2018නොවැම්බර් 11                                                කලපය 1

 

         පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත්  සමගම      

       සිරිසේනගේ කුමන්ත්‍රණය තවත් උග්‍ර වෙයි!

      "ප්‍රංශයේ  නිල සාමූහික සුධීමත්බව එක් පුද්ගලයකුගේ තක්කඩි මුග්ධබව මගින් බිංදුවට ම  බස්සවනු ලබිණැ"යි ,1851 දි ප්‍රංශ ජනාධිපති ලුවී බොනපාට් ගේ කුමන්ත්‍රණය ගැන ලියමින් කාල් මාක්ස් කළ ප්‍රකාශය, ශ්‍රී  ලංකා ජනාධිපතිගේ නිමක් නැති කුමන්ත්‍රණ හමුවේ අකුරක් නෑර යළි  තකට තක වෙමින් තිබෙන මොහොතක මෙරට ජනතාව ත්‍රාසයෙන් සහ කුතුහලයෙන් යුතු ව දිවි ගෙවමින් ඇත.ඔක්තෝබර් 26 දා ව්‍යවස්ථා-විරෝධී ලෙස අගමැතිවරයා නෙරපා දැමූ ජනපති සිරිසේන,තමා ව්‍යවස්ථා-විරෝධී ලෙස පත් කළ හොර අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරයක්  අතැයි මවා පාමින් සිටිය ද, අවශ්‍ය  නතැයි කියමින් සිටි 113 බහුතරය අටවා ගැනීම සඳහා  ක්‍රියාවට නැගූ  සියලු නීති විරෝධී  සහ සදාචාර විරොධී කූඨ ප්‍රයෝගයන් ව්‍යර්ථ වීමෙන් පසු  ,දණ්ඩෙන් පහර ලත් ආශිර් විෂයකු සේ කෝපයට පත් ව ,තමාගේ බූරු කූට්ටමේ ඇති බවට පරම්බෑ තවත් ව්‍යවස්ථා විරෝධී  තුරුම්පුවක්  දමා  ගසා මුලු රට ම නන්නත්තාර කරමින්  නොවැම්බර් 9දා  පාර්ලිමේන්තුව ද විසුරුවා  දැම්මේ ය.

   දැන් පාර්ලිමේන්තුවත් නැත; වසර තුන හමාරක් රනිල්ගෙ මස් කටු සූප්පු  කරමින් සිටියවුන්ගේ බහුතරයකින් යුතු, මහින්ද හොර අගමැති   ධුරය දරන, තව ම එක දවසක්වත් රැස්ව නැති කැබිනට්ටුවකි. අයවැයත් නැත: අතුරු සම්මත ගිණුමුත් නැත. ඇත්තේ  ශ්‍රි ලංකාව යනු තමාට ඇතැයි කියන   තුරුම්පු තමාට හිතෙන හිතෙන විදියට ගැසිය හැකි  බූරු පිටියක් යැයි සිතා ගෙන සිටින ,තමාට ලැබුණ මහින්ද-විරෝධී ජනවරම අමු අමුවේ පාවා  දී එම මහින්ද ම සමග එක්වී පිස්සු කෙළින ජනාධිපතිවරයකු පමණි.නැත; ඔහු පමණක් නො වේ.;ඔහු ගන්නා ඕනෑ ම ව්‍යවස්ථා-විරෝධී පියවරක්  ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් ම එකඟ බවට පට්ටපල් බොරු ගෙතීමට සූදානම් "නීති විශාරදයන්"යැයි හංවඩු ගසා ගෙන සිටින ආත්මයක් නැති පුඟුලන් කොටසක් ද  ඇත."නීතිය යනු හිට්ලර් සිතන දේ ය "යි පැවසූ  නට්සි ජර්මනියේ අධිකරණ  නායක අචාර්ය  ෆ්රාන්කේ ගේ පරපුරෙන් පැවත එන මේ ඊනියා නීති විශාරදයන් අතර ජැමෙයිකවේ සිටිනවා යැයි කියන, රූපවාහිනි නලිකා මගින් උඩ දමනු  ලැබූ සහ දමනු ලබන අන්ත ජාතිවාදියෙක් ද වේ .මොවුන් නීති විශා රදයන් නො ව, එකාධිපතියාගේ ව්‍යවස්ථා-විරෝධී ක්‍රියාවන් සාධාරණීකරණය කිරීම සඳහා ව්‍යවස්ථාවේ  හිල් හොයන, නීති වෘත්තීයට නව නිංගිරාවක් වන  නොම්මර එකේ තක්කඩියන් ය. බ්‍රසීලයේ හිටපු  ජනපති හිරේ දැමීමට මුල් වූ විනිසුරුවාට, මෙවර ජනපතිවරණයෙන් පත්වූ බොල්සරානෝ විසින් අධිකරණ ඇමති පදවිය ලබා දෙනු ලැබීමේ  කරුණින් අමතර  උත්තේජනයක්  ලබා ඇති මොවුන්ගේ සිහින ලෝක තුළ දැන් වැඩ කරන්නේ  නීතිපති ධුරය, ඉහළ අධිකරණවල විනිසුරු පදවි යනාදිය බව අමුතුවෙන් කිව යුතු නැත. සැබෑ ව්‍යවස්ථානුකූබව කුමක්ද යන්න ඔවුන්ගේ සිත් තුළ ඇත්තේ අකනිටා  බඹ  ලොවටත් ඈතිනි. අවුරුදු හතර  හමාරකට පෙර  පාර්ලිමේන්තුව විසුරුවා  හැරීමට ජනපතිට හැක්කේ පර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තෙන් පමණක්  බව  ව්‍යවස්ථවේ 19 වැනි සංශෝධනයේ සුපැහැදිලි ව සඳහන් ව තිබිය දී, අදාළ නැති වගන්ති ගෙන හැර පාමින්  මේ ඊනියා නීති විශාරදයන් පල් හෑලි ඇද බාන්නේ, 113ක් අවශ්‍ය නැති බවට  ඔක්තෝබර් 26 වනි දා සිට නොවැම්බර් 9 දා දක්වා  ඔවුන් පච කෙළි ආකාරයට ම ය. ජනාධිපතිට අවුරුදු  හතර හමාරකින් ලැබෙන බලය ඊට පෙරත් තිබෙනවා නම් ,මේ වගන්තිය  තියෙන්නේ  නිකම් ම ව්‍යවස්ථාවේ එල්ලා තැබීමටදැ යි ජනතාව මේ පාහරයන්ගෙන්  ඇසිය යුතු ය.සිරිසේනට සුපුරුදු බසින් අසන්නේ  නම්, එම වගන්තිය තියෙන්නේ "මොන බම්බුවකට ද? " මෙතැන දී ජනාධිපති සිරිසේන උල්ලංඝනය කර ඇත්තේ ජේ .ආර්.ගේ ව්‍යවස්ථාව නො ව, ලොව අන් කිසි ජනපතිවරයකු නොකළ පරිදි  තමාගේ  බලය අඩු කිරීමට ගෙන ආ ඓතිහාසික සංශෝධනයක්  ලෙස එම  සංශෝධනය ගෙන ආ අවස්ථාවේ දී තමා විසින් ම හඳුන්වනු ලැබු 19 වැනි සංශෝධනය ය! ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව මෙන් නො ව ,ලොකු කුඩා  සියලු පක්ෂවල එකඟත්වයෙන් (එක ම එක ඡන්දයක් හැර ) සම්මත වූ මේ  ව්‍යවස්ථා සංශෝධනය බල්ලට දැමීම සඳහා ජේ .ආ ර්. ගේ ව්‍යවස්ථාවේ වගන්තිවලින් ඉඩකඩ  පාදා ගැනීම තරම් පාහරකමක් යමකුට සිතා ගත හැකි ද! එහෙත්62 ලක්ෂයක  ජනවරමක් තූ  තූ කොට දමා අමු ම අමු දූෂිතයන් සහ මිනීමරුවන්ගේ තුරුල්ලට ගිය අයකුට කළ නොහැකි පාහරකම කුමක්ද?

   රටේ ජනධිපති එළිපිට ම රටේ  ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඒකා ධිපතිත්වයක් ඇටවීමේ මාවතේ යන බැව් ඇස් පනා පිට පෙනී යද්දී , එහි ව්‍යවස්ථා -විරෝධීබව  ජනතාව හමුවේ  ගෙන හැර පෑම මාක්ස්වාදයට පටහැණි යැයි කියා පෑමට සමහර ව්‍යාජ වාමාංශිකයෝ ඉදිරිපත් වෙති. මාක්ස්වාදීන්ගේ කාර්යය  වන්නේ  ඉහළ මාළයේ සිදු වන දෙය නොතකා  ජනතාවගේ  එදිනෙදා  ජීවන ප්‍රශ්න ඉස්මතු කිරීම යැයි මොවුහු කියති.රජයේ ඉහළ නිලධාරීන් ගෙන්වා ජනාධිපති සිරිසේන පසුගියදා ඔවුන්ට ඔවදන්  දුන්නේ ද දේශපාලන බලධාරීන් අතර වෙන දේ නොතකා තමන්ගේ වැඩක් බලා ගන්නා  ලෙස ය; තකට තක ය.මෙවන් බරපතළ දේශපාලන අර්බුදයක් හට ගත් විට ජනතාව සියදහස් ගණනින් නොව, ලක්ෂ ගණනිනුත් නො ව ,කෝටි ගණනින් දේශපාලන වශයෙන් සිතන්නට පටන් ගන්නා බව නොදන්නෙක් සිටී නම් ඒ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම මුග්ධයෙකි.තම තමන්  සිටින තැන්වල ම සිටිමින් තර්ක විතර්ක කළ ද , තත්ත්වයේ සංකීර්ණත්වය අනුව තම තමන්ගේ  නායකයන් සහ පක්ෂ පිළිබඳ ව  තම තමන්ගේ අවබෝධයේ මට්ටම අනුව ඔවුහු විමර්ශනයේ යෙදෙති .ජනතාව එසේ නොකරන්නේ යැයි සිතන්නේ ජනතාව සදාතනික මොට්ටයන් යැයි සිතන  උද්ධච්ච බක පණ්ඩිතයන් පමණි. මාක්ස්වාදීන් සතු කාර්යය  වන්නේ  ජනතාව මැදි ව සිටින දේශපාලන අර්බුදයට මැදිහත් වෙමින් ,සිදුවන දෙයෙහි සැබෑ තතු පැහැදිලි කර දෙමින්  ඔවුන් ධනේශ්වර -විරෝධී මාවතට යොමු කර ගැනිමට සටන් වැදීම ය.එය කියන තරම් පහසු කටයුත්තක් නො වෙ;එහෙත් පහසු නොවන නිසා  කොහෙත් ම අත් හැරිය හැකි කටයුත්තක් ද නො වේ.ව්‍යවස්ථා අර්බුදයක් මතු වූ විට එහි යථා තත්වය පැහැදිලි කර දීම මෙන් ම, එම අර්බුද්‍ය තුළින් මතුව ඇති දේශපාලනික තර්ජනයන් පිළිබඳ  අනතුරු හැගවීම් කිරීම ද  මගින් ජනතාව දිනා  ගැනීමට ප්‍රයත්න දැරීම මග හැරිය නොහැක. කවදත්  පවතින ප්‍රශ්නවලට ජනතාව සීමා  කර තබා ගැනීමට වළිකෑම  මෙවන් තත්වයක දී ආර්ථිකවාදයේ , වෘත්තීය සමිතිවාදයේ  සීමාවන්ට ජනතාව දිගට ම  ගැට ගසා දැමීමට ගන්නා  ද්‍රෝහී ප්‍රයත්නයක් වේ. "ඔබ මේ අර්බුදයේ දී කොයි පැත්තේ දැයි විමසූ විට මම අන්තරය පැත්තේ" බව  කියුවා යැයි කියන සරසවි සිසුවා පරමාදර්ශී කිරීමට එක්තරා මහාචාර්යවරයෙක්  මෝඩ ලෙස උත්සාහ දැරුවත්, සත්‍යය වන්නේ එම සිසුවා සරසවි සිසුවකූ වීම නොතකමින්, මෙම අර්බුදයේ දේශපාලන ප්‍රශනයන් කෙරෙහි අවධානය යොමු කරන, නූගත් යැයි සම්මත සාමාන්‍ය මිනිසකුට හෝ ගහැණියකට හෝ වඩා ඔහු  ගව් ගණනක්  පසුගාමී අයකු ය යන්න ය.

   අනෙක් අතට, මේ ව්‍යවස්ථා අර්බුදය පසුපස දිග හැරෙන ඒකාධිපතිත්වයක් ඇටවීමේ අනතුරේ ගැඹුරත ගැන තුට්ටුවක්වත් මායිම් නොකර  "නපුර එනු ඇත;ඊළඟට  වාරය අපේ ය" යනුවෙන් කෙරුණ , හිට්ලර් බලයට ඒමට පෙරාතුව ජර්මානු ස්ටලින්වාදී ද්‍රොහීන් කළාක් වැනි  පුහු කයිවාරුවලින් සිදුවන්නේ විනාශයට පාර කපා ගැනීම ය.ඒකාධිපති  සැලසුම ලත් තැන ම ලොප් කිරීම සදහා සටන් වැදීම වෙනුවට, ඒකාධි පතියාට ගැලවී යාමට උඩ ගෙඩි දෙන"කෙසේ හෝ  පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන" ලෙසට  කෙරුණ ඉල්ලිම ද මේ වාමාංශිකයන්ගේ මංමුලා සහගත බව මනාව ගෙන හැර දක්වයි. ජනාධිපතිගෙන්  මේ ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාව කඩා තම අරමුණ ඉටු කර ගන්නා ලෙස ය.මහින්දගේ පිටු පස සිටින අන්ත සිංහල බෞද්ධ ජාතිවාදී  බලවේග සමග එක් ව ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුව විසුරුවා හැරි විට, එය තමන්ගේ පෙරදැක්ම සනාථවීමක් ලෙස උජාරුවට පත් වීම  ඊටත් වඩා ලෝක විහිළුවකි.ව්‍යවස්ථාව ඉරා දමා තම අරමුණ ඉටු  කර ගැනීමට ඒකාධිපතියා  දරන උත්සාහය ආපසු හැරවීමට කළ යුතු හැම දෙයක් ම කළ යුතු ව ඇත. සියලු බලය තමා වටා ගොණු කර ගෙන, පොලිසිය පමණක් නො ව රජයේ මුද්‍රණාලය ද සියතට ගෙන මේ සැරසෙන්නේ , අස්ගිරියේ හිට්ලර්  ප්‍රේමීන්ගේ සෙත් පිරිත් සජ්ජායනා  මධ්‍යයේ  නියම ම හිට්ලර්වාදී "මැතිවරණයක්" පැවත්වීමට ය.ජේ.ආර්.ගේ ජනමත විමසුම් ප්‍රෝඩාව එම්.සිරිසේන  විසින් ගව් ගණනිකින් පරදවනු ඇත.සිරිසේනගේ අවසන් ඉලක්කය, එලෙස මහා පරිමාණ හොර කෙළියකින් ලබන මැතිවරණ ජයග්‍රහණයක් මත පදනම් වෙමින්, එහි ගෞරවය තමාට ලියා  ගෙන, 2019 ජනවාරි 9දයින් පසු පැවත්වෙන ජනපතිවරණයේ දී මහින්ද  පාර්ශ්වයේ ජනපති අපේක්ෂකයා බවට තමා  පත් වීම ය. 2020 න්  පසු බලවත්  වන්නේ ජනපති නො ව අගමැති බැව් කියමින් , සිය මහා පාවා දීමට සැරසෙමින් ඔහු මහින්දට  බෝලය බැස්සුවේ ඒ අනුව ය.ඔහු රනිල් සමග ජන්මාන්තර වෛරක්කාරී වූයේ , ඔහුගේ  සමනළ කුනු කතාව අනුව  නො ව, ඒ පිළේ 'පොදු  අපේක්ෂකයා " වීමේ ඔහුගේ සිහිනය රනිල් විසින් බොඳ කරනු ලබන බව පැහැදිලි වූ නිසා ය. මහින්ද දැනටමත් එය පොරොන්දු වී ඇතැයි සමහරු කියන නමුත් එහි ඇත්ත  නැත්ත  අපි නො දනිමු. කිව හැකි එක ම දෙය,කොහොම තරග කළත්  ඔහුගේ ඇප රාජසන්තක වන බව පමණි .

   වික්‍රමබාහු කරුණාරත්නගේ  සහ එවන් අන් අයගේ ද්‍රෝහි යු.ඇන්.පී ගැති ක්‍රමයට සාකල්‍යයෙන් ම ප්‍රතිවිරුද්ධ ව ,යු.ඇන්.පි යෙන් ස්වාධීන වූ මාවතක් ඔස්සේ සිරිසේනගෙ ඒකාධිපතිත්වය පැරදවීමේ ක්‍රම සහ විධි සකසා ගැනීම  මේ මොහොතේ මාක්ස්වාදීන් සතු පැහැර හැරිය නොහැකි වගකීමයි. එම සටන තුළින් සැබෑ එකාධිපති-විරෝධී  බලවේගවල දැවැන්ත එකමුතුවක් ගොඩ නගා ගත  යුතු ය. මෙහි දී කම්කරු පන්තිය ධනේශ්වර බලවේගවල ග්‍රහණයෙන් මුදා ගැනීමට මූලික අවධානය යොමු කළ යුතු ව ඇත.

 

 

      

Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS