2018 සැප්තැම්බර් 16                                                 කලාපය 11

 

          විසිවෙනි සංශෝධන මංමුලාව අත් හරිව්!

     තුන්කට්ටුවට එරෙහි නව මාවතකට පිවිසෙව්!

 

    නියමිත දිනයට එක දිනකටවත් පෙරාතුව ජනපතිවරණය නො පැවැත්වෙන බවට ජනපති සිරිසේන කළ ගෝරනාඩුවෙන් පසු ජනපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ඉස්පාසුවක් ලබා ගත් අනෙක් පක්ෂවල නායකකාරකාදීහු, සිය සුපුරුදු  බේගල් ප්‍රචාරයන් වඩාත් මහා පරිමාණ ව ගෙන යාමට පටන් ගෙන ඇත. කිරි පැකට්, කුණු කජු, කුමන්ත්‍රණ යනාදී ඔල්මොරොන්දන් කතාවලින් ජනතාව අන්ද මන්ද කරමින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යට ගසමින් එතෙක් කාලය කෑම  හැර අන් කිසිවක් මොවුන්ගෙන් බලාපොරොත්තු නොවීමට ජනතාව වග බලා ගත යුතු ය.ජනපති සිංහ වෙස් මවා ගෙන හුදෙක් තම තනතුරේ බල මහිමයෙන් කරන ප්‍රකාශවලට අත් වන කලදසාව ඕනෑවටත් වඩා හොඳින් දන්නා ජනතාව 2018 ජනවාරි  8 න් පසු ඕනෑ ම මොහොතක ජනපතිවරණය පවැත්විය හැක්කේය යන පදනම මත , එහිදී මොවුන් තුන් කුට්ටම ම අතුගා දැමීම සඳහා දැන් සිට ම සිය කටයුතු සූදානම් කර ගත යුතු ය.  ඊනියා විසිවැනි සංශෝධනයක් මගින් මේ නායකයන් ගේ , විශෙෂයෙන් ම සිරිසේනගේ උභතෝකෝටිකය විසඳීමට ජනතා විමුක්ති පෙරමුණ ගන්නා මංමුලා සහගත ද්‍රෝහී ප්‍රයත්නය වෙනුවෙන් කාලය කා දැමිය හැක්කේ ,  ධනේශ්වර පංතියට ටොපේ ටොප් ව්‍යවස්ථාවක් අටවා දී ඉතිහාස ගත වීමට අමුඩ ගසන, එනමුදු වසර තුනකට අධික කාලයක් තැටමීමෙන් පසුත්  එවැන්නක කෙටුම්පතක්වත්  වැදීමට නොහැකි ව සිටින ජයම්පති වික්‍රමරත්න ප්‍රධාන ව්‍යවස්ථා ඇට්ටරයන්ට පමණි.මේ ව්‍යවස්ථාවවත්  ඊනියා  විසිවැනි සංශෝධනයවත් සම්මත නොවන බව ඉර හඳ සේ ස්ථිර ය .විධායක ජනපති තනතුර ඉවත් කිරීමට ඉතසිතින් මේ මොහොතේ සහාය දෙන එක ම  නායකයා (ජවිපෙ නයකයා හැරුණ විට) මීළඟ ජනපතිවරණයේ දී බින්දුවටම හුළං  බසින මෛත්‍රීපාල සිරිසේන පමණි.ඉදිරියේ දී බලවතා  ජනපති නො ව අගමැති බවත් ඒ සඳහා තෝරා ගත යුතු පුද්ගලයා සතු විය යුතු සුදුකම්  අහවල් අහවල් දේ බවත් සඳහන් කරමින් පසුගිය දා අර්ථයෙන් ධර්මයෙන් එතුමා අනුශසනා කළේ ඒ අනුව ය. ජනපති අපේක්ෂකත්වය පිළිබඳ ප්‍රශ්නය නිසා තෙමේ ද  බලගතු පවුල් අර්බුදයකට මැදිව සිටිය ද, විධායයක තනතුරේ  අමෘත පානීය රස අතැඹු ලක් සේ දන්නා හෙයින් මහරජ මහින්ද සඳ මොනයම් ලෙසකින්වත් එය ගිලිහී යාමට ඉඩ නොදෙන්නේ ය. 

   ඒ  අනුව   විසිවැනි සංශෝධනය කරේ තියාගෙන යාමෙන් මෙකී කල්ලි තුනට ම එරෙහිව ඉදිරියට යන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට මුහුණ දී ඇති කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිත ජන කොටස්වලට අබමල් රේණුවක ප්‍රයෝජනයක් අත් නො වන්නේ ය.එය වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම කාලකන්නි ව්‍යාපෘතියකි. උපරීම ව ඉතිරිව ඇති දින ගණන නිශ්චිත ව තිබිය දී එසේ  අපතේ යැවිය හැකි එකදු දිනයක්වත් නැත.අප දිගින් දිගට ම වෙහෙස නො බලා අවධරණය කර ඇති පරිදි , දැන් උදාව ඇත්තේ මීට පෙර තිබූ , "සැඩ පහරට එරෙහිව යාමේ " තත්ත්වයක් නොව, සැඩ පහර සමග යමින් එය අවශ්‍ය  මාවතට යොමු කර ගැනීමේ තත්ත්වයකි.ගත වන දිනක් දිනක් පාසා, ගත වන මොහොතක් මොහොතක් පාසා , මේ තක්කඩි තුන් කට්ටුව  කරන්නේත් , කරනු ඇත්තේත් , අපි කැපුවත් කොළ, නිල් , රතු යනාදී වශයෙන් අඥාන ලෙස කියමින් ඒ ඒ පක්ෂ කරන සකළවිධ නොසන්ඩාලකම් නොතකමින්   ඒවා පසු පස දීන ලෙස බඩ ගාන අය හැර, අන් සියලු  ජනතාව ම  ප්‍රකෝපයට පත් කරන ප්‍රකාශයන් ය; ක්‍රියාවන් ය. මොවුන් මේවා  කියන්නේ ,කරන්නේ  තමන් මොනවා කළත් , මොනවා කීවත්  තමන් බලයට පත් කිරීමට ඩම් දා ගෙන වැඩ කිරීම  හැර අන් කිසිවක්  නොකරන තරමට සිය අනුගාමිකයන්  අඥානයන් යැයි ඔවුන් තරයේ විශ්වාස  කරන නිසා ය. නිදසුනක් ලෙස, තම පුත්‍රයාට තම නියමිත වයස නැති නිසා  තම සහෝදරයකු  ජනපති අපේක්ෂක  ධුරයට ඉදිරිපත් කරන  බව මහින්ද මහරජ ඉන්දියාවේ දී වැදෑරූ කල , මොලේ කළඳක් හෝ ඇති ඒකාබද්ධයේ ඕනෑ ම අයෙකුට, රාජපක්ෂලාගේ ග්‍රහණයෙන් මේ සම්ම ජාතියේ තමන්ට ගැලවීමක් නැති බව තේරුම් යන බව ඔහු දැන සිටිය ද, ඔහු එය කීමට පොඩිත්තක්වත් අදිමදි නොකළේ , ස්වකීය දාසයන් ගේ දීනත්වයේ තරම ඔහු මනාව දන්නා නිසා ය.  

   විසිවැනි සංශෝධනය සම්මත නො වුන හොත්  තමන්ගේ අපේක්ෂකයකු දමන බවට ජවිපෙ කරන ප්‍රකාශය විහිළුසහගත ය.එවන් තර්ජනයක් මගින් එම සංශෝධනය සම්මත කරවා  ගත හැකි වේ යැයි ජවිපෙ සිතනවා විය යුතු ය.මෙවන් මනෝ විකාරයන් මගින් ඉතිරි ව ඇති කාලයත් පෙර පරිදි ම කා දැමීම වෙනුවට , පවතින  දේශපාලන තත්ත්වය උඩි යටිකුරු කරන ක්‍රියා මාර්ගයක් සකසා ගනිමින් , එහි දී මතුවන බරපතළ ප්‍රායෝගික  ප්‍රශ්න විසඳා ගැනීම වෙත  පූර්ණ අවධානය යොමු කළ යුතු ව ඇත.එසේ නො කළ හොත් සිදු වනු ඇත්තේ, තම පක්ෂයේ අපේක්ෂකයකු ඉදිරිපත් කොට ඔහුට සහාය දෙන ලෙස ඉල්ලා සිටින ප්‍රකාශයක්  ප්‍රකට පුද්ගලයන් තොගයකගේ අත්සන් සහිත ව   දැන්වීම් ලෙස  පළ කිරීම හෝ තම සිත් සතන් තුළ සඟවා ගෙන සිටින් "පොදු අපේක්ෂකයකු" අන්තිම මොහොතේ එළියට දමා  මෛත්‍රීපාල සිරිසේනගෙන් කෑ සහ කමින් සිටින  පරිප්පුව මීළඟ ජනපතිවරණයෙන් පසු කෑමට මාවත පාදා ගැනීම හෝ පමණි.

  *************************************************  


                                  මහින්දගේ ඉන්දීය සංචාරය

   ජනපති හෝ අගමැති හෝ විදේශ සංචාරයකට සහභාගී වීමෙන් පසු තමා ද විදේශ සංචාරයක් කෙසේ හෝ අටවා ගෙන තමාගේ ආනුභාවය සිය අඳ අනුගාමිකයන් හමුවේ ගෙන හැර පාමින් ස්වයං වින්දනයක යෙදීම පුරුද්දක් බවට පත් කර ගෙන ඇති මහරජ මහින්ද රාජපක්ෂ පසුගියදා ඉන්දියාවට සැපත් වූයේ ය. පසුගිය කාලය පුරාවට ඔහුගේ ඉන්දීය ඒජන්තයකු ලෙස ක්‍රියා කළ අයකු  ලවා අටවා ගත් දේශනයක මුවාවෙන් මේ සංචාරයට පාර කපා ගත්    මහින්ද මහරජ ඒකාබද්ධයේ අන් අයකු නොව , පසුගියදා "ජනබල මෙහෙයුමක් කර අන්තයට ම නෝන්ඩි වූ නාමල් රාජපක්ෂ නම් වූ සිය වැඩිමල් පුත්‍ර රත්නය ද (රත්නයක් නොව සුප්‍රකට මැට්ටෙකි ) රැගෙන  යාමට අමතක නො කළේ ය.ඒ අනාගත විදේශ ඇමති තනතුර සඳහා වන පුහුණුව යළි රීකන්ඩිෂන් කර ගැනීමට ඔහුට පහසුකම් සැලසීමටත් (මහින්ද මහරජකම හොබවන අවධියේඩී මේ පුහුණුව ලබා දීම සඳහ ඔහු ව  ලෝ වටටා ගෙන ගියේ ජී.එල්.පීරිස් විදේශ ඇමතිවරයා ය.) ඉන්දීය අගමැතිවරයාට ඔහු වඩාත් සමීප කිරීමටත් ය. සිය ගෝත්‍රික සාටකයෙන්  විභූෂිත ව මෝදි මැදි කර ගත්  (ඔහුටත් සාටක කබලක් පෙරෙව්වා නම් මාර ය.)  පපුව පෙරට දමා ගෙන සිටින රාජකීය  පොටෝ  එකක් මාධ්‍යවලට අමතක නොකර නිකුත් කර ඇත.

   පිය-පුතු දෙපළගේ සංචාරයෙන් අතුරු වාසිදායක ප්‍රතිඵලයක් අත්ව ඇත. එනම් , මීළඟ ජනපතිවරණයේ දී  පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස  නාමල් නම් නොකරනුයේ , ඔහු තවමත් නිසි වයස නොඑළඹුණ අර නාමල් බේබි ම වන නිසා ය. නැති නම් උන්දෑ  හැර අන් කවරෙක් ද? ඒ අනුව , පත් කරන්නේ කවරකුදැයි විමසූ කල,  ඒ තම සහෝදරයකු බව කියන අතර ම, අවශ්‍යයෙන් ම එසේ නොවන්නේ යැයි කියා ඇඟ බේරා ගැනීමට ද හේ ප්‍රවේසම් විය. එහෙත් ඔහු කියන්නේ  ගෝඨාභය ගැන බව සිය බලු ඉවෙන් සහසුද්දෙන් ම  ම දැන ගත් ගම්මන්පිල, එම තේරීම  කිරීම ගැන සිය වහල් හිමියාට තුති පුද කළේ ය.

   මෙම ප්‍රකාශයන් අලුත් ම අලුත් පුවත් ලෙස හුවා දැක්වීමට මෙරට තුට්ටුවක් නොවටිනා මාධ්‍ය පෙරට ආව ද , මැදමූලන රාජපක්ෂ වලව්වේ වංචනික මිනීමරු පවුල්වාදී පැටිකිරිය දන්නා කිසිවකුටත් මේවා කිසිසේත් ම අලුත් ආරංචි නො වේ. "අවශ්‍යයෙන් ම එසේ  නො වේ " යන වචන  වචන යෙදුවේ   බොරුවට බව සැඟවීමට, අවුරුදු තුනක් ම යූඇන්පී ආන්ඩුවේ ලැග සිටි  ව්‍යජ යුඇන්පී-විරොධී  පිළිකුල් කටයුතු ඩිලාන් පෙරේරා  කෙතරම් තැටමුව ද,අපෙක්ෂකයා රාජපක්ෂ පවුලේ අයකු මිස අන් අයකු නොවන බව අන්ත ම  අන්ත මෝඩ රාළ පවා දන්නා කරුණකි. ඊට වඩා වෙනස් දෙයක් වීමට දශමයක තරම්වත් ඉඩක් නැති නමුත්, හුදෙක් තර්කය පිණිස එවැන්නක් සිදු වෙතැයි සිතා ගත්තත්, එහි එක ම ප්‍රතිඵලය වනු ඇත්තේ  ශෛලමය අත්තිවාරමකින් යුතු වූවක් ලෙස මවා පෙන්වන රාජපක්ෂ පවුල ම ගල් බෝරයක් දැමූ කලෙක මෙන් කුඩේ කුඩු වී යාම ය. හරියට ම, මහා ගල් පිළිමයක් ලෙස හුවා දැක්වුණ මහින්ද පර්සි රාජපක්ෂ නිකම් ම නිකම් බොල්ම බොල් පිළිමයක් පමණක්  බව 2015 ජනවාරි 8 දා  ලොවට නිට්ටාවට ම අනාවරණය වූ පරිදි ම ය. 

   ඒ  අනුව "රාජපක්ෂලාට කඩේ නො යන්නෙමි "යැයි මතුගම වෙල්ගම කරන "සිංහාවලෝකනයන්" , ඔහු ම කලෙකට පෙර කී "ඔහුගේ මුතුන් මිත්තන් හඳට ගල් ගැසූ සමයේ ,ඔවුන් සමග එක් වී හඳට උඩු බුරුලෑ සුනඛයන්ගේ මෝඩ උඩුබුරුලෑමකට වඩා වැඩි දෙයක් නොවීම අනිවාර්ය  ය. ඔහු සහ එවන් අයට සිදු වනු ඇත්තේ, එක්කෝ , නකුට කකුල් දෙක අස්සේ ගසා ගෙන රාජපක්ෂලා පසු පස්සෙ යාම ය; නැති නම්    වෙනත් අතක් බලා ගැනීම ය. මහින්දට යළිත් ඉදිරිපත් විය හැකිය යන මතය මුලින් ම ඉදිරිපත් කළ අය අතර වෙල්ගම ද සිටියේ, මහින්දට නොහැකි බව නිශ්චිත ව ම අධිකරණයේදී තහවුරු වූ විට, වෙනත් අතක් බලා ගැනීමට  කල් තියා ම කළ සූදානමක් අනුව විය හැකි ය.ඒ සියල්ල ඉදිරියේ දී හෙළි වනු ඇත.

################################################

 

                           කුමන්ත්‍රණ කතන්දරය

   කලි යුග කාලයට ම ගැලපෙන කුමන්ත්‍රණයක් පිළිබඳ කතාවක්  මේ දිනවල මාධ්‍යවල කතබහට ලක් ව ඇත. මාධ්‍යවල යැයි කීවේ, කතාවේ ස්වභාවය අනුව ම , එය ඇත්ත වුවත් බොරු වුවත් , පොලීසිය පිළිබඳව සහ මාධ්‍ය පිළිබද ව ප්‍රශ්න ගණනාවක්  මතු කරන හෙයින් සහ  ජනතාව අතර ඝාතන කුමන්ත්‍රණ ගැන එවන් කතබහක් සිදු නොවන හෙයිනි. මොකක් හෝ දෙයක් අල්ලා ගෙන මහින්ද ව අගමැති කර ගන්නට තටමන  ඒකාබද්ධයේ  සමහර මුග්ධ  නායකයන් හැර  අන් අය ද මෙයට කට දැමීමට පෙරට පැමිණ නැත. විය යුතු ව තිබූ පරිදි ම, ඕනෑම සිද්ධියක් අල්ලා ගෙන අභියෝග කිරීමට සහ අරයට මෙයාට ඉල්ලා  අස්වන ලෙස කියා සිටීම සඳහා මාධ්‍ය සාකච්චා පැවැත්වීම පුරුද්දක් බවට පත් කර ගෙන ඇති ගම්මන්පිල වහන්සේ, සිය සුපුරුදු සුදෝ සුදු ආරිය සිංහල සූට් එකත් නොඇඳ ම  එවන් සාකච්ඡාවක් පවත්වා  පොලිස්පතිට ඉල්ලා අස්වන ලෙස කියා  ඇත. නියෝජ්‍ය පොලිස්පති කුමන්ත්‍රණයක් කළ විට වෙනත් අයකු ඉල්ලා අස්විය යුතු  යැයි ඉල්ලා සිටීමෙන් ම මොහුගේ  කුප්‍රකට ගොන්කම යළිත්  ප්‍රදර්ශනය වන්නේ ය. හෝටලයක බත් පිඟානට පරිප්පු නැතිව බැරිවාක් මෙන් ම, තම ප්‍රවෘත්ති ප්‍රකාශනයට ගම්මන්පිලගේ ගොන් කතාවක් නැතිව බැරි ව ඇති "හිරු" පඩංගු නාලිකාව මෙය ද නොවරදවා විකාශය කළේ ය. 

 මෙම කුමන්ත්‍රණ කතාවේ සත්‍යසත්‍යබව පිළිබඳ කුමන පරීක්ෂණයක්  කළ ද, අදාල වීඩියෝ පටියේ එන කටහඬ අදාළ නියෝජ්‍ය පොලිස්පතීගේ නම්, ඔහු සැණෙකින් වැඩ තහනමට ලක් විය යුතු විය. එය ඒ තරම් ම සුපැහැදිලි ය; අත් අඩංගුවට ගත යුතු ය. අවම වශයෙන් එය ඔහුගේ කටහඬ ද නැද්ද යන්න පිළිබඳව පොලිසිය ජනතාවට දැනුම් දිය යුතු ය. එවිට, ජනතාව එළඹිය යුතු නිගමනයන්ට පැමිණෙනවා ඇත. අනෙක් අතට මෙහිලා කැපී පෙනෙන ලක්ෂණ කීපයක් දැකිය හැක. 

  1) අදාළ පොලිස් නිලධාරියා කුමන්ත්‍රණය සඳහා යොදා ගෙන ඇත්තේ මහසෝන් බලකාය නමැති අන්ත ජාතිවාදී පාදඩ සංවිධානයකට අනුබද්ධිත ඊනියා  දූෂණ විරෝධී පෙරමුණ නමැති රනිල් විරෝධී සං විධානයක් වීම. 

  2) එහිලා  තෝරා ගැනුණ පුද්ගලයා ඔහුගේ දිගුකාලීන සගයකු නො ව මේ ඊයේ පෙරේදා හඳුනාගත් පුද්ගලයකු වීම

  3) එවන් පුද්ගලයකු සමග කුමන්ත්‍රණයේ සුලමුල කිසිදු බියකින් සැකකින් තොරව  දිග හැරීම 

  4) දුරකතන මගින් කරන සාකච්ඡා යමකුට කෙතරම් විනාශකාරී විය හැකි ද යන්න පොලිස් නිලධාරියකු  පමණක් නොව, බැඳුම්කර හුටපටයේ දී රටේ සමස්ත ජනතාවම දැන ගෙන  සිටිය දී , ත්‍රස්ත විර්ශන කොට්ඨාසයේ  ම ප්‍රධානියකු   රටේ  ජනාධිපති සහ පරණ අලුගෝසුවකු ඝාතනය කිරීම සඳහා කෙරෙන  මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන හැටි  කිසිදු බියක් සැකක් නැතිව  දුරකථනයෙන් කියා  ගෙන කියා ගෙන යාම. 

 5)  එසේ  කීමට හේතුව මේ කුමන්ත්‍රණය රටට හෙළි කළ පුද්ගලයා දූෂණ  විරෝධී පෙරමුණක නායකයකු නොව මහසෝන් බලකායට සම්බන්ධ පාතාලයකු ලෙස  නියෝජ්‍ය පොලිස්පතිවරයා  මනාව දැන සිටීමද යන කාරණය. මාකඳුරේ මධූෂ්ව  පවා මෙම ඝාතනයට සම්බන්ධකර ගැනීම ගැන මොහු සමග කතා කළේ , මේ තුන් දෙනාම පාතාලය සමග සම්බන්ධකම් පැවැත් වූ අය වූ හෙයින් ද යන කාරණය.

6 )ජනපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මඩකලපුවේ දී ඝාතනය කොට එල්ටීටීඊ කාරයකු පිට වගකීම පැටවීමට තීරණය කළේ , අර දෙන්නා ජෝඩු දමා එහි යන බව  ඔහු ටක්කෙට ම දැන සිටි නිසා ද යන කාරණය.

7)මෙවැන්නක් කළ විට රනිල් පිම්බේද,  නො එසේ නම්, ඒකාබද්ධය විසින් කොහොමටත් ඝාතනයේ    වගකීම රනිල් පිට පටවන හෙයින්, දැනටමත් වෙනත් කරුණු නිසා , විශේෂයෙන් ම මහ බැංකු බැඳුම්කර මගඩිය නිසා  හුලං  බැස සිටින  රනිල් අන්තයටම පීචං  වීම සිදු  නොවන්නේද යන කාරණය 

 8) ගෝඨාභය  මෙයට සම්බන්ධ කර ගත්තේ ඔහුට ජීවිතාරක්ෂාව පිළිබඳ අතිශය බරපතළ ප්‍රශ්නයක් පැන නැඟ  ඇති හෙයින්, අර නඩුව සඳහා අධිකරණයට නොපැමිණ සිටීමට මාවතක් පාදා ගැනීමට ද යන්න.

           නියෝජ්‍ය පොලිස්පති මාලක ද සිල්වා මේ  ඊනියා කුමන්ත්‍රණයට  සම්බන්ධ ද නැද්ද  යනු අපි නොදනිමු. මෙය ඊනියා කුමන්ත්‍රණයක් යැයි අප කීවේ අප එහි සත්‍යාසත්‍යබව අප නො දන්නා  හෙයින්  පමණක් නො ව ,එවැන්නක් තිබිණි නම් , එය ලෝක ඉතිහාසයේ ගොන් ම ගොන් කුමන්ත්‍රණය වන හෙයිනි. හුදෙක් තමන්ට උසස් වීමක් ලබා ගැනීම සඳහා මෙවැනි කුමන්ත්‍රණයක් ඇටවීම පමණක් නො ව, එය ක්‍රියාත්මක කිරීම සඳහා අර මාධ්‍ය සාකච්ඡාව පැවත් වූ පෙන්දා වැන්නකු සමග එවන් දුර කතන සංවාදයක නිරත වන්නකු ත්‍රස්ත විමර්ශන අංශයක ප්‍රධානියකු ලෙස තබා  මොන ම අංශයකවත් තබා නොගත යුතු අයෙකි.හරියට ම, තරුණයන් එකොලොස්දෙනකු අතුරුදන් කිරීම ගැන ප්‍රශ්න කිරීමට  නොබියව ඉදිරිපත් නො වී , ලෝක බොරුවක් ගොතා රටින් පලා ගිය,  වරෙක මාධ්‍යවේදියකුට එළව එළවා පහර දී සිය රණවිවිරු බවේ දිග පළල ලොව හමුවේ නිරුවතින් ම ප්‍රදර්ශනය කළ තැනැත්තා සම්බන්ධයෙන් වන්නාක් මෙනි. 

  **************************************************

      දූෂිත  හමුදා නායකයන්ට ජනපතිගේ ලවක තරම !

  තමාට නොදන්වා ත්‍රිවිධ හමුදා නායකයන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන අතිගරු ජනපහි තුමා අතිශය විස්සෝපයට පත් ව ඇතැයි මේ දිනවල මහා ළතෝනියක් අසන්නට ලැබේ. තව ද, තමා ව දැනුවත් කිරීමෙන් තොර ව ඔවුන් අත් අඩංගුවට ගැනීම ගැන ද එතුමාණෝ තවදුරටත් දුක්ඛ  දෝමනස්සයට පත්ව ඇත්තේල! වෙනත් රටවල  නම්,  විවිධ අලුකුත්තේරුකම්වල නියලුණ හමුදා නායකයන් පමණක් නො ව ජනාධි පතිවරුන්/ජනාධිපතිනියන් අවුරුදු විසි තිස් ගණන්වල සිර දඬුවම් ලබා සිටින අතර ( ඉන් එක් අයකුවූ බ්‍රසීලයේ ලූලා ද සිල්වා සිය තනතුරෙන් ඉවත් ව යන විට පවා සියයට අසූ තුනක  ජනප්‍රියත්වයකින් හෙබියේ ය.)   මෛත්‍රීපාල සිරිසේනගේ ඊනියා  තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ මොවුන්ගෙන් සාක්කි සටහන් කර ගැනීම පවා,  අත් අඩංගුවට ගැනීම  පවා  ජනපතිගේ අනුදැනීම යටතේ සිදු විය යුතු ය. ඒ ව්‍යවස්ථාවේ හෝ වෙනත් නීතියක හෝ කුමන වගන්තිය අනුවදැයි සඳහන් කිරීමක් නැත. නීතිය කාටත් පොදු යැයි  පම්පෝරි ගසනු ලැබේ. එහෙත් නීතියේ නැති වරප්‍රසාද මොවුනට පමණක් තිබේ ලු! පොලිසිය හේතුවක් නැති ව හෝ යමකු අපහසුවට පත් කිරීම උදෙසා  හෝ අත් අඩංගුවට ගැනීමක් කළ හොත්, ඊට එරෙහි ව අධිකරණයට ගොස් වන්දි ලබා  ගැනීමට  පමණක් නො ව එසේ ගත් අයට එරෙහි දඬුවම් පමුණුවා ගැනීමට ද  ඕනෑ ම අයකුට අයිතිය ඇත.අයිතිය තිබුණ ද මුදල් ප්‍රශ්නය හේතු කොට ගෙන එසේ යාමේ දී සාමාන්‍ය ජනතාවට ප්‍රායෝගික දුෂ්කරතා තිබුණ  ද , හමුදා නායකයන් ඇතුළු කෙළිකාරයන්ට එහිලා කිසිදු ප්‍රශ්නයක් පැන නගින්නේ නැත. තරුණයන් 11  දෙනා පහැර ගැනීමේදි ලද කප්පම්, මිග් යානා ගනුදෙනුවල දී කොල්ල කෑ මුදල් යනාදී දහසකුත් එකක් අයථා  ක්‍රම මගින් ලබා ගත් මුදල් ඕනෑ පදම් ඔවුනට ඇත. අනෙක ඔවුන් අත් අඩංගුවට ගත්තත් සාමාන්‍ය ජනතාවට ලැබෙන සබ්බුවෙන් අංශු මාත්‍රයක්වත් ලැබීමේ අනතුරක්  ඔවුන්ට නැත.තව ද මේ අපරාධ කළ රාජපක්ෂලාගෙ පාදඩ යුගයට ප්‍රතිවිරුද්ධ ව දැන් එවන් සබ්බුව දීම් අන්තයටම අවම ය. 

  එසේ තිබිය දී සහ, සාක්කි සටහන් කර ගැනීමකින් තොර ව නඩුවක් , එය ඇත්ත වුවත් බොරු වුවත්, ගොනු කළ නොහැකි බව සැවොම දැන සිටිය දී,  මොවුන්ට පමණක් වහා නඩු පවරන ලෙස , නැත්නම් නිදහස් කරන ලෙස රාජ්‍ය නායකයා ම කියා සිටීම, තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම මේ යයි මොනවට කියා පායි.නඩු පැවරීමකින්  තොර ව අවුරුදු දහය පහලොව සහ සමහර  විට ඊටත් වැඩියෙන් රිමාන්ඩ් භාරයේ පසු  වන අය ගැන පසුගිය කාලයේ ඕනෑ තරම් වාර්තා විය.  පොලිසිය ඉල්ලන කරුණු නො සපයන ලෙස හමුදාවට  මේ මෑත දී උපදෙස් දුන්නේත්   මේ රාජ්‍ය නායකයා ම වීම  කිසිසේත් ම අහම්බයක් නො වේ.මොවුනට එරෙහිව නඩු විමසා තීන්දුව දෙන විට මෙවන් නායකයකු අත නො පොවනු ඇතැයි කෙසේ නම් විශ්වාස කළ හැකි ද?

  ************************************************

     සංක්‍රමණ ප්‍රශ්නයෙන් දක්ෂිණාංශය වවා ගෙන කයි!

    ගොඩ  ආ නොහැකි ආර්ථික ප්‍රශ්න හෝ යුද තත්ත්වයන් හෝ හේතු කොට ගෙන  බටහිර රටවලට සංක්‍රමණය   වන ජනතාවන්ට රැකවරණය ලබා දීම මුල් කර ගෙන එම රටවල අන්ත දක්ෂිණාංශිකයන් ගෙන යන සංක්‍රමණික විරෝධී වැඩ පිළිවෙලෙහි අලුත් ම ගොදුර බවට පත් වූයේ ස්වීඩනයයි. පසුගිය දා  පැවති  එරට පාර්ලිමේන්තු මැතිවරණයේ දී අන්ත දක්ෂිණාංශය තමන් සතු ආසන ගණන සියයට විස්ස දක්වා වැඩි කර ගෙන ඇත. ගම්මන්පිල, වීරවංශ ප්‍රමුඛ රාජපක්ෂවාදී ජාතිවාදී කුම්භාණ්  ඩයන් රැළෙහි බටහිර යුරෝපීය සගයන්ගේ සංක්‍රමණ විරෝධී ෆැසිසිට්වාදී උග්‍ර ප්‍රචාරයන් හමුවේ වුව, ඊට එරෙහි වූවන් හට ප්‍රබල පරාජයක් අත් කර දීමට  ඔවුනට නොහැකි විය. එහෙත් මුලින් ම  ජර්මනියේදීත් ඉන්පසු තවත්  රටවල් ගණනාවකදීත් විද්‍යමාන වූ මේ දක්ෂිණාංශික  රැල්ල  ලත් තැන ම ලොප් කළ යුතුව ඇත.ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුස්ලිම්-විරෝධී සහ ආරක්ෂණවාදී ප්‍රතිගාමී ක්‍රියා   කලාපයෙන්  බටහිර යුරෝපීය දක්ෂිණාංශයට ඉමහත් පිටුබලයක් ලැබී ඇත. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ ආරක්ෂණවාදී ක්‍රියාමාර්ගයන් නිසා  දෙකොටස අතර ස්ථාවර සබඳතාවක් ගොඩනගා ගැනීමට නොහැකිව ඇත .

 

    

 

 

 

 

Comments

Post a Comment

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS