2018 සැප්තැම්බර් 02                                           කලාපය 9

      මහින්දගෙ අගමැති දොළදුක අති උග්‍රයි!

  තමන්ට එරෙහිව නව අධිකරණ  තුළ නඩු සැබැවින් ම විභාග වීමේ හැකියාව වැඩි වත් වැඩි වත් , ඒවා විභාග වත් ම, තමන් ඔතාගෙන සිටින සුදෝ සුදු ආරිය සිංහල සූට් සිය ගෝත්‍රික සාටකයෙන් තවදුරටත් වසා ගෙන සිටිය නොහැකි සේ දිනපතා ම පාහේ ලෝකයා හමුවේ දිග හැරෙන බව නියත හෙයින්, ජනපති හමුවේ වැඳ වැටී හෝ මහින්ද  අගමැති පුටුවේ තැන්පත් කිරීම හැර අන් විකල්පයක් නැති තැනට  රාජපක්ෂලා සහ ඔහුගේ ඒකාබද්ධ බත් බැලයන් රැළ පත් ව ඇත. හුදු සාක්ෂි සටහන් කර ගැනීමකින් පසුව පවා , ඊනියා රට බේර ගත් නායකයා පත් ව තිබූ ආතතියේ  තත්වය කෙතරම් නිම් හිම් නැති ව තිබිණි  ද යන්න , තමන්ගේ තවත් බත් බැලයකු වු වීජමූ ලොකු බණ්ඩාරගේ  පුත් උදිත ලොකු බණ්ඩාර වෙත කඩා පනිමින් ''මෝඩ යකෙක් මූ"  යැයි බෙරිහන් දීම මගින් මුළු ලොව හමුවේ ප්‍රදර්ශනය  කළේ   වෙනින් කවුරුත් නො ව මහින්ද පර්සි රාජපක්ෂ ම  ය. (මල් වට්ටි ටොන් ගණන් බුදු සාදුට දිනපතා ම පුදමින් ලෝකයා රැවටුවාට, ජාගර චිත්තයේ තැන්පත් වී ඇති කෝපයේ, ද්වේශයේ සහ වෛරයේ රොන් මඩ ගබඩාවෙන් චූට්ටිත්තක්  හෝ මෙලෙස නොදැනුවත්ව හෝ පිට වීම , පත් ව සිටින මහා ගෝතකරුම තත්ත්වය අනුව කෙසේ නම් නවතා ගන්න ද?)

  ඒ අනුව සැප්තැම්බර්  5 දා  කොළඹ වටලා  මොන ජල්බරියක් දමා හෝ අගමැතිකම  සියතට ගත යුතු ම ය. වෙන කවරදාවත් නොමැති පරිදි ගෝ ඨාභය  තුමා ද රැළියට එක්වන ලෙස  වෙනම ම ඇරයුමක් නිකුත් කර ඇත. ඒ ''වියත් මඟේ'' සිය බැටෑලියන් එකට ය.මේ වියතුන් වනාහි, 2015 ජනවාරි 8දා  කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට ගොණු කෙරුණ අය සහ කමල් ගුණරත්න,සරත් වීරසේකර ඇතුළු දායක කාරකාදීන් ය.මොකක් දෝ හේතුවක් නිසා අජිත් ප්‍රසන්න  රණවිරු මහාභාරකරුතුමා විහින් ම චකබ්ලාස් වී ඇත.පවුලේ  පලහිලව්ව ප්‍රයෝජනයට ගෙන , බොර දියේ මාළු අල්ලමින්  ජනපති අපේක්ෂකත්වය ඩැහැ  ගැනීමට  මාන බලන, වැඩි වයසකුත් නැතු ව මේ වන විටත් සවුත්තු වී සිටින  නාමල් රජපක්ෂ කුමාරයා    මේ "කොළඹ  වැටලීමේ"'කෙළියේ කෙළිකාරයා  බවට විහින් ම පත්ව  ඇත.

  "මහින්ද සුළඟින් ''පටන් ගෙන මහා වේරම්බ වාතයක් බවට පත් කරන බවට පාර බෑ නමුදු , එය අවසන් වනු ඇත්තේ  හුදෙක් ම අධෝ   වාතයක් ලෙස පමණි . කිසියම් වෙනසක්  වන්නේ නම් ,මහින්ද සමග සම්මුතියකට අර අඳින මෛත්‍රීපාල සිය පාවාදීමේ ගමනේ තීර්ණාත්මක බල්ටියක් ගැසුව හොත් පමණී . කෙසේ  වෙතත්, ජනාධිපතිවරණය ජනවාරි 8 දායින්  පසු ඕනෑ ම අවස්ථාවක  පැවැත්විය හැකි හෙයින්, ව්‍යවස්ථා විරෝධීබව නොතකා ඔහු අගමැති  ධුරයට පත් කළත්, පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නැති හෙයින් ,මහින්දගේ අගමැතිකම ලත් තැන ම ලොප් වන්නේ ය. එය වළකා ගත හැක්කේ , පෙර දවස කළාක් මෙන් යූඇන්පීයෙන් කොටසක් කඩා ගැනීමෙන් පමණි. යූඇන්පීයේ ඕන පදම් අවස්ථාවාදීන් සිටියත්, හුදු බලලෝභය මගින් දෙකේ කොලයට වැටී ඇති මහින්ද වැන්නකු රජ කරවීම සඳහා මේ මොහොතේ බෙල්ල දීමට සූදානම් ගොබ්බ්යන් සිටීවි ද යනු ප්‍රශ්නයකි.  අනෙක් අතට එවැන්නක් සිදු වුව හොත් එය ඒකාබද්ධය  විහින් ගෙල සිඳ  ගැනීමක් වනු ඇත. මේ සියල්ල දැන දැනත් මහින්දට අගමැතිකම කෙසේ හෝ ඉක්මණින් ම අවශ්‍ය ව තිබෙන්නේ , අර නඩු කන්දරාවේ අසිපත ඔහු ඉදිරියේ ලෙළ  දෙමින්  තිබෙන නිසා ය.ඒ අනුව ඔහුට ඉතිරි ව තිබෙන එක ම විකල්පය ,නොයෙකුත් ආකාරයේ ලෝ පොයින්ට් ඉදිරිපත් කරමින් ද අසනීප  තත්ත්වයන් මවා පාමින් ද වෙනත් අලුත් අලුත් උප්පරවැට්ටිවල යෙදෙමින් ද නඩු විභාග සුපුරුදු පරිදි කල් දමා ගැනීම පමණි .

   ප්‍රතිපත්ති මත පදනම් වී ක්‍රියා කරනු වෙනුවට, එක් පවුලක බත් බැලයන් බවට පත් වී, ඉන් නොනැවතී තමන් එවැන්නන් බව රාජකීය  උෂ්ණයෙන් යුතුව වැමෑරීමට තරම්  නීච වෙමින්  ඒකාබද්ධයෝ යූඇන්පී විරෝධී ජනතාව අන්ත අසරණ තත්වයකට පත් කර ඇත්තාහ. මොවුන්ගෙන් මිදීමෙන් තොරව එම ජනතාවට කළ හැකි සැබෑ යූඇන්පී - විරෝධී සටනක් නැති බැව් අපි වෙහෙස නොබලා යළි යළිත් අවධාරණ කරමු. අවසනාවන්ත තත්ත්වය නම් , මේ තුන් කට්ටුවේ ම  ක්‍රියා කලාපයෙන් අන්තයටම කළකිරී සිටින දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවට එක්‍ රොක්  විය හැකි  විකල්ප පෙරමුණක් පේන තෙක් මානයේවත් නොමැති කම ය.එවැන්නක් ගොඩ නගා ගැනීමට අපොහොසත් වන්නේ නම් ,සිදු වන එක ම දෙය වනුයේ හැමෝට ම බැණ වදිමින් , අවසානයේ දී සුපුරුදු පරිදි තම තමන්ගේ සුපුරුදු හොරුන් ව ම බලයට ගෙන වුත් යළි වරක් බැණ බැණ සිටීමේ විෂම චක්‍රයේ කර කැවි කැවී සිටීම ය.ඉතිහාසයේ ප්‍රථම වතාවට ලද  මේ අතිශය වාසිදායක තත්ත්වය ගිලිහී යාමට ඉඩ දුන හොත්, එවැන්නක් '' කවදා යළි ඒදෝ ? ''  ;ඒමට ඉඩ දේ දෝ ?

****************************************************  

             ව්‍යවස්ථාවෙන් රිංගීමේ හිල් සෙවීම 

          උදේ සිට රෑ වන තුරා  "සමාජයේ බලකණු '' උගුරු ලේ රහ වන තුරු දෙසා බාන්නේ නීතියට ගරු කරන ලෙස ය. ඕනෑ ම රටක ඉහළ  ම නීතිය ලෙස හඳුන්වන්නේ  එරට ව්‍යවස්ථාව ය. ව්‍යවස්ථාව හරි නැත්නම් එය සංශෝධනය කළ යුතු බව හෝ වෙනස් කළ යුතු බව හෝ කියා පෑමට හැමට අයිතිය ඇත. එහෙත් ''රට බේර ගත් මහා  නායකයා ''යැයි  බෙරිහන් දෙන පුද්ගලයා සහ ඔහුගේ ගිහි පැවිදි පක්කලි සේනාව දැන්  එළිපිටම  මහා බේගලක් ගොතමින් නද දෙන්නේ ව්‍යවස්ථාවේ තිබෙනවා යැයි ඔවුන් කියන හිලකින්  රිංගා යමින් මීළඟ  ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ ව ඉදිරිපත් කරන බව ය.  මොවුන්ගේ තක්කඩාධි  තක්කඩි තර්කය හරි නම්, මීළඟ  පමණක් නො ව  ඊළඟ ජනාධිපතිවරණයට ද මෑන්ට ඉදිරිපත් විය හැක! මන්ද? අයෙකුට දෙවරක් තේරී පත් විය හැකි නිසා ය ! කාලා වරෙන්කො! කන්දක් විළිලා  සම්මත කර ගත් 19 වැනි සංශෝධනය  මී පැටවකු නො ව මී බෙට්ටක්වත් තරම් නොවන දෙයක් බවට පත් කිරීමේ මේ ගොන් නීති තර්කය අඹරා  ඇත්තේ නීතිය පිළිබඳ මහාචාර්යවරයකු වන ජී .එල්.පීරිස් ය. මෙවන්  තීන්දුවක්  ලබා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට  හැක්කේ ජනාධිපතිවරයා හට පමණක් වන හෙයින් , එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරවා  ගැනීමට හැකි වන පරිදි පහළ අධිකරණයක නඩුව ගොණු කරන බවද පීරිස් තුමා පවසයි! කොහොමද ටිකිරි මොලේ?බළලුන්  ලවා කොස් ඇට බෑවීමටත් වඩා පහසු ය. මේ කියන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය  කිරීමට  දන්නා සියලු මායම් දමන බව යි. මෙයට දායක වූ සහ දායක වන අනෙක් නීතිවිශාරදයන් ව ද ඉදිරියේ දී අපට දැන ගත හැකි වනු ඇත.

  අප පසුගිය කලාපයේ දී ද අවධාරණය කළ පරිදි මොවුන්ගේ මෙම තර්කය, එයට තර්කය යන ශ්‍රේෂ්ඨ වචනය  හුදෙක්  තර්කය පිණිස පමණක්  යොදා ගත් විට, මොනයම් ම  පදනමක් නැති   අමු ම අමු විකාරයකි. එය  එසේ නොවන්නට, ජනාධිපති අපේක්ෂකයා  ගෝටා  ද  නැත් නම් අහවලා ද යනුවෙන් වාද විවාද කරමින් කාලය කා දමන්නට අවශ්‍යතාවක් නො තිබිණි. ගෝටා නම් කරන බවට සියලු පෙර නිමිති පහළ වීමත් සමගින් ඇරඹුණ පවුලේ පලහිලව්වෙන් ගොඩ ඒමේ මගක් ලෙස  මේ ගොන් තර්කය අඹරා ගත් බව තරම් පැහැදිලි වෙනත් කරුණක්  තවත් නැත. 

  තම පටු අරමුණු ඉටු කර ගැනීම පිණිස ව්‍යවස්ථාවේ හිල්වලින් රිංගා යාම  හෝ එය අමු අමුවේ උල්ලංඝනය කිරීම  හෝ මේ සියලු දෙනාට ම පොදු වූ කරුණකි. 1960  ජූලි මැතිවරණයේදී පහසුවෙන් ම පර්ලිමේන්තු අසුනක් ජය ගත හැකි ව තිබුණත්  සිරිමා බණ්ඩාරනායක  ලෝකයේ ප්‍රථම  අහමැතිනිය බවට පත් වූයේ  සෙනෙට් මණ්ඩලය හරහා ය.1970 දී බලයට පත් ඇය 1970 දී අමතර වසර දෙකක කාලයක් කොල්ල කා ගත්තේ , තවත් නීති විශාරදයකු වූ කොල්වින් අර් ද සිල්වාගේ ද්‍රෝහී ආධාරය ඇති ව ය. සමාජවාදයට යාමට යැයි කියමින් සිරිමාට එසේ ව්‍යවස්ථාවක් අටවා දුන් කොල්වින් අතුළු සමසමාජ  නායකයන්ට  1975 දී පා පහර දී දොට්ට දැමූ සිරිමා ,  ඔහු ලබා දුන් අමතර වසර දෙක භුක්ති විඳ එම ව්‍යවස්ථාවත් සමග ම   තොමෝ ද 1977 දී බලයෙන් චුත වූවා ය.  

   1977 දී ජේ .ආර් ජයවර්ධන බලයට පත් වූයේ විධායක ජනාධිපති   ක්‍රමයක් ඇති කරන බවට සිය මැතිවරණ ප්‍රකාශනයේ   සඳහන් කරමිනි.එහෙත් එහි අංග ලක්ෂණ එකකුදු එහි සඳහන්  නොකෙරුණි. අවසන 1978  දී ප්‍රංශ , අමරිකන් සහ බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාවන්හි කොටස්  මාට්ටු කර ඔහු වැදූ යක් පැටියා  ඒකාධිපතියන් තිදෙනෙක් ම බිහි කළේ  ය. ඔහුමත් ඔහුගේ ව්‍යවස්ථාව   සිය  පටු  අරමුණු වෙනුවෙන් වරින් වර සංශෝධනය කලළේ  ය. බොහෝ රටවල දී ජනතාවගේ මතය විමසීම සඳහා යොදා ගන්නා වූ අතිශය ප්‍රජාතන්ත්‍රවාදී ජනමත විමසුම් ක්‍රමය, අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී තුච්ඡ අරමුණක් වෙනුවෙන්  (හයෙන් පහේ බහුතරය එලෙස ම  පවත්වා ගැනීම උදෙසා ) යොදමින් 1982 පාර්ලිමේන්තු මැතිවරණය අහෝසි කරන ලැබිණි. එහි ප්‍රජාතන්ත්‍ර විරෝධීත්වය වහංගු කර ගනු පිණිස , ලාම්පුව  පරාජය වූ ආසනවල මැතිවරණ  පවත්වනු ලැබිණි. රණසිංහ ප්‍රේමදාසගේ විවෘත නායකත්වයෙන් මුදා හැරුණ බිහිසුණු මැර ප්‍රහාරයන් මගින් එම ජනමත විචාරණයේ ප්‍රජාතන්ත්‍ර විරෝධීත්වය වඩාත් තීව්‍ර වූ නමුදු, එවැන්නක් නො කෙරුණ ද එම  ජනමත විචාරණය ප්‍රතිපත්තිමය වශයෙන් තමන්ගේ ම ව්‍යවස්ථාව තමන් විසින් ම උග්‍ර ලෙස උල්ලංඝනය කිරීමක් විය.1978 ව්‍යවස්ථාවෙන් පසු අතුරු මැතිවණරණ පැවත් වූයේ ආණ්ඩුවේ අභිමතය පරිදි ය.    අන්තිමේ දී මහිදන්ද ගේ 18 වැනි සංශෝධනය  1989 දී ම ගෙන ඒමට ජේ.ආර් .මාන බැලූ නමුත්, එය අත්  හරින ලද්දේ එදා පැවති  වාතාවරණය යටතේ එයට කිසිදු ඉඩක් නො වූ නිසා ය . 

   චන්ද්‍රිකා ගෙන ඒමට තැත් කළ ව්‍යවස්ථාවේ දී ද මාන බැලුවේ, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන්  එම විධායක බලතල අගමැතිට පවරා එම  අගමැතිකම සියතට ගැනීමට ය.

  මහින්ද  මහරජා ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම කළේ  සකලවිධ බලය මගින් රාජ්‍ය තන්ත්‍රයේ හැම අස්සක් මුල්ලක් ම තම පවුලේ හොර හැත්තට දීමට අමතර ව, 18 වැනි සංශෝධනය මගින් එම බලය සහ එම කෙළිය දිවි ඇති තුරා ගෙන යාමට අවශ්‍ය විධි විධාන සලසා ගැනීම මගිනි. එහිදී ඔහු ජේ.ආර්ගේ රුදුරු ව්‍යවස්ථාවේ තිබූ එක ම සහනය වූ ජනපති   ධුර කාලය දෙවතාවකට  සීමා කිරීම     ජනතාවට මුළුමණින් ම අහිමි කළේ  ය.ඒ අතින් ඔහු ජේ.ආඅර්ට ද වඩා තමා අන්ත ත්‍රාඩයකු බව නොවරදින සේ ඔප්පු කළේ  ය.

  2015 සම්මත කළ 19 වැනි සංශෝධනය ජනාධිපති ගේ යම්  යම් බලතල  සහ  ධුර කාලය අඩු කළ  ද , මෑත දී අනාවරණය වූ පරිදි අගමැති ඉවත් නොකළ හැකි වන සේ කොළය වසා විධි විධාන සලසා ගෙන තිබේ. ඒ මදිවාට , අවුරුදු  හතරක් ප්‍රමාණවත් යයි 2015 දී කියූ මෛත්‍රීපාල  , පහකුත් මදි වී  තමාට හයක් ම පුළුවන් දැ යි  විමසීමට පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ හදිසියේ ම ශ්‍රේෂ්ඨාධිකරණයට  දිව්වේ , දැන් මහින්ද මහරජා ශ්‍රේෂ්ඨාධිකරණයට දිවීමට අමුඩය ගසමින් සිටින ආකාරයට ම ය. මොහාන් පීරිස් තමාට කීවා යැයි මෛත්‍රීපාල කී දේ අසා  ඔහු ව අගවිනිසුරු කමේ තබා ගත්තා   නම්, ඔහු මෛත්‍රීට මෙන් ම මහින්දට ද අවශ්‍ය තීන්දු  කාලීන ව ලබා දෙන්නට තිබිණ .

    තුනෙන් දෙකේ  ඡන්දයකින් සම්මත විය යුතුව ඇති පළාත් සභා  මැතිවරණ නීර්ණ කොමිෂන් සභා  වාර්තාව එක ම ඡන්දයක්වත් නොලබා පරාජය වූ පසු, මහජන නියෝජිතයන් නො වූ හතර දෙනකු සහිත  අගමැතිගේ නායකත්වයෙන් යුතු කමිටුවක් මගින් සම්මත කර ගැනීමට කරන වෑයම මෙවන් ව්‍යවස්ථා විරෝධී පියවරයන් සියල්ල පරයා යයි.

   මේ හැත්ත බුරුත්ත ම දේශපාලන කරළියෙන් අතුගෑමෙන් තොර ව අවම මට්ටමේ ශීලාචාර පාලනයක්වත් බිහි කර ගත නොහැකි බව හැර අන් කිසිවක්  මේ කරුණු ස්වල්පය අනුව පමණක් වුවත්  මනා ව පැහැදිලි නොවන්නේ ද? මොවුන් ලවා ටොපේ ටොප් ව්‍යවස්ථාවක් සම්මත කරවා ගැනීමට තවමත් අමන ලෙස සිහින මවන  මහත්වරුන් ගැන කිව යුත්තේ, අවුරුදු පහක් වැනි සුළු කලකින් චුතවී යාමට නියමිත ව තිබූ ව්‍යවස්ථාවක් සිය  ධනේශ්වර ස්වාමිදුවට නිමවා දීමට කොල්වින් ආර් ද සිල්වාට හැකි වුවත්, නව ව්‍යවස්ථාව ගැන කෙකර ගෑමෙන් එහාට අඟලකුදු   යාමට ඔහුගේ ගෝල ජයම්පති වික්‍රමරත්නට නොහැකි ව ඇති බවය; නොහැකි වන බව ය.    

  ####################################################

 

    සීමා නීර්ණ අභියෝගය සහ ආණ්ඩුවේ ගොළුවත 

    සීමා නීර්ණ කමිටු වාර්තාව  සියයට සියයක් නිවැරදි බවත් ඒ ගැන ඕනෑ ම ජගතකු සමග විවාද කිරීමට තමන් සූදානම් බවත් එම කමිටුවේ සභාපති හිටපු මිනුම්පති කේ. තවලිංගම් මයා ප්‍රකාශ කිරීමත් සමග ම ඒ වාර්තාව සම්බන්ධයෙන් ඇමති ෆයිසර් මුස්තාපාගේ  සහ ආණ්ඩුවේ ප්‍රකාශයන්  තවත් වටයකින් අභියෝගයට ලක් ව ඇත. කිසියම් කමිටුවක් විසින් සිය වාර්තාවක් වෙනුවෙන් ආණ්ඩුවක්  මෙලෙසින් අභියෝගයට  ලක් කළ අවස්ථාවක් මතක ඇති කාලයක දී (සමහර විට කවදාවත්) දක්නට ලැබී නැත. එහෙත් තමන්ට එල්ල වූ මේ අභියෝගය භාර ගැනීමට ෆයිසර් හෝ ආණ්ඩුවේ කිසි ම වීරයෙක් ඉදිරිපත් වී නැත.වාර්තාව භාර දී මාස 6 ක් යන තුරා  එහි කිසිදු අඩුපාඩුවක් ගැන කතා නො කළ ඇමති සහ ආණ්ඩුව, ඒ වෙනුවට එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කළ ආණ්ඩුව, අන්තිමේ දී  පාර්ලිමේන්තු වවාදය තුළ දී පවා එහි එකදු අඩුපාඩුවක් හෝ පෙන්වා දීමට  ඉදිරිපත් නො වූ ආණ්ඩුව, කමිටුවේ සභාපති වෙතින් එල්ලවූ මේ දැවැන්ත අභියෝගය හමුවේ පවා වල්ගෙ කකුළ අස්සේ ගසා ගෙන ගොළුවත රැකීමෙන් ම ආණ්ඩුවේ බොරුවේ තරම කාට කාටත් තේරුම් ගත හැක. සියයට සියයක් ම නිවැරදි යැයි කීමට තරම් ආත්ම විශ්වාසයක් කමිටු සභාපතිට තිබිය දී,  2025 තෙක් ම බලයේ සිටිනවායැයි පාරම්බෑමට තරම්  බලපරාක්‍රමයෙන් යුතු ආණ්ඩුවක මැති ඇමැත්තන්ට අඩුම වශයෙන් එක අඩුපාඩුවක්වත් ගෙනහැර පෑ නොහැක්කේ මන්ද?උත්තර දෙන්නත් ඕනෑද? 

   ===============================================

 

            අරලිය ගහ  මැදුරේ මෝඩ මගුල

   අග්‍රාමාත්‍ය නිල නිවස  චතුර සේනාරත්නගේ මගුලට ලබා දීම මගින් විහින් සවුතුවී ගිය අගමැති, එම මැටිමෝල් තීරණයෙන් අත්වූ අපකීර්තිය වසා ගැනීම සඳහා, අදාළ ශාලාව අන් අයට ද කුළියට ලබා ගත් හැකි බව් නිවේදනය කර ඇත.තම මගුලේ නැකතට සියලු ශාලාවන්  වෙන් කර ගෙන තිබීම නිසා  තමා පත් ව සිටි අබග්ගයෙන් ගොඩ ඒමට  මෙම ශාලාව ලබා දීම ගැන මනමාලයා එහි දී තමා ම කළ දේශනයේ දී අගමැතිට  ''ගොඩාක් තෑන්ක්ස්" යැයි කී  අතර, අගමැති කාර්යාලය මුලින්  නිවේදනය කර සිටියේ එම මැදුරේ එවැන්නක් නොපැවති බව ය. අල්ලෙන් සෙළුව වසා ගැනීමට දැරූ එම තැත, විය යුතු පරිදි ම ව්‍යර්ථ වීමෙන් පසු  එම ශාලාවේ  දොර කවුළු අන් අයට ද විවෘත බව නිවේදන  කෙරුණි . එම ශාලාවේ  ඡායාරූපය දුටු ඕනෑ ම අයෙකුට පැහැදිලි වනුයේ, එහි මගුලක් කෑමට නම්, අර්ජුන් ඇලෝසියස් මට්ටමේ  හෝ ජනාධිපති  කාර්ය මණ්ඩල ප්‍රධානී මට්ටමේ හෝ පගාවක් ගැසිය යුතු ම බව ය. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව උදෙසා තැනූ බවට මහින්ද  උත්තර බඳින මේ සා විශාල ශාලාවක් තිබිය දී  විවිධාකාර අන්තර් ජාතික සමුළු පවා  කෝටි ගණන් වැය කරමින් වෙනත් තැන්වල පවත්වන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි.මෙරට සියලු නිල මැදුරු පාවිච්චි කරන්නේ හුදෙක් ම නිල රාජකාරී කටයුතු සඳහා පමණක් නො ව , මූලික වශයෙන් ම තම තමන්ගේ පක්ෂවල කටයුතු සඳහා ය. එහිලා ගොරතර ම කරුණ වන්නේ, හිටපු ජනපති කෙනකු වශයෙන් ලැබෙන  නිල නිවස මහින්ද රාජපක්ෂ විසින් තනිකර ම ආණ්ඩුව  පෙරළා දැමීමේ කටයුතු සඳහා  ඉතා  නිහීන ලෙස පාවිච්චි කිරීම ය. එය ද කරන්නේ හිටපු ජනපති ලෙස ලැබෙන විශ්‍රාම වැටුප ද ලබා ගන්නා අතර, මන්ත්‍රීවරයකු ලෙස කළ යුතු මූලික ම කාර්යය වන පර්ලිමේන්තුවට සහභාගී වීම අවම වට්ටමේ තබා ගනිමින්, එම මන්ත්‍රී වැටුප ද සාක්කුවේ දමා ගන්නා අතර ය. අරලිය ගහ මැදුරේ මගුල ගැන කෝචෝක් දමන්නේ එහෙව් එකෙකි. තවත් මොනවා කියන්න ද?

 ####################################################### 

                             ප්‍රීමා ආණ්ඩුව පිටි මිල වැඩි කරයි!

    මේ සියලු දේ සිදුවෙමින් තිබෙන අතර පිටි  මිල රුපියල් පහකින් ඉහළ දමා ඇත.අපරාදේ කියන්න බැරි ය. එය ඉහළ දමා ඇත්තේ ආණ්ඩුව නො වේ. ප්‍රීමා කොම්පැණිය ය! ආණ්ඩුව ඒ ගැන මුකුත් ම දන්නේ  නැත. ජනාධිපති නේපාලයේ ජය කෙහෙළි  බඳිමින් ඇත. අගමැති පොලී රහිත  ණය ලෝස් නැතිව බෙදා දෙමින් , සංවර්ධනය ගැන ෆෝක්ස්වාගන් රහිත මාර ටෝක් දෙමින් රට හතර වටේ යයි. මුදල් ඇමති මොණරාගලට වී 'දැයට කිරුළ '' වැනි හරමනිස් නමක් වෙනුවට , එපුර වැසියන්න්ගේ දිවග ලෙළ  දෙන   අති කුල්ටූර්  නමකින් යුතු ප්‍රදර්ශනයක ය. මොවුන් මෙසේ සිටිය දී  පිටි මිල ඉහළ දැමිය යුත්තේ ප්‍රීමා සමාගම නො වේ නම් අන් කවරෙක් ද ?

   ප්‍රිමා සමාගම පිටි කිලෝවක මිල රුපියල් පහකින් වැඩි කරන විට , දේශප්‍රේමී වෙළඳ ප්‍රජාව බනිස් ගෙඩි යනාදියෙහි මිල රුපියල් දෙක, තුන්, පහ යනාදී ලෙස ඉහළ  දමයි. මන්ද, නිදසුනක් ලෙස , පිටි කිලෝවකින්  තැනිය හැක්කේ එක් බනිස් ගෙඩියක් පමණක් හෙයිනි! මෙලෙසින්  සියල්ල සිදුවූ පරිදි ම ඉදිරියට ම යනු ඇත.ජනතාව පමණක් ප්‍රපාතයෙන් ප්‍රපාතයට ම යනු ඇත. 

  ************************************************* 


       ඩොනල්ඩ් ට්‍රම්ප් සරණාගතයන්ටත් කෙළියි!

      ඇමරිකාවේ හතුරන් යයි කියන අයට පමණක් නොව මිතුරන්ට ද ආර්ථික සම්බාධක පිට සම්බාධක පණවමින් සිටි   ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අලුත් ම සම්බාධකය වී ඇත්තේ , පලස්තීන සරණාගතයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදාළ ආයතනයට දෙන ඇමරිකානු ආධාර නවතා දමීම ය. ඊශ්‍රායලයේ අගනුවර ලෙස යෙරුසෙලම පිළි  ගැනීමේ  සහ එරට ඇමරිකානු තානාපති කාර්යාලය    පිහිටුවීමේ අතිශය ප්‍රකෝපකාරී   ක්‍රියාවන් මගින් ගාසා තිරයේ මහ යුද ගින්නක් අවුලුවා ලීමට ක්‍රියා කළ  ට්‍රම්ප්, පලස්තීන සරණාගතයන්ට එරෙහි ව ගත්  මෙම තිරශ්චීන පියවර කිසිසේත් ම පුදුමයට කරුණක් නො වේ. මෙයට සුබ පැතුවේ, විය යුතු ව තිබූ පරිදි ම  ඊශ්රායලය පමණී .  ඇමරිකාව  හැමදාමත් ඊශ්‍රායලය පැත්තේ සිටීම සාමාන්‍ය දෙයක් වුවත් , ට්‍රම්ප් ගේ මෙම තිරශ්චීන පියවර සුවිශේෂී වූවක් වනු ඇත. ට්‍රම්ප්ගේ අනෙකුත් ක්‍රියාවන් නිසා  උග්‍ර වෙමින් ඇති ට්‍රම්ප්-විරෝධය මෙම පියවරත් සමගින් ඔහුට එරෙහි ලෝක ජන මතයක් අවුලුවා ලීමට තුඩු දෙනු ඇත. මේ වන විට ට්‍රම්ප්ගේ සමීප සගයන් 17 දෙනකු ම ඔහු අත හැර දමා ගොස් අවසාන ය.මේ පිළිබඳ විස්තරාත්මක ලිපියක් ඉදිරියේ දී පළ  කිරීමට අපේක්ෂා කෙරේ.  

 

 

Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS