වහා ක්‍රියත්මක යුතු බව ය. ලෝකයේ රටවල් ගණනාවක ම    ජනතාව තම තමන්ගේ රටවල තට්ටුමාරු ක්‍රමවලට තිත තබමින් ක්‍රියා කරද්දී මෙරට ජනතාව  තවදුරටත් එම ක්‍රමයේ ම හිර කර දැමීමට ගන්නා සියලු උත්සාහයන් පරාජය කිරීම සඳහා  නිශ්චිත  වැඩපිළිවෙලක්  මත  එක් පෙරමුණකට වහ වහා   පැමිණිය යුතු ව ඇත.

    ඊනියා  20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය   ගැසට් කිරීමත් සමග ම ජනතා විමුක්ති පෙරමුණ  ජනතාව එම  ගමන් මගින් ඉවතට තල්ලු කිරීමේ සිය ද්‍රෝහී සහ මංමුලා සහගත  ක්‍රියා මාර්ගය වඩාත් වේගවත් කිරීම අනිවාර්ය ය.එක් තත්ත්වයක දී නිවැරදි හෝ සත්‍ය හෝ වන ඕනෑ ම දෙයක් වෙනත් තත්වයක දී එහි ප්‍රතිවිරෝධය  බවට පත්විය හැක. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඉල්ලීමට මේ මොහොතේ  අත් ව ඇත්තේ ද එම ඉරණම ය.මෛත්‍රීපාල-රනිල්-මහින්ද යන තිදෙනා ම එය අහෝසි කරන බවට  පොරොන්දු වී ඇති නිසා  ඔවුන් මෙම සංශෝධනයට  සහාය දැක් විය යුතු ව ඇතැයි හෝ දක්වනු ඇතැයි හෝ සිතීම තරම් ගොන්කමක් තවත් නැත. එය කරනවා නම්, එය කිරීමට ඔවුන්ට ඕනෑවටත් වඩා  කාලය තිබුණි. ඔවුන් එය නොකළා පමණක්  නො වේ. ජනාධිපතිවරණයේ දී වූ පොරොන්දුවෙන් නොනැවතී , සිය ධුර කාලය වසර හතරකට සීමා කරන්නැයි කැබිනට් මණ්ඩලයේ දී  ම ඉල්ලා සිටීමෙන් ද නො නැවතී, එම  ධුරය අහෝසි කරන බවට සෝභිත හිමිගේ දෙණ  අබියස දී ද පොරොන්දු වී ,  එය නොකළා මදිවාට , මොකක්දෝ හේතුවක් නිසා  පළාත්  සභා මැතිවරණ සමයේ දී  තකහණියේ ශ්‍රේෂ්ඨාධිකරණයට දිව ගොස් තමාගේ  ධුර කාලය වසර  හයක් කර  ගැනීමට මෛත්‍රීපාල සිරිසේන උතුමාණන්  ක්‍රියා  කළ හැටි නොදන්නේ කවුද? අනික් දෙන්නා ද මෙහිදී ඔහුට  තකට තක ය.  එහෙත් මේ මොහොතේ නම් සමහර  විට  ඔහු මෙයට එක පයින් කැමති වනවා විය හැක.මන්ද යත් , සමහරක් උජාරුවෙන් කියන පරිදි  ඔහු ශ්‍රිලනිපයෙන් තරග කළ හොත්,  ඇපත් නැතිව පොලොන්නරුවට වී "කදිම හුදෙකලාවේ' විසීමට  ඔහුට සිදු වීම නියතයක් වන හෙයිනි. (සකල සිරින් පිරි පොලොන්න්නරු රාජධානියක් වහ වහා නිමවා  ගැනීමට ඔහු දඩිබිඩියේ ක්‍රියා කරන්නේ ද  මේ නිසා ය.) මහින්ද සම්බන්ධයෙන්  ගත් කල ද , අපේක්ෂකත්වය පවුලේ මොකාට දිය යුතු ද   යන ප්‍රශ්නයෙන් ඔහු ද ජංජාලයක පැටළී සිටියි.ගෝටා ව  දැනට තෝර ගෙන ඇතත් , කමල් ගුණරත්න ,සරත් වීරසේකර, අජිත්  ප්‍රසන්න වැනි, රට ලෙයින් නහවාලීමේ සිය 'වියත් මඟ 'ප්‍රසිද්ධියේ ම ප්‍රකශ  කර ඇති විශ්‍රමික  හමුදා නිලධාරීන්  අතලොස්සක් සහ යුදකාමි චීවරධාරීන් හැර ඒකාබද්ධයේ ම   ලොකු ලොකු අය ඔහු ගැන ප්‍රසිද්ධියේ ම   සිය අප්‍රසාදය පළ  කර  ඇත. මහින්දගේ සුවච කීකරු  බත් බැලයකු වන ඇහැළියගොඩ දේශපාලන වසලයා , ඒ සඳහා රාජපක්ෂ  පවුලේ අයකු  -චමල් රාජපක්ෂ -  යෝජනා කර ඇත.  මේ අපේක්ෂක කෙළිය නිසා සිය පවුලට ද කෙළවී යාමේ අනතුරට මුහුණ දී ඇති හෙයින් ,  මහින්ද ද සිය සංශෝධනයට සහාය දිය හැකි යැයි ජවිපේ ගණන්  බලනවා විය යුතු ය. රනිල් සම්බන්ධයෙන් ගත් කල, අනුන්ගේ කචල් මත බලයට ඒමට මාන බලන ඔහු , ඊට ඇති ඉඩකඩ  සලකා බලා, මෙයට සහාය දැක්විය හැකි බවත්, අඩුම වශයෙන් රනිල් විරෝධීන්ගේ සහාය ලබා  ගත  හැකි වනු ඇති බවත්  ජවිපෙ සිතන සෙයකි. කෙසේ වෙතත් , මේ ඊනියා  20වෙනි සංශෝධනය  කරේ එල්ලා  ගැනීම මගින්  ජවිපෙ කරන්නේ, මේ ජනතා ද්‍රෝහී නායකයන්ට එරෙහි ව දැවැන්ත ජනතා  බලවේගයක් ගොඩ නැගීමට ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව හිතා මතා ම ගබ්සා කර දැමීම ය. අන්තිමේ දී ජවිපෙට සිදුවනු ඇත්තේ , සුපුරුදු පරිදි තමන්ගේ ම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට හෝ විධායක ජනපති ක්‍රමයට විරුද්ධ වීමේ ව්‍යජ පදනම මත  ජනපතිවරණය  වර්ජනය කිරීමට  ය . සිය ඉතිහාසය පුරා  ධනපති  පක්ෂවලට ඡන්දය දෙන ලෙස ඉල්ලා  සිටි, 2005 සිට ධනපති ආණ්ඩුවල ලගිමින් ඇමතිධුර පවා හෙබ වූ, 2015 ජනපතිවරණයෙන් පසු පොදු අපේක්ෂක සංවිධාන  විසින් අටවා ගනු ලැබූ    ව්‍යවස්ථා - විරෝධී  ඊනියා විධායක  සභාවේ                නිල නොලත්              ප්‍රධාන  ප්‍රකාශකයා ලෙස සිය නායකයාට ක්‍රියා  කිරීමට ඉඩ ලබා  දුන් ජනතා විමුක්ති පෙරමුණ, මේ තීරණාත්මක මොහොතේ දී  පවා වාමාංශික සහ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් එම   ධනපති පක්ෂ සහ සංධානයන්ට එරෙහි ව  බලමුලු ගැන්වීමට ක්‍රියා  නො කරයි ඊනියා  20වෙනි සංශෝධනය  කරෙන් බිම තබා, ඉහත සඳහන් ලෙස ක්‍රියා  කිරීමට සිය නායකයන් ක්‍රියා  නොකරන්නේ නම්, ඔවුන් නොතකා එම මාවතට පිවිසෙන ලෙස එහි අනුගාමිකයන්ගෙන්  අපි ඉල්ලමු. ඔය සංශෝධනය සම්මත වුවත් ඉන් මෙරට ජනතාවට අත්වන කිසි ම   සුගතියක් නැත. මෙවන්  ව්‍යවස්ථා ඇට්ට්ටරයන්ගෙන් ගැළවීමට ජවිපෙහි  පමණක් නො ව අන් සංවිධානවල අනුගාමිකයන්ටද ආධාර වනු පිණිස අපි ලෙනින්ගේ ඒ මසුරන් වටිනා  වාක්‍ය කීපය  මෙහිලා උපුටා දක්වමු:

   ''ව්‍යවස්ථාමය මිත්‍යාවන් යන්නෙන්  අප අදහස් කරන්නේ ව්‍යවස්ථා වක් කෙරෙහි වන මංමුලා සහගත විශ්වාසය ය. ව්‍යවස්ථාමය මිත්‍යාවන් පවතිනුයේ, ව්‍යවස්ථාවක් පවතින බව පෙනෙන, එනමුදු සැබැවින් ම  නොපවතින විට ය.  අන් වචනවලින් කිව හොත්, රජයේ කටයුතු පාර්ලිමේන්තුව තීරණය කරන ආකාරයෙන් පරිපාලනය නොවන විට ය. සැබෑ දේශපාලන ජීවිතය පාර්ලිමේන්තු අරගලය තුළ සිදුවන පිළිබිඹු වීමෙන් වෙනතක යොමු වන විට , ව්‍යවස්ථාමය මිත්‍යාවන්ට එරෙහි ව යාමේ කර්තව්‍යය, වර්ධිත විප්ලවවාදී නිර්ධන පංතියේ ක්ෂණික කර්තව්‍යය බවට පත් වේ. එය බවට පත් වන්නේ එවිට පමණී . .. ..... අරාජිකවාදීහු සියලු තත්ත්වයන් යටතේ පාර්ලිමේන්තුව තුළ  සහභාගී වීම ප්‍රතික්ෂ්ප කරති;සමාජ ප්‍රජාතන්ත්‍රවාදීහු පාර්ලිමේන්තුව පාවිච්චි කිරීම වෙනුවෙන් , පාර්ලිමේන්තුව තුළ  සහභාගී වීම වෙනුවෙන් පෙනී සිටිති.පාර්ලිමේන්තු  ''ඇට්ටරකම'' ,එනම්'දේශපාලන අරගලයේ එකම, එසේ නැති නම්, සියලු ම තත්වයන් යටතේ ප්‍රධාන ම ආකෘතිය පර්ලිමේන්තු අරගලය ය යන විශ්වාසය ඔවූහු අනුකම්පා විරහිත ව හෙළිදරවි  කරති. '' (මාක්ස් -එංගල්ස් -ලෙනින් -ට්‍රොට්ස්කි --ඔවුන්ගේම වදනින් -පිටු 76/77 )  

   මහත්වරුණි , මුලුමනින් ම හෙලිදරව් වී ඇති තක්කඩි නායකයන්ගේ හොඳ හිත මත තරු  හතේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා සංශෝධන සම්මත කර ගැනීමේ අන්ත තකතිරු  මිත්‍යාවන් දුරලා,  උන්ට එරෙහි ව ගිනිගෙන දැවෙන ජනමතය වඩ   වඩාත් තීව්‍ර කරමින්, උන් දෙශපාලන             භූමියෙන් අතුගා   දැමීමට කළ  යුතු දේ  සහ කළ හැකි සියලු දේ  නොපිරිහෙළා කිරීමේ මාවතට පිවිසෙමු! වහ වහා පිවිසෙමු!!

 

       *********************************************  


ඒකාබද්ධයන්ගේ මහින්දාභිනන්දන හෙලුවැලි   ගීතය  

                ඔබෙ පවුළ ම රජවරු 

          අපි ඔක්කොම වහල්ලු

          තුන්  සිංහළය ම 

          ඔබෙ බත්  බැලයෝ //  

         ඔබ කියන  දෙයක් 

         කරනෙමුය අපි  

        රෙදි නැතිව ගියත්  

        අපට මොකෝ   

        ඔබ රජ වෙනවා නං // 

        ඔබෙන් තොර ලෝකයක් 

        ඔබෙන් තොර ජීවයක්, කොයින්දෝ 

      ගෝටා  එව්වත් o.k.Sir

       බැසිල් එව්වත් o.k.Sir

      ගෝටා එව්වත් බැසිල් එව්වත් 

      මොකා එව්වත්  o.k.Sir

      සර්  පවුළට  

      අපි සර්ට    

===============================================

    ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි ව  ජනතාව වීදි බසිති

   2008 නව වටයකින් ඇරඹ , තවමත් ගොඩ ඒමට නොහැකිව ඇති ලෝක ධනේශ්වර ආර්ථික  අර්බුදය  මුලු ලෝක  ධනේශ්වර ක්‍රමය ම හැම අංශයකින්න ම  ආපස්සට   තල්ලු කිරීමේ ප්‍රවණතාවක්  ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්ත ප්‍රතිගාමී පියවරයන් සමගින්  දැන් උච්චස්ස්ථාන ගතවෙමින් ඇත. ඔහුගේ  මෙම  අන්ත ප්‍රතිගාමී වැඩ පිළිවෙලට  එරෙහිව බටහිර ලෝකය තුළ  මෝදුවෙමින්  පැවති  ජනතා විරෝධය ඔහුට එරෙහි ජාත්‍යන්තරමය ජන ගංගාවකගේ වීදි බැසීමක තත්ත්වයකට එළඹ ඇත.ඒ අනුව,  ඔහුගේ ප්‍රතිගාමී සංක්‍රමණ-විරෝධී  ප්‍රතිපත්තිය අනුව  සංක්‍රමණි කයන්ගේ දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කිරීමේ ක්‍රියාවට එරෙහි ව  ඇමරිකාව පුරා  පෙළපාලි  පැවති අතර ඔහු එංගලන්තයට පසුගියදා ගිය විට  එරට පුරා දෙලක්ෂයකට අධික ජනතාවක් වීදි බටහ. 

   ත්‍රස්ත ප්‍රහාරයන්ට එරෙහි වීමේ කඩතුරාව යටතේ මුස්ලිම්වරුන්ට එරෙහි පියවරයන්ගෙන් පටන් ගත්  මොහු මෙක්සිකෝවට එරෙහි වීම හරහා දැන් පැමිණ  ඇත්තේ චීනයට එරෙහි ව පමණක් නො ව යුරෝපයේ ඇමරිකානු සගයන්ට ද එරෙහි ව බදු පිට බදු  පණවමින්  ලෝක පරිමාණ වෙළඳ යුද්ධයක් දියත් කරමිනි. උතුරු කොරියනු ඒකාධි පතියා  සමග ගිවිසුමකට යමින් සාම දූතයකුගේ වෙස් ගැනීමට  පාර කපා ගත් නමුත් , මොහුගේ කඩප්පුලි අධිරාජ්‍යවාදී ක්‍රියා කලාපය  මං පහර න්නකුගේ ක්‍රමයකැයි හැඳින්වීමට උතුරු කොරියාවට පසුගියදා සිදු විය. 

   ගිය ගිය තැන හත් පොලේ ගාගන්නා මොහු, ජර්මනිය ප්‍රාන ඇපකා   රයකු වී  ඇතයි කීවේ, නේටෝ  සමුලුවේ දී  එරට චාන්සිලර් ඇන්ජිලා මර්කල් හමුවීමට ඔන්න මෙන්න තියා ය. බ්‍රිතාන්‍ය අගමැතිණි  තෙරේසා මේ හමුවීමට ඔන්න මෙන්න තියා , ඇය බ්‍රෙක්සිට් සම්මුතිය කඩා බිඳ දමුවා  යයි චෝදනා කිරීමෙන් නොනැවතී බොරිස් ජොන්ස්න් නියම ම අගමැතිවරයකු වනු ඇතයි කියා සිටියේ,අන් රටවල නායකයන් විය යුත්තේ කවුරුන්දැයි තීරණ ය කිරීමේ බලය තමන් සතු යයි සැලකීමේ ඇමරිකානු ''විවෘත  රහස්  '' පිළිවෙත    අමු අමුවේ එළියට දමමිනි. මේ සියල්ල කියා කිසිවක් නොකී අයුරින් අර නායකයන් මුරුංගා අත්තේ  තබා කතා කිරීම මේ උම්මත්තකයාට සුලු දෙයකි. මෙවැන්නකු ඇමරිකාවේ ජනාධිපති වීම  වූකලී, ලෝක  ධනේශ්වර අර්ථික අර්බුදය හමුවේ     ධනේශ්වර පංතිය නන්නත්තරා වීමේ නොවරදින ප්‍රකාශනයකි.

   එම අර්බුදයට හේතුව සංක්‍රමණිකයන් බව උලුප්පා දක්වමින් සංක්‍රමණිකයන්ට  එරෙහි ව ක්‍රියා කිරීම ට්‍රම්ප්ගේ  තනි පෞද්ගලික  ක්‍රියා මාර්ගයක් නො වේ.මුලු බටහිර  ලෝකයේ ම පාලකයෝ  , ධ නේශ්වර අර්බුදයේ ප්‍රමාණයට සමානුපාතික ව ,අඩු වැඩි වශයෙන් එම ක්‍රියා මාර්ගයට ම  අවතීර්ණ වෙමින් සිටිති. මෑත දී ඉතාලියේ ආණ්ඩුව  අතරමං ව සිටි සංක්‍රමණිකයන්  බේරා ගැනීම අතිශය අමානුෂික ලෙස  මග හැරියේ බටහිර අන් පාලකයන් පවා ඉමහත් අර්බුදයකට ලක් කරමිනි. ඒකාබද්ධයේ ඊනියා  දේශප්‍රේමීන් ඇතුළු  අන් ජාතිවාදීන්ට අනුව නම්, මේ "කල්ලතෝනීන්' වෙනුවෙන් පෙනී සිටින්නන් '' දේශද්‍රෝහීන් ''  ය.  ඒ රටවල දී  එම දේශප්‍රේමීන් හැඳින්වෙන්නේ  ෆැසිස්ට්වාදීන් ලෙස ය. මියන්මාර් සරණාගතයන්  පිළිබඳ ප්‍රශ්නයේදී අපි එවන් ෆැසිස්ට්වාදීන් තොගයක් ම  දුටුවෙමු. ඒ අතර මහාචාර්ය  පදවියක් ද දරමින් එක් සරසවියක් කෙළසන චීවරධාරියෙක් ද විය.  සියවස් ගණන් ආපස්සට  දිවෙන  අනේකවිධ අරගල හරහා  දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආපසු උදුරා ගැනීමේ ප්‍රතිගාමී ප්‍රයත්නය තුළ  දී ඩොනල්ඩ් ට්‍රම්ප්ලා  සමග, එම අරගලවල සුළං  පහරක්වත් නොවැදුන  මෙවැන්නන් අත්වැල් බැඳ ගනිද්දී , කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිතයන්ගේ කාර්යභාරය වන්නේ , එම අයිතීන් වෙනුවෙන් සටන් වදින ලොව අන් සියලු  කොටස් සමග අත්වැල් බැඳ ගැනීම ය.  

  ========================================== 

             රනිල් , කුරුඳු  සහ මහා පරාක්‍රමබාහු

          මහා පරාක්‍රමබාහු  පරාක්‍රම සමුද්‍රය  තැණුවේ  කලුතර ප්‍රදේශයේ කුරුඳු  වගා කොට ඒවා  අපනයනය  කළ ආදායමෙන් බව , වික්‍රමබාහුගේ නවතම නායක අගමැති රනිල් වික්‍රමසිංහ  මැතිසඳ මෑතක  දෙසා  වදාරනු අපි දුටිමු. ආනෝල්ඩ් ටොයින්බිට පසු පහළ වූ මේ මහා ඉතිහාස විශා රදයා මීට කලෙකට  ඉහතදී ද පස්යොදුන් රට ගැන මෙවැනි ම සොයා ගැනීමක් කළ  නමුත්, එයට ඊට ම උචිත වූ සමච්චලය හැර, අන් කිසිවක් නොලැබුණි. ඔහුගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ  අර්ජුන් මහෙන්ද්‍රන්  නමැති පට්ට හොරා සොයා දීම  වුවත්, හැට හුටාමාරක් වැඩ අස්සේ  එතුමා  කර  ඇත්තේ ඔහු සොයා යාම නො ව ,මහා පරාක්‍රමබාහු රජුගේ කුරුඳු වගාවේ සුලමුල සොයා ශත වර්ෂ අටක් ආපස්සට  යාම ය.අයිටීඑන්  රූපවාහිනියේ මඩ විශේෂාංගයක අවසන එන ප්‍රකාශයක්  අනුව කිව හොත් "සෙස්ස  පස්සට '' තබා ඇත.  

  මහා  පක්ෂ  ප්‍රතිසංවිධානයක්  කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබූ එතුමා ඉතිහාසය විෂයෙහිලා  කර  තිබෙන මේ සොයා ගැනීම සුලුපටු නො වේ. මන්ද යත්   මහා පරක්‍රමබාහුගේ කුරුඳු  වගාව හෝ ඒවායේ අපනයයේ ප්‍රමාණය  හෝ  කිසි ම  මූලාශ්‍රයක නොදැක්වෙන හෙයිනි. චූලවංශයේ වීරයා වන මහා පරාක්‍රමබාහු වෙනුවෙන් පරිච්ඡ්ද ගණනාවක් ඇතත් ඒ  කිසිවක එවැන්නක් සඳහන්  නො වේ.සියලු ම මූලාශ්‍රයන් විශ්ලේෂණය  කරමින්  මහාචාර්ය  අමරදාස  ලියනගමගේ විසින් රචිත  "මධ්‍ය කාලීන ලංකා ඉතිහාසය '' නමැති කෘතියේ  එවැන්නක් ගැන නොදැක්වෙන අතර එහි කියා ඇත්තේ  එකල පැවතියේ ඒකබෝග ආර්ථිකයක් බව ය. ''පොලොන්නරු  යුගය  '' නමින් තිසර ප්‍රකාශකයන් විසින් ප්‍රකාශිත, ප්‍රධාන පෙලේ විද්වතුන් 12 කගේ ලිපි අඩංගු ග්‍රන්ථයේ කිසි ම තැනක  එ වැන්නක් සඳහන් නො වේ. මහා පරාක්‍රමබාහු සමය පිළිබඳ ව පමණක් නො ව, කුරුඳු  වගාව පමණ ක්  නො ව , ලන්දේසි යුගයේ දී එය ආර්ථිකයේ දැරූ අතිශය වැදගත් තැන පිළිබඳ  ව ද සෑහෙන විස්තරයක් කරන  මහාචාර්ය කේ.එම්.ද සිල්වාගේ  A History of Sri Lanka නමැති කෘතියේ  හෝ එවැන්නක් නැත.( එහි 6 වෙනි සහ 12 වෙනි පරිච්ඡේද  බලන්න.) 

   කෙසේ වෙතත් ඉතිහාස විශාරදයන්ට වුව වැරදිය හැක.රනිල් වික්‍රමසිංහ  අදාළ  කරුණ  අනාවරණය කර  ගෙන ඇත්තේ    ස්වයංම්භූ   ඥානයෙන්  නො වේ නම් ,එය සොයා ගත් මූලාශ්‍රය  හෙළි  කළ  යුතු ය. පරාක්‍රමබාහුට පසු බලයට පත් නිශ්ශංකමල්ල  රජුට , ඒ වන විට පැවති අතිශය දැවැන්ත බදු අඩු කිරීමට සිදුවීමේ කරුණ අනුව , පරාක්‍රමබාහුගේ දැවැන්ත වාරි කර්මාන්ත  සඳහා මුදල් ලබා ගැනීමේ  මූලාශ්‍රය මහා පරිමාණ කුරුඳු වගාව සහ අපනයනය නො ව, මහා පරිමාණ බදු බව පැහැ දිලි ය . තමාගේ ආණ්ඩුවේ මහා පරිමාණ  බදු සාධාරණීකරණය කර ගැනීමේ කූට චේතනාවෙන් මෙම කතාව ඇද බෑවේ නැති නම්, තමාගේ එම  සොයා ගැනීමේ මූලශ්‍රය හෙළි  කොට ඉතිහාස විශාරදයන්ට ආධාර කිරීම අගමැති වශයෙන් ඔහු කළ  යුතු ම ය. එසේ නොමැති නම් මෙවන් බේගල් ඇද බෑමෙන් වැළකිය යුතු ය.  


    

      


























 

Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS