2018 ඔක්තොබර් 07                                                 කලපය 13


       ජනපති ,අගමැති සහ මහ රජ මහින්ද

           අලුත් ම පරණ සෙල්ලම් 

     රුපියල දිගින් දිගට ම බාල්දු වීම, බඩු මිල දිගින් දිගට ම ඉහල යාම, මිනිමරුම් දිගින් දිගට ම ඉහල යාම , දුෂණය නොකඩවා මහා පරිමාණව සිදුවීම යනාදියට අමතර ව , ලෝකෙන් උතුම් රටට ම ගැලපෙන ආකා රයේ අරුම පුදුම කුමන්ත්‍රණයක් සහ ඒ පිළිබඳ අරුම පුදුම විමර්ශණයක්  සිදු වීම යනාදී , යමකු ඔල්මොරොන්දම් කරවනසුලු  දහසකුත් එකක් කරුණු මධ්‍යයේ ජීවත් වීමට මෙරට ජනතාවට තවදුරටත් සිදු ව ඇත.ඒ මදිවාට, මේ සියල්ල විසඳීමේ කෝකටත් තෛලය , 2015 ජනවාරි 8 දා   දා  ජනතාව විසින් පා පහර දී බලයෙන් පහ කෙරුණ සහ ඉන් තදනන්තරව සිය බලලෝභීත්වය ඉවක් බවක් නැතිව මෙන් ම අතිශය නිර්ලජ්ජීත ව ලොවට ප්‍රදර්ශනය කරමින් සිටින මහින්ද රාජපක්ෂව යළි මහරජ පුටුවේ තැන්පත් කිරීම බැව් දොඩමින් පොහොට්ටුවෝ සිය අමනකම මහත් උජාරුවෙන් ලොවට ප්‍රදර්ශනය කරමින් සිටින්නාහ.

    රට ජයෙන් ජයට පත් කිරීමේ මනෝරාජ්‍යමය යෝජනා, එකකට එකක් පසු ගෙනහැර පාමින් රනිල් වික්‍රමසිනංහ  විහිලු සපයද්දී , අනුන්ගේ කෙරුවාවල් තම පතට ම බෙදා ගැනීම ජන්ම පුරුද්ද්ක් කර ගෙන සිටින ජනාධිපති සිරිසේන, රනිල්ගේ ව්‍යාපෘති හරි ගිය හොත් ඒවායේ ගෞරවය තමාට සින්නක්කර ලියා  ගැනීම පිණිස  අටවා ගත් ඊනියා ආර්ථික සභාවට සහභාගී වන ලෙස  බන්දුල ගුණවර්ධන  ටියුෂන් ලොක්කාට විශේෂ ආරාධනයක් ද කරමින් මොවුන්ගේ විනෝද සමය තවත් පියවරකින් ඉදිරියට ගෙන ගියේ ය.මෙහිලා පුදුම වීමට දෙයක් නැත.  ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස පාරම්බාමින් 1960 ජූලි මස  දී බලයට පත් සිරිමා බණ්ඩාරනායක , අයවැයක් පවා හරිහැටි සකසා ගත නොහැකි ව තම පක්ෂයේ මුදල් ඇමතිලා හතර දෙනෙකු ම (ෆීලික්ස් ඩයස් , සී.පී.ද සිල්වා, පී.බී.ජී. කලුගල්ල සහ ටී.බී.ඉලංගරත්න )  හතර ගාතෙන් වැටී සිටිය දී සමසමාජ පක්ෂයේ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා ව මුදල් ඇමතිකමට  කුලියට ගත්තේ ද මෙලෙස ම ය. වෙනසකට ඇත්තේ ඇය කුලියට ගත්තේ ආර්ථික විශාරදයකු වීමත් මොහු කුලියට ගන්නට යන්නේ ආර්ථික විද්‍යාඥයකු ලෙස වෙස් වළා ගත් ටියුෂන් කාරයකු වීමත්  ය . ජනාධිපතිවරයා ම මුදල් ඇමති වූයේ නම් රුපියලට යන්නට තිබූ කලදසාව, ශිෂ්‍යත්ව විභාගයෙන් අඩුම ලකුණු ගත් ළමයා වුවත් ටක්කෙට ම කියනු ඇත.

   මොවුනට  ආර්ථික කටයුතු  යනු , රාජ්‍ය ආදායම තම තමන්ගේ ඡන්ද පදනම් තවුරු කර ගැනීම සහ වැඩි කර ගැනීම සඳහා හිතෙන හිතෙන ආකාරයෙන් වියදම් කිරීමට ඉඩ ලබා දෙන  සහ දිය යුතු ආකරයකි. මේ ආකරයේ මුදල් තිබුණත් නැතත් ඔවුනට කම් නැත.මුදල් අච්චු ගැසීමත් ණය ගෙවා  අවසන් කරන බවට පම්පෝරි ගසමින් තව තවත් ණය කඳු ගොඩ ගැසීමත් මොවුන්ගේ ක්‍රමයයි. දරුණු නියගයකින් දිගු කලක් තිස්සේ  ලක්ෂ සංඛ්‍යත ජනතාවක් පෙළෙමින් සිටිය දී ඒ ගැන වගේ වගක් නැති ව සිටි ජනාධිපතිවරයා , ජනපතිවරණය ආසන්න වත් ම නින්දෙන්  හිටි හැටියේ අවදි  වූවකු මෙන් ලෝස් නැති  ව මිලියන 9000ක් අත දිග හැර වෙන් කරවා ගත්තේ  ඒ අනුව ය. මේ ඊයේ පෙරේදා එක් පාසලක උත්සවයක දී  තමා එම පාසලට රුපියල් ලක්ෂ 25 ක් තෑගි දෙන බව කියා සිටියේද ඒ අනුවම ය. රැකියා 20000ක් සඳහා අගමැතිවරයා ප්‍රතිපාදන වෙන් කළ  බව ඊයේ පෙරේදා නිවේදනය  කෙරුණේ ද ඒ අයුරින් ම ය. සජිත් ප්‍රේමදාස ඇතුළු අනික් උන්නැහේලා ද කටයුතු කරන්නේ මේ ආකාරයෙන් ම ය. රුපියලේ දරුණු බාල්දු වීම මධ්‍යයේ පවා  මොවුන් කටයුතු කරන්නේ ද  ඒ ආකාරයෙන් ම  ය. මහින්ද රාජපක්ෂ අගමැති කළ විට ''ආසියාවේ  ආශ්චර්යය '' යළි ඇති වන්නේ ය යන ගොන් කතාව හැරුණ විට  ,රුපියලේ බාල්දු වීමේ  ප්‍රශ්නයට  කිසියම් ම විසඳුමක් පොහොට්ටුවන්ට නැත. රනිල් වික්‍රමසිංහ අන් ප්‍රශ්න සම්බන්ධ යෙන් මෙන් ම  මෙම ප්‍රශ්නයේදී ද අනුගමනය කරන්නේ කිසිදු ප්‍රශ්නයක් නැතිවාක් මෙනි. සිය පක්ෂයේ මන්ත්‍රී රොබෝලා,  කල් මැරීමේ සිය ක්‍රියාකලාපයට සහාය දෙන තාක් දුරට තමාට ප්‍රශ්නයක් නැති හෙයින් ,  රටට අඩුවකට තිබෙන අනෙක් අංශවල රොබෝලා පාවිච්චි කරන්නේ කෙසේ ද  යන්න සොයා  බැලීමට ඔහු මේ දිනවල නෝර්වේහි දී තදියම් වීම බෙහෙවින් ම සංකේතත්මක වේ. ඔහුගේ කුප්‍රකට වයිෆයිය නවතාලිමට ක්‍රියා කළ පරිදි ම, ආර්ථිකයේ ප්‍රධාන තැන ගත යුත්තේ කෘෂි කර්මයය යන හම්පඩ ගැහුණ  මෝඩ මතය හිස් මුදුනේ තබා ගෙන සිටින ජනපති සිරිසේන  නොර්වේ රොබෝලා හට ද  කෙළීම අනිවාර්ය  ය.

    මීළග ජනපතිවරණයේදී ඇපත් රාජසන්තක වීමට නියමිත මෛත්‍රීපාල සිරිසේන දැන් විවිධ සෙප්පඩ විජ්ජා  දමන්නේ, එක්කෝ  , පරණ පොදු අපේක්ෂකකම යළි සිය  කර මතට ගැනීමට ය; එයට ඇති ඉඩකඩ කොහෙත් ම නැති තරම් වන හෙයින්, රාජපක්ෂලා යළි බලයට පත් වුවහොත්  අඩි හයක් යට සදා  සැතපීමට වීමෙන් වැළකෙනු  පිණිස ඔවුන් සමග කිසියම් අන්ත ද්‍රොහී සම්මුතියකට යාමට ය. භරකාර ආණ්ඩු  සහ තවත් විවිධ උප්පරවැට්ටි ගැන කසුකුසු කුට්ටම් පවතින්නේ  ඒ අනුව ය. මේ අතර ඇහැළියගොඩ වසලයා පමණක්  මොනයම් ක්‍රමයකින් හෝ සිය වහල් ස්වාමියා  වන මහින්ද  අගමැති පුටුවේ වැඩ සිටුවීමේ වීර්ය  පාරමිතාව පුරමින් සිටියි.ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට දැන් කාලය පැමිණ ඇතැයි මහරජ මහින්ද ඊයේ පෙරේදා  ප්‍රකාශ කළේත් මෛත්‍රී -මහින්ද හොර සාකච්ඡා ගැන වාර්තා  පිට වාර්තා කලඑළි බහිමින් තිබෙන්නේත්, තමාට ඡන්දය දුන් 62 ලක්ෂය පාවාදීමේ යෝධ පියවරක් තැබීමට අහවලා සූදානම්  බැව් ප්‍රකාශයට පත් කරමිනි.ඔහු ඉන් වළක්වා ගැනීම පිණිස ඔහුට යළි පොදු අපේක්ෂකත්වය ලබා දීමේ කැරට් අලය යූ.ඇන්.පීයේ සමහර කෙරුමන් පෙන්වන්නට පටන් ගෙන ඇත්තේ ද මේ නිසා ය. මොවුන් මේ නෙයියාඩම් නටමින් සිටිය දී, රටේ ප්‍රධාන ම දේශපාලන කර්තව්‍යය වන මේ හොර තුන් කට්ටුවට එරෙහි ව ධනේශ්වර-විරෝධී ක්‍රියා මාර්ගයක් මත කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිත ජනතාව බලමුළු ගැන්වීමට  කිසිදු පියවරක් රට තුළ දක්නට නොමැත.

   මොවුන් එකෙකුටවත් , ජනතා ප්‍රශ්න විසඳීමේ හැකියාව කෙසේ වෙතත් අවශ්‍යතාවක්වත් නැත.මොවුන්ට රටේ ප්‍රශ්න යනු තම බලය රැක ගැනීම  හෝ තමන් බලයට පත් වීම හෝ සඳහා වන තුරුම්පු පමණි.එසේ තිබිය දී දේශපාලන වේදිකාව ඔවුනට සහ ඔවුන් පුම්බන ජරාජීර්ණ මාධ්‍ය හිමියන්ට භාර දී  සිටීම මහා අපරාධයකි.

******************************************************

           අලුත් ම ජාතික වීරයා - නාමල් කුමාර

        කලෙකට ඉහත දී "කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිඳුන්ගේ" වැඩකිඩ  ගැන තොරතෝංචියක් නැති ව ප්‍රවෘත්ති මැවූ "හිරු " පඩංගු නාලිකාව, එය මතකයට නංවාලමින්  මේ දිනවල අලුත් ම ජාතික වීරයෙකුගේ වැඩකිඩ දිනපතා ම පාහේ සිය ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් වමාරමින් ඇත. ඒ  නාමල් කුමාර නමැත්තෙකි. ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් තිබිණැයි කියමින් කරලියට ආ මේ ජාතික වීරයා දූෂණ විරෝධී පෙරමුණ යැයි කියා ගන්නා සංවිධානයක ජාතික සංවිධායක ලු! පසුගිය  කාලය පුරා දූෂණ  විරෝධී පෙරමුණු යැයි කියා ගත් සංවිධාන කීපයක්  තිබුණත් මොහුගේ මේ සංවිධානය ගැන නම් කිසිවකුත් දැන සිටියේ නැත. මොහුගේ සංවිධානය සොයා ගත්  දූෂණය කුමක්දැ යි කිසිවකුත් දන්නේ නැත. ඒ  ගැන හිරු  හෝ මාධ්‍ය  යැයි කියා ගන්නා කිසිවකුත් විමසන්නේ ද නැත.ඇත්ත නම් ඔහු පොලිස් ඔත්තු කරුවකු බව ය. ඔහුගේ කිට්ටු ම  ස්වාමියා  නියොජ්‍ය පොලිස්පති නාලක සිල්වා  ය. ඔහු ව ඔහුට මාට්ටු කර ඇත්තේ  පොලිස්පති පූජිත ජයසුන්දරලු! මාර දූෂණ විරෝධියෙක්! දූෂණ විරෝධය කෙසේ වෙතත්, මොහු කිසියම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ පියවරක් ලෙස , ප්‍රංශයේ වෙසෙන තුෂාර පීරිස් නමැත්තකුගෙන් , එසේ මෙසේ ගණනක් නොව රුපියල් දෙලක්ෂ පණස් දසක් ලබා ගෙන ඇති බව ඔහු ම කිය යි. පසුගියදා සිදු වූ මුස්ලිම් විරෝධී ගටුම් වලට ද ඔහු සම්බන්ධ ය. තතු මෙසේ තිබිය දී  , නාලක ද සිල්වා සමගින් ඔහු ද අත් අඩංගුවට ගත යුතු  ව තිබිය දී, ඒ කිසිවක් සිදු   නො වේ. ඝාතන ඉලක්කය වූයේ  යැයි කියන ජනපති ඒ ගැන කට හොල්ලන්නේ  නැත. මාව කොහොම වෙතත් ජනපති ඝාතන තැතක් තිබේ නම් , එය බරපතළ කරුණකැයි කියමින් ගෝඨාභය තෙමේ  සිය උපාසක බළල් සෙයියාව යළි වරක් විදහා දක්වයි. ඒ අතර , මහින්ද සහ සිය පවුල ම ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් කරළියට එයි. ඒවට බයේ රැස්වීම්වලට යාමෙන් මම නොවළකින්නෙමැයි මහින්ද මහරජ රාජ ඌෂ්ණය දසත පතුරුවමින් කියයි.ඒ අතර නාමල් කුමාර  සීඅයිඩීයට යමින් ද ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ද වේදිකාව අරා සිටින්නේ  හිරු නාලිකාවේ කැමරාකරු ද නොවරදවා  සිය පසෙකින් තබා ගෙන ය. නිස්සද්ද විලියොං රනිල් වික්‍රමසිංහ ගැන කියනුම කවරේ ද?මේ මගුල් සක්වල කිනම් රටකින් නම් මෙවන් දසුන් දැක ගත හැක්කේ ද? Alice in Wonderland නො ව  Namal Kumara in Gobbaland   ය .

###################################################

   මිනිස්  අයිතින්  සහ කාදිනල් මැල්කම් රන්ජිත්

   මිනිස් අයිතීන් සම්බන්ධයෙන් කාදිනල් මැල්කම් රන්ජිත් කළ ප්‍රකාශයකට මංගල සමරවීර කළ පිළිතුරු සැපයීම ද තම  දේශපාලන වාසිය පිණිස යොදා ගනිමින් , තමාට අහිමි වූ කතෝලික ඡන්ද පික්පොකැට් ගැසීමේ පරම පවිටු චේතනාවෙන් යුතු ව,  අද  රටේ  අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් නැතැයි මහින්ද රාජපක්ෂ හොටු පෙරමින් අඬන්නට පටන් ගෙන ඇත.මාධ්‍යවේදීන්ට පහර දෙමින් ද රටේ වසන්නට බැරි තත්ත්වයක් උදා කරමින් ද මාධ්‍ය ආයතන ගිනි තබමින් ද අදහස් ප්‍රකාශ  කිරීමේ අයිතිය 21 වැනි සියවසේ මුල් භාගයේ දී ඒ සා ප්‍රභාමත් ලෙස තහවුරු කළ, එකල්හී  මෛත්‍රීපාලගේ මහරජ වූ මහින්ද රාජපක්ෂ මෙලෙස හොටු පෙරමින් අඬන අතර ම කියා සිටින්නේ , ආගමික නායකයකු අදහස් ප්‍රකාශ කළ විට ඊට ප්‍රතිචාර දැක්වීම නුසුදුසු බව ය. අදහස් ප්‍රකාශ  කිරීමේ අයිතිය ගැන ඔහු දරන ආකල්පයේ තරම එයින් ම මොනවට පැහැදිලි වේ. ගෝඨාභයට  හිට්ලෙර් කෙනෙක් වෙන්නැයි ඇරයුම් කොට නිකම් ම සවුත්තු වී ගිය අස්ගිරියේ අනුනායකට ඒකාධිපති විරෝධී  ජනතාව පිළිතුරු දුන් ආකාරයෙන්වත් මේ මෝඩ  මහරජා කිසිවක් ඉගෙන ගෙන නැති බව පමණක්  ඉන් පැහැදිලි වේ. ඕනෑ ම අයකුට ඕනෑ ම අදසක් ප්‍රකාශ කළ හැකි අතර,   එම අදහස ප්‍රකාශ කළ අයගේ තරාතිරම නොබලා ඊට පිළිතුරු දීමට මහරජාලාට පමණක් නො ව යාචකයාට පවා  ඇති අයිතිය ඉන් අදහස් කෙරේ.

    මිනිස් අයිතීන් සිය අධිරාජ්‍යවාදී පාලකයන් තම අරමුණු ඉටු කර ගැනීම  සඳහා අයුතු ලෙස යොදා ගන්නා බව සත්‍යයක් වුවත් , කළ යුතු ව ඇත්තේ ඒවා බටහිර සංකල්ප ලෙස මුග්ධ අයුරින් හෙලා දැක බැහැර කිරීම නො ව, අධිරාජ්‍යවාදීන් ඒවා  අයුතු ලෙස යොදා ගන්නා  විට පමණක්  නො ව ඔවුන් ම  එම අයිතීන් උල්ලංඝණය කරන විට ද ඒවාට විරුද්ධ ව එම රටවල ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමග එක් වී සටන් කිරීම ය. 

   රජවරුන් සහ ආගමික සංස්ථාවන් විසින් අමු අමුවේ උල්ලංඝණය කෙරුණ මිනිස් අයිතීන් දැන් පවතින ප්‍රමාණයෙන් හෝ තහවරු වූයේ,රජවරුන්ට සහ පූජකයන්ට එරෙහි ව කෙරුණ සියවස් ගණනාවක් ඈතට දිවෙන විවිධාකාර අරගලවල ප්‍රතිඵලය වශයෙනි. යමකු  සතු ආගමික නිල නාමවල බලමහිමයෙන් ඒ සාපරාධී ඉතිහාසය මකා දැමිය නොහැක. පල්ලියේ මතයට එරෙහි ව කිසිවක් කීම මරණයෙන් වන්දි ගෙවිය යුතු වූවක් නොවිණි නම්, සූර්යයා පොළොව වටා  නො ව පොළොව  සූර්යයා වටේ කැරකෙන්නට "පටන් ගන්නේ" කොපර්නිකස් ජීවත් ව සිටි කාලයේ  දී ම ය ; එසේ වූයේ නම් බෘනෝ ව අමු අමුවේ පුච්චා මරා දැමීමට කතෝලික "ධර්මාධිකරණයක් '' නොපවතින්නට තිබිණ; ගැලිලියො ගැලිලි සම්බන්ධයෙන් සියවස් ගණනාවකට පසු 21 වැනි සියවසේ දී සමාව අයැදීමට පාප් වහන්සේ කෙනෙකුට ම  සිදු නොවන්නට තිබිණ. ආගම් මුල් කොට ගෙන කෙරුණු අපරාධ නොදැන හෝ නොදන්නා බැව් මවා පාමින් හෝ ආගම් විසින් මිනිස් අයිතීන්  සුරැකි බව කීම, කියන්නා  කවුරුන් වුවත් , කිසිසේත් ම පිළිගත නොහැකි හුදු සම්ප්‍රප්ඵලාපයක් පමණි. මංගල සමරවීර කී නිසා, ඔහුගේ බංකොලොත් ආර්ථික ප්‍රතිපත්තීන්ගෙන් බැට කන ජනතාවගේ  විරෝධය  ගසා කමින් , ඔහු දක්වා ඇති ඓතිහාසික  කරුණු බොරු කළ හැකි යැයි සිතන්නේ නම් එය බරපතළ මුලාවකි.

  **************************************************** 

         මහින්ද යුද අපරාදවලින්  නිදහස් !

    යුද්ධයේ අවසන් දිනවල දී මහින්ද හෝ ෆොන්සේකා හෝ ගෝඨාභය හෝ රටෙත් නොසිටි බව මෑතක දී ජනපති මෛත්‍රීපාල ප්‍රකාශ කර සිටියේ , යුද ජයග්‍රහණයේ නියමුවා තමා බව නොකියා කියමිනි. තතු එසේ නම්, එම දිනවල සිදු කෙරුණැයි චෝදනා කෙරුණ යුද අපරාධ සම්බන්ධයෙන් යුද අධිකරණයට යාමට නියමිත ව ඇතැයි මහින්ද රාජපක්ෂ තප්පුලෑවේ අනිවාරතේ ය.දැන් ඉහත සඳහන් කිසිවෙක් බිය විය යුතු නැත.වගකිව යුත්තා  කව්දැයි සක්සුදක් සේ පැහැදිලි ය.හැබැයි, ඒ යුද ජයග්‍රහණයේ අයිතිය  ඔහුට භාර දී දුටුගැමුණු පට්ටම අත් හැරීමට මහින්ද සූදානම්  වන්නේ නම් පමණි.

   කෙසේ වෙතත් , විවිධ නායකයන් කළා යැයි කියන වෙනත් අපරාධ සම්බන්ධයෙන්  මෛත්‍රීපාල නොයෙකුත් වෙට්ටු දමන්නේ මන්ද යන ප්‍රශ් නයට පිළිතුර පිළිබඳ ඉගියක් ඔහුගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ. තව ද, කෙසේ වෙතත්, යුද්ධයට අදාළ නැති වෙනත් අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම ''රණවිරු දඩයමක් නොවේ"' යැයි නිව්යෝක්වල ශ්‍රී ලාංකිකයන් හමුවේ  ඔහු කළ ප්‍රකාශය අනුව, එහිලා ගැටලුවක් මතු වේ. නැත,   එය ගැටලුවක් නො වේ. එම ප්‍රකාශ සහ ඔහුගේ හැම ප්‍රකාශයක් ම කොහෙත්ම විශ්වාස නොකළ හැකි , තැනේ හැටියට ඇණේ ගැසීමක් වන හෙයිනි. 

 

 

 

Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS