2018 ඔක්තෝබර් 14 කලාපය 14
****************************************************
රුපියලත් සමග කඩා වැටුණ
කබ්රාල්-ගොඩහේවා අමුඩ
########################################################
ජනපතිගේ ආර්ථික ප්‍රතිපත්ති
######################################################
*****************************************************
ලොව පුරා දේශපාලන ඝාතන
ආණ්ඩුව පෙරළීමේ මෛත්‍රී -මහින්ද කුමන්ත්‍රණ
ආණ්ඩුව පෙරළීමේ අලුත් ම දිනය දැන් අයවැය පිළිබ්ඳ ඡන්දය විමසන දිනය දක්වා ඉදිරියට ගෙන ගොස් තිබේ. ඒ අනුව දිනය නොවැම්බර් 5දා දක්වා ඒ ගැන සිහින මැවීමේ අවස්ථාව රාජපක්ෂවාදී වහලුන්ට ද, ව්‍යාජ තොරතුරු අට්ටි ගණන් ගොඩ ගැසීමේ වරම ජනමාධ්‍ය වේශධාරී ආයතනයන්ට ද හිමි ව ඇත. ඒ අතර ම ආණ්ඩුව පෙරළා දැමීමේ කාර්යය ඊට පෙරාතුව කිරීමේ කාර්යය මහින්ද රාජපක්ෂ විසින් ම ජනපති මෛත්‍රීපාල සිරිසන සහෘදයාණන් වෙත පවරනු ලැබ තිබේ.ඒ ව්‍යවස්ථාව අනුව එය කළ හැක්කේ ජනපති තනතුර දරණ තැනැත්තාට පමණක් වන හෙයිනි. රාජපක්ෂ නඩයට එරෙහි 62 ලක්ෂයකට අධික ජනතාවකගේ ඡන්දයෙන් බලයට පත් , රජපක්ෂ නඩය විසින් එකල "සිරිසේනයා ", "හුටං හුටං " ලෙස බෞතීස්ම කරනු ලැබූ පුද්ගලයා ද පසුගිය කාලය මුළුල්ලේම වීර්ය පාරමිතාව පිරුවේ මේ අලුත් හොර නඩය පෙරළා දමා තමාගේ පරණ හොර භවනට සැපත් වීමේ මගක් සොයමිනි. ජනපතිගේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කළ අවස්ථාවේදී ද මෙය මෙලෙස ම කිරීමේ කුරුමාණමක් ඇල්ලූ නමුදු ,ඡන්දය විමසීමකට යාමෙන් තොර ව ම එය ගබ්සා කර දැමීමට සිදුවූ අයුරු 'පංති සටන" තුළින් අපි පෙන්වා දුනිමු. අයවැයේ දී ඡන්දය විමසිය යුතු ම නිසා ඒ සෙල්ලම මෙවර කළ නොහැක. ඒ අනුව , එක්කෝ ඊට පෙරාතුව ජනපති විසින් ආණ්ඩුව පෙරළා දැමිය යුතු ය; නො එසේ නම්, අයවැයේදී එය පරාජය කිරීම මගින් ඊට මාවත සකසා ගත යුතු ය. එහෙත් කොස්සකට ඇත්තේ ඡන්ද 113ක් ගාල් කර ගැනීම ය.මොහොතකට ගාල් කර ගත්තත් දිගට ම රඳවා ගැනීම ය.ඒ නිසා ඉදිරි කාලය තුළ ද දැක ගත හැකි වනුයේ මේ සියලු පක්ෂවල සහ නායකයන්ගේ දේශපාලනික කුණු වීමේ විවිධ ප්රකාශනයන් ය; ඒවා ම පමණි.
මෛත්‍රීපාල සමග මහින්ද කරන මේ නීච සෙල්ලම නිසා ඒකාබද්ධයේ නායක හොර රැළේ නායකයන් අතර ම අර්බුද උග්‍ර වීම නියත වුවත්, අප මීට පෙර ද අවධාරණය කර ඇති පරිදි ,රාජපක්ෂලාට එරෙහි නඩු දිගටම විභාග වීම නිසා ඇති විය හැකි නස්පැත්තිය සලකන තාක් දුරට , මොනයම් හෙයියම්මාරුවක් දමා හෝ මහින්ද අගමැති කරවා ගැනීම ඔවුනට අත්‍යවශ්‍ය ය .නඩුවල තීන්දු කෙසේ වෙතත් , නඩු විභාගයන්වල දී මේ දේශප්‍රේමීන් ගේ සළුපිළි තවදුරටත් ගැලවී යාම අනිවාර්ය හෙයින්, ඉන් ජනතා මතයේ ඇති වන වෙනස්වීම් ඔවුන්ට මරණීය වනු ඇත.මේ නඩු හුදෙක් දේශපාලන පලිගැනීම් ලෙස පෙන්වා ජාම් බේරා ගැනීමට එවිට තව දුරටත් ඉඩක් ඉතිරි නොවනු ඇත. ව්‍යාජ නීති තර්ක ඉදිරිපත් කිරීම්, බන්ධනාගාර ගත වීමට පෙර ම බරපතළ පමණක් නොව තවමත් හඳුනා නොගත් ලෙඩ රෝගවලට ගොදුරුවීම් යනාදී දහසකුත් එකක් ගැලවිජ්ජාවල නිරත වීමේ ඉඩකඩ නැතිවා ම නො වේ; එහෙත් ෆුල් ඉන්ෂුවරන්ස් තිබෙන්නේ තමා ම ගරු අග්‍රාමාත්‍ය ධුරන්දර වීමෙන් ම පමණි. සියලු ම හොරුන්ගේ '' නැත අන් සරණා ඔබ හැර මෙමටා " වු රනිල් වික්‍රමසිංහ , තමා ව පෙරළා දැමීමට ඉඩ දීම වෙනුවට මහින්ද සමග අලුත් ම ගේමක් ගසනු ඇත්දැයි ඉදිරියේ දී බලා ගත හැකි වනු ඇත.
****************************************************
රුපියලත් සමග කඩා වැටුණ
කබ්රාල්-ගොඩහේවා අමුඩ
රුපියල දිගින් දිගටම බාල්දු වීමත් සමග ම ,විය යුතු පරිදි ම සහ වන බව කවුරුත් දන්නා පරිදි ම ඊනියා ඒකාබද්ධ විපක්ෂයේ හෙවත් පොහොට්ටුවේ නායකයෝ, එහි එල්ලී හෝ ආණ්ඩුව පෙරළ දැමීමට දනිපනිගා ගෙන පෙරට ආහ.මෙහිලා අති දුක්මුසු සහ හාස්‍යජනක දර්ශනය ලොව හමුවේ ප්‍රදර්ශනය කළේ මහින්ද රාජපක්ෂ ය. විමල් වීරවංශ සහ ගම්මන්පිල ජෝඩුව දෙපැත්තේ තබා ගෙන එලෙස මහින්ද මහරජු සවුත්තු වී යද්දී, ඔහු පිටුපසින් ඔහුගේ නොදැනුවත්කම නමැති හොරිය කැසීමට සැදී පැහැදී සිටියේ ,හිටපු මහ බැංකු අධිපති යන නිල නාමය යටතේ පොරක් වී සිටින අජිත් නිවාඩ් කබ්රාල් ය. මෙම ඊනියා ප්රවෘත්ති සකච්ඡාවෙන් සේදී ගිය සිය වහල් ස්වාමියාගේ සර්වතෝභද්රතාව යළි ප්‍රතිෂ්ඨාපනය කර ඔහු ඉහළට ඔසවා තබනු වස් නිවාඩ් කබ්රාල් ඉනික්බිති තවත් ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වී ය;මහින්ද විසින් තමාට ලබා දුන් මහ බැංකු අධිපති තනතුරේ ආනුභාවය හැරුණ විට ආර්ථික විද්යාඥයෙකැයි පෙන්වා දීමට කිසිදු සුදුසුකමක් නැති කබ්රාල් මෙවර සිය සහයට ඩැනී කර ගත්තේ ,එහිලා තමාට තරම්වත් එවැනි සුදුසුකමක් නැති නාලක ගොඩහේවා නමැති , එසමයයෙහි කොටස් වෙළඳ පොල වවා ගෙන කමින් , නාමල් බේබිට ඉන් ලක්ෂ පණහක් ම ලෝස් නැතිව අත දිග හැර බෙදා දුන් අමු ජාතිවාදියෙකි. මහින්ද කඩා ගත් ඔහුගේ අමුඩය යළි සකසාලීමට පැවැත්වූ මෙම ප්රවෘත්ති සාකච්ඡාවේ දී සිදු වූයේ ඔවුන් දෙදෙනා තමන්ගේ ම අමුඩ ද කඩා ගැනීම පමණි.
මහා ආර්ථික විද්‍යාඥ නාලක ගොඩහේවා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ කියන ආකාරයේ ආර්ථික අර්බුදයක් ලෝකයේ නොමැති බව ය.රනිල් වික්‍රමසිංහ අදාළ ආර්ථිකමය කරුණු ඉදිරිපත් කරන්නේ ඔහුගේ බංකොලොත් ප්‍රතිපත්ති සාධාර්ණීකරණය කර ගනීමට බව සත්‍ය නමුත් , එම කරුණු ඉදිරිපත් කරන්නේ රනිල් වීම් හේතු කොට ගෙන ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කරන කරුණු බොරු වන්නේ නැත. ගොඩහේවා වැනි කාඩ්බෝඩ් ආර්ථික විශාරදයන් නොදන්නවාට , ආණ්ඩුව පෙරළීමේ කටමැත දෙඩවීම්වලින් චූන් වී, එළුවාගේ මොකක්දෝ වැටෙන තෙක් කවුදෝ බලා සිටියාක් මෙන් ආණ්ඩුව වැටී තමන්ගේ පරණ හොර අඩවි තමන් අතට යළි පත් වන තෙක් කටබලියා ගෙන නොසිට, ලෝක ආර්ථිකයෙහි සිදු වෙමින් පැවති සහ සිදු වෙමින් පවතින දේ කෙරෙහි අවධානයෙන් සිටි පාසල් දරුවකු පවා දැන සිටිය යුතු දෙය වන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂණවාදී චණ්ඩි පාට් නිසා ලෝක ආර්ථිකය දරුණු කඩා වැටීමකට ගොදුරු වෙමින් පැවති බව ය;පවතින බව ය. "අමරිකාව යළි ශ්‍රේෂ්ඨත්වයට පත් කරමු "( Make America Great Again) යන තේමාව යටතේ ඔහු චීනය, රුසියාව, ඉරනය, තුර්කිය වැනි රටවලට පමණක් නොව ඇමරිකාවේ අතිජාත මිත්‍රයන් ලෙස සැලකෙන යුරෝපා සංගමයට ද එරෙහිව ගෙන යන වෙළඳ යුද්ධය සහ එය ලෝකයට ඇති කරන බලපෑම ගැනවත් නොදන්නා අයකු සමගින් එක් ව රුපියල ගැන පොර ටෝක් දිමටඉදිරිපත් වන විට ම කබ්රාල් සිය හිටපු මහ බැංකු අධිපති අමුඩය කඩා ගෙන තිබිණ. ලොව සෑම රටක් ම ලෝක ආර්ථිකය මත අනයොන්යව ගැට ගැසී ඇති අන්දම අනුව ට්‍රම්ප්ගේ වෙළඳ යුද්ධයට ප්‍රතිචාර දැක්වීමේදී අතිශය පරෙස්සම් සහගත වීමට හැම රටකට ම සිදු ව ඇත.නොවැම්බර් 4දායින් පසු ඉරානයට එරෙහි සම්බාධක තවත් වැඩි කිරීමත් සමග ම , ඉරානය සමග ගනුදෙනු කරන හැම රටකට ම සහ ආයතනයකට ම එරෙහිව දඬුවම් උග්‍ර කිරීමේ අමෙරිකාවේ චණ්ඩි පාට් අනුව තත්ත්වය තවත් උග වනු ඇත. නාලක ගොඩහේවාගේ අතිශය මන්ද බුද්ධික ප්‍රකාශය කිරීමෙන් දින දෙක තුනකට පසු ලෝක කොටස් වෙළඳ පොලේ සමස්ත කඩා වැටීම සහ ලෝකයේ සියලු රටවල අර්ථිකයන්ගේ වර්ධනය පිළිබඳ පුරෝකතනයන් අවරට යන අයුරින් වෙනස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ම සිදුවීම නොවරදින සේ යළි තහවුරු කර ඇත්තේ ,ලෝක ආර්ථිකයේ ප්රවනතා සහ වර්ධනයන් තේරුම් කර ගැනීම ,පුංචිම පුංචිම දූපතක කොටස් වෙළඳ පොළ වවා ගෙන කෑම තරම් පහසු කටයුත්තක් නොවන බව ය.ඒකාබද්ධයේ කමකට නැති නායකයන්ගේ ඊටත් වඩා කමකට නැති නරිවාදන් දිගට හරහට උලුප්පා දැක්වීම ප්රවෘත්ති ප්‍රකාශයක් යැයි තරයේ විශ්වාස කරන "හිරු' ප්රවෘත්ති ප්‍රකාශය මත පමණක් යැපෙන අයකුට කවදාවත් ඒවා අවබෝධ කර ගැනීම පසෙක තිබිය දී ,ඒවා දැන ගැනීමට පවා ඉඩක් නොලැබෙනු ඇත. මන්ද යත්, එම ප්රවෘත්ති වලට ලංකාව හැර ලෝකයක් නැති තරම් වන හෙයිනි.ඉඳහිට හෝ ලෝක ප්‍රවෘත්තියක් තිබුනොත් , ඒ රිලවකු බස් රථයක් පැදවීම වැන්නක් පමණක් වන් හෙයිනි.
කබ්රාල්ගේ අමුඩය කැඩී යාමේ වෘත්තාන්තය වඩාත් සෝචනීය ය. ඒ , ඔහු ව හඳුන්වා දෙනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති යන මහප්‍රාණ වචන ද සමගින් වන හෙයිනි. ඔහු ද සිය වහල් ස්වාමියගේ පාද පරිචාරිකා කරමින් කියන්නේ, තමන්ට බලය ලැබුණ විට රුපියල කෙළින් කරන හැටි තමන් දන්නා බව ය.ඒ අනුව , මට බලය ලැබුනොත් එය කරන හැටි මම ද දන්නෙමැයි මට ද කියා සිටිය හැක!වෙනසකට ඇත්තේ ඔහු හිටපු මහ බැංකු අධිපතිවරයකු වීමත්, මා ලිපිකරුවකු ලෙස මහ බැංකු සේවාවට පිවිස, වසර 34ක් මුළුල්ලේ කිසිදු උසස් වීමක් නොලැබ විශ්‍රාම ගිය නිකම් ම නිකම් ලිපිකරුවකු ( ක්ලාක් කට්ටකු ) වීමත් පමණි .
ඔහු තමාට පුළුවන් බව සහතික කරන්නට තටමන්නේ තමාගේ කාලයේදී එය කළ බව උජාරුවෙන් කියමිනි. කිසියම් මුදල් ඒකකයක විදේශ විනිමය අනුපතිකය එලෙස එක එකාගේ කයිවාරු අනුව නීර්ණය වන්නක් නොවේ.රුපියල සම්බන්ධයෙන් ගත හොත්, ඩොලරයට සාපේක්ෂව එහි වටිනාකම තීරණය වනුයේ , ඩොලරයට ඇති ඉල්ලුම සහ සැපයුම අනුව ය.ඒ අනුව ,සමස්ත ආර්ථික ප්‍රතිපත්තිය මත එය රඳා පවතී.ඉවක් බවක් නැති අනවශ්‍ය ආනයනයන් මගින් විදෙස් සංචිත කාබාසීනියා කිරීම ද අපනයන වෙළඳපොල පුළුල් කර නොගැනීම මගින් අපනයන ආදායම් වැඩි කර ගැනීමට අපොහොසත් වීමද මෙයට මූලික වශයෙන් ම බලපායි. ඇත්ත වශයෙන් ම රුපියල මේ මට්ටමේ හෝ පවතින්නේ මෙතෙක් පැවති ආණ්ඩුවල ක්‍රියා මාර්ගයන්ගේ බල මහිමයෙන් නොව ,ප්‍රධාන ව ම, තමන් සතු සියල්ල උගස් තබා විදේශ රැකියා සඳහා යන දුගී දුප්පත් ජනතාව මෙරටට එවන බිලියන ගණන් විදේශ විනිමය නිසා ය. ඊට අමතරව ,රුපියල බාල්දුවීමට ඔන්න මෙන්න තිබිය දී ගිනි පොලියට ඩොලර් බිලියන ගණන් ණය ගැනීම මගිනි. එමගින් ඒ මොහොතේ රුපියල් බාල්දු වීම මග හැරෙන නමුත්, එමගින් හිමාලය මුදුනට ඉහළ නැගෙන ණය කන්දරාව සහ පොලී කන්දරාව, ඒවා ගෙවිය යුතු අවස්ථාව වනවිට රුපියලට ඇති කරන පීඩනය අති මහත් ය.මහින්ද ගේ කාලයේ සමහර අවස්ථාවල රුපියල දරුණු ලෙස බාල්දු වීම වළකා ලීමට සර්වබලධාරී මහින්ද- කබ්රාල්-පී .බී.ජයසුන්දර හොර තුන් කට්ටුවට නොහැකි වූයේත්, දැන් රනිල් ප්රමුඛ ආර්ථික ඔස්තාර්ලාට එය කළ නොහැකි ව ඇත්තේත් ඒ අනුව ය. ඒ ඒ මොහොතේ ජාත්‍යන්තර ව ඇති වන විවිධ කරුණු නිදහසට හේතු ලෙස මොවුන් ගෙන හැර දැක්වුවත්, මූලික හේතුව ඔවුන් අපනයන ආදායම් සීග්‍ර ලෙස වැඩිකරන ක්‍රියා මාර්ගයන් ගෙන යාමට මුළුමණින් ම අපොහොසත් වීමත් ආනයනයන් විධිමත් නොකිරීමත් ආර්ථික කළමනාකරණයෙහිලා මුළුමණින්ම අසාර්ථක වීමත් ය.ඔවුන්ට කළ හැක්කේත් ඔවුන් කරන්නේ ත් අර්බුදයක් ඇතිවූ විට , ඇත්ත කරුණු එකක් දෙකක් බොරු කරුණු සමුදායක් සමග පටලවා,ජනතාවගේ ඇස්වලට වැලි ගසමින් ප්රවෘත්ති සාකච්ඡා පවැත්වීම ය.
########################################################
ජනපතිගේ ආර්ථික ප්‍රතිපත්ති
තමා ආර්ර්ථික විශේෂඥයකු නොවන්නේය යන්න කවුරුත් දන්නා සුප්‍රකට කරුණක් වන හෙයින් ඒ බැව් නොවරදවා ප්‍රකාශ කිරීමට තරම් නිහතමානී වන අප ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් , ඒ හා සමග ම ආර්ථික ප්‍රශ්නවලට තමාගේ ම විසඳුම් නොවලහා ප්‍රකාශ කිරීමට ද නොපසුබට වන අයුරු ද පසුගිය සති දෙක තුන තුළ දී දැක ගත හැකි විය. ඒ අනුව ඔහු ඊයේ ප්‍රකාශ කර සිටියේ තම මතය අනුව පිටිරටින් ආනයනය කරන දේවල් නවතා දැමිය යුතු බව ය.මෙහි දී ඔහු අදහස් කළේ අනවශ්‍ය දේවල් බව , ඔහුට අසාධාරණයක් නොවනු පිණිස අපි එයට එක් කර කියමු. අනවශ්‍ය දේවල් යන්න එක් එක් අයට තම තමන්ගේ රුචිය අනුව නිර්වචනය කළ හැකි අතර, ආනයනයට වැය වන මහා ධනස්කන්දය විශාල වශයෙන් අඩු කිරීමට නම්, සරුංගල් ආනයනය වැනි දේ අඩු කිරීමෙන් ඵලක් නොවන බව නොකිවමනා ය. ඒ අනුව , මේ අනුව විය හැක්කේ 1970/77 යුගයේ දී වත්මන් ජනපති ගේ ශ්‍රේෂ්ඨ නායිකා සිරිමා බණ්ඩාරනයකගේ බංකොලොත් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියට ආපසු රට ගෙන යා යුතු ය.ඒ අනුව වත්මන් ලෝකයේ දී මුළුමණින් ම යල් පැන ඇති, නොවෙනස්වනසුලු කෘතිම විනිමය අනුපාතිකයකට යා යුතු ය. රාජ්‍ය බලය යොදා එවැන්නක් නියම කළ හැකි වුවත් එහි ආයු කාලය වැඩි කල් නොපවතිනු ඇත්තේ , රට තවත් අගාධයට තල්ලු කරමිනි.
අනෙක් අතට මෙම ජනාධිපති ම මීට සතියකට පෙර අපනයනකරුවන්ගේ සමුළුවක දී ප්‍රකාශ කළේ , තම මතය නම්, අපනයන සඳහා අය කෙරෙන තීරුබදු සියල්ල අහෝසි කළ යුතු බව ය.එය අත්පොළොසම ලබා ගැනීම සඳහා නම් නියම ය. ආනයනත් නැති අපනයන සඳහා බදුත් නැතිව රට ගෙන යන්නේ කසේද යන්නත් පහැදිලි කළේ නම්, මහින්ද සමරසිංහ විසින් ගිය වසරේ දී වෙන කරුණක් අරභයා දෙන්නට ගිය නොබෙල් සම්මානය ආර්ථික විද්‍යාව උදෙසා ඔහුට ලබා දෙන්නට තවත් ට්‍රයි එකක් දමන්නට ඉඩ තිබිණි.
######################################################
ජනතා විමුක්ති පෙරමුණේ
ඊනියා 20වෙනි සංශෝධනය
රට හමුවේ ඇති මූලිකම දේශපාලන ප්රශ්නය මෛත්‍රී-රනිල් - මහින්ද තුන් කට්ටුවෙන් ජනතාව ගලවා ගැනීමට ගත යුතු ක්‍රියා මාර්ගය සකසා ගැනීම ව තිබිය දී, ඊට ප්‍රතිවිරුද්ධ ව ඊනියා 20වැනි සංශෝධනයක් කරේ තබා ගෙන රට වටේ ගිය ජනතා විමුක්ති පෙරමුණ ඉමහත් අකරතැබ්බයකට ගොදුරු කරමින්, එහි වගන්ති 38න් 36 ක් ම ව්‍යවස්ථාවට පටහැණි බවත්, ඒවා සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට අමතරව ජනමතවරණයක් අවශ්‍ය බවත් ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කර ඇත. තමන් නියම ම වැඩකාරයන් බව තම බොළඳ අනුගාමිකයන් හට ප්‍රදර්ශනය කිරීමට කැසපට ගසා ගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණ ,සිදු වූ අබග්ගයෙන් කිසිදු සැලීමකට තමන් බඳුන් නොවූ බව ලොවට පෙන්වීම සඳහා කළ ප්‍රකාශය, ඇත්ත වශයෙන් ම කළේ එහි අන්ත දෙශපාලන නිවට නියාලු බව ලොවට ම ප්‍රදර්ශනය කිරීම ය.ඒ අනුව , එහි නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ ජනමත විමසුම හොඳ දෙයක් බව ය; එනිසා එම සංශෝධනයට බාධා නොකරන ලෙස ඔහු මන්ත්‍රීවරුන්ට කන්නලව් කළේ ය.මෙම සංශෝධනය ගෙනාවේ ම අලුත් ම ව්‍යවස්ථාවක් අනුමත කර ගැනීමට තුනෙන් දෙක සහ ජනමතය යන දෙක ම අවශ්‍ය නිසා, ඒ බාධකය මග හැර සම්මත කර ගැනීමට පහසු දෙයක් සම්මත කර ගැනීමේ ක්‍රමයක් ලෙස ය.විධායක ජනපති ක්‍රමය සංශෝධනය කර ගැනීමට මේ දෙක ම අවශ්‍ය නම්, කළ යුතුව ඇත්තේ එය පමණක් නොව මූලික ම ගැටලුව වන ජාතික ප්‍රශ්නයට විසඳුම් ද ඇතුලත් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ක්‍රියා කිරීම ය.
ජවිපෙ විසින් ඉදිරිපත් කෙරුණ 20වෙනි සංශෝධනය අර තුන් කට්ටුවට එරෙහි සටන කැලේ පැන්නවීමක් පමණක් නො ව, ජාතික ප්‍රශ්නයට විසඳුමක් ගෙන එන ව්‍යවස්ථාවක අවශ්‍යතාව කෙරෙන් ද ජනතා අවධානය කැලේ පැන්න වීමේ උප්පරවැට්ටියක් ද වේ.
මේ එකක්වත් සම්මත වීමට මෙම පාර්ලිමේන්තුව ඉඩ නොදෙනු ඇත. එය දැන දැන කාලය කා දැමීම වරදක් පමණක් නොව අපරාධයක් ද වේ.විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම කෙතරම් අවශ්‍ය වුවත් එය අන් දේශපාලන ප්‍රශ්නවලින් වෙන් කොට ගෙන එකම ප්රශ්නය කර ගත හැක්කේ , අප මීට පෙර ද පෙන්වා දී ඇති පරිදි ව්‍යවස්ථා ඇට්ටරයන්ට පමණි..පූර්ණ බලතල යටතේ ජනපතිවරයකුට යා හැකි දුර ජේ.අර්, ප්‍රෙමදාස, චන්ද්‍රික , මහින්ද යනාදීන් ප්‍රදර්ශනය කළ පරිදි ම, බලතල යම් පමණකින් කප්පාදු කෙරුණ ජනපති ධුරයකින් වුව ජනතා ද්‍රෝහියකුට යා හැකි දුර මෛත්‍රීපාල පෙන්වා සහ පෙන්වමින් තිබිය දී, 20වෙනි සංශෝධනය මගින් නියම ම ප්රජාතන්ත්රවාදී පාලකයකු බිහි කළ හැකිය යන්න පරිපූර්ණ මිත්‍යාවක් පමණි. පාර්ලිමේන්තුවට ගෙනා පණත්වලට මුවා වී මැතිවරණ නොපවත්වා සිටීමට පාර කපා ගත් පරිදි ම, මෙම සංශෝධනයට මුවා වී ජනපතිවරණයටත් වැඩක් දීමට ජනපතිවරයා කුරුමානම් ඇල්ලුවොත් කිසිවකු පුදුම නොවිය යුතු ය.
*****************************************************
ලොව පුරා දේශපාලන ඝාතන
Comments
Post a Comment