2018 අගෝස්තු 26                                            කලාපය 8 

 

මැතිවරණ  කල් දැමීමේ  ලෝකය හිනස්සන ගුණ්ඩු

 

    තමන්ගේ ම පණතක් පාර්ලිමේන්තුව තුළ  දී අන්ත පරාජයකට  පත් කරමින් මෛත්‍රී-රනිල් ආණ්ඩුව සිය අරපයිත්තියන්කමේ දිග පළල  කෙතරම් දැ යි මුළු ලොව හමුවේ ප්‍රදර්ශනය කලේ නිර්ලජ්ජිතකමේ අන්තිම නූල් පොටත් ගලවා දමමිනි.

 *  පණතට  පක්ෂ ව    - ඡන්ද  0  (බින්දුවයි )

*  පණත ඉදිරිපත් කළ ඇමති  මුස්තාපා - උන්දැත් විරුද්ධයි !

*  පණත මගේ නෙවෙයි! -ඇමති මුස්තාපා  (මගේ නෙවෙයි    නම්           ගෙනාවෙ මොකද බොල? )

*විපක්ෂ ව -ඡන්ද 139  (මැතිවරණ ඕනෑ යැයි කෑගැසූ ඉතිරි  86 දෙනා කොහි ද? )

*පණතට පක්ෂ ව  වැඩියෙන් ම කෑ ගැසූ ජවිපෙත්  ඡන්දය නොදෙයි!(ප්‍රතිපත්තිගරුක කමක  මහත!)

   මෛත්‍රීපාලගේ පැත්තෙන් ගත් කල , මෙය පළාත් සභා මැතිවරණ කෙසේ හෝ කල් දමා ගැනීමේ  උප්පරවැට්ටියකි. එය පවැත්වුව හොත් , අන් සියල්ලන්ටත් වඩා සවුත්තු වන්නේ  ඔහුගේ ශ්‍රිලනිපයයි. 16 දෙනා ( දැන් 15 දෙනා ) සිටියදීත් ඇප රාජසන්තක වන තත්වයක සිටි  ඔහුගේ ශ්‍රිලනිප දැහැටි දණ්ඩ  මෙම මැතිවරණයේ දී  තවත් සෝදා පාළු වනු ඇත.  එහෙයින් ඔහුගේ අවශ්‍යතාව වන්නේ   හැකි තාක් කල් මෙය කල් දමා ගැනීම ය. මේ තත්වයෙන් යම් තාක් දුරකට ජාම් බේර ගත හැක්කේ ජනාධිපතිවරණය සමග එක්වර පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙනි . එවිට ඔහු ජනපතිවරණයට යන්නේ  පළාත් සභා මැතිවරණයේ දී  හෙළිදරව් වීමට නියමිත  ඔහුගේ සැබෑ ජන පදනම ගැන රට්ටු නොදැන සිටිය දී ය.ඒ  අනුව  ඔහුට ප්‍රතිඵලය නිකුත් වන අවස්ථාව තෙක්  චූන් එකේ සිටිය හැක. ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වුව හොත්  ඔහුට  ජනපතිවරණයට ඉදිරිපත් විය හැක්කේ, අන්ත පරාජය උරුම වූවකු  බව නොදරුවන් පවා දැන සිටින තත්වයක් යටතේ ය; නොඑසේ නම් රනිල්ගේ උදව්වෙන් යළි පොදු අපෙක්ෂක වෙස් මුහුණ බැඳ ගෙන ය. එහෙත්  එවැන්නක් සිදු වුව හොත් ඔහුත් සුන් ය; රනිලුත් සුන් ය. බබාත් සුන් ය; බබීගෙ අම්මත් සුන් ය.මහේන්ද්‍රන් රැකීමට රනිල් ගත් ක්‍රියා මාර්ගයන්  මෛත්‍රී විසින් ම ලුණු ඇඹුල් සහිත ව හෙළි දරව් කරනු ලැබීමේ සැබෑ අනතුරට රනිල් ද මුහුණ පා ඇති හෙයින් කුමකින් කුමක් ඔහු කරනු ඇද්දැයි බලා ගත හැක්කේ ඉදිරියේ දී  ය. එම කරුණු  සුදුසු අවස්ථාවේ දී හෙළි කරන බවට මෛත්‍රී අනතුරු හැඟ  වූයේ පසුගිය පළා ත් පාලන මැතිවරණ සමයේ දී ය. ඒ මහ හොරා කවුදැයි රට ම දන්නා බව කියන අතර තුර දී ය.  ජනපති අපෙක්ෂකත්වය පිළිබඳ  පවුලේ හුටපට නිසා තමා ම අපේක්ෂකත්වය ලබා ගැනීමට තැටමීමට සිදුව ඇති, ඒ අනුව ව්‍යවස්ථාවේ හිලකින් රිංගීමට මාන බැලීමට තරම් අන්ත අසරණ වී,කල්තියාම සවුත්තුවීමේ ඉරණමට මුහුණ දී ඇති මහින්ද මහරජ තුමා ද  මැතිවරණ දෙක ම එකට තබනවාට කැමති වනවාට සැකයක් නැත. මුලින් පළාත් සභා  ඡන්ද පැවැත්වුව හොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජය ගන්නා නමුත් , ලැබෙන මුළු  ඡන්ද සංඛ්‍යාව පළාත්  පාලන  ඡ න්දයේ දී ලැබුවාට වඩා විශාල වශයෙන් වැඩි නොවුන හොත්, එය ඒකාබද්ධයන්ගේ  ජනපති සිහිනය බොඳ  වීමට බලපානු ඇත.

   එ අනුව මේ ත්‍රිත්ත්වය ම වඩා කැමති වන්නේ   ඡන්ද  විමසීම් දෙක ම එකවර පවැත්වෙනවාට ය. ඒ අනුව 2018 ජනවරි 8 දායින් පසු ඕනෑ ම මොහොතක ඒ බැව් නිවේදනය විය  හැක. තුන් දෙනා ම අර්බුදයේ සිටින නිසා , 20 වැනි ව්‍යවස්ථා  සංශෝධනය මගින්   ඉන් ගැලවීමට තිදෙනාට ම හැකි වන හෙයින්  එම සංශෝධනය  සම්මත කර  ගත හැකි වෙතැයි ජනතා විමුක්ති පෙරමුණ ගණන් බලනවා විය හැක. එවිට විධායක ජනපති ක්‍රමයේ ශාපයෙන් රට බේරා ගත් වීරයන් ලෙස පෙනී සිටීමට එයට හැකි ය! එහෙත් සැබෑ තතු නම්, කොට්ඨාශ ක්‍රමය ඇති කිරීමේ මුවාවෙන් රටට මහා බරක් වන කමකට නැති ක්‍රමයක් ඇති කිරීමේ පණ තක්  ඇති කිරීමේ 'නියමුවකු ' වූ ජවිපෙ මේ වීරයන් , එයට පක්ෂ ව  ඡන්දය දෙන බවට ඊට පෙර දින ද ප්‍රකාශ කොට,  ඡන්දය විමසන මොහොතේ දී සභා ගැබෙත් නොසිට පලා ගිය බව ය. මාර වීරයෝ!

   ඊනියා 20 වැනි සංශොධනයක් අටවා ඒ ගැන වහසි බස් දොඩමින්  සිට  ඉදිරි ජනපතිවරණයේ  දී ඉහත සඳහන් නායකයන් තිදෙනා ට එරෙහිව විකල්ප පෙරමුණක් ගොඩ නැගීමේ සටනින් පලා ගිය මේ පෙරමුණ තවමත් වලිකන්නේ  එම සංශෝධනය මගින් වැඩේ ගොඩින් බේරා ගැනීමට ය. නියමිත දිනයේ දී ජනපතිවරණය පවත්වන්නේ නම් තවත් මාස 18ක් තිබුණත් , මෛත්‍රීපාලගේ   අවශ්‍යතාව  අනුව 2019 ජනවාරියෙන් පසු ඕනෑ ම මොහොතක එය පැවැත්විය හැකි  බැවින්, එවන් පෙරමුණක් ගොඩ නැගීමට ඇති කාලය වඩ වඩා අඩුවෙමින් තිබිය දී ඔවුන්ගේ මග හැරීම වඩ වඩාත් තියුණු වනු ඇත. 2015 ජනවාරි 8 දා ශ්‍රිලනිපය පාවා දුන්, ඉන්පසු තමාට ඡන්දය දුන් 62 ලක්ෂය ද අමු අමුවේ  පාවා දුන් සහ තවදුරටත් පාවා දෙමින් සිටින මෛත්‍රීපාල  මෙවර අල්ලන  මාර අඩව්වේ  තරම ඉදිරියේ දී බලා ගත හැකි වනු ඇත.ස්ථිර ව ම කිව හැක්කේ ඔහු සමග එක්වන කවරකු වුවත්, එමගින් තමන්ගේ ම  ඡන්ද පදනම ද  බරපතළ ලෙස අහිමි කර  ගනු ඇති බව ය.

==============================================      

අශෝක අබේසිංහ         යහපාලනයෙන්

රංජන් රාමනායක         හිට්ලර් පාලනයට

 විජයදාස රාජපක්ෂ       මාරු වෙයි! !

     යහ පාලනයේ මුර දේවතාවුන් ලෙස වෙස් වලාගෙන සිටින තිදෙනෙක් පසුගිය සති කීපය තුළ දී  තමන් ප්‍රේමදාස යුගයට ම අයත් ඇට්ටරවූ පාදඩ යුඇන්පී කාරයන් ම බව, නැත, ඊටත් වඩා නීච යූඇන්පී කාරයන් බව, තමන්ගේම කානු කටවල් මගින් ම මහා උජාරුවෙන්  ලෝකයා හමුවේ ගෙනහැර පෑවෝ ය. ඒ තිදෙනා නම් ,ප්‍රවාහන,  නියෝජ්‍ය ඇමති අසෝක අබේසිංහ,  රංජන් රාමනායක සහ විජයදාස රාජපක්ෂ නමැති  වෘත්තීය සමිති-විරෝධී  සහ ශිෂ්‍ය-විරෝධී ගහලයන්ය.

   තමන් බරපතළ අපහසුවකට පත් කරන ආකාරයෙන් සිදු කරන ලද වැඩවර්ජනයට මගී ජනතාවගෙන් ඇතිවූ බලවත් විරෝධය ගසා ගෙන කමින්, දිගු කලක් මුලුල්ලේ නොවිසඳී දිග්ගැසුණ දුම්රිය රියැදුරු  ප්‍රශ්නය විසඳීමට තමාට සහ ආණ්ඩුවට  නොහැකි වීම ගැන වගකීම  භාර ගැනීම වෙනුවට දුම්රිය සේවකයන්ගේ ගෙවල් වලට ගොස් ශාරීරිකව පහර දීමේ අදහස ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිවරයා යන ගමන් කියා ගෙන ගියේ ය. ඕනෑ ම හරි  හෝ වැරදි හෝ කරුණක්  අල්ලා  ගෙන ව්‍යාජ රංගනයන්හී යෙදී ,තමා නියම ම වන් ශොට් කෙනකු     ලෙස   සිතා ගෙන සිටින කුප්‍රකට රංජන් රාමනායක නමැති නළු බට්ටා , ගුරා හිටගෙන මොකක්දෝ  කරන විට ගෝලයා දුව දුව එය ම කරන බව කියැවෙන කියමන අනුව  යමින්, අබේසිංහයා තමාගේ ගුරා   නොවූවත් , දුම්රිය රියැදුරන් හට ශාරීරිකව පහර දීමේ ඔහුගේ ඔවදන ක්‍රියාවට නැගීම වෙනුවෙන්   පොලු කෙළින් කර ගෙන, "වන් මෑන් වීඩීයෝවක් " අන්තර්ජාලයට මුදා හැරීමට තරම් නීචයකු  බවට පත් විය. ගෙරි මස් කතත් කරේ එල්ලා ගෙන නොකෑ යුතු  බව මේ මුග්ධයා අසා නැතිවාක්  සේ ය. 1977/19993 යුගයේ දී ප්‍රේමදාසලා පවා  ජනතා සටන් වලට පහර දීමේ දී මේ මුග්ධයා  මෙන්  එළිපිටම ඒවා කියා පෑමට තරම් නිර්ලජ්ජී නො වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්  අසළ රඟ දැක්වුණ මේ ඒක පුද්ගල ගොන් නාටකයේ දී ඔහු පාරම්බාන්නේ දුම්රිය වර්ජකයන්ට ශාරීරික ව පහර දීමට මහජනතාවට හැකි කරවනු පිණිස  ඔවුන්ගේ නම් ගම් සහ ලිපිනයන් ද  ඡායාරූපයන් ද ළඟදී ම තමා ප්‍රසිද්ධියට පත් කරන බව ය! ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ දී මෙවන් කුපාඩි මැර ප්‍රකාශයක් කළ එක ම ගහල මන්ත්‍රී වරයා මොහු ය. අන් අයට පහර දීමට ජනතාව උසි ගැන්වීම මත මොහු වහා අත් අඩංගුවට ගත යුතු ය; එවැනි නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කළ  හොත් එසේ ගැනීම  අනිවාර්ය  ය. මේ නම් ඉදිරිපත් කරන්නේ මහජනතාව උදෙසා නො වේ. යහපාලන කඩතුරාව රැක ගැනීම උදෙසා තවමත් නියුට්‍රල් එකේ තබා ගෙන සිටින යූඇන්පී මැරයන්ගේ ප්‍රයෝජනය සඳහා ය.

   මෙසේ වර්ජකයන්ට ප්‍රහාර එල්ල කිරීම නාම ලේඛන ඉදිරිපත් කර න්නට  අමුඩ ගසන මොහු , ඊටීඅයි මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 24000 ක ගේ  කෝටි ප්‍රකෝටි ගණන්  මුදල්  වංචා කළ එදිරිසිංහ පවුලේ හොර මගෝඩියන් සම්බන්ධයෙන් ගත් කල, වන්ශොට් කෙළි  තබා වචන මාත්‍රයකුදු තෙපළන්නේ නැත.තමාගේ එකම වාහනයක්වත් උසස්  පෙළ සිසුන් වෙනුවෙන් නොයොදවා, ෆීලික්ස් පෙරේරා දුන් වාහන පමණක් ඒ සඳහා යොදවන මොහු, තමාගේ ශ්‍රේෂ්ඨත්වය  ගැන නම් පුන පුනා කියයි. තමාට ගෙයක් දොරක් නැති බව කියයි. නළුවකු ලෙස ද මන්ත්‍රීවරයකු ලෙස ද තමාට ලැබුණ  සහ ලැබෙන මහා මුදල් කන්දරාවෙන් තමන් ගෙයක් දොරක් තනා නොගත්තාට  ඉන් අමුතු ශ්‍රේෂ්ඨත්වයක් අත් නොවන බවත්, වැඩ වර්ජකයනට ශාරීරික ව පහර  දෙන්නැයි ඉල්ලා  සිටීමට ඔහුට පරම අයිතියක් නොලැබෙන  බවත් අපි ඔහුට අවධාරණය කරමු. රැකියාව සඳහා කිසිදා නිතිපතා දුම්රියක ගමන් කොට නැති (අවම වශයෙන්  රාජපක්ෂ සමයේ දී හුදු ප්‍රචාරක වාසිය  සඳහා  කැමරාකරුවන් ද සමගින් දුම්රියේ ගිය ඉරාන් වික්‍රමරත්නලාගේ නඩය සමගවත් මොහු දුම්රියේ  ගියේ නැත.)  රංජන් රාමනායක,  දුම්රිය රියැදුරන් ගේ  සුළු ප්‍රශ්නයක් විසඳා ගත නොහැකි ව මාස ගණන් කෙකර ගගා සිටින ආණ් ඩුවක මන්ත්‍රීවරයකු වන රංජන් රාමනායක,  දින පණස් ගණන් පැවති වරාය වැඩ වර්ජන, දින 100 ගණන් පැවති බැංකු වර්ජන යනාදිය ගැන මෙලෝ හසරක් නොදන්නා රංජන් රාමනායක , හදිසියේ  සිදු කළ නිසාවෙන් ඇතිවූ මහජන කෝපය ගසා ගෙන කා,  වර්ජකයන්ට මැර ප්‍රහාර එල්ල කිරීම මගින් වැඩ වර්ජන අයිතියට කෙළීමේ   පතාක  යෝධයා වී, ඔහුම කියන තමාගේ 'වන්ශොට්  සිහිනය' සැබෑ කර ගත හැකි යැයි   සිතතත් , සිදු  වනු ඇත්තේ ඔහු හුදෙක් "ගොන්ශොට්' කෙනකු ලෙස ඉතිහාසයේ කුණු  බක්කියට යාම පමණි . 

   දුම්රිය රියදුරන්ට ශාරීරික ව පහර දීමට රංජන් රාමනායකට ඇති කැසිල්ල වැනි කැසිල්ලක් ජනතාවට තිබේ නම්, මේ ගොන් ශොට්ගේ ලැයිස්තු ඔවුනට අවශ්‍ය නැත. මේ දුම්රිය  වැඩ වර්ජකයෝ හැමදාමත් ලක්ෂ සංඛ්‍යාත ජනයා රැගෙන දිනපතා ම ජනයා  සමග ගැවසෙමින් සිටිති. අදාළ  දිනයේ දී  තමන්ට සිදුවූ අකරතැබ්බය නිසා හට ගැනුණ  කෝපය දැඩි ලෙස මුදා හැරුණ නමුත් , හෙට එම ජනතාව සිය ඉල්ලීම් වෙනුවෙන් සටනට බට විට, රංජන් රමනායකගේ  ඊනියා යහපාලන ආණ්ඩුවට මෙන් ම වෙන ඕනෑ ම ආණ්ඩුවකට  එරෙහි සටනක දී ඔවුන්ගේ මිත්‍රයන් අතර සිටින , සිටිය හැකි සහ සිටිය යුතු  පංති සගයන් අතර  මෙම වැඩ වර්ජකයන්ද අනිවාර්යයෙන් ම   වන   නමුත්, එහිදී ද රංජා සිටිනු ඇත්තේ  සිය අවි අමෝරා  ගෙන ධනපති ආණ්ඩුව පැත්තේ ය.  

   මොහු මෙසේ වෘත්තීය සමිති-විරෝධී හිට්ලර්වාදී  සන්නිය නටන අතර තවත් එකෙක් ශිෂ්‍යයන්ට එරෙහි ඔහුගේ සුපිරි බෞද්ධ කඩුකස්තාන රැගෙන ජෝගියට හවුල් වී ඇත. ඒ , නම කියූ විටත්  ජනතාවට මාර ඔක්කාරයක් ඇති කරන විජයදාස රාජපක්ෂ  ය. හැම ආණ්ඩුවකට ම රිංගන, එකම ආණ්ඩුවකවත් වැඩි කලක් සිටිය නොහැකි කැසිල්ලකින් යුතු මොහු ඊනියා  යහපාලන ආණ්ඩුවෙන් ද චුත වී ගියේ අම්මමෝ මතක් කරමිනි. මහින්ද රාජපක්ෂ  සමග කෙටිකාලීන පෙම් කෙළියක යෙදුණ මොහු යළි එම ආණ්ඩුවට ම රිංගා ගත්තේ , ජනපති මෛත්‍රීපාල "විද්‍යාත්මක ව " කැබිනට්ටුව  යළි  ස්ථාපිත කිරීමේ දී ය! ඒ අනුව 'විද්‍යාත්මක බව" යනු මෙවැනි අන්ත අවස්ථාවාදී  බඩගෝස්තරවාදීන්ට කැබිනට් ඇමති  ධුර - එසේ මෙසේ ඇමතිධුර  නොව උසස් අධ්‍යාපන සහ  සංස්කෘතික ඇමතිකම් -  ලබා දීම බව ජනපති ලොවට පෙන්නුම් කළේ   ය. නවක වධය  පෙරට දමා ඔහු සරසවි සිසුනට එරෙහි දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ  , නියම පාතාලය තිබෙන්නේ සරසවිවල බව කියමිනි. නියම පාතාලයේ සිටින සිය  මිතුරන් හට මාර සනීපයක් ගෙන  දෙන්නා වූ මේ ප්‍රකාශයෙන් පැහැදිලි ව ම කියන්නේ සරසවියේ  මේ පාතාලයන්ට මරණ දඬුවම ලබා දිය යුතු බව ය. ඒ ගැන  යමකු  තුළ කිසියම් විචිකිච්ඡාවක් තිබිය නොහැකි වන ලෙස මේ පුඟුලා ඉන්පසු කියා සිටින්නේ  මොවුනට පහර දෙන ලෙසත්, ඉතිරි හරිය තමන් බලා ගන්නා  බවත් ය. රංජන්  වන්ශොට්ගේ සිංහල බෞද්ධ සංස්කෘතික කපාපු පළුව  ඕන් බලා ගනිව්!  දුම්රියක ගමන් නොගත්  රාමනායක දුම්රිය ප්‍රශ්නවලට  විසඳුම්  දෙන ආකාරයෙන් ම, වැස්සකටවත් සරසවියකට නොගිය  ධර්ම   භාණ්ඩාගාරික  විජයදාසගේ ද විසඳුම  සපයා ඇත. එහෙත් එම විසඳුම , සරසවියකට ගිය පමණ ක්  නොව එහි ශිෂ්‍ය සංගමයේ නායකයකු ව ද සිටි බවට පාරම්බාන  එස්.බී.දිසානායක ක්‍රියාවට  නැඟූ ,එහෙත් අසාර්ථක වූ, පාතාලවාදී  ක්‍රියා මාර්ගය ම  ය. තමාගේ එම ත්‍රාඩ ක්‍රියා මාර්ගය  ගැන පාරම්බෑමට  එම දිසානායක උඩ පැන ගෙන විජයදාසගේ සහයට  ඩැනී වීමට ආවේ ඒ අනුව ය. ඒකාධිපතියයකු බිහි වන්නේ   ගෝඨාභය  බලයට පත් වුව හොත් පමණකැයි  සිතන මහත්වරුන්ට අවධාරණය  කළ යුතු ව ඇත්තේ , හිට්ලර්  තනතුර සඳහා අපේක්ෂකත්වය ඉදිරිපත් කරන්නවුන්   මෛත්‍රී -රනිල්  පිලේ මෙන් ම මහින්ද පිලේ ද, හැම පිලක  ම සිය බරවා කකුල් තබා ගෙන සිටින තක්කඩියන් අතර ද ඕනෑ පදම් සිටින  බව ය.

   විජයදාස මේ හිට්ලර්වාදී ප්‍රකාශය කරන්නේ නවක වධයට විරුද්ධ වීමේ මුවාවෙනි.. සත්තකින් ම මේ ම්ලේච්ඡ නවක වධය අන්ත පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු  ය. යුතුවා පමණක් නො ව එය මුලිනුපුටා දමීම සඳහා ගත හැකි සියලු  ශීලචාර පියවර ගැනීම ද කළ  යුතු ය. මෙය විජයදාසලාට  , එස්.බී. දිසානායකලාට   සහ ඒ වල්ලේ කිසිවකුටත් කළ  නොහැකි ය; එය ඔවුනට භාර දිය යුතු ද නැත. ඔවුන්ට කළ හැක්කේ , නවක වධය වෙනුවට ඔවුන්ගේ ම තිරශ්චීන පාතාල භාවිතයක් ඇති කිරීම පමණි .එම කාර්යය භාර ගත යුතු ව ඇත්තේ සරසවි සිසුන් ම ය. එය උප සංස්කෘතියක කොටසක්  ය යන බහුබූත  තර්කය  ඉවත ලෑ යුතු ය. උප සංස්කෘතියක වේවා මහා සංස්කෘතියක වේවා , මිනිස්කමට නිගා  දෙන ඕනෑ ම  අංගයක් අළුයම හෙළන කෙළ පිඩක්  සේ ඉවත හෙළිය යුතු  ය. නවක වධය  විශ්ව විද්‍යාලයක් යයි හඳුන්වා ගන්නා තැනක ශිෂ්‍යයන්ට මොනයම් අරුතකින්වත් ගැළපෙන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නැත.සරසවි පිවිසුම් වරම් ලද දිනයේ සිට ම ඉදිරි නවක වධය ගැන සිතමින් ළත වීමටත්, සරසවියට ගිය දා සිට යම් නිශ්චිත කාලයක්  තුළ එම වධය සැබැවින් ම අත් විඳීමටත්,  ඉන් වසරක් ගිය තැන එම වසරේ සිසුනට  තමන් විසින් ම එම වධය ලබා දීමටත්  නියමිත ඊනි යා  උප සංස්කෘතියක්  පවතින තැනක්  'බුද්ධිය' යන වචනයටත් නිගාවක් නොවේ ද?  මෙවැන්නක්  මේ සා දිගු කලක් පැවතීම ගැන එවැන්නක අධ්‍යාපනය ලද , මා ඇතුළු සියලු දෙනා ම ලජ්ජා විය යුතු ය; වග කිව යුතු ය. ගෙම්බ්ර් දමා එය වැළැක්වීමට  අසාර්ථක වූ මෝඩ ප්‍රයත්නයන් හී  යළි යළිත් නිරත වීම හැරුණ විට වෙනත් අඛණ්ඩ බුද්ධිමය මෙහෙයුමක නිරත වීමට ක්‍රියා නොකළ පාලකයන් අන් සියල්ලටමත් වඩා වග කිව යුතු ය. නවක වධයක්  නොපවතින බවක් මවා පාමින් , ශිෂ්‍ය ව්‍යාපාරය තුළ  තමන් සතු තත්වය අහෝසි වී යා හැකිය යන හුඹස් බිය මත එයට එරෙහිව ශිෂ්‍ය ව්‍යපාර තුළ  විවෘත ව  කටයුතු කිරීම  මග හැර සිටින්නේ නම්, ඔවුන් පෙරටුගාමීන් වුවත් , ජ්විපෙ වුවත් අන් සංවිධානයක් වුවත් කරන්නේ විජයදාසලා වැන්නන්ට නවක වධ-විරෝධීන් ලෙස වෙස් වලා ගෙන ජනතාව හමුවේ බොරු බේගල් ඇද බා  හරිම ශිලාචාර මහත්වරුන් මෙන් පෙනී සිටීමට මාවත පෑදීම පමණි .

   අවසන් වශයෙන් කිව යුත්තේ , තමන් අනුමත නොකරන අයට මෙසේ ශාරීරික ව පහර දිය යුතු යැයි එළිපිට ම මෙසේ කෑමොර දෙන මොවුන් අතරට, මොවුන්ටත් පෙර ම වැඩම කළ තැනැත්තා වූයේ, ඩෙරීඩලා, ෆූකෝලා , මනෝ විශ්ලේශණය යනාදී හැට හුටාමාරක් පශ්චාත්  නූතනවාදී අංගප්‍රත්‍යංගයන් සිරි ලංකාවට  හඳුන්වා  දුන්නේ මම්ම වේ දැයි  තමාගේ තම්මැට්ටම තමා  ම ගසා ගන්නා දීප්ති කුමාර ගුණරත්න  අනාගත යූඇන්පී මන්ත්‍රී තුමා  බව ය.ඒ දොස්තරවරුන්ට ශාරීරිකව පහර දිය යුතු බව කියමිනි. ඔහු මෙසේ කීවේ දොස්තර කෙනකු වීමේ සිය සිහිනය  "ටූට් ගයා " වී ගිය නිසා ,දොස්තරලා කෙරෙහි හට ගත් ද්වේශයක් නිසා  යැයි මනෝ විශ්ලේෂණය අනුව යමකුට විග්‍රහ කළ හැක. එහෙත් ඉදිරියේ දී යූඇන්පීයෙන් තරග කොට මන්ත්‍රී තුමකු වීමේ සිය ප්‍රකාශිත අභිමතය අනුව , පශ්චාත් නූතනවාදය බල්ලට දමා , ඔහු  ඉහත කී තිදෙනාගේ ම මැරවාදය තමන්ගේම ත්   එකම විමුක්ති මග බවට පත් කර ගැනීම මුළුමණින් ම ස්වාභාවික වූවක්  බව අපට කිව හැක.වෛද්‍ය  සංගමයේ  වත්මන් ක්‍රියා මාර්ග අනුමත නොකරන්නේ  නම්, එහි නායකත්වයට එරෙහි විකල්ප  නායකත්වයකට වෛද්‍යවරුන් යොමු කර ගැනීමට සටන් කිරීම වෙනුවට, එම නායකයන්ට අතින් පයින් වැඩක් දෙන්නැයි මෙලෙස නිර්ලජ්ජිත ලෙස ප්‍රසිද්ධියේ ම  නිර්දේශ කළ හැක්කේ , ධනපති පක්ෂයක බැලයකු බවට පිරිහුණ අයකුට  මිස අන් කවරකුට ද? මෙම මැර ක්‍රියා මාර්ගය කරේ තබා  ගෙන තවත්  මහත්වරුන් ඉදිරියේ දී රංග පීඨයට අවතීර්ණ වීමට නියමිත ය.

  ************************************************

 

      බන්දුල ගුණවර්ධන ගේ ආර්ථික විද්‍යවේදීත්වය  

  තමා ආර්ථික විද්‍යාඥයකු වුවත් බන්දුල ගුණවර්ධන එවැන්නකු නොවේ යැයි  , කලුතර දිස්ත්‍රික්ක ජනතාව විසින් පාර්ලිමේන්තුවෙන් පළවා හරිනු ලැබ , පරාජිතයන් තොග පිටින් පාර්ලිමේන්තුවට ගාල් කිරීමේ මෛත්‍රීපාල ක්‍රමය අනුව මන්ත්‍රී කමකට පත් කරනු ලැබ , දැන් ඔහුගේ දේශපාලන බොඩිගාඩ් කෙනකු බවට පත්ව සිටින මහින්ද සමරසිංහ පසුගියදා කළ  ප්‍රකාශයෙන් කෝපාවිෂ්ඨ වූ  එම ගුණවර්ධන, තමා ලියා ඇති ආර්ථික විද්‍යා පොත් කන්දරාව වැන්නක් ලිවීමට එම සමරසිංහට මතු සංසාර ගමන පුරාවටවත් කළ නොහැකි යැයි  පම්පෝරි ගසනු අසන්නට  ලැබුණි . තමාගේ ආර්ථික විද්‍යා  පුරාජේරුව මෙලෙස කියා පෑම මොහුට අලුත් දෙයක් නොවේ.2006 -09-29දා මොහු  පාර්ලිමේන්තු විවාදයක දී  ආර්ථිකමය කරුණක් අරභයා  ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේට තරවටු කලේ මෙසේ කියමිනි: ''තමුන්නාන්සෙ වැරදි මිනිහා එක්කයි හැප්පෙන්නේ. ඒක මතක තියාගන්න " (ශ්‍රී  ලංකා ආර්ථිකයෙහි ඇතුලාන්තය -පිට 211 ) ඒ අනුව , වැඩිපුර ම බොරු කරුණු ගෙනහැර පාමින් දිනපතා ම පාහේ විවිධ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයන්ගේ කනට ද පාඨකයන්ගේ ඇසට ද වධ දෙන මොහුගේ ආර්ථික විද්‍යාඥභාවය මඳක්   විමසා බැලීම කාලෝචිත වේ.

  දර්ශනය උගන්වන අය සිටියත් දාර්ශනිකයන් නැතැයි කියමනක් ඇත. ඒ අනුව, ආර්ථික විද්‍යාව ඉගැන්වූ පමණින් යමකු ආර්ථික විද්‍යාඥයකු වන්නේ නැත . ඒ සඳහා අවම වශයෙන් එම විෂයය පිළිබඳ ව,  පිළිගත් විශ්ව විද්‍යලයකින්  ලද ආචාර්ය උපාධියක් තිබිය යුතු ය; නොඑසේ නම්, එවැන්නක ආචාර්යවරයකු විය යුතු ය; ඒත් නැති නම් එම විෂයට අදාළ වැදගත් පර්යේෂණ ග්‍රන්ථ  හෝ ලිපි හෝ ලියා තිබිය යුතු ය. මේ දෙන්නාට ම  මේ එකක්වත් නැත.මහින්ද සමරසිංහට ඇත්තේ, ඔහුගේ මැතිවරණ පත්‍රිකාවක ඇති පරිදි , ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හි  ලට්‍රොබ් සරසවියෙන් ලද ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් පමණි. ඉන්පසු ඔහු ආර්ථික විද්‍යාව විෂයයෙහිලා කළ  මලඉලව්වක් නැත. ඔහු ආර්ථික විද්‍යාඤයකු වනවා නම්, ආර්ථික විද්‍යා උපාධිධාරීන් සියලු දෙනා ම ආර්ථික විද්‍යාඤයන් බවට පත් වනු ඇත. හරියට ම විද්‍යා උපාධිධාරීන් සියලු දෙනා විද්‍යාඤයන් බවට ද පත් වනු ඇති අයුරිනි !අනෙක් අතට , බන්දුල ගුණවර්ධන සම්බන්ධයෙන් ගත් කල, ඔහුට ආර්ථික විද්‍යාව පිළිබඳ  උපාධියක්වත් නැත. පිට කවරය ද ඇතුළු ව පිටු 24 කින් යුතු 2015  සිය මැතිවරණ ප්‍රකාශයෙහි මහින්ද රාජපක්ෂගේ  ඡායාරූප 15ක් ම  ඇතුළත් කිරීම මගින් සිය විද්‍යාර්ථීබව  මේ යැයි නොවරදින සේ  සනිටුහන් කළ  මොහු, එහි සඳහන් කොට ඇති පරිදි, ඔහුගේ උපාධිය  'විද්‍යාවේදී, ව්‍යාපාර පරිපාලනවේදී විශේෂ  උපාධියයි.'පංති සාමාර්ථයක් ද විණැ යි සඳහන් වෙතත් එය කෙවැන්නක් දැයි සඳහන් නොවන්නේ එය ඒ තරම් ඉහළ එකක් නොවන හෙයින් විය යුතු ය. ඔහු මෑතදී මහා උජාරුවෙන් ලබා ගත් ආචාර්ය  උපාධිය ද ආර්ථික විද්‍යාව හා සම්බන්ධ වූවක් නොවනවා පමණක්  නො ව , එය ලබා ගත් ආකාරය ද නියමාකාර වූවක් නොවේ.  2013 දී තමා අධ්‍යාපන ඇමති ව සිටිය දී ශ්‍රී ලංකාවට චීනයෙන් ලබුණ ශිෂ්‍යත්ව දෙකකින් එකක් තමාගේ පතට බෙදා ගැනීමේ ප්‍රතිපලයකි එය.2013 සප්තැම්බර්  - 2016 ජුලි කාලය තුළ  ඔහු සිටියේ මේ රටේ වන හෙයින්, ඔහුගේ පංතිවල  සහභාගීත්වය,  විජයදාස රාජපක්ෂ samahara  ඉංජිනේරු සිසුන් සම්බන්ධයෙන් කියන පරිදි බින්දුව ය. ඔහු තමා ආචාර්ය උපධිය ලැබූ ආයතනයේ නම කොන්ෆියුසියස්  බවවත් නො දැන එය ''කම්පියුසිස් ' ලෙස සටහන් කර ඇත්තේ ද එහි ප්‍රතිඵලය ලෙසිනි. 

   ඒවා  කෙසේ වෙතත්, තමා ආර්ථික විද්‍යා ග්‍රන්ථ කප්පරක් ලියා ඇති බව  ඔහු මහා හඬින් කියා සිටියි. මුලින් උපුටා ගත් ඔහුගේ 'ඇතුලාන්තය' ග්‍රන්ථයෙහි දක්වා ඇති ආර්ථික විද්‍යා ග්‍රන්ථ සියල්ල ම පාහේ  උසස් පෙළ විභාග ප්‍රශ්න වලට පිළිතුරු සපයන පොත් බැව් එක්වර ම පැහැදිලි වේ . එවන් ප්‍රශ්නෝත්තර පොත් ලිවීමේ කිසිදු වරදක් නැතත්, එවා ලිවීම මගින් යමකුට ආර්ථික විද්‍යාඤයකු බවට පත් විය නොහැක. එසේ හැකි නම්, එවන් පොත් දුසිම් ගණන් ලියන ටියුෂන් ගුරුවරුන් සියලු දෙනා ම මහා ආර්ථික විද්‍යාඤයන් බවට පත් වනු ඇත. ඇත්ත වශයෙන් ම මෙරට සැබෑ ආර්ථික විද්‍යාඤයන් මේ සා පොත් ලියා නැති අතර, එවැන්නන් ලිවිය යුත්තේ කෙවන් පොත් දැයි දැන ගැනීමට ඔවුන්ගේ එම පොත් ස්වල්පය  මග පෙන්වනු ඇත.

   මොහුගේ තවත් පොතක් වන්නේ "පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සාර්ව ආර්ථික විචල්‍යයන් '' නම් වූ පොතයි.ඔප දැමූ කඩදාසියේ පිටු 179  ක් පුරාවට ඇත්තේ අන්තර්ජාලයේ චෝගම් වෙබ් අඩවියෙන් උපුටා  ගත් විස්තර ය. මෙහි ඇති සුවිශේෂී  කරුණ වනුයේ  මෙම පොත තමාගේ පෞද්ගලික වියදමෙන් නො ව අධ්‍යාපන ප්‍රකාශන දෙපර්තමේන්තුවේ ප්‍රකශනයක් ලෙස පළ කිරීමත්, එම දෙපාර්තමේන්තුවේ අන් ප්‍රකාශනවලට වෙනස් ලෙස එහි කතුවර බ.ගුනවර්ධන පිළබඳ  පම්පෝරි විස්තරයක් පිට කවරයේ අන්තිම පිටුවේ ඔහුගේ කුමාර  ඡායාරූපයක් ද සමගින් පළ කිරීම ය. එම පම්පෝරිය ලියා ඇත්තේ ඔහු ම බව සනාථ වනුයේ, එය ඉහත දැක්වූ ඔහුගේ මැතිවරණ ප්‍රකශනයේ එන වදන්වලින්  අනූන නිසා ය.  මෙහි මිල ද සුළුපටු නොවේ .2013  පළ  කෙරුණ  මෙහි මිල රු.450/= කි.ප්‍රකාශනය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වුවත් මෙය මුද්‍රණ කර ඇත්තේ  කොයිබට පවතින්නක්දැයි අප්‍රකාශිත සවින්ද  ග්‍රෆික් සිස්ටම් හි ය.බලය අයුතු ලෙස පාවිච්චි කරමින් මෙලෙස ක්‍රියා කර ඇත්තේ තමාගේ ආර්ථික විශාරද බව දරුවන් තුළ  මුල් බස්සවනු පිණිස ය. තවත් බොහෝ දේ ඇතත්  , මෙය අවසන් කරනු පිණිස මොහුගේ ආර්ථික පම්පෝරියේ   සැබෑ දේශපාලන තක්කඩිබව සනාථ කරෙනඋපුටා  ගැනීම් දෙකකට  පමණක්  සීමා වෙමි.

  " කරුණු  මෙසේ හෙයින්, මෙවැනි වංචනික ක්‍රමයන්ට රිජුව හෝ වක්‍රව වර්තමාන මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ ව  ඇත්දැයි සැක හැර දැන ගැනීම සහා පාර්ලිමේන්තුව විසින් විශේෂ  කාරක සභාවක් ශක්තිමත් කොට, පරීක්ෂණවලින් පසුව සත්‍ය කරුණු වලින් ජනතාව දැනුවත් කිරීමයි යුතුකම "  (ඇතුලාන්තය - පිට 138) 

   'මහ ඇංකු අධිපතිවරයා   පත් කරන කොට මුළු රටක් කිව්වා, පිරමීඩ ජාවාරමට, එහෙම නැත්නම්  network marketing බහු විධ  අලෙවිකරණයට සම්බන්ධ යැයි චෝදනා තිබෙන කෙනෙක් - එහෙම යැයි රට කියන කෙනෙක් - මහ බැංකුවෙ අධිපති වශයෙන් පත් කරන්න එපා යි කියලා. අද මේ කයිවාරු ගහන අය එය ඇහුවද ? මහ බැංකුවෙ අධිපති පත් කරන කොට, එතුමාට තිබෙන චෝදනා ඇත්ත ද? නැත්ත ද? කියා බැලුවා ද?(එම පොතම -පිට - 153 )

  මේව මොහු කීවේ අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් යැයි යමකුට සිතෙන්නට පුළුවන.  නැත. ඔහු මේවා කීවේ අජිත් නිවාඩ් කබ්‍රාල් සම්බන්ධයෙනි. ඒ ඔහු යූඅන්පීයේ බින්න බැස සිටි කාලයේදී ය. එහෙත් පිල් මාරු කළ පසු ඔහු  කබ්‍රාල් ගැන ගැන තමා කී දේ ගැන කිසිදු මතකයක් නැති සේ සිටියා පමණක් නො ව, ඔහුගේ'' රට බේරා ගත් නායකයාගෙන්'' ජනතාව රට බේරා ගත්'''',  එම කබ්‍රාල් සමග ජෝඩු දමා ගෙන ඒකාබද්ධයේ ඊනියා  ආර්ථික ඒකකය වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා  ද පවත්ව යි.   මාර ආර්ථික විද්‍යාඤයෙක්, නේ ද?   

###################################################

 

                     කලාවේ නිදහසට අත නොතබව් !

 නාට්‍ය කීපයක නම් අල්ලා ගෙන , ඒවා බෞද්ධ  විරෝධී කුමන්ත්‍රණයක ප්‍රතිඵල  වන්නේ  යැයි තෙපර බාමින් , ඒ තරම් ම අලුත් නැති නාඩගමක් රඟ දැක්වීමේ ඩෙඟ  ඩෙඟ පෙරමුණක් කල එළි බසින්නට පටන් ගෙන ඇත. නාට්‍යවල ඇත්තේ කුමන අන්තර්ගතයක් දැයි කියා වත් සොයා බලන්නේ නැතිව  කරන මෙම මැත දෙඩවීම් වල සැබෑ අරුත  සිය අදහස් ප්‍රකාශ කිරීමට කලාකරුවන්ට මෙන් ම අන් අයට ද ඇති  අයිතිය පූජකයන්ගේ පාලනයට යටත් කර ගැනීමට මාන බැලීම ය. හැම විට ම කලා කෘතියකට එරෙහි ව අවි අමෝරා ගන්නේ , එය ආගමකට, සදචාරයකට, සංස්කෘතියකට එරෙහි වූවක් බව මවා පාමිනි . වචනයක් වාක්‍යයක් , නමක්  අල්ලා ගෙන මෙම විරෝධ ය සාධාරණීකරණය කර ගැනීමට මාන බලනු ලැබේ.මෙසේ දැරුණ ප්‍රයත්නයන් මෙරට දී මෙන්ම වෙනත් රටවල දී  ද   අවසානයේදී පරජයට පත් වුවත් ඒවායේ අවසානයක් දක්නට නැත. ඒ අනුව ඊට එරෙහි සටන ද දිගින් දිගටම ගෙන යාමට කලා කරුවන් ද දිගින් දිගටම  සටන් කිරීමට  සූදානමින් සිය බලවේගයන් බලමුළු ගැන්විය යුතුව ඇත. කලා නිර්මාණවලට එරෙහිව මෙලෙස පොලු කෙලින් කර ගන්නේ, පරිපූර්ණ ලෙස නිවැරදි යැයි ද, සර්වබලධාරී යැයි ද තමන් කියන ආගමික හෝ වෙනත් අදහස් , කලා කෘතියක දැක්වෙන නමකටවත් ඔරොත්තු දිය නොහැකි තරම්  බෙලසුන් බව තමන් ම පිළි ගන්නා  නිසා ය . 

 

සැලකිය යුතුයි!

 මෙම ලිපිවල වචන දෙක තුනක යම්‍යම් අකුරු නිවැරදි ලෙස යෙදීමට නොහකි වූයේ, ඒවා තිබෙන තැන් සොයා ගැනීමට නොහැකි වූ නිසා ය.ඉදිරියේදී එය සොය ගැනීමට අපේක්ෂ  කරමි. 

මීළඟ  පත්‍රය : 2018 සප්තැම්බර් 02         

Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS