2018 නොවැම්බර් 25                                            කලාපය 19

           සිරිසේනගෙ ඒකධිපති වියරුවට එරෙහිව 

                     එක්ව නැගී සිටිමු !

 

     2015 ජනවාරි 8 දා මහින්ද රාජපක්ෂ පරාජය කිරීම උදෙසා පොදු අපේක්ෂකයා ලෙසින් තරග කළ මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය දුන් 62 ලක්ෂයක ජනතාව නීච නින්දිත ලෙස පාවා දෙමින් ,එම සිරිසේන විසින් එම රාජපක්ෂව ම අගමැති තනතුරට පත් කොට හෙටට හරියට ම මාසයක් සපිරේ . ඔක්තෝබර් 26 දා  ඒ වෙනුවෙන් ගනු ලැබූ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයෙන් තදනන්තර ව ගත වූ මාසය තුළ සිරිසේන විසින් එම  ව්‍යවස්ථා විරෝධී පියවර තහවුරු කර ගැනීමට එකකට පසු එකක් වශයෙන් ගනු ලැබූ ව්‍යවස්ථා විරෝධී   සහ සම්ප්‍රදාය විරෝධී පියවර, මෙරට හෝ  පර්ලිමේන්තු ක්‍රමය පවතින ලොව අන් කිසිදු  රටක හෝ රාජ්‍ය නායකයකු විසින් සිය මුළු පාලන කාලය තුළ ම ගනු ලැබූ එවන් සියලු පියවරයන් ගේ එකතුව අභිබවාලයි.චේතනාන්විත ව ඔහු කළ  හා කරමින් සිටින මේ ව්‍යවස්ථා විරෝධී පියවරයන්  මුළු  රට ම විනාශයේ මුව විටට ම ගෙන අවුත් තිබිය දී ,දෝෂාභියෝගයකට ඔහු යටත් කිරීම අනිවාර්ය  ව තිබුන ද  තවමත් එය සිදු ව නැත.

    රට මෙසේ විනාශයේ මුව විට තිබිය දී  ඒ ගැන එහෙම පිටින් ම අසංවේදී ව සිටින මේ ඊනියා  රාජ්‍ය නායකයා කියා සිටින්නේ තම පරම හතුරා වන රනිල් වික්‍රමසිංහට එරෙහි ව ජනවාරියේ දී පොතක් පළ කිරීමට තමා කටයුතු කරමින් සිටින බව ය! රෝමය ගිනි ගනිද්දී වීනා වැයූ නේරෝ ට වඩා මොහු වෙනස් වන්නේ  ශ්‍රී ලංකා ව මෙදා පාර හිතාමතා ම ගිනි තබා ඇත්තේ මොහු විසින් ම වීම නිසා ය. එය ද කර ඇත්තේ ඔහු ම ප්‍රසිද්ධියේ  කියා ඇති පරිදි මොකක්දෝ හේතුවක් නිසා ඔහුගේ  ජන්මාන්තර වෛරක්කාරයකු බවට පත් ව ඇති රනිල් වික්‍රමසිංහ පෙරළා ගෙන යාමට ඔහුට අවශ්‍ය ව ඇති නිසා ය!ඔහු කැමති විදියට ඔහු රනිල් ව ඕනෑ අතකට  පෙරළා  ගත්තාට අපට කම් නැත. එහෙත් එවන් තුට්ටු දෙකේ අරමුණක් මස්තකප්‍රාප්ත කර ගැනීම සඳහා මුළු රටක් බිල්ලට දීමට ඔහුට ඉඩ දීමට අප සූදානම් නැත; ජනතාව ද  මොහුට කිසිසේත් ම  ඉඩ දිය යුතු නැත.

    මොහුගේ මේ ව්‍යවස්ථා විරෝධී  පියවරයන්ට නීතිමය පිටුබලය ලබා දීමට ගාල කඩා ගෙන ඉදිරියට පැන ගෙන එන ඊනියා නීති විශාරදයන් රොත්ත බුරුත්ත ම බෙරිහන් දුන්නේ , අගමැතිවරයකු සිටිය දී නව අගමැතිවරයකු පත්කිරීමට ජනපතිට බලය ඇති බව පමණක් නො ව,එම ජනපතිට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 113 කගේ සහය අවශ්‍ය නොවන ද  බව ය. ජැමෙයිකාවට අපනයනය වී සිටින මින් එක් හාල් පාරුවකු  කටේ එක් කොණක් අකනිටා බඹ ලොවට ද අනෙක් කොණ අවීචි මහා නරකාදියට ද  පළල් කරමින් සිය  ඊනියා  විශාරද නීති මතය මෙරටට අපනයන කළේ 113 ක් අවශ්‍ය නොවන බවට කියමිනි.. මොවුන්ගේ නීති විශාරදත්වයේ දිග පළල කෙවැනි ද යත්, පාර්ලිමේන්තුව තුළ 113ක් සොයා ගැනීමට ප්‍රකෝටි ගණන් මුදල්  සහ  ඇමති ධුර පිරිනමමින් කළ අලුකුත්තේරු අල්ලස් දීම්වලින්න් ද වැඩක් නොවූ කල, පාර්ලිමේන්තුව තමන්ගේ පාතාලය බවට පත් කර ගනිමින් 113 ක් සොයමින් පිස්සු බලු රැළක් ලෙස හතර වටේ දුවන්නට මහරජ ගැමුණු හොර අගමැතිට සිදු වී  ඇත.113 ක් ගාල් කර ගැනීමේ මොවුන්ගේ මෙම දුෂ්කර ක්‍රියාව  හතර වරක් ම හක්ක පටස් වීමෙන් පසුව ද එම ප්‍රයත්නය අත් හැරිය නොහැකි ව ඇත. කතානායකට ශාරීරික ව පහර දීමෙන් නොනැවතී, අප විස්තර නොකළාට මොන්ටිසෝරි දරුවන් පවා තම තමන්ගේ ම ඇස් වලින්  දුටු පාදඩකම්වලින් පසුව ද 113 න් මෙපිට මොවුනට පැවැත්මක් නොවන බව දැන් කවුරුත් අත්දැකීමෙන් ම අවබෝධ කර ගෙන හමාර ය. 

    දැන් සියල්ල කතානායක පිටින් දමා ජනපති පාර්ලිමේන්තුවේ ප්‍රධානියා බවට ද පත් කර ගැනීමට උත්සාහ දරනු ලැබීමෙන් සිරිසේන මුළු රට ම සිය කුරිරු එකාධිපතිත්වයේ  හස්තයට  ගුලි කර ගැනීමට ප්‍රයත්න දරනු මනාව  පෙනේ. මහින්ද නඩයට පාර්ලිමේන්තුව  තුළ බහුතරය නැති බවත් ඔහුට එරෙහිව 122ක් ඡන්දය දී ඇති බවත් කතානායක විසින් දන්වනු ලැබූ  විට, ලොව ම දන්නා  මේ කරුණ ප්‍රතික්ෂේප කිරීමට ජනපතිට මොනයම් හෝ බලයක් නැත. කතානායක කීවේ බොරුවක් යැයි ඔහු තොත්ත බබා ලෙස කියන්නේ නම්, කළ යුතු ව ඇති එක ම දෙය වනුයේ, එම කරුණ මත ම ඔහුට එරෙහි ව විශ්වාස භංග යෝජනාවක් ගෙනවුත් එය සම්මත කර ගැනීමය.කතානායකමත් එසේ කරන ලෙස කියා සිටිද්දී  එය නොකරන්නේ  තමන්ට එරෙහි ව 122ක් ම සිටින බව මේ හොර නඩය අප කාටත් වඩා හොඳින් දන්නා නිසා ය. සිරිසේන මෙතැනින් ද නැවතී නැත. ඒකාධිපතියකු වීමට සිහින දකින්නකු කෙසේ නම් එතැනින් නවතින්න ද? ඒ  අනුව බහුතරයේ නියෝජිතයන් කැඳවා විශ්වාස භංග යෝජනාව සකස් විය යුතු ආකාරය ගැන නියෝග දීමට ද ඔහු සාහසික වී ඇත.අප මීට පෙර කලාපයයේ දී ද දැක් වූ පරිදි, එයට සහභාගී වූවන් එමගින් කලේ පාවාදීමකි.

    ව්‍යවස්ථාව හරි වේවා වැරදි වේවා, දැනට රට පාලනය වනුයේ එය මගිනි.එයට ගරු කරන බවට සහ එය සුරකින බවට දිවුරුම් දී බලයට පත් වන අයකුට එය අමු අමුවේ උල්ලංඝනය කිරීමට  අයිතියක් ඇත් නම්, එම ව්‍යවස්ථාව පමණක් නො ව අන් ඕනෑ ම නීතියක් උල්ලංඝනය කිරිමට හැම කෙනෙකුට ම අයිතියක් ලැබේ. සිරිසේනගේ ඒකාධිපති වියරුව මුලිනුපුටා දැමීම සඳහා පෙරට ඒම හැම පුරවැසියකුගේ ම පරම යුතුකම බවට මේ මොහොතේ පත් ව ඇත්තේ ඒ නිසා ය. රනිල්ට ඇති සිය විරෝධය මත මෙයට ඉදිරිපත් නොවන්නෝ ඉතා ම සහනශීලී ලෙස කියන්නේ නම් අමනයන් වන්නාහ.. 1982 ජේ.ආර්.ගේ ජනමත විමසුම් ප්‍රෝඩාව පැවති විට, එයට විරුද්ධ ව එක්වූ හැම දෙනා ම  සිරිමාගේ  සගයන් බවට පත් නොවූයේ යම් සේ ද, අද සිරිසේනගේ ඒකාධිපති වියරුවට පෙළ ගැසෙන්නන් සියලු දෙනා රනිල්ගේ සගයන් බවට පත් නොවන්නේ ද එයාකාරයෙන් මය.රනිල්ගේ සහ යූ.ඇන්.පීයේ වැරදි සහ අපරාධ  ලැයිස්තුගත කරමින් මෙම සටනින් පලා  යන්නට හැකි නම්, 1972 ව්යිවස්ථාව මගින් අතිරේක වසර දෙකක්  කොල්ල කා ගැනීම, මුළු පාලන කාලය ම හදිසි නීති යටතේ  ගෙන යාම, අප්‍රේල් කැරැල්ලට එරෙහි මර්දනය, හාල්පොලු-මිරිස් පොලු සහ තවත් දහසකුත් එකක් සිරිමාගේ  අලුගෝසු පාලනය ලැයිස්තු ගත කොට එද ජනමත විමසුම්  විරොධී සටනින් ද  පලා යාමට ද ඕනෑ ම අයකුට ඉඩ තිබුණි  . එදා  එම සටනට අනෙකුත් කොටස් සමග එක් වී සටන් කිරීමෙන් අප සිරිමාගේ  සහ ශ්‍රිලනිපයේ තැරැව්කාරයන් නොවූ පරිදි ම , මෙදා සිරිසේනගේ ඊටත් වඩා දුර්දාන්ත ඒකාධිපති ක්‍රියා කලාපයට එරෙහි ව සටන් කිරීමෙන් අපි රනිල්ගේ හෝ යූඇන්පියේ හෝ තැරැව්කාරයන් බවට  පත් නොවන්නෙමු. එය ඒ තරම් ම පැහැදිලි ය .එය එසේ වන බව කියන්නේ මොනයම් ක්‍රමයකින් හෝ මහින්ද  රජ කරවා බඩවඩා ගන්නට මාන බලමින් සිටින ව්‍යාජ දේශප්‍රේමී සළුපිළි පරවා ගත් අමු ජාතිවාදී රොඩ්ඩන් ය.


                                    ප්‍රසිද්ධ රැස්වීම 


      සිරිසේනගේ ඒකාධිපති වියරුවට එරෙහිව 

                      එක්ව නැගී සිටිමු !

                 2018 නොවැම්බර් 26  සවස 3.30ට 

     කොළඹ  2 සර් චිත්තම්පලම් ගඩිනර් මාවතේ 

  ගුරු මැදුරේ දී  (මහජන බැංකු මූලස්ථනය පිටුපස)

            කථිකයෝ : ගීතිකා  ධර්මසිංහ 

                               වසන්ත දිසානායක

                               ටී.අන්ද්‍රාදි 

 

මාක්ස්වාදී කවය            සමාජවාදී ජනතා ව්‍යාපාරය

ලංකා ගුරු සංගමය       ශ්‍රි  ලංකා  ජාතික ගුරු සංගමය 

 



Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS