2018 සැප්තැම්බර්  09                                                 කලාපය 10

 

 ලෝකයා හිනැස්සූ රාජපක්ෂලාගෙ අගමැති සමයම

     ආණ්ඩුව පෙරළීම , ජන බලය යන වදන් ම ලෝකයා හමුවේ විහිළුවට ලක් කරමින් රජපක්ෂ  කල්ලියේ ඊනියා  ජනබල මෙහෙයුම, වීමට නියමිත ව තිබූ පරිදි ම , දිය වී ගියේ, එහි නායකයන් මොන තරම් තක්කඩියන් රැළක්  ද යන්න  මොළ කලඳක් හෝ ඇති ඕනෑ ම අයකුට වටහා දෙමිනි. ආණ්ඩුව පෙරළා මිස, මහින්ද අගමැති පුටුවේ හිඳුවා මිස ආපසු ගෙදර යාමක් නොවන බවට ගම්මන්පිල , විමල් වීරවංශ, පවිත්‍රා දේවි  වැනි කුප්‍රකට වාචාල වාචාලියන්  සැප්තැම්බර් 5 දාට පෙර දින කීපයක් මුළුල්ලේ , තමන් වෙනුවෙන් කැපවී සිටින මාධ්‍ය  ඔස්සේ කළ පම්පෝරි ගැසීම් නොතකමින් , එදින මැදියම් රෑ   ළං වත් ළං වත්, මහින්ද වෙනුවෙන් පණ දෙන්න වුනත් සූදානම්  යැයි මවා  පෙන්වූ සිය පාක්ෂිකයන් මාරුව දමා යද්දී, මේ තක්කඩියන් රැළ කලේ  රෑ දොළහ පසුවන තෙක් කල් මරා , තම සටන නියමාකාරයෙන් සම්පූර්ණ කළ බවට අතේ පුපුරණ ටොම්  පචයක් ඇද බෑම ය. මෙය ප්‍රකාශ කිරීම සඳහා යොදා ගනු ලැබුවේ , එවන් බැල කටයුතු සඳහා ම මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරනු ලැබ ඇති , රාජපක්ෂ වලව්වේ දුක් ගන්නා රාළ වන ඩලස් අල්හප්පෙරුම ය. ඔහු තම බේගල ඉතිහාස ගත කරනු පිණිස සිය කතාව ආරම්භ  කලේ , අමතක නොකර වේලාව ටක්කෙට ම සඳහන් කරමිනි.වේලාව රෑ දොළහයි මිනිත්තු  එකයි! මෙවන් උප්පරවැට්ටි  මගින් තම අනුගාමිකයන් රැවටිය හැකි යැයි සිතීම ම මගින්  නොවරදින සේ සනාථ වන්නේ , ඔවුන් අමු ගොන් රැළක් සේ  මේ ඊනියා  නායකයන් විසින්  සලකනු ලබන්නේ ය  යන්න ය.

    මෙම රැවටීම එතෙකින් අවසන් වූයේ නැත; වන්නේද නැත.සිදුවන්නේ රැවටීමට ගන්නා  උත්සාහයන් වඩ වඩාත් විකාරරූපී ස්වරූපයන් ගැනීමය. මහා පරිමාණ වංචාවල් ගණනාවකට මාට්ටු වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී බෙරිහන් දෙමින් කියා  සිටින්නේ තම ජනගඟ කොළඹ නගරය අල්ලා ගෙන සිටි බවත්, ජනපති හා අගමැති නිවාස අඩස්සියේ තබා ගෙන සිටි බවත් ය.එහෙනම්  පැවතී  තිබෙන්නේ පූර්ව විප්ලවීය තත්ත්වයකි!ලේක්හවුස් වටරවුමේ සිට, ඊට කිලෝමීටර් ගණන් දුරින් පිහිටි තැන්වල සිටි ජනපති සහ අගමැති  නිවාස අඩස්සියේ තබා ගැනීම මගින්  මේ වීරයන් රැළ කර ඇත්තේ, ලෝක ඉතිහාසයේ කිසිදු විප්ලවයක දී කළ නොහැකි වූ ආකාරයේ මහා ප්‍රාතිහාර්යයකි! පෙර නොවූ විරූ මේ සා මහා කෙළියකින් පසු , පසු දින උදා වූ මොහොතේ ම සියල්ල නිමවා ගෙදර  යාම  නම්, ඇත්තෙන් ම ''විප්ලවය පාවාදීමකි"! ඊට පසු දින පාර්ලිමේන්තුවට ගොස්, අලුත් ආණ්ඩුව වැඩ පටන් ගැනීම වෙනුවට, බ. ගුණවර්ධන  සහ  හිරේ ඉන්න ජොනියා    හැර අන් එකකුවත් පර්ලිමේන්තුවට නොපැමිණීමෙන්  ඒ බැව් සංකේතවත් විය .  වෙනදා මොකක් හෝ බොරු හේතුවක් දක්වා පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැන ගෙන මහා ගාල ගෝට්ටියක් ඇති කරන මේ නඩය, අර තරම් කෙළියක්  කිරීමෙන් පසු පාර්ලිමේන්තුව පැත්ත පළාතේවත් පැමිණියේ නැත.  අන්තිමේ දී මහා ජන අරගලයේ එකම ප්‍රතිඵලය වූයේ  එය පාර්ලිමේන්තුව තුළට ගෙන ඒමවත්  නො ව ,   ඝණ පූරණයටත් වැඩක් දී, ජොනියා යළි හිර ගෙදරට යාමත් බ. ගුණවර්ධන සිය බංගලාවට යාමත් පමණි . නව ගරු අග්‍රාමාත්‍ය මහින්ද පර්සි රාජපක්ෂ මැතිතුමා බේතකටවත් සොයා ගත නොහැකි වන පරිද්දෙන් අන්තර්ධාන වී සිටියේ ය.

    දෙලක්ෂයක් පැමිණීමේ බොරුව හුදෙක් තර්කය පිණිස පිළිගත්තත්, 47 ලක්ෂයක් ඡන්ද ගත් පක්ෂයකට එපමණ හෝ ඊටත් වඩා වැඩි           ජනකායක් කොලඹට ගෙන ඒමට හැකි වීම මහ කජ්ජක් නො වේ.විශේෂ යෙන් ම, නනත්තාර වී ඇති ආණ්ඩුවක අමු ධනේශ්වර ප්‍රතිපත්තිවල ප්‍ර හාරයන්ට නොකඩවා ගොදුරු වෙමින් ජනතාව පසු වන තත්ත්වයක දී, එසේ ගෙන ඒමට හැකි විය යුතු ම  ය. එහෙත් මෙම ඊනියා ජන බල මෙහෙයුම දියත් කරන ලද්දේ එකදු  සැබෑ ජනතා ප්‍රශ්නයක් හෝ මුල් කර ගෙන නො ව, අන්ත පාරාජිකාවූ පට්ට දූෂිතයන් සහ මිනීමරුවන් රැළකගේ නායකයා අගමැති පුටුවේ ලග්ගවනු පිණිස ය. එය යටි අරමුණක් නොව විවෘත ව ම ප්‍රකාශිත අරමුණ විය.පළාත් පාලන ඡන්දයේ  දී ද කර ගන්නවා යැයි නරිවාදන් දෙඩූ නමුත් ඉටු කර ගත නොහැකි වූ මේ අරමුණ , එම ජනතාව පාරට බස්සවා හෝ ඉටු කර ගැනීමට තටමනු මෙහි දී දක්නට ලැබිණි . එය කරවා ගත හැකි වූයේ ජනාධිපති සිරිසේන ව්‍යවස්ථා -විරෝධී මගකට යොමු කර ගැනීමෙන් පමණි.එය කර ගත හැකි ව තිබුණේ   ,ජන ගඟක්  කොළඹට ගෙන්වා , ඒකාබද්ධයන් කී පරිදි ම කොළඹ වටලෑම මගින් , ජනාධිපතිවරයාට මාර ගැම්මක් ලබා දීම මගින් පමණි. 1964 දෙසැබරයේ දී  ශ්‍රිලනිප-ලසසප සභාග ආණ්ඩුව  රාජාසන කතා විවාදයේ දී පරාජය වූ විට, පාර් ලිමේන්තුව විසුරුවා හැරීමෙන් සිරිමා බණ්ඩාරනායක වළකා ලීම සඳහා ජනතාව මෙසේ පාරට බැස්සවීමට ලසසප නායක දාසයන් වළිකෑවේත් මෙපරිදි ම ය. එස්.බී. දිසානායක බේගල් ඇදබෑමෙහිලා කප් ගසා සිටින බව ඇත්ත  නමුදු , මෙම ජනබල මෙහෙයුමට ජනපතිගේ ද ආශිර්වාදය තිබිණැයි ප්‍රකාශ කරන විට එහි කිසියම් ඇත්තක් ඇතැයි විශ්වාස නො කිරීමට හේතුවක් නොමැත. මහින්ද අගමැති නොකරන බවට 2015 අගෝස්තුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පෙරට ආ ජනපතිවරයා,  මහින්ද අගමැති කරන තෙක් කොළඹ වටලා සිටින බවට ඒකාබද්ධයන් ප්‍රසිද්ධියේ තර්ජනය කරද්දී එයට එරෙහිව වචනයකුදු නොදෙඩීමට වග බලා ගැනීම ද මෙහිලා සැලකිල්ලට ගත යුතු ම ය.ජන ගඟ  සැබෑ ජන ගඟක් වූවා නම්, ඔහු බල්ටිය ගසන්නට බලා සිටියා ද?වටලෑම ජනගඟක් වෙනුවට සෑහෙන  ලොකු චූපාරක් වී, අන්තිමේ ටිකෙන් ටික දියවී රෑ 12.01 ට නිල වශයෙන් ම  අවසන් කරනු ලැබීමත් සමග ම රනිල්ගෙන් චුතවීමේ සිහිනය ඔහු  අත් හැරියාවත් ද? කෙසේ වෙතත්  ඊට පසු දින  ඔහු රනිල් ද සිටිය දී ප්‍රකාශ කළේ  , රාජ්‍ය දේපළ හොරකම් කරන අයට මරණ දඬුවම දිය යුතු බව ය. තම ධුර කාලය අවසන් කිරීමට පෙර ඉන් එකකු හෝ එල්ලා දැමීමට  හැකි වන පරිදි අවශ්‍ය නීති තමාට පණවා දෙන ලෙස එම රනිල්ගෙන් ම ඔහු ඉල්ලා සිටියේ, ජන බල මෙහෙයුමේ මහිමයෙන් චුත කළ නොහැකි වූ රනිල් , ඔහුගේම නීතියක් අනුව නැත්තටම නැති කිරීමට පාර කපා ගැනීමට ද? එස්. බී. ම හෝ ඒ වල්ලේ අන් අයකු  එය ඉදිරියේ දී පහදා දෙනු ඇත.නියමිත දිනයට එක් දිනකට වත් පෙර ජනපතිවරණය නොපවත්වන බවට සියල්ල අවසන් වූ පසු බෙරිහන් දෙමින් කියා පෑමට ජනපතිවරයා "වීරෝදාර"  වූයේ, ජනබල මෙහෙයුම පුස්සක් වූ බැව් සක්සුදක් සේ පහැදිලි වූ නිසා , මහින්ද සමග කසුකුසු කුට්ටම්වලින් පයිසෙක තරම් වැඩක් නැතැයි තීරණය කළ නිසා  ද?

   ජන බලවේග මගින් ආණ්ඩු පෙරළා දැමිය නොහැකි බවට දුමින්ද දිසා නායක, මහින්ද අමරවීර යනාදීන් තෙපර බෑවත් , එය මුළුමණින් ම ඉතිහාසයේ පාඩම් වලට ප්‍රති විරෝධී  කතාවකි . ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් සම්බන්ධයෙන්  ගත් කල මෙහිලා ලෝක ඉතිහාසගත අවස්ථාව වන්නේ, හරියට ම මීට අඩ සියවසකට පෙර, 1968 දී ප්‍රංශයේ හට ගත් ශිෂ්‍ය -කම්කරු මහා ජන අරගලය ය. එහි දී පෙරළා දැමීමට පාර  කැපුණේ  එසේ මෙසේ පාලකයකු නො ව,  මහා බලගතු ජනාධිපති  චාල්ස් ඩිගෝල් ව ය.එකල  එරට සාම්ප්‍රදායික ප්‍රධාන ම විරුද්ධ පක්ෂය වූ ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයේ අමු ද්‍රෝහිකම් ද නොතකමින් මෝදු වූ එම අරගලයෙන් බේරෙනු පිණිස ඩිගෝල් දැරූ මර්දනකාරී සහ පර්ලිමේන්තුමය සියලු ප්‍රයත්නයන් නොතකමින් , එම සටන  ඉදිරියට ගියේ  ඩිගෝල් පාලනය පෙරළීමට මාවත සකසමිනි. එහෙත් , හුදෙක් එක් නායකයකු  ඉවත් කර අන්ත පාරාජිකා වූ මහින්ද වැන්නකු රජ කර වීම වැනි ගෙරිකුණු අරමුණක් වෙනුවෙන් පොදුවේ ජනතාව තබා, ඔහුට ඡන්දය දෙන ජනතාවවත් දස ලක්ෂ සංඛ්‍යාත ව  වීදි නොබසින බව     මෙම ඊනියා ජනබල මෙහෙයුමෙන් යළිත් සනාථ විය.

    පාර්ලිමේන්තු ක්‍රමය කුමන අඩුපාඩු මධ්‍යයේ හෝ ක්‍රියාත්මක වන තත්වයක් තුළ දී  එය උපරීම වශයෙන් ජනතාව බලමුළු ගන්වා ගැනීම සඳහා යොදා ගත යුතු ය. එසේ නොකිරීම හුදු ව්‍යාජ විප්ලවවාදී කට කයිවාරුකාරයන්ගේ මැත දෙඩීමක් වනු ඇත. එහෙත් ජනතාවට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලන බලයක් ස්ථාපිත කර ගත හැක්කේ, ධනේශ්වර පාලක කල්ලි කල් යල් බලා  තම තමන්ට වාසි වන අවස්ථාවන්හි පවත්වන සහ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ධනස්කන්දයන් වැය කරමින්  ද  තමන්ගේ මාධ්‍ය පචමෝල් යොදා ගෙන ජනතාව මහා පරිමාණ ව  රවටමින් ද  පවත්වන  මෙවන්  මැතිවරණයන්ට සීමා වීමෙන් නො ව,   තමන්ගේ සැබෑ ප්‍රශ්න මත දස ලක්ෂ සංඛ්‍යාත ව වීදි බසිමින් පවත්නා පාලන ක්‍රමය බිඳ දමා නව  පාලන ක්‍රමයක් බිහි කර ගනිමින් පමණි.එක පවුලක් රජ කර වීමේ නීච අරමුණ උදෙසා පැවත් වූ ඒකාබද්ධයේ ඊනියා  ජන බල මෙහෙයුම සමග පොදු වූ කිසියම් ම දෙයක් එවන් සැබෑ ජන බල මෙහෙයුමකට නොමැත. 

  *************************************************

         ජනපති සිරිසේන මර්දන පොලු කරට ගනියි!

     මත්ද්‍රව්‍ය වරදකරුවන් වී බන්ධනාගාර තුළ දී ද එය තව දුරටත් කර ගෙන යන අය එල්ලා මරණ බව කියමින්  වැඩ පටන් ගත් ජනාධිපති සිරිසේන , විය යුතුව තිබූ පරිදි ම, එම ගහල කර්තව්‍යය ඉදිරියට ගෙන යාම සඳහා  තවත්  පියවර ගනිමින් ඇත. ඒ අනුව, රාජ්‍ය දේපළ සොරකම් කරන අයට ද මරණ දඬුවම පැණවිය  හැකි වන පරිදි  නව නීති ගෙනෙන ලෙස අගමැතිවරයාගෙන් ප්‍රසිද්ධියේ ම ඉල්ලා සිටියේ ය. සිය ධුර  කාලය අවසන් වීමට පෙර ඉන් එකකු හෝ එල්ල මැරීමට තමාට ඉඩ ලැබෙන පරිදි එම නීති පැණවීම කරන ලෙස ද ඉල්ලමින්  එහිලා තමාට ඇති තදියම ද ඔහු නොවලහා ප්‍රදර්ශනය කළේ ය. මෙවන් දඬුවම් වලින් තොර ලෝකයක් කොයින්දෝ යැයි සිතන ඔහු ඊළඟට අත ගසා ඇත්තේ, නවක වධය දෙන සිසුන්ට එරෙහි වීමේ මුවාවෙන් සරසවි සිසුන්ට එරෙහිව අවි අමෝරා ගැනීම ය. "මුවාවෙන් " යැයි කීවේ , නවක වධයට කිසිදු සම්බන්ධයක් නැති , රුහුණු සරසවියේ විවෘත කිරීමේ උත්සවයකට අදාළ කරුණක් ද ගෙන හැර පෑමේ කරුණ නිසා ය. නවක වදයට එරෙහිව නීති දැනටමත් තිබේ නම් ඒවා ක්‍රියත්මක කරනු මිස, වෙනත් කරුණු ද පටලවා මෙලෙස තර්ජනය කරනු අවශ්‍ය නො වේ. මෙම කතාවෙන් සක්සුදක් සේ පැහැදිලි වනුයේ පසුගිය දා  විජයදාස රාජපක්ෂ  නවක වදයට මුවාවී සරසවි සිසුන්ට කළ තර්ජනය ඔහුගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් අනුව කෙරුණක් ම නො ව , සමස්ත ආණ්ඩුවේ ම සැලසුමක් අනුව කෙරුණක් බව ය.  තමා  රුහුණු සරසවියට යාම වළකා ලීමට   පෙරටුගාමී පක්ෂයේ සිසුන් ගෙන ගියා යැයි සඳහන් කෙරුණු  කරුණු හැර, ජනපතිගේ කතාව විජයදාස ගේ කතාවේ ම කාබන් කොපියක් විය. සරසවි සිසුන් මෙලෙස අඥාන ලෙස ක්‍රියා කළ පළමු අවස්ථාව මෙය  නො වේ. පේරාදෙනිය සරසවියේ නිර්මාතෘ  අයිවර් ජෙනින්ග්ස්ට උපහාර දක්වන අවස්ථාවක් කඩාකප්පල් කිරීමට  වරෙක දැරුණ ප්‍රයත්නය මෙහිලා සුවිශේෂී  ව කැපී පෙනෙයි. එකල අන්තරයේ නායකයන් ව සිටියේ,වත්මන් "පෙරටුගාමීන්" ද  අයත් ව සිටි ජවිපෙයයි. සරසවියේ නිර්මාතෘට  එලෙසින් සැලකුවා නම්, සරසවියක අධ්‍යාපනය නොලැබූ දෙන්නකුට ඔවුන් මෙලෙස විරුද්ධ වීම පුදුමයක් නො වේ. පුදුමය නම්, ජනපති කියන පරිදි, ඔවුන් නොගෙන්වන ලෙස ඉන්දියන් තානාපති කාර්යාලයෙන් ඉල්ලුවා යයි  කියන   පෙරටුගාමීන්, "ඉන්දියානු ව්‍යප්තවාදීන් '' ගේ ආධාරයෙන් එම ශාලාව ගොඩ නගනවාටත්  විරුද්ධ නොවීම ය! ශ්‍රී  ලංකාවේ ජනපති  ඒම වළකාලන ලෙස එම "ව්‍යප්තවාදීන්ගෙන්" ම ඉල්ලා සිටීම ය!!

   කෙසේ වෙතත් , මේ සියලු කරුණු පටලවා ඉදිරි ශිෂ්‍ය සටන්වලට එරෙහිව ජන මතයක් කල් තියා ම ගොඩ නැගීම ආණ්ඩුවේ  සැලැස්ම බව තේරුම් ගත යුතු ය. නවක  වධ සිද්ධීන් උලුප්පා දැමීම මෙහිලා හොඳ ම ක්‍රමය ලෙස සලකනු ලැබේ. මීට වසර කීපයකට ඉහත ශිෂ්‍යාවක් මිය යාමේ සිද්ධියක් මේ ඊයේ පෙරෙදා සිදුවූවක් ලෙස පෙනී යන විලසින් ප්‍රචාරය කිරීමෙන් ඒ බැව් මනාව ඔප්පු වේ. කොහොමටත් මුලිනුපුටා දැමිය යුතුව ඇති නවක වධයට එරෙහි ව ශිෂ්‍ය ප්‍රජාව බුද්ධිමය වශයෙන් පෙළ ගැසීම  සහ ඉදිරියට ඒම වඩාත් දැවෙන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. අන් බොහෝ කරුණුවල දී අධිරාජ්‍යවාදී උරුමයන් ලෙස  ඒවා හෙළා දකිමින්, ඒවා දුරු කර ලිය යුතු යැයි කියන නමුත්, මේවන විටත් මුළුමණින් ම දුරු කොට තිබිය යුතු වූ , සැබැවින් ම අධිරාජ්‍යවාදී  මේ ජරා උරුමය 20 වැනි සියවසින් අඩ සියවසක් කරේ තබා ගෙන ගියා මදිවාට, 21 වැනි සියවස තුළත් කරේ තියා ගෙන යාමට ශිෂ්‍ය ප්‍රජාව ඉඩ දිය යුතු ද? නැතැයි කීම පවා අනවශ්‍ය  ය. එය ඒ තරම්ම් ම පැහැදිලි ය.

  මර්දනය මගින් නොව, ඊට පරිපූර්ණ ව ප්‍රතිවිරුද්ධ ලෙස, මහා බුද්ධිමය   සංවාදයක   තෝතැන්නක් බවට සරසවි  ජාලය ම පත් කිරීම මගින් නවක වධයට සදාකාලිකව තිත තබමු.නවක වධයක් සරසවිවල කොහෙත් ම නැතැයි මවා පෑමට තැත් කිරීමෙන් කාටවත් අත් වන යහපතක් නැත.

============================================  

 

            මෙන්න බොලේ මාර අභිමානවත් සමුළුවක්!



   ඒකාබද්ධයන්ගේ ජනබල පුස්සේ රැස් යන්නටත්  පෙර දකින්නට ලැබුණේ,  රට ආණ්ඩු කරවන යූඇන්පීයේ 72 වැනි "අභිමානවත්" සංවත්සර සමුළුව අමු ම අමු පුස්සක් වීමේ කාලකන්නි දසුන ය.ජනබල මෙහෙයුමට අභියෝගයක් වන පරිදි ශාලාවක් තුළ හෝ ඊට සරිලන ප්‍රතාපවත් බවකින් යුතු සමුළුවක් අපේක්ෂා කළ යූඇන්පී කාරයන්ට දැක ගත හැකි වූයේ එදා මෙදා තුර පැවති කනවැන්දුම් ම, වැහැරුණ  ම  සමුළුව ය.  ඇත්ත වශයෙන් ම මෙය පවත්වා ඇත්තේ ම නොපවත්වා නොසිටිය හැකි නිසා පමණි. ඇති කළා යැයි කියූ ඊනියා  ප්‍රතිසංවිධානයේ  තරම ඉන් මනාව ප්‍රදර්ශනය වුණි.සහභාගි  වූවන් අතර හෝ මොනයම් ම උද්යෝගයක් නොවූ අතර, නායකයෝ ද හැමදා ගසන පම්පෝරිය ගැසුවේ හෝන්දු මාන්දු වූවන් ලෙස ය. මෙය ආණ්ඩු බලය හොබවන පක්ෂයක සමුළුවක් නො ව , එහෙන් මෙහෙන් අහුලා  ගත්තවුන්ගේ වතු රැස්වීමකට වඩා වැඩි දෙයක් නො වී ය.

   කිසිදා ඉවත් නොකළ හැකි එහි ඒක නායක රනිල් වික්‍රමසිංහ    යළිත්  හෙළි කළ පරිදි 2030 දක්වා ම එහි නායකයා ඔහු ය.ඔහු දැන් දෙවෙනි පෙළ නායකයන් හදමින්  සිටියි. මේ බාස් උන්නැහේට ඔවුන් හැදීමට තවත් දශකයකට වැඩි කලක් අවශ්‍ය ය.එසේ වීමට නම් ඔහු මීළඟ ජනපති වරණයෙන් පමණක් නො ව ඊළඟ ජනපතිවරණයෙන් ද ජය ගත යුතු ය.වැඩේ වැරදුනත්, කෙසේ හෝ නායකයා ලෙස සිටිමින් 2025 ද ජනපති අපේක්ෂකයා  වන්නේ ද ඔහු ම  ය. යූඇන්පීයට තවදුරටත්  ඡන්දය දෙන අයට නියම වී ඇති කාලකන්නි  ඉරණම එවන් වේ .2019/2020 දී ඔහු ජය ගත් විට යළිත් යහපාලන පජාතික  ආණ්ඩුව පිහිටුවෙනු ඇත. යූඇන්පී ඡන්දදායකයා යළි ශ්‍රිලනිපයේ පමණක්  නොව පොහොට්ටුවේ ද   අන්ත අවස්ථාවාදී නායකයන් ගේ  ගොදුරු බවට යළි  පත් වනු ඇත. 

  දන් රැවටුනා  හොඳට ම ඇති යැයි කියා යූඇන්පීයට ඡන්දය දුන් සාමාන්‍ය ජනතාව ද   යූඇන්පීයෙන් ඉවත් ව, මේ තුන් ගොල්ලාට ම එරෙහි ව  නව මගකට පිවිසීමට දැන් කාලය එළඹ  ඇත. 

################################################## 


             පළමු කට්ටිය එල්ලා මැරීම ඉම්රාන් ඛාන්ට !

   මරණ දඬුවම  නියමවූ පසුත් බන්ධනාගාරයේ සිට මත් ද්‍රව්‍ය   ජාවාරමේ යෙදෙන අය එල්ලා  මරණ බවත් කවුරු කීවත් එය අත් නොහරින බවත් මුල දී කියා  සිටි ජනපති සිරිසේන මෑතක දී කියා සිටියේ අදාළ ලැයිස්තුවේ මුලින් ම සිටින්නේ පකිස්තාන් ජාතිකයන් පස් දෙනකු බවත් ඔවුන් පකිස්තානයට භාර දීමට එරට බලධාරීන් සමග දැනට සාකච්ඡා පවත්වමින් සිටින් බවත් ය. ඒ අනුව ඔවුන් මරා දැමීමේ වගකීමෙන් ඔහු මිදෙන අතර එය පකිස්තානු අගමැති ඉම්රාන්  ඛාන්ට  පැවරෙනු ඇත. හයක් ම සිටියා නම් ඉම්රාන් ට සුපුරුදු පරිදි හයේ පාරකින් ම වැඩේ පටන් ගන්නට ඉඩ තිබිණ. කෙසේ වෙතත්, ජනපති සිරිසේනට   එවිට සිදු වනු ඇත්තේ ලැයිස්තුවේ ඊළඟට  සිටින අය වන කාන්තාවන් ව   එල්ලා මැරීමට ය. ඒ අනුව, මරණ දඬුවම අහෝසි කිරීමට ලෝකය ගමන් ගනිමින් තිබිය දී , එය පයිසෙකටවත් නොතකා , කාන්තාවන්ගෙන් ම එම කාර්යය පටන් ගැනීමට   ක්‍රියා කළ ප්‍රථම සිංහල තෙම්පරාදු බෞද්ධ රාජ්‍ය නායකයා   ලෙස ඉතිහාස ගතවීමේ අවස්ථාව ඔහුට හිමි වනු ඇත. එය චතුරාර්ය සත්‍යයට ට ද අනුකූල යැයි වදාරා එතුමා තව තවත් දිරිමත් කිරීමට කිසියම් ධර්මධර වහන්සේ නමක් මෙසේ ජාතක පොත් වහන්සේ උපුටා දැක්වීමට පෙරට ඒමට ද ඉඩ ඇත.

    "ස්ත්‍රී නම් බඩ ඇතුලේ ලා ගෙන ඇවිද්දත් රක්නට නොපිළිවන.මේ ලෝකයෙහි එක පුරුෂයකු පතා පතිවෘතා ධර්මය රක්ෂා  කරන්නා වූ ස්ත්‍රියක් නැත... එසේ හෙයින් මේ ලෝකයෙහි ස්ත්‍රීහු නම් මෙසේ අධර් මයෙන් සමන්විතයෝ ය. ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ මෙසේ ස්ත්‍රීහු නම් රැකිය නොහැකි සත්ත්ව කෙනෙකැයි මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා චතුරර්ය සත්‍යය ප්‍රකාශ කොට වදාළ සේක" (අන්ධභූත ජාතකය - ජාතක පොත් වහන්සේ) 

    ස්ත්‍රීන් පොදු වේ එසේ වන කල, මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අය ගැන කියනුම කවරේ ද?

***************************************************

         රුපියලට යන කලක්! මහ බැංකුව බුදි !!

 මෛත්‍රී- රනිල් ආණ්ඩුව ආර්ථිකයේ සිදුවන මහා සංවර්ධනය ගැන හැටට හැටේ සුරංගනා කතා ගොතමින් රට වටේ යද්දී,  ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල අන්තයට ම බාල්දු වෙමින් ඇත.  දැන් එය  රුපියල් 164 ද ඉක්මවා ඇත.රුපියල ශක්තිමත් ව  පවත්වා ගෙන යාම ශ්‍රී ලංකා මහ බැංකුව සතු මූලික කර්තව්‍යයක් වුවත්, පෙනී යන්නේ  එයට ඒ ගැන වගේ වගක් නැති බව ය. ඊටීඅයි ආයතනය කඩා වැටෙන තෙක් කට බලියා ගෙන සිටියාක් මෙන් ම මෙහිදී  ද මහ බැංකුව කට බලියා ගෙන සිටියි. මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ කර්තව්‍යය  වනුයේ ආණ්ඩුව වෙනුවෙන් හූ මිටි තැබීම නො ව , ආණ්ඩුව වැරදි පාරේ යන විට එය පෙන්වා  දී , ගත යුතු යැයි තමන් අනුදන්නා මාවත නිර්දේශ කිරීම ය. එවැන්නක් කරන බවක් නම් නොපෙනේ. තවමත් කරන්නේ අජිත් නිවාඩ් කබ්‍රාල් ගේ  ආණ්ඩුවට පන්දම ඇල්ලීමේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාම ය.වෙනසකට ඇත්තේ කබ්‍රාල් මහ බැංකු අධිපති තනතුර සඳහා කිසිදු අධ්‍යාපනික හෝ වෘත්තීමය හෝ සුදුසුකමක්  නොමැති හුදු මහින්දවාදී ඇම්බැට්ස්මන් කෙනකු වීම සහ කුමාරස්වාමි ඒ දෙක ම සහිත අයකු වීමත් පමණි.රුපියලට සිදුවන මේ හදිය  සම්බන්ධයෙන් ඔහුගේ වකීම් රහිත ක්‍රියා කලාපය වඩාත් වගකීම් විරහිත වන්නේ එනිසා ය.

    ඩොලරය ගැන කවුරුත් දන්නා දේ පුනරුච්චාරණය කරමින් සිය ආර්ථි ක විද්‍යාඥභාවය ප්‍රදර්ශනය කිරීමට වළිකන බන්දුල ගුණවර්ධනට, රුපියල කෙළින් කිරීමේ එක ම ක්‍රමය මහින්ද මහරජා යළි සිහසුන්ගත කිරීම ය! හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං ට ලැබුණා යැයි මොහු වරක්  කී , ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් සම්මානය (බ.ගු.ගේ "ඇතුලාන්තය  " පොත -පිට 63 ) මොහුටත් ලබා දීමට එම "ආර්ථික විද්‍යා විසඳුම"තුඩු දිය හැක! මහින්ද යටතේත් මෙලෙසින් ම  රුපියල මස්තබාල්දු වූ හැටි  මොහු සඟවයි.මොවුන් සියලු දෙනා ම රුපියල මේ මට්ටමෙහි හෝ පවත්වා ගෙන යන්නේ, ආර්ථිකයෙහි දවැන්ත සංවර්ධනයක් තුළින් අපනයන ආදායම වැඩිකර  ගැනීම  සහ අනවශ්‍ය ආනයන වියදම් කපා හරිමින් ආනයනයන් කළමනාකරණය කර ගැනීම මගින් නො ව, විදේශ සේවා නියුක්තිකයන් එවන බිලියන ගණන් මුදල් සහ රට උගස් කරමින් ගන්නා කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ණය මුදල් මගිනි.

(((((((((((((((((((((((((((((((((((((()))))))))))))))))))))))))))))))))))))))))

           චීනය  ඩොලර් බිලියන 60 ට  අප්‍රිකාව  ගිල ගනියි!

    තවමත් කොමියුනිස්ට් ධජයට මුවා වී  ධනේශ්වර වර්ධන මාවත ඔස්සේ හැටට හැටේ දිව  යන චීන පාලකයෝ , පසුගිය දා එම මාවතේ අති දැවන්ත පියවරක්  තැබූහ. ඒ, අප්‍රිකාවේ රටවල් 53 ක රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන්  පැවැත් වූ සමුළුවක් මගිනි. එහි දී එම සියලු රටවලට ඇමරිකානු ඩොලර්  බිලියන  60 ක් (කෝටි 6000ක්) ණය සහ ආධාර වශයෙන් දීමට ප්‍රතිඥා  දීම මගිනි. කිසිදු වියදමකින් තොර ව මෙලෙස මුළුමහත් මහාද්වීපයක්  ම එක වැරෙන් එක් රටකට   තම ග්‍රහණයට ගැනීමට හැකි වීම ලෝක ඉතිහාසයේ පළමු වරට දක්නට ලැබුණේ  මෙවර ය. අප්‍රිකානු මහාද්වීපය සියතට ගැනීම සඳහා  විවිධ බටහිර රටවල් 19 වැනි සියවසේ දී ගෙන යනු ලැබූ වැඩ පිළිවෙල හැඳින්වෙන්නේ "අප්‍රිකාව සඳහා පොරකෑම"  ( Scramble for Africa) ලෙසය. තම තමන් අතරත්, ස්වදේශික අප්‍රිකානුවන් සමගත් සිදු වූ එම පොරකෑම දෙපාර්ශ්වයේ  ම ලේ ගංගාවන්ගෙන් අප්‍රිකානු     මහාද්වීපය    තෙත්  කළේ ය. යටත් කරනු ලැබූ එම  භුමිය රටවල් ගණනවකට කඩනු ලැබ, ඉන්පසු ලේ වැකි අධිරාජ්‍ය-විරෝධී සටන් මගින් දේශපාලන ස්වාධීනත්වය අත්පත් කර ගෙන, මූලික වශයෙන් ම සිය යටත් විජිත ස්වාමීන් සමග වූ විශේෂ සබඳතාවකින් යුතු ව  ධනේශ්වර සංවර්ධන මාවතට අවතීර්ණ වී තිබිණ. සමහර රටවල් සෝවියට් සංගමය සමග සම්බන්ධ වී සමාජවාදී සළුපිළි ද පැළඳ ගෙන ද  තිබිණ. එහෙත් කිසිදු බලවතකුට කිසිදා  මේ සියලු රටවල් එක අහුරට සියතට ගත  නොහැකි විය.චීනය සිය ඩොලර් බිලියන 60 ද සමගින් එම කර්තව්‍යය මස්තක  ප්‍රාප්ත කර  ගන්නේ මේ තත්ත්වය තුළ ය.

    සිය දැවැන්ත කාර්මිකකරණය දිගට ම පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය නොකඩවා සපයා ගැනීමේ පිපාසාවෙන් පෙළෙන චීනයට මෙම මුදල සුළු දෙයකි.දනටමත් තනි තනි රටවල් සමග ගසා ඇති ගිවිසුම් අනුව චීනය එම රටවල අමුද්‍රව්‍ය විශාල වශයෙන් ලබා ගනිමින් සිටියි. නිදසුනක් ලෙස, මොසැම්බික් රටේ කැලෑ වනසමින්  නීති විරෝධී ව කෙරෙන  දැව අපනයනයෙන් සියයට 40 ක් ම යන්නේ චීනයට ය. නව ණය සහ ආධාර  හා සමගින්  මුළු අපිකානු මහාද්වීපය ම විවිධාකාර ක්‍රම මගින් චීනයේ ග්‍රහණයට හසු වීම වැළැක්විය නොහැක.අති විශාල වශයෙන් අතිශය වටිනා ස්වාභාවික සම්පත් පවතින්නේ වී නමුදු, අධිරාජ්‍යවාදී සූරාකෑම්වලට අමතරව සහ එම රටවල පාලකයන්ගේ (මොවුන්ගෙන් වැඩිහරියක් ම අන්ත ඒකාධිපතියන් ය) අන්ත දූෂිත පාලනයන් හේතු කොට ගෙන කිව නොහැකි තරම් ආර්ථික සහ දේශපාලනික පීඩනයක සිටින ඒ රටවලට  ජනතාවට විශේෂ සුගතියක්  මෙම චීන  මුදල් වලින් අත්වන්නේ නැත. නිදසුනක් ලෙස තෙල් සම්පත්වලින් පොහොසත් නයිජීරියාවේ  ජනතාව අන්ත දුගීභාවයේ සිටීම ගෙනහැර දැක්විය හැක. මේ චීන සබඳතාවන්ගේ අනිවාර්ය ප්‍රතිඵල අතරින් එකක් වනු ඇත්තේ, දැනටමත් ලෝකයේ කොතැනක හෝ සිටින ඒකාධිපතියන්ගේ මානව විරෝධී ක්‍රියා කලාපයන්හි දී, රුසියාවට අමතරව ඔවුන්ගේ පිහිටට සහතික වශයෙන් ම සිටින අනෙක් බලවතා වන චීනය, සිය ආර්ථික ප්‍රතිලාභයන් උදෙසා වඩාත් ප්‍රබල ලෙස ඉදිරියේ දී  ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම ය.

   චීන ජනතාවමත් සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අහිමි කරනු ලැබ සිටින වත්මන් චීන පාලකයන් වෙතින් අප්‍රිකාවේ  ජනතාවට එම අයිතීන් දිනා ගැනීමට හෝ රැක ගැනීමට හෝ මොනයිම් ම අනුබලයක්  නොලැබෙන බව අවබෝධ කර ගැනීමට කිසිවකුටත් අමුතු ඥානයක් අවශ්‍ය නො වේ. චින නායක ෂී ජින්පින්  සිය ජීවිත කාලයට ම නායකයා බවට පත් වූයේ මේ මෑතක දී ය. එහෙව් අයකුගෙන් අන් රටවල ජනතාවන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීමෙහිලා නායකත්වයක් තබා අබමල් රේණුවක හෝ අනුබලයක් ලැබේ නම් , ඉබ්බන්ගෙන් පිහාටු දෙක දෙක ලබා ගත හැකි වනු ඇත. බටහිර යටත් විජිතකරණය තුළ දී, ඔවුන්ගේ සියලු අපරාධයන් එසේ ම තිබිය දී, එම  බටහිර රටවල ජනතාවන් සිය රටවල  පාලකයන්ට   එරෙහි ව කරන ලද සටන්වලින් දිනා  ගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ සම්ප්‍රදායයන් යටත් රටවලට ද කාන්දු වූ නමුත්, මූල්‍ය ප්‍රාග්ධනය  සර්වාධිපති ව ඇති මේ යුගයේ දී , ඊට අනුකූල ව සිදු වන   චීනයේ අලුත් ම මාදිලියේ යටත් විජිතකරණයේ දී එම රටවලට  කාන්දු වනු ඇත්තේ චීන පාලන ක්‍රමයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී  ක්‍රම සහ සම්ප්‍රදායයන් පමණි.අප්‍රිකානු ඒකාධිපතියන්ගේ ක්‍රම ද සංයෝගී කර ගනිමින්  වර්ධනය වීමට නියමිත චීන පාලකයන්ගේ ඒකාධිපති ක්‍රමයට එරෙහිව යාමෙන් තොර ව, චීන ජනතාවට  මෙන් ම අප්‍රිකානු ජනතාවට ද ජීවත් වීමට සිදු වනු ඇත්තේ පාලකයන්ගේ වහලුන් ලෙස පමණි.ඉන් ගැලවිය හැක්කේ සකලවිධ අධිරාජ්‍යවාදයකට ම එරෙහි ව කෙරෙන සටන්  මගින් පමණි.

*************************************************** 

            ඩොනල්ඩ් ට්‍රම්ප් නැට්ටට ම හිරවෙන හැඩයි!  

    මුළු ලොවට ම වාතයක් වී ඇති  ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාතයක් වීඇත්තේ අන් කවරුන්ටත් වඩා ඔහු ලඟින් ම සිටින ඔහුගේ බැටෑලියන් එක ය. මේ වන විටත්  ඔහු ව අත්හැර ගොස් සිටින ඔහුගේ ළඟ ම ප්‍රධානීන්  ගණන 17ක් වන අතර , අලුත් ම සිද්ධිය වන්නේ  ඔහුගෙන් රටට  සිදු වෙමින් ඇති හානිය ගැන කියමින්, එය වළක්වා ගැනීම සඳහා පමණක්  තවදුරටත් ඔහු සමග සිටීමට තීරණය කර ඇතැ යි කියන ප්‍රධානින්ගෙන් එකකු 'නිව් යෝක් ටයිම්ස්" පුවත් පතට ලියා  ඇති නිර්නාමික කතුවැකියකි. චීන ගනුදෙනුව ගැන කෙරුණ අනාවරණයකින් යන එන මං  නැතිවූ රාජපක්ෂ කල්ලිය  එම පුවත් පතට කෙළ වන තෙක් බලා සිටිය හැකි නමුත් , මෙම නිර්නාමික ලිපිය කතුවැකියක් ලෙස පළ වීම නිසා ට්‍රම්ප් ඉමහත් කලබලයට පත් ව ඇත.තම තමන් එසේ නොලියූ බවට ප්‍රකාශ නිකුත් කිරීමට ඔහුගේ සමීපතමයන්ට බල කෙරී ඇත්තේ, රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයාට එරෙහි දෝෂභියෝගය   ඉදිරිපත් වූ විට දිවුරුම් පෙත්සම් දීමට අදාළ මන්ත්‍රීවරුන් ට සිදුවීම සහ පාර්ලිමේන්තු පඩි පෙළ මත  වාඩි වී ජනපති සමග පොටෝ ගැනීමට සිදු වූ ආකාරය සිහි ගන්වමිනි. කතුවැකිය ලියූ තැනැත්තා හෙළි කරන ලෙස පුවත් පතට අභියෝග  කරන අතර ම එසේ ලිවීම "රාජද්‍රෝහී "(Treason) ක්‍රියාවක් ලෙස හැඳි න්වීමට පවා ඔහු ඉදිරිපත් ව ඇත. එහෙත් කොරේ පිටට මරේ කීවාක් මෙන් , ට්‍රම්ප්ට දෙහි කපමින් ඔහුගේ සමීපතම සගයන් කර ඇතැයි කියන ප්‍රකාශ කීපයක් අඩංගු පොතක් ද මේ අතර   ම පළ වීම නිසා ඔහු තවත් අපහසුවට පත් ව ඇත. එම පොත ලියා ඇත්තේ රිචඩ් නික්සන්ට ජනපති තනතුර අත්හැර යාමට සිද්ධ කළ වෝටගේට් සිද්ධිය අනාවරණය කිරීමෙහිලා පෙරමුණ ගත් බොබ් වුඩ්ව්ඩ්  නමැති මාධ්‍යවේදියා ය.ඔහුගේ සත්‍යවාදීත්වය ගැන එරට ජනතාව තුළ තිබෙන පිළිගැනීම නිසා  ට්‍රම්ප්ට කළ හැකිව තිබෙන්නේ, ඔහු ප්‍රසිද්ධිය සහ මුදල් හඹා යන අයකු බව කියමින් පරිභව කිරීම පමණි. දැනටමත් හෙළිවී ඇති ට්‍රම්ප්ගේ පෞද් ගලික පැටිකිරිය හමුවේ  මෙම ගැරහීම්වලින් කිසි ම ප්‍රයෝජනයක් අත් නොවනු ඇත. 

 මේ අතර  එෆ්බීඅයි  පොලිසියට බොරු  කීම හේතුවෙන් ට්‍රම්ප්ගේ තවත්  ප්‍රධානියකුට සති දෙකක සිර දඬුවමක් නියම වී  ඇත.මේ සියල්ල වෙනතක යොමු කිරීම සඳහා  ඔහු වෙනත් විනාශකාරී ක්‍රියාවක නිරත වීමට හොඳට ම ඉඩ ඇත. සිරියාවේ සිදුවන රුසියානු-ඉරාන සහාය ලත් අසාද් ගේ අවසන් ප්‍රහාරයේ දී, රසායනික අවි ප්‍රහාරයක් එල්ල වෙතැයි කියමින් එයට එරෙහි ව ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇතත්, මොහුගේ අරපයිත්තියන් කෙළි නිසා අන්ද මන්ද ව සිටින බ්‍රිතාන්‍යය,ප්‍රංශය  හෝ වෙනත් රටක් එයට එක් වීමට ඇති ඉඩකඩ මඳ ය.ඇත්ත වශයෙන් ම මොහුගේ ආරක්ෂණවාදී බදු ප්‍රතිපත්තිය නිසා බොහෝ රටවල් සිටින්නේ මොන යම් ක්‍රමයකින් හෝ මොහුට කෙළ වෙන තෙක් ය. චීනය, ඉරා නය  වැනි රටවල් ඉවසා ගෙන සිටින්නේ නොවැම්බර්යේ පැවැත්වෙන කොන්ග්‍රස් මණ්ඩල ඡන්ද විමසීමේ දී මොහුගේ බලය හීන වෙන තෙක් ය. මේ අතර  වෙනිසුඑලිනියානු ජනපති  නිකොලස් මදුරෝ  ඝාතනය කිරීමට වූ ට්‍රම්ප්ගේ සැලසුමක් ද දැන් අනාවරණය වෙමින් ඇත.ඇමරිකන් ජනපතිවරුන් සම්බන්ධයෙන් ගත් කල, තමන් අකැමති  විදේශ නායකය න්   ඝාතනය කිරීමේ  සැලසුම් අලුත් දේ නො වේ. එහෙත් මෙහිලා විශේ ෂය වන්නේ, මේවා  හෙළිදරව් වන්නේ  වෙනත් කරුණු නිසා පඹ ගාලක ඇමරිකන් ජනපතිවරයා ම පැටළී තිබෙන තත්ත්වයක් තුළ දී වීම ය. 

 


Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS