2018 අගෝස්තු 19 කලාපය 7
කීත් නොයාර් ගැන මහින්දගෙන් ප්‍රශ්න කිරීම
මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමයෙහි සිදු කරන ලද දහසකුත් එකක් අපරාධ අතරින් එකක් වූ කීත් නොයාර් මාධ්‍යවේදියාට අමානුෂික ලෙස පහර දී මරා දැමීමට තැත් කිරීම සම්බන්ධයෙන් එම රාජපක්ෂගෙන් අගෝස්තු 16 දා සීඅයිඩීය විසින් ප්‍රශ්න කරනු ලැබී ය. මෙවන් ප්‍රශ්න කිරීම්වලින් කට්ටි පැනීම ජානමය පුරුද්දක් බවට පත් කර ගනිමින් සිටි මේ හොර පවුලේ අනික් අය මෙන් ම මෙතුමා ද අන්තිමේ දී කට උත්තරයක් දුන්නේ ය. නීතිය නවන බවට වෙනදා ආණ්ඩුවට කෝචෝක් දමන මුන්නැහේ සහ ඇට්ටැඹි රැළ මොහු සීඅයිඩීයට නොගොස් සීඅයිඩී ය තම දෙපතුල ළඟට ගෙන්වා ගැනීමේදී සිදුවූ නීතිය දෙකට නැමීම දකින්නේ, සිදුවිය යුතු ම වූ දෙයක් ලෙසය. මන්ද? ඔහු හිටපු විධායක ජනාධි පතිවරයකු ය යනුවෙන් අටවා ගත් මහන්තත්ත පදනම යටතේ ය. එවැන්නකුට එවැනි වරප්‍රසාදයක් හිමි වන්නේ ව්‍යවස්ථාවේ හෝ අන් කුමන නීතියක් හෝ අනුව දැ යි මේ පෙන්දෝ පෙන්වා නොදෙති. ඇත්ත වශයෙන් ම එය එසේ සිදු වූයේ , නීතිය හැමට එකාකාර ව ක්‍රියාත්මක වන බවට පම්පෝරි කෙළිමින් රට වටේ යන ඊනියා යහපාලන ආණ්ඩුවේ නයකයන් දෙපොළ ම, මහින්ද සමග විවිධාකර ඩීල් දමමින් ඔහු ව නළවන නිසා ය.එසේ නොවන්නට මේ වන විටත් මහින්ද සිටිය යුතුව තිබුණේ වැලිකඩ ය. වෙනත් සියලු දෙනා සීඅයිඩීය හෝ පොලීසිය හෝ විසින් කැඳවනු ලැබූ විට අදාළ ස්ථානය වෙත යා යුතු වන්නේත්, මහින්ද රාජපක්ෂ සහ ඔහුට අවශ්‍ය පවුලේ අය ළඟට සීඅයිඩීය සහ පොලිසියේ අය යා යුතු වන්නේත් නීතිය කාටත් එක සමාන ය යන යහපාලන ප්‍රතිපත්තියේ කොයි අංශය යටතේ දැ යි මොවුන් දෙදෙනා පෙන්වා දිය යු තුව ඇත. මේ ක්‍රමයට අනුව මහින්ද උසාවියක් මගින් වරදිකරු කරනු ලැබූ විටක දී, ඔහුට ඔහුගේ සිර දඬුවම සිය නිවසේ සිට ම ගෙවා දැමීමට ද මේ දෙන්නා ඉඩකඩ සලසා දීමට හොඳට ම ඉඩ ඇත. බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වුව හොත්, එම වැඩ කිරීම ඒකා බද්ධයේ මන්ත්‍රී බැලයකුට පැවරීමට ද ඉඩ ඇත. මහින්දට යළි වරක් ජනපති තරගයට ඉදිරිපත් විය හැකි යැයි ඒකාබද්ධයේ සමහරක් කියන්නේ ගොන්කමට යැයි ස්ථිර ව ම කිව හැකි වුවත් , ඔහුට ඒ සඳහා අවස්ථාව සලසා දීමට මේ ජෝඩුව ඔහු සමග ඩීල් එකකට පමිණ සිටින නිසා වීමට ද ඉඩකඩ නැත්තේ ම නො වේ.
කෙසේ වෙතත් , කීත් නොයාර් සම්බන්ධ කරුණට අදාළ ව කට උත් තරය දීමේ දී මහින්ද හැසිරුණ ජුගුප්සාජනක ආකාරය සත්‍යය වසන් කිරීම පෙරදැරි කර ගත්තක් බව ළදරුවකුට වුව පැහැදිලි වන තරම් ය. තමා සිද්ධිය ගැන හාංකවිසියක්වත් දන්නේ නැති නම් , පක්කලියන් රැළ නිවෙස ඉදිරිපිට ගාල් කර ගන්නේ නැති ව, මහා නම්බුකාර විධායක ජනපති ධුරයේ ගාම්භීරත්වය හෑල්ලු නොවන පරිදි සිය ප්රතාපවත් පපුව පෙරට දමා තනි පංගලමේ සීඅයිඩී නිලරීධාන් හමුවට ඔහු යා යුතු ව තිබුණි. කිසි ම බලපරාක්රමයක් නැති මෙරට වැසියන් ඒවාට යන්නේ ආපසු එන්නට වේදැ යි පවා නොදැන ය. ඒ සීඅයිඩීයට ය. මේ තමාගේ නිල නිවස ය. ගුටි පූජාවක් ලැ බීමේ කිසිදු අතුරු ආන්තරාවක් නැත. හතර වටේ මාධ්‍ය සගයෝ කැමරා ද සහිත ව සිටිති. ඉන් සමහරුන් සිටින්නේ තමාට වාසිදායක වන ගොන් ප්‍රශ්නවලින් ද සන්නද්ධ ව ය. එහෙත් තමාගේ ම පුතුගේ නායකත්වයෙන් යුත් ඒකබද්ධයේ බැලයන් රැළක් පාරට බැස්සවීමෙන් තොරව කට උත්තරයක්වත් දීමට , රට බේරා ගත්තා යැයි තෙපරබාන මේ නූතන දුටුගැමුණුට කොන්ද පණ නැත.
ඔහු ම එතැනදී පිළිගත් පරිදි කීත් නොයර් පහැර ගැනීමක් ගැන ඔහුට චෝදනාවක් නැත. ඔහු එසේ කීවේ එවන් චෝදනාවක් ඇතැයි , එයවත් නොදැන ප්‍රශ්න විචෑරීමට එහි පැමිණි මාධ්‍යකරුවකු යැයි කියා ගත් මෝඩයකුට පිළිතුරු දෙමිනි. මේ සිද්ධිය සිදු වූ කාලයේ දී ම ප්‍රචලිත වී තිබූ කරුණ වූයේ , නොයාර් පහැර ගැනීමේ පුවත කීප දෙනකු එවක ජනපති මහින්දට දැන්වූ බවත් ඉන්පසු ඔහු මුදා හරිනු ලැබූ බවත් ය. ඉන් සුපැහැදිලි වනුයේ මාධ්‍යවේදීන් මර්දනය කිරීමේ මෙහෙයුමක් පැවති බවත් මහින්ද ඒ බව දැන සිටි බවත් ය. මෙම මර්දනය මෙහෙයවීමට කෙළින් ම ඔහුත් සම්බන්ධ ද යනු වෙන ම සොය බැලිය යුතු කරුණක් වන අතර ,නොයාර් ඝාතනය වැළකුණේ මහින්ද ගේ මැදිහත් වීම නිසා වන හෙයින්, එම මර්දනයන් සිදු කරන්නේ කවුද යන්න ඔහු දැන සිටි බව සහ ඒවා විසුරුවා හැරීමට ඔහු ක්‍රියා නො කළ බව පැහැදිලි ය. නොයාර් පැහැර ගෙන යාම ගැන කරු ජයසූරිය තමාට දුර කතනයෙන් දැන් වූ වගක් තමාට මතක නැතැ යි කීම, රවි කරුණානායකට සහ උදය ගම්මන්පිලට සිදු වූ අමතකවීම්වලටත් වඩා විහිළු සහගත ය. මුළු රටේ ම පමණක් නොව ජාත්‍යන්තරව ද මහත් ආන්දෝලනයකට ලක්වූ සහ තම ආණ්ඩුවට පමණක් නො ව, තමාට පෞද්ගලික ව ම දොස් පැවරුණ කරුණකට අදාළ දුරකතන පණිවුඩයක් මෙසේ ලෙහෙසියෙන් අමතක විය හැකි ද?විශේෂයෙන් ම මෙම පණිවුඩය දුන්නේ , එක්සත් ජාතික පක්ෂය අමු අමුවේ පාවා දී තමාට මුක්කුව ගැසූවන්ගේ ලොක්කා වූ කල්හි , මෙවන් අතිශය බැරෑරුම් දුරකතන පණිවුඩයක් අමතක විණැ යි කොණ්ඩය බැඳි චීනුන්වත් විශ්වාස නො කරනු ඇත. නීතිමය වශයෙන් නිශ්චිත ව ඒ ගැන විමසෙන්නේ වසර ගණනාවකට පසුව වීමේ කරුණ පිටුපස සැඟ වී ජාම් බේරා ගත හැකි යැයි සිතන්නේ නම් එය මුලාවකි. මන්ද යත් , එම කරුණ ජනමාධ්‍ය තුළ ලිඛිතව ම සටහන්ව තිබෙන නිසා ය.
කීත් නොයාර්ටත් මෙය එපා වී අතැයි මහින්ද යාපා අබේවර්ධන ඇම්බැට්ටයා කළ ප්‍රකාශයෙන් නොකියා කියන්නේ ''ඔන්න ඔහෙ ඕක අල්ලලා දාන්න " කියා ය. කීත් නොයාර් නොඑන්නේ ඔහුට අත් විඳීමට සිදු වූ වින්නැහිය අනුව, ශ්‍රී ලංකාවට ආවොත් අදාළ අපරාධකරුවන් අතින් තමාට සිදුවිය හැකි නස්පැත්තිය ගැන ඔහුට කිසියම් ම සැකයක් නැති නිසා ය.හිට්ලර් කෙනකු බලයට ගෙන ඒමට කැස කවන සාපරාධී අමනයින් පූජකයන් අතර පවා සිටිය දී කීත් නොයාර් එසේ නොපැමිණීම මුළුමණින් ම සාධාරණ ය. කීත් නොයාර් පැහැර ගැනීම මෙන් ම ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම ද ලසන්ත වික්‍රමසිංහ ඝාතනය මෙන් ම තජුදීන් ඝාතනය ද අනෙකුත් පැහැර ගැනීම් සහ ඝාතනයන් ද සම්බන්ධ යෙන් නඩු පවරා සත්‍යය ලොවට දැන ගැනීමට සලස්වා වරදකරුවන්ට දඬුවම් දීමේ කටයුත්ත නිමා කළ යුතු ය. දැන් කාවක්වත් පැහැර ගන්නේ නැතැ යි කරන හුදු පම්පෝරිවලින් පළක් නැත. හරියට, අවශ්‍ය නම් ඒවා කිරීමට ඔවුනට අයිතිය ඇතිවාක් මෙනි! නැත , ඒවා කිරීමට එකෙකුටවත් කිසිදු අයිතියක් නැත.
*****************************************************
හැට දෙලක්ෂයක් මහින්දට පාවා දුන් තුන් වසරක්!
2018 ජනවාරි 8දා මෛත්‍රීපාල ජනපති වීමේ තෙවැනි වසර සැමරීමෙන් පසු අගෝස්තු 17 දා යූඇන්පී -ශ්‍රිලනිප ඊනියා ජාතික ආණ්ඩුවේ තෙවැනි වසර සමරමින් රනිල් වික්‍රමසිංහ සිය යුඇන්පී මන්ත්‍රීවරුන් කැටුව රට වටේ යන්නට පටන් ගෙන ඇත. තමන් බලයේ සිටියා නම් , කෝටි ප්‍රකෝටි ගණන් මුදල් කාබාසීනියා කරමින් 'ජනපති පදවි ප්රාප්ති'' උත්සව රටපුරා පවත්වමින් චොකා බයිලා රඟ දක්වන නූතන දුටුගැමුණු , තමන් පත්ව ඇති හොටුගැමුණු තත්ත්වයට ගැලපෙන පරිදි, , විවිධාකාර අඩව් අල්ලමින් සැප්තැම්බර් 5වැනිදා කොළඹ වටලන්නට කැහැපොට ගසමින් ,යළි දුටුගැමුණු වෙස් ගැනීමට සිහින මවමින් සිටියි.මෛත්‍රී -රනිල් ආණ් ඩුව කළේ , හුස්ම ගත් තුන් වසරක් ඇති කිරීම නො ව, රාජපක්ෂලා යළි බලයට ගෙන ඒමට පාර කපන්නා වූ පාලනයක් ගෙන යමින් , උන්ට එරෙහි ව ඡන්දය දුන් 62 ලක්ෂයකට අධික ජනතාවගේ හුස්ම හිර කිරීම ය. මාධ්‍යවේදීන් පැහැර නොගැනීම, මරා නොදැමීම , පෙළපාලිවලට වෙඩි නොතබීම , කොටින් කිව හොත් රාජපක්ෂ පාලනය කළ කප්පරක් කුප්පිදුකම් නොකිරීම හොඳ ය. ඒවා කළා නම් මේ ආණ්ඩුවේ කෑලිත් මේ වන විට නැත. එවන් දේ නොකිරීම , වෙන ම ගත් විට කෙතරම් හොඳ වුවත්, ජනතාව එය බලයට පත් කළේ ඒවා නොකර සිටීමට පමණක් නො වේ. රාජපක්ෂ පාලන තන්ත්රය ම මුලිනුපුටා දමනු පිණිස ය. ඒ වෙනුවට සිදු ව ඇත්තේ මහින්ද සමග විවිධාකාර අතරතුර ඩීල් දමා ගැනීම මගින් එම පාලන තන්ත්රය සමග සහවාසයේ යෙදීම ය. දූෂණය මුළුනුපුටා දමීම පසෙක තිබිය දී රාජපක්ෂ ගැන්සියේ එකෙකුටවත් දඬු වම් කිරීමක් පවා සිදු කිරීමට මේ පාලනයට නොහැකි විය. ඒ සියල්ලටත් වඩා, පුදන කොටම කාපි යකා කීවාක් මෙන්, ජනවාරි 8 ජයග්රහණයෙන් මාස 2ක් ඉක්ම යාමටත් මත්තෙන් රාජපක්ෂලාගේත් වාර්තා බිඳ හෙළන ආකාරයේ මහා පරිමාණ වංචාවක් -මහ බැංකු බැඳුම්කර වංචාව- සිදු කොට, කබ්රාල් දැළි ගා තිබූ මහ බැංකු නාමයේ අසූචි තැවරරීමට ක්‍රියා කිරීම මගින් තමන්ට ජ න්දය දුන් 62 ලක්ෂයේ හුස්ම හිර කිරීම ද කළේ ය. ඔවුන් එකකුගේවත් හුස්ම මුළුමණින් ම හිර නො වූයේ , රාජපක්ෂ හොර නඩය කෙරෙහි වූ ඔවුන්ගේ විරෝධය නිම්හිම් නැතිව තිබූ නිසා ය; එනිසා ම පමණි .එම ගණුදෙනුවට අර්ජුන් මහේන්ද්‍රන් හොරදෙටුවාගේ ඍජු සබඳතාව උකුණු බිජුවක තරම් මොළ කළඳක් ඇති අයකුට මුල පටන් ම තේරුම් යා යුතුව තිබුණත්, තුන්කල් දකින මහා මොළ රාජයකු ඇතැයි පන්දන්කාරයන් විසින් හුවා දැක්වෙන රනිල් වික්‍රමසිංහ ඔහුව රැක්ක රැකිල්ල, මේ තාක් ලොව බිහි වූ කිසි ම සත්ත්වයකු සිය පැටවා රැක්ක රැකිල්ලට වඩා අන්නත අප්‍රමාණ ලෙස වැඩි ය.යහපාලනය ඇත්ත වශයෙන් ම පවතින්නේ නම්, වෙන චෝදනාවක් යටතේ නොවුනත්, යුක්තිය පසිඳලීමට බාධා කිරීමේ චෝදනාව (obstruction of justice) යටතේ ඔහුට නඩු පැවරිය යුතු ව තිබුණි . ඒ වෙනුවට සිදුව ඇත්තේ මහේන්ද්‍රන් හොරා රටින් පලා යාමත්, ඔහුගේ අතීසාර මිත්‍රයා වන රනිල්, රට කිරියෙන් පැණියෙන් උතුරුවන බවට පාරම්බාමින් රට වටේ කරක් ගැසීමත් ය. බැකෝ යන්ත්‍රවලින් පස් පෙරළන අන්දම රාජ්‍ය රූපවාහිනී නාලිකා මගින් දිගට හරහට පෙන්වූවාට, එවන් ගම්පෙරළි මීට ඉහත අනන්තවත් දැක ඇති ජනතාව ,ඒ කිසිවකට රැවටෙන්නේ නැත. මුළු රට ම අවුල් ජාලයක් කර, කිසිවක් සිදු නොවී ඇති සෙයියාවෙන් තම තමාගේ වැඩ කරමින් සිටින නායකයන් දෙදෙනකු යටතේ සිටින ජනතාවකට හුස්ම ගත නොහැකි ව ඇත්තේ , රාජ්‍ය මර්දනය ඉවක් බවක් නැතිව දියත් කළ රජපක්ෂ පාලනය යටතේ හුස්ම ගත නොහැකි ව තිබූ පරිදි ම ය. ඇත්ත වශයෙන් ම ආණ්ඩුව කරන්නේ සිය අමන තීන්දු මගින් ජනතාවගේ කිසියම් කොටසක් සමග වලියක් පටලවා ගනිමින් රට ම හුස්ම ගත නොහැකි තත්ත්වයක නොන්-ස්ටොප් ලෙස පවත්වා ගෙන යාම යි. ආණ්ඩුව සහ ඒ ඒ ඇමතිවරු ගන්නා තීරණ ජනාධිපති විසින් කොයි මොහොතේ, කවරාකාරයකින් වෙනස් කරයි ද යන්න ගැන ඇති විචිකිච්ඡාව මගින් මෙම හුස්ම ගත නොහැකි තත්ත්වය වඩාත් තියුණු කරනු ලැබේ.2018 ජනවාරි 8 දායින් පසු ඕනෑ ම මොහොතක ජනපතිවරණය පැවැත්වීමට ජනපතිට හැකි හෙයින්. එදිනෙන් පසු මෙම හුස්ම ගත නොහැකි තත්ත්වය වඩාත් වේගවත් වනු ඇත.
===============================================
මහින්දට යළි තරග කළ හැකියි! - ජී.එල් .පීරිස්
අනුපිළිවෙලින් ගෝටා, බැසිල් සහ නාමල් ජනපති අපේක්ෂකයන් කරමින් රාජපක්ෂ රජ පරපුර පවත්වා ගෙන යාමට ඇති කර ගත් සම්ම්තිය ෂැන්ග්‍රිලා හෝටලයේදී මහා උජාරුවෙන් සැමරූ නමුත්, පවුලේ කචල් නිසා ම එය මහා අර්බුදයකට යාම නිසා දෙකොණ පූට්ටු වූ මහින්ද අලුත් ම සෙප්පඩ විජ්ජාවක් රඟ දක්වන්නට පටන් ගෙන ඇත. ඒ අනුව , මහින්දට යළි තරග කළ හැකිය යන මතය සමාජ ගත කිරීමේ මහා පරිමාණ ව්‍යපෘතියක් දියත් කිරීම ඊයේ ඇරඹුණි . මුලින් ම අහඹු ප්‍රකාශයක් ලෙස නාමල් බේබිගේ මුවින් පිටවූ මෙම මතය පසුව වෙල්ගම විසින් තව ටිකක් අවධාණය කරනු ලැබිණ. දෙන්නාගේම නීති දැනුම ගැන දන්නා අය එය හුදු ගොන්කම අනුව කළ ප්‍රකාශයක් ලෙස සිතුවත් මහා නීති විශාරද ජී .එල් .පීරිස් ඊයේ (අගෝස්තු 18 වැනිදා) කළ ප්‍රකා ශයෙන් මොනවට ඔප්පු වූයේ එම ගොන්කම ඒකාබද්ධයේ මහා නීති විශාරදයන්ගේ ද ඇට මිදුළු කරා පවා විහිදුන ගොන්කමක් බව ය; එම අමු ගොන්කම මත පිහිටා, තමන්ගේ නීති විශාරද සළුපිළිවල අන්තිම නූල් පොටත් ගැළවී යාමේ නියතභාවය ද නොතකා, පිදුරු ගසකටත් වඩා අස්ථිර, කිසිසේත් ම නො පවතින නීති පොටක එල්ලීමට තරම් ඊනියා ඒකබද්ධයේ ජනපති අපේක්ෂකත්වයේ අර්බුදය ඔඩු දුවා ඇති බව ය.
නීතිය ඒ සා පැහැදිලි වුවත් , සමහර විට අපට ද වරදිලා වෙන්නටත් පුළුවන.මන්ද යත් , මෙය වඩා දුර දිග ගිය කුමන්ත්රණකාරී ගණන් බැලීමක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමක් විය හැක.ඒකාබද්ධය බලයට පත් වූ විට , ශිරානි බණ්ඩාරනායකට අත් වූ ඉරණමට මුහුණ නොපෑමට නම් , තමාට ම ජනපති වීමට මාවත සැලසීම කාගෙ කාගේත් ඇඟට ගුණ හෙයින්, ඒ බැව් හඟවා ,තමන්ට වාසිදායක තීරණයක් ලබා ගත හැකි වෙතැයි මොවුන් ගණන් බලනවා විය යුතු ය. තමාගේ නිල කාලය වසර 5සිට 6 දක්වා ඉහළ දමා ගැනීමට මෛත්‍රීපාල හිටි හැටියේ ගත් උත්සාහය ගබ්සා වී තිබිය දී, මහින්දගේ මේ මුග්ධ වෑයම සාර්ථක කර ගත හැකි යැයි ඔහුට සිතා ගත හැක්කේ, සිය අනාගත හිට්ලර්වාදී පාලනය පිළිබඳ භීතිකාවෙන් ශ්‍රේෂඨාධිකරණය බිය ගැන්වීම මගින් පමණි .එහෙත් එය කිසිසේත් ම ඉටු වන්නේ නැත. සිදුවන එක ම දෙය ජී .එල්. පීරිස්ට ඉතිරි වීමට තිබෙන එකම දෙය වන නීති විශාරදකමත් කුණු බක්කියට යාම පමණී .
**************************************************************************
චන්ද්‍රිකා නිරුවත් වීම
පසුගිය දා අත්තනගල්ලේ පැවති ප්‍රාදේශීය සාකච්ඡාවක දී ,එයට ඇරයුම් කරනු ලැබ සිටි මාධ්‍යවේදීන් ඉන් පළවා හැරීම සඳහා හිටපු ජනපතිණිය හැසිරුණ ගෝඨාභයවාදී මරුමුරුස් අවිනීත ආකාරය , ඊට හිමිවිය යුතු අතිශය පිළිකුලෙන් යුතු ව හෙළා දැකිය යුතුව ඇත.එය මාධ්‍යවේදීන්ට සැලකූ ආකාරය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නො ව, එවන් රාජ්‍යමය කාර්යයක දී එහි මුලසුනේ සිටින්නන් හැසිරිය යුතු අවම මට්ටමේ ශීලාචාරකම පිළිබඳ ව ද වන ප්රශ්නයකි.සිටින හෝ හිටපු හෝ රාජ්‍ය නායකයකු සම්බන්ධ වූවක් ලෙස ගත් කල, ඇගේ හැසිරීම වමනය ඇති කරන සුලු ය. එම සාකච්ඡාව රාජ්‍ය මාධ්‍යවේදීන්ට පමණක් සීමා කිරීමට ඇය ක්‍රියා කළ නිහීන ආකාරය නැවතත් සනාථ කලේ, ඇය තවමත් රූකාන්තලාගේ කොණ්ඩෙ කැපූ කාලයේ නායිකාවගේ ස්වරූපයෙන් දශමයකුදු වෙනස් වී නැති බව ය. ඇය සිය හිට්ලර්වාදී ක්‍රියා මාර්ගය මගින්, එහි සම සභාපතිත්වය දැරූ ප්‍රාදේශීය ලේකම්වරයා ද අන්ත අපහසුතාවට පත් කළා ය.මෙවැන්නියන් සහ මෙවැන්නන් සමග ඇති කළ හැකි යහපාලනයක් නොමැති බව අමුතුවෙන් කිව යුතු නැත.මාධ්‍යවේදීන් අතින් තමා අපහසුවට පත් වන කිසිවක් එහි දී සිදු නො වී තිබිය දී මෙසේ හැසිරුණා නම්, සමහර මාධ්‍යවේදීන් අසන ආකාරයේ ප්රකෝපකාරී ගොන් ප්‍රශ්නයක් ඇසුවා නම් ඇය මොන තරම් පරළ වන්නට තිබිණි ද?
=================================
ඩොනල්ඩ් ට්‍රම්ප් හතර වටේට වනයි!
මීට ඉහත ඇමෙරිකන් ජනපතිවරුන් සිය අධිරාජ්‍යවාදී අරමුණු ඉටු කර ගැනීම සඳහා ලොව පුරා මිලිටරි ප්රහාරයන් දියත් කිරීම පෙරට දැමූ නමුත් , ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ක්‍රමය කර ගෙන ඇත්තේ මිලිටරි ප්රහාරයන්ගේ තර්ජනය ක්‍රියාත්මක කරන බවට තර්ජනය කරන අතර ම, සියලු ම රටවලට එරෙහි ව ඉවක් බවක් නැතිව ඉහළ බදු ඇතුළු ආර්ථික සම්බාධකයන් පැණවීම ය.චීනය,රුසියාව,ඉරානය පමණක් නො ව,යුරෝපා සංගමයේ රටවලට ද මෙලෙස සිය ආර්ථික හයිය පෙන්වා ඇති ට්‍රම්ප් , අමෙරිකන් පූජකවරයකු සිර කිරීමේ ප්‍රශ්නයක් මුල් කර ගෙන තුර්කියේ ආර්ථිකය වැට්ටවීමට දැන් පියවර ගෙන ඇත. තුර්කිය තමාට යටත් නොවන හෙයින් එම සම්බාධකයන් තවත් උග්‍ර කිරීමට ට්‍රම්ප් පියවර ගෙන ඇත. ඉරානය තමාට යටත් නොවුන හොත් නොවැම්බරයේ දී එරට තෙල් වෙළඳාම මුළුමණින් ම නතර කරන බවට තර්ජනය කර ඇත.එරට සමග වෙළඳාම් කරන අන් රටවලට ද සම්බාධක පැණවීමට තීරණය කර ඇත.
මේ අනුව, ට්‍රම්ප්ට ඉඩ දුන හොත්, මුළු ලෝක ආර්ථිකය ම නව වටයක ආර්ථක අර්බුදයකට ගමන් කරනු ඇත. ---------------------------------
ලොව පුරා පූජක ළමා අපචාර
වතිකානයේ අති ප්‍රබලයකු වූ ඔස්ට්‍රේලියානු කාදිනල් වරයා ළමා අපචාර සම්බන්ධයෙන් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු දැන් ඇමරිකාවේ පෙනිසිල්වේනියානු ප්‍රාන්තයේ ළමුන් දහසකට අධික සංඛ්‍යාවක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පූජකයන් තුන්සිය එකකට එරෙහිව චෝදනා විභාග වෙමින් පවතී. මෙම සංඛ්‍යාවන් තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ.මෙම සිද්ධීන් අතර තුර දී, චිලී රටේ කතෝලික පූජකයන්ගේ මහා පරිමාණ එවන් අපචාර සම්බන්ධ යෙන් වූ චෝදනා හේතු කොට ගෙන බිෂෙප්වරුන් 30 දෙනකුට ඉල්ලා අස්වීමට සිදු වූ අතර ඉන් 5 ක් පිළිගැනීමට පාප් වහන්සේට ද සිදු විය.
පූජකයන්ගේ එම අපචාරයන්ට ද වඩා ජනතා විරෝධය බුර බුරා නැගෙන්නේ , ඒවා කතෝලික ශාසනයට එරෙහි කුමන්ත්රන ලෙස හංවඩු ගසමින් ඒවා යට ගසමින් ඒවා නිදැල්ලේ සිදුවීමට පාප් වහන්සේ ඇතුළු පල්ලියේ බලධාරීන් දිගින් දිගට ම කටයුතු කිරීමේ කරුණ ය. එම අපචාරයන්ට ගොදුරු වූවන් ඒවා හෙළි කිරීමට ඉදිරිපත් වීමත් සමග ම දැන් තම තමන්ට කෙරුණ අපචාරයන් ගැන හෙළි කිරීමට තව තවත් අය ඉදිරියට පැමිණෙමින් ඇති අතර කතෝලිකාගමට එරෙහි කුමන්ත්‍රණ කතා මගින් ඒවා යටපත් කළ නොහැකි තත්වයක් උද්ගත ව ඇත. තම තමන් කරන අවලං ක්‍රියාවන් යට ගසා ගැනීම සඳහා එවන් චෝදනාවන් සිය ආගමට සහ ශාසනයට එරෙහි කුමන්ත්‍රණ ලෙස හංවඩු ගැසීම මගින් ඒ ඒ ආගම්වල බැතිමතුන් තමන් පසු පස පෙළ ගස්වා ගැනීම මෙම පැවිද්දන්ගේ තක්කඩි ක්‍රමයක් බැව් දැන් එම බැතිමතුන් ද තේරුම් ගෙන ඇත. අනෙක මෙවන් අපචාරයන් එක් ආගමකට අයත් පූජකයන්ගේ ඒකාධිකාරයක් නොවන බව ද සුප්‍රකට කරුණකි.
මෙහිලා දැකිය හැකි තවත් වැදගත් ම කරුණක් වන්නේ, මෙම ප්රවෘත්ති මෙරට ජනතාවගෙන් වසන් කිරීමෙහිලා මෙරට ඊනියා ජනමාධ්‍ය එකම පෙරමුණකට පැමිණ සිටීම ය. ඔවුන්ගේ ලෝක ප්රවෘත්තිවල මෙවන් ප්රවෘත්ති නැත. කතෝලිකාගම ප්‍රධාන ආගම ව පවතින රටවල මෙය අංක එකේ පුවතක් ව පවතිද්දී මෙරට මාධ්‍යයන් මෙය යටපත් කරන්නේ පූජක ළමා අපචාර එක් ආගමික ශාසනයකට පමණක් සීමා නොවන බව ප්‍රකට කරුණක් ව තිබිය දී ය. සියලු ආගම් තම තමන්ගේ මාධ්‍යයන් පුම්බා ගනීම සඳහා උපරීම ව ගසා ගෙන කෑ යුතු ව ඇති හෙයින් එම සිද්ධීන් මුළුමනින් ම යටපත් කරනු ලැබේ.
භික්ෂුවක විසින් පොලිස් භටයකුගේ බෙල්ල සිර කර මරා දැමීමේ සිද්ධිය , එහි ආරම්භක සිදුවීමෙන් පසු යටපත් කරනු ලැබුවේ ද මේ අයුරින් ම ය.පොලිස් භටයා භික්ෂුව මරා දැමුවා නම් , යහපාලනය යටතේ භික්ෂුන්ට අත්ව ඇති ඉරණම ගැන, ඒකාබද්ධයේ තක්කඩි නායකයන්ව ද පෙරට දමා ගෙන මාධ්‍යයන් මේවන තුරා ම වැළපෙමින් ක්‍රියා කරන බව ස්ථිර නමුත් , පොලිස් භටයා මරා දැමුවේ, මාධ්‍යවල ව්‍යවහරය අනුව, ''සංඝරත්නය " වූ නිසා, ඒ ගැන හාවක් හූවක් නැත. කොටින් ම වෙනත් ඝාතනවල අලගිය මුල ගිය තැන් විස්තර කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ද මුඛ පූට්ටු කර ඇත.
Comments
Post a Comment