2018 ඔක්තෝබර් 21 කලාපය 15
ම්ලේච්ඡත්වය ඉක්ම වූ සෞදි මාධ්‍යවේදී ඝාතනය
බෙලිඅත්ත තංගල්ල තිස්ස මුල්කිරිගල
ජනපතිවරණය 39513 62739 78546 52202
මැතිවරණය 31389 50697 63950 42503
-------- -------- -------- --------
අඩු වූ ඡන්ද 8124 12042 14596 9699
------- -------- ------- -------
ම්ලේච්ඡත්වය ඉක්ම වූ සෞදි මාධ්‍යවේදී ඝාතනය
සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ සෞදි තානාපති කාර්යාලය තුළ දී අමු අමුවේ ඝාතනය කළ බවට සාධක තොග ගණනක් තිබිය දී එවැන්නක් නැතැයි දි දිවුර දිවුරා කියා සිටි සෞදි අරාබිය බැරිම තැන දැන් එය පිළිගෙන ඇත. එය ද කර ඇත්තේ සුපුරුදු ආකාරයේ බොරුවක් මගිනි. එනම්, ප්‍රශ්න විචෑරීමේ දී ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් ඔහු මරණයට පත් වූ බව කියමිනි.පොලිස් අත් අඩංගුවේ සිටිය දී ආයුධ පෙන්වීමට ගොස් මාංචු දැමූ අත්වලින් බෝම්බ ගසන්නට ගොස් මැරුම් කෑ සැක කරුවන් ගැන ඕන පදම් අසා ඇති ශ්‍රී ලංකාවේ අපට නම් ඒ කතාවේ අරුමයක් නැත. එහෙත් ලෝකෙට ලොක්කා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට නම් ඒ කතාව තරම් ඇත්තක් ලෝකයේ තවත් නැතිලු! ඩොලර් බිලියන 110ක් ආයුධ ගනුදෙනුව සමග ගත් කල උන්නැහේට මිනිස් අයිතිවාසිකම් මොන මගුලක් ද? හරියට මෙරට දෙශප්‍රේමී පප්පලාට සහ දූ පුතුන්ට මෙනි. ට්‍රම්ප් මුල සිට ම උත්සාහ කළේ සෞදි ආණ්ඩුව වගකීමෙන් නිදහස් කිරීමේ මගක් සෙවීමට ය.සමහර විට මුලින් දැක්වුණ ගැලවීමේ සූත්‍රය ඔහුගේ ම වන්නට ද පුළුවන.
මෙය හුදු මිනීමැරුමක් ම නො වේ. එක් අතකින් එය වෙනත් රටක සිය තානාපති කාර්යාලය තුළ දී කෙරුණකි. හුදෙක් මරා දැමුවා පමණක් නොව කෑලි කෑලිවලට කපා දේහය අතුරුදන් කිරීමකි.ඒ කාර්යය සඳහා සල්මාන් කුමරුගේගේ සමීපතමයන් රැළක් සෞදියේ සිට වෙන ම පෞද්ගලික ජෙට් යානයකින් පැමිණ ඝාතනය සිදු කොට හොරෙන් ම ආපසු යාමකි. ඉන්පසු ස්ථානය සෝදා පවිත්‍ර කොට අලුතින් තීන්ත ද ආලේප කොට ඇත.ඉන්පසු බොරු පිට බොරු කියමින් ලොව ම රැවටීම ය. සල්මාන් කුමරු ම මේ බොරුවලට කෙළින් ම සම්බන්ධ වී ඇත .තනි මිනිහෙක් මැරීම ගැන ඔච්චර කෑ ගහන්න ඕන ද , ඔයිට වඩා අපරාධ කොච්චර වෙනවා දැයි කියන අමනයන්ට වෙනස් ලෙස මෙම සිද්ධිය ලොව ම කළඹා ඇත.21 වැනි සියවසේ රාජ්‍ය අනුග්‍රහයෙන් නිරායුද පුද්ගලයකු මෙලෙස අමු අමුවේ ඝාතනය කිරීමක් කෙසේවත් සිදු වීමට ඉඩ නොදිය යුතු ය. සෞදියේ සම්පූර්ණ බලය අතට ගෙන, ප්රතිසංස්කරණකාරයකු ලෙස බටහිර රටවලට එළිය පෙන්වන මොහු කෙවන් වූ ම්ලේච්ඡයකු ද යන්න මෙමගින් හෙළිදරව් වී ඇත.මෙවන් ම්ලෙච්ඡයෝ මෙරට ද එළියවල් පත්තු කරන්නේ නිකම්ම නො වේ.ප්‍රගීත් එක්නැලිගොඩ, තාජුඩීන්,පැහැර ගෙන ගිය තරුණයන් එකොලොස් දෙනා මරා දැමූ ආකාරය කවදා හෝ හෙළි වූ විට ,ඒ වර්ගයේ ඝාතන පිළිබඳ ව අප සතූ වාර්තා එම ඝාතනය සමග සමතැන් ගැනීමට බෙහෙවින් ම ඉඩ ඇත.ඒවා වහංගු කොට චූදිතයන් බේරා ගැනීමට තැත් කිරීමේ දී අපේ නායකයන් සල්මාන් කුමරු සමග තකට තක වූ බව ද නිශ්චිත ව ම අනාවරණය වනවා ඇත.දෙගොල්ලා ම අඳින්නේ සුදෝ සුදු වස්ත්‍ර ය.
*******************************************************මහින්ද රාජපක්ෂගේ ප්රාතිහාර්යාත්මක ජනප්‍රියබව පිළිබඳ ගණන් හිලව්!
මහින්ද රාජපක්ෂ මෙරට කිසි ම නායකයකුට නොතිබූ තරම් ජනප්‍රිය නායකයකු ය යන බේගල තහවුරු කිරීමට පොහොට්ටුවේ බංකොලොත් නායකයන් දැන් කලෙක සිට දරන ප්රයත්නයේ තර්කානුකූල අවසානය වී ඇත්තේ , ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ පරම අභිමතය පමණක් නොව , ඕනෑ ම කරුණක් සම්බන්ධයෙන් අවසන් තීන්දුව දීමේ පරම අයිතිකරු ඔහු බවට පත් කිරීමට පොහොට්ටුවන් හට සිදු වීම ය. ජනාධිපති තනතුර දරද්දී ප්‍රකට කළ අන්ත වහල් බව එය නැති කාලයේ දී ද මෙලෙස නිර්ලජ්ජිත ලෙස ප්‍රකට කරන මොවුන් , ඔහුගේ අපේක්ෂකයා බලයට පත් වුව හොත් ඉන් පසු ද ඔහුගේ තීරණය දේව වාක්‍යය ලෙස සලකන බව ඒ අනුව කල් තියා ම තහවුරු කොට ඇත.2015 දී දෙවරක් ම පරාජයට පත් කරනු ලැබීමේ කරුණ නොතකමින් කෙරෙන මේ මහින්දා භිනන්දනයට ඔහුගේ සමහර විරුද්ධවාදීන් ද මුලාවී ඇති බවක් පෙනී යයි.ඒ අනුව , පළමුව තෙවෙනි වරටත් ජනපති වී ද, ,දෙවනුව නිර්ලජ්ජිත ලෙස අගමැති තනතුරට කෙසේ හෝ පත් වී ද රට ලෙල්ලටම හූර ගෙන කෑමට අමුඩ ගසා , දෙවර ම අමුඩය කඩා ගත් මොහු , සිය බල පෙරේතකමේ තරම මේ යැයි පෙන්වමින් , දැන් එකල සිරිසේනයා හුටන් යනාදී නිග්‍රහාත්මක නම් වලින් තම වහල් ගෝල බාලයන් විසින් හඳුන්වනු ලැබූ සිය ප්‍රතිවාදියා වෙත කිට්ටු වී, ඔහුට බෝලෙ බස්සවා මොනයම් ජාතියකින් හෝ අගමැති වී, අන්තිමට ඔහුටත් කෙළීමට නීච ලෙස කුමන්ත්රණයේ යෙදෙන මොහුට ඇතැ යි කියන , වෙන අන් කිසිදු නායකයකුට නොතිබුණා යැයි කියන ඊනියා ජනප්රියතාවේ පැටිකිරිය මඳක් හෝ විභාග කර බැලීම බෙහෙවින් ම කාලෝචිත ය; ප්‍රයෝජනවත් ය.
පළමු වරට සිය පවුල් බලය මත 1970 දී වැඩි ඡන්ද 6626 කින් පාර්ලිමේන්තුවට රිංගා ගත් මොහු, 1977 දී ඉන් චුත වූයේ ද ඒ හා සමාන ම ඡන්ද ගණනකිනි. එනම් ,ඡන්ද 6393 කිනි. මා මෙන් නාකි හම්පඩයෙකු වීමට බොහෝ පෙරාතුව මල්බර තරුණ වියේ දී ඔහුගේ ඊනියා ජනප්‍රියත්වයේ තරම එවන් විය! එසේ චුත වූයේ , වසර හතක ජනතා විරෝධී පාලනයක උද්යෝගීමත් කොටස්කරුවකු ලෙස එහි සකලවිධ ජනතා විරෝධී ක්‍රියාවකට ම පූර්ණ සහාය ලබා දීමෙන් පසු ය. 1972 දී ජේ.ආර්. ජයවර්ධනගේ තක්කඩි ජනමත විමසුමේ දී බෙලිඅත්තේ යු.ඇන්.පී-විරෝධී ජනතාව යූ.ඇන්.පී.ය පරාජය කළ පසු පැවත් වූ අතුරු මැතිවරණයේ දී ,මේ මහා ජනප්රියයා අන්ත පරාජයකට පත් වූයේ වැඩි ඡන්ද 5894 කිනි! ඒ, එකල තවමත් නවකයන් වූ සහ ජනප්‍රියතාව ද සින්නක්කරේට ලියා නොගත් අමරසිරි දොඩංගොඩ සහ රිචඩ් පතිරණ, පිළිවෙලින් වැඩි ඡන්ද 1093 කින් සහ 2778 කින් යු.ඇන්.පී ය පරදවා ජය ලබද්දී ය! එසේ වූයේ ,යු.ඇන් .පීයේ මර්දනය ඔහු වෙත විශේෂයෙන් යොමුව තිබූ නිසා යැයි ඔහුගේ නිවට වහලුන් රැළ කියා සිටිනවා නියත ය. කිසිසේත් ම නැත. සමස්ත යූ.ඇන්.පීයේ මර්දනයට අමතර ව ජේ.ආර්.ගේ සුවිශේෂී මර්දනයට ද ගොදුරු වී සිටීම නොතකා විජය කුමරණතුංග පරාජය වූයේ වැඩි ඡන්ද 45 ක් තරම් සුළු ගණනකිනි. එසේ වූයේ ඔහුට ජනප්‍රිය නළුවකු ලෙස තිබූ තත්වය නිසා යැයි නිවට වහලුන් රැළ උඩ පනිනු ඇත. නැත. දැන් මහින්දගේ නිවට නියාලු ලොකු ම ඇම්බැට්ටයා වී සිටින වාසුදේව නානයක්කාර පවා පරාජය වූයේ ඡන්ද 754කින් පමණි.මහින්ද ලැබූ ඒ සා දැවැන්ත පරාජයෙන් ප්‍රකාශ වූයේ, ජනමත විමසුම් ප්‍රෝඩාවේ දී යු.ඇන්.පී.ය පරාජය කළ ද, මහින්ද රාජපක්ෂට එම ජනමත-විරෝධී ජනතාව අතර තිබූ පිළිකුල ය. 1989 දී ඡන්ද 13073ක් ලබා යළි පාර්ලිමේන්තුවට රිංගා ගත හැකි වූයේ එකල ජනතා විමුක්ති පෙරමුණ මුදා හැර තිබූ මිනීමරු භීෂණයට පින් සිදු වන්නට ය.1994 දී පවා හම්බන්තොට දිස්තික්කයෙන් පොදු ජන එක්සත් පෙරමුණ ලබා ගත් මුළු ඡන්ද 1,32,000න් මහින්ද රාජපක්ෂට ලබා ගත හැකි වූයේ ඡන්ද 78977ක් පමණි.,එනම්, සියයට 60ක් පමණි.එම දිස්ත්‍රික්කයෙන් ඔහු පළමුවෙනියා වූයේ ඔහුගේ මැතිවරණ කොට්ඨාශය වූ බෙලිඅත්තෙන් පමණි.එසේ වූයේ ඔහු මෙන් "ජනමූල" නො වූ චන්ද්‍රිකා පමණක් නොව රනිල් ද තම තමන් තරග කළ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල හැම අසුනකින් ම පළමුවෙනියා වී තිබිය දී ය. දිස්ත්‍රික්ක 7ක දී හැර අන් හැම දිස්ත්‍රික්කයක දී ම චන්ද්‍රිකා සියයට 60ට වැඩි ඡන්ද සංඛ්‍යවක් ලැබුවා ය;උතුරු නැගෙනහිර දී ඊටත් වඩා ලැබුවා ය.
2005දී ප්රභාකරන්ගේ ආධාරය ඇතිව ජය ලැබූ ජනපතිවරණයට පෙරතුව පැවති 2004 මහා මැතිවරණයේ සුල මුල දෙස බැලූ විට ද මහින්දට ඔහු සහ ඔහුගේ බත් බැලයන් රැළ ආරෝපණය කර ගන්නා , අන් අයට නොතිබෙන ජනප්‍රියත්වයේ තරම තව දුරටත් වටහා ගත හැක.එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය හම්බන්තොටින් ලබා ගත් මුළු ඡන්ද ප්‍රමාණය වූ 178,895න් ඔහුට ලබා ගත හැකි වූයේ 107,603ක් පමණි.එනම් ,ඉන් සියයට 57ක් පමණි. එය 1994 න් වසර 10ක් ඉක්ම යාමෙන් පසු සියයට 3ක අඩු වීමකි. එමතු ද නො ව, එය එකල අටවා ගෙන තිබූ ඊනියා පරිවාස ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිහාල් ගලප්පත්ති ගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි වූයේ ඡන්ද 11564 ක් වැනි සොච්චමකින් පමණි.! එය එසේ වූයේ ජනතා විමුක්ති පෙරමුණ එම මැතිවරණයේ දී කිසියම් විශේෂ පක්ෂපාතීත්වයක් දැක්වූ ශ්‍රිලනිප අපේක්ෂකයන් දෙතුන් දෙනා අතර ඔහු ද එක් අයකු වූ නිසා ය.(යූ.ඇන්.පී.යට ඉඩ නොදී තම නායකයන් කෙරෙහි තමන් තුළ ඇති පිළිකුල ප්‍රකාශ කිරීමට යු.ඇන්.පී.-විරෝධී ජනතාව සිය ඡන්දය පාවිච්චි කළ සුවිශේෂී ම අවස්ථාව එම මැතිවරණය විය.)
ජනතාව අතර කිසිදු ආකර්ෂණයක් නැතැයි තමන් ම ඉමහත් උපහාසයෙන් හඳුන්වා දෙන රනිල් වික්රමසිංහව 2005 ජනපතිවරණයේ දී පරාජය කිරීමට මහින්ද රාජපක්ෂට හැකි වූයේ වැඩි ඡන්ද 180,786 කින් පමණි. .එය ද ප්රභාකරන්ගේ මැතිවරණ වර්ජනයකට දෙමළ ජනතාව ගොදුරු කිරීම මගිනි. ඊට අමතරව , ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ සහයෝගය මත ය.2015 දී "සිරිසේනගේ කඩේ බඩු ෂුවර් නැති "බවට කී කතා වැනි කිසිවක් එකල නො වී ය.
මහින්ද අන් කිසිදු නායකයකුට නොතිබූ ජන මූල මහා ප්රාතිහාර්යා ත්මක නයකයකු ය යන බේගලට ශක්තිමත් පදනමක් දමා ගන්නේ ඉන් පසු ය . 2009 දී එල්ටීටීය මුළුමණින් ම යුදමය වශයෙන් පරාජය කිරීමේ ගෞරවය සින්නක්කරේට ම තමාට ලියා ගනිමින් ඇති කර ගත් මේ තත්ත්වය සත්‍ය කරුණු, අඩ සත්‍යයන් ,පට්ටපල් බේගල් යනාදියෙන් පමණක් නො ව තමාට එරෙහි ව යන සියලු දෙනාට එරෙහි දරුණු මර්දනයයෙන් ද ගොඩ නගා ගත්තකි. යුද හමුදාපති ව සිටි සරත් ෆොන්සේකා මර්දනය කිරීම එහි උච්ච්ස්ථානය විය.යුද ජයග්‍රහණය ගසා ගෙන කමින්, එහි උණුසුම නැති වී යන්නටත් පෙර පැවත් වූ 2009 ජනපතිවරණයෙන් ලබූ දැවැන්ත ජය මේ බොරුව ජනගත කිරීමෙහිලා උපරීම ව යොදා ගනු ලැබිණ. තමා නොහිටින්නට මේ ජය ලබා ගත නොහැකිව තිබිණැයි ,රාජය තන්ත්රයේ හැම තැනකටම අරක් ගන්නවා තිබු පවුලේ කට්ටිය මගින් මෙන් ම සිය ඇම්බැට්ටයන් මගින් ද මේ බොරුව දිනපතා ම වපුරුවනු ලැබිණ. හමුදාවන් විසින් ලබා ගත් යුද ජයග්‍රහණයක්, යුද පෙරමුණ පැත්ත පළාතේවත් නොගිය සිවිල් පාලකයකු විසින් මේ සා නින්දිත ලෙස තමාගේ සින්නක්කර අයිතියට ලබා ගැනීමට දැරූ ප්රයත්නයක් ලෝක ඉතිහාසයේවත් දැක ගත නොහැක. එහෙත් මේ සියලු උජාරුකම් සමගිනුත් 2009 දී ඔහුට ලබා ගත හැකි වූ යේ සියයට 58ක ඡන්ද ප්‍රමණයක් පමණි.ඒ අනුව එවන් යුද ජයග්‍රහණ නැතිව ම , හුදෙක් සාමකාමී විසඳුමක් පදනම මත තරග කොට 1994 දී චන්ද්‍රිකා ලැබූ සියයට 62 වාර්තාව කැඩීමට ඔහුට නොහැකි විය.ජනතාවට අවශ්‍ය ව තිබුණේ කොයියම් ක්‍රමයකින් හෝ යුද්ධය අවසන් කිරීමට ය. සාකච්ඡා මගින් එය ඉටු නො වූ කල, එය අවසන් වූයේ යුද්ධයෙනි.එවැන්නක් සිදු වූ කල, කොයි රටේත් සිදු වන පරිදි ඒ මොහොතේ බලයේ සිටින පාලකයාට ජනතාවගෙන් බහුතරය ජයවේවා යි කියති. පෙරු රටේ සිවිල් යුද්ධය අවසන් වූ විට, එරට පාලකයා ව සිටියේ ජපන් ජාතිකයකු වූ ෆුජිමෝරේ වුවත් ඔහු ද එලෙස ම ඉහළට ඔසවනු ලැබුවේ ඒ අනුව ය.වෙනසකට තිබෙන්නේ, යුද්ධය අවසන් කිරීම හේතුවක් කර ගෙන ඔහු කළ ජාතික සම්පත් කොල්ලකෑමට දෑස් වසා ගෙන නොසිට ඔහු හිර කරනු ලැබීමත්, මෙහේ ඒ කිසිවක් සිදු නොවීම මදිවාට ජනතා ඡන්දයෙන් පළවා හරිනු ලැබූ හොරාව අගමැති කිරීමේ කුමන්ත්‍රණ එළිපිටම සිදු වීමත් ය.
2015 දි මේ ආශ්චර්යමත් මහා ජනප්රියයා බලයෙන් පහ කරනු ලැබුවේ ජනතා ඡන්දයෙනි. එය අධිරාජ්‍යවාදීන්ගේ සහ රෝ සංවිධානයේ වැඩක් බව කියමින් පොහොට්ටුවෝ තවමත් ජනතාවට විහිළු සපයති. හරියට ම, ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වූයේ රුසියනු මැදිහත් වීම මගිනැයි ඩිමොක්රටික් පක්ෂය කියා සිටින්නාක් මෙනි. ලෝකයේ හැම රටක් ම අන් රටවල තම තමන් කැමති අය බලයට එනතුරු බලා සිටින බවත්, ඒ සඳහා කළ හැකි හැම දෙයක් ම කරන බවත් අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් අන් රටවල කෙසේ වෙතත් 2015 ජනවාරියේදි 62 ලක්ෂයක් ජනයා ඡන්දය දුන්නේ එම විදේශිකයන්ගේ මැදිහත් වීම නිසා ය යනු ලෝක විහිළුවකි.එම විහිලුව සපයමින් 2015 අගොස්තුවේ දී මොවුන් තැටමුවේ සිදුවූ වරද හදා ගෙන , නැතිව ම බැරි මිනිසා ව අගමැති පුටුවේ ස්ථානගත කිරීමට ය. එහෙත් වූයේ, ගල් පිළිමයක් සේ තමන් සිතා ගෙන සිටි මිනිසා නිකම් ම නිකම් බොල් පිළිමයක් බැව් තේරුම් ගත් දස ලක්ෂයකට අධික ඔහුගේ ජනවාරි ඡන්දදායකයන් ද ඔහු ව අත් හැරීම ය.සමහර විට, ඔවුන්ටත් අර කට්ටිය මොන මොනවා හරි දෙන්න ඇති, නේ ද? ඔහු හුදෙක් බොල් පිළිමයක් බව හෙළි වූ පසු ඔහු ව අත් හැර දමීම කෙවැනි ද යන්න හම්බන්තොට දිස්තික්කයේ ඡන්ද ප්‍රතිඵල පමණක් ගත් කල වුව පැහැදිලි කර ගත හැක.
බෙලිඅත්ත තංගල්ල තිස්ස මුල්කිරිගල
ජනපතිවරණය 39513 62739 78546 52202
මැතිවරණය 31389 50697 63950 42503
-------- -------- -------- --------
අඩු වූ ඡන්ද 8124 12042 14596 9699
------- -------- ------- -------
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ම මුළු ඡන්ද අඩුවීම 44451 කි . මාස 9කට අඩු කාලයක් ගත වීමෙන් පසු එක්සත් ජනතා නිදහස් සංවිධානයේ ඡන්දදායකයන් හට ම මහින්ද නැතිව ම බැරි වීමේ වෘත්තාන්තය එසේ ය.මහින්ද සුළඟ හෙවත් මහින්ද වාතය වැනි විච්ඡූරණ සියල්ලේ අවසන් ප්‍රතිඵලය ලෙස , 2018 පළාත් පාලන ඡන්දයේ දී පොහොට්ටුවන්ට ලබා ගත හැකි වූයේ 49,41,952ක් පමණි.එනම්, සියයට 44 කට මඳක් වැඩියෙනි. ඉතිරි සියල්ල ඔහුට විරුද්ධ ව ය. එහෙත් ඝෝඨාභය මල්ලී ජනපති වී සිය ඒකාධිපතිත්වය ඇටවීමේ සිහිනය මවන්නේ එළියක් දමා ගෙන ය. එළියක් ගැන කීවත් ඔහු ඉන්නේ අඳුරේ ය.මුහුණු පොතේ අපට එරෙහිව මහින්දගේ ශබ්දකෝෂයෙන් ගත් වදන්වලින් අපට ගරහන්නේ ද ඒ අඳුරේ ම අතපත ගාන අය ය.
Comments
Post a Comment