2018 නොවැම්බර් 18                                              කලාපය 18

   රට ම වනසන ඒකාධිපති සිරිසේනගේ

 ව්‍යවස්ථා   කුමන්ත්‍රණයට  එරෙහි ව නැගී සිටිව්!

 

   මුළු රටම ලේ විලක ගිල්වා හෝ ස්වකීය එකාධිපතිත්වය පවත්වා ගෙන යාමට ජනපතිත්   ඔහුගේ හොර අගමැති මහින්ද  රාජපක්ෂත්   ඔවුන් දෙදෙනාගේගේ පාදඩ මන්ත්‍රී පාතාලයත්  එක පයින් සූදනම් බව මොහොතක් මොහොතක්  පාසා  තහවුරු කරමින්,ඔක්තෝබර් 26 දා ජනාධිපති සිරිසේන දියත් කළ බොනපාට්වාදී කුමන්ත්‍රණය  තවදුරටත් දිග හැරෙමින් පවතී.  උත්තරීතර යැයි තමන් විසින් ම පාරම්බාන පර්ලිමේන්තුව තුළ  නොවැම්බර් 14 දා  සිට සිරිසේන-මහින්ද මැර නඩය ගෙන ගිය නිර්ලජ්ජිත පාතාල හැසිරිම මුළු ලොවට ම බලා ගත හැකි විය.නීති විශාරදයන් යැයි පාරම්බාන බඩගෝස්තරවාදීන් අතලොස්සක් විසින් කිසිදු අවශ්‍යතාවක් නැතැයි උජාරුවෙන් කියනු ලැබූ 113  කෙතරම් අවශ්‍ය ව ඇත්ද  යත්, මහින්ද රාජපක්ෂ හොර අගමැතියාට එය සොයා ගත නොහැකි වීම නිසා, එය සඟවා ගෙන නිර්ලජ්ජිත ලෙස බලයේ සිටීමට මාවත සකසා ගැනීමට මොවුනට තිබූ එකම මග පර්ලිමේන්තු සභා වාරය කඩාකප්පල් කිරීම බැව් නොදන්නෙක් නොමැත.තම අන්ත පටු නීච අරමුණ ඉටු කර ගැනීම උදෙසා රටේ මූලික නීතිය වන ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමට තමා තුළ ඇති පූර්ණ සූදානම යළි වරක් විදහා දක්වමින් ,තමන්ට කොහෙත් ම නැති බලයක් ආරෝපණය කර ගෙන ජනාධිපති පුටුවට අරක් ගෙන සිටින පුද්ගලයා  පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නමුත්, එය ද ගැස්සී ගිය හෙයින්, මුන්ට දැන් ඉතිරි ව තිබෙන්නේ  මැර බලය  යෙදීම සහ ව්‍යවස්ථාවේ  සියලු  වගන්ති කඩා බිඳ දැමීම පමණි.

    ජනපති සිරිසේන සහ හොර අගමැති මහින්ද යන දෙදෙනා ම  මේ නීච නින්දිත හැසිරීම හෙළා දැකීමට වචනයකුඩු මිඩංගු නො කළේ , එම කඩාකප්පල් කිරීම්  සිදු වූයේ ඔවුන්ගේ පූර්ව සහ පූර්ණ අනුමැතිය ඇති ව වූ නිසා ය. තුන්වැනි දිනය වන විට ඔවුන් එලෙස හැසිරුණේ ඒ පිළිබඳව  ලොව පුරා ස්ථිරව ම  ඇති වන දැඩි  පිළිකුල පයිසෙකටවත් නොතකමිනි.කතානායකගේ ක්‍රියා කලපය වැරදි නම්, ඔහුට එරෙහි ව විශ්වාස භංගයක්  ගෙනවුත්, කතානායක කළ වැරදි ගෙනහැර දක්වා ඔහු පතුරු හැරීමට ක්‍රියා කළ යුතු  විය:ඊට කිසිදු බාධාවක් ද  නැත . මීට පෙර ක්‍රියා කෙරුණේ එලෙස ය. එලෙස ක්‍රියා  කොට ඡන්ද විමසීමෙන් පැරදුන ද රට හා ලෝකයා හමුවේ කතානයකවරයා සවුත්තු වී ගොස් තම නිරවද්‍යතාව තහවුරු වන්නේ ය. මේ සියල්ල මොවුන් දන්නා නමුත් ඔවුනට අවශ්‍ය වන්නේ ජනමතය නො ව කෙසේ හෝ තමන් සිරිසේනගේ නීච පාවාදීමෙන් අටවා ගත් හොර බලය සියල්ල පරදු තබා හෝ රැක ගනීමට යි. ජනවාරි 8දා මහින්ද  ලැබූ අන්ත පරාජයෙන්වත් කිසිත් ඉගෙන නොගත් මොවුන් තවමත් සිතන්නේ, රාජ්‍ය බලය  අවභාවිත  කිරීමෙන්   සහ රාජ්‍ය මාධ්‍යවලට  අමතර ව  හිරු, දෙරණ ඇතුළු පක්කලි මාධ්‍යවලින් කෙරෙන තොරක් නැති බේගල් ප්‍රචාරවලින් තමන්ට ජය ගත හැකි බව ය.එසේ පුළුවන් වන්නේ නම්  තවමත් ජනපති මහින්ද ය. එකල ක්‍රිකට් තරග  පවතින විට ඕවරයක් පාසා මහින්දගේ දැන්වීම්  ප්‍රචාරය කිරීමට තරම් අමනයකු වූ එක් පුතණ්ඩියකුගේ  සීඑස්එන් නමැති හොර නාලිකවක්  ද විය.  මහින්ද  අගමැති කොට ඉන්පසු මහා මැතිවරණයකට යා යුතු බව මොවුන් පසු ගිය කාලය පුරා  ම කීවේ ඒ අනුව ය. ප්‍රශ්නයට විසඳුම ලෙස මහා මැතිවරණයක් පැවැත්විය යුතු යැයි මහින්ද ගේ පක්කලි වහන්සේලා මහා මධ්‍යස්ථවාදීන් ලෙස දැන් නද දෙන්නේ  ජනතා මතයට ඇති ආදරයක් නිසා නො ව,  මහින්ද අගමැති පදවියට හොරෙන් පත්වීමේ කාරණය තහවුරු කර ගෙන,ඒ  මත පදනම් වී, කල දුටු කළ වළ ඉහගෙන කෑමට මහින්දට ඉඩ සලසනු පිණිස ය. සිරිසේන ජනපති ධුරය දැරීමේ කරුණත් තමන්ට මහා සම්පතකැයි සිතීමට තරම් මොවුන්ගේ බල පෙරේතකම ඔවුන් ව අන්ධ කර ඇත.2015 අගෝස්තු මැතිවරණයේ දී , ජනවාරි 8දායින් පසු මාස7 ක් පමණක් ගත ව තිබිය දී ,මහින්දට ඡන්ද ලක්ෂ 11 ක් වැනි අති දැවැන්ත ප්‍රමාණයක් අහිමි වීමට එක් හේතුවක් වූ යේ, එකල "ආප්පයා " වූ මේ සිරිසේන සමග කරට අත දමා ගැනීම බැව්   මොවූහු  තවමත් තේරුම්  නො ගනිති.අද මුළු ශ්‍රී ලංකාවේ ම වඩාත් ම පිළිකුලට පත් මේ පුද්ගලයා සමගින් කරට අත දමා ගැනීමෙන් තමන් සවුත්තු වී  ඇති ප්‍රමාණය හරියට ම දැන ගත හැක්කේ, ඔහුගේ  හොර අගමැතිකමින් තොර ව පැවැත්වෙන මහා මතිවරණයක දී ය.මහින්ද ඔහුට පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය දුන්නත්, ඔහුට එරෙහි ව පොහොට්ටුවෙන් කැඩී තරග කරන ඕනෑ ම පොහොට්ටුවකු හමුවේ සිරිසේනගේ ඇපත් රාජසන්තක වනු ඇත.ජනවාරි 8දා  පැරදුනා නම් මහින්ද තමා  සහ තම පවුලේ  අය අඩි 6 ක් පොළොව යට වළලනවා යැයි එදා බෙරිහන් දුන් සිරිසේන, මෙවර ඔහුත් සමග තමා ව  අඩි 12ක් ම දේශපාලන ලෝකයේ පොළොව යටට ඇද ගෙන යන බැව් මහින්ද තේරුම් ගන්නා විට බොහෝ ප්‍රමාද වී තිබෙනු ඇත.

   සිරිසේනත් සමග කරට අත දමා ගෙන මහින්ද පරිහාණියේ මාවත ඔස්සේ පෙර නොවූ විරූ ලෙස ලුහුටා යාම අපේ ප්‍රශ්නයක් නො වේ. එහෙත්  රනිල් ව පෙරළා ගෙන යාමට තමාට හයියක් නැති නිසා, ඕන කෙනෙක් පෙරලාගෙන යා හැකි සුපර් මෑන්  කෙනෙකු ලෙස ඔහු විසින් මවා පාන මහින්ද ලවා රනිල් පෙරළා  ගෙන  යාමට අමුඩ ගසමින් සිරිසේන රටට සහ ජනතාවට කරන මහා වින්නැහියට ඇස් පියා ගෙන සිටීමට තරම් අප පෙරටුගාමී නැත.  ඔහුගේ මෙම ඒකාධිපති වියරුව ජය ගැන්වීමට කරන සියලු  ඊනියා  ව්‍යවස්ථානුකූල සහ දේශපාලනික තර්ක කුළු ගැන්වෙනුයේ ජනාධිපතිට තමන්ට හිතෙන ඕනෑ ම තුරුම්පුවක් ගැසිය හැකිය යන්න තහවුරු කිරීමට ය. වරක් අගමැතිවරයකු පත් කළ විට ඔහු ව ඉවත් කළ හකි ක්‍රම ඉතා පැහැදිලි ව ව්යවස්ථාවේ තිබිය දී,ඊට ප්‍රතිවිරුද්ධ ව යමින් ජනපති  ක්‍රියා  කළ විට, එය ව්‍යවස්ථානුකුල යැයි  අටපට්ටම් කෙබර ඇද  බෑමට  ගාල කඩා ගෙන පෙරට පැන්න  නීති විශාරදයෝ, අගමැතිකම දැරීමට පාර්ලිමේන්තු බහුතරය අවැසි නැතැයි තවත් කෙප්පයක් ද  ඇද බෑහ. එහි බොරුව දැන් හෙළි වී තිබෙන හෙයින් , 113 නැතිකම වසා ගැනීමට පාර්ලිමේන්තු සභා ගැබ තුළ  නරිනාටක නටවන්නේ   අනුව ය. ලජ්ජා නැතිකම අගමැතිකමටත් වඩා ලොකු  නිසා  පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් වී ඇතැයි,  තමාට සුපුරුදු  පරිදි පන්සලකට ම ගොස් ප්‍රකාශ කිරීමට මහින්ද  සාහසික වූයේ ,එම කෝලමේ තමා ද සම අධ්‍යක්ෂවරයකු බව  දැන දැන  ය.

     ඊළඟට ජනපති කළේ තමාට ව්‍යවස්ථානුකූල ව කිරීමට කිසිදු අයි තියක් නැති බව, පත්තර කියවන පාසල් සිසුන් පවා, වෙනින් කාගෙන්වත් නො ව ඔහුගෙන්  ම ඉගෙන ගෙන සිටිය දී ය. එහෙත් ඔහු ඒ නො කළ හැක්ක කළා පමණක් නො ව එය ව්‍යව්ස්ථානුකුල ව කළ බව දිගින් දිගට ම කියා සිටියේ ය. යළි  සුපුරුදු පරිදි එසේ කළේ එකදු වගන්තියක්වත් උපුට නො දක්වමිනි. එය පවරනු ලැබුවේ ඔහුගේ ඕනෑ ම ක්‍රියාවක් ව්‍යවස්ථානුකූල බව සඵත කිරීමට සැදී පහැදී සිටින ඊනියා  නීති විශාරදයන් ය. ඒ අනුව තමන්ට රිංගා යා හැකි වගන්ති සෙවීම තම නීති වෘත්තිය කර ගත් මේ හාල්පාරුවන් රැළ, ඕනෑ ම මෝඩයකුට නිවැරදි යැයි බැලූ බැල්මට පෙනෙන වගන්තියක් අල්ලා ගෙන, යුරේකා යැයි  කියමින් රට වටේ දුවන්නට වූයේ "කොහොමද අපේ වැඩ "යයි කියමිනි. එහෙත් ආකිමිඩීස් හෙලුවෙන් දිව්වේ ලොවට වැඩදායක  දෙයක් සොයා ගැනීමෙන් වුවත්, මොවුන් හෙළුවෙන් දුවන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට මාරක වූ පිදුරු ගහක් සොයා ගැනීමෙන් ය යන්න  නො දැනය ; නැත. නො දන්නවා  නො ව  දැන දැන අමු  බොරුවක් පෙන්වා ජනතාව ගේ ඇස්වල්ට පිරරෙන්නට වැලි ගැසීමට ය .

    ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ඇතත්, එම බලය ක්‍රියාත්මක කළ යුත්තේ සහ කළ හැක්කේ  කෙසේ දැ යි තවත් වගන්තියක ඉතා පැහැදිලි ව දක්වා ඇත. ඒ 33 වැනි වගන්තියේ ය.33(1)වගන්තියේ ( ඌ ) උප වගන්තිය අනුව  ජනාධිපතිවරයාට බලය ලැබී ඇත්තා වූ හෝ නියමිතව ඇත්තා වූ හෝ සියලු ක්‍රියා සහ දේ කිරීමට බලය ඇත්තේ  " ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  හෝ වෙනත් යම් ලිඛිත නීතියක හෝ නියමිතව ඇත්තා වූ විධිවිධානවලට පටහැණි නොවන" අයුරකිනි . ඒ අනුව ,54 17 (1) වගන්තිය අනුව  ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි  යැයි කියවෙතත්  ඊට පසු  මෙසේ ද සඳහන් වේ.

"එසේ වුව ද, පාර්ලිමේන්තුව විසින්  එහි නොපැමිණි මන්ත්‍රීවරුන් ඇතුළුව මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ය ."

   මෙය සම්පූර්ණයෙන් ම උපුටා දැක්වූයේ ,සිරිසේනගේ  සහ මහින්දගේ සිංහල නො ව , සාමාන්‍ය සිංහල උගත්කමක් හෝ ඇති අයට සැබෑ තත්ත්වය තෝරා බේරා ගැනීමට ආධාර වනු පිණිස ය! මේ සා සුපැහැදිලි දෙයක් කණපිට ගැස්සීමට හමුරාබිගේ සහ මනු ගේ සිට මේ දක්වා ඇති සියලු නීති කටපාඩමින් දැන සිටියත් කිසිවකුටත් නොහැකි වනු ඇත.ජනාධිපති සිරිසේන එම වගන්තිය පමණක් නො ව, ජනාධිපති තමා කළ යුතු ක්‍රියා සහ දේ කිරීමේ දී ව්‍යවස්ථාවට අනුකූල විය යුතු ය  යන මූලධර්මය ද අමු අමුවේ උල්ලංඝනය කර ඇති බව නොපෙනෙන්නේ විහින් අන්ධ වූවන්ට පමණී. ජනපති සිරිසේන මෙතැනින් නැවතී නැත. කෙසේ නම් නවතින්න ද ?එකක් කඩතොලු මකා ගන්නට ගිය ඉඳුරුවේ ආචාරියට වූ දේ දැන් ඔහුට ද සිදු වී ඇත. දැන් ඔහු කතානායකගේ තීරණ පිළිබඳ තීරණ දෙන බලය ද අත් කර ගෙන ඇත.  කතානායක පිළිබඳ තීරණ ගත හැක්කේ පර්ලිමේන්තුවට  පමණි. පාර්ලිමේන්තුවේ නායකයා ජනාධිපති නො ව කතානායක ය. කතානායක් තමා වෙත කළ දැනුම් දීම හොරයක් යැයි තමා අවංක ව ම සිතන්නේ නම්,  මහින්දට 113ක් තිබෙන බව සනාථ කරන් ලිපියක් ඉදිරිපත් කරන ලෙස මහින්දගෙන් ඔහු ඉල්ලා සිටිය යුතු විය. එහෙත් අවම වශයෙන් එවන් දෙයක්වත් නොකර , පාර් ලිමේන්තුව තුළ මහින්දවාදී මැරයන් කරන පිස්සු කෙළිම දිගට ම ගෙන යාම , දැන් පඹ ගාලේ පැටලී සිටින ජනපතිගේ බක තපස් වෘතය වී ඇත.

    ඔහු එතනිනුත් නැවතී නැත.විශ්වාස භංග යෝජනාව සකස් විය යුතු ආකාරය තීන්දු කිරීමේ බලය ද  ඔහු සියතට ගෙන ඇත.ඔහු ඒ සඳහා කැඳවූ සාකච්චාවට යාමෙන් අන් පක්ෂ  කර ඇත්තේ ව්‍යවස්ථාදායකය මෙහෙයවීමේ බලය ඔහුට පාවාදීමකි. මොහු මෙය කරන්නේ  පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත දැක්වූවත්, තමා අකමැති නම් ඔහු ව පත් නොකරන්නේය යන අමු ඒකාධිපති ස්ථාවරය මත පිහිටා ය. 

   ජනාධිපතිට මේ කිසි ම බලයක් නැත ජේ.ආර්.ගේ ව්‍යස්ථාව තුළ පවා  එවන් බලයක් ජනපතිට නැති බව 19 වැනි සංශෝධනය පිළිබඳ ව දුන් සිය තීන්දුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය  දක්වා ඇත්තේ මෙසේ ය:

   "ව්‍යවස්ථාව යටතේ විධායක බලයේ එකම බල මූලය  (repository) ජනාධිපති නොවන බව  එය (43වැනි වගන්තිය) නිශ්චිත ව ම තහවුරු කරයි.ආණ්ඩුවේ  දිශානතිය සහ පාලනය   භාර ව  ඇත්තේ  සාමූහික ව අමාත්‍ය මණ්ඩලයට ය;ජනාධිපතිට පමණක් නො වේ.තවද ,මෙම කැබි   නට්ටුව පාර්ලිමේන්තුවට වග කිව යුතු ය."

    වෙනම තීන්දුවක් ලබා  දුන් ඊවා වනසුන්දර විනිසුරුවරියගේ තීන්දුවේ එන පහත සඳහන්  ප්‍රකාශ ජනපතිට ඇතැයි දැන් සිරිසේන- මහින්ද පූට් ටුව කරන ප්‍රකාශවල ඒකාධිපති ස්වරූපය තේරුම් ගැනීමට තවදුරටත් ආධාරී වේ.:

     "කැබිනට්ටුවකින් තොර ව ආණ්ඩුවක් පැවතිය නොහැකි බැව් ව්‍යවස්ථාවේ  වගන්ති මනා ව ගෙනහැර දක්වයි.

    පාර්ලිමේන්තුව විසුරුවා  හැරීමෙන් පසු අතරතුර කාලපරිච්ඡේදය තුළ පවා , නව පාර්ලිමේන්තුවක් කැඳවන තෙක්,  කැබිනට්ටුව තවදුරටත් අඛණ්ඩ ව  ක්‍රියාත්මක වෙයි. මෙහිලා වෙන අන් මතයක් දැරීම යනු, අපේ රට තුළ ඒකාධිපතිත්වයක් ස්ථාපනය කිරීමේ හැකියාවට අනුමැතිය දීමක් වේ." 

     මේ සියලු කරුණු අනුව, ඔක්තෝබර් 26දා සිට ජනපති සිරිසේන ගත් සියලු පියවරවල්  මෙරට ව්‍යවස්ථාව අමු අමුවේ කෙළසා දැමීමක් බවත් ඔහු තමාට නැති බලතල ආරෝපණය කර ගෙන සහ අන් අයට අයත් බලතල මහ දවල් මෙන් ම මහ රෑ ද කොල්ල කා ඇති බවත් ඒ අනුව  "චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ" චෝදනාව යටතේ දෝෂාභියෝගයකට ඔහු  යටත් කළ යුතු බවත් සක්සුදක් සේ පැහැදිලි ය.එමෙන් ම ජනාධිපතිවරයා කරන ඕනෑ ම ක්‍රියාවක්  නිවැරදි  ලෙස හඳුන්වා ඒකාධිපතිත්වයකට පදනම සකසන සකළවිධ ජනතා ද්‍රෝහීන් දේශපාලනික ව පරාජය කිරීමට ජනතාව වහ වහා සංවිධාන ගත යුතු බවත් අවධාරණය කළ යුතු ව ඇත. මෙය නොකර කරන යුඇන්පී -විරෝධී  අරගලය සබෑ  යූඇන්පී විරෝධී අරගලයක් නො ව , ප්ජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා  දැන් දැන් පෙරට ඇදෙන ජනතාව යූඇන්පිය පසුපස ගාල් කිරීමක් හැර අන් දෙයක් නොවනු ඇත.  

   

Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS