2018 ඔක්තෝබර් 28                                              කලාපය 15

හොරිකඩයා පිළිබඳ ජැක් ලන්ඩන්ගේ මේ අමරණීය නිර්වචනය කොයි ද්‍රෝහියාටත් එක සේ ගැළපේ !

    දෙවියන් වහන්සේ ගැරඬියා, ගෙම්බා සහ ලේ වවුලා සාදා නිම වීමෙන් පසු, යම්කිසි විෂඝෝර පිඬුවක් ඔහු අත ඉතිරි විය.ඔහු එයින් හොරිකඩයකු සාදා නිම විය. හොරිකඩයෙක් යනු, කස්කුරුප්පුවක් වැනි වක ගැසුණ ආත්මයක් ද දිය භරිත වූ මොළයක් ද ජල්ලි සහ මැලියම් සම්මිශ්‍රණයෙන් සැදුණා වූ පිට කොන්දක් ද සහිත කකුල් දෙකේ සතෙකි.අන් අන් අයගේ හදවත් ඇත්තේ යම් තැනක ද එතැන හොරිකඩයා සතුව ඇත්තේ කුණු වූ ප්‍රතිපත්ති නම් ගඩුවකි.

    හොරිකඩයකු වීදියට පැමිණි කල් හි මිනිස්සු පසුපස හරවති; සුර දූතයෝ දෙව්ලොව්හි වැළපෙති;ඔහු එළියේ තැබීම පිණිස යක්ෂයෝ නිරයේ ද්වාරයන් වසා දමති. සිය සිරුර ගිල්වා තැබීමට සෑහෙන තරම් ජලාශයක් ඇති තාක් කල් සහ සිය මළකඳ එල්ලා දැමීමට සෑහෙන තරම් වූ කඹයක් ඇති තාක් කල් හොරිකඩකම් කිරීමට යමකුට අයිතියක් නොමැත්තේ ය.හොරිකඩයා සමග සසඳන විට ජුදාස් ඉකාරියොත් මහත්මයෙකි .සිය ස්වාමියා පාවාදීම වෙනුවෙන් එල්ලී මිය යාමට තරම් වූ හෝ ගුණාංගයක් ඔහු සතු ව තිබිණ.හොරිකඩයාට එවැන්නක්වත් නොමැත.

   ඉසාවු ද්‍රෝහියෙක් වූයේ තමාට ය.ජුදාස් ඉකාරියොත් ද්‍රෝහියෙක් වූයේ සිය දෙවියාට ය. බෙනඩික්ට් අර්නෝල්ඩ් ද්‍රෝහියෙක් වූයේ සිය රටට ය. හොරිකඩයා සිය දෙවියාට,සිය රටට, සිය පවුලට සහ සිය පංතියට ද්‍රෝහියෙකි.

 (Jack London- American Rebel-Philip S.Phoner- පිටු 78/79 )

 -------------------------------------------------------------------------------------

            62 ලක්ෂය පාවාදෙනු ලැබීම සහ 

                    අගමැති පොරය

 'පංති සටන ' 2018 ජුනි 7 දා ආරම්භ වූ තැන් පටන්  ගෙවුණ මාස 4ක් කාලය මුළුල්ලේ පළ වූ කලාප 14 දී අප දිගින් දිගට ම වෙහෙස නොබලා පෙන්වා දුන් ඊනියා යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට කෙරුණ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ  කුමන්ත්‍රණය දැන් ක්‍රියාත්මක වී ඇත.ඒ අනුව , 2015 ජනවරි 08 වැනිදා , අතිශය රුදුරු රාජ්‍ය ත්‍රස්තවාදී මර්දනයක් හමුවේ සහ කෝටි ප්‍රකෝටි රාජ්‍ය සම්පත් අවභාවිත කිරිම් හමුවේ, ඒ සියල්ලට මුහුණ දෙමින්  62 ලක්ෂයකට අධික ජනතාවකගේ ඡන්දයෙන් සහ ලක්ෂ 5කට ආසන්න වැඩි ඡන්දයෙන් ජනපති ධුරයෙන් පළවා හරිනු ලැබූ  මහින්ද රාජපක්ෂ , ඔහු ව පරාජය කළ මෛත්‍රීපාල සිරිසේන විසින් ම යළි බලයට පත් කරනු ලැබ ඇත. ඒ , 2018 අගෝස්තු මැතිවරණයේ දී  එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනුවත්  ඔහු ව පත් නොකරන බවට ජනපතිවරයා  දිවුලා වදාළ  අගමැති ධුරයට ඔහු පත් කිරීම මගිනි.2015 දී  ආප්ප කමින් සිය නායක මහින්ද රාජපක්ෂ ව රැවටූ අයුරින් ම , තමාට ජනපති ධුරයට පත් වීමට ආධාර කළ පමණක් නො ව, බලය නොදී සිටීමට ජනවාරි 8දා රෑ කෙරුණ රාජපක්ෂ කල්ලියේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කිරීමෙහි මෙහෙයුම දියත් කළ රනිල් වික්‍රමසිංහට එරෙහිව ද ඔහු ක්‍රියා කළේ අමු ම අමු කුමන්ත්‍රණකාරි ව ය.තමන්ට ඇතැයි කියන මහත්මා ගුණය අවස්ථා දෙකෙහි දී ම අබමල් රේණුවක තරමින් හෝ ප්‍රදර්ශනය නො කළ ඔහු , යළි මහින්දට පිටුපසින් පිහියෙන් නොඅනු ඇතැ යි  කිසිසේත් ම විශ්වාස නො කළ යුතු ය.

   මෙම පත් කිරීම කුමන්ත්‍රණකාරී වනවා පමණක් නො ව මුළුමනින් ම ව්‍යවස්ථා  විරෝධී ද වේ.ව්‍යවස්ථාවේ අන් වගන්ති පසෙක තිබිය දී , කිසියම් තනතුරක් දරන තැනැත්තෙකු  ඉවත් කිරීමෙන්  තොරව එම තනතුරට වෙනත් අයකු පත් නො කළ හැකිය යන සාමාන්‍ය දැනුමවත් ජනාධිපතිවරයාට තිබිය යුතු විය.එහෙත්  විය යුතු ව තිබූ පරිදි ම එයවත් ඔහුට නො වී ය.මහින්ද කල්ලියට එය තිබුණත් , බලය ඩැහැ ගැනීමේ පෙරේතකම තුළ දී එය අමතක වී යෑම තේරුම් ගත හැක. අස් කිරීමේ ලිපිය යවා ඇත්තේ පත් කිරීමේ ලිපිය යවා පැය ගණනකට පසු ය.

   කෙසේ වෙතත් දැන් අගමැතිවරු දෙදෙනෙකි.විය යුතු පරිදි ම ව්‍යවස්ථානුකූල ව අගමැතිකම තහවුරු වනු ඇත්තේ  පාර්ලිමේන්තුවේ දී බහුතරය  තහවුරු කිරීම මගිනි.  ඒ සඳහා , මෛත්‍රීපාල විසින් "යුවරජු" ලෙස එකල උපහාසාත්මකව නම් කරනු ලැබූ බැසිල් රාජපක්ෂ ක්‍රියා කරන බැව් ප්‍රකාශ වී ඇත.ඔහු එය කෙලෙස කරනු ඇත්දැයි ඔහුගේ මූල්‍ය කෙළි ගැන අපට වඩා හොඳින් මෛත්‍රීපාල දන්නා බව ඔහුගේ පරණ රුවන් වැකි දන්නා අයට අමුතුවෙන් කිව යුතු නැත.මොනයම් ක්‍රමයකින් හෝ බහුතරය අටවා ගැනීමට අපොහොසත් වුව හොත්, ගමරාළගේ අමුඩේ එල්ලී දෙව්ලොව යාමට සිහින මැවූ රනිල්ට වූවාක් මෙන් ම මහින්දට ද  වනුයේ පස්ස බිම ඇන ගැනීමට ය.රනිල් අගමැතිකමින් දොට්ට දැමීම සඳහා පසුගිය කාලය මුළුල්ලේ ගෙන ගිය කුමන්ත්‍රණය සාක්ෂාත් කර ගත නොහැකි ව තිබුණේ ද අගමැති නෙරපීමට ව්‍යවස්ථානුකූල ව නොහැකි වීමට අමතරව  ,නෙරපුවත් බහුතරය අටවා ගැනීමේ දුෂ්කරතාව පැවති නිසා ය. නඩු නොකඩවා  ඇසීම අත ලගට  ම පැමිණීමත් සමග ම, ව්‍යවස්ථා-විරෝධී  වීම නොතකා එය කිරීමත්, ඉන්පසු රාජ්‍ය බලය සහ සුපුරුදු  සල්ලි සහ තාන්නමාන්න සෙල්ලම ක්‍රියාවට නැගීමටත් ,''කම් ඕ ගෝ චිකාගෝ '' ප්‍රතිපත්තිය අනුව මොවුන් තීරණය කර ඇත.

    බහුතරය තමන් සතු නම්, කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව වහා ම කැඳවා  එය සනාථ කොට රනිල්  ඉවත් කිරීම ව්‍යවස්ථානුකූල කර ගැනීම ය.එහෙත් සිදු වූයේ ඊට හාත්පසින් ම වෙනස් දෙයකි. එනම්, පාර්ලිමේන්තුව  නොවැම්බර් 16 දා දක්වා කල් දැමීම ය! ඒ, රට තවදුරටත් අගාධයට තල්ලු වීම නොතකා ,තමන්ට නැති  බහුතරය හදා ගැනීම සඳහා ය !ඔවුන්ගේ  දේශප්‍රේමයේ තරම එවන් වේ. මේ අතරතුර කාලය, තමාගේ  අන්ත නීච පාවාදීම සාධාරණ කර ගැනීම සඳහා , 2015ට පෙර පැවති රාජපක්ෂවාදී මිනීමරු දශකයේ සුපුරුදු ව පැවති පරිදි රාජ්‍ය මාධ්‍ය පෙර නොවූ විරූ මට්ටමකින් ගණිකා වෘත්තියේ යෙදවීම සිදු කරනු ඇත.ඒ හිරු, දෙරණ වැනි නාලිකාවල අමතර පක්කලි සේවය ද ලබා ගනිමිනි.මේ සියල්ල කරනුයේ, 2015න් පසු මේ තාක් කල් සිය කුරිරු රාජපක්ෂවාදී අජූත මුහුණ යහපාලන කඩතුරාවෙන් වසා ගෙන සිටි මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති තනතුරේ නායකත්වයෙනි. මෙවන් තත්ත්වයක් ඉතිහාසයේ  සරදමක්, විපරිත වූවක් යනාදි ලෙස වෙනත් තත්වයක දී හඳුන්වා  දිය හැකි ව තිබුණත්, මොහු සම්බන්ධයෙන් එසේ කළ නොහැක. මන්ද යත්, අප මීට පෙර ද අවධාරණය කර ඇති පරිදි , 2005-2015 කාලය මුළුල්ලේ ම  එක ම එක අවස්ථාවක දී හෝ රාජපක්ෂ පාලනයට එරෙහිව ව්‍යංගයෙන් හෝ විවේචන පුළුටක් හෝ කර නොති බූවකු වන හෙයිනි.

    මෙම කුමන්ත්‍රනයේ නීච බව තවදුරටත් තීව්‍ර වනුයේ , එයට එරෙහිව කිසිදු ව්‍යවස්ථානුකූල පියවරක් ක්ෂණික ව ගත නොහැකි වන පරිදි එය සිකුරාදා රාත්‍රිය වන තෙක් ක්‍රියාත්මක නොකිරීමෙනි. අගමැති  ඉවත් කිරීමට ව්‍යවස්ථානුකූල බලයක් ජනාධිපතිට තිබේය යන බොරුවේ කිසියම් හෝ  ඇත්තක් තිබේ නම්, මෙලෙස කුමන්ත්‍රණකාරී වීමට මොනයම් ම හෝ අවශ්‍යතාවක් නැත; ඊනියා  සුබ නැකත තිබුණේ ඒ වේලාවටය යන්න සත්‍ය විය හැකි  වුවත් ,එය කුමන්ත්‍රණකාරී ලෙස කිරීමට මොනයම් ම අවශ්‍යතාවක් නැත. ව්‍යවස්ථාවෙ වගන්ති ගැන බොරු ජංජාලයක් ගෙන හැර පාමින් දැන් කෙරෙන නීති විශාරදයන් යැයි කියා ගන්නා තක්කඩියන් හරහා ජනතාවගේ කාලය කා දැමීමේ අවශ්‍යතාවක් එවිට පැන නගින්නේ ද නැත.ඒ මදිවාට ජනපති බලතල යොදවා ගෙන පාර්ලිමේන්තු වාරය අවසන් කිරීමේ අවශ්‍යතාවක් පැන නගින්නේද නැත. මෙය කළේ අයවැය ඉදිරිපත් කිරීම අත ළඟ තිබියදී ය . පාර්ලිමේන්තුවේ බහුතරය ඇතැයි  ජනාධිපති ධුරය දරන තැනැත්තාට  කිසිදු සංඛ්‍යත්මක පදනමකින් තොර ව  මර නින්දේ දී පෙනෙන සිහිනයක් අනුව පවා මේ අනුව අගමැතිවරුන් වෙනස් කිරීමට ඉඩ ලැබෙනු ඇත.උදේ බලන විට රෑ සිටි ඇමතිවරුන් බුරුතු පිටින් ඉවත් කිරීමේ තත්වයක් පැවති විජයානන්ද  දහනායකගේ අගමැති කාලය මෙහිලා සිහියට නැගේ. මෛත්‍රීපාලගේ කාලය එම දහනායක කාලයට මීට ඉහත අවස්ථාවක අප සමාන කළේ නිකම් ම නො වේ.

   මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව සාධාරණ කරනු වස් , ඊට අනුෂාංගිකව  පතුරුවා හරින කතාවක් වන්නේ , පොලිස් ඔත්තුකාර නාමල් කුමාර කියන කුමන්ත්‍රණයට රනිල් සම්බන්ධය යන්න ය. එහි ඇත්ත නැත්ත අන් අය මෙන්  අපිදු නො දනිමු. එය ඇත්තක්  නම් කළ යුතු ව තිබුණේ රනිල් ඉවත් කොට මහින්ද පත් කිරීම නො ව. රනිල් ව වහා අත් අඩංගුවට ගැනීම ය.එක්සත් ජනතා  නිදහස් සංධානය දිනුවත් මහින්දට අගමැති ධුරය දෙන්නේ නැති බව කීමෙන් නොනැවතී, එය දිය හැකි රාජපක්ෂලා නොවන වෙනත් සුදුස්සන් ඕන තරම් ශ්‍රිලනිපයේ සිටින බව 2015 මහ මැතිවරණ සමයේ දී  පුන පුනා කී  ජනාධිපතිවරයාට, රනිල් ඉවත් කොට පත් කිරීම සඳහා වෙනත් රාජපක්ෂවරයකු නො ව මහින්ද රාජපක්ෂව ම ඕනෑ වීම එම බොරුව පුපුරුවා හැරීමට ප්‍රමාණවත් ය.

    කෙසේ වෙතත්, දැන් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන අතිගරු තුමා, මුළු රට ම ව්‍යවස්ථානුකූල සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දරුණු අර්බුදයකට රට ගොදුරු  කර ඇත. පාර්ලිමේන්තුවේ දී  බහුතරය ඔප්පු කළ නොහැකි වුව හොත් , තමන් බලලෝභය මගින් වට්ටවනු ලැබූ  සහ වැටුන වලේ තරම ඔහු  තේරුම් ගනු ඇත.එය , දෙවසරකට පෙර ජනාධිපතිවරණය පවත්වා 2015 දී කර ගත් ඇබැද්දියට ද  වඩා බෙහෙවින් ම විනාශකාරී වනු ඇත.දන්නා  තරම් කඩිකස්තිරම් අල්ලා 113 ක්  නොවැම්බර් 16 දා පෙන්වා ගත  හැකි යැයි නිකමට සිතා ගත්තත් , ලාහෙට එකතු කර ගන්නා මේ ගෙඹි රැළ දිගට ම තබා ගත නොහැකි වුව හොත් එය ද ඔහු තවත් අර්බුදයකට යවනු ඇත. මීළග මැතිවරණයේ දී මොවුනට නාම යෝජනා දීමේ ප්‍රශ්නයෙ දී , පසුගිය වසර  තුන පුරා මොවුනට එරෙහිව කට්ට කාගෙන සිටි පොහොට්ටුවන් වෙතින් කෙරෙන බලපෑම හමුවේ ඔහු තවත් පඹ ගාලක පැටලෙනු ඇත. 

    ජාතන්තරව ගත හොත්, ලොව ඕනෑ ම තැනක ඒකාධිපතියන්ගේ පිහිටට එන යාවජීව ජනාධිපති ක්ෂින්ග් පින්ග්ගේ චීනය සහ තවමත් යාවජීව වී නැති  පුටින්ගේ රුසියාවේ  ආශිර්වාදය මහින්දට ලැබීම නියත අතර බටහිර රටවල් සමග පෙර පැවති ප්‍රශ්න මෙම පත් කිරීමේ කරුණ ම මගින් යළි කරලියට අවුත් ඇත.

        මහින්දව අතහැර මෛත්‍රී වෙතින් ශ්‍රිලනිපයේ ආසන සංවිධායක තනතුරු ගැනීමට තරම් මොට්ටපාලලා වූවන් නන්නත්තාර වනු ඇත.ඔවුන් වෙත අපේ සාතිශය සංවේගය !

       දැන් ඉතින් හෙටින් පටන් ගන්නා මේ නරිනාටකයේ ඊළඟ  දර්ශන නැරඹීමට සූදානම් වෙමු.

***********************************************************   

 

 

 

 

 

Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS