Class Struggle

405 බී,රබර්වත්ත පාර,මෝදරවිල,පානදුර.                                                  දුරකතනය  038-2237470
--------------------------------------------------------------
         2018 ජූලි  1                             කලාපය   1 

 

                      පංති සටන  1972 සිට 1984 දක්වා, එවකට පැවති  විප්ලවවාදි කම්කරු පක්ෂයේ        නිල        පුවත්පත විය.      වර්තමානයේ  ශ්‍රි ලංකාව  තුළ  මතු වඇති අතිශය සංකිර්ණ   දේශපාලන තත්ත්වය මුහුණ දීම සඳහා       යළි මුද්‍රණ          කටයුතු ඇරඹීමේ දී   එම පුවත් පතේ  විප්ලවීය සම්ප්‍රදාය අනුව යමින්,  එම නම ම යටතේ        ගමන්   කිරීම , නව නමකට මාරු වීමට වඩා උචිත යයි නිගමනය කලෙමි.මෙය මාසිකයක්  නො වේ ;අර්ධ      මාසිකයක් නො වේ ;සතිපතා  වුවක් ද නො වේ ; දිනපතා පුවත්පතක් ද නො වේ ; එය මින් ඕනෑ ම දෙයක් විය  හැක..එය තීරණය වනුයේ   මෙහි කතුවරයා වන මා  හට ලැබෙන  ඉඩකඩ මත ය.එහෙත් මෙය හැකි තරම්  නිරතුරු ව පවත්වා ගෙන  යාම අරමුණ ය.ඔබ සැමගේ  සහාය බලාපොරොත්තු වෙමි.මෙය  ඉදිරි මාස 18 තුළ  හැකි ඉහළ ම් ම්ට්ටමින් නොකඩවා ගෙන යනු පිණිස මගේ අනෙක් ලේඛන කටයුතු අවම ම අවම ම්ට්ටටමකට පත් කිරීමට ම මම තීරණය කර ඇත්තෙමි.

  1. ****************************************************************************

                       අපි මොකද  කරන්නෙ ?

   
        ඉග්නාත්සියෝ සිලෝනේගේ " ෆොන්තමාරා" නවකතාවේ එන  ෆොන්තමාරා ගමේ දුගී දුප්පත් නූගත් වැසියෝ, සිය පීඩනය  හමුවේ පත්තරයක් ගසන්නට තීරණය කොට එහි නම ලෙස තෝරා   ගත්තේ , ඉහත දැක්වෙන  නමයි. ලෝකයේ  ඉහළ  ම සාක්ෂරතාවෙන් යුතු රටකැයි පම්පෝරියෙන් වැඩවසන ශ්‍රි ලංකාවේ  නූගත් ම  අතලොස්සේ සිට ආචාර්ය ,   මහචාර්ය සහ      පිනටාචාර්ය පට්ටධාරියා දක්වා වන සියල්ලන් ම අද මුහුන දෙන ප්‍රශ්නය ද නිශ්චිත ව   එය ම ය. එයට පිළිතුරු දීමට ගොස් හිට්ලර් ව සිවුර   අස්සෙන් එළියට දමා ගෙන එක් වහන්සේ නමක් නිකම් ම සවුත්තුවී ගිය සේක. එහෙත් මෙම මතය එම වහන්සේගේ  තනි පෞද්ගලික මතයක්  නො වේ. වසර 10ක් මුළුල්ලේ  ගෙන ගිය දුර්දාන්ත පාලනය  ප්‍රතිෂ්ඨාපනය කර ගැනීමට රාජපක්ෂ  පවුලට ඉඩ සලසා දෙනු වස්, පින්කම්වල නාමයෙන් පන්සල් කුළියට දෙන සියලු වහන්සේලාගේ එක ම පාරමිතාව එයයි.ඔවුන් දැනටමත් රටේ ජනාධිපති ලෙස සලකන්නේ , 2015 ජනවාරි 8  දා තප්පු ගසා  එම තනතුරෙන් චුත කරනු ලැබූ මහින්ද රාජපක්ෂ   නම් වූ එම බොල් පිළිමය ය. එදා හුදු ආරක්ෂක  ලේකම් ලෙස සිටිමින් පොකට් හිට්ලර් කෙනකු ලෙස, කවුරුත් දන්නා අනේක විධ    සාපරාධී  ක්‍රියාවල නිරත වූවකු ජනපති පුටුවේ ම බින්න බැස්සීමට මොවුන් මෙසේ කැහැපොට ගැසීම තරම් අපරාධයක් තවත් තිබිය හැකි ද?
     වැලිවේරිය ,කටුනායක ,මීගමුව යනාදී ස්ථානයන්හි දී  කෙරුණ  ''සීමාව ඉක්මවා  යාම් ගැන කෙරෙන  බැසිල්ගේ  සඳහන් කිරීම් සැබැවින් ම කෙරෙන ස්වයං-විවේචනයන් හෝ සමාව ගැනීම්  හෝ නො ව, ජනපති  අපේක්ෂකත්වයට කෙළ  හැලීමේ දී ගෝටාට  වැඩක් දීමේ අරමුණින් ඔහුගේ ශ්‍රි මුඛයෙන්    වැගිරෙන මුසා බස් ය.අනෙක, ඒවා  හුදු සීමාව ඉක්මවා   යෑම් ද? කිසිසේත් ම නැත.නිරායුධ  මිනිසුන් පසුපස පිස්සුබලු සෙයියා වෙන් හඹා  යමින් එම නීච ප්‍රහරය එල්ල කරන්නේ,  මුලතිව් වයික්කාල්වල දී දෙමලුන් ව ආරක්ෂා   කළ  හැටි, කිසිදු සැකයකට ඉඩ නොතබා  සිතා  ගැනීමට කොයිකාටත්  හැකි කරවමිනි. අනෙක, මහරජාණන් ඒවා  ගැන වචන අලුක්කාලක්වත් නොතෙපලීමට තවමත්  වග බලා ගෙන  ඇත. මොවුන්ගේ  ඊනියා වියත් මගේ මහා වියතුන් දෙදෙනකු වන බ්‍රිගේඩියර් කමල් ගුණරත්න සහ සරත් වීරසේකර මේ වන විටත් ප්‍රසිද්ධියේ ම  ප්‍රකාශ කර  ඇත්තේ  තම නිර්නායකය අනුව දේශද්‍රෝහීන්  වන අය මරා දමන බව පමණක්  නො ව උන්ගේ මිනී ගෙන යන්නේ 1989 දී කීර්ති විජයබාහුගේ අලුගෝසු දේශප්‍රේමී  නඩය       එදා  දේශද්‍රෝහීන්ගේ මිනී ගෙන ගිය ආකාරයට දණ හිසින් පහළට තබා ගෙන බව ය! බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති කිරීමක්  ගැන බෙරිහන් දෙන මොවුන්  බෞද්ධාගම ක්‍රියාවට නගන්නේ එලෙස ය! හිට්ලර් පමණක් නොව හිම්ලර්ලා ද ගෝරින්ලා  ද දැනටමත් සූදනමින් සිටින බව ඒ අනුව පහැදිලි ය.       
     2015 ජනවාරියේදී සහ අගෝස්තුවේ දී  බලයෙන් පහ කරනු ලැබ,යන එන මං නැතිව සිටි රාජපක්ෂ නඩයට යළි  නැගී  සිටීමට  හැකි වූයේ, ජනතාවට රාජපක්ෂ  නැතිව ම බැරි ගල් පිළිමයක් වූ නිසා  නො ව, හුදු බොල් පිළිමයක් වූ ඔහුට එරෙහි ව ගත යුතු ව තිබූ නීතිමය පියවර ගැනීමෙන් මෛත්‍රී -රනිල් බංකොලොත් නායකත්වය සිතා මතා වැළකී සිටි නිසා ය. සිය දේශපාලන අරමුණු  අනුව වරින් වර එක් එක් චෝදනා දමා ගැසීමට මොවුන් දෙදෙනා ක්‍රියා කිරීම නිසා, සිදුවීමට නියමිත වූ සහ  සිදු වූ එක ම දෙය , තමාට එරෙහි චෝදනා  හුදු මඩ ගැසීම් ලෙස හුවා දැක්වීමට රාජපක්ෂලාට හැකිවීම පමණි . වෙනත් රටවල නායකයන් කුමන්ත්‍රණ  පිළිබඳ බොරු චෝදනා පවා  කරමින් සිය විරුද්ධවාදීන්ට එරෙහි ව ක්‍රියා කරද්දී , මේ දෙන්නා ක්‍රියා කලේ   , 2015 ජනවාරි 8 දා මහ රෑ ජනපති මැදුරේ කෙරුණ සැබෑ ම සැබෑ  කුමන්ත්‍රණ ය මුලුමනින් ම වහංගු කිරීමට ය. බලය නො දී සිටීම නීත්‍යනුකූල කර ගනු පිණිස   ක්‍රම සහ විධි සකසා ගැනීමට කෙරුණ  එම කුමන්ත්‍රණය , හුදෙක් ම ,හිටපු ජනපති, හමුදාපති, පොලිස්පති , නීතිපති , අගවිනිසුරු, මහබැංකු අධිපති , මහා නීතිවිශාරද ගම්මන්පිල  යනාදීන් එක් ව මැතිවරණ  ප්‍රතිඵල ශ්‍රවණය කිරීම උදෙසා කෙරුණ  එක්වීමක් බවට පත් කලේ  මොවුන් දෙදෙනා ය. එහි දී  සිදු වූ දෙය ඇස් පනා පිට දුටු එක ම "විරුද්ධ " පාක්ෂිකයා වූ  රනිල් වික්‍රමසිංහ මේ දක්වා ම  ඒ පිළිබඳ  එක ම වදනක්වත්  ප්‍රසිද්ධියේ  ප්‍රකාශ නොකිරීමට වග බලා ගෙන ඇත. ඔහුගේ ''වික්‍රමසිංහකම'' එවන්  වේ! එසේ වූයේ , මංගල සමරවීර මට්ටමේ ආණ්ඩුවේ ප්‍රබලයකු සීඅයිඩීයට පැමිණිල්ලක්ද කර තිබිය දී ය.. ඉතිහාසයේ මාර සරදමකට මෙන් ,එදා රාජපක්ෂලාගෙන් පණ  කෙන්ද රැක ගනු වස් කුරුණෑගල තමා සැඟව සිටිය දී තම ජනපතිප්‍රාප්තියට මාවත සලසනු වස් රාජපක්ෂට   මාරු වී යාමට  රනිල්  හෙලිකොප්ටර් ලබා දීම ගැන නොතකමින්, මෑතක  දී   මෛත්‍රීපාලගෙන් ම ඒ  පිළිබඳ   චෝදනා ලැබීමට තරම්  රනිල් පින්බර වූයේය. සියලු ම හොරුන් රකිමින් , උන්  සමග එක්වී බෙදා හදා  ගෙන කෑමේ රනිල්ගේ රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයේ අනිවාර්ය ප්‍රතිඵල එවන් වේ. සත්‍ය කරුණු  යට ගැසීම, නිමක් නැති ජෝක් ගැසීම, දස ලක්ෂයේ  රැකියා - ප්‍රකෝටි ගණන් ණය ගන්නා අතර ට්‍රිලියන් ගණන් ණය ගෙවා  දැමීමේ ප්‍රති- විරෝධී   බර ටෝක්   ඇදබෑම , රට සුඛිත මුදිත කිරීමේ  අනන්ත අපරිමාණ  යෝජනා ක්‍රම අනෝරාවට වැස්සවීම  ඔහුගේ රාජ්‍ය පාලන ක්‍රමයේ අවියෝජනීය අංග ප්‍රත්‍යංග වේ . ඒ මැති ඇමතියන්ට මදියි නොකියන්න කවුරුත් දන්නා  අරවා  මේවා  දීමට අමතර ව  ය.
     මොවුන් වෙනුවට සිටින්නේ , 2015 ලැබුණ  62 ලක්ෂය තනිකර ම තමාගේ  ශ්‍රේෂ්ඨත්වය නිසා  තමාට ලැබුණ  ඡන්ද  යයි සිතීමට තරම් 'ප්‍රබුද්ධ ' මෛත්‍රීපාල සිරිසේන ය . ඔහුගේ අඟුටුමිටි     ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂය වැලේවැල්  නැතිව සිටින අතර ජනපතිවරණය ආසන්න වත් වත්  ඔය ඉතිරි ව සිටින උන්නැහෙලාගෙන් අති විශාල බහුතරය ද ඉන් චුතවී  යාම අනිවාර්ය  ය.වෙලහටත්  ගොසිනි. නොයන්නේ ,තමන් මස් කටු සූප්පුවේ යෙදී සිටිය දී, කට්ට කා ගෙන ආණ්ඩුවට නොගොසින් සිටි ඒකාබද්ධයේ  අය වෙතින් නැඟ  එන බලවත් විරෝධය  හමුවේ කුමකින් කුමක් තමනට වේ දැ යි අවිනිශ්චිත නිසා  ය. මහින්ද වෙනුවෙන් බොරු ජනමත විමසුම් ඇටවීමේ ජරා ඉතිහසයක් ඇති ශ්‍රී ලනිපයේ වර්තමාන මහ ලේකම්  මහාචාර්යවරයා  මෛත්‍රීපාලට ළංවී  ඇත්තේ, ඔහු වෙනුවෙන් නො ව, මහින්දගේ න්‍යාය පත්‍රය ජය ගන්වනු පිණිස ය.  2015 දී ශ්‍රිලනිපය පාවාදීමෙන් ජනාධිපති බවට පත් වූ මෛත්‍රීපාලට  , ඔහුට ඡන්දය දුන් 62 ලක්ෂය අමු අමුවේ  පාවා  දීමේ ආනිසංශය ලෙස සිදු වනු ඇත්තේ, ''හිටං ජනපති අද තනිව ම  වෙල මැද්දේ" යැයි කියා  සිටීමට ය. අත්මේස් ගලවා ම ඔහුට  අතට අත දුන් එලිසබත් නෝනාගේ රටේ ඉතිහාසයෙන් ගන්නා උපහැරණයක් අනුව කිව හොත් , ග්ලැඩ්ස්ටන් අගමැතිවරයාගේ ප්‍රතිපත්තිය පරිදි ''කදිම හුදකලාවේ'  (splendid isolation) සිටීමට ය.  සමහරක් කියන පරිදි ඔහුට මෙසේ වූයේ ඔහු ශ්‍රිලනිපයේ සභාපතිකම ගැනීම නිසා ය. කිසිසේත් ම නැත. ඔහු ශ්‍රිලනිපයෙන් ඉවත් වූයේ කිසිදු ප්‍රතිපත්තිමය පදනමක් මත නො වේ. ඇත්ත වශයෙන් ම ඔහු මහින්ද ගෙන් ඉල්ලා සිටියේ , ජනතා විමුක්ති පෙරමුණ   ඉල්ලා සිටි පරිදි ම, ඉදිරි වසර දෙක ද  තවදුරටත් ජනපති ධුරයේ වැඩ වසන ලෙස ය. වෙනසකට තිබුණේ  ,     ඔහුගේ ඉල්ලීම පිටුපස අප්‍රකාශිත වෙනත් ඉල්ලීමක්  ද වීම ය.එනම්, 2010 මැතිවරණයේ දී පුවත්පත් පිටු පුරා පල කළ  දැන්වීම්වල තිබූ ''මෛත්‍රී යුගය'' සාක්ෂාත් කර ගනු පිණිස, තමා  අගමැති කරන ලෙසට වූ ඉල්ලීමය. දී .මූ .ජයරත්න ඉල්ලා අස්වීම ප්‍රතික්ෂ්ප කිරීම නිසා එයට ඉඩක් නො වී  ය.  කොහොමටත් අගමැතිකම තම පවුලට සින්නක්කරේට ම ලබා ගැනීමට රාජපක්ෂලා සතු  වූ සැලැස්ම අනුව මෛත්‍රීගේ දොළදුක  සන්සිඳුවා  ගැනීම නිකම් ම සිහිනයක් විය.පොදු අපේක්ෂකයා   ලෙස රනිල් හැර මොකෙක් හෝ දමා ගැනීමේ සිය බංකොලොත් දේශපාලනය අනුව මහින්ද-විරෝධීන් මෛත්‍රීපාල ව  උඩින් පාත් කර ගනු ලැබුවේ  ඒ අනුව ය. පැවති ආණ්ඩුවට එරෙහි ව වචනයක්වත් කිසිදා වැරදීමකින් හෝ  වදාරා නොති"බූවකු" ආණ්ඩු විරෝධී  පොදු අපේක්ෂකයා කර ගත් ලොව ප්‍රථම රට බවට සිරි ලංකාව තවත් වාර්තාවක් තැබුවේ ඒ අනුව ය. සියලු කරුණු  පසෙකලා 62 ලක්ෂයකට අධික ජනතාවක් ඔහුට ඡන්දය දුන්නේ, රාජපක්ෂ  ගෝතකරුමයෙන් ගැලවීමට ලැබුණ  අවස්ථාව අහිමි කර නොගනු පිණිස ය. ඒ අනුව , රාජපක්ෂ පරදාලීමට මෛත්‍රීපාලට ඡන්දය දෙන ලෙස ඉල්ලා  සිටින අතර ම , මෛත්‍රීපාල කෙරෙහි විශ්වාසය නො තබන ලෙස ද අප නිකුත් කල පත්‍රිකාවේ දී  අපි ජනතාවට අවධාරණය කර සිටියෙමු. තමා ව විශ්වාස නො කරන ලෙස අප කළ  එම අවධාරණය  නිවැරදි බැව් සනාථ  කිරීමට වැඩි කල් නොගැනීම ගැන  අපි ඔහුට තුති පුදමු. සිය  පළමු පත්වීම ලෙස සිය මාධ්‍ය    අධ්‍යක්ෂ   වශයෙන් ,ජනපතිවරණ  සමයේ  යක්කු ගස් නගින වේලාවට දයාන් ජයතිලක සමග මහින්දට ආවඩන සාකච්ඡා  මෙහෙය වූ නිදිමත නිවේදකයා පත් කිරීමෙන් වැඩ පටන් ගත් මෛත්‍රීපාල මහරාජාගේ ''සිරසේ'' රනිල්- විරෝධීන් '' රොත්ත  තමා වටා එක් රොක් කර ගැනීමේ ව්‍යාපාරය   මේ වන  විට  අවසන් කර ඇත්තේ,  අර  අන්ත මහින්දවාදී,  අන්ත අවස්ථාවාදී  දයාන් ජයතිලක  ව රුසියානු තානාපති බවට පත් කිරීමට පිඹුරුපත් සකස් කරමිනි. අද ඔහුගේ සෝභිත හිමි වූකලී, මියන්මාර සරණාගතයන්ට වැඩක් දීමට ගිය  අන්ත ජාතිවාදී මැරයන්ට නායකත්වය දීමට තරම් නිඝන්ඨ  වූ මැදගොඩ සුමනතිස්ස නමැති අමු ගෝටාභයවාදියා  ය; සිරසේ න්‍යාය  පත්‍රයට කහින උලපනේ ගොයියා  ය. මෛත්‍රීගේ ඉතිරි පැටිකිරිය කිසිවකුටත් රහසක් නො වේ.   
     තතු මෙසේ වන හෙයින් , මේ පක්ෂ  සහ නායකයන් ලවා  තම තමන් අටවා  ගත් ඊනියා ජාතික කර්තව්‍යයන්   ඉටු කර ගැනීමට කෙරෙන සියලු කතා  දැනුවත් ප්‍රෝඩාවන් ය; මංමුලා  කිරීම් ය . හරියට ම නියමිත දිනයේ දී ජනපතිවරණය  පවත්වන්නේ නම් ,   මේ  ජනතා  ද්‍රෝහී  හැතිකරයට එරෙහිව බලගතු විකල්පයක් ගොඩ නැඟීමට තවත් මාස 18ක් කාලයක් ඉතිහාසය විසින් මෙරට ජනතාවට ලබා දී ඇත. එම කාලයේ හැම මොහොතක් ම, හැම තත්පරයකක් ම කිසිසේත් ම අපතේ නොයැවිය  හැකි ය;නොයැවිය යුතු ය.වඩාත් ම වාසිදායක සිතා ගැනීම් අනුව බැලුවත් කිසිසේත් ම  සම්මත  නොවන ඊනියා  20 වැනි සංශෝධනය ගැන කතා කිරීම අමු අමුවේ කාලය කාදැමීමකි; වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කාලකන්නි වැඩකි. ජනතා විමුක්ති පෙරමුණ  මීට ඉහත දී ද මෙවැනි ද්‍රෝහී  සහ   මෝඩ වැඩ අනන්තවත් කර ඇත. නිදසුනක් ලෙස, 2015 ජනාධිපතිවරණය නීතිවිරෝධී  යයි මොර දෙමින්, ඉතිරි අවුරුදු දෙකත් මහින්දගේ දුෂ්ට පාලනය පවත්වා ගෙන  ලෙස ඉල්ලමින් ඕවර්ටයිම්  දමා ගෙන සිය සම්පත් සහ ශ්‍රමය  කාබාසීනියා  කර දැමීමේ  කරුණ ගෙන හැර  දැක්විය හැක.තමාගේ ජාම් බේරා ගැනීම සඳහා, මහින්ද-  ගෝටා  ජෝඩුවේ අවශ්‍යතාව මත 2019 ජනවාරියෙන් පසු ඕනෑම මොහොතක ජනපතිවරණය පැවැත්වීමට මෛත්‍රීපාල ක්‍රියා  කළ  හැකි හෙයින්,  කල් මැරීමට කොහෙත් ම ඉඩක් නැත.එහෙත්    කනගාටුවට කරුණ   වන්නේ, මේ ප්‍රධාන හොර නඩ තුනට ම විරුද්ධ ව  යයි කියා ගන්නා ,  වාමාංශික යැයි තමන් ව හඳුන්වා  ගන්නා කිසි ම කණ්ඩායමක් මෙම කර්තව්‍යයට උර දීමට කිසි ම සූදානමක් නොතිබීම ය. ඔවුන් අවසානයේ දී කරනු ඇත්තේ, එක්කෝ ගෝටා   හිට්ලර්  පැරදවීමට යැයි කියමින් රනිල්ට කඩේ යාම හෝ රනිල් පැරදවීමට යැයි කියමින් ගෝටාට කඩේ යාම හෝ තමන් සතු 'ජාතික' කාර්යය  කර ගැනීම ය. ; නැති නම්, හුදෙක් චාරිත්‍රානුකූල ව තම තමන්ගේ ලකුණ  යටතේ වාමාංශික විකල්ප ලෙස තරග කරමින්,තම තමන් ජනතාවගෙන් කෙතරම් දුරස්ව සිටින්නේ ද යන්න යළි  වරක් ලොවට ප්‍රදර්ශනය කිරීම පමණි . 
       සමහරක් එසේ  කඩේ යාම   සාධාරණීකරණය   කරනු ලබන්නේ පොදු සතුරා පැරදවීම යන ඉපැරණි හම්පඩ ගැහුණ  වාක්‍ය  ඛණ්ඩය  මගිනි.අද මේ සියලු දෙනා ම සමස්ත ජනතාවගේ ම  පොදු සතුරන් බව මෙරට ජනතාවගෙන් අති විශල බහුතරය මනාව දනිති.  ඒ තරම් සරල සත්‍යයක් තවත් නැති තරම් ය. ගත වන මොහොතක් මොහොතක් පාසා හෙළිදරව් වනු ඇත්තේ , ඒ බැව් තවමත් තේරුම් ගෙන නැති අයට ද ඒ බැව්  වටහා දෙන්නා වූ  කරුණු  ය. උන් ව  සුදනන් කරන්නා වූ  අබමල් රේණුවක තරම් කරුණක්වත්  එක මොහොතක හෝ හෙළිදරව් වන්නේ නැත.  ජනතාව  මැතිවරණවල දී තවමත් මොවුන්ට ඡන්දය දෙන බැව් ඇත්ත ය. ඒ තම තමන් ගේ ඉපැරණි  සතුරා පැරදවීමට වෙනත් කිසිදු විශ්වසනීය විකල්ප නායකත්වයක් නැති නිසා ය; එනිසා ම පමණි . මහින්ද රාජපක්ෂ  ජනතාවගේ අසහාය නායකයා  ලෙස පිම්බීමට ඒකාබද්ධයේ අන්ත  දූෂිතයන් මලබද්ධය ඇති වන තරමට  තැටමුවත් , 2015 ජනපතිවරණයේ දී ලබා  ගත්  58 ලක්ෂයෙන්  මාස 6ක් තුළ දී  ඔහු අහිමි කර ගත් 11 ලක්ෂය , මෛත්‍රී -රනිල් අරපයිත්තියන් ආණ්ඩුවේ අන්ත බංකොලොත් පාලනය නොතකමින් , ආපසු තමන් වෙත ලබා ගැනීමටවත් මහින්දට නොහැකි විය. ඔහුව ජනතාවට ඕනෑ  කර තිබෙන ප්‍රමාණය ඒ තරම් ය ! ඔහුට අත්වූ එම ඉරණමෙන් ද අනික් දෙදෙනාට අත් වූ ඉරණමෙන් ද ජනතාවගේ ගමන්මග අවබෝධ  කර ගත හැකි වන්නේය.
      ජනතාව කිසිදා  වෙනස් නොකළ  හැකි අන්ත මෝඩයන් ලෙස සලකන බකපණ්ඩිතයන්ට වෙනස් ලෙස අප පැහැදිලි ව කියා සිටින්නේ , ජනතාව වෙනස් වන්නේ එක එක බකයන්ගේ කන්ද උඩ දේශනා අනුව නො ව , ජනතාව ලබන  ඓතිහාසික පරිමාණයේ අත්දැකීම් අනුව බව ය. එවිට ඔවුහු  සාම්ප්‍රදායික පක්ෂ  සහ නායකයන් අතුගා දමා වෙනත් පක්ෂ  සහ නායකයන් පත් කර ගනිති. පසුගිය වසර කීපය තුල දී ලෝකයේ රටවල් ගණනාවක දී  අපි ඒ බැව් අත්දැක්කෙමු. ග්‍රීසිය, ප්‍රංශය ,ඉතාලිය යනාදී රටවල දී  සාම්ප්‍රදායික පක්ෂ  සහ නායකයන් අතුගා  දමුණ  අයුරින් ම මෙක්සිකොවේ ජනතාව ද එම ගමන් මගට උණු  උණු වේ පිවිසියේ , මෙම ප්‍රකාශනය අන්ත්ර්ජාලයට පිවිසවමින් තිබූ  ඊයේ දිනයේ දී ය!එහේ වුණාට මෙහේ එහෙම වෙන්නෙ නැතැයි , සුනිල් පෙරේරා  සමග එක්වෙමින් පුරවැසි පෙරමුණුකාරයන් ගයනු ඇත. ඇත්ත එය නො ව , එසේ වීම වැළැක්වීමට මෙවැන්නන්  හැකි හැම දෙයක් ම කරන බව ය.
     මෙවන් වාසිදායක ඓතිහාසික  හැමදා  එළඹන්නේ  නැත; වැඩි කල් රඳා  පවතින්නේ ද නැත.  එම අවස්ථාවන්  නිවැරදි ලෙස යොද නොගත හොත්, කළකිරීමට  පත් වන ජනතාව හිට්ලර්වාදීන්ගේ පහසු ගොදුරු බවට පත් වනු ඇත.
     ඒ අනුව අප මෙතැන් සිට අපේ උපරීම ශක්තිය වැය කරනුයේ  මේ හොර නඩ තුන පරජයට පත් කිරීම සදහා අවැසි  වැඩ පිළිවෙල ජනතාව වෙත ඉදිරිපත් කිරීමට ය; අපට තනිව එය ජය ගත හැකිය යන මිත්‍යා විශ්වාසයක් අපට කොහෙත් ම නැති හෙයින්,  වෙනත් කරුණු  ගැන  තිබිය හැකි වෙනස් මත නොතකමින්, මෙම  අදහස අනුමත කරන අන් අය සමග   එක් ව කටයුතු කිරීමට ය. මෙය  මුහුණු   පොත මගින් ම සපුරා  ගත නොහැක. ඉන් බාහිරව ජනතාව සජීවී ව ගැවසෙන හැම තන්හි ම මේ මූලික අදහස පතුරුවාලීමට අපි  අපට හැකි උපරීමයෙන් කටයුතු කරමු. මුහුණු  පොත ද උපරීමයෙන් යොදා  ගනිමු. ප්‍රතිඵලය කුමක් වුවත් අපි අපේ  කොටස ඉටු කරමු.             


******************************************************************************     *****************************************************************************
             

        




 

 

 

 


Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS