2018 අගෝස්තු 12                                                     කලාපය 6

 

විකල්ප නායකත්වයක් ගොඩනැඟීම සඳහා  ඉදිරියටම

    යූඇන්පී - ශ්‍රිලනිප - ශ්‍රිලපොජපෙ  යන ධනේශ්වර ගුබ්බෑයම්  තුනේ  අන්ත බංකොලොත් ක්‍රියා මාර්ගයන්  හමුවේ මුලු රට ම නන්නත්තාර වී තිබීම මගින්  පමණක් නොව , ඒ සියල්ල පරාජය කොට  රට ධනේශ්වර විරෝධී මාවතකට යොමු කිරීමට කැප වූ විකල්ප නායකත්වයක් ගොඩ නඟා ගැනීමට එම ගුබ්බැයම් තුනටම එරෙහි යැයි කියා  සිටින කොටස්  කිසිම දෙයක් නොකිරීමේ කරුණ  මඟින් ද වර්තමාන දේශපාලන තත්ත්වය  සුවිශේෂී කර දක්වනු ලැබේ. ගතවන දිනක් පාසා තත්ත්වය වඩ වඩාත් සංකීර්ණ වෙද්දී ,මේ කොටස් අනාගත  සටන සඳහා තබා අද කළ යුතු සටන සඳහාවත්  කිසිම දෙශපාලනමය සූදානම් වීමක් කරනු දැකිය නොහැක. පවතින තත්වය වෙනස් කළ නොහැකි ය යන සුලු ධනේශ්වර අසාරදර්ශී  දැක්මෙන් යුතු මොවුන්ට අන්තිමේ දී කළ හැකි වනු ඇත්තේත් , ඔවුන් කරනු ඇත්තේත් තනි තනි ව ජනාධිපතිවරණයට  සහ අනෙකුත් මැතිවරණයන්ට ඉදිරිපත් වී,  පවතින තත්වය  වෙනස් නොකළ හැකිය යන සිය බංකොලොත් ස්ථාවරයේ නිරවද්‍යතාව තහවරු කරනු පිණිස එම පරාජයන් ද යොදා ගැනීම ය; නොඑසේ නම්, වඩා වැඩි උවදුර පැරදවීම පිණිස යැයි කියමින්  වඩා අඩු උවදුර සමඟ කාණ්ඩ ගැසීමේ හම්පඩ ගැහී අවසන් ව ඇති  ක්‍රියා මාර්ගයෙහි නිරත වීම ය. 

   අප මීට පෙර ද පෙන්වා ඇති පරිදි  මේ ගුබ්බෑයම් තුනට ම එරෙහිව සටන් කොට ජය ගැනීම කියන තරම් පහසු කටයුත්තක් නො වේ. එය මහා දේශපාලන සංග්‍රාමයකි. එය හැම ක්ෂ්ත්‍රයක් තුළ ම , තිබෙන  පෙරමුණු  හරහා පමණක් නො ව, නව පෙරමුණු  ද බිහි කර ගෙන කළ  යුතු පෙර නොවූ විරූ පරිමාණයේ  සංග්‍රාමයකි. දිනුවත් නැතත් කළ යුතු ව ම ඇති සංග්‍රාමයකි. මීට  පෙර මොවුනට එරෙහිව සටන් කළ යුතු වූයේ,  මොවුන් කෙරෙහි ජනතාව තවමත් විශ්වාසය තැබූ තත්ත්වයන් තුළ දී ය; එනම්, සටන් කළ  යුතු ව තිබුණේ    රැල්ලට එරෙහි ව ය. අද රැල්ල ඇත්තේ උන්ට එරෙහි ව ය. ඒ ඒ ජනමාධ්‍ය තම තමන් පක්කලිකම් කරන නායකයන් කෙතරම් උඩ දැමුවත් ,  මුන් සියලු දෙනා  අමු ජනතා ද්‍රෝහී බඩගෝස්තරවාදීන් බව නොදන්නා  කිසිවකුත් අද මේ ධරණිතලයේ නැත. මොවුන් පරාජය කළ යුතුය යන්නටත් වඩා , මොවුන් පරාජය කළ හැකි ය යන්න ජනතාව තුළ තහවරු කරන ප්‍රමාණයට,  එවන් නව විකල්ප නායකත්වයක  ගමන් මග තීව්‍ර වන අතර, එහි ම ගතිකයන් අනුව එම ව්‍යාපාරය තීරණාමක  ලෙස ඉදිරියට යනු ඇත. මෙයට ඇති ප්‍රධාන බාධකය ව ඇත්තේත්, වනු ඇත්තේත්  ඉහත කී  ගුබ්බෑයම් තුනෙන් එකකට හෝ   ඇති  බැඳීම්වලින් හැම අතකින් ම  කැඩී වෙන්වී ස්වාධීන මාවතක් ඔස්සේ ජනතාව මෙහෙයවීමට තමන්  සූදානම් නොවනවා මදිවාට, අන් අය ඉන් වළකාලීමට ද තමන්ට  හැකි හැම දෙයක් ම කරන ඊනියා  බුද්ධිමතුන් ය.ඔවුන්ගේ බුද්ධිය කෙතරම් ඔඩු දුවා තිබේ ද යත් , සාම්ප්‍රදායික පක්ෂ බිම හෙළමින් නව නායකත්වයන් බලයට ගෙන ඒමට ලෝකයේ රටවල් ගණනාවක ම ජනතාවන් ක්‍රියාත්මක වීමෙන් පෙන්නුම් කෙරෙන නව ප්‍රවණතාවන්ට  මොවුන් මුළුමණින් ම බොරුවට අන්ධ ය.ශ්‍රි ලංකාවේ ජනතාව ඔවුන් මෙන් දියුණු  නැතැයි මේ මුග්ධයෝ කියති. නූතන දුටුගැමුණු ලෙස ගිහි-පැවිදි  සියලු පක්කලියන් විසින් අහස උසට උඩ දැමූ, දුටුගැමුණුටත් වඩා අමාරු කෙළියක් කළ අයකු ලෙස මේ ඊයේ පෙරේදාත් එක් ගොන් වහන්සේ නමක් විසින් හුවා දක්වනු ලැබූ  මහින්ද රාජපක්ෂ මහරජාව හොම්බෙන් යැව්වේත්   මේ ශ්‍රී ලංකාවේ   ජනතාව ම  බව  මේ උන්නැහේලාට  අමතක වී ඇත. 

   එහෙයින්  මේ උදාවී ඇති  අතිශය වාසිදායක තත්ත්වය ගසා ගෙන කෑමට පොකට් හිට්ලර්ලාට සහ උන්ගේ ඇම්බැට්ටයන්ට ඉඩ නොතබා , කාලය මොහොතකුදු අපතේ නොයවා කටයුතු කිරීම ,තමන්  මොවුනට එරෙහි  බැව් කියා සිටින සියලු දෙනාගේ ම ක්ෂණික සහ  මග නොහැරිය හැකි කර්තව්‍යයයි.        

       ****************************

                  දුම්රිය වැඩවර්ජනය

 පෙර දැනුම් දීමකින් තොර ව  කෙරුණ දුම්රිය වැඩවර්ජනය දැන් තවමත් සිදු වෙමින් පවතී. ලංකා  ඉතිහාසයේ පළමු වතාවට  මහාපරිමාණයේ  ජනතා විරෝධයක්  වැඩවර්ජනයකට එරෙහිව  මුදා හැරීමට තත්ත්වය සකසා ගත්  මෙම වැඩවර්ජනය ,ආණ්ඩුවේ  පෞද්ගලිකකරණ  වැඩපිළි වෙලට තල්ලුවක්  ලබා ගැනීම සඳහා යොදා ගැනීමට   ආණ්ඩුවේ නායකයන්   උත්සාහ දරනු පෙනී යයි. මීට ඉහත කාලයන්හි දී වැඩ වර්ජනවලට එරෙහි ජනතා විරෝධයින් ලෙස හුවා දක්වනු ලැබුවේ ඒ ඒ ආණ්ඩු විසින් හොර රහසේ  සංවිධානය කරනු ලැබූ මැර කණ්ඩායම්වල ප්‍රහාරයන් වුවත් , මෙවර  ජනතා විරෝධය මෙවර වැඩ වර්ජනය මෙන් ම , හදිසියේ හට ගැනු වැඩ වර්ජනය හේතු කොට ගෙන  යන එන මං  නැති වූ  ජනතාව -  අති විශාල වශයෙන්  ම ,රැකියා නිම වී ආපසු ගෙදර බලා යන  වැඩ කරන ජනතාව -  විසින් ඒ සා ක්ෂණික ව  දැක්වූ මහා පරිමාණ ප්‍රතිචාරයක් විය. එය ද සිදු වූයේ , මීට ඉහතතී ද මෙවන්  හදිසි වර්ජන නිසා  මෝදු වෙමින් තිබූ කෝපයක් ද තිබියදී ය. 

    වැඩ වර්ජන  කල් තියා දැනුම් දී නොකිරීම ගැන මහා උපාසක සෙයියාවෙන් අගමැති ඇතුළු  ආණ්ඩුවේ මැති ඇමැතියන් කරන වැළපීම් , තමන් මුහුණ  පෑ ගැහැටින්  දුෂ්කරතාවට   පත් ජනතාවගේ කෝපය ගසා ගෙන කෑමේ අතිශය වංක  ප්‍රයත්නයන් ය. කල් තියා දැනුම් දී  එක් සේවක කොටසක ගේ නොව සමස්ත කම්කරු පන්තියේ  ම  වැටුප දිනකට  රුපියල්  දහයකින්  වැඩි  කරන ලෙස ඉල්ලා වැඩ වරන බව කල්තියා දනුම් දුන් විට , වත්මන් අගමැති සහ ඔහුගේ මහා ශ්‍රෙෂ්ඨ  හිටපු නායකයන් 1980 දී  කලේ , එම වර්ජකයන් නෙරපා දමා එජාපයේ ඇම්බැට්ටයන් එම තනතුරුවලට පත් කර ගැනීමට අවශ්‍ය  සියලු විධිවිධා න සකසා ගැනීම ය.මෙහිලා ප්‍රමුඛත්වය ගත්තේ රණසිංහ ප්‍රෙමදාස ය.  හුදෙක් එම වර්ජනයට සහාය දැක්වීම උදෙසා  වැඩ වර්ජනය කිරීම නිසා මෙම සටහන ලියන මා  ඇතුළු හතර දෙනක් ම   වසර 14ට අධික කාලයක්, එම ආණ්ඩුව පෙරළෙන තෙක් ම,  ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවයෙන් නෙරපා හරිනු  ලැබ සිටියහ.(වැඩ වර්ජනය කිරීම නිසා අප  එසේ මහ බැංකු සේවයෙන් එසේ නෙරපා හරිනු ලැබූ නමුත් , අතට අසුවූ මහා පරිමාණ බැඳුම්කර වංචාව හේතු කොටගෙන  අර්ජුන් මහේන්ද්‍රන්  ඉවත් කිරීම වළකාලීමට රනිල් වික්‍රමසිංහ  කෙවන් වූ නෙයියාඩමක් නැටුවේ ද යන්න මෙහිලා මතක් කිරීම වැදගත් වනු ඇත.) ජනතාව සම්බන්ධයෙන් ගත් කල , නොදන්වා වර්ජනය කිරීම සම්බන්ධයෙන්  කරන හෙළා දකීම් අත්‍යන්තයෙන් ම සාධාරණ  වන්නේ වී නමුදු ආණ්ඩුවේ අදාළ  ගැරහීම්   නම්  මුල සිට අගට ම වංචනික වේ. 

   අනෙක ,මෙවන් තත්වයක් ඇතිවීම ගැන ආණ්ඩුව ද වගකිව යුතු වේ. අමුණුගම- රාජිත නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මුල් කැබිනට් තීරණය  ගන්නා විට , එය ක්‍රියාත්මක කළ හොත්  එය අනෙක්  සේවාවන්ට බලපාන  බව  එම කැබිනට්ටුවේ එකෙක්වත් දැන නොසිටීමට තරම් , එහි සාමාජිකයන්  ""බහුශෘත" වී ද?  මංගල සමරවීර එවන් සමාන්තර  සේවාවන්  28ක් (සමහරුන්ට අනුව 35ක් ) තිබෙන බව දැන ගත්තේ එම රැස්වීමෙන් පසු ද? මුදල් අමාත්‍යාංශයේ  ඉන්නේ නියම ම බඩු බව ඔහු මෑතක දී කියා  සිටියත් ඉන් එකෙක්වත්  ඒ බවක්  ඔහුට කියා තිබුණේ   නැද්ද? ඒ සියල්ල නැතත්, එම කරුණ දැන ගත් වහා  ම  ඔහු කළ  යුතු වූයේ , තමා හදිසියේ ම අනාවරණය  කර ගත් දෙයක් ලෙස මවා පාන  එම කරුණ  ගැන දුම්රිය වෘත්තීය  සමිති වෙත දැනුම් දී  ඔවුන්ගේ අදහස් විමසා සිටීම නො වේ ද? එම සමිති නොපවතිනවාක්  මෙන් ක්‍රියා කර , වැඩේ ගැස්සී ගිය පසු හරිම සාධාරණ අය ලෙස සාකච්ජාවලට එන්නැයි  යාප්පු කිරීම හුදු රංගනයක් නොවේ ද?අනුමත කළ  කැබිනට් පත්‍රිකාව ඊළඟ කැබිනට් රැස්වීමේ දී  ස්ථිර  නො කළ හොත් වහා ම යළි  වර්ජනයට  බසින බව එම සමිති කියා තිබිය දී  මෙලෙස ක්‍රියා කිරීම කැබිනට්ටුවේ සුපුරුදු  වගකීම් විරහිත බව  යළි  මොනවට ඔප්පු කරයි.

   මේ කරුණු  දක්වීමෙන්  එම සමිති නායකයන්ගේ වගකීම් විරහිත, වෘත්තීය සමිති ව්‍යාපාරයට අනර්ථකර   ක්‍රියා කලාපය  අනුමත කිරීමක් කිසිසේත් ම අදහස් නො වේ. මෙලෙස දුර දිග නොසිතා  වැඩ වර්ජනය කිරීම මගින් ,  උසස් පෙළ විභාගය වැනි වෙනත් කරුණු වලට අමතර ව , තමන්  මූලික වශයෙන් ම තමන්ට  එරෙහි කර  ගන්නේ  රාජ්‍ය සේවයේ  සහ අන් සේවාවන්වල  තම මිත්‍ර බලවේගයන් ව ය යන්න නො සළකා  හැරීම බලවත් සේ ස්වයං-අනර්ථකාරී ය. ඕනෑම වර්ජනයකින්  ජනතාව අපහසුවට පත් වන බව සැබෑ නමුත් , හිතා  මතා මේ ආකාරයෙන් ජනතාව  නන්නත්තාර  වන පරිදි වැඩ වර්ජනවල දී ක්‍රියා කරන්නේ නැත. වර්ජනයේ පියවරක් පියවරක් පාසා  ජනතා සහයෝගය තමන්  වෙතත්,  ජනතාව අපහසුවට පත්වීමේ වගකීම පාලකයන් වෙතත් පැවරෙන ආකාරයෙන්   වර්ජනය සිදු විය යුතු ය. මේ වර්ජනය සිදු කලේ එවැන්නකට කිසිදු ඉඩකඩක් නො තබා ය. මෙලෙස  ක්‍රියා කිරීම සතුරාගේ අරමුණු ඉටු කර ගැනීමට පාර කැපීමකි. මාග්‍රට් තැචර්ට  බලයට පත්වීමටත් , බලයට පත් ව පෞද්ගලිකකරණ  වැඩ පිළිවෙල එක පිම්මේ ගෙන යාමටත් පාර කැපුවේ ද  මෙවන් ම ඉවක් බවක් නැති  වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයන් ය යන කරුණින් අපද පාඩම් ඉගෙන ගත යුතු ය.ඉන් ගොඩ ඒමට  බ්‍රිතාන්‍ය  කම්කරු පන්තියට  දශකයකටත් වඩා කාලයක් ගත විය. හිට්ලර් කෙනෙකු අවශ්‍ය බවටත් හමුදාව යොදවා හෝ වැඩවර්ජනයන්  කඩා බිඳ  දැමිය යුතු බවටත්  එකම විසඳුම පෞද්ගලිකකරණය බවටත්  ගජරාමෙට කෙරෙන ප්‍රචාරයන් අනුව , වෘත්තීය සමිති ව්‍යාපාරයේ ආරක්ෂා ව ගැන සිතන හැම අයෙකුම  වඩාත් සුපරක්ෂාකාරී විය යුතු ය. 

  =========================================

       විපක්ෂ නායකකම  නැතිව බැරියෝ! 

    2015 ජනවාරි 8 පරාජයෙන් පසු මහින්ද අගමැති කිරීම සඳහා  දන්නා තරම් කඩිකස්තිරම් ඇල්ලූ ඊනියා ඒකාබද්ධ විපක්ෂය දැන් යළි  වරක්  විපක්ෂ නායකකම තමන්ට අත් කර ගැනීමට වළිකන්නට පටන් ගෙන ඇත. මේ තනතුරු පෙරේතකම වෙනුවෙන් මොවුන් මොන තරම් කාලය කා දමා ඇද්ද? ගෝඨාභය  ජනපති අපේක්ෂකයා කරන්නට ගොස් ඇතිවූ විරෝධතා හමුවේ ඒ ගැන කතා කිරීම පවා මහින්ද විසින් තහනම් කරනු ලැබ ඇති  අතර , තමා එම තහනම් නියෝගය අකුරට ම පිළිපදින  බව ඇහැළියගොඩ දේශපාලන වසලයා ප්‍රසිද්ධියේ ම වදාරා , දැන්  විපක්ෂ නායකකම පිළිබඳ ඊනියා සටනට පිවිස ඇත.  සර්වබලධාරී දෙවියන් වහන්සේගේ තහනම නොතකා හැරීමට ඒව  හට තිබුණ තරම්  ශක්තියවත්, නිකම් ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  කෙනකු පමණක් වී ඇති  මහින්ද බොල් පිළිමය   හමුවේ, කලෙකට ඉහත දී විප්ලවයේ ගිනිසිළුව ලෙස පෙනී සිටීමට වළි කෑ  මේ පෙන්දාට නැත. යළි  මහරජ වුවහොත් පක්කලිකම කෙවන් වනු ඇද්ද? විරුද්ධ පක්ෂ නායකකමට කෙළ හලන අන් අයගේ කෙරුවාව ගැන කියනුම කවරේද? 

   දිනේෂ් සම්බන්ධයෙන් ගත් කල, විරුද්ධ පක්ෂයේ නායකත්වය වූකලී , ජනාධිපති අපේක්ෂකත්වය සඳහා  වන ගමනේ ඉදිරි පියවරකි. ගෝඨාභයට එරෙහි බලවේග හමුවේ ඒකාබද්ධයේ මලබද්ධය  තව තවත් උග්‍ර වෙද්දී  තමාට ද චෑන්ස් එකක් ඇතැයි ඔහු සිහින මවන අතර, ගෝටාගෙන් එය බැසිල් අතට  යෑම වැළැක්වීම සඳහා  හොඳ ම ක්‍රමය විපක්ෂ නායක ලෙස දිනේෂ්  ෆෝම්  කිරීම යැයි ඔහුගේ අමු වර්ගවාදී  වල්ලේ අනෙක් ගෝතයන්  ද  සිතනවා විය යුතු ය.  එහෙත්  මේවා සිදුවීමට  නම්  මුලින් ම මහින්දගේ පවුල්වාදී නැට්ට  කෙලින් කළ  යුතුව ඇත. සියල්ලට පෙර පවුල- මහින්ද චින්තනය එක පතට හිඳවා ගත් විට පවතින එකම සූත්‍රය එයයි. එම සූත්‍රය සුන්නත්දූලි කර දැමීමට නම් මහින්ද ජතික මට්ටමේ මැතිවරණයන්හි දී තුන්වැනි වරටත්  එක දිගට පරාජය කර වීම -එනම්, ඔහුගේ හැට් ට්‍රික් එක සම්පූර්ණ කිරීම - කළ  යුතු ය. නො එසේ  නම් ඒකාබද්ධයෝ සදා කල් රාජපක්ෂ පවුලේ  වහල්ලු වීම නොවැළැක්විය හැක.ඔවුන් පතා ගෙන අවුත් ඇත්තේ එසේ සිටීමට යැයි මහින්දවාදී චීවරධාරියෙක් අනුශාසනාවක් කරන දිනය වැඩි  ඈතක නො වේ. 

   පොදුවේ තමන්ට කිසිදු වගතුවක් අත් කර නොදෙන  තනතුරක් උදෙසා කරන මේ "සටනින්"  සිංහල බෞද්ධ  ඡන්ද  වැඩි කර ගත හැකි වනු ඇතැයි මේ මුග්ධයන් රැළ සිතුවත්, ඇත්ත වශයෙන්  සිදු වනු ඇත්තේ පාර්ලිමේන්තුව තුළ තමන්ට ඇති එකම තැනත් නැති කිරීමට ගන්නා නීච උත්සාහය තම ජාතියට එරෙහි ව මොවුන්ගේ ඇට මිදුළු  තුළ  කාවැදී ඇති අමු ජාතිවාදය ලෙස නිවැරදි ව  සළකන දෙමළ ජනතාව, තවදුරටත් මොවුන්ගෙන් දුරස් වීම ය. 

***************************************** ************        

            ඤාණසාර  වසර 6 ක් හිරේ!

 සිවුරට මුවා වී  නීතිය අතට ගෙන අමු ජාතිවාදී ප්‍රචාරයන් පමණක් නොව ප්‍රහාරයන් ද ගෙන යමින් රට ගිනි තැබූ සහ තැබීමට  තවදුරටත් ක්‍රිය කරන   චීවර  ධාරීන් අතරින් අයකු වූ ගලබොඩඅත්තේ ඤාණසාර   6වසරකින් ගෙවී යන 19 වසරක සිර දඬුවමකට  අභියාචනා  අධිකරණය විසින් නියම කෙරිණි.ඔහු අදාළ දින අධිකරණය තුළ හැසිරුණ මදාවි ආකාරය පිළිබඳ සියලු වාර්තා අනුව ඔහු වරදකරු වන බව සහ විය යුතු ව තිබූ බව කිසිවකුටත් පුදුමය ඇති කරන්නේ නැත. අධිකරණයට  අපහාස කිරීම  යනු කුමක් ද යන්න ගැන කුමන  මතිමතාන්තර තිබිය හැකි වුවත්, එදා   සිදු වූයේ    එවන් අපහාස කිරීමක් බව ඕනෑවටත් වඩා පැහැදිලි ය.සිවුරේ බලයෙන් ඕනෑම කුප්පකම කින්  බේරිය හැකි යයි මොවුන් සිතන අතර , හුදෙක් බලය යළි  ඩැහැ  ගැනීමේ අරමුණින් ඒවාට උල්පන්දන් දෙන  සියලු පන්සල් කෙළසන අධම  නායකයකු  සිටීම ද ඔවුන්ගේ මේ ක්‍රියා කලාපය උග්‍ර වීමට  අතිරේක හේතුවක් වී ඇත.

   මීට ඉහත ඔහු හිරේ ගිය අවස්ථා වේ දී ජනාධිපති  සමාවල්  නොඉල්ලන බවට මහා ජාතියෙන් කතා කළ ඊනියා  බොදුබල සේනාව මෙවර දඬුවම නියම වූ සැණි න්   එවන් සමාවක් ඉල්ලා සිටින  බව ප්‍රකාශ කළේ  ය.තමන්ට සිදුවූ දෙයට හිළව් වශයෙන් රන්ජන් රාමනායකට ද මේ ආනිශංසය ම අත් වන තුරා මොවූහු නෙත්  දල්වා ගෙන සිටිති.ඒ ප්‍රාර්ථනය නම් ඉටු වනු ඇත .

-------------------------------------------------------------

       පුටුව  650,000ක් නො වේ; 640,000 යි!

               - බස්නාහිර මහ ඇමති  ඉසුර දේවප්‍රිය

     රටේ ජනතාව සිදුවන දෙයින් කෝපයට පත් වෙමින් සිටිය දී  හාස්‍යය ද මුස කරමින් සහ  එම කෝපය දෙගුණ තෙගුණ කරමින් අසන්නට ලැබුණේ  , බස්නාහිර පළා ත් සභාවට එකක් රුපියල් හය ලක්ෂ  පණස් දහසක් වූ පුටු  100ක් ආනයනය කිරීමට යන බව ය. ජවිපෙ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි  කළ  එම කරුණ බොරු බව ඔප්පු කිරීම සඳහා  මහා ඇමති ඉසුර දේශප්‍රිය කීවේ ,  එය 6 ලක්ෂ  පණස්  දහසක් නො ව 6 ලක්ෂ හතලිස් දහසක් බව ය ! නරුම කමක  තරම! එහෙනම් මොකෝ  , නේ ද! දහ දාහක්  අඩුයිනෙ ! මෑන්ට ඕන  පාර්ලිමේන්තුව වගේ කරන්නලු! කළ  යුතු ව ඇත්තේ ලංකාවේ   පාර්ලිමේන්තුවත් බ්‍රිතාන්‍යයේ  පර්ලිමේන්තුවේ මෙන්  නිදා ගත හැකි පුටුවලින්  තොර  බංකු  බවට පරිවර්තනය කිරීම ය. පළාත්  සභාවේ පුටු පර්ලිමේන්තුවේ පුටුවලට හරවා 'පුටු විෂමතාව" නැති කිරීම නො වේ .  ප්‍රධාන පක්ෂ තුනෙන් මොන පක්ෂයට අයත් වුවත් මොවුන් සියලු දෙනා ම ජනතාව පෙළමින් සිය බඩගෝස්තරය  තර කර ගන්නා  අධමයන්  පමණක්  බව මේ පියවරෙන් ද පැහැදිලි වේ.  

Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS