2018 සැප්තැම්බර්  23                                                   කලාපය 12 

  ඩොලරය- රුපියල -ආණ්ඩුව - මහ බැංකුව-  මාධ්‍ය

                        සහ     ඒකාබද්ධය         

    රුපියල නොකඩවා බාල්දු වීම හුදෙක් ඇමරිකන් ඩොලරයේ ශක්තිමත්  වීමේ ප්‍රතිඵලයක් ලෙස හුවා දක්වා ඇඟ  බේරා ගැනීමට අන්තිමේ දී ආණ්ඩුව  ක්‍රියා කරමින් ඇති අතර  , ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය භාරය වනුයේ  ආණ්ඩුවට හූමිටි තැබීම යැයි සිතන මහ බැංකු අධිපති ඇතුළු පාලකයෝ ආණ්ඩුවේ ප්‍රකාශ සාධාරණීකරණය කරන අන්දමේ ප්‍රකාශයන් කිරීමට පටන් ගෙන ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ දා සිට ඔහු ගෙන යන උග්‍ර  ආරක්ෂණවාදී ප්‍රතිපත්ති නිසා ලෝක ආර්ථිකය අවුලෙන් අවුලට පත් වන බවත් ඩොලරය ශක්තිමත් වන බවත්  පැහැදිලි ව දක්නට තිබිණ. ට්‍රම්ප් එළිපිට ම ප්‍රකාශ කර ඇති පරිදි, චීනය මේ තාක් ලබා ගෙන ඇති වාසිදායක තත්ත්වයන් නැති කර දැමීම ඔහුගේ ප්‍රතිපත්තිවල ප්‍රධාන ම අරමුණක් වී ඇත. එනම්, මීට දශක කීපයකට පෙර ජපානය ප්‍රබල ව ආර්ථික බලවතකු ලෙස නැගී එද්දී  ජපන් විරෝධය  විවෘත ව ම පෙරට දා එය වැට්ටවීමට  ඇමරිකාව ක්‍රියා කළ පරිදි ම , දැන්  චීනය වැට්ටවීමට ට්‍රම්ප් ක්‍රියා කරමින් ඇත. මොහුගේ ක්‍රියා කලාපය චීනයට එරෙහි ව පමණක් නො ව ඇමරිකාවේ  සගයන් වන බටහිර යුරෝපයට ද  බලගතු ලෙස ආර්ථික වශයෙන් විනාශකාරී ව ඇත. මොහුගේ ප්‍රතිපත්ති නිසා රටවල් ගණනාවක මුදල් ඒකකයන් දනටමත් කඩා වැටී ඇති අතර වෙනෙසුඑලාව සිය මුදල් ඒක්කය සියයට දස දහස් ගණනකින්  බාල්දු වීම නිසා අලුත් ම මුදල්  ඒකකයක් හඳුන්වා දී ගොඩ ඒමට මාන  බලන තත්ත්වයකට මාරු වී ඇත.

   ඒ අනුව ඩොලරයේ ශක්තිමත් වීම රුපියලේ බාල්දු වීමට බාහිර හේතුවක් ලෙස බල පා ඇති නමුදු  , ආණ්ඩුවේ සහ මහ බැංකුවේ කාර්ය ය වනුයේ එම හේතු දක්වා බකන්නිලා ගෙන සිටීම නො වේ.අනාගතයේ ගෙවීමට ඇති  ණය ගෙවීම සඳහා යැයි කියමින්  ඩොලර් පොට්ටනි ගසා ගෙන සිටීම නො වේ. ඩොලරය මෙසේ ශක්තිමත් වීම හමුවේ ගත හැකි පියවරයන් මොනවා දැ යි අවම වශයෙන් ආර්ථික විශේ ෂඥයන් අතරවත් සංවාදයක් ඇති කිරීමට මොවුන් ක්‍රියා නොකළා පමණක් නොව,  ඩොලරය ශක්තිමත් වීමෙන් රුපියලට ඇති විය හැකි ප්‍රතිඵලයක් තිබේද යන්න ගැනවත්  ජනතාවට කිසිවක් කීවේ නැත. ඒ තත්ත්වය හමුවේ ජනතාව ඉදිරියේ මහා ආර්ථික විද්‍යාඥයා ලෙස වැජඹුණේ,  රුපියල අහවල් ගණන දක්වා ඉහළ යන බවට අනාවකි කී ටියුෂන්කාර  බන්දුල ගුණවර්ධන ය. මේ අනාවැකිකාරයන් අතරට අලුතින් ම එක් ව ඇත්තේ   ඉදිරියේ දී ඩොලරය තවත්  ඉහළ යන බව  පාර්ලිමේන්තුවේ දී  කී මුදල් ඇමති මංගල සමරවීර ය.

  කුණු කිරිපැකට් ගැන පවා පැය ගණන්  විවාද සංවාද පවත්වන රූපවා හිනී නාලිකා මෙරට ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යඥයන් සමග කෙරෙන සංවාදයක් නොපැවත් වූවා පමණක් නො ව , අවම වශයෙන් මුලු ලොවට ම බලපෑමට නියමිත වූ  සහ බලපාන ඩොලරයේ ගමන්  මග ගැන සිය ප්‍ර වෘත්ති ප්‍රචාරයන් තුළ දී හැඟවීමකුදු කළේ නැත. අදත් නැත. ඊයේ මහින්ද රාජපක්ෂ සමග පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී    ඔහුගෙන් ඩොලරය ගැන විමසූ  විට ඔහු අන්දුන් කුන්දුන් වී තමා දෙපස සිටි දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ යන මහා ආර්ථික විද්‍යාඥයන් දෙස  පිහිට පතා බැලූ දුක්මුසු දසුන හද කම්පා කරනසුලු විය. පිටුපස සිටියේ මහ බැංකු අධිපති ධුරය දේශපාලන පක්ෂයක් වෙනුවෙන් අන්ත නීච ලෙස ගණිකා වෘත්තියේ යෙදූ  සහ තවමත් යොදවන අජිත් නිවාඩ් කබ්රාල් ය .තමාට බලය තිබේ නම් මෙය විසඳන හැටි තමා දන්නා බව මහරජ මහින්ද  කියා සිටි අතර , මේ ආණ්ඩුව මකබෑ වී යා යුතු ය යන සිය සුපුරුදු වාචාල කතාව ඩොලරය බාල්දු වීමට විසඳුම ලෙස මහා ආර්ථික විද්‍යාඥ  විමල් වීරවංශ  සුපුරුදු වාචාල ඉරියව්වෙන් ම  යුතු ව ඉදිරිපත් කළේ , ශිරානි බණ්ඩාරනායක පාර්ලිමේන්තු නඩු විභාගයේ දී විනිසුරුවකු ලෙස දැක් වූ සුරු විරුකම් ඩොලරයට කෙළීමේ දී ද තමා සතු ව නොඅඩු ව  පවතින බව නොවරදින සේ සනාථ කරමිනි. මෙහි සිටිය යුතු ම වූ බන්දුල ගුණවර්ධන මෙයට සහභාගී නොවූයේ මොවුන් සමග එක්වී ඩොලරය ගැන කතා කරන්නට ගොස් තමා ද රුපියල මෙන් ම මස්තබාල්දු වීමෙන් ගැලවෙනු පිණිස විය යුතු  ය.

 

 

  මාධ්‍යවලට එරෙහිව ජනපතිගෙන් යළි දොස්මුරයක්

   ජනමාධ්‍යයන් උදේ සිට රෑ වන තුරා තමාට සහ ආණ්ඩුවට ඉවක් බවක් නැති ව පහර දෙන බවත්  ජනමාධ්‍යයන් ජනමාධ්‍ය නිදහස අයුතු ලෙස භුක්ති විඳ පොට වරද්දා නොගත යුතු බවත් දැක්වෙන මෛත්‍රී  චින්තාව  යළි වරක් දෙසා  වදාළ ජනපතිවරයා ජන මාධ්‍ය  නිදහස ලබා දුන්නේ තමා බව අවධාරණය කළේ ය. ජනමාධ්‍ය  නිදහස රුදුරු ලෙස මර්දනය කළ, ජන මාධ්‍යවේදීන් අමු අමුවේ ඝාතනය කළ ආණ්ඩුවක ඇමතිවරයකු ලෙස පමණක් නො ව  එම ආණ්ඩුවේ ප්‍රධාන ම පක්ෂය වූ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ  මහා ලේකම් වරයා ද  ලෙස එම මර්දනයට එරෙහි ව වචන අලුක්කාලක්වත් නොදෙඩූ නොලියූ තමාට මෙසේ උදම් ඇනිය හැකි වූයේ, ඒවාට විරුද්ධ වූ ඒවාට එරෙහි ව හඬ නැඟූ  දස ලක්ෂ ජනතාව , අන් කරුණුවලට අමතර ව  ජනමාධ්‍ය නිදහස ද  තහවරු කර ගනු වස් තමා ව ඔතැනට ඔසවා ලූ ජනතාව බවත් ජනතාව එම අයිතීන් භුක්ති විඳින්නේ එමගින් ඔවුන්ට උරුම වූ දෙයක් ලෙස බවත් ඔහු අමතක කොට ඇත. ඕනෑ ම හොඳ දෙයක අයිතිය තමන්ට  සින්නක්කරේට ලියා  ගැනීමට  ජනපතිවරයා දරන තැත ජනතාවට අමුත්තක් නො වේ.  මේ මෑතක දී මහල් නිවාස සංකීර්ණයක් විවෘත  කරන විටත් එය එතැන  ඉදි කළ හැකි වූයේ තමා සෞඛ්‍ය ඇමති ව සිටිය දී එම ඉඩම ආණ්ඩුවට පවරා  දීම නිසා  බැව් මතක් කර දීමට තරම්  ජනපතිවරයා බොළඳ වූ අන්දම ජනතාවට දැක ගත හැකි විය. තමා දුන් දෙයක් නිසා  ජනමාධ්‍ය නිදහස  ආපසු ගැනීමටත් තම පරම අභිමතය අනුව තමාට පුලුවනැයි ඔහු අදහන සෙයකි. 

    මෙරට ප්‍රධාන මාධ්‍යවල පක්ෂග්‍රාහීත්වය සහ කුණුකම ගැන අටුවා ටීකා ලිවිය යුතු නැත. එය නොදන්නෙක් සිටී නම් ඒ තරම් මුග්ධයෙක් තවත් නැත. එහෙත් ඒවාට මුවා වී  මාධ්‍ය මර්දනයට තමාට අයිතියක් ඇතැයි  යමකු සිතන්නේ නම්,  ඒ තරම් මුලාවක් තවත් තිබිය නොහැක.ඇත්ත වශයෙන් ම ජනපතිගේ සැබෑ ඉලක්කය, තමාට ඕන පදම් විවෘත ව ඇති ප්‍රධාන ජනමාධ්‍යයන්  නො ව,  ඒවායේ තමන්ට ඉඩකඩක් නැති නිසා ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී කටයුතු නිදහසේ හෙළිදරව් කිරීමේ වේදිකාවක් බවට පත්ව ඇති ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයන් ය. සැබෑ කරුණු සහ ප්‍රබල විවේචන වෙනුවට තිත්ත කුණුහරු මහා බලගතු තර්ක බවට පත් කර ගෙන ඇති  සමහරුන්ගේ  සම හරක් ක්‍රියා කලාපයන්  ජනපතිගේ ඉදිරි මාධ්‍ය මර්දන සැලසුම සාධාරණීකරණය කර ගැනීමට යොදා ගනු ලැබේ. සැබැවින්  ම  සත්‍ය එක කරුණක්  කුණුහරුප ටොන් ගණනකට වඩා ලක්ෂ වාරයක් ප්‍රබල බව අපි ඔවුනට  අවධාරණය කරමු.

####################################################

 

      ආණ්ඩුව පෙරලීමේ ජනබල මෙහෙයුමෙන් 

                 කුණු  කිරිපැකට්  මෙහෙයුමට 

     මුළු කොළඹ ම වටලා ආණ්ඩුව ගෙදර යවා මහින්ද රාජපක්ෂ  ගරු අග්‍රාමාත්‍ය පුටුවේ බින්න බස්සවා මිස ආපසු ගෙදර නොයන්නෙමැයි සිංහ සෙයියාවෙන් මැත දොඩා  අන්තිමේ දී  කැණහිලුන් රැළක් සේ  වල්ග කකුල් අස්සේ රුවා ගෙන නරි හඬ නගමින් සිය බංගලාවන් වෙත පසු බැසි ඒකාබද්ධයේ මුග්ධ නායකයන් රැළ  , දැන් කුණු කිරි පැකට්ටුවක් මගින් ආණ්ඩුව පෙරළීමේ සිය වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට  තටමනු පසුගියදා දක්නට ලැබුණි.ඒ කුණු කිරි පැකට්ටුව  පිළිබඳ ව පැමිණිලි කිරීම සඳහා වෙනින් කවුරුත් නො ව , මිල්කෝ සමාගමේ සභාපති වරයා ම හමුවට යාමට ඒකාබද්ධයේ මෝඩයන් රැළක් පියවර ගැනීමත් සමග ය. මෙහිලා නායකත්වය ගත්තේ ද එවන් තකතිරු ක්‍රියාවකට සුදුසු ම පුද්ගලයා වූ නාමල් රාජපක්ෂ ය. හුදෙක් ජනතාව රැවටීමේ මාධ්‍ය සංදර්ශනයක් වූ මෙයට, අපේක්ෂා කළ හැකි ව තිබූ පරිදි ම, හිරු පඩංගු නාලිකාව සෑහෙන වේලාවක් මිඩංගු කර තිබිණ.  

     පෙළපාලියට එන සිය සගයන්ට අවැසි  දේ නියමාකාරයෙන් සංවිධානය කරනු වෙනුවට, තමා නොදන්නා කවුදෝ එකෙකු දුන් කුණු කිරි පැකට්ටුවක් ,එහි ඇති කුණු රසය ගැන වගේ වගක් නැතිව පානය කිරීම හේතුවෙන් මදියි නොකියන්න  තමාට ද බඩ එළිය ගියා යැයි කියන ඩලස් අලහප්පෙරුම එහි නො වී ය. මේ සා බලගතු ප්‍රභූන් පිරිසක් මේ ගැන පැමිණිළි  කළ යුතු වූයේ   පොලිස්පතිට  ය. පොලිස්පති විශ්වාස නැති නම්, ගෝඨාභය සමගින් ජෝඩු දමා ගෙන එකට  ඝාතනය වීමට තරම් පෙමකින් ඔහු සමග වෙළී සිටින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ය. මුළු කොළඹ ම වැටලුවා නම් , මහින්ද මහරජු ව සිය අගමැත්තා බවට පත් කිරීමට සූදානමින් සිටියේ ද මේ මැතිතුමා ය.එසේ පැමිණිලි කළා නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසි වාරය අමතන විට  ඒ පැමිණිල්ල ගැන ද යන ගමන් සඳහනක්  කරවා ගැනීමේ හැකියාවක් ද තිබිණි. කෙසේ වෙතත් මිල්කෝ සමාගමේ සභාපතිවරයා ද මෙහිදී හැසිරුණේ මුන්ගේ ගොන් කතා හමුවේ පිළිතුරු දිය යුතු  ව තිබූ ආකාරයෙන් නො වේ. මුජුබර්  රහමන් මෙම සිද්ධියට සම්බන්ධ බවට ටොන් ගණන් සාක්කි තිබෙන බව මොවුන් ම  අවධාරණය  කර තිබිය දී, මෙයට වස එබීම ගැන මිල්කෝ සමාගමට වගකීමක් නැති බවත්,  මොවුන්ගේ ගොන් ඉල්ලීම්වලට අනුව තමා ක්‍රියා කළ හොත්, සිරි ලංකාවේ කොයි හත්දිග්බාගයක  හෝ කිරි පැකට්ටුවක් විස   වන විස වන වාරයක් පාසා පොලිසියේ අදාළ කටයුතුවලට මැදිහත් වීමට තමාට සිදු වන බවත් පෙන්නා  දී මේ මෝඩයන් රැළ එතැනින් ඉවත් කිරීමට ඔහු ක්‍රියා කළ යුතු ව තිබිණ. එහෙත් කෙසේ නම් එය කළ හැකි ද ?2015 ජනවාරි 8 දා මහින්ද ජය ගත්තා  නම්  පොළොව යට අඩි 6 පහළට තමා ව  සහ තම පවුලේ  අය ව යවන්නට සිටියේ යැයි කියූ පුද්ගලයා, තමාට ඡන්දය දුන් 62 ලක්ෂය අමු අමුවේ පාවා  දෙමින් එම ගහලයන් සමග විලිලැජ්ජා නැති ව  කරේ අත දමා ගෙන සිටිය දී මිල්කෝ සභාපතිවරයා වෙන මොනවා කරන්න ද?

*****************************************************

                 පුටිනුත් වැඩට බසියි!

  රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් එරට රාජ්‍ය සේවකයන් ගේ විශ්‍රාම  ගැනීමේ වයස වැඩි කිරීමට තීරණය කර ඇති අතර එයට එරෙහි ව එරට පුරා උද්ඝෝෂණ ආරම්භ වී ඇත. මෙම උද්ඝෝෂණ වල සුවිශේෂී ලක්ෂණය වී ඇතේ , එය පුටින්ට පක්ෂපාතී ව සිටියවුන් ද අති දැවැන්ත ලෙස වීදි බැස්සවීමට හේතු වීම ය. පුටින්ගේ මේ තීරණයට හේතු වී ඇත්තේ විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට මුදල් නැති වීම බැව් පුටින් ප්‍රකාශ කොට ඇත. මේ තීරණය අනුව කාන්තාවන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 55 සිට 60  දක්වා ද පිරිමින්ගේ  විශ්‍රාම වයස 60 සිට  65 දක්වා ද වැඩි වේ. රුසියාවේ  සාමාන්‍ය ජීවන කාලය අවුරුදු  67 ක් වන හෙයින් , මේ තීරණය  නිසාවෙන් එරට රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම දිවිය බෙහෙවින් ම කෙටි වී ඇත.

***************************************************

                    ට්‍රම්ප්ට තවත් ගිනි විජ්ජුම්බරයක්!

     ඇමරිකානු ශ්‍රෙෂ්ඨාධිකරණයේ ඇති  වූ පුරප්පාඩුවකට ප්‍රකට ප්‍රතිගාමී අදහ ස් දරන්නකු වූ ට්‍රම්ප්ගේ  හිතවතකු පත් කිරීමට එරෙහි ව පෙර නොවූ විරූ ආකාරයේ විරෝධතාවක් එරට හට ගැනුණ අතර , ඔහුගේ පත් වීම වළකා ලීම සඳහා විවිධාකාර ක්‍රම අනුගමනය  කරනු ලැබේ. දැනට සෙනෙට් සභාවේ ඉතා සුළු බහුතරයක්  රිපබ්ලිකන් පක්ෂයට ඇති හෙයින්, නොවැම්බරයේ පවැත්වෙන සෙනෙට් සභිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී එය වෙනස් වීමට  පෙර තම ග්‍රහයා පත් කර ගැනීමට ට්‍රම්ප් වළිකමින් ඇත.ඇමරිකාවේ මෙවන් තනතුරු සඳහා පත් කිරීම් කරන්නේ ජනාධිපතිවරයා වුවත් , එම පත් කිරීමට පෙර දැඩි කරුණු විමසීමකින්  පසු සෙනෙට් සභාවේ දී එය අනුමත විය යුතු ය.එම කරුණු විමසීම කෙරෙණුයේ ද ප්‍රසිද්ධියේ දී ය. එ අනුව හවස ගෙදර යන ගමන් තමා හමු වන ලෙස කියා  ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු පත් වීම් දීමේ මහින්ද  රාජපක්ෂ ගේ ක්‍රම එහි දී වලංගු නැත. ට්‍රම්ප්ගේ ග්‍රහයා ගේ පත් වීම අනුමත වුව හොත්, ට්‍රම්ප් යටතේ හැම ක්ෂේත්‍රයක් තුළ ම ක්‍රියාත්මක වන අන්ත ප්‍රතිගාමී ක්‍රියා මාර්ගයන් නීත්‍යනුකූල වීමමේ බරපතළ අනතුරක් පවතී.  

 

මීළඟ  පත්‍රය : 2018 සැප්තැම්බර්  30


Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS